Monday, December 10, 2012

උතුරේ ජනතාවට මළවුන් සැමරීමට ඉඩ දෙනු !!!

උතුරේ වැසියන්ට සිය මළවුන් සැමරීමට ඉඩදිය යුතු යැයි කණ්ඩායම් කිහිපයක් තැනින් තැන උද්ඝෝෂණ කරනු දැකිය හැකිය. මේ උද්ඝෝෂණ පිටුපස සිටින්නේ ද්‍රවිඩ ජාතික සන්ධානය, පෙරටුගාමි පක්ෂය සහ මනෝ ගනෝෂන් වැන්නවුන් සහ නිමල්කා ප්‍රනාන්දු වැනි NGO කාඩරයින්ය. ඔවුන්ගේ දේශපාලන මතවාද කෙසේ වුව ද මේ සටන් පාඨය අප එකවර ඔවුන් හා එකඟ කර ගැනීමට තරම් සංවේදී වූද මානව හිතවාදී වූද එකකි.

අපේ සමීප ඥාතීන් අපට අහිමි වූ විට අපි මහත් ශෝකයට පත් වන්නෙමු. ප්‍රිය විප්පයෝග දුක්ඛයෙන් නොකා නොබී හැඬූ කඳුලින් දවස ගත කරමු. වාර්ෂිකව ඔවුන් සිහිපත් කරමින් දානමාන දෙමින් ඒ දුක තුනී කරගනිමු. 'සියලු සංස්කාරයෝ අනිත්‍යයයි!' යැයි දේශනා කරමින් මහ සඟ රුවන ඒ සඳහා අපට මානසික ශක්තිය  ලබා දෙයි. එසේ නම් එම නිදහස උතුරේ වැසියාගෙන් උදුරා ගැනීම කෙතරම් නරුම ක්‍රියාවක් ද? එය මානව සාරධර්ම අමු අමුවේ උල්ලංඝණය කිරීමක් නොවෙ ද? ඒ සඳහා බාධා පමුණු වන ලංකා ආරක්ෂක අංශ සිදු කරනුයේ අහිංසක ද්‍රවිඩ ජනතාවගේ මානව අයිතිවාසිකම් තුවක්කුවේ බලයෙන් යටපත් කිරීම නොවෙද?

මේ නොසන්සුන්කාරී තත්ත්වය වර්ධනය වූයේ පසුගිය දා යාපනේ විශ්වවිද්‍යාලයේ බෙදුම්වාදී ශිෂ්‍ය පිරිසක් පොංගු තමිල් උත්සවයක් සැමරීමට උත්සාහ කිරීමත් සමඟය. පොංගුතමිල් උත්සවය යනු උතුරේ වෙනම රාජ්‍යයක් තැනීම වෙනුවෙන් මිය ගිය පිරිස් සැමරීම සඳහා ප්‍රභාකරන් ආරම්භ කළ උත්සවයයි. එහිදී මූලික වූයේ උතුරින් ඉන්දීය හමුදාව පිට විය යුතු බව පවසමින් උපවාස කර මිය ගිය කොටි ත්‍රස්තවාදියෙකු සිහි කිරීම සහ ප්‍රභාකරන්ගේ උපන් දිනය සැමරීමයි. 2001 - 2003 සමයේ අතිගරු රනිල් වික්‍රමසිංහ මහතාගේ ආණ්ඩුවට පිං සිදුවන්නට වරක් ජාතික රූපවාහිනය ඔස්සේ සජීවී ව පොංගු තමිල් උළෙලක් නැරමීමේ වාසනාව දකුණේ ජනතාවට ද ලැබිණි. 




පොංගු තමිල් උළෙල එවකට උතුරේ පැවැත්වූයේ මහා සැණකෙළියක් වශයෙනි. එහි සන්නිවේදිත අරමුණ ඊළම වෙනුවෙන් මළවුන් සැමරීම වුව ද සැඟවුණු අරමුණ වූයේ මිය ගිය එකාගෙන් ගිලිහෙන තුවක්කුව අතට ගැනීමට අනෙකෙක් සුදානම් කිරීමය. කොටින්ම කිවහොත් ඊළම වෙනුවෙන් ඊළඟ බිල්ල සුදානම් කිරීමය. ප්‍රභාකරන් සහ අද ප්‍රභාකරන්ගෙන් යෂ්ටිය රැගෙන අද ඊළම වෙනුවෙන් දුවන ද්‍රවිඩ ජාතික සන්ධානය ඇතුළු බෙදුම්වාදී කල්ලියේ ඊළාම් සිහිනය වෙනුවෙන් අහිංසක දෙමළ තරුණයින්ගේ මොළ සෝදා සයනයිට් කරල ගෙල බැඳ ශුද්ධ වූ මරණයකට සුදානම් කිරීමය. 

ප්‍රභාකරන්ගේ ත්‍රස්තවාදය නන්දිකඩාල් කලපුවේ ගිල්වා දමන විට උතුරේ බෙදුම්වාදී සිහිනය සමඟ පොංගු තමිල් උළෙල ද එහි වැළලිණි. දැන් නැවත බෙදුම්වාදී මිනී වළෙන් ගොඩ ගෙන පණ පිඹීමට දත කන්නේ ඒ පොංගු තමිල් උළෙලටයි. බෙදුම්වාදී සිහිනයටයි. කොළඹ ද්‍රවිඩ  ඡන්ද 5000ක් තොරොම්බල් කරන මනෝ ගනේෂන් නමැති බෙදුම්වාදීයා පවසන පරිදි ජනතා විමුක්ති පෙරමුණට සිය මිය ගිය නායකයින් සැමරීමට හැකි නම් උතුරේ ජනතාවට ද සිය නායකයින් සැමරීමට අවස්ථාව තිබිය යුතු බවය. එසේ නොවුණ හොත් උතුරට කිසිදා සාමය අදා නොවනු ඇති බවය. එය ද අප එකවර නිරුත්තර කරවන සුළු තර්කයකි. එහෙත් ජනතා විමුක්ති පෙරමුණ මේ වන විට ඔවුන් එතෙක් අනුගමනය කළ අවි බලයෙන් ආණ්ඩු පෙරලන මතවාද වෙනස් කරගෙන ප්‍රජාතන්ත්‍රවාදයට පිවිස තිබේ. ඔවුන් සිය ඉල් මහේ විරුවන් සමරන්නේ ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රවාහයේ සිටය. එහෙත් උතුරේ තවමත් බෙදුම්වාදය ක්‍රියාත්මක වෙයි. තමන්ට ඊළම අවශ්‍ය යැයි ඔවුහු යාපනේ ද ලන්ඩනයේ ද උද්ඝෝෂණ කරති. ඒ වෙනුවෙන් ලෝක ජන මතයක් ඇති කිරීට උත්සාහ කරති.

යුදමය ක්‍රියා මාර්ග ඔස්සේ විනාශ කළේ එහි ත්‍රස්තවාදී හිස පමණි. බෙදුම්වාදය නමැති ඔලු දෙකේ යක්ෂයාට ත්‍රස්තවාදී හිස අහිමි වුව ද තවමත් ප්‍රජාතන්තවාදී හිස හිමිය. දැන් නැවත පොංගු තමිල් උළෙලවල් පවත්වා ත්‍රස්තවාදී හිසට පණ නල පිඹින්නට වලිකන්නේ ප්‍රජතන්ත්‍රවාදී බෙදුම්වාදීන්ය. බෙදුම්වාදය ත්‍රස්තවාදී වුව ද ප්‍රජාතන්ත්‍රවාදී වුව ද එහි භයානක කමෙහි කිසිදු වෙනසක් නොමැත. එහෙයින් සියලු ආකාරයේ බෙදුම්වාදයන් විනාශ කළ යුතුමය. නැවත කිසිදු ආකාරයකින් ඊට හිස එසවීමට ඉඩ දිය යුතු නැත. සිංහලයා දෙමළාගේ  හතුරාය යන බොරුව විකුණා ගෙන ජීවත් වන බෙදුම්වාදී දේශපාලකයින්ට සහ NGO කාඩරයින්ට අවශ්‍ය දැන් ජනතාව බුක්ති විඳින සාමය විනාශ කොට නැවත මේ රට ලේ විලක් කිරීමටය. බෙදුම්වාදය පෝෂණය කිරීමට පොංගු තමිල් සැමරීමට උත්සාහ කරනවුන්ගේ අරමුණ එය මිස අනෙකක් නොවේ.

මළවුන් සැමරීමට මුවා වී මොවුන් නැවත උත්සාහ කරන්නේ අහිංසක දෙමළ තරුණයින් බෙදුම්වාදය වෙත ත්‍රස්තවාදය බිලි දීමටය. උතුරේ ජනතාවගේ ජීවිත වසර 30ක් අපායක සිරකළ ත්‍රස්ත රංචුවක් සැමරීමට උතුරේ සමස්ත ජනතාවට අවශ්‍ය යැයි පැවසීම එක් අතකින් ඒ ජනතාවයට කරන නින්දාවකි. එය ජනතාවගේ සැබෑ අවශ්‍යතාවක් නොව බෙදුම්වාදීන් විසින් කෘත්‍රීම ලෙස මතු කරන අවශ්‍යතාවකි. මළවුන් සැමරීම සඳහා විශ්වවිද්‍යාල භාවිත කළ යුතු නැත. ඒවා සිය නිවෙස්වල හෝ කෝවිල්වල සිදු කළ හැකිය. අපේ සංවේදීත්වය වංචාකාරී ලෙස මංකොල්ල කන මනෝ ගනේෂන්ලාගේ සටන් පාඨයේ ඔතා ඇත්තේ මහා වස ගුලියක් බව දැන් ඔබට අවබෝධ වනු ඇතැයි සිතමි.    

රජයේ වගකීම වන්නේ උතුරේ ජනතාව අද මුහුණ දී ඇති සැබෑ ප්‍රශ්න සොයා විසඳුම් ලබා දීමය. විශේෂයෙන් තමිල්නාඩු ධීවරයින් ලංකා මුහුදු සීමාවට රිංගා උතුරේ ජනතාවගේ මත්ස්‍ය සම්පත කොල්ලකෑම තවමත් නවතා නැත. ඒ සඳහා අවශ්‍ය රාජ්‍ය තාන්ත්‍රික ක්‍රිය මාර්ග ගැනීම වහාම කළ යුත්තකි. එමෙන්ම උතුරේ ත්‍රස්තවාදය පැවති සමයේ සිට විවිධ NGO කල්ලිවලට මුවා වී යාපනේ සාම්ප්‍රදායික් හිංදු ජනතාව විවිධ මූල ධර්මවාදී ආගමික කල්ලි විසින් ගොදුරු කර ගැනීම තවමත් එලෙසම සිදුවේ. අන්‍යාගමීකරණ විරෝධී පනත ගෙන ඒමට මුල් වූ ටී. මහේෂ්වරන් පාර්ලිමේන්තු මන්ත්‍රිවරයා ප්‍රකාශ කළේ එවකට 7000ක් හිංදුවරු අන්තවාදී ක්‍රිස්තියානි කල්ලි විසින් ගොදුරු කර ගෙන ඇති බවය. අවසානයේ ඔහුට සිදුවූයේ කෝවිලක දේව මෙහෙයට සහභාගී වී පැමිණෙන විට වෙඩි කන්නටය. එහෙයින් හිංදු ආගම සංස්කෘතිය විනාශ කිරීමේ කුමන්ත්‍රණය නැවැත්වීමට වහා ක්‍රියා කළ යුතුය. හිංදුවරුන්ට සිය ආගම සංස්කෘතිය අනුව ජීවත්වීමට අවශ්‍ය සියලු පහසුකම් සලසා දිය යුතුය. රටේ ඒකීයත්වයට ගරු කරන දෙමළ තරුණයින්ට රටේ ජනාධිපති ධූරය දක්වා යාමට මග හෙලි කළ යුතුය.

එහෙත් බෙදුම්වාදී මනදොල පුරවමින් රට නැවත අගාධයට තල්ලු කිරීමට පොංගු තමිල් උළෙලවල් පැවැත්වීමට නැවත කිසිදා ඉඩදිය යුතු නැත. සියලු බෙදුම්වාදී ක්‍රියා පසුපස සිටින නරුමයින් වහා සොයා ප්‍රශ්නය මතු වූ වහා ඒවා මුලිනුදුරා දැමීමට ආරක්ෂක අංශ යුහුසුළු විය යුතුය. ප්‍රභාකරන් යනු මේ රට වසර 30ක් තිස්සේ විශාලා මහනුවරක් කොට මිනිස් ලේ බොමින් මිනී මස් බුදිමින් ජීවත් වූ යක්ෂයෙකි. රුධිර පිපාසිත බෙදුම්වාදීන්ට එම යක්ෂයා දෙවියකු වුව ද ශිෂ්ට සමාජයක එවන් නරුමයින් සැමරීමට ඉඩදිය යුතු නැත. යාපනේ පුරපති ඇල්ෆ්‍රඩ් දොරේ අප්පාගේ සිට ප්‍රභාකරන්ට ගොදුරු වූ සිය දහස් ගණනක් මිනිසුන්ට කළ හැකි විශාලතම නින්දාව එයයි. ලක්‍ෂමන් කදිරගාමර්, ජෙයරාජ් ප්‍රනාන්දු පුල්ලේ, රජිව් ගාන්ධි ආදීන්ට කළ හැකි බලවත්ම නින්දාව එයයි. ඇමරිකාව ඔසමා බින් ලාඩන් සමරන දවසට, ජර්මනිය ඇඩොල්ෆ් හිට්ලර් සමරන දවසට, ඉන්දියාව වීරප්පන් සමරන දවසට මෙරට බෙදුම්වාදී නරුමයින්ට ප්‍රභාකරන් නමැති සාතන් සැමරිය හැකිය. එහෙත් එවන් දවසක් කිසිදා උදා නොවනු ඇත.    





Friday, November 23, 2012

මිත්‍රයිනි, නුඹලා පෙම් කරන්නේ විලංගුවලට නොවෙද?

ගණිකා වෘත්තිය තහනම් කොට පනවා ඇති නීති වහා ඉවත් කළ යුතු යැයි අප ලියූ ලිපිය බලා බොහෝ පිරිසක් පරල වී ඇති බව ප්‍රතිචාරවලින් පැහැදිලිය. ඔවුන් පරල වී ඇත්තේ සිය නිවෙස්වල සිටින කාන්තාවන් ගණිකා තහනමට පිං සිදුවන්නට ඊට යොමු නොවී සිටිනවා වැනි ආවේගයකිනි. ඒ කාන්තාවන් යන්තම් නිවසේ රැඳී ඇත්තේ මේ තහනමට පිං සිදුවන්නටය. එහෙයින් එම නීතිය ආරක්ෂා කරගත යුතු යැයි ඔවුහු සිතති. බොහෝ දෙනා අදහස වෙනුවට කතුවරයා විචාරයට ලක් කිරීමට වෙහෙසී තිබිණි. කොටින්ම ඔවුන්ගේ තර්කයේ හරය 1505 වන තුරු ගැහැනු දුෂණය කරමින් මිනි මරමින් සිටි ම්ලේච්ඡ සිංහලයා බටහිර ආක්‍රමණිකයා පැමිණි නීති පනවා ශිෂ්ටාචාරගත කළ බවය. රටේ උගන්වන ඉතිහාසය අනුව, මොල හෝදන අධ්‍යාපනය අනුව ඔබෙන් ඉන් එහා දෙයක් පැතිය නොහැකිය. උඳු වපුරා මුං පැතීම විහිළුවකි. රත්න ශ්‍රී විජේසිංහ වරක් ලීවා සේ අපට ද කීමට ඇත්තේ සුද්දෝ ආවේ රට කරන්න කියාය.

අප සමාජය යටත්විජිතකරණය සමඟ විකෘති වූයේ, එහි ක්‍රමික විකාශනය ඇණ හිටි බැවිනි. ඔවුන් රාජ්‍ය පාලනය රදළ වැඩවසම් ක්‍රමය පිරිහෙන්නට පෙර අපට ප්‍රජාතන්ත්‍රවාදය තෑගි කළේය. එහෙත් මේ රට තවමත් වැඩවසම්ය. ජනතා මනාපයෙන් වුව බලයට පත්වන්නේ ධනය, බලය හිමි පුද්ගලයාය. ගණිකා තහනම ගෙන ආවේ මෙරට ප්‍රචලිතව පැවති බහු විවාහ ක්‍රම, නිදහස් ජීවන ක්‍රම තහනම් කිරීමටය. ඔවුන් විශ්වාස කළ බයිබලය, දස පනත, වික්ටෝරියානු සුචරිතවාදය අනුව ම්ලේච්ඡ සිංහලයා ශිෂ්ටාචාරගත කිරීමටය. එතෙක් කල් වසර දෙදහස් පන්සියයකට එහා ඉතිහාසයේ සිට ආදරයෙන් බැඳී පවුල් කෑ සිංහලයින් ක්‍රිස්තියානි පල්ලියේ ක්‍රමයට පොතේ ලියා කසාද බැන්ද වූ අතර වික්ටෝරියානු සුචරිතවාදය අනුව ඒක විවාහ ක්‍රමය ප්‍රමිතිය බවට පත් කරන ලදි. බයිබලය සහ තුවක්කුව දෑතට ගෙන පැමිණි ආක්‍රමණිකයා ඒවා සමාජගත කරන ලද්දේ බලෙනි. අපේ මුතුන් මිත්තන්ගේ මිනී මතිනි.



ඔවුන්ට කීකරු වූ අයට විවිධ වරප්‍රසාද ලබා දෙමින් අනෙක් පිරිස් විවිධ හිරිහැර වධ බන්ධනවලට ලක් කරමිනි. උප්පැන්න සහතික ක්‍රමයක් හඳුන්වා දී කසාද නොබැඳ පවුල් කන අයගේ දරුවන් අවජාතකයින් ලෙස හංවඩු ගසන ලදි. කිසිදු පාසැලකට යාමට ඔවුන්ට අවසර නොලැබුණු අතර කිසිදු රජයේ රැකියාවක් නොලැබිණි. මේ සියල්ල කළේ අශිෂ්ට සිංහල ජාතිය ශිෂ්ටාචාරගත කිරීමටය. සමාධි පිළිමය නෙළු, මහ සයුර පරයන වැව් තැනූ, අහස සිඹින චෛත්‍ය තැනූ, සීගිරි ගලේ චිත්‍ර ඇඳ කවි ලියූ, අනුරාධපුරය වැනි විශිෂ්ට නගර තැනූ, සීගිරිය වැනි විස්මය ජනක නිර්මාණ කළ සිංහලයා ශිෂ්ටාචාරගත කිරීමටය. සඳකඩ පහන නෙළු, අවුකන පිළිමයේ බුද්ධ චීවරයේ රැළි නෙළු සිංහලයා ශිෂ්ටාචාරගත කිරීමටය.

මේ ආක්‍රමණිකයා ලංකාවට කඩා වදින තුරු මෙරට පැවතියේ ඉතා ම නිදහස් ජීවන ක්‍රමයකි. සමීප ඥාතීන් අතර ලිංගික සබඳතා නොපැවතිය යුතුය යන සම්මතය සහ විවිධ කුල අතර පැවති තහංචි හැරුණු විට එහි ලිංගික තහංචි තිබුණේ නැත. (සාලිය අශෝකමාලා පෙම් පුවතින් දෙවනුව කී තහංචිය පවා බිඳ දැමූ අයුරු පැහැදිලිය.) රජවරු පමණක් නොව ප්‍රභූවරුන්ට ද අන්තඃපුර තිබිණි. අද අප දන්නා ඉතිහාසය පාලකයින්ගේ ඉතිහාසය හෙයින් සාමාන්‍ය ජනතාව පිළිබඳ තොරතුරු අල්ප වුව ද ඔවුන් ඒක භාර්යා හෝ ඒක පුරුෂ විවාහවලට සීමා වූයේ යැයි සිතීමට කරුණු නැත. නිදසුනක් ලෙස මෑතක් වන තුරුම ප්‍රචලිතව පැවති එක ගෙයි කෑම නිදසුනකි. අනෙක් අතට ලිංගිකත්වය මහා පූජනීය වස්තුවක් ලෙස අහසට නංවා පිදීමක් ඔවුන් අතර නොතිබිණි. එකල ලිංගිකත්වය ජීවිතයම නොව ජීවිතයේ එක් අංගයක් විය. අද සිය උරුමය අහිමි කර ගෙන ජීවත් වන නිවට සිංහලයාට උඩු බුරන්නේ තම විලංගුවලට අත නොතබනු කියා බව තේරුම් ගැනීමට ද පවා හැකියාවක් නොමැත.

අප අතර අදත් ප්‍රචලිතව ඇති ජන කවිවලින් අපේ මුතුන් මිත්තන් ලිංගිකත්වය පිළිබඳ දැරූ ලිහිල් පිළිවෙත පැහැදිලි වේ.

අල්ලා ගෙන නෙරිය අතකින් කිම් ද නගෝ
වසා ගෙන දෙතන අතකින් කිම්ද නගෝ
හිමියා නැති ගමන් තනි මග කිම් ද නගෝ
අම්බලමේ ඉඳලා අපි යමු ද නගෝ

එහෙත් එකල පැවති ඒ නිදහස නිසා සමාජය විනාශයට පත්වීද? නැත. එකල සූරූපි තරුණියකට රන් සෙම්බුවක් ගෙන උතුරු පේදුරු තුඩුවේ සිට දකුණු දෙවුන්දර තුඩුවට තනිව නිරුපද්‍රිතව ඒමට හැකියාව තිබුණේ යැයි රොබට් නොක්ස් පවසයි. ඉන් පැහැදිලි වන්නේ මේ ලිංගික තහංචි පැනවීමට පෙර මෙරට නෂ්ට කාමය සහිත පිරිස් සිටි බව නොවේ. (එය ඉහත කවියෙන් ද පැහැදිලි වේ.) මේ රටේ සිය ලිංගික ආශාවන් විධිමත් ලෙස සපුරා ගැනීමය ක්‍රමවේද තිබුණු බවය. එහෙයින් මග මඟ යන තරුණියක පාළු ලැහැබකට ඇද ගෙන ගොස් දූෂණය කිරීමට තරම් ආත්මය දවන ගින්දරකින් මෙරට වැසියා පෙළුණේ නැත. ඔවුන්ට ඉසුරුමුණි පෙම් යුවළ පන්සලක නිර්මාණය කළ හැකි විය. සීගිරි චිත්‍ර ඇඳ ඒ පිළිබඳ කැටපත් පවුරේ කවි නිර්මාණය කිරීමට තරම් සෞන්දරයාත්මක විය. සිංහලයින් පැවත එන්නේ ලිංගිකත්වය ඉතා සෞන්දර්යාත්මක ලෙස විඳගත් මිනිසුන්ගෙනි. කාමසූත්‍ර ලියූ සංස්කෘතියෙන් පෝෂණය ලබමිනි. එහෙත් ඒ නිදහස තමන්ට එපා යැයි ඔවුහු අද කියති.  

එකල සමාජය සමඟ වර්තමාන සමාජය සැසඳිය නොහැකි බව ද මේ සමාජය මෙපමණින් හෝ ආරක්ෂා වී ඇත්තේ නෛතික තහංචි නිසා බව ද ඇතැම්හු පවසති. මේ ප්‍රකාශය කිසිදු තාර්කික පදනමක පිහිටා නොමැති අතර එය කාලයක් තිස්සේ අදාළ නීතිවලින් පීඩනයට පත්ව අවසානයේ ඒ නීතිවලට පෙම් බැඳීමට යොමුවීමේ ප්‍රතිඵලය පමණි. මාක්ස් කීවේ කල් යන විට වහලා තම දෑත් දෙපා බැඳ ඇති යදම්වලට පෙම් කරන බවය. එය සැබෑවකි. කාන්තාව පීඩනයට ලක් කරන පුරුෂාධිපත්‍ය ආරක්ෂා කරන්නේ කාන්තාවන්ය. ගණිකා තහනම ද එසේය. මෙය එක්තරා ආකාරයක සිංහල ෂාරියා නීතියකි.වර්තමාන කාන්තාව මහ මඟ, බසයේ, සේවා ස්ථානයේ පමණක් නොව සිය නිවසේ පවා මහා අනේක ලිංගික අතවරවලට ලක් වේ. එහෙත් එකී අතවරයන්හි හේතු සාධක සමාජයෙන් ඉවත් කිරීමට ඉඩ නොදෙන්නේ ද ඔවුන්මය. අනෙක් අතට මේ නීති ක්‍රියාත්මක වන්නේ ඉතා පහත් මට්ටමේ අසරණයින්ට මිස ඇති හැකි අයට නොවේ. ප්‍රභූ පිරිස් මේ නීති පයිසයකට ගණන් ගන්නේ  නැත. නීති සුරැකිය යුතු යැයි කියන බහුතරය ඉන් පීඩිතවුවන්ය. අවාසනාවට ඔවුන් ඒ බව දන්නේ නැත. 

අප නැවත ඉතිහාසයට ගමන් කළ යුතු බවක් හෝ සුද්දා හඳුන්වා දුන් සියල්ල අධානග්‍රාහීව ඉවත දැමිය යුතු බවක් හෝ මට කීමට අවශ්‍ය නැත. කළ යුත්තේ අප මත බලෙන් පැටවූ දැනට සමාජයට අහිතකර නීති රීති ඉවත් කිරීමය. ඒවා නුතන සමාජයට යාවත්කාලීන කිරීමය. ඇතැම් සුචරිතවාදීන් මේ මහ පොළවේ පය ගසා ජීවත් වන බවක් නොපෙනෙන්නේ ඔවුන් මේ රටේ අද පවතින යථාර්ථයට දෑස් වසා ගෙන සිටින හෙයිනි. ඉරිදා පත්තර අතිරේක පුරා සම්භාහන දැන්වීම් පිරී ගොස්ය. රට පුරා විවිධ මට්ටමේ ගණිකා ක්‍රියාකාරකම් වැසි වසී. බම්බලපිටියේ මැජෙක්ස්ටික් සිටිය ඉදිරියේ සිටින තරුණයෙකු ඔහු අසලින් යන තරුණයින්ට කොඳුරා කියන්නේ "අලුත්ම තායි මසාජ් එක ඕපන් කළා" කියාය. නුගේගොඩදී පිරිමි ගණිකා නිවාසයක් වැටලුවේ ඊයේ පෙරේදාය. මේ ජාත්‍යන්ධයින්ට නොපෙනුණාට අද මුළු රටම හොර ගණිකා මඩුවකි. ස්ත්‍රී දූෂණාගාරයකි. සුද්දාගේ නීතිය තව දුරටත් වලංගු නැත. එය දැන් භාවිතය මගින් අවලංගු වී තිබේ.

අද විවාහය වනාහි දෙදෙනාගේ ආධ්‍යාත්මික බැඳීම් අනුව නොව ධනය, බලය, කුලය, රැකියාව අධ්‍යාපනය ආදී වෙනත් සාධක මත තීරණය වන්නකි. එය ඉතාම යාන්ත්‍රික සම්බන්ධයක් බවට පත්ව තිබේ. ඔවුන් අතර ගැලපීම්වලට වඩා ඇත්තේ නොගැලපීම්ය. බැඳ ගත් නිසා ගහන බෙර වැනි මේ විවාහයන් තුළ ඔවුන් පැතූ සතුට සැනසුම නැත. පොතේ ලියා දෑගිලි හුයකින් බැඳි පමණින් අඹු සැමියන් වන්නේ නැත. මේ විවාහ සංස්ථාවන් ද එක්තරා ආකාරයක ස්ත්‍රී දූෂණාගාර බවට පත්ව ඇත. එය හුදු කායික අවශ්‍යතා සපුරා ගන්නා දරුවන් බෝ කරන මස් මඩු බවට පත්ව ඇත. අප මේ තත්ත්වයන් බුද්ධියෙන් විමසා බලා අපට වැරදුනු තැන් හදාගත යුතුය. ලිංගිකත්වය යනු කතා නොකළ යුතු ප්‍රසිද්ධියේ කතා කළ විට ආනන්තරිය පාප කර්මය සිදුවන දෙයක් නොවේ. එය ඉමහත් සෞන්දර්යයක් සපිරි සොඳුරු ඉසව්වකි.

මා අනුගමනය බුදු හිමි එකල රජුන්ට නගර සෝබනී වෘත්තිය තහනම් කරනු කියා කීවේ නැත. අධික කම්සැප නොවිඳ අන්තඃපුරය විසිරුවා හරිනු කීවේ ද නැත. ඒක-භාර්යා හෝ ඒක-ස්වාමි විම පිනක් බව ද බහු-භාර්යා වීම හෝ බහු-පුරුෂ වීම පවක් බව ද කීවේ ද නැත. අප අවබෝධයෙන් යා යුතු ගමනකි ඇත්තේ. ලිංගිකත්වයට තහංචි පැනවීමෙන් අප වටා කුහක ලිංගික පීඩනයෙන් දැවෙන සමාජයක් නිර්මාණය වනු මිස සැබෑ ආධ්‍යාත්මික සමාජයක් නිර්මාණය වන්නේ නැත. ඒ සඳහා වැට කඩුලු බැඳීම භයානක තත්ත්වයකි. හුස්ම ගැනීමට සීමා පැනවීම වැනි ක්‍රියාවකි. අප අද අත්විඳින්නේ එදා වැපිරූ දෑවල ඵලය. මේ භයානක නීති ඔස්සේ අප සමාජයට එකතු වුණු මහා පීඩනයයි කාන්තා හිංසනය, ස්ත්‍රී දූෂණ, ළමා අපචාර ඔස්සේ පිපිරී යන්නේ. බස් රියේ, මහ මඟ, කාර්යාලයේ ගලා යන්නේ. එහෙයින් මේ සිංහල බයිබල් ෂාරියා නීති පිළිබඳ වඩා නිරවුල් ලෙස සිතීමට බුද්ධිය පහළ වේවා යැයි පතමි. සේකරට ඉඩ ඉඩ දී නවතිමි.

එසේ වුව සොහොයුරෙනි!
ඔබ ගැන මා ලියන කවිය
ඔබගෙන් බොහෝ දෙනෙකුට
අද දින නො වැටහෙන බව මම දනිමි

ලෝකය මීට වඩා යහපත් වන
අනාගතයේ යම් දවසක
ඔබ එය මීට වඩා ආදරයෙන්
නියවන බව ද දනිමි 
(ප්‍රබුද්ධ)






Wednesday, November 21, 2012

ගණිකා වෘත්තිය නීති ගත කළ යුතු ද?

පව්කාරයින්ට පළමු ගල ගැසීමට පෙර ....

නැවතත් ලංකාවේ ගණිකා වෘත්තිය නීති ගත කළ යුතු ද නැද්ද පිළිබඳ සංවාදය මතුව තිබේ. මෙය කලින් කලට උඩ යට යන මාතෘකාවකි. මෙවර සංවාදය හදිසියේ ඉස්මතු වූයේ දකුණු පළාත් සභාවේ එක්තරා මන්ත්‍රීවරයෙකු විදෙස් සංචාරයකින් පසු කරන ලද ප්‍රකාශයක් සමඟය. ඔහු පවසා ඇත්තේ ගණිකා වෘත්තිය නීතිගත කොට එය සංචාරක ව්‍යාපාරය නැංවීම සඳහා යොදා ගත යුතු බවකි.

මේ ප්‍රකාශය සමඟ පරල වී ඇති සුචරිතවාදී උපාසක මහත්වරු අදාළ මන්ත්‍රීවරයාගේ පවුලේ උදවිය මේ සඳහා යොදා ගත යුතු බව පවසති. ඒ අතර අලි පෙරහැරේ ගෙන යාමෙන් සත්ව හිංසාවක් සිදුවන බව පවසන සතුන් මරා බිලි පූජා පැවැත්වීම පිළිබඳ මුණිවත රකින බෞද්ධ විරෝධීහු ද සිටිති. මේ පිරිස අතරට ඉතා ඉක්මණින් පල්ලිය ද ඇතැම් මංමුලාවූ භික්ෂූන් ද හිටපු අකුරැස්ස ප්‍රාදේශීය සභාවේ සභාපතිතුමා ද එක් වනු ඇත. ඔහු බාල වයස්කාරියක් දූෂණය කිරීමෙන් ප්‍රසිද්ධියට පත්විය. තමන් ගැහැනුන් 100ක් සමඟ නිදිවැදී ඇතැයි උදම් ඇනුවේ යැයි මාධ්‍යවල පළ යූයේ එතුමාය.

පල්ලිය මේ සඳහා විරුද්ධ වීම ආගමික කාරණාවකි. ඔවුහු අද එංගලන්තයේ ද නැති වික්ටෝරියානු සුචරිතවාදය ආරක්ෂා කර ගැනීමට වෙර දරති. පල්ලිය මෙන්ම ගණිකා නිවාස ආඥා පනත හා පාදඩ ආඥා පනත අප රටට යටත්විජිතවාදීන් විසින් හඳුන්වා දුන් නීති මිස මෙරට පැවති ඒවා නොවේ. පුරුෂාධිපත්‍ය රජයන ඔවුන්ගේ සංස්කෘතිය තුළ එසේ කිරීම අපට ප්‍රශ්නයක් නැත. සුදු පිරුවටවලට සහ ජාතික ඇඳුමවලට මුවා වී ස්ත්‍රී දූෂණයෙහි, ළමා අපචාරවල යෙදෙන පව්කාරයින් ද මේ සටනට පෙළ ගැසෙනු ඇත. ආගමින් බෞද්ධ සංස්කෘතියෙන් ක්‍රිස්ත්‍රියානි ඕල්කට් බෞද්ධයින් ද සිය සංස්කෘතිය රකින්නට කැති පොලු ගැනීමට ඉඩ තිබේ.

මේ සුචරිතවාදීන් දකින මට සිහිපත් වන්නේ රන්බණ්ඩා සෙනෙවිරත්න ලියූ ළඳුනේ ගීතයයි.

ළඳුනේ ………. ළඳුනේ ………….

ඔබේ දෑස දැක ගත්තෙමි
සැදෑ කලෙක ළඳුනේ .. ළඳුනේ…

දෙනෝ දහක් අත ගත්ත ද
සැමියෙකු නැති ළඳුනේ
නෑයෙක් නෑකම් නො කියන
වීදි සරන ළඳුනේ … ළඳුනේ …

තෙල් මල් ගෙන දෝත පුරා
මුනි කුටියට පිය මනිනා
ඔබේ දෑස දැක ගත්තෙමි
සැඳෑ කලෙක ළඳුනේ .. ළඳුනේ …

බුදුන් දැක නිවන් දකිමැයි
දෙව්රම යන පාර අහන
ඔබ ද පටාචාරාවකි
ඔබ ද කිසා ගෝතමියකි

පිරිමින්ගේ පාප කඳට
දෝස විඳින ළඳුනේ
රහසේ පව් කරන දනා
එලියෙ රවන ළඳුනේ
ලැම පමණක් ලොවට පෙනෙන
ළය නො පෙනෙන ළඳුනේ
කුහුඹුවකුට වරදක් නැති වැරදිකාර ළඳුනේ

පව්කාර ස්ත්‍රියට පළමු ගල ගසන්නට කිසිදු පවක් නොකළ අයෙකුට ඉදිරිපත් වන්නැයි ජේසුතුමා පැවසූයේ මෙලෙස අඳුරේ පව් කොට එළියේ රවන අයටය.

සංචාරක ව්‍යාපාරය ප්‍රවර්ධනය සඳහා ගණිකා වෘත්තිය යොදාගත යුතු බව පවසන ඒ මන්ත්‍රීවරයා මෙන්ම ඒ පව්කාරයාට ගල් ගැසීමට සුදානම් වන ශුද්ධ ආත්මධාරීන් ද නොදන්නා දෙය නම් දැනට සංචාරක ව්‍යාපාරය සමඟ ගණිකා වෘත්තිය ගැට ගැසී ඇති බවය. දැනට ලංකාවේ ගණිකාවන් 40 000ක් පමණක් ඇතැයි පැවසේ. මේ ගණන මීට වඩා බෙහෙවින් වැඩි විය හැකිය. මේ රටේ සංචාරයක ව්‍යාපාරය දියුණු කිරීම සඳහා ගණිකා වෘත්තියට වඩ යොදා ගත හැකි දේ බොහෝය. එහෙත් එය තහනම් කිරීමෙන් ලබාගත නොහැකි ප්‍රතිලාභයක් තහනම ඉවත් කිරීමෙන් ලබා ගත හැකි වනු ඇත.

ගණිකා වෘත්තිය ලොව පැරණිම වෘත්තිය යැයි පැවසේ. එය වරදක් කොට මරණ දණ්ඩනය පැනවුව ද මිහිපිටින් අතුගා දැමිය නොහැකි බව මගේ අදහසයි. අනෙක් අතට අප එය තහනම් කළ යුත්තේ ඇයි ද යන්න ප්‍රශ්න කළ යුතුය. ගණිකා වෘත්තිය මත් පැන් පානය, කුඩු පානය මෙන් මිනිසුන් විනාශ කරන දෙයක් නොවේ. එය තහනම් කිරීම නිසා සිදුව ඇත්තේ ගණිකා වෘත්තිය විවිධ සමාජ රෝග බෝ කරන සමාජ ව්‍යවසනයක් වීම පමණි.

ඒ වෘත්තියට සමාජය ලබා දී ඇති තත්ත්වය නිසා ඔවුන්ට නිසි සනීපාරක්ෂක පහසුකම් ලබා ගැනීමට අවස්ථාව ඇහිරී ඇත. විවිධ දේශපාලන බලවතුන්ගේ උපකාර ඇතිව ගණිකා මඩම් පවත්වා ගෙන යන්නන්ට මේ නිසා එකී කාන්තාවන් දැඩි ලෙස සුරාකෑමට හැකිව තිබේ. ඉතා අඩු මුදලට සිය ශරීරය විකුණා අදාළ මධ්‍යස්ථාන හිමිකරුවන් පොහොසත් කිරීමට ඔවුන්ට සිදුව ඇත. ඔවුන්ගේ අවම ජීවන තත්ත්වය හෝ සහතික කිරීමට කිසිදු මැදිහත් වීමක් නොමැත. සමාජ පිළිගැනීමක් නොමැත.

මේ රටේ ලිංගිකත්වය සඳහා තහංචි තිබුණේ නැත. මේ රටේ සංස්කෘතික ආගමික වශයෙන් දියුණුම යුගය ලෙස සැලකෙන අනුරාධපුර යුගයේ පවා එවන් තහංචි තිබුණේ නැත. එම තහනම හඳුන්වා දුන් අයගේ රටවල ද අද එවැන්නක් නැත. බුදු දහම තුළ එවන් තහනමක් පිළිබඳ සඳහන් වී නොමැත. ඇතැම් සුප්‍රකට නඟර සෝබනියන් බුදු රජුන්ගේ දායිකාවන් විය. බුදු හිමියන් විසින් උඹලා ගණිකාවන් යැයි ඔවුන් එළාව ගත් බවක් හෝ පිළිකෙව් කළ බවක් අප නම් අසා නැත.

පුරාණ නගර සෝබනී තත්ත්වයේ සිට ගණිකා වෘත්තිය අද පවතින ඛේදනීය තත්ත්වයට පත්වූයේ ද මේ විනාශකාරී තහනම නිසාය. සිය දියණිය විනාශ කරන තත්ත්වය මිනිසුන් පත්ව ඇත්තේ ලිංගික ආශාවන් සපුරා ගැනීමට නීතියෙන් මං ඇහිරීම නිසාය. එහෙයින් කළ යුත්තේ අලුතින් නීති ගත කිරීම නොව පනවා ඇති තහනම ඉවත් කිරීමය. ඊට පසු එය  විධිමත් සෞඛ්‍යාරක්ෂිත සේවාවක් කිරීමය.  

Thursday, November 1, 2012

6%ට පසු වදනක්

විය යුතු ලෙසම 6% සටන පරාජයෙන් කෙළවර විය. ඇතැමුන්ට එවන් සටනක් තිබුණු බවක් හෝ දැන් මතක නැත. තත්-කාලීන බොහෝ සමාජ දේශපාලන සංස්කෘතික ප්‍රවණතා පිළිබඳ ලියන මා රාජ්‍ය අධ්‍යාපනය රැක ගැනීම සහ දජානි 6%ක් අධ්‍යාපනය සඳහා වෙන් කිරීම වෙනුවෙන් ආරම්භ කළ සටනට සම්බන්ධ නොවුණේ ඇයි ද යන්න සහ ඒ පිළිබඳ අදහස් පළ නොකළේ ඇයි ද යන්න බොහෝ දෙනාට ප්‍රශ්නයක් වී තිබේ. ඇතැහු අධ්‍යාපනය සඳහා රජය දරන වියදම් වැඩි කිරීමට මා අකමැති දැයි ඇසූහ. මගේ ක්ෂණික පිළිතුර වූයේ මම ඒ සඳහා උඩින් ම කැමති බවය. එසේ නම් සටනට නාවේ ඇය? මේ ඒ සඳහා කෙටි පිළිතුරකි.

මා මේ සටනට සම්බන්ධ නොවූයේ වර්තමාන අධ්‍යාපන ක්‍රමය පිළිබඳ මා තුළ ඇති අපැහැදීම, සටන් පාඨවල තිබූ අතාර්කික බව, සටනට නායකත්වය දුන් පිරිස් පිළිබඳ පැහැදීමක් නැති නිසාය. ආචාර්ය ඉල්ලීම් අතරින් ප්‍රමුඛ ඉල්ලීම ලෙස සමාජගත වූයේ දජානි 6%ක් අධ්‍යාපනය සඳහා වෙන් කළ යුතු බවට කළ ඉල්ලීමය. (එහි වෙනත් ආන්දෝලනාත්මක ඉල්ලීම් ඇති බව පැවසුණ ද මේ ඒවා සාකච්ඡා කිරීමට අවස්ථාව නොවේ.) මේ ඉල්ලීම මූලික ආර්ථීක විද්‍යා සංකල්ප සහ රටේ ආර්ථිකය පිළිබඳ අවබෝධයක් ඇති පිරිසකට තරම් නොවන ඉල්ලීමකි. මේ සටනට සහාය පළ කළ බොහෝ දෙනා සිතා සිටින්නේ ආණ්ඩුවට දජානි යනුවෙන් නිධානයක් ඇති බවත් ඉන් බිඳක් අධ්‍යාපනය වෙනුවෙන් වියදම් කර ඉතිරි සියල්ල ආණ්ඩුවේ ලොක්කන් අතර බෙදාහදා ගන්නා බවය. ඒ අර්ථයෙන් මේ වූ කලී මහා ප්‍රගතිශීලි සටනකි. රටේ අනාගතය වෙනුවෙන් සිය යුතුකම ඉටු කිරීමකි.



අපි අධ්‍යාපනය සඳහා ප්‍රමුඛතාව ලබා දෙන ජාතියකි. උගත මනා ශිල්පය මැයි මතු රැකෙනා! දෙගුරුන් විසින් තම දරුවන්ට දෙන නොමද දන නම් වියතුන් සබා මැද ඉන්ට ඉදිරිව ශිල්ප දෙනුමැයි! වැනි රුවන් වැකි බිහි වන්නේ එහෙයිනි. එහෙයින් අපේ දෙමාපියන් සිය දේපළ විකුණා කුස ගින්නේ සිට හෝ දරුවන්ට අධ්‍යාපනය ලබා දීමට වෙහෙසෙති. එහෙයින් අධ්‍යාපනය සඳහා වැඩි මුදලක් වෙන් කිරීම පිළිබඳ සටනට සහාය පළ කළේ අවංක අදහසිනි. එහෙත් සටනක් ජය ගැනීමට අවංකකම විතරක් ප්‍රමාණවත් නොවේ. ඒ සටන ප්‍රායෝගික විය යුතුය. නිරර්ථක සටනක් නොවිය යුතුය. හදවතින් නොව බුද්ධියෙන් සටන් කළ යුතුය. එහෙත් එය එසේ නොවුණු අතර බුද්ධියෙන් තොරව හදවතින් කළ සටන කෙළවර පරාජයෙන් කෙළවර විය.

රටක වසරක් තුළ නිෂ්පාදනය කරනු ලබන භාණ්ඩ හා සේවාවල සමස්ත වටිනාකම දළ ජාතික නිෂ්පාදනය යැයි කිව හැකිය. එම ආදායම රටේ ආර්ථිකයේ ස්වභාවය අනුව රාජ්‍ය අංශ සහ පෞද්ගලික අංශය අතර බෙදී යයි. කිසියම් රටක සියලු භාණ්ඩ හා සේවා නිෂ්පාදන කරන්නේ රාජ්‍ය අංශය නම් සමස්ත දජානි ආදායම රාජ්‍ය අංශය සතු වන අතර සියලු භාණ්ඩ හා සේවා නිෂ්පාදන කරන්නේ පෞද්ගලික අංශය නම් සමස්ත දජානි ආදායම පෞද්ගලික අංශය සතු වේ. එහෙත් වර්තමානයේ බොහෝ ආර්ථික මිශ්‍ර ආර්ථික වේ. එනම් රාජ්‍ය අංශය මෙන්ම පෞද්ගලික අංශය ද රටේ භාණ්ඩ හා සේවා නිෂ්පාදනයට සම්බන්ධ වේ. ලංකාවේ ආර්ථිකය ද එවැන්නක් වන අතර එහිලා රාජ්‍ය අංශයේ දායකත්වය ඉතා අඩු බවද පෞද්ගලික අංශය හා සසඳන කල එය බෙහෙවින් අඩු අගයක් ගන්නා බවද කිව යුතුය. වෙනත් ලෙසකින් කිවහොත් වසරකට ලංකාව රු. 100ක් උපයන විට ඉන් රු. 86ක් උපයන්නේ පෞද්ගලික අංශයයි. රාජ්‍ය අංශයට හිමි වන්නේ රු. 14කි. ඒ 14න් බහුතරය ඍජු සහ වක්‍ර බදු. ආණ්ඩුව නිදහස් අධ්‍යාපනය, සෞඛ්‍යය, කෘෂිකර්මය, රටේ සංවර්ධන කටයුතු, ආණ්ඩුවේ වියදම් ඇතුළු සියලු කටයුතු කරන්නේ මේ 14%නි. වෙනත් ලෙසකින් කිවහොත් ආණ්ඩුවේ අමාත්‍යංශ 52ක් තිබේ. ඒ සියල්ලට වියදම් කරන්නේ එම 14% ආදායමිනි. එම 14%න් 6%ක් අධ්‍යාපනය සඳහා වෙන් කළොත් සෙසු අමාත්‍යංශ 50ට ම වියදම් කරන්න ඉතිරි වෙන්නේ 8%කි. ඒක කිසිසෙත් ප්‍රයෝගික නැත. වර්තමානයේ රාජ්‍ය ආදායම 14%ක් වන විට රාජ්‍ය වියදම් 24%ක් වී තිබේ. එනම් රජය තම ආදායම්වලට වඩා වියදම් කරයි. මේ නිසා රටේ අයවැය හිඟයක් නිර්මාණය වී ඇත.

මේ තත්වය මත මම මගේ මිතුරන්ට කීවේ මේ සටන කවදාවත් ජයග්‍රහණයකින් කෙළවර කළ නොහැකි නිරර්ථක සටනක් බවය. ඔවුන් එදා එය නොපිළිගත්තත් අද පිළිගන්න සිදුව තිබේ. මේ සටන රාජ්‍ය ආදායමින් යම්කිසි ප්‍රතිශතයක් ඉල්ලලා කළා නම් මීට වඩා තාර්කිකය. අනෙක් අතට ඔවුන් පුනපුනා විවිධ රටවල අධ්‍යාපන වියදම් ලැයිස්තු ඉදිරිපත් කළත් ඒවා ඉතා බොළඳ ඒවා විය. රටවල ආර්ථික විවිධය. ඒවායේ රාජ්‍ය සහ පෞද්ගලික අංශවල දායකත්වයත් වෙනස්ය. නිදසුනක් ලෙස කියුබාවේ දජානි යනු රාජ්‍ය ආදායමයි. පෞද්ගලික ආදායම් ඇත්නම් ඒ නොගිණිය යුතු තරමකි. එහෙයින් කියුබාවේ දජානියේ අධ්‍යාපන වියදම දජානියේ පෞද්ගලික කොටස වැඩි අපේ රට හා සැසඳීම විහිළුවකි.

රජය අධ්‍යාපනය සඳහා දරන වියදම් ක්‍රමයෙන් අඩු කරන බවට දැක්වූ ප්‍රස්තාර පුංචි ළමුන්ට ඇස් බැන්දුම් පෑමට දෙවෙනි නැත. රටේ දජානි වැඩි වන විට ඊට සාපේක්ෂව අධ්‍යාපන වියදම් වැඩි නොවන විට එය ප්‍රතිශයක් ලෙස පහළ යයි. ඒ පහළ යාමෙන් රජය අධ්‍යාපන වියදම් අඩු කළ බවක් නොකියවේ. නිදසුනක් ලෙස 1990 රටේ දජානි රු. 1000ක් වෙද්දී අධ්‍යාපන වියදම රු. 500 නම් ඒ වසරේ දජානිවල අධ්‍යාපන වියදම 50%ක් වෙනවා. එහෙත් 2000 වෙද්දි දජානි 2000ක් වෙලා අධ්‍යාපන වියදම රු. 500ම නම්  ඒ වසරේ දජානිවල අධ්‍යාපන වියදම 25%යි. ඒකෙන් කියවෙන්නේ නැහැ රජය අධ්‍යාපන වියදම රු. 400ක් හෝ 300ක් කළ බවක්. ඒ වගේම හැම කෙනෙක් ම තමන්ගේ ආදායමින් මෙච්චර කොටසක් අධ්‍යාපනය සඳහා වියදම් කළ යුතුය කියලා කීමත් තාර්කික නැහැ. ළමයෙකුට වාර්ෂික අධ්‍යාපන වියදම රු. 5000ක් යැයි සිතුවොත් කමල්ගේ පියාගේ ආදායම රු. 10 000 නම් ඔහුට තම ආදායමින් 50%ක් අධ්‍යාපනය සඳහා වෙන් කළ යුතු වෙනවා. එහෙත් ජගත්ගේ පියාගේ ආදායම රු. 100 000 නම් ඔහුත් වියදම් කරන්නේ සිය ආදායමින් 5%ක් විතරයි. ප්‍රතිශතය අනුව ගත්තොත් ජගත්ගේ පියා තමන්ගේ පුතාට විදයම් කරන්නේ අඩු මුදලක්. නමුත් ඇත්ත ඒක නෙමේ. එහෙත් ප්‍රතිශතය අනුව කමල්ගේ පියාට සමාන වෙන්න නම් ජගත්ගේ පියාට පුතාගේ අධ්‍යාපනය සඳහා රු. 50 000ක් විදයම් කරන්න සිද්ධ වෙනවා. මෙලෙස රටේ දජානි ඉහළ යන විට අධ්‍යාපනය සඳහා දරන වියදම අඩු කළාය කියන තර්කයම කෙනෙකුට අනෙක් පැත්තට නැඟිය හැකියි. එනම් කිසියම් අවස්ථාවක දජානි අඩු වු‍ණොත් කිව හැකියි ඔන්න අපි අධ්‍යාපන වියදම් වැඩි කළා කියලා. ඒත් ඇත්ත ඒක නෙමේ. 

මේ සියල්ලට ම වඩා වැදගත් කාරණාව ඔවුන් සසඳන සියලු රටවල අධ්‍යාපනය සඳහා මුදල් අය කරනවා. ඒ රටවල් මුදල් අය කරන විශ්වවිද්‍යාල නඩත්තු කරනවා. නමුත් අපේ රටේ ඒ සඳහා තියෙන්නේ දැඩි විරෝධයක්. මට හිතෙන්නේ අපි වහාම පෞද්ලික විශ්වවිද්‍යාල ආරම්භ කළ යුතුයි. රජයත් මුදල් අය කරන විශ්වවිද්‍යාල ආරම්භ කළ යුතුයි. ඒවා විධිමත් ලෙස පවත්වා ගෙන යමින් එම ආදායම් නැවත අධ්‍යාපනය සඳහා වියදම් කළ යුතුයි. බංගලිදේශය වගේ රටවල්වලට පුළුවන් නම් ඒක කරන්න අපේ රටට බැරි නැහැ. මේ නිසා නිදහස් අධ්‍යාපනය විනාශ වේය කියලා තියෙන්නේ හුඹස් බියක්. එහෙම කෑ ගහන බොහෝ අය තමන්ගේ දරුවා ජාත්‍යන්තර පාසැල් යවනවා. පෞද්ගලික බස්වල ගමන් බිමන් යනවා. බෙහෙත් ගන්න පෞද්ගලික රෝහල්වලට යනවා. හැබැයි ඒවා ආරම්භ කරද්දිත් නිදහස් අධ්‍යාපනය ඉවරයි! නිදහස් සෞඛ්‍යය ඉවරයි! කියලා ඝෝෂා කළා. අන්තිමට වෙච්චි දෙයක් නැහැ.

මම කියන්න උත්සාහ කළේ අපේ රටේ අධ්‍යාපනය හරිම හොඳයි කිසි ප්‍රශ්නයක් නෑ කියලා නෙමේ. මේ රටේ අධ්‍යාපනය මහා විකෘතියක්. ඒ නිසා ඒ සමස්ත පද්ධතියම වෙනස් විය යුතුයි. රැකියාව සහ ඉගනීම කියන්නේ දෙකක්. එහෙත් දැන් ඉගෙන ගන්නේ රැකියවක් කරන්න. විශ්වවිද්‍යාලයට එන්නේ ඒක රැකියාවක් ගන්න ලේසි මගක් නිසා මිසක් ඉගෙන ගන්න නෙමේ. අද විශ්වද්‍යාල ජොබ් ෆැක්ටරි බවට පත්ව ඇත. කාර්මික විද්‍යාල, විවිධ රැකියා පුහුණු පාසැල් සහ විශ්වවිද්‍යාල අතර වෙනසක් නැත. හරියට ඇඟළුම් කම්හල්වල වගේ. අත මහන කෙනා කොලර් එක මහන්න දන්නේ නැහැ. බොත්තම් කාසේ මහන කෙනා බොත්තම අල්ලන්න දන්නේ නැහැ. ඉතිහාසය උගත්තු සාහිත්‍ය දන්නේ නැහැ. ආර්ථික විද්‍යාව උගත්තු දේශපාලන විද්‍යාව දන්නේ නැහැ. මේ උගත්තු විද්‍යාව ගැන මූලික සංකල්ප ටිකවත් දන්නේ නැහැ. විද්‍යා උගත්තු පෙර කී කිසිදු විෂයක් දන්නේ නැහැ. අද විශ්වවිද්‍යාලවලින් බිහි වෙන්නේ මේ විදිහේ බොත්තම් කාස උගත්තු ටිකක්. ඇගළුම් සේවකයින්ට කවදාවත් තනියම ඇඳුමක් මහන්න බෑ වගේ මේ උගතුන්ටත් සමස්ත පද්ධතිය අවබෝධ කර ගන්න බැහැ. දන්නේ බොත්තම් කාස මහන්න විතරයි. මේ තත්වය වහා වෙනස් විය යුතුයි.

රටට ලිපිකාරයෝ, උපාධිවලින් සහතික කළ උගත්තු වෙනුවට සැබෑ බුද්ධිමත්තු නිර්මාණය කළ යුතුයි. රටට ආදරය කරන රටේ දියුණුව ගැන හිතන පරපුරක් බිහි කර ගැනීම සඳහායි ආයෝජන වැඩි කළ යුත්තේ. එහෙම නැතුව මේ රටේ මිනිස්සුන්ගේ සල්ලිවලින් ඉගෙන ගෙන වෙන රටකට ගිහින් සැප ගන්න හිතන අය නෙමේ. තමන් රටට ණය බවවත් අද උගත්තු දන්නේ නැහැ. එහෙම අය නිර්මාණය කිරීම අවසානයේ රටට බරක්. අපේ දුප්පත් මිනිහගේ පාන් ගෙඩියට බදු ගහලා ඒ බදුවලින් උගන්නලා ඇමරිකාවේ කොම්පැණිවලට යවන්න ළමයි හදලා වැඩක් නැහැ. ඒ නිසා රටට ගැළපෙන අධ්‍යාපන ක්‍රමයක් නිර්මාණය කර ගැනීම ඉතාම වැදගත්. අද අපි හදන්නේ එදා මැකෝලි ස්වාමි කීවා වගේ ලෙයින් මසින් පමණක් ස්වදේශීය වෙච්චි කළු සුද්දෝ ටිකක්. කොහොම වුණත් මේ ආණ්ඩුව කරන්නෙත් විශ්වවිද්‍යාලවල ඉන්නෙත් මැකෝලිගේ දූලා පුතාලා නිසා මේ විකෘතිය දැන්ම හඳුනා ගෙන පිළියම් යොදාවී කියලා මම හිතන්නේ නැහැ.

     


Wednesday, October 17, 2012

බෙදුම්වාදයේ මුව විටෙහි සිට . . .


බෙදුම්වාදයේ ත්‍රස්තවාදී පෙරමුණ පරාජය කොට රට ලැබූ ජයග්‍රහණය එහි ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ ද පරාජය කොට විජයග්‍රහණයක් බවට පත් කිරීම අද රට හමුවේ ඇති ප්‍රධාන අභියෝගයයි. ඒ පිළිබඳ රටට හිතැති විද්වතුන් විවිධ අවස්ථාවල අදහස් පළ කළ ද තවමත් ඒ පිළිබඳ සමාජය සංවේදී වූ බවක් නොපෙනේ. ආණ්ඩුව උතුරු-නැඟෙනහිර පළාත්වල යටිතල පහසුකම් වැඩි දියුණු කරනු මිස සාමාන්‍ය ජනතාවගේ හදවත් දිනා ගැනීමට සහ ඔවුන් බෙදුම්වාදී ග්‍රහණයෙන් මුදා ගැනීමට ප්‍රමාණවත් අවධානයක් යොමු කරන බවක් නොපෙනේ. (ඒ සඳහා ක්‍රියා කළේ නම් එකී උපක්‍රම එතරම් සාර්ථක වී නොමැත.) නැවත නව විධික්‍රම ඔස්සේ හිස ඔසවන බෙදුම්වාදයේ අවධානම පිළිබඳ සංවේදී වූ බවක් නොපෙනේ. බොහෝ දෙනා බෙදුම්වාදයේ ත්‍රස්තවාදී පෙරමුණ පරාජය කොට ලද ජයග්‍රහණය තුළ ගිලී සිටීම මේ අසංවේදීත්වයට හේතුව බව පැහැදිලිය.

යටත්විජිතවාදයට දාව ද්‍රවිඩ ජාතිවාදී නායකත්ව ගර්භාෂයෙහි උපන් බෙදුම්වාදය විටින් විට මෙරට ප්‍රධාන දේශපාලන පක්ෂවලද, ඉන්දියාවේද, බටහිර රටවලද, විවිධ රාජ්‍ය නොවන සංවිධානවලද, පල්ලියේ ඇතැම් කොටස්වලද ක්‍රියාකාරීත්වය සහ ආශීර්වාදය මැද හැදී වැඩුණු ඔලු දෙකේ යක්ෂයෙකි. එහි එක් ඔලුවක් ප්‍රජාතන්ත්‍රවාදයයි. අනෙක ත්‍රස්තවාදයයි. 2009 නන්දිකඩාල් කලපුවේදී බෙදුම්වාදයට අහිමි වූයේ මේ ත්‍රස්තවාදී හිසයි. එහෙත් බෙදුම්වාදී යක්ෂයා තවමත් පණ පිටින් බව ද එහි ප්‍රජාතන්ත්‍රවාදී හිස එනම් ද්‍රවිඩ ජාතික සන්ධානය, දෙමළ ඩයස්පෝරාව, මෙරට වාමාංශික දේශපාලන කණ්ඩායම් සහ පක්ෂ, රාජ්‍ය නොවන සංවිධාන, බෙදුම්වාදී උගතුන් පෙරට වඩා බිහිසුනු ලෙස ද සූක්ෂම ලෙස ද විවිධ පෙරමුණු ඔස්සේ ඊළම වෙනුවෙන් පෙළ ගැසෙන බව ජනතාව වහා අවබෝධ කරගත යුතුය. බෙදුම්වාදය වෙත ප්‍රජාතන්ත්‍රවාදී මාර්ගය ඔස්සේ වුව යා හැකි මාර්ග වනසා දමන තුරු ඊළමක් බිහි වීමේ අවධානම පවතී. නැවත බෙදුම්වාදයේ ත්‍රස්තවාදී හිස ලියලෑමේ අවධානම ද එලෙසම පවතී.



අද ලංකාව කේන්ද්‍ර කොට ගෙන මතු වන දේශපාලන පෙළගැස්ම සමාන වන්නේ 1948 ඊශ්‍රායලය බිහි වීමට පෙර පැවති තත්ත්වයටය. එකල ලොව පුරා සිටි යුදෙව්වන් මෙන්ම අද ලොව පුරා සිටි දෙමළ ඩයස්පෝරාව ද වෙනම එටක් උදෙසා ක්‍රියා කරයි. දකුණු ආසියාවේ ඊශ්‍රායලයක් නිර්මාණය කිරීමේ අරමුණ ඇති බටහිර නව යටත්විජිතවාදීහු ඔවුන්ට සහාය පළකරති. නැගී එන චීනය, ඉන්දියාව වැනි ආසියානු බලවතුන් වෙත සිය ආධිපත්‍ය පැතිරවීම එහි අරමුණයි. දෙවන ලෝක යුද්ධයෙන් පසු යටත්විජිතවාදය අවසන් වී යැයි සිතන්නෝ එය විශ්වාස නොකරති. එහෙත් දෙවන ලෝක යුද්ධය සමඟ සිදුවූයේ යටත්විජිතවාදයේ මුහුණුවර සහ උපක්‍රම වෙනස් වීම පමණි. මේ රට දෙකඩ කොට එකිනෙකා මරා ගන්නා සතුරන් පිරිසක් නිර්මාණය කිරීමට, ඊළමක් තනා බටහිර ගැති පාලකයෙකු බිහි කර ගැනීමට ඔවුන් ක්‍රියා කරන්නේ මෙකී නව යටත්විජිතවාදී උපක්‍රම අනුවය.

දෙමළ ජනතාව පිළිබඳ විශේෂ කැක්කුමක් ඔවුන්ට නැත. ඇෆ්ගනිස්ථානයේ, ඉරාකයේ ලක්ෂ ගණනක් මරා දැමූ අයට දෙමළ ජනතාව පිළිබඳ විශේෂ කැක්කුමක් කෙසේ උපදීද? ඒ කරුණාව මාලු බාන්නෙකු ඇමට දක්වන සැලකිල්ලට එහා නොගිය එකකි. මේ උපක්‍රම අවබෝධ කරගෙන රට හමුවේ ඇති අවධානම අවබෝධ කරගත යුතුය. ත්‍රස්තවාදය විනාශ කළ ඒකීයභාවය තහවුරු කළ රට නැවත බෙදුම්වාදය වෙත දක්කා ගෙන යාමට 13 වන ව්‍යවස්ථා සංශෝධනය ක්‍රියාත්මත වන බව නූතන දේශපාලන මොහොත පිළිබඳ සංවේදී ඕනෑම අයෙකුට අවබෝධ කර ගැනීම අපහසු නැත.

බෙදුම්වාදයට විසඳුම ලෙස 13 වන ව්‍යවස්ථා සංශෝධනය ගෙන ආවේ ජනතා කැමැත්ත අනුව නොවේ. එය ඉන්දියාව ලංකාවේ රාජ්‍ය නායකයාව සිටි ජේ.ආර්. ජයවර්ධන බිය ගන්වා මෙරට පක්ෂ විපක්ෂ ජනතාවගේ විරෝධය මැද ගෙන එන ලද්දකි. එහෙයින් එහි නීත්‍යානුකූල බව ප්‍රශ්න කළ යුතුය. අනෙක් අතට එය ගෙන ආවේ බෙදුම්වාදයට විසඳුම ලෙස වුව අපේක්ෂිත අරමුණ ඉටුවූයේ ද නැත. ඉන් අපේක්ෂිත අරමුණ ඉටු වී නම් එම ව්‍යවස්ථා සංශෝධනය බලාත්මක වූ වහා බෙදුම්වාදය ද ත්‍රස්තවාදයද කෙළවර විය යුතුව තිබිණි. එහෙත් සිදුවූයේ ජාතික තලයේ දේශපාලන නායකයින්ට සිය හතර වරිගය නඩත්තු කිරීම සඳහා පළාත් සභා ක්‍රමය නම් නිධානයක් පහළ වීම පමණි.

පළාත් සභා ක්‍රමය ක්‍රියාත්මක වීමට පෙර සිට මෙරට ප්‍රාදේශීය සභා, නගර සභා, මහ නගර සභා පදනම් කරගත් පාලන ක්‍රමයක් තිබිණි. පළාත් සභා ක්‍රමය පිහිටු වන්නේ ඒවා යට කරමිනි. ජනතා මුදල් මිලියන ගණනින් වියදම් කරමින් නඩත්තු කරන මේ හොර ගුහා මෙතෙක් කල් අප හඳුනා ගත්තේ සුදු අලියෙකු ලෙසය. මෙතෙක් කල් පළාත් සභාවලින් සිදුවූයේ ජනතා මුදලින් පිං පඩිකමින් ප්‍රධාන දේශපාලකයින්ගේ පවුල් ගස් පැලවීමට හොඳ බිමක් සැකසීම පමණි. සිය දුව, පුතා, බිරිඳ, සැමියා, හොර අඹුව, ඥාතියා මහජන මුදලින් නඩත්තු කිරීමේ වාසනාව ඒ ඔස්සේ ඔවුන්ට ලැබිණි. ජාතික දේශපාලනය වෙත පිවිසීමට පළාත් සභාව ඔවුන්ට දිව්‍යමය ඉණිමඟක් විය. එහෙත් මෙතෙක් රටේ පාලනය ප්‍රබල ලෙස අවුල් කිරීමට ඉන් කිසිවක් සිදු නොවිණි. බොහෝ විට මධ්‍යම ආණ්ඩුවේ බලය දරන පක්ෂයම පළාත් සභාවලද බලය හෙබවීම ඊට හේතු විය.

එහෙත් පළාත් සභා වනාහි සුදු අලියෙකු නොව රටේ ඒකීයභාවය විනාශ කොට නැවත එහි ඉදිරි ගමන අවුල් ජාලාවක් බවට පත් කරන මකරෙකු බව දැන් දැනෙන්නට පටත් ගෙන තිබේ. එනම් දිය හැලිය රත්වෙන්නට පටන් ගෙන තිබේ. මේ සඳහා හොඳම නිදසුන දිවි නැඟුම පනත පිළිබඳ ඇති වූ විසංවාදී තත්ත්වයයි. දිවි නැඟුම පනතින් බලාපොරොත්තු වන්නේ දැනට පවතින සමෘද්ධි අධිකාරී පනත ඉදිරියට ගෙන යාමට වඩා වැඩි දෙයක් නොවේ. එහෙත් ඒ පනත පාර්ලිමේන්තුවේ සම්මත කිරීම සඳහා සියලු පළාත් සභාවල අනුමැතිය අවශ්‍ය බව ශ්‍රේෂ්ඨාධිකරණය පවසා ඇත. රන්මිණිතැන්න ටෙලි-සිනමා ගම්මානය සංස්ථාවක් බවට පත් කිරීමේ යෝජනාව ද මෙලෙසම සියලු පළාත් සභාවල අනුමැතිය සඳහා යැවීමට ශ්‍රේෂ්ඨාධිකරණය ක්‍රියා කරනු ඇත. කිසියම් පළාත් සභාවක් ඊට එරෙහි වුවහොත් කළ හැක්කේ අදාළ පනත පාර්ලිමේන්තුවේ 2/3න් සම්මත කර ගැනීම පමණි. වර්තමාන ආණ්ඩුවට එම පාර්ලිමේන්තු බලය ඇති නිසා එතරම් ප්‍රශ්නයක් නොවේ. එහෙත් මේ මැතිවරණ ක්‍රමය තුළ නැවත එසේ බලයක් ලැබේ යැයි සිතීම ද දුෂ්කරය.

අනෙක් අතට ජනතා පරමාධිපත්‍ය බලය ඇත්තේ පාර්ලිමේන්තුවටය. එම පරමාධිපත්‍ය හිමි පාර්ලිමේන්තුවට දිවි නැඟුම වැනි පනතක් පිළිබඳවවත් තීරණයක් ගත නොහැකි වීමෙන් හෑල්ලුවට ලක් වන්නේ ජනතා පරමාධිපත්‍යයයි. මගේ මතකය නිවැරදි නම් දිවි නැඟුම පනත මුලින්ම අභියෝගයට ලක් කළේ රාජ්‍ය නොවන සංවිධානයක් විසිනි. ඒ උතුරේ පළාත් සභාවක් නොමැති හෙයින් ආණ්ඩුකාරවරයාට ඒ සඳහා අනුමැතිය දීමට නොහැකි බවට අභියෝග කරමිනි. අනතුරුව ද්‍රවිඩ ජාතික සන්ධානය ද වාමාංශික පක්ෂ ද එක්සත් ජාතික පක්ෂයේ ලක්ෂ්මන් කිරිඇල්ල වැන්නෝ ද ඊට එක්වූහ. මේ සියලු පාර්ශවවලට ඇත්තේ බෙදුම්වාදය වෙනුවෙන් පෙනී සිටි කුප්‍රකට අතීතයක් බව අමුතුවෙන් කිව යුතු නොවේ. අනෙක් අතට ශිරාණි බණ්ඩාරනායක ශ්‍රේෂ්ඨාධිකරණය විනිසුරුවරියක ලෙස පත් කිරීමට විරුද්ධව 1997 ඉදිරිපත් කළ පෙත්සමක චෝදනාවක් වූයේ ඈ චන්ද්‍රිකා බණ්ඩාරනායක ආණ්ඩුවේ බලතල බෙදීමේ යෝජනාවලියට සහාය දැක්වූ අයෙකු බවය. එහි තීන්දුව වූයේ එවන් මතවාද දැරීම ඇගේ තනතුරට නුසුදුසු සේ නොසැලකුණ ද බලතල සම්බන්ධ නඩු ඇසීමට ඈ නුසුදුසු විය හැකි බවය. අද බලතල සම්බන්ධ නඩු ඇසෙන ශ්‍රේෂ්ඨාධිකරණයෙහි අගවිනිසුරුවරිය ඇයයි. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අර්ථ දැක්වීමේ බලය ඇත්තේ ශ්‍රේෂ්ඨාධිකරණයටය.

ශ්‍රේෂ්ඨාධිකරණය කරනු ලබන්නේ පවතින ව්‍යවස්ථාව අර්ථ දැක්වීම මිස නව නීති සම්පාදනයක් නොවේ. එහෙයින් අධිකරණයට ඇඟිල්ල දිගු කිරීම ද සාධාරණ නැත. කළ යුත්තේ හේතුව සොය එය විනාශ කිරීම මිස ඵලය විවේචනය කිරීම නොවේ. එනම් මේ සියල්ලට හේතුව13 වන ව්‍යවස්ථා සංශෝධනය බව ජාතිය වහා අවබෝධ කරගත යුතුය. මෙහි භයානකතම පිළිබඳ විවිධ විද්වතුන් අදහස් පළ කළ ද ඒ පිළිබඳ ආණ්ඩුවේ නිසි අවධානයක් යොමුවූ බවක් දක්නට නැත. මේ රටේ දේශපාලකයින් මුණිවත රකිද්දී ගෝඨභය රාජපක්ෂ මහතා ඒ පිළිබඳ සංවාදය නැවත මතු කිරීම පිළිබඳ ඔහුට ජාතියේ කෘතඥතාව හිමි විය යුතුය. 13 වන ව්‍යවස්ථ සංශෝධය තවත් කල් නොයවා අහෝසි කළ යුතු බව ද නැතහොත් එය රටට හිතකර ලෙස සංශෝධනය කළ යුතු බව ද ඔහු අවධාරණය කළේය. බෙදුම්වාදයේ ත්‍රස්තවාදී පෙරමුණ විනාශ කිරීමට නායකත්වය සැපයූ ඔහුට බෙදුම්වාදයේ ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණු ද පරාජය කොට රටේ ඒකීයභාවය සුරක්ෂිත කිරීමට පෙරමුණ ගැනීමට සිදුව ඇත.

පසුගිය කාලය තුළ සිදුවූ සියලු දේවලින් පැහැදිලි වන්නේ බෙදුම්වාදීන් 13 වැනි සංශෝධනයෙහි එල්ලී නැවත රට අරාජික කිරීමට සැරසෙන බවය. උතුරු පළාත් සභාව පිහිටුවා එහි ද්‍රවිඩ සන්ධානය පාලන බලය හිමි කර ගත්තේ නම් කිසි විටක දිවි නැඟුම පනත ඔවුන් අනුමත නොකරනු ඇත. මේ උගුලට හසු වුවහොත් අනාගතයේ වුව රටට හිතකර කිසිදු පියවරක් ගැනීමට ඔවුන් ඉඩ නොදෙනු ඇත. අනාගතයෙහි නැවත 2/3 බලයක් සහිත ආණ්ඩුවක් බිහි වෙතැයි සිතිය නොහැකි නිසා ඔවුන් විරුද්ධ වන කිසිදු පනතක් සෙසු පළාත් සභා 8ම කැමති වුව ද ක්‍රියාත්මක කළ නොහැකි වනු ඇත. මෙය අතිශය භයානක තත්ත්වයක් වන අතර ප්‍රජාතන්ත්‍රවාදී මූලධර්ම බරපතළ ලෙස විකෘති වීමක් වනු ඇත. මෙය තමිල්නාඩුව හමුවේ ඉන්දීය මධ්‍යම රජය මුහුණ දෙන තත්ත්වයට සමානය. බල්ලා විසින් නකුට වනනු වෙනුවට නකුට විසින් බල්ලා වනන තත්ත්වයට 13 ව්‍යවස්ථා සංශෝධනය ඔස්සේ රට පත් කොට තිබේ. මේ රටේ බෙදුම්වාදීන් සහ මාක්ස්වාදීන් පසවන පරිදි ඉඩම් සහ පොලිස් බලතල පළාත් සභා වෙත ලබා දුනහොත් ඊළම පිහිටුවීම ඉර හඳ සේ ස්ථිර දෙයක් වනු ඇති අතර එකී බලතල ලබා දුන් දාට පසුදා සිටම උතුරට යාමට ජනාධිපතිවරයාට ද එහි මහ ඇමතිගෙන් අවසර ගැනීමට සිදුවනු ඇත.

බෙදුම්වාදීන් මේ සැරසෙන්නේ 13 සංශෝධය ඔස්සේ ඊළම වෙත යාමට බව ඉතාම පැහැදිලිය. දැනට බ්‍රිතාන්‍යය, කැනඩාව, ස්පාඤ්ඤය සහ ඉන්දියාව ආදී රටවල් මෙලෙස ප්‍රජාතන්ත්‍රවාදී උපක්‍රම ඔස්සේ කැබලිවලට කැඩී යාමට ආසන්න තත්ත්වයක ඇත. ලංකා බෙදුම්වාදීන් මෙකී ජාත්‍යන්තර දේශපාලන අත්දැකීම් අනුව සැරසෙන්නේ යුද්ධයෙන් බැරිවූ ඊළම සාමයෙන් ලබා ගැනීමටය. කෙසේ වුව ද මෙතෙක් කල් සියලු පළාත් සභා ක්‍රියාත්මක නොවීම නිසා එහි බරපතළකම අපට නොවැටහිණි. එහෙත් ලිහා බැලූ මල්ල යළි ඔබා බැලිය යුතු නැති තත්ත්වයට මෑත කාලීන අත්දැකීම් විසින් අප පත් කොට තිබේ. එක අතකින් 13 වැනි සංශෝධනයෙහි භයානක බව මේ අවස්ථාවේ අපට පෙනී යාම ජාතියේ වාසනාවකි. එය වෙනස් කිරීමට අවශ්‍ය බලය මේ අවස්ථාවේ ආණ්ඩුව සතු හෙයිනි. මෙවන් අවස්ථාවක් නැවත අපට අත් වෙතැයි සිතිය නොහැකිය. එහෙයින් මේ අවස්ථාව අත් නොහැර ඉන් නිසි ප්‍රයෝජන ගෙන රටේ ඒකීයභාවය තහවුරු කිරීම සඳහා ක්‍රියා කිරීම ආණ්ඩුවේ පරම වගකීමයි. මේ ආණ්ඩුවේ ශක්තිය තවමත් අඛණ්ඩව ඉදිරියට ගලා යන 2005 ජනවරමයි. ඒ රටේ නිදහස ඒකීයභාවය දිනාගනු උදෙසා පෙළ ගැසුණු ජනතාවගේ හද ගැස්මයි.

මේ රට බෙදා පාලනය කිරීමට තරම් විශාල රටක් නොවේ. අනෙක් අතට ව්‍යාජ ද්‍රවිඩ නිජබිම් සංකල්පයක සිට කරනු ලබන බලය බෙදීමකින් වුව බහුතර දෙමළ ජනතාවට සිදුවන යහපතක් නොමැත. මන්ද ලංකාවේ සමස්ත දෙමළ ජනගහනයෙන් 50%ට පනහකට වඩා ජිවත් වන්නේ උතුරු නඟෙනහිරින් පිට හෙයිනි. සැබවින්ම කළ යුත්තේ බලය නොව පරිපාලනය විමධ්‍යගත කිරීමයි. ගම් සභා ක්‍රමය නැවත ඇති කොට එය ශක්තිමත් කිරීමෙන් ගමේ ප්‍රශ්න ගම තුළම විසඳා ගැනීමට අවස්ථාව ලබා දිය හැකිය. ගම් සභා> ප්‍රාදේශීය සභා> නගර සභා> මහ නගර සභා ඔස්සේ ජනතාව ඍජුවම රටේ පාලන කටයුතුවලට හවුල් කර ගත යුතුය. එමෙන්ම ඒ ඒ ජන කොටස් බහුතරය වන ප්‍රදේශවල ඔවුන්ගේ භාෂාවෙන් වැඩ කිරීමට ඔවුන්ගේ සංස්කෘතිය අනුව ජීවත් වීමට අවශ්‍ය නිදහස් පරිසරයක් නිර්මාණය කර දිය යුතුය.

මේ සියල්ලට වඩා පසුගිය අඩ සියවසක පමණ කාලය තුළ සිංහල දෙමළ දෙජාතිය අතර ඇති වූ සැකය, අවිශ්වාසය නැති කර දැමීමට කටයුතු කළ යුතුය. සිංහලයා, දෙමළා තම ආදරණීය අසල්වැසියා ලෙස උණුසුම් ලෙස පිළිගත යුතු අතර දෙමළා ද සිංහලයට එලෙසම සැලකිය යුතුය. සිංහල රාජ්‍ය සේවකයින් දෙමළ ප්‍රදේශවල ද දෙමළ අය සිංහල ප්‍රදේශවලද සේවයට යෙදවිය යුතුය. සියලු ජන කොටස්වලට එක ලෙස සැලසිය යුතුය. වාර්ගිකත්වය පදනම් කරගත් පාසැල් වෙනුවට මිශ්‍ර පාසැල් ඇති කළ යුතුය. අනවශ්‍ය බෙදීම් ඇති කරන සියලු මං අවුරා දැමිය යුතුය. නිදසුනක් ලෙස උප්පැන්නයේ ඇතුළත් ජන වර්ගය වැනි ගෝත්‍රික ලක්ෂණ ඉවත් කළ යුතුය. සිංහලකම, දෙමළකම හදවත්වල තබා ගෙන ශ්‍රී ලාංකිකයින් ලෙස ජීවත් වන්නට අවශ්‍ය මඟ පෙන්වීම ලබා දිය යුතුය. නැවත සිංහල දෙමළ විවාහ ඇති විය යුතුය. ඒ සඳහා නාමල් රාජපක්ෂ වැනි ප්‍රබල චරිතයකට පෙරමුණ ගත හැකි නම් ඉන් රටට ලබාදිය හැකි ආදර්ශය සුළුපටු නැත. සිංහලයාගේ පුහු ස්වෝත්තමවාදය ද දෙමළාගේ සැකය සහ හීනමානය ද දුරු කිරීමට එය ප්‍රබල පිටුවහලක් වනු ඇත.

බෞද්ධයින් සහ හින්දූන් සූක්ෂම ලෙස විවිධ ආගම්වලට හරවන අන්තවාදී ක්‍රියා වහා නතර කරවිය යුතුය. ඒ සඳහා ක්‍රියාත්මක වීම රජයේ පරම වගකීමයි. බෞද්ධයින් සහ හින්දුවරු සිය ආගම සහ සංස්කෘතියෙන් ගලවා ගෙන දක්කා ගෙන යන්නේ බෙදුම්වාදී කඳවුර වෙතය. එදා මෙදාතුර මේ රටේ සිංහල දෙමළ බෙදුම්වාදී නායකයින් බොහෝ දෙනා බෞද්ධයින් හෝ හින්දූන් නොව විවිධ ආගමික කල්ලි විසින් බිළි ගෙන මේ රටට ආගන්තුකයින් පිරිසක් බවට පත් කළවුන්ය. ඒ අතර සිටින ඇතැම් භක්ෂූන් බුදු මඟ නොව කාල් මාක්ස් මඟට පිළිපන්නවුන්ය. 

එමෙන්ම පොන්නම්බලම් රාමනාදන්, ලක්ෂ්මන් කදිරගාමර්, ජෙයරාජ් ප්‍රනාන්දුපුල්ලේ වැනි නායකයින් පිරිසක් දෙමළ ජනතාව අතරින් නිර්මාණය කර ගෙන ඔවුන්ට රටේ ප්‍රධාන බලතල ලබා දිය යුතුය. එවන් නායකයින්ට රටේ ජනාධිපති ධුරය ලබා දීමට සිංහලයින් කිසිසේත් පසුබට විය යුතු නැත. එවැන්නක් පිළිගැනීමට තරම් විවෘත මනසක් සිංහලයින්ට තිබේ. එය ඉතිහාසය විසින් ඔප්පු කොට ඇත. අපේ ඇතැම් රජවරු ඉන්දිය දෙමළ සම්භවයක් සහිත බව කිව යුතු නොවේ. 

13 වන ව්‍යවස්ථා සංශෝධනය මගින් ගෙන ආ පළාත් සභා ක්‍රමය තුළින් සාමාන්‍ය සිංහල ජනතාවට  මෙන්ම දෙමළ ජනතාවටද ලැබෙන පලක් නැත. එය රටේ ඉදිරි ගමනට කොඩිවිණයකි. එහෙයින් වහාම 13 වැනි සංශෝධනය අහෝසි කළ යුතුය. නැතහොත් එය බල රහිත වන සේ 19 වන ව්‍යවස්ථා සංශෝධනයක් ගෙන‍ ආ යුතුය. ඒ සඳහා අවශ්‍ය 2/3 බලය ආණ්ඩුව සතුව තිබේ. එසේ බැරි නම් ප්‍රජාතන්ත්‍ර විරෝධී ලෙස අත්සන් කළ 13 වන ව්‍යවස්ථා සංශෝධනය පිළිබඳ ජනමත විචාරණයක් පැවැත්විය යුතුය. නැතහොත් අසීමිත කැප කිරීම් කොට දිනාගත් ඒකීයභාවය බෙදුම්වාදී දන්ගෙඩියට යාම වැළැක්වීමට ශක්‍රයාටවත් නොහැකි වනු ඇත. උතුරේ ඊළම නමැති ඊශ්‍රායලය බිහිවූ පසු දකුණේ පලස්තීනයක් නිර්මාණය වීම අනීවාර්ය වේ. අද පලස්තීනය යනු මිහිපිට අපායට කියන නම බව සිහිපත් කළ යුතු නොවේ.

Monday, October 8, 2012

20/20 පශ්චාත් මරණ පරික්ෂකවරුන් වෙත . . .

20/20 ලෝක කුසලාන තරඟාවලිය අවසන් විය. එහි ශූරතාව කොදෙව්වන් සතු වූ අතර අපි සුපුරුදු පරිදි අනුශූරයින් වූයෙමු. ලෝක කුසලාන තරඟාවලි 4කම අවසාන තරඟයට පැමිණීමෙන් ලංකාව ලෝක වාර්තාවක් ද තබා තිබේ. එය කිසිදු කණ්ඩායමකට පහසුවෙන් ළඟා විය හැකි වාර්තාවක් නොවන අතර ලංකා කණ්ඩායම පසුගිය කාලය පුරා ලොව අඛණ්ඩව ලොක ප්‍රමුඛ කණ්ඩායම් දෙක අතර සිටි බව ඉන් සනාථ වෙයි. කෙසේ වුව ද අප ලබා ඇති සියලු ජයග්‍රහණ පසෙකලා අවසන් තරඟයේ ලද පරාජය ගැන අද පශ්චාත් මරණ පරීක්ෂණ පැවැත් වේ. ඇතැම්හු ගෙල වැල ලා ගෙන මියෙති. ඇතැම්හු මහින්දට බණිති. ඇතැම්හු කොදෙව් ජයග්‍රහණය වාසනාව නිසා ලද බව පවසති.

මේ තත්ත්වයට ඇතැම් විට හේතු විය හැක්කේ අප අධික ලෙස ජයග්‍රහණය බලාපොරොත්තු වීම සහ තරඟයේ දෙවන ඉනිමේ මුල් පන්දු වාර 10 දක්වා ම ලංකාව ඉදිරියෙන් සිටීම විය හැකිය. මේ සියල්ලෙන් අපට වටහා ගත හැක්කේ අපට තවමත් පරාජය විඳ ගැනීමට තරම් මානසික ශක්තියක් නැති බව නොවෙද? අපි ලොක්කන් වම්හ අපේ කිසි අඩුවක් නොමැත යන ස්වෝත්තමවාදය නොවෙද?

තරඟ පරාජය වෙද්දි ඉන්දියාවේ මෙන් ක්‍රිඩකයින්ගේ ගෙවල්වලට ගල් ගහන මට්ටමක අප නොසිටිය ද අප සිටින්නේ හොඳ මට්ටමක නොවේ. ජයග්‍රහණයට පියවරු සියයක් සිටිය ද පරාජය අවජාතක යැයි කතාවක් තිබේ. ඒ කතාව නැවත සනාථ කරමින් මේ පරාජයේ වඟකීම රටේ ජනාධිපති මත පැටවීමට ආණ්ඩු විරෝධීහු උත්සාහ කරති. මෙය අනුකම්පා කළ යුතු තත්ත්වයකි. මැතිවරණ පරාජය වන්නේ කොම්පියටර් ජිල්මාට් නිසා යැයි කියා රටක් හිනැස්සුවේ ද මොවුන්ගේ නායකයෝය.


කොදෙව්වන් ජය ලැබුවේ වාසනාව නිසා යැයි කියන්නේ ද ඊට නොදෙවෙනි මානසික අසරණයෝය. සමස්ත තරඟය වාසනාව මත තීරණය වේ නම් කළ යුත්තේ කාසිය වාසිය දිනූ නායකයාට කුසලානය ලබා දීමය. පැය ගණන් ක්‍රිඩා කළ යුතු නැත. සිය පරාජය පිළි ගෙන ජයග්‍රාහකයාට සුබ පැතීමට ඔවුන්ට නොහැකි වීම කනගාටුවට කරුණකි. තමන්ට වඩා මහජන කැමැත්ත දිනූ පුද්ගලයෙක් ඇතැයි පිළිගැනීමට උතුරු මැද බර්ටි ප්‍රේමලාල් උන්නැහේට නොහැකිය. පරාජයේ දී ගෙල වැල ලා ගන්න අය දිනුවේ නම් හාට් ඇටෑක් එකකින් මිය යාමට ඉඩ තිබිණි. මධ්‍යම ප්‍රතිපදාව එනම් සියල්ල සම සිතින් දරාගත යුතුය යන දහම අනුගමනය කරන රටේ තත්ත්වය එහෙමය.

ලෝක ක්‍රිකට් ඉතිහාසයේ ස්වර්ණමය අතීතයක් ඇති කලක් එහි ආධිපත්‍ය දැරූ කොදෙව්වන්ට මෙවර ලෝක කුසලානය හිමි වීම පිළිබඳ මට ඇත්තේ සතුටකි. (1975/79 ලෝක කුසලානය දිනූ කොදෙවෝ එකල ලෝක ක්‍රිකට් ආධිපත්‍ය දරා සිටියහ.) අපේ කණ්ඩායම පරාජය වීම පිළිබඳ කිසියම් කනගාටුවක් මා තුළ පැවතිය ද කොදෙව්වන්ගේ නිහතමානි මහත්මා ගති නිසා එය ද පහව යයි. ඕසට්‍රේලියාව සහ කොදෙව්වන් අතර තරඟයේ දී මා පැතුවේ ද කොදෙව් ජයග්‍රහණයයි. මගේ මිතුරන් කීවේ ඕස්ට්‍රේලියාව ජය ගැනීම අපට වාසි බවය. එහෙත් මගේ තර්කය එය එසේ නම් අදක්ෂයින් සමඟ තරඟ කොට ලබන ජය ද නොවටිනා බවය. අප තරඟ කොට දිනිය යුත්තේ සැබෑ දක්ෂයින් සමඟ මිස දුර්වලයින් සමඟ නොවේ. මෙවර ලෝක කුසලානය දිනුවේ සැබෑ දක්ෂයින් බව මගේ හැඟීමයි. තමන් දැන් 20/20 ලෝකයේ හොඳම කණ්ඩායම බව අර්ධ අවසාන තරඟයේ දීම කොදෙව්වෝ සනාථ කළහ.

අප කළ යුත්තේ වැදගත් මහත්වරු ලෙස කොදෙව්වන් ලද ජයග්‍රහණයට සුබ පතා අපේ දුර්වලතා හදා ගැනීම මිස උඹලා කණාවට දිනුවා යැයි මෝඩ චූන් ගැනීම නොවේ. මේ තර්කය අප වෙත පරාවළල්ලක් විය හැකි බව ඔවුන්ට නොපෙනේ. 1996 ලංකාව ලෝක කුසලානය දිනුවේ කණාවට යැයි කෙනෙකුට තර්ක කළහොත් අපට කිය හැක්කේ කුමක්ද? මන්ද එවක බොහෝ දෙනා සිතුවේ ඕසට්‍රේලියාව කුසලානය දිනා ගනු ඇති බවය.

ලංකා කණ්ඩායම පසුගිය කාලය පුරා ලොව ප්‍රබල කණ්ඩායම් කිහිපය අතර ඉහළින් ම සිටි බව ඇත්තකි. එහෙත් 1996 ඔවුන්ම මුල්වී ක්‍රිකට් තරඟ විලාසය උඩු යටිකුරු කිරීම සමඟ ඇති වූ නව තත්ත්වය මැනවින් ග්‍රහණයට කර ගැනීමට ලංකා කණ්ඩායම අසමත් වීම නැවත ලෝක කුසලානයක් දිනා ගැනීමේ සිහිනය අපෙන් ඈත් වීමට හේතු වී ඇති බව මගේ විශ්වාසයයි. එතෙක් කල් ක්‍රිකට් ක්‍රිඩාව තුළ මුල් බැස පැවතියේ ඉංග්‍රීසි සම්ප්‍රදායයි. එනම් පහරක තාක්ෂණය, අලංකාරය පිළිබඳ ප්‍රමුඛව ද ලකුණු පිළිබඳ දෙවනුව ද සිතන සම්ප්‍රදායයකි. එකල හොඳ පන්දුවලින් සිය විකට්ටුව ආරක්ෂා කර ගනිමින් දුර්වල පන්දුවලට තාක්ෂණයෙන් පිරිපුන් අලංකාර පහර එල්ල කරමින් විකට්ටුවේ බොහෝ වෙලාවක් රැඳී සිටීම අගය කෙරිණි.

එහෙත් සනත් සහ කළුවිතාරණ මුල් ඕවර 15 යාර තිහේ සීමාවට ඉහළින් දැවැන්ත පහර එල්ල කරමින් ඇති කළ සම්ප්‍රදාය එතෙක් පැවති ඉංග්‍රීසි සම්ප්‍රදාය වෙනස් කළේය. එම නව සම්ප්‍රදාය විසින් 96 කුසලානය දිනා ගැනීම සමඟ ලොව සෙසු රටවල් ද එම සම්ප්‍රදායට අනුගත වීමට උත්සාහ කළහ. තව දුරටත් තරඟ ජයග්‍රහණය කිරීමට නම් එය අනීවාර්ය විය. එහෙත් එම සම්ප්‍රදාය තවත් වැඩි දියුණු කිරීමට තබා එය පවත්වා ගෙන යාමටවත් අපට නොහැකි විය. අප තවමත් ක්‍රිඩකයින් පුහුණු කරන්නේ ද සංචිතවලට තෝරන්නේ ද පැරණි ඉංග්‍රීසි සම්ප්‍රදාය අනුවය. එහෙයින් දැන් අපට සනත්-කළු වැනි ප්‍රහාරාත්මක පිතිකරුවන් නොමැත. එහෙත් ක්‍රිස් ගේල්, මාලන් සැමුවෙල් වැනි සනත්-කළු පන්නයේ පිතිකරුවන් කොදෙව් කණ්ඩායමේ ඇත.

ඔවුන්ගේ ජයග්‍රහණයේ රහස එම පිතිකරුවන් සහ ඉතා සංයමයෙන් උපක්‍රමශිලීව ක්‍රිඩා කිරීම බව මගේ හැඟීමයි. එය වාසනාවට ලඝු කිරීම අපේ රටේ ක්‍රිකට් අනාගතයට එතරම් හොඳ නොවනු ඇත. දැන් අප කළ යුත්තේ තමන් ලොවට හඳුන්වා දුන් නව සම්ප්‍රදාය ඉදිරියට ගෙන යාමට ශක්තිමත් ක්‍රිඩකයින් පිරිසක් නිර්මාණය කර ගැනීමය. නව ක්‍රිකට් සංස්කෘතියට අනුව නව උපක්‍රම අත්හදා බැලීමය. 96 අපේ ජයග්‍රහණයේ ද 2012 කොදෙව් ජයග්‍රහණයේ ද පදනම එය එය බව මගේ හැඟීමයි. 

Thursday, October 4, 2012

ආගමික අන්තවාදය හමුවේ අප යා යුතු මඟ

මේ වන විට සමස්ත ලෝකය පුරා ඇත්තේ ක්‍රිස්තියානී සංස්කෘතික ආධිපත්‍යයකි. එය ව්‍යාප්ත කරන්නේ ද ආරක්ෂා කරන්නේ ද ඇමරිකාව සහ බ්‍රිතාන්‍ය ප්‍රමුඛ යුරෝපයයි. අධ්‍යාපනය සහ ජනමාධ්‍යය ඔස්සේ අප අඩු වැඩි වශයෙන් එහි ගොදුරු බවට පත්ව ඇත. කලක් අපේ සිතුම් පැතුම්, සිරිත් විරිත්, ආහාර, දේශපාලන දෘෂ්ටිය ආදී සියල්ල තීරණය කරන තත්ත්වයට මේ සංස්කෘතික ආක්‍රමණය ව්‍යාප්ත වී පැවති අතර දැන් එම ප්‍රවාහයට එරෙහිව උඩුගං බලා පිහිනන පිරිසක් රට පුරා නිර්මාණය වෙමින් පවතී. එහෙත් එම පිරිස අවිහිංසාවාදී පිළිවෙතක් අනුගමනය කරති. ඔවුහු සිය සතුරා සමඟ සටනට නොයති. තම රට වැසියා දැනුවත් කරමින් සිය සංස්කෘතික හර පද්ධති ආරක්ෂා කර ගැනීමේ වැදගත්කම ඔවුන්ට පෙන්වා දෙති. වෛරයෙන් වෛරය නොසන්සිඳේ යන බුදු වදන අනුව හැසිරෙති.  

එහෙත් බටහිර සංස්කෘතික ආධිපත්‍යයට එරෙහිව නැඟී සිටින මුස්ලිම්වරු අනුගමනය කරන පිළිවෛත ඊට වෙනස්ය. ඔවුහු වෛරය වෛරයෙන් ජය ගැනීමට උත්සාහ කරති. තව තවත් ලොව පුරා වෛරය වපුරති. ඇසට ඇසක් දතට දතක් න්‍යාය අනුව ක්‍රියාත්මක වෙති. අද මේ දෙපිරිස අතර ඇත්තේ ලෝක සංස්කෘතික ආධිපත්‍ය සඳහා මාරාන්තික අරගලයකි. මේ සටන අද ඊයේ ඇති වුවක් නොව ඉතා ඈත අතීතයේ සිට පැවත එන්නකි. එය විශ්වීය වශයෙන් ව්‍යාප්ත වන්නේ යුරෝපීය යටත් විජිතවාදයත් සමඟය. එකල යුරෝපීයයෝ අප්‍රිකා, ආසියා, ඇමරිකා මහද්වීපවලට අයත් රටවල් සිය යටත් විජිත බවට පත් කර ගෙන ඒ ඒ රටවල තිබූ සියලු සංස්කෘතීන් සමූල ඝාතනය කරන්නට වූහ. ඊට හසුවූ බෞද්ධ, හින්දු, මුස්ලිම් මහා කලා නිර්මාණ, ආගමික ගොඩනැගිලි, කලාගාර වැනි මහා නගර විනාශ විය. 



බෞද්ධ, හින්දු, මුස්ලිම් ආදී ආගම් සහ සංස්කෘතීන් නොදියුණු තිරශ්චීන දෑ ලෙස යුරෝපීයයෝ කල්පනා කළහ. දෙවියන් වහන්සේ තමන් ඔවුන් වෙත එවා ඇත්තේ එකී ගණ අන්ධකාරයේ ගිලී සිටින අශිෂ්ටයින් ශිෂ්ටාචාරගත කොට ඔවුන්ට දේව රාජ්‍ය වෙත යාමට පිහිට වීමට යැයි ද ඔවුහු එපමණට ම විශ්වාස කළහ. යුරෝපීයයන් මෙන්ම එසේ නැතහොත් ඊටත් වඩා දැඩි දේවවාදීන් වන මුස්ලිම්වරුන්ට එකී ආක්‍රමණවලින් කළ හැකි වූ මානසික බලපෑම ඉතා අඩුය. වෙනත් ලෙසකින් කිවහොත් ඔවුන් වෙත එල්ල කළ පීඩනය තව තවත් ඔවුන් සිය ආගම වෙත තල්ලු කළා පමණි.

ප්‍රබලයා විසින් දුබලයා විනාශ කිරීමේ කැලෑ නීතිය මුස්ලිම් සහ කතෝලික-ක්‍රිස්තියානි ආගම් විසින් ඉතිහාසය පුරා ක්‍රියාත්මක කොට තිබේ. අද ද සිදු කරති. එදා පෘථිවිය සුර්යයා වටා කැරකෙන්නේ යැයි කියූ බ්රූනෝ පණ පිටින් පුළුස්සා මැරූ පල්ලියට කාර්මික විප්ලව සහ පුනරුදය සමඟ තව දුරටත් ජනතාව දේව විශ්වාසයෙහි රඳවා ගැනීමට නොහැකි විය. පිරිසක් එලිපිටම දෙවියන්ට අභියෝග කරන්නට වූහ. එහෙත් ඔවුන් එම ආගම් විසින් බිහි කළ සංස්කෘතියට අභියෝගයක් නොවූ නිසා ද පිටතින් මතු වන තර්ජන මතු නොවීමට මෙවන් විරෝධතා භාවිත කළ හැකි නිසා ද ඊට බාධා නොකරන ලදි. එලෙස සිය දෙවියන් පවා විවේචනය කිරීමට සිය රටවල නිදහස ඇතැයි ඔවුහු ලෝකයට ප්‍රකාශ කරති. එම අඩයාලමට මුවා වී ලොව සෙසු සංස්කෘති සහ ආගම්වලට ගරහති.එවිට සිය ආගම පමණක් නොව අන්‍ය ආගම් ද බොරු යැයි පැවසීමට ඔවුන්ට අවස්ථාව ලැබේ. එසේ ම සෙසු රටවල සංස්කෘතීන්, හර පද්ධති විවේචනය කළ පිරිස් සඳහා දේශපාලන රැකවරණය දෙති. අවශ්‍ය සියලු පහසුකම් ලබා දෙති. ඉස්ලාම් විරෝධි චිත්‍රපටය බිහිවන්නේ එවන් පසුබිමකය.

මුස්ලිම්වරු සිය රටවල මීට ඉඳුරා විරුද්ධ ක්‍රමයක් අනුගමනය කරති. ඒ රටවල අන්‍ය කිසිදු ආගමක් නිදහසේ ඇදහීමේ අවස්ථාව නොමැත. ඔවුන් රටවලට බුදු පිළිම රැගෙන යා නොහැකිය. අනෙක් සංස්කෘති ආගම් පමණක් නොව එකී ආගම් අදහන අය පවා විනාශ කිරීම සඳහා ඔවුහු විවිධ ක්‍රියාමාර්ග ගනිති. අල්ලාහු අග්බාර් යැයි කියමින් ඇෆ්ගන් බාමියන් බුද්ධ ප්‍රතිමා විනාශ කළේ මුස්ලිම්වරුය. පකිස්ථානයේ මුස්ලිම් විනිසුරුවරයෙකු කුරාණය පුළුස්සා ක්‍රිස්තියානි දැරියකගේ බෑගයකට දමා ඇය මරා දැමීමට සැලසුම් කළේය. පකිස්ථානයේ බෞද්ධ උරුමයන් කුණු කොල්ලයට වෙළඳ පොළවල විකුණති. ඉතියෝපියාවේ ක්‍රිස්තියානි පෙර පාසැලකට ඔවුන් අත් බෝම්බ ප්‍රහාරයක් එල්ල කළේ ගිය සතියේය. තායිලන්තයේ ලොව වැඩිම බෞද්ධයින් ජීවත් වන රටේ මුස්ලිම් බහුතරය ජීවත් වන දකුණු ප්‍රදේශයේ පිඬු සිඟා වැඩි භික්ෂූන් වහන්සේ නමක් සහ ගෝල නම මරා දැම්මේ ද මෑතදීය. බංගලිදේශයේ පෞරාණික විහාරාරාම 10ක් සහ බෞද්ධයින්ගේ නිවාස සිය ගණනක් ගිනි තබා විනාශ කොට තවම උණුසුම පහව ගොස් නොමැත. ලංකාවේ ඈත ප්‍රදේශවල නොමිලේ බෙදන රට ඉඳි පැකට්වලට පවා බුදු දහමට අගෞරව වන ආකාරයේ පත්‍රිකාවක් ඇතුළු කිරීමට මොවුහු අමතක නොකරති. කුරගල ඇතුළු බෞද්ධ විහාර සිය ග්‍රහනයට ගෙන නැඟෙනහිර බෞද්ධ උරුමය බුල් ඩෝසර් කරති.

එවන් මුස්ලිම්වරු සිය ආගමික නායකයාට චිත්‍රපටයකින් අපහාස කළේ යැයි ලෝකය පෙරලන්නට හදති. ඉස්ලාම් ආගම නාමයෙන් සිදු කරන සියලු පහත් වැඩ මුස්ලිම් අන්තවාදීන්ගේ ගිණුමට බැර කරන මොවුහු ඒවා නිහඬව ඉවසති. නැතහොත් නිහඬව සහයෝගය දෙති. පකිස්ථාන දුම්රිය ඇමති බාමියන් බුදු පිළිම විනාශ කළ තාලිබාන්ලාට මෑතදී ඇමතුවේ අපේ සහෝදරවරු කියාය. (අමිර්තලිංගම්ලා කොටි නැළවූය් ද අපේ ළමයි කියලාය. අවසානයේ අමිර්තලිංගම්ලා ද කොටි ද විනාශ විය.) අනෙක් අතට ඇමරිකාව කියන්නේ ඕනෑම අයෙකුට නිදහසේ සිය අදහස් ප්‍රකාශ කළ හැකි බවය. එහි අරුත අදාළ චිත්‍රපට සැදීම සාධාරණ බවය. මේ අනුව මුස්ලිම්වරු මෙන් ම ක්‍රිස්තියානිහුද සිය ආගම් සහ සංස්කෘති ආරක්ෂා කරන අතර ව්‍යාප්ත කරන අතර සෙසු සංස්කෘති විනාශ කිරීමට කටයුතු කරන බව පැහැදිලිය. අද ලෝක සාමයට ඇති ලොකුම තර්ජනය මෙයයි. මේ අන්තවාදයන් කෙළවර වන්නේ දෙපිරිසම විනාශ වීමෙනි. එසේ නොමැතිව මේ අන්තවාදී මාර්ගය කෙළවර විය නොහැකිය.

එයින් ගැළවීම සඳහා ඔවුන්ට ගතහැකි එකම ක්‍රියා මාර්ගය අන්‍ය ආගම්වලට සැබවින්ම ගරු කරන ආස්ථානයකට මාරුවීමය. ප්‍රබලයා විසින් දුබලයා විනාශ කිරීමේ පහත් ක්‍රමය වෙනුවට දුබලයා කරුණාවෙන් ආරක්ෂා කිරීමේ තැනකට මේ පිරිස ගමන් කළ යුතුය. එසේ නොවන තාක් සිදුවනුයේ කලක් දුබලයා වන පුද්ගලයා ප්‍රබල වූ වහා පෙරලා පහර දීමයි. ඇසට ඇසක් දතට දතක් ප්‍රතිපත්තියයි. මේ දෙපිරිසම බෞද්ධ ආගම සහ සංස්කෘතිය සිය සතුරෙකු ලෙස සලකති. එහෙත් බටහිර ආක්‍රමණිකයින් හමුවේ මුස්ලිම්වරු ආරක්ෂා කළේ ද ඔවුන් නැඟෙනහිර පදිංචි කරවා ආරක්ෂා කළේ ද බෞද්ධයෝ ය. පෘතුගීසි කතෝලික පිරිස් රෝමානු කතෝලිකයින්ගෙන් ද ආරක්ෂා කළේ බෞද්ධයෝය. එහෙත් බුදු පිළිම කොමඩ්වලට, පාවහන්වලට දැමීම, නිරුවතින් බුදු පිළිම වැළඳ ගෙන ඡායාරූප ගැනීම, සිය රටවල ඇති බෞද්ධ උරුමයන් විනාශ කිරීමට ඔවුහු පසුබට නොවෙති. බාමියන් බුදු පිළිම හැදුවේ අප නොව එකල බෞද්ධයින් වූ තමන්ගේ ම මුතුන් මිත්තන් බව භක්තියෙන් අඳව ගිය මුස්ලිම්වරුන්ට අවබෝධ කරගත නොහැකි වීම අවාසනාවකි. ඔවුන් විනාශ කළේ ඔවුන්ගේ  ම මුතුන් මිත්තන්ගේ උරුමයකි.

මේ අන්තවාදයට බිලි නොවී සියල්ල දෙස උපේක්ෂාවෙන් බැලීමට බුදු හිමි අපට දේශනා කොට තිබේ. උන්වහන්සේ දෙසැටක් මිත්‍යා දෘෂ්ටීන් පිළිබඳ දේශනා කළ ද එම ආගමික නායකයින් සහ භක්තිකයින් සමඟ සුහදව ඇසුරු කළහ. ඔවුන්ගේ ආරාමවලට ගොස් සුහද පිළිසඳරේ යෙදුණාහ. දහම් අසා සිය බුදු දහම වැළඳ ගත් උපාලි ගෘහපතියාට මෙතෙක් සිය ආගමික නායකයින් ලෙස ඇදහූ පිරිස් වෙත දුන් දානමාන දිගට ම කරගෙන යන්නැයි උපදෙස් දුන්හ. උන්වහන්සේගේ ධර්මය අනුව සිය ජීවිත හැඩගස්වා ගැනීමට බෞද්ධයින් හුරුවිය යුතුය. එහි අදහස තමන් මත දිග හරින ආගමික සංස්කෘතික ආක්‍රමණ හමුවේ කරබා ගත යුතු බව නොවේ. ඊට එරෙහි විය යුතුය. ඒ සඳහා අනුගමනය කළ යුත්තේ වෛරය වෙනුවට කරුණාවයි. අන්ධ භක්තිය වෙනුවට ප්‍රාඥාවයි.     

Sunday, September 30, 2012

මගේ සිහිනය

2/3ක බලයක් සහිත වර්තමාන ආණ්ඩුව විසින් කළ යුතු ඉතා වැදගත් කාර්යය දෙකක් තිබේ. එකක් පවතින මැතිවරණ ක්‍රමය වෙනස් කිරීමයි. අනෙක බෙදුම්වාදයට සුජාතභාවය සපයන රටට බරක් වී ඇති පළාත් සභා ක්‍රමය අහෝසි කිරීමයි. පළාත් සභා අහෝසි කොට රටේ ඒකීයභාවය ශක්තිමත් කිරීමට නැවත ඉතිහාසය විසින් අපට අවස්ථාවක් ලබා දෙනු ඇතැයි සිතිය නොහැකිය. එහෙත් දේශපාලකයින්ගේ හතර වරිගයට රැකියා සපයන අතිශය ලාභදායි පළාත් සභා කර්මාන්තය එලෙස අහෝසි කිරීමට ඔවුන් කැමති නැත. එහෙයින් අපට අකමැත්තෙන් වුව පළාත් සභා ක්‍රමය ගැන නිතර කතා කරන්නට සිදුවේ. ඒ මේ මොහොතේ එය යථාර්ථය හෙයිනි.

නැඟෙනහිර මැතිවරණය සඳහා ආණ්ඩුව මැනවින් මුහුණ නොදුන් බව අපි මීට පෙර ද කීවෙමු. ශක්තිමත් සන්ධානයක් වෙනුවට එකට ආණ්ඩුවේ කැබිනෙට්ටුවේ ළඟින උන්ම උනුනුන්ට චෝදනා කර ගනිමින් කා කොටා ගනිමින් බෙදුම්වාදී සතුරාට හොඳ පසුබිමක් නිර්මාණය කළේ සන්ධානයයි. දැන් මුස්ලිම් කොංග්‍රස් ශයිලොක්ට මස් රාත්තලම ලැබෙන පරිදි පළාත් සභාව පිහිටුවා ඇමති මණ්ඩලය පත් කොට තිබේ. ඇමති මණ්ඩලයේ මහ ඇමති ඇතුළු තිදෙනෙක් මුස්ලිම්ය. එක් අයෙක් සිංහලය. දෙමළ කිසිවෙක් නැත. ආණ්ඩු පක්ෂයේ සිටින ජනතාව පත් කළ එකම දෙමළ නියෝජිතයා හිටපු මහ ඇමති ශිවනේෂතුරෛයි චන්ද්‍රකාන්තන්ය. සන්ධාන ප්‍රසාද ආසනය සඳහා ද දෙමළ නියෝජිතයෙකු පත් කොට තිබේ.


යුද්ධයේ අමිහිරි මතකයන් තවමත් දෙමළ ජනතාවගේ සිත් තුළ තිබේ. මතවාදය කුමක් වුව ද පසුගිය යුධ සමයේ ඔවුන්ගේ නෑ හිත මිතුරු බොහෝ දෙනා යුද්ධයේ ගොදුරු බවට පත්ව ඇත. ඔවුන් අතට තුවක්කු දී රජය සමඟ සටනට ඔවුන් දක්කන ලද්දේ කොටි ඇතුළු බෙදුම්වාදීන් වුව ද ඔවුන් වෙඩි කා මිය ගියේ ආණ්ඩුවේ හමුදා අතින් හෙයින් වරදකරු රජය යැයි ඔවුන්ට පහසුවෙන් ඒත්තු ගැන්විය හැකිය. යුද්ධයෙන් තුවාල වී ඇති ඔවුන්ගේ ආධ්‍යාත්මය වහා ජාතිවාදී අදහස්වලින් ඔද්දල් කළ හැකිය. ආතුර කළ හැකිය. දෙමළ රාජ්‍ය පක්ෂය මෙවර නැඟෙනහිර ආසන 11ක් ලබා ගැනීම පිටුපස ඇති රහස එයයි. ඔවුන්ට අවශ්‍ය දෙමළ ජනතාව සිංහලයින් සමඟ එකට ජීවත් වීමට අකමැති බව ද මධ්‍යම ආණ්ඩුවට අවනත නැති බව ද ලෝකයට ප්‍රදර්ශනය කොට කොටි ලවා යුද්ධයෙන් දිනාගත නොහැකි වූ ඊළම එක්සත් ජාතීන් ලවා නොමිලේ ම ලබා ගැනීමයි. දෙමළ රාජ්‍ය පක්ෂයේ මේ අදහස ආණ්ඩුව අවබෝධ කරගත් බවක් නොපෙනේ. ඔවුන්ගේ පටු අරමුණවලට සරිලන පළාත් සභාවක් නැඟෙනහිර පිහිටුවීමෙන් එය සනාථ වේ.

ආණ්ඩුව නැඟෙනහිර සිංහල දෙමළ මුස්ලිම් සියලු ජාතීන්ගේ ඡන්ද ලැබූ බව සත්‍යයකි. එහෙත් බොහෝ දෙමළ පිරිසක් දෙමළ රාජ්‍ය පක්ෂය කෙරෙහි තව දුරටත් විශ්වාසය තබා තිබේ. ගිය වර දෙමළ මහ ඇමතිවරයෙක් පාලනය කළ පළාත් සභාවේ මෙවර කිසිදු දෙමළ ඇමතිවරයෙක් නොමැතිවීම අප රටක් ලෙස ලද පරාජයක් බව මගේ හැඟීමයි. එමෙන්ම එය බෙදුම්වාදයේ ජයග්‍රහණයකි. තමන්ගේ ජාතියේ නියෝජනයක් නොමැති පාලනය දෙමළ අය තව තවත් මධ්‍ය කේන්ද්‍රයෙන් ඈතට තල්ලු කරනු ඇත. එය අනෙකෙකු විසින් තමන් පාලනය කරන්නේය යන හැඟීම පහසුවෙන් ඇති කළ හැකි තතත්ත්වකි. එය ඔවුන්ගේ අභිමාණය පිළිබඳ මානසික ප්‍රශ්නයක් ද වනු ඇත.

සැබවින් ම පළාත් සභාවේ ඇමති මණ්ඩලය පත් කළ යුතුව තිබුණේ සන්ධානයට ඡන්ද දුන් පදනම අනුව නොව මේ මොහොතට අවශ්‍ය සමාජ දේශපාලන උපක්‍රමවලට සරිලන අයුරිනි. නිදසුනක් ලෙස ඇමති මණ්ඩලය තුළ ප්‍රබල අමාත්‍යංශ කිහිපයක් දරන දෙමළ ඇමතිවරයෙක් සිටියේ නම් අදාළ ඇමති මණ්ඩලය ලෝකය හමුවේ වඩා ප්‍රබල එකක් වනු ඇත. එනම් දෙමළ රාජ්‍ය පක්ෂය දිනූ ආසනවල දීප්තිය අඩු වනු ඇත. එම පාලනය තමන්ගේ පාලනයක් නොවේ යැයි ආණ්ඩුවට ඡන්දය නොදුන් දෙමළ ජනතාවට වුව පහසුවෙන් සිතිය නොහැකි වනු ඇත. දැන් සිදුව ඇත්තේ සිංහල සහ මුස්ලිම් ඇමති මණ්ඩලයක් නැඟෙනහිර පාලනය කරන බව ද දෙමළ නියෝජිතයින් විපක්ෂය බව ද ඉතා හොඳින් ලෝකයට පෙනෙන්නට සැලැස්වීමය. මේ වනාහි බෙදුම්වාදීන්ගේ මනදොළ පුරවාලන තත්ත්වයකි. දෙමළ ජනතාව බෙදුම්වාදීන්ට පාවදීමකි.

දෙමළ ජනතාව නැවත දිනා ගැනීම සඳහා යටිතල පහසුකම් ගොඩනැඟීම මෙන් ම ඔවුන්ගේ හදවත් සමඟ සියුම් සංවේදී ගනුදෙනුවක් ආරම්භ කිරීම ද වැදගත්ය. ඇතැම් විට රුපියල් මිලියන ගණනක් වියදම් කොට දිනාගත නොහැකි ජනතා මතයක් ඔවුන්ගේ හදවත් හඳුනා ගෙන කරනු ලබන ඉතා සුළු දෙයකින් දිනාගත හැකිය. වසර 30ක් පමණ ෆැසිස්ට්වාදය යටතේ ජීවත්වූ දෙමළ ජනතාව නැවත ප්‍රජාතන්ත්‍රවාදය මත විශ්වාසය තැබීම ම අප රටක් ලෙස ලද ජයග්‍රහණයක් බව අමතක කළ යුතු නැත. එහෙයින් එම ජයග්‍රහණය සමස්ත රටේ ජයග්‍රහණයක් බවට පත් කිරීමට කටයුතු කිරීම සැමගේ වගකීමයි. කෙසේ වුව ද සන්ධානය සිය ප්‍රසාද ආසනය සඳහා දෙමළ නියෝජිතයෙකු පත් කිරීම අපි අගය කරමු.

දෙමළ ජනතාවට තව තවත් පාලන කටයුතු හා සම්බන්ධ කර ගනිමින් එය ඔවුන්ගේම නියෝජිතයින්ගේ පාලනයක් බව සිතන තැනට යාමට දෙමළ ජනතාවට උදව් කළ යුතුය. උතුරු නැඟෙනහිරින් උගත් බුද්ධිමත් සියලු ආකාරයේ බෙදුම්වාදයන් ප්‍රතික්ෂේප කරන තරුණ පිරිසක් නිර්මාණය කර ගැනීම අද රට හමුවේ ඇති ජයගත යුතු ප්‍රධාන අභියෝගයකි. එවන් පිරිසක් නිර්මාණය කොට ඔවුන් රාජ්‍ය පාලන කටයුතුවලට සම්බන්ධ කරගත යුතුය. ඔවුන්ට රජයේ ප්‍රධාන වගකීම් ලබාදිය යුතුය. කොටින් ම අනාගතයේ මේ රටේ දෙමළ කතා නායකවරු, ඇමතිවරු, අගමැතිවරු පමණක් නොව ජනාධිපතිවරු ද බිහිවිය යුතුය. මා දැන් දිවා රෑ දකින සිහිනය එයයි. බෙදුම්වාදයට සදාතන විසඳුම ද එයයි.   

Thursday, September 27, 2012

පිල්ලේයාන්ට ජනාධිපති උපදේශක තනතුරකට නුසුදුසු ඇයි?

ශිවනේෂතුරෛයි චන්ද්‍රකාන්තන්ට ජනාධිපති උපදේශක තනතුරක් දීම පක්ෂ විපක්ෂ බොහෝ දෙනාගේ සරදමට හේතුවක් වී ඇත. ආණ්ඩු විරෝධීහු සහ රාජ්‍ය විරෝධීහු එලිපිට එය විවේචනය කළහ. කාටුන් ඇන්දෝය. ආණ්ඩු පාක්ෂිකයෝ ද ඊට හූ මිටි තබමින් එම විවේචන අනුමත කළහ. ඒ අර්ථයෙන් ගත් කල රටේ පක්ෂ විපක්ෂ බහුතරයකගේ අදහස ඔහු එම තනතුරට නුසුදුසු බවය. ඇත්ත. මේ වන විට ජනාධිපති උපදේශක තනතුර දේශපාලන අරමුණු මුදුන්පත් කර ගැනීමට භාවිත කරන වෛශ්‍යයාවක් බව රට ම දන්නා රහසකි. පැරදී තනතුරු අහිමි වූ දේශපාලඥයින්ට, විවිධ අසාධාරණයන්ට ලක්වූ පාක්ෂිකයින්ට, තමන්ට උදව් කළ හිතවතුන්ට කෘතගුණ සලකන්නේ ජනාධිපති උපදේශක තනතුරක් ලබා දීමෙනි. ඒ තනතුර සමඟ නිවසක් ද වාහනයක් ද රු. 50 000ක පමණ දීමනාවක් ද ලැබෙන බව අසා ඇත්තෙමි. පිටකොටුවේ කීර තම්පලා විකුණන ආත්තම්මා දවල්ට කුස ගිනි නිවා ගන්නා පාන් කෑල්ලේ සිට ගසන බදු මුදලින් මෙලෙස පිරිසක් නඩත්තු කිරීම අලුත් දෙයක් නොවේ. එම පිරිසට අලුතින් එක් වන අයට ප්‍රබල විරෝධතාවක් මතු වූ අවස්ථාවක් ද අප දැක නැත.



එසේ නම් හිටපු මහ ඇමති ශිවනේෂතුරෛයි නැඟෙනහිර පළාත් සංවර්ධනය පිළිබඳ ජනාධිපති උපදේශක තනතුරට පත් කළ අවස්ථාවේ එය අමුතු සරදමක් වූයේ කෙසේ ද? ඊට හේතු කිහිපයක් බලපා ඇති බව පෙනේ. ශිවනේෂතුරෛයි කොටි සංවිධානයට ළමා සොල්දාදුවෙකු ලෙස එක් වූ අයෙකි. එහි අරුත ඔහුට නිසි ලෙස සිය අධ්‍යාපන කටයුතු සම්පූර්ණ කළ නොහැකි වු බවය. එහෙයින් ඔහු නැඟෙනහිර හිටපු මහ ඇමති වුව ද නූගතෙකු බව බොහෝ පක්ෂ විපක්ෂ පිරිස්වල අදහසයි. ඉගනීම යනු පාසැල් ගොස් සාක්ෂරතාව ලැබීම, විවිධ සහතික ලැබීම සහ විශ්වවිද්‍යාලවලට පැමිණ උපාධි ලැබීම යැයි සිතන මේ දූපතේ මිනිසුන්ගෙන් ඉන් එහා යමක් බලාපොරොත්තු විය නොහැකිය. අනෙක් අතට විවිධ මාධ්‍ය ඔස්සේ සමාජ මත ගොඩ නඟන රාජ්‍ය විරෝධීන් ද ආණ්ඩු  වීරෝධීන් ද ඊට එරෙහි වන්නේ ශිවනේෂතුරෛයි ත්‍රස්තවාදය ප්‍රතික්‍ෂේප කරමින් රජයට සම්බන්ධ වූ පුද්ගලයෙකු වීම නිසාය. කොටි වෙනුවෙන් තවමත් කඳුළු සලන මොවුන් කරුණා අම්මාන් කෙරෙහි දක්වන්නේ ද මේ ප්‍රතිචාරයයි. බෙදුම්වාදය වෙනුවෙන් පෙනී සිටින මොවුන් කරුණා, ශිවනේෂතුරෛයි දෙපළ දකින්නේ සටන පාව දුන් ද්‍රෝහීන් ලෙසය. අනෙක් අතට පක්ෂ විපක්ෂ බිම් මට්ටමේ සාමාජිකයෝ තමන් දෙමළ ජනතාවට වඩා ශ්‍රේෂ්ඨ යැයි විශ්වාස කරති. ඉතින් දෙමළෙකුට ජනාධිපති උපදේශකකමක් දීම ඔවුන්ට කරන ලද අවනම්බුවකි. අවශ්‍ය වෙලාවට ජාතිවාදය සිය බලය වෙනුවෙන් භාවිත කරන විවිධ පක්ෂවල එහෙයියන් බවට පත්ව ඇති නූගතුන්ගෙන් ද ඊට එහා යමක් බලාපොරොත්තු විය නොහැකිය.

මිනිසෙකු තමන් ලබා ඇති සහතික උපාධිවලින් උගතෙකු වන්නේ නැත. සාක්ෂරතාව ලබා පොතපත කියවා දැනුම ලැබීම යනු ඉගනීමට ඇති එකම ක්‍රමය නොව එක් ක්‍රමයක් පමණි. අපේ රටේ අධ්‍යාපනය ලබා දෙන්නේ විවිධ රාජ්‍ය සහ පෞද්ගලික ආයතනවලට ලිපිකරුවන් බෝ කිරීමටය. විවිධ විෂය මාලා කටපාඩම් කර ඒවා උත්තර පත්තරවල වැමෑරීම වෙනුවෙන් සහතික ලබා දී අගතුන් බව සහතික කළ උගතුන්ට වඩා මේ පරිසරයේ ජීවත්වීමෙන් විවිධ අත්දැකීම්වලට මුහුණ දෙමින් ඒ ඔස්සේ පන්නරය ලැබූ ජීවිත තක්සලාවෙන් උගත් මිනිසා පාසැල් නොගිය ද අර පෙර කී උගතාට වඩා උගතෙකියි මම සිතමි. ඔහු උගතෙක් වන අතර සිය දැනුම පිළිබඳ අවබෝධයෙන් සිටින හෙයින් ප්‍රාඥයෙක් ද වෙයි. එහෙත් පොතේ උගතා හැමදාම උගතෙක් පමණි. ඔහුට සිය විෂය පිළිබඳ දැනුම මිස ලෝකය පිළිබඳ අවබෝධයක් නැත. එහෙයින් සාක්ෂරතාව හෝ ලැබූ සහතික උගත්කම මැනීමෙහිලා ඉතා අසාර්ථක මිනුම් දඬු වේ. යමෙක් ජයග්‍රහණයේ දී නොව පරාජයේ හමුවේ හැසිරෙන ආකාරයෙන් ඔහුගේ උගත්කමත් බුද්ධිමත්කමත් මැනිය හැකි වෙතැයි මම සිතමි.

මේ දූපතේ මැතිවරණයකින් පැරදුනු කිසිදු දේශපාලන පක්ෂයක් සිය පරාජය පිළිගන්නේ නැත. ඡන්ද ප්‍රතිඵල පැමිණි විගස පවසන්නේ මේ මැතිවරණය අන්ත දූෂිත බවය. මැතිවරණ කොල්ලයක් බවය. කොම්පියුටර් ජිල්මාට් බවය. ජනතාව සමඟ පාරට බහින බවය. තම මනාප සොරා ගෙන ඇති හෙයින් නැවත ඒවා ගණන් කළ යුතු බවය. නැවත මැතිවරණය පැවැත්විය යුතු බවය. තමන්ට ජනතා මනාපය අඩු වුව ද මැරෙන තුරු තමන් මහ ඇමති විය යුතු බවය. වෙන මහ ඇමතියෙකු යටතේ තමන්ට එහි මන්ත්‍රීවරයෙකු ලෙස වාඩි විය නොහැකි බවය. ඒ අනුව ජයග්‍රහණය මෙන් ම තනතුරු ද මේ රටේ දේශපාලකයෝ සිය පරවේණියක් බව සිතති.

එහෙත් ශිවනේෂතුරෛයි සන්ධාන මනාප ලැයිස්තුවේ ප්‍රථමයා මෙන් ම බොහෝ දෙනා විශ්වාස කළ පරිදි ඔහු ඊළඟ මහ ඇමති අපේක්ෂකයා ද වුව ද මහ ඇමති තනතුර ඉල්ලුවේ නැත. ඇමති තනතුරු ද ප්‍රතික්ෂේප කළේ ය. තමන් පාලක පක්ෂයට සහාය දෙන බව ද පසුපසින් සිට නැඟෙනහිර සංවර්ධනය වෙනුවෙන් සිය යුතුකම ඉටු කරන බව ද කීවේය. තමන් ජනාධිපති උපදෙශක තනතුරට පෞද්ගලිකව කැමති නැති බව ද ආරක්ෂාව පිළිබඳ ප්‍රශ්න නිසා එය බාර ගත් බව ද කීවේය. සිය මහ ඇමති ධූරය අහිමි වීම පිළිබඳ දුක නැද්දැයි විමසූ විට ඔහු කීවේ තමන් මහජන මතයට ගරු කරන බවත් ප්‍රජාතන්ත්‍රවාදය එය බවත්ය. මැතිවරණයේ සිය ප්‍රතිවාදීන් වූ මුස්ලිම් කොංග්‍රසය සමඟ සහයෝගයෙන් කටයුතු කරන බව කීවේය. එසේ බලන කල ලංකාවේ සිටින බොහෝ උගත් යැයි තමන් සිතා සිටින දේශපාලකයින් සේ ම විවිධ පක්ෂවල අනුගාමිකයින් ද ශිවනේෂතුරෛයි චන්ද්‍රකාන්තන්ගෙන් ටියුෂන් ගතයුතුය.

TNA සංවිධානය දෙමළ ජනතාවගේ හදවත්වල නැවත ජාතිවාදය අවුලමින් ඊළම සඳහා යාමේ අවසාන අවස්ථාව මෙය බව පවසමින් නැඟෙනහිර ජනතාව මධ්‍යම ආණ්ඩුවේ බලය ප්‍රතික්ෂේප කරන බව ද ස්වයං නිර්ණය අයිතිය සඳහා සටන් කරන බව ද සිය ඡන්දවලින් ලෝකයට පෙන්වන්න යැයි කියා සිටියේය. TNA සංවිධානය නැඟෙනහිර දෙමළ ජාතිවාදය වපුරමින් ගෙන ගිය මැතිවරණ ව්‍යාපාරය ද ඔහුගේ විවේචනයට ලක් විය. ප්‍රජාතන්ත්‍රවාදයට පිවිස වසර කිහිපයක් තුළ මෙවන් පරිණත හැසිරීමක් ප්‍රකට කළ ශිවනේෂතුරෛයි ජනාධිපති උපදේශක වැනි විකට තනතුරකට නොව රටේ වගකිව යුතු ඇමති තනතුරකට පත් කළ යුතු බව මගේ අදහසයි. ඒ ඔස්සේ අපේ සහෝදර දෙමළ ජනතාවට සහ ලෝකයට ප්‍රබල පණිවිඩයක් ලබා දිය හැකිය.    

Monday, September 24, 2012

වඳින්නම් සර් කනක් ඇහිලා යන්න දෙන්න . . .

අපේ රටේ බහුතරයක් ජනතාව පෞද්ගලික වාහනයක් භාවිත කිරීමට තරම් ආර්ථික මට්ටමකට නොමැත. ඇතැමුන්ට වාහන ගතහැකි වුව ද ඉන්ධන වියදම දරාගත නොහැකිය. එහෙයින් බොහෝ දෙනා පොදු ප්‍රවාහන සේවා එනම් බස් දුම්රිය භාවිත කරති. මේ සේවා භාවිත කරන අයට මුහුණ පෑමට සිදුවන අප්‍රසන්න අත්දැකීම් බොහෝය. ඒ අතරින් එකක් නම් නිදහසේ කන්දොස්කිරියාවක් නොමැතිව ගමනාන්තයට යාමට ඇති නොහැකියාවයි. ඒ ලංකාවේ සියලු ම පෞද්ගලික බස්වල අති දැවැන්ත ස්පීකර් පද්ධති නිසාය. බස්වලට බෆල් නොව බෆල්වලට බස් සවි කර ඇතැයි කිව යුතු තරම් දැවැන්ත ශබ්ද විකාශන යන්ත්‍ර ඒවාට සවි කර තිබේ.

මේ දූපතේ සංගීතය යනු ගීතයයි. ඉන් එහා සංගීතයක් විශ්වවිද්‍යාල ආචාර්ය මහාචාර්යවරු වුව දන්නේ නැත. ගුත්තිලය සැළලිහිණිය ලියූ පරපුරෙන් පැවත එන මහ සඟරුවන ද දන්නා සංගීතය ගීතයයි. ඉතින් අවම අධ්‍යාපන මට්ටමක් සහිත බස් රියදුරන් සහ කොන්දොස්තරවරුන්ගේ රසඥතාව පිළිබඳ කවර කතා ද? ඔවුහු සිය රස වින්දනයට ගැලපෙන ගීත මේ ශබ්ද විකාශන යන්ත්‍ර ඔස්සේ විකාසනය කරන්නේ බස් රියේ සිටින අයට පමණක් නොව පාරේ ගමන් කරන අයට ද මඟ දෙපස ගම්වල සිටින අයට ද ඇසෙන පරිදිය. බස්වල යන බොහෝ මගීන් මුහුණ දෙන අතිශය අප්‍රසන්න අත්දැකීමකි මෙය.

මේ රටේ සිටින බස් රථ සේවකයින් ප්‍රබුද්ධ රසිකයින් කිරීමට යාමට අපට අවශ්‍ය නැත. ඔවුන්ට වඩා හොඳ නිර්මාණ අසන්නැයි කීමට ද අපට අවශ්‍ය නැත. එසේ කිවහොත් එය ඔවුන්ගේ අයිතීන් උල්ලංඝණය කිරීම කැයි මේ සුජාත ප්‍රජාතන්ත්‍රවාදී රටේ කිසිවෙකු කීමට ද ඉඩ තිබේ. එය ඔවුන්ගේ පෞද්ගලික අයිතිය කැයි පිළිගැනීමට අප සුදානම්ය. ඔවුන්ගේ නිදහසට බාධා කිරීමට ද අපට අවශ්‍ය නැත. එහෙත් ඔවුන්ගේ නිදහස අනෙකාගේ නිදහසට බාධා කිරීමට තරම් අසීමාන්තික එකක් විය යුතු නැත. එය වරක් එක්තරා දේශපාලන චින්තකයෙකු කී පරිදි ඔබේ කුඩ කරකැවීමේ අයිතිය අනෙකාගේ නාසය ළඟින් කෙළවර වේ.

එහෙයින් අප ඉල්ලා සිටන්නේ වහාම සියලු ම පොදු ප්‍රවාහන සේවාවල සීඩී, කැසට් වාදන යන්ත්‍ර භාවිතය තහනම් කළ යුතු බවය. මගීන් වන අපට හිරිහැරයක් හෙයින් එය තමනම් කරන්නැයි ඉල්ලා සිටීමට අපට අයිතියක් තිබේ. අද බස් මගීන් සියලු දෙනා සතුව ජංගම දුරකතන තිබේ. ඒවායේ අවශ්‍ය නම් ගීත ඇසීමේ පහසුකම් තිබේ. එහෙයින් ගීත ඇසීමට කැමති අයට ඒවා භාවිත කිරීමේ හැකියාව තිබේ. රියදුරු මහතාට කොන්දොස්තර මහතාට ද අවශ්‍ය නම් එම ක්‍රමය භාවිත කළ හැකිය. එසේ කිරීම තුළින් සියලු දෙනාට ලැබෙන්නේ සහනයකි. එහෙයින් සියලු පොදු ප්‍රවාහන සේවාවලින් මේ ශබ්ද විකාශන යන්ත්‍ර ඉවත් කිරීම අතවශ්‍ය වෙයි. නියමිත ගාස්තුව ගෙවා ඉතා ම අප්‍රසන්න අත්දැකීම් විඳිමින් යනෙන මගීන්ට දෙතිස් වධ දිය යුතු නොවේ. එහෙයින් මේ පිළිබඳ මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරීයේ බලධාරීන්ගේ ද එම බස් රථ සංගමයේ සභාපතිතුමා වන ගැමුණු විජේරත්න මහතාගේ ද අවධානය වහා යොමු වේවායි පතමු.

Wednesday, September 19, 2012

මාලකට මල් මිටක් . . . 2

කොළඹ හෝටලයක රථ ගාලේ වැටී තිබී අසුලා ගත් රිවෝල්වරයක් සහ ජංගම දුරකථනයක් ඇමති මර්වින් සිල්වා මහතාගේ පෞද්ගලික ලේකම්තුමා ද පුතා ද වන මාලක සිල්වා මහතාගේ රියදුරු මහතා විසින් පොලිසියට ගෙනැවිත් භාර දී තිබේ. ඒවා හමුදා බුද්ධි අංශ නිලධාරියෙකුට අයත් බව පසුව වාර්තා විය. මේ සද්කාර්ය එම රියදුරා විසින් කරන ලද්දේ ඔහුගේ හාම්පුතාගේ මඟ පෙන්වීම අනුව බව කිවයුතු නොවේ. එහෙයින් අපි මාලක සිල්වා මහතාට අපේ ප්‍රණාමය පුද කරමු.

වාර්තා වී ඇති අන්දමට එම හෝටලයෙහි රාජකාරී කරමින් සිටි බුද්ධි අංශ නිලධාරීයෙකු හිටි හැටියේ රෝගාතුරුව රෝහල්ගත කර තිබේ. ඊට හේතුව හිමිදිරියේ සීතල දරා ගැනීමට නොහැකි වීමෙ යැයි කලින් වාර්තා වී තිබිණි. මේ දිනවල කොළඹ උෂ්ණත්වය සෙල්සියස් අංශක ඍණ 2-3 බැවින් අපි ද එය විශ්වාස කළෙමු. එහෙත් සිදුව ඇත්තේ අනෙකකි. නැඟෙනහිර මැතිවරණය දිනවීම වෙනුවෙන් දිවා රෑ වෙහෙසුණු මාලක මහතා ඒ කටයුතු අහවර කර ගෙදර යන අතර බෙලිමල් උගුරක් බී පවස නිවා ගැනීමට අදාළ හෝටලයට ගොඩ වී තිබේ.

ඒ අවස්ථාවේ හොඳට ම සූර් වී සිටි හමුදා නිලධාරියා අහිංසක මාලක ඇතුළු පිරිසට හොඳට ම පහර දී තිබේ. එසේ පහර දුන්නා මදිවාට බොරුවට ඔහුම රෝහල්ගත වී දැඩි සත්කාර ඒකකයේ ගිමන් හැර ඔවුන්ගේ කීර්ති නාමයට ද කැළල් කළේය. කිසිදා කිසිවෙකුට හිත රිදෙන්න වචනයක් හෝ කතා නොකරන මාලකට එල්ල වූ චෝදනාව හමුවේ රටේ ජනතාව ප්‍රකෝප විය. කෝපය දරාගත නොහැකිව හැරමිටියෙන් ඇණ රූපවාහිනිය නිමා දැමූ ආතා 'මුන් වගේ වල් බල්ලෝ මුන්නේශ්වරම් කෝවිලේ උල තියන්න ඕන' යැයි කියා ගිගිරු ශබ්දයට පාරට පැන විදුලි වේගයෙන් පලා ගිය අපේ ටොමියා තාම ගෙදර ආවේ නැත.

කොටි ත්‍රස්තවාදය පරදා රට එක්සේසත් කළ රණවිරුවෙකුට අයත් එම උපකරණ මෙලෙස නැවත භාරදීම තුළින්ම මාලක සිල්වා මහතා ජාතික වීර සම්මානයක් සඳහා සිය නම නිර්දේශ කර ගැනීමට තරම් වටිනා ක්‍රියාවක් සිදු කොට තිබේ. සූර්වී සිටි හමුදා නිලධාරියා තමාට පහර දුන්න ද ඔහු පෙරළා පහර නොදුන්නේ රට වෙනුවෙන් රණවිරුවන් කළ සේවය සිහිපත් වීම නිසා විය යුතුය. තමන් ද දුටුගැමුණු පරපුරෙන් පැවත එන බව ඔහුට සිහිපත් වූවා නිසැකය.

මේ රටේ සාමාන්‍ය ජනතාවගේ පුතුන් හා සසඳන විට මාලක සිල්වා මහතා බෝධිසත්වයෙකු බව අප කීවේ වරක් දෙවරක් නොවේ. වෙන ඇමතියෙකුගේ පාදඩ පුතෙකුට, කුඩුකාරයෙකුට මේ රිවෝල්වරය බිම වැටී තිබී හමු වී නම් කුමක් කරනු ඇද්ද? එය මෙලෙස නැවත පොලිසියට භාරදේවි ද? අප වැනි කෙලෙස් සහිත එකෙකුට එය අසු වුණා නම් එය පාතාලයට විකුණා කීයක් හෝ සොයා ගනු මිස මෙලෙස තමාට පෑදුණු වාසනාවට පයින් ගසයිද? එසේ සිතන කල මාලක අපේ කාලයේ සැමට ආදර්ශයක් විය යුතු චරිතයකි. කපිල වස්තු ධාතුන් වහන්සේ වුව තැනින් තැනට වැඩම කරවීමට නාමල්ට වඩා මාලක සුදුසු බව අපේ කිරි ආතා කීවේ මාලක තම පියාණන් වහන්සේ සමඟ කැලණි විහාරයට ගොස් කපිල වස්තු ධාතුන් වහන්සේලා වන්දනාමාන කරනු දැක සර්දාවෙන් සාදුකාර දෙන අතරය. 

අපේ කිරි ආතා නම් කියන්නේ මෙවන් උතුම් පුතුන් හැදූ මව්පියන් ජනතාව නිරන්තරයෙන් සිහිකළ යුතු බවය. උන්දෑගේ මව්පියන් පමණක් නොව අත්තා, මුත්තා, කිරිකිත්තා දක්වා නෑ පරපුර උදේ සවස සිහිපත් කළ යුතුය. දරුවන් පිළිබඳ සිහින මවන අඹු සැමියන් ද මෙවන් පුතුන් පතා නින්දට යාමම මැනවි. හෙට අනාගතය භාර ගන්නට සිටින කුඩා දරුවන් ද මාලක අයියා ආදර්ශයට ගතයුතුය. උදේ හවස පන්සිල් ගන්නා රටක අදත්තාධානය හෙවත් තමන් සතු නොවන දේ නොගැනීම කෙතරම් අගේ කළ යුතු ක්‍රියාවක් ද?



කෙසේ වුවද මාලක කළ සද්ක්‍රියාව යටපත් කොට එතුමාටත් එතුමාගේ පියතුමාටත් නින්දා අවලාද නැඟීම සඳහා ද ඔවුන්ගේ කීර්ති නාමය පළුදු කිරීම සඳහා ද හෝටලයේ කැමරා පද්ධතියට ව්‍යාජ වීඩියෝ පටයක් ඇතුළු කර තිබේ. ඉරිසියාකාර කුහකයින්ගේ එවැනි ලනු අපේ ජනාධිපතිතුමා නොකනු ඇති බව කාට නැතත් මට නම් විශ්වාසය. කැලණියේ අපේ හාමුදුරුවන් ද මෙවැනි බොරුවලින් රැවටිය නොහැකි බව අපි දනිමු. උපන්දා සිට කරපු පව් නැත වරක් වැන්දොත් කැලණියේ කියන්නේ නිකන් කට කහනවාට නොවේ.

අනෙක් අතට එදා ප්‍රභාකරන් ඉදිරියට බිය නැතිව ගිය රණවිරුවන් මෙවැනි තත්ත්වයට පත්වීම පිළිබඳ අපි කනගාටු වන්නෙමු. බොරුවට වැඩි ආයුෂ නැති බව නැවත වරක් පසක් කරමින් ඔහු දැන් ඇත්ත කියන්නට පටන් ගෙන තිබේ. මාලක ඔහුට ගැහුවේ නැත. එය අමූලික බොරුවකි. එතුමාගේ පියා සමෘර්ධි නිලධාරියා ගස් බැන්දේ නැත. ඇමතිතුමාගේ කරුණු පැහැදිලි කිරීම අසා තමාගේ වරද අවබෝධ කරගත් ඔහු තමන්ම ලනුවක් ගෙන ගසට තබා බැඳගත් අයුරු දුටු අය ද කැලණියේ සිටිති. ඇමතිතුමා ඇවිත් ලනුව ලිහා දමා ඔහු නිදහස් කළා පමණි. මේ එහෙව් ඇමතිතුමාගේ පුතු බව ජනතාවට අමතක නැත.

මේ සිද්ධියෙන් ආණ්ඩුව සහ ඉහළ හමුදා නිලධාරීන් උගත යුතු පාඩමක් තිබේ. සූර්වී හොටෙල්වලට රිංගන හමුදා නිලධාරීන්ට ආයුධ ලබා නොදිය යුතුය. වැරදිලාවත් සිහිවිකල් වූ ඔහු අතින් එදා රිවෝල්වරය පත්තු වී නම් රටට අහිමි වන්නේ කැලණියේ අනාගතය පමණක් නොව රටේ අනාගතය ම නොවෙද? එසේ වී නම් අනේ අපට කාගේ සරණක්ද? එහෙයින් මේ නිලධාරියාට එරෙහිව විනය පරීක්ෂණයක් පවත්වා උපරිම දඬුවම් දීම හමුදාපතිතුමාගේ වගකීමය. මොහු 2009 මැතිවරණයේදී ෆොන්සේකාට උදව් කළ ජාතිද්‍රෝහියෙක් දැයි සොයා බැලිය යුතුය. කිසියම් අල්ලස් කොමිස් නඩුවකට මොහුගේ ගෙදර බල්ලාවත් පැටලී ඇත්දැයි සොයා බැලිය යුතුය. ඒවා ජනතාවට හෙලි කිරීම ස්වාධීන රූපවාහිනියේ වගකීමයි.

දැන් ගිය දේ ගියාවේ. අපේ ඇමතිවරුන්ගේ පුතුන් ඉන්නේ දෙකයි පහේ හමුදාකාරයින්ගෙන් ගුටි කෑමට නොවේ. එහෙයින් ඔවුන්ගේ ආරක්ෂාව තහවුරු කිරීම ජනාධිපතිතුමාගේ වගකීමයි. නැවත වරක් මාලකගේ සද්ක්‍රියාව අගය කරමින් ඔහුට මල් පිටක් පුදන අතර ඔහුගේ ආදරණීය දෙමාපියන් යළි යළිත් සිහිපත් කරමින් මේ සටහනට මෙලෙස තිත තබමු. 

Wednesday, September 12, 2012

මාලකට මල් මිටක් . . .

කොළඹ හෝටලයක රථ ගාලේ වැටී තිබී අසුලා ගත් රිවෝල්වරයක් සහ ජංගම දුරකථනයක් ඇමති මර්වින් සිල්වා මහතාගේ පෞද්ගලික ලේකම් ද පුතා ද වන මාලක සිල්වා මහතාගේ රියදුරු මහතා විසින් පොලිසියට ගෙනැවිත් භාර දී තිබේ. මේ සද්කාර්ය එම රියදුරා විසින් කරන ලද්දේ ඔහුගේ හාම්පුතාගේ මඟ පෙන්වීම අනුව බව කිවයුතු නොවේ. එහෙයින් අපි මාලක සිල්වා මහතාට අපේ ප්‍රණාමය පුද කරමු.

මේ රටේ සාමාන්‍ය ජනතාවගේ පුතුන් හා සසඳන විට මාලක සිල්වා මහතා බෝධිසත්වයෙකි. නිදසුනක් ලෙස වෙන ඇමතියෙකුගේ පාදඩ පුතෙකුට මේ රිවෝල්වරය බිම වැටී තිබී හමු වී නම් කුමක් කරනු ඇද්ද? එය මෙලෙස නැවත පොලිසියට භාරදේවි ද? අප වැනි කෙලෙස් සහිත එකෙකුට එය අසු වුණා නම් කාට හරි විකුණා කීයක් හෝ සොයා ගනු මිස මෙලෙස තමාට පෑදුණු වාසනාවට පයින් ගසයිද? එසේ සිතන කල මාලක අපේ කාලයේ සැමට ආදර්ශයක් විය යුතු චරිතයකි. කපිල වස්තු ධාතුන් වහන්සේ වුව තැනින් තැනට වැඩම කරවීමට නාමල්ට වඩා මාලක සුදුසු බව මෙමගින් සනාථ වී තිබේ.

මෙවන් උතුම් පුතුන් හැදූ මව්පියන් රටේත් ජනතාවගේත් නිරන්තර සිහිකිරීමට ලක්වීම වැදගත්ය. මා සිතන පරිදි ඔහුගේ මව්පියන් පමණක් නොව අත්තා, මුත්තා, කිරිකිත්තා දක්වා නෑ පරපුර උදේ සවස සිහිපත් කළ යුතුය. දරුවන් පිළිබඳ සිහින මවන අඹු සැමියන් ද මෙවන් පුතුන් පතා නින්දට යාමම මැනවි. හෙට අනාගතය භාර ගන්නට සිටින කුඩා දරුවන් ද මාලක අයියා ආදර්ශයට ගතයුතුය. උදේ හවස පන්සිල් ගන්නා රටක අදත්තාධානය හෙවත් තමන් සතු නොවන දේ නොගැනීම කෙතරම් අගේ කළ යුතු ක්‍රියාවක් ද? 

වාර්තා වී ඇති අන්දමට එම හෝටලයෙහි රාජකාරී කරමින් සිටි බුද්ධි අංශ නිලධාරීයෙකු හිටි හැටියේ රෝගාතුරුව රෝහල්ගත කර තිබේ. ඊට හේතුව හිමිදිරියේ සීතල දරා ගැනීමට නොහැකි වීමය. මේ දිනවල කොළඹ උෂ්ණත්වය සෙල්සියස් අංශක ඍණ 2-3 බැවින් එය සිදුවිය හැක්කකි. අදාළ රිවෝල්වරය සහ ජංගම දුරකථනය ඔහුට අයත් ය. කොටි ත්‍රස්තවාදය පරදා රට එක්සේසත් කළ රණවිරුවෙකුට අයත් එම උපකරණ මෙලෙස නැවත භාරදීම තුළින්ම මාලක සිල්වා මහතා ජාතික වීර සම්මානයක් සඳහා සිය නම නිර්දේශ කර ගැනීමට තරම් වටිනා ක්‍රියාවක් කළ බව මගේ අවංක හැඟීමයි.

කෙසේ වුවද මාලක සිල්වා කළ සද්ක්‍රියාව යටපත් කොට එතුමාටත් එතුමාගේ පියතුමාටත් නින්දා අවලාද නැඟීම සඳහා ද ඔවුන්ගේ කීර්ති නාමය පළුදු කිරීම සඳහා ද හෝටලයේ කැමරා පද්ධතියට ව්‍යාජ වීඩියෝ පටයක් ඇතුළු කර තිබේ. ඉරිසියාකාර කුහකයින්ගේ එවැනි ලනු අපේ ජනාධිපතිතුමා නොකනු ඇති බව කාට නැතත් මට නම් විශ්වාසය. කැලණියේ අපේ හාමුදරුවන් ද මෙවැනි බොරුවලින් රැවටිය නොහැකි බව අපි දනිමු. මාලකගේ සද්ක්‍රියාව අගය කරමින් ඔහුට මල් පිටක් පුදන අතර ඔහුගේ ආදරණීය දෙමාපියන් නැවත වරක් සිහිපත් කරමින් මේ සටහනට මෙලෙස තිත තබමු. 

Tuesday, September 11, 2012

නැඟෙනහිර පාවාදීම !

අතීසාරයට අමුඩය ගසනවා යන්නෙහි තේරුම යමක් පාලනය කිරීමට නිශ්ඵල ප්‍රයත්නයක් දැරීම යැයි අපට දළ වශයෙන් කිව හැකිය. ඉන්දියාව කිරි පොවා ඇති දැඩි කොට උතුරු නැගෙනහිර මුදාහළ ත්‍රස්තවාදය සමනය කිරීමට ඔවුන් විසින් ම අප මත බලෙන් පැටවූ පලාත් සභා ක්‍රමය ද එවැන්නකි. සුදු අලියෙකි. ඉතාම අවාසිදායක පිටියක ක්‍රිඩා කළ ද සබරගමුව, උතුරු මැද සහ නැඟෙනහිර පලාත් සභා තුනෙහි ඡන්දය  අවසන් වූයේ ආණ්ඩුව සිය 10 වැනි ජයග්‍රහණය ලබා දෙමිනි. මෙහිදී වඩා වැදගත් වන්නේ නැඟෙනහිර මැතිවරණය බැවින් ඒ පිළිබඳ මගේ අදහස ලියා තැබීම මේ ලිපියේ අරමුණය.

නැඟෙනහිර මැතිවරණය වැදගත් වන්නේ එය පලාත් සභා මැතිවරණයකට වඩා නැඟෙනහිර ජනතා මතය රටට විශේෂයෙන් බටහිරට ලබා දෙන පණිවිඩය නිසා ය. එහෙයින් ම බොහෝ දෙනාගේ අවධානය යොමුව තිබුණේ ද නැඟෙනහිරටය. බෙදුම්වාදීන් මෙන් ම ඊළාම්වාදීන් ද උන්ට කිරි පොවන ඇතැම් බලවේග ද බලා සිටියේ නැඟෙනහිර බලය දෙමළ ජාතික සන්ධානය දිනාගත් පසු ඊළම සඳහා යන ගමන නැවත වටයකින් ඇරඹීමට ය. එහෙත් අවසානයේ සියලු මෝඩකම් මැද වුව ආණ්ඩුව නැඟෙනහිර බහුතර බලය දිනා ගත්තේ ය. ආණ්ඩුව සිංහලයින්ගේ පමණක් නොව දෙමළ මුස්ලිම් ජනතාවගේ ද විශ්වාසය දිනා ගෙන ඇත යන පණිවිඩය දැන් ලෝකයට ගොස් හමාරය. විශේෂයෙන් 75%ක් පමණ දෙමළ භාෂාව කතා කරන ජනතාව ජීවත් වන ප්‍රෙද්ශයක, තිස් වසරක යුද්ධය අවසානයේ ලද මේ ජයග්‍රහණය සුවිශේෂ වේ. එය අපට වැදගත් වන්නේ හුදු පක්ෂ ජයග්‍රහණයක් ලෙස නොව සමස්ත රටේ ජයග්‍රහණයක් ලෙසය. එහෙත් මේ ජයග්‍රහණයේ සැර බාල කළේ මේ ආණ්ඩුවේ සිටින දේශපාලන පීසාචයින් බව මගේ අදහසයි.

ආණ්ඩුව, සන්ධානයක් ලෙස අන් කිසිදු පළාතකට වඩා සූක්ෂම ලෙස සහ ප්‍රබල ලෙස සුදානම් විය යුතුව තිබුණේ නැඟෙනහිර මැතිවරණයටය. එහෙත් ඔවුන් වඩාත් අසාර්ථක වූයේ ද තකතීරු තීරණ ගත්තේ ද එහිදී බව නොකියාම බැරිය. අන් පක්ෂවල හිත දිනා ගෙන සන්ධානගත වනු තබා සන්ධානයේ ම පාර්ශවකරුවන් පවා සන්ධානය තුළ තබා ගැනීමට එහි නායකයෝ අසමත් වූහ. විශේෂයෙන් ආණ්ඩුවේ පාර්ශවකරුවන් වන මුස්ලිම් කොංග්‍රසය නැඟෙනහිර වෙනම තරඟ කළේ ය. ත්‍රිකුණාමලයට ජාතික නිදහස් පෙරමුණ තනිය තරඟ කළේ ය. මේ පක්ෂ අතර බෙදී ගියේ ආණ්ඩුවට නියත වශයෙන් යායුතුය තිබූ ඡන්දය.

මෙලෙස සන්ධානය තුළම සිටින පක්ෂ වෙන වෙනම මැතිවරණයකට මුහුණ දෙන තත්ත්වයට පත්වන්නේ සාමාන්‍යයෙන් ආසන බෙදා ගැනීම පිළිබඳ ප්‍රශ්න නිසාය. මෙහිදී සන්ධාන නායකයින් මෙන් ම එහි පක්ෂ නායකයින් ද අසාර්ථකය. ඔවුන්ට සිය පක්ෂ දේශපාලනයෙන් ඔබ්බට නැඟෙනහිර ඡන්දයේ ඇති වැදගත්කම අවබෝධ කර ගැනීමට තරම් විවෘත මනසක් නොතිබීම නිසා සිදුවූයේ ලබාගත හැකිව තිබූ විශිෂ්ට ජයග්‍රහණය බාල්දු වීමය. මේ තත්ත්වය තුළ වුව සන්ධානය ආසන 14ක් දිනා ඇත. මුස්ලිම් කොංග්‍රසය ආසන 7ක් ද ජනිපෙ ආසන 1ක් දිනා තිබේ. එහෙත් ඔවුන් සියලු දෙනා සන්ධානය යටතේ තරඟ කළේ නම් ලැබෙන්නේ ආසන 14+7+1=22ක් නොවේ. එසේ වී නම් මේ ආසන ගණන ආසන 25ක් පමණ වීමට ඉඩ තිබිණි.

විශේෂයෙන් ත්‍රිකුණාමලය TNA දිනුවේ වැඩි ඡන්ද 1000ක් පමණ ලබා ගනිමිනි. එහිදී ජනිපෙ තනිව තරඟ කොට ඡන්ද 9000 ලබා ගත්තේය. ඔවුන් එක්ව තරඟ කළේ නම් ත්‍රිකුණාමලය TNA පරදින බව කීමට අටුවා ටීකා අවශ්‍ය නොවේ. සෙසු දිස්ත්‍රික්කවල ද මුස්ලිම් කොංග්‍රසය ආණ්ඩුව සමඟ කරග කළේ නම් සිය ජයග්‍රහණය විජයග්‍රහණයක් කර ගැනීමට හොඳට ම ඉඩ තිබුණ ද සන්ධාන නායකයින් එම ජයග්‍රහණය බෙදුම්වාදයට උගස් කළේ යැයි කීමට සිදුවේ. ජාතියට උරුම වීමට තිබූ ඒ ජයග්‍රහණය පටු දේශපාලන අරමුණු නිසා අහිමි විය.

ඉදිරියේ දී උතුරු පලාත් සභාව සඳහා මැතිවරණය තබනු ඇත. සන්ධානයට එහිලා ක්‍රිඩා කිරීමට සිදුවන්නේ දුෂ්කර පරිසරයකය. විශේෂයෙන් ද්‍රවිඩ ජාතික සන්ධානය ද ඊළාම්වාදීන් ද දෙමළ ඩයස්පෝරාව ද වයිකෝ නැදුමාරන් ජයලලිතා කල්ලිය ද දෙමළ ජාතිවාදය වෛරය උග්‍ර ලෙස වපුරන ලද බිමකය. සංවර්ධනය උතුරට ලබා දුන්නා ද ත්‍රස්තවාදය නිසා අහිමි වූ ජීවිත ද ඒ නිසා දෙමළ ජනතාවගේ හදවත්හි හටගත් තුවාල පාරමින් වපුරන ජාතිවාදය ද ආණ්ඩුවට කිසිසේත් වාසි සහගත වන්නේ නැත. එහෙයින් ආණ්ඩුව නැඟෙනහිර කළ වැරදි වහා නිවැරදි කර ගතයුතුය. සිය පක්ෂ නමැති පල් වළවල්වලින් ගොඩට විත් එම මැතිවරණවල ජාතික ජාත්‍යන්තර වැදගත්කම අවබෝධ කරගත යුතුය.

එහෙයින් බෙදුම්වාදයෙන් දෙමළ හදවත් දිනාගැනීමට ආණ්ඩුව සියල්ල කළ යුතුය. විශේෂයෙන් ක්‍රිකට්, නෙට්බෝල් ආදී ක්‍රිඩා, කලාව ඒ සඳහා භාවිත කළ හැකිය. එකිනෙකාට ගරු කිරීමට ද එය අමිහිරි අතීතයට අමතක කර සොඳුරු හෙටත් නිර්මාණය කිරීමට භාවිත කිරීමට ද ජනතාව පෙළ ගැස්වීම ආණ්ඩුවේ වගකීමයි. එකම සංස්කෘතිකයින් පැවත එන සිංහල දෙමළ තරුණ තරුණියන්ට එකිනෙකා ඇසුරු කිරීමට අවස්ථාව ලබාදීම වැදගත්ය. විශේෂයෙන් රටපුරා විශ්වවිද්‍යාලවලට දෙමළ අය ද උතුරු නැඟෙනහිරට සිංහල අය ද යැවිය යුතුය. රාජ්‍ය සේවය ද එලෙස ම මිශ්‍ර කළ යුතුමය. නැවත සිංහල දෙමළ විවාහ සබඳතා ඇති වන යුගයක් බිහි කළ යුතුය. මේ වූ කලී රට වෙනුවෙන් බෙදුම්වාදය සමඟ කරන සටනක් බව අවබෝධ කරගෙන ක්‍රියා කළ යුතුය. රණවිරුවන් දිනා දුන් ජයග්‍රහණය විජයග්‍රහණයක් කළ හැක්කේ දෙමළ ජනතාවගේ හදවත් දිනාගත් පසුය. එසේ හදවත් දිනාගත් ප්‍රමාණය පිළිබිඹු වන්නේ උතුරේ මැතිවරණ ප්‍රතිඵලයෙනි.

Wednesday, September 5, 2012

ඇමරිකානු හමුදාවේ ශ්‍රී ලාංකිකයා ඇෆ්ගනිස්‌ථානයේදී දිවි පුදයි !

අගෝස්තු 30 දිවයින මුල් පිටුවේ සිරස්තලයකි මේ. වයස අවුරුදු 13දී ඇමරිකාවට රැගෙන ගිය සුරේෂ් ක්රූස් ඇමරිකානු ගුවන් හමුදාවේ නියමුවෙකු ලෙස සේවය කරන අතර ඇෆ්ගනිස්ථානයේ දී මරණයට පත්විය. තලීබාන්වරු පවසන පරිදි එය ඔවුන්ගේ වැඩකි. වැඩේ කෙසේ වුව ද යානය පැදවූ සුරේෂ් ඇතුළු එහි ගමන් ගත් 12ක් දෙනාම මිය ගියේ ය. ඊනියා ලෝකයේ යුධ බලවතා 2001 ඇෆ්ගනිස්තානය ආක්‍රමණය කළ දා සිට කළ හත්පොළේ ගාගත් යුද්ධ කෙරුවාව එසේය. දැන් වසර 11ක් ඉක්ම ගියා ද නටපු තොවිලයකුත් නැත. බෙරේ පළුවකුත් නැත. නුදුරේදී ම සිරියාවේ දී ද මේ අත්දැකීම ඇමරිකාව ලබනු ඇත. දැන් අපි ප්‍රදාන කතාව වෙත යොමු වෙමු. 

එකල කිසියම් සවිඥානික බවක් සහිතව ලෝකය පිළිබඳ දැක්මක් සහිතව රටේ ජන මනස අවදි කළ දිවයින අද නියමුවෙක් නැති නැවක් සේ පිස්සු කෙළින්නට පටන් ගෙන තිබේ. දිවයින පුවත්පතේ කතුවරයාට සෙසු කවර සුදුසුකම් තිබුණා ද දිවයිනේ දේශපාලන දෘෂ්ටිය පිළිබඳ අවබෝධයක් තිබිය යුතුය. ඒ දෘෂ්ටියට ගරු කරන්නෙකු විය යුතුය. එසේ නැති දා මෙසේ අයාලේ යාම නොවිය හැක්කක් නොවේ.

පුවත පවසන පරිදි මොහු ශ්‍රී ලාංකිකයෙකි. මෙයා කොහොමද ශ්‍රී ලාංකිකයෙක් වෙන්නේ? සුරේෂි ඇෆ්ගනිස්ථානය විනාශ කරන්න ආපු ඇමරිකානු ආක්‍රමණික කල්ලියේ කෙනෙක්. ලෝකය පුරා ඇමරිකන් ආධිපත්‍ය පතුරුවන්න වැඩ කරපු ඇමරිකානුවෙක්. මිනිහෙක් උපතින් ජාතියකට අයිති වෙනවා කියලා හිතන එක තව දුරටත් වලංගු නැහැ. ජාතිය තීරණය වෙන්නේ ඔහු හෝ ඇය අනුගත සංස්කෘතිය අනුව. දරන සමාජ දේශපාලන මතය අනුව. තමන් සේවය කරන මතවාදය අනුව. එහෙම නොවුණොත් බින් ලාඩන් මරලා මුස්ලිම් ලෝකයට එරෙහිව යුද්ධ ප්‍රකාශ කරපු බරක් ඔබාමා මුස්ලිම්වරයෙකු විදිහට සලකන්න වෙනවා. වික්‍රමබාහු කරුණාරත්න සිංහල බෞද්ධයෙකු විදිහට සලකන්න වෙනවා.

නිදන් හාරන, ළමා අපචාර කරන සිවුරු පොරව ගත් එකාට අපි කියන්නේ චීවරධාරියා කියලා මිසක් භක්ෂූන් වහන්සේ හෝ හාමුදුරුවෝ කියලා නෙමේ. සුරේෂ්ගේ ඇමරිකානු දෙමාපියන් පවසන පරිදි ඔහු සිය රට වෙනුවෙන් දිවිපිදූ අභීත විරයෙකි. එහි අරුත ඔහු ඇමරිකානුවෙකු බව නොවෙද? එහෙත් දිවයින කියන පරිදි ඔහු ලාංකිකයෙකි. අපි මේ සංකල්ප පිළිබඳ නැවත සිතා බැලිය යුතුයි. ලාංකිකයා පෙනී සිටිය යුතු ලාංකික අභිලාෂයන් වෙනුවෙනි. ඇමරිකානු සංහාරයට කැපවූවෙකු ලාංකිකයෙකු යැයි කීම මනස්ගාතයකි. ඔහු ඇමරිකානුවෙකි. එසේ නැති නම් බරක් ඔබාමා මුස්ලිම්වරයෙකි. ළමා අපචාර කරන සිවුරු හැඳගත් වානරයා භික්ෂුවකි.

Friday, August 31, 2012

ඇයි මේ සිංහයො සත්තු මරනවට විරුද්ධ ?

"පසුගිය දවසක හලාවත මුන්නේශ්වරම් කෝවිල පැත්තෙන් මහා කලාගොට්ටියක් ඇහුන මේ කාලගොට්ටියට මුල් වෙලා තිබුනේ වාර්ෂිකව මුන්නේශ්වරම් කෝවිල මගින් පවත්වන සත්ත්ව බීලි පුජාවකට එරෙහිව සැදැහැවත් සිංහල බෞද්ධ පිරිසකගේ උද්ඝෝෂයක්. පසුගිය වසරේද මෙවැනි කාලගොට්ටියක් කරල අධිකරණ නියෝග අරගෙන මෙම පුජාව නතර කරල තිබුනා. සත්ත්ව ඝාතනයට එරෙහිවිම හොද ක‍්‍රියාවකි. මෙතෙන තියෙන ප‍්‍රශ්නෙ මේ බීලි පුජාවට එරෙහි වෙන්නෙ පසුගිය යුධ සමයේ දස දහස් ගණන් මිනිස්සු අමු අමුවේ උතුරේ මැරෙද්දි ඒ මරණ වලට ආශිර්වාද කරමින් පිරිත් කියු පිරිසක් ඔවුන් උතුරේ මිනිස්සු මැරෙද්දි විරුද්ධ නොවුනේ ඇයි ?"

මේ විකල්ප කියලා වෙබ් පිටුවක ලිපියක කොටසක්. මේ වගේ විකාර ලියන අයට සාක්ෂරතාව තියෙන බව ඇත්ත. ඒත් තියෙන්නේ ඒක විතරයි. සතෙකුට වුණත් පුරුදු කරන්න පුළුවන් අකුරු ලියන්න. නමුත් හිතන්න පුරුදු කරන්න බැහැ. මේ රටේ අධ්‍යාපන ක්‍රමයෙ තියෙන ලොකුම වරද මේක. අකුරු උගන්නලා හිතන්න බැරි පිංගුත්තරයෝ ටිකක් හදනවා. උන්ගේ ඔළුවලට මුල ඉඳලා ම අපේ රට ජාතිය ආගම පිළිබඳ හීනමානය එන්නත් කරනවා. සුද්දෝ එදා ලිපිකරුවෝ සහ කළු සුද්දෝ බෝ කරන්න මේ රටට හඳුන්වලා දීපු අධ්‍යාපන ක්‍රමයෙන් මීට වඩා දෙයක් බලාපොරොත්තු වීමත් විහිළුවක් තමා. ඉහත අදහස පිළිබඳ මගේ මතය මේක.

මේ වගේ පුංචි දෙයක්වත් නොතේරෙන එවුන් තමා අද රටේ වැඩි කොටසක් ඉන්නේ. දෙමළ බෙදුම්වාදය පටන් ගත්තේ ලන්දේසී යුගයේ. ඒකට ඉංග්‍රීසි ආශීර්වාද කළා. මොකද ජාතීන් අතර සමගිය උන්ට යටත් විජිත පාලනයට බාධාවක්. ඒ බෙදුම්වාදය අවසානයේ ත්‍රස්තවාදය බවට පත්වුණා. ඒ ත්‍රස්තවාදය පරාජය කිරීමට කෙතරම් කටුක වුණත් තිබුණු එකම විකල්පය යුද්ධය විතරයි. ආයුර්වේදයේ විදිහට නම් විසෙන් විස නැසීම. බෞද්ධයින්ට තීරණය කරන්න සිද්ධ වුණා තමන් ඉක්මනට නිවන් දකින්න යාමේ පෞද්ගලික අරමුණ වෙනුවෙන් මේ රටේ ඊළමක් එහෙම නැත්නම් ඊශ්‍රායලයක් හදන්න ඉඩ දීලා තමන්ගේ අනාගත පරපුර නූතන පලස්තීනුවන් විඳවන අපායට දානවා ද එහෙම නැත්නම් නිවන් දකින පෞද්ගලික අරමුණ රට දැය සමය වෙනුවෙන් කල් දානවාද කියන එක. බෞද්ධයින් යුද්ධ කළේ යුද්ධය ලේ වැගිරීම නතර කරන්න. විනාශය නතර කරන්න. දුටුගැමුණු රජු යුද්ධ කළෙත් ඒ අරමුණින්.

ඒ සඳහා වන්දියක් ගෙවන්න වුණා. හැබැයි ඊට පස්සේ මේ රටේ ත්‍රස්තවාදීන්ට රතිඤ්ඤයක්වත් පුපුරවන්න බැරිවුණා. ඒ විතරක් නෙමේ 2009 ස 2012 දක්වා ත්‍රස්තවාදය තිබුණා නම් මේ රටේ තව ජීවිත කීයක් විනාශ වෙනවාද? රට තව තවත් විනාශය ඔස්සේ පස්සට යනවාද? තවම රටේ මරන බය. ඔය ළිං මැඬි විකල්පකාරයින්ට අන්න ඒ ටික තමා තේරෙන්නේ නැත්තේ.

මම දන්න තරමට හින්දු ආගම අවිහිංසාවාදී ආගමක්. බොහෝ හින්දුවරු නිර්මාංශයි. ඔය බිලි පූජා ඉල්ලන දෙවියෝ කවුද කියලා මම දන්නේ නැහැ. මුන්නේශ්වරම්වල කවුරුවත් නොදැකපු දෙවියෙක් වෙනුවෙන් මරණ මේ සත්තු කොළඹ බෝම්බ පුපුරවන්න ආවේ නැහැ. රටේ ජනාධිපති මැති ඇමතිවරු මැරුවේ නැහැ. දළදා මැදුර, ශ්‍රී මහා බෝධිය විනාශ කරන්න ආවේ නැහැ. උතුරු නැඟෙනහිර සිංහල ජනතාව විනාශ කළේ නැහැ. අහිංසක කිරි කැටි දරුවෝ, භික්ෂූන් පෙති ගැහුවේ නැහැ. අඩු තරමේ අදත් ගොං කතා දොඩවන මුන් වගේ ඒ සත්තු කොටියා වෙනුවෙන් කඩේ ගියේ. සත්තු වුණත් මොලේ නැතත් මුන් වගේ බටහිර පදේට නැටුවේ නැහැ. මේ රට සියලු සත්තවයින්ට අභයභූමියක් වුණේ මිහිඳු හිමි වැඩි දවසේ. ඒ නිසා ඒ සතුන්ගේ ජීවත් වීමේ අයිතිය තහවුරු කරන එක බුද්ධ පුත්‍රයන්ගේ යුතුකමක්. බෞද්ධයින්ගේ වගකීමක් බව සිහිපත් කළ යුතුයි.

Monday, April 9, 2012

ගාන්ධිලා කුමාර්ලා සහ අපි

මහත්මා ගාන්ධි, බේඩ්න් පවල්, විපුලානන්දර් සාමි, පෙරියතම්බි පිල්ලෙයි යන අයගේ මඩකලපුවේ නගර මධ්‍යයේ පිහිටි පිළිමවලට හානිකිරීම පිළිබඳ අපට ඇත්තේ නොපහන් හැඟීමකි. ඒ පුද්ගලයින් පිළිබඳ අප තුළ ඇති හැඟීම් වෙනස් විය හැකි වුව ද මෙසේ පිළිමවලට හානි කිරීම අපට සිහිපත් කරන්නේ තාලිබාන්වරු බාමියන් බුදු පිළිම විනාශ කිරීමය.

කලක් ව්‍යාප්තව පැවති බුදුදහම යටපත්ව, මුස්ලිම් රාජ්‍යයක් බවට පත්ව ඇති ඇෆ්ගනිස්ථානයේ අන්තවාදී තාලිබාන්ලාට ඒ බුදු පිළිම කිසිදු අගයක් නැති ගල් ගොඩක් විය හැකිය. එහෙත් බෞද්ධ අපට එය මහත් වස්තුවකි. එසේ ම පෙරකී පිළිම ද ආගමික ශාස්තෘවරුන්ගේ නොවුණ ද ගෞරවණීය පුද්ගලයින්ගේ ය.

මහත්මා ගාන්ධි දැඩි හින්දු බැතිමතෙකු වුව ද බුද්ධගයාව අන්‍ය ආගමික මහන්තාවරයෙකු පාලනය කිරීම පිළිබඳ ප්‍රශ්නයේ දී ඔහු කීවේ බුද්ධගයාව බෞද්ධයින්ට උරුම විය යුතු බවය. එහෙයින් අපි එම ශ්‍රේෂ්ඨ මිනිසුන්ට ගරු කළ යුතුය.

කෙසේ වුව ද මේ ක්‍රියාව ආණ්ඩුවේ වැඩකැයි සිතන්නට අප‍ට හේතු නැත. එහෙත් ඉන්දියාව සහ ලංකාව අතර ප්‍රශ්නයක් ඇති කිරීමට බලා සිටින පාර්ශව මීට සම්බන්ධ විය හැකි බව මගේ අදහසයි. එසේ ප්‍රශ්න ඇති කිරීම ඔස්සේ වාසි ලබා ගැනීමට බලාපොරොත්තු වන පාර්ශවය වන්නේ කොටි හිතවාදී බෙදුම්වාදීන් බව නො රහසකි.

කුමාර් ගුණරත්නම් අතුරුදහන්වීම පිළිම කැඩීම ආදි සියලු කටයුතුවලින් ආණ්ඩුවට සිදුවන වාසියක් නැත. වාසියක් වේ නම් මේ ර‍ටට මානව හිමිකම් කඩවීම් චෝදනා එල්ල කිරීමට කට මැදගෙන සිටින පාර්ශවවලට සහ ජන පදනමක් නොමැති ත්‍රිවිල් පක්ෂවලටමය.

උක්ත කාරණාව සම්බන්ධයෙන් ඉන්දියාව ලංකා ආණ්ඩුවෙන් නිදහසට කරුණු ඇසීම විහිළුවකි. මහත්මා ගාන්ධිගේ ජීවිතය ආරක්ෂා කරගත නොහැකි වූ, රජිව් ගාන්ධි ආරක්ෂා කර ගැනීමට පමණක් නොව මිනීමරුවන්ට දඩුවම් දීමටවත් නොහැකි වූ අය අපෙන් පිළිමයක් ගැන ඇසීම විහිළුවක් ම නොවන්නේ ද? තමිල්නාඩුවේ රජිව් ගාන්ධි පිළිමයට හානි කළ අයට දුන් දඬුවම කුමක්ද? ලංකාවේ පිරිසකට කොටි හිතවාදීන් පහර දුන් අවස්ථාවේ කුමක් කළේ ද? අප මේ ප්‍රශ්න මතු කරන්නේ සපා කෑ බල්ලා යළි සපා කෑ යුතු බවක් කියන්නට නම් නොවේ. අනුන්ට ඇඟිල්ල දිගු කිරිමට පෙර ස්වයං විවේචනයක් තිබිය යුතු බව කීමට ය.


එහෙත් මේ සියලු කඩකප්පල් ක්‍රියා පසුපස සිටින්නේ බෙදුම්වාදී කණ්ඩායම් සහ රට නැවත අරාජික කිරීමට බලා සිටින කණ්ඩායම් යැයි කියා අත පිසදා ගැනීමට ආණ්ඩුවට හැකියාවක් නැත. රටේ සහ රටින් පිට තව දුරටත් එවැනි කණ්ඩායම් ක්‍රියාත්මක වන බව අපට වඩා හොඳට දැනගත යුත්තේ ආණ්ඩුවයි.

යුද්ධයෙන් පසු රතිඤ්ඤයක්වත් පිපිරෙන්නට ඉඩක් නොදුන් ආරක්ෂක අංශවල කනින් රිංගා කිසිවෙකුට මෙවන් වැඩ කළ හැකි නම් එහි අරුත ආරක්ෂක අංශ මේ වන විට සිය වගකීම මැනවින් ඉටු නොකරන බවය. නැතහොත් වර්තමාන තත්ත්වය බැරෑරුම් කොට නොසලකන බවකි.

එහෙයින් රජය වහාම සිය ආරක්ෂක අංශ නැවත සීරුවෙන් තැබිය යුතුය. මේ පැහැර ගැනීම් පසුපස සිටින්නේ කවුද? ඒවායේ අරමුණු මොනවාද? සැබවින් ම එවැන්නක් වීද? ආදි කරුණු වහා දැන ගැනීමේ හැකියාවක් බුද්ධි අංශවලට තිබිය යුතුය. එසේ නොවුණ හොත් දිනාගත් සාමය තව නොබෝ දිනකින් කිසිදු අරුතක් නොමැති දෙයක් වනු ඇත. දිනපතා මිනිසුන් අතුරුදහන් වේ නම් රට පුරා කඩාකප්පල්කාරී ක්‍රියා සිදුවේ නම් එය බියෙන් සැකෙන් තොරව දිවි ගෙවිය හැකි නිදහස් රටක් ද?

Sunday, April 8, 2012

අර්ජුන රණතුංග මහතාගේ යෝජනාව

ක්‍රීඩා ඇමතිකම නොදුන් නිසා ම උරණව ආණ්ඩුව අතැර විපක්ෂයට ගිය අර්ජුන රණතුංග මහතා මෑතදී වැදගත් ප්‍රකාශයක් කර තිබිණි. එනම් සියලු මන්ත්‍රී ඇමතිවරු සිය වැටුපින් විදුලි දුරකථන ගෙවිය යුතු බවය. එමෙන් ම තවත් දීමනා අඩු කළ යුතු බවකි. රජයේ වියදම් සම්බන්ධයෙන් ආණ්ඩුවේ සිටින තුරු මුනිවත රකින බොහෝ දෙනෙක් විපක්ෂයට ගිය විගස කිඹුල් කඳුළු සැලීම අපේ රටේ සම්ප්‍රදායයි. ආණ්ඩුවේ සිටින තුරු සිය තේ වත්තේ ආදායම මෙන් මහජන මුදල් කාබාසිනියා කරන මොවුහු විපක්ෂයට ගිය විගස ඒවා ජනතා මුදල් බව සිහිපත් කරති. එදා එම මුදල් තමන් වියදම් කළා සේ දැන් ආණ්ඩුවේ සිටින අය වියදම් කරන අයුරු දකින කල ඉවසිය නොහැකි ය.

කෙසේ වුව ද මේ ප්‍රකාශය රණතුංග මහතා යහපත් අදහසින් කළා යැයි සිතමු. ආණ්ඩුව විවේචනය කිරීම පැත්තක තබා පාර්ලිමේන්තු වරප්‍රසාද වැඩි කර ගැනීම සඳහා දෑතම ඔසවා සහාය දෙන විපක්ෂයෙන් මේ යෝජනාව සඳහා කී දෙනෙක් සහාය දේද? විශ්වවිද්‍යාලයේ සේවය කොට මෑතක දී පාර්ලිමේන්තු ගිය හර්ෂ ද සිල්වා මහතා කීවේ සිය වැටුප් දීමනා ප්‍රමාණවත් නොවන බවකි.

පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකුට වැදගත් ලෙස ජීවත්වීමට බොහෝ පහසුකම් සපයා දී ඇති පරිසරයක පවා කුඩුකාරයින් හොර ජාවාරම්කාරයින් මැරයින් විසින් නඩත්තු කරන මන්ත්‍රීවරු ඇමතිවරු සිටින රටක එම වරප්‍රසාද අඩු කළ හොත් කුමක් සිදුවේ දැයි කිව නොහැකි ය. එසේ වුවහොත් පවතින තත්ත්වය තවත් නරක අතට හැරෙනු ඇතැයි සිතේ. ඔවුන්ගේ දුරකතනෙ විදුලි බිල් ගෙවීමට මේ රටේ කසිප්පු කුඩු හොර හරක් මුදලාලි ලා පෙළ ගැසී එනු ඇත.

1956 පෙරලිය සමග සාමාන්‍ය මිනිසාට ද පාලන තන්ත්‍රයට පිවිසීමට අවස්ථාව උදා වුව ද මේ වන විට එහි අනිටු ඵල පමණක් ඉතිරි වී තිබේ. 56ට පෙර ධනවත්තු දේශපාලනයට පැමිණ කීර්තිය උපයා ගෙන සිය දේපළ ජනතා සේවය වෙනුවෙන් යොදවා දුප්පතුන් ලෙස මිය ගියෝ ය. අද කිසිදු අධ්‍යාපනයක් විනයක් නැති හිඟන මැර හොර තක්කකඩි රංචු දේශපාලනයට පැමිණ රටම වනසා සිය හත්මුතු පරම්පරාවට ම දේපොළ රැස්කොට අවසන අපාගත වෙති. ඉතින් රණතුංග මහතාගේ යෝජනාව පාර්ලිමේන්තුවේ ඡන්ද විමසීමකට ලක් කළ හොත් 223ට 1ක් ලෙස එම යෝජනාව පරදිනු ඇත. බන්දුල ගුණවර්ධන මහතා නම් එදිනට පාර්ලිමේන්තු නො එනු ඇත.

එහෙයින් දැන් රණතුංග මහතාට ප්‍රායෝගිකව කළ හැකි දෙයක් මම යෝජනා කරමි. ඒ සිය කැමැත්තෙන් පාර්ලිමේන්තු වරප්‍රසාද ප්‍රතික්ෂේප කොට සිය අවංකභාවය ප්‍රදර්ශනය කිරීමය. එවිට ඒ ආදර්ශය ගෙන එකෙකු දෙන්නෙකු හෝ නිවැරදි වේ නම් ජනතාව ඊළඟ මැතිවරණවලදී ඔවුන් පිළිබඳ වඩා සාධනීය තීන්දුවක් ගනු ඇත.

Sunday, April 1, 2012

බෙදුම්වාදය වෙනුවෙන් පෙනී සිටීම


එක්සත් ජාතික පක්ෂයේ සහ ජනතා විමුක්ති පෙරමුණේ බැතිමතුන් වන මගේ මිතුරන්ගේ කිහිප දෙනෙකු නිතර ම පාහේ සිය පරාජිත දේශපාලන මානසිකත්වය ප්‍රදර්ශනය කරන එක්තරා කැත විදිහක් තිබේ. ඒ වර්තමාන රජයේ නියෝජ්‍ය අමාත්‍යවරයෙකු වන විනයාගමුර්ති මුරලිදරන් සහ හිටපු හමුදාපති සරත් ෆොන්සේකා සසඳන පදනම් විරහිත අතාර්කික වල්පල් සහිත ඡායාරූප ෆේස්බුක් පිටුවල අභිරුචියෙන් පළ කිරීමය.

2009 සරත් ෆොන්සේකාට ආදරය නිසා නොව මහින්ද රාජපක්ෂ ගෙදර යැවීමේ අදහසින් ඡන්දය පාවිච්චි කොට පරාජය වී මානසික ආතතිය වැළඳ ඇති මේ පිරිස් කරන ක්‍රියාවෙහි ඇති පහත් වර්ගවාදී හෙළුව මොවුන්ට නොපෙනී යාම පුදුමයක් නොවන්නේ එතරම් දුර සිතිය හැකි කිසිවෙක් තව දුරටත් මේ පක්ෂවල ලැග සිටිතැයි සිටිය නොහැකි හෙයිනි. අනෙක් අතට ඉතිහාසය පුරා ප්‍රදර්ශනය කළ සිය අපරිණත දේශපාලන දැක්මට එහා ගිය යමක් මෙමගින් ප්‍රදර්ශනය නොවන බව කිව යුතුමය. මෙවැනි ඡයාරූප ප්‍රදර්ශනයෙන් රටේ හතුරන් විශේෂයෙන් ටැමිල් ඩයස්පෝරාව වෙනුවෙන් මොවුන් නොමිලේ කඩේ යන බවක් වත් තේරුම් ගැනීමේ ශක්තියක් මොවුන්ට නැත.

2009 මැයි මස වෙල්ලමුල්ලිවයික්කාල්හිදි ප්‍රභාකරන් ප්‍රමුඛ කොටි ත්‍රස්තවාදය පරාජය කිරීම හුදු සරත් ෆොන්සේකාගේ නොව සමස්ත රජය ප්‍රමුඛ ත්‍රිවිධ හමුදාවේ සහ දේශප්‍රේමී ජනතාවගේ ජයග්‍රහණයකි. එහෙත් සෙසු සියල්ලන් අමතක කොට එම ජය්‍රහණය ෆොන්සේකාගේ පෞද්ගලික ජයක් ලෙස හුවා දක්වන්නට මේ දේශපාලන අනාථයින්ට සිදුව ඇත්තේ අන් කිසිවක් නිසා නොව පෞද්ගලිකව තමන් හෝ තම පක්ෂ හෝ ඒ වෙනුවෙන් තඹ දොයිතුවක කැපකිරීමක් නොකළ නිසා පමණක් නොව හැකි සෑම අයුරින් ම යුද්ධය නතර කොට ජයග්‍රහණය ආපසු හැරවීමට උත්සාහ කළ හෙයිනි. ඒ නිසා මහා ජයග්‍රහණයක් අවසාන දේශපාලන නරාවළට පැන සිය පණ නසා ගත් ෆොන්සේකා වෙත මේ ජයග්‍රහණය ලඝු කිරීමට මොවුන්ට සිදුව තිබේ.

හමුදාපතිවරයා ලෙස සරත් ෆොන්සේකා යුද්ධය ජයග්‍රහණය කිරීමට මහත් සේවයක් කළ බව අවිවාදිතය. එමෙන් ම ඒ ජයග්‍රහණය සඳහා ජනාධිපතිවරයා ප්‍රමුඛ රජය සැපයූ දේශපාලන නායකත්වය ආරක්ෂක ලේකම්වරයාගේ මගපෙන්වීම නාවික ගුවන් සිවිල් ආරක්ෂක ප්‍රධානීන් සහ සමස්ත හමුදාව ද කළ සේවය ඒ තරමට ම අවිවාදිතය. ගමේ පන්සලය ගොස් මලක් පුදා රටට සෙත් පැතූ වයසක අත්තම්මා දක්වා ඒ ජයග්‍රහණයේ ගෞරවය බෙදී යා යුතුය. එහෙත් එවන් සුළු කටයුත්තක් හෝ නොකළ මොවුන්ට කළ හැක්කේ “එතුමා තමා ඔක්කොම කොළේ“කියා උඩුබිරීමට පමණි. මන්ද තමන් කළ නිසිවක් නැති හෙයිනි. ජයග්‍රහණයේ සෙසු සියලු හිමිකරුවෝ තම දේශපාලන එදිරිවාදීන් ලෙස සැලකීමේ දුප්පත් මානසික තත්ත්වය බැරෑරුම් හෙයිනි.

උක්ත ජයග්‍රහණය සාක්ෂාත් කර ගැනීමට එවක නැගෙනහිර කොටි නායකයා වූ මුරලිදරන් කොටි සංවිධානනේ කැඩී යාම ප්‍රබල සාධකයක් විය. කරුණා සහ ප්‍රභාකරන් අතර භේද ඇති කළේ තම පරිණත දේශපාලන දැක්ම විසින් යැයි නිතර උදම් අනමින් අනුන්ගේ දරුවන්ට හොර උප්පැන්න හදන රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රමුඛ විපක්ෂ ගෝලබාලයින් තව මොහොතකින් පවසනුයේ ‘කරුණාට රජ සැප, ෆොන්සේකා හිර ගෙට‘වැනි තුච්ඡ ජාතිවාදය අවුස්සන ප්‍රකාශ ය. මෙහි කිසිදු තාර්කික සම්බන්ධයක් ඇති කාරණයක් ද නොවේ. කරුණා ආණ්ඩුවේ සිටීම නිසා ෆොන්සේකා හිරේ ළඟින බවක් අප දන්නේ නැත. කරුණා ආණ්ඩුවේ සිටිය ද නැත ද අධිකරණ තීන්දුව අනුව ඔහුට සිරගත වීමට සිදුවනු ඇත. සිය පක්ෂයේ දකුණේ ජාතිවාදී හරක් රංචුවට මෙවන් කතා කියන රනිල් වික්‍රමසිංහලා අනතුරුව තවමත් රට දෙකඩ කරන්නට කැස කවන සම්බන්ධන්ලා සමග යාපනේ මැයි දින රැළි පැවැත්වීමට යති. මේ රැළිවලට ඕන ගොනෙකුට නීතිඥයෙක් විය හැකි බව රටට කියාදුන් කිරිඇල්ල ලා මෙන් ම මැදවච්චි කරුණානායක ද ගැලවීමේ හමුදාවේ මංගල ද තොප්පිගල කැලේ මැදින රනිල් සමග යනු ඇත. සිය නායකයින්ගේ දෙබිඩි පිළිවෙත අවබෝධ කර ගැනීමට පවා මේ අසරණයින්ට නොහැකි වීම කෙතරම් අභාග්‍යයක් ද?

අනෙක් අතට මේ මහා යුද වීරයා ජනාධිපතිවරණ සමයේ දෙමළ ජාතික සන්ධානය සමග හොර ගිවිසුම් ගැසූ බව කීවේ අප නොව විකිලීක්ස් වෙබ් අඩවියයි. ජනාධිපතිවරණ ප්‍රතිඵල සලකා බැලූ කල ද එය මැනවින් පසක් කරගත හැකිය. උතුරු නැගෙනහිර බහුතර ඡන්ද ප්‍රමාණයක් ලබා ගත්තේ ෆොන්සේකා ය. එම ඡන්ද ඔහුට ලැබෙන්නේ නිකන් ම නොව ඔහුට ඇති ආදරයකට ද නොව ටැමිල් ඩයස්පෝරාව, දෙමළ ජාතික සන්ධානය ගත් තීරණය අනුවය. ඔවුන් හා ගැසු හොර ගිවිසුම අනුවය. රටේ යුද වීරයා මෙලෙස යුද්ධය දිනා වසරක් ගිය තැන කොටි හුරතලෙක් වුයේ කෙසේද? ඔහු ජනාධිපති කරවීමට බටහිර රටවල් සහ ඇමරිකාව ඩොලර් මලු ගණන් විසි කරමින් මහා සටනක් ගෙන ගියේ ඇයි? අද ජනතා විමුක්ති පෙරමුණේ ලාල් කාන්ත පවසන පරිදි ෆොන්සේකා නිදහස් කර ගැනීමේ සටනේ පෙරමුණේ ඇමරිකාව සිටින්නේ ඇයි? ඔහු රට වෙනුවෙන් කළ සේවයට උපහාර වශයෙන් ද? නැතහොත් රටත් ජාතියත් පාවා දෙමින් යාමට උත්සාහ කළ ගමනට උපහාර වශයෙන් ද? යන ප්‍රශ්න මේ අඳබාලයින්ට කිසි විටෙක මතු නොවනු ඇත.

මුරලිදරන් කොටි සංවිධානයෙන් බිඳී අවුත් දැන් ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රවාහයට එක්ව සිටින අයෙකි. ඔහු වර්තමාන රජයේ නියෝජ්‍ය ඇමතිවරයෙක් මෙන් ම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ උප සභාපතිවරයෙකි. උතුරු නැගෙනහිර ජනතාව බෙදුම්වාදී පක්ෂවලින් මුදවා ගෙන රටේ ඒකීය බව සුරක්ෂිත කිරීමට මෙය අත්‍යවශ්‍ය කොන්දේසියකි. අප වැඩි වැඩියෙන් ඒ පලාත්වල ශ්‍රී ලංකා නිදහස් පක්ෂය, එක්සත් ජාතික පක්ෂය වැනි රටේ ප්‍රධාන පක්ෂවල නායකයින් බිහි කරගත යුතුය. කොටි බෙදුම්වාදී ත්‍රස්තවාදය ආරම්භ කළේ එවක ශ්‍රී ලංකා නිදහස් පක්ෂ යාපනේ සංවිධායක සහ නගරාධිපති වු ඇල්ෆ්‍රඩ් දොරේඅප්පා ඝාතතනය කරමින් බව මෙහිලා සිහිපත් කරන්නේ කොටි ද අපේ ඇතැම් අඳබාලයින්ට වඩා සූක්ෂම බව පේනවා දීමට ය. රටේ ප්‍රධාන දේශපාලන පක්ෂවල නායකයින් උතුරු නැගෙනහිර පලාත්වලින් බිහිවීම සිය බෙදුම්වාදී ගමනට මරු පහරක් බව බෙදුම්වාදීහු මැනවින් දනිති.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පමණක් නොව එක්සත් ජාතික පක්ෂයේ පවා උතුරු නැගෙනහිර නියොජිතයින් මරා දැම්මේ නැතහොත් එම පක්ෂවලින් ඉවත් වීමට බල කළේ එහෙයිනි. අද මුරලිදරන්ට එරෙහිව ද්වේශ සහගත ප්‍රකාශ කරන විපක්ෂයේ ගොන් රැළ නොදැන කරන්නේ ද එදා කොටි කළ දෙයමය. අද බෙදුම්වාදීන් විසින් අපේක්ෂා කරන දෙයමය. කරුණා ආණ්ඩුවෙන් කැඩී ගොස් දෙමළ ජාතික සංවිධානයට එක් වේ නම් වඩාත් සතුටු වන්නේ රට බෙදන්නට බලා සිටින බෙදුම්වාදී ද්‍රෝහීන් බව ආණ්ඩුවට ආසනයක් අහිමි වීමේ අහිංසක සතුට විඳින්නට බලා සිටින දේශපාලන පිංගුත්තරයින්ට නොවැටහීම ජාතියේ අවාසනාවකි.

අනෙක් අතට තවමත් දෙමළ ජනතාව රටේ ප්‍රධාන දේශපාලන දහරාවට යොමු කර ගැනීමට මේ ආණ්ඩුව කරන ලද කාර්යභාරය ප්‍රමාණවත් යැයි අප විශ්වාස කරන්නේ නැත. ඔවුන්ට රටේ ගෞරවයෙන් ජීවත්වීම සඳහා අවශ්‍ය පසුබිම තවමත් සැකසී නැති බව කනගාටුවෙන් වුව කිව යුතුමය. විශේෂයෙන් යුද්ධයෙන් පසු ඇති කළ තාවකාලික නිවාස සහිත ගම්මානවලට රට වෙනුවෙන් විශාල සේවයක් කළ ලක්ෂ්මන් කදිරගාමර්, ආනන්ද කුමාරස්වාමි ආදීන්ගේ නම් දැමූ ආණ්ඩුව කොටි වෙනම රටක් ඉල්ලා හඬ නඟන සමයේ පවා කිසිම විරෝධතාවක් නොමැතිව පැවති 'ආනන්ද කුමාරස්වාමි මාවත' 'නෙළුම් පොකුණ මාවත' ලෙස නම් කිරීම නින්දිත වැඩක් බව‍ නොකියාම බැරිය. එය දෙමළ ජනතාවගේ පමණක් නොව බහුතර සිංහල ජනතාවගේ ද අප්‍රසාදයට ලක්වූ කාරණාවකි.

රටට ඉමහත් සේවයක් කළ ආනන්ද කුමාරස්වාමි වැනි දෙමළ සම්භවයක් සහිත විද්වතෙක් පිළිබඳ කාරණයක දී රජය මීට වඩා සැලකිලිමත් විය යුතුව තිබිණි. එය අප සලකන්නේ දෙමළ ජනතාවට පමණක් නොව රටට ම කරන ලද අගෞරවයක් ලෙසය. මෙවන් කටයුතුවලින් සිදුවන්නේ දෙමළ ජනතාව තව තවත් අන්තවාදී මතවාද වෙත තල්ලු කිරීමක් පමණි. සැබවින් ම දිනාගත් සාමය ආරක්ෂා කිරීමට කැප වන ආණ්ඩුවක් නම් කළ යුතුව තිබුණේ අදාළ කුළුණ 'ආනන්ද කුමාරස්වාමී නෙළුම් කුළුණ' ලෙස නම් කොට කුමාරස්වාමී මතකය නැවත නැවත රැව් නැඟීම මිස ඔහුගේ නම මකා දැමීම නොවේ. එසේ කළේ නම් වෙනම රටක් දිනා ගැනීමේ යුද්ධය පරාජය වී දැන් ක්‍රමයෙන් සමනය වෙමින් ඇති දෙමළ සිත් සතන්වලට එය කෙතරම් ආස්වාදයක් වේද? ඔවුන්ට අභිමාණයෙන් මේ රටේ ජීවත්වීමේ අවස්ථාව දැන් උදාවී ඇතැයි ඔවුන්ට පසක් වන්නට එයම හේතුවක් නොවන්නේද? එහෙත් මෙලෙස දේශප්‍රේමී දෙමළ විද්වතුන් නොතකා හැරීම ටැමිල් ඩයස්පෝරාව ඇතුළු බෙදම්වාදීන්ගේ වාසියට හේතු නොවන්නේ ද? එහෙයින් ආණ්ඩුව රටේ සාමය සුරක්ෂිත කිරීම සඳහා කළ යුත්තේ දෙමළ සන්ධානය හෝ ඇමරිකාව හෝ පිනවීම නොව දෙමළ ජනතාවට රටේ අභිමාණයෙන් ජීවත්වීමේ අයිතිය තහවුරු කිරීම බව ඉතා හොඳින් අවබෝධ කරගත යුතුය. පෙර කී ආකාරයේ කටයුතුවලට ආණ්ඩුවට උපදෙස් දෙන කේවට්ටයින්ගෙන් ආණ්ඩුව පරිස්සම් විය යුතුය.


Tuesday, March 27, 2012

ජාත්‍යන්තරය හා හැප්පී වැඩක් නෑ, කතාකර බේරාගන්න – කිරිඇල්ල

රටට කෙළවෙනවා නම් එජාපය ආණ්ඩුවට පූර්ණ සහාය ලබා දෙන බව අපි දන්නවා. එදා යුද්දේ කරද්දිත් ඒක නවත්තලා නෝර්වේ මග පෙන්වීම මත සටන් විරාම ගිවිසුම ආරක්ෂා කරමින් සාමයට යන්න කියලා කියපු එවුන්ට මොනවාද කියන්න බැරි. මේ ආණ්ඩුවේ එවුන්ට වඩා කිරිඇල්ලලා හොඳට දන්නවා මේ ආණ්ඩුවේ ආයුෂ තීරණය වන්නේ දේශප්‍රේමි බලවේග ආණ්ඩුව සමග සිටීම හෝ නොසිටීම මත කියලා. ඒ නිසායි නියම නිලේ අල්ලලා පහර ගහලා තියෙන්නේ. ඔන්න කනවා නම් නියම ලනුව.

මේ රටට ආදරය කරන මිනිස්සු එදා ඉඳලා එජාපය හඳුන ගත්තේ අධිරාජ්‍යවාදයේ මෙරට අතකොලුව විදිහටයි. ඒ අදහස නැවත සනාථ කරනවා කිරිඇල්ල උන්නැහේලා. සුද්දෝ මොනවා ද කියන්නේ ඒක තමා හරි. එදා සුද්දෝ ලංකාව අතෑරලා යද්දි බලය පවරලා ගිය කළු සුද්දන්ගේ දරු මුනුබුරෝ තමා අද එජපයේ ඉන්නේ. උන්ට ඕන ආයේ සුද්දා ලවා හරි තම පක්ෂයට බලය ගන්න.

1987 ඉන්දියාව අපට බලහත්කාරකම් කළා වගේ ම මෙවර ඇමරිකා කළේත් තුප්පහි වැඩක්. කරන්න පුළුවන් සියලු ජඩ වැඩ කරලත් යන්තම් එක වැඩි ඡන්දයයි ගත්තේ. ඒත් ඊශ්‍රායලයට එරෙහිව ගෙනා යෝජනාවලදී ඊශ්‍රායලයට පක්ෂ වුණේ ඇමරිකාව විතරයි. රටවල් 36ක් විරුද්ධයි. දැන් ඊශ්‍රායලය කියනවා මේක හරි අසාධාරණයි. අපි ඉවත් වෙනවා කියලා. ඇමරිකාව අගයන සුපිරි ප්‍රජාතන්ත්‍රවාදය අනුව දැන් බල කළ යුතුයි ඊශ්‍රායලයට අති බහුතරයක් රටවල කැමැත්තට හිස නමා පරීක්ෂණවලට ඉඩ දිය යුතු බවට. එහෙම නොකර ඇමරිකාවට බැහැ අපට බලපෑම් කරන්න.

අපට ඇමරිකාව එක්ක හැප්පෙන්න කිසිම උවමනාවක් නැහැ. අපට අවශ්‍ය අපේ පාඩුවේ ඉන්න විතරයි. අපි අනිත් රටවල වැඩවලට ඇඟිලි ගහන්න යන්නෙත් නැහැ. ඒ නිසා ස්වාධීන රටක් විදිහට අපට පාඩුවේ සිටින්න නිදහසක් තිබිය යුතුයි. ඒ අහිංසක අයිතිවාසිකමත් අපෙන් උදුර ගන්න ඇමරිකාව ප්‍රමුඛ බටහිර රටවල් හදනවා නම් තවත් නිවට වී පලක් නැහැ. ඒ නිවටකම අප අගාධයට තල්ලු කරනු ලද හැකි ජයක් නැහැ.

ඒ නිසා අපේ නිදහසේ ජීවත්වීමේ අයිතිය විනාශ කරන්න උත්සාහ කරනවා නම් ඊට විරුද්ධව නැගී සිටිය යුතුයි. ඒ සඳහා ආධ්‍යාත්මික සටනකට සුදානම් විය යුතුයි. ඒ සඳහා අවශ්‍ය ශක්තිය අපට බුදු දහම සහ සංස්කෘතික උරුමය විසින් ලබා දී තිබෙනවා. ඇමරිකාව ඉතිහාසයේ දරුණුතම පරාජය ලැබුවේ බෞද්ධ රටක් වන වියට්නාමයේ දී. ඔවුන් ඒ පරාජය කොතරම් මානසිකව ඇද දැම්මා ද කිවහොත් මේ සිද්ධිය ඉතිහාස කෘතිවලින් ද ඉවත් කළා.

එහෙත් කිරිඇල්ලලා ප්‍රමුඛ එජාපය දැන් උත්සාහ කරන්නේ ජාතිය නැවතත් 1505ට දක්කා ගෙන යාමට බව සක්සුදක් සේ පැහැදිලියි. උන්ගේ පැවැත්ම ඇත්තේ අධිරාජ්‍යවාදී සපත්තුවලට පෑගෙමින් ඉඳුල්කන පරාධීන ජාතියක් සිටින යුගයක බව අපි හොඳින් දනිමු.

Monday, March 26, 2012

‘මාසයක් ජීවත් වෙන්න රුපියල් 2500න් පුළුවනි’ – බන්දුල ගුණවර්ධන

සිව්දෙනෙකුගෙන් යුත් පවුලකට රුපියල් 7500න් මසක් ජීවත් විය හැකි බව සොයා ගත් මහා ආර්ථික විද්‍යාඥ බන්දුල ගුණවර්ධනයෝ සිය සොයා ගැනීම තවත් ඉදිරියට ගෙන යමින් රු. 2500න් පුද්ගලයෙකුට මසක් ජීවත් විය හැකි බව ද ප්‍රකාශ කළහ. මේ මහා සොයා ගැනීම ඇමරිකාව එංගලන්තය වැනි රටක සිදුවිණි නම් 2012 වසරේ ආර්ථික විද්‍යාව සඳහා වන නොබෙල් ත්‍යාගය පවා මේ මහා බුද්ධිමතාට පිරිණැමීමට හොඳට ම ඉඩ තිබිණි.

ජීවත්වීම යනු නොමැරී සිටිම ද? එහි අර්ථය කුමක්ද? යන්න මේ මහා විද්‍යාඥයාට අමතකව ගොස් තිබේ. එක්සත් ජාතික පක්ෂයේ සිට මහින්ද රාජපක්ෂ මහතාගේ දෑත ශක්තිමත් කරන්නට පැමිණි කල්ලියේ කෙනෙකු වන බන්දුල ද එසේ පැමිණි සෙසු අය මෙන් ම 2005 ජන වරමට කළ හැකි සියලු නින්දා කරමින් සිටිති. ඒ ජනවරම ගොඩනැගු ජනතාවට කළ හැකි උපරිම නින්දා අපහාස කරමින් සිටියි. මෙවන් ගොං කතා කියමින් ආණ්ඩුව කෙරෙහි ජනතා අප්‍රසාදය ගොඩ නඟන අය කළ යුත්තේ එසේ කළ හැකි නම් සිය පාර්ලිමේන්තු පිං පඩිය රු. 10 000 දක්වා අඩු කරන ලෙස ඉල්ලා සිටීම ය. ඊට පසු හොරකම් අල්ලස් පතාළ කුඩු බිස්නස් නොකර රු. 10 000න් ජීවත් වන්නේ කෙසේ දැයි ජනතාවට පෙනෙන පරිදි ජීවත් වීමයි.

දේශමාමකයින් විසින් ගොඩනගන ලද 2005 බලවේගයේ නායකත්වය සඳහා මහින්ද රාජපක්ෂ පත්කර ගන්නා ලදි. එම ජනබලය ගොඩනගද්දි ඊට එරෙහිව කළ හැකි සියල්ල කරමින් එහි ප්‍රතිවිරුද්ධ පාර්ශවය ලෙස ජනතාව විසින් පරාජය කරන ලද දේශපාලන මතවාදය නියෝජනය කළ පිරිස් පසුව ජනපතිගේ අහවල් එක ශක්තිමත් කරන්න යැයි කියමින් ආණ්ඩුවට සම්බන්ධ වී එහි ඉහළ තනතුරුවලට පත්වූයේ ජනතාව විසින් දිනවු මහින්ද චින්තන ප්‍රතිපත්තියට අනුගත වෙමින් සිය පරාදීන දේශපාලන මතවාදවලින් බැහැර වී නොවේ. ඔවුහු තවමත් සිය පැරණි අදහස්වලම එල්බී සිටිති.

පාන් කන්න බැරි නම් කේක් කාපියවු කී ගණයේ මහ පොළවේ යථාර්තය හා එකඟ නොවන ප්‍රකාශ කරමින් ජනවරම හෑල්ලුවට ලක් කරමින් වැඩ කරන මේ විහිලුකාරයින් සෙමෙන් සෙමෙන් වුව සිදුකරන්නේ මේ ආණ්ඩුවේ ගෙළ මිරිකීමයි. ආණ්ඩුව ජනතාවට එපා කොට යූඇන්පී ආණ්ඩුවක් පත් කිරීමට වැඩ කිරීමයි. එසේ පත් වන ආණ්ඩුවේ ද ඉහළ පුටුවල‍ට වහා ම බඩ පිනුම් උඩ පිනුම් ගසන්නට මේ 63න් වැඩි පිරිසකට කිසිදු හිරිකිතයක් ඇතැයි මම නොසිතමි.

වගකිව යුතු ආණ්ඩුවේ ප්‍රබලයින් කළ යුත්තේ විකට නළුවන් කරන විනාශය අවබෝධ කරගෙන ඊට වහා පිළියම් යෙදීමයි. එසේ නොවුණ හොත් ජාත්‍යන්තරයට මේ රටට කඩ පැන මහින්ද රාජපක්ෂ මහතා කුදලා ගෙන යන තැනට මොවුන් කටයුතු කරනු ඇති බව දැන් නම් හොඳට ම පැහැදිලි ය. 1815 සිංහලේ රජු කුදලා ගෙන යන තැනට කටයුතු කළ උඩරට ප්‍රභුවරු අද විපක්ෂයේ පමණක් නොව ආණ්ඩුවේ ද සිටිති.
 
සිය රට දේ සිරි සැප දේ !