Saturday, March 7, 2009

එළුවාගේ වාරය!

එක්දහස් නවසිය හැත්තෑ හතෙන් පසු මේ රටේ මැතිවරණ කර්මාන්තය තුළ වැඩිම ඵල ප්‍රයෝජන ගත්තේ පළමුව අච්චු කන්තෝරුකාරයෝය: දෙවනුව එළුවෝ ය. අච්චු කන්තෝරු කාරයන් ප්‍රයෝජන ලබන්නේ ඡන්ද පෝස්ටර මුද්‍රණය කිරීමෙනි. එළුවා පාප්ප කෑමට ඉතා කැමැති ය. එ බැවින් තාප්පයේ අලවා ඇති ඡන්ද පෝස්ටරය යටින් ඇති පාප්ප තටිටුව මතුවනතුරු ඌ පෝස්ටරය ලෙව කයි. මේ රටේ කුඩාම නිලවරණය වන පළාත් පාලන ඡන්දයකදී පවා ලක්ෂ ගණන් පෝස්ටර් තාප්පවල ඇලවෙයි. දහස් ගණන් එළුවෝ ඒ පෝස්ටර අනුභව කර ඒ කාලය තුළ තරවෙති. ශ්‍රී ලංකාවේ මැතිවරණ සංස්කෘතියට අනුව ඡන්දයකදී ඡන්දදායකයා හා ඡන්ද අපේක්ෂකයා වැදගත් වන්නේ දෙවනුව ය. පළමුවන වටයේදී වැදගත් වන්නේ අච්චු කන්තෝරු, කඩදාසි, මුද්‍රණ තීන්ත, පාන් පිටි, පාන්පිටි තාප්පවල උලන කොසු, තාප්ප හා පෝස්ටර ඇලවීමට කොන්ත්‍රාත් ගන්නා උදවියයි. පළමුවන වටයේදී පරිසරයට හානි කරන පාට පාට පොලිතින් ද වුවමනාය. එසේ ම විරුද්ධවාදීන්ගේ කොඩිවැල් කපන, පාක්ෂිකයන් සහ පකෂ කාර්යාලවලට බෝම්බ ගසන දාමරිකයන් ද වුවමනා ය. බත් පාර්සලයක් රුපියල් 500 ක් සහ අරක්කු භාගයක් දුන් විට සහෝදරයාගේ වුව ගෙල කැපීමට සුදානම් ගහලයෝ මේ රටේ වෙසෙති.

එළැඹ ඇත්තේ බස්නාහිර පළාතේ පළාත් සභා මැතිවරණ කාලය යි. දෙදහස් හාරසිය ගණනක් අපේක්ෂකයෝ මෙයට ඉදිරිපත් වෙති. එක අපේක්ෂකයකු පෝස්ටර් 5000 බැගින් මුද්‍රණය කළ ද පෝස්ටර දොළොස් කෝටියක් මුද්‍රණය වන්නේ ය.

(අත්පත්‍රිකා, අපේක්ෂකයාගේ මුහුණ සහ ඡන්ද ලකුණ සහිත සාක්කු කැලැන්ඩර් මෙයට ඇතුළත් කර නැත) එක පෝස්ටරයකට රුපියල් පහ ගණනේ වැය කළත් (එය අද කාලයේ හැටියට අවම මුදලකි.) රුපියල් කෝටි හැටක් වැය වේ. දොළොස් කෝටියක් වු පෝස්ටර ඇලවීමට රුපියල් ලකෂ ගණනක පාප්ප අවශ්‍යය. පෝස්ටරයක ආයු කාලය පැය 12 කට වඩා නැත. ඊළඟ පැය 12 තුළ වෙනත් පෝස්ටර ඒ මතින් අලවනු ලැබේ. යළි ඒවා මතින් ඊළඟ දවසේ තවත් පෝස්ටර අලවනු ලැබේ. මේ අනුව ඡන්දයක් නිමවන විට තාප්ප බොහොමයක ඝනකම අඟල් එකහමාරකින් පමණ වැඩි වන්නේ ය. මනුෂ්‍යයාගේ ආහාර පිණිස සාදන ලද තිරිඟු පිටි එළුවාගේ ආහාරය පිණිස වෙන් වන්නේ ය.

ඡන්දයක් සඳහා පෝස්ටර වෙනුවෙන් වැය කරන රුපියල් කෝටි 60 ක් වැනි මුදලකින් රුපියල් පන්ලකෂය බැගින් වු නිවාස 1200 ක් තනා දිය හැකිය. දරුවන් ලකෂ ගණනකට පොත් ලබා දිය හැකිය. දිරාගිය පාසල් ගොඩනැඟිලි සිය ගණනක් අලුත්වැඩියා කළ හැකිය. අබලන්වු පාරවල් කිලෝමීටර් කී දහසක් නම් අලුත්වැඩියා කළ හැකි ද? මේ කතන්දර පසෙක තබා මැතිවරණ නීතිය යටතේ පෝස්ටර් හා කටවුටි පිළිබඳ නීතිය බලමු. කිසියම් ඡන්ද අපේක්ෂකයකුට තම පකෂ සලකුණ අංකය සහ ඡායාරුපය ප්‍රදර්ශනය කළ හැක්කේ සිය මැතිවරණ ප්‍රචාරක කාර්යාලය ඉදිරිපිට සහ ගමන් කරන වාහනයේ පමණි. ඇමරිකාව වැනි රටවල නම් පෝස්ටර ගැසීම සපුරා තහනම් ය. ජපානය කුඩා රැස්වීම් ස්වල්පයක් පමණක් පවත්වයි. නියම ප්‍රජාතන්ත්‍රවාදය පවතින රටවල තත්ත්වය එයයි. සර්වජන ඡන්ද බලය හිමි වු පළමුවන ආසියාතික රට වු ශ්‍රී ලංකාවේ තත්ත්වය එයට හාත්පසින්ම වෙනස් ය. ඡන්දය ඉල්ලන හොඳ මිනිසුන්ගේ පෝස්ටරවල මෙන්ම නරක මිනිසුන්ගේ පෝස්ටරවල ද ජනාධිපතිතුමාගේ පින්තුරය දැකිය හැකි ය. ඡන්ද පෝස්ටර්වලට ජනාධිපතිතුමාගේ පින්තුරය යෙදීම තහනම් කරමින් නීතියක් තිබුණද කවුරුවත් එය ගණන් නොගනිති.

මෙවර පළාත් සභා ඡන්දයෙන් පසු ආණ්ඩුව ගතයුතු වැදගත් තීන්දුවක් තිබේ. එනම් පෝස්ටර්වල අයිතිකරුවන් ලවා ඒවා ඉවත් කරවීමය. නැතහොත් එළුවාගේ වාරය එනතුරු ඒවා බොහෝ කලක් තාප්ප අවලකෂණ කරමින් එසේම පවතිනවා ඇත.
(දිවයින_09/0307)

පසු වදන_මේ රටේ නීති හැට හුටහමාරක් ඇත. තව රීති ද ඇත. ඒ කිසිවක් නිසි කල බලාත්මක වන්නේ නැත. හැම ඡන්දයකදී ම පලාත් පාලන ආයතන රුපියල් ලක්ෂ ගණනින් ෆෝස්ටර් ඉවත් කිරීමට වෙන් කරයි. නීතිය ආරක්ෂා කිරීමට ද නීති කඩන්නන් අල්ලා අධිකරණයට කුදලා ගෙන යාමට ද සිටින පොලිස් රාලහාමිලා නේක ගණයේ තක්කඩි රංචු ෆෝස්ටර් ගසා ගිය පසු ගස් තාප්ප මත නඟිමින් දුකසේ ඒවා ඉවත් කරනු ලැබේ. කොටින් ම අශ්වයා ගිය පසු ඉස්තාලය වසනු ලැබේ. සුපුරුදු පරිදි මෙවර වන්නේ එයම ය.

මේ ගැන අදාළ වගකිව යුත්තෝ වහා පියවරක් ගත යුතු ය. නීතිය බලාත්මක කළ යුතු ය. වැදගත් පොලිස් රාලහාමිලා කසළ ශෝධක වෘත්තියෙන් නිදහස් කළ යුතු ය. ('වැදගත්' යන විශේෂණය කටපුරා පොලීසියට යෙදිය හැකි දිනය වහා උදාකරනට පොලිස්පතිතුමා සහ සමස්ත පොලිසිය පෙරමුණ ගත යුතු ය.) එවිට සම්පත් නාස්තිය වැළකෙන අතර සුන්දර පරිසරයක් නිතැතින් ම උරුම වනු ඇත.

No comments:

 
සිය රට දේ සිරි සැප දේ !