පෙරවදන_මේ රටේ සාමාන්‍ය ජනතාව අන්තවාදී හෝ ජාතිවාදී නැත. ඔවුහු සියලුදෙනා එකට තකරගම දෙවියන් වන්දනා කරති. සියලු දේවලවල පෙරහැර දළඳා පෙරහරට එක්වෙයි. වැදි ජනතාව දළඳාවට මී පැණි පූජාකරති. සිරිපා වඳිති. නේක විෂබීජ ඔවුන්ගේ සිත්වලට එන්නත් කරන්නේ බලලෝභී පාලකයෝ ය. විශේෂයෙන් බක පණ්ඩිතයෝ ප්‍රශ්නයට අදාළ නොවන ෆෙඩරල් විසඳුම් ගැන දිවා රෑ නන්දොඩවති. එහෙත් රටේ ඇත්තේ සම්පත් නිසි ලෙස බෙදී නොයෑමේ ගැටළුවයි. අපේ සම්පත්වලින් නිසි ප්‍රයෝජන ගැනීමට විධිමත් යාන්ත්‍රණයක් බිහි නොකිරීමේ ගැටළුවයි.
පෙරකල දිසාපති නම් නිලධාරියා කල කටයුත්ත කිරීමට දැන් පලාත් සභා ද ඇත. ඉන් සිදුව ඇත්තේ සැබෑ ප්‍රශ්නය විසඳීමට ඇති ධනය ශ්‍රමය අපතේ යාම පමණකි. රටේ සංවර්ධනයට යෙදවිය යුතු මහජන මුදලින් විශාල කොටසක් මේ සුදු අලියා නඩත්තු කිරීමට වාර්ෂිකව වැය කිරීමට සිදුවී තිබේ. එහෙත් ජාතික දේශපාලනයේ යෙදෙන මැති ඇමතිවරුන්ගේ හත්මුතු පරම්පරාවට ම රැකියා ලබාදීමේ කාර්ය නම් එය මැනවින් ඉටුකරයි. මේ රැකියා බැංකුව ද වහා අහෝසි කර ඒ ධනය ද මහජනතාවගේ සැබෑ ප්‍රශ්න විසඳීමට යෙදවීමේ අවශ්‍යතාව අද වෙනදාටත් වඩා දැනෙයි. දැන් අපි දිවයිනේ පළවූ වටිනා ලිපියක් කියවමු.
උතුර නැගෙනහිර සඳහා දේශපාලන විසඳුමක් අවශ්‍ය බවට දශක දෙකක පමණ සිට තොර තෝංචියක් නැතිව අසන්නට ලැබෙන ප්‍රකාශය තව දුරටත් අවශ්‍යද? පොදු උතුර නැගෙනහිර ජනතාවට අවශ්‍ය සුදුසු විසඳුමෙන් 99% ක්ම රජය ප්‍රමුඛ ආරකෂක අංශ විසින් දැනටමත් ලබා දී ඇත. ත්‍රස්තවාදය මුලිනුපුටා දැමීමෙන් හා ඒ ප්‍රතිඵලය ආරකෂා කර ගැනීම සඳහා යොදා ගන්නා ක්‍රම වේදයන් ස්ථාවර ලෙස ප්‍රතිෂ්ඨාපනය කිරීමෙන් පසු විසඳුම සම්පුර්ණ වේ. එම කරුණ අපට මේ ආකාරයෙන් විශ්ලේෂණය කර ගත හැක. යුද්ධය මගින් ත්‍රස්තවාදය මුලිනුපුටා දැමීමෙන් පසු උතුරු නැගෙනහිර ප්‍රදේශවල ජනතාවට අර්ථවත්ව නිදහසේ ජීවත් විය හැකි සංහිඳියාව උදාවේ. ඒ අනුව දේශපාලන විසඳුමේ පළමු අදියර සම්පුර්ණ වේ. ඊළඟට දේශපාලන විසඳුමේ දෙවන අදියරෙහි මුලික කරුණක් වන්නේ සාකෂාත් කර ගන්නා ලද සංහිඳියාව ස්ථාවරව පවත්වා ගැනීමයි. එය ජාතික ආරකෂක අංශ සතු කාර්යභාරයක් වේ. එබැවින් ඒ පිළිබඳ කිසිසේත් සැක සාංකාවක් තබා ගැනීම අවශ්‍ය නැත. ඊළඟට වැදගත් වන කරුණ වන්නේ මෙම සංහිඳියාව පවත්වා ගැනීම සඳහා නිර්මාණය කළ යුතු දේශපාලනමය රාමුවක් අවශ්‍ය වේ නම් එය කුමක් විය යුතුද යන්නයි. විසඳුම් කුමක් වුවත් ඒ විසඳුම කා සඳහාද යන්න ප්‍රථමයෙන්ම විසඳා ගත යුතු ප්‍රශ්නය වේ.
නිසැකවම එය උතුරු නැගෙනහිර පොදු ජනතාව සඳහාම විය යුතුය. එසේ නොමැතිව එම විසඳුම් කිසිසේත් දේශපාලන න්‍යායයන් රජ කරවන්නට උත්සාහ කරන්නන්ගේවත් ජාතිවාදය හිසින් ගත්තවුන්ගේවත් දේශපාලනයේ මුදුන් අතුවලට යන්නට උත්සාහ දරන්නවුන්ගේටත් අන්තර් ජාතික බලවේගයන්ගේ නියෝජිතයන්ගේවත් මන දොල සපුරන්නක් නොවිය යුතුමය. එබැවින් මෙහිදී පොදු ජනතාව යන්න පවා මැනවින් සුදුසු ලෙස නිර්වචනය වී සැබෑ පොදු ජනතාව පැහැදිලිව හඳුනා ගත යුතු වේ. එසේ විය යුත්තේ ඇයි? පොදු ජනතාව යන්න වැරදි ලෙස නිර්වචනය වුවොත් සිදු වන්නේ සැබෑ පොදු ජනතාවට අසාධාරණයක් සිදු වීමය. උදාහරණයක් ලෙස යම් දේශපාලන න්‍යායයක් දරන්නන් හා ඔවුන්ගේ හෙංචයියලා හෝ දේශපාලනයේ මුදුන් අතුවලට යන්නට උත්සාහ දරන්නන් හා ඔවුන්ගේ සුළුතර හෙංචයියලා පොදු ජනතාව ලෙසින් හඳුනා ගතහොත් හෝ යම් ජාති වාදී පිරිසක් හා ඔවුනගේ හෙංචයියන් පොදු ජනතාව ලෙස හඳුනා ගතහොත් විසඳුම් දේශපාලන රාමුව සෑදෙන්නේ ඔවුනගේ පටු අභිමතාර්ථයන් ඉෂ්ට සිද්ධ වන ආකාරයට මිස සැබෑ පොදු ජනතාවගේ යහපත හා අභිමතය අනුව නොවේ.
පොළොවේ පය ගසා සිටින බහුතරයක් වන ජනතාව අප පොදු ජනතාව ලෙස හඳුනාගෙන සිටිමු. ශ්‍රී ලාංකික පොදු ජනතාව සතු පොදු ලකෂණයක් නම් ඔවුන් බොහෝ දුරට ජාතිවාදී හැඟීම් වලින් වියුක්ත වීමයි. ජීවත් වන කෙටි කාලය තුළදී තම ජීවිත අභිමතාර්ථයන් ඉටු කර ගනිමින් දේශයේ අභිවෘද්ධියට තම ශක්ති ප්‍රමාණයෙන් උර දෙමින් සංහිඳියාවෙන් යුතුව යහපත් ජීවිත ගත කිරීම ඔවුනගේ පරම අභිලාශය වේ. විසඳුමක් ගැන තොරතෝංචියක් නැතිව කතා කරන අති පණ්ඩිතයන් පුන පුනා දක්වන බලය බෙදීම හෝ පෙඩරල් ක්‍රමය වැනි අහස පොළොව ගැටලන පණ්ඩිතමානී ප්‍රශ්න පොදු ජනතාව අතර නැත. පොදු ජනතාවට ඔය කියන ආකාරයේ දේවල් අවශ්‍ය නැත. නිසැකවම පොදු ජනතාවට එවැනි විසඳුම්වලින් සිදුවන යහපතක්ද නැත. ගොවිතැනට අවශ්‍ය ජලය, පොහොර, ඉඩම් හා සුලු කර්මාන්ත සඳහා අමුද්‍රව්‍ය, යන්ත්‍රෝපකරණ යන ප්‍රශ්නද ඒ දෙඅංශයම සඳහා අදාළ වු මුල්‍ය හා වෙළෙඳ පොළ පිළිබඳ ප්‍රශ්නද රුකියාවල නියුක්තවුවන්ට නම් සේවා ස්ථාන හා වැටුප් පිළිබඳ ප්‍රශ්නද ඒ සියල්ලන්ටම පොදුවේ සෞඛ්‍ය, අධ්‍යාපන, නිවාස ආදී ප්‍රශ්නද විශේෂයෙන් භාෂාව පිළිබඳ ප්‍රශ්නයද උතුරු නැගෙනහිර පොදු ජනතාවගේ සැබෑ ප්‍රශ්න වේ. පොදු ජනතාවට සැබැවින්ම අවශ්‍ය වන්නේ ඉහත දැක්වු කරුණු සම්බන්ධව ඇතිවන අඩු වැඩිකම් ගැටලු හා ප්‍රශ්න පිළිබඳ රජය සමග කාර්යකෂමව ගනුදෙනු කළ හැකි සරල දේශපාලන ක්‍රමවේදයකි. බලය බෙදුවාට හෝ පෙඩරල් ක්‍රමය ගෙන ආ පමණින් මෙම ප්‍රශ්න විසඳෙන්නේ නැත. අනිත් අතට එම විසඳුම් යෝජනා දුර දක්නා නුවණින් යුතුව ගෙන ආ යෝජනා නොවේ. මෙම යෝජනා සියල්ල නැවත වරක් අප දේශය අනිවාර්යයෙන්ම අති මහත් වු ව්‍යසනයකට ගෙන යන සාධකයන් වේ.
කුඩා දිවයිනක් වන ශ්‍රී ලංකාවේ පොදු ජනතාව අතර ජාති හා ආගම් වශයෙන් ඇති අනන්‍යතා ලකෂණ පදනම් කර ගනිමින් දේශපාලන විසඳුම් නොගෙන ආ යුතු බව තරයේ සඳහන් කළ යුතුවේ. දශක දෙකක සිට ඔහේ කියන්නන් වාලේ කියන්නා වු ජන වාර්ගික ප්‍රශ්නයක්ද පොදු ජනතාව තුළ නැත. එසේ නම් දේශය සතු සමස්ත ස්වාභාවික සම්පත් සම්භාරය හඳුනාගෙන ඒවා නිසි කළමනාකරණයට බඳුන් කර දේශයේ ජනතාවගේ යහපත සඳහා ක්‍රමවත්ව යොදා ගැනීම මෙහිදී අවධානයට ලක් විය යුතු වේ. එය සාකෂාත් කර ගැනීම සඳහා සුදුසුම ක්‍රම වේදය ලෙස අප දකින්නේ ජනහිතකාමී පියවරයන් ප්‍රමාදයකින් තොරව ගත හැකි විධායකයක් හා එක්ව කටයුතු කළ හැකි කාර්යකෂමවුද ශක්තිමත්වුද පාර්ලිමේන්තුවක් ස්ථාපනය කිරීමයි. වෙනත් ව්‍යවස්ථානුකුල ආයතන හෝ ධුරයන් පාර්ලිමේන්තුව විසින් අභිබවා යා යුතු යැයි එයින් අදහස් නොවේ. එසේම යම් දේශපාලන පකෂයක් පාර්ලිමේන්තුව තුළ බහුතර ආසන ප්‍රමාණයක් දිනා ගත යුතු යැයිද එයින් අදහස් නොවේ. පාර්ලිමේන්තුවට ගෙන එනු ලබන ජනහිතකාමී පනත් ප්‍රමාදයකින් තොරව සම්මත භාවය ලැබ එයින් උත්පාදනය වු ජනහිතකාමී නීති රීති හෝ කාර්යභාරයන් වහ වහා ජනතාව අතරට ගොස් අඩු ලුහුඬුවකින් තොරව ක්‍රියාත්මක විය යුතුය යන්න ශක්තිමත් හා කාර්යකෂම පාර්ලිමේන්තුවක් ස්ථාපනය කිරීම යන්නෙන් ගම්‍ය වේ.
දේවප්‍රිය අමරසිංහ
(දිවයින_09/03/26)
Thursday, March 26, 2009
Subscribe to:
Post Comments (Atom)
No comments:
Post a Comment