Wednesday, September 28, 2011

මහවැලි ගොවීහු පිරිසක්‌ රජයේ පොහොර සහනාධාරය එපා කියති - පුවතක්

ඊනියා කෘෂිකර්ම විද්‍යාඥයින් සහ ආචාර්ය මහාචාර්යයින්ට කෘමි නාශක රසායනික පොහොර නැතිව හුස්ම ගත නොහැකි සමයක මහවැලි බී කලාපයේ වැලිකන්දේ ගිනිගමන ගමේ ගොවීන් පිරිසක් රජයේ පොහොර සහනාධාරය ප්‍රතික්ෂේප කර තිබේ. රසායනික පොහොර භාවිතයෙන් අක්කරකට බුසල් 120ක වී අස්වැන්නක් ලැබූ ඔවුහු කාබනික පොහොර භාවිතයෙන් බුසල් 200ට ආසන්න අස්වැන්නක් ලබති.

සහනාධාරයක් ලෙස සයනයිට් දුන්නද ඒවා ගෙන කා මැරෙන තරමට ජාතිය හිඟන මානසිකත්වයක සිටින යුගයක සහනාධාරයක් ප්‍රතික්‍ෂේප කිරීම ම ප්‍රණාමයට හේතුවකි. අද ලංකා ජාතියෙන් බහුතරය මොනයම් හෝ සහනාධාරයකින් යැපෙන හිඟන රංචුවක තත්ත්වයට පිරිහී තිබේ. එම හිඟන මානසික විසාදියෙන් මිදී සිය සම්ප්‍රදාය මත විශ්වාසය තබා දෙපයින් නැගී සිටීමට මේ කොදෙව්වේ ම අතලොස්සක් වුව තීරණය කිරීම සුබ පෙරමග ලකුණකි.

සැබවින් ම මේ රට පෙරදිග ධාන්‍යාගාරය බවට පත්වූයේ රසායනික පොහොර මුදලාලිලාගේ රන්කැට වන් වස කැට දමා මේ පොළොව කෙළෙසීමෙන් නොවේ. ඔවුන්ගේ වස ඉසීමෙන්ද නොවේ. අපේ සම්ප්‍රදාය පදනම් කරගත් අපේ වී වර්ගවලිනි. වස විස නැති පොහොරිනි. වස විස නැති කෙම්ක්‍රම ආදිය පදනම් කරගත් කෘමි පාලන, වල් පාලන ක්‍රමවලිනි.

මේ රටේ දේශ මාමකයින්ගේ ඡන්දයෙන් බලයට පත් ආණ්ඩුවට ගිනිගමන ගමේ ගොවින් ලබාදුන් පණිවිඩය හමුවේ ගතයුතු ක්‍රියාමාර්ග කිහිපයකි. පළමු වැන්න නම් වස කොම්පැණි සහ රසායනික පොහොර කොම්පැණිකාරයින්ගේ ආධිපත්‍යයට ගොදුරු වී ඇති ගොවියා ඉන් මුදවා ගැනීමයි.

ඒ සඳහා මේ රටේ විශ්වවිද්‍යාලවල කෘෂි පීඨවලින් පිට කරන කෘෂි උපාධිධාරීන්ගෙන් රටට ලැබෙන ඵලය කුමක්ද යන්න සමාලෝචනය කළ යුතුය. උක්ත සමාගම්වලට සේවය කිරීම හැර ඔවුන් කරන දෙයක් නැත. මේ පීඨවලින් අඩු තරමේ ගෙදර කෙහෙල් පඳුරක් හරියට නඩත්තු කරන මිනිහෙක් බිහි කළේද යන්න මට නම් ගැටලුවකි.

එහෙයින් මේ පීඨවල රටේ අවශ්‍යතාව අනුව දේශීය දැනුම සම්ප්‍රදාය නමැති පදනමේ පිහිටා විදෙස් දැනුම සමග ගනුදෙනු කළ හැකි පිරිසක් බිහි කළ හැකි වන පරිදි විෂය මාලා සැකසිය යුතුය.

මෙතෙක් කල් පොහොර සමාගම් මාෆියාව අප හමුවේ වමෑරූ අසත්‍ය ප්‍රචාර දැන් ජනතාව ඉදිරියට ගෙන යා යුතුය. ඒ සඳහා රජයේ මාධ්‍යවල විශේෂයෙන් රූපවාහිනි ගුවන්විදුලි මාධ්‍යවල ප්‍රමාණවත් ඉඩක් වෙන් කිරීම ඉතා වැදගත්ය.

එහෙත් මේ රජය කරන්නේ කුමක්ද? ඉඟුරු දී මිරිස් ගැනීමය. සිගරට් මත්පැන්වලට බදු ගසා ලබා ගන්නා මුදලින් රසායනික පොහොරවලට සහනාධාර දීම වනාහි කැහි ගෑණි දී හොටු ගෑණි ගැනීමේ පිළිවෙතට එහා නොයන්නකි.

එහෙයින් රජය කළ යුත්තේ මේ මංමුලාවෙන් මිදී කාබනික පොහොරවලට වඩ වඩා සහනාධාර දෙමින් එය දිරි ගැන්වීමය. එම අස්වනු මිලයට ගැනීමට පුළුල් වෙළඳ පොලක් සැකසීමය. එය ක්‍රමයෙන් සාර්ථක වන විට රසායනික පොහොර සහනාධාර කප්පාදු කිරීමය. සිය නිවසේ කුණු ටික යළි පොහොර බවට හරවා ගැනීමේ ක්‍රමවේදය දක්වා ජන මනස සැකසිය යුතුය. වසෙන් විසෙන් තොර සෞඛ්‍යාරක්ෂිත ආහාර වේලක් ලබා ගැනීමේ අයිතිය ජනතාව වෙත ලබා දිය යුතුය.

එය නොතකමින් ගෙවතු දශ ලක්ෂයක් නොව විසි ලක්ෂයක් වගා කළද අපේක්ෂිත ප්‍රතිඵල අත් නොවනු ඇත. වගා කිරීම් දිරි ගැන්වීමට සාපේක්ෂව කාබනික පොහොර සහ දේශීය කෘමි පාලන ක්‍රම සහ වල් පාලන ක්‍රම දිරිගැන්විය යුතුය. දේශීය වී වර්ග නැවත නිෂ්පාදනය කළ යුතුය. රෝගවලට ඔරොත්තු දෙන බීජ වර්ග හඳුන්වා දිය යුතුය. එසේ නැතහොත් මේ සියලු වගා දිරිගැන්වීම්වල අවසාන ප්‍රතිඵලය පොහොර මුදලාලිලා සහ වස මුදලාලිලා මිලියන බිලියන ගණනින් සාක්කුවේ දමා ගන්නා අතර ඒ යාන්ත්‍රණයට ගොදරු වන රටේ ජනතාව අලිය ගිල්ල දිවුල් වැනි වනු ඇත.

Tuesday, September 27, 2011

කොළඹ නරගයේ සිඟමනේ යෙදෙන්නන් අත්අඩංගුවට ගැනේ - පුවතක්

මේ රටේ ඉන්න සම-හරක් නොදන්නවා වුණාට හිඟාකෑම නීතියෙන් තහනම්. ඒක ලංකාවේ දඬුවම් ලැබිය හැකි වරදක්. දැන් වෙලා තියෙන්නේ මේ සියලු හිඟන්නෝ වැටුප් ශ්‍රමික‍යෝ වෙලා. ඒ කියන්නේ හිඟන මුදලාලිලා යටතේ සේවය කරන ශ්‍රමිකයෝ. අපි දෙන හැම රුපියලකින්ම වැඩි කොටස යන්නේ මේ හිඟන මුදලාලිට. ඒ අය යන්නේ ප්‍රාඩෝවලින්. කන්නේ හිල්ටන් ගලදාරිවලින්.

මේක මහා පරිමාණ පතාළ බිස්නස් එකක්. ඒ නිසා මේක කොළඹ ට්‍රැපික් ලයිට් ළඟ විතරක් නෙමේ මහ මග, බසයේ, කෝච්චියේ හිඟාකෑම තහනම් කළ යුතුයි. ජීවත් වෙන්න අමාරු අය ඉන්නවා නම් ඒ අයට වෙනම අනාථ නිවාස වගේ දේවල් රජය ක්‍රියාත්මක කළ යුතුයි. මිනීමරු පතාළය වගේ හිඟන පතාළයත් වහා තුරන් කළ යුතුයි.

මීට විරුද්ධව නැගී සිටිය හැකි සිව්වනක් පිරිසක් මම දකිනවා. පළමු පිරිස මේ හිඟන්නන් අන්ත අසරණ මිනිසුන් යැයි සිතාගෙන ඒ පසුපස ඇති මහා ව්‍යාපාරය පිළිබඳ නොදන්න අය. මේ අය සංවේදී මිනිස්සු. වහා හිත උණුවෙන මේ රටේ සිංහල බෞද්ධ සංස්කෘතියෙන් පෝෂණය වුණු මිනිස්සු. එයාලා පක්ෂ භේදවලින් තොරව මේකට විරුද්ධ වෙනවා, තමන්ගේ දැනුමට සාපේක්ෂව.

ඊළඟ පිරිස තමයි දේශපාලන පක්ෂ කසාද බැඳපු අය. මේ අය බැඳපු ගෑණු පතිවෘත්තාව රකින්නා සේ සිය දේශපාලන පක්ෂය වෙනුවෙන් පෙනී සිටින අය. එයාලට විපක්ෂයේ ඉද්දි ආණ්ඩුව කරන සියල්ල වැරදියි. ආණ්ඩු කරද්දි ආණ්ඩුව කරන සියල්ල හරි. මේකත් අනුකම්පා කළ යුතු මන්ද මානසික තත්ත්වයක්. තමන් අවංක දේශපාලන පක්ෂ බැතිමතෙක් වෙන්න නම් දේශපාලන කන්‍යාභාවය ආරක්ෂා වෙන්න නම් ආණ්ඩුව කරන හොඳ නරක හැම දේටම විරුද්ධ වීම තමන්ගේ යුතුකම කියලයි මේ අහිංසක‍යෝ හිතන්නේ.

ඊට පස්සේ ඉන්නේ හිඟන මුදලාලිලා. මේ අයගේ ජීවිකාව ඒ කියන්නේ රස්සාව හිඟන වෙළඳාම නිසා මීට විරුද්ධ වීම සාධාරණයි. මොකද කිසිදු මහන්සියකින් තොරව තමන් විඳින රජ සැප ගලන උල්පත වහන්න යද්දි ඊට විරුද්ධ වීම හරි ස්වභාවිකයිනේ.

මේ අය තමන්ගේ වෙළඳාම සුරක්ෂිත කරගන්න ලොකු දේශපාලන අතුවල එල්ලිලා ඉන්නේ. ඇතැම් මැති ඇමතිලාට ඡන්දවලට අත දිග හැරලා වියදම් කරන්නේ මේ හිඟන මුදලාලිලා. ඉතින් තමන්ගේ ආධාරකාරයින් වෙනුවෙන් ඔවුන් මත යැපෙන ඒ කියන්නේ වක්‍රාකාරව හිඟන්නන් ම යැපෙන දේශපාලන හිඟන්නන් විරුද්ධ වීමත් අසාධාරණ නැහැ.

මේ අය අනුකම්පාව කියන වෙස් මුහුණ දාගෙන තමන්ගේ විළි වසාගෙන අපි අසරණ හිඟන ජනතාව වෙනුවෙන් ජීවිතය පූජා කරලා සටන් කරනවා කියලා කෑ ගහවි. මේ ජීවන වියදමේ හැටියට දැන් රටේ ඔක්කෝම ජනතාවට හිඟා කන්න වෙලා තියෙන්නේ. ජනතාව හිඟා නොකා හිඟා කනවා. නොමැරි ඉන්න කනවා. වේලක් ඇර වේලක් කනවා. ජනතාව හිඟා කාලා හරි ජීවත් වෙන්න ඕන නේද? මේ ආණ්ඩුව නගර අලංකාර කරන්න හිඟන්නෝ මරනවා වගේ දෙකයි පහේ ගොං කතා අහන්න තරම් මෝඩ මිනිස්සු දැන් ලංකාවේ බත් කන මිනිසුස්සු අතර අඩුයි. මේ විදිහට කෑ ගහන්නේ තමන්ගේ බඩ වියත රැක ගැනීම සඳහා කියලා අපි දන්නවා.

ඒ නිසා ජනතාවගේ සංවේදීකම, නොදන්නකම පාවිච්චි කරලා කරන මේ නීති විරෝධී වැඩේ නතර කිරීම වගකිව යුතු රජයක යුතුකම.

Monday, September 26, 2011

රජය දෙමළ ජනයාට වන්දි ගෙවිය යතුයි, හමුදා කඳවුරු ඉවත් කල යුතුයි - ආනන්ද සංගරී

කළ හොඳ පස්සෙන් ඒමට පටන් ගෙන තිබේ. අහක යන නයි රෙද්ද අස්සේ දාගෙන කෑවෝ කෑවෝ කීමට දැන් අපට සිදු වී ඇත. ප්‍රභාකරන් විසින් මේ වන විට මරා දමා වසර ගණනාවක් ගත විය හැකිව තිබූ මේ මිනිසා ආරක්ෂා කළේ සිංහල සෙබලු විසිනි. ඔහු කිසිදු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් නොවන කාලයේ පවා නිල නිවාස සහ ආරක්ෂාව ලබාදීමට රජය පසුබට වූයේ නැත. දැන් ඔහු සිය කෘතගුණ සැලකීමේ අවස්ථාව මැනවින් ප්‍රයෝජනයට ගන්නා බව පෙනේ. කැලේ මාරු වුණත් කොටියාගේ පුල්ලි මාරු නොවන බව කියන්නේ මේ නිසාය.

සැබවින්ම කොටි බිහි කර කිරි පොවා හදා වඩා ගත්තේ සංගරීලා සහ ඔවුන්ගේ ගුරුවරුය. ප්‍රභාකරන් මොවුන්ට විරුද්ධ වූයේ ඊළම වෙනුවෙන් සන්නද්ධ ක්‍රියා මාර්ගවලට නොපිවිසීම සහ දෙමළ ජනතාවගේ එකම නායකයා ලෙස නැගී සිටීමේ ආශාව නිසාය. එහෙත් තමන්ට ප්‍රභා තර්ජනයක් වන තුරු මේ ඊනියා ප්‍රජාතන්ත්‍රවාදී නායකයෝ ඔහුට ආවැඩූහ. ප්‍රභාගේ ත්‍රස්තවාදය දඩමීමා කරගෙන සිය ඊළාම් අරමුණු දිනා ගැනීමට වෙහෙසුණහ.

එහෙයින් මේ අලුත් තත්ත්වයක් නොව ලූලා නැති වළට පණ්ඩිත කනයා සේ ප්‍රභාකරන් නැති තැන දෙමළ නායකත්වය අරගෙන නැවත රට ඊළම වෙත දක්කා ගෙන යන යෑමට දරන තැතකි. නැවත දෙමළ තරුණයින් යළි අවි අතට ගනී නම් ඒ ගින්නෙන් සුරුට්ටු පත්තු කිරීම හෙවත් ඊළම කරා යෑම මොහුගේ අරමුණය.

සිය ආචීර්ණ කල්පික යල්පිනු දෙමළ ජාතිවාදයේ කර වටක් ගිලි සිටින සංගරීලා ඉන් ගොඩ ගැනීම කළ නොහැකිය. එහෙත් කාලයත් සමග සංගරීලාගේ මේ මතවාදය ඔවුන්ගේ ස්වභාවික මරණයෙන් කෙළවර වනු ඇත. මොවුන් කිසිදා වර්තමාන සමාජ දේශපාලන ක්‍රමයට අනුගත වෙතැයි සිතීම විහිළුවකි. සිංහල ජනතාව සමග සමගියෙන් ජීවත් වීමට එකඟ වනු ඇතැයි සිතීමද මුලාවකි. එය රජය අවබෝධ කරගත යුතුය. එපමණක් මදිය. දෙමළ තරුණයින් ‍මොවුන්ගේ ජාතිවාදී උගුලින් ගළවා ගැනීමට හැකි සෑම ක්‍රියා මාර්ගයක්ම ගත යුතුය.

තමන්ට ස්වභාවික මරණයක් හිමි කර ගැනී‍මට ඉඩ සැලසීම පිළිබඳ කෘතඥ වනු වෙනුවට දැනට රජය උතුරේ සිදු කරන සංවර්ධන කටයුතුවලට සහය වනු වෙනුවට මොහු කරන්නේද සම්බන්ධන්ලා කරන ක්‍රියාවම බව පැහැදිලිය. උතුරේ ජනතාවට වන්දි ගෙවිය යුත්තේ ප්‍රභාකරන්ලා බෝ කළ සංගරීලා සම්බන්ධන්ලා සහ ඔවුන්ගේ ගුරුවරු මිස රජය නොවේ. උතුරේ ජනතාව සහ රට ප්‍රභාකරන් නමැති මෘගයාගෙන් ගළවා ගැනීම පිළිබඳ ජාතිවාදී නොවන දෙමළ ජනතාව රජයට කෘතඥ වනු ඇත.

දැන් රජය කළ යුත්තේ මේ දේශපාලන මහල්ලන්ගේ නරිවාදන්වලට කන් දීම නොව උතුරේ ජනතාවගේ සැබෑ ප්‍රශ්නවලට තවත් ජවය ගෙන විසඳුම් සැපයීමය. ඒ අතර සැබෑ දේශප්‍රේමී දෙමළ නායකත්වයක් උතුරේ ගොඩනැගීමය. නැගෙනහිර මහ ඇමති පිල්ලෙයාන් ද මෑතදී පලාත් සභාවලට පොලිස් සහ ඉඩම් බලතල අවශ්‍ය නැතැයි පිළිගැනීම අප රට දල මහත් ජයග්‍රහණයකි. රජය වහ වහා උතුරේ ද මෙවැනි නායකත්වයක් නිර්මාණය කරගත යුතුය.

පසුගිය පලාත් පාලන මැතිවරණවලදී ආණ්ඩු පක්ෂයෙන් පත්වූ මන්ත්‍රීවරුන් ඒ සඳහා බෙහෙවින් ප්‍රයෝජනවත්ය. එමෙන්ම මෑතදි තම අරමුණ මේ රටේ ජනාධිපති වීම යැයි පැවසූ දෙමළ තරුණයා අපේ මේ අරමුණ මල් පල ගැනෙන බවට සුබ පෙර නිමිත්තකි. රටට අවශ්‍ය ඊළමේ මැති ඇමතිකම් පිළිබඳ දවල් සිහින දකින්නන් නොව ඒකීය ශ්‍රී ලංකාවේ ඉහළම තනතුරු සඳහා සිහින දකින්නන්ය. එවන් නායකත්වයන් පිළිබඳ පරමාදර්ශ අපේ ඉතිහාසයේ අපට ඕනෑ තරම් තිබේ. මෙහිලා එකම කොන්දේසිය සිංහල බෞද්ධ සංස්කෘතිය පිළිගැනීම සහ රටේ ඒකීයත්වය පිළිගැනීම පමණි.

Wednesday, September 14, 2011

හමුදාව අනවශ්‍යයි-ප්‍රදේශය සාමාන්‍ය අතට හැරිලා උතුරට දෙමළ පොලිස්‌ නිලධාරීන් යොදවන්න රොබට්‌ බ්ලේක්‌ගෙන් යෝජනාවක්‌ - පුවතක්

බැලූ බැල්මට හරිම අවංක සාධාරණ යෝජනාවක්. ඒත් බ්ලේක් උන්නැහේ ආයේ වටයකින් රටට ගිනි අවුලන්න කරන යෝජනවක් මේක. මේක මාධ්‍යයට කීවේ බ්ලේක්ගේ කට වුණාට ඕක ඇත්තටම බෙදුම්වාදයේ හඬ. මේ රටේ පොලිසිය සියලු ජාතීන් නියෝජනය කළා. දෙමළ අය පොලිසියෙන් ඉවත්වුණේ කොටි තර්ජන නිසා. ඒ නිසා නැවත පොලිසියට දෙමළ අය බඳවා ගත යුතුයි.

කොටි ත්‍රස්තයින් රට ගිනි තියන්න පටන් ගන්නා විට ලංකා හමුදාව 16000ක් විතර ඇති. නව ආයුධ නැහැ. පුහුණුව නැහැ. ඉතින් කොටින්ට පුළුවන් වුණා ඉන්දියාවේ අවි පුහුණුව ලබලා ඇවිත් රට විනාශ කරන්න. ඒ නිසා හමුදාව කිසිසේත් අඩු කළ යුතු නැහැ. සීමා කළ යුතු නැහැ. පුහුණුවීම්, අභ්‍යාස දිගටම කළ යුතුයි. රටේ සියලු මර්මස්ථානවලට හමුදා ආරක්ෂාව ලබාදිය යුතුයි.

හැබැයි කිසිසේත් මේ රටේ වාර්ගික පදනම මත උතුරු නැගෙනහිර පොලිසිවලට දෙමළ හෝ මුස්ලිම් අය දැමිය යුතු නැහැ. ඒක හරිම භයානකයි. 1980 දශකයේ කොටි ප්‍රහාර අරඹද්දි මේ විදිහට බහුතරයක් උතුරු නැගෙනහිර පොලිස් නිලධාරීන් දෙමළ මුස්ලිම්වීම තමයි ඔවුන්ට ලොකුම ආශීර්වාදය වුණේ. පොලිසිවල අවි ආයුධ කොටි අතට ගියේ ආරක්ෂක රහස් කොටි අතට ගියෙ මේ නිලධාරීන් මාර්ගයෙන්.

නිරායුධ සහෝදර සිංහල පොලිස් නිලධාරීන් 600ක් එක පෙළට තියලා මරන්න උදව් කළේ මේ පොලිසිවලට අනුයුක්තව සේවය කළ ඇතැම් දෙමළ, මුස්ලිම් පොලිස් නිලධාරීන් බව අද රහසක් නෙමේ. ඒ නිසා මේ සියල් නැවත සිහිපත් කළ යුතුයි.

ඒ වගේම කොටි පොලිස්පති වුණේ, පස්සේ දේශපාලන අංශ නායක වුණේ ලංකා පොලිසියේ සේවය කළ පොලිස් කොස්තාපල් කෙනෙක් වුණු නඩේසන් බව අමතක කළ යුතු නැහැ.

ඒ නිසා උතුරු නැගෙනහිර පොලිසිවලට 70%ක් විතර සිංහල නිලධාරීන් යොමු කළ යුතුයි. ඔවුන්ට දෙමළ භාෂාව පිළිබඳ දැනුම ලබා දිය යුතුයි. පොලිසියට බඳවා ගන්න දෙමළ නිලධාරීන් බහුතරය සෙසු පළාත්වලට යොමු කළ යුතුයි.

ඒ මගින් ජන වර්ග අතර අන්‍යෝන්‍ය අවබෝධය වැඩෙනවා. එකිනෙකාට ගරු කරන්න ඉගෙන ගන්නවා. දෙමළ පොලිස් නිලධාරීන්ට ගරු කිරීමට සිංහල ජනතාව ඉගෙන ගැනීම ඉතාම වැදගත්. එතකොට අන්තවාදය යටපත් වෙනවා.

අනෙක් අතට රට පුරා පිහිටුවා ඇති හමුදා කඳවුරු කිසිසේත් ඉවත් කළ යුතු නැහැ. ඒවා තව තව ශක්තිමත් කළ යුතුයි. හමුදා කඳවුරු තර්ජනයක් වන්නේ ත්‍රස්තයින්ට මිස සාමාන්‍ය ජනතාවට නෙමේ. බ්ලේක් එයාලාගේ මැර හමුදාව ගැන මිසක් ලංකා හමුදාව ගැන දන්න බම්බුවක් නෑ. මම නැවතත් කියනවා බ්ලේක්ගේ දිව තොල කට හෙල්ලුණාට මේ ප්‍රකාශය සම්පූර්ණයෙන් TNA එකේ ඊළාම් ගමනට පාර කපන්න කළ ප්‍රකාශයක්.

තමන් කළ හැම යුද්ධයක් ම අනාගෙන හත්පොළේ ගාගෙන එනවා අපට බණ කියන්න. එයාලා ගිය හැමතැනම පරාදයි. අපිට බණ කියන්න නෑවිත් අපෙන් ඉගෙන ගත්තා නම් හොඳයි. අනෙක එයාලා රටවල් මංකොල්ල කන්න යුද්ධ කළාට අපි යුද්ධ කළේ රටේ ත්‍රස්තවාදයට විරුද්ධව. එයාලා තෙල් වෙනුවෙන් යුද්ධ කරද්දි අපි යුද්ධ කළේ ජීවත්වීමේ අයිතිය වෙනුවෙන්.

ලංකාව පුරා සමලිංගික මධ්‍යස්ථාන, මෙහෙයවීම හිටපු පූජකයෙකු විසින් - පුවතක්

මට නම් හිතෙන්නේ ලිංගික ආකර්ෂණය උපදින්නේ අපේ හිත්වල. ඒක කිසිම පුද්ගලයෙකුට පාලනය කළ හැකි දෙයක් නෙමේ. පල්ලියටවත් ලෝකය මවපු දෙවියන් වහන්සේටවත් පාලනය කරන්න බැහැ ඕක.

ලිංගික ආකර්ෂණය අති බහුතරයකට විරුද්ධ ලිංගිකයා කෙරෙහි ඇති වෙද්දි සුලු පිරිසකට ඒක සමලිංගික අය කෙරෙහි ඇති වෙනවා. මේක හරිම ස්වභාවිකයි. ඒ වගේම සුළුතරය ඇතැම් විට විකෘතියක් විදිහට දැකීමත් ස්වභාවිකයි.ලෝකයේ සියලු දේ නිෂ්පාදනය වන්නේ හැමෝටම හුරු දකුණත කියලා හිතාගෙන. නමුත් වමත හුරු අයත් ඉන්නවා. එතකොට වමත්කරුවෝ විකෘතියක්.

මේ වගේ ප්‍රශ්න ආචිර්ණ කල්පික මතවාවලින් පෝෂිත ආගම්වලින් උත්තර හොයන්න බැරි වේවි. කතෝලික පල්ලිය නිල වශයෙන් නම් මේකට එදා ඉඳලාම විරුද්ධයි. ඒ විතරක් නෙමේ සමහර අය කියනවා කන්‍යාවක් විදිහට මිය යාම බොහොම උතුම් කියලත්. බුදුදහම සම ලිංගිකත්වය පිළිබඳ විග්‍රහ කරපු තැන් මම දැකලා නැහැ. දන්න කෙනෙක් මාව දැනුම්වත් කරන්න.

සමලිංගිකත්වය මනුස්සයාට විතරක් නෙමේ සතුන්ටත් පොදුයි. ඒ වගේම සත්වයාගේ ආරම්භයේ සිට අවසානය තෙක් තියෙනවා. සොක්‍රටීස් වගේ අයත් සමලිංගිකයින් කියලා මම කියවලා තියෙනවා. ඒ නිසා වඩා සිංවේදීව සිතා බැලිය යුතුයි මේ ගැන.

මට ගැහැනියක කෙරෙහි ඇති වන ආකර්ශනය බැඳීම පිළිගන්න සමාජයක යමෙකුට පිරියෙකු කෙරෙහි ඇති වන කල පිළිනොගන්නේ ඇයි කියලා ඔහු ඇහුවොත් මම දිය යුතු පිළිතුර කුමක්ද? මම විරුද්ධ ලිංගිකයින් කෙරෙහිත් ඔහු සම ලිංගිකයින් කෙරෙහිත් ආකර්ශනය වන්නේ අපට පාලනය කළ නොහැකි මූලික ආශයන් විදිහට. අපිට බ්‍රහ්මචාරි විය හැකි නම් පමණයි අර සමලිංගිකයාට අපට චෝදනා කළ හැක්කේ? මොකද ඒක ඔහු උපතින් ලද දෙයක් නිසා. ඔහු හිතලා කළ දෙයක් නොවන නිසා.

එහතේ මේ තත්ත්වයන් ව්‍යාප්ත කරන්න හෝ ඊට අනුබල දෙන්න කාටවත් අයිතියක් නැහැ. ඒ අයටත් ජීවිතයක් තිබිය යුතුයි. එය සමස්ත සමාජ පැවැත්මට හර පද්ධතිවලට බලපෑම් කළ යුතු නැහැ. මොකද ලෝකය නිර්මාණය වෙලා තියෙන්නේ බහුතර දකුණත්කරුවන්ට. ඉතින් සුලුතර වමත්කරුවන්ට සිද්ධ වෙනවා බහුතරයට අනුගත වෙලා ඉන්න. ඒකනේ ප්‍රජාතන්ත්‍රවාදය.ලිංගිකත්වය නීති මගින් පාලනය කළ නොහැකි බව නම් සමස්ත ඉතිහාසය විසින් අපට පැහැදිළි කර දි තිබේ.
 
සිය රට දේ සිරි සැප දේ !