Monday, March 16, 2009

අපේ තාත්තලාගේ පක්ෂය

පෙරවදන_
අපේ තාත්තා පාරම්පරික යූඇන්පීකාරයෙකි. එය කීමට මම ලැජ්ජා නොවෙමි. අද ජීවතුන් අතර නැති ඔහු දේශපාලනය අත්දකින සමයේ යූඇන්පීය ප්‍රෞඩ පක්ෂයෙකි. එකල ප්‍රදේශයේ විසූ මහා ප්‍රතාප සිංහලයෝ යූඇන්පී නායකයෝ වූහ. ඈත පිටිසර ගමක විසූ අහිංසක ගැමියෙකු වූ තාත්තා අද සිටියා නම් නිසැකව ම මේ මහා ජන ගඟට එක් වනු ඇත. යූඇන්පීය මෙරට සංස්කෘතියෙන් සභ්‍යත්වයෙන් ඈත්වන තරමට ජනතාව ඊට පිටුපා යති. ඒ මහා නාය යාමට පිළියම් ලෙස දොන් ජුවන්ලා පය බරවාට පිටිකර බෙහෙත් බඳිති.

පකෂයක් නාය යන හැටි
සී. ඒ. චන්ද්‍රප්‍රේම
එ.ජා.ප.ය දෙස අප බලන විට දිස්වන්නේ බලාසිටියදී නායයමින් පවතින දේශපාලන පකෂයකි. මෙවන් දෙයක් වෙනත් කිසිම කලක අප අත්දැක නැත. මේ සම්බන්ධයෙන් එ.ජා.ප. ය තුළ රනිල් වික්‍රමසිංහ පාර්ශ්වයේ ඇතැමුන් න්‍යායක් සාදාගෙන ඇත. ඔවුන් පවසන්නේ 1970 මහ මැතිවරණයෙන් පසු එ.ජා.ප. යේ සිටි පැරණි පතාක යෝධයන් කීපදෙනකු ද ඇතුළුව දේශපාලකයන් එකසිය ගණනක් පමණ අවුරුදු කීපයක් ඇතුළත අභාවප්‍රාප්ත වු බවයි. අභාවප්‍රාප්ත වු අය අතරට පකෂ නායක ඩඩ්ලි. සේනානායක මහතා ද අයත්ය. මේ ආකාරයට පැරණි උදවිය ඉබේම වාගේ ප්‍රසිද්ධ වේදිකාවෙන් ඉවත්වීම නිසා

ජේ. ආර්. ජයවර්ධන මහතාට අලුත් මුහුණු ගණනාවක් දේශපාලනයට ගෙන ඒමටත් පකෂය තුළ අලුත් ජවසම්පන්න බවක් 1977 වන විට ඇති කිරීමට හැකි වු බව ද මොවුන් පවසති.

මෙවන් න්‍යායයන් වලින් ඔවුන් පවසන්නේ වර්තමානයේදී ද එ.ජා.ප. යෙන් විවිධ තලවල දේශපාලකයන් විශාල වශයෙන් ඉවත් වී යෑමෙන් දිගුකාලීනව එ.ජා.ප. යට හොඳක්ම මිස නරකක් සිදු නොවන බවයි. එයින් ඔවුන් අදහස් කරන්නේ මෙසේ ඉවත්වී යන පිරිස වෙනුවට අලුත් මුහුණු දමාගෙන 1977 දී සිදුවුවාක් මෙන් රනිල් වික්‍රමසිංහ මහතාට ද ජවසම්පන්න පකෂයක් සෑදීමට හැකිවන බවයි. අනාගතයේ යම් දවසක ජේ. ආර්. ජයවර්ධන මහතා විජයග්‍රාහීව නැඟී සිටියාක් මෙන් රනිල් වික්‍රමසිංහ මහතා ද විජයග්‍රාහීව නැගී සිටිනු ඇතැයි ඔවුන් තුළ ඇති බලාපොරොත්තුවයි.


ලක්බිම_09/03/17

මෙවන් බලාපොරොත්තු තියාගැනීම කොතරම් තාත්වික දැයි අප ව්‍යවහාර බුද්ධිය පාවිච්චි කොට සිතා බැලිය යුතුය. 1970 ගණන් වලදී එ.ජා.ප. යේ ප්‍රබලයන් ගණනාවක් මියගිය නිසා අලුත් මුහුණු දේශපාලනයට හඳුන්වාදී එමගින් එ.ජා.ප. ය නව ජවසම්පන්න බලවේගයක් හැටියට ඉස්මතු වු බව සත්‍යයකි. නමුත් එදා ඒ ප්‍රබලයන් මියගියේ ස්වභාවික හේතුන් මතය.

ඒ සියලුම දෙනා වියපත් වීම හේතුවෙන් ද රෝගාතුර වීම හේතුවෙන් ද ඒ වන විට ඒ ඒ පළාත්වල අදාළ ඡන්ද කොටිඨාසවල සුදුසු අනුප්‍රාප්තිකයෝ බිහිවී සිටියහ. ඇතැම් විට තමන්ගේ අනුප්‍රාප්තිකයන් ඒ වයෝවෘද්ධ දේශපාලකයන් විසින්ම ඉදිරියට ගෙන ආ උදවිය විය හැක. එසේ නැතිනම් පකෂය තුළ කාලාන්තරයක් මුළුල්ලේ ගොඩනැඟී ආ උදවිය විය හැක. මීට හොඳ නිදසුනක් වන්නේ එකල එ.ජා.ප. නායක ඩඩ්ලි සේනානායක මහතා රෝගාතුර වීමත් වියපත් වීමත් යන කාරණා නිසා ඔහු මියයන විට පැහැදිලි අනුප්‍රාප්තිකයකු හැටියට ජේ. ආර්. ජයවර්ධන මහතා පකෂය තුළ ඉස්මතුවී සිටීමය. ප්‍රාදේශීය මටිටමින් ද සිදුවුයේ ඒ ආකාරයේම ක්‍රියාදාමයක් යැයි අනුමාන කළ හැකිය. නමුත් අද එ.ජා.ප. ය තුළ සිදුවන්නේ ඊට බොහෝ වෙනස් ක්‍රියාදාමයකි. 1970 ගණන් වලදී එ.ජා.ප. යේ ප්‍රබලයන් එක්කෝ මිය යෑම නැතිනම් රෝගාතුර වීම හේතුවෙන් කලින්ම දේශපාලන කෙෂ්ත්‍රයෙන් ඉවත් විය. නමුත් අද සිදුවන්නේ ඊට හාත්පසින්ම වෙනස් දෙයකි. අද සිදුවන්නේ එ.ජා.ප. යේ දේශපාලකයන් වියපත් වීම හෝ රෝගාතුර වීමෙන් දේශපාලන කෙෂ්ත්‍රයෙන් ඉවත්වීම නොව ජවසම්පන්න වැඩක් කළ හැකි මිනිසුන්ගේ සිත් දිනාගත හැකි, දේශපාලන විවාදයකදී දකෂ ලෙස කරුණු ඉදිරිපත් කළ හැකි, එ.ජා.ප. ය තුළ සිටින සෑම තරාතිරමකම දේශපාලකයන් එ.ජා.ප. ය හැර දමා අනෙක් පැත්තට යෑමයි. අනෙක් පැත්තට ගොස් ඔවුන් නිකන් සිටින්නේ ද නැත. ඔවුන් කරන්නේ මුළු වෙර යොදාම ශ්‍රී.ල.නි. පකෂයට වැඩ කිරීමය. කොටින්ම කියතොත් ශ්‍රී.ල.නි.ප. යේ දැනට සිටින දේශපාලකයන්ටත් වඩා ආණ්ඩුවේ පෙරමුණු බළඇණිය වී ඇත්තේ එ.ජා.ප. යෙන් මෑතකදී ශ්‍රී.ල.නි.ප. යට එක්වු මේ පිරිසයි.

මේ නිසා දිනපතාම පාහේ එ.ජා.ප. යෙන් මිනිසුන් ගිලිහී යෑම අලුත් මුහුණු හඳුන්වාදී පකෂය ජවසම්පන්න කිරීමට ඇති අවස්ථාවක් යැයි සිතා සතුටු වීම ඇත්ත වශයෙන්ම මෝඩකමකි. ඒ මන්ද යත් එ.ජා.ප. යෙන් මේ ආකාරයට දිනපතාම පාහේ ගිලිහී යන්නේ ජවයත්, හැකියාවත් තිබෙන තවත් අවුරුදු ගණනාවකට එසේ නැත්නම් දශක කීපයකට වුණත් දේශපාලනයේ රුඳී සිටිය හැකි ප්‍රබල උදවිය වීමයි.

මේ ආකාරයට එ.ජා.ප. යෙන් දිනපතාම පාහේ "ගිලිහෙන අයගේ" පුරප්පාඩු පුරවන්නේ කෙසේ ද යන ප්‍රශ්නය ද පවතී. මා කලින් සඳහන් කළ ආකාරයට 1970 ගණන් වලදී එ.ජා.ප. ය තුළ විශාල වශයෙන් පුරප්පාඩු ඇති වන විට බොහෝ අවස්ථාවල ඒ වන විට ස්වභාවික අනුප්‍රාප්තිකයන් ද බිහිවී තිබිණි. නමුත් එසේ අනුප්‍රාප්තිකයන් බිහිවී නැති පළාත් ද බොහෝමයක් තිබිණි. මෙවැනි තැන්වලට එ.ජා.ප. යේ නායකත්වය විසින් වෙනත් කෙෂ්ත්‍රවල සිටි උදවිය පැරෂුටිකාරයන් වශයෙන් යොදවන ලදී. 1977 දී දේශපාලනයට පැමිණි පැරෂුටිකාරයන් අතර ඉන්ජිනේරුවකු වු පී. දයාරත්න මහතා ද උසස් රජයේ නිලධාරියකු වු වි.ජ.මු. ලොකුබණ්ඩාර මහතා ද ගිනිය හැක. එකල දේශපාලනයට පැමිණි සෑම පැරෂුටිකාරයකුම පාහේ සාර්ථක දේශපාලකයකු බවට පත් විය. අද දවසේ ද පුරප්පාඩු පිරවීමට පමණක් නොව දැනට සිටින දේශපාලකයන් එළියට තල්ලු කර දැමීමේ උපක්‍රමයක් හැටියට ද පැරෂුටි න්‍යාය ජයටම ක්‍රියාත්මක වෙමින් පවතී. එසේ නම් එදා මෙදා අතර වෙනස කුමක් ද? යම් කෙනෙක් පැරෂුටි මාර්ගයෙන් දේශපාලනයට ගෙන එන විට පකෂ නායකයාට ඒ අයගේ හැකියාවන් පිළිබඳව ඉතා හොඳ තක්සේරුවක් තිබිය යුතුය. යම් අයෙක් දේශපාලනයට සුදුසු ද නැද්ද යන්න ගැන පුදුමාකාර ඉවක් ජේ. ආර්. ජයවර්ධන මහතාට තිබිණි. ඔහු දේශපාලනයට ගෙන ආ පැරෂුටිකාරයන් අතර අසාර්ථක වුවා යැයි කිව හැකි එක් අයකුගේවත් නමක් මගේ සිහියට නැගෙන්නේ නැත. රනිල් වික්‍රමසිංහ මහතා දේශපාලනයට ගෙනාවේ ජේ. ආර්. ජයවර්ධන නොවේ දැයි අයකු ප්‍රශ්න කරනු ඇත. නමුත් රනිල් වික්‍රමසිංහ මහතා පැරෂුටිකාරයෙක් නොවීය. ඔහු පවුල් පසුබිම හේතුවෙන් එ.ජා.ප. ය තුළ ක්‍රියාකාරී වී යොවුන් පෙරමුණ තුළින් දේශපාලනයට ආ ආයෙකි. තවද ජේ. ආර්. ජයවර්ධන හා ප්‍රේමදාස පාලන සමයන් වලදී වික්‍රමසිංහ මහතා මිනිසුන්ට දිස්වුයේ ප්‍රබලයකු හැටියටය. ප්‍රශ්න ඇතිවන්නට පටන් ගත්තේ ඔහු පකෂ නායකයා වීමෙන් පසුව පමණි. ඒ කෙසේ වෙතත් එක දෙයක් නම් පැහැදිලිය. එනම් පකෂයේ පුරප්පාඩු වලට පැරෂුටිකාරයන් තෝරා ගැනීමේදී ජේ. ආර්. ජයවර්ධන මහතාට තිබු ඉව වික්‍රමසිංහ මහතාට නම් නැති බවයි.

ඔහු ගෙනා පැරෂුටිකාරයන් සියලුම දෙනා අතරින් දේශපාලකයන් හැටියට සාර්ථකත්වයක් පෙන්නුම් කර ඇත්තේ කරු ජයසුරියත් පාලිත රංගේබණ්ඩාරත් පමණි. අන් සියලුම දෙනා අසාර්ථක වුවා යැයි කිව හැකිය. තවද එ.ජා.ප. යට පිරවීමට සිදුවී ඇත්තේ බොහෝවිට මියගිය නැතිනම් දේශපාලනයෙන් ඉවත් වු අයගේ පුරප්පාඩු නොව පකෂය හැරදමා ගොස් ඇති ජවසම්පන්න පළපුරුදු උදවියගේ පුරප්පාඩුය. ඉකුත් අවුරුදු 15 ඇතුළතදී සහ විශේෂයෙන්ම මෑත අවුරුදු 2:3 තුළදී පකෂයෙන් ඉවත් වී යන මේ ප්‍රබලයන් හා දකෂයන් වෙනුවට ඉදිරියට ගෙනවිත් ඇත්තේ ඒ පකෂය හැරදා ගිය උදවියට කිසිසේත්ම සමාන කළ හැකි අය නොවේ. ඒ ගිය උදවියත් ආපු උදවියත් අතර ඇත්තේ අහසට පොළොව මෙන් වෙනසකි. පකෂය හැර දමා මිනිසුන් යන සෑම අවස්ථාවකදීම එ.ජා.ප. යට සිදුවී ඇත්තේ 1000 ක් දී 100 ක් ලබාගත්තා වැනි තත්ත්වයකි.

සෑම විටම 1000 ලැබෙන්නේ ආණ්ඩුවටය. 100 ලැබෙන්නේ එ.ජා.ප. යට ය. මේ ආකාරයට දිගින් දිගටම එ.ජා.ප. යෙන් ආණ්ඩුවට දකෂ කෘතහස්ථ පුද්ගලයන් එකතුවීම ජනාධිපති මහින්ද රාජපකෂට නම් මහත් භාග්‍යයක් වී ඇත. තෝරාගත් තැන්වල එ.ජා.ප. යේම බල කඳවුරු බිඳවැටීමට ඔහු උපයෝගී කර ගත්තේ එ.ජා.ප. යෙන්ම ලබාගත් අලි ඇතුන් ය. අපි වර්තමාන බස්නාහිර පළාත් සභා ඡන්දය දෙස බැලුවොත් කොළඹ දිස්ත්‍රික්කය තුළ ඡන්ද ව්‍යාපාරයේ පෙරමුණ ගෙන සිටින්නේ දුමින්ද සිල්වා හා තිලංග සුමතිපාල යන අපේකෂකයන් දෙදෙනාය. ඔවුන් දෙදෙනාම එ.ජා.ප. යෙන් ආණ්ඩු පකෂයට පැමිණි උදවියයි. මොවුන් දෙදෙනාම වැඩි බරක් යොදවනු ඇත්තේ සාම්ප්‍රදායිකව එ.ජා.ප. යට ලැදි කොළඹ නගර සීමාව තුළ සිටින ඡන්දදායකයන් ආණ්ඩුවට දිනාගැනීමටය. තම නව දේශපාලන පකෂය තුළ තම හැකියාවන් පෙන්වීම සඳහා ඔවුන් දෙදෙනාම මුළු වෙර යොදා වැඩ කරනු ඇත. කොළඹ නගරය මෙන්ම තවත් එ.ජා.ප. බලකොටුවක් වී තිබුණේ දෙහිවල, ගල්කිස්ස නගර සභා ප්‍රදේශයයි. මෙය ද දිගින් දිගටම එ.ජා.ප. ය දිනන බලසීමාවකි.

මීට සති 2 කට පමණ පෙර දෙහිවල : ගල්කිස්ස උප නගරාධිපති ධනසිරි අමරතුංග මහතා ද ආණ්ඩුවට එක් විය. මෙවන් පකෂ මාරු කිරීම් අවස්ථාවාදී හේතුන් මත කෙරෙන බව ඇතැම් අය සිතුව ද මේ සිදුවන පිල් මාරුකිරීම් වැලට හේතුව අවස්ථාවාදයට වඩා අපේකෂා භංගත්වය හා ආතතිය යැයි කිව හැක. දුමින්ද සිල්වාගේ පකෂය හැර යෑම දෙස බැලුව හොත් 2008 පළාත් සභා ඡන්දයේදී කොළඹ දිස්ත්‍රික්කයෙන් වැඩිම මනාප ප්‍රමාණයක් ලබාගෙන අංක 1 ට ආ දුමින්ද සිල්වාට කොළඹ දිස්ත්‍රික්කය තුළ සංවිධානය කිරීමට ආසනයක් ලැබුණේ නැත. ඔහුට ආසනයක් දුන් විට දෙන ලද්දේ කොළඹ දිස්ත්‍රික්කයේ කුඩාම ආසනයක් වන උතුරු කොළඹ ආසනයෙන් බාගයක් පමණි. එවිට උතුරු කොළඹ, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ලිලන්ත පෙරේරා මහතාත් දුමින්ද සිල්වා මහතාත් අතර උතුරු කොළඹ ආසනය දෙකට බෙදුනි. දුමින්ද සිල්වා පකෂය හැර ගියේය. තව පොඩ්ඩෙන් ලිලන්ත පෙරේරා මහතා ද පකෂය හැර ගිය අය අතරට එක්වීමට ගියත් යළිත් උතුරු කොළඹ ආසනය සම්පුර්ණයෙන්ම ඔහුට පවරා දීමෙන් එය වැළකිණි. ධනසිරි අමරතුංග මහතා පකෂය හැර දමා යෑමට ද දෙහිවල ගල්කිස්ස බලප්‍රදේශය තුළ ඔහුට සුනේත්‍රා රණසිංහ මැතිනිය සමග තිබුණ ආරවුලත්, එම ආරවුල සම්බන්ධයෙන් පකෂ නායකත්වය විසින් අනුගමනය කළ කල්මැරීමේ ප්‍රතිපත්තියත් නිසා ඔහු එ.ජා.ප. යට අහිමි විය.

සාමාන්‍යයෙන් ඡන්ද ව්‍යාපාරයක් පවතින අවස්ථාවේදී තාවකාලිකව හෝ පකෂය තුළ ඇති අභ්‍යන්තර ආරවුල් යටපත් වී යම්කිසි මතුපිටින් පෙනෙන සමගියක් ඇතිවේ. නමුත් බස්නාහිර පළාත් සභා ඡන්ද ව්‍යාපාරය ආරම්භ වී තිබුණා යැයි කියා එ.ජා.ප. යේ නාය යෑම තාවකාලිකව වත් නැවතී නැත. ධනසිරි අමරතුංග මහතා පකෂය හැරදා ගියේ බස්නාහිර පළාත් සභා ඡන්ද ව්‍යාපාරය ආරම්භ වු පසුවය. මෙපමණක් නොව කඩුවෙල ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපතිවරයකු වන හා වත්මන් සභිකයකු වන සරණපාල පෙරේරා සහ තවත් සභිකයකු වන ප්‍රසන්න විලත්ගමුව හා කඩුවෙල ප්‍රාදේශීය සභාවේ හිටපු සභිකයකු වන කීර්ති සිරිවර්ධන ද මීට දින ගණනාවකට පෙර ජනාධිපති හමුවී එ.ජා.ප. ය හැර ගියහ.

ඔවුන් සමග ගිය තවත් අයෙක් වුයේ යන දවස තෙක්ම රනිල් වික්‍රමසිංහ මහතාගේ පෞද්ගලික කාර්ය මණ්ඩලයේ ලිපිකරුවකු වශයෙන් සේවය කළ වසන්ත මායාදුන්නේ නමැත්තෙකි. මොහු වික්‍රමසිංහ මහතාගේ ලිපිකරු හැටියට වැටුප් ලබන අතර ඔහු අනුයුක්තව සිටියේ එ.ජා.ප. යේ මාධ්‍ය ඒකකයටය. ඔහු යන දවසට පෙර දවස වනතෙක්ම මාධ්‍ය ඒකකයේ වැඩ නොපිරිහෙලා ඉටුකර ගියේය. මේ ආකායරට එ.ජා.ප. ය හැර දමා යෑම සිදුවන්නේ බස්නාහිර පළාත තුළ පමණක් නොවේ. බස්නාහිර පළාත් සභා ඡන්ද ව්‍යාපාරය ආරම්භ වු පසු ගාලු දිස්ත්‍රික්කයෙන් ද නායයෑම් වාර්තා විය. ගාලු දිස්ත්‍රික්කයේ ප්‍රබල දේශපාලන පවුලකින් පැවත එන ආනන්ද අබේවික්‍රම මහතා දිස්ත්‍රික්කය පුරා "ඉතින් ආයුබෝවන්" කියමින් පෝස්ටර් ගසා එ.ජා.ප. යෙන් ඉවත් විය. අබේවික්‍රම මහතාගේ පියාගේ වැඩිමහල් සොහොයුරු සයිමන් අබේවික්‍රම මහතා 1938 සිට රාජ්‍ය මන්ත්‍රණ සභිකයකු වුවාක් මෙන්ම එ.ජා.ප. යේ ආරම්භක සාමාජිකයකු ද ඩී. එස්. සේනානායක මහතාගේ උප ඇමැතිවරයකු ද විය. ඔහුගේ පියා වු හෙන්රි අබේවික්‍රම ශ්‍රී.ල.නි.ප. යේ කැබිනටි ඇමැතිවරයකු විය. දැන් අබේවික්‍රම මහතාත් එ.ජා.ප. යට අහිමිය.

මීට සති 2 කට පමණ පෙර ගාලු දිස්ත්‍රික්කයේ තවලම ප්‍රාදේශීය සභාවේ විපකෂ නායක ප්‍රියන්ත ජයතිලක ද ආණ්ඩුවට එක් විය. එපමණක් නොව බෙන්තර ඇල්පිටිය ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපති ඇතුළු සභිකයන් 7 දෙනෙක් ආණ්ඩුවට එක් විය. ඉදිරි දින වලදී ගාලු දිස්ත්‍රික්කයේ තවත් ප්‍රාදේශීය සභාවක හිටපු සභාපති ඇතුළු පිරිසක් ජනාධිපති හමුවී ආණ්ඩු පකෂයට බැඳීමට නියමිතය. ඔවුන් තවමත් ජනාධිපති හමුවී නැති නිසා ඔවුන්ගේ නම් හෙළිකිරීමට අපට නොහැකිය. මිනිසුන් එ.ජා.ප. ය හැර දමා යන වේගය තීරණය වන්නේ ජනාධිපතිතුමාගේ දින පොතේ ඇති හිඩැස්වල ප්‍රමාණය අනුවය.
(දිවයින_09/03/16)

6 comments:

Sasika Salinda Nanayakkara said...

කථාව හරියට හරි මේක අප සරලව සිතිම වැරදියි මොකද රටක දුශණ වංචා අවම විමට ප්‍රබල විපක්ෂයක් සිටිය යුතුයි.එතකොට තමයි ප්‍රජාතන්ත්‍රවාදය හොදාකාරව පවත්වාගෙන යාහැකි වන්නේ.නැතිනම් එකධිකාරි පලනයක් ඉස්මතු විමට හැකියාව වැඩියි.නමුත් වර්ථමානයේ විපක්ෂයේ නායකයන් සිදුකරන කාර්යන් දැකිමෙන් ජනතාව පර්ලිමෙන්තුවේ ජොකර්ගේ කර්ය භාරය මොවුන් බාරගෙන ඇත්දැයි සැකයක් පවතිනවා එමනිසා විපක්ෂය තුලසිටින නායකයින් පක්ෂය අත්හැර යැම වර්තමානයේ රැල්ලක් බවට පත්වි තිබෙන යුගයක ඔබේ පියනන් ජිවතුන් අතර සිට මෙම මහා ජන ගගට එක්විම මෙවැනි යුගයක ඉතා සධාරනය නමුත් මෙම පක්ෂය අතහැර එන දේශපාලුවන් සියලුම දෙනාගෙ අරමුන රටද????? නැතිනම් බඩද???????
රටනම් මෙ එක්විම කම්නැත

Ramindu Perera said...

මෙහෙමයි.දුමින්ද සිල්වා පක්ෂය මාරු කිරීම පසුපස ඔහුගේ සොහොයුරෙකුට අයත් ගුවන් විදුලි ජාලයක අයිතිය පිලිබද අලකලංචියක් පැවතුනා නේද?
බලය තියෙන්නෙ කොතනටද එතනට මැස්සො වහනවා.මම නම් දකින්නෙ ඔතන තිබෙන්නේ අමුම අමු අවස්ථාවාදය මිස ‍අනෙකක් නෙමෙයි.මේ ප්‍රදර්ශනය වෙන්නෙ අපේ රටේ දේශපාලනයෙහි ඇති නිරුවත.ජනාධිපතිට ජනාධ්පතිවරන කාලයේ "සුනාම් හොරා"යැයි නම්බු නාම දුන් රාජිත සේනාරත්න මහත්තයාලත් "රට"වෙනුවෙන් දැන් ආන්ඩුවේ ඉන්නවා.කොටි එක්ක සාම සාකච්ඡා වෙනුවෙන් ලෝකය වටේ රවුම් ගැසූ මොරගොඩලා ත්‍රස්තවාදයට විරුද්ධව ගේම කෝල් කරනවා.
මේව අවංකවම "රට"වෙනුවෙන් කෙරෙන දේවල් කියලද හිතෙන්නෙ?
මේ අර කොලපාට සමාජය ලියූ සී.ඒ.චන්ද්‍රප්‍රේමගේ ලිපියක් නේද?:)
බල තන්හාවට කරන අවස්ථාවාදී වැඩ වලට සීරියස් අර්තකතන දෙන්නෙ නොදැනුවත්කමටද මන්දා.අර ITN එකේ මහින්ද අබේසුන්දර කියන මහත්තයාත් මේ වගේ බඩගෝස්තරවාදී පිල් මාරු කිරීම් හරි ශ්‍රෙෂ්ඨ වැඩ කියල "වරදවා"තේරුම් ගන්න චූටි බබෙක්.ඒ "වරදවා"තේරුම් ගැනීම වෙනුවෙන් මේ චූටි ලමයින්ට රජ වාසලෙන් දෙන්නේ දහසින් බැදි පියලිද වෙන මොනවද කියල හොයල බලන එක ඇත්තටම සිත්ගන්නා සුලු අත්දැකීමක් වෙයි.

නාමල් උඩලමත්ත said...

සසික, රාමචන්‍ද්‍ර, පක්ෂය අතැර එන දේශපාලකයන් සියලු දෙනා අවංක නොවෙන්න පුළුවන්. නමුත් මේ සියලු දෙනා ඒ ගණයට දාන්න බැහැ. ඒ කිසිවෙකු අතීතයේ වැරදි කළ පමණින් වර්තමානයේ නිවැරදි වෙන්න බැරිකමක් නැහැ. 'ඕකා ඉස්සර හොර, ඕකා ඉස්සර දූෂකයා ඕකා ඉස්සර මැරයා ...' වගේ බයිල වැඩක් නැහැ. 'එතුමා ඉස්සර බෝධිසත්වයා වගේ' වුණත් දැන් වැරදි නම් වැරදියි. ඒ නිසා වර්තමානයේ වැරදි නම් අපි ඒකටයි එරෙහිවෙන්න ඕන.
දුමින්ද සිල්වාගේ පිල් මාරුව පිටුපස චන්ද්‍රප්‍රේම කියපු කරුණ වගේ ම රාමචන්‍ද්‍ර කියපු කාරණයත් තියෙන්න පුළුවන්. ඒ නාළිකාවට එල්ල වුණු චෝදනාව අසත්‍ය තොරතුරු පළකර ජනතාව නොසන්සුන් කිරීම. මම හිතන්නේ දැන් රේඩියෝ නාළිකා යම් වගකීමකින් යුතුව වැඩ කරනවා. ඒකට අර තහනම යම් පිටුබලයක් වෙන්න ඇති.

දේශපාලනයේ සදාකාලික හතුරොත් නැහැ, මිතුරොත් නැහැ කියලා කතාවක් තියෙනවා. ඒක හරියට හරි. රාජිතලා මිලින්දලා ආණ්ඩුවේ වගේ ම එදා රනිල්ට එරෙහි කැරලි ගහපු කරු අද ආයෙත් රනිල්ගේ හුරතලා වෙලා. ඒ තමා හැටි. මම හිතන්නේ මේවාට රාමචන්ද්‍ර කියන අවස්ථාවාදයට එහා ගිය සාධක ඒ පසුබිමේ තියෙනවා. අනෙක සාමාන්‍ය පිල් මාරුවට එහා ගිය තත්ත්වයක් අද තියෙන්නේ. මේ වගේ විපක්ෂයේ නාය යාමක් අපි මීට පෙර දැකලා නැහැ. ඒ කියන්නේ දේශපාලකයෝ බඩගෝස්තරවාදී වුණේ රාජපක්ෂ රජය යටතේ විතර ද? මේවා සරළ බඩගෝස්තරවාදයට ලඝු කරන්න පුළුවන් ද?

අනෙක මිනිහෙක් යථාර්ථය වටහාගෙන නිවැරදිවෙන්න පුළුවන්. ඒකට සමච්චල් කරන්න යාම අනුකම්පා කළ යුතු කාරණයක්. එදා සිංහලයින්ට එරෙහිව ඉංගිරිසි හමුදාව මෙහෙයවපු කැප්පෙටිපොළ සිංහල හමුදාවට එක් වුණා. මම හිතන්නේ එදාත් ඉන්න ඇති ඒ වැදගත් තීන්දුව අපහාසයට ලක් කරලා 'ඕක අවස්ථාවාදියා' කියපු අය.

අපේ ඉතිහාසය ලියපු අයත් කරලා තියෙන්නේ මේ කැප්පෙටිපොළලාගේ 'බල තන්හාවට කරන අවස්ථාවාදී වැඩ වලට සීරියස් අර්තකතන දීම', 'බඩගෝස්තරවාදී පිල් මාරු කිරීම් හරි ශ්‍රෙෂ්ඨ වැඩ කියල "වරදවා"ලිවීම කියලා කීම හරි ද? සමහරුන්ට ඒකත් හරි වෙන්න පුළුවන්.

Ramindu Perera said...

කැප්පෙටිපොලයි මේ උදවියයි අතර එක මූලික වෙනසක් තියෙනවා.කැප්පෙටිපොල පිල් මාරු කලේ තමන් සතුව තියෙන වරප්‍රසාද සියල්ල අතහැරලා බලය නැති දුර්වල පිලට ප්‍රතිපත්තිමය හේතු මත සංක්‍රමනය වීමක්.එතකොට මේ මහත්වරු කරලා තියෙන්නේ කුමක්ද?රාජිත ලාට රට වෙනුවෙන් ඔය තරම් ආදරයක් තිබේ නම් ඇමතිධූර මොකටද?රට වෙනුවෙන් එවැනි වරප්‍රසාදයක්වත් නොගෙන ඉන්න බැරිද?මේ ලෙසම එජාපයට බලය තිබෙන 17වසරක කාලය තුල ශ්‍රීලනිපයත් දුර්වල වුනා.
අනෙක කැප්පෙටිපොලයි දුමින්ද සිල්වායි එක කුලකයට දාන එක තරමක් හරි මදි නේද?:)

Dumindu Pahalawatta said...

ow eka attta

නාමල් උඩලමත්ත said...

නෑ නෑ මම කියන්නේ නෑ මේ අය ඔක්කොම කැප්පිටිපොළලා කියලා. ඒ වගේ ම මම කියන්නේ නෑ මේ අය ආවේ හුදු බල තන්හාවට ම කියලා. කැප්පිටිපොළ පිල් මාරු කළේ විජාතික පිළෙන් ජාතික පිළට. ඔහු අවබෝධ කරගත්තා තමා මෙතෙක් සේවය කළේ රටට හතුරු පිළට කියලා. ඒ අවබෝධය මත ඔහු ජාතික සටනට එක්වුණා. අන්න ඒ නිසා එතෙක් අපේ රට හූරා කන්න සුද්දාට සේවය කිරීම වෙනුවෙන් ඔහු ලද දොළ පිදේනි අහිමි වුණා. ඒත් ඔහු අද අපේ සදාතනික වීරයෙක්.

මට කියන්න ඕන මේ ජනතාව ඒකරාශි වෙන්නේ ජාතික කොඩිය වටා. ඒ ජනමතයට පිටුපාන්න දේශපාලකයින්ට බැහැ. පක්ෂවලටත් බැහැ. එහෙම කළ අය කළේ සිය දිවි නසා ගැනීමක්. වර්තමාන යූඇන්පීයට ජවිපෙට වුණේ ඒක. ඒ මාර්ගය කෙළවර වන්නේ දේශපාලන කනත්තෙන්.

ප්‍රතිපත්ති කියන්නේ ගල්මුවා උපකරණ නොව තත්කාලීන සමාජ දේශපාලන සංස්කෘතික සංසචලනයන්ට සංවේදී වන දෙයක්. ඒ ඒ සමාජ දේශපාලන මොහොතට අනුව යාවත්කාලීන නොවන ප්‍රතිපත්ති සහිත පක්ෂ, නායකයෝ යල්පනිනවා. එහෙම නොවුණොත් විතරයි පවතින්නේ. ඒක තව කෙනෙකුට අර්ථකථනය කරන්න පුළුවන් 'ප්‍රතිපත්තියක් නෑ' 'වරප්‍රසාදවලට මාරු වුණා' කියලා.

17 වසරක එජාප පාලන සමයේ විපක්ෂය දුර්වල වුණා තමා. ඒත් මෙහෙම දුර්වලවීමක් අපි දැක්කේ නෑ. අනෙක ආණ්ඩුවේ ඉදිරිපෙළ හුඟක් එජාපයේ අය. ඒ කාලෙත් එහෙම වුණා ද? ආණ්ඩුව සහ විපක්ෂය අතර මෙහෙම ඡන්ද පරතරයක් තිබුණ ද? මේ වන විට එජාපයේ සියලු බල කඳවුරු බිඳ වැටිලා. කිලිනොච්චි මැදවච්චි කතා, තොප්පිගල කැලෑ කතා, ඕන බූරුවෙකුට යුද්ධ කළ හැකි කතා ජනතාව අවදි කළා, තමා ඉන්නේ රටට හිතැති පැත්තේ ද හතුරු පැත්තේ ද කියලා. ජනතාව තීන්දුව ගත්තා.

ඉතින් රාචන්ද්‍රට අනුව තව අවස්ථාවාදී දේශපාලකයින්ට පුළුවන් ආණ්ඩුවට එන්න. එහෙම ඇවිත් ඒ අය රටට අවැසි දේ කරන නිසා ගැටළුවක් නැහැ. ජනතාව ඒකට තීන්දුව දෙනවා. ජනතාව තීන්දු ගන්නේ අතීතතයට බලපාන පරිදි නෙමෙයි. ජවිපෙට 2004 සහ 2008 දීපු තීන්දු ඒක පැහැදිළි කරනවා.

 
සිය රට දේ සිරි සැප දේ !