Sunday, May 31, 2009

දෙමළ නායකත්වයේ ප්‍රශ්නය!

අද ලංකාවේ හටගෙන ඇති ප්‍රධානතම දේශපාලන සංසිද්ධිය වන්නේ කොටි සංවිධානයේ පරාජයත් සමගම ලංකාව සහමුලින්ම ප්‍රතිනිර්මාණය කිරීමට සිදුවී තිබීමය. කොටි සංවිධානයේ පරාජයත් සමගම ඇති වී තිබෙන නව යථාර්ථයන් පිළිබඳ අවබෝධය මෙරටේ දෙමළ සමාජය තුළට කිඳා බැසීමට තව අවුරුද්දක් වත් ගත වනු ඇත. කොටි සංවිධානය මෙරටේ දශක කීපයක් තිස්සේ ක්‍රියාත්මකවීම නිසා එය නැතුව ජීවිතය කෙබඳුවේ දැයි දෙමළ මිනිසුන්ට පමණක් නොව සිංහල මිනිසුන්ටත් සිතා ගැනීමට අසීරුය. ප්‍රභාකරන් ඇතුළු කොටි නායකයන්ගේ මරණය සමරමින් ලංකාවේ තැන් තැන්වල සිංහල මිනිසුන් සතියක් පමණ කිරිබත් කෑමත් රතිඤ්ඤා පත්තු කිරීමත්, සිංහ කොඩි ඔසවාගෙන පෙළපාලි යෑමත් නිසා අමුතුම ආකාරයේ ජාතිවාදයක් රට තුළ ඉස්මතු වී තිබෙන බවක් ඇතැම් කොටස් කීවද ඒ ජාතිවාදයක පිළිබිඹුවක් යැයි මම සිතන්නේ නැත. ඒ මන්ද යත් මීට කලින් සිංහල ත්‍රස්තවාදියකු වු රෝහණ විජේවීර මියගිය විටත්, ජනතාවගේ ඇතැම් කොටස් අතර දැඩි අප්‍රසාදයකට පාත්‍ර වී සිටි ආර්. ප්‍රේමදාස ජනාධිපතිතුමා මියගිය විටත් මිනිසුන් කිරිබත් කෑමත්, රතිඤ්ඤා පත්තු කිරීමත් සිදු කළේය. වෙනසකට තිබුණේ ඒවා එක් දවසකට පමණක් සීමා වීමත් ප්‍රභාකරන්ගේ මරණය සම්බන්ධයෙන් කිරිබත් කෑම සතියක්ම පැවතීමත්ය.

මෙහිදී අප වඩාත්ම පුදුම විය යුත්තේ මේ රටට අතිවිශාල සේවයක් කළ ප්‍රේමදාස මහතා කොටි සංවිධානයේ මරාගෙන මැරෙන බෝම්බකරුවකු අතින් මියගිය විට මේ රටේ සාමාන්‍ය පන්තියේ ඇතැම් මිනිසුන් කිරිබත් කෑම ගැනය. ප්‍රේමදාස මහතා අතින් සිදු වුයේ දේශපාලන වැරුදි කීපයක් පමණි. ඔහු බුරුතු පිටින් මිනිසුන් මැරුවේවත් දේපළ විනාශ කළේවත් නැත. ඔහු කළ දේශපාලන වැරුදිත් එ.ජා.ප. යේ අභ්‍යන්තරයට පමණක් සීමා වු ඒවා විය. විපකෂයට ඔහු කිසිදු කෙනහිලිකමක් නොකළේය. චන්ද්‍රිකා කුමාරතුංග ආණ්ඩුවේ සිටි ප්‍රබලම ඇමැතිවරයෙක් වු අනුරුද්ධ රත්වත්තේ මහතා සිය චරිතාපදානයේ මේ බව පිළිගෙන ඇත. ඔහු ප්‍රේමදාස මහතා හඳුන්වා ඇත්තේ විපකෂයට නම් සුහද මිනිසෙක් හැටියටය. ඉතින් මෙවන් මිනිසකුගේ මරණය ඇතැම් සිංහල මිනිසුන් විසින්ම රතිඤ්ඤා හා කිරිබත්වලින් සැමරුවේ නම් ප්‍රභාකරන්ගේ මරණය සතියක් පුරා සැමරීම ජාතිවාදයක පිළිබිඹුවක් නොවන බව පැහැදිලිවම කිව හැක.

යුද හමුදාව ද කොටි සංවිධානයට පන්න පන්නා පහර දී මුළු නායකත්වයම සමුල ඝාතනය කිරීම ද ජාතිවාදයක් නොවේ. මේ ත්‍රිවිධ හමුදාව 1987:89 කාලයේදී සිංහල ත්‍රස්තවාදීන්ට කළේ ද ඔය ටිකමය. ජ.වි.පෙ. දෙවැනි කැරුල්ල අවසන් වී නල්ලතම්බි ශ්‍රී කාන්ත නමැති දැන් දෙමළ සංධානයේ සිටින මන්ත්‍රීවරයා හමුවීමට ගිය අවස්ථාවේදී මම "ද අයිලන්ඩ්" පුවත්පතට ජනතා විමුක්ති පෙරමුණේ කැරුල්ල සම්බන්ධයෙන් ලියා තිබුණු ලිපි පෙළේ සඳහන් කොට තිබුණු මරණ සංඛ්‍යාව පිළිබඳ ඔහු මවිතය පළ කර සිටියේය. මා දී තිබු සංඛ්‍යාව වුයේ අවුරුදු 2 1.2 ක ජ.වි. පෙරමුණේ දෙවැනි කැරුල්ල සමයේ දෙපැත්තෙන්ම 40,000 ක් මියගිය බවයි. ශ්‍රී කාන්ත මන්ත්‍රීවරයා කියා සිටියේ උතුර සහ නැගෙනහිර දෙමළ කැරුල්ල අවුරුදු 10 කටත් වඩා පරණ වුවත් එතරම් සංඛ්‍යාවක් මියගොස් නැති බවයි. ඉතින් මේ ආකාරයට බලන කල ත්‍රිවිධ හමුදාව විසින් සිංහල ත්‍රස්තවාදීන්ටත් දෙමළ ත්‍රස්තවාදීන්ටත් බෙදා ඇත්තේ එකම හැන්දෙනි.

අද පැමිණ තිබෙන මේ සංධිස්ථානය ඉතා කලාතුරකින් ලැබෙන අවස්ථාවකි. හමුදාව කොටි සංවිධානය විනාශ කළ ආකාරය තුළ ජාතිවාදයක් තිබෙනවා යැයි කීම කරුණු හරිහැටි සලකා බලා කිවු දෙයක් නොව කොටි සංවිධානයේ විනාශය නිසා ඇති වු කම්පනයෙන් කියන දෙයක් යැයි මම විශ්වාස කරමි. මේ ඇති වී තිබෙන මහඟු අවස්ථාව සම්බන්ධයෙන් අවිනිශ්චිත සාධකය වන්නේ දෙමළ ජනතාවයි. දෙමළ මිනිසුන් සුළු ජනකොටසක් වශයෙන් වාසය කරන්නේ ලංකාවේ පමණක් නොවේ. ඉන්දියාව, මැලේසියාව, සිංගප්පුරුව, දකුණු අප්‍රිකාව වැනි රටවල ද දෙමළ ජන කොටස් ජීවත් වෙයි. ලෝකය පුරා මේ ආකාරයට විසිරී සිටින දෙමළ ජාතිකයන් අතුරෙන් අවාසනාවන්තම දෙමළ ජන කොටස වාසය කරන්නේ ලංකාවේ උතුර නැගෙනහිර ප්‍රදේශවලය. ඔවුන්ට ඉතිහාසයේ කොයිම අවස්ථාවකදීවත් බුද්ධිමත් නායකත්වයක් සිටියේ නැත.

ඒ අතින් බලද්දී ලංකාවේ කඳුකරයේ වාසය කරන ඉන්දීය දෙමළ සම්භවයක් ඇති දෙමළ ජනතාව ඊට වඩා බෙහෙවින්ම වාසනාවන්තය. ඔවුන්ගේ නායකයා වු සෞම්‍ය මුර්ති තොණ්ඩමන් මහතා මියගිය අවස්ථාවේ මා ඔහු හැඳින් වුයේ "දෙමළ මිනිසුන්ගේ ඩී. එස්. සේනානායක" යනුවෙනි. සෞම්‍යමුර්ති තොණ්ඩමන් ද හදිසි තීරණ නොගන්නා හොඳින් සිතා බලා කටයුතු කරන ඩී. එස්. සේනානායක කාලයේ කොන්සවේටිව්වාදී (ඡඔනසඑරවඅටඉවඑ) නායකයකු විය. සෞම්‍යමුර්ති තොණ්ඩමන්ට උතුරේ දෙමළ නායකයන්ට තිබුණු ආකාරයේ මනා උගත්කමක් තිබුණේ නැත. නමුත් ඔහුට කළ හැකිදේ මොකක්ද, කළ නොහැකි දේ කුමක්ද, කළ යුතුදේ කුමක්ද, නොකළ යුතු දේ කුමක්ද යන්න පිළිබඳ හොඳ ඉවක් තිබිණි. තමාට ලබාගැනීමට අවශ්‍ය දේ ලබාගත හැක්කේ කුමන ආකාරයට ද යන්න ගැනත් ඔහුට ඉතා හොඳ අවබෝධයක් තිබිණි. ලංකාව තුළ සිටින සියලුම දෙමළ මිනිසුන්ගේ නායකයා ඔහු වුයේ නම් මේ රටේ උතුර නැගෙනහිර දෙමළ මිනිසුන්ට අද අත්වී තිබෙන ඉරණම අත්වන්නේ නැත.

1970 ගණන්වලදී දෙමළ එක්සත් විමුක්ති පෙරමුණ ගොඩනඟන විට සෞම්‍යමුර්ති තොණ්ඩමන් මහතා ද එහි සාමාජිකයෙක් විය. නමුත් ඔවුන් වෙනම රාජ්‍යයක් ඉල්ලා සිටි විට තොණ්ඩමන් මහතා වහාම එයින් ඉවත් විය. එසේ ඉවත් වී ඔහු තම ජනතාවගේ උන්නතිය සඳහා කටයුතු කළේය. අද වන විට ඔහු නියෝජනය කළ වතු දෙමළ ප්‍රජාවගෙන් ඇත්තටම වතුවල සේවය කරන්නේ 50% කටත් අඩු ප්‍රතිශතයකි. සෙසු උදවිය වෙනත් වෘත්තීන්වලට යොමුවී වතු සේවයෙන් ඉවත් වී ඇත. ඒ තොණ්ඩමන්ගේ ජයග්‍රහණයයි. ඔහු හා සසඳන විට උතුරේ දෙමළ ජනතාවට නායකයන් හැටියට සිටියේ අමු ගොන් රුලකි. ඔවුන් කිසිදාක පුළුවන් දේකට අතගසන්නේ නැතුව අත ගැසුවේ බැරි දේවල්වලටමය. සියලු දේ කරේ නොකෙරෙන තැනටය.

මෙරට නිදහස ලැබු කාලයේ සිටි දෙමළ නායකයා වුයේ ජී. ජී. පොන්නම්බලම්ය. එකල ලංකාවට නිදහස දීම සඳහා බ්‍රිතාන්‍යයේ සෝල්බරි සාමිවරයා ප්‍රමුඛ කණ්ඩායමක් විසින් නව ව්‍යවස්ථාවක් සම්පාදනය කරමින් සිටි අවස්ථාවේ ඔහු එම කොමිසමට සාධාරණ සහ යුක්ති සහගත ආකාරයක ඉල්ලීමක් ඉදිරිපත් කළේ නම් ලංකාවේ දෙමළ මිනිසුන්ට උතුර නැගෙනහිර ප්‍රදේශ තුළ යම් ස්වයං පාලනයක් වුවත් ලබාගැනීමට හැකියාව තිබිණි. එකල හැන්ද තිබුණේ බ්‍රිතාන්‍ය අතේය. ඒ නිසා ඔවුන් කරන දෙයකට දකුණේ සිංහල ජාතිවාදීන්ටවත් විරුද්ධවීමට නොහැකි වනු ඇත. නමුත් ජී. ජී. පොන්නම්බලම් මහතා උගත් නීතිඥයෙක් වුවත් ඔහු සෝල්බරි කොමිසම ඉදිරියට ගොස් ඉල්ලා සිටියේ කිසිවකුටත් දිය නොහැකි ලෝක ධර්මතාවටත් පටහැනි දේවල්ය. ඔහුගේ ඉල්ලීම වුයේ ලංකාවේ පාර්ලිමේන්තුව තුළ සිංහල ජනතාවට ආසන 50% කුත් දෙමළ හා මුස්ලිම් සුළු ජාතීන්ට ඉතිරි ආසන 50% ත් ලැබෙන ආකාරයෙන් පාලන ක්‍රමයකි.

සෝල්බරි කොමිසම මෙම ඉල්ලීම අවඥා සහගතව එකහෙළාම ප්‍රතිකෙෂ්ප කළේය. පොන්නම්බලම් නොදිය හැකි දේවල් ඉල්ලා කිසිවක් නොලබා සිටියේය. අවුරුදු 60 කට පසු ප්‍රභාකරන් ද අතරමැද විසඳුම් ඕන තරම් තිබියදී නොදිය හැකි දේම ඉල්ලා කිසිවක් නොලබා මැරුම් කෑවේය. පොන්නම්බලම් හා ප්‍රභාකරන් අතර සිටි දෙමළ නායකයන් දෙදෙනා වුයේ එස්. ජේ. වී. චෙල්වනායගම් හා ඒ. අමිර්තලිංගම්ය. චෙල්වනායගම් තමන් විසින් බිහි කළ රකුසාගෙන් මැරුම් කෑමට කලින් ස්වාභාවික මරණයකට ලක් වුයේය. නමුත් ඒ සියලු ආනිශංස ඔහුගෙන් පසු දෙමළ ජනතාවගේ අසහාය නායකයා බවට පත් වු අමිර්තලිංගම්ට අත්විඳීමට සිදුවිය. 1976 දී දෙමළ ජාතිය වෙනුවෙන් වෙනම රාජ්‍යයක් ඉල්ලා සිටියේ අමිර්තලිංගම්ය. එම තීරණයෙන් අවුරුදු 4 ක් යෑමටත් කලින් අමිර්තලිංගම්ගේ තිබුණු සියලු බලතල නැතිවී ඔහු වෙනම රාජ්‍යයක් දිනා ගැනීම සඳහා බිහිවු නොයෙක් ත්‍රස්තවාදී කණ්ඩායම්වල ප්‍රාණ ඇපකරුවෙක් බවත් පත්වී සිටියේය.

අනුරුද්ධ රත්වත්ත මහතාගේ චරිතාපදානයේ සඳහන් වන ආකාරයට අමිර්තලිංගම් මහතාගේ ආරාධනය පරිදි සිරිමා බණ්ඩාරනායක මැතිනිය යාපනයට ගිය විට ඔවුන්ගේ එම සංචාරය කිරීමට සිදුවී තිබුණේද එවන් ත්‍රස්තවාදී කණ්ඩායමක පාලනය යටතේය. අවසානයේදී මේ ත්‍රස්තවාදීන්ගේම අතින් එල්ල වුණු වෙඩි වරුසාවක් මැද අමිර්තලිංගම් මහතාට මිය පරලොව යෑමට සිදුවිය.

මේ ආකාරයට අවුරුදු 60 කටත් වඩා වැඩි කාලයක් තිස්සේ මේ රටේ උතුරේ දෙමළ නායකත්වය කර ඇත්තේ නොලැබෙන දෙයක් පසුපස හඹා යමින් කිසිදු හේතුවක් නැතුව දුක් විඳීම පමණි. ප්‍රභාකරන් ද අවුරුදු 30 කට අධික කාලයක් තිස්සේ නටපු නැටුමකුත් නැත. බෙරේ පලුවකුත් නැත. ප්‍රභාකරන්ගේ තැන ගැනීමට අනාගතයේදී උතුර නැගෙනහිර ප්‍රදේශවලින් බිහිවන නායකත්වය, කුමන මාවතක් ගනීවි දැයි අපට තවම කිව නොහැකිය. අතීතයේදී නම් උතුරේ නායකත්වය නොලැබෙන දෙයම ඉල්ලා අරගල කළේ තමන් පිළිබඳ එක්තරා අධි තක්සේරුවක් තිබුණු නිසාය. අද දෙමළ ජනතාවට තිබෙන ආකාරයේ අත්දැකීමක් එදා චෙල්වනායගම්ලාට, අමිර්තලිංගම්ලාට නොතිබිණි. දෙමළ ජනතාව අතරෙන් බිහිවු කොටි සංවිධානය වැනි ලෝකයේ ප්‍රබලම ත්‍රස්තවාදී සංවිධානය වශයෙන් ඇමරිකාවේ තඊෂ ආයතනය විසින් නිල වශයෙන්ම පිළිගත් සංවිධානයක් ලෝකයේ සිටින බලගතුම බටහිර රටවල් සියල්ලගේම සහයෝගය ලැබෙද්දී මේ ආකාරයට නින්දිත ලෙස සමුල ඝාතනය වනු ඇතැයි චෙල්වනායගම් හා අමිත්තලිංගම් දැන සිටියේ නම් ඔවුන්ගේ ක්‍රියාකලාපය යම් තාක් දුරකට වෙනස් වන්නට ඉඩ තිබුණේ යැයි අනුමාන කළ හැක.

අනාගතයේ උතුරෙන් බිහිවන දෙමළ නායකත්වයට මේ ලබා තිබෙන අත්දැකීමෙන් කළ හැක්කේ කුමක්ද කළ නොහැක්කේ කුමක්ද? කළ යුත්තේ කුමක්ද? නොකළ යුත්තේ කුමක්ද? යනාදිය පිළිබඳ අවබෝධයක් ලැබී තිබීම මේ රටේ සිටින දෙමළ ජනතාවගේත් සිංහල ජනතාවගේත් අනාගත උන්නතියට බෙහෙවින් බලපානු ඇත. අනාගත ලංකාවේ ස්ථාවර භාවය සම්බන්ධයෙන් ඇති ප්‍රශ්නාර්ථය වන්නේ සිංහල ජනතාව අතර තිබෙන ජාතිවාදය නොව උතුරේ දෙමළ නායකයන්ගේ ගොන්කම් දැන්වත් සුව වුවාද යන්නයි.

සී. ඒ. චනද්‍රප්‍රේම
(දිවයින_09/06/01)

පසුවදන_ද්‍රවිඩ ජනතාවට ආදරය කරන එමෙන් ම රටට ද ආදරය කරන දුරදිග පෙනෙන ද්‍රවිඩ නායකත්වයක් අද අපට අවශ්‍ය ය. ඒ අපේ සහෝදර ජනතාව නැවතත් විවිධ මිරිඟුවන් පසුපස ඇදගෙන නොයා ඔවුන්ගේ ජීවිත සුඛිත මුදිත කරගැනීමට ය. ඒ සඳහා අතීතයෙන් පාඩම් උගත් පෞද්ගලික න්‍යාය පත්‍රවලින් සසල නොවන නායකයින් පහළ වේව! අපට මෙසේ පතන්ට සිදුව ඇත්තේ එවැනි නායකයින් කොටි ත්‍රස්තවාදයට යටව උපන්ගෙයිම මියගිය හෙයිනි.

Thursday, May 28, 2009

පාරාවළල්ල ආපසු එයි

ජේ. ආර්. ජයවර්ධනට, ආර්. ප්‍රේමදාසට, ඩී. බී. විජයතුංගට සහ චන්ද්‍රිකා කුමාරතුංගට යුද කිරීමට තිබුණේ කොටි සංවිධානය සමඟ පමණි. එහෙත් ජනාධිපති රාජපකෂට කණ්ඩායම් ගණනාවක් සමඟ යුද කිරීමට සිදුවිය.

එනම්,

1. කොටි සංවිධානය

2. ජාත්‍යන්තර ප්‍රජාව

3. රාජ්‍ය නොවන සංවිධාන

4. විපකෂය

එකවර මේ පාර්ශ්ව හතර සමඟ යුද කළ ශ්‍රී ලංකාව ජයග්‍රහණය කළ විට අන්තිම වෙඩි මුරයත් පත්තු කර දෙකෙන් එකක් වන හැටි බලමු යැයි කල්පනා කළ ජාත්‍යන්තර ප්‍රජාව මානව හිමිකම් නමැති පාරාවළල්ල අප වෙත දමා ගැසීය. පාරාවළල්ල යනු එය දමා ගැසු තැනටම ආපසු එන ආයුධයකි. පාරාවළල්ල එන විට ඉලක්කය වහා ස්ථාන මාරුවක් සිදු කළ යුතු අතර නැතහොත් පාරාවළල්ල ඉලක්කයේ ගැටී ඉලක්කය විනාශ වෙයි. එසේම පාරාවළල්ල ආපසු එන අතර ප්‍රහාරකයා ස්ථාන මාරුවක් සිදු නොකළොත් එය ප්‍රහාරකයා සමඟ ගැටී ඔහු නසී. ශ්‍රී ලංකාවට විරුද්ධව එල්ල කළ මානව හිමිකම් පාරාවළල්ල ඉලක්කයේ නො වැදුණු අතර ආපසු ගොස් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ ශ්‍රී ලංකා විරෝධීන් අතරට කඩා වැටුණි. එහි ප්‍රතිඵලයක් වශයෙන් ශ්‍රී ලංකාවට එරෙහිව එම කවුන්සිලයට ඉදිරිපත් කෙරුණු මානව හිමිකම් උල්ලංඝනය පිළිබඳ යෝජනාව පරාජයට පත්විය. තුන් සිංහලය තවත් යුද්ධයක් ජයග්‍රහණය කළේය.

මේ රටේ තවදුරටත් සුළු ජාතීන් නැති බවත් ඇත්තේ රටට ආදරය කරන පිරිස සහ රටට ආදරය නොකරන පිරිස පමණක් බවත් ජනාධිපතිතුමා පසුගියදා පැවැසීය. මේ අනුව ලෝකයේ පවත්නා රටවල් ද වර්ගීකරණය කළ හැකි ය. එනම් ත්‍රස්තවාදයට විරුද්ධ රටවල් සහ ත්‍රස්තවාදයට පකෂ රටවල් ලෙස ය. එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේදී අපට පකෂව ඡන්දය පාවිච්චි කළ රටවල් සියල්ල ත්‍රස්තවාදයට විරුද්ධ බව අපගේ පිළිගැනීම ය. අපට විරුද්ධව ඡන්දය දුන් කැනඩාව, ප්‍රංශය, ජර්මනිය, ඉතාලිය, චිලිය, බොස්නියාව, මෙක්සිකෝව, ස්ලොවැකියාව, ස්ලොවැනියාව, ස්විටිසර්ලන්තය සහ බ්‍රිතාන්‍යය ත්‍රස්තවාදයට කැමැති, එයට ගැතිකම් කරන රටවල් බව අපගේ පිළිගැනීම ය.

මෙහිදී ත්‍රස්තවාදයේ හිතවතුන් ගැන වෙන වෙනම සාකච්ඡා කිරීම වැදගත් ය. කැනඩාව යනු ලෝකයේ ඉතාම දුර්වල ෆෙඩරල් ව්‍යුහය ඇති කොටි ත්‍රස්තවාදීන් වැඩිපුරම ජීවත් වන රට ය. මෙහි මධ්‍යම රජයට රටේ ප්‍රාන්ත ආණ්ඩුවලට කළ හැකි බලපෑම ඉතා අල්ප ය. ඇත්තටම කැනඩාව යනු එක නමක් යටතේ පවතින වෙනම රාජ්‍ය සමුහයකි. ප්‍රංශය, ජර්මනිය, බ්‍රිතාන්‍යය වැනි රටවල් ඇමරිකාවේ බෝම්බ සහකරුවෝ ය. ඇමරිකාව සහරා කාන්තාරයට බෝම්බ දැමීමට ගියත් පස්සෙන් යෑමට මේ රටවල් කැමැති වෙයි. එහි රහස ඇමරිකාව ලෝකයේ බලවත් රටක් වීමත් දැනට බලය ගිලිහී තිබෙන ප්‍රංශය හා ජර්මනිය බල්ලාගේ ඇඟේ එල්ලී ජීවිතය ගැටගසා ගන්නා මැක්කා මෙන් ඇමරිකාව පසුපස යමින් එරට විසි කරන මස් කටු ලෙවකා ජීවත්වීමයි. ඉතාලිය යනු ලෝකයේ භයානකම ත්‍රස්තවාදියකු වු බොනිටෝ මුසෝලිනි විසින් පාලනය කෙරුණු රටකි. ඒ නිසා ත්‍රස්තවාදය යනු ඔවුනට රසවත් මාතෘකාවකි. චිලී රට පාලනය කළ අගුස්තෝ පිනෝජේ දශක ගණනාවක් පුරාම ත්‍රස්තවාදයේ තිත්ත රසය එරටට පුරුදු කළේය. ඒ නිසා ඒ රටට තිත්තත් පැණි රසකි. නෙදර්ලන්තය යනු මේ රට කලක් තිස්සේ යටත් කරගෙන සිටි යටත් විජිතවාදියෙකි. බ්‍රිතාන්‍යය මෙන්ම නෙදර්ලන්තය ද අපෙන් පලිගැනීමට බලා සිටී. ස්ලොවැකියාව සහ ස්ලොවැනියාව යනු ජාතිවාදයේ ලෙයින් පෙඟී ගිය රටවල් ය. තවත් රටක ත්‍රස්තවාදී ප්‍රශ්නය විසඳෙනු දැකීමට ඔවුනට නො හැකිය. ස්විටිසර්ලන්තය ත්‍රස්තවාදය ගැන කිසිත් නොදනී. ඒ නිසා ඔවුහු යන රුල්ල පස්සේ යති.

ශ්‍රී ලංකාව ඉතා වටිනා බිම් කඩකි. මේ රට සරුසාර වනු දැක්ම ඉවසා සිටීමට සමහර රටවල් කැමැති නැත. ඒ නිසා ඔවුහු ශ්‍රී ලංකාවේ ත්‍රස්තවාදය ජය ගනු දැකීමට මහත් සේ ඇලුම් කළහ. ජිනීවා ජයග්‍රහණය පිටුපස ඇති කතාව එයයි.

(දිවයින_09/05/29)

පසුවදන_ජාත්‍යන්තර ප්‍රජාව යනු තව දුරටත් බටහිර අත්තනෝමතික හස්තය නොවන බව ඊයේ පැහැදිළි විය. එය ඇතැමුන්ට මුසුප්පුවට කරුණක් වුව ද නිවහල් මිනිසුන්ට සතුටට කරුණකි. මේ රටේ කුහක විපක්ෂය පිළිබඳ අපට ඇත්තේ බලවත් කනගාටුවෙකි. අද යූඇන්පීය මී හරක් කෙළින මඩ ගොහොරුවකි. අවසනාවට සජිත් ප්‍රේමදාස වැනි හොඳ මිනිසුන් කීපදෙනෙකුට ද ඒ මඩේ ළැග සිටින්නට සිදු වී ඇත. යුද්ධයට ගැරහූ එම පක්ෂයේ අම්බරුවෝ අද යුද ජයග්‍රහනයේ පොල්මඃකාරයින් වී සිටිති. අලියා සමග දිව්‍ය ලෝකේ ගිය ගමරාලගේ ඉරණම අද ජවිපෙ ඉරණමට දෙවෙනි නැත. මේ සියලු දෙනාට සිය අතීතය දෙස බලා සිනාසීමටත් අනාගතය දෙස බලා සුසුම්ලෑමටත් පමණි අද ඇත්තේ.

Wednesday, May 27, 2009

නව යටත්විජිතවාදයට එරෙහිව....

එක්සත් ජාතික පකෂයේ මන්ත්‍රීවරයකු වන ලකෂ්මන් කිරිඇල්ල මහතා ජාතියකට ඉතා කලාතුරකින් පහළ වන ආකාරයේ පුද්ගලයෙකි. එතුමා විටින් විට කරන ප්‍රකාශ ආප්ත වචන සේ සලකා පොතක ලියා පළ කිරීමට පියවර ගත යුතුය. එතුමා අලුතින්ම කියු ආප්ත වචන මාලාව මෙසේය: "ත්‍රස්තවාදය අවසන් කර ශ්‍රී ලංකාව අද ජයග්‍රහණය ලබා තිබේ. මෙහි ගෞරවය 80 දශකයේ සිට මේ දක්වා බලයට පත්වු දේශපාලන නායකයන්, ආණ්ඩු සහ ත්‍රිවිධ හමුදාව අතර බෙදී යා යුතුය."

ජයග්‍රහණයට පියවරු දහසකි. මේ යුද්ධය පැරදුනා නම් පරාජයට පියවරුන් එකම එක් කෙනෙකි. ඒ පියා ජනාධිපති මහින්ද රාජපකෂය. අප කිරිඇල්ල මහතාගෙන් ඉතා කුඩා ඉතා සරළ ප්‍රශ්න දෙකක් අසමු. ඕනෑම ගොනකුට යුද කළ හැකිය යනුවෙන් එතුමා කිවු කතාවේ ගෞරවය එතුමා පමණක් තනිව භුක්ති විඳිනවා ද නැතහොත් 1980 න් පසු රට පාලනය කළ සියලු දෙනා අතරත් බෙදී යනවාද? එසේම සටන් විරාම ගිවිසුම කාලයේ කොටි සංවිධානය විසින් හමුදා බුද්ධි අංශය ඝාතනය කරනු ලැබීමේ වගකීම, ශ්‍රී ලංකාවට යුද අවි ගෙන්වීමේ වගකීම යනාදිය පිළිබඳ වගකීම එතුමා ඇතුළු එ. ජා. ප ය තනියෙන්ම බෙදා ගන්නවාද නැතහොත් එයත් 80 න් පසු බලයට පත්වු සියලු ආණ්ඩු හා ත්‍රිවිධ හමුදාව අතර බෙදී යන්නට සලස්වනවාද? මේ ප්‍රශ්න දෙකට එතුමා දෙන උත්තර අනුව එතුමාගේ ආප්ත වචන යොදා පොතක් අච්චු ගසනවාද නැද්ද යන්න තීරණය කළ හැකිය.

* * * * * *

ශ්‍රී ලංකාව තුළ තවදුරටත් සුළු ජාතීන් නැති බව ජනාධිපතිතුමා විසින් ප්‍රකාශ කරනු ලැබීමත් සමඟම මේ රටේ ජාතිකත්වයට නව මානයක් ලැබිණි. ඒ අනුව සිංහල, දෙමළ, මුස්ලිම්, බර්ගර්, මැලේ යනාදී වශයෙන් භේදයක් නැතිව ශ්‍රී ලාංකික ජාතියක් ලෙස ජීවත්වීමට මේ රටේ ජනයා තුළ තිබු සිහිනය තවත් පුළුල් විය. එහෙත් ඒ සිහිනය සාර්ථක කර ගැනීමට බ්‍රිතාන්‍ය විදේශ ලේකම් ඩේවිඩ් මිලිබෑන්ඩ් වැනි කුහක දේශපාලනඥයන්ද, කොටින්ගෙන් මුදල් ගෙන ජීවත් වු විදේශික බලවේගද ඉඩ නොදෙන බව පෙනේ. මුලින්ම මේ කුහකයෝ අපට ජී. එස්. පී. සහනය ලැබෙනවාට විරුද්ධ වුහ. ඊළඟට යුද්ධයේදී සිවිල් වැසියන්ට හානි වු බව කියමින් ශ්‍රී ලංකාවට විරුද්ධව මානව හිමිකම් කඩවීමේ චෝදනාවක් එක්සත් ජාතීන් වෙත ඉදිරිපත් කිරීමට ඔවුහු කටයුතු කළහ. මේ රුදාවේ සැබෑ හේතුව සිවිල් වැසියන්ට හානි සිදුවීම නොව කොටි නඩය අතුගෑවී යෑම ය. ප්‍රභාකරන් මැරීමට නොහැකි බව ස්ථාපිතයක් බවට පත්ව තිබුණි. එහෙත් ප්‍රභාකරන් පමණක් නොව සුසෙයි ද, පොටිටු අම්මාන්ද, කරිකාලන්ද සියලු කොටි ප්‍රධානීන් ද මරණ ලදී. මෙතැනදී කේ. පී. අත්හරිමු. ඔහු වරෙන්තුකාරයෙකි. ඔහුට මේ ආත්මයේදී එල්. ටී. ටී. ඊ. ය නඟා සිටුවිය නොහැකි ය. ඔහුට යුද භුමියේ අත්දැකීම් ද නැත. ප්‍රභාකරන් කොල්ලකෑ සල්ලි ඔහු වෙනුවෙන් ආයෝජනය කළ කේ. පී. "කොමිස් එකට" ගනුදෙනු කතා කරන තැරුව්කරුවෙකි. කේ. පී. කෙළින් කිරීමේ ජාත්‍යන්තර වෑයමක් අද තිබේ. ශ්‍රී ලංකාවට විරුද්ධව මානව හිමිකම් ප්‍රශ්නයක් ගෙන ඒම සහ කේ. පී. කෙළින් කිරීම අතර සම්බන්ධයක් තිබීමට ද පුළුවන. දැනටමත් ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලනයට අවතීර්ණ වීමට කේ. පී. කැමැත්ත පළකර තිබේ. ත්‍රස්තවාදියාට මොන ප්‍රජාතන්ත්‍රවාදයක්ද? කේ. පී. ට හිමි විය යුත්තේ ප්‍රභාකරන්ට හිමි වු ඉරණමම ය.

ජෝර්: බුෂ් ජනාධිපතිව සිටි කාලයේ දී ඇෆ්ගනිස්තානයට සහ ඉරාකයට කඩාවැදුණු ඇමරිකානු හා බ්‍රිතාන්‍ය සෙබළුන් ඒ රටේ ජනයා සංහාරය කළේ ඉතාම භයානක ලෙස ය. මේ සංහාරවලදී ළමයි ද මිය ගිය හ. මෙයට දශක තුන හතරකට පමණ පෙර වියටිනාමයට කඩාවැදුණු ඇමරිකන් හමුදාව වියටිනාම් වැසියන්ගේ දෑත් බැඳ පිහිවලින් බඩ කපා, එසේ කපන අයුරු ඡායාරුපගත කර වියටිනාමය පුරා බෙදා හැරිය හ. ඒ ස්වදේශික ජනයා මානසික වශයෙන් බිම ඇද දැමීම සඳහාය ය. මෙසේ කළ ඇමරිකාව සහ ඇමරිකාව කළ සෑම තුප්පහි වැඩකටම උපකාර කර ආත්මය පාවාදුන් බ්‍රිතාන්‍යය අද ශ්‍රී ලංකාවට විරුද්ධව පෙරමුණ ගෙන කටයුතු කරති. කවරකුගෙ වුවමනාවටද? කොටින්ට දුන් පොරොන්දු රුකීම පිණිස ය. මේ තුප්පහි රටවල්වලට විරුද්ධව ඒ රටවල පයට පෑගී සිටින රටවල් එක්ව පෙරමුණක් බිහි කළ යුතු ය. ඒ පෙරමුණට උපකාර කිරීමට චීනය, රුසියාව, කියුබාව, ඉන්දියාව වැනි රටවල් ඉදිරිපත් වනු ඇති. ඒ පෙරමුණ ඇරඹීමට හොඳම අවස්ථාව මෙය යි.
(දිවයින_09/05/28)

පසුවදන_යුද්ධ කරන්න ඕන ගොනෙකුට පිළිවනැයි කී මනුස්සයා ඒ ගොන් වැඩේ ගෞරවය බෙදා ගැනීමට එක්වීම පෙන්වන්නේ අද එජාපයේ ඉතිරි වී සිටින ඇට්ටකුණා වූ ඇතැම් දේසපාලුවන්ගේ බංකොලොත්භාවයයි. විලිලැජ්ජා නැතිකමයි. ඒ ගැන අප පුදුම නොවන්නේ මෑත කාලීනව එජාපය හැසිරුණේ විලිපැජ්ජාවක් ඇතිවුන් ලෙස නොවන නිසා ය.

අද උදෑසන අප ලද අලුත් ම පුවත වූයේ යුරෝපා සංගමයේ කොටි හිතවතුන්ගේ මානව හිමිකම් යුද්ධයෙන් ද අපේ රට ජයගත් බව ය. මේ වූ කලී නව යටත්විජිතවාදයට විරුද්ධ සියලු රටවල් ලද ජයෙකි. යුරෝපය විසින් සූරාකෑ යුරෝපය නිසා දුක් විඳි රටවල් එඩිතරව ගත් පියවරෙකි. බලය පරදා යුක්තිය ජය ලැබූ අවස්ථාවෙකි. කොටන්ගේ ජාත්‍යන්තර පිල්ලිය ලද පරාජයෙකි. මේ අවස්ථාවේ අපේ රටේ මිතුරන් සහ සතුරන් හදුනා ගැනීමට කදිම අවස්ථාවක් උදාවී ඇත. දුක සැප දෙකෙහි ම අප අතනෑර හුන් මිතුරු තුමන්ලාට අපි අපේ ප්‍රණාමය පුදමු. සතුරන් දිනාගන්නට පිලියම් යොදමු.

Tuesday, May 26, 2009

විපකෂ නායකතුමනි....

විපකෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා පැවැත්වු ප්‍රවෘත්ති සාකච්ඡාවක් ඊයේ (26 වැනිදා) පුවත්පත්වල පළ විය. එහි ඇති ප්‍රධාන කරුණු මෙසේ ය:

1. එ.ජා.ප.ය සහ රජය අතර පරස්පර මත පවතින බව සැබැවි. එහෙත් ජාතික සමගිය ගොඩනැඟීම සඳහා මේ පාර්ශ්ව දෙකම එකතු විය යුතු ය.

2. සරණාගත කඳවුරුවලට යෑම සඳහා එන්.ජී.ඕ.වලට ඉඩ දිය යුතු ය.

විපකෂ නායකතුමා ඉතා සද්භාවයෙන් කළ ප්‍රකාශ දෙක කෙරෙහි මේ රටෙි ජනයා ගෞරව කළ යුතු ය. තම පකෂයේ සිටින ඇතැම් නරුමයන් කළ පරිදි යුද්ධයට අපහාස කිරීමක් විපකෂ නායකතුමා කළේ නැත. (එම අපහාසය නැවැත්වීමට ද එතුමා කටයුතු කළේ නැත.) මේ කාරණය පිළිබඳ අප දරන අදහස මෙසේ ය. මේ රට ගොඩනැඟීම සඳහා විපකෂය සහ රජය එකතු විය යුතුව තිබුණේ මෙයට බොහෝ කලිනි. යුද්ධයේ බිහිසුණුම අවස්ථාවලදී මේ රජය තනිව සතුරා සමඟ සටන් කරන විට විපකෂයේ ඇතැම් කොටස්වල උත්සාහය වුයේ ජනාධිපති, හමුදාපති සහ ආරකෂක ලේකම් යුද්ධාධිකරණයට දක්කා ගෙන යෑම ය. ඒ සඳහා සියලු පණිවුඩ ගෙන යන ලද්දේ මෙරට ඇති රාජ්‍ය නොවන සංවිධාන කිහිපයක ප්‍රධානීන් විසිනි. ඒවාත් අමතක කරමු. පසුගිය කාලයේදී කොටි සංවිධානයට අවශ්‍ය යුද අවි, මුදල්, ඖෂධ යනාදියෙන් වැඩි හරියක් කොටි කඳවුරු වෙත ප්‍රවාහනය කරන ලද්දේ රාජ්‍ය නොවන සංවිධාන විසිනි. ඒවාත් අමතක කරමු. බ්‍රිතාන්‍යයේ විදේශ ලේකම් ඩේවිඩ් මිලිබෑන්ඩ් ශ්‍රී ලංකාවේ ත්‍රස්තවාදයට අනියමින් උපකාර කෙරෙන පරිදි ලංකාවේ යුද අපරාධ සිදු වී දැයි පරීකෂා කිරීමට යුරෝපා සංගමය කොමිසමක් පත් කළ යුතු බව කීයේ තනි අදහසකට අනුව යැයි ඔබ සිතන්නේද? අප නම් සිතන්නේ එතරම් බලගතු මොළයක් මිලිබෑන්ඩ්ට නැති බවයි. ඔහු පොළඹවන ලද්දේ එන්.ජී. ඕ.කාරයන් විසිනි. ඉදින් හොරකම් කරන බව දැන දැනම හොරාට බඩු බාරදිය නො හැක. අනාථ කඳවුරු සම්බන්ධ ප්‍රශ්න රජය බලා ගත්තාවේ. ඔබතුමාට හැකිනම් මේ රටෙි දියුණුව සඳහා රජය හා එක්වීමට උත්සාහ කරන්න. ඊට වැඩි දෙයක් වෙනුවෙන් ඔබතුමා මහන්සි කළ යුතු නැත.

මේ අතර තවත් කාරණයක් මතක් කරමි. කොටි සංවිධානය ධුලි බවට පත්වීම සහ ප්‍රභාකරන් අළු බවට පත්වීම නිසා පිටරටවල සිටින දෙමළ ජනයා සහ කොටින්ට හිතවත් විදේශික ජනයා බරපතල ලෙස සන්ත්‍රාසයටත් කෝපයටත් පත්ව සිටින බව පෙනේ. යුරෝපයේ රටවල් ගණනාවකත්, ඇමරිකානු මහාද්වීපවලත් ජීවත්වන සිංහල ජනයාට සංවිධානාත්මකව පහර දීමේ වැඩපිළිවෙළක් දැන් දියත් වී ඇත. හරියටම, මෙතෙක් කලක් ශ්‍රී ලංකාවේ තිබු පණ බය ලෝකයේ වෙනත් රටවල සිටින සිංහලයන් වෙත මාරු වී ඇත්තාක් සේ ය. ඒ සඳහා පියවරක් ගැනීමට තරම් හයියක් අපේ තානාපති සේවාවලට නැත. හේතුව ඔවුන්ට ද මර බියේ ජීවත් වීමට සිදුව තිබීම ය. එහෙත් මේ සිංහලයන්ට ආරකෂාව සැපයීම ඒ රටවල ආණ්ඩු සතු යුතුකමකි. ඉන්දියාව, චීනය, රුසියාව වැනි ශ්‍රී ලංකාවට හිතවත් රටවල වෙසෙන ජනයාට පමණක් ආරකෂාව ඇති බව පෙනෙන්නට තිබේ. සෙසු රටවල ආණ්ඩු ප්‍රභාකරන්ගේ මළ මිනියේ පලිය සිංහලයන්ගෙන් ගැනීමට ඒ රටවල වෙසෙන දෙමළ අන්තවාදීන්ට ඉඩ දී ඇති බව පෙනේ. රට වෙනුවෙන් මේ තත්ත්වයට මැදිහත් වීමට විපකෂ නායකතුමාට හැකි ය. ඒ බවක් තවමත් කවුරුවත් එතුමාට මතක් කර දී නැත. ඔන්න අපි දැන් එය මතක් කර දී ඇත්තෙමු. ඉතිරි හරිය එතුමා අත ය.
(දිවයින_09/05/27)
පසුවදන_කොටි ත්‍රස්තවාදය නමැති වල් පැලය පොරවෙන් බිම හෙළිය යුතු විසල් රුකක් වූයේ එජාපයට පිං සිදුවන්නට ය. එකල ආණ්ඩුවේ නොනිල අනුග්‍රහය යටතේ ක්‍රියාත්මක වූ 83 කුප්‍රකට කළු ජූලිය ඒ සඳහා අතිමහත් ලෙස බලපෑවේ ය. වරක් පිරපාහරන් ටයිම්ස් සඟරාවට පැවසු පරිදි 200ට අඩු පිරිසකට සීමා වි තිබූ කොටි සංවිධානය කරා කළු ජූලියට පසු ද්‍රවිඩ තරුණයෝ සහ ආධාර තොග පිටින් ඔහු වටා ගොඩනැඟෙන්නට විය. ජීවිත දහස් ගණනකින් මේ කුරිරු සිද්ධියට වන්දි ගෙවන්නට රටට සිදු විය.

දිවයින කතුවරයා වික්‍රමසිංහ මහතා යුද්ධයට විරුද්ධ මතවාද ප්‍රකාශ නොකළැයි කීව ද තොප්පිගල මහ වනයකැයි කීවේ ඔහු ය. කිලිනොච්චි මැදවච්චිකාරයාට එජාපයේ නියෝජ්‍ය නායකකමක් යෝජනා කළේ ඔහු ය. වික්‍රමසිංහ මහතාගේ වර්තමාන හැසිරීමෙන් අපට පෙනෙන්නේ ඔහු නැවතත් ත්‍රස්තවාදයට රට බිලිදීමට සුදානම් බව ය. එහෙයින් රජය කළ යුත්තේ ඔහුගේ සියලු යෝජනාවල ප්‍රතිපක්ෂය ක්‍රියාවට නැගීම ය. මන්ද මේ සියලු යෝජනා අපේ රටට හතුරු බලවේගවල උවමනාවන් අනුව සෑදුණු ඒවා ය.

මම ප්‍රභාකරන් දැකීමට ගියෙමි. එහෙත් එවිට ඔහු මියගොසින්ය!

කොටි සංවිධානයේ නායකයන්ගේ සහ හිතවතුන්ගේ පවා විශ්වාසය වුයේ එම සංවිධානයේ නායකයා වු ප්‍රභාකරන් දැක ගැනීම ඉතා දුර්ලභ සිදුවීමක් බවයි. දැක ගැනීමට ඉතාම අපහසු වු ලෝකය දැන සිටියත් ලෝකයටම වසන් වී ජීවත් වු කොටි නායකයා දැක ගැනීමේ අවස්ථාව පසුගිය අඟහරුවාදා (19 වැනිදා) උදෑසන අපට උදා විය. නමුත් අප ඔහු දකින විට ඔහු සිටියේ ජීවතුන් අතර නොව මළවුන් අතරය. තමාට අත් වු ඉරණම පිළිබඳව විශ්මයට පත් වු ආකාරයෙන් කොටි නායකයාගේ දෑසත්, මුවත් එම අවස්ථාවේදී විවරව තිබිණි.


එලෙස අපට කොටි නායකයාගේ මළ සිරුර දැක ගැනීමේ අවස්ථාව උදා වුයේ පුදුකුඩිඉරිප්පු, නන්දිකන්ඩාල් කලපුව උතුරු ප්‍රදේශයේදීය. කොටි නායකයාගේ දකුණු ඇසට ඉහළින් වු ප්‍රදේශයට ටී. 56 වර්ගයේ ගිනි අවියකින් එල්ල වු ප්‍රහාර 2 ක් හේතුවෙන් ඔහු මරණයට පත් වී ඇති අතර එම ප්‍රහාරය එල්ල වු ප්‍රදේශයට ඉහළින් වු හිස්කබල විනාශයට පත් වී තිබිණි. එමෙන්ම හිසේ මොළය පිහිටි ප්‍රදේශය සම්පුර්ණයෙන් ම කුහරයක් බවට පත් වී තිබිණි.


කොටි නායකයා කිසිදු වෙස්මාරු කිරීමකට උත්සාහ දරා නොතිබු අතර, මරණයට පත් වු අවස්ථාවේදී සුපුරුදු උඩු

රැවුලින් සැරසී සිටියහ. නමුත් මුහුණේ අනෙකුත් ප්‍රදේශවල රැවුල මරණයට පත් වීමට දිනකට පමණ පෙර කාලය තුළ කපා ඇති බව දකින්නට තිබිණි. එමෙන්ම දෑතේ සහ දෙපයේ ඇඟිලිවල නියපොතු ද මනා සේ කපා තිබුණ අතර, කලපුවේ කඩොලාන ප්‍රදේශයේ රුඳී සිටීම හේතුවෙන් පාදවල යට කොටස සුදුමැලි වී රුළි වැටී තිබිණි. එමෙන්ම කොටි නායකයාට වෙඩිවැදී මරණයට පත්වී තිබු ප්‍රදේශයේ තිබී තවත් කොටි සාමාජිකයන් 45 දෙනකුගේ පමණ සිරුරු හමු වී ඇත. මුහුදු කොටි නායකයා ලෙස හැඳින්වු සුසෙයිගේ සිරුර හමුවී ඇත්තේ ද එම මළ සිරුරු අතර තිබියදී ය.

කොටි නායකයා ඇතුළු පිරිස නන්දිකන්ඩාල් කලපුවේ උතුරු ප්‍රදේශයට ඇතුළු වී ඇත්තේ 18 වැනි සඳුදා පෙ. ව. 2.30 ට පමණ 53 සහ 58 යන බළකායන්ගේ ඉදිරි ආරකෂක වළල්ලට එල්ල කළ ප්‍රහාරයෙන් අනතුරුව විය යුතුය. ඊට පෙර කොටි නායකයා ඇතුළු මරණයට පත් වු ප්‍රධාන පෙළේ කොටි නායකයන් ඇතුළු සියලු සාමාජිකයන් රුඳී සිට ඇත්තේ යුද මුක්ත කලාපය තුළ ය.

පසුගිය සිකුරාදා දිනයෙන් පසුව කොටි ග්ර්‍‍රහණයේ පැවැති ප්‍රදේශය තුළ සිදු වු ප්‍රධානතම සිදුවීම ලෙස සැලකිය හැක්කේ පොක්කනේ ප්‍රදේශයේ පිහිටි මුහුදු තීරයේදී බ්‍රිගේඩියර් ශවේන්ද්‍ර සිල්වාගේ නායකත්වයෙන් යුතු 58 වැනි සේනාංකය සහ බ්‍රිගේඩියර් ප්‍රසන්න සිල්වාගේ නායකත්වයෙන් යුතු 59 වැනි සේනාංකය එකිනෙක හමුවීමයි. මෙම ඓතිහාසික සිදුවීමත් සමඟම මෙරට මුහුදු තීරය කොටි පාලනයෙන් සම්පුර්ණයෙන් ම නිදහස් විය. මෙම ඓතිහාසික යුද ජයග්‍රහණය සඳහා මෙහෙයුම් සිදුකර ඇත්තේ 58 වැනි සේනාංකයට අයත් 11 වැනි ශ්‍රී ලංකා පාබල හමුදාව සහ 59 වැනි සේනාංකයට අයත් 11 වැනි ගැමුණු බල ඇණිය විසිනි.

එම සේනාංක විසින් මුහුදු තීරය සම්පුර්ණයෙන් ම මුදා ගැනීමත් සමගම මුහුදු මාර්ගයෙන් පලා යෑමේ යම් හෝ අදහසක් කොටි නායකයන් තුළ තිබුණා නම් එය ද බිඳ වැටෙන්නට ඇත. එම ඓතිහාසික සිදුවීම 16 වැනි සෙනසුරාදා උදෑසන සිදු වී ඇති අතර එදින රාත්‍රියේදී ද කොටි නායකයන් යුද මුක්ත කලාපයෙන් පලා යෑමට උත්සාහ දරා ඇති බව පැහැදිලි වන්නේ එදින රාතියේදී 59 වැනි සේනාංකයට අයත් ඉදිරි ආරකෂක වළල්ලට පහර දීමට දැරු උත්සාහය හේතුවෙනි. එදින උදෑසන 58 සහ 59 යන සේනාංක වෙල්ලමුල්ලි වෛක්කාල් ප්‍රදේශයේදී හමුවීමත් සමඟම කොටි නායකයන්ට මුහුදු මාර්ගයෙන් පලා යෑමට තිබු යම් හෝ අවස්ථාව අහෝසි වී යෑමත් සමඟම ඔවුන් වෙනත් ප්‍රදේශයක් වෙත පලායෑම සඳහා 16 වැනි සෙනසුරාදා රාත්‍රියේ 59 වැනි සේනාංකයේ ඉදිරි ආරකෂක වළල්ලට පහර දුන් බව විශ්වාස කළ හැක. නමුත් කොටි ත්‍රස්තවාදීන් දැරු එම උත්සාහය අසාර්ථක වීමට එක් ප්‍රධාන හේතුවක් වුයේ එදින රාත්‍රි 8.30 ට පමණ කොටි ත්‍රස්තවාදීන් යම් ප්‍රහාරයක් සඳහා සුදානම් වන බව රේඩාර් තීරයේ දර්ශනය වීම හේතුවෙනි..

කොටි ත්‍රස්තවාදීන්ගේ එම අසාර්ථක උත්සාහයෙන් පැය කිහිපයකට පසුව, එනම් 17 වන ඉරිදා උදෑසන 5.00 ට පමණ වර්ග කි. මී. 800 කට පමණ සීමා වී තිබු යුද මුක්ත කලාපය තුළ සිර වී සිටි සිවිල් වැසියන් මුදා ගැනීමේ මෙහෙයුම මේජර් ජනරාල් කමල් ගුණරත්නගේ නායකත්වයෙන් යුතු 53 වැනි සේනාංකය සහ බ්‍රිගේඩියර් ශවේන්ද්‍ර සිල්වාගේ නායකත්වයෙන් යුතු 58 වැනි සේනාංකය විසින් දියත් කර ඇත. යුද මුක්ත කලාපයේ උතුරු ප්‍රදේශයේ සිට දකුණට ක්‍රියාත්මක වු මෙම මෙහෙයුමත් සමඟම යුද මුක්ත කලාපයට බටහිර දෙසින් ස්ථානගත වී සිටි 59 වැනි සේනාංකය වෙත සිවිල් වැසියන් විශාල වශයෙනුත් මෙහෙයුම දියත් කළ 58 සහ 53 යන සේනාංක ප්‍රදේශ වෙත සැලකිය යුතු ප්‍රමාණයකුත් ජනතාව පලාවිත් ඇත.

යුද මුක්ත කලාපයෙන් සාමාන්‍ය ජනතාව පිට වී යෑමත් සමඟම කොටි නායකයා සමඟ අවසාන වශයෙන් රුඳී සිටි කොටි ත්‍රස්තවාදීන් ද සැලකිය යුතු පිරිසක් පලා ගිය බව බුද්ධි අංශවල තක්සේරුව වී තිබේ. එම පිරිසේ පලා යෑමෙන් පසුව 500 කට ආසන්න කොටි ත්‍රස්තවාදීන් පිරිසක් අවසාන වශයෙන් කොටි නායකයා සමඟ රුඳී සිටින්නට ඇති බව බුද්ධි අංශවල විශ්වාසය වී තිබේ.

මෙලෙස අවසාන වශයෙන් යුද මුක්ත කලාපය තුළ රුඳුණු පිරිසේ මීළඟ පියවර වුයේ පසුදින එනම් 18 වැනි සඳුදා පෙ. ව. 2.30 පමණ 53 වැනි සේනාංකය සහ 58 වැනි සේනාංකයට අයත් ඉදිරි ආරකෂක වළලු වලට පහර දී යළිත් මුදාගත් ප්‍රදේශයට ඇතුළු වීමයි. එදින පෙ. ව. 2.30 ට පමණ ආරම්භ වු සටන් අප එදින උදෑසන 10 ට පමණ එම ප්‍රදේශයට ආසන්න ප්‍රදේශයට සමීප වු අවස්ථාව වන විට ද දරුණු ලෙස පැවතිනි. එම අවස්ථාව වන විට පුදුකුඩිඉරිප්පු සිට මුලතිව් දක්වා වැටී ඇති ඒ. : 35 මාර්ගයට සමාන්තර ඊට උතුරින් ගමන් ගන්නා මාර්ගයේ තිබී කොටි ත්‍රස්තවාදීන් 54 දෙනකුගේ මළ සිරුරු දැක ගත හැකි විය. ඒ අතර ගැහැනු 14 දෙනකුගේ සිරුරු ද විය. ඒ අතර එක් අතක් පෙර කොටස අහිමිව තිබියදීත් සටන් වැදීම සඳහා පැමිණ මරණයට පත් වු කාන්තාවකගේ සිරුර ද විය.

අවසාන වශයෙන් කොටි ත්‍රස්තවාදීන් 53 සහ 58 යන සේනාංකවලට එල්ල කරන ලද ප්‍රහාරවලින් එම ආරකෂක වළල්ලේ ස්ථාන කීපයක් ම සුළු මොහොතකට බිඳ වැටීමෙන් පසුව ප්‍රභාකරන් ඇතුළු ත්‍රස්තවාදීන් මුදාගත් ප්‍රදේශයට ඇතුළු වී ඇත. ප්‍රභාකරන් ඇතුළු පිරිස ඇතුළු වී ඇත්තේ 53 වැනි සේනාංකයට අයත් නන්දිකඩාල් කලපුවේ උතුරු ප්‍රදේශයේ පිහිටි කඩොලාන ප්‍රදේශයට ය.

එදින උදෑසන ඇති වු සටන් වලින් ප්‍රභාකරන්ගේ පුත් චාල්ස් ඇන්තනී, රමෙෂ්, කරිකාලන්, කපිල් අම්මාන්, නඩේෂන්, ඉලංකෝන් (කොටි පොලිසියේ ප්‍රධානියා), පුලිතේවන් ඇතුළු පිරිස මරණයට පත් වී ඇත.

එදින සවස නන්දිකඩාල් කලපුවට උතුරින් ඒ : 35 මාර්ගය ආසන්න ස්ථානයකදී චාල්ස් ඇන්තනි ඇතුළු ත්‍රස්තවාදීන් 67 දෙනකුගේ සිරුරු දැක ගත හැකි විය. එම සිරුරු අතර රත්නම් මාස්ටර්ගේ සිරුර ද විය.කරයාමුල්ලිවයික්කාල් ප්‍රදේශයේදී මරණයට පත් වී ඇති චාල්ස් ඇන්තනිගේ සිරුර සම

ඟ ඔහුගේ විභාග සහතික ඇතුළු විවිධ ලියකියවිලි, මුදල් සහ විවිධ භාණ්ඩ විය.

එම ස්ථානයේ තිබු මුදල් ප්‍රමාණය මිලියන 13 ක් වු අතර ඊට අමතරව එම ස්ථානයේ ටී. : 56 ගිනි අවි 18 ක්, සී. 90 :1 (තර්මො බැරක්) අවි 1, ලකෂ 10 ක් පමණ වු වටිනාකමින් යුත් එෆ්. එම්. සී. අවි 1 ක්, පිස්තෝල 4 ක්, ගුවන් විදුලි පණිවුඩ හුවමාරු යන්ත්‍ර 55, ගෑස් ප්‍රහාරවලින් ආරකෂා වීම සඳහා පළඳින මුහුණු 1, ටී. 56 අවි සඳහා යොදන මැගසින් 23 ක්, එෆ්. එම්. සී. අවි සඳහා යොදන මැගසින් 17, අත් බෝම්බ 28, බැටරි චාජර් 5, සුර්ය කෝෂ 1, සිතියම් 11, වෛද්‍ය නලාවක්, දුරදක්නයක්, මාලිමා 1 ක්, ගුවන් විදුලි යන්ත්‍ර 2 ක්, චීස් ටිං විශාල ප්‍රමාණයක් සහ වියළි ආහාර ද්‍රව්‍ය විශාල ප්‍රමාණයක් ද ඒ අතර විය.

චාල්ස් ඇන්තනී මරණයට පත් වී තිබුණේ දකුණු ඇස සහ එම ප්‍රදේශයට එල්ල වු වෙඩි ප්‍රහාරයක් හේතුවෙනි. එම ප්‍රහාරය හේතුවෙන් එම ඇස සහ එම ප්‍රදේශය ඇතුළට නෙරා ගොස් තිබිණි. ඔහු උඩු රුවුල සමඟ නිකට ප්‍රදේශය දක්වා රුවුල වවා තිබුණ අතර, අන් ප්‍රදේශවල රුවුල දින දෙක තුනකින් පමණ කපා නොතිබිණි. චාල්ස් ඇන්තනි ප්‍රහාරයට පත් වන අවස්ථාවේ කළු කලිසමකින් සහ සාක්කු දෙකකින් යුත් තද නිල් පාට කමිසයකින් සැරසී සිට ඇත.

අප එම මළසිරුරු පැවති ප්‍රදේශයේ රුඳී සිටින විටත්, පසුදින ප්‍රභාකරන් ප්‍රහාරයට පත්වු ප්‍රදේශය තුළ සෝදිසි මෙහෙයුම් කටයුතුවල යෙදුණ කමාන්ඩෝ බලසේනාවේ සෙබළුන් සහ කොටි ත්‍රස්තවාදීන් අතර වරින් වර පැවති වෙඩි හුවමාරුවීම් ශ්‍රවණය කිරීමට හැකිවිය. එම මෙහෙයුම් සඳහා කමාන්ඩෝ බලසේනාව යොදවා තිබුණේද 53 වන සේනාංකාධිපතිවරයා විසිනි. එදින සවස් කාලය වන විටත්, සටන් පැවති ප්‍රදේශවලදී මරණයට පත්වු කොටි ත්‍රස්තවාදීන් විශාල ප්‍රමාණයකගේ සිරුරු ඒ 35 මාර්ගය සමීපයට ගෙන එන අයුරු දැකගත හැකි විය.

ඓතිහාසික දිනය උදාවුයේ එදිනට පසුදිනය. දශක 3 ක පමණ කාලයක් දහස් සංඛ්‍යාත ජනතාවගේ මාරයා ලෙසත් මිල කළ නොහැකි ප්‍රමාණයක දේපළ විනාශ කළ පුද්ගලයා ලෙසත් සඳහන් කළ හැකි කොටි නායක ප්‍රභාකරන්ගේ සිරුර අපට දැක ගැනීමට හැකි වුයේ 19 වන අඟහරුවාදා උදෑසන 11.00 ට පමණය. අප එම ස්ථානයට ළඟාවන විට මාධ්‍යවේදීන්ට අමතරව දහස් සංඛ්‍යාත සොල්දාදුවන් සහ නිලධාරීන් පිරිසක් ප්‍රභාකරන්ගේ සිරුර දැක බලා ගැනීම සඳහා එම ස්ථානය වෙත සමීප වෙමින් සිටියහ. ඒ අතර ලෙප්ටිනන් කර්නල් රෝහිත අළුවිහාරේගේ නායකත්වයෙන් යුත් 4 වන විජයබාහු පාබල බල ඇණියට අයත් සෙබළුන් එම බලඇණියට අයත් ධජය රුගෙන එම භුමිය පුරා ජයඝෝෂා නඟමින් සැරිසරන අයුරු දැකගත හැකි විය. එම සෙබළුන් එලෙස උද්දාමයට පත්වී සිටියේ තම සේනාංකය විසින් ප්‍රභාකරන්ගේ සිරුර අත්පත් කර ගැනීමේ ප්‍රීතිය නිමිත්තෙනි. එම බල ඇණිය අයත් වන්නේ මේජර් ජනරාල් කමල් ගුණරත්නගේ නායකත්වයෙන් යුතු 53 වන සේනාංකය යටතේ සටන් වදින කර්නල් රවිප්‍රියගේ නායකත්වයෙන් යුතු 8 වන කාර්ය සාධක බළකායේ 681 වන බලසේනාවටය. එදින උදෑසන නන්දිකඩාල් කලපුවේ උතුරු ප්‍රදේශයේ මෙහෙයුම් සිදු කර ඇත්තේ එම සේනාංකය විසිනි.

පළමුව ප්‍රභාකරන්ගේ සිරුර තබා තිබුණේ නන්දිකඩාල් කලපුවේ නියරට ඉතා ආසන්න ස්ථානයකය. කොටි නායකයාගේ මරණය පිළිබඳව 58 වන සේනාංකාධිපති බ්‍රිගේඩියර් ශවේන්ද්‍ර සිල්වා සහ 53 වන සේනාංකාධිපති මේජර් ජනරාල් කමල් ගුණරත්න මාධ්‍ය වෙත අදහස් දක්වා සිටියේ එම ස්ථානයේදීය. පසුව මළසිරුර එම ස්ථානයට මඳක් ඈතින් වු ඒ:35 මාර්ගයට උතුරින් වු බංකරයක් තුළ තබන ලදී.

ඒ එම ස්ථානයට ප්‍රභාකරන්ගේ අවසානය දැක බලාගැනීම සඳහා පැමිණි නිලධාරීන්ගේ සහ සෙබළුන්ගේ පහසුව සඳහාය. පසුව එම ස්ථානයෙන්ද ඉවත් කළ මළසිරුර එම ස්ථානයට මදක් ඒ:35 මාර්ගයේ මුලතිව් දෙසට නන්දිකඩාල් කලපුව සීමාවේදී සවස් කාලයේදී දැඩි ආරක්ෂක විධිවිධාන මැද එම ස්ථානයට පැමිණි කරුණා අම්මාන්ට සහ දයා මාස්ටර්ට මළසිරුර ප්‍රදර්ශනය කර ඇත. ඔවුන් දෙදෙනා විසින්ද මරණයට පත්වී සිටින පුද්ගලයා කොටි නායක ප්‍රභාකරන් බව තහවුරු කර ඇත. ඉන්පසුව ප්‍රභාකරන්ගේ මළසිරුරට සිදු වුයේ කුමක්ද යන්න බොහෝ දෙනෙකුට ප්‍රශ්නයක් වී තිබු අතර පසුගිය බ්‍රහස්පතින්දා සවස හමුදා මාධ්‍ය ප්‍රකාශක බ්‍රිගේඩියර් උදය නානායක්කාර මහතා ප්‍රකාශ කොට තිබුණේ ප්‍රභාකරන් ඇතුළු කොටි නායකයන්ගේ මළසිරුරු පුළුස්සා දැමු බවයි.

කොටි නායක ප්‍රභාකරන් ඇතුළු ප්‍රධාන පෙළේ කොටි නායකයන් සියලු දෙනාම මරණයට පත්වීමත්, කොටි පාලනය යටතේ සම්පුර්ණ භුමියම ආරක්ෂක හමුදාවන් විසින් මුදාගැනීමත් නිසා මේ මොහොත වන විට යුද්ධය අවසන් වී ඇති බව සඳහන් කළහ.

ඒ බව නිල වශයෙන් සංකේතවත් කිරීමේ සම්ප්‍රදයානුකුල උළෙලක් පසුගිය බදාදා පුදුකුඩිඉරිප්පු ප්‍රදේශයට අයත් වෙල්ලාමුල්ලිවයික්කාල් ප්‍රදේශයේ දී පවත්වන ලදී. යුද හමුදාව වෙනුවෙන් පැවති එම සම්ප්‍රදාායානුකුල උළෙල පැවැත්වීම සඳහා එම ස්ථානය තෝරාගෙන තිබුණි. කොටි සංවිධානය සමග පැවති අවසාන සටන එම භුමියේ දී සිදුවීමත්, කොටි ත්‍රස්තවාදීන් විසින් පැහැරගත් ෆාරා 3 නම්වු ජෝර්දාන් නැව එම මුහුදු තීරයේ තිබීමත් නිසාය.

වන්නි මෙහෙයුමට සහභාගි වු සියලුම සේනාංකවලට සහ බල සේනාවන්ට අයත් ධජ පතාකවලින් සහ ජාතික කොඩියෙන් ජය භුමිය සරසා තිබුණු අතර "සිංහබාහු පරපුරේ සිංහලයකු නම්, සිංහල ජය ගීත හඬට සිංහල කොඩි වැල් ලෙළදෙන සිංහල දෙරණේ" යන ගීත ඇතුළු දේශප්‍රේමී ගීත එම භුමියේ ප්‍රචාරය විය.

එම අවස්ථාවට ප්‍රධාන ආරාධිතයා ලෙස පැමිණි වන්නි ආඥාපති මේජර් ජනරාල් ජගත් ජයසුරිය මහතා 58 වන සේනාංකාධිපති බ්‍රිගේඩියර් ශ්වේන්ද්‍ර සිල්වා විසින් පිළිගෙන උත්සව සභාව වෙත කැඳවාගෙන එන ලදී.

පළමුව සටනේදී දිවි දුන් විරුවන් සැමරීම සඳහා විනාඩියක නිශ්ශබ්ද්දතාවයක් ආරක්ෂා කළ අතර පසුව වන්නි මෙහෙයුමට සම්බන්ධ සියලුම සේනාංකාධිපතිවරුන් ඇතුළු ප්‍රධානීන් සමුහ ඡායාරුපයකට පෙනී සිටියහ. පසුව මෙරට යුද හමුදාවේ අවි බලය ප්‍රදර්ශනය කිරීම සඳහා මල්ටි බැරල් අවි දෙකක් ඇතුළුව යුද ටැංකිවලින් ප්‍රහාරයක් එල්ල කළහ. පසුව වන්නි ආඥාපතිවරයා සභාව ඇමතීමෙන් පසුව ලෝක යුද චාරිත්‍ර අනුව යමින් යුද්ධය අවසන් බව සංකේතවත් කිරීම සඳහා යුද ටැංකියකින් අවසාන වෙඩි ප්‍රහාරය එල්ල කළහ.

මින් ඉදිරියට කොටි ත්‍රස්තවාදීන්ට ප්‍රහාර එල්ල කිරීම සඳහා යුද ටැංකි, මල්ටි බැරල්, කාලතුවක්කු වැනි අවි අවශ්‍ය වන්නේ නැත. එබැවින් යුද්ධය අවසන් වු බව සඳහන් කළ හැක. යුද්ධය අවසන් වී ඇති බැවින් තවදුරටත් යුද පෙරමුණු පවතින්නේද නැත. එබැවින් මෙම ලිපිය යුද පෙරමුණ පිළිබඳව ලියන අවසන් ලිපිය බවද සඳහන් කළ යුතුය. මෙතෙක් කල් යුද පෙරමුණ ලිපිය ලිවීම සඳහා උදව් උපකාර කළ සියලු දෙනාටම ස්තුති කිරීමටද අප මෙය අවස්ථාව කරගනිමු. නමුත් යුද්ධය අවසන් වුවත් ත්‍රස්තවාදය අවසන් වු බව සඳහන් කිරීමට අප ඉක්මන් නොවෙමු.

එරික් ගාමිණී ජිනප්‍රිය
(ඉරිදා දිවයින_09/05/24)
පසුවදන_පිරපාහරන් මිය ගියායැයි සිතන්නට අදිමදි කළ පිරිසක් ද අප අතර විය. ඇතැම් මුග්ධයෝ පිරපාහරන් එළාරට සම කළහ. එළාර රජුට ඊට වඩා නින්දාවක් කළ හැකි දැයි ඉතිහාසය කියවූ අයගේ සිතට නැඟිණි. කොටි මුට්ටි කාසි ව්‍යාපාරයේ සිංහල නාමධාරි නියෝජිත ත්‍රිවිල් වාමාංශික පෙරමුණේ නායකයා මේ ත්‍රස්තයා රාවනාට සමකර තිබිණි. සීමාවෙන් පිට යයි beyong frame නම් කොටි අඩවිය වමාරන්නේ ඔහුගේ ඇම්බැට්ටයෙකි. අප හොඳින් මතක තබාගත යුත්තේ කොටින්ගේ මිලිටරි බලය පමණක් මුලිනුපුටා දැමූ බව ය. කොටි ජඩමාධ්‍යවේදීන් සහ වාම වූ ද නාමික වූ ද දේශපාලන පක්ෂ අප අතර තවමත් නිරුපද්‍රිත බව ය.

Thursday, May 21, 2009

බෑන් කී මුන් මහතාගේ අවධානය පිණිසයි!

එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහ
ලේකම් බෑන් කී මුන් මහතාණනි, අපි
ඔබ ඉමහත් ආදරයෙන්, සාදරයෙන්,
ගෞරවයෙන් ස්වෛරී ශ්‍රී ලංකාද්වීපය වෙත පිළිගනිමු!

දශක තුනකට ආසන්න කාලයක් ශ්‍රී ලංකා මෑණියන්ට දස වධ දුන් නරුම මිල්චේඡ මස් වැද්දකු වු වේලුපිල්ලේ ප්‍රභාකරන් ඇතුළු තුච්ඡ කොටි රැළ (මෙය තිරිසන් කොටියාට කරන අපහාසයක් නොවේවා) වනසා දමා මේ රන් දෙරණේ උපන් සියලු ජාතීන්ට සැනසිල්ල උදා කිරීමට දෙදහස් පන්සිය වසක ප්‍රෞඪ ඉතිහාසයක් ඇති සිංහල ද්වීපයේ අභීත හෙළ විරුවන්ගේ මග ගත් අපේ වීරෝදාර රණවිරුවන්ගේ අභිමානය සියැසින් දැක ගන්නැයි අපි ඔබට මුලින්ම ආරාධනා කරමු. ඒ අතරම මේ සුන්දර දිවයිනේ ඉමක් කොණක් නැතිව නිදහසේ සැරිසරා පාරාදීසයට නරුම එල්.ටී.ටී.ඊ. ත්‍රස්තවාදීන් කළ වින දැකගන්නැයි ද ඉල්ලා සිටිමු.

ඔබගේ සංචාරයේ අරමුණ යුද්ධයෙන් අවතැන්වු පිරිස් වෙසෙන කඳවුරු හා යුද්ධය පැවැති ප්‍රදේශය සියැසින් දැකබලාගෙන එම ස්ථාන පිළිබඳ පැහැදිලි අවබෝධයක් ලබාගැනීම බව ඔබ පෙරේදා (20 වැනිදා) පවසා තිබිණි. එමෙන්ම යුද්ධයෙන් විනාශ වු ප්‍රදේශ යළි ගෙඩනැගීමට අවශ්‍ය ආධාර උපකාර ලබාදීමත් එම ක්‍රියාවලිය ඉක්මන් කීරීමත් ඔබේ දෙදින ශ්‍රී ලංකා සංචාරයේ බලාපොරොත්තුවක් බව ද අපි දනිමු.

අපේ මේ උත්සාහය ඔබ විසින් ඔබ සංවිධානය වෙනුවෙන් එවන මානුෂීය ආධාර හා ඒවා බෙදාහැරීමට අවශ්‍ය මුල්‍යමය සම්පත් ලංකාවේදී මෙහෙයවන ආකාරය හා ඒවා කරවන පුද්ගලයන් ගැනද ඔබගේ විශේෂ අවධානය යොමු කරවීමට අවශ්‍ය පසුබිම සකසා දීමය.

අපට දැනගන්නට ලැබෙන පරිදි මේ වන විටත් යුනිසෙෆ් (ඇතුළු එක්සත් ජාතීන්ගේ නියෝජිතායතනවලට අයත් ගබඩාවල සැලකියයුතු ප්‍රමාණයක් ආහාර ද්‍රව්‍ය, ඇඳුම්, පැළඳුම් හා අවතැන්වුවන් සඳහා අවශ්‍ය වෙනත් උපකරණ ගබඩා කර ඇතත් අවතැන්වු ජනතාවට එම ආධාර ද්‍රව්‍ය බෙදාදීමේ ක්‍රියාවලිය යුනිසෙෆ් නියෝජිතයන් කීප දෙනකුගේ වුවමනාවට හිතාමතා ප්‍රමාද කිරීමේ වෑයමක් ඇත. යුනිසෙෆ් කොළඹ කාර්යාලයේ නියෝජිතයකු වන එඩුවාඩ් ගේ (ඇතුළු පිරිස ශ්‍රී ලංකාවේ යුනිසෙෆ් නිත්‍ය නියෝජිත පිලිප් ඩුඑමෙල්ගේ උපදෙස් පරිදි මේ නීති විරෝධී ක්‍රියාව පිටුපස සිටින බව ඔබ නොදන්නවා විය හැක. එපමණක් නොව පිලිප් ඩුඑමෙල් නමැත්තා ශ්‍රී ලංකාවේ සේවයට පැමිණි මුල් දිනවලම ශ්‍රී ලංකා රජයේ කිසිදු අවසරයක් නැතිව එල්.ටී.ටී.ඊ. සංවිධානයේ නායකයන් හමුවී ජරමරයක් කළ බවද ඔබ නොදන්නවා යැයි අපි හිතමු. පිලිප්ට උදව් දෙන එඩුවාඩ් ගෙ යුනිසෙෆ් කොළඹ කාර්යාලයට පැමිණියේ ඔහුගේ බිරිය වන මාරිකා හොෆ්මිෂර් වැඩට ඇරුලවීමටය. ඒත් අද ඔහු යුනිසෙෆ් හි ප්‍රධානියකු වී සේවා කාලයත් ඉක්මවමින් ශ්‍රී ලංකාවට වී සිටීම පිළිබඳ ඔබ දැනුවත් නැතිවන්නට පිළිවන.

මහ ලේකම්තුමණි, ශ්‍රී ලංකාවේ ජාතික ආරක්ෂාව සම්බන්ධයෙක් සියලු වගකීම් බලතල ඇත්තේ ලක් රජය වෙතය. ලක් රජය ඒ වගකීම නිසිලෙස ඉටු කරලීමේ ප්‍රතිඵලයක් ලෙසය ඔබ ශ්‍රී ලංකාවේ සංචාරයට පැමිණියේ. එහෙත් එක්සත් ජාතීන්ගේ සංවර්ධන අරමුදලේ (ශ්‍රී ලංකා මාධ්‍ය ප්‍රකාශක ගෝර්ඩන් වයිස්ට (මේ රටේ ආරක්ෂාව සම්බන්ධයෙන් විවිධ ප්‍රකාශ නිකුත් කිරීමට ඇති අයිතිය කුමක්දැයි කරුණාකර සොයා බලන්න. එය ඔහුගේ රාජකාරියට අයත් කාර්යයක් දැයි දැනගැනීම ශ්‍රී ලාංකිකයන් වන අපගේ අයිතියකි. දැනගන්නට ලැබෙන පරිදි නම් ඔහු මේ රටට පැමිණියේ යුනිසෙෆ් සංවිධානයේ වීසා බලපත්‍රයකිනි. ඒත් දැන් ඔහු ඹභෘඡ වෙත මාරුවී සිටී. ඒ ගැන නම් සොයා බැලීමට ඔබට බලයක් ඇත. ශ්‍රී ලංකා රජයේ වීසා ප්‍රතිපත්තිය අනුව එක්සත් ජාතීන්ගේ සංවිධානයට අයත් ආයතනවල සේවය කරන බොහෝ විදේශිකයන් මේ වනවිට ශ්‍රී ලංකාවෙන් පිටව යා යුතුය. එහෙත් ඒ නීතියට අවනත නොවන්නෝ කාගේ බලපුළුවන්කාරකමක් පෙන්වනවාද යන්න සොයා බැලීම ඔබගේ වගකීමකි.

මහා ලේකම්තුමනි, මේ ඔබගේ සංවිධානයේ නියෝජිතයන් දැන් සිදුකරන දේය. නමුත් ඔබගේ ධුර කාලය මෙන්ම ඊට පෙර කාලයේ පටන් ශ්‍රී ලංකාවේ සේවය කළ එක්සත් ජාතීන්ගේ සංවිධානයට අයත් ආයතනවල සේවකයෝ කළ කී දේ දැනගන්නට ඔබ අකමැති නොවෙතැයි අපි සිතමු.

2006 වර්ෂයේදී යුනිසෙෆ් සංවිධානයට අයත් සීදුව ගබඩා සංකීර්ණයේ තිබු ඩොලර් ලක්ෂයක් පමණ වටිනා මානුෂීය ආධාර තොගයක් අතුරුදන්වී ඇතත් මේ වන තුරුත් ඒ පිළිබඳ කිසිදු පරීක්ෂණයක් පවත්වා තොරතුරු සොයා ගැනීමට කටයුතු කර නැත. මේ ආධාර මේ රටේ උදව් උපකාර අවශ්‍ය කුඩා දරු දැරියන්ගේ ප්‍රයෝජනය සඳහා තිබු ඒවාය. නමුත් මේ අතුරුදන් වීමට වගකිවයුතු මෙරට සේවය කළ යුනිසෙෆ් නියෝජිතවරිය වන ජෙනිෆර් ටේලර් (අද ඉහළ තනතුරක් දරමින් යුනිසෙෆ් සංවිධානයේ සෙනෙගාල් ශාඛාවේ සේවය කරන්නීය. ශ්‍රී ලංකා රජය විසින් ටේලර් නෝනා පිටුවහල් කළේ සැකකටයුතු යුද ආහාර සලාක තොගයක් ප්‍රංශ හමුදාවට භාණ්ඩ සපයන සමාගමකින් ශ්‍රී ලංකාවට ගෙන්වීමට ක්‍රියා කිරීම නිසා බව ඔබ දන්නවාද? ඇය සමග මේ අකටයුතුකම්වලට දායක වු මාර්ක් ඔකිංගෝ (යුනිසෙෆ් හි සුඩාන ශාඛාවේ සේවය කරයි. ඔවුන් පමණක් නොව යුනිසෙෆ් සංවිධානයෙන් වැටුප් ලබමින් කිලිනොච්චියේ යුනිසෙෆ් ප්‍රධානීව සිටි පෙනී බෲන් ("පෙනී අම්මා" නමැත්තිය ද ශ්‍රී ලංකාවෙන් පිටුවහල් කළ ද ඇය ද යුනිසෙෆ් සුඩාන ශාඛාවේ සේවයට යවා ඇත. එක්සත් ජාතීන්ගේ සංවිධානය යටතේ සේවය කරන කිසිදු සේවකයකුට රටකට හෝ පකෂයකට හෝ පුද්ගලයකුට පකෂපාතකම් පෑමට ඉඩක් නැත. එහෙත් එම නීතිය ද උල්ලංඝණය කරමින් ශ්‍රී ලංකා රජයට විරුද්ධව කොළඹ කොටුව දුම්රියපළ ඉදිරිපිට පැවති උද්ඝෝෂණයකට සම්බන්ධ වු ලාරා ස්කොටි (නමැත්තිය යුනිසෙෆ් මුලස්ථානයට උසස්වීමක් ලැබ ගියාය. ලෝක සාමය වෙනුවෙන් කැප වු ඔබ වැනි සංවිධානයක කටයුතු කරන මෙබඳු නිලධාරීන් සම්බන්ධව ගනු ලබන්නේ මෙබඳු පියවර නම් එය ඔබ සංවිධානය පිළිබඳ වන විශ්වාසය පළුදු වීමට හේතුවක් නොවන්නේ දැයි අපි විමසමු.

මුන් මහතාණනි ශ්‍රී ලංකාවේ යුද්ධය පැවති ප්‍රදේශවල සංචාරය කිරීමට බලාපොරොත්තු වන ඔබගෙන් කළ යුතු විශේෂ ඉල්ලීමක් ඇත. 2002 වර්ෂයේදී යුනිසෙෆ් සංවිධානය විසින් එල්.ටී.ටී.ඊ. සංවිධානයට අනුබද්ධිත ඔසෘධ හෙවත් දෙමළ පුනරුත්ථාපන සංවිධානය වෙත ඇමෙරිකානු ඩොලර් මිලියනයක් ලබාදුණි. ඒ අන් කිසිවක් සඳහා නොව ළමා සොල්දාදුවන් පුනරුත්ථාපනය සඳහා පුනරුත්ථාපන මධ්‍යස්ථානයක් (කරුණාකර ඔබ උතුරු ප්‍රදේශයේ සංචාරය කරන විට එබඳු මධ්‍යස්ථානයක් හෝ එහි සුන්බුන් හෝ අඩුම තරමින් මුල්ගලක් හෝ තිබේදැයි සොයා බලන්න කාරුණික වන්න.

මහ ලේකම්තුමනි, ශ්‍රී ලංකාවේ සිටින එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සේවකයන්ගේ වීසා පිළිබඳ දැන ගැනීමට අවශ්‍ය නම් ඔබේ කාර්ය මණ්ඩල ප්‍රධානී විජය නම්බියාර්ගෙන් නම් අහන්න එපා යැයි ඔබට කියන්නට අපට සිදුවෙයි. හේතුව පසුගියදා ඔබගේ විශේෂ නියෝජිතයකු ලෙස ශ්‍රී ලංකාවට පැමිණි නම්බියාර් කටුනායක ගුවන්තොටුපළට ගොඩබට සැණින් ගුවන් තොටුපළේ වැසිකිළියට දිවගොස් හදිසි දුරකථන ඇමතුමක් ලබාගෙන ඇත. ඒ දුරකථන ඇමැතුම ගත්තේ දැනට මැලේසියාවේ හෝ තායිලන්තයේ සැඟවී සිටින කුමාරන් පද්මනාදන් නොහොත් කේ.පී. නමැති කොටි නායකයාටය. ප්‍රභාකරන්ට යුද අවි සැපයුවේ කේ. පී. විසිනි. ප්‍රභාකරන් ඇතුළු කොටි නඩය යුද හමුදාවට කොටු වී සිටින බවත් ඔවුන් බේරා ගැනීමට කුමක් හෝ කරන ලෙසත් කේ.පී. විසින් ඔබගේ විශේෂ නියෝජිතයා වු නම්බියාර්ගෙන් ඉල්ලීමක් කර තිබිණි. නම්බියාර් ඔබ සංවිධානයේ ඉහළ පෙළ තනතුරක් දරන්නකු වුව ද ඔහු කොටින්ට අවි සපයන ප්‍රධාන අවි සැපයුම්කරුවකු සමඟ සබඳතා පවත්වන්නේ නම් ඔහු ද ත්‍රස්තවාදියකු බව අප අමුතවෙන් පැහැදිලි කළ යුතු නැත. කොයි තරම් බලවත් ත්‍රස්ත සංවිධානයක් වුවද අද කොටි සංවිධානයට අත්වී තිබෙන ඉරණම නිසා දේශීය මෙන්ම විදේශීයවද ක්‍රියාත්මක වන කොටි හිතවාදී බලවේග නොසන්සුන් වී ඇති බව පෙනේ. එබඳු තත්ත්වයක් මත නම්බියාර් වැනි පුද්ගලයින් එක්සත් ජාතීන්ගේ සංවිධානය වැනි සංවිධානයක කටයුතු කිරීම එල්.ටී.ටී.ඊ. ය වැනි ත්‍රස්තවාදී සංවිධානයක් කුමන හෝ වේශයකින් යළි ගොඩනැඟීමට පිටුබලයක් නොවේ යැයි කිව නොහැක්කේ කාටද? එහෙයින් එල්.ටී.ටී.ඊ. ත්‍රස්තවාදය මුලිනුපුටා දැමීම පිළිබඳ ශ්‍රී ලංකා රජයට ස්තුති කළ ඔබට නම්බියාර් වැනි පුද්ගලයින් සම්බන්ධයෙන් ගතයුතු පියවර අප පැහැදිලි කළ යුතු නැත.

මහා ලේකම්තුමනි, අවසාන වශයෙන් මේ කාරණා කීපය ද අවධාරණය කළ යුතුය. සුනාමි ව්‍යවසනයෙන් පසු විදේශික උපදේශකයන් බුරුතු පිටින් ශ්‍රී ලංකාවට ගෙන්වුවා සේ ඔබ සංවිධානය විසින් මෙවරද ක්‍රියා කිරීමට ඉඩ තිබේ. එහෙත් එසේ ගෙන්වුවනු ලබන උපදේශකයන්ට වැටුප් ගෙවීමට වැයවන්නේද අපේ රට ගොඩනැංවීමට ඔබ ලබාදෙන මුදල්ය. එහෙයින් එබඳු ක්‍රියා පිළිවෙතකට නොයා උතුර නැගෙනහිර ප්‍රදේශවල ශ්‍රී ලාංකිකයන්ට රුකියා අවස්ථා සැලසෙන සේ ඔබේ ආධාර ලැබෙන්නට සැලැස්වීම යෙහෙකි.

තවද ඔබ නොදැනුවත්ව වුව ද යුනිසෙෆ් හි කොටි හිතවාදී ක්‍රියාවලියේ සැලසුම ශ්‍රී ලංකා හමුදාවන්ගේ යුද ජයග්‍රහණ සමග අතුගෑවී ගියේය. දැන් ඔවුන් ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක සියලු එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ආයතන හා එක්වී .ඊ. සැලසුම ක්‍රියාවට නැංවීමට කටයුතු කරනු ඇත. ඒ මන්ද ඔබ ආයතනයේ සේවකයන්ට ඩොලර් දහස් ගණනින් වැටුප් ලබමින් සැප ගන්නට මෙරටේ සිවිල් යුද්ධය සුරපුරයක් වු හෙයිනි. ශ්‍රී ලංකාවට එන මේ විදේශීය සේවකයන් අනියමින් කොටි සංවිධානයට උදව් උපකාර කළේ ද ඒ හේතුවෙන් බව ඔබට දැන් වැටහෙනු ඇත.

එහෙයින් මේ සුන්දර දිවයින ඩොලර්වලට කෑදර බඩගෝස්තරවාදීන්ට නොව මෙ රටේ වෙසෙන සිංහල, දෙමළ, මුස්ලිම් ඇතුළු සියලු ජන කොටස්වලට සුරපුරයක් කිරීමට වගකිවයුතු දායකත්වයක් ලබාදිය හැක්කේ ඔබට බව අපි අවධාරණය කරමු.
(දිවයින_09/05/22)
පසුවදන_මේ ලිපිය, අපට වහා අතීතය අමතක වන නිසාත් සමහරු ඒ අතීතය අමතක කිරීමට කැමති නිසාත් ඊට එරෙහිවනු පිණිස උපුටා ගතිමි. මේ පැහැදිළි කිරීම කළේ වරක් මගෙන් කෙනෙකු ඇසූ පරිදි බෑන් කී මූන්ට සිංහලෙන් ලිපි ලියා කුමටදැයි ඇසිය හැකි අය තවත් සිටිය හැකි හෙයිනි. එක්සත් ජාතීන් ඇතුලු බොහෝ දෙනා අපට එරෙහිව ත්‍රස්තවාදය සමග එකට සිටගත් ආකාරය මේ ලිපියෙන් පැහැදිළි වෙයි. ඇතැම් විට ඒ සංවිධානයේ මතය නොව ඒ ඒ පුද්ගල මත යයි කෙනෙකු අපට කිව හැකි ය. සිය පුද්ගලික මතය අනුව වැඩ කරන්න යනවුන් අදාළ ආයතනයේ චිරස්ථිතිය පිණිස වහාම ඒ ආයතනවලින් පන්නා දැමිය යුතු බැව් එවිට අපි කියමු.

Wednesday, May 20, 2009

ප්‍රභාකරන්ගේ මරණය හා ත්‍රස්තවාදයේ මරණය

එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ආරකෂක මණ්ඩලයට ගතු කියා වේළුපිල්ලේ ප්‍රභාකරන් හා ඔහුගේ කැලෑ බෑන්ඩ් එක ගලවා දීමට වෑයම් කළ මිලිබෑන්ඩ් සුදු මහත්තයා ප්‍රභාකරන් මියගිය බව පිළිගෙන ඇතැයි ඔහුගේ නිහඬතාවයෙන් අප තේරුම් ගත යුතුය. එහෙත් එදා ප්‍රභාකරන් කර තබාගෙන සිටි අයගෙන් සමහරක් අද ඔහුගේ මළ සිරුර ද කරට ගෙන සිටින බව නම් අපට පැහැදිලිවම පෙනේ.

හමුදා ප්‍රහාරයකින් වේළුපිල්ලේ ප්‍රභාකරන් මියගිය බව හමුදාපති ජෙනරාල් සරත් ෆොන්සේකා ප්‍රකාශ කර තිබේ. එසේම නන්දිකඩාල් කලපුවෙන් සොයාගත් බව සඳහන් සිරුර නියත වශයෙන්ම වේළුපිල්ලේ ප්‍රභාකරන්ගේම බව කලකට පෙර ඔහුගේ සමීප සගයන්ව සිටි මෙම රජයේ ඇමැතිවරයකු වන කරුණා අම්මාන් මෙන්ම එල්. ටී. ටී. ඊ. සංවිධානයේ මාධ්‍ය ප්‍රකාශකයකුව සිටි දයා මාස්ටර් ද තහවුරු කර තිබේ.

ප්‍රභාකරන් ඇතුළු ඔහුගේ ජන ඝාතක නඩයම හමුදා ප්‍රහාරවලින් මිය ගොස් ඇති බව මේ රටේ බහුතර ජනතාවගේ විශ්වාසය හා පිළිගැනීමයි. අපට ද ඒ පිළිබඳ කිසිදු සැකයක් නැත. එහෙත් ප්‍රභාකරන් මියගොස් ඇති බව තහවුරු වුවද හදවතින් එය පිළිගැනීමට අකැමැති සුළු පිරිසක් හෝ සිටින බව ද පෙනේ.

තිස් වසරක් මුළුල්ලේ මේ රට අඳුරු අගාධයකට තල්ලු කළ ෆැසිස්ටිවාදී නායකයාත් ඔහුගේ ප්‍රචණ්ඩත්වයත් මුලිනුපුටා දැමීමට තරම් අධිෂ්ඨානශීලී හා ක්‍රියාශීලී වීරෝදාර හමුදාවක් අපට සිටි බව දැන් ලොවම පිළිගන්නා සත්‍යයකි. ජනාධිපති මහින්ද රාජපකෂ මහතා ඒ ඓතිහාසික විජයග්‍රහණය මේ රටේ ජනතාවගේ උත්තරීතර ආයතනය වන පාර්ලිමේන්තුවේ සිට රටට පමණක් නොව ලොවටම දැනුම් දුන්නේ මොනතරම් අභිමානයකින්ද?

අපේ සංස්කෘතික උරුමය මෙන්ම ප්‍රෞඪ සංස්කෘතියේ ද එක් කේන්ද්‍රස්ථානයක් වු ශ්‍රී ජයවර්ධන පුරයෙන් අහසට නැඟුණු ජනාධිපතිවරයාගේ ඒ වදන් දෙවන නිදහස් සටනේ කාහල නාදය ලෙස අපි දකිමු. සිංහල, දෙමළ, මුස්ලිම්, බර්ගර්, මැලේ ආදී සියලු ජන හදවත්වල ප්‍රාර්ථනාවන්හි යශෝරාවය එයම නොවේද?

ජනාධිපති මහින්ද රාජපකෂයෝ සිහ නද කළහයි තුටු වු ගම් දනව්වල ජනතාව ද ප්‍රීතියෙන් ඔකඳව ඔල්වරසන් දුන් අයුරු ද අපි දිටිමු. ඒ සියල්ල දැක එහෙත් වාවා ගත නොහැකි සුළු පිරිසක් ද සිටිතියි අපිද හඟිමු. ප්‍රභාකරන්ගේ මළ සිරුර ඒ අයට ප්‍රණීත ආහාරයක් වීම ගැන ද අපි පුදුම නොවන්නෙමු.

ප්‍රභාකරන්ගේ මරණය මෙන්ම ත්‍රස්තවාදයේ මරණය ද අපේකෂා නොකළ අය ඉච්ඡාභංගත්වයට පත්ව සිටිති. එය කිසිසේත්ම මේ රටේ ජනතාවට වැදගත් හෝ බලපාන කරුණක් ද නොවේ. අපට ඊට වඩා ප්‍රමුඛ හා වැදගත් කටයුතු තිබේ.

ත්‍රස්තවාදයේ ශාපයට ගොදුරු වු රටක් ගොඩනැංවීම යනු කෂණිකව කළ හැක්කක් නොවේ. උන්හිටි තැන් අහිමිව ඇඳිවත පිටින් වන්නියේ දෙමළ ජනතාව ජීවිතය සොයා ගිය වග අපි දනිමු. එහෙත් කොටි දේශපාලන නායකයකු බව කියන පුලිතේවන්ගේ ගමන් මල්ලේ රුපියල් එක්කෝටි විසිතුන් ලකෂයක් තිබී ඇත. තවත් කොටි නායකයන්ගේ මළ සිරුරු සමග එබඳුම මුදල් කඳු හමුවී ඇත. මුහුදු කොටි නායකයාගේ බිරිඳ අත රත්තරන් කිලෝ දෙකක් පමණ වු බවද කියති. ප්‍රභාකරන්ගේ ඊනියා විමුක්තියේ රඟ හෙට අනිද්දා වන විට තවත් හෙළි විය හැකි බව අපගේ විශ්වාසයයි. අපට ඒ ගැන පසුවට කතා කිරීමට ද හැකිය.

කෙසේ හෝ දැන් ප්‍රථම අවධානය යොමු විය යුත්තේ වන්නියේ අවතැන් වු ජන ජීවිත යථා තත්ත්වයට පත් කිරීමටය. කඳවුරුවල ජීවත් වන ඒ සියලු දෙනාටම තම ගම්බිම්වලට යෑමට වැඩපිළිවෙළක්ද සැකසිය යුතුය. මෙය එක රුයකින් නොකළ හැකි බව නිසැකය. එහෙත් ඒ ජනතාවගේ ජීවිතය ඇත්තේ ඒ උපන් බිම්වල හා ගම්වල බව අමුතුවෙන් කිව යුතු නැත.

ජනාධිපතිවරයා ඉතා පැහැදිලිවම සඳහන් කළේ සුළු ජාතීන් යන වචනය අපේ ශබ්ද කෝෂයේ නැති බවය. ප්‍රභාකරන් ජාත්‍යන්තරව විසිරී සිටින දෙමළ ජනතාව සහමුලින්ම ඊළමයට පොළඹවා ගත්තේද මේ "සුළු ජාතිය" නමැති "ඇම" ඔවුන්ට ගිල්වීමෙනි. ප්‍රභාකරන්ගේ ඊළාම් ඇම ගිලගත් අහිංසක දෙමළ තරුණ තරුණියන් ද පුනරුත්ථාපනය සඳහා වැඩපිළිවෙළක් අවශ්‍යය.

අපි ඒ සමගම දෙමළ සන්ධානය නියෝජනය කරන ගරු මන්ත්‍රීවරුන්ගෙන් ද එක් ඉල්ලීමක් කරමු. එනම් දැන්වත් ඔබලාගේ හිස්වල රුඳී තිබෙන ඊළාම් මළකඩ ඉවත්කර ඒ දෙමළ ජන ජීවිත ගොඩනැංවීම සඳහා රජයට සහාය දක්වන ලෙසය. මේ මවුබිම ඔබේත් මවුබිම බව ඔබට පිළිගැනීමට බාධාවක් ඇතැයි අපි නොසිතමු.

සත්තකින්ම ජනාධිපතිවරයාගේ ඓතිහාසික ජන ඇමතුමේදී ප්‍රකාශ කළ පරිදිම අපි සියලු දෙනාට ද පළමුවත් දෙවනුවත් තෙවනුවත් මව්බිමට වඩා උතුම් වස්තුවක් නැත. ඒ මවුබිමේ එකම දැයක් ලෙස සිංහල, දෙමළ, මුස්ලිම්, බර්ගර්, මැලේ යනාදී සියලු දෙනාටම සතුටින් ජීවත් විය හැකිය. එයට අවහිර කළ ප්‍රභාකරන් මෙන්ම ඔහුගේ ත්‍රස්තවාදය ද දැන් වළ දමා තිබේ. අඳුරු වලා පටලය ඉවත් වී ගොසින්ය. නිදහස් සුවය මඳනළ හා මුසුව දැනෙයි. ගඟ ඇළ දොළ නිසලව බැස යයි. සාමයේ සුදු පරෙවියනි ! දැන් නිදහසේ ඉගිල යා හැකිය. අපි එකම බිමක එකම කොඩියක සෙවණ යට අලුතින් නැඟී හිනැහෙමු.
(දිවයින_09/05/21)

Monday, May 18, 2009

මාගේ දේශය අවදි කළ විරුවනි!

තිස් වසරක ත්‍රස්තවාදයේ ශාපයෙන් අපගේ මාතෘ භුමිය මුදා ගනිමින් දෙවැනි ජාතික නිදහස් අරගලය විජයග්‍රහණය කිරීමට දායක වු අභිමානවත් ලංකා පුත්‍රයන්ට අපගේ උත්තමාචාරය පුද කරමින් ම අද අපි මෙම තීරුව ආරම්භ කරන්නෙමු. ඒ ඓතිහාසික විජයග්‍රහණය දෑසින් දකින්නට පෙර සිය ප්‍රාණ වායුව මේ මිහි තලයටම මුසු කළ ඒ විරු දරුවන් ද අපි මෙවේලෙහි සිහිපත් කරන්නෙමු. ඒ ජාතික නිදහස වෙනුවෙන් අඛණ්ඩව, අභීතව එයට දිරි දෙමින් ද, ඒ උත්තරීතර කැපවීම අගයමින් ද ඉනද්‍රඛීලයක් සේ දිවයින ද සිටි බව මේ ඓතිහාසික නිමේෂයෙහි සඳහන් කිරීමට අපට ද අයිතියක් තිබෙන බව නිහතමානීව ලියා තබමු.

ලෝකයම සිය ත්‍රස්තවාදී ප්‍රචණ්ඩත්වයෙන් කම්පනයට පත් කළ ෆැසිස්ටිවාදී ම්ලේච්ඡ ඝාතක සංවිධානයක නායක වු වේළුපිල්ලේ ප්‍රභාකරන් ප්‍රමුඛ ඔහුගේ දෙටු සගයන් සියල්ලම දැන් මරුමුවට පත්ව සිටිති. මරණය යනු කිසිවකුට සතුටු විය හැකි, උදම් විය හැකි අවස්ථාවක් නො වන බව ඇත්ත ය. එහෙත් මේ ශාපකාරී මිනිසාත්, ඔහුගේ ඝාතක ෆැසිස්ටිවාදී නඩයක් මියයෑමේ පුවත එකී ත්‍රස්තවාදයෙන් බැට කෑ රටට මෙන්ම ජනතාවට ද සුබ ආරංචියක් වනු නො වැළැක්විය හැකි ය.

පිස්සු බල්ලකු මියගියත් "අනේ අනිච්චං" යැයි කීමට පුරුදුව සිටින අහිංසක මනසක් සහිත ජනතාවක් වුවද ඔවුන්ට මේ මරණය කිසිඳු කම්පාවට හේතු නොවේ. මක්නිසාද යත්, ප්‍රභාකරන්ගේ කුරිරු ත්‍රස්තවාදයෙන් මුළු රටම ඒ තරමටම හෙම්බත් වී තිබිණි. මුළු මහත් ජනතාවම ඒ තරමට ම පීඩනයට ද, භීතියට ද පත්ව සිටියහ. ප්‍රභාකරන් ඇතුළු ඔහුගේ ෆැසිස්ටිවාදී මෘගයන් විසින් මේ රට ඇද දමන ලද්දේ බිහිසුණු අඳුරකට ය.

ප්‍රභාකරන්ගේ දුෂ්ට ඊළාම් අරමුණ වෙනුවෙන් පෙරදිග මුතු ඇටය ලෙයින් නැහැවු සාහසිකයන් රුළක් එබඳු මරණයකට ලක්වීම කිසිවකුගේ කම්පනයකට හේතුවක් විය හැකි ද? සිංහල, දෙමළ, මුස්ලිම් සහෝදරත්වය ගිනි තබමින්, ඇවිල ගිය ත්‍රස්තවාදයේ ලැව්ගින්නේ ඓතිහාසික වගඋත්තරකරුවන්ට හිමිවන මරණය නො මැනවැයි කිව හැක්කේ කාට ද?

ප්‍රභාකරන් වෙනුවෙන් ඇප කැප වු ත්‍රස්තවාදයෙන්ම යස ඉසුරු සාදාගත් ජාති භ්‍රෂ්ටයන්ට ද බටහිර අධිරාජ්‍යවාදී රූකඩ විසින් නඩත්තු කරන ලද සිංහල බෞද්ධ වෙසින් සිටි ඇතැම් සටිටඹියන්ට ද මාගේ දේශය "අහෝ අපගේ බත් ටැඹ වැනසිණ" යි දුකක් සෝකයක්, සංකාවක් ඇති වී ඇත්නම් අපි පුදුම නො වෙමු. ඒ හැර මේ මව්බිමට ආදරය කළ කිසිවකුට අබැටක තරම් සංවේගයක් නැති බව ද අපි දනිමු.

වේළුපිල්ලේ ප්‍රභාකරන් යනු ඝාතන සංස්කෘතියක දුෂ්ට මැවුමකි. සයනයිඩ් සංස්කෘතියක විකෘති නිමැවුමකි. ප්‍රභාකරන් විසින් මේ රටේ මිනිස් පවුල් කඩා බිඳ වෙන් කරමින් රටම මළගෙයක් බවට පත් කරන ලද බව අමුතුවෙන් කිව යුතු නැත. ප්‍රභාකරන්ගේ ඝාතනයට, පීඩනයට ලක් නොවු ගමක්, නගරයක්, පවුලක් මේ රටේ නො වී ය.

අද අවසන් වී තිබෙන්නේ ඒ ශාපයයි. මගතොටේ, වැඩබිමේ, කෝවිලේ, පන්සලේ, දෙව් මැඳුරේ සැඟව සිටි ජනඝාතක සමාගම දැන් නිහඬව තිබේ. අක්‍රිය වී තිබේ. ඉතින් එය අපට, රටට සතුටක් නො වන්නේ ද? උතුරේ අහිංසක දෙමළ දරුවන්ගේ ගෙලට සයනයිඩ් කරල් එල්ලු සිත් පිත් නැති මෘගයා මළවුන් අතරේ ය. එය අස්වැසිල්ලක් නො වේද?

ප්‍රභාකරන්ගේ හා ඔහුගේ දෙටු නායකයන්ගේ පවුල්වලට හිමි වු වරප්‍රසාද ජීවිත හා සුඛ විහරණවල අඩුවක් නොවු බව ද දැන් ප්‍රසිද්ධ රහසකි. ජනතාවට විමුක්තිය ලබා දීමට ඒ ජනතාවගේ ඇස්, ඉස්, මස්, ලේ ගබඩා කළ තුච්ඡ නායකයකුගේ හා ඔහුගේ මෘග සගයන්ගේ අවසානය රටකට ශාන්තියක් නො වන්නේ ද?

ලෝක ඉතිහාසය කියවන කවරෙකු වුවද, අදත් හිටිලර් හා මුසොලිනීගේ නම්වලට කෙළ ගසති. ප්‍රභාකරන්ට හා ඔහුගේ ඝාතකයන්ට ඉතිහාසය තුළ ඊට වඩා වෙනස් ස්ථානයක් හිමි නොවන බව ද අපි දනිමු. මේ මව්බිම හරහා ගලා ගිය රුධිර ගංගාවන් ද මේ මව්බිමේ ගොඩගසන ලද මිනී කඳුවලින් ද ප්‍රභාකරන්ගේ ත්‍රස්තවාදයේ තරම අපි දැන මැන ගත්තෙමු. එහෙත් ප්‍රභාකරන්ට ඒ කිසිවකින් සැලෙන මනසක් නොවීම ඔහුට මේ ඉරණම අත්වීමට හේතු වු බව ද අපි දනිමු. එබඳු අපරාධකාරයකුගේ අවසානය රටකට අස්වැසිල්ලක් බව අපගේ ද විශ්වාසයයි.

ඝාතනය විසින්ම ඝාතකයකු ඝාතනය කරනු ලැබ තිබේ. ඝාතකයාගේ ඝාතන සමාගම ද ඝාතනය කරනු ලැබ තිබේ. ඒ වෙනුවෙන් කිරිබත් කන්නන්ට අපට දොස් කිව නො හැකි ය. ඒ වෙනුවෙන් රබන් ගසන්නන්ට ප්‍රීති උත්සව පවත්වන්නන්ට ද අපට දොස් කිව නො හැකි ය.

අපි අවසන් වශයෙන් එක් දෙයක් කියමු. ප්‍රේමය, දයාව, මනුෂ්‍යත්වය නො තකා ක්‍රියා කරන කවරකුට වුවද ස්වභාව ධර්මයේ රැකවරණය හෝ ආශිර්වාදය හෝ නො ලැබෙන බව ය. මේ සියල්ල පිළිබඳ දාර්ශනික සත්‍යය එයයි.

කෙසේ හෝ ගම් දනව් වනසමින් වපුරන ලද ප්‍රචණ්ඩත්වයේ මැවුම්කරු නිහඬ කිරීමේ ඓතිහාසික වගකීම උර දරා ගත් මහින්ද රාජපකෂ ජනාධිපතිවරයාට ද අපි අපගේ කෘතවේදීත්වය පළ කරමු. මේ ඓතිහාසික ජාතික මෙහෙවරට කැප වු ගෝඨාභය රාජපකෂ නම් ආශ්චර්යවත් නායකයාට ද, අපගේ අභීත ත්‍රිවිධ හමුදාපතිවරුන්ට හා පොලිසියට ද අපගේ ප්‍රශංසාව පළකරමු.

තිස් වසරක අඳුරු සෙවණැලි පහව ගොස් තිබේ. අප ගොදුරු කර ගන්නට සැලසුම් කළ බටහිර නඩය ද නිරුත්තරව සිටිති. යකෂයාගේ හෝරාව නිම වෙතැයි සිහිනෙනුදු නො සිතු සියල්ලන්ම හඬද්දී අපට සිනා සීමට හැකි වී තිබේ. ඒ සිනහව රටට, දැයට ලබා දුන් හැමට ජාතියේ කෘතවේදීත්වය ද උත්තමාචාරය ද හිමි වනු නිසැක ය.

හෙට ඉරක් පායයි. ඒ හිරු එළියෙන් පිබිදී අපි එකම දැයක්, එකම රටක් ලෙස යළි නැගී සිටිමු. ඒ නිදහසේ උදානය අපට ජීවය ද, ශක්තිය ද, ලබා දෙනු ඇත. මාගේ දේශය අවදි කළ විරුවනි, අපි ඔබට සදා ණයගැති වන්නෙමු.
(දිවයින_09/05/19)

පසුවදන_රටක් මළ ගෙයක් කළ ඝාතකයාගේ මළගම මුළු රට ම සමරති. ඒ උදාර ජයග්‍රහණය නිහතමානීව සැමරිය යුතු ය. මේ ජයග්‍රහනය සිංහල ජනතාවට වඩා දෙමළ ජනයාගේ ජයග්‍රහනයෙකි. අප මෙන් දෙතුන් ගුණයක් දුක් ගැහැට පිරිපත ඔවුහු ලැබූහ. එහෙයින් මේ ජයග්‍රහනය සැමරීමට දෙමළ මුස්ලිම් සියලු ජනතාව සම්බන්ධ කරගත යුතුය. සිංහල අප කැවුම් කිරි බත්වලින් ඒ ජනතාවට ද සංග්‍රහ කළ යුතු ය. මේ කුඩා රටේ සැම දෙනා ම සමග සහජීවනයෙන් සාමකාමීව ජීවත්වීමට කැමති සැම ශ්‍රී ලාංකිකයෙකුගේ හදවත් සතුටින් ඔකඳව ඇති බව අපි අවබෝධ කරගත යුතු ය.

කුරිරු ත්‍රස්ත ග්‍රහණයෙන් අපේ මව් බිම නිදහස් කරගත් වගයි!!!



රත්නදීප ජන්ම භූමි
ලංකා දීප විජය භූමි
මේ අපේ උදාර වූ
මාතෘ භූමියයි
මාතෘ භූමියයි

මාණික්‍ය සේ පොළෝ ගැබේ
නිඳාන වී
එන්නේ ඒ අතීත දූ පුතුන්
ජාතියේ නාමයෙන්
සංග්‍රාම භූමියේ
ජාතියේ නාමයෙන්
සංග්‍රාම භූමියේ
ජීවිතේ පුදා හෙළු ලේ කඳයි

Sunday, May 17, 2009

දිනූ නිදහස සමරා අලුත් නිදහස දිනයක්...

පෙරවදන_
මේ ගතවන්නේ මව්බිම ප්‍රීතියෙන් ඔකඳව ගිය මොහොතකි. තිස් වසරක් තිස්සේ රට විනාශය කරා ගෙන ගිය ශාපලත් කොටි ත්‍රස්තවාදය මව් බිමෙන් අතුගා දැමීමේ ප්‍රීතිය හැම මුහුණකම හැම සිතක ම කැටපත් වී තිබේ. ඒ ත්‍රස්තවාදය නිසා නේක දුක් විඳි අයගේ මුහුණු ය. මේ සටන වෙනුවෙන් දිවි පිදූ අත් පා රටට පිදූ වීරෝදාර හමුදාවට අපි අපේ උත්තමාචාරය පුද කරමු. එම සටනට අනේක බාධක මැද නායකත්වය දුන් රජයට අපි ආචාර කරන්නෙමු. මේ සටන හුදු කොටි ත්‍රස්තවාදයට පමණක් නොව නොව රටට හතුරු දෙස් විදෙස් බලවේගවලට එරෙහිව ගෙන ගිය දැවැන්ත සටනකි. මේ ජයග්‍රහණය වඩා සුවිශිෂ්ට වන්නේ එහෙයිනි.

එහෙත් රටම සිහ දජවලින් සැරසෙන කල පිරිසකගේ මුහුණු මැලිවී ඇත. ඒ ත්‍රස්තවාදය බඩ ගෝස්තරය කරගත් එවුන්ගේ ය. මේ අතර දෙස් විදෙස් දෙපිරිස ම සිටිති. ලෝකේ වටේ පාදඩේ යමින් රටට ණය දෙන්න එපා යයි කියූ, රටේ නායකත්වයට එරෙහිව ගතු කියූ, විදෙස් බලවේග සමග අනේක කුමන්ත්‍රණ කළ, හමුදාව අපහාසයට ලක් කළ දීනයින් විළිලැජ්ජා නැති ව අද රටට සුබ පතති. හමුදාවට ප්‍රණාමය පුදති. එහෙත් ජනතාවට මෑත අතීතය අමකත වීමට තරම් කාලයක් ගත වී නැත.

අපේ රජය මේ අවස්ථාවේ ගතයුතු වැදගත් ම තීරණය නම් පෙබරවාරී 04 වෙනුවට අපේ නිදහස් දිනය ලෙස ත්‍රස්තවාදයෙන් රට මුදාගත් දිනය නම් කිරීම ය. අපි 48 ලැබුවේ පිනට දුන් නිදහසකි. එහෙත් අද අපි ලැබුවේ සුවිශේෂ ජයග්‍රහණයෙකි. ඒ වෙනුවෙන් අපි දැවැන්ත සටනක් කළෙමු. අ‍නන්ත පරිත්‍යාග කළෙමු. එහෙයින් වහාම අප දිනූ නැවුම් වූ ද සැබෑ වූ ද නිදහස වෙනුවෙන් නව නිදහස් දිනයක් ප්‍රකාශයට පත්කරන මෙන් ඉල්ලා සිටිමු.

එවන් අසිරිමත් මව්බිම ජයෙන් උදාරයි!

රටේ රාජ්‍ය නායකයා දණින් වැටී මාතෘ භුමියට වැඳ නමස්කාර කොට යුද්ධය නිමාවට පත්ව ඇති බවත් ත්‍රස්තවාදය පරාජය කොට ඇති බවත් ඊයේ (17 දා) උදේ නිල වශයෙන් ප්‍රකාශයට පත් කළ කල්හී මේ රටේ වෙසෙන දෙකෝටියකට ආසන්න ජනයාගේ සිත ගත වෙළාගත් නිදහස පිළිබඳ හැඟීම අමුතුවෙන් කිව යුතුද? චෝල ආක්‍රමණික එළාර රජු ජීවිතකෂයට පත් කළ දුටුගැමුණු රජතුමා රට එක්සේසත් කළ බව වසර දහස් ගණනකට පෙර ප්‍රකාශයට පත් කළ විට එදා තුන් සිංහලයේ විසු ජනයාගේ සිත ගත නිදහස පිළිබඳ හැඟීමෙන් සහ අභිමානයෙන් වෙළී ගිය අයුරු අද අපට සිතා ගත හැකි ය. එක්දහස් නවසිය හතළිස් අටේදී බ්‍රිතාන්‍ය අධිරාජ්‍යවාදියා අප වෙත වීසි කළ නිදහස සහ වසර දෙදහස් නවයේදී ජනාධිපති මහින්ද රාජපකෂ ප්‍රමුඛ ත්‍රිවිධ හමුදාව අපට දිනා දුන් නිදහස අතර ඇති වෙනස දැන් පැහැදිලි නොවන්නේද? හතළිස් අටේ නිදහස සැනසිලි තෑග්ගකි. දෙදහස් නවයේ නිදහස සියලු බෝනස් ද සමඟ දිනාගත් අභිමානනීය "පළමුවන තෑග්ග" ය.

රුහුණේ සිංහල ගමක ගොවි පවුලකින් පැමිණි දේශපාලනඥයකුගේ නිර්භීත පුතුන් අතුරින් කෙනකු වු ප්‍රතාපවත් ජන නායක මහින්ද රාජපකෂ රට එක් සේසත් කිරීමේ සටනට නායකත්වය දුන්නේ තමාගේත් තම සහෝදරයන්ගේත් ජීවිත දංගෙඩිය මත තබා දෙකඩ කිරීම සඳහා "ජාත්‍යන්තර ප්‍රජාව" නමැති කාලකන්නි මනුෂ්‍යයන් පිරිස පිහි මුවත් තබමින් සිටින අතර ය. අවසන් ඊළාම් සටනේදී ශ්‍රී ලංකාවට විරුද්ධව නැඟී ආ ජාත්‍යන්තර ප්‍රජාව යනු රුසියාව, චීනය, ඉන්දියාව, ලිබියාව, ඉරානය, පාකිස්තානය වැනි රටවල් අයත් නැති, හිලරි ක්ලින්ටන් සහ ඩේවිඩ් මිලිබෑන්ඩ්ගේ රුකඩ ලෙස ක්‍රියා කළ රටවල් කිහිපයකින් සමන්විත වු ජාත්‍යන්තර ප්‍රජාවකි. ප්‍රභාකරන් යනු ත්‍රස්තවාදියකු නොව සටන්කාමියකු බව කී මේ ජාත්‍යන්තර ප්‍රජාව ඒ මිනීමරුවාට එරෙහිව සටන් වදින ත්‍රිවිධ හමුදාපතිවරුන් ද, සේනාධිනායකයා වු මහින්ද රාජපකෂ ද, ආරකෂක ලේකම් වු ගෝඨාභය රාජපකෂ ද යුද්ධාධිකරණයකට දක්කාගෙන යා යුතු බව කීහ. එවිට මේ රටේ සිටින ඇතැම් නීච දේශපාලනඥයෝ වහා ගුවන්ගතව විවිධ රටවලට යමින් මේ රටේ ස්වාධිපත්‍යය වෙනුවෙන් සටන් කරන උදාර ජන නායකයන්ට සහ ත්‍රිවිධ හමුදාවට විරුද්ධව කේළාම් කීමට පටන් ගත්හ. ඒ නීචයන්ට අනුග්‍රහය දක්වන ලද්දේ අද, මේ මොහොතේදී ගල් ගිල දැමු කිඹුලන් මෙන් ආතබුත වී සිටින එන්. ජී. ඕ. කාරයන් කිහිප පළකි. සාමය පිණිස, විකල්ප ප්‍රතිපත්ති පිණිස, සහජීවනය පිණිස, කුසගින්න පිණිස, එතැනිනුත් නොනැවතී ආහාර ජීර්ණය පිණිස ද යනාදී වශයෙන් විවිධ කාරණා වෙනුවෙන් පෙනී සිටි මේ පිරිස වැඩි කාලයක් වැය කළේ ආරකෂක ලේකම්තුමා ශ්‍රී ලංකාවේ පුරවැසියෙක් ද නැතහොත් ඇමරිකාවේ පුරවැසියෙක් ද යන්න සෙවීම පිණිස ය. බැසිල් රාජපකෂට මෙතරම් ආරකෂාවක් දෙන්නේ මන්ද යන්න ගැන වාර්තා සෑදීම පිණිස ය. මේ රට කරවන ජන නායකයන්ට ආරකෂාව අවශ්‍ය නම් කවර වියදමක් යටතේ හෝ එය දිය යුතුම ය. මන්ද යත් ඒ මිනිසුන් ආරකෂා වී ජීවත් විය යුත්තේ රටේ ස්වාධිපත්‍යය ආරකෂා කිරීම පිණිස නිසා ය.

මේ යුද්ධය නවත්වා, සටන් විරාම ගිවිසුම් අත්සන් කර, කොටියා යළි බලගන්වා, ඌට ආයුධ, සිමෙන්ති, යුද අවි යනාදිය ගෙනවුත් දී ඊළම ඇති කිරීමට උත්සාහ ගත් ස්වදේශිකයන් සහ විදේශිකයන් විසින් දැන් කරනු ලැබිය යුත්තේ රජයට භාර වු කොටින්ගේ සයනයිඩ් කරල් තොගය අනුභව කර දිවි නසා ගැනීම ය. නැගෙනහිර පළාත මේ රටට නැවත එක්කර ගැනීම කිසි කලෙකත් කළ නොහැකි බව කියු පහත් දේශපාලනඥයෝ මැදවච්චිය - කිලිනොච්චිය, අලිමංකඩ - පාමංකඩ යනාදී වශයෙන් ත්‍රිවිධ හමුදාවට අපහාස කළහ. මෙබඳු දේශද්‍රෝහීන් පිළිබඳව ඔවුන් සිටින පකෂවල නායකයන් පවා කිසිදු පියවරක් ගත්තේ නැත. යම් හෙයකින් මේ යුද්ධය පරාද වී නම් රාජපකෂ සහෝදරවරුන් ගෝල්පේස් පිටිටනිය මැද එල්ලීමට මේ දේශද්‍රෝහීහු කැමැත්තෙන් සිටියහ.

මේ රටේ ජනවාර්ගික ප්‍රශ්නයක් නැති බවත් ත්‍රස්තවාදී ප්‍රශ්නයක් පමණක් ඇති බවත් කියු නායකයන් සිටියේ දෙදෙනකු පමණි. එයින් පළමුවැන්නා ජනාධිපති ඩී. බී. විජේතුංග ය. දෙවැන්නා මහින්ද රාජපකෂ ය. ඔවුනට අමතරව ගත වු වසර 30 තුළ ක්‍රියාත්මක වු ජන නායකයන් කිහිපදෙනාට යුද්ධය දරාගත නොහැකි විය. ඔවුන

තුරින් ස්වභාවික මරණයකට පත්වීමේ වාසනාව ජේ. ආර්. ට ලැබිණ. ජනාධිපති ප්‍රේමදාස මරණ ලදී. ඒ මරණයේ වගකීම කොටින්ගේ ගිණුමට බැර කර ඇත. ජනාධිපති චන්ද්‍රිකා බෝම්බ පහර කා අවසන් මොහොතේදී ගැලවිණ. අනාගත අගමැතිවරුන් වීමට සුදුසුකම් තිබු ලකෂ්මන් කදීර්ගාමර් සහ ජෙයරාජ් ප්‍රනාන්දුපුල්ලේ ස්ථිර වශයෙන් ම කොටින් විසින් මරණ ලදී.

එක්දහස් නවසිය අසුතුනේදී ත්‍රස්තවාදීන් ම්ලේච්ඡ ඝාතන ආරම්භ කිරීමත් සමඟම ත්‍රස්තවාදය විනාශ කළ යුතුය යන ස්ථාවරය ඉදිරියට ගෙන යෑමට "දිවයින" පටන් ගත්තේය. රට පාලනය කළ නායකයෝ ඒ ප්‍රතිපත්තියට එරෙහිව අපට බොහෝ හිරිහැර කළහ. සමහර විට ප්‍රධාන සතුරා ප්‍රභාකරන් නොව "දිවයින" බව පිළිගැනීමට තරම් ඒ නායකයෝ දුර්වල වුහ. එහෙත් අද අපි මහත් සේ ආඩම්බරයටත් සෑහීමටත් පත්ව සිටිමු. ඉතිහාසය පුනරුච්ඡාරණය වෙයි. විජිතපුර සටන, දුටුගැමුණු රජතුමා, රට එක්සේසත් කිරීම යළිත් අප ඉදිරිපිට ප්‍රාදුර්භුත වී තිබේ. මේ මහා සටනට දිවි දුන්, එය විජයග්‍රහණය කරා ගෙන ගිය සියලු දෙනාටමත් ඒ සඳහා සියලු පීඩා වේදනා ඉවසා දරාගත් ජනතාවටත් අපි හිස නමා රට දැය සමය වෙනුවෙන් ආචාර කරමු.
(දිවයින_09/05/18)

Friday, May 15, 2009

සුද්දාගේ පැරණි ප්‍රයෝගය නැවතත්...

යුද මුක්ත කලාපයට යෑමට අවසර දෙන්නැයි එක්සත් ජාතීන්ගේ සංවිධානය රජයෙන් ඉල්ලයි. එයට ඉඩ දීමට නොහැකි බව රජය කියයි. ශ්‍රී ලංකාවේ යුද මුක්ත කලාපය ඉන්දු පාකිස්තාන් දේශ සීමාවටත් වඩා භයානක තැනකි. සාමාන්‍ය පිළිගැනීම නම් ලෝකයේ භයානකම සහ වඩාත්ම අන්තරාදායක තැන ඉන්දු පාකිස්තාන දේශසීමාවේ කාශ්මීරය හරහා වැටී ඇති කොටස බව ය. මේ පෙදෙසට අඩිය තබන ඕනෑම කෙනකුට වෙඩි පහරක් කෑමට සිදු වීම ස්ථිර ය. එසේ වෙඩි කන තැනැත්තාගේ මෘත දේහයේ වගකීම භාර ගැනීමට පාකිස්තානය හෝ ඉන්දියාව සුදානම් නැත. පාකිස්තානය කියන්නේ ඉන්දියාව පැත්තෙන් වෙඩිල්ල ආ නිසා මළ සිරුරේ වගකීම ඉන්දියානුවන්ට බව ය. ඉන්දියාව කියන්නේ පාකිස්තානය පැත්තෙන් වෙඩිල්ල ආ නිසා පාකිස්තානය මළ සිරුරට වගකිව යුතු බව ය. මේ නිසා කවුරුවත් මළ සිරුරට අත නො ගසති. කාශ්මීර දේශසීමාව තනිකරම හිම කුටිටියක් නිසා අධි ශීතකරණයේ ලු කුකුළකු සේ මළ මිනිය ද ශත වර්ෂ ගණනක් නොදිරා පවතී. මෙවැනි මළ සිරුරු සිය දහස් ගණනක් කාශ්මීරයේ හිම තටිටු යට ඇත.

උතුරේ යුද මුක්ත කලාපයත් අද පවතින්නේ මෙසේ ගිනි ඇවිලෙන සුළු තත්ත්වයක ය. ඒ කලාපයට එක්සත් ජාතීන්ගේ සංවිධානයේ නියෝජිතයන් යවා වෙඩි කෑමට සැළසු විට ශ්‍රී ලංකාවේ අභ්‍යන්තර කටයුතුවලට වහා මැදිහත් වී සාම හමුදාවක් මෙහි එවීමට බටහිර ලෝකයට හැකි ය. මෙවැනි කාරණා ලෝක ඉතිහාසය තුළ ද සිදු වී තිබේ. බ්‍රිතාන්‍යය විසින් අප්‍රිකානු රටවල් අල්ලා ගැනීමට අනුගමනය කළේ මේ හා සමාන ක්‍රමවේදයකි. එයින් එකක් මෙසේය: එක්දහස් අටසිය ගණන්වලදී බ්‍රිතාන්‍ය යුද නැවක් අප්‍රිකානු සාගරයේ නැංගුරම් දමයි. ඉන්පසු නැවෙන් මුහුදට දමන බෝටිටුවකට ගොඩවන ක්‍රිස්තියානි මිෂනාරි පුජකයෙක් වම් අතින් බයිබලයක් ගෙන දකුණතින් පපුවේ කුරුසයක් අඳිමින් ඒ වන විටත් වෙරළේ උද්ඝෝෂණය කරන ස්වදේශික පිරිස අතරට යයි. එවිට පුජකයා මරණ ස්වදේශිකයෝ ඔහුගේ සිරුර මුහුදට දමති. එකල්හි මහ රුජනගේ වැසියකු මරා දැමීමේ චෝදනාවට සම්බන්ධ පුද්ගලයන් අත්අඩංගුවට ගැනීම සඳහා යුද නැවේ සිටින බ්‍රිතාන්‍ය සොල්දාදුවෝ අප්‍රිකානු රට ආක්‍රමණය කරති.

සුද්දා තම පරණ ප්‍රයෝගය ලංකාව විෂයයෙහි ක්‍රියාත්මක කිරීමට යන හැඩයි. මේ වේලාවේ යුද මුක්ත කලාපයට යන ඕනෑම කෙනකුට ප්‍රභාකරන්ගේ මිනිමරුවන් වෙඩි තබනවා ඇත. එහි වරද ඉතා පහසුවෙන් අපේ ඇඟේ ගැසීමට ද පුළුවන. එක්සත් ජාතීන්ගේ සංවිධානය ජාත්‍යන්තර ප්‍රජාවගේ නීච ඕනෑ එපාකම් පිරිමැසීම සඳහා තම සාමාජිකයන් බිලි දීමට සුදානම් වීම බරපතල පහත්කමකි. කාගේ ජීවිතයත් ජීවිතයකි. ඒ ජීවිතය පෞද්ගලික අරමුණක් වෙනුවෙන් බිලි දීමට තැත් කිරීම මිනී මැරීමට තැත් කිරීමකි.

අවි බිම තබා සිවිල් වැසියන් මුදාහරින ලෙස ඇමරිකන් ජනාධිපති ඔබාමා ඉල්ලයි. ඒ අතර අප වෙනුවෙන් අනුමත වී ඇති ඩොලර් බිලියන 1.9 ක ණය මුදල නොදෙන ලෙස ඇමරිකන් රාජ්‍ය ලේකම් හිලරි ක්ලින්ටන් බලපෑම් කරයි. අප යුද්ධයේ විජයග්‍රහණය අභියස සිටින්නේ ඒ කුහකකම් මැද්දේය. ප්‍රභාකරන් ක්‍රමයෙන් යුද්ධය අත්හැර දමමින් සිටින බව පෙනේ. කොටි සංවිධානයට අයත් සියලු දේපළ විනාශ කරන ලෙස ඔහු තම හමුදාවට නියෝග කර ඇත. එම දේපළවලට අයත් වැල්ලවත්තේ සුඛෝපභෝගී තටිටු නිවාස සංකීර්ණ, කොළඹ හරස් වීදිවල කඩ යනාදිය විනාශ කිරීමට ඉඩ නොදිය යුතුය. ඒ සියල්ල විකුණා යුද්ධයෙන් හානියට පත් ජනතාවට වන්දි ගෙවිය යුතුය.
(දිවයින_09/05/16)

පසුවදන-සුද්දා හැම විට ම අප දෙස බැලුවේ සතුරන් දෙස බලන අයුරිනි. මෑත ඉතිහාසයේ ලොව පුරා යමින් බොහෝ රටවල මිනිසුන් සංස්කෘතීන් සිය යුද බලයෙන් පරාජය කොට හිරු නොබසින අධිරාජ්‍යයක් තැනූ සුද්දාට එකල අපේ මුතුන් මිත්තෝ මුල්ලෙරියාවේ දී සැලකූ ආකාරය ඇතැම් විට ඊට හේතුභූත වන්නට ඇත. කෙසේ වුව ද සුද්දා සිය ඊනියා මානව හිමිකම්, සිවිල් අයිතිවාසිකම් ආදි ආයුධවලින් සන්නද්ධව සටන් කරන්නේ කා සමග ද යන්න ඔබට ඉතා පහසුවෙන් අව‍බෝධ කරගත හැකි මොහොතකි මේ.

පකිස්ථාන රජයේ හමුදා සහ තලීබාන් කැරලිකරුවන් අතර ගැටුම් ඇවිළි යත් ම මේ වන විට ලක්ෂ 8 1/2ක ජනතාවක් අවතැන් වී ඇත. තවමත් එහි කෙළවරක් නැත. එහෙත් කොටි ත්‍රස්තවාදය මුලිනුපුටා දමන ලංකා රජයේ සටනට අකුල් හෙළන්නට අනේක බලපෑම් කරන එක්සත් ජාතීන්, බටහිර රටවල් පකිස්ථානයට නියෝජිතයින් යන්නේ නැත. වහා සටන් විරාමවලට යන්නැයි බලපෑම් කරන්නේ ද නැත. ණය නොදෙමියි තර්ජනාංගුලිය පාන්නේ ද නැත. ජාත්‍යන්තර මාධ්‍ය හරහා තලිබාන්ලාට ගැති ප්‍රචාරණ ව්‍යාපාරයක් ගෙනි යන්නේ ද නැත.

මේ වෙනසට හේතුව කුමක් ද? ලංකාවේ මෙන් පකිස්ථානයේ ද ප්‍රජාතන්ත්‍රවාදී පාලයක් තිබේ. කොටි මෙන් ම තලීබාන්ලා ද ත්‍රස්තයෝ ය. 'ප්‍රජාතන්ත්‍රවාදී රජයකට ත්‍රස්තවාදයට එරෙහිව පියවර ගත හැකිය' යන මන්ත්‍රය බටහිර බලවත්තු නිතර මතුරති. ඒ අර්ථයෙන් මේ දෙරට ම කරන්නේ සමාන කාර්යයෙකි. එහෙත් බටහිර රටවල් මේ දෙස බලන්නේ දෙවිදිහකට ය. සුද්දාට තලීබාන්ලා ත්‍රස්තවාදීන් වුණාට කොටි ත්‍රස්තවාදීන් නොවේ. මන්ද කොටි ගැහුවේ සුද්දාට නොව අපට ය. අපට ගහන උන් සුද්දාට විමුක්ති කාමීහු වෙත්. අපට කොයි ත්‍රස්තවාදියාත් ත්‍රස්තයින් වෙත්.

Wednesday, May 13, 2009

මස් කර්මාන්තය

ශ්‍රී ලංකාව තුළ එතෙක් මෙතෙක් වාර්තා වු නීචතම, කැතම, පහත්ම සිදුවීම්වලින් එකක් පිළිබඳව අද අපට ලියන්නට සිදු වී තිබේ. එනම්, ලාබාල තරුණියන් 85 දෙනකු දුෂණය කර හෝටල්වලට විකුණු කල්ලියක 12 දෙනකු අත්අඩංගුවට ගැනීම පිළිබඳ ඊයේ (13 දා) "දිවයිනේ" 04 වැනි පිටුවේ පළ වු පුවත ය. අප සාමාන්‍යයෙන් එතෙක් මෙතෙක් මේ රටේ වාර්තා වු අවාසනාවන්ත ම සිද්ධිය ලෙස සලකන්නේ ප්‍රභාකරන් මුලික කොටගත් කොටි සංවිධානයට සම්බන්ධ දේ ය. ඔහුගේ මුලිකත්වයෙන් පුරා වසර 30 ක් තිස්සේ මේ භුමිය රුධිරයෙන් සෝදා හරින ලදී. මේ පොදු අවාසනාව තුළ තවත් අවාසනාවන්ත සිදුවීම් ඇති විය. සුනාමිය හට ගත්තේ ය. එහිදී මනුෂ්‍යයන් විසින් සිදු කෙරුණු අමානුෂික ක්‍රියා කිසි කලෙකත් අමතක කළ හැකි නොවේ. මුහුදට ගසාගෙන යන තරුණියන්ගේ රන් මාල කඩාගෙන ආපසු මුහුදු රළටම දැමු ආකාරය පුවත්පත්වල පළ විය. සුනාමි අනාථයන්ට එවු බත් පාර්සලයෙන් පවා ගසා කන ලදී. කප්පම් ගැනීම සඳහා ළමයින් පැහැරගෙන එම ළමයින් මරා දැමීම ගැන ද විටින් විට වාර්තා වේ. තරුණියන් රවටා අපහරණය කර ඔවුන් ගණිකා නිවාසවලට අලෙවි කිරීම ද පෙර කී වර්ගයේ ම නීච ක්‍රියා අතරෙහිලා සැලකිය හැකි පහත් වැඩකි.

මේ රටේ තේ වතු කර්මාන්තය ද තරුණියන් විශාල ප්‍රමාණයකගේ ආත්ම ගෞරවය බිලිගත් කර්මාන්තයකි. ඒ පළමුවන වටයයි. දෙවන වටය පටන් ගන්නේ විශ්ව ගම්මාන සංකල්පය යටතේ ලෝකය ග්‍රාමසේවක වසමක් වී ගමේ තරුණියන් සමුපකාරයක් බවට පත්වීමත් සමඟ ය. වැඩෙන වියේ දරුවන් ද මේ කතුවැකි කියවන නිසා කාරණය විස්තරාත්මකව කීමෙන් වැළකී සිටිමු. 1977 න් පසු පහළ වු ඇඟලුම් කර්මාන්තය මගින් ඇඟලුම් මෙන්ම ගණිකාවන් ද නිෂ්පාදනය කරන ලද බව ඉතා කනගාටුවෙන් කියමු. මෙය 1977 දී විවෘත ආර්ථිකය හඳුන්වා දුන් රාජ්‍ය නායකයන් විසින් සිහිනයෙන්වත් සිතන ලද තත්ත්වයක් නොවේ. එය සිදු වුයේ මෙසේය: ශ්‍රී ලංකාවට විදේශ විනිමය ලබාගැනීම සඳහා කෂණික මාර්ගයක් වු ඇඟලුම් කර්මාන්තය වෙනුවෙන් රට පුරා කම්හල් විවෘත කරන ලදී. මුලින්ම මේ කම්හල් පටන් ගත්තේ කොළඹ ආශ්‍රිත කටුනායක ය. ඊළඟට කොළඹට ම කිටිටු බියගම ය. මේ කම්හල්වලට දුර බැහැර පළාත්වලින් තරුණියෝ පැමිණියහ. ඔවුනට නැවැතීම සඳහා කුකුල් කොටු වැනි නේවාසිකාගාර පිහිටුවන ලදී. ඇතැම් තරුණියෝ බෝඩිං ගාස්තු ගෙවා ගත නොහැකි වු විට බෝඩිමේ අයිතිකාරයාට වන්දි ගෙව්වේ සිය සිරුරෙනි.

කොළඹ ස්වරුපය හරි හැටි නොදත් තරුණියෝ තාවකාලික සුවය ප්‍රාර්ථනා කළ තරුණයන්ට රුවටී තම ආත්මය කෙළෙසා ගත්හ. පසුව අමතර ආදායමක් වශයෙන් ඔවුහු ගණිකා වෘත්තියට යොමුවුහ. වර්ධනය වෙමින් පවත්නා ගණිකා කර්මාන්තයටත් ගනුදෙනුකරුවන්ටත් ඉඩ පහසුව සැපයීම සඳහා කාමර කුලියට දෙන හෝටල් සිය ගණනින් (සමහර විට දහස් ගණනින්) ඉදිකරන ලදී. ශ්‍රී ලංකාවේ ඇඟලුම් කර්මාන්තය හා සමගාමීව ගණිකා ව්‍යාපාරය දියුණු විය. අන්තිමේදී දැන් ඇඟලුම් කර්මාන්තය බංකොලොත් වී ඇති අතර ගණිකා ව්‍යාපාරය ඉතිරිව තිබේ. පැහැරගත් තරුණියන්, රවටාගත් තරුණියන්, ස්වාමිපුරුෂයන් විසින් වංචාවට ලක්කරන ලද තරුණියන් යනාදී වු වශයෙන් මහත් පිරිසක් අද මේ කර්මාන්තයට දායක වී ස්වකීය මාංශය ද ආත්ම ගෞරවය ද අනාගතය ද රාගය හා මුදල නමැති දංගෙඩිය ඉදිරිපිට පුජා කරති. මේ ක්‍රමයේ යාන්ත්‍රණයට වගකිවයුතු සියලු දෙනා බලවත් දණ්ඩනයට යටත් කළ යුතු ය. මෙබඳු කාරණයකදී ප්‍රයෝජනයට ගත හැකි වධ 32 ක් ගැන පුරාණ පොත්වල සඳහන් ය.

පසුවදන-අද අපි නෙළන්නේ පෙර කල වැපිරූ දෑහි අස්වැන්න ය. ඒ ගැන දිවයින කතුතුමා සමග අපි එකඟ වන්නෙමු. එහෙත් එහි නීරස ඵල විඳින අද ද අපි වපුරන්නේ හලාහල විෂ සහිත ඇට නොවෙ ද? රටේ මාධ්‍ය ජනතාව වෙත ගෙන යන්නේ මොනවා ද? රටේ ජනතාවට පෙන්වන්නේ සිරස යර්ස් බොස් සහ ස්වර්ණවාහිනී ලවින් ස්ටාර් ගණයේ කාම විකෘති නම් ඒවා පවුල් පිටින් නරඹන සමාජයකින් අප බලාපොරොත්තු විය යුත්තේ ස්ත්‍රි දූෂකයින් කාමාතුරයින් මිස ශාන්තුවරයින් නම් නොවේ.

Tuesday, May 12, 2009

කොටි හිතවතුන්ගේ ඊළාමාරුඬය!

මෙතෙර පමණක් නොව එතෙර සිටින කොටි හිතවාදීහුද දැන් බලවත් සේ කැළඹීමටද කෝපයටද පත්ව සිටිති. ඔවුන්ගේ කෝපයේ හා වියරුවේ ප්‍රතිඵල ලෙස යුරෝපයේ තිබෙන ශ්‍රී ලංකා තානාපති කාර්යාල, ආගමික ස්ථාන මෙන්ම ශ්‍රී ලංකාවට හිතවත් රටවල ආයතනවලටද ප්‍රහාර එල්ල වී ඇත.

මෙකී සියලු ප්‍රහාර තුච්ඡ හා නින්දිත ක්‍රියාවන් ලෙස අපි හෙළා දකිමු. කොටි සුරතල් කරන අයට නම් මේවා සැහැසිකම් හෝ ප්‍රචණ්ඩ ක්‍රියාකාරකම් ලෙස නොපෙනී යෑමටද පිළිවන. එහෙත් ලෝකයේ බිහිසුණුම ත්‍රස්තවාදී සංවිධානයක කොඩි අතින් ගෙන වීදි බැස කරන ක්‍රියාවක් ත්‍රස්තවාදී ක්‍රියාවක් බව අපගේ හැඟීමයි. එකී ත්‍රස්තවාදයට ඉඩදී නිදි වැද සිටින රටවල් පිළිබඳව මෙන්ම ඒ රටවල සිටින අපගේ තානාපතිවරුන් ගැනද අපි සංවේගයට පත්වෙමු.

පසුගිය දිනවල නෝර්වේ, බ්‍රිතාන්‍යය, ඇතුලු රටවල ශ්‍රී ලංකා තානාපති කාර්යාල වලට කොටි හිතවතුන්ගේ ප්‍රහාර එල්ල විය. ඉතාලිය, ප්‍රංශය, කැනඩාව ඇතුලු රටවලද කොටින්ට සහාය පල කෙරෙන පෙළපාලි විය. අලුත්ම සිද්ධිය වාර්තා වන්නේද ප්‍රංශයෙනි.

පැරීසියේ ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානයට මෙම ඊනියා කොටි හිතවාදීන් පහර දී ඇත්තේ ඉකුත් 10 වනදාය. ඒ හරියටම වෙසක් පොහෝ දිනයට පසු දිනය. ප්‍රංශයේ ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානාධිපති පරවාහැර චන්ද්‍රරතන නාහිමියන් පවසන පරිදි මෙම ප්‍රහාරය එල්ල වී ඇත්තේ එහි පැවැත්වුනු වෙසක් පිංකමක් අවසන් වීමත් සමගමය.

මුහුණු ආවරණය කරගත් කලහකරුවෝ ගොඩනැගිල්ලට පැන ප්‍රහාර එල්ල කළහයිද තවත් සමහරුන්ගේ මුහුණු එහි තිබුණු ආරක්ෂක කැමරාවල සටහන් ව ඇතැයිද චන්ද්‍රරතන හිමියන් ප්‍රකාශ කර තිබුණි. මේ සිද්ධිය දැනගත් වහාම ප්‍රංශයේ ශ්‍රී ලංකා තානාපති ලයනල් ප්‍රනාන්දු මහතාද පැමිණි බව උන්වහන්සේ සඳහන් කර ඇත.

කෙසේ වුවද යුරෝපයේ පැතිරී යන සුකර උණ ලෙස මේ ඊනියා කොටි ත්‍රස්තවාදීන්ගේ ප්‍රචණ්ඩ හැසිරීම් පැතිර යෑම අපගේ දැඩි සංවේගයට ද හේතු වී තිබේ. ත්‍රස්තවාදී සංවිධානයක් වෙනුවෙන් ප්‍රජාතන්ත්‍රවාදයේ ක්‍රමෝපායන් භාවිත කළ නොහැකි බව අපගේ විශ්වාසයයි.

කොටි හිතවාදීන්ගේ විරෝධයට හේතු පාඨය වී තිබෙන්නේ වන්නියේ සිවිල් ජනතාවට හිරිහැර නොකරනු යන්නය. එහෙත් වන්නියේ සිවිල් ජනතාවට හිරිහැර කරන්නේත්, ඔවුන්ට වෙඩි තබන්නේත් කොටි මිස ශ්‍රී ලංකාවේ ආරක්ෂක හමුදා නොවන බවද දැන් තහවුරු වී තිබේ. එහෙත් බටහිර ඇතැම් පිරිස් මෙන්ම මේ කොටි හිතවාදීන් ද සිවිල් ජනතාවට මුවා වී ප්‍රභාකරන් ගලවා ගැනීමේ සටනක නිරතව සිටින බව අපි ඉඳුරා දනිමු.

තමිල් නාඩුවේ විපක්ෂ නායිකා ජයලලිතා ජයරාම් මහත්මියද පසු ගිය දිනවල ප්‍රභාකරන්ගේ ඊළාම් ආරුඪයෙන් පිස්සු විකාර කතා කර තිබුණි. ඇගේ ආරුඬය මේ දිනවල පැවැත්වෙන ඉන්දියාවේ මහ මැතිවරණය නිසාද විය හැකිය. ඒ කුමක් වුවත් එතෙර තැන් තැන්වල මෙම ඊළාම් ආරුඬයෙන් සිදුවන සැහැසිකම් පිළිබඳව පියවරක් නොගතහොත් එය සුකර උණට වඩා අනතුරුදායක විය හැකි බව අපි වේලාසනින්ම කියන්නෙමු.

"අනේ අපේ වන්නියේ සිවිල් ජනතාව යැයි බොරුවට හඬන මේ අයගෙන් කී දෙනෙක් ඒ අහිංසකයන් නතර වී සිටින සරණාගත කඳවුරකට ගොස් බැලුවෝදැයි අපි නොදනිමු. ඒ කඳවුරු වල සිටින අයගෙන් සුව දුක් විමසු වගක්ද අපට වාර්තා වී නැත.

අප දන්නා තරමින් දෙමළ සන්ධානයේ මන්ත්‍රීවරුන් පවා ඊළාම් අරුඬයෙන් ඇවිදිමින් ප්‍රභාකරන් ගලවා ගැනීමට වෑයම් කරනු විනා ඒ අහිංසක ජනතාව වෙතට ගොස් නැත.

මේ අතර එකී කඳවුරුවල තත්ත්වය පිළිබඳ යහපත් ප්‍රතිචාර දැක්වු සමහරුද සිටිති. ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා එක්සත් ජාතීන්ගේ මහ ලේකම්වරයාටද ලංකාවට පැමිණ කඳවුරුවල තතු සියැසින් දැක ගන්නා ලෙසට ආරාධනාවක් ද කර තිබුණි.

තතු මෙසේ හෙයින් අද බටහිර රටවල කෙරෙන මෙම පහරදීම් හා උද්ඝෝෂණ කිසිසේත්ම වන්නියේ ජනතාව වෙනුවෙන් සිදු වන ඒවා නොවන බව අපි පැහැදිලිවම කියන්නෙමු. මේ පෙළපාලිවල යන දෙමළ ජාතිකයන්ගෙන් බහුතරයක්ද ගතවු දසක දෙකකට වැඩි කාලයක් තුළ වවුනියාවට තබා කොළඹ නගරයටවත් නොපැමිණි අය වෙති. තවත් පිරිසත් වීදි බැස ඇත්තේ ත්‍රස්තවාදය අවසන් වුවහොත් තමන්ගේ වීසා දීර්ඝ කර ගැනීමට බාධා ඇතිවන හෙයිනි.

වේළුපිල්ලෙහි ප්‍රභාකරන් සාමාන්‍ය දෙමළ ජනතාවට ලබා දී තිබුණු ජීවිතය කොතරම් කටුක හා පිඩාකාරී එකක් දැයි දැන් හෙළිවී තිබේ. දෙමළ ජනයා අසරණ කර ප්‍රභාකරන් හා ඔහුගේ සුපිරි පවුල ගෙන ගිය ජීවිතයද දැන් හෙළිවී තිබේ. එහෙත් බටහිර රටවල සිටින සමහරු මේ සත්‍ය නොපිළිගනිති. ඒ ඔවුන්ගේ ආත්ම ලාභය උදෙසාම කරනු ලබන්නෙකි.

ජාත්‍යන්තරව සිදුවන මෙම දුෂ්ට ඊළාම් වියරුව වෙනුවෙන් ශ්‍රී ලංකාවේ විදේශ තානාපතිවරුන් ගත් ක්‍රියා මාර්ගයක්ද නැත. සත්තකින්ම ඔවුහු නිදා සිටිත්ද? තම රටේ ගෞරවය, නිදහස, අභිමානය අභියෝගයට ලක් වෙද්දී කුම්භකරණයන් සේ නිදි යාමට නම් තානාපතිවරුන් වුවමනා නැත. තානාපති සේවය යනු ගරු ගාම්භීර රාජ්‍ය තාන්ත්‍රික වගකීමක් බව අපි දැඩිව කියමු. ඒ වගකීම ඉටු කිරීමට අපේ බොහෝ ගරු තානාපතිවරුන්ට නොහැකි වී ඇති බවද අපි ලැජ්ජාවෙන් වුවද කියන්නෙමු. අපේ විදේශ ඇමැතිතුමා නම් කොයි වේලේ බැලුවත් ගුවන්ගතය. එහෙත් එතුමාගේ අමාත්‍යංශය මේ ඊළාම් ආරුඬය නැවැත්වීමට ගත් පියවරක් තිබේද?
(දිවයින_09/05/13)

පසුවදන_අප උතුරේ ගෙන යන මානුෂික මෙහෙයුමට සාපෙක්ෂව එහි සැබෑ යථාර්ථය ලෝකය හමුවට ගෙන යාමට ශක්තිමත් මාධ්‍ය ජාලයක් ගොඩනඟා නැත. ආයුධවලින් කරන යුද්ධයට වඩා මාධ්‍ය යුද්ධය ශක්තිමත් බැවින් ඒ සඳහා ශක්තිමත් හමුදාවක් අත්‍යවශ්‍ය ය. එමෙන් ම රටේ තානාපති සේවය තවදුරටත් කුණු කූඩයට විසිවන දේශපාලකයින්ගේ මහලු නිවාසය හෝ දේශපාලන ඥාතී සංග්‍රහ සේවයක් විය යුතු නැත. එය රටට ආදරය කරන ශක්තිමත් මිනිසුන්ගෙන් සන්නද්ධ කළ යුතු ය. මේ මෙහෙයුමේ අවසානය පමා වන්නේ ද ඊට අනේක බාධා මතුවන්නේ ද මේ දුබලතා නිසා බව සහතික ය. අපේ දුබලතා සතුරාගේ ශක්තිය බව වහාම අවබෝධ කරගත යුතු ය.

Monday, May 11, 2009

ඊළාම් මුදල් ගැන අප දන්නා කතාව

කොටි සංවිධානය විසින් උතුර - නැගෙනහිර පළාත්වල පුළුල් ලෙස පවත්වා ගෙන ගිය ඊළාම් බැංකුවට කුමක් සිදුවී ද යන්න ගැන රජය විශේෂ විමර්ශනයක් අරඹා තිබේ. ප්‍රභාකරන් සමඟ ඊළාම් සිහිනයේ ගැලී සිටි උතුර - නැගෙනහිර ව්‍යාපාරිකයෝ ඊළාම් බැංකුවේ රුපියල් කෝටි ගණනක් තැන්පත් කළහ. ඒ මුදල්වලට කුමක් සිදුවී ද? මේ පිළිබඳව අප දැනුවත්ව සිටින ආකාරය මෙතැන් සිට සඳහන් කරමු.

ඊළාම් යුද්ධයට අරමුදල් ලැබුණු මාර්ග කිහිපයක් විය. එයින් එකක් වුයේ ඉන්දිරා ගාන්ධි මහත්මිය සහ රජීව් ගාන්ධි මහතා ඉන්දියාව පාලනය කළ වකවානුවේදී ඉන්දියාවෙන් ලැබුණු මුදල් ය. එහෙත් රජීව් ගාන්ධි ඝාතනයත් සමඟ එම නල මාර්ගය වසා දමන ලදී. ඒ අතර ශ්‍රී ලංකාවෙන් පිටරටවලට පැන ගිය දෙමළ ජාතිකයෝ ද කොටින්ට විවිධ මාර්ගවලින් මුදල් එවුහ. ඊටත් අමතරව ශ්‍රී ලංකාව දෙකඩවනු දැකීමේ ආසාවෙන් වෙලී ගිය විදේශ කිහිපයක් ද කොටින්ට මුදල් සැපයුහ. කෙසේ වුවද කොටින්ට ප්‍රධාන වශයෙන් මුදල් ලැබුණේ පිටරටවලට පැන ගිය දෙමළ ජාතිකයන් වෙතිනි.

මේ මුදල් ඉතා විශාල වශයෙන් ද, ඉතා විවෘතව ද ලැබුණේ සටන් විරාමය පැවැති කාලයේදී ය. එම මුදල් දෙගුණ තෙගුණ කර ගැනීම සඳහා ඇති පහසුතම මාර්ගය ඒවා කොළඹ පිහිටි ව්‍යාපාරවල ආයෝජනය කිරීම බව ඇන්ටන් බාලසිංහම්ගේ මතය විය. ඒ අනුව කොළඹ පිහිටි දෙමළ සහ සිංහල ව්‍යාපාරිකයන්ට අයත් තොග කඩවලට මේ මුදලින් කොටසක් පොලියට දෙන ලදී. ඉතිරි කොටස කොළඹ හා තදාසන්න ප්‍රදේශවල ඉදිකෙරුණු සුඛෝපභෝගී නිවාස ව්‍යාපෘතිවල ආයෝජනය කෙරිණ. කොළඹ ඉදිකරන ලද

ලකෂරි එපාර්ටිමන්ටි යනුවෙන් හැඳින්වෙන මෙවැනි ඇතැම් නිවාස යෝජනා ක්‍රමවල පොටිටු අම්මාන්ගේ පවුලේ උදවියට, නඩේසන්ගේ පවුලේ උදවියට, බාලසිංහම්ගේ පවුලේ උදවියට, තමිල් සෙල්වම්ට යනාදී වශයෙන් නිවාස වෙන් කර තිබිණි. පෙර කී ධන සම්භාරය සමඟ ඊළාම් බැංකුවල තිබු මුදල් ද කොළඹ පැමිණ තොග කඩවලටත්, නිවාස යෝජනා ක්‍රමවලටත් ගිය බව අපි අවධාරණය කරමු.

මේ අතර කොටි සංවිධානය දෙකඩ වී කරුණා අම්මන් ප්‍රභාකරන්ගෙන් වෙන් විය. ඉන් පසු පෙර කී නිවාස ව්‍යාපෘති සහ තොග කඩවලින් මාසිකව ලැබුණ පොලිය පිළිබඳ මතභේදයක් හට ගත්තේ ය. ඒ කරුණාගේ පිරිස වෙනමත් ප්‍රභාකරන්ගේ පිරිස වෙනමත් ණය ගැතියන්ගෙන් පොලී ඉල්ලන්නට පටන් ගැනීම ය. දෙපාර්ශ්වයකට පොලී ගෙවීමට නොහැකි නිසා ව්‍යාපාරිකයන්ගේ ඉහ මොළ රත්විය. පොලී ගෙවීමට නොහැකි වු ඇතැම් ව්‍යාපාරිකයෝ ඝාතනය වුහ. තවත් සමහරු ව්‍යාපාර අත්හැරියහ.

මේ අනුව අපගේ වැටහීම වන්නේ ඊළාම් බැංකුවේ මුදල් සියල්ලම නැතත් ස්වල්පයක් හෝ කොළඹ පිහිටි සමහර ව්‍යාපාරවල ආයෝජනය කර ඇති බව ය. කොටි සංවිධානය අතුගෑවී ඇති නිසා මේ මුදල් ඒවා ණයට ගත් අයටම අයිති වන නිසා යළි කිසි කලකත් සොයා ගැනීමට නො හැකි වනවා ඇත. එසේම ප්‍රභාකරන් ඇතුළු කොටි නායකයන් තම දරුවන්ට විදේශ අධ්‍යාපනය දීම සඳහා යෙදවු මුදල් ද යළි කිසිදු දවසක හමු වන්නේ නැත. එ බැවින් කළ යුතුව ඇත්තේ ඒ පිළිබඳ ගිණුම් පොත් වසා දමා වෙනත් දෙයක් ගැන කල්පනා කිරීම පමණි.
(දිවයින_09/05/12)

පසුවදන_දිවයින කතුතුමා පවසන පරිදි ම ඊළාම් බැංකුවල යම් මුදලක් කොළම ආයෝජනය කර තිබෙනවා විය හැකි ය. එහෙත් ඒවා සොයාගත නොහැකි යයි ඉවත දැමිය යුතු නැත. එසේ ආයෝජනය කළ ආයතන සහ පුද්ගලයින් හදුනාගැනීම වැදගත් ය. ඒ මුදල්වල වර්තමාන අයිතිකුරුවන් සොයා අදාළ මුදල් රාජ සන්තක කළ යුතු ය. මන්ද ඒ මුදල් ඔවුන්ගේ නොවේ. එසේ ම ත්‍රස්ත සංවිධානයකට අනියමින් උදව් කිරීමේ වරදට ඔවුන් නීතිය හමුවට කැඳවිය යුතු ය.

යුරෝපයේ අමාරුවට හේතුව

ඉකුත් සති අන්තයේදී අල් ජසීරා රුපවාහිනි සේවය ඔස්සේ දිගින් දිගටම පෙන්වන ලද ප්‍රවෘත්තියක් වෙයි: ගුවන් හමුදාව උතුරේ රෝහලකට බෝම්බ දැමු බවත් එමගින් පුද්ගලයන් කිහිප දෙනකුට තුවාල සිදුවු බවත් ඒ ප්‍රවෘත්ති හා ඒ ආශ්‍රිත වීඩියෝ දර්ශන මගින් පෙන්වා දෙන ලදී. ගුවන් හමුදාව බෝම්බ දමන අතර සාමාන්‍ය වැසියන් යුද අගල්වල සැඟව සිටින ආකාරය ද විශාල ගොඩනැඟිල්ලක ඇති සිදුරු කිහිපයක් කිසියම් පිරිසක් විසින් පරිකෂා කරමින් සිටින ආකාරය ද මෙහිදී පෙන්වනු ලැබේ. මේ වීඩියෝ දර්ශන ඉතා පැරණි, අල් ජසීරා රුපවාහිනිය මගින් නිරන්තරයෙන් ප්‍රදර්ශනය කර මඳ කලකට ප්‍රදර්ශනය කිරීම නතර කෙරුණු දර්ශන බව අල් ජසීරා රුපවාහිනිය නිතර නරඹන ඕනෑම කෙනකුට තේරුම් යන්නේ ය. ශ්‍රී ලංකාවෙන් බටහිර රටවලට පලා ගොස් මුදල් උපයමින් ඊළම පිහිටුවීම සඳහා සිය සම්පුර්ණ කාලය කැප කරමින් සිටින දෙමළ ප්‍රජාව සහ තමිල්නාඩුව වෙනම දෙමළ රාජ්‍යයක් කර ගැනීමට නොහැකි නිසා එකී දෙමළ රාජ්‍යය ශ්‍රී ලංකාවේ පිහිටුවීමට වෑයම් කරන විදේශීය දෙමළ ප්‍රජාව පණ අදිමින් සිටින ප්‍රභාකරන්ට ලේ සහ ඔක්සිජන් සැපයීම පිණිස බටහිර මාධ්‍ය නතුකර ගැනීමට පටන්ගෙන තිබේ. ශ්‍රී ලංකාවේ යුද්ධයක් තිබෙන බව පැවැසීම ඔවුන්ට අත්‍යවශ්‍ය ය. මන්ද යත්, යුද්ධය නිමාවට පත් වී ඇති බැවින් පිටරටවල සිටින ශ්‍රී ලාංකික සම්භවයක් ඇති දෙමළ ජාතිකයන් සියලු දෙනාට ආපසු එන ලෙස ලක් රජය ආරාධනා කළහොත් යුරෝපයේ රටවලින් වැඩි හරියක් තම රටවල සිටින ශ්‍රී ලාංකික දෙමළ ජනයා ලංකාවට පන්නා හැරීම නොවැළැක්විය හැකි ය. එම දෙමළ ජනයාට යුරෝපය තුළ පැවැත්මට ඉඩ ඇත්තේ ශ්‍රී ලංකාව තුළ යුද්ධයක් තිබුණොත් පමණි. එය නැති දවසට යුරෝපයෙන් කැනඩාවෙන් හා ඇමරිකාවෙන් ඩොලර් කෝටි ගණන් උපයා ගැනීමේ අවස්ථාව ඔවුනට නැතිව යයි. මේ නිසා කිසියම් මුදලක් විසිකර ප්‍රතිපත්තියක් නැති රුපවාහිනිකාරයන් හා පත්තරකාරයන් කිහිප දෙනකු අල්ලාගෙන ලංකාවට එරෙහිව එම ප්‍රචාරයන් ගෙන යෑම මේ වෙලාවේදී කළ යුතුමය.

පසුගියදා ඇමරිකාව ඇෆ්ගනිස්ථානයට බෝම්බ දැමීය. මේ මගින් නිරායුධ සාමාන්‍ය වැසියන් 147 දෙනෙක් මිය ගියහ. මේ ප්‍රහාරය දැක දැකත් යුරෝපා සංගමය කට බලියාගෙන සිටියේය. එක්සත් ජාතීන්ගේ සංගමය මේ දිනවල නිවාඩු පිට සිටින්නාක් මෙන් නිහඬ විය. ඇමිනෙස්ටි ඉන්ටර් නැෂනල් සංවිධානය වචනයක්වත් කතා කළේ නැත. ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් බලවත් රටවල් අනුගමනය කරන නීච අධම ප්‍රතිපත්තිය මේ මගින් පැහැදිලි වෙයි. චීනය, ඉන්දියාව, රුසියාව, ලිබියාව ඇතුළු වාමාංශික සහ සමාජවාදී පිලේ රටවල් කිහිපයක් හැරුණ විට ධනවාදී ලෝකයේ රටවල් වැඩි හරියක් ප්‍රාර්ථනා කරන්නේ ශ්‍රී ලංකාවේ විනාශයයි.

ඇමරිකාව ඇෆ්ගනිස්ථානයට බෝම්බ දමන්නේ කවර අයිතිවාසිකමකට දැයි ප්‍රශ්න කිරීමට මේ කිසිදු රටකට කොන්ද පණ නැත. තමන් කට ඇරියොත් ඇමරිකාව සිය පණ නැති කොන්ද දෙකටම කඩා දමනු ඇතැයි ඔවුහු බියපත් වෙති. බරක් ඔබාමා ජනාධිපති වීමෙන් පසු හෝ මේ තත්ත්වය වෙනස් වනු ඇතැයි අපි විශ්වාස කළෙමු. එහෙත් බෝතලය වෙන් වුවත් ඇතුලේ ඇත්තේ පරණ ගඳ ගසන හැලි අරක්කුම බව දැන් පෙනී ගොස් තිබේ. ඇමරිකාව අවුරුදු 8 ක් තිස්සේ අල්ඛයිඩාවට හා තලේබාන් සංවිධානයට විරුද්ධව යුද වදී. එහෙත් ඔවුන්ගේ මවිල ගසක් ගැලවීමට පවා ඇමරිකාව සමත් වී නැත. එහෙත් ශ්‍රී ලංකාවේ ජනාධිපති රටේ ආරකෂක ලේකම් හා ත්‍රිවිධ හමුදාව සමග එක්ව වසර දෙකක් තුළ ලෝකයේ දැවැන්තම ත්‍රස්ත සංවිධානය ධුලි බවට පත් කළේය. යුරෝපයට දරාගෙන සිටීමට බැරි කාරණය මෙයයි.

(දිවයින_09/05/11)

පසුවදන_යුරෝපයේ සිටින උන් කහින හේතුව මෙහි පහදා තිබේ. ලංකාවේ සිට කහින පිරිසක් ද සිටිති. උන් ද විවිධ වරදාන දොළ පිදේනි ඒ වෙනුවෙන් ලබති. සිය පෙරේත පිදේනි ළඟදී ම අහිමිව යතැයි සලිතව සිටින මේ ගෙවලයෝ දැන් මාරාවේශයෙන් පිස්සු කෙළිති. බොරු දොඩති. අවලාද වමාරති. ඉන් අපට කම් නැති.

Tuesday, May 5, 2009

විනාශයේ දූතයෝ

බ්‍රිතාන්‍යය, ප්‍රංශය සහ ස්වීඩනය යන රටවල විදේශ ඇමැතිවරු අද ලංකාවට පැමිණෙති. ඔවුන් මෙහි එන්නේ කොටින්ට එරෙහි මෙහෙයුම් අත්හිටුවීම සඳහා ලක් රජයට බලකිරීම පිණිස බව දැන ගන්නට තිබේ. පෙරකී රටවල විදේශ ඇමැතිවරුන් නොව ජනාධිපතිවරුන් පැමිණියත් කොටින්ට එරෙහි සටන නවත්වන්නට මේ රටේ ජනතාව ආණ්ඩුවට ඉඩ දෙන්නේ නැත. දැන් යුද්ධය ජන මතයක් බවට පත්ව තිබේ. ජන මතයට එරෙහිව යෑමට ලෝකයේ කිසිදු ප්‍රජාතන්ත්‍රවාදී ආණ්ඩුවකට නො හැක. වාසනාවකට මෙන් යුද්ධය සම්බන්ධයෙන් හටගත් ජන මතයට මහින්ද රාජපකෂ ආණ්ඩුව බද්ධ විය. මේ ජන මතය සමඟ බද්ධ නොවීම නිසා එ.ජා.ප. ය සිය දේශපාලන අනාගතය විශාල වශයෙන් අඳුරු කර ගත්තේ ය. සිංහලයා යුද කාමියෙක් නොවේ. එහෙත් රටේ ඒකීයත්වයට හා ස්වෛරීභාවයට අභියෝග එල්ල වන විට, ගෙදර පිහියක් නැත්නම් දර කැබැල්ලක් වුව ගෙන සතුරා සොයා යෑම සිංහලයාගේ පුරුද්ද විය. මෙය දුටුගැමුණු රජුගේ කාලයේ පටන් පැවැති පුරුද්දකි. අධිරාජ්‍යවාදීන් විසින් යටපත් කරන ලද එම පුරුද්ද පසු කාලයේදී මතුවෙන්නට පටන් ගත්තේ ය. කොන්ද පණ ඇති ජනාධිපති කෙනෙක්, එබඳුම හමුදාපතිවරු තිදෙනෙක්, එබඳුම ත්‍රිවිධ හමුදාවක් සහ එබඳුම ආරකෂක ලේකම්වරයකු සිටීම නිසා සතුරන් සමඟ යුද වැදීම මෙවර ඉතා පහසු විය.

ඉදින්, මෙවර යුද්ධය නැවැත්වීම සඳහා මෙහි එන විදේශ ඇමැතිවරුන්ගේ රටවල් දෙස බලමු. පළමුවෙන් බ්‍රිතාන්‍යය ගනිමු. බ්‍රිතාන්‍යය යනු අයර්ලන්තය වෙනම රාජ්‍යයක් වනු වැළැක්වීම සඳහා අවුරුදු එකසිය පනහකට වැඩි කාලයක් යුද වදින රටකි. ලෝකයේ පැරණිම බෙදුම්වාදී යුද්ධය පවතින රට බ්‍රිතාන්‍යය විය යුතු ය. තමන්ගේ රට කැඩෙනවාට විරුද්ධ ඔවුහු සෙසු රටවල බෙදුම්වාදයට සහයෝගය දෙති. දෙවියන් වහන්සේ විසින් මහ රුජන ආරකෂා කළ යුතුය යනාදී වශයෙන් සිය ජාතික ගීය අරඹන ඔවුහු මහ රුජනගේ ඔටුන්න, සිංහාසනය යනාදිය ප්‍රදර්ශනය පිණිස තබා ටිකටි කඩා ඒවා පෙන්වති. බ්‍රිතාන්‍ය රජ පෙළපත යනු ජාතිය පවා මාරු කළ රජ පෙළපතකි. බැටන්බර්ග් නමැති ජර්මානු රජ පෙළපතකට අයත් බ්‍රිතාන්‍ය රජ පවුල දෙවන ලෝක යුද්ධය හටගත් වහාම ජර්මනිය සමඟ යුද්ධ කිරීමට ඇති බැවින් විශේෂ ආඥාවක් මගින් බැටන්බර්ග් පෙළපත අත්හැර මවුන්ටිබැටන් යන වාසගම ලබාගෙන ජර්මනිය සමඟ යුද්ධ කළේ ය. එවැනි රටකට ආසියාවේ රටවල ඇති අභිමානය, ඒකීයත්වය, ස්වෛරීභාවය යන කාරණා තේරුම් ගත නො හැක. පසුගිය කාලයේදී ලන්ඩනයේ උමං දුම්රියවල අල්ඛයිඩා සංවිධානය බෝම්බ පුපුරුවන ලද කල්හී බ්‍රිතාන්‍ය ආණ්ඩුව ආතබුත නැතිව මුස්ලිම්වරුන් අත්අඩංගුවට ගන්නට පටන් ගත්තේ ය. ශ්‍රී ලංකාවේ ත්‍රස්තවාදයට එරෙහිව කරන යුද්ධය නැවැත්වීම සඳහා අද එන බ්‍රිතාන්‍ය විදේශ ඇමැති ත්‍රස්තවාදයේ තිත්ත රසය ඉතා හොඳින් දනී.

ප්‍රංශය යනු ඇමරිකාව පසුපස යමින් ඒ රටේ න්‍යාය පත්‍රයට අනුව ජීවත් වන මහ බලවතෙකි. ඇමෙරිකාව බෝම්බ දැමීමට යන ඕනෑම තැනකට බ්‍රිතාන්‍යයත් සමඟ යෑම ප්‍රංශයේ පුරුද්ද ය. එවැනි විටෙක ඔවුන් තම රට හඳුන්වා ගන්නේ මිත්‍ර රටක් හැටියට ය. ඒ මිත්‍රකම කුමක් අරභයාද? ඉරාකයට හෝ ඇෆ්ගනිස්තානයට බෝම්බ දැමීම අරභයා ය. ස්වීඩනය යනු රතිඤ්ඤයක් පවා නො පුපුරන රටකි. ඒ නිසා ත්‍රස්තවාදය ගැන අසා මිස අත්දැකීමෙන් දැන ගැනීමක් ඔවුන් තුළ නැත. එවැනි අයට, කිසියම් රටකට ගොස් යුද්ධ නවත්වන ලෙස, සටන් විරාම පටන් ගන්නා ලෙස, ත්‍රස්තවාදීන්ට සමාව දෙන ලෙස ඉල්ලීම ඉතා සුළු කාරණයකි. මේ විදේශිකයන් මෙහි පැමිණීම වැළැක්වීමට තරම් හයියක් තවමත් අපට නැත. ඉන්දියාවට එම හයිය තිබේ. ඒ හයිය මතු යම් කාලයක අපටත් ලැබේවා!
(දිවයින_09/05/06)

පසුවදන-මේ අයියලා ගැන අපි මීට පෙර කතා කර තිබේ. 1818 සිංහලයින් ලක්ෂ ගාණක් මරා අපේ රට කොල්ලකෑ තක්කඩි හොරු අද කිඹුල් කඳුලු සලන්නේ කොටියාගේ ආරක්ෂාව වෙනුවෙනි.

Monday, May 4, 2009

ඊළාම් මිරිඟුව ලුහුබැඳ දිවයන බටහිර ජීවත්වන දෙමළ තරුණ තරුණියෝ !

කැනඩාවේ ඔන්ටේරියෝහි පැවැති කොටි හිතවාදී පෙළපාලියකට සම්බන්ධවීම සඳහා මගේ මුණුබුරු මිණිබිරියන් යනවා දකින විට මගේ දෙනෙතට කඳුළු ගලා ආවේය. ඔවුන්ට ඒසඳහා යන විට කොටින්ගේ ධජයක් දී තිබුණි. ඔවුන් ගියේ තනිවම නොවේ. තවත් මිතුරු මිතුරියන් රුසක් සමගිනි. මොවුන් මේ කරන්නේ හින්දු සමාජයට අහිතකර දෙයක් බවත් නැතහොත් සාමයේ කුමරා ලෙස හැඳින්වු කිතුදහමට එරෙහි දෙයක් බවත් ඔවුන්ට කිසිවිටෙක් මතක් වුයේ නැත. ඔවුන් බොහෝ දෙනෙක් සිතන්නේ ඔවුන් මේ කරන්නේ නිවැරුදි දෙය බවයි. සාධාරණ හේතුවක් සඳහා සටන් කරන බවයි. මේ ගැන ඔවුන්ගෙන් ප්‍රශ්න කළහොත් ඔවුන් පවසන්නේ ශ්‍රී ලංකාවේ සිටින අපේ ජනතාවට බෝම්බ දමමින් සමුල ඝාතනය කරන බවයි. අප කැනේඩියානු රජයට මෙම උද්ඝෝෂණවලින් පෙන්වන්නේ ශ්‍රී ලංකාවේ සටන් විරාමයක් සඳහා එරට රජයට බල කරන ලෙසටයි. මෙවැනි තරුණ පිරිස් ලන්ඩනයේ මෙන්ම ජිනීවා ඇතුළු නගර රුසක දැකිය හැකිය. සෑම ග්‍රොසරියකම දැකීමට ඇත්තේ ශ්‍රී ලංකාවේ දෙමළ ජනතාවට සිදුවී ඇති අභාග්‍ය ඇතුළත් ඡායාරුපය. නැතහොත් ලිපිය. ඇත්ත වශයෙන්ම මොවුන් සිටින්නේ කොතරම් සිහිවිකල්පයකින්ද?

පෝස්ටර්, බැනර්, කටවුටි ආදී විවිධ වු දෑ රුගෙන සිය දහස් ගණනින් පෙළපාලි යන මෙම තරුණ පිරිස් දකින විට මාගේ සිත ඇදී ගියේ අතීතයටය. එක්දහස් නවසිය පනස් ගණන්වලදී ඉලංකෙයි තමිල් අරසුකච්චි යන පකෂය විසින් එක්තරා දේශපාලන පෙළපාලි ගණනාවක් සංවිධානය කළා මට මතකය. ඔවුන් ඒ අවස්ථාවේදී ඒ විරෝධය දැක්වුයේ සිංහල පමණක් යන්නට විරුද්ධවය. එමෙන්ම දෙමළ ජනතාවගේ උපන් ස්ථානවලින් ඔවුන් ඉවත් කිරීමට එරෙහිවය. ඒ අවස්ථාවේදී මට හැඟී ගියේද මේවා අනුමත කළ හැකි දේ නොවන බවය. ඊට පසු කාලයකදී මම හැටන්වල පදිංචියට ගොස් නැවත කොළඹ පදිංචියට පැමිණියෙමි. මෙම සමාජවල මම හැදී වැඩෙන විට තේරුම් ගියේ යාපනය හෝ මන්නාරමේ ගත කළාවු ජීවිතවලට වඩා කොතරම් සමාජයීය වශයෙන් වටිනාකමක් ඇති සමාජයක මා සිටින බවය. මෙම සිංහල පෙදෙස් මා ඉහත සඳහන් කළ පෙදෙස්වලට වඩා බෙහෙවින් යහපත්ය. කොළඹ වාසය කරන දෙමළ ජනතාවට සෑම අතින්ම තිබුණේ පහසුකමක්ය. වාණිජමය වශයෙන් ගත්තද ඔවුන් සිටියේ ඉතාමත් පහසුවෙන් ඔවුන්ගේ ව්‍යාපාරික කටයුතු කරගෙන යමින්ය. ඒ හැරුණු විට විවිධ මටිටමේ තරාතිරම්වල දෙමළ ජනයා බොහෝ දෙනෙක් කටයුතු කළහ. මෙහිදී මට හැඟී ගියේ සිංහල ජනතාව සමග එකට ජීවත්වෙමින් අපට ද සමෘද්ධිමත ජීවිතයක් ගත කිරීමට එමට ඉඩකඩ ඇති බවය. සිංහල පමණක් යන පසුබිම මතද අපට එසේ ජීවත්විය හැකි බව මට මනාව වැටහුනි. එස්. ජේ. වී. චෙල්වනායගම්, ඊ. ඒ. වී. නාගනාදන් බොහෝ විට කටයුතු කළේ සිතේ ක්‍රෝධයක් නැතහොත් වෛරයක් තබාගෙනය. නාගනාදන් ආඩම්බරයෙන් සැම විටම කියා සිටියේ ඔහු චෝල පරපුරෙන් පැවතෙන්නෙක් බවය. මෙම දෙමළ නායකයන්ට ඇත්ත වශයෙන්ම කිරීමට තිබුණේ භාෂා දෙකක් එක රටක් යැයි පැවසු වාමාංශික කොටස් සමග එකතුවීමය. කොළඹ ජීවත්වෙමින් සෑම පහසුකමක්ම ලබමින් සිටි දෙමළ නායකයන් මෙහි සිටි කතා කළේ උතුරේ හා නැඟෙනහිර ඇති ඔවුන්ගේ සාම්ප්‍රදායික භුමි ගැනය. එහෙත් ඔවුන් ජීවත්වුයේ දකුණෙහිය. සිංහල පෙදෙස්වල සිටින දෙමළ ජනතාව උතුරට පන්නා දැමුවේ නම් තත්ත්වය කෙසේවීමට ඉඩ තිබුණේද? සිංහල ජනතාවගෙන් අපට කිසිදු හිරිහැරයක් සිදුවී නැත. අපට යම් හිරිහැරයක් සිදුවුවා නම් ඒ සිදුවුයේ දෙමළ ජනතාව අතින්මය. ඊට ප්‍රධානම හේතුවවුයේ මගේ බිරිඳ උඩරට වතුකරයේ කාන්තාවක් වීමය. දෙමළ සමාජය තුළ අපට බෙහෙවින් අකටයුතුකම් සිදුවී ඇත.

මම අධ්‍යාපනය ලබා උසස් තත්ත්වයක සිටි කෙනෙකි. එහෙත් කුලය අතින් මම පහත්ය. මා වැනි අයෙකුට උතුරු සමාජයේ කිසිම තැනක් හිමි නොවේ. මට දේශපාලනයට අවතීර්ණවීමට අවශ්‍යතාවක් තිබුණද මගේ කුලය නිසා එය කිරීමට හැකියාවක් තිබුණේ නැත. අපගේ දෙමළ දේශපාලනඥයන් කළේ මෙම ජාතීන් දෙක අතර ලොකු හිඩසක් ඇති කිරීමට කටයුතු කිරීමය. බණ්ඩරනායක චෙල්වනායගම් ගිවිසුම ඉරා දැමීම ගැන වඩාත්ම සතුටු වුයේ අරුසුකච්චු කණ්ඩායමය.

අද මේ පෙළපාලිවලට සහභාගිවන තරුණ තරුණියන් දකින විට මට පෙනී යන්නේ ඔවුන් චෙල්වනායගම් නාගනාදම් වැන්නවුන් බිහි කළ මිරිඟුව පසුපස යන පිරිසක් ලෙසය. ශ්‍රී ලංකාවෙන් පිටත වාසය කරන දෙමළ ජනතාව සත්‍ය පිළිගැනීමට කිසිදු උත්සාහයක් ගන්නේ නැත.

ප්‍රභාකරන් පරාජය කිරීමට ඉදිරියට නොපැමිණෙමින් ඔවුන් කරන්නේ ඔහුව ශක්තිමත් කිරීමය. මෙහිදී ඔවුන් කළ යුතුව ඇත්තේ ශ්‍රී ලංකාවේ රජයට හැකි පමණින් උදව් උපකාර කිරීමය. නැතහොත් අද අනාථවී සිටින පිරිස්වලට යම් උපකාරයක් කිරීමට කටයුතු කිරීමය. එසේ නොකොට ඔවුන් දැන් කරන්නේ කොටි ධජය වනමින් ප්‍රභාකරන්ට ඔල්වරසන්දීමය. ජේන්ස් ඉටන්ටරනැෂනල්හි තොරතුරුවලට අනුව ශ්‍රී ලංකාවෙන් පිටත වාසය කරන දෙමළ ජනතාවගෙන් වසර විස්සක කාලයක් පුරා යම් මුදලක් එකතු කිරීමට හැකියාව තිබුණේ නම් ශ්‍රී ලංකාවේ වාසය කරන සෑම දෙමළ වැසියකුට විශ්‍රාම වැටුපක් ලබාදීමට ඉඩකඩ ඇති බවය. එහෙත් ඒ වෙනුවට අප ජනතාව කළේ කොටි ත්‍රස්තවාදීන්ට ක්ලේමෝ බෝම්බ, ආර්පීජී, ඒකේ 47 සහ වෙනත් ආයුධ ගැනීමට එම මුදල් කොටින්ට ලබාදීමය. සුනාමි ආධාර පවා ගියේ කොටින්ටය.

ඊළාම් වෛරසය අද ලෝකය පුරා පැතිරි ඇත. වවුනියාවේ ඇති අනාථ කඳවුරු ඉන්දියාවේ ඇති අනාථ කඳවුරුවලට වඩා බෙහෙවින් යහපත්ය. මෙම දෙමළ ජනතාව අද පළමුකොටම කළ යුත්තේ මෙම ඊළාම් වෛරසයෙන් ගැලවීමය. ඊට පසු දෙමළ ජනතාවට අවශ්‍ය උපකාර කිරීමට පියවරගත හැකිය.

කැනඩාවේ ටොරෙන්ටෝහි වාසය කරන සෙබස්තියන් රාසලිංගම් විසින් දි අයිලන්ඩ් පුවත්පතට සැපයු ලිපියකිනි.

සිංහලට සකස් කළේ අසෝක වන්නිආරච්චි
(දිවයින_09/05/05)

පසුවදන_මේ ලිපිය ලියුවේ ද්‍රවිඩයෙකි. ඔහු මෙරට මෙන් ම යුරෝපයේ ද ජීවත්වූයෙකි. අද වන විට ඊළම, බොල් සිහිනයක් බැව් පරිණත ද්‍රවිඩයෝ අවබෝධ කරගෙන සිටිති. ඒ අවබෝධය සතර අත පැතිර යාම යහපත් ය. ඒ අවබෝධය සියලු ශ්‍රී ලාංකිකයින්ට සතුටින් සමාදානයෙන් මෙරට ජීවත් වන්නට පාර කියනු ඇත.
 
සිය රට දේ සිරි සැප දේ !