Tuesday, March 27, 2012

ජාත්‍යන්තරය හා හැප්පී වැඩක් නෑ, කතාකර බේරාගන්න – කිරිඇල්ල

රටට කෙළවෙනවා නම් එජාපය ආණ්ඩුවට පූර්ණ සහාය ලබා දෙන බව අපි දන්නවා. එදා යුද්දේ කරද්දිත් ඒක නවත්තලා නෝර්වේ මග පෙන්වීම මත සටන් විරාම ගිවිසුම ආරක්ෂා කරමින් සාමයට යන්න කියලා කියපු එවුන්ට මොනවාද කියන්න බැරි. මේ ආණ්ඩුවේ එවුන්ට වඩා කිරිඇල්ලලා හොඳට දන්නවා මේ ආණ්ඩුවේ ආයුෂ තීරණය වන්නේ දේශප්‍රේමි බලවේග ආණ්ඩුව සමග සිටීම හෝ නොසිටීම මත කියලා. ඒ නිසායි නියම නිලේ අල්ලලා පහර ගහලා තියෙන්නේ. ඔන්න කනවා නම් නියම ලනුව.

මේ රටට ආදරය කරන මිනිස්සු එදා ඉඳලා එජාපය හඳුන ගත්තේ අධිරාජ්‍යවාදයේ මෙරට අතකොලුව විදිහටයි. ඒ අදහස නැවත සනාථ කරනවා කිරිඇල්ල උන්නැහේලා. සුද්දෝ මොනවා ද කියන්නේ ඒක තමා හරි. එදා සුද්දෝ ලංකාව අතෑරලා යද්දි බලය පවරලා ගිය කළු සුද්දන්ගේ දරු මුනුබුරෝ තමා අද එජපයේ ඉන්නේ. උන්ට ඕන ආයේ සුද්දා ලවා හරි තම පක්ෂයට බලය ගන්න.

1987 ඉන්දියාව අපට බලහත්කාරකම් කළා වගේ ම මෙවර ඇමරිකා කළේත් තුප්පහි වැඩක්. කරන්න පුළුවන් සියලු ජඩ වැඩ කරලත් යන්තම් එක වැඩි ඡන්දයයි ගත්තේ. ඒත් ඊශ්‍රායලයට එරෙහිව ගෙනා යෝජනාවලදී ඊශ්‍රායලයට පක්ෂ වුණේ ඇමරිකාව විතරයි. රටවල් 36ක් විරුද්ධයි. දැන් ඊශ්‍රායලය කියනවා මේක හරි අසාධාරණයි. අපි ඉවත් වෙනවා කියලා. ඇමරිකාව අගයන සුපිරි ප්‍රජාතන්ත්‍රවාදය අනුව දැන් බල කළ යුතුයි ඊශ්‍රායලයට අති බහුතරයක් රටවල කැමැත්තට හිස නමා පරීක්ෂණවලට ඉඩ දිය යුතු බවට. එහෙම නොකර ඇමරිකාවට බැහැ අපට බලපෑම් කරන්න.

අපට ඇමරිකාව එක්ක හැප්පෙන්න කිසිම උවමනාවක් නැහැ. අපට අවශ්‍ය අපේ පාඩුවේ ඉන්න විතරයි. අපි අනිත් රටවල වැඩවලට ඇඟිලි ගහන්න යන්නෙත් නැහැ. ඒ නිසා ස්වාධීන රටක් විදිහට අපට පාඩුවේ සිටින්න නිදහසක් තිබිය යුතුයි. ඒ අහිංසක අයිතිවාසිකමත් අපෙන් උදුර ගන්න ඇමරිකාව ප්‍රමුඛ බටහිර රටවල් හදනවා නම් තවත් නිවට වී පලක් නැහැ. ඒ නිවටකම අප අගාධයට තල්ලු කරනු ලද හැකි ජයක් නැහැ.

ඒ නිසා අපේ නිදහසේ ජීවත්වීමේ අයිතිය විනාශ කරන්න උත්සාහ කරනවා නම් ඊට විරුද්ධව නැගී සිටිය යුතුයි. ඒ සඳහා ආධ්‍යාත්මික සටනකට සුදානම් විය යුතුයි. ඒ සඳහා අවශ්‍ය ශක්තිය අපට බුදු දහම සහ සංස්කෘතික උරුමය විසින් ලබා දී තිබෙනවා. ඇමරිකාව ඉතිහාසයේ දරුණුතම පරාජය ලැබුවේ බෞද්ධ රටක් වන වියට්නාමයේ දී. ඔවුන් ඒ පරාජය කොතරම් මානසිකව ඇද දැම්මා ද කිවහොත් මේ සිද්ධිය ඉතිහාස කෘතිවලින් ද ඉවත් කළා.

එහෙත් කිරිඇල්ලලා ප්‍රමුඛ එජාපය දැන් උත්සාහ කරන්නේ ජාතිය නැවතත් 1505ට දක්කා ගෙන යාමට බව සක්සුදක් සේ පැහැදිලියි. උන්ගේ පැවැත්ම ඇත්තේ අධිරාජ්‍යවාදී සපත්තුවලට පෑගෙමින් ඉඳුල්කන පරාධීන ජාතියක් සිටින යුගයක බව අපි හොඳින් දනිමු.

Monday, March 26, 2012

‘මාසයක් ජීවත් වෙන්න රුපියල් 2500න් පුළුවනි’ – බන්දුල ගුණවර්ධන

සිව්දෙනෙකුගෙන් යුත් පවුලකට රුපියල් 7500න් මසක් ජීවත් විය හැකි බව සොයා ගත් මහා ආර්ථික විද්‍යාඥ බන්දුල ගුණවර්ධනයෝ සිය සොයා ගැනීම තවත් ඉදිරියට ගෙන යමින් රු. 2500න් පුද්ගලයෙකුට මසක් ජීවත් විය හැකි බව ද ප්‍රකාශ කළහ. මේ මහා සොයා ගැනීම ඇමරිකාව එංගලන්තය වැනි රටක සිදුවිණි නම් 2012 වසරේ ආර්ථික විද්‍යාව සඳහා වන නොබෙල් ත්‍යාගය පවා මේ මහා බුද්ධිමතාට පිරිණැමීමට හොඳට ම ඉඩ තිබිණි.

ජීවත්වීම යනු නොමැරී සිටිම ද? එහි අර්ථය කුමක්ද? යන්න මේ මහා විද්‍යාඥයාට අමතකව ගොස් තිබේ. එක්සත් ජාතික පක්ෂයේ සිට මහින්ද රාජපක්ෂ මහතාගේ දෑත ශක්තිමත් කරන්නට පැමිණි කල්ලියේ කෙනෙකු වන බන්දුල ද එසේ පැමිණි සෙසු අය මෙන් ම 2005 ජන වරමට කළ හැකි සියලු නින්දා කරමින් සිටිති. ඒ ජනවරම ගොඩනැගු ජනතාවට කළ හැකි උපරිම නින්දා අපහාස කරමින් සිටියි. මෙවන් ගොං කතා කියමින් ආණ්ඩුව කෙරෙහි ජනතා අප්‍රසාදය ගොඩ නඟන අය කළ යුත්තේ එසේ කළ හැකි නම් සිය පාර්ලිමේන්තු පිං පඩිය රු. 10 000 දක්වා අඩු කරන ලෙස ඉල්ලා සිටීම ය. ඊට පසු හොරකම් අල්ලස් පතාළ කුඩු බිස්නස් නොකර රු. 10 000න් ජීවත් වන්නේ කෙසේ දැයි ජනතාවට පෙනෙන පරිදි ජීවත් වීමයි.

දේශමාමකයින් විසින් ගොඩනගන ලද 2005 බලවේගයේ නායකත්වය සඳහා මහින්ද රාජපක්ෂ පත්කර ගන්නා ලදි. එම ජනබලය ගොඩනගද්දි ඊට එරෙහිව කළ හැකි සියල්ල කරමින් එහි ප්‍රතිවිරුද්ධ පාර්ශවය ලෙස ජනතාව විසින් පරාජය කරන ලද දේශපාලන මතවාදය නියෝජනය කළ පිරිස් පසුව ජනපතිගේ අහවල් එක ශක්තිමත් කරන්න යැයි කියමින් ආණ්ඩුවට සම්බන්ධ වී එහි ඉහළ තනතුරුවලට පත්වූයේ ජනතාව විසින් දිනවු මහින්ද චින්තන ප්‍රතිපත්තියට අනුගත වෙමින් සිය පරාදීන දේශපාලන මතවාදවලින් බැහැර වී නොවේ. ඔවුහු තවමත් සිය පැරණි අදහස්වලම එල්බී සිටිති.

පාන් කන්න බැරි නම් කේක් කාපියවු කී ගණයේ මහ පොළවේ යථාර්තය හා එකඟ නොවන ප්‍රකාශ කරමින් ජනවරම හෑල්ලුවට ලක් කරමින් වැඩ කරන මේ විහිලුකාරයින් සෙමෙන් සෙමෙන් වුව සිදුකරන්නේ මේ ආණ්ඩුවේ ගෙළ මිරිකීමයි. ආණ්ඩුව ජනතාවට එපා කොට යූඇන්පී ආණ්ඩුවක් පත් කිරීමට වැඩ කිරීමයි. එසේ පත් වන ආණ්ඩුවේ ද ඉහළ පුටුවල‍ට වහා ම බඩ පිනුම් උඩ පිනුම් ගසන්නට මේ 63න් වැඩි පිරිසකට කිසිදු හිරිකිතයක් ඇතැයි මම නොසිතමි.

වගකිව යුතු ආණ්ඩුවේ ප්‍රබලයින් කළ යුත්තේ විකට නළුවන් කරන විනාශය අවබෝධ කරගෙන ඊට වහා පිළියම් යෙදීමයි. එසේ නොවුණ හොත් ජාත්‍යන්තරයට මේ රටට කඩ පැන මහින්ද රාජපක්ෂ මහතා කුදලා ගෙන යන තැනට මොවුන් කටයුතු කරනු ඇති බව දැන් නම් හොඳට ම පැහැදිලි ය. 1815 සිංහලේ රජු කුදලා ගෙන යන තැනට කටයුතු කළ උඩරට ප්‍රභුවරු අද විපක්ෂයේ පමණක් නොව ආණ්ඩුවේ ද සිටිති.

Sunday, March 25, 2012

ලංකාවට විරුද්ධව ඡන්දය දුන් චිලීයට දරුණු භූමිකම්පාවක් - පුවතක්

චීලියේ දරුණු භූමිකම්පාවක් ඇති වී ඇති අතර ඉන් සිදුවූ විනාශය පිළිබඳ සංඛ්‍යා ලේඛන ලැබී නැත. මේ පිළිබඳ පුවත අපට සතුටු විය හැකි දෙයක් නොවේ.

මේ පුවතේ මාතෘකාව ද්වේශ සහගතයි. කාගෙවත් ව්‍යවසනයකදී සතුටු වන එක සිංහල බෞද්ධකම නෙමේ. විවිධ බලපෑම් මගින් ඒ ඒ රටවල ඡන්දය ඇමරිකාව මංකොල්ලකෑ බවයි ඇත්ත. මේ ව්‍යවසනය නිසා අසරණ වන්නේ ඒ රටේ අහිංසක මිනිස්සු.

ඒ නිසා අපි කළ යුත්තේ ඔවුන් හා ඇති වාදභේද අමතක කරලා ඔවුන්ට හැකි නම් උදව් වෙන එකයි. අඩු තරමේ ඔවුන් වෙනුවෙන් මෙත් සිත් වැඩිය යුතුයි. ආධ්‍යාත්මිකව දියුණු ජාතියක් මිස අනුන්ගේ දුකේදී සතුටු වන ජාතියක් හදලා වැඩක් නෑ. යුද්ධයේ දී සිදුවූ මිනිස් ඝාතන ගැන දුටු ගැමුණු රජතුමා බොහොම කම්පා වුණා. අපි යා යුත්තේ ඒ මගයි.

අපේ රටට සුනාමිය ඇවිත් උතුර දකුණ විනාශ වුණාම මේ රටේ ජනතාව පක්ෂ ජාති භේද අමතක කරලා හැමෝට ම උදව් කළා. උතුරට විවිධ ද්‍රව්‍ය එකතු කරලා යැව්වා. ඒ ශ්‍රේෂ්ඨ මාර්ගය අපි වඩා වඩාත් ඉස්මතු කළ යුතුයි. ජනතාව ධාර්මික වෙද්දි රටේ පාලකයින්ටත් ධාර්මික වෙන්න සිදුවෙනවා.

ගෙවලයින්ට මළ ප්‍රේතයින්ට දිව්‍ය විමාන පාලනය කරන්න බැහැ. රටේ ජනතාව හැසිරෙන්නේ යක්කු වගේ නම් පාලකයොත් යක්කු වගේ තමා. පාලකයින්ගෙන් පිළිබිඹු වෙන්නේ ජනතාවගේ ආධ්‍යාත්මික දියුණුවයි.

Friday, March 23, 2012

මානව හිමිකම් පසුපස එන ආක්‍රමණය හමුවේ ගත යුතු මග

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් සමුළුවට ගෙන ආ යෝජනාව යන්තම් සම්මත කර ගන්න ඇමරිකාවට හැකි වුණා. ඇත්තට ම අවසානයේ බොහෝ රටවල් මේ යෝජනාවට පක්ෂ වුණේ විවිධ රාජතාන්ත්‍රක බලපෑම් සහ අභ්‍යන්තර දේශපාලන හේතු නිසා. ඉන්දියාව වුණත් එහෙමයි. යුරෝපා සංගමයේ රටවලුත් එහෙමයි.

ඉන්දියාවට නැගී එන චීනය අබියස ආරක්ෂාවට සිටින ඇමරිකාව ද බෙදුම්වාදය දිශාවට යාමේ අවධානම ඇති තමිල්නාඩුව ද ආරක්ෂා කරගත යුතු වුණා. මධ්‍ය ප්‍රදේශ මැතිවරණවලදී කොංග්‍රසය ලද පසුබෑම ද තමිල්නාඩුවේ න්‍යෂ්ටික බලාගාර ප්‍රශ්නය ද ඊට බලපෑම් කළා. අවසානයේ නවදිල්ලි පාලනය ද්‍රවිඩ අන්තවාදයට සහ ඇමරිකානු බලපෑමට සිය සෛරීබාවය උගස් කළා යැයි කියන්න පුළුවන්.

මේ අය කවුරුවත් අදාළ කාරණය ගැන නෙමේ හිතුවේ. මානව හිමිකම් ප්‍රශ්නය යටගොස් ලෝකයේ ඇමරිකන් බලය උරගාන ඡන්දයක් තමා තිබුණේ. ඔවුන් සමග තරඟ කොට අපි අන්ත පරාජයක් නොලබා ගෞරවය රැක ගැනීම සතුටක්. යෝජනාවට පක්ෂව ඡන්ද 24ක් ලැබෙද්දි අපිට පක්ෂව ඡන්ද 15ක් ලැබුණා. ඡන්දය දීමෙන් වැළකුණු රටවල් ගණන 8ක්. එතකොට යන්තම් ඡන්දයකින් තමා ඇමරිකා මේ යෝජනාව සම්මත කරගත්තේ.

අපට ලොකුම පාඩුව වුණේ ඉන්දියාව අපට විරුද්ධවීමටත් වඩා විරුද්ධ වන කලින් ප්‍රකාශ කිරීම. එහෙම නොකර ඔවුන් නිහඬව සිට අවසානයේ විරුද්ධව ඡන්දය දුන්නා න්ම තීරණය මීට වඩා වෙනස් වෙන්න තිබුණා.

මේ අවස්ථාවේ රජය වඩා අවධානයෙන් රට මුහුණ දී ඇති අවධානමෙන් ගලවා ගත යුතුයි. විශේෂයෙන් බලය බෙදීම පිළිබඳ යෝජනාවේදී වඩාත් සැලකිලිමත් විය යුතුයි. අති මහත් කැප කිරීමක් කොට දිනාගත් නිදහස සහ රටේ ඒකීයභාවය විනාශ කිරීමට සතුරන්ට කිසිසේත් ඉඩදිය යුතු නැහැ. ඒ සඳහා කළ යුත්තේ ගම් සභා දක්වා බලය බෙදා හැරෙන ක්‍රමයක් සම්පාදනය කොට විධිමත් ලෙස පුරවැසියා දක්වා බලය විමධ්‍යගත කළ කිරීම. ජන සභා, ගම් සභා, නගර සභා ඔස්සේ මධ්‍යම ආණ්ඩුවේ බලය පුරවැසියා අතට ගෙන යා යුතුයි.

ඊට සමගාමීව අප මත 1987 බලෙන් පැටවූ පලාත් සභා ක්‍රමය අහෝසි කළ යුතුයි. එමගින් රට දෙකඩ වීමෙහිලා ඉතා ම පහසු මග බවට පත්ව ඇති පලාත් සභා ක්‍රමය අහෝසි වේ. 2/3 බලය හිමි මේ ආණ්ඩුවට එය කිරීම කිසිදු ප්‍රශ්නයක් නොවේ. මෙවන් ශක්තිමත් ආණ්ඩු අනාගතයේ බිහිවෙතැයි සිතිය නොහැකි නිසා‍ ඒ සඳහා ඇති අවසාන අවස්ථාව මෙය වේ. එහෙයින් ඒ අවස්ථාව ජාතියට දිනා දීම ආණ්ඩුවේ වගකීමයි. එහෙත් ජාත්‍යන්තර බලපෑම්වලින් මිදීමට වඩා ක්‍රමානුකූලව උපක්‍රමශීලීව රාජ්‍යතාන්ත්‍රිව කටයුතු කළ යුතුය. ඒ සඳහා ගත යුතු මූලික පියවර ගම්සභා ක්‍රමය යෝජනා කර අනතුරුව පලාත් සභා ක්‍රමය අහෝසි කර දැමීමය.

Thursday, March 22, 2012

නිදන් හාරන්න යන්ත‍්‍ර දෙකක් ගෙන්වලා

උතුරු මැද පලාත් සභාව සහ නැගෙනහිර නියෝජනය කරන ආණ්ඩුවේ ප්‍රබලයෝ දෙන්නෙක් නිධන් හොයා ගන්න පුළුවන් මැෂින් දෙකක් මැඩගස්කරයෙන් ගෙනැල්ලාලු. අඩි සීයයක් යට තියෙන රන් රිදි මුතු මැණික් මේක ආධාරයෙන් හොයා ගන්න පුළුවන්ලු.

ආණ්ඩුවේ ප්‍රබලයෝ නම් අපේ ජනාධිපතිතුමාගේ දෑත් ශක්තිමත් කරන කෙනෙක් නම් කමක් නෑ. හැබැයි විපක්ෂයේ එකෙක් ගෙනාවා නම් ලංකාවේ පවතින නීතිය උපරිමයෙන් ක්‍රියාත්මක කරලා දඬුවම් දෙනවා. උන් දෙන්නා ම හිරේ දානවා. අර යන්ත්‍ර දෙක රාජ සන්තක කරනවා.

පස්සේ ඒක හෙමිහිට ආණ්ඩු පක්ෂ සන්තක කරලා ආණ්ඩුවක් විදිහට වගකීමෙන් යුතුව නිඳන් හාරනවා. අපේ දේශප්‍රේමී ආණ්ඩුවට මිසක් බටහිර ගැති විපක්ෂයට යැංකි පැංකිලාට මේ රටේ නිධන් හාරන්න ජනතාව බලය දීලා නෑ.

ස්වාධීන රූපවාහිනිය මේ ගැන අර ආණ්ඩුවේ ප්‍රබලයින්ගෙන් ඇහුවා ම කියන්නේ "මේක විරුද්ධ පක්ෂය තමන්ගේ දේශපාලන ජීවිතය විනාශ කරන්න ගොතාපු කතාවක්. අපි තිස් වසරක යුද්ධය නිමා කළ අතිගරු ජනාධිපතිතුමා සමග මේ රට දැවැන්ත සංවර්ධනයක් කරා රැගෙන යන්න දිවා රැ නොබලා වෙහෙසෙන කොට ආණ්ඩුව දිනෙන් දින ජනතාව අතර ජනප්‍රිය වෙන කොට ඒක දරා ගන්න බැරි විපක්ෂය සහ බටහිර බලවේග මේ ආණ්ඩුව පෙරලලා බටහිර රූකඩ ආණ්ඩුවක් පිහිටුවා ගන්න දරන නිරලජ්ජී උත්සාහයේ තවත් අවස්ථාවක් විතරයි මේක" කියලා.

ජනාධිපතිතුමා කියන්නේ ජනතා නියෝජිතයින් විනය ගරුක වෙන්න ඕන කියලා. ඒත් ඉතින් උඳු වපුරලා මුං පතලා වැඩක් තියෙනවාද?

Wednesday, March 14, 2012

වැඩ බැරි ටාසන්ගේ කතාව

අමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුවේ දකුණු හා මධ්‍යම ආසියාව භාර සහකාර ලේකම් රොබර්ට් ඕ බ්ලේක් වෝෂින්ටන් නුවරදී පවසා ඇත්තේ ලංකාවේ නැවත ගැටුම් වර්ධනය විය හැකි බවකි. ශ්‍රී ලංකා හමුදාව යුද්ධය අවසන් වී වසර තුනක් ගත වී ඇතත් වාර්ගික ප්‍රශ්න අලුත් කරමින් සිටින බව ද යුද්ධව අවසාන අදියරේ දහස් ගණන් සිවිල් වැසියන් ඝාතනය වීම හමුවේ ජාත්‍යන්තරයෙන් එල්ල වන පීඩනය හමුවේ ලංකා ආණ්ඩුව අප්‍රසා‍දයෙන් සිටින බව ද ඔහු තව දුරටත් පවසයි. ලංකාවේ වගවීම සම්බන්ධයෙන් ඇමරිකාව අවදියෙන් සිටින බව ද එය රටේ සාමය සඳහා අවශ්‍ය බව ද ඔහු තව දුරටත් පවසයි.

බ්ලේක් මහතාගේ විලි ලැජ්ජා නැති ප්‍රකාශය අපි තරයේ හෙළා දකිමු. ගිය සතියේ ළමයින් ගැහුනුන් ඇතුලු නිරායුධ ඇෆ්ගන් වැසියන් පිරිසක් මරා දැමුවේ ඇමරිකන් භටයෙකි. ඊට පෙර නේටෝ කඳවුරක කුරානය ගිනි තිබ්බේය. ගුවන්ටනාමෝ කඳවුරේ තවමත් සිය ගණනකට වඳ හිංසා පමුණුවමින් රඳවා ගෙන සිටියි. ඔවුන්ගේ ගජ මිතුරා ඊශ්‍රායලය පසු ගිය සතියේ බෝම්බ දමා පලස්තීන වැසියන් 20ක් මරා දැම්මේ ය. ළමයි විශාල ගණනක් තුවාල විය. මේ සියල්ලට ම ඔබාමා කරන්නේ තමන් මේ අපරාධ ගැන සලිත වූ බවත් සොරි යැයි කීමත් පමණි. ඉතිහාසයේ සිට බැලුවහොත් ලෝකයේ සිටින භයානකම මිනිමරුවා තම ඇසේ පොල් පරාල ති‍යාගෙන අනුන්ගේ ඇස්වල රොඩු සෙවීමට යාම කවර නම් විහිළුවක් ද?

එරික් නෝල්ටන් නමැති ඇමරිකන් නීතිපති පවසන පරිදි සිය රටට සතුරු වන අය ලොව කොතැන සිටියත් මරා දැමීමටත් පැහැර ගෙන ඒමටත් ඔබාමාට බලතල තිබේ. එය දෙවියන් වහන්සේ විසින් ඔවුන්ට ලබා දී ඇති බලයක් ද? එහෙත් අපේ රට වසර 30ක් ලේ විලක් කළ ත්‍රස්තවාදීන් විනාශ කිරීමට අපට බලයක් නැත. යුද්ධය අවසානයේ සිදු වූ ඝාතන ගැන කතා කරන ඔවුහු වසර 30ක් තිස්සේ කොටි කළ ඝාතන ගැන කිසිවක් නොදොඩති. බිහිසුණු මිනිස්‌ ඝාතන 860 ක්‌ සමූල මිනිස්‌ ඝාතක 300 හා දේශපාලකයන් 160 ක්‌ හිටපු අගමැතිවරයකු, ජනාධිපතිවරයකු සහ විදේශ ඇමැතිවරයකු ඝාතනය කිරීම ඇතුළු අපරාධකාරී ක්‍රියා 6780 ක්‌ කොටි සංවිධානය විසින් සිදු කර තිබේ. ඔවුන් විසින් මරා දමා ඇති සිවිල් වැසියන් ගණන 9365කි.

එසේ ම 2009 වෙල්ලමුල්ලවයිකාල්හිදි ප්‍රභාකරන් ඇතුලු කොටි රංචුව ඝාතනය නොවන්නට මේ මරණ ලැයිස්තුව තව කෙතරම් ඉහළ යා හැකිව තිබිණි ද? කොටි විසින් අමු අමුවේ මරා දැමු ජනතාවගේ මානව හිමිකම් ගැන ඇමරිකාව ජිනීවාවලට යෝජනාවක් ගෙන ආවේ නැත. ඒ ඝාතන නවතාලන්නට නේටෝ හමුදා සහාය දුන්නේ නැත. සැබවින් ම කොටි විනාශ කිරීම හරහා කළේ රටේ බහුතර ජනතාවගේ මානව හිමිකම් ආරක්ෂා කර දීමයි. ජීවත්වීමේ නිදහස ආරක්ෂා කර දීමයි. යුද්ධය සුන්දර නැත. එහිදී යම් යම් වැරදි සිදුවිය හැකිය. එහෙත් ඒ දෙස බැලිය යුත්තේ පරමාර්ථය කුමක්ද යන්නය. හමුදාව ක්‍රියා කළේ කොටි විනාශ කිරීමට ය. සිවිල් ජනතාව මිය ගියේ නම් ඒ කොටි යුද මුක්ත කලාපවලට පැන සිවිල් ජනතාව සමග සිටිමින් ප්‍රහාර එල්ල කිරීම නිසා ය.

කොටි ග්‍රහනයේ සිටි ලක්ෂ තුනක් දෙමළ ජනතාව ආරක්ෂිතව බේරා ගත්තේ හමුදාව විසිනි. එහෙත් මේ ගැන ඇමරිකාව කිසිවක් නොකියයි. කොටි දිනා අප යුද්ධයෙන් පරාජය වී නම් මේ කිසිවෙක් අප ප්‍රශ්න නොකරනු ඇත. ඒ මරණවලට ද වගවීමක් නැත. මන්ද මැරුවේ කොටි විසිනි. සැබවින් ම ඇමරිකාවට ඇත්තේ ඉරිසියාව මුසු වෛරයකි. ඔවුන්ගේ අනුමැතිය නොමතිව ඊට පටහැනිව යුද්ධ කිරීමත් එය ජයග්‍රහනය කිරීමත් නිසාය. ඇමරිකාව ඉතිහාසයේ කළ කිසිම යුද්ධයක් දිනා නැත. වියට්නාමය කාම්බෝජය ඇෆ්ගනිස්ථානය ඉරාකය ලිබියාව ආදි යුද්ධවල ඔවුන් ලද ජයක් නැත. බෞද්ධ රටක් වන වියට්නාමයේ දී ලක්ෂ ගණනක් ඝාතනය කළ ද ඇමරිකාව ඉන් ලැබුවේ අන්ත පරාජයකි. එය කෙතරම් දරුණු වීද යත් වියට්නාම් යුද්ධය ඇමරිකන් ඉතිහාස පොත්වලින් ඉවත් කර තිබේ.

ඉරාකයේ සහ ලිබියාවේ තෙල් සම්පත් කොල්ල කෑමට හැකි වූ බව සැබෑ ය. එහෙත් ඒ රටවල් සම්පූර්ණයෙන් විනාශ වී ලේ ගංගා ගලා යන විශාලා මහනුවරවල් බවට පත් ව තිබේ. ගෝත්‍ර අතර ගැටුම් සදාතනික වී තිබේ. ලිබියාව දෙකඩ විය. මේ රටවල බෝම්බයක් පුපුරන්නේ නැති ඝාතනයක් නොවන දවසක් නැත. එසේ ලොව පුරා ගොස් ඇනගත් ඇමරිකාව සිය පරාජයන් සාධාරණීකරණය සඳහා කදිම න්‍යයාක් ද ප්‍රයෝජනයට ගනී. ඒ යුද්ධයෙන් ප්‍රශ්න විසඳිය නොහැකි බවය. එහෙත් අප අපේ ප්‍රශ්නය ඔවුන් බැරි යැයි කී මාවතේ ගොස් විසඳා ගත් විට දැන් ඊට වග උත්තර බැඳීමට සිදුව තිබේ. සැබෑව නම් එයයි. මේ චෝදනා ඇමරිකාව සිය විලි ලැජ්ජාව වසා ගැනීමට දරණ ප්‍රයත්නයකි.

ලංකා හමුදාව වසර 30ක් පැවති ත්‍රස්තවාදය විනාශ කළා පමණක් නොව ඊට පසු උතුරු නැගෙනහිර රතිඤ්ඤයක් පවා පත්තු නොවන තරමට ආරක්ෂාව තහවුරු කිරීමට සමත් විය. එවන් හමුදාවකට වාර්ගික ප්‍රශ්න අලුත් කරන බව පවසන බ්ලේක්ගේ කුලි හමුදාව ඇෆ්ගනීස්ථානයේ කරන්නේ ගැටුම් සමනය කරන වැඩ ද? ශුද්ධ වූ කුරානය ගිනි තබා මුස්ලිම් ජනතාවගේ ආගමට කළ නිගරුව කෙතරම් ද? එය කෙතරම් ම්ලේච්ඡ ද? නිරායුධ සිවිල් වැසියන් මරා දමා ඔවුන් ගොඩ නගන්නේ වාර්ගික සහයෝගිතාවද? ඔවුන් කෙළවර කළ යුද්ධයක් නැත. දිනූ යුද්ධයක් ද නැත. ගිය හැම තැනම වූයේ ඒ ඒ රටේ සම්පත් කොල්ලකා රටම ප්‍රශ්න ගොඩකට ඇද දමා කා පසුබැස යාම පමණි.

ඇමරිකාව නැමති වැඩ බැරි ටාසන්ගේ උපදෙස් අපට අවශ්‍ය නැත. අප උදව් ඉල්ලා නැති අවස්ථාවක උදව්වීමට බලෙන් එන්නේ කුමට ද? ඔවුන් විසින් විනාශ කළ රටවල මෙන් අපේ රටේ මානව හිමිකම් උල්ලංඝනය වන්නේ ද නැත. දැන් ද්‍රවිඩ ජනතාවට සිංහල ජනතාව සමග සමගියෙන් ජීවත් විය හැකිය. එසේ සමගියෙන් ජීවත්වීම ඔවුන්ට ප්‍රශ්නයකි. නැවත ලංකාවේ යුද ගැටුම් ඇති විය හැකි යයි බ්ලේක් කියන විට ම දැන් කිසිම ගැටුමක් නැති බවද කියවේ. අපේ රට මේ තත්ත්වයට ආවේ ඇමරිකාවේ ආධාර උපදෙස් අනුව නොවේ. එහෙයින් ලංකා ජනතාවගේ මානව හිමිකම් ආරක්ෂා කිරීමට සැබෑ කැක්කුමක් ඇත්නම් ඇමරිකාව කළ යුත්තේ තමන්ගේ වැඩක් බලා ගැනීමය. නැත්නම් තමන් කළ සහ කරන යුද අපරාධවලට තමන් ම ජාත්‍යන්තර යුද අධිකරණයේ නඩුවක් දමා ගෙන එල්ලී මැරීම ය.

මේ රටේ විපක්ෂය (ආණ්ඩුවේ නොවේ) අද ක්‍රියා කරන්නේ 1815 උඩරට ප්‍රභුවරු ක්‍රියාකළ අයුරිනි. එදා ඒ රදළයින් සිතුවේ රජු සුද්දා කුදලා ගෙන ගොස් පාලනය තමන්ට ලබා දේ යැයි කියා ය. මේ ප්‍රභූවරු ඒ වන විටත් රටේ ඒ ඒ කොටස් තමන් පාලනය කරන අයුරු පවා සැලසුම් කර තිබිණි. එහෙත් අවසන වුයේ සමස්ත රට සුද්දාට යටත් වීම ය. වසර දෙදහස් ගණනක් අප ආරක්ෂා කර ගත් නිදහස මේ රදළයින් විසින් පාවා දෙන ලදි. අද අපේ විපක්ෂය ද කරන්නේ ඒ ටිකමය. එහෙයින් රටේ දේශප්‍රේමී ජනතාව සිය රට ගැන අවදියෙන් සිටිය යුතුය.




Monday, March 12, 2012

තමාරාට කැපිල්ලක්, ජිනීවා මෙහෙයුම අඩාලයි

ස්විට්සර්ලන්තයේ ශ්‍රී ලංකා තානාපතිනිය තාමාර කුගනායගම් මහත්මිය මෑත ඉතිහාසයේ ලංකාව වෙනුවෙන් විශාලතම සේවයක් කළ නාතාපතිනිය ලෙස ඉතිහාසගත වී හමාරය. රට ගිනිගෙන දැවෙද්දි රට වෙනුවෙන් ඉටුවිය යුතු සිය තානාපති වගකීම් තඹයකට මායිම් නොකර යුරෝපයට වී සැප ගන්නා හරක් පට්ටියක් බවට පත්ව ඇති ලංකා තානාපති සේවයට මේ ද්‍රවිඩ කත පරමාදර්ශයකි. වයසට යාම, මැතිවරණයෙන් පරාදවීම, පවතින රජයේ ප්‍රබලයින්ගේ ඥාති හිතමිත්‍රාදීන් වීම සිය සුදුසුකම් කොට ගෙන තානාපතිවරු ලෙස පිට රටවලට යහපත් වන මේ හැත්ත ඒ රටවල නිවාඩුගත කරති. රාජතාන්ත්‍රික සැප ගනිති. සමහරු කොටි ඩයස්පෝරාව සමග ද නිදි වදිති.

මේ වන විට රටේ හතුරන් සමග මාරාන්තික සටනක නියැලෙන තමාරා කුගනායගම් මහත්මියට අදාළ තානාපති කාර්යාලයේ නිලධාරීන්ගෙන් අවශ්‍ය සහාය නොලැබෙන බව වාර්තා වී තිබේ. මෙය ඉතාම භයානක තත්ත්වයකි. සිය පුද්ගලික අරමුණ වෙනුවෙන් මේ තීරණාත්මක මොහොතේ මෙවැනි කටයුතුවල යෙදීම තරම් දේශද්‍රෝහී ක්‍රියාවක් තව ඇද්ද? තමාරා පෙනී සිටින්නේ සමස්ත රට සහ එහි අනාගත සුරක්ෂිතභාවය වෙනුවෙනි. ඒ බව අවබෝධ කරගෙනඇයට අවශ්‍ය සහය ශක්තිය ලබා දීම සමස්ත රට වැසියාගේ වගකීමයි. තමන් තානාපති තානාපති වරප්‍රසාද ලබන්නේ රට වෙනුවෙන් යුතුකම් ඉටු කිරීමට බව සෙසු නිලධාරීන් ද අව‍බෝධ කරගත යුතුය. එසේ නොකරන උන් වහාම මේ රටට කැඳවා දෙහිවල සත්තු වත්තට යවා මිනිසුන් අදාළ පුටුවලට පත් කිරීම රජයේ වගකීමයි. නැතහොත් මේ කඳ පණුවන් ඉහඳ තබන්නේ තමාරාට නොව අපේ මව් බිමේ අනාගතයට බව අවබෝධ කරගත යුතුය.

මේක කොහොම බැලුවත් බරපතළ කාරණයක්. තමාරා කුගනායගම් වැනි තානාපතිවරු මේ රට වෙනුවෙන් සේවය කරන්න වැඩි වැඩියෙන් අවශ්‍ය මොහොතක් මේක. ඒ වගේ වෙලාවක මුළු රටම ඇයට ශත්තියක් විය යුතුයි. ඒ සඳහා මේ රටේ මුදලින් තානාපති කාර්යාලයට අනුබද්ධ කර ඇති කිසිවෙක් ඒ සේවය පැහැර හරී නම් හුදු පෞද්ගලික ලාභ පතා වැඩ කරයි නම් වහාම එවන් කැනහිලුන් මෙරටට කැඳවා රටට දැයට හිතැති නිලධාරීන් වහා යැවීම රජයේ වගකීමක්.
රටට දැයට හිතැති කියන්නේ අර ඇමතිගේ දූ මේ ඇමතිගේ පුතයි ඇමතිතුමාගේ හොර ගෑණියි නෙමේ. රාජ්‍ය තාන්ත්‍රික කටයුතු පිළිබඳ දැනුම ඇති දේශප්‍රේමී නිලධාරීන්. අපි වහාම ද්‍රවිඩ ජාතිය මේ රටට හිතැති පිරිසක් කිරීමේ කටයුතු ආරම්භ කළ යුතුයි. තමාරා කුගනායගම්, ආරුන් තම්බිමුත්තු, පී. උදය රාසා වැනි අය රජයේ වැදගත් නිලතලවලට පත් කොට ඔවුන්ට අවශ්‍ය අභිමාණය ලබාදිය යුතුයි. ඔවුන්ගෙන් රටට ප්‍රයෝජන ලබාගත යුතුයි. ඒ ඔස්සේ සාමාන්‍ය දෙමල ජනතාවට අපට ලොකු පණිවිඩයක් දෙන්න පුළුවන්. බෙදුම්වාදීන් බටහිර අධිරාජ්‍යවාදීන් NGO මුදලාලිලා මොනවා කීවත් අපි මේ රටේ ඔබට නිසි තැන ලබා දෙනවා කියලා.
ඒත් මේ ටික අපේ ආණ්ඩුවේ ඉන්න එවුන් තේරුම් අරගෙන නෙමේ වැඩ කරන්නේ. මේ රටට විශාල සේවයක් කරපු රටටම අභිමාණයක් වෙච්චි ආනන්ද කුමාරස්වාමී මහතා වෙනුවෙන් නම් කොට තිබූ මාවත 'නෙළුම් කුළුණ මාවත' කිරීමෙන් පැහැදිලි වෙන්නේ ඒ තකතීරු අමනභාවයයි. සැබවින් ම කළ යුතුය තිබුණේ මේ මාවත නෙළුම් කුළුණ මාවත කිරීම නෙමේ අර කුළුණ "ආනන්ද කුමාරස්වාමි අනුස්මරණ කුළුණ" කිරීමයි. ඒ වගේ සුළු දෙයකින් අපට රටට ලෝකයට දිය හැකි ආදර්ශය කෙතරම් ද? එහෙත් මේ රටේ කිහිප දෙනෙක් හැරුණු විට මැති ඇමතිවරු ඉහළ රාජ්‍ය නිලධාරීන් සියල්ලන් ම ජනාධිපතිතුමා මුරුංගා අත්තේ තබා යමක් කඩා වඩා ගැනීමට මිස රටේ අනාගතය ගැන හිතා යමක් කරන පිරිසක් නොවේ. රටේ අවාසනාව ද එයම වේ.

Sunday, March 11, 2012

මට මඩ ගහන්න හදනවා – ජෝන් සෙනෙවිරත්න

කහවත්ත මිනිමරුම ගැන තමන් කිසිවක් නොදන්නා බවත් මිනිමරුවන් අත් අඩංගුවට ගැනීමට එරෙහිව තමා කිසිවක් නොකළ බවත් සිය ලේකම්වරයා මෙය දැනගත් වහා ඉවත් කළ බවත් රාජ්‍ය පරිපාලන හා ස්වදේශ කටයුතු ඇමති පවසා තිබේ. මේ තොත්ත බාබා ඇමතිතුමා සිය ලේකම්වරයා තනතුරෙන් ඉවත් කළ පමණින් ප්‍රශ්නය විසඳේද?

යකෝ මේක මාර කතාවක්නේ. සම්බන්ධීකරණ ලේකම් කියන මිනිහා දැන් අවුරදු 20ක් මෙයා එක්ක වැඩ. සම්බන්ධීකරණ ලේකම්ගේ පුතාට ජොබ් එක දුන්නේ මෙයා. ඌ බන්ධනාගාරයට කුඩු ඇදලා හිරේ. එතකොට ලේකම්ගේ මල්ලි කසිප්පු පෙරනවා කුඩු විකුණනවා ගංජා ගහනවා. මෙයා බාබා. මුකුත් දන්නේ නෑ. මිනී මැරුම වෙලාත් මිනිමරුවා කවුද කියලා පලාත ම දැන ගෙනත් සති ගාණක් මිනිමරුවා නිදැල්ලේ හිටියේ අර කසි කබල් ප්‍රාදේශීය සභා මන්ත්‍රීගේ බලයට ද? ප්‍රදේශීය සභා මන්ත්‍රී කෙනෙකුට පුළුවන් ද මේ රටේ පොලිසියට ඒ තරම් බලපෑම් කරන්න?

අවුරුදු 20ක් තිස්සේ ගරු ඇමතිතුමාගේ දේශපාලන හෙවනැල්ලට මුවා වී මේ සුනඛ රංචුව කෙතරම් ජඩකම් මැරකම් කරන්නට ඇද්ද? රටට කෙතරම් කුඩු පොවන්නට ඇද්ද? ඇමතිතුමා බන්ධනාගාර රැකියාව දුන් කුඩුමුදලාලි කෙතරම් කුඩු ඇතුළට අදින්න ඇද්ද? සම්බන්ධීකරණ ලේකම්ට ලබා දුන් කැබ් රථයේ කෙතරම් කුඩු නිල බලය පෙන්වා පලාත පුරා ප්‍රවාහනය කරන්න ඇද්ද? ඒ උතුමා මේ සියලු පව් මැදින් ගොස් 'මතට තිත' ප්‍රතිපත්තිය වෙනුවෙන් කෑ ගසන්නට ඇත.

තමන්ගේ සම්බන්ධීකරණ ලේකම්ගේ වතගොතවත් නොදන්න මිනිහෙක් තමා මේ රටේ රාජ්‍ය පරිපාලන හා ස්වදේශ කටයුතු ඇමති. අර කාලකන්නි මූසලයෝ තුන්දෙනා ලංකාවෙද නැද්ද? ස්වදේශ කටයුතු කියන්නේ පිට රට වැඩද? දැන් ලංකාවේ පාතාල කුඩු බිස්නස් කරන මැරයෝ ස්ත්‍රී දුෂකයෝ ඔක්කෝම ඉන්නේ පාර්ලිමේන්තුවේ පළාත් සභාවේ. නැත්නම් ප්‍රාදේශීය සභාවල. උන් ඒවයේ ඉඳ ගෙන ප්‍රභූ ආරක්ෂාව යටතේ සියලු බලු වැඩ කරනවා. මොවුන්ට දේශපාලන රැකවරණ දෙන අයට ඇත්තේ දේශපාලන ප්‍රතිරූපයක් නොව මිනීමරු පතාළ කුඩු ප්‍රතිරූපයක් බව රටට නම් අරුමයක් නොවේ.

මතට තිත කියලා ප්‍රතිපත්ති ප්‍රකාශනයේ ගහලා ඡන්දේ අර ගෙන රටටම කුඩු බෙදන කුඩුකාරයෝ සම්බන්ධිකරණ ලේකම්වරු කර ගෙන තව කුඩුකාරයෝ බන්ධනාගාරයට දාලා කැබිනට් ඇමතිකම් දරන්න පුළුවන් පුදුම රටක් මේක. දැන් මේ රටේ තියෙන්නේ කුඩුපාලනය මැරපාලනය පතාලපාලනය මිසක් දේශපාලනය නම් නෙමේ. ප්‍රධාන පක්ෂ දෙකේ ම ඉන්නේ නීතියෙන් වහන් වෙන්න පක්ෂවලට රිංගපු දරුණු අපරාධකාරයෝ, පතාලකාරයෝ සහ උන්ගේ කර මතින් දේශපාලනය කරන මැරයින් ය. ඌරෙකුට මඩ ගැසීමෙන් අත්වන සෙත කුමක්දැයි මගේ මිතුරෙක් මගෙන් ඇසුවේ ඇමතිතුමාගේ උක්ත ප්‍රකාශය දැකලා ය.

Saturday, March 10, 2012

පොලිස් කොමිසම පුස්සක් – ඇල්ලේ ගුණවංශ හිමි

18 වැනි ව්‍යවස්ථා සංශෝධනය යටතේ පත් කළ පොලිස් කොමිසම කිසිදු බලයක් නැති පුස්සක් බව ඇල්ලේ ගුණවංශ හිමි පවසයි. ඊට ඇති එකම බලය පොලිස් නිලධාරීන්ට එරෙහි පැමිණිලි විභාග කිරීමේ බලය පමණි.

මේ අනුව 17 වැනි සංශෝධනය යටතේ පැවති ඉහළ පොලිස් නිලධාරීන් පත් කිරීම, උසස් කිරීම හා විනය පරික්ෂණ කිරීමට පැවති බලතල නැවත විධායකය වෙත රැගෙන තිබේ. ඒ බතල ගැනීමට සාකච්ඡා කරන බව ගුණවංශ හිමි තව දුරටත් පවසයි.

මට ඒ ගැන කීමට ඇත්තේ මෙපමණයි. ඒ බලතල දීලා ඔබ වහන්සේ වගේ අය පත් කරන්නේ නෑ. කොහෙන් හරි බත් බැලයෝ ටිකක් එහෙයියෝ ටිකක් පත් කරාවි. ඔක්‍කෝම බලතල ඔඩොත්තුවේ දාගෙන ඉන්න යන නිසා තමා ප්‍රශ්න වැඩි. කොමිසන් සභා පත් කරලා මදි. පාර්ලිමේන්තුව බලවත් කළ යුතුයි.

විධායක ජනාධිපති ධූරය යුද්ධය අවසන් කරන්න උදව් වුණු බව ඇත්ත. නමුත් විධායක බලතල නිසා දැන් සමහර හොඳ දේවල් පවා කරන්නත් බෑ. අර අවර ගණයේ ගීත නිර්මාණ බිහි වීම වළක්වන්න පනතක් ගේන්න හැදුවා. ජනාධිපතිතුමා ඒක නවත්තලා. එතුමාට ඒ ගැන ලොකු දැනුමක් නෑ.

ප්‍රසිද්ධ රැඟුම් පාලක මණ්ඩලයට චිත්‍රපටි යවනවා නම් ගීත යැවීමේ වරදක් නෑනේ. එහෙම පාලනයක් අවශයයි. ඒක නිර්මාණවලට වැට බැඳීමක් නෙමේ. අවර ගණයේ නිර්මාණවලට වැට බැඳීමක්. හොඳ නිර්මාණවල උදව්වීමක්. සංස්කෘතිය ආරක්ෂා කරන්න ගන්න හොඳ පියවරක්.

ළඟදී ජනාධිපතිතුමා ස්වාධීන රූපවාහිනියට කතා කරලා බැන්නලු නාට්‍යයක පවුලේ අය රංඩු වෙද්දි 'තමුසේ' කීවා කියලා. මේවා පෙන්නලා අපේ රටේ ළමා පරපුර හදා ගන්නේ කොහොමද ඇහුවාලු. එතකොට බුදු බණ රැප් කරලා කොහොමද අපේ රට හදන්නේ. ගංජා ගැන සිංදු කියලා, කොහොමද රට හදන්නේ. 'හාදු කූඩයක් අර ගෙන එන්න මා සොයා' කියලා සිංදු කිව්වා ම රට හැදෙනවාද? මේ ගැන අපි අවධානය යොමු කළ යුතුයි.

විධායක බලතල දරනවා නම් තමන් මුලින් ම නිහතමානී විය යුතුයි. මොකද තමන් නොදන්න දේවල් ගැන දන්න අයගෙන් විමසිය යුතුයි. එහෙම නොවුණා ම වෙන්නේ වඳුරට දැලි පිහිය ලැබුණාම වෙන දේමයි. මේ රටේ එහෙම නිහතමානී මිනිස්සු නැති නිසා කළ යුත්තේ ඒ බලතල ඒ ඒ ආයතනවලට පැවරීම.

රටේ පහ පාලනයට එය වැදගත්. එහෙම වුණා නම් බලතල පළාත් සභාවලට බෙදිය යුතුය කියන අදහස වුණත් යටපත් කරන්න පුළුවන්. සියල්ල විධායකය යටතේ තිබීම බෙදුම්වාදීන්ට හොඳ තුරම්පුවක් නිතර තමන්ගේ න්‍යාය සාධාරණීකරණය කරන්න.

Wednesday, March 7, 2012

බටහිර උවමනාව ශ‍්‍රී ලංකාවේ ආණ්ඩුව පෙරළීමයි – තමාරා කුගනායගම්

















උප්පැන්නයේ සිංහල යැයි හණ ගසා ඇති සුනන්ද ‍දේශප්‍රිය, සඳරුවන් සේනාධීර, වික්‍රමබාහු කරුණාරත්න, සිරිතුංග ජයසූරිය, මංගල සමරවීර, ජයලත් ජයවර්ධන වැනි ජාති භ්‍රෂ්ටයින් හා සසඳන කල තමාරා කුගනායගම් නමැති මේ දෙමළ කාන්තාව විහාරමහාදේවි, සෝමා දේවි පරපුරේ නියම සිංහල කාන්තාවකි. සිංහලයා යනු පණ්ඩුකාභය රජ දවස සියලු ගෝත්‍ර එක් වී එක්සේසත් ශ්‍රී ලංකාවක් වෙනුවෙන් (අද වචනවලින් නම් ඒකීය ශ්‍රී ලංකාව) සපථ කළ පිරිස හඳුන්වන නම මිස අනෙකක් නොවේ. එය ඒකීය ශ්‍රී ලංකාව වෙනුවෙන් පෙනී සිටින චින්තන ධාරාවේ නියෝජිතයින් හඳුන්වන නමය. එහෙයින් තමාරා වැනි ශ්‍රේෂ්ඨ සිංහල දියණියන් ලක් මවට සදා වාසනාවන්!

වසර දෙදහස් ගණනක් තිස්සේ සිංහලකම පැවතියේ මෙසේ චින්තන ධාරාවක් ලෙස ය. එහෙයින් ඉන්දියාවෙන් පසුව පැමිණි බොහෝ දෙනා එක්සේසත් රටත් බුදු සසුනත් රැක ගැනීමට ගිවිස සිංහලයින් බවට පත්විය. නායක්කාර්වංශික රජවරු එසේ සිංහලයින් බවට පත්වුහ. පරාක්‍රමබාහු රජු යාපා පටුනට පැමිණි ඉන්දිය ආක්‍රමණිකයින් පළවා හැරීමට යැව් සපුමල් කුමාරයා ද මෙසේ සිංහල බවට පත්වූ දෙමළ සම්භවයක් සහිත කුමාරයෙකි.

එහෙත් බටහිරයන් මෙරටට පැමිණි පසු ඇරඹුණු උප්පැන්න සහතික ක්‍රමය තුළ දරුවාගේ පියා ද ඔහුගේ ජන වර්ගය අනුව ජාතිය ද තීරණය කරන ක්‍රමයක් ඇරඹිණි. මේ සමග සිංහලකම චින්තන සම්ප්‍රදායක් ලෙස හඳුනා ගැනීම යට ගොස් එය හුදු වර්ගවාදය හඳුන්වන නාමයක් බවට පත් විය. මේ නිසා රටට හතුරු ජාති භ්‍රෂ්ටයින් ද හැඳින්වීමට සිංහල යන වචනය යොදයි. සැබවින් ම එය කපුටන් කොවුලන් ලෙස හැඳින්වීමකි.

මේ සඳහා ඇති විසඳුම නම් උප්පැන්නයේ ජාතිය සිංහල ලෙස හංවඩු ගැසීම නතර කිරීම ය. උක්ත චින්තන සම්ප්‍රදාය පිළිගන්නා ඕනෑ ම අයෙකුට සිංහලයෙකු විය හැකි ය. ඔහු පැමිණි රට අපට අදාළ නැත. එස්.මහින්ද හිමි සිංහලයෙකු වන්නේ ඒ අයුරිනි. ලක්ෂ්මන් කදිරගාමර් සිංහලයෙකු වන්නේ ඒ අයුරිනි. මා මුලින් සඳහන් කළ ජාති භ්‍රෂ්ටයින් අසිංහලයින් වන්නේ ඒ අයුරිනි.
 
සිය රට දේ සිරි සැප දේ !