Tuesday, July 28, 2015

ලිබියාවට දිනා දුන් යහ පාලනය

ඩේවිඩ් කැමරන්ලාගේ දේශපාලන ක්‍රියාමාර්ග මොන තරම් විශිෂ්ට ද කියලා පසු ගිය අවුරුද්දක දෙකක ඉතිහාසය අමතක නොකර David Cameron orders plans for military intervention in Libya to take the fight to 'death cult' ISIS  ලිපිය කියෙව්වා නම් අවබෝධ කර ගන්න අමාරු නෑ.

ලිබියාව කියන්නේ ගඩාෆිගේ කාලයේ අප්‍රිකාවේ තිබුණු ධනවත් ම රාජ්‍යය. එකල ලිබියාව හැඳින්වූයේ අප්‍රිකාවේ ස්ව්ට්සර්ලන්තය නමින්. ඇත්තට ම ගඩාෆි තමන්ගේ ජනතාවට ලබා දුන් පහසුකම් ධනවත් යුරෝපා රටවල් පවා තම ජනතාවට ලබා දී තිබේ ද යන්න සැබවින් ම ප්‍රශ්නයක්.

බටහිරට සිතු සේ ලිබියාවේ තෙල් සම්පත කොල්ල කෑම සඳහා පැවති ලොකුම බාධකය ගඩාෆි. ඉතින් එහෙව් ගඩාෆි ඒකාධිපතියා කියලා ඒ රටේ ජනතාව අන්දනවා.

ඉතින් ගඩාෆිගෙන් ලිබියාව බේර ගන්න ලිබියා ජනතාව ගැන උතුරා යන සෙනෙහසින් ජිහාඩ් කල්ලිවලට සියලු අවි ආයුධ සහ ආධාර ලබා දෙන්නේ බටහිර. ගඩාෆි අයින් කළා. අද ලිබියාව කියන්නේ අමු සොහොනක්.

එදා ජිහාඩ් කල්ලිවලට බටහිර ලබා දුන් අවි ආයුධ සහ පහසුකම්වලින් උපන් ISISගෙන් ලිබියාව බේර ගන්න දැන් බටහිර නව සටනක් සුදානම්. එදා ගඩාෆි ඒකාධිපතියා කීවා. අද ISIS කියන්නේ ලෝකය හමුවේ ඇති විශාලතම තර්ජනයක්ලු.

බටහිර යම පාලන ඇම ගිල්ල ලිබියානුවන්ට තව කල්පයකට ඉන් ගොඩ ඒමක් නම් නැත. ඔවුන් තමන්ගේ රට දිව්‍ය විමානයක් කළ නායකයා පමණක් නොව ඒ සියලු සම්පත් සමඟ සිය රටේ අනාගතය ද අහිමි කර ගෙන අවසන් ය.

බටහිර ප්‍රජාතන්ත්‍රවාදය, මානව අයිතිවාසිකම්, මාධ්‍ය නිදහස, යහ පාලනය ආදි සියල්ල තමන්ට අවනත නොවන රටවල් ශිෂ්ටාචාර පිටින් මිහිපිටින් අතුගා දමන පරමාණු බෝම්බ පමණි.

මේ යහ පාලන පරමාණු බෝම්බ එදා ඇමරිකාව ජපානය මතට හෙළු පරමාණු බෝම්බවලටව වඩා භයානක ය. ඒ මේ යහ පාලන පරමාණු බෝම්බ පිපිරීමෙන් විනාශයට පත් වන, ඊට ගොදුරු වන රටවල ජනතාව විසින් සතුරා ලබා දෙන බෝම්බ දෝතින් ම බදා ගෙන තමන් විසින් ම පුපුරුවා ගැනීම ය.

Sunday, July 26, 2015

1815 වැටුණු වලට 2015 පනිමු ද?


එදා යහ පාලනය

අප රට 1505 හෝ 1506 පෘතුගීසි ආක්‍රමණයට ගොදුරු වූ අතර අනතුරුව පිළිවෙළින් 1656 ලන්දේසී ද 1796 ඉංග්‍රීසි ද කඩා වැදුණහ. එවකට යුද නාවික බලය අතින් ලොව සිටි බලසම්පන්නම ජාතීන් වූ මොවුන් ලතින් ඇමරිකාව, අප්‍රිකාව සහ ආසියාව ආශ්‍රිතව යටත් විජිත ගොඩනඟා ගෙන මහා අධිරාජ්‍ය බිහි කර තිබිණි. අසල්වැසි මහ භාරතය ඔවුන්ගේ යටත් විජිතයක් බවට පත් ව තිබිණි. 

එහෙත් මේ කිසිඳු ජාතියකට අප රට මුළුමනින් ම සිය යුද මිලිටරි බලයෙන් යටත් කර ගත නො හැකි විය. 1505 හෝ 1506 සිට 1815 තෙක් ම සියවස් තුනකට අධික කාලයක් ඔවුන් අපගේ රාජධානිය යටත් කර ගත නොහැකි වූ අතර එල්ල කළ සියලු ප්‍රහාර සතුරාට බරපතළ හානි සිදු කර මැඩ පැවැත්වීමට අපේ මුතුන් මිත්තෝ සමත්වූහ. ඉංග්‍රීසින් අප රාජධානිය යටත් කර ගෙන මුළු දිවයින ම බ්‍රිතාන්‍ය කිරීටය යටතට පත් කිරීමට අනවරත වෙහෙසක් දැරුව ද එය ඔවුන්ට සිහිනයක් ම පමණක් විය. මහනුවර රාජධානිය ඉලක්ක කර ඔවුන් එල්ල කළ අවසාන ප්‍රහාරය ද 1810 අසාර්ථක විය.

යුද බලයෙන් කිසිදා අපේ රාජධානිය යටත් කර ගත නොහැක යන තිත්ත ඇත්ත අනතුරුව ඉංග්‍රීසිහු වටහා ගත්හ. එයින් පසු පැමිණියේ සීතල යුධ සමයයි. අපේ රට යටත් කර ගැනීම සඳහා යුදමය නොවන නව උපක්‍රම සොයා බලන, තෝරන සමයයි. ඒ සඳහා ජෝන් ඩොයිලි සහ ඔහුගේ ඔත්තුකරුවන් යොදා ගැනිනි. වෙළඳාම පිණිස මෙහි පැමිණි කණ්ඩායම් විවිධ වරප්‍රසාද ලබා දෙමින් මේ කාර්යය සඳහා භාවිත කෙරිණි. විශේෂයෙන් ජේ. ආර්. ජයවර්ධනගේ මුත්තා වන එහෙයින් ම රනිල් වික්‍රමසිංහගේ මී මුත්තා ද වන තම්බි මුහන්දිරම් නමැති ඉන්දිය ජා ජාතිකයා මේ ඔත්තුකරුවන් අතර ප්‍රමුඛ විය. ඉංග්‍රීසින් පැමිණීමට ප්‍රථම අපේ රටට එරෙහිව ලන්දේසීන්ගේ පැත්ත ගෙන කටයුතු කර නොයෙක් වරදාන ලබා සිටි තම්බි මුහන්දිරම් අනතුරුව ඉංග්‍රීසින්ගේ අතිශය විශ්වාසනීය දේශීය ඔත්තුකරුවා විය. අපේ රාජධානිය පිළිබඳ ඔහු දත් සියලු තොරතුරු නො පැකිලිව ඉංග්‍රීසින්ට ලබා දුන්නේ ය. 

යුරෝපා යුද බලය හමුවේ නොසැලුණු ශක්තිමත් උඩරට රාජ්‍ය දුර්වල කිරීමේ ආරම්භය ලෙස රාජධානිය වටා බැඳි මහා පවුරක් සේ පැවති භික්ෂු-ගිහි සම්බන්ධය, භික්ෂූවට රටේ හිමිව තිබූ බලය විනාශ කිරීමට ඉංග්‍රීසින් උගුල් ඇට වූ අතර ප්‍රභූන් සහ රජු අතර පැවති ඇතැම් ප්‍රශ්න, බල අරගල දක්වා උත්සන්න කිරීමටත් ඒ අරගල පදනම් කර ගෙන ජනතාව රජුගෙන් ඈත් කිරීමට සැලසුම් සකස් කෙරිණි. 

විශේෂයෙන් 1810 ඉංග්‍රීසින්ගේ උඩරට ආක්‍රමණය පරාජය කළ ශ්‍රී වික්‍රම රාජසිංහ රජු සහ ජනතාව අතර පරතරයක් නිර්මාණය කිරීමට රජු අසිංහලයෙකු බවත් රජු අත්තනෝමතික ලෙස ජනතාව පීඩනයට ලක් කරන කෘර පාලකයෙකු බවත් සමාජගත කරනට කටයුතු යෙදිණි. ඊට එරෙහිව යහ පාලනය දිනා ගැනීමට ප්‍රභවරුන් මෙන් ම ඔවුන් හරහා ජනතාව ද දිරිගැන්විණි. මේ සියලු කුමන්ත්‍රණ පිටුපස සිටියේ පන්සලට ගොස් බුලත් විට හපමින් භික්ෂූන් වහන්සේලාගෙන් ම සිංහල භාෂාව උගත් ජෝන් ඩොයිලි සහ තම්බි මුහන්දිරම් ය.  

ඉංග්‍රීසීහු ඩොයිලි මාර්ගයෙන් ප්‍රභූන් සමඟ වෙන ම සබඳතා ගොඩනඟා ගෙන ඔවුන්ගේ සිත් තුළ රජ වීමේ සිහින පැල කළ අතර ඒ සඳහා තමන් උදව් කරන බවට රහසේ ඉඟි කළහ. මේ අතර ඉංග්‍රීසි නියෝජිත පිරිස් රජු බැහැ දකින අවස්ථාවල රජුට විශේෂ මත්පැන් වර්ග විශාල වශයෙන් තුටු පඬුරු ලෙස ලබා දීමට වගබලා ගත්හ. නොබෝ කලකින් ම සතුරා අපේක්ෂා කළ ලෙස ම ප්‍රධාන නිලමේවරු එලිපිට ම රජුට එරෙහිව කටයුතු කළ අතර ඒ කටයුතුවලට ඉංග්‍රීසිහු අනුබල දුන්හ. නිලමේවරුන්ගේ ද්‍රෝහි ක්‍රියා නිසා ආතතියට පත් රජුගේ සුහද මිතුරා බවට ඉංග්‍රීසීන්ගේ මත්පැන් නිරායාසයෙන් ම පත්විය. 

සිය මැති ඇමතිවරුන්ගේ නොපනත්කම් සහ මත්පැන් නිසා රජු වඩාත් රෞද්‍ර ස්වරූපයක් ගන්නා අතර තමන්ට එරෙහි වූ ඇහැලේපොළගේ බිරිඳ සහ දරුවන් මරා දැමීම එහි කඩ ඉම සනිටුහන් කළේ ය. රාජද්‍රෝහීන්ට සිංහල රාජ නීතිය අනුව ලබා දෙන දඬුවම එය වුව ද ඇහැලේපොළ පවුලට ලබා දුන් දඬුවම නීතිය ක්‍රියාත්මක කිරීමක් නොව බේබදු අධර්මිෂ්ට රජුගේ හුදු පලිගැනීමක් බව සූක්ෂම ලෙස සමාජගත කිරීමට ඉංග්‍රීසිහූ මෙන් ම ඔවුන්ගේ උගුලට හසුව රාජ සිහින දුටු ප්‍රභූහු ද ක්‍රියා කළහ. 

මෙහි ප්‍රතිඵලය ලෙස මෙතෙක් ඉංග්‍රීසින්ට සිංහලේ අල්ලා ගැනීමට තිබූ ලොකු ම බාධකය වූ රාජධානියේ ආරක්ෂකයා වූ ද තම අභිලාෂයන්ගේ පරම සතුරා වූ ද රාජසිංහ රජු, සිංහලේ ප්‍රභූන් ප්‍රමුඛ ජනතාව අතර දුෂ්ටයෙකු බවට පත් කිරීමට ඉංග්‍රීසින්ට හැකි වූ අතර නොබෝ කලකින් ම තම්බි මුහම්දිරම් ලා විසින් රජු ඉංග්‍රීසීන්ට අල්ලා දෙන ලදි.

ඇහැලේපොළ ඉංග්‍රීසින් ඇටූ වූ උගුලට හසුව රජුට එරෙහිව කටයුතු කළ ද ඔහුට රජකම ලබා නොලැබුණා පමණක් නොව සිය මාතෘභූමියේ ජීවත් වීමේ භාග්‍යය ද අහිමිව මුරුසි දිවයිනේ සිර අඩස්සියේ මියැදෙන්නට සිදු විය. ඔහු සිය දරු පවුල ද අහිමි කර ගනිමින් රටේ සතුරන් පෙන්වූ රාජ සිහින ඔස්සේ දිව ගිය ද අවසන එය මිරිඟුවක් බවට පත් විය. තමන් රජුට විරුද්ධ වන්නේ යැයි සිතා සිදු කර ඇත්තේ වසර දහස් ගණනක් සිය මුතුන් මිත්තන් දිවි හිමියෙන් ආරක්ෂා කළ අපගේ අභිමාණවත් රාජධානිය සතුරාට බන්දේසියක තබා පූජා කිරීම බව ඇහැලේපොළලාට අවබෝධ වන විට සියල්ල සිදු වී හමාර ය. 

එදා ඉංග්‍රීසින්ගේ සටන් පාඨයක් වූ රජුගේ කෘර පාලනයට එරෙහි යහ පාලනය මිරිඟුවට රැවටුණු අපට සියවස් එකහමාරක් පමණ ඉංග්‍රීසි යටත් විජිත වැසියන් වීමට සිදු විය. අප මුතුන් මිත්තන් ගොඩනඟා ගත් මහා ශිෂ්ටාචාරය අපට අහිමි කෙරිණි. අපේ ඉතිහාසය, සභ්‍යත්වය, හර පද්ධති, අධ්‍යාපන ක්‍රමය යහ පාලනය නම් මිරිඟුව පෙන්වා අපෙන් උදුරා ගැනිණි. බුදු දහම රකින බවට සඳහන් උඩරට ගිවිසුම මහා රැවටීමක් පමණක් වූ අතර බුදු දහම විනාශ කර දැමීමට ඉංග්‍රීසීහු ගත හැකි සෑම පියවරක් ම ගත්හ.

උඩරට ප්‍රභූන්ගේ මේ මහා පවාදීමට එරෙහිව නැඟුණු විමුක්ති අරගල 1818 මෙන් ම 1848 ද ලෙයින් යකඩින් මර්දනය කරන ලද්දේ රාජසිංහ රජු කළේ යැයි කී ඇතැම් අපරාධ මෙන් ම සිය දහස් ගුණයකින් දරුණු මහා විනාශයක් අපට සිදු කිරීම මගිනි. වෙල්ලස්ස නිදහස් අරගලය යහ පාලන වේශධාරී ඉංග්‍රීසින් විසින් මර්දනය කරන ලද්දේ අවුරුදු 16 වැඩි සියලු සිංහල තරුණයින් මරා දැමීමෙනි. කෙත්වතු, භවභෝග, නිවාස විනාශ කොට ගිනි තැබීමෙනි. දේශීය සටන් කලාව වූ අංගම්පොර සටන් කලාව සම්පූර්ණයෙන් තහනම් කළ අතර සටන් කලාව දත් සියලු දෙනාට දණින් පහළට වෙඩි තබා සදාකාලික ආබාධිතයින් කරවන ලදි.

අද යහ පාලනය

පසු ගිය කාලය පුරා ඇමරිකාව ප්‍රමුඛ බටහිර මෙන් ම ඉන්දියාව ද මේ රටේ පාලනයට ඇඟිලි ගැසීම සඳහා භාවිත කළේ බෙදුම්වාදී කොටි ත්‍රස්තවාදයයි. ඒ ඔස්සේ අපේ රටේ පාලනයට ඇඟිලි ගැසීමට මෙන් ම නැඟී එන ආසියානු කළාපය පාලනය කිරීමේ අවස්ථාව ද ඔවුන්ට හිමිව තිබිණි. සිය අභිලාෂ ඉටු කර ගැනීම සඳහා කොටි කල්ලිය පෝෂණය කර නඩත්තු කරන ලද්දේ මේ බලවත් රාජ්‍ය විසිනි. 

එහෙත් මේ රට කිසිදා මිලිටරි බලයෙන් යටත් කළ නොහැකි බව නැවත සනාථ කරමින් 2009 වසරේ දී එනම් ඉංග්‍රීසින් උඩරට රාජධානියට අවසන් ප්‍රහාරය එල්ල කොට වසර 199ට පසු නව අධිරාජ්‍යවාදී සෙවණේ වැඩුණු කොටි ත්‍රස්තවාදය සම්පූර්ණයෙන් පරාජය කිරීමට අපට හැකි විය. එහි දී චීනය, රුසියාව, පාකිස්ථානය වැනි මිතුරු රටවල් අපට ශක්තියක් විය. එකල ආණ්ඩුව දක්ෂ ලෙස විදෙස් බලපෑම් කළමනාකරණය කිරීම සහ කොටි ත්‍රස්තවාදීන්ගේ බිහිසුණු අපරාධ ඒ ජයග්‍රහණයට රුකුලක් විය. බලසම්පන්න ප්‍රංශ සහ බ්‍රිතාන්‍ය විදේශ ලේකම්වරුන් මහින්ද රාජපක්ෂ හමු වී ප්‍රභාකරන් බේරා ගැනීමට අවසාන මොහොත දක්වා සටන් කළ ද එය ව්‍යවර්ථ විය. එජාපය සහ ජවිපෙ අනේක බාධා කිරීම් කරමින්, ගල් පෙරළමින්, නින්දා අපහාස කරමින්, බටහිරට ගතු කියමින් කොටි ආරක්ෂා කර ගැනීම සඳහා කළ සියලු කුමන්ත්‍රණ ද මව්බිමේ වාසනාවට පරාජයට පත් විය. 

වසර 30ක් හිඟන්නාගේ තුවාලය කර ගත් ප්‍රභාකරන්ගේ පරාජය සමඟ ජාත්‍යන්තරයට මේ රටේ පාලනයට ඇඟිලි ගැසීමට ඇති හැකියාව අවම වූ අතර රටේ යටිතල පහසුකම් ප්‍රවර්ධනය පිණිස චීනය විශාල වශයෙන් ආධාර කළේ ය. රට ආර්ථික වශයෙන් ශක්තිමත් වෙමින් ඉදිරියට යාම ආරම්භ කළේ ය. මෙය සිය අභිලාෂයන්ට පටහැනිය. එහෙයින් 1810 පරාජයෙන් පසු උඩරට රාජධානිය විනාශ කිරීම සඳහා යොදා ගත් උපක්‍රමය නැවත ක්‍රියාවට නැඟිණි. 

බටහිර තානාපතිවරු ජෝන් ඩොයිලිගේ කාර්ය ඉටු කළ අතර සිවිල් සංවිධාන සහ ඊනියා උගත්තු බලලෝභී දේශපාලකයින් බටහිරට හිස නොනමා ප්‍රභාකරන් පරාජය කළ මහින්ද රාජපක්ෂ මත ඒකාධිපති, හොර ලේබල් අලවමින් තම්බි මහම්දිරම්ගේ කාර්ය ඉටු කළහ. රටේ ජනතාව බොරුවෙන් නිර්වින්දනය කර රටට යහ පාලනය, ප්‍රජාතන්ත්‍රවාදය අවශ්‍ය බව කීහ. ජනාධිපති සිහින දකින සරත් ෆොන්සේකා, චම්පික රණවක වැනි අය ඇහැලේ පොළ භූමිකාවට පණ පෙවූහ. එකල ඉංග්‍රීසි ආණ්ඩුවට එරෙහිව ඇති වන අරගල පිළිබඳ ව වහා ඔවුන් දැනුවත් කිරීමට පැවරුණු මල්වතු-අස්ගිරි උභය විහාර නායකයින්ගේ කාර්ය මාදුළුවාවේ සෝභිත සහ අතුරලියේ රතන හිමි නොපිරිහෙලා ඉටු කළ සේක. 1815 රෑ වැටුණු වලේ 2015 ජනවාරි 08 වෙනිදා අපි දවල් වැටුණෙමු. 

යහ පාලනය නම් බලගතු අවිය භාවිත කොට එදා ඉංග්‍රීසින්ට එළව එළවා පහර දුන් රාජසිංහ රජු මෙන් ම මෙදා ප්‍රභාකරන් පරාජය කළ මහින්ද රාජපක්ෂ ද පරාජය කිරීමට ඔවුහු සමත් වූහ. කෙසේ වුව ද එදා රාජසිංහ රජ දවස අපට උදා නොවූ ස්වර්ණමය අවස්ථාවක් මෙදා අපට උදා වී තිබේ. ඒ යහ පාලන විසින් සිහිමුර්ඡා කොට නිර්වින්දනය කොට තිබූ ජාතියට පියවි සිහිය ලැබෙන විට ම සිය වරද නිවැරදි කර ගැනීමට දෛවෝපගත ලෙස අවස්ථාවක් අප ඉදිරියේ නිර්මාණය වීම ය. ඒ අන් කිසිවක් නොව එළඹෙන මහා මැතිවරණයයි. 

අගෝස්තු 17 වෙනිදා, ජනවාරි 08 වෙනිදා සිදු වූ වරද නිවැරදි කළ යුතු ය. නැතහොත් 2015 අගෝස්තු 18 වෙනිදා හිරු උදාවනු ඇත්තේ 1815 මාර්තු 4 වෙනි දා උඩරට ගිවිසුම අත්සන් කළ තැනින් ඇරඹෙන අඳුරු යුගය ඉතිහාස පොතේ ලිවීමට ය. එහෙයින් ජනවාරි 08 ලිහා බැලූ මල්ල අගෝස්තු 17 නැවත ඔබා බැලිය යුතු ද? 1815 සතුරාගේ යහ පාලන මිරිඟුවට රැවටී රෑ වැටුණු වලේ 2015 ජනවාරි 08 දවල් වැටුණු අපි නැවත අගෝස්තු 17 ඒ වලට පැනිය යුතු ද? විදෙස් රටවලින් ගලන ඩොලර්වලින් මාධ්‍ය ආයතන මිලට ගෙන කරනු ලබන මෙගා පච ව්‍යාපාරවලින් නැවත දෑස් අඳ කර ගෙන අපේ උදාර මාතෘ භූමිය පාවා නොදෙමු. ඉතිහාසයෙන් උගනිමු! අපේ රටේ අනාගතය සුරක්ෂිත කරනු පිණිස නිවැරදි මොහොතේ නිවැරදි තීන්දුව ගනිමු!

Wednesday, July 15, 2015

Thank you සිරිසේන

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන එළඹෙන මහා මැතිවරණයේ දී මධ්‍යස්ථව සිටින බව මුලින් ම වාර්තා කළේ ඉන්දියාවේ The Hindu පුවත්පත ය. එය රනිල් වික්‍රමසිංහ කී බව පැවසුව ද ඉන්දියාවේ මෙන් ම ඇමරිකාව ප්‍රමුඛ බටහිර ද අපේක්ෂාව එයම බව පැහැදිලි ය. රනිල් වික්‍රමසිංහට මේ මැතිවරණය ජයගත හැක්කේ නොණ්ඩි අශ්වයෙකු තරඟ කළහොත් පමණක් බව ජනවාරි 08 වෙනස පිටුපස සිටි ඉන්දීය රෝ ඔත්තු සේවාවට අවබෝධ කර ගත නොහැකි වීමට හේතුවක් නොමැත. මහින්ද තනිව තරඟ කළහොත් සිදුවන්නේ ඔහු ජයග්‍රහණය කිරීම සහ සිරිසේන තුන් වැනි තැනට ඇද වැටීම පමණක් බව ද එය සිය ඉදිරි මෙහෙයුම්වලට අහිතකර විය හැකි බව ද ඔවුන් නොදන්නවා නොවේ. 

ඒ නිසා ඔවුන් කළේ සිරිසේන ලවා මහින්දට සන්ධානය තුළින් අපේක්ෂකත්වය ලබා දී අනතුරුව සිරිසේනගේ පක්ෂ නායක බලතල ද විධායක බලතල ද යොදා පක්ෂයේ ජයග්‍රහණය වැළැක්වීම සඳහා කටයුතු කිරීම ය. අනතුරුව සිරිසේන හිතවාදි මන්ත්‍රී පිරිසක් ද යොදා ගෙන රනිල් අගමැති කර ජාතික ආණ්ඩුව නමින් එජාප ආණ්ඩුවක් පිහිටුවා 2003 රනිල් වික්‍රමසිංහට නතර කිරීමට සිදු වූ තැනින් බෙදුම්වාදී ව්‍යාපෘතිය ආරම්භ කිරීම ඔවුන්ගේ අරමුණ විය.

මේ ව්‍යාපෘතිය මැතිවරණය අවසානය දක්වා ශ්‍රීලනිප ඡන්ද දායකයින්ට ද රනිල් ප්‍රමුඛ එජාප විරෝධි පිරිස්වලට ද රහසක් ලෙස තබා ගත යුතු වුව ද සිරිසේන ඊයේ කළ විශේෂ ප්‍රකාශයත් සමඟ සියල්ල අනාවරණය විය. එසේ නොකර ඔහු සන්ධාන වේදිකාවට ද නැඟ තම පක්ෂය ජයග්‍රහණය කළ විට සිය හිතවතුන් අතරින් පත් වන පිරිස ද රනිල් වික්‍රමසිංහට පූජා කර ඔහු අගමැති කර නැවත මහා පාවාදීමක් කිරීමට අවස්ථාව ලැබෙනු ඇත. එහෙත් පුදපු ගමන් කාපි යකා කියා මේ කුමන්ත්‍රණය ආරම්භයේ ම ඔවුන් බලාපොරාත්තු වූ පරිදි සන්ධාන සහ රනිල් ප්‍රමුඛ එජාප විරෝධි කණ්ඩායම් උකටලි වීම හෝ පරාජය භාර ගෙන කරළියෙන් බැස යාම සිදු නොවු අතර සිදු වූයේ ඔවුන් කිසිසේත් නොපැතූ දෙයකි.

සිරිසේනගේ ප්‍රකාශය සමඟ ශ්‍රීලනිපය තුළ ඔහුට කිසියම් බලයක් තිබිණි නම් එය ද ගිලිහී ගිය අතර ඔහු වෙනුවෙන් පෙනී සිටි පිරිස අන්ත අසරණ විය. පක්ෂය තුළ ඔහු වෙනුවෙන් පෙනී සිටි පිරිස පාවදීමකට ලක් විය. ඒ සමඟ විවිධ මතවාදී වෙනස්කම් නිසා දුරස් වී සිටි සන්ධාන නායකයින් සියලු වාද භේද අතැර නැවත එකතු විය. මෙය පසුගිය වසරේ සැප්තැම්බර් 21 කළ පාවදීමට සමාන මහා පාවදීමක් බව ඔහු විශ්වාස කළ අය ද අවබෝධ කර ගත් බව පැහැදිලි ය. එහෙයින් ඔවුහු සිය කඳවුර ආරක්ෂා කර ගැනීමට පෙළ ගැසුණහ. රනිල්ට තරඟ කොට දිනන්නට නොණ්ඩි අශ්වයෙකු තනන්නට ගොස් දැන් නිර්මාණය වී ඇත්තේ ජවාධික සෛන්ධවයෙකි.

අනෙක් අතට මහින්දට අගමැති අපේක්ෂකත්වය හෝ මැතිවරණ මෙහෙයුමේ නායකත්වය ලබා දීමට සිරිසේන අකමැති වුව ද මේ ප්‍රකාශය සමඟ රැස් වූ සන්ධාන නායකයින් මහින්ද සිය මැතිවරණ මෙහෙයුමේ නායකයා වශයෙන් පත් කර ගත්තේ ආරම්භයේ ම ඒ අවස්ථාව මහින්දට ලබා දීමට සිරිසේන ක්‍රියා කළේ නම් නොලැබෙන වටිනාමක් ඊට ලබා දෙමිණි. මේ නිසා සභාපති සිරිසේනට සන්ධානය තුළ හෝ ශ්‍රීලනිපය තුළ බලයක් නොමැති බව රටට ම අනාවරණය විය. මුල සිට ම ජනාධිපති බලතල ද සභාපති බලතල ද සහිත ජයග්‍රාහි සිරිසේන වටා  රොක් වනු වෙනුවට පාක්ෂිකයින් පරාජයට පත්ව මැදමුලනට ගිය මහින්ද වටා රොක් වීම නිසා සිරිසේන තුළ සිය පාක්ෂිකයින් පිළිබඳ නොපහන් හැඟීමක් ද තමන් පිළිබඳ හීනමානයක් ද ඇති වීම වැළැක්විය නො හැකි ය. 

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රමුඛ සන්ධානය පසු ගිය කාලය තුළ පියවරු දෙදෙනෙකු අතර දෝලනය විය. ඒ නීත්‍යානුකූල පියා සහ ජානමය පියා අතර ය. එහි සැබෑ පීතෘත්වය මහින්දට හිමි අතර පක්ෂ ව්‍යවස්ථාවේ හිලකින් රිංගා සිරිසේන ඒ දරුවා තමාගේ නමට ලියා ගෙන තිබේ. හුණුවටයේ කතාවේ සැබෑ මව සහ ව්‍යාජ මව අතර සිදු වූ අරගලයේ දී මෙන් ම සිරිසේන ජනාධිපති බලය භාවිත කර පක්ෂය කැඩීමට උත්සාහ කරන විට මහින්ද එය අතහැරියේ ය. පසුව කෙටි කලකින් මහින්ද වටා ගොඩනැඟුණු ජන බලය පක්ෂය කඩා වෙනම ඉල්ලීමට ඕනෑ කරම් අවස්ථාව තිබුණ ද ඔහු එසේ නො කළේ ය. සිරිසේන සිය පක්ෂයට ද පක්ෂයේ අපේක්ෂකයාට ද එරෙහි වුව ද මහින්ද කිසිදා පක්ෂයට ද්‍රෝහි නොවිණි. මේ සියලු කරුණු කාරණාවලින් සිය පක්ෂයේ සැබෑ පීතෘවරයා මහින්ද බව සනාථ විය.

ජයග්‍රහණයට පියවරු සියයක් සිටිය ද පරාජය අවජාතක යැයි කියමනක් තිබුණ ද ජනතාව පරාජිතයා වටේ රොක් වූයේ ජයග්‍රහණය අවජාතක කරමිනි. සැබවින් ම ජනවාරි 8 රට ලැබුවේ ජයග්‍රහණයක් නොව පරාජයකි. ජනතාව මහින්ද වටා රොක් වන්නේ නැවත අවස්ථාවක් ලද වහා ඒ පරාජය නැවත ආපිට පෙරළන්නට ය. එහි දී රට ටික කලකට වුව පරාජයට පත් කරමින් ජයග්‍රහණය කළ විදෙස් බලවේගවල ඉත්තන් වන   රාජිත-පාඨලි-රණතුංග එජාපයට රිංගා ගැනීම ද සිරිසේන වේදිකාවෙන් බැස යාම ද රට ලද ජයග්‍රහණ වෙයි. 2005 එවකට ජනාධිපතිනිය සහ පක්ෂ නායිකාව වූ චන්ද්‍රිකා කුමාරතුංග ද සිය පක්ෂය පරාජය කිරීම සඳහා මහින්ද මතට ගල් පෙරළමින් දෙව්දත් චරිතය රඟමින් සටන ජයග්‍රහණයෙන් අවසන් කිරීමට අපට ශක්තිය ලබා දුන්නා ය. අද සිරිසේන ද එදා චන්ද්‍රිකාගේ චරිතයට පණ පොවමින් සිටියි. ප්‍රතිඵලය සක් සුදක් සේ පැහැදිලි ය.

කෙසේ වුව ද ඉදිරි මහ මැතිවරණය මේ රටේ අනාගතයේ ඒකීය සුරක්ෂිත රටක් ලෙස පවතින්නේ ද නො එසේ නම් රට මැදින් මායිම් ගම්මාන පෙළක් සහිත සදාකාලික ගැටුම්වලින් ආතුර රටවල් දෙකක් වන්නේ ද යන්න තීරණය කරන අවස්ථාව වෙයි. සුමන්තිරන් පවසා ඇති පරිදි උතරු නැඟෙනහිර ඒකාබද්ධ කර ඒකීය රට තුළ නොවන විසඳුමක් ලබා දීමට එනම් රට ෆෙඩරල් කොට ඊළමට පාර කැපීමට සිරිසේන මෙන් ම රනිල් ද එකඟ වී තිබේ. ඊට ඔවුන්ගේ ස්වාමියා වන නරේන්ද්‍ර මෝඩිගේ ආශිර්වාදය ද ලැබී ඇත. මේ අනුව අපේ මාතෘ භූමිය ඉදිරියේ ඇති අවධානම සුළු පටු නැති බව අවබෝධ කර ගත යුතු ය. එහෙයින් ජනතාව ඉතා ම සිහි බුද්ධියෙන් සිය ඡන්දය ලකුණු කළ යුතු ය. ඉන්දියාවේ නරේන්ද්‍ර මෝඩි සහ එංගලන්තයේ ඩේවිඩ් කැමරන්ගේ මැතිවරණ ව්‍යාපාර ජයග්‍රාහි ලෙස අවසන් කළ දැවැන්ත ප්‍රචාරණ සමාගම් දෙක ම මේ වන විට රනිල් ජයග්‍රහණය කරවනු පිණිස ක්‍රියාන්විතය අරඹා අවසන් ය. මේ සමාගම් පැමිණෙන්නේ තට්ටයින්ට පනා විකිණීමට හෝ ඇස්කිමෝවරුන්ට ශීතකරණ විකිණීමට නොව වසර 2500ක් අපේ මුතුන් මිත්තන් දිවි හිමියෙන් ආරක්ෂා කර අපට උරුම කරදුන් මාතෘ භූමිය දෙකඩ කිරීම නම් මහා බිය කරු යක්ෂයා යහ පාලනය, නීතිය හා සාධාරණත්වය, මානව අයිතිවාසිකම්, මාධ්‍ය නිදහස වැනි සළු පොරවා අපට අලෙවි කිරීම සඳහා ය. අපේ අනාගත පරම්පරාවේ මරණ වරෙන්තුව අපට අලෙවි කිරීම සඳහා ය.

මේ ගමන නතර කළ හැක්කේ සන්ධානයට සිය ඡන්දය ලකුණු කර පරාජය හමුවේ නොසැලි 58 ලක්ෂයේ ජන වරම දිවි හිමියෙන් ආරක්ෂා කළ ඒ වෙනුවෙන් පෙනී සිටි එය නැවත ඉතා ම කෙටි කලකින් මහ බලවේගයක් බවට පත් කළ සියලු දේශප්‍රේමි නායකයින් ඔබේ මනාපයෙන් පාර්ලිමේන්තුවට යැවීමෙනි. දුෂ්කර අවස්ථාවේ ජන වරම පාවා දුන් කිසිවෙකුට ඔබේ එක ම එක මනාපයක් ලබා දීම වුව එය මනාපයක් අපතේ යැවීමකට වඩා රටට කරන බරපතළ වරදකි. එම ද්‍රෝහීන් පිළිබඳ සියලු දෙනා දැනුවත් කළ යුතු අතර ඔවුන් අනාගතයේ ද ඔබේ ජන වරම රනිල් වික්‍රමසිංහ ඇතුළු මව්බිමේ සතුරන්ට පාවා දිය හැකි බැවින් ඔවුන් කෙරෙහි කිසිඳු විශ්වාසයක් නො තැබිය යුතු ය. ඔබේ දිස්ත්‍රික්කයේ සැබෑ මහින්ද පාක්ෂිකයින් තෝරා ගෙන ඔවුන්ට ඔබේ මනාපය ලබා දී මහින්ද රාජපක්ෂ අගමැති තනතුරට ඔසවා තැබීම, මේ රටේ ඒකීයභාවය ආරක්ෂා කර ගැනීම සඳහා ලැබී ඇති අවසාන අවස්ථාව ය.

මේ අවස්ථාවේ අප ගත යුතු මඟ කුමක් ද යන්න පැහැදිලිව හඳුනා ගත හැකි වූයේ ඉන්දියා සහ ඇමරිකාව ප්‍රමුඛ බලවේගවල උවමනාව සිරිසේන රට හමුවේ හෙළි කළ නිසා ය. ඔහුගේ පාවදීම අවසානයේ ඔහුට ම පාරා වළල්ලක් විය. ඒ සමඟ තවත් බලවත් වුණු බලවේගය අගෝස්තු 17 වෙනිදාට ජයග්‍රාහී ලෙස කෙළවර කිරීමට කටයුතු කළ යුතු ම ය. ජනවාරි 08 වෙනිදා යහ පාලන සළු අන්දා රැගෙන ආ කොටි පාලනයට රැවටුණු මේ රටට ආදරය කරන සියලු දේශප්‍රේමි ජනතාව එදා සිදු වූ වරද නිවැරදි කර ගැනීම උදෙසා කැපවීමෙන් කටයුතු කළ යුතු ය. කිසිදු බලයක් නොමැතිව නීති විරෝධීව බලය ඩැහැ ගෙන පසු ගිය මාස කිහිපය තුළ සිදු කළ මහා පාවාදීම් දෙස බලන විට නීත්‍යානුකූල ලෙස වසර පහකට බලය ලබා දුනහොත් මොවුන් මේ රට නැවත ගොඩගත නොහැකි අගාධයකට ඇද දමන බව ඉර හඳ මෙන් විශ්වාස ය. එහෙයින් සිදු වූ වරද නිවැරදි කරගෙන රට නැවත නිවැරදි දිශානතියට හරවමු. නො එසේ නම් තමන් ද ඒ මහා පාවාදීමේ කොටස්කරුවෙකුය යන හැඟීමෙන් මරණ මංචකයේ දී ඔබට ඔබේ හෘද සාක්ෂියෙන් සමාවක් නොලැබෙනු ඇත. 

එතකොට උඹලත්.... ?

මෛත්‍රීපාල සිරිසේනට ජනමතයට හිස නමා මහින්ද රාජපක්ෂට මහා මැතිවරණ අපේක්ෂකත්වය ලබා දීමට සිදු වීමත් සමඟ ම මෛත්‍රීපාලට හිතවත් එහෙත් බෞද්ධ විරෝධි සිංහල විරෝධි, එහෙයින් ම මහින්ද විරෝධි පිළ කෝපයට පත් විය. එයින් අයෙක් බුකියේ "බයියනි, තොපි දැනගනිල්ලා, උඹලාට අපි ජනවාරි 08 ගැහුවේ පොන්නයෙක් දාලා" යනුවෙන් ලියා තිබිණි. අපේ ප්‍රතිවාදියා එවැන්නෙක් බව අප දැනගත්තේ 2014 නොවැම්බර් මස 21 වෙනිදා වන අතර එය ජනවාරි 08 වෙනිදා ප්‍රත්‍යක්ෂ කර ගතිමු. එහෙත් උගත් ටොයි මහත්වරුන්ට එය අවබෝධ කර ගැනීම සඳහා මාස 6ක් පමණ ගත විය.
කෙසේ වුව ද ඊයේ රාත්‍රී සිරිසේනගේ ප්‍රකාශය සමඟ ඒ වටා සිටින ජන බලය නියෝජනය කරමින් ශ්‍රීලනිපයේ සහ එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ඉහළ පුටුවල වැජඹෙන අය ද අපට ජනවාරි 08 වැනිදා පහර දීමට පාවිච්චි කළ අය වැනි අය ද නැද්ද යන්න අවබෝධ කර ගැනීමට අවස්ථාව ලැබී තිබේ. ඒ සඳහා කෙටි කාලයක් ලබා දී අපි අපේ ඉදිරි සැලසුම් සකස් කිරීමට සුදානම් ය. 
ශ්‍රීලනිප නායකත්වයේ සිටීමෙන් සිය පක්ෂයේ ජයග්‍රහණයට කටයුතු නොකර සිටීම ම තම ප්‍රතිවාදි පක්ෂයේ ජයග්‍රහණයට කටයුතු කිරීමකි. අප මුල සිට ම කියා සිටියේ සිරිසේන ඒ සඳහා කටයුතු කළ යුතු බව හෝ කළ හැකි බව නොවේ. ඔහු විධායක බලය යොදා අල්ලා ගත් නායකත්වයෙන් ඉල්ලා අස්විය යුතු බව ය. මේ ඒ සඳහා හොඳ ම වෙලාව ය. නායකත්වයෙන් ඉල්ලා අස් වී රනිල් වික්‍රමසිංහගේ වේදිකාවට නැග්ග ද එය අපට ප්‍රශ්නයක් නොවේ. කෙසේ වුව ද ශ්‍රීලනිපයේ සහ එක්සත් ජනතා නිදහස් සන්ධානයේ නායකයින් තමන් සිය පක්ෂයට ආදරය කරන, එහි ජයග්‍රහණය සඳහා කැපවන අවංක නායකයින් බව ද ජනවාරි 08 වැනිදා පහර දීමට පාවිච්චි කළ අය පන්නයේ අය නොවන බව ද ක්‍රියාවෙන් ම ඔප්පු කළ යුතු ය. ඒ සඳහා සිරිසේනට විරුද්ධව පක්ෂය තුළ නැඟී සිටිය යුතු ය.

Sunday, July 12, 2015

රාජිත-පාඨලි-අර්ජුන තුන් කට්ටුව රටට කියා දෙන පාඩම!

රාජිත-පාඨලි-අර්ජුන තුන් කට්ටුව නැවත එජාපයට ගොස් රනිල් අගමැති කිරීමේ සටනට වාඩි වී තිබේ. මේ තිදෙනා ම ඒ සඳහා එජාපය සමඟ එක් වූයේ ජනවාරි 08 වැනි දා පැවති ජනාධිපතිවරණය සමඟ ය. එහෙයින් මෙහි ඇති කිසිදු අපූර්වත්වයක් ද නැත. ජනාධිපතිවරයෙන් පසු පැමිණ කෙටි කලක් ලැගුම් ගත් ශ්‍රීලනිපයේ ඇත්තේ ඔවුන්ට එරෙහිම භාවිත කළ58 ලක්ෂයක් ඡන්ද ය.
මේ අවස්ථාවේ ආත්ම ගරුවත්වයක් යැයි කිසිවක් ඔවුන්ට තිබිණි නම් එය ද ටොමියාට දමා රනිල් සමඟ හිට ගැනීම මේ තිදෙනා දේශපාලන වශයෙන් ඉතා ම දුරදිග බලා ගත් තීරණයකි. මේ තුන් කට්ටුව ම ශ්‍රීලනිපය ප්‍රමුඛ සන්ධානයෙන් මහ මැතිවරණයට තරඟ කළේ නම් ජයග්‍රහණයට වඩා පරාජය ලැබීමට ඉඩ තිබිණි. විශේෂයෙන් ජනාධිපතිවරණයෙන් තමන්ගේ ශක්තිමත් ආණ්ඩුව පෙරලා රනිල් අගමැති කළ සිය පක්ෂයේ අපේක්ෂකයා පරාජයට පත් කර අනෙකෙකු ජනපති කිරීමට කුමන්ත්‍රණය කළ පිරිසකට ශ්‍රීලනිප සන්ධාන පාක්ෂිකයින් මනාප ලබා නොදීමට ඇති ඉඩ වැඩි ය.
මේ වන විට ශ්‍රීලනිප සන්ධානය වටා රොද බදින ඡන්ද දායකයින් මහින්ද කෙරෙහි විශ්වාසය තබන හෙයින් බොහෝ විට මහින්ද වෙනුවෙන් පෙනී සිටි පිරිස් සන්ධානය තුළ රාජිත-පාඨලි-අර්ජුන තුන් කට්ටුවට වඩා මනාප ලබා ගැනීම ඒකාන්ත ය. කොළඹින් විමල්, දිනේෂ්, සුසිල් පෙරමුණ ගනු ඇති අතර පාඨලිට පසු බැසීමට සිදු වනු ඇත. කළුතරින් වෙල්ගම, රෝහිත ඉදිරියට පැමිණෙනු ඇති අතර ගිය වරදත් යන්තම් සන්තම් දිනූ රාජිත පසු බසිනු ඇත. ෆීල්ඩ් මාර්ෂල්ගේ විලක්කුවෙන් අලියා මතට කරණමක් ගැසූ අර්ජුන සිය සහෝදරයා වන ප්‍රසන්න ලබන මනාපවලින් අඩක් හෝ නොලබනු නියත ය. එහෙයින් ලංකාවේ අමන දේශපාලඥයින් කුණු බක්කියට විසිවීමට මොහොතකට පෙර ලැගුම් ගන්නා එජාපය නම් නගර සභා කුණු ලොරියට සිය ආත්ම ආරක්ෂාව පිණිස මේ තුන් කට්ටුව නැඟ තිබේ.
මේ කරණම මගින් මේ තුන් කට්ටුව කිසියම් ආරක්ෂාවක් ලැබුව ද එජාපයේ ඒ ඒ දිස්ත්‍රික්කවල ප්‍රබලයින් සිය මනාප එජාප නොවන මේ වවුල් කල්ලියට යෑමට ඇති ඉඩ ඍජු සහ වක්‍ර ක්‍රියා මාර්ග ඔස්සේ වසා දමනු ඇත්තේ අනභියෝගීව සිය ආධිපත්‍ය ආරක්ෂා කර ගනු පිණිස ය. එහෙයින් දෙලොවක් අතර රඟන රාජිත, පාඨලි, අර්ජුන වැන්නෝ ගෙදර ගියත් තෝ නහී, මඟ හිටියොත් අඹු නහී තත්ත්වයට පත්ව සිටිති. එමෙන් ම පාඨලි සිය සැබෑ වෘක සම වැසෙන සේ පොරවා ගෙන බැටළු සමට රැවටී සිංහ කොඩිය උස්සා ගෙන ඔහු පසුපස ඒකීය රාජ්‍යය ආරක්ෂා කරනු පිණිස පසු ගමන් ගිය ජාතිකවාදීන් යැයි කියා ගන්නා ඊනියා දේශප්‍රේමීන් මෙවර පාඨලීට රනිල් වික්‍රමසිංහ සමඟ පඨිසෝතගාමීව ෆෙඩරල් රාජ්‍යයක් කරා යෑමට ගොම්පස් ඇල්ලිය හැකි ය. කෙසේ වුව ද අනපේකෂිත මහින්ද පුනරාගමනය නිසා එජාපය සමඟ පයුරු පාසානමකට යාම හැර සිය ආත්ම ආරක්ෂාව සඳහා මොවුන්ට වෙන කිසිඳු විකල්පයක් රටට ආදරය කරන ජනතාව ඉතිරි කර නොමැත. මේ වන විට සිරිසේන ජනාධිපතිවරයා මෙන් ම ඔහුට සහාය දැක්වූ ශ්‍රීලනිප කණ්ඩායම ද ජනපදනමක් නොමැති අනාථ බවට පත් කිරීමට ජනතාව නිවැරදි ලෙස කටයුතු කර තිබේ. රාජිත-පාඨලි-අර්ජුන තුන් කට්ටුව මේ උපාය මාර්ගය තේරීම සඳහා යොමු කරන්නේ එම යථාර්ථය විසිනි. මෙය එක්තරා ආකාරයකට දිට්ඨ ධම්මවේදනීය කර්ම ඵල දීමකි. මෙතෙක් එළිදැක ඇති ශ්‍රීලනිප සන්ධාන මහ මැතිවරණ අපේක්ෂක කටවුඩ්වලට සිරිසේනගේ රුව වෙනුවට මහින්දගේ රුව පැමිණීමෙන් සංකේතවත් කරන්නේ එය නොවෙද?

Sunday, July 5, 2015

"අපේ කාලේ මැතිසබේ ප්‍රාඥයා" ....?

අප  යහ පාලන ආණ්ඩුව උදා වන තුරු දැන සිටියේ වාදිභසිංහ මිගෙට්ටුවත්තේ ගුණානන්ද හිමි ගැන පමණි. ඒ පානදුරාවාදය ඇතුළු පංචමහාවාද කරමින් මිෂනාරි දුර්මත පරාජය කර බෞද්ධ පුනරුද ව්‍යාපාරයට මුල්ගල් තැබූ ගුණානන්ද හිමි ය.  යහ පාලන ආණ්ඩුව අපට මාදුළුවාවේ සෝභිත හිමි නම් වාදිභසිංහයාණෝ කෙනෙක් ද දයාද කොට තිබේ. උන්වහන්සේ චතුර හඬින් බටහිර සහ ඉන්දීය කුමන්ත්‍රණය වෙනුවෙන් හඬ නැඟූ සේක.

අප  යහ පාලන ආණ්ඩුව උදා වන තුරු දැන සිටියේ කුඩාපොල හිමිවරු එක් නමක් පමණි. ඒ 1848 බ්‍රිතාන්‍ය යටත්විජිතවාදයට එරෙහිව නැඟුණු නිදහස් සටනට පන්සලේ නායකත්වය ලබා දී ජීවිතය පූජා කළ ජාතික කුඩාපොල හිමි ය. යහ පාලන ආණ්ඩුව අපට අතුරලියේ රතන හිමි නම් නූතන කුඩාපොල හිමි නමක් ද දයාද කොට තිබේ. උන් වහන්සේ බෙදුම්වාදීන්ට මේ රට නැවත අත්පත් කර ගැනීමට ජීවිතය පරදුවට තබා සටන් කළ සේක.

එදා අප දත් යතිවරු සිටියේ පන්සලේ ය. දැන් අපට යතිවර නාමය සහිත ටියුෂන් කඩකාරයෙක් ද ලෝක හොරෙක් ද සිටි. අප යහ පාලන ආණ්ඩුව උදා වන තුරු දැන සිටියේ කොග්ගල ප්‍රාඥයා, කන්නිමහර ප්‍රාඥයා වැනි ප්‍රාඥයින් ගැන පමණි. මාර්ටින් වික්‍රමසිංහ මහතා මෙන් ම කේ. ජයතිලක මහතා ද ඒ නමින් හැඳින්වීම ඒ නමට ගෞරවයකි. යහ පාලන ආණ්ඩුව අපට ප්‍රාඥයෙක් ද ලබා දී තිබේ. ඒ මැතිසබේ ප්‍රාඥයා ය. 

උපාධි කිහිපයක් ලැබූ පමණින් කෙනෙක් ප්‍රාඥයෙක් වේ නම් මර්වින් සිල්වා ද ප්‍රාඥයෙකි. කෙනෙකු ලබන උපාධිවලින් ප්‍රකට වන්නේ ඔහුගේ දැනුම මිස බුද්ධිය නොවේ. උපාධි ලැබූ පමණින් යමෙක් බුද්ධිමතෙක් නොවන අතර උපාධි නොලැබූ පමණින් යමෙක් බුද්ධිමතෙක් නොවන්නේ ද නැත. කෙසේ වුව ද එන්. එම්. පෙරේරා, කොල්වින් ආර්. ද සිල්වා වැනි එකල පාර්ලිමේන්තුව නියෝජනය කළ අය බුද්ධිමතුන් වූහ. එහෙත් ඔවුහු තමන් ප්‍රාඥයින් වම්හයි තාප්ප ගානේ පෝස්ටර් ඇලවුයේ නැත. ඒ ඔවුන් බුද්ධිමතුන් ලෙස පක්ෂ විපක්ෂ භේදයකින් තොරව රට පිළිගත් හෙයින් සහ සැබෑ බුද්ධිමතුන් වූ හෙයිනි. ඔවුහු අධිරාජ්‍යවාදයට එරෙහි අදීන මිනිසුන් වූහ.

අනෙක් අතට මේ රට සිංහලයින්ගේ වන්නේ කෙසේ දැයි ටයිකොට් ඇඳ පැමිණ රටෙන් අසන ඊනියා උගතුන් තමන් බුද්ධිමතුන් නොවනවා පමණක් නොව උගතුන් ද නොවන බව රටට පෙන්වා දී තිබේ. ඒ නූගත්කම සහ විලිලැජ්ජාවක් නැතිකම එකට එක් වූ විට සිදුවන සන්තෑසිය දැන් ඔබට කොළඹ තාප්පවල "අපේ කාලේ මැතිසබේ ප්‍රාඥයා" නමැති පෝස්ටරය දකින විට අවබෝධ කර ගත හැකි ය. මේ සියල්ල යහ පාලන ආණ්ඩුව විසින් අපට ලබා දුන් විපරිත ආදර්ශයන් ය.  

Friday, July 3, 2015

කළ යුත්තේ කුමක් ද?

සිරිසේන ජනාධිපතිතුමා සුපුරුදු පරිදි සැරසෙන්නේ රනිල් අගමැති කර රට පාලනය කිරීම වැනි පුංචි වැඩය ඔහුට භාර දී අකුරු කියවීම, සිගරට් පෙට්ටිවල රූප ඇඳීම, සපත්තු ගැනීම සඳහා කඩේ යෑම වැනි ලොකු වැඩ කිරීම සඳහා බව පැහැදිලි ය. එක්සත් ජාතික පක්ෂය වෙන ම තරඟ කර ලබා ගන්නා ආසන ප්‍රමාණයට සිරිසේන මහතා ලබා ගන්නා ආසන ටික ද එකතු කර ජාතික ආණ්ඩුවක් යැයි කියා රනිල් අගමැති කර එජාප ආණ්ඩුවක් පිහිටවනු ඇත. එලෙස වැරදිලාවත් රටේ අවාසනාවට රනිල් අගමැති වුවහොත් 2002-2003 ඔහුගේ ස්වාමියා වන ජාත්‍යන්තරය ඔහුට පැවරූ එහෙත් සම්පූර්ණ කළ නොහැකි වූ බෙදුම්වාදී වැඩ කොටස සිය ස්වාමියාගේ පූර්ණ ආශීර්වාදය ඇතිව සම්පූර්ණ කරනු ඇත. එවිට හෙළ උරුමය සුපුරුදු පරිදි ඕගොල්ලා කර ගෙන යන්න අපි විරුද්ධ වෙන්නම් තියරිය අනුව කටයුතු කරනු ඇත.
එහෙයින් මේ අවස්ථාවේ ගත යුතු වඩාත් යහපත් විකල්ප ක්‍රියා මාර්ගය නම් මහින්ද රාජපක්ෂ සමඟ වෙන ම දේශපාලන ව්‍යාපාරයක් ආරම්භ කර තනිව තරඟ කිරීම ය. ජනවාරි මස ඔහු ලැබූ 58 ලක්ෂයේ ජනවරම එතැන් සිට තවත් බලවත් වූවා මිස දුබල වූයේ නැත. ඊට සාපේක්ෂව යහ පාලන ආණ්ඩුව බොරුවෙන්, වංචාවෙන් ජනතාව නිර්වින්දනය කොට කොල්ල කා ගත් 62 ලක්ෂයේ ජන වරම දැඩි ලෙස සෝදා පාළුවට ලක් විය. ඉතිරි වන ඡන්ද ප්‍රමාණය ද මෙවර එජාපය, ජවිපෙ, ද්‍රවිඩ සන්ධානය, මුස්ලිම් කොංග්‍රසය, ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය, හෙළ උරුමය ආදි පක්ෂ අතර බෙදී යනු ඇත. මේ යථාර්ථය අනුව මහින්ද ප්‍රමුඛ බලවේගයට මේ අවස්ථාවේ පාර්ලිමේන්තුවේ බහුතර ආසන ප්‍රමාණයක් දිනා ගැනීම කිසිසේත් අපහසු ඉලකක්යක් නොවේ.
අනෙක් අතට සිරිසේන මහතාගේ පක්ෂය එජාපය දෙවන තැනට පත්වෙද්දී තුන් වන තැනට පත් වනු වළක්වනු නොහැකි ය. එහෙයින් මහින්ද ප්‍රමුඛ පිරිස කළ යුත්තේ එජාපයෙන් ඉවත් වී බණ්ඩානායක මහතා ශ්‍රීලනිපය නිර්මාණය කළා සේ ම අද නැවත එජාප ඔඩොක්කුවේ සුරතල් වන ශ්‍රීලනිපයෙන් මිදී නැවුම් පක්ෂයක් නිර්මාණය කිරීම ය. බෙදුම්වාදී විරෝධි, රනිල් විරෝධි සියලු ජනතාව ඒ සමඟ පෙළ ගැස්වීම ය. ඒ ඔස්සේ රටේ බලපොරොත්තු මල්ඵල ගැන්වීම ය. යහ පාලන ආණ්ඩුව දින 100ක් තුළ බංකොලොත් කළ රටේ ආර්ථිකය නැවත නිසි මාවතට ගැනීම ය. ඒ සියල්ලට ම වඩා 2009 එක්සේසත් කළ රටේ අනාගතය සුරක්ෂිත කිරීම ය. නැවත හිස ඔසවන බෙදුම්වාදය පරාජය කිරීම ය.
 
සිය රට දේ සිරි සැප දේ !