Sunday, March 22, 2009

පිං බත් කන නිකමුන්

මේ පමාවට නම් කිසිදු සමාවක් නැත

මේ වන විට ශ්‍රී ලංකාවට යුද්ධ දෙකක් කරන්නට සිදු වී තිබේ. ඉන් පළමුවැන්න කොටි ත්‍රස්තවාදීන්ට එරෙහි යුද්ධයයි. දෙවැන්න ජාත්‍යන්තරයෙන් හමා එන කොටි මතවාදය පරාජය කිරීමේ යුද්ධයයි.
කිසිදා පරාජය කළ නොහැකි බව ජාත්‍යන්තරය පුන පුනා කියූ කොටි ත්‍රස්තවාදය අද වන විට සිටින්නේ සිය මිනී වළ ආසන්නයේ ය. නමුත් ජාත්‍යන්තරයෙන් පෝෂණය වන කොටි මතවාදයේ තත්ත්වය එය නොවේ. කොටි ත්‍රස්තවාදය වනසා දමන තීරණාත්මක මහ සටනේ අවසන් අදියරේ දී පවා මේ කොටි මතවාදීහු ශ්‍රී ලංකාවට එරෙහිව අවි අමෝරාගෙන නැගී සිටිති.

එහි අලුත්ම සිද්ධිය පසුගිය දා වාර්තා වූයේ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසම තුළිනි. මෙම කොමිසමේ මහ කොමසාරිස්වරිය වන නවනීදන් පිල්ලේ මහත්මිය දෙමළ ජාතික කාන්තාවකි. දෙමළ වූ පමණින්ම ඇය කොටි ත්‍රස්තවාදයට උඩගෙඩි දෙන බව කියන්නට තරම් අපි අසුබවාදී නොවෙමු. නමුත් එවැන්නක් සිදුව තිබේ. ප්‍රශ්නය ඇත්තේ එතැනය. මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස්වරිය ලෙස කොටි මතවාදයට ඔක්සිජන් සපයමින්ශ්‍රී ලංකාවේ යුද්ධය සම්බන්ධයෙන් ඇය කර ඇති ප්‍රකාශය අතිශයින්ම බරපතළ ය. ඇය විසින් නිකුත් කරන ලද වාර්තාවක් මගින් කියා ඇත්තේ මෙම යුද්ධයෙන්ශ්‍රී ලංකා රජය ජය ලබන බව පෙනෙන්නට තිබෙන නමුත් ඒ වෙනුවෙන් සිවිල් වැසියන්ගේ ජීවිත බිලි දෙන්නට සිදුව තිබෙන බව ය. ජනවාරි මාසයේ සිට මේ වන විට සිවිල් වැසියන් 2800 දෙනකු පමණ යුද ගැටුම් හේතු කොටගෙන මිය ගොස් ඇති බව ද ඇය පවසා තිබේ.

කොටි ත්‍රස්තවාදීන් සාමාන්‍ය ජනතාව මිනිස් පලිහක් ලෙස භාවිත කරන බව පිල්ලේ මහත්මිය පවසා ඇතත් ඒ පිළිබඳ කොටි ත්‍රස්තවාදීන් වගඋත්තරකරුවන් කරමින් විවේචනය කරන්නට හෝ සිවිල් වැසියන් නිදහස් කරන ලෙස එල්ටීටීඊයෙන් ඉල්ලා සිටින්නට ඇය කටයුතු කර නැත.

මීට පෙරාතුව නීදන් පිල්ලේගේ තනතුර දැරූ ලුවී ආබර් මහත්මිය ද කොටි මතවාදය පෝෂණය කිරීම සඳහා කැප වී ක්‍රියා කළ බව අපට අමතක නැත. එක් අවස්ථාවක දී එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කාර්යාලයක්ශ්‍රී ලංකාවේ ස්ථාපිත කළ යුතු යැයි ඇය කීවා ය.

මේ අතරේ යුරෝපා සංගමයේ විදේශ කටයුතු පිළිබඳ කොමසාරිස්වරිය වන ජෙනිටා වෝල්ට්නර් කියා තිබෙන්නේ විශේෂ දේශපාලන කමිටුවක්ශ්‍රී ලංකාවට එවා එහි තත්ත්වය සොයා බැලීමට කටයුතු කරන බව ය.
මේ සියලු කාරණා එකින් එක විශ්ලේෂණය කර බැලීමේ දී තහවුරු වන එක් කරුණක් තිබේ. එනම් කොටි ත්‍රස්තවාදයට එරෙහි දැවැන්ත යුදමය ක්‍රියාදාමය රජය ඉතා සාර්ථකව ඉදිරියට ගෙන ගියත් කොටි මතවාදයට එරෙහිශ්‍රී ලංකාවේ මතය නොඑසේ නම් වන්නි මානුෂීය මෙහෙයුමේ යථා තත්ත්වය නිසියාකාරව ජාත්‍යන්තරයට ඒත්තු ගන්වන්නට රටක් වශයෙන් අප අපොහොසත් වී ඇති බව ය. එම සටනේ දී කොටින්ගේ ජාත්‍යන්තර මෙහෙයුම් ජාලය අපට වඩා ඉදිරියෙන් සිටින බව මෙහි දී පෙනී යන කරුණකි.

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසම තුළත්, යුරෝපා සංගමයේ විදේශ කටයුතු අංශය තුළත් කොටි මතවාදය රජ කරවන්නට එල්ටීටීඊයට හැකි වී තිබෙන්නේ ඔවුන්ගේ ජාත්‍යන්තර ප්‍රචාරක ජාලය ඉතා සියුම් අයුරින් සිය මතවාදය එම ආයතන මෙහෙයවන්නන්ගේ හිස්ගෙඩි තුළට ඇතුළු කරන්නට ඔවුන් සමත්ව ඇති නිසා ය.
මේ තත්ත්වය වඩාත් හොදින් තහවුරු කරමින් ත්‍රස්තවාදය පිළිබඳ ජාත්‍යන්තර මට්ටමේ විශ්ලේෂකයකු වන ආචාර්ය රොහාන් ගුණරත්න මහතා ‘රිවිර’ හා කළ සම්මුඛ සාකච්ඡාවේ දී (එය 11 වැනි පිටුවේ පළවේ) පවසා ඇත්තේ අප කොතරම් කැපවීමෙන් හා උත්සාහයෙන් කොටි ත්‍රස්තවාදය පරාජය කරමින් සිටියත් ඒ පිළිබඳව වන අපගේ විදේශ ප්‍රතිපත්තිය එම මට්ටමේ නොමැති බව ය. එම තත්ත්වය නොපමාව වෙනස් කර නොගතහොත් ජාත්‍යන්තරය ඉදිරියේ අප අසරණ වනු ඇති බව ද ඔහු පවසා තිබේ.

මේ සියලු කාරණා විශ්ලේෂණය කර බැලීමේ දී එකක් පැහැදිලි ය. එනම් මෙරටේ විදේශ කටයුතු අමාත්‍යංශය තමන් වෙත පැවරී ඇති වගකීම නිසියාකාරව ඉටු නොකරන බව ය. මේ පිළිබඳව රොහාන් ගුණරත්න මහතා පවසන්නේ මෙරටේ විදේශ අමාත්‍යංශය හමුදා නිලධාරින් මෙන්ම කැපවීමෙන් කටයුතු කළ යුතු බව ය.

බටහිර ඌරුවටම ඉංගිරිසියෙන් කතා කරන්නට හැකියාව තිබූ පමණින්ශ්‍රී ලංකාවේ මානුෂීය මෙහෙයුම ජාත්‍යන්තරය ඒ අයුරින්ම පිළිගන්නා ආකාරයට සන්නිවේදනය කරන්නට නොහැකිය. ඒ සඳහා බුද්ධිය, තර්කන ශක්තිය මෙන්ම බොහෝ ඇසූපිරූ තැන් ඇති බව ද ඉතා වැදගත් ය. ඒ අයුරින් බලන කල සිය මිනී වළ ආසන්නයේ වැතිර හිදිමින් වුවද සිය මතවාදය ජාත්‍යන්තරයේ හිස්ගෙඩි තුළට ඇතුළු කරන්නට කොටි ත්‍රස්තවාදීන්ට හැකි වී තිබේ.

මේ කොටි මතවාදය අබිබවා යන්නට නොහැකිවීමේ වගකීම මුළුමනින්ම විදේශ කටයුතු අමාත්‍යංශය භාරගත යුතු ය. කොටි මතවාදයට උඩගෙඩි දෙන ප්‍රකාශයන් මෙන්ම ක්‍රියාකාරකම් ද ජාත්‍යන්තරයෙන් එළියට එන්නේ විදේශ අමාත්‍යංශයේ දුර්වල ප්‍රචාරක යාන්ත්‍රණය හේතුකොටගෙන ය.

පසුගිය චන්ද්‍රිකා ආණ්ඩුව යුද්ධය හරිහැටි නොකළාට කොටි මතවාදය ජාත්‍යන්තරය තුළ අසරණ කරන්නට හැකි ජෙනරාල්වරයකු ඒ ආණ්ඩුවේ සිටියේ ය. ඒ ලක්ෂ්මන් කදිර්ගාමර් ය. කොටි මතවාදයට එරෙහිව ජාත්‍යන්තරය තුළ ජයග්‍රාහී මානසික යුද මෙහෙයුමක් කළ කදිර්ගාමර් වැන්නකුගේ සේවය මේ රජයට අත්‍යවශ්‍යම මොහොතකි මේ. කොටි ත්‍රස්තවාදය යුදමය වශයෙන් අනාථ වී ඇති මෙවන් මොහොතක කදිර්ගාමර් වැන්නකු මේ ආණ්ඩුව තුළ ද සිටියා නම් කොටි ත්‍රස්තවාදය පමණක් නොව කොටි මතවාදය ද මේ වන විට වළපල්ලේ ය.

කෑලි පහේ සූට් එක ඇඳ රට රටවල් ගානේ ඇවිදිමින් සුද්දන්ගේ භාෂාවෙන් උජාරුවට කතා කළාට සත පහකටවත් වැඩක් නැත. සිදු කළ යුත්තේ කොටි මතවාදය පරාජය කිරීමේ ශක්තිමත් ජාත්‍යන්තර යාන්ත්‍රණයක් විදේශ අමාත්‍යංශය හරහා නොපමාව සවිබල ගැන්වීම ය. ආචාර්ය රොහාන් ගුණරත්න මහතා කියන ආකාරයටම හමුදාව මෙන් කැපවීමෙන් වැඩ කරන පිරිසක් ඊට අත්‍යවශ්‍ය ය.

සත්‍යය හා යථා තත්ත්වය අබිබවා කොටි මතවාදය ජාත්‍යන්තරය තුළ ඉස්මතු වීමෙන් අපේ විදේශ අමාත්‍යංශයේ පුස්ලෝඩංලාගේ කයිවාරුවේ තරම මනාව පැහැදිලි වෙයි. මේ තීරණාත්මක මොහොතේ දී අත්‍යවශ්‍යව ඇත්තේ නිවැරදි කෙරුවාවයි. සිදුව ඇත්තේ කෙරුවාව පසෙකලා කයිවාරුව පමණක් ඉස්මතු වීම ය. මේ තත්ත්වය නොපමාව පාලනය නොකළහොත් එය විශාල හානියක පෙරනිමිත්තක් විය හැකි බව අපි දැඩිව අවධාරණය කරමු. දැන් කළ යුත්තේ ලෙඩේට බෙහෙත් දීම ය. ඒ සඳහා කොටි මතවාදය පැරදවිය හැකි ප්‍රතිජීවකයන්ගෙන් සන්නද්ධ වූ වෛද්‍ය විශේෂඥයකුගේ සේවය හා මෙහෙයවීම අපේ විදේශ අමාත්‍යංශයට ලැබිය යුතුම ය. එසේ නොමැතිව තවදුරටත් බකංනිලා සිටීමෙන් නම් පලක් ඇත්තේම නැත. ලෙඩා පසෙක සිටිය දී තවදුරටත් වෙදාම බෙහෙත් බොන්නට ගියහොත් ලෙඩාට දෙයියන්ගේම පිහිට ය. එබැවින් ජාත්‍යන්තරව ඉස්මතු වන කොටි මතවාදය පැරදවීමට තවදුරටත් පමා වුවහොත් කවරකුට වුව කිසිදු සමාවක් ද නැති බව මේ කවුරු කවුරුත් වටහාගත යුතු ම ය.
(රිවිර_09/03/23)

පසුවදන_අපේ විදේශ ඇමතිතුමා අවුරුද්දේ දවස් 365ක් නැත්නම් 366ක් පිටරට ය. ඊට අමතරව ලංකා ආණ්ඩුව විසින් ජනතා බදු මුදලින් නඩත්තු කරන තාතාපති කාර්යාල ය. ඒවායේ සිය ගණනක් නිලධාරීහු සිය ජීවිතයේ අවසාන කාලය දැහැමින් සෙමෙන් ගත කරති. රටට ඉන් ලැබෙන අබ මල් රොනක සේවයක් නැත. මේ විදේශ සේවා තිබුණාට වඩා නොතිබුණා නම් හොඳ ය. මේ ගැන සිය දහස්වරක් අප කල්පනා කළ යුතු ය. රට වෙනුවෙන් කැපවී වැඩ කරන අතළොස්සක් වූ තානාපති අංශවල නිලධාරීහු මේ ගණයට අයත් නොවෙති. ඒ අතළොස්ස අප පිං බත් කන නිකමුන් නොවේදැයි පශ්චාත්තාප විය යුතු නැත.

8 comments:

Sankha said...

අපි පත්තර වලින් කියවන ඒවා ආයෙත් ටයිප් කරන්නේ නැතුව තමන්ගේ කියලා වචන කිහිපයක් හරි ලියනවා නම් අපිට සංවාදයක් කරන්න පුලුවන්. නැත්තං අනුන්ගේ දේවල් වලට ඔයාගෙන් අහල වැඩක් නෑනෙ.

නාමල් උඩලමත්ත said...

නෑ සංක, මම මේ කතුවැකි දාන්නේ ටයිප් කරලා නෙමේ. ඒවා කන්වර්ට් කරලා දාන්නේ. ඒ කතුවැකිවල සමාජීය වශයෙන් වැදගත් කතාබහට ලක්විය යුතු දේ තියෙනවා කියලා මම විශ්වාස කරනවා.

අනෙක ඒ හැම කතුවැකියක ම මගේ පසුවදනක් හෝ පෙර වදනක් තියෙනවා. ඒක නොදැක්කා වෙන්න ඇති ඔයා.

යමක් ගැන කතා කරන්න, සංවාද කරන්න ඒක කරපු හෝ ලියපු කෙනා අවශ්‍ය නැහැ. ඒ ගැන තමන්ගේ නිදහස් අදහස් පළකරන්න ඒක බාධාවක් නෙමේ. විචාරය කියන්නේ ඒකටනේ.සමහර දේවල් කළේ කවුද කියලා අපි දන්නෙවත් නැහැ. නමුත් ඒවා වටා විචාර ගොඩනැගෙනවා. සීගිරි ගී, සිතුවම් හොඳ උදාහරණ. අපි දන්නව ද යසෝදරාවත ලීවේ කවුද කියලා?

ඒ නිසා සංක, කියන දේ මිස කියන කෙනා අදාළ නැහැ. ඒ නිසා ඔබේ අදහස් මෙහි ලියන්න කිසි බාධාවක් නැහැ. ඔබ ලියන දේ ගැන අනෙක් අයටත් අදහස් ලියන්න පුළුවන්.

මගේ ම අදහස් සමග සංවාදයට සංහිඳ හැම විට ම විවෘතයි. මෙන්න ලිපිනය_http://sanhindha.blogspot.com/

Sankha said...

රයිට්, එහෙනම් මම ඔබගෙන් ප්‍රශ්ණ කිහිපයක් අහන්නම්.
1 මානූෂීය ‍මෙහෙයුම්ක් ලෙස අර්ථ දක්වා ඇති යුද්ධයෙන් සාමාන්‍ය මිනිස්සු විශාල වශයෙන් මිය යන බව ඔබ විශ්වාස කරනවාද? (2800 ක් නැතත් 1000ක් වත්)
2 දෙමළ මිනිස්සු බේරා ගන්න යන බව කියමින් ඒ මිනිස්සු මැරෙන එක දරුණු අපරාධයක් නොවේද?
3 හැමදාම ෂෙල් ගහන පෙදෙසක ඔබේ මව, පියා , පවුලේ අය සිටී නම් ඔබ කුමක් කරනවද? (සාමාන්‍ය මිනිස්සුන්ට අනෙක් දේවල් අදාළ නෑනේ)
අපි බලමු සංවාදයක් කරන්න පුළුවන්ද කියලා

නාමල් උඩලමත්ත said...

ආ බොහොම හොඳයි. එහෙම තමා නැණවත් අය. හරි මමත් ඔයාගෙන් ප්‍රශ්න කිහිපයක් අහන්නම්කෝ.

1. වසර 30ක් තිස්සේ ම්ලේච්ඡ ත්‍රස්තවාදයට ගොදුරු වී සිංහල දෙමළ මුස්ලිම් මිනිස්සු, දේශපාලන නායකයින්, පූජකවරු සිය දහස් ගණනක් මිය ගිය බව ඔබ පිළිගන්නව ද? ඒ මිනිස්සු (දේශපාලන නායකයින්) මේ යුද්ධයට කිසිම සම්බන්ධයක් නෑ කියලා ඔබ පිළිගන්නව ද? කැලෑ හේනක් කොටලා ජීවත් වුණු අහිංසක දියෝනිස් අයියා, බස් එකේ වැඩට යන එන මිනිස්සු, ජය ශ්‍රී මහ බෝධිය ළඟ සිල්ගත් මිනිස්සු, ගොඩපිටියේ පල්ලියේ මුස්ලිම් මිනිස්සු මේ යුද්දේ හවුල්කාරයෙක් නෙමේ කියලා ඔයා පිළිගන්නව ද? වසර 30ක් තිස්සේ කොටි උතුරු නැගෙනහිර සිංහල මුස්ලිම් මිනිස්සු පළවා හැරියා කියලා ඔබ පිළිගන්නව ද? යාපනේ මුස්ලිම් අයට පැය 24න් ඇඳිවත සහ රු.500ක් අරන් පිටවෙන්න කීවේ කියලා කොටි කී බව පිළිගන්නව ද?

2. සාමාන්‍ය දෙමළ මිනිස්සුන්ට ඉන්න රජය කොටි සංවිධානය එක්සත් ජාතීන් සහ රතු කුරුසය ඒකමතිකව පිහිට වූ යුද මුක්ත කලාපය ඒකපාර්ශවීයව කොටි සංවිධානය බිඳ දමා ඇති බවත් එය එක්සත් ජාතීන් සහ රතු කුරුසය පිළිගෙන ඇති බවත් ඔබ දන්නව ද? ඒ යුද මුක්ත කලාපයේ සාමාන්‍ය ජනතාව අතර සිට කොටි හමුදාවට ප්‍රහාර එල්ල කරන බව ඔබ දන්නවද? එහි ඡායාරූප දැක්ක ද? මෙසේ කිරීමෙන් ඒ අහිංසක ජනතාවගේ මිනී වළ කපන්න උත්සහ කරන්නේ ඒ විමුක්තිවාදීයා කියලා ඔබ පිළිගන්නව ද? ඒ අහිංසක මිනිස්සු උන්ගේ අපායෙන් පැනලා එද්දි කොටි වෙඩි තියලා හැමදාම මිනිස්සු මැරෙනවා කියා ඔබ දන්නව ද?


3.හැමදාම ෂෙල් ගහන තැන ඒ මිනිස්සු බලෙන් තියාගෙන ඉන්නේ කොටි. රෑට මිනිස්සු පළා යන එක නවත්තන්න කොටි ඇඳිරි නීතිය දාලා යුද මුක්ත කලාපයේ. ඒත් හමුදාව මේ වන විට බර අවි වලින් ප්‍රහාර එල්ල කිරීම නතර කරලා තියෙන්නේ. දැන් ඒ මිනිස්සු විය යුතු පරිදිම කොටින්ට එරෙහිව නැගී ඉන්නවා. අපේ අම්මා තාත්තා උනත් කරන්නේ ඒ ටික තමා. මතක තියාගන්න ඒ අය බලෙන් රඳවගෙන ඉන්නේ. ඒක එක්සත් ජාතීන් පවා පිළිගන්න බව දන්නව ද? සැබෑ වීරයෙක් නම් එළාර වගේ ද්වන්ධ සටනට එන්න ඕන නේද? ජනතාවට මුවාවෙලා ඒ මිනිස්සු අනතුරේ දාන්නේ කවුද? කොහොම වුණත් කොටි කියන විදිහට දෙමළ ජනතාව සමූල ඝාතනය කරන හමුදාව හොයාගෙන දවසට දහස් ගණනින් ද්‍රවිඩ ජනතාව එනවා කියා දන්නව ද? පුදුමයි නේද?

Sankha said...

මට ඔබට පිළිතුරු තිබේ. ඒවා ප්‍රතිප්‍රශ්න නොවේ. නමුත් අවාසනාවන්ත ලෙස මට දැන් නිවසට යා යතුය. දැනට ඔබ මේ ලින්ක් එක කියවන්න. අසමාන අදහස් ඉවත දැමීමත් සමාන අදහස් හා මුසුවීම සාමාන්‍ය වුවත් පරස්පර විරොදී ඔබ සමග අභිමුඛ වීම සතුටකි. අනෙකා යටපත් කරනවාට වඩා ස්ථාවරය පැහැදිලි කරගැනීම මගේ අදහසයි. හෙට හමුවෙමු.
http://internationalpeaceandconflict.ning.com/profiles/blogs/urgent-attention-a-letter

මේ වර්තමානය ගැන කතාවකි. අතීතයේ සිදුවීම් ද අපි හොයා බලමු

Sankha said...

ඔබට පිළිතුරු ලිවීමට කල් ගත වීම ගැන මුලින්ම කණගාටුව ප්‍රකාශ කරනවා.
ඔබ විසින් මුලින්ම දක්වා ඇති ප්‍රශ්නය ලංකාවේ සියළුම සිංහල මිනිසුන් විසින් ඉදිරිපත් කරන ප්‍රශ්ණයයි. ඇත්තටම මමත් LTTE විසින් දරන මතවාදයට එකග නැහැ. ඔවුන් ජාතීවාදය කරපින්නා ගෙන සිටින වුන්. නමුත් මම පිළිගන්නවා දෙමළ ජනයාට සන්නද්ධ නැගී සිටීමටකට තරම් වන හේතු ලංකා ඉතිහාසය තුල තියෙන වග. ඒ සදහා පහත කරුණු ප්‍රධානකොටම හේතු වුණා.
1 නිදහසින් පසු ශ්‍රී ලංකාවේ දේශපාලන බලය දෙමළ ජනතාවගෙන් ඈත්වීම නිසා සිංහලට පමණක් වාසිදායක නීති සම්මත වුණා. ඒ නිසා ව්‍යුහමය වශයෙන්‍ දෙමළ ජනතාව කොන් වුනා. සිංහල රාජ්‍ය භාෂා නීතිය, විශ්ව විද්‍යාල කොටා ඒවට උදාහරණ
2 තමන්ගේ අසාධාරණයන්ට ‍එරෙහිව අවිහිංසාවාදීව නැගී සිටි විට සෑම විටම ඒ ගැටලු වලට පිළිතුරු සෙවීමට වඩා පැවති රජයන් උත්සාහ ගත්තේ ඒවා හිංසනය යොදා යටපත් කිරීමටයි. මෙහි කූඨාප්‍රාප්තිය 83 කළු ජූලියයි.
3 තමන්ගේ ජාතීයෙම රජයයන් පවතිද්දී වුවද සිංහල මූලික කරගකරගත් ආණ්ඩු විරෝදී කැරළි දෙකක්ම දකුනේ හටගත්තා. වෙනස වූයේ සන්නද්ධ අරගලය තුල ක්‍රියාත්මක වීමේදී LTTE ය වඩා දක්ෂ වීමයි.

එහිදී තම අයිතිවාසිකම් දිනාගැනීමට සන්නද්ධ ක්‍රියා මාර්ගය උපක්‍රමය වශයෙන් භාවිතා කිරීමේදී විනාශ කාරී ක්‍රියා සිදුකිරීම නැවැත්විය නොහැකියි (ඒ එවැනි මාවතක් තෝරා ගන්නේ කිසියම් අදියට කිහිපයක් පසු කිරීමකින් පසුවයි)උතුරු අයර්ලන්තය,නේපාලය, බංගලාදේශය, පලස්තීනය,ඉන්දියාව මේවට උදාහරනයි. මම එම ක්‍රියා සාධාරනීකරණය කරන් නෑ, ඒත් ඒවා මැඩ පැවැත්වීමට ප්‍රති හිංසනය පිළිගන්නේ නෑ.

දැන් අපි වත්මන් තත්ත්වේ ගැන හිතමු. LTTE ය දෙමළ මිනිස්සුන්ව මිනිස් පළිහක් විදිහට තියාගන්න බව ඇත්ත. ඒත ඇයි අපිට හිතන්න බැරි ඒ තියාගෙන ඉන්නේ අපේම මිනිස්සු බව. මම දුන්න ලින්ක් එක කියෙව්වනම් ඔබට තේරේවි LTTE නොවන දෙමළ ජනයා මේ වන (අ)මානුෂිය මෙහෙයුම ගැන දුක් වෙනවද කියලා. අපි අපේ කෙනෙක් LTTE අත්අඩංගුවේ ඉන්නවා නම් කොහොමහරි ඒගොල්ල බේරගන්නවා. ඒත් දෙමළ මිනිස්සු නිසාවෙන්ම ඒ මිනිස්සුන්ට අනුකම්පාවක් දක්වන්න අපි කැමති නැහැ. තවමත් රජයේ හමුදා බරඅවි පාවිච්චි කරනවා. ඔබ ජාත්‍යනත්ර මාධ්‍ය ගැන අවධානයෙන් ඉන්නවා නම් තෙ‍්රේවි දිනකට මිනිස්සු මිය යන ගණන. මල්ටි බැරල්, කාලතුවක්කු වලින් වෙඩි වදින්නේ LTTE යට පමණක් නෙවෙයිනේ.
සිංහල මාධ්‍ය වලින් කියූ පමනින් යුද්ධෙට යවන එක වත් මරාගෙන මැරෙන්න යන එකවත් බලෙන් කරන්න බැහැ. ඒ වගේම ඒක කියන තරම් ලේසිත් නැහැ. තම ජාතිය වෙනුවෙන් පෙනී සිටින සංවිධානයකට මිනිස්සු සහයෝගය දෙන බව පිළිගන්න දකුනේ මිනිස්සුන්ට දැඩි අපහසුතාවයක් තියෙනවා. ‍
රාජ්‍ය හමුදාවකට එරෙහිව සටන් කරන ගරිල්ලාවන් මිනිසුන් අතර ඉන්නවා කියන එක අධ්‍යයනික වශයෙන් ද ඉදිරිපත් වන්නක්. ගරිල්ලාවන් සමග සට‍නේ ජයග්‍රහනය වන්නේ ඔවුන් ජීවත් වන මිනිසුන් දේශපාලනිකව දිනා ගැනීමයි. උදේ දවල් මල්ටි බැරල් ෂෙල් වෙඩි තබන, කන්පුපුරා මැරෙන්න තරම් ශබ්දයකින් එල්ල කරන පොකුරු බෝම්බ සහිත ගුවන් එල්ල වූ මිනිසෙකු තව දුරටත් එකම රටක විසිමට හිත හදා ගැනීම විශාල ගැටළුවකි.

මිගාර said...

"විශ්ව විද්‍යාල කොටා"

People who benefited from quota system are Sinhalese people who are in outskirts of the country, tamils of central province and low caste tamils in north. Now the criticism on quota comes from Vellars of Jaffna who could bear seein a SInhalese become a doctor but not a low caste "Harijan" from Jaffna. These are the very people benefited from it. If you want to get back the merit system, and you'll see Colombo, Kandy , Galle and Matara overwhelming Jaffna with such an ease.

Sankha said...

ඒ පැවතුනු කාළේ තිබුණු සන්දර්භයෙන් පිටින් බැලුවම සාධාරණීකරණය කරන්න පුලුවන් දේවල් බොහෝමයක් තියෙනවා. ඒත් සාපේක්ෂව ද්‍රවිඩ මිනිස්සු හොදට ඉගෙනගන්න උනන්දුවක් දක්වනවා. ඔවුන්ට කෙරුණු අනෙකුත් අසාධාරණ කමුත් එක්ක ඔවුන් මෙම ක්‍රියාපිළිවෙලත් තමන්ට එරෙහි දෙයක් ලෙස ගත්තා. උදාහරණයක් ලෙස සිංහ කොඩියේ සිංහයා තමන්ගේ පැත්තට කඩුව දික්කරගෙන ඉන්නවා කියලා සමහර ද්‍රවිඩ නායකයෝ අර්ථ නිරූපනය කළා. කෙසේ වෙතත් අපි මිනිස්සු හැටියට අවශ්‍ය වෙන්නේ නිදහසට කරුණු කියන්නවත්, ඒවා මගහරින්නවත් නොවේ. සැබෑ තත්ත්වේ සොයා බැලීමයි.

 
සිය රට දේ සිරි සැප දේ !