Wednesday, April 20, 2022

අරගලයේ අරමුණ සහ මහ මොළකරුවෝ...!

මේ වන විට ඇත්තේ රට යථා තත්ත්වයට පත්වීමට එරෙහි විරෝධතාවකි. එය ආරම්භ වන්නේ රටට ප්‍රමාණවත් ඉන්ධන සහ ගල් අඟුරු තොග ලැබීමත් සමගය. 

තෙල් බවුසර පිටින් සැඟවීම, තෙල් බවුසර් හරවා යැවීම, තෙල් බවුසර්වලට පහර දී ඉන්ධන ප්‍රවාහනය වැළැක්වීම, බවුසර්වලට ගිනි තැබීමට උත්සාහ කිරීම, මාර්ග වසා දැමීම කිසිසේත් මේ රටේ ජනතාව දුකින් මුදා ගැනීමට කරන සටන් නෙවේ.

ඒවා ජනතාව තව තවත් පීඬාවට පත් කිරීම උදෙසා සිදු කරන කටයුතුය. මේ පිටුපස සිටින මහ මොළකරුවන් වන්නේ රට නැවත යථා තත්ත්වයට පත් වුවහොත් සිය දේශපාලන සිහින බිඳ වැටේ යැයි සිතන පිරිස්ය.

අරගලය ඉදිරිපස සිටින්නේ සැබවින්ම ආවේගය නිසා පාරට පැමිණි පිරිස්, විරෝධතාව කානිවල් බවට පත් කර ගත් පිරිස්, රටේ නීතිය තමන් අතට ගෙන කිසියම් දේපළ හානියක් කර සතුටු වන පිරිස් ආදියයි. 

මෙවැනි විනාශයක් මගින් රට ගොඩනැගිය හැකි යැයි සිතන අවංක අතළොස්සක් ද මේ අතර සිටිති. මේ පිරිසට ඒ අවංකත්වයට සෑහෙන ප්‍රඥාවක් ද තිබිණි නම් මේ රට අඟලක් ආපස්සට යන කිසිවකට ඔවුන් ඉඩ දෙන්නේ නැත. අරගලය පිටුපස සිටින මහ මොළකරුවන්ගේ රූකඩ බවට පත්වන්නේ ද නැත.

පක්ෂ දේශපාලනය, පෞද්ගලික වාසි අවාසි, නින්දා ගැරහුම් සියල්ලට ඉහළින් මව්බිම තබා කටයුතු කිරීමට උවමනා ශක්තිය ලැබෙන්නේ ඔවුන්ගේ අවංකත්වයට ප්‍රඥාව එකතු වූ විටය.


 
සිය රට දේ සිරි සැප දේ !