Monday, August 30, 2010

ව්‍යවස්ථා සංශෝධනයට එරෙහිව පාරට බහිමු!


ව්‍යවස්ථා සංශෝධනයට විරුද්ධ ව ජනතාව පාරට බස්සවන බවට ටිල්වින් සිල්වා ඊයේ මොර දුන්නේ ය. රාජපක්ෂ රජය ෆෙඩරල් ව්‍යවස්ථාවක් ගෙන එන්නට යතැයි මම මුලින් සිතුවෙමි. බලය බෙදන බෙදුම්වාදය පෝෂණය කරන එවන් කටයුතුවලට ජනතාව විරුද්ධ විය යුතු ම ය. නැතහොත් ජනතා පරමාධිපත්‍යයට වැට බඳින සංශෝධන ගෙන එන්නට රාජපක්ෂ රජය අර අඳිතියි සිතුවෙමි. ජනතාවට කෙනෙක් ජනපති කළ හැකි වාර ගණන අඩු කිරීම වැනි ක්‍රියාවකට ජනතාව පාරට බැස්ස විය යුතු ය. එහෙත් මේ කිසිවක් රජය කරන බවත් නොපෙනේ.

තම නායකයා ලෙස කෙනෙකු කැමති වාරයක් පත් කර ගැනීමට ජනතාවයට ඇති අයිතිය සුරක්ෂිත කිරීමට රජය සැරසෙයි. ඒ අයිතිය 78 ව්‍යස්ථාවෙන් ජනතාවට අහිමි කර තිබේ. ඒ අයිතිය නැවත ජනතාවට ලබා දීම වැදගත් ය. දැන් ටිල්වින් සිල්වා ජනතාව පාරට බැස්සවීමට සුදානම් වන්නේ ජනතාවට අහිමි ව පැවති අයිතියක් නැවත ලබා දීමට විරුද්ධ ව ය. කලක් ජනතාවගේ අයිතිවාසිකම් දිනා දීමට පාරට බැස්ස ජවිපෙ අද ඒ අයිතිවාසිකම් ලැබීමට විරුද්ධ ව පාරට බසියි. එහෙත් ඊටත් කලින් ජනතාවගේ ජීවත්වීමේ අයිතිය තීරණය කළ පක්ෂයක් අද මේ තත්ත්වයට පත්වීම ගැන අප පුදුම විය යුතු ද?

කෙසේ වුව ද මේ සංශෝධන තුන් කල් බලා කළ යුතු ය. එය 72 බිහි වූ ජනතාවාදී ව්‍යස්ථාවට එහා ගිය ව්‍යවස්ථාවක් විය යුතු ය. අප 2010 සිට ඊට වසර 40ට පෙර කළ ව්‍යස්ථාවකට පිටු පසින් සිට පලක් නැත.

Monday, August 16, 2010

මාගම්පුර කිරි කළයට ගොම ලෑම

පසුගිය දා මාගම්පුර ජාත්‍යන්තර වරාය විවෘත කිරීම ජනපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් මහත් උත්කර්ශවත් ලෙස සිදු විය. මේ කාර්ය අප මීට දශක කිහිපයකට පෙර කළ යුතු ව තිබුණත් අය අපේ ජාතියෙන් මග හැරී ගිය රටේ සංවර්ධන සංග්‍රාමයේ යෝධ පියවරක් බව කිව යුතු නැත. මේ මහා කාර්යයට උර දුන් සියලු දෙනාට ජාතියේ ප්‍රණාමය හිමි විය යුතු ය. නායකත්වයේ සිට ලොරි රථ රියදුරා කම්කරුවා දක්වා සියල්ලෝ අනාගත පරපුරේ බුහුමන් ලැබිය යුතු මිනිසුන් බව අප කීමට මැලි වන්නේ නැත.

මේ උත්සවය මුල සිට රූපවාහිනය ඔස්සේ නැරඹු අප සිත් එක් මොහොතක කැළඹිණි. එය සැබවින් ම එකවර පතිත වූ හෙණයක් සේ අප සිත් කම්පදය කළ බව කිව යුතු ම ය. අප අද ලියන්නේ ඒ ගැන ය.

උත්සව අවස්ථාව වෙනුවෙන් පැවැත් වූ සංස්කෘතික සංදර්ශනය ආරම්භක විශේෂාංගය ජැක්සන් ඇන්තනී නම් විශිෂ්ට කලාකරුවාගේ නිර්මාණයකි. එය අති විශිෂ්ට නිර්මාණයක් නොවුණ ද එහි අපේ රටේ සම්ප්‍රදාය දේශීයත්වය පිළිබඳ යම් සංවේදිවීමක් දක්නට ලැබිණි. එහෙත් භාතිය සන්තුෂ් ඇතුලු පිරිස විසින් එහි අවසාන අංගය ලෙස ඉදිරිපත් කළ විකාරය කුමන හේතුවක් නිසා එහි එබුවා දැයි මට නොතේරෙයි. එය කිරි කලයට ගොම තැම්බක් දෑමක් බව මෙහි සිටියවුන්ට නොපෙණුනේ ඇයි?

මේ විකාරයෙන් ඒ ජාතික උත්සයේ තිබුණු පෞඪත්වය විනාශ වූ බව කිව යුතු නැත. සුද්දන්ගෙන් නිදහස් වී වසර 60ක් ගෙවුණු තැනදිත් තමුන්ගේ හීනමානය කෙළවර කරනට ජාතියක් ලෙස අප අසමත් වී සිටින බවය උත්සවය කෙලවර මුන් ලෝකයට ඔප්පු කළේ. වරක් නිදහස් උළෙලක දී චන්ද්‍රිකා ජනපතිනිය චාල්ස් කුමාරයාට ඇහෙන්නට ඉංග්‍රීසියෙන් කතා කිරීමේ විහිළුට මේ අමන ක්‍රියාව ‍දෙවෙනි වන්නේ කෙසේ ද? මට ඇති දුක නම් විදෙස් රටවල සමුළුවලට ගොස් සිංහලෙන් දෙමළෙන් කතා කර රටට ආදර්ශයක් දුන් නායකයා යටතේ ම මෙවන් තුප්පහි වැඩ සිදු වීම ය. ඇතැම් විට නාමල් පුතා මේ අවසාන අංගයෙන් සතුටු වන්නට ඇත. මට නම් ඉන් ලද හැකි සතුටක් නැත.

මේ කොඳු නැති අමනයින්ට බලන්නට 2008 චීන ඔලිම්පික් උළෙල වෙනුවෙන් ඔවුන් නිමැවු ගීතය මෙහි ආඳිමි. ඔවුන් සිය අභිමාණය ගෞරවය උරුමය ආරක්ෂා කරමින් ද එය ලොවට පෙන්වා අභිමාණයට පත් වෙමින් ද ලොවට කරන ආරාධනය අපට ආදර්ශයට ගත නො හැක්කේ ඇයි?

Thursday, August 5, 2010

ජාතියේ ආඩම්බරකාර බාප්පලාගේ කතාව

ජනපති මහින්ද රාජපක්ෂ වරක් තමා හඳුන්වා ගත්තේ පරපුරක සාඩම්බර පියා ලෙස ය. තිස් වසරක් ‍ඇදී ගිය යුද්ධය කෙළවර කොට රටේ ප්‍රගතිය උදෙසා අඩුපාඩු යටතේ වුව යම් වැඩපිළිවෙළක් ඔහු ක්‍රියාවට නඟන හෙයින් ඒ හැඳින්වීම ගැන අපට උරණ වන්නට කාරණයක් නැත. එහෙත් ඔහුගේ නිශ්ශංක මල්ල ප්‍රතිපත්තිය නම් මා දැඩි ලෙස ප්‍රතික්ෂේප කරන බැව් කිව මනා ය. ඉන් ඔහුගේ ප්‍රතිරූපයට හානියක් මිස වන සෙතක් මට නො පෙනෙයි. ඔහු වටා සිටින කේවට්ට උපදේශකයින් මේවාට වගකිව යුතු යැයි අපි සිතමු. එහෙයින් ඔහු මේ අයියලාගෙන් පරිස්සම් විය යුතු ය.

ජනපති ජාතියේ ආඩම්බරකාර තාත්තා කැබිනට් මණ්ඩලයේ සිටින අය අප හඳුන්වන්නේ කෙසේ ද? ඒ අය ජාතියේ ආඩම්බරකාර බාප්පලා ය. මේ බාප්පලා අතරින් දෙදෙනෙකු මෑත දී රත්නපුරයට ගොස් අපූරු කතාවක් කියා තිබුණි.

ඔවුන් රත්නපුරයට ගොස් තිබුණේ විදේශ සේවා නියුක්ති කාර්යාංශයට අනුබද්ධිත පුහුණු පාසැලක් විවෘත කිරීමට කියා ය; මගේ මතකයේ ඇත් තේ. එහිදී කතා කළ මේ බාප්පලා පවසා තිබුණේ දැන් රත්නපුරේ මැණික් හිඟ හෙයින් කාන්තාවන් වැඩිපුර පිට රට යැවිය යුතු බව ය. පැහැදිළි ව කිව හොත් අපේ අම්මලා, සහෝදරියන්, බිරින්දෑවරු මැදපෙර දිග වළං හෝදන්නට තව තවත් යැවිය යුතු ය.

රත්නපුරේ මැණික් හිඟ වීමෙන් ඇති වන ආර්ථික බලපෑමෙන් ආරක්ෂා වීමට මේ ජාතියේ බාප්පලා යෝජනා කරන්නේ රටේ ගැහැණු ටික පිට රට යැවීම ය. කාන්තාවන් රට යැවීම නිසා මේ රට දැන් බොහෝ ප්‍රශ්නවලට මුහුණ දෙයි. ඒ ප්‍රශ්න මේ බාප්පලාට නො තේරෙයි. බාප්පලාගේ බිරින්දෑවරු ගෙදර වැඩ වසති. ඒ බොහෝ දෙනාගේ නම් ඇමති කාර්ය මණ්ඩල පඩි ලැයිස්තුවේ තිබේ. ‍

රටේ ගැහැණු ලවා අනුන්ගේ වළං හෝදවා, ඒ ලැබෙන විදේශ විනිමයෙන් ජීවත් වීමට සිතීම මහා නිවට කමකි. අපට වඩා දුප්පත් බංගලිදේශය වැනි රටවල ගැහැණු පවා පිට රට ගෘහ සේවිකාවන් ලෙස නො යවයි. එහෙයින් රටේ අභිමාණයට කැළලක් වන මේ නිහීන ක්‍රියාව නතර කිරීමට රජයට බල කරන මහා ජන මතයක් ඇති කළ යුතු ය. පුහුණු ශ්‍රමිකයින් ලෙස පිරිමි විදේශ රැකියාවලට යාමේ කිසිදු ගැටළුවක් නැත. විවාහ වීමට පෙර ගැහැණු වුව ඒ සඳහා ගියාට එතරම් වරදක් නැත. විවාහ වී දරුවන් ලැබූ පසු මව ඒ දරුවන් සමග ජීවත් විය යුතු ය. මන්ද ඒ කුඩාවුන් රටේ අනාගතයයි.

නුපුහුණු ශ්‍රමිකයින් ලෙස කාන්තාවන් උපයන සොච්චමින් ඇමති වරප්‍රසාද විඳිමින් කුමාර ජීවිත ගත කරන මේ ආඩම්බරකාර බාප්පලා සමග රට සෞභාග්‍ය කරා ගෙන යා හැකි ද යන ගැටළුව ද දැන් දැන් අප තුළ මතු ව එයි.
 
සිය රට දේ සිරි සැප දේ !