Wednesday, March 11, 2009

ඒ දුෂ්ට ඝාතන ලේඛනය අලුත් කර තිබේ!

වේළුපිල්ලෙයි ප්‍රභාකරන් තරම් අධම, තිරශ්චීන ඝාතකයකු ලොව නැතැයි අපි නිබඳවම කියා ඇත්තෙමු. ඔහුගේ භාෂාව මෙන්ම ආගමද ඝාතනයයි. හේ යළිත් ඊයේ (10) සිය ඝාතන ලේඛනය අලුත් කර ගෙන තිබේ. ඒ අකුරුස්සේ ගොඩපිටිය ජුම්මා මුස්ලිම් දේවස්ථානය කරා පැමිණෙමින් සිටි මුස්ලිම් බැතිමතුන්ගේ පෙරහැරකට මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරකයකු එවීමෙනි.

මාර්තු 10 වැනිදා (ඊයේ) මුස්ලිම් බැතිමතුන්ගේ උතුම් දිනයක් වු නබි නායක ජන්ම දිනයයි. එමෙන්ම බෞද්ධයන්ගේ මැදින් පොහෝ දිනයද ඊයේටම යෙදී තිබිණි. රජයේ මැති ඇමැතිවරුන් ඇතුළු මුස්ලිම් බැතිමතුන් ජුම්මා දේවස්ථානය කරා පැමිණෙමින් සිටියේ කෙබඳු බැතිමත් හැඟීමකින්ද? ලෝකයට සාමය, සහෝදරත්වය හා සමානත්මතාව දේශනා කළ නබි නායකතුමන්ගේ උතුම් වචන හා ධර්මයද සිහිපත් කරමින් පැමිණි ඒ පිරිසට මුහුණ දීමට සිදු වුයේ මොනතරම් අභාග්‍යයකටද?

දහතුන් දෙනකු එතැනම මරුමුවට පත්වුහ. පනහකට නොඅඩු පිරිසක් තුවාල ලැබුහ. තුවාල ලද පිරිස අතර රජයේ ඇමැතිවරු කීප දෙනෙක්ද වුහ. එයින් මහින්ද විජේසේකර ඇමැතිවරයාගේ තත්ත්වය බරපතල බවද වාර්තා විය. ඇමැතිවරුන් ඇතුළු සියලු දෙනාටම ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරන අතර මියගිය අයගේ පවුල්වලට අපි අපගේ සංවේගයද පළ කර සිටිමු.

ප්‍රභාකරන්ගේ දුෂ්ට ඝාතන ඉතිහාසය පුරාම ඇත්තේ අශිෂ්ට හා මෘග ඝාතන වැලක් බව නොකිවමනාය. පන්සල, පල්ලිය, කෝවිල මෙන්ම ඕනෑම පුජාභුමියක් යනු ඔහුට කදිම දඩබිමකි. සිංහල, දෙමළ, මුස්ලිම් ආදී ඕනෑම ජනවර්ගයක් ඔහුට සතුරෝය. ඔහුගේ දෑත් මේ හැම වර්ගයකම අහිංසක මිනිසුන්ගේ ලෙයින් රත් පැහැවී ඇත.

පුදුකුඩුඉරිප්පු ප්‍රදේශයේ කොතැනක හෝ හිස සඟවා ගුලිවී සිටියත් ඔහු තවමත් ඝාතනය අත්හැරීමට සුදානම් නැත. එමතු නොව ඒ ප්‍රදේශයේ හිරවී සිටින අහිංසක දෙමළ ජනතාවට නිදහසේ සිය ජීවිත ගොඩනගා ගැනීමටද ඔහු ඉඩ නොදෙයි.

වන්නියේ හිරවී සිටින සාමාන්‍ය ජනතාවට යැවෙන ආහාර ද්‍රව්‍ය ඇතුළු අත්‍යවශ්‍ය භාණ්ඩ රුගෙන යෑමට ඔහු ඉඩ නොදෙයි. පසුගිය 9 වැනිදා මුලතිව් බලා ගිය ආහාර නැවකට කාලතුවක්කු ප්‍රහාරයක් එල්ල කළේද ඒ නිසාය.

ප්‍රභාකරන්ගේ මෙකී දුෂ්ට ප්‍රතිචාර ඔහු වෙනුවෙන් සටන් විරාම ඉල්ලා සිටින කිසිවකුගේ අවධානයට යොමුවන බවක් නොපෙනේ. සත්තකින්ම ප්‍රභාකරන් යනු අද වෙඩි කෑ කොටියෙකි. එහෙත් ඔහුට තවමත් වුවමනා මිනිසුන්ගේ ලේ හා මිනිසුන්ගේ සුන්බුන් සිරුරු හා මිනිස් මස්වැදලි බව ඉතා පැහැදිලිය.

ජුම්මා මුස්ලිම් දේවස්ථානයට එල්ල කළ ප්‍රහාරය ලොවටම තහවුරු කරන්නේ එය නොවේද? ඔහු යටත්වී නිකම්ම මියැදෙන්නට සුදානම් නැති බව ඔහුගේ මෙබඳු ඝාතන මෙන්ම අනෙක් ප්‍රතිචාරවලින්ද ඉතා පැහැදිලිය. ඔහු විසින් මරා දමන ලද අහිංසකයන්ගේ හිස්කබල් ගොඩ ගැසුවේ නම් ඒවා අහස උසට නැගෙනු ඇත. ඔහුගේ රුධිර පිපාසය වෙනුවෙන් ගලා ගිය රුධිර ගංගාවල ප්‍රමාණය මේ රටේ සියලුම ගංගා ඇළ දොළවල දියකඳට වඩා අඩු යැයි කිසිවකුට කිව හැකිද?

ප්‍රභාකරන් වෙනුවෙන් පෙනී සිටි කිසිවකුට යහපතක් විය නොහැකි බව අපගේද විශ්වාසයයි. මන්ද යත් ඔවුන් විසින් දෙන ලද වාචික හෝ ක්‍රියාත්මක සහයෝගය නිසාම ප්‍රභාකරන්ට සිය කුරිරුකම්ද සැහැසිකම්ද වපුරමින් නිරුපද්‍රිතව සිටීමට හැකිවීම නිසාය.

ප්‍රභාකරන් සුරැකීම සඳහා බොරු හේතුපාඨ පෙරට දමන, තවමත් ඔහු වෙනුවෙන් පෙනී සිටින දෙස් විදෙස් මිතුරන්ටත් මිත්‍ර සමාගම්වලටත් දැන්වත් මේ බිහිසුණු නග්න වෘකයාගේ අනතුර තේරුම් ගත නොහැකි දැයි අපි දැඩිව ප්‍රශ්න කරමු. තව තවත් ඝාතන වපුරන්නට ඔහුට ඉඩ හරිනවාද? නැතහොත් දෙමළ ජනතාව නිදහස් කර ගන්නවාද යන්න හෘදය සාක්ෂියෙන්ම විමසන ලෙස අපි ඉල්ලා සිටිමු. එහෙත් එය වලංගු වන්නේ හෘදය සාක්ෂියක් ඇත්නම් පමණි.
(දිවයින_09/03/11)

පසු වදන_
අද මට අලුතින් ලිවීමට පසුවදනක් නැත. 09/03/06 දින ලියූ පසුවදන නැවත පළකරමි. දැන්වත් එය අදාළ බලධාරීන්ගේ අවදානයට ලක්වේවායි පතමි.

මේ ප්‍රහාර දාමය පසුපස ඇත්තේ නොසැලකිල්ල මිස අනෙකක් නොවේ. එය නිවට ත්‍රස්තවාදයේ දක්ෂතාවක් නොව පාලකයින්ගේ සහ ආරක්ෂක අංශවල අතිශය නොසැලකිල්ල ය. ප්‍රහාරයට පසු නිකුත් කළ සියලු වීඩියෝ දර්ශන එය මොනවාට කියාපායි. අපේ අසල්වැසි රටවල ආරක්ෂක අංශවලට සාපෙක්ෂව මෙරට ආරක්ෂක අංශ ගව් ගාණක් ඉදිරියෙන් සිට මෙවන් අවස්ථාවල අවස්ථාවල ක්‍රියාකරන බව ඉතා ම පැහැදිළි ය.

අපේ රටේ සිදු වූ ප්‍රභූ ඝාතන පසුපස ඇත්තේ ද ඒ නොසැලකිල්ල ය. ත්‍රස්තවාදය සහ ඉන් තමාට ඇති අවදානම නොතකා හැරීම ය. කුප්‍රකට කදිරගාමර්, ජෙයරාජ් ඝාතන මීට කදිම නිදසුන් ය. මෙරට වෙනසකට ඇත්තේ ආරක්ෂක අංශ කැපවී ක්‍රියා කරන අතර ප්‍රභූවරු ආරක්ෂක උපදෙස් නොපිළිපැදීම ය. තමන් වෙත ඇති අවදානම නොතකා නිරපරාදේ ත්‍රස්තවාදයට ගොදුරුවීම ය. අපේ ප්‍රභූවරු මේ දුර්වලතා සකසා ගන්නා තුරු ත්‍රස්තවාදීන්ට කදිරගාමර්, ජෙයරාජ් ලයිස්තුවට තව නම් එක් කිරීම මොන කජ්ජක් ද?

4 comments:

නිලන්‍ත said...

බොම්බය පිපිරීගිය සැනින් එම ස්ථානයේ එකගොඩේ මියගොස් සිටි පිරිස සිත කම්පා කරන දසුනක් විය. ප්‍රභාකරන්ට අනුකම්පා කරන මානවහිමිකම් ජඩයින්ගේ ඇස් පොට්ටද මේවා නොපෙනෙන්නට.

Anonymous said...

නිලන්ත-
මානවහිමිකම් ජඩයින්ට මෙවා ගැන කතා කලොත් උන්ට ලැ‍බෙන හිගමන් නැති වෙනවා

෴ .:GiniMakara :.෴ said...

ඇයි අපි මානව හිමිකම් ගැන කතා කරන වුන් ගේ ‍දෙබිඩි පිලිවෙතට නිහඬව ඉන්නෙ.පිටරට සල්ලි වලට කහින උන්ගේ සැබෑ නිරැවත ප්‍රසිද්දියේ ර‍ටේ ජනතාවට දැන ගැනීමට අපේ මාධ්‍ය හසුරවන උදවියට පෙන්වන්නට නො‍හැකි වන්නේ මන්ද? අනිත් හැම අස්සක් මුල්ලකම සිදුවන දේවල් හොයන මේගොල්ලන්ට මේවා නොපෙනෙන්නේ ඒගොල්ලන්ටත් සල්‍ලි දෙන නිසාද? මම දැක්ක BBC යෙ ‍මේ සිදුවීම ඉස්මතු කරමින් කොටි සංවිධානය පිම්බීමේ කටයුත්තක නිරත වෙලා තිබුන. ජනතාවට බැරිද මුන්ට අපේ රටේ දේවල් වැරදි විදිහට වාර්තා කරන එක නවත්වන්න කියල බලපෑම් කරන්න,පිකටින් කරන්න. කෙටියෙන්ම කිව්වොත් ‍ජනතාවට බැරිද එකතුවෙලා මුන්ව රටින් පිටුවහල් කරන්න. දේශ ද්‍රෝහියො රටේ තියාගෙන ඇති පලේ මොකක්ද?

නාමල් උඩලමත්ත said...

නිලන්ත, මුදලට රට දැය නෙවේ අම්මා අප්පා වුණත් පාවදෙන තත්ත්වයට අපේ ඇතැම් ඈයෝ පිරිහිලා. රට ගැන කිසිම හැඟීමක් නැහැ. අපේකම උන්ට විහිළුවට කාරණයක්. මම දැක්කා එක්තරා මුග්ධ රැළක් දළඳා වහන්සේට අපහස කරලා තිබුණා. දළඳා වහන්සේට වැස්ස දෙන්න පුළුවන් නම් හම්බන්තොට ගෙනියන්නලු. ජල ප්‍රශ්නය විසඳන්න. අපේ රටේ අපේ මෝඩ මුතුන් මිත්තෝ කියන දේවල් ඉතින් මෝඩ කතා කියමුකෝ. ඒත් අර ජෝන් ඩොයිලි කියන සුදු මහත්තයා තමන්ගේ පොතේ ලියපු ටික කියෙව්වා නම් නරක ද? නූතන විද්‍යාවට තව ම ඉන්නේ ළදරු අවධියක. ඔවුන්ට තව ම විග්‍රහ කරගන්න බැරිවුණු දේවල් කොච්චර තියෙනව ද?

මානව හිමිකම් තියෙන්නේ නිරායුධ ජනතාවට නෙමේ කොටින්ට. උන්ගේ පුල්ලි මකලා ඒ මත පරෙයි රූප අඳින එවුන්ට. ඔයාලා කවුරුත් දැකලා තියෙනව ද දකුණේ බෝම්බයක් පිපිරුණාම ඔය තක්කඩි ලිප්ටන් වටරවුමේ උඩුබුරනවා. නෑනේ. කොටි උන්ගේ අපායෙන් පැනලා එන ජනතාවට වෙඩි තියද්දි, කපලා කොටලා මරද්දි මානව හිමිකම්කාරයෝ කෑ ගැහුව ද? නෑනේ. ඒත් බලන්නකො කොටියට කඩේ ගිය එකෙක් අත්අඩංගුවට ගත්තම තියෙන දේවල්. උද්ඝෝෂණ, ප්‍රවෘත්ති සාකච්ඡා, ලෝක ප්‍රජාවට පැමිණිලි කිරීම වගේ කෝටියක් දේවල් කරනවා. ඒත් මාතර ගොඩගම බෝම්බ ප්‍රහාරය ගැන උන් මොනව ද කීවේ? එක්කෝ ඒ මැරුණු අය මිනිස්සු කියලා මේ අය පිළිගන්නේ නැහැ. නැත්නම් ඒ අයට මානව හිමිකම් නැහැ. ඉතින් ඔබටත් මානව හිමිකම් අවශ්‍ය නම් වහාම කොටියෙන් වෙන්න. නැත්නම් කොටියගේ කිරිජ්ජපල්ල අතගාන නිවට ද්‍රොහීයෙක් වෙන්න.

 
සිය රට දේ සිරි සැප දේ !