Tuesday, March 31, 2015

අන්තරයට කඳුලු ගෑස් දන්සැලක්!


කොල්ලුපිටිය මංසංදිය අසල දී නිදහස් අධ්‍යාපනය රැක ගැනීම සඳහා යැයි කියා නිතර කෑ ගසන අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයට යහ පාලන ආණ්ඩුවේ අණින් යහ පාලන පොලිසිය විසින් යහ පාලන කඳුලු ගෑස් රථවල සිට යහ පාලන කඳුලු ගෑස් දන්සැලක් ලබා දී සාදරයෙන් පිළිගෙන තිබේ.

රනිල් වික්‍රමසිංහ මහතා ද අකිල විරාජ් කාරියවසම් තරුණයා ද මේ අවස්ථාව වන විට බටලන්ද ප්‍රදේශයේ බේකරියකින් ගෙනා උණු උණු බනිස් ධවල පත්‍රිකාවල ඔතා වෙහෙසට පත් තරුණයින් අතර බෙදා දෙමින් ඔවුන්ගේ සැප දුක් අසමින් තරුණයින් අතර සැරිසරණ බව දැන ගන්නට තිබේ. කිරි තේ රැගෙන විත් ඇත්තේ බත්තරමුල්ල ජවිපෙ මහා ගෙදරිනි. පොලිස් නිළධාරීහු ද වෙහෙසට පත් තරුණයින්ට පවන් සලමින් ද පවසට පැන් දෙමින් ද හරි හරියට වෙහෙසෙමින් සිටිති. සෝභිත හිමි සහ රතන හිමි ළමුන්ට ලබා දීමට විශේෂ ජල ප්‍රහාරක රථවලින් එවා තිබූ පිරිත් පැන් ප්‍රීති ඝෝෂා මැද සියලු දෙනාට නොමද ලබා දුනි.

මේ දන්සැල නිසා සතුටින් ඉපිල ගිය තරුණයෝ "අහෝ සැපකි!, අහෝ සැපකී! යහ පාලනය නුඹ මේ තරම් සොඳුරු යැයි අපි සැබවින් තබා සිහිනෙනුදු නො සිතුවෙමු. අපි යහ පාලනය තොල ගෑමට තරම් වාසනාවන්ත වීමූ" යැයි කියා පාර දෙපසට වී ප්‍රීති ඝෝෂා කරති.
අනතුරුව සියලු තරුණ තරුණියෝ මහත් අභිමාණයෙන් සහ දරා ගත නො හැකි සතුටින්
"රටකට ඕනේ අපමණ අගයක්
හෙටක ඕනේ මෛත්‍රී යුගයක්!!!" යැයි ප්‍රශස්ති ගී ගයමින් යහ පාලන ආණ්ඩුවේ නායක ඇත්තන් පමණක් නොව ඒ ඇත්තන්ගේ දෙමාපියන් ද යහ පාලනයට ඡන්දය දුන් තමන්ගේ දෙමාපියන් ද සිහිපත් කරමින් හතර අතේ පිං අනුමෝදන් කරමින් සිටින බව තව දුරටත් වාර්තා වෙයි.

(පසු සටහන: මේ දන්සැල පිළිබඳ හරයාත්මක, විශ්ලේෂණාත්මක, ස්වයං වින්දනීය, කුඩා අන්ත්‍රමය එළඹුමක් ඔස්සේ බහිස්‍රාවීය පසුබිමක සිට කෙරෙන අපක්ෂපාති මධු මේහයමය අභිසාරි විග්‍රහක් යහ පාලන බුද්ධිමතෙකු විසින් කරනු ලබත්වා!!!)

අවසරයි අපේ හාමුදුරුවනේ,

සාධාරණ සමාජයක්, පිවිතුරු හෙටක් උදා කර ගන්න නම් අපේ ඇමති මණ්ඩලය සීයක්වත් වෙන්න ඕනෑ. යුධ ජයග්‍රහණය සඳහා තීරණාත්මත කාර්යභාරයක් ඉටු කළ හමුදා නායකයින් ඇතුළු සියලු දෙනාට හොරා, දූෂිතයා, මැරයා වගේ නම්බු නාම ලබා දෙන්න ඕනෑ. රටේ ඒකීයත්වය වෙනුවෙන් පෙනී ඉන්න සිංහල නායකයින්ට ජාතිවාදී අන්තවාදී දූෂිත හොර තක්කඩි හංවඩු ගහන්න ඕනෑ. ඒකී්‍යත්වය වෙනුවෙන් පෙනී සිටින්නේ දෙමළ නායකයෙක් නම් ඔහුට කොටි ලේබලය ගහන්න ඕනෑ. එහෙම නොකර කවදාවත් සාධාරණ සමාජයක් හරි පිවිතුරු හෙටක් හරි උදා කර ගන්න එක හීනයක් නේද අපේ හාමුදුරුවනේ?

කොහොම හරි එදා කැප්පෙටිපොළ ලා රාජසිංහ රජතුමා සුද්දාට අල්ල ලා දුන්නා වගේ මහින්දයි, ගෝඨාභයයි අල්ල ලා ජාත්‍යන්තර යුද අධිකරණයට භාර දුන්නා නම් සාධාරණ සමාජයක්, පිවිතුරු හෙටක් උදා වෙයි නේද අපේ හාමුදුරුවනේ? මොකද අපි දැන් ආයේ ඇවිත් නතර වෙලා ඉන්නේ 1815. ඉතින් 1818 වගේ ම 1848ත් අපි ඉතා ම පිවිතරු සර්ව සාධාරණ සමාජ අත්දැකීම්වල රස බලපු ජාතියක් විදිහට ආයේ වසර 200කට පස්සේ ඒ පාර දිගේ අපි ආයේ යන්න ඕන නේද ආපේ හාමුදුරුවනේ ? ඒක නේද සාධාරණ සමාජයක තුළ පිවිතුරු හෙටක අරණළු ද දකින්න තියෙන එක ම මඟ? නො දන්නකමට අහන්නේ හාමුදුරුවනේ, තරහා අවසරයි පැහැදිලි කරලා දෙනවා ද?

Friday, March 27, 2015

හැංගි හැංගි වෙස් බඳින අනුර කුමාරයා..

වර්තාමන ආණ්ඩුව ද නියෝජනය කරන එක්සත් ජනතා නිදහස් සන්ධානය නියෝජනය කරන පක්ෂයක නායකයෙකු වන දිනේශ් ගුණවර්ධනට විපක්ෂ නායක ධූරය ලබා නොදිය යුතු බව අනුර කුමාර දිසානායක පවසා තිබේ. මේ වන විට විපක්ෂ නායකයා වන නිමල් ද සිරිපාල ද සිල්වා ඒ සන්ධානයේ බව අනුරට අමතක වී තිබේ. නැත්නම් සිරිපාල විපක්ෂ නායක ධූරයට පත් කරන අවස්ථාවේ ඔහු ඊට විරුද්ධ විය යුතුව තිබිණි.

අනෙක් අතට ආණ්ඩුවේ ප්‍රජාන්ත්‍රවාදය පිළිගත් කැබිනෙට්ටුවට උඩින් සිට රට පාලනය කරන ජාතික විධායක සභාව නම් දඩයම් සභාවේ සම්බන්ධන්, වික්‍රමබාහු ද සමඟ අනුර කුමාර සිටියි. ඒ අනුව අනුර කුමාර ද ආණ්ඩුවේ බව අනුර කුමාරට ම අමතකව තිබේ. නැත්නම් ඔහු තමාට විපක්ෂ නායක ධූරය නොදිය යුතු බවට ද තර්ක කරනු ඇත. සම්බන්ධන් විපක්ෂ නායක ධූරය ඉල්ලු විට ඒ තර්කයෙන් ම පහර දෙනු ඇත.

කෙසේ වුව ද මේ වන විට රටේ පවතින ප්‍රධාන ආණ්ඩු විරෝධි දේශපාලන මතවාදය නියෝජනය කරන්නේ දිනේශ් ගුණවර්ධන ප්‍රමුඛ පිරිස මිස අනෙකෙක් නොවේ. ඔවුන් ආණ්ඩුවට විරුද්ධ පක්ෂය පමණක් නොව මේ වන විට ආණ්ඩුවට ඇති බලවත් ම තර්ජනයයි. එහෙයින් විරුධ පක්ෂ නායකකම ඔවුන්ට හිමි විය යුතු ය. එය ලැබුණ ද නොලැබුණ ද ජනතාව අතර ඔවුන් විපක්ෂ නායකත්වය රැගෙන අවසන් ය. දැන් අනුර කුමාර කළ යුත්තේ ලාල් කාන්ත ලාගේ විරෝධය පැත්තකට විසි කර යහ පාලන ආණ්ඩුවේ ඇමතිකමක රස බැලීම ය. එජාප පිළිකන්නේ ළගිමින් හැංගි හැංගි වෙස් බැන්ද ද අනුර නටන්නේ එජාප වේදිකාවේ මිස වෙන දිල්ලියක නොවේ.

පුලතිසි වීරයාට ඉක්මන් සුව පතමු!

සිරිසේන ජනාධිපතිවරයාගේ සොයුරු සද්ගුණවත් වැලි රාජු මැතිතුමා යහ පාලනය වෙනුවෙන් දිවා රෑ නොබලා වෙහෙසන අතර සිය මිතුරාගේ මාරාන්තික පොරෝ පහරකට ලක්ව රෝහල් ගත කර තිබේ. සිය මිතුරාට යහ පාලන අරක්කු පොවා ඔහුගේ අනියම් බිරිඳට යහ පාලනයේ අනුහස් කියා දෙන සොඳුරු සුයාමයේ එය මිතුරාගේ අතට ම හසු වීමෙන් පසු මේ ප්‍රහාරය එල්ල වූ බව මාධ්‍ය විසින් වාර්තා කර තිබේ.

කෙසේ වුව ද ජනාධිපතිවරයා අනුව යමින් ප්‍රහාරය සඳහා තුවක්කුවක් භාවිත නොකර ඉතා අඩු වියදමින් කාට වුවත් සොයා ගත හැකි පොරවක් භාවිත කිරීම පැසසුමට ලක්විය යුතු ය. ඒ අවස්ථාවේ ඔහු ග්ලවුස් නැතිව සිටි බව ද සඳහන් වෙයි. ජනාධිපති සොහොයුරාට පොරවකින් කෙටිය හැකි මට්ටමට රටට ප්‍රජාතන්ත්‍රවාදය ලැබී තිබීම අගය කිරීමට මැලි වන්නේ අන්තිම දේශපාලන කුහකයින් පමණි. යහ පාලන සිහිනය යථාර්ථයක් කර ගන්නට ගොස් අනතුරට ලක් වූ වැලි රාජු මැතිතුමා කොළඹ රැගෙන ඒමට බෝයිං 767 ගුවන් යානයක් වෙනුවට අඩු වියදම් ගුවන් යානයක් වහාම යවා නැවතත් රටට ම ආදර්ශයක් ලබා දුන් ජනාධිපතිතුමාට ජාතියේ ප්‍රණාමය හිමි විය යුතු ය.

මෙවැනි යහ පාලන කටයුතු ඉදිරියටත් කරගෙන යෑමට එතුමාට ඉක්මන් සුවය පතා හෙළ උරුමය ආගමික කටයුතු කිසිවක් තවමත් සංවිධානය නොකළේ මන්දැයි ජනතාව විමතියෙන් යුතුව බලා සිටිති.

Monday, March 23, 2015

ෆීල්ඩ් මාර්ෂල් පට්ටම දේශපාලන වරදානයක් නෙමේ ද?

ත්‍රස්තවාදය කෙළවර කරන සමයේ රටේ යුද හමුදාපතිවරයාට පමණක් ෆීල්ඩ් මාර්ෂල් තනතුරක් ලබා දීම ඔස්සේ ත්‍රස්තවාදය කෙළවර කරන්න නාවික, ගුවන් හමුදාව කළ කාර්යභාරය හෑල්ලුවට ලක් වෙනවා. ඒක පහුගිය ආණ්ඩුවත් කළා. මං හිතන්නේ ඒක වැරදි ආදර්ශයක්. ඇත්තට ම තමන්ගේ හමුදාපතිකම විකුණමින් තනතුරු පස්සේ දිව්ව කෙනෙක් ෆොන්සේකා. 

මේ ෆීල්ඩ් මාර්ෂල් පට්ටම දුන්නේ හමුදා මධ්‍යස්ථානයේ දී මරාගෙන මැරෙන බෝම්බකාරිගෙන් බේරුණු ෆොන්සේකාට නෙමෙයි. 2010 TNA ජනපති සිහිනය වූ ෆොන්සේකාටයි. සුදු කොඩි කතාව කියලා යුද ජයග්‍රහණයේ අභිමාණය විනාශ කළ ෆොන්සේකාටයි. ඒ යුද්ධය මෙහෙය වූ දේශපාලන නායකයින් සහ සැබවින් ම යුද බිමේ සිට යුද්ධය මෙහෙය වූ ශවේන්ද්‍ර ද සිල්වා වැනි රණවිරුවන්ට (මා දන්න තරමින් ෆොන්සේකා යුද්ධය නැවත ආරම්භ වී එය දරුණු සටනක් බවට පෙරළුණු පසු වව්නියාවෙන් ඔබ්බට ගොස් නැත.) යුද අපරාධ චෝදනා එල්ල කිරීම සඳහා වැදගත් ම සාක්ෂිය සැපයූ ෆොන්සේකාටයි. 

එහෙම නෙමේ නම් ඕන ගොනෙකුට යුද්ධ කරන්න පුළුවන් බව කී ලක්ෂ්මන් කිරිඇල්ල ලා ඇමති වෙච්චි ආණ්ඩුවකින් මෙහෙම තනතුරු ලැබේ ද? තොප්පිගල කියන්නේ කැලයක් කියපු අගමැති කෙනෙක්ගෙන් මෙහෙම තනතුරු ලැබේ ද? හමුදාව අලිමංකඩ යනවා කියලා පාමංකඩ යනවා කියපු ඇමතිවරු ඉන්න ආණ්ඩුවකින් මෙහෙම තනතුරු ලැබේ ද? තවලම්, සුදු නෙළුම් ගිහින් උතුර කොටියාට දෙන්න ගිය මංගල ලා හමුදාපති ගැලවීමේ හමුදාවටවත් සුදුසු නැතැයි කටමැන දෙඩූ ඇමතිකම් දරණ ආණ්ඩුවකින් එහෙම තනතුරු ලැබේ ද? 
  
දැන් රටේ විධයාක, ව්‍යවස්ථාදායක, අධිකරණ සියලු තීරණ ගන්නා ජාතික දඩයම් සභාව කියන ෆැසිට් ආයතනයේ කොටි හුරතලුන් වෙච්චි සම්බන්ධන් වගේ ම කොටි මහා විරු සමරුවට ගිහින් උතුරේ සහෝදර ද්‍රවිඩ ජනතාව සමූල ඝාතනය කළ සිංහල හමුදාවක් ගැන දොඩවපු වික්‍රමබාහු කරුණාරත්තනත්, මිස්ටර් ප්‍රභාකරන් කියලා ප්‍රභාකරන් අමතන සුනාමි සහන මණ්ඩලය නමින් ඊළම් රාජ්‍යය ලියලා දෙන්න හදපු චන්ද්‍රකා ඉන්නවා. ඔවුන් තමා තමන්ගේ වීරයාට මේ සම්මානය දෙන්නේ. සෙසු රණවිරුවන් මෙවැනි පාවදීම් නො කිරීම නෙමේද ඔවුන්ට කිසිදු සම්මානයක් නො ලැබීමට හේතුව? 

ඒ නිසා ම මෙය හුදු ඊනියා සම්මානයක් විනා දේශපාලන වරදනායක් විනා කිසිදු වැදගත් කමක් ඇති දෙයක් නොවේ. ගෝඨාභය, වසන්ත කරන්නාගොඩ, රොෂාන් ගුණතිලක, ශවේන්ද්‍ර ද සිල්වා වැනි රණවිරුවන් ජනතාවගේ හදවත්වල සදාතනික ෆීල්ඩ් මාර්ෂල්වරුන් බවට පත්ව දැන් බොහෝ කලක් ගතව තිබේ.

Sunday, March 22, 2015

ආණ්ඩුව තවත් හොරු අල්ලන්න සුදානම්! - පිවිතුරු රවි

යහ පාලන ආණ්ඩුව පසුගිය ආණ්ඩුවේ සිටිය දී ජනතා මුදල් ගසා කෑ බවට චෝදනා කරමින් එම ආණ්ඩුවේ සිටි මැති ඇමතිවරු 26 දෙනෙකු ඊයේ අත් අඩංගුවට ගෙන කැබිනට්, රාජ්‍ය ඇමති සහ නියෝජ්‍ය ඇමති ධූරවල සිරගත කළේ මුළු ආසියාවට ම ආදර්ශයක් දෙමිණි. මේ සමඟ යහ පාලකයෝ ජනතාවට ලබා දුන් පොරොන්දු දෙකක් ඉටු කිරීමට සමත් වූහ. ඉන්දියාවේ සිට බොරුවට දූෂණ විරෝධී යැයි කයිවාරු ගසන අර්වින්ද් කජ්‍රිවාල් වැනි සොකඩයින් රවි කරුණානායක මහතාලාගෙන් ටියුෂන් ගත යුතු ය.

ඒ උස් මිටිකම් නො සලකා මහජන දේපළ කොල්ල කෑ වැරදිකරුවන් අල්ලා දඬුවම් කිරීම සහ ඇමති මණ්ඩලය 225කට අඩු කරන බවට දුන් පොරොන්දුවයි. ඒ පොරොන්දු දෙක මෙලෙස යථාර්ථයක් බවට පත් කළ ආණ්ඩුවට අප ස්තූතිවන්ත විය යුතුය. මේ අවස්ථාව වන විට ඇමති මණ්ඩලය 77ක් පමණි. ඒ අතර ම එක්සත් ජනතා නිදහස් සන්ධානයේ හිටපු ආණ්ඩුවේ ඇමතිවරුන්ට ද වාහන දෙකක් ඇතුළු සුළු සුළු දඬුවම් ලබා දීමට ආණ්ඩුව කලින් ම පියවර ගෙන තිබීම අපි විශේෂයෙන් අගය කළ යුතු ය.

එහෙත් අප වඩාත් සතුටු වන්නේ පසු ගිය ආණ්ඩුවේ ජනතා මුදල් ගසා කෑ කිසිවෙකුට නීතියේ රැහැනින් ගැලවී යාමට කිසිසේත් ඉඩ නොදෙන බව ගරු මුදල් අමාත්‍ය පිවිතුරු රවි කරුණානායක මහතා නැවත වරක් ප්‍රකාශ කිරීම නිසා ය. ඒ අනුව ඉදිරි කාලයේ දී පහුගිය ආණ්ඩුවේ තවත් හොරු පිරිසක් අල්ලා ඇමතිකම්වල හිරකරනු ඇති බව සහතික ය. ගරු ආචාර්ය මර්වින් සිල්වා මහතා ද නුදුරේ දී ම අත් අඩංගුවය පත්වීමට නියමිත බව පස්වනක් ප්‍රීතියෙන් යුතුව දැනුම් දෙමි. මේ නිසා නැවතත් හොරුන්ට දඬුවම් ලැබෙන අතර ඇමති ධූර 225ට අඩු කරන බවට දුන් පොරොන්දුව ද ආරක්ෂා වෙයි. මෙය නම් ඉතා ම යහපත් ප්‍රවණතාවකි.

ආණ්ඩුව හොරුන්ට දඬුවම් නො දුන්නේ යැයි නාහෙන් ඇඬූ නව ආණ්ඩුව රටට දෙන ආදර්ශයන් බලා සිටීමට නො හැකිව වෛරී දේශපාලනයක යෙදෙන මෝඩ බයියලාට පේන්නත් එක්ක ගලවුස් නැති අතින් ශෙයාර් කරමු!

ආණ්ඩුව වැඩට බසී ! පහුගිය ආණ්ඩුවේ හොරුන්ට තරු පෙනෙයි!!!

පසු ගිය ආණ්ඩුව සමයේ මහජන දේපළ වංචා කරමින් ආර්ථිකය ආලාපළු කළ සියලු හොරු අල්ලා දඬුවම් කරන බවට පසු ගිය ජනාධිපතිවරණ සමයේ සිරිසේන, පාඨලි, රාජිත ප්‍රමුඛ එජාපය ජනතාවට ලබා දුන් තවත් පොරොන්දුවක් ඉටු කරමින් එම ආණ්ඩුවේ සිටි හොරු 26 දෙනෙක් වහා ම ක්‍රියාත්මක වන පරිදි අල්ලා කැබිනට් ඇමති, රාජ්‍ය ඇමති සහ නියෝජ්‍ය ඇමති තනතුරුවල සිරගත කර තිබේ. ජනතා දේපළ කොල්ලකෑ හොරුන්ට යස පාඩමක් ඉගැන්වූ ආණ්ඩුවට ජනතා උත්තමාචාරය!

අභ්‍යන්තර හතුරෝ!

මේ අවස්ථාවේ තමා සමඟ කිහිප දෙනෙක් පමණක් පක්ෂයෙන් එළියට පැමිණිය ද විශාල පිරිසක් පක්ෂය තුළ සිට තම ජයග්‍රහණය වෙනුවෙන් කටයුතු කරන සිරිසේන ජනාධිපතිවරයා මැතිවරණ සමයේ කීවේ ය. ජනක බණ්ඩාර තෙන්නකෝන්, තිස්ස කරල්ලියද්ද, එස්.බී.නාවින්න, පියසේන ගමගේ, මහින්ද අමරවීර, මහින්ද සමරසිංහ, ඩිලාන් පෙරේරා, ජගත් පුෂ්පකුමාර ඒ අතර ප්‍රමුඛයින් බව පැහැදිලි ය. මහින්ද රාජපක්ෂ පරාජව කොට සන්ධාන ආණ්ඩුව ගෙදර යවා ඊළම් ගමන ශක්තිමත් කළ රටේ අවශ්‍යතා හඳුනා ගත් අපේ යුගයේ වීරයින්ට සුබ පතමු! ග්ලවුස් නැති අතින් පහක් දමම!

සිංහල ගෝල සහ දෙමළ ගෝල යැයි නොබෙදේවා!

ඈත යාපනේ සිට දුරුකතර ගෙවා ගෙන කොළඹ පැමිණි තර්ජනී සිවලිංගම් ශ්‍රී ලංකා නෙට් බෝල් කණ්ඩායමේ ගෝල විදින්නියයි. මුරලි මෙන් ම සිවා ද අපට, අපේ රටට ආඩම්බරයකි. තිස් වසරක බෙදුම්වාදී ගමන නිමා කළ රට එක්සේසත් කිරීම නිසා ජාතියට උරුම වූ මිණිකැටකි සිවා. එහෙත් දැන් නැවත සිංහල ජාතික ගී, දෙමළ ජාතික ගී, සිංහල ගම්මාන, දෙමළ ගම්මාන, සිංහල කළාප, දෙමළ කළාප ලෙස අපේ රටේ ඒකීයභාවය දියවන්නට පටන් ගෙන තිබේ. එහෙත් මේ ගමන කිසිදා සිංහල ගෝල, දෙමළ ගෝල යැයි බෙදී වෙන් වන තැනට නොයේවා!!!

ජාතික ගීයට අවමන් නොකරමු!

තමරා කුගනායකම් මහත්මිය තමන්ගේ ජීවිතය පුරා ම කොටි ත්‍රස්තවාදයට එරෙහිව කටයුතු දේශප්‍රේමි වීරවරියක්. රට වෙනුවෙන් අභීතව පෙනී සිටි ජීනීවාහි හිටපු නිත්‍ය නියෝජිත තමරා කුගනායකම් මහත්මියට එරෙහිව යහ පාලන ආණ්ඩුව කොටි ලේබල් අලවනවා. කොටි සමඟ සබඳතා තිබුණු බව කියැවෙන තානාපති නිල නිවස පිළිසකර කිරීම සඳහා කොටි සංවිධානයට අනුබද්ධ සංවිධානයකට කොන්ත්‍රාත්තුව ලබා දුන් ශෙනුකා සෙනෙවිරත්න තායිලන්ත තානාපති කරලා යවනවා. මෙන්න මේක තමා යහ පාලනය!!! ඔබ සැබෑ දේශප්‍රේමියෙක් නම් තමරා කුගනායගම් මහත්මිය වෙනුවෙන් පෙනී සිටින්න. ඇය අපට ආඩම්බරයකි. සැබෑ ලාංකේය වීරවරියකි.

ජාතික ගීයට අවමන් නොකරමු!

වැදි ජාතික ගී, රොඩී ජාතික ගී, මැලේ ජාතික ගී යැයි විවිධ ප්‍රබන්ධ නිර්මාණ ෆේස්බුක්හි ශෙයාර් කරන ඔබ තුළ වර්තමාන නිවට නාකයින් ජාතික ගීය වර්ගවාදී ගීයක තත්ත්වයට ඇද දැමීම පිළිබඳ මතුව ඇති නොපැහැදීම, කළකිරීම සහ විරෝධය අපට අවබෝධ කරගත හැකි ය. එහෙත් මිතුරනි, රැජිනගේ ග්ලවුස් නැති අත ඉස්පර්ශ කිරීම පිළබඳ උදම් අනන නිවටයින් අපේ රටේ ජාතික සංකේතයට කළ නිගාවට එරෙහිව අප ද අපේ ජාතික ගීය විකෘති කිරීම සාධාරණ ද? එය උඩ බලාගෙන මුහුණට කෙළ ගසා ගැනීමක් නො වන්නේ ද? මොහොතක් සිතන්න. කරුණාකර එම පෝස්ට් ඉවත් කර ජාතික ගීයේ ගෞරවය ආරක්ෂා කිරීම සඳහා එක්වෙමු!

අපි දැන් ඉන්දීය ජාතික ගීය ගයමු!!!

නිල නොවන අවස්ථාවල ජාතික ගීය දෙමළෙන් ගැයීමට අප විරුද්ධ නෑ. හෙළ උරුමය
විනෝද චාරිකාවක, කොටහළු මඟුල් ගෙදරක, උපන් දින පාටියක, හීනියට අඩියක් ගහන අවස්ථාවක සංගීත සාජ්ජයක ජාතික ගීය ගයන අය ඉන්නවාද? එහෙම නැත්නම් මේ ඊනියා නිල නොවන අවස්ථා මොනවා ද? මේ රටේ සියලු ළමයි උදෑසන පාසැල් ආරම්භයට පෙර ජාතික ගීය ගායනා කිරීම ද? රාජ්‍ය ආතයනවල උදෑසන ජාතික ගීය වාදනය කිරීම ද? කිසියම් සභාවක ජාතික ගීය ගැයීම ද? මේ ගැන කජ්‍රිවාල් රණවක අපට පැහැදිලි කළ යුතු ය.

අපි දැන් ඉන්දීය ජාතික ගීය ගයමු!!!

ඉන්දියාවේ තිස් වන ප්‍රාන්තය බවට පත්වූ පසු අපේ රටට අපේ ම ජාතික ගීයක් කුමට ද? රට ජනතාව පරමාධිපත්‍යයට අනුව නොව විදෙස් රට ඕනෑ එපාකම් අනුව පාලනය වේ නම් ඒ වහල් දේශයට ජාතික ගීයක් කුමට ද? රට දැය වහල්භාවයේ දීනභාවයේ කරවටක් ගිල්වා ගයන්නේ කවර රටක අභිමාණයක් ගැන ද?
1815 සිට 1948 වන තුරු හිරු හිරු නොබසින අධිරාජ්‍යයේ සුවච කීකරු බලු කුක්කන් වූ අප එංගලන්ත කතිර කොඩිය ඔසවා, ඔවුන්ගේ ජාතික ගීය වන "God save the Queen" උජාරුවෙන් ගැයුවෙමු. අපි අපේ සිංහලකම අමතක කර සුද්දන් ලෙස ජීවත් වූයෙමු. ඊට එරෙහිව ජාතිය අවදි කළ ධර්මපාලතුමා ඉන්දියාවට පළවා හැරියෙමු. මේ රටේ සේසත හුරාගෙන එංගලන්තයට පැටවීමට තැනූ රේල් පාර ගැන අපි ආඩම්බර වෙමු.
ඉතිහාසය පුරා මේ රටේ ස්වාධීන්තවයට එරෙහිව කුමන්ත්‍රණය කළ භාරතය හෙවත් නූතන ඉන්දියාව නැවත එක් කුමන්ත්‍රණයක් සාර්ථක කර ගෙන තිබේ. අශෝක රජු, මිහිඳු හිමි ආදී භාරතීයයන් කිහිප දෙනෙකු හැරුණු විට සියලු එහි නායකකාරකාදී බමුණෝ අපගේ විනාශය ම පැතුවාහු වෙති. එහි ප්‍රතිඵලය ලෙස දැන් මේ රට නැවත යටත්විජිත යුගයකට රැගෙන විත් තිබේ.
දැන් අපි වැසිකිලි පහසුකම් පවා නැති ඉන්දියානුවන් දුම්රියේ පෙට්ටි මත ද නැඟ ගමන් කරන අතර අපට ඉන්දීය රජයෙන් ආධාර ලෙස ලැබුණු රේල් පාර ගැන ආඩම්බර වෙමු. මහාවංසය බැද්දට විසි කර මහා භාරතය, රාමායනය නිතර කියවා භාරතීය අභිමාණයෙන් හදවත පුරවා ගනිමු! ඒ අභිමාණයෙන් සිත පුරවා ගෙන සුවච කීකරු බලු කුක්කන් ලෙස "ජන ගන මන අධිනායක ජන හේ" ගායනා කරමු.
එතෙක් පැරණි ජාතික ගීය අටුවට දමා තබමු! නැවත රටේ ස්වාධීනත්වය දිනාගත් දවසක කැවුම් කිරි බත් කා අභිමාණයෙන් අපි "ශ්‍රී ලංකා මාතා, නමෝ නමෝ මාතා" ගයමු!
ජය හේ! ජය හේ! ජය හේ!

ජාතික ගීය දෙමළෙන්! බෙදුම්වාදය තව පියවරක් ඉදිරියට තබයි!

දින 100 වැඩසටහනට අනුව අදට යෙදී ඇත්තේ ජාතික ඖෂධ ප්‍රතිපත්තිය පාර්ලිමේන්තුවේ අනුමැතිය ලබා ගැනීමයි. එහෙත් අද ජාතික ගීය දෙමළ බසින් ගැයීමට මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයාගේ අනුමැතිය ලබා දී තිබේ. එය ඇතැම් විට ඊනියා ඖෂධ ප්‍රතිපත්තියේ කොටසක් විය හැකි ය. මේ යහ පාලන ව්‍යාධිය ඉන්දියාවට බෝ වුවහොත් එරට භාෂා 415න් පමණ ජාතික ගීය ගැයීමට සිදුවනු ඇත. දෙමළ දේශය හෙවත් තමිල්නාඩුව පිහිටි රටේවත් දෙමළ බසින් ජාතික ගීය ගැයීමට අවසර නැත. ඔවුහු එක් භාෂාවකින් ජාතික ගීය ගයති. වෙන්ව යෑමට නොව එක්ව සීටීමට එය භාවිත කරති.

අප මෙහිදී අවධාරණය කළ යුත්තේ දෙමළ භාෂාව කෙරෙහි අප තුළ කිසිදු අකමැත්තක් නැති බව සහ එය බෙදුම්වාදය පෝෂණය කිරීමට යොදා ගැනීමට පමණක් විරුද්ධ වන බව ය. මේ රටේ අවාසනාව නම් වසර 600ට පසු එක්සේසත් කළ රට වසර 5ක් ගෙවුණු තැන නැවත දීන නායකත්වයක් යටතේ බෙදුම්වාදය කරා ඇද ගෙන යාමය. මේ ගමන වහා නතර නොකළ හොත් සුද්දියක් අත් මේස් නැතිව අතට අත දීම පිළිබඳ උදම් අනන දීන නිවට නායකත්වය උතුරට ස්වයං පාලනය දී ඊළම පිහිටුවනු ඇත. යහ පාලනය බලයට පැමිණි විගස කොත්තමල්ලි මිල අඩුු කළේ අනාගත වැඩපිළිවෙළ ක්‍රියාවට නැඟෙන විට ජාතියට උණ ගන්නා බව කලින් ම තේරුම් ගෙන බව දැන් නම් හොඳට ම පැහැදිලි ය. 

Tuesday, March 10, 2015

රූපමය අවවාද යථාර්ථවාදී ද?

පසුගිය රජයේ සෞඛ්‍ය ඇමති මෛත්‍රීපාල සිරිසේන මහතා සිගරට් පෙට්ටිවල 80%ක් වැසෙන සේ රූපමය අවවාද ඇතුළත් කිරීම සඳහා බොහෝ උනන්දුවෙන් කටයුතු කළේ ය. කෙසේ වුව ද එම රූපමය අවවාද 60%ක් දක්වා අඩු කොට ඇතුළත් කිරීමට කටයුතු කරන බව පැවසුව ද එය එසේ සිදු නොවිණි. ඒ සඳහා රජයේ සහාය තමන්ට සහාය නොලැබුණු මෛත්‍රීපාල මහතා කීවේ ය. ඒ පිළිබඳ එකල මම මහින්ද රාජපක්ෂ ප්‍රමුඛ රජය විවේචනය කළෙමි.

දැන් මෛත්‍රීපාල සිරිසේන ජනාධිපති ධූරයට පත්ව 80%ක් රූපමය අවවාද සහිත බව පැවසෙන සිගරට් පැකට්ටුව පෙබරවාරි 02 වන දා වන විට වෙළඳපොළට නිකුත් කර ඇත. මම මේ පිළිබඳ මීට පෙර සඳහන් කළේ එම රූපමය අවවාද සැබවින් දුම්බීම අධෛර්යමත් කෙරෙන ඒ නිසා හට ගන්නා පිළිකා, හෘදයාබාධවල භයානක බව පසක් කරන රූප මෙම අවවාදවලට ඇතුළත් කළ යුතු බව ය. එසේ ම තරු පන්තියේ හෝටලයක් බඳු කාමරයක සියලු වෛද්‍යධාර සහිතව ඇඳක වැතිර සිටින රැවටිලිකාර රූපයක් ඊට කිසිසේත් ප්‍රමාණවත් නොවන බව ද සඳහන් කළෙමි. එහෙත් දැන් සිදුව ඇත්තේ කුමක් ද?

දුම්කොළ සමාගම හුදු නීතියෙන් රිංගා යෑම ඇතුළත් කරනු ලබන, මා ඇතුළත් නො කළ යුතු බවට යෝජනා කළ වර්ගයේ රූපමය අවවාදයක් ඇතුළත් කර තිබීම පමණි. රටේ ජනාධිපතිවරයා සැබවින් ම දුම්පානයට විරුද්ධ නම් සමාගම්කාරයින්ගේ ව්‍යාජ මායාම්වලට හසු නො වී නිසි රූපමය අවවාද ඇතුළක් කළ යුතු ය. එමෙන් ම එම රූපමය අවවාද පැකට්ටුවෙන් 80%ක් නොව 50%කට වඩා විශාල නොවන බව ද එම රූපමය අවවාද සඳහා වෙන් කළ යුතු ඉඩෙන් විශාල ප්‍රමාණයක් "දුම්බීම හෘද රෝග ඇති කරවයි" යන වාක්‍යය භාෂා තුනෙන් මුද්‍රණය කර ඇති බව ද පැවසිය යුතුම ය. 

එමෙන් ම මේ රූපමය අවවාද ඔස්සේ යම් සාර්ථක ප්‍රතිඵලයක් ලබා ගැනීමට අවශ්‍ය නම් රටේ සිගරට් පෙට්ටි පමණක් අලෙවි කළ හැකි වන පරිදි නව නීති ඇති කළ යුතු අතර බීඩි, සුරුට්ටු වැනි සිගරට්වලට ද වඩා භයානක දුම්වැටි වහා තහනම් කළ යුතු ය. සිගරට් පානය කරන පිරිසෙන් 60-70%ක් පමණ වරකට මිල දී ගන්නේ සිගරට් පෙට්ටි නොව සිගරට් එකක් හෝ කිහිපයකි. මේ නිසා ඉන්දියාව වැනි රටවල සිගරට් පෙට්ටි මිස එක දෙක විකිණීම නීතියෙන් තහනම් කර තිබේ. මේ තත්ත්වය පිළිබඳ ජනාධිපතිතුමාගේ අවධානය යොමු වනු ඇතැයි සිතමි. එසේ නැතහොත් ඉතා ම වැදගත් කටයුත්ත ද දින සියයේ තවත් එක් විහිළුවක් බවට පත්වීම නො වැළැක්විය හැකි ය.
   

Tuesday, March 3, 2015

ජවිපෙ ගොබෙල්ස් තියරිය

ජවිපෙ අනුර කුමාර දිසානායක, හෙළ උරුමයේ පාඨලි චම්පික රණවක මෙන් ම එජාපය ද දින සියයේ වැඩපිළිවෙළින් දින 40ක් පමණ ඇවන්ගාර්ඩ් පාවෙන අවි ගබඩාව වටා රැස් වී උඩු බිරීමට ගත කළෝ ය. එහි ගනුදෙනුවල මහා දූෂණ අක්‍රමිකතා සිදුව ඇති බවට සපථ කළේය. මේ පිළිබඳ එහි හිමිකරු නිශ්ශංක සේනාධිපතිගෙන් ප්‍රශ්න කරන අතර ගමන් බලපත්‍රය ද රඳවා තබා ගෙන කලකින් නිදහස් කර ඇත. 

එහෙත් නැවත කරලියට පැමිණි අනුර කුමාර, අපරාධකරුවන්ට දඬුවම් දීම සිදු නොවන බවත්, නිශ්ශංක සේනාධිපතිගේ විදේශ ගමන් බලපත්‍රය නිදහස් කිරීම පිටුපස අධිකරණ ඇමති විජේදාස රාජපක්ෂ සහ හිටපු ඇමති තිලක් මාරපන සිටින බවට සිංහනාද කළේ ය. කිසිදු අපරාධකරුවෙකුට දඬුවම් නො ලැබෙන බවත් ඒවා ගණන් නොගත යුතු බවත් විධායක ජනාධිපති ධූරය අහෝසි කර ගැනීම ප්‍රමුඛ වගකීම බවත් කියා දින කිහිපයකින් ඒ කටින් ම මේ ප්‍රකාශය අපට අසන්නට ලැබිණි. 

මේ අනුව යහ පාලන ආණ්ඩුව දිගින් දිගට ම විධායකය සහ ව්‍යවස්ථාදායකය අධිකරණ කටයුතු කරන බව ය. අගවිනිසුරු පහ කිරීම මෙන් ම නිශ්ශංක සේනාධිපතිගේ ගමන් බලපත්‍රය  නැවත ලබා දීම ද සිදු කරන්නේ නිසි අධිකරණ ක්‍රියා මාර්ගවලින් නොවේ. එහෙත් මේ නාටකයේ වඩාත් හාස්‍ය ජනක කොටස නම් එවැනි වරදක් සිදු නොවූ බව ප්‍රකාශ කරන නිශ්ශංක සේනාධිපති මෙන් ම විජේදාස රාජපක්ෂ ද ඒ පිළිබඳ අනුර කුමාරට විවාදයකට අභියෝග කළ විට, අර චෝදනා කළ සිංහ නාදය කැනහිල් කෙඳිරියක් බවට පත්ව පළා යෑම ය.

මේ පිළිබඳ අනුර පවසන්නේ ඇවන්ගාඩ් මුදලාලි සමඟ තමාට විවාදයක් අනවශ්‍ය බව ය. ඔහු නිශ්ශංක සේනාධිපතිට මුදලාලි යැයි කීවේ උපහාසයට විය යුතු ය. එහෙත් මේජර් නිශ්ශංක සේනාධිපති මහතා මේ රට වෙනුවෙන් සේවය කළ හමුදා සෙබලෙකු බව ද අමතක නොකළ යුතු ය. අනෙක් අතට ඔහු සිය ව්‍යාපාරය මගින් හමුදා සේවයෙන් විශ්‍රාම ගිය සෙබලුන්ට රැකියා විශාල ප්‍රමාණයක් සම්පාදනය කර, රටට විදේශ විනිමය රැගෙන එන ව්‍යවසායයෙකු වන අතර අනුර කුමාර මෙරට ජාතික දේපළ ගිනිබත් කළ අතීතයක් සහිත පක්ෂයක වර්තමාන නායකයා පමණි.

සිය නායක සහෝදරයා විවාදයෙන් පළා යෑම පිළිබඳ ටිල්වින් සිල්වා පවසන්නේ අනුර කරන චෝදනා බොරු නම් කිසිවෙකු කලබල විය යුතු නැති බව ය. අනුරලගේ කෙප්ප ප්‍රචාරණ යාන්ත්‍රණය ක්‍රියාත්මක වන ආකාරය මින් පැහැදිලි වෙයි. කිසිදු පදනමක් නැති පට්ටපල් බොරු චෝදනාවලින් හුස්ම නොගෙන ඇස් දෙක නළලේ තියා ගෙන සිය විරුද්ධවාදීන්ට පහර දීම එම ක්‍රමවේදයයි. මේ චෝදනා අසත්‍ය නිසා ඒ චෝදනා එල්ල වන අය බල්ලෙක් බිරුවට කන්දක් පහත් නොවේ යැයි සිතා නිහඬව සිටිති. අශූචි නා පැමිණි හිවල්ලු සමඟ සටනට නොයන සිංහලයෝ ජයග්‍රහණය හිවලුන්ට ලබා දී පසුබසිති. එහෙත් මේ බොරු උදේ හවස මාධ්‍යවලින් ෆේස්බුක්වලින් ජනතාව අතරට යන අතර මුල දී විශ්වාස නොකළ ද කෙමෙන් ඒවා ජනතාව පිළිගනිති. ගින්නක් නැතිව දුමක් නො නගිතියි සිතන ජනතාව ටික ටික අර කෙප්ප යාන්ත්‍රණයට ගොදුරු වෙති. 

විජේදාස රාජපක්ෂ පවසන පරිදි අනුර ලා එදා මහින්ද රාජපක්ෂට විරුද්ධව ද මෙවැනි පට්ට කෙබර ඇද බෑ අතර ජනතාව ඒවා දොහොත් මුදුන් දී පිළිගත්හ. දැන් ඒ චෝදනා කළ මෙගාඩීල් හොරකම් නොව සිදු වූ රට ම දන්නා ඇතැම් දූෂණ අක්‍රමිකතාවලට හෝ අපරාධකරුවන්ට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග අනුගමනය කරනු වෙනුවට යහ පාලන ආණ්ඩුව අරලිය ගහ මන්දිරයේ මල් පෝච්චි ගම්පහ රැගෙන යමින් රටට විහිළු සපයයයි. 

කාලයක් තිස්සේ අනුර කුමාර ලා මහින්ද ආණ්ඩුවට එරෙහිව ගෙන ගිය ගොබෙල්ස් ප්‍රචාරණය සහ ඊට නිසි අවස්ථාවේ ප්‍රතිචාර නො දැක්වීම මහින්ද ආණ්ඩුවේ පරාජයට හේතු විය. කෙසේ වුව ද අනුර කුමාරලාට තව දුරටත් මේ ගොබෙල්ස් න්‍යාය ක්‍රියාත්මක කිරීමට ඉඩ දිය යුතු නැත. නිසි අවස්ථාවේ සියලු චෝදනාවලට පිළිතුරු ලබා දිය යුතු ය. එමගින් සියල්ල දූෂිත හෙයින් කිසිවකට දඬුවම් කළ නොහැකි යන මතය ඔස්සේ අපරාධ සාමාන්‍යකරණය වීම නිසා ඇති වන බරපතළ සමාජ පරිහානිය වළක්වා ගත යුතු ය. එමෙන් ම වැරදිකරුවන්ට දඬුවම් ලබා දිය යුතුම ය. 


   
 
සිය රට දේ සිරි සැප දේ !