Tuesday, March 17, 2009

මිත්‍යාව සහ දළඳා ආශ්චර්ය

දළදා සමිඳුගේ අසිරිමත් ප්‍රාතිහාර්ය

බොදු ජනතාවගේ මුදුන් මල්කඩ වූ සිරි දළදා වහන්සේ මහජන ප්‍රදර්ශනය සඳහා වැඩ සිටින කරඬුවෙන් පිටතට ගැනීමත් සමග ම අපට දකින්නට ලැබුණේ අසිරිමත් පෙළහරකි. මාස ගණනක් පැවැති දැඩි නියඟය නිමා කරමින් දළදා මැදුර පෙදෙසට මහා වැස්සක් ඇද හැලුණේ අහසෙහි කිසිදු වැසි ලකුණක් නොතිබුණ මොහොතකය. එය දළදා වහන්සේගේ ප්‍රාතිහාර්යයක් යනු මහනුවර ප්‍රදේශයේ අන්‍යාගමික ජනතාව අතර පවා පැතිරුණ අදහසකි. දළදා දැක්මත් සමග ඇරඹුණ වර්ෂාව මේ දිනවල දිවයින පුරා පැතිර යන්නේ මුළු රටට ම ආශිර්වාදයක් ලෙසිනි. දළදා වහන්සේ මුල්කරගෙන වරින් වරට සිදුවුණ හාස්කම් රාශියක් ගැන දළදා ඉතිහාසයේ සඳහන්ව තිබේ.

බුදුරදුන්ගේ ශ්‍රී දේහය ආදාහනය කිරීමේදී නොදැවී ඉතිරි වුණු සතර දළදා අතරින් වාම දළදා වහන්සේ ඛේම මහරහතුන් විසින් රැගෙන වුත් කළිඟු රජුට දෙන ලදී. ඔහු රන්රුවන් මුතු වැල්වලින් බැබළෙන සුවිසල් මැදුරක් සාදවා දළදා වහන්සේ එහි තැන්පත් කළේ ය. පසුකලෙක මිසදුටු නිඝණ්ඨයන්ගේ බසට රැවටී දළදා වහන්සේ වැනසීමට සිතූ පැළලුප් නුවර පණ්ඩු රජු එය රැගෙන එන්නට චිත්‍රයාන නමැති ප්‍රාදේශීය රජකු කළිඟු රට දන්ත පුරයට යැව්වේ ය. කළිඟු රට ගුහසීහ රජු චිත්‍රයාන රජු සමග දළදා මැඳුරට ඇතුල් විය. සේසත යට කරඬුවේ තැන්පත් කළ දළදා වහන්සේ දෙස චිත්‍රයාන රජු නෙත් යොමා බලා සිටියේ විශ්මයෙනි. ඒ අවස්ථාවේ දළදා වහන්සේ ඉදිරියේ දොහොත් මුදුන් තබාගත් ගුහසීහරජු මිනිසුන්ගේ සිත් සතන් පැහැදීම පිණිස ප්‍රාතිහාර්ය දක්වන ලෙස ආයාචනයක් කළ බව පාලි දාඨාවංශයේ සඳහන් වෙයි. එකෙණෙහිම අහසට පැන නැගුණ දළදා වහන්සේ පෑව අසිරිමත් පෙළහර එහි ගාථාවක සඳහන් වන්නේ මේ අයුරිනි.

අබ්භුග්ගන්ත්වා ගගන කුහරං චන්දලේඛාභිරාමා
විස්සප්ජෙන්ති රජතධවලාරංසියෝ දන්තධාතු
ධූපායන්තී සපදි බහුධා පජ්ජලන්තී මුහුත්තං
නිබ්බායන්ති නයන සුභගං පාටිහීරං අකාසි

චන්ද්‍ර රේඛාවක් මෙන් මනහර දළදා වහන්සේ අහස් කුසට නැගී එකෙණෙහිම රිදීසේ සුදුවූ රැස් සහ දුම් විහිදුවමින, නොයෙක් අයුරින් අවට බබුළුවමින් හා මොහොතකින් නිවෙමින් දෑස් සනසවාලන පෙලහරක් පෑවේය. එය දුටු චිත්‍රයාන රජු තෙරුවන් සරණ ගියේය. එහෙත් පණ්ඩු රජුගේ නියෝගය කඩකළ නොහැකි නිසා ඔහු දළදා වහන්සේ පැළලුප් නුවරට වැඩමවූයේය. නිඝණ්ඨයන්ගේ බස් ඇසීමෙන් කුපිතව සිටි පණ්ඩුරජු මුලින්ම නියම කළේ දළදා වහන්සේ ගිනි අඟුරු වළකට දැමීමටයි. එහෙත් දළදා වහන්සේට කිසිදු හානියක් සිදුනොවුණි. ඒ ගිනි දැල් මැදින් එකෙණෙහිම මතුවුණ නෙළුම් මලක් මත දළදා වහන්සේ සමන් පිච්ච මල්වල සුදු පැහැයෙන් ආලෝකවත් වන ලෙස රැස් විහිදුවමින් වැඩ සිටින අයුරු දක්නට ලැබුණි. එය දුටු මිසදිටු මිනිස්සු දළදා වහන්සේට මලින් පුදා සාධුකාර දුන්හ. මෙය පළමුවන දළදා පෙළහර යි. තම වෑයම ඉටු නොවුණ නිසා මිසදිටු පණ්ඩු රජු ඊළඟට නියම කළේ දළදා වහන්සේ කිණිහිරක් මතතබා කුළුගෙඩියකින් තැලීමටයි. සේවකයන්ට එසේ කරන විට දළදා වහන්සේ කිණිහිර ඇතුළට ගිලුණහ. උදාගිරෙන් මතුවන අඩ සඳ මෙන් සුදුපැහැ ආලෝකයෙන් බැබළෙන්නට වූහ. දාඨාවංශයේ මේ ගැන සඳහන් වන්නේ දන්ත ධාතූන් වහන්සේගේ දෙවන ප්‍රාතිහාර්ය වශයෙනි. එහෙත් දළදා වහන්සේ කිණිහිරෙන් ගලවන්නට නොහැකි නිසා එය පිටතට ගැනීමට සමතෙක් වෙයි නම් ඉදිරිපත් වන්නැයි කියමින් රජු නුවර පුරා අඬබෙරකරුවකු යැව්වේ. එවිට අනේපිඬු සිටුතුමාගේ පරපුරෙන් පැවත එන සැදැහැති සිටු පුතෙක් සත්‍යක්‍රියා කොට දළදා වහන්සේ කිණිහිරෙන් මතුපිටට ගන්නට ඉදිරිපත් විය. ඔහු කළේ සුවඳ සිසිලදියෙන් පිරුණු රන් බඳුනක් ගෙන බුදුගුණ සිහිකරමින් එයට වඩින ලෙස දළදා වහන්සේට ආරාධනා කිරීමයි. එම රන් බඳුනට වැඩිය දළදා වහන්සේ සුවඳ ජලයෙහි ගිලෙමින් නැවැත මතුපිටට එමින් ප්‍රාතිහාර්ය දක්වන්නට වූහ. මෙය තුන්වන පෙළහරයි. එහෙත් පණ්ඩු රජු දළදා වහන්සේ වැනසීමේ වෑයම අත්හැරියේ නැත. ඊළඟට ඔහු කළේ වීදියක් මැද වළක් සාරවා දළදා වහන්සේ එහි දමා පස් පුරවා ඇතුන් ලවා මැඩීමයි. එකෙණෙහිම රියසකක් වැනි මහා පියුමක් පොළොව පළාගෙන මතුවිය. දළදා වහන්සේ පියුම් කෙමිය මත බැබළෙන අයුරු පෙනුණි. ඒ සිවුවන දළදා පෙළහරෙන් පසු නැවතත් රජු මුලා කළ නිවටුවෝ කසළ පිරී අගලකට දළදා වහන්සේ දැමූහ. එම අගල සත් පියුමෙන් පිරුණ පොකුණක් බවට පත්වුණි. ඒ පස්වන දළදා ප්‍රාතිහාර්ය දුටු ඇමැතිවරු රජුට වැඳ, රජතුමනි, බුදුරදුන්ගේ මෙවැනි හාස්කම් දැකීමෙන් පසුවත් කෙනකු තුළ බුදුරදුන් කෙරෙහි පැහැදීමක් නොමැති නම් ඔහුගේ ප්‍රඥාවෙන් ඇති ප්‍රයෝජන කුමක්දැයි ඇසූහ. එයින් කරුණු තේරුම් ගත් පණ්ඩු රජු තෙරුවන් කෙරෙහි පැහැදුණි. රජුගේ මහසෙනෙවි පොකුණ වෙත ගොස් දළදා වහන්සේට නමස්කාර කළේය. එවිට දළදා වහන්සේ පියුමෙන් පියුමට වඩින්නට වූහ. එය පැළලුප් නුවර සිදුවුණ සයවන දළදා ප්‍රාතිහාර්යයි.

පසුකලක නැවතත් කළිඟු රට දන්තපුරයට වැඩම කළ දළදා වහන්සේට පුදපූජා පැවැත්වීම භාරවුණේ ගුහසීහ රජුගේ බෑණනුවන් වූ දන්ත කුමරුටය. ඔහු සරණ පාවා ගත්තේ රජුගේ දියණිය වූ හේමමාලා කුමරියයි. මේ අතර දළදා වහන්සේ පැහැර ගන්නට රජ කුමරෙක් දන්තපුරය ආක්‍රමණය කළේය. එවිට ගුහසීහ රජු දන්ත කුමරු අමතමින්, මගේ දිවි තිබෙන තුරු දළදාව සතුරන් අතට පත්නොකරමි. මහ සයුරෙන් එතෙර සිහළ දේශයේ වෙසෙන මිනිස්සු බුදුරදුන් කෙරෙහි සැදැහැති බෞද්ධයෝය. බොහෝ භික්ෂූහු එම දේශයෙහි වෙසෙති. එහි මහසෙන් රජු මගේ මිතුරෙකි. සිහළ දේශයේ මිනිසුන් ඔබගේ හෝ මාගේ නෑදෑයන් නොවුණත් දළදා වහන්සේ ආරක්ෂා කරනු ඇත. ඒ නිසා දළදා වහන්සේ රැකගැනීම සඳහා සිහළ දේශයට ගෙනගොස් දෙන්නැයි නියම කළ බව පාලි දාඨාවංශයේ සඳහන් වෙයි. හේමමාලාවගේ කෙස් රෝ‍යුන් අහසට නැගුණ දළදා වහන්සේ ප්‍රාතිහාර්ය දැක්වූ බවද දාඨාවංශය සඳහන් කරයි. එය දැකීමෙන් සතුටට පත් කිත්සිරිමෙවන් රජු සිහළදීපය බුදුරදුන්ට පුදන බව කියමින් රන්මිණියෙන් බැබළෙන රජ කිරුළ දළදා වහන්සේට පිදුවේය. බුදුරදුන්ට තිබුණේ ඕෂධී තාරකාව මෙන් බැබළෙන සිදු දත්ය. මේ දළදා වහන්සේගේ අවපැහැයක් තිබෙන්නේ කුමක් නිසාද? යි කිත්සිරිමෙවන් රජුගේ සිතේ ප්‍රශ්නයක් මතුවිය. එකෙණෙහිම දළදා වහන්සේ සුදු හංසයකු මෙන් රජ මිදුල මතින් ඉහළ නැගී සුදුරැස් විහිදුවන්නට වූහ. එයින් පැහැදුණු රජු සිහසුන මත සුදු ඇතිරිල්ලක් එලා ඒමත දළදා වහන්සේ තැන්පත් කොට සුදුමලින් වැසුවේය. එකෙණෙහිම මල් මතුපිටට වැඩ දළදා වහන්සේ ප්‍රාතිහාර්ය දක්වා ඇත. එය ඉතිහාසයේ සඳහන් වන්නේ ලකදිව දී සිදුවුණු දෙවන දළදා පෙළහර වශයෙනි. අනුරපුරයේ වසරක් පාසා දළදා දැක්මක් පැවැත්වූ චීන ජාතික දේශාටක පාහියන් නාහිමියන්ගේ වාර්තාවේ දැක්වේ.

දළදා වහන්සේ සිංහල ජාතියට උරුම වුණේ බුදුසසුන සුරකින ජාතියක් වශයෙන් සිංහලයන් කෙරෙහි ලෝවැසියන් තුළ විශ්වාසයක් පැවැති බැවිනි. ඔවුන් අදත් අපේ සිංහල දේශයට හා සිංහල ජාතියට ඉමහත් ආදරයක් හා ගෞරවයක් දක්වන්නේ ශ්‍රී ලංකාව බෞද්ධ රාජ්‍යයක් යන අදහසිනි. අතීතයේ සිටම දළදා වහන්සේ සමග සිංහල ජාතියත්, රාජ්‍යත්වයත් බැදී පවතියි. ඒ පිළිබඳ විස්තර ඉතිහාසයේ දක්නට ඇත. දළදා වහන්සේ මුල්කරගෙන ගොඩනැගුන සාහිත්‍යයක් සහ සංස්කෘතියක් අපට තිබේ.

අපේ රට ඉංග්‍රීසීන්ට යටත් වී අවුරුදු දහයකට පමණ පසු රටපුරා පැවැති නියඟය තුරන් කර වැසි ලබැගැනීමට සඳහා දළදා ප්‍රදර්ශනයක් පවත්වන ලෙස බෞද්ධයෝ ඉංග්‍රීසි පාලකයන්ගෙන් ඉල්ලා සිටියහ. එය ඔවුන්ගේ හාස්‍යයට හේතුවුණ බවට සැකයක් නැත. බෞද්ධයන්ගේ ඉල්ලීම මත 1829 මැයි මස 29 දළදා ප්‍රදර්ශනය පැවැත් වූ විට නියඟ නිමා කරමින් මහවැසි අද හැලුණු බව ලේඛනවල සඳහන් වෙයි. එම සිද්ධිය ප්‍රසිද්ධ වී තිබෙන්නේ දළදා වතුර නමිනි. දළදා පෙරහර සහ දළදා දැක්ම සිදුවන සෑම විටෙකම වැසි ඇදහැළීම අනිවර්යයෙන් සිදුවන බව මහනුවර වෙසෙන කවුරුත් අත්දුටු සත්‍යයකි. මෙවැනි හාස්කම් සිදුවන්නේ කෙසේද? යන්න සැබැවින්ම අප කාටත් කිව නොහැක.
ආධ්‍යාත්මික ශක්තියක් ඇති උතුමන් හා සුවිශේෂ නොයෙකුත් වස්තූන් මුල්කරගෙන හාස්කම්, ප්‍රාතිහාර්ය සිදුවන බව බුදුදහමේ සඳහන් වෙයි. සාමාන්‍ය ව්‍යවහාරයේදී හාස්කම් යැයි කියන එවැනි ප්‍රාතිහාර්ය හඳුන්වන්නට බුදුදහමේ යෙදෙන්නේ අච්චරිය අබ්භූත ධම්ම යන වචනයයි. ආශ්චර්ය අද්භූත ධර්මතා යනු එහි තේරුමයි. ඒ ගැන මහා පරිනිබ්බාණ සූත්‍රයෙන් දැනගත හැක. යමාමහ පෙළහර, ජටිල දමන, බුද්ධත්වය, පරිනිර්වාණය වැනි බුද්ධ චරිතයට සම්බන්ධ අවස්ථාවන්හිදී සිදුවුණු ප්‍රාතිහාර්යන් ගැන බෞද්ධයෝ දනිති. සිත දියුණුකළ කෙනකුට හාස්කම් සහ සෘද්ධි ප්‍රාතිහාර්ය සිදුකළ හැකිය. පුද්ගලයන් දමනය කිරීමේ හා සත්‍යය වෙත යොමුකරවීමේ අරමුණින් බුදුරදුන් සෘද්ධි ප්‍රාතිහාර්ය දක්වා ඇත. එහෙත් උන්වහන්සේ අග කළේ දේශනා ප්‍රාතිහාර්යයි. හෙවත් ධර්ම දේශනා කිරීමයි. යම් සිද්ධියක් නිසා හාස්කම් ඉබේ සිදුවන්නට පුළුවන. මහපොළොව කම්පාවීම පවා සිදුවිය හැක. සාමාන්‍ය බුද්ධියෙන් හෝ විද්‍යාගාර තුළ සිදුකෙරෙන පර්යේෂණවලින් හාස්කම්වල ස්වරූපය හඳුනාගත නොහැක. බුදුදහම කියන පරිදි සෘද්ධි විෂය අචින්ත්‍ය වූවක් හෙයිනි. සාමාන්‍ය බුද්ධියෙන් සිතා තේරුම් ගත නොහැකි දෙයක් බැවිනි. ලොව සියල්ල සිදුවන්නේ හේතුඵලවාදයට අනුවය. හේතුවකින් තොරව යමක් සිදුනොවන බව බුදුදහම පවසයි. හේතුවක් හා පසුබිමක් නැතිව යමක් සිදුවන්නේ නැහැයි නවීන විද්‍යාව ද පිළිගනියි. “nothing happens without a cause,and nothing happens unless it can happen” දළදා වැස්ස වැනි හාස්කම්වලටද හේතුවක් තිබිය යුතුය. අපට ගැටලු මතුවන්නේ ත්, පිළිගැනීමට මැලි වන්නේත් ඒවා පිළිබඳව යාථාර්ථය වටහා ගන්නට නොහැකි නිසයි.

මැදගම ධම්මානන්ද හිමි
මහනුවර අස්ගිරි මහා විහාරවාසී
(ලක්බිම_09/03/17)

පසු වදන_
බුදු දහම ද බුද්ධ දර්ශනය ද තමන් අතැඹුලක් සේ දත්හයි සිතා සිටින මිත්‍යාදෘෂ්ටික පිරිසක් දළඳාව අපහාසයට උපහාසයට ලක් කර නේක වල්පල් ලියා තිබිණි. එමගින් උප්පැන්නයෙන් පමණක් සිංහල බෞද්ධ වන මේ පිරිස සිය අඳබාල ඉගනුමෙහි සීමා මැනවින් ප්‍රදර්ශනය කර තිබිණි. මොවුහු ආගම දර්ශනය පිළිබඳ අනවබෝධයේ පතුලේ ගිලී සිටිති. හැමදේම බටහිර විද්‍යාවට සාපේක්ෂව මැනීමේ නරක පුරුද්ද මෙකි වල්මත් වීම පසුපස ඇති සාධකයයි. මේ විද්‍යාව අද සත්‍යයයි සපථ කර කියන දේ හෙට බොරුයයි සනාථ කරන්නක් බව මේ දිළින්දන් අවබෝධ කරගන්නේ කවදා ද?

4 comments:

෴ .:GiniMakara:.෴ said...

පහදාදීම ප්‍රශංසනීයයි.කිසිදු විමසා බැලීමකින් තොරව විවේචනය කිරීමෙන් තමාගේ මෝඩකම් ප්‍රදර්ශනය කරන සැමට හොඳ පිළිතුරකි

Dasun Sameera - දසුන් සමීර said...

ප්‍රතිචාරවශයෙන් ලියන්නට යමක් ඉතුරු කර නැත. මැදගම ධම්මානන්ද හිමි යන්ටද දැනුවත් කළ ඔබටද බොහෝම පිං.

viyanasl said...

@Dasun Sameera
සහතික ඇත්ත.

මැදගම ධම්මානන්ද හිමි යන්ටද දැනුවත් කළ නාමල් ඔබටද අනේක වාරයක් පින්.

wipul dammika said...

දලදා ප්‍රදර්ශනයක් ගල්ගමුවෙ තියන්න බැරිද? මෙහට වැස්ස අඩුයි ආයිබෝං.

 
සිය රට දේ සිරි සැප දේ !