Tuesday, March 31, 2009

පිටි මකුණාගෙන් එල්ලුම් ගස බේරා දෙන්න!

ප්‍රභාකරන්ගේ නාමය ක්‍රමයෙන් වියැකී යන මේ මොහොතේදී ඔහුට වඩා ප්‍රසිද්ධියට පත් වේ යැයි සිතිය හැකි තවත් නමක් ජනතාව අතර කතා බහට ලක් වෙමින් පවතී. ඒ වු කලී පිටි මකුණා ය. පිටි මකුණා යනු පුස් වර්ගයකි. විවිධ ගහ කොළ මත පැතිරෙන මේ සතා ඒවා කා දමා විනාශ කරයි. එළවළු, පළතුරු, මල් ඇතුළු ඕනෑම ශාකයක් සැළකිය යුතු කාලයක් තුළ මුල් සහ නාරටිය පමණක් ඉතිරි වන සේ කා දැමීමේ කුසලතාව මේ පුස් වර්ගයට තිබේ. 1992 දී මෙක්සිකෝවේදී මේ භයානක ජීවියා හඳුනා ගන්නා ලදී. දැනට මේ සත්ත්වයා පැතිර සිටින රටවල් තුළ ඌ ගොදුරු කර ගන්නා කෘමි වර්ග ව්‍යාප්තව සිටියි. ඒ බැවින් උගේ ගහණය පාලනය වී ඇත. පිටි මකුණා පිළිබඳ ජීව විද්‍යාත්මක කතාව එතෙකින් නිම ය. මෙතැන් සිට අප සාකච්ඡා කරන්නේ ඌ පිළිබඳ සමාජ කතාව ය.

ලෝකයේ කෘෂිකාර්මික රාජ්‍ය වැඩි හරියක් තමන් අවට සිටින පළිබෝධ හා කෘමි උවදුරු ගැන දැනුවත් ය. ඒ මොහොතේදී තම වගාව ආක්‍රමණය කරන සතා මොකා වේවා කුඩා ළමයාගේ පටන් ඒ ගැන දැනුවත් කිරීම සිදු වේ. මන්ද, ආක්‍රමණිකයා විසින් සිය ආහාරය විනාශ කරන ලද්දේ නම් ස්ථිර වශයෙන්ම රටවැසියා බඩගින්නේ සිටින හෙයිනි. කවුරු කොහොම කිව්වත් ශ්‍රී ලංකාව යනු කෘෂිකාර්මික රාජ්‍යයකි. 1977 දී එය අමතක කරවීමට විශාල උත්සාහයක් දරන ලද නමුදු අද එය යළිත් මතක් කර දෙමින් පවතී. ඒ අනුව මෙකල සිටින භයානකම පළිබෝධය වන පිටි මකුණා ගැන පාසල් දරුවා පවා දැන සිටිය යුතු ය. එහෙත් පාසල් දරුවා තබා ගුරුවරයාවත් කෘෂිකර්ම අමාත්‍යාංශයේ ප්‍රධානීන්වත් ඒ පළිබෝධය ගැන නො දන්නා බවට අපි ඔටිටු අල්ලමු. පිටි මකුණා යනු මකුණෙක් ද, නැතහොත් පිටි සෑදීමට පාවිච්චි කරන ඇට වර්ගයක් ද යන්න පිළිබඳ පැහැදිලි අවබෝධයක් තවමත් අපේ රටේ වැඩි දෙනාට නැත. පිටි මකුණා ගැන දැනුවත් වී නැතැයි පසුගියදා කෘෂිකර්ම ඇමැති හේමකුමාර නානායක්කාර මහතා නිලධාරීන්ට දොස් කීය.

ශ්‍රී ලංකාව කාලයෙන් කාලයට විවිධ පළිබෝධ සහ කෘමි අර්බුදවලට මුහුණ දී ඇත. 1970 - 77 අතර සිටි ලොකුම කෘමි සතුරා පොල් කුරුමිණියා ය. ඌ පොල් ගසේ සියලු පලද, ගොබද, බොඩ ද අනුභව කර ලයිටි කණුවක් සේ පෙනී යන පරිදි ගස පමණක් ඉතිරි කළේය. 1970 - 77 කාලයේදී ශ්‍රී ලංකාව පාලනය කළ සමඟි පෙරමුණු ආණ්ඩුව පොල් කුරුමිණියා සමඟ හරි - හරියට හැපුණේය. අවසානයේදී ආණ්ඩුව දිනා කුරුමිණියා පරාද විය. එහෙත් ඊළඟ ඡන්දයේදී ආණ්ඩුව පැරදින. එහෙත් ජයග්‍රහණය කළ ජීවියා පොල් කුරුමිණියකු නොවේ. ආර්ථික මකරෙකි. ශ්‍රී ලංකාව කෘෂිකාර්මික රාජ්‍යයක් බව ක්‍රමයෙන් අමතක කරවන ලද්දේ එකී ආර්ථික මකරා විසිනි. මේ ආර්ථික මකරා විවෘත ආර්ථිකය යනුවෙන් ද හඳුන්වන ලදී.

පිටි මකුණා මේ දිනවල මේ රටේ ගස්ලබු වගාව කා දමමින් සිටී. විනාශ වු ගස්ලබු ගස් කපා බිම දමනවා ද නො එසේ නම් පුළුස්සා විනාශ කරනවා ද යන්න ගැන පැහැදිලි අදහසක් කාටවත් නැත. මන්ද ඒ ගැන දැනුවත් කිරීමක් සිදු කර නැති හෙයිනි. ආණ්ඩුව හා කෘෂිකර්ම අමාත්‍යාංශය කළ යුත්තේ පැය විසිහතරම මේ පළිබෝධය ගැන ජනමාධ්‍ය හරහා ජනතාව දැනුවත් කිරීම ය. දැනට රජයේ මාධ්‍ය මගින් හලන දේශපාලන සම්පප්‍රලාපවලින් ස්වල්පයක් නවත්වා මේ සතා ගැන ප්‍රචාරයක් දිය හැකි නම් එය පිංකමකි. නැතහොත් රටේ සියලු ගස් කා දමා, හදිස්සියකට අපරාධකරුවකු එල්ලීමට ඇති (දැනට පාවිච්චි නොවන) එල්ලුම් ගස පවා මේකා විසින් කා දමනවා ඇත!
(දිවයින_09/04/01)

Thursday, March 26, 2009

ආසියාව ගින්දරට මෙතරම් කැමැති ඇයි?

මෙයට අවුරුදු හතළිස් හයකට පෙර එළැඹි ජුනි මාසයේ 11 වැනිදාවක වියටිනාමයේ සයිගොන් නුවර කාර්ය බහුල වීථියක් මැදට පැමිණි බෞද්ධ භිකෂුන් වහන්සේ නමක් පද්මාසනයෙන් හිඳ ගත්හ. එය ගිනි ගහන අව්වක් විසින් හාත්පස උණුසුම් කරන ලද දවාලකි. භිකෂුන්වහන්සේ පද්මාසන ඉරියව්වෙන් සිටිනාතර තවත් භිකෂුන්වහන්සේ දෙනමක් උන්වහන්සේගේ සිරුර මතට කෑන් දෙකකින් පෙට්‍රල් වත් කළහ. ඡායාරුප ශිල්පීන් සහ මිනිසුන් සිය ගණනක් බලාගෙන සිටියදී පද්මාසන ඉරියව්වෙන් සිටින අතරම භිකෂුන්වහන්සේ සිරුරට ගිනි තබා ගත්හ.

යකඩ තරම් සවිමත් හිතක් හා අත් පා ඇති මිනිසකු පවා, සිය කැමැත්තෙන් සිරුරට ගිනි තබා ගත් කල්හි වුවද මුලින්ම කරන්නේ මර හඬ නැගීම ය. ඊළඟට හේ උඩ පනිමින් ගින්න නිවා ගැනීමට තැත් කරයි. එහෙත් ගිනි දැල් සිය සිරුර වසා බුර බුරා ඇවිලී යද්දීත් පෙර කී භිකෂුන්වහන්සේ පද්මාසන ඉරියව්වෙන්ම සිටියහ. කිසිදු හඬක් උන්වහන්සේ නිකුත් කළේ නැත. ක්‍රමයෙන් අඟුරු බවට පත් වු උන්වහන්සේගේ සිරුර පද්මාසන ඉරියව්වේ පදනම සංකේතවත් කරමින් අළු බවට පත්විය.

මේ භිකෂුන්වහන්සේගේ නම ටිච් ක්වාන් ඩක් ය. මේ කියන කාලයේදී වියටිනාමය පාලනය කළේ ප්‍රංශයට ගැතිකම් කළ ක්‍රිස්තියානි පවුලක් විසිනි. රටේ නායකයා ඩීන් ඩියම් නම් විය. ඔවුහු රටේ බෞද්ධයන්ට හිරිහැර කරමින් ක්‍රිස්තියානි සමය පැතිරවීමෙහි නියුතු වුහ. ක්වාන්ඩක් හාමුදුරුවන් වහන්සේ සිරුරට ගිනි තබා ගත්තේ මේ ව්‍යාපාරයට විරෝධය පළ කිරීමක් ලෙසිනි. හැත්තෑ තුන්හැවිරිදි ක්වාන්ඩක් හිමිනම සිරුරට තබාගත් ගින්න ඉන් සති කිහිපයක් තුළ රට පුරා ඇවිල ගොස් ඩින් සියෙම්ගේ ක්‍රිස්තියානි පාලක පවුල බලයෙන් එළවා දැමීය. මෙහිදී සටහන් කළ යුතු වැදගත්ම දෙය මෙයයි. එදා ගිනි තබා ගැනීමේදී ක්වාන්ඩක් හිමියන්ගේ අත් හා සිරුර අළු වුවද හදවත නො පිළිස්සුණු බව ය. මේ නොදැවුණු හදවත වීදුරු කරඬුවක දමා සයිගොන් නුවර ආරාමයක තබා අදටත් ප්‍රදර්ශනය කරනු ලැබේ.

අප ඉහත සඳහන් පුවත මතක් කර දුන්නේ අදට හරියටම මසකට පෙර, එනම් පෙබරවාරි මස 27 වැනිදා තිබ්බතීය තරුණ භිකෂුන්වහන්සේ නමක් තිබ්බතයේදී සිරුරට ගිනි තබාගත් හෙයිනි. තිබ්බත ජාතික ධජය සහ දලයිලාමාගේ පින්තුරයක් රුගෙන චීනයට විරුද්ධව සටන් පාඨ කියමින් පැමිණි විසිවන වියේ පසු වු උන්වහන්සේ සිරුරට පෙට්‍රල් වත්කරගෙන ගිනි අවුලුවා ගත්හ. උන්වහන්සේ චීනයට විරුද්ධ වුයේ ඇයි? සිරුරට ගිනි තබා ගැනීමට විනාඩි 40 කට පෙර උන්වහන්සේ ඇතුළු භිකෂුන්වහන්සේලා දහස් නමක් තිබ්බතීය අලුත් අවුරුදු උත්සවය සැමරීම සඳහා තිබ්බතයේ ආරාමයකට එකතු වීමට තැත් කළහ. තිබ්බතයේ සිටින චීන හමුදාව විසින් එය වළකාලන ලදී. ගිනි තබාගත් සැනින් චීන හමුදා සෙබළු තරුණ භිකෂුවට වෙඩි තැබුහ. උන්වහන්සේ තිබ්බතීය රෝහලක සුවය ලබමින් සිටින බව චීනය කියයි. එහෙත් උන්වහන්සේ අපවත් වු බව කීමට ඇමරිකානු මාධ්‍ය කැමැත්තාහ. හේතුව, චීනය සහ ඇමරිකාව අතර පවත්නා සීතල යුද්ධයයි. චීනය මීළඟ ලෝක බලවතා වනු දැකීමට දැනට බංකොලොත්භාවයේ පතුල අතගාමින් සිටින ඇමරිකාව කැමැති නැත. තිබ්බතය වෙනම රටක් බව එරට බෞද්ධයෝ කියති. එහෙත් තිබ්බතය චීනයේ ප්‍රාන්තයක් බව චීනය කියයි. අකමැත්තෙන් හෝ පිළිගත යුතු සත්‍යය දෙවැන්න ය. 1959 දී චීන හමුදා තිබ්බතයට ඇතුළු වු විට තිබ්බතයේ ආධ්‍යාත්මික නායක දලයිලාමා තුමා ඉන්දියාවේ ධර්මසාලා නුවරට පැන ගොස් ආරාමයක් පිහිටුවා ගත්හ. තිබ්බතය අද අපායක් බව දලයිලාමා තුමා කියයි. එහෙත් එය සුරපරුක් බව චීන්නු කියති. මෙය තිබ්බතය හා චීනය පිළිබඳ ප්‍රශ්නයක් නොව මනුෂ්‍ය චිත්ත සන්තානය පිළිබඳ ප්‍රශ්නයකි. කෙනකුට සුරපුර කෙනකුට අපායකිෟ

මළසිරුරු ආදාහනය කිරීමේ පුරුද්ද පවතින්නේ හින්දුන්ට සහ බෞද්ධයන්ට පමණි. නේපාලයේ සියලු ප්‍රධාන ගංගාවන් දෙපස ගලින් තනන ලද වේදිකා ඇත. මළ මිනිසුන්ගේ සිරුරු මේවා මත තබා ආදාහනය කර අළු ටික ගඟට තල්ලු කරනු ලැබේ. ඉන්දියානුවෝ ඕනෑම අර්බුදයකදී සිරුරට ගිනි තබා ගැනීමට කැමැත්තා හ. නැන්දම්මා හා ලේලිය අතර ගැටුමක් හටගෙන ටික වේලාවකට පසු ලේලිය ගිනි තබා ගන්නා අවස්ථා ඉන්දියාවේ බහුල ය. එහෙත් බොහෝ විට නැන්දම්මා විසින් ලේලියගේ සිරුරට ගිනි තබන ලද බව හෙළි වී නැන්දම්මා පොලිසියට ඇදගෙන යනු ලැබේ. සති පුජාව ඉන්දියානු සමාජය තුළ මුල් බැසගෙන තිබු සිරිතකි. මේ සිරිතට අනුව පුරුෂයා මළ විට බිරිඳ ඔහුගේ දරසෑයට පැන දිවි නසාගත යුතු ය. ඇය ඊට අකමැති නම් බලෙන්ම දර සෑයට ඇද දමනු ලැබේ. අද මෙය නීතියෙන් තහනම් ය. එහෙත් ඉන්දියාවේ ගැමි පළාත්වල අදටත් මෙය සිදුවෙයි.

ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්ත වැසියෝ ඕනෑවටත් වඩා ගින්දර සමඟ ගනුදෙනු කරයි. ඉන්දියානු ක්‍රිකටි කණ්ඩායම පාකිස්තානයට පැරදුණු විටත් ඔව්හු ගිනි තබා ගනිති. ශ්‍රී ලංකාවේ දෙමළ ප්‍රශ්නය වෙනුවෙනුත් ඔවුහු ගිනි තබා ගනිති. දේශපාලන හේතුවක් මත ප්‍රසිද්ධියේ ගිනි තබාගැනීම මාධ්‍ය වෙතින් කෂණික ජනප්‍රියත්වයක් ලැබීමට හේතුවකි. මෙවැනි අය වෙනුවෙන් දේශපාලන පකෂ ශෝක ප්‍රකාශ නිකුත් කරයි. රජය වන්දි දෙයි. එවිට තව තවත් අය ගිනි තබා ගනිති. එවිට ඔහු හෝ ඇය සාමාජිකත්වය ලබාගෙන සිටි පකෂය වීරයන්ගේ පකෂයක් බවට පත්වෙයි. එහෙත් කිසිදු පකෂ නායකයකු සිරුරට ගිනි තබා ගන්නේ නැත. ප්‍රභාකරන් තවමත් මරාගෙන මැරෙන බෝම්බකරුවකු බවට පත්ව නැත.

ශ්‍රී ලංකාවේ දෙමළ ප්‍රශ්නයට විරෝධය පළකිරීම සඳහා තමිල්නාඩුවේ පත්‍ර වාර්තාකරුවකු වු කෝලාතුර් මුතුකුමාර් නමැති දෙමළ තරුණයා ජනවාරි 29 වැනිදා සිරුරට ගිනි තබා ගත්තේය. තමිල්නාඩු රජය ඔහුගේ පවුලේ අයට ඉන්දියානු රුපියල් 25000 ක් වන්දි දුන්නේ ය. එහෙත් ඔවුහු එය ප්‍රතිකෙෂ්ප කළහ. ඒ වන විටත් ඊළාම් හිතවාදීන් ඔහුගේ පවුලේ අයට ඉන්දියානු රුපියල් තුන්ලකෂයක් ප්‍රදානය කර තිබිණි. අනතුරුව එසේ ගිනි තබාගන්නා අය වෙනුවෙන් මුදල් නොගෙවන බවට තමිල්නාඩු රජය ප්‍රතිපත්තිමය තීරණයක් ගත්තේ ය. ගතවු තුන් මාසය තුළ තමිල්නාඩුවේ දස දෙනකු ශ්‍රී ලංකාවේ කොටි සංවිධානයට අනුකම්පා කර ගිනි තබාගෙන මළහ. තවත් තරුණයකු සිරුරෙ\ 95% කට පිළිස්සුම් තුවාල සිදුවීමෙන් පසු රෝහල්ගත කෙරිණ. තමිල්නාඩුවේ ජනයා ශ්‍රී ලංකාවේ දෙමළ ප්‍රශ්නයේ මුලික හේතුව නොදනිති. ඔවුහු ප්‍රභාකරන්ට පකෂපාත දේශපාලන පකෂවල අතකොලුය. මෙවැනි දේශපාලන පකෂයක නායකයා වු වයිකෝ ශ්‍රී ලංකාවේ දෙමළ ප්‍රශ්නය වෙනුවෙන් පණ නසා ගන්නා තමිල්නාඩු දෙමළ තරුණයන්ට ගෞරව නොකිරීම ගැන ප්‍රාන්තයේ මහ ඇමැති වු කරුණානිධිට දොස් කීවේය. පසුව මාර්තු 8 වැනිදා තමිල්නාඩුවේ පළවු දිනමලර් පත්‍රයේ වයිකෝ ගේ රුපය සහිත කාටුනයක් විය. තමිල්නාඩුවේ ණය බරින් මිරිකී සිටින දෙමළ පවුලක් වෙත යන වයිකෝ මෙසේ කියනු කාටුනයේ තිබේ. "ලංකාවේ දෙමළ ප්‍රශ්නය වෙනුවෙන් නුඹලාගෙන් එකෙක් ගිනි තබාගත්තොත් ණය බරින් නිදහස් වීමට තරම් ලොකු වන්දියක් ලබාගන්න පුළුවන්.

අනුර සොලමන්ස්
(දිවයින_09/03/27)

පසුවදන_පෙරකල මිනිසා ගින්නට දේවත්වය ආරෝපණය කළේ ය. ගිනි දෙවියන් පිදුවේ ය. ගිනිගෙඩි දීම ඇතැමුන්ගේ විනෝදාංශයයි. සමහරු ගිනිකති. කෙසේ වුව ද ඇතළත ගිනි පිටතට දීම ද පිට ගිනි ඇතුළට ගැනීම ද නුවණට හුරු නැත.

ඇවිළෙන ගින්නෙන් සුරුට්ටු පත්තු කිරීමට ඇතැමුන් සූරයෝ ය. එම ඉසව්වේ ලෝක සූරතාව දිනාගැනීමට තරඟයන් ඇත්නම් ඒ වයිකෝ සහ නැදුමාරන් අතර ය. අපේ රටේ විරුද්ධ පක්ෂය බලා ඉන්නේ කොටියා කොහේ හෝ ගින්නක් පත්තු කළ විට ඉන් සුරුට්ටු පත්තු කිරීමට ය.

දිය යටින් ගින්දර ගෙනයාමට ශ්‍රී ලංකාවේ ඇතැම් ද්වේෂ පාලකයෝ රුසියෝ ය. යකඩ ඇවිළුණු ගෙදර පුළුන් හොයන මානව හිමිකම් මුදලාලිලා දැන් වැහි වැහලා ය. ඒ අය කොටි පිනවීමට නිතර කියන්නේ ගින්නක් නැතිව දුමක් නොනඟින බව ය. එසේ කියා ඇවිළෙන ගින්නට පිදුරු දමන්නේ සිය ගතමනාව සොයාගැනීමට ය. ගින්න සදන සුළඟ ම එහි සතුරා වී ගිනි නිවන බැව් පැරණි අපදේශාත්මක කවියක කියවේ. ඒ කතාව ටිකක් ආනන්ද සංගරී මහතාට ද අදාළ ය.

කෙසේ වුව ද අඬුව තියාගෙන අත පුච්චගන්න එපා! කියා අපේ පැරැන්නෝ කියති. ඒ ගින්දරත් සමග සෙල්ලම් කිරීම භයානක බැවිනි. තව ටික දවසකින් ලක් වැසියන්ට හිතේ ගින්දරක් නැතිව ජීවත්විය හැකි ය. ඒ තිස් වසරක් තිස්සේ රට ගිනි තැබූ කොටි උවදුර අහවර වන හෙයිනි. එතෙක් බඩගින්න පමණක් නොව හැම ගින්නක් ම ඉවසාගෙන ඉන්නට රට වැසියෝ දැන් සුදානම් බව පෙනේ.

පණ්ඩිතයන්ගේ බලය බෙදීම කා සඳහාද?

පෙරවදන_මේ රටේ සාමාන්‍ය ජනතාව අන්තවාදී හෝ ජාතිවාදී නැත. ඔවුහු සියලුදෙනා එකට තකරගම දෙවියන් වන්දනා කරති. සියලු දේවලවල පෙරහැර දළඳා පෙරහරට එක්වෙයි. වැදි ජනතාව දළඳාවට මී පැණි පූජාකරති. සිරිපා වඳිති. නේක විෂබීජ ඔවුන්ගේ සිත්වලට එන්නත් කරන්නේ බලලෝභී පාලකයෝ ය. විශේෂයෙන් බක පණ්ඩිතයෝ ප්‍රශ්නයට අදාළ නොවන ෆෙඩරල් විසඳුම් ගැන දිවා රෑ නන්දොඩවති. එහෙත් රටේ ඇත්තේ සම්පත් නිසි ලෙස බෙදී නොයෑමේ ගැටළුවයි. අපේ සම්පත්වලින් නිසි ප්‍රයෝජන ගැනීමට විධිමත් යාන්ත්‍රණයක් බිහි නොකිරීමේ ගැටළුවයි.

පෙරකල දිසාපති නම් නිලධාරියා කල කටයුත්ත කිරීමට දැන් පලාත් සභා ද ඇත. ඉන් සිදුව ඇත්තේ සැබෑ ප්‍රශ්නය විසඳීමට ඇති ධනය ශ්‍රමය අපතේ යාම පමණකි. රටේ සංවර්ධනයට යෙදවිය යුතු මහජන මුදලින් විශාල කොටසක් මේ සුදු අලියා නඩත්තු කිරීමට වාර්ෂිකව වැය කිරීමට සිදුවී තිබේ. එහෙත් ජාතික දේශපාලනයේ යෙදෙන මැති ඇමතිවරුන්ගේ හත්මුතු පරම්පරාවට ම රැකියා ලබාදීමේ කාර්ය නම් එය මැනවින් ඉටුකරයි. මේ රැකියා බැංකුව ද වහා අහෝසි කර ඒ ධනය ද මහජනතාවගේ සැබෑ ප්‍රශ්න විසඳීමට යෙදවීමේ අවශ්‍යතාව අද වෙනදාටත් වඩා දැනෙයි. දැන් අපි දිවයිනේ පළවූ වටිනා ලිපියක් කියවමු.

උතුර නැගෙනහිර සඳහා දේශපාලන විසඳුමක් අවශ්‍ය බවට දශක දෙකක පමණ සිට තොර තෝංචියක් නැතිව අසන්නට ලැබෙන ප්‍රකාශය තව දුරටත් අවශ්‍යද? පොදු උතුර නැගෙනහිර ජනතාවට අවශ්‍ය සුදුසු විසඳුමෙන් 99% ක්ම රජය ප්‍රමුඛ ආරකෂක අංශ විසින් දැනටමත් ලබා දී ඇත. ත්‍රස්තවාදය මුලිනුපුටා දැමීමෙන් හා ඒ ප්‍රතිඵලය ආරකෂා කර ගැනීම සඳහා යොදා ගන්නා ක්‍රම වේදයන් ස්ථාවර ලෙස ප්‍රතිෂ්ඨාපනය කිරීමෙන් පසු විසඳුම සම්පුර්ණ වේ. එම කරුණ අපට මේ ආකාරයෙන් විශ්ලේෂණය කර ගත හැක. යුද්ධය මගින් ත්‍රස්තවාදය මුලිනුපුටා දැමීමෙන් පසු උතුරු නැගෙනහිර ප්‍රදේශවල ජනතාවට අර්ථවත්ව නිදහසේ ජීවත් විය හැකි සංහිඳියාව උදාවේ. ඒ අනුව දේශපාලන විසඳුමේ පළමු අදියර සම්පුර්ණ වේ. ඊළඟට දේශපාලන විසඳුමේ දෙවන අදියරෙහි මුලික කරුණක් වන්නේ සාකෂාත් කර ගන්නා ලද සංහිඳියාව ස්ථාවරව පවත්වා ගැනීමයි. එය ජාතික ආරකෂක අංශ සතු කාර්යභාරයක් වේ. එබැවින් ඒ පිළිබඳ කිසිසේත් සැක සාංකාවක් තබා ගැනීම අවශ්‍ය නැත. ඊළඟට වැදගත් වන කරුණ වන්නේ මෙම සංහිඳියාව පවත්වා ගැනීම සඳහා නිර්මාණය කළ යුතු දේශපාලනමය රාමුවක් අවශ්‍ය වේ නම් එය කුමක් විය යුතුද යන්නයි. විසඳුම් කුමක් වුවත් ඒ විසඳුම කා සඳහාද යන්න ප්‍රථමයෙන්ම විසඳා ගත යුතු ප්‍රශ්නය වේ.

නිසැකවම එය උතුරු නැගෙනහිර පොදු ජනතාව සඳහාම විය යුතුය. එසේ නොමැතිව එම විසඳුම් කිසිසේත් දේශපාලන න්‍යායයන් රජ කරවන්නට උත්සාහ කරන්නන්ගේවත් ජාතිවාදය හිසින් ගත්තවුන්ගේවත් දේශපාලනයේ මුදුන් අතුවලට යන්නට උත්සාහ දරන්නවුන්ගේටත් අන්තර් ජාතික බලවේගයන්ගේ නියෝජිතයන්ගේවත් මන දොල සපුරන්නක් නොවිය යුතුමය. එබැවින් මෙහිදී පොදු ජනතාව යන්න පවා මැනවින් සුදුසු ලෙස නිර්වචනය වී සැබෑ පොදු ජනතාව පැහැදිලිව හඳුනා ගත යුතු වේ. එසේ විය යුත්තේ ඇයි? පොදු ජනතාව යන්න වැරදි ලෙස නිර්වචනය වුවොත් සිදු වන්නේ සැබෑ පොදු ජනතාවට අසාධාරණයක් සිදු වීමය. උදාහරණයක් ලෙස යම් දේශපාලන න්‍යායයක් දරන්නන් හා ඔවුන්ගේ හෙංචයියලා හෝ දේශපාලනයේ මුදුන් අතුවලට යන්නට උත්සාහ දරන්නන් හා ඔවුන්ගේ සුළුතර හෙංචයියලා පොදු ජනතාව ලෙසින් හඳුනා ගතහොත් හෝ යම් ජාති වාදී පිරිසක් හා ඔවුනගේ හෙංචයියන් පොදු ජනතාව ලෙස හඳුනා ගතහොත් විසඳුම් දේශපාලන රාමුව සෑදෙන්නේ ඔවුනගේ පටු අභිමතාර්ථයන් ඉෂ්ට සිද්ධ වන ආකාරයට මිස සැබෑ පොදු ජනතාවගේ යහපත හා අභිමතය අනුව නොවේ.

පොළොවේ පය ගසා සිටින බහුතරයක් වන ජනතාව අප පොදු ජනතාව ලෙස හඳුනාගෙන සිටිමු. ශ්‍රී ලාංකික පොදු ජනතාව සතු පොදු ලකෂණයක් නම් ඔවුන් බොහෝ දුරට ජාතිවාදී හැඟීම් වලින් වියුක්ත වීමයි. ජීවත් වන කෙටි කාලය තුළදී තම ජීවිත අභිමතාර්ථයන් ඉටු කර ගනිමින් දේශයේ අභිවෘද්ධියට තම ශක්ති ප්‍රමාණයෙන් උර දෙමින් සංහිඳියාවෙන් යුතුව යහපත් ජීවිත ගත කිරීම ඔවුනගේ පරම අභිලාශය වේ. විසඳුමක් ගැන තොරතෝංචියක් නැතිව කතා කරන අති පණ්ඩිතයන් පුන පුනා දක්වන බලය බෙදීම හෝ පෙඩරල් ක්‍රමය වැනි අහස පොළොව ගැටලන පණ්ඩිතමානී ප්‍රශ්න පොදු ජනතාව අතර නැත. පොදු ජනතාවට ඔය කියන ආකාරයේ දේවල් අවශ්‍ය නැත. නිසැකවම පොදු ජනතාවට එවැනි විසඳුම්වලින් සිදුවන යහපතක්ද නැත. ගොවිතැනට අවශ්‍ය ජලය, පොහොර, ඉඩම් හා සුලු කර්මාන්ත සඳහා අමුද්‍රව්‍ය, යන්ත්‍රෝපකරණ යන ප්‍රශ්නද ඒ දෙඅංශයම සඳහා අදාළ වු මුල්‍ය හා වෙළෙඳ පොළ පිළිබඳ ප්‍රශ්නද රුකියාවල නියුක්තවුවන්ට නම් සේවා ස්ථාන හා වැටුප් පිළිබඳ ප්‍රශ්නද ඒ සියල්ලන්ටම පොදුවේ සෞඛ්‍ය, අධ්‍යාපන, නිවාස ආදී ප්‍රශ්නද විශේෂයෙන් භාෂාව පිළිබඳ ප්‍රශ්නයද උතුරු නැගෙනහිර පොදු ජනතාවගේ සැබෑ ප්‍රශ්න වේ. පොදු ජනතාවට සැබැවින්ම අවශ්‍ය වන්නේ ඉහත දැක්වු කරුණු සම්බන්ධව ඇතිවන අඩු වැඩිකම් ගැටලු හා ප්‍රශ්න පිළිබඳ රජය සමග කාර්යකෂමව ගනුදෙනු කළ හැකි සරල දේශපාලන ක්‍රමවේදයකි. බලය බෙදුවාට හෝ පෙඩරල් ක්‍රමය ගෙන ආ පමණින් මෙම ප්‍රශ්න විසඳෙන්නේ නැත. අනිත් අතට එම විසඳුම් යෝජනා දුර දක්නා නුවණින් යුතුව ගෙන ආ යෝජනා නොවේ. මෙම යෝජනා සියල්ල නැවත වරක් අප දේශය අනිවාර්යයෙන්ම අති මහත් වු ව්‍යසනයකට ගෙන යන සාධකයන් වේ.

කුඩා දිවයිනක් වන ශ්‍රී ලංකාවේ පොදු ජනතාව අතර ජාති හා ආගම් වශයෙන් ඇති අනන්‍යතා ලකෂණ පදනම් කර ගනිමින් දේශපාලන විසඳුම් නොගෙන ආ යුතු බව තරයේ සඳහන් කළ යුතුවේ. දශක දෙකක සිට ඔහේ කියන්නන් වාලේ කියන්නා වු ජන වාර්ගික ප්‍රශ්නයක්ද පොදු ජනතාව තුළ නැත. එසේ නම් දේශය සතු සමස්ත ස්වාභාවික සම්පත් සම්භාරය හඳුනාගෙන ඒවා නිසි කළමනාකරණයට බඳුන් කර දේශයේ ජනතාවගේ යහපත සඳහා ක්‍රමවත්ව යොදා ගැනීම මෙහිදී අවධානයට ලක් විය යුතු වේ. එය සාකෂාත් කර ගැනීම සඳහා සුදුසුම ක්‍රම වේදය ලෙස අප දකින්නේ ජනහිතකාමී පියවරයන් ප්‍රමාදයකින් තොරව ගත හැකි විධායකයක් හා එක්ව කටයුතු කළ හැකි කාර්යකෂමවුද ශක්තිමත්වුද පාර්ලිමේන්තුවක් ස්ථාපනය කිරීමයි. වෙනත් ව්‍යවස්ථානුකුල ආයතන හෝ ධුරයන් පාර්ලිමේන්තුව විසින් අභිබවා යා යුතු යැයි එයින් අදහස් නොවේ. එසේම යම් දේශපාලන පකෂයක් පාර්ලිමේන්තුව තුළ බහුතර ආසන ප්‍රමාණයක් දිනා ගත යුතු යැයිද එයින් අදහස් නොවේ. පාර්ලිමේන්තුවට ගෙන එනු ලබන ජනහිතකාමී පනත් ප්‍රමාදයකින් තොරව සම්මත භාවය ලැබ එයින් උත්පාදනය වු ජනහිතකාමී නීති රීති හෝ කාර්යභාරයන් වහ වහා ජනතාව අතරට ගොස් අඩු ලුහුඬුවකින් තොරව ක්‍රියාත්මක විය යුතුය යන්න ශක්තිමත් හා කාර්යකෂම පාර්ලිමේන්තුවක් ස්ථාපනය කිරීම යන්නෙන් ගම්‍ය වේ.

දේවප්‍රිය අමරසිංහ
(දිවයින_09/03/26)

Wednesday, March 25, 2009

තත්ත්වය නම් ඉතාම නරකයි...

තත්ත්වය නම් ඉතාම නරකයි. ආණ්ඩුව යුද්ධය ජයග්‍රහණය කරන අතර රටේසෞඛ්‍යය පරාජයට පත් වෙමින් පවතී. ඉස්පිරිතාලවල නරක් වු කකුල එසේම තිබියදී හොඳ කකුල කපා ඉවත් කරනු ලැබේ. ඇඟ පත පණ නැති වන සේ එන්නත් විදිනු ලැබේ. රුබෙල්ලා විදිනු ලැබු විට පාසල් දැරියෝ මරණාසන්න වෙති. අයෙක් මැරෙති. මේ ළඟකදී පිළියන්දල මාවිත්තර ප්‍රදේශයේ සුනඛයන්ට පිස්සු බලු රෝග මර\දන එන්නත දුන් විට ඒ අහිංසක සතුන්ගෙන් වැඩි හරියක් මිය ගියහ. මේ එන්නත් ව්‍යාපාරය සංවිධානය කළේ කැස්බෑව ප්‍රාදේශීය සභාව මගින් යැයි කියනු ලැබේ. මේ රටේනාගරික ප්‍රදේශවල පානීය ජලය තුළ අඩංගු මළ ප්‍රමාණය 30% කි. බීම බෝතල් තුළ බ්ලේඩ් තල කැබලි ද, පාන් තුළ කොහු ලණු ද තිබු අවස්ථා පුවත්පත්වල පළ විය. ඒ සියල්ලටම අමතරව, ත්‍රිකුණාමලයේ බේකරියක හැදු ආහාර විෂ වීමෙන් 269 දෙනකු රෝගී වීමත් එක් අයකු මිය යෑමත් ගැන ඊයේ (25 දා) දිවයිනේ පළ විය. රෝගී වුවන්ගෙන් 202 ක්ම පාසල් දරුවෝ ය. මළේ 65 හැවිරිදි පුද්ගලයෙකි. ඒ අනුව මරණය සිදුවී ඇත්තේ සෞඛ්‍යයේ සවි ශක්තියට අනුව බව පෙනී යන්නේ ය. යම් හෙයකින් ඉතිරි දෙසිය දෙදෙනාම හැට පිනු දුර\වල උදවිය වී නම් අද ත්‍රිකුණාමලයේ මළ ගෙවල්ම 202 කිෟ

අප මේ රටේසෞඛ්‍යය ගැන නිතර නිතර කතා කරන්නේ සෞඛ්‍ය ඇමැතිතුමා සමග ඇති පෞද්ගලික තරහකට නොව එතුමා සෞඛ්‍ය ඇමැතිව සිටියදී මේ රටේසියලු දෙනා එක සැරෙ\ම රෝගී වී මළොත් එතුමාට බරපතල ලෝකාපවාදයකට ලක් වීමට සිදුවන හෙයිනි. අනෙක මෙවර ලෝක සෞඛ්‍ය සංවිධානයේ සභාපතිකම හිමිව ඇත්තේ ද ශ්‍රී ලංකාවට ය. එවැනි රටක පණපිටින් සිටින එකම මිනිසා සෞඛ්‍ය ඇමැතිතුමා පමණක් වුව හොත් සිදුවිය හැකි විපතද විශාල ය. මේ නිසා තම සෞඛ්‍යය ගැන මෙන්ම අන් අයගේ සෞඛ්‍යය ගැන ද එතුමා මෙයට වඩා පරෙස්සමින් කල්පනා කළ යුතුය.

පසුගිය දා හටගත් රුබෙල්ලා එන්නත් විපතින් පසු එක්තරා ප්‍රදේශයක දිස්ත්‍රික් සෞඛ්‍ය වෛද්‍ය ප්‍රධානියකු අපට කතා කළේය. එතුමා කියා සිටියේ මෙවැනි තීරණාත්මක එන්නත් ලබා දීමට ප්‍රමාණවත් පුහුණුවක් වෛද්‍යවරුන්ට හෝ හෙදියනට ලබා දී නැති බවය. ඒ අතර වේදනා නාශක, ප්‍රතිජීවක, එන්නත් වැනි දේ කල් ඉකුත් වීමට ආසන්න වු විට වහාම රෝහල්වලට බෙදා හැර ඊළඟ ටෙන්ඩරය කැඳවීමේ පුරුද්දක් සෞඛ්‍ය අමාත්‍යාංශය තුළ පවතී. මේ බව අපගේ අහිංසක සෞඛ්‍ය ඇමැති නිමල් සිරිපාල තුමා නො දනී. අසරණ සෞඛ්‍ය ලේකම් අතුල කහඳලියනගේතුමාද නොදනී. සෙසු නිලධාරීහු ද නොදනිති. වෛද්‍යවරු ද නොදනිති. ඒවා දැන ගැනීමට ලැබෙන්නේ එම එන්නත් ලැබීමෙන් පසු හෝ එම පෙති ගිල දෑමීමෙන් පසු මිය යන උදවියගේ පශ්චාත් මරණ පරීක්ෂණවලදීය.

ශ්‍රී ලංකාව අද රාජ්‍යයක් වශයෙන් ක්‍රමයෙන් ශක්තිමත් වෙමින් පවතී. එය "අසමත් රාජ්‍යයක්" වීමේ සංකල්පයෙන් ක්‍රමයෙන් ඈතට යෑමට උත්සාහ දරයි. එහෙත් රාජ්‍යයක් වශයෙන් එය රෝගීය. සමාජ රෝගද ඇතුළුව සියලු ආකාරයේ වසංගත රෝග මේ රට පුරා පැතිර ඇත. කොළඹ හෝටල්වල කුස්සි
කකුස්සිවලින් වෙනස් වෙන්නේ ඉදිරිපස අකුර මගින් පමණි. අද මේ රටේහැම ප්‍රසිද්ධ නගරයක්ම විෂබීජාගාරයකි. මේ විෂබීජ පාලනය කළ නොහැකි තැනට දැන් පැමිණ තිබේ. ඒ අනුව කිසියම් දවසක රට යන සෞඛ්‍ය ඇමැතිතුමා ආපසු එන විට එතුමා හැරුණු කොට සියලු ජනයා මිය ගොස් සිටිනවා ඇත.
(දිවයින_09/03/26)


පසුවදන_අප මේ ගැන අද දවසේ වඩා වැඩි අවදානයක් යොමු කළ යුතු ය. කලෙක ලංකාවේ සෞඛ්‍ය ක්‍ෂේත්‍රය ද. ආසියාවේ ඉතා ඉහළ තැනක තිබිණි. අද ද ළදරු මරණ මාතෘ මරණ ඉතා අවම ය. සාපේක්ෂව ආයු කාලය ඉහළ ය. එහෙත් මේ බයිලාව ගහමින් ඔවුන් අතින් වන සියලු වැරදි වසාගැනීම විළිලැජ්ජාව සහිත රජයකට නොහොබියි. රාජ්‍ය සේවය හුදු බඩ රස්සාව බවට පත්වීම, අල්ලස දූෂණය සුළි සුළඟක් සේ පැතිරීම, පෙර කල සේවා ලෙස සැලකු දෑ අද වෘත්තීන් හෙවත් රැකියාව බවට පත්වීම, වරදට දඬුවම් නොලැබීම මීට හේතු වී ඇත.

මේ සියලු පවතින ආණ්ඩුවේ වැරදි බව විපක්ෂයේ එක ම අදහස ය. ආණ්ඩුවට අනුව මේවා අතපසුවීම් ය. නැතහොත් කඩාකප්පල්කාරයින්ගේ වැඩ ය. වරද කාගේ වුව ද සෞඛ්‍ය ක්‍ෂේත්‍රයට වැරදුනු කල මිනිසා අඩි 6ක් යටට යා යුතු ය.

ඉතිහාසය කියවවු! ඉන් පාඩම් උගනිවු!

අනාගතය ගොඩනැගෙන්නේ අතීතය සහ වර්තමානය මතය යනු ප්‍රකට කියමනකි. එය සනාථන දහමකි. ඉතිහාසයේ වරක් සිදු වූ දෙය යළි එලෙස ම සිදුවෙයි. ඒ අතීත සිදුවීමට මුහුණදීමේදි අප සිදුකළ වැරදි නැවත සිදුකළ යුතු නැත. සිදුවීමට ඉඩ තිබිය යුතු ද නැත. ඒ වැරදි අවබෝධ කරගෙන නිවැරදිව ශක්තිමත්ව ඊට මුහුණදිය යුතු ය. ඉතිහාසය හැදෑරීමෙන් අප ලබන මාහැඟි ඵලය එයයි.

වසර සිය ගණනක් තිස්සේ යුද කොට වුව අපේ රට යටත්කර ගැනීමට බටහිර ජාතීන් තුනකට බැරි විය. අවසන ඔවුහු සටකපට කුමන්ත්‍රණකාරී ගිවිසුමකින් අප යටත් කරගත්තේ ය. අප අද ද සිහිපත් කළ යුත්තේ අප පැරදුණේ ගිවිසුමකින් බව ය. කෙතරම් නවීන අවි ආයුධ තිබුණ ද ඔවුන්ට අපේ මුතුන් මිත්තන් පැරදවිය නොහැකි වූ බව ය. වසර 30ක් තිස්සේ මේ ත්‍රස්ත අරගලයෙන් අප පැරදුණේ ද ගිවිසුම් නිසා ය. යම් දවසක අප යළි පැරදුනොත් ඒ ද ඊනියා ගිවිසුම් නිසා ය. එනිසා ඉතිහාසය කියවවු! ඉන් පාඩම් උගනිවු!


සිංහල රාජධානිය කඩාවැටුණු බලවේගය

ඉතිහාසයේ ඇතැම් සිදුවීම් යළි යළිත් පණගැන්වෙන අවස්ථා ඇත. මෑතකදී මේ රටේ පවතින තත්ත්වය පිළිබඳ සොයාබැලීමට බ්‍රිතාන්‍ය අගමැති ගෝඩ්න් බ්‍රවුන් විසින් විශේෂ නියෝජිතයකු ලෙස බ්‍රිතාන්‍යයේ ආරකෂක ඇමැති වු ඩෙස් බ්‍රවුනි පත්කර එවීමට උත්සාහයක් දරා තිබිණි. බ්‍රිතාන්‍ය අධිරාජ්‍යයේ යටත් විජිතයක් ලෙස තිබී ඉන් නිදහස ලබා වසර 61 ක් ගතවු පසුවත් යළිත් ඒ මත එල්ලී සිටීමට අවශ්‍ය නැති බව පෙන්වා දෙමින් මේ රටේ අභ්‍යන්තර කටයුතුවලට බලෙන් මැදිහත්වීම ප්‍රතිකෙෂ්ප කිරීම ප්‍රශංසා කටයුතුය.

ඉතිහාසයෙන් ඉගෙනගත යුතු පාඩම් අදටත් වලංගුය. මීට වසර 194 කට පෙර බ්‍රිතාන්‍යයන් සමග අත්සන් කළ උඩරට ගිවිසුම නිසා වසර 2500 කට වඩා දීර්ඝ කාලයක් මුළුල්ලේ අවිච්ඡින්නව පැවත ආ රාජ්‍යයක කඩාවැටීමත් නිදහස අහිමිවීමත් සිදුවිය. මෙම ලිපිය 1815 මාර්තු 15 දින සිදුවු එම ඓතිහාසික ඛේදවාචකයට වසර 194 ක් පිරීම නිමිත්තෙන් එම අවධියේ මේ රටේ දේශපාලන පසුබිමේ ක්‍රියාකාරී වු විදේශ බලවේගය පිළිබඳ සමකාලීන මුලාශ්‍ර ඇසුරින් ලියන ලද සටහනකි.

1815 මාර්තු 15 දින උඩරට ගිවිසුමට අත්සන් කිරීමට මාසයකුත් දින දෙකකට පෙර, එනම් 1815 පෙබරවාරි 17 දින උඩරට රාජධානිය පාලනය කරමින් සිටි ශ්‍රී වික්‍රම රාජසිංහ රජතුමා බ්‍රිතාන්‍යයන් අත සිරකරුවකු බවට පත්වී හමාරය. මේ සිද්ධිය එවක බ්‍රිතාන්‍ය ආණ්ඩුකාරයා වු රොබටි බ්‍රවුන්රිග්ට ආරංචි වු පසු ඒ පිළිබඳ ඔහු ප්‍රීතිය පළ කළ අවස්ථාවේ වාර්තාගත සටහන් කිහිපයක් මතු දැක්වේ. "ශ්‍රී වික්‍රම රාජසිංහ රජතුමා අල්ලා ගන්නා ලදී" යන පණිවුඩය කන වැටෙන විටම, ආහාර ගනිමින් සිටි බ්‍රවුන්රිග් ආණ්ඩුකාරවරයා තම කෑම පිඟාන තල්ලුකර දමා නැගී සිට දෙනතින් කඳුලු වගුරුවමින් එහි සිටි සියලු දෙනාටම අතට අත දෙමින් මෙසේ කීවේය. "යුරෝපීය තුන් වර්ගයක් ශත වර්ෂ තුනක් මුළුල්ලේ උත්සාහ කොටත් සාර්ථක කරගත නොහැකි වු කාර්යයක් අද අප විසින් සාර්ථකව ඉටුකර ගන්නා ලදී. ඊට ආධාර කළ ඔබ සැම දෙනාටම මගේ අවංක ස්තුතිය පුද කරමි. ආණ්ඩුකාරවරයා මේ වැගිර වු කඳුළු අවුරුදු දෙදහස් පනස් අටක් මුළුල්ලේ පැවත ආ සිංහල ජාතියේ නිදහස නැතිවීම ගැන හෝ රජු අසුවීම ගැන හෝ කනගාටුවෙන් හෙළු කඳුළු නොවේ. ඒ වනාහි බ්‍රිතාන්‍ය ජාතියට ලංකාව යටත්කර ගැනීමේ වරප්‍රසාද හිමිකර දීම ගැන දෙවියන්ට ස්තුති කරන කඳුළුය.

(මහාවංශය)

මෙම සිද්ධිය දේශීය රදළ නායකයන්ගේ පාර්ශ්වයෙන් වාර්තා වී ඇත්තේ එක්නැලිගොඩ රජු සැඟවී සිටි ගෙදර මෝල්ගස් පහරින් දොරපලා ගෙට ඇතුළුව "මූ ඌරකු මෙන් බැඳගෙන යා යුතුය" යි කියා තමාම කිරිඳිවැල් ගෙනෙන ලෙස අනුචරයන්ට නියම කළේය. (භාෂා පරිවර්තක ඩී. වී. ඒ. දියෙස් : තමා සියැසින් දුටු විස්තරය ඇසුරින්) බිසෝවරු ඇඳ පැළඳ සිටි අගනා ආභරණ හා රෙදි හැටිටත් ගලවා ගෙන යට රෙදි පිටින් එළියට ඇදගෙන ආවෝය. කුණ්ඩලාභරණ කඩා ගැනීමෙන් ඔවුන්ගේ කන්වැල් ඉරී ලේ ගලනවා මම දුටුවෙමි.... මම ඉඹුලන්වල ආරච්චි යවා බෙහෙත් කොළ වගයක් ගෙන්වා අඹරා ලේ ගලන තුවාලවල ගෑවෙමි. රජු වැල්පටින් කැපී ලේ ගලන අත ඔසවා ඩොයිලිට පෙන්වා "මෙය රජෙකු විසින් ලැබිය යුත්තක්දැයි ඇසීය." (එම)

දේශීය නායකයන්ගේ පාර්ශ්වයෙන් බලන කල, ඔවුන් පාවාදී සතුටට පත්වුවද, බ්‍රිතාන්‍ය ආධාර ඇතුව රජු එළවා දමා රජකම තමන් වෙත ලබාගැනීමට සිතුවද, රාජ්‍යයේ ඔටුනු පැළඳ ගැනීමට නොලැබීම නිසා අපේකෂා භංගත්වයට පත්ව පසුතැවිලි වුහ. මෙය හැඟුණේ මවුපියන් අහිමි වු සේ නායකත්වයක් නැති අසරණ පිරිසක් ලෙසිනි. බ්‍රිතාන්‍ය පාර්ශ්වයෙන් මෙය අති විශිෂ්ට ජයග්‍රහණයකි.

ඉහතින් සඳහන් කළ පරිදි බ්‍රව්න්රිග් ආණ්ඩුකාර සතුටු කඳුළු වැගිරීමට තරම් ප්‍රීතියෙන් උද්දාම වීමට බලපෑ පසුබිම කුමක්ද? යුද්ධකර ප්‍රදේශයක් යටත් කර ගැනීම අසාර්ථක ප්‍රයත්නයක් බව මේ කාලය වනවිට බ්‍රිතාන්‍යයන් වටහාගෙන තිබිණි. ඉන්දියාවේ බ්‍රිතාන්‍ය පාලනය ගෙනගිය මාකෝලි වරක් ප්‍රකාශ කළේ "ඉන්දියානුවන් සමේ වර්ණයෙන්, රුධිරයෙන් එක සමාන වුවත්, ගමනින් බිමනින්, කතාබහෙන්, හැඩයෙන් බටහිරට ගැති පිරිසක් කරවීම" යුද්ධ කරනවාට වඩා සාර්ථක ප්‍රයත්නයක් බවයි. ලංකාවේ මුහුදුබඩ පළාත් පාලනය සඳහා පත්ව සිටි තෝමස් මෙටිලන්ඩ්ද මෙම ක්‍රමවේදයට අනුව යමින්, යුද්ධ කර රාජ්‍ය ලබාගැනීම නිශ්ඵල ප්‍රයත්නයක් බවත්, බ්‍රිතාන්‍ය කිරුළට රාජ්‍ය ඈඳා ගැනීමට නම් කළ යුතු වන්නේ ජනතාවගේ සිත් සතන් ආක්‍රමණය කර මානසික යුද්ධයක් හරහා රටේ සමාජ, ආර්ථික, දේශපාලන දේහයේ අංග ඡේදනය කර අකර්මණ්‍ය කිරීමය. උඩරට සමාජ ස්ථරයේ එකට බද්ධවී පවතින භිකෂුන් වහන්සේලා ජනතාව රජු අතර සබඳතාව එකිනෙක බිඳ දමමින් ශරීරයක අත්, පා, හිස ඡේදනය කළාක් මෙන් විනාශ කරලීමයි. එම ප්‍රයත්නය යුද්ධයට වඩා ප්‍රබලය. ඒ සඳහා වු ක්‍රියාකාරී විදෙස් බලවේගයක ශක්තියක් ලෙස බ්‍රිතාන්‍ය රජයෙන් පත්කර එවන ලද ජෝන් ඩොයිලිගේ සේවාව සඳහන් කළ හැක.

1810 සැප්තැම්බර් මස 04 දින සිට උඩරට සිංහල රාජධානිය බ්‍රිතාන්‍ය කිරුළට ඇද ගැනීම දක්වා ඩොයිලි තම "පුද්ගලික දින සටහන්" පොතක් ලෙස ගත් වාර්තාව "ඩොයිලිගේ දිනපොත" ලෙස රාජකීය ආසියාතික ලංකා ශාඛාව මගින් 1917 දී එච්. ඩබ්ලිව්. කොඩ්රිංටන් ගේ පෙරවදනකින් යුතුව ශශඬ වෙළුමේ 69 කලාපය ලෙස "ඩොයිලිගේ දිනපොත" Diary of Mr.John Doyly නමින් ප්‍රසිද්ධියට පත්කරන ලදී. මේ පොත අදාළ අවධියේ කරුණු අනාවරණය කරගැනීම සඳහා ඉතා වැදගත් මුලාශ්‍රයකි. එහි සඳහන් තොරතුරු පැවැසීමට පෙර ඔහුට ඒ සඳහා උපයෝගි වු මේ රටේ පරිසරය බිඳක් වටහා ගැනීම අවශ්‍යය.

උඩරට පැවැති තත්ත්වය

1800 : 1815 කාලය උඩරට රාජධානිය බිඳවැටීමේ ඉතිහාසය වු අතර බ්‍රිතාන්‍යයන්ගේ සෞභාග්‍යවත් කාල පරිච්ඡේදය යැයි පැවැසුවහොත් එය නිවැරදිය. ඒ වු කලී උඩරට රදළයින් රජු සහ බ්‍රිතාන්‍යයන් අතර ත්‍රි පුද්ගල අරගලයක් හා බැඳුණු ඉතිහාසයයි. ඒ පසුබිම සැකවින් මෙසේය. 1739 රාජ්‍ය බලය මෙහෙයවු උඩරට නායක්කාර් වංශයෙන් රාජ්‍ය බලය මුදාගෙන දේශීය රදළ නායකයන් අතට බලය අත්පත් කරගැනීමේ අරගලය ඊට මුලික වු කරුණය. අධික බල කාමයෙන් මත්වු පිළිමතලාවේ අධිකාරම බ්‍රිතාන්‍ය ආණ්ඩුකාර නෝත් සමග කළ රහස් ගිවිසුම් මගින් බලාපොරොත්තු වුයේ රජු පහකර උඩරට රජු වීමයි. 1799 : 1800 කාලය තුළ ඔහු ඉංග්‍රීසි ආණ්ඩුවේ හ්‍යු බොයිඩ් සහ නෝත් සමග කළ රහස් සාකච්ඡා මීට නිදසුන්ය. මීට අමතරව නුවර නගරය අලංකාරවත් කිරීම සඳහා වැව ඉදිකිරීම, දළදා මාළිගයේ පත්තිරිප්පුව ඉදිකිරීම වැනි කාර්යයන් වෙනුවෙන් මිනිසුන් සේවයේ නොයෙදීම මගින් රජු කෝප කරවීම, රජු මැරවීමට කුමන්ත්‍රණ යෙදීම වැනි ක්‍රියා නිසා පිළිමතලාවේ ඇතුළු රදළවරු කීපදෙනෙක් මරණයට පත් කිරීමට රජුට සිදුවිය. රජු සහ රදළවරු යන දෙපකෂය අතර දිගින් දිගටම පැවැති ගැටුම් සහිත තත්ත්වය නිසා ඔවුනොවුන් අතර පරතරය පුළුල් විය. රජුගේ ඉවසීමේ ගුණය වෙනුවට කෲරත්වය ආරෝපණය වීම ඉතිහාසයක අවසානයක් තීන්දු කළේය. රදළවරු බ්‍රිතාන්‍යයන් සමග කරන රහස් ගිවිසුම් ආරංචි වීමෙන් ඉතා සුළු සිද්ධියක් පවා මරණීය දඬුවමින් අවසන් කිරීමට රජුට සිදුවිය. එසේ දරුණුවීම රජුගේ පැත්තෙන් ප්‍රකාශ වුයේ, "උඩරට නීතිය මා සෑදු එකක් නොවේ. රාජද්‍රෝහීන්ට හිමි දඬුවම් පැනවීමට ඒ නිසා සිදුවේ." යනුවෙනි. මේ ආකාරයට දෙපිරිස අතර වු හිදැස පිරවු ඉංග්‍රීසීන් ලේ බිඳකුඳු නොසෙල්වා උඩරට පාලනය සියතට ගැනීමට කදිම පසුබිමක් උදාකර ගැනීමේ බලාපොරොත්තු වර්ධනය කරගත්තේ ඒ සඳහා කදිම පුද්ගලයකු ලංකාවට එවීමෙනි.

ජෝන් ඩොයිලි නමින් හැඳින්වු ඔහු ඉතිහාසය උඩු යටිකුරු කරවීමේ ප්‍රධාන භුමිකාව වෙමින් රාජධානිය බ්‍රිතාන්‍ය කිරුළට යටත් කරවීමේ බලාපොරොත්තුඳෑඳෑමැනවින් ඉටුකර දුන්නේය. එය ඉටුකළේ උඩරට රදළවරු, භිකෂුන්, ජනතාව මිහිරි බසින් මෙන්ම චාටුවෙන් හිත් දිනා ගැනීමෙනි.

ඩොයිලිගේ පැමිණීම සහ ඔහුගේ උපාය විධි

1774 ජුනි එකොළොස් වැනි දින මහා බ්‍රිතාන්‍යයේ සසෙක්ස් ප්‍රදේශයේ උපන් ජෝන් ඩොයිලි සහෝදරයන් පස් දෙනකුගෙන් යුත් පවුලක දෙවැන්නා විය. ලුවී නමැති ආච්ඩිකත් දේවගැතිවරයකුගේ පුතෙකු වු ඔහු ළමා වියේ පටන්ම ක්‍රිස්තියානි ආකල්ප යටතේ හැදී වැඩුණා මෙන්ම දෙමාපිය බලපෑම යටතේ වික්ටෝරියානු සමාජයට අනුගත වන ආකාරයට ජීවිතය හැඩගස්වා තිබිණි. කේම්බ්‍රිජ් විශ්වවිද්‍යාලයට අනුබද්ධ Corpus Christi College හි ස්වාභාවික විද්‍යාව සහ සමාජ විද්‍යාව ඉගෙන ගත්තේය. 1802 ලංකාවේ සිවිල් සේවකයකු ලෙස මෙරට බ්‍රිතාන්‍ය පාලන යාන්ත්‍රණය මෙහෙයවීම සඳහා පත්කරනු ලැබු ඔහු ඒ වන විට බ්‍රිතාන්‍යය යටතේ ලංකාවට පත්කර එවු එකොළොස් වැන්නා විය. ඩොයිලිට පෙර පත්කළ බ්‍රිතාන්‍ය සිවිල් සේවකයන් අතුරෙන් දෙදෙනෙක් නෙරපා හරිනු ලැබීය. දෙදෙනෙක් මානසික රෝගීන්ය, තවත් දෙදෙනෙක් අඩු වයසින් මියගිය අතර 4 දෙනෙක් ආපසු මවු රටට ගියහ. ඊළඟට පැමිණි ජෝන් ඩොයිලි කෙරේ බ්‍රිතාන්‍යයන් තුළ වුයේ දැඩි බලාපොරොත්තුවක් මෙන්ම දැඩි විශ්වාසයකි. එමෙන්ම ඔහුද බ්‍රිතාන්‍ය අරමුණු ඉටුකර දීම සඳහා මුළු ජීවිතයම කැප කළේය. මේ රාජකාරිය සඳහා ඔහු ලංකාවට පැමිණ මුලින්ම කළේ සිංහල භාෂාව, සිරිත් විරිත් ඉතා හොඳින් ඉගෙන ජනතාව අතරට යමින් ඔවුන්ගේ හැඟීම් හඳුනාගෙන ඔවුන්ගේ හොඳ හිත දිනා ගැනීමයි. රදළ නායකයන්ගේත් බෞද්ධ භිකෂුන්වහන්සේලාගේත් අදහස් වලට අනුකුලව යමින් ඔවුන්ද දිනා ගත්තේය.

දකුණු පළාතේ ප්‍රධාන රෙසිඩන්වරයා ලෙස (මාතරට) පත්වීමෙන් පසු භිකෂුන් සමග විශේෂ මිත්‍රත්වයක් ගොඩනගා ගත්තේය. මල්වතු පාර්ශ්වයේ මහා නායක තෙරුන් වහන්සේ, කරතොට ධම්මාරාම හිමි, වේරගම්පිට හිමි යන අය මගින් චතුර ලෙස සිංහල බසත් බුදු දහමත් ඉගෙන ගත්තේය. ගජමන් නෝනා සමග තරගයට කවි කියමින් දේශීය කාව්‍යයන්ට ගරු කරන්නෙකු බව එමගින් පෙන්වා දුනි. රජු කෙරේ කලකිරීමට පත් රදළවරුන්ගේ හිත් දිනාගනිමින් රජු හා රදළවරු අතර පරතරය වඩාත් පුළුල් කරමින් තමා ඇතුළු බ්‍රිතාන්‍ය වර්ගයා රදළයින්ගේ එකම ආරකෂකයා බවට ඒත්තු ගන්වමින්ද ජනතාව ප්‍රිය කරන පරිදි ඔවුන් සමග කුඹුරේ, ඇළේ, දොළේ කල්ගත කරමින් ගැමියන්ගේ නිවෙස්වලට ගොස් සතුටු සාමීචියේ යෙදෙමින් ඔවුන් හා එක්ව බුලත්විට කමින් ප්‍රිය ජනක පුද්ගලයකු බවට ජනතාව අතර ප්‍රචලිත වුයේ "ඩොයිලි උන්නාන්සේ" නමිනි.

දේශීයයන් සමග ළෙන්ගතුකම ඇතිකරගෙන ඔවුන් අතරට ගියේ සිංහල භාෂා දැනුමත් සමග ඔපමටිටම් වු තීකෂණ බුද්ධියත් නිසාය. ඒ නිසාම ඔහු කරගෙන ගිය රහස් චර පුරුෂ සේවාව හා ඔත්තු සේවාව සාර්ථක විය. උඩරට ලබාගැනීමේ දැවැන්ත සැලසුම් ක්‍රියාත්මක කිරීම සඳහා වියදම් කිරීමට පවුම් 1500 ක මුදලක් වෙන්කරගෙන සිටි බවත්, එම මුදල උඩරට සිට පහතරටට පැමිණෙන මුස්ලිම්වරුන්ට ඔත්තු සෙවීමේ කටයුතුවලට ත්‍යාග වශයෙන් ලබාදී ඔවුන් සතුටු කළ බවත් සඳහන්වේ. ඒ සමගම විශේෂයෙන් රජු කෙරේ, කලකිරීමට පත්ව සිටින රදළවරුන්ගේ තොරතුරුද ලබාගනිමින් තමා රදළවරුන්ට පිහිටවන කෙනෙකු බවට ඒත්තු ගැන්වීය. මේ සියල්ල උඩරට රාජ්‍ය බ්‍රිතාන්‍යය කිරුළට ඇද ගන්නා තුරු රහසක් ලෙස තබාගනිමින් ඉතා ප්‍රබල සන්නිවේදන ජාලයක් පිළිවෙළ කරගත්තේය.

පුරා වසර 10 කට ආසන්න කාලයක් තිස්සේ ගෙනගිය මෙම රැවටීම ජනතාවට අවබෝධ වීමට වැඩි කලක් ගත නොවීය. රජු පහ කිරීමෙන් පසු එළඹෙන සිද්ධීන් හා අවස්ථා ඊට උදාහරණ වේ. ලබාගත් ඔත්තු සේවාවන් හරහා කරන ලද සැලසුමේ ඊළඟ තීව්‍ර අවස්ථාව උදාවුයේ රජතුමා බ්‍රිතාන්‍යයන් යටත් සිරකරුවකු ලෙස අල්ලා ගැනීමෙනි. 1815 ජනවාරි සිට මාර්තු දක්වා මාස තුනක් පමණ කෙටි කාලයක් තුළ සිදුකළ ඒ ප්‍රයත්න ඩොයිලි සිය දින පොතේ විස්තර කරයි. බ්‍රවුන්රිග් ආණ්ඩුකාරවරයා වෙත ලියන ලද ලිපිවල අඩංගු සාරය මෙසේයි. "දැන් මට ලැබී ඇති තොරතුරුවලට අනුව මැද මහනුවර සිට සැතපුම් අටක් පමණ මෙම ස්ථානයට නැගෙනහිරින් අසල්වැසි ගමක රජු සිටිනු ඇතැයි මම ඔබට යටහත් ලෙස දැනුම් දෙමි. අපගේ හමුදාව ඉදිරියට ගෙන යෑමේදී ඔහු දුම්බර නැගෙනහිර පිහිටි මී මොර නම් ගමේ පසුබසින බව සත්‍ය ලෙස වටහා ගතිමි. මෙයින් ඔහුට කඳුරටට පලා යෑමට මාර්ගය පෑදෙන අතර එසේ වුවහොත් ඔහු අල්ලා ගැනීම අපහසු වනු ඇත. එම නිසා මම කණ්ඩායමෙන් කොටසක් වේරගංතොට අසල නවතා මිනිසුන් 80 ක් පමණ මී මුරේට යැවීමි. ඔබට තත්ත්වයේ වෙනස්වීම් දැනුම් දෙමි.... "

(1815 පෙබ. 17 ඩොයිලි බ්‍රවුන්රිග්ට යැවු ලිපිය. ඩොයිලි දිනපොතින්)

1815 පෙබරවාරි 18 දින තවත් ලිපියකින් දන්වා සිටියේ ...."අපගේ හේවායන් පැමිණි බව ආරංචිව රජු මැද මහනුවරින් ඊයේ සවස පලාගොස් ඇති බවයි. ඔහු සැඟවී ඇති තැන අපට දැනගත නොහැකි විය..."

මේ අතර රාජකීය ධාන්‍යාගාර, රජුගේ මුදල් නිධන්කර ඇති ස්ථාන සොයා ඒවා ලබා ගැනීමට තරම් ඩොයිලි අකාරුණික වු බව..."රජුගේ මුදල් ඇති ස්ථාන හෑරීමට පැය කීපයක්ම ආධුනික භටයන් යෙදවීය. අඩි 5 ක් පමණ හෑරීමෙන් මේ ධනය ඇති යැයි කියන ගල් ලෑල්ලට ළඟා වීමට අඩි තුනක් පමණ හෑරිය යුතු යැයි සිතේ. ඒවා නියම ලෙස ලැබු විට මම ඔබට නැවත ලියමි...."

(1815 පෙබ. 15 දින බ්‍රවුන්රිග් වෙත යැවු ලිපිය)

කාලයක් තිස්සේ පිඹුරු පත් සැකසු ඩොයිලිගේ දැවැන්ත ප්‍රයත්නය සාර්ථක වු බව ප්‍රීතියෙන් බ්‍රවුන්රිග් ආණ්ඩුකාරවරයා වෙත හෙළිදරව් කළේ මෙසේය.... "අරමුණු කරන ලද පරිදි ඔබගේ බලවත් අභිලාෂය මස්තකප්‍රාප්ත වු බව, ගරු කටයුතු උතුමාණන්ට වාර්තා කර සිටීමට මම හෘදයාංගම තෘප්තියෙන් යුක්ත වන්නෙමි. ඒ මක්නිසාද යත් කන්දේ නුවර රජු දැන් අප අතේ සිරකරුවෙක් වී සිටීමයි. දුම්බර වැසියන් විසින් ඊයේ ඔහු වටකරන ලදී. එසේ කරන ලද්දේ මැද මහනුවර අදිකාරම් විසින් යවන ලද ආයුධ සන්නද්ධ උඩරට වැසියන් සමුහයක් විසිනි. බිසෝවරුන් සමග උඩුපිටිය ආරච්චිගේ ගෙදර සිට කරුවල වැටීමට පැයකට පළමු රජු අල්ලා ගන්නා ලදී. (1815 පෙබ. 19 ඩොයිලිගේ දිනපොතින්)

ඩොයිලි විසින් බ්‍රිතාන්‍යයන් වෙනුවෙන් ඉටුකරන ලද මහඟු සේවය ඇගයීමටද ඔවුන් අමතක කළේ නැත. Geoffrey Powel උඩරට රාජධානිය ලබාගැනීම පිළිබඳ වාර්තා කළේ මෙසේය.... "ඩොයිලි මේ මහඟු යුතුකම ඉතා හොඳින් ඉටුකළේ සංවිධානාත්මක යුද්ධයක ජ්‍යෙෂ්ඨ හමුදා නිලධාරියකුගේ සේවයට වඩා විශිෂ්ට ලෙසිනි. එය යුද්ධයකට වඩා සුකෂම ලෙස මැනවින් ඉටු කළේ තමා විසින්ම සකස් කර ගත් සැළසුමක් හරහා තීකෂණ බුද්ධියෙන් හා අධිෂ්ඨාන ශක්තිය මතය..."

බ්‍රවුන්රිග් ආණ්ඩුකාරයා වාර්තා කළේ..."ඩොයිලි මගේ දිගුකාලීන රාජකාරි ජීවිතේ මට හමුවු සිවිල් සේවකයන් අතුරෙන් විශ්වාසදායකම සේවකයා. ඔහු විසින් නිහඬව සහ නිවැරදිව කළ විනිශ්චය මගින් උඩරට සියලුම ප්‍රදේශ ඇතුළුව ලංකාවම දැන් බ්‍රිතාන්‍ය කිරුළ යටතට පත්විය..."

ඇහැලේපොල හා මොල්ලිගොඩගේ මැසිවිලි

රජු බ්‍රිතාන්‍යයන්ට අල්ලා දී උඩරට සිහිනය සැබෑ වන තුරු නොඉවසිල්ලෙන් බලා සිටි ඇහැලේපොලට තමා ඇතුළු රදළවරුන් ඉතා වංචාකාරී ලෙස රවටා ඇති බව ඒත්තු ගියේ උඩරටට යන ගමන් මගේදීම, මෙම ප්‍රදේශ දැන් බ්‍රිතාන්‍ය ධජයට යටත් යන ප්‍රකාශ ඇඟයීමෙනි. තමන්ට සිදුවු දේ ගැන ඇහැලේපොලත් මොල්ලිගොඩත් එකිනෙකා වැළඳගෙන හඬන්ට වුහ. (මහාවංශය) රටක් ඉල්ලු කෙනෙකුට ගමක් වත් නොලැබ ගියේය..... ඩොයිලි.... දිනපොතේ සටහන් කළේය..... තවද ඇහැලේපොළ කළ සේවාව වෙනුවෙන් තාරකා පගෝදි කාසි 100 පරිත්‍යාග වශයෙන් යැවීමි. ඔහු ඒවා ප්‍රතිකෙෂ්ප කළේය..."

(1815 පෙබරවාරි 28 දා ඩොයිලිගේ දිනපොත)

මිනිසුන්ගේ සිත් තදින්ම කැළඹී ඇති බවත්, ඔවුන්ට සිංහල නායකයකු නොමැති නම් තමා පාලනයට සෙබළකු හෝ පත්කරන ලෙස කීය. (1815. 03. 03)

1815 ගිවිසුම හා ඉන්පසු

රජු අල්ලා සිරකරුවකු ලෙස වෙල්ලෝරයට යැවීමෙන් අනතුරුව උඩරට රාජ්‍යය බ්‍රිතාන්‍ය කිරුළට යටත් බවට ප්‍රකාශනය හා 1815 උඩරට ගිවිසුමට අත්සන් කිරීම රාජ්‍යයක අවසානය කියාපාන සංකේතය විය. මේ ගිවිසුම මගින් බුදු දහම ආරකෂා කරදෙන බවටත්, රදළවරුන්ගේ අයිතිවාසිකම් රුකදෙන බවටත් පොරොන්දු ඉටු නොවු බව ගිවිසුම අත්සන් කර වසර තුනක් ඉක්ම යෑමට පෙර භිකෂුන්ට, ජනතාවට හා රදළයන්ට අවබෝධ වීම, 1818 ප්‍රථම බ්‍රිතාන්‍ය විරෝධී නිදහස් අරගලයට මග පාදන ලදී.

ආචාර්ය නන්දනී දමයන්ති කරුණාතිලක
ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ඉතිහාස පුරාවිද්‍යා අධ්‍යයනාංශය
(දිවයින_09/03/25)

Monday, March 23, 2009

අතීසාරයට අමුඩෙ ගහමු ද?

පෙර වදන_ශ්‍රී ලංකා හමුදාව කිලිකොච්චියට ආවොත් මැදවච්චියට දුවන තුරු ගහන බවට තෙපර බෑ නඩේසන් රාලහාමි දැන් කියනුයේ කොන්දේසි විරහිතව සටන් විරාමයකට එකඟ බව ය. (මේ කතාවෙන් උදම්වූ සිංහල නාමදාරියෙක් හමුදාව කිලිනොච්චි යනවා කියා මැදවච්චි යන බවට උඩුබිරුවේ ය.) 4 වැනි ඊළාම් යුද්ධයේ කොටි සටන් විරාමයක් ඉල්ලු 10 වැනි වතාවය මේ. 'රෑ වැටු‍ණු වළේ දවල් නොවැටෙනු' යන සිංහල ගැමියන් අතර ප්‍රකට පිරුළ මහින්ද රාජපක්ෂ නමැති ගැමියාට අප සිහිපත් කළ යුතු නැත.

එදා ශ්‍රී ලංකා භූමියෙන් 3/1ක් ද මුහුදින් 3/2ක් ද පාලනය කළ කොටියා අද භූමියේ ව.කි.25ට ද මුහුදින් කි.මි.12ට ද කොටු කිරීමට විරෝදාර ත්‍රිවිද හමුදාව සමත් ව සිටිති. එම භූමියෙන් ද වැඩි කොටස යුද මුක්ත කලාපයයි. යුද නීති ජාත්‍යන්තර නීති තඹයකට මායිම් නොකරන කොටි ඒ සිවිල් ජනතාව අතර සිට හමුදාව වෙත ප්‍රහාර එල්ල කරමින් සිය නිර්ලජ්ජි බව ලොවට ප්‍රදර්ශනය කරති.
කෙසේ වුව ද දැන් සියලු අවි සැපයුම් මාර්ග අවහිර කර ඇති බැවින් සඟවා ගෙන ඇති ආයුධ අහවර වූ කල කොටියා සෙත්තපොච්චි ය. අන්න එදාට සකල ශ්‍රී ලංකා වාසීන්ට ම සදාකාලික සටන් විරාමය හිමි වනු ඇත. එතෙක් අතීසාරයට අමුඩ මාදිලියේ සටන් විරාම අවැසි නැත. දැන් දිවයින කතුවැකිය කියවමු.

චීනයට අපගේ ආචාරය

ත්‍රස්තවාදයට විරුද්ධ, ලේ ගංගා ගලා යනු දැකීමට නො කැමැති සියලු ජනයාගේ ආචාරය චීනයට හිමිවේවා! ශ්‍රී ලංකාවේ අභ්‍යන්තර කටයුතුවලට ඇඟිලි නො ගසන ලෙස චීනය එක්සත් ජාතීන්ගේ ආරකෂක මණ්ඩලයට දැනුම් දී තිබේ. ශ්‍රී ලංකාවේ දැනට පවත්නා යුද්ධය නවත්වා දමා ප්‍රභාකරන් බේරා ගන්නා ලෙස එක්සත් ජාතීන්ගේ සංගමයේ සිටින සමහර යුරෝපීය සාමාජිකයෝ දැඩි ලෙස ඉල්ලති. එයට එරෙහි වු චීනය ශ්‍රී ලංකාවේ යුද්ධයෙන් ලෝක සාමයට හෝ ලෝකයේ ආරකෂාවට බලපෑමක් නො වන බව එක්සත් ජාතීන්ගේ ආරකෂක මණ්ඩලයට දන්වා ඇත. කිසිම කොන්දේසියක් නැතිව සාම සාකච්ඡා සඳහා තමන් සුදානම් බව ප්‍රභාකරන් සහ ඔහුගේ පුතා ඇතුළු කණ්ඩායම ලක් රජයට දන්වන්නේ මේ අතර ය. මෙබඳු සටන්වලදී සටන් විරාම තිබිය යුතු නැත. ගරිල්ලා ව්‍යාපාරයක් විනාශ කරන ක්‍රම දෙකක් තිබේ. එක්කෝ එහි නායකයා නැසිය යුතු ය. නැතහොත් සංවිධානය නැසිය යුතු ය. කොටි සංවිධානය වැනි බිහිසුණු කණ්ඩායමක ඉරණම විසඳන විට සංවිධානය මෙන්ම නායකයා ද විනාශ කළ යුතු ය. මන්ද, නායකයා තම භාරයට ගෙන ඔහු යළි තර කර අවි ආයුධ ලබාදී පණ ගැන්වීමට අපගේ සතුරන්ට හැකියාව ඇති බැවිනි. අගතියට පත් සතුරා නැවතත් සන්නද්ධ කර යුද්ධයට යැවීම ඉතිහාසය පුරාම සිදු වී ඇත. ඒ ඉතිහාසය මේ රටේ බෙදුම්වාදී ප්‍රශ්නය සම්බන්ධයෙන් නැවත සිදු විය යුතු නැත. රජය කළ යුත්තේ සිවිල් වැසියන් බේරා ත්‍රස්තවාදියා සම්පූර්ණයෙන් ම විනාශ කර දැමීම ය. ප්‍රභාකරන්ගේ මරණයත් සමඟ ම ශ්‍රී ලංකාවට යළි හිරු පායා අලුත් දවසක් පටන් ගන්නවා ඇත.

චීනය අපගේ පැරණි මිතුරා ය. නිර්මල බුදු දහම සොයා ෆාහියන් සහ හියුන්සාං යන චීන භිකෂුන් වහන්සේලා මෙහි පැමිණීමටත් පෙර චීනය අප හා සම්බන්ධකම් පැවැත්වී ය. රුසියාව ද අපගේ මිතුරා ය. පසුගිය කාලයේදී ශ්‍රී ලංකාවට එරෙහිව එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයට ඉදිරිපත් කෙරුණු යෝජනා ගණනාවකට ම රුසියාව එරෙහි විය. ඉන්දියාව ද අපගේ මිතුරා ය. එහෙත් ඉන්දියාවේ විශේෂත්වයක් තිබේ. එනම් ඒ රට අප සම්බන්ධයෙන් දෙබිඩි ප්‍රතිපත්තියක් අනුගමනය කිරීමයි. ඉන්දියාව විටෙක කොටින්ට විරුද්ධ ය. විටෙක කොටින්ට පකෂ ය. විටෙක යුද්ධයට විරුද්ධ ය. විටෙක යුද්ධයට පකෂ ය. එයට හේතුව චීනයේ හා රුසියාවේ ස්ථාවර ශක්තිමත්, කිසි ලෙසකින්වත් සෙලවිය නො හැකි ආණ්ඩු තිබීමත් අස්ථාවර සභාග ආණ්ඩු මත යැපීමට ඉන්දියාවට සිදුව තිබීමත් ය. ප්‍රභාකරන්ට පකෂ වීමට ජාතියක් වශයෙන් ගත් කල ඉන්දියාවට කිසිදු චර්යාත්මක අයිතියක් නැත. රජීව් ගාන්ධි ඝාතනය කරන ලද්දේ ප්‍රභාකරන් විසිනි. එහෙත් දේශපාලන බලය උදෙසා මේ කාලකන්නි ඉතිහාසය අමතක කිරීමට ඇතැම් ඉන්දියානුවන් සුදානම් වීම ඛේදවාචකයකි.

රජය කිසි ලෙසකින්වත් යුද්ධය නැවැත්විය යුතු නැත. සටන් විරාම හෝ සාම සාකච්ඡාවලට යා යුතු නැත. කිසියම් ජාත්‍යන්තර බලවේගයකට නතු වී රජය එවැනි පියවරක් ගතහොත් එය ජනතාවට ද්‍රෝහී වීමක් වන්නේ ය. මේ යුද්ධය වෙනුවෙන් ජාති භේදයකින් තොරව යුද හමුදාවේ දහස් ගණනක් දිවි දුන්හ. සදාකාලික අබ්බගාතයන් බවට පත් වුහ. මේ රට කැබැලි කිරීමට බලා සිටින යුරෝපීය හෝ ස්කැන්ඩිනේවියානු රටවල් ඒ ජීවිත මිනිස් ජීවිත ලෙස ගණන් නො ගනිති. ඔවුන් මිනිස් ජීවිත ලෙස ගණන් ගන්නේ කොටින්ගේ ජීවිත පමණි. එහෙත් චීනය, රුසියාව වැනි බලවතුන් අපේ රටට සිදු වී ඇති අසාධාරණය තේරුම් ගැනීම බලවත් සහනයකි. චීනයට නැවතත් අපගේ ආචාරය රුසියාවටත් එම ආචාරය හිමිවේවා!
(දිවයින_09/03/24)

Sunday, March 22, 2009

පිං බත් කන නිකමුන්

මේ පමාවට නම් කිසිදු සමාවක් නැත

මේ වන විට ශ්‍රී ලංකාවට යුද්ධ දෙකක් කරන්නට සිදු වී තිබේ. ඉන් පළමුවැන්න කොටි ත්‍රස්තවාදීන්ට එරෙහි යුද්ධයයි. දෙවැන්න ජාත්‍යන්තරයෙන් හමා එන කොටි මතවාදය පරාජය කිරීමේ යුද්ධයයි.
කිසිදා පරාජය කළ නොහැකි බව ජාත්‍යන්තරය පුන පුනා කියූ කොටි ත්‍රස්තවාදය අද වන විට සිටින්නේ සිය මිනී වළ ආසන්නයේ ය. නමුත් ජාත්‍යන්තරයෙන් පෝෂණය වන කොටි මතවාදයේ තත්ත්වය එය නොවේ. කොටි ත්‍රස්තවාදය වනසා දමන තීරණාත්මක මහ සටනේ අවසන් අදියරේ දී පවා මේ කොටි මතවාදීහු ශ්‍රී ලංකාවට එරෙහිව අවි අමෝරාගෙන නැගී සිටිති.

එහි අලුත්ම සිද්ධිය පසුගිය දා වාර්තා වූයේ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසම තුළිනි. මෙම කොමිසමේ මහ කොමසාරිස්වරිය වන නවනීදන් පිල්ලේ මහත්මිය දෙමළ ජාතික කාන්තාවකි. දෙමළ වූ පමණින්ම ඇය කොටි ත්‍රස්තවාදයට උඩගෙඩි දෙන බව කියන්නට තරම් අපි අසුබවාදී නොවෙමු. නමුත් එවැන්නක් සිදුව තිබේ. ප්‍රශ්නය ඇත්තේ එතැනය. මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස්වරිය ලෙස කොටි මතවාදයට ඔක්සිජන් සපයමින්ශ්‍රී ලංකාවේ යුද්ධය සම්බන්ධයෙන් ඇය කර ඇති ප්‍රකාශය අතිශයින්ම බරපතළ ය. ඇය විසින් නිකුත් කරන ලද වාර්තාවක් මගින් කියා ඇත්තේ මෙම යුද්ධයෙන්ශ්‍රී ලංකා රජය ජය ලබන බව පෙනෙන්නට තිබෙන නමුත් ඒ වෙනුවෙන් සිවිල් වැසියන්ගේ ජීවිත බිලි දෙන්නට සිදුව තිබෙන බව ය. ජනවාරි මාසයේ සිට මේ වන විට සිවිල් වැසියන් 2800 දෙනකු පමණ යුද ගැටුම් හේතු කොටගෙන මිය ගොස් ඇති බව ද ඇය පවසා තිබේ.

කොටි ත්‍රස්තවාදීන් සාමාන්‍ය ජනතාව මිනිස් පලිහක් ලෙස භාවිත කරන බව පිල්ලේ මහත්මිය පවසා ඇතත් ඒ පිළිබඳ කොටි ත්‍රස්තවාදීන් වගඋත්තරකරුවන් කරමින් විවේචනය කරන්නට හෝ සිවිල් වැසියන් නිදහස් කරන ලෙස එල්ටීටීඊයෙන් ඉල්ලා සිටින්නට ඇය කටයුතු කර නැත.

මීට පෙරාතුව නීදන් පිල්ලේගේ තනතුර දැරූ ලුවී ආබර් මහත්මිය ද කොටි මතවාදය පෝෂණය කිරීම සඳහා කැප වී ක්‍රියා කළ බව අපට අමතක නැත. එක් අවස්ථාවක දී එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කාර්යාලයක්ශ්‍රී ලංකාවේ ස්ථාපිත කළ යුතු යැයි ඇය කීවා ය.

මේ අතරේ යුරෝපා සංගමයේ විදේශ කටයුතු පිළිබඳ කොමසාරිස්වරිය වන ජෙනිටා වෝල්ට්නර් කියා තිබෙන්නේ විශේෂ දේශපාලන කමිටුවක්ශ්‍රී ලංකාවට එවා එහි තත්ත්වය සොයා බැලීමට කටයුතු කරන බව ය.
මේ සියලු කාරණා එකින් එක විශ්ලේෂණය කර බැලීමේ දී තහවුරු වන එක් කරුණක් තිබේ. එනම් කොටි ත්‍රස්තවාදයට එරෙහි දැවැන්ත යුදමය ක්‍රියාදාමය රජය ඉතා සාර්ථකව ඉදිරියට ගෙන ගියත් කොටි මතවාදයට එරෙහිශ්‍රී ලංකාවේ මතය නොඑසේ නම් වන්නි මානුෂීය මෙහෙයුමේ යථා තත්ත්වය නිසියාකාරව ජාත්‍යන්තරයට ඒත්තු ගන්වන්නට රටක් වශයෙන් අප අපොහොසත් වී ඇති බව ය. එම සටනේ දී කොටින්ගේ ජාත්‍යන්තර මෙහෙයුම් ජාලය අපට වඩා ඉදිරියෙන් සිටින බව මෙහි දී පෙනී යන කරුණකි.

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසම තුළත්, යුරෝපා සංගමයේ විදේශ කටයුතු අංශය තුළත් කොටි මතවාදය රජ කරවන්නට එල්ටීටීඊයට හැකි වී තිබෙන්නේ ඔවුන්ගේ ජාත්‍යන්තර ප්‍රචාරක ජාලය ඉතා සියුම් අයුරින් සිය මතවාදය එම ආයතන මෙහෙයවන්නන්ගේ හිස්ගෙඩි තුළට ඇතුළු කරන්නට ඔවුන් සමත්ව ඇති නිසා ය.
මේ තත්ත්වය වඩාත් හොදින් තහවුරු කරමින් ත්‍රස්තවාදය පිළිබඳ ජාත්‍යන්තර මට්ටමේ විශ්ලේෂකයකු වන ආචාර්ය රොහාන් ගුණරත්න මහතා ‘රිවිර’ හා කළ සම්මුඛ සාකච්ඡාවේ දී (එය 11 වැනි පිටුවේ පළවේ) පවසා ඇත්තේ අප කොතරම් කැපවීමෙන් හා උත්සාහයෙන් කොටි ත්‍රස්තවාදය පරාජය කරමින් සිටියත් ඒ පිළිබඳව වන අපගේ විදේශ ප්‍රතිපත්තිය එම මට්ටමේ නොමැති බව ය. එම තත්ත්වය නොපමාව වෙනස් කර නොගතහොත් ජාත්‍යන්තරය ඉදිරියේ අප අසරණ වනු ඇති බව ද ඔහු පවසා තිබේ.

මේ සියලු කාරණා විශ්ලේෂණය කර බැලීමේ දී එකක් පැහැදිලි ය. එනම් මෙරටේ විදේශ කටයුතු අමාත්‍යංශය තමන් වෙත පැවරී ඇති වගකීම නිසියාකාරව ඉටු නොකරන බව ය. මේ පිළිබඳව රොහාන් ගුණරත්න මහතා පවසන්නේ මෙරටේ විදේශ අමාත්‍යංශය හමුදා නිලධාරින් මෙන්ම කැපවීමෙන් කටයුතු කළ යුතු බව ය.

බටහිර ඌරුවටම ඉංගිරිසියෙන් කතා කරන්නට හැකියාව තිබූ පමණින්ශ්‍රී ලංකාවේ මානුෂීය මෙහෙයුම ජාත්‍යන්තරය ඒ අයුරින්ම පිළිගන්නා ආකාරයට සන්නිවේදනය කරන්නට නොහැකිය. ඒ සඳහා බුද්ධිය, තර්කන ශක්තිය මෙන්ම බොහෝ ඇසූපිරූ තැන් ඇති බව ද ඉතා වැදගත් ය. ඒ අයුරින් බලන කල සිය මිනී වළ ආසන්නයේ වැතිර හිදිමින් වුවද සිය මතවාදය ජාත්‍යන්තරයේ හිස්ගෙඩි තුළට ඇතුළු කරන්නට කොටි ත්‍රස්තවාදීන්ට හැකි වී තිබේ.

මේ කොටි මතවාදය අබිබවා යන්නට නොහැකිවීමේ වගකීම මුළුමනින්ම විදේශ කටයුතු අමාත්‍යංශය භාරගත යුතු ය. කොටි මතවාදයට උඩගෙඩි දෙන ප්‍රකාශයන් මෙන්ම ක්‍රියාකාරකම් ද ජාත්‍යන්තරයෙන් එළියට එන්නේ විදේශ අමාත්‍යංශයේ දුර්වල ප්‍රචාරක යාන්ත්‍රණය හේතුකොටගෙන ය.

පසුගිය චන්ද්‍රිකා ආණ්ඩුව යුද්ධය හරිහැටි නොකළාට කොටි මතවාදය ජාත්‍යන්තරය තුළ අසරණ කරන්නට හැකි ජෙනරාල්වරයකු ඒ ආණ්ඩුවේ සිටියේ ය. ඒ ලක්ෂ්මන් කදිර්ගාමර් ය. කොටි මතවාදයට එරෙහිව ජාත්‍යන්තරය තුළ ජයග්‍රාහී මානසික යුද මෙහෙයුමක් කළ කදිර්ගාමර් වැන්නකුගේ සේවය මේ රජයට අත්‍යවශ්‍යම මොහොතකි මේ. කොටි ත්‍රස්තවාදය යුදමය වශයෙන් අනාථ වී ඇති මෙවන් මොහොතක කදිර්ගාමර් වැන්නකු මේ ආණ්ඩුව තුළ ද සිටියා නම් කොටි ත්‍රස්තවාදය පමණක් නොව කොටි මතවාදය ද මේ වන විට වළපල්ලේ ය.

කෑලි පහේ සූට් එක ඇඳ රට රටවල් ගානේ ඇවිදිමින් සුද්දන්ගේ භාෂාවෙන් උජාරුවට කතා කළාට සත පහකටවත් වැඩක් නැත. සිදු කළ යුත්තේ කොටි මතවාදය පරාජය කිරීමේ ශක්තිමත් ජාත්‍යන්තර යාන්ත්‍රණයක් විදේශ අමාත්‍යංශය හරහා නොපමාව සවිබල ගැන්වීම ය. ආචාර්ය රොහාන් ගුණරත්න මහතා කියන ආකාරයටම හමුදාව මෙන් කැපවීමෙන් වැඩ කරන පිරිසක් ඊට අත්‍යවශ්‍ය ය.

සත්‍යය හා යථා තත්ත්වය අබිබවා කොටි මතවාදය ජාත්‍යන්තරය තුළ ඉස්මතු වීමෙන් අපේ විදේශ අමාත්‍යංශයේ පුස්ලෝඩංලාගේ කයිවාරුවේ තරම මනාව පැහැදිලි වෙයි. මේ තීරණාත්මක මොහොතේ දී අත්‍යවශ්‍යව ඇත්තේ නිවැරදි කෙරුවාවයි. සිදුව ඇත්තේ කෙරුවාව පසෙකලා කයිවාරුව පමණක් ඉස්මතු වීම ය. මේ තත්ත්වය නොපමාව පාලනය නොකළහොත් එය විශාල හානියක පෙරනිමිත්තක් විය හැකි බව අපි දැඩිව අවධාරණය කරමු. දැන් කළ යුත්තේ ලෙඩේට බෙහෙත් දීම ය. ඒ සඳහා කොටි මතවාදය පැරදවිය හැකි ප්‍රතිජීවකයන්ගෙන් සන්නද්ධ වූ වෛද්‍ය විශේෂඥයකුගේ සේවය හා මෙහෙයවීම අපේ විදේශ අමාත්‍යංශයට ලැබිය යුතුම ය. එසේ නොමැතිව තවදුරටත් බකංනිලා සිටීමෙන් නම් පලක් ඇත්තේම නැත. ලෙඩා පසෙක සිටිය දී තවදුරටත් වෙදාම බෙහෙත් බොන්නට ගියහොත් ලෙඩාට දෙයියන්ගේම පිහිට ය. එබැවින් ජාත්‍යන්තරව ඉස්මතු වන කොටි මතවාදය පැරදවීමට තවදුරටත් පමා වුවහොත් කවරකුට වුව කිසිදු සමාවක් ද නැති බව මේ කවුරු කවුරුත් වටහාගත යුතු ම ය.
(රිවිර_09/03/23)

පසුවදන_අපේ විදේශ ඇමතිතුමා අවුරුද්දේ දවස් 365ක් නැත්නම් 366ක් පිටරට ය. ඊට අමතරව ලංකා ආණ්ඩුව විසින් ජනතා බදු මුදලින් නඩත්තු කරන තාතාපති කාර්යාල ය. ඒවායේ සිය ගණනක් නිලධාරීහු සිය ජීවිතයේ අවසාන කාලය දැහැමින් සෙමෙන් ගත කරති. රටට ඉන් ලැබෙන අබ මල් රොනක සේවයක් නැත. මේ විදේශ සේවා තිබුණාට වඩා නොතිබුණා නම් හොඳ ය. මේ ගැන සිය දහස්වරක් අප කල්පනා කළ යුතු ය. රට වෙනුවෙන් කැපවී වැඩ කරන අතළොස්සක් වූ තානාපති අංශවල නිලධාරීහු මේ ගණයට අයත් නොවෙති. ඒ අතළොස්ස අප පිං බත් කන නිකමුන් නොවේදැයි පශ්චාත්තාප විය යුතු නැත.

Saturday, March 21, 2009

වවුලාගේ මඟුල් ගෙදර ගියේ නම් එල්ලිලා හිටු !

වන්නියේ යුද ජයග්‍රහණ පිළිබඳ රුපවාහිනි නාලිකා මගින් සැපයෙන තොරතුරු දකුණේ ජනතාව තලු මරමින් රස විඳින පුවත් බවට පත්ව ඇතැයි එතෙර මෙතෙර දෙකෙහිම සිටින ඊනියා මානවහිතවාදීහු ලියති. කියති. ඒ පුවත් දකුණට මෙන්ම ප්‍රභාකරන්ගේ ඊලමට එරෙහි වී සිටින සියලුම ජනවර්ගයාගේ සිතට සතුටක් බව නිසැකය. එහෙත් ඒ ප්‍රවෘත්ති නිසා සලිත වන කම්පා වන අයද සිටිති. ඉහත සඳහන් කළ ඊනියා මානවහිතවාදීන් මෙන්ම බටහිරයන්ගෙන්ම යැපෙන මාධ්‍ය, රාජ්‍ය නොවන සංවිධාන ඇතුළු වෙනත් කොටි රුකඩවලටද ඒ පුවත් අසුබ, අරුචි වීමද ස්වභාවිකය.

යුද මුක්ත කලාපයද ඇතුළු වර්ග කි. මී. 28 කට පමණ සීමා වී සිටින දෙමළ ජනතාවගේ ඊනියා විමුක්ති නායකයා අඩි හයක් පොළව යටට යන්නේ කවදා කෙසේද යන ස්වභාවික කුතුහලය එදා සිටම ප්‍රභාකරන්ගේ ජන ඝාතක ජන පීඩක මුග්ධ ව්‍යාපාරයට එරෙහිවුවන්ට මෙන්ම අපටද තිබේ. එහෙත් තවමත් ප්‍රභාකරන්ට එසේ නොවේවායි හිතන පතන අයද වෙති. අප ආණ්ඩුවට අනතුරු හඟවන්නේ ඒ නග්න වෘකයන්ගෙන් ප්‍රවේශම් වන්නටය.

එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මානවහිමිකම් පිළිබඳ මහ කොමසාරිස් ධුරය හොබවන නවදීනම් පිල්ලේ මහත්මිය පසුගිය දිනක කිසිදු පදනමක් නොමැති චෝදනාවක් නැගු අයුරු අපට සිහි වේ. ආණ්ඩුවේ හමුදා අහිංසක සිවිල් වැසියන් දහස් ගණනක් මරා දමා ඇතැයි ඇය විසින් කරන ලද ගද්‍රභ ඝෝෂාව මතු වැඩ සඳහා කරන ලද්දක් බව අපට පැහැදිලිය.

කෙසේ හෝ ඇගේ එකී මුග්ධ චෝදනාව යටපත් කරමින් එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින්ම නගන ලද තවත් චෝදනාවක් මතු විය. ඒ එක්සත් ජාතීන්ගේ සංවිධානවල නියෝජිතයන් හා ඔවුන්ගේ පවුල්වල සාමාජිකයන් කොටින්ගේ පැහැර ගැනීම්වලට ලක්ව සිටින බවය. බලහත්කාරයෙන් රඳවා ගෙන සිටින බව කියැවෙන ඒ අය අතර දහසය හැවිරිදි දැරියක්ද සිටින බව සඳහන් විය.

කොටින්ගේ එම අධම ක්‍රියාව අපි කිසිසේත් අනුමත නොකරමු. එහෙත් මෙයින් පැහැදිලි වන යථාර්ථයට එක්සත් ජාතීන්ගේ සංවිධානයට හෝ කොටි වෙනුවෙන් කඳුළු සලන අයට දැක්විය හැකි ප්‍රතිචාරය කුමක්ද? යුද මුක්ත කලාපය තුළ සිටින කොටි ත්‍රස්තවාදීන් එමගින් ප්‍රකාශ කර සිටින්නේ තම සංවිධානය මේ ලෝකයේ පිළිගත් කිසිදු යුක්තියක් හෝ මානව ධර්මයක් නොතකන බව නොවේද? වවුලාගේ මඟුල් ගෙදර ගිය කාටත් සිදුවන්නේ එල්ලී සිටීමට යැයි සිංහල ජනවහරක් ඇත. මේ ඊනියා දෙමළ නායකයා කර ඇත්තේ එය සනාථ කිරීමක් නොවේද,

සිය තරාතිරම, සේවය, නිලය, බලය, ස්ත්‍රී පුරුෂභාවය යනාදී කිසි භේදයකින් තොරව මෙසේ බලහත්කාරයෙන් රඳවා ගෙන සිටින අය කොටින්ගේ සේවාවන් සම්පුර්ණ කළ යුතු වෙති. එක්සත් ජාතීන්ගේ සංවිධානයට අයත් සේවකයන්ට වුවද අගල් කැපීම, බංකරවලට අඩු වැඩිය සැපයීම වැනි ප්‍රභාකරන්ගේ ඊනියා ඊලාම් සටනේ ඇණ මුරුච්චි බවට පත්වීම හැර වෙනත් විකල්පයක් නැත.

එක්සත් ජාතීන්ගේ මණ්ඩලය අමාරුවේ වැටී සිටින මේ මොහොතේදී ඔවුන්ගේ හිත් රිදෙන පරණ කතා කීමට අපට අවශ්‍ය නැත. එහෙත් එකී සංවිධානයේ ඇතැම් නිල කටයුතු කොටින්ගේ වාසියට හේතු වු අවස්ථා බොහෝ විය. වරක් එහි සිටි මහලේකම්වරයකු වු කොෆි අන්නන් කෞශල්‍යයන් නමැති කොටි නායකයා ඝාතනය වු අවස්ථාවේ ශෝක ප්‍රකාශයක් ද කර තිබිණි. එහෙත් හමුදා ප්‍රහාර අබියස වියරු වැටී නින්දිත සැහැසිකම්වලින් මරණය කල් දමා ගනිමින් සිටින කොටි නායකයෝ ඒ කිසිවකට මායිම් කරත්ද? අප වෙනුවෙන් මෘදු ඇසකින් බැලු අය නොවේදැයි මොහොතකට හෝ කල්පනා කරත්ද? නැත. කිසිසේත්ම නැත. කොටියාගේ හැටි එහෙමය.

සැබැවින්ම කොටි නායක ප්‍රභාකරන් ජගත් සම්මුතිවලට හෝ එක්සත් ජාතීන්ගේ ප්‍රඥප්තිවලට හෝ තඹයකට තරම්වත් මායිම් නොකරන්නෙක් බව මෙයින්ම නොපෙනේද? අද වන්නියේ සිටින අහිංසක දෙමළ ජනතාව පළිහක් ලෙස භාවිත කරමින් හෝ පණ බේරා ගැනීමට තරම් කොටි නායකයෝ නිවටයන් වී නොසිටිතියි කිව හැකිද?

අපි ප්‍රභාකරන්ගේ අදිසි මිතුරන්ට මෙන්ම සදිසි මිතුරන්ටද එක් දෙයක් කියමු. මේ මෘග ඝාතකයා වෙනුවෙන් සටන් විරාම ඉල්ලීමට හෝ වෙනත් බොරු වෙටිටු දමා හමුදාව ආපස්සට ගැනීමට හෝ යමෙක් උත්සාහ කරන්නේ නම් හේ තරම් ද්‍රෝහියෙක් මේ මිහි මත තවත් නැති බව අපි කියමු.

ප්‍රභාකරන් ලවා දෙමළ ජනතාවට විමුක්තිය ලබා දීමට ඉදිරිපත් වු සියලු දෙනාගෙන්ම අපි එකම එක සාධාරණ හා යුක්තිසහගත ප්‍රශ්නයක් නගමු. ප්‍රභාකරන්ගේ අවසන් නියෝගය වී ඇත්තේ වන්නියේ යුද මුක්ත කලාපයේ රුඳී සිටින අහිංසක දෙමළ ජනතාවද ඔහු වෙනුවෙන් සයනයිඩ් කා මිය යා යුතු බවකි. තමා වෙනුවෙන් තම ජනතාව මරු තුරුලට යවන නායකයන් ගැන ඔබ අසා තිබෙන්නෙහිද?

ඉතිහාසයේ සඳහන් වන දුටුගැමුණු - එළාර යුද්ධයෙහිදී නිරපරාදේ සිදුවන මිනිස් ඝාතන වැළැක්වීම සඳහා ඒ නායකයන් දෙදෙනා එකඟතාවකට පැමිණ ද්වන්ධ සටනක් කළහයි කියැවේ. එළාර රජු විශිෂ්ට නරපතියකු ලෙස දැක්වෙන බොහෝ කරුණුද වේ. ඒ දෙමළ ජනතාවට සාඩම්බරයෙන් සිහිපත් කළ හැකි ගෞරවනීය, අභිමානවත් නායකයෙකි. තම ජනතාව දෙස දයාවෙන් බැලු නායකයෙකි. එහෙත් මේ නිවටයාගේ අවසන් ප්‍රයත්නය තම ජනතාවගේ ජීවිතද තමා වෙනුවෙන්ම බිලි ගැනීමය.

මහත්වරුනි, අන්න වෙනස, එළාර නමැති ශ්‍රේෂ්ඨයා ප්‍රභාකරන් වැනි ඝාතකයකු සමග සැසඳීම අපරාධයක් බවද අපි දනිමු.

ප්‍රභාකරන්ගෙන් කරන ඉල්ලීම්, ඔහුට කරන කන්නලව් නිසරු නිෂ්ඵල දේවල් බව දැන් එක්සත් ජාතීන්ගේ සංවිධානයටද පසක් විය යුතුය. ඔහු යහතින් සිටින තෙක් මේ රටට තබා ලෝකයටම යහපතක් නොවන බව දැන් තේරුම් යා යුතුය.
(දිවයින ඉරිදා සංග්‍රහය_09/03/22)

පසුවදන_කොටියා පිටකොටුවේ ආමර්වීදියේ නුගේගොඩ බෝම්බ වැල් පුපුරවන විට, ජය ශ්‍රී මහ බෝධියට, ශ්‍රී දළඳා මැදුරට පහර දෙන විට, උතුරු නැගෙනහිර රජයේ හුමදා කඳවුරු එකපිට ඇදවැටෙන විට සතුටු සිනා සාගරය කළඹමින් විදෙස් ප්‍රවෘත්ති සේවාවලට වාර්තා සැපයු මේ කුහක රැළ අද මුහුණදෙන්නේ දෛවයේ කුරිරු සරදමකට නොවෙද? පෙර කළ සිය මාක්ස්වාදී ලිබරල්වාදී මතවාද සනාථ කරනට රජයේ යුදමය පසුබෑම් යෙදවූ මේ කුහකයින් අද කුමක් කරම් ද?

දැන් කළ හැක්කේ දකුණේ මිනිසුන් යුද ජයග්‍රහණ තලු මරනවා වැනි නිවට කියමන් වමෑරීම ය. ඒ ජයග්‍රහණ ගෙනෙන්නේ සකල ලක්වැසියන් වෙනුවෙන් බව හෝ ඊට ජීවිත දෙන්නේ දකුණේ වීර පුතුන් බව උන් කියන්නේ නැත. රට මතක තබා ගත යුතු වැදගත් කාරණය මේ උඩුබුරන්නේ කොටියා කිසි දිනක පරාජ කළ නොහැකියයි කියූ ම්ලේච්ඡ ත්‍රස්තවාදය විමුක්තිවාදයකැයි කියූ දුගඳ කටවල් ම බව ය.

Friday, March 20, 2009

සාමාන්‍ය අසාත්මිකතාව

ගර්භනී කාලයේ දී හට ගැනීමට ඉඩ ඇති ජර්මන් සරම්ප රෝගය වැළැක්වීම සඳහා යොවුන් දැරියන්ට ලබාදෙන රුබෙල්ලා එන්නත නිසා මාතර සාන්ත තෝමස් බාලිකා විදුහලේ දැරියන් 25 දෙනකු රෝහල් ගත කිරීමට සිදු වු බව ඊයේ (20 දා) දැනගන්නට ලැබිණි. මෙය සාමාන්‍ය අසාත්මික තත්ත්වයක් බව එම රෝහලේ වෛද්‍ය නිලධාරියකු පැවැසු බව දැනගන්නට තිබේ. අසාත්මික තත්ත්වය කොතරම් සාමාන්‍යයද යත්, එන්නතට ලක් කෙරුණු දැරියක් මාතර රෝහලේ දැඩි සත්කාර ඒකකයේ දී මිය ගියා ය. මේ සිද්ධිය ගැන එය සිදුවු දින රාත්‍රිය වන තුරුත් සෞඛ්‍ය අමාත්‍යාංශයේ නිලධාරීන් දැන සිටියේ නැත. ඔවුන්ගෙන් වැඩි දෙනා සම්මන්ත්‍රණ සහ සාකච්ඡාවලට සහභාගි වීම සඳහා කාර්යාලයෙන් නික්ම ගොස් සිටියහ. මේ ගැන සෞඛ්‍ය ඇමැති නිමල් සිරිපාල ද සිල්වා මහතා දැන සිටියේදැයි අපි නොදනිමු. ලෝක සෞඛ්‍ය සංවිධානයේ සභාපති ධුරය මේ දිනවල ශ්‍රී ලංකාවට හිමිව ඇති බැවින් නිමල් සිරිපාල මැතිතුමාට නිමක් නැතිව වැඩ තිබේ. ඒ මදිවාට එතුමා ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක ද වෙයි. මේ සියලු කරුණු සලකා බලන කල, වැඩ නැති නිලධාරීන් මේ ගැන දැන නො සිටියානම්, වැඩ ඇති ඇමැතිතුමා මේ ගැන කිසිත් දැන ගැනීමට කිසිදු හේතුවක් නැත.

ඉතා වැදගත් කාරණයක් ඉතා කෙටියෙන් කියමු. මෙබඳු සිද්ධියක් චීනයේ වී නම් ඒ රටේ සෞඛ්‍ය ඇමැති තුමා, අමාත්‍යාංශයේ ඉහළ නිලධාරීන්, එන්නත මිලට ගැනීමට අනුමැතිය දුන් සෞඛ්‍ය බලධාරීන්, එම ටෙන්ඩරය අනුමත කළ ටෙන්ඩර් මණ්ඩලයේ සාමාජිකයන්, එන්නත ලබා දුන් වෛද්‍යවරුන් යනාදී සියලු දෙනා රිමාන්ඩ් භාරයේ ය. පසුව ඔවුනට එරෙහිව නඩු විභාග කර වැරදිකරුවන් තෝරා එක පෙළට සිටුවා වෙඩි තබා මරනු ලැබේ. ඒ බව දන්නා වැරදිකාර නිලධාරීහු කල් තබාම සිය දිවි නසා ගනිති. එහෙත් ශ්‍රී ලංකාව ඉතාම ශිෂ්ට රටක් නිසා ද, තරු පහේ ප්‍රජාතන්ත්‍රවාදයක් මෙහි ඇති නිසා ද, වගකීමෙන් නිදහස් වීමේ අයිතිවාසිකම හැම බලවතකුටම ඇති නිසා ද ඇමැතිතුමා ද සියලු නිලධාරීන් ද රුබෙල්ලා සිද්ධියෙන් නිදහස ලැබීමට පුළුවන. එහෙත් රුබෙල්ලා එන්නත දෙන විට ඒ අසලින් ගමන් කළ රෝහලේ වැසිකිළි පිරිසිදු කරන්නා අත්අඩංගුවට ගෙන නඩු අසා හිරෙ\ යැවීමට ඉඩ තිබේ. අපේ රටේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් ඒ තරමට මස්තකප්‍රාප්ත වී තිබේ. මෙතරම් මනුෂ්‍ය සංහාරයක් කළ ප්‍රභාකරන් ත්‍රස්තවාදියකු බව කීමට තරම් මේ රටේ දේශපාලනඥයන්ට කොන්ද පණ නැත්තේ

එකී අසීමාන්තික ප්‍රජාතන්ත්‍රවාදයේ බල අධිකාරිය නිසා ය.

ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය අමාත්‍යාංශය 1994 දී බලයට පත්වු චන්ද්‍රිකා කුමාරතුංග ආණ්ඩුවෙන් පසු අතීසාර රෝගියකු බවට පත් විය. රෝගියාට ප්‍රතිකාර වශයෙන් ගසන ලද අමුඩය දිගින් දිගටම මාරු කිරීම නිසා අද වන විට අමුඩ රෙදිවල පවා හිඟයක් හටගෙන තිබේ. එක්කෝ පරණ සේලයින් ඇණවුම් කළ නිසා සෞඛ්‍ය අමාත්‍යාංශය අපකීර්තියට පත් වෙලා ය. නැතහොත් කල් ඉකුත් වු පැරසිටමෝල් ඇණවුම් කළ නිසා සෞඛ්‍ය නිලධාරීන් ටෙන්ඩර් වංචාවකට මැදි වෙලා ය. දොස්තරවරු, හෙදියෝ, සුළු සේවකයෝ හැමදාමත් උදේ අවදි වන්නේ ඉස්පිරිතාලවල වර්ජනයක් තිබේ ය යන ආරංචිය ඇසීමේ ආසාවෙනි. ඉතින් මෙවැනි අමාත්‍යාංශයක රුබෙල්ලා එන්නතින් පසු දැරියන් 25 ක් රෝගී වීම හා එක දැරියක් මිය යෑම "සාමාන්‍ය අසාත්මික තාවක්" පමණි. එතැනින් එහාට නඩු නැත.
(දිවයින_09/03/21)

පසු වදන_මේ අසාත්මිකතාව එතරම් හොඳ නැත. එතරම් නොව කොහෙත් ම හොඳ නැත. මෙවන් අසාත්මිකතා තවදුරටත් සිදුවීම ආණ්ඩුවේ පරමායුෂ කෙටි කරන බව පාලකයින් අවබෝධ කරගැනීම යෙහෙකි. සෞඛ්‍ය ඇමතිතුමාට ලෝක සෞඛ්‍ය සංවිධානයේ වැඩ බහුල නම් ඒ ඇමතිකම ද අන් කෙනෙකුට දිය යුතු ය. එවිට ජනපතිතුමාට තව හස්ති රාජයෙක් හීලෑ කරගත හැකි ය. හොඳ ඇත් ගොව්වෙක් යටතේ අලි, මහ අලි වැඩ කරන බව පෙනේ.

වර්ජන, සංකේත වර්ජන, අකුරට වැඩ කිරීම, ලෙඩ නිවාඩු, උද්ඝෝෂණ ගැන විසි හතර පැයේ ම කල්පනා කරන, එක එක වෘත්තිය සමිති යයි කියාගන්නා හෙංචයියලාගේ රූකඩ බවට බත්ව ඇති සෞඛ්‍ය සේවකයින් තමන්ට පැවරී ඇති වගකීම ගැනත් දවසට එක පැයක්වත් සිය හදවතට එකඟව කල්පනා කළ යුතු ය.

Thursday, March 19, 2009

අගල් කැපීමට මේ අයත් සුදුසු ය

පෙරවදන_ඒකාධිපතිත්වය යහපත් නොවේ. එහෙත් තවමත් මෙරට ඇත්තේ ඒකාධිපතිත්වය පිළිබඳ ප්‍රශ්නයක් නොව ත්‍රස්තවාදය පිළිබඳ ප්‍රශ්නයෙකි. වසර 30 තිස්සේ කොටියා යුද්ධයෙන් පරාජය කළ නොහැකිය වහා රටින් කෑල්ලක් කොටියාට දෙන්නැයි යන අදහස මෙරට ජනතාවගේ ඔලු ගෙඩිවලට කිඳා බස්වනු පිණිස නේක ද්‍රෝහී මතවාද වමෑරු පිරිස දැන් අලුත් සටන් පාඨයක් සොයාගෙන ඇත. ඒ මහින්ද හෙට ඒකාධිපතියෙක් වුණොත් කළ යුතු දේ රටට කීම ය. තමන් ජීවත් වන සමාජයේ වසර 30ක් පැවැති ප්‍රශ්නයට පිළිතුරු දීමට නොහැකි අය අනාගතයට බලපාන ප්‍රශ්න සඳහා දෙන පිළිතුරු ගැන කවර කතා ද?

මෙතෙක් කල් ගැසූ බයිලාව දැන් යල්පැන ඇත. ඉතින් දැන් නැවත සටන් පාඨයක් සොයා ගත යුතු ය. ඒ මේක ය. මේ රටේ ව්‍යවස්ථාව වෙනස් කර ඒකාධිපති ව්‍යවස්ථාවක් තනා සදාකල් රජවීමට සිතූ තමන්ට දැන් කළ නොහැක්කේ ගැහැනියක් පිරිමියෙකු කිරීම පමණකැයි පාරම්බෑ උතුමා ද ජනතාව ගෙදර යැවූහ. එහෙයින් පැන් තලියේ කිඹුලා දකින මේ මහත්වරු බෑඟිරිය අප කනකටවත් ගත යුතු නැත. දැන් දිවයින කතුවැකිය වෙත හැරෙමු.

කොටි සංවිධානය විසින් තවමත් පාලනය කරනු ලබන උතුරේකුඩා බිම් කොටස තුළ ප්‍රාණ ඇපකරුවන් ලෙස සිටින ජනයා පිළිබඳව සොයා බැලීමේ දී පහත සඳහන් තොරතුරු කිහිපය අප වෙත දැනගන්නට ලැබී තිබේ. එනම්,

* යුද හමුදාව හදිසියේ කඩා වැදුණහොත් ප්‍රාණ ඇපකරුවන් ලෙස සිටින ජනයා තමන් ඇතුළු කොටි නායකයන් සමග සයනයිඩ් කා මිය යා යුතු බවට ප්‍රභාකරන් නියෝගයක් නිකුත් කර ඇති බව. මුලින්ම ප්‍රාණ ඇපකාර ජනයා සයනයිඩ් කෑ යුතු අතර එසේ නොකරන අයට වෙඩි තබා මරණු ලැබේ. ප්‍රභාකරන් ඇතුළු පිරිස සයනයිඩ් කන්නේ දෙවනුව ය.

* එම ප්‍රදේශයේ සිටින එක්සත් ජාතීන්ගේ සහන සේවකයන්ගේ දරුවන් කාලතුවක්කුවලට උණ්ඩ පුරවන්නන් ලෙස යොදාගෙන ඇති බව.

* ප්‍රභාකරන් ඇතුළු කණ්ඩායමට බංකර් සෑදීමට සහ අගල් කැපීමට එක්සත් ජාතීන්ගේ සහන සේවක පවුල් යොදවාගෙන ඇති බව.

* එක්සත් ජාතීන්ගේ කාර්ය මාණ්ඩලිකයකුගේ 16 හැවිරිදි දියණිය කොටින් විසින් පැහැරගෙන ගොස් ඇති බව.

උතුරේමෙවැනි ශෝකජනක තත්ත්වයක් හට ගැනීමට සමාන්තරව යුරෝපයේ ක්‍රියාකාරකම් දෙකක් සිදු වෙමින් පවතී. පළමුවැන්න නම් එක්සත් ජාතීන්ගේ නියෝජිත ආයතනයක් වන යුනිසෙෆ් සංවිධානය ළමයින්ගේ අයිතිවාසිකම් ගැන වැඩි වැඩියෙන් කතා කිරීමයි. ඒ අතර ජිනීවා නුවරට රුස්ව සිටින කොටි හිතවාදීන් යුද්ධය නවත්වන ලෙසට උද්ඝෝෂණ ව්‍යාපාරවල නිරත වීමයි.

මේ අතර තවත් වැදගත් කාරණයක් මතක් කර දෙමු. එනම් එක්සත් ජාතීන්ගේ අනාථයන් සඳහා වන මහ කොමසාරිස් නවනේතම් පිල්ලේ මහත්මිය ශ්‍රී ලංකාවේ මානව අයිතිවාසිකම්වල තත්ත්වය බරපතල ලෙස විවේචනය කිරීම ය. යුද්ධයේදී කොටින්ගේ මානව අයිතිවාසිකම් උල්ලංඝනය වනවා ඇති. කොටියා අපට වෙඩි තබන්නට සුදානම් වන විට ඊට කලින් කොටියාට අප වෙඩි තැබුවොත් කොටියා මැරී උගේ මානව අයිතිවාසිකම් උල්ලංඝනය වන්නේය. කොටියා ඉස්සර වුණොත් අපගේ මානව අයිතිවාසිකම් උල්ලංඝනය වන්නේ ය. නවනේතම් පිල්ලේ මහත්මිය දෙමළ ජාතිවාදී කාන්තාවක් බවට අප තුළ තක්සේරුවක් තිබේ. නැතහොත් ප්‍රභාකරන් ඇතුළු කොටි රුළ මෙතරම් විශාල ප්‍රමාණයක් මනුෂ්‍යයන් සංහාරය කර තිබියදීත් උන්ගේ පැත්ත ගෙන ඇය කතා කරන්නේ නැත.

ත්‍රස්තවාදීන් ඉදිරිපිටදී එක්සත් ජාතීන්ගේ සංවිධානය නපුංසක තත්ත්වයට පත් වීමෙන් පෙනී යන්නේ රටවල් එකසිය අසු ගණනක සාමාජිකත්වය ඇති ඒ සංවිධානයට වඩා ත්‍රස්තවාදීන් බලවත් බව ය. එක්සත් ජාතීන්ගේ සංවිධානය එවැනි නිවට තත්ත්වයකට ස්වෙච්ඡාවෙන්ම පත්ව සිටින්නේ නම් ඔවුන්ට හිමි කාර්ය අගල් කැපීම පමණක් වන්නේ ය.

කොටින් වෙනුවෙන් අගල් කැපීමට සුදුසුකම් ලත් රාජ්‍ය නොවන සංවිධාන ගණනාවක්ම ශ්‍රී ලංකාව තුළ ඇත. මෙවැනි රාජ්‍ය නොවන සංවිධාන කිහිපයකට අයත් ඊනියා බුද්ධිමතුන් කිහිප දෙනෙක්ද විශ්ව විද්‍යාල මහාචාර්යවරයෙක්ද මෙයට සතියකට පමණ පෙර ශ්‍රී ලංකා පදනම් ආයතනයේදී සම්මන්ත්‍රණයක් පැවැත්වුහ. සම්මන්ත්‍රණයේ කැඳවුම්කරුවෝ තිස්ස අබේසේකර, පී. පී. දේවරාජ් , ආචාර්ය සුමනසිරි ලියනගේ ය. සම්මන්ත්‍රණයේ අරමුණ වනුයේ ආණ්ඩුව යුද්ධය දිනන බැවින්, එම ජයග්‍රහණයෙන් පසු ජනාධිපති මහින්ද රාජපක්ෂ ඒකාධිපතියකු වීමට ඉඩ ඇති නිසා ඒ තත්ත්වය නිශ්ක්‍රීය කිරීමට ගතයුතු පියවර සාකච්ඡා කිරීම ය. මහින්ද රාජපක්ෂ ඒකාධිපතියකු වන්නේ නම් එයට හේතුව මේ රටේ විරුද්ධ පක්ෂයේ නපුංසකභාවයයි. විපක්ෂයේ ප්‍රධාන කොටස වන එ.ජා.ප.ය රනිල් වික්‍රමසිංහ මහතා නායකත්වයෙන් නෙරපන්නේ කෙසේද යන කාරණය උදෙසා සිය කාලය සහ ශ්‍රමය වැය කරමින් සිටියි. ජ.වි.පෙ. දෙකඩ වී ඇත. දෙමළ ජාතික සන්ධානය කොටින්ට ප්‍රසිද්ධියේම කත් අදිමින් සිය න්‍යාය පත්‍රය ක්‍රියාත්මක කරයි.

මෙවැනි තත්ත්වයක් තුළ රටකට වැදගත් වන්නේ අරාජිකත්වයක් නොව ඒකාධිපතිත්වයයි. වැඩි වෙලාවක් අව්වේ සිටගෙන සිටීමට පවා නොහැකි බුද්ධිමතුන් ස්වල්ප දෙනකුට මේ තත්ත්වයට එරෙහිව නැගී සිටිය හැකිද? අපගේ වැටහීම නම් පෙරකී බුද්ධිමතුන් සහ එන්.ජී.ඕ.කාරයන් සුදානම් වන්නේ යුද්ධයෙන් පසු තම බඩ වඩා ගැනීම සඳහා මාර්ගයක් සෙවීමට ය. එබැවින් කැපීමට තවත් අගල් ඉතිරිව ඇත්නම් උතුරට ගොස් ප්‍රභාකරන් හමුවන ලෙස ඒ මහත්වරුන්ගෙන් ඉල්ලා සිටිමු.
(දිවයින_09/03/20)

Wednesday, March 18, 2009

ශ්‍රී ලංකාවේ නාසය පටන් ගන්නා තැන...

දොස්තර මහතා සහ නීතිඥයා පිළිබඳ ඉතා පැරණි, කුඩු හැලෙන, දිරාගිය කියමනක් තිබේ. එනම්, දොස්තර මහතාට වැරදුණු විට ලෙඩා අඩි 6 ක් ගැඹුරු වළක සැතපෙන බවත් නීතිඥයාට වැරදුණ විට චුදිතයා අඩි 6 ක් උඩින් එල්ලුම් ගසේ එල්ලෙන බවත් ය. මේ කතාව පොලිසියටත් සාධාරණ බව සැබෑ කරන කතාවක් ඊයේ (18 දා) "දිවයිනේ" පළමු පිටුවේ පළවිය. එම පුවතට අනුව, ඌරුබොක්කේ වෛද්‍යවරයකුගෙන් කප්පම් ඉල්ලු බවට සැකපිට, පොලිසිය විසින් පුද්ගලයන් දෙදෙනකුට වෙඩි තබා ඇති බව ය. එහෙත් ඒ දෙදෙනාම සිද්ධියට සම්බන්ධ නැතිලුෟ මේ නිසා එම පොලිසියට විරුද්ධව උද්ඝෝෂණයක් පවා හටගෙන තිබේ. පොලිසියට වරදින අවස්ථා බහුල ය. භීෂණ කාලයකදී නම් පොලිසියට විසි තිස් දහස් වතාවක් වරදී. 88:89:90 අවුරුදුවලදී මෙසේ වැරදුණු අවස්ථා නිසා තරුණ තරුණියෝ 80000 ක් ජාතියට අහිමි වුහ. රෝහණ විජේවීරගේ පියා අත පය පණ නැති අබ්බගාතයකු බවට පත්වුයේ ඩඩ්ලි සේනානායක රජය යටතේ "වැරදීමකින්" පොලිසියෙන් ගුටි කෑ නිසා ය. පොලිසිය මේ වැරදි වහා හදාගත යුතුයි. නැතහොත් පොලිසියට වැරද්දවීම සඳහා ජනතාව බලවේගයක් ලෙස ඒකරාශි වනවා ඇත.

කෙසේ වුවද අද අපගේ මුඛ්‍ය අරමුණ වන්නේ ශ්‍රී ලංකාවේ ත්‍රස්ත මර්දන පනත පිළිබඳව විමර්ශනයක් කරන ලෙස ජාත්‍යන්තර මාධ්‍ය සම්මේලනය එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමසාරිස්ගෙන් කළ ලිඛිත ඉල්ලීමක් ගැන සාකච්ඡා කිරීම ය. ත්‍රස්තවාදය පවතින හැම රටකම ත්‍රස්ත මර්දන පනතක් පවතී. ශ්‍රී ලංකාව, ඉන්දියාව, පාකිස්තානය, ඇෆ්ගනිස්තානය ඇතුළු රටවල් ගණනාවක මේ පනත ක්‍රියාත්මක වේ. දැනට මෙය ක්‍රියාත්මක නො වන්නේ උත්තර ධ්‍රුවයේ සහ දකෂිණ ධ්‍රුවයේ පමණි. මිනිස් පුළුටක් නැති සහරා කාන්තාරය අයත් අප්‍රිකානු මහාද්වීපය තුළ පවා මෙය ක්‍රියාත්මක වේ. මේ පනත ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක වන ආකාරය හෝ ක්‍රියාත්මක කරන ආකාරය ගැන සොයා බැලීමට කාටවත් අයිතිවාසිකම් නැත. මන්ද ශ්‍රී ලංකාව කිසිදු රටක ත්‍රස්ත මර්දන පනත ක්‍රියාකාරී වන ආකාරය ගැන සොයා බලන්නේ නැත. අපේ ත්‍රස්ත මර්දන පනතට වඩා දැඩි ලෙස එම පනත ක්‍රියාත්මක කරන රටවල් ලොව පුරා තිබේ. උදාහරණයක් ලෙස චීනය ගත හැකිය. චීනය තම ආරකෂාව පිළිබඳව ඉතා දැඩි ප්‍රතිපත්තියකින් කටයුතු කරන නිසා අහල පහල දේශසීමාවල තිබෙන රටවලට එරටට පැමිණ ත්‍රස්ත ක්‍රියා සිදු කළ නො හැක. මේ පනත දැඩි ලෙස ක්‍රියාත්මක නො වීම නිසා පාකිස්තානයේ ජම්මු කාශ්මීර කොටස හරහා ඉන්දියාවට රිංගන ඉස්ලාමීය ත්‍රස්තවාදීහු මනුෂ්‍ය සංහාරවල නිරත වෙති. ත්‍රස්තවාදියා මැරිය යුතුම ය. මේ රට වසර 2500 ක බෞද්ධ සංස්කෘතියකින් යුතු රටක් වීම ඊට කිසිසේත්ම බලපාන්නේ නැත. ඉතා දැඩි භක්තියකින් යුතුව බුදුදහමේ ආරකෂකයන් ලෙස කටයුතු කළ පුරාණ සිංහල රජවරු විදේශික හෝ ස්වදේශික ත්‍රස්ත තර්ජනයක් එළැඹුණු විට ඉතා භයානක ලෙස සිය සතුරන් කඩු ගෑහ. ත්‍රස්තවාදයට මොන මානව හිමිකම්ද? එය තුරන් කළ යුත්තේ ත්‍රස්තවාදයෙන්ම ය. "මගේ මානව හිමිකම් ඔබේ නාසය පටන් ගන්නා තැනින් කෙළවර වෙයි. මා අත දිග හැරිය විට එය ඔබේ නාසයෙහි වදින්නේ නම් මම මානව හිමිකම් කඩන්නෙක්මි: ඔබ මානව හිමිකම් කැඩීමට ලක්වන්නෙකි...." යනුවෙන් ප්‍රසිද්ධ කියමනක් තිබේ.

මෙහිදී සිදුවී ඇති ලොකුම වරද නම් ශ්‍රී ලංකාවේ නාසය පටන් ගන්නා තැන විවිධ ජාත්‍යන්තර බලවේග සහ සංවිධාන දැන නො සිටීම ය. එහෙත් ඒ ගැන අපට දැනුමක් තිබේ. අපගේ නාසය පරෙස්සම් කර ගැනීම අපගේ වගකීම ය.
(දිවයින_09/03/19)

පසුවදන_ශ්‍රී ලංකාවේ නාසය පටන් ගන්න තැන පිළිබඳ මේ රටේ සම-හරක්ට ද අව‍බෝධයක් නැත. එක්කෝ උන් බොරුවට නිදි ය. එහෙයින් උන් අවදි කරවීම බොරු ය.

Tuesday, March 17, 2009

මිත්‍යාව සහ දළඳා ආශ්චර්ය

දළදා සමිඳුගේ අසිරිමත් ප්‍රාතිහාර්ය

බොදු ජනතාවගේ මුදුන් මල්කඩ වූ සිරි දළදා වහන්සේ මහජන ප්‍රදර්ශනය සඳහා වැඩ සිටින කරඬුවෙන් පිටතට ගැනීමත් සමග ම අපට දකින්නට ලැබුණේ අසිරිමත් පෙළහරකි. මාස ගණනක් පැවැති දැඩි නියඟය නිමා කරමින් දළදා මැදුර පෙදෙසට මහා වැස්සක් ඇද හැලුණේ අහසෙහි කිසිදු වැසි ලකුණක් නොතිබුණ මොහොතකය. එය දළදා වහන්සේගේ ප්‍රාතිහාර්යයක් යනු මහනුවර ප්‍රදේශයේ අන්‍යාගමික ජනතාව අතර පවා පැතිරුණ අදහසකි. දළදා දැක්මත් සමග ඇරඹුණ වර්ෂාව මේ දිනවල දිවයින පුරා පැතිර යන්නේ මුළු රටට ම ආශිර්වාදයක් ලෙසිනි. දළදා වහන්සේ මුල්කරගෙන වරින් වරට සිදුවුණ හාස්කම් රාශියක් ගැන දළදා ඉතිහාසයේ සඳහන්ව තිබේ.

බුදුරදුන්ගේ ශ්‍රී දේහය ආදාහනය කිරීමේදී නොදැවී ඉතිරි වුණු සතර දළදා අතරින් වාම දළදා වහන්සේ ඛේම මහරහතුන් විසින් රැගෙන වුත් කළිඟු රජුට දෙන ලදී. ඔහු රන්රුවන් මුතු වැල්වලින් බැබළෙන සුවිසල් මැදුරක් සාදවා දළදා වහන්සේ එහි තැන්පත් කළේ ය. පසුකලෙක මිසදුටු නිඝණ්ඨයන්ගේ බසට රැවටී දළදා වහන්සේ වැනසීමට සිතූ පැළලුප් නුවර පණ්ඩු රජු එය රැගෙන එන්නට චිත්‍රයාන නමැති ප්‍රාදේශීය රජකු කළිඟු රට දන්ත පුරයට යැව්වේ ය. කළිඟු රට ගුහසීහ රජු චිත්‍රයාන රජු සමග දළදා මැඳුරට ඇතුල් විය. සේසත යට කරඬුවේ තැන්පත් කළ දළදා වහන්සේ දෙස චිත්‍රයාන රජු නෙත් යොමා බලා සිටියේ විශ්මයෙනි. ඒ අවස්ථාවේ දළදා වහන්සේ ඉදිරියේ දොහොත් මුදුන් තබාගත් ගුහසීහරජු මිනිසුන්ගේ සිත් සතන් පැහැදීම පිණිස ප්‍රාතිහාර්ය දක්වන ලෙස ආයාචනයක් කළ බව පාලි දාඨාවංශයේ සඳහන් වෙයි. එකෙණෙහිම අහසට පැන නැගුණ දළදා වහන්සේ පෑව අසිරිමත් පෙළහර එහි ගාථාවක සඳහන් වන්නේ මේ අයුරිනි.

අබ්භුග්ගන්ත්වා ගගන කුහරං චන්දලේඛාභිරාමා
විස්සප්ජෙන්ති රජතධවලාරංසියෝ දන්තධාතු
ධූපායන්තී සපදි බහුධා පජ්ජලන්තී මුහුත්තං
නිබ්බායන්ති නයන සුභගං පාටිහීරං අකාසි

චන්ද්‍ර රේඛාවක් මෙන් මනහර දළදා වහන්සේ අහස් කුසට නැගී එකෙණෙහිම රිදීසේ සුදුවූ රැස් සහ දුම් විහිදුවමින, නොයෙක් අයුරින් අවට බබුළුවමින් හා මොහොතකින් නිවෙමින් දෑස් සනසවාලන පෙලහරක් පෑවේය. එය දුටු චිත්‍රයාන රජු තෙරුවන් සරණ ගියේය. එහෙත් පණ්ඩු රජුගේ නියෝගය කඩකළ නොහැකි නිසා ඔහු දළදා වහන්සේ පැළලුප් නුවරට වැඩමවූයේය. නිඝණ්ඨයන්ගේ බස් ඇසීමෙන් කුපිතව සිටි පණ්ඩුරජු මුලින්ම නියම කළේ දළදා වහන්සේ ගිනි අඟුරු වළකට දැමීමටයි. එහෙත් දළදා වහන්සේට කිසිදු හානියක් සිදුනොවුණි. ඒ ගිනි දැල් මැදින් එකෙණෙහිම මතුවුණ නෙළුම් මලක් මත දළදා වහන්සේ සමන් පිච්ච මල්වල සුදු පැහැයෙන් ආලෝකවත් වන ලෙස රැස් විහිදුවමින් වැඩ සිටින අයුරු දක්නට ලැබුණි. එය දුටු මිසදිටු මිනිස්සු දළදා වහන්සේට මලින් පුදා සාධුකාර දුන්හ. මෙය පළමුවන දළදා පෙළහර යි. තම වෑයම ඉටු නොවුණ නිසා මිසදිටු පණ්ඩු රජු ඊළඟට නියම කළේ දළදා වහන්සේ කිණිහිරක් මතතබා කුළුගෙඩියකින් තැලීමටයි. සේවකයන්ට එසේ කරන විට දළදා වහන්සේ කිණිහිර ඇතුළට ගිලුණහ. උදාගිරෙන් මතුවන අඩ සඳ මෙන් සුදුපැහැ ආලෝකයෙන් බැබළෙන්නට වූහ. දාඨාවංශයේ මේ ගැන සඳහන් වන්නේ දන්ත ධාතූන් වහන්සේගේ දෙවන ප්‍රාතිහාර්ය වශයෙනි. එහෙත් දළදා වහන්සේ කිණිහිරෙන් ගලවන්නට නොහැකි නිසා එය පිටතට ගැනීමට සමතෙක් වෙයි නම් ඉදිරිපත් වන්නැයි කියමින් රජු නුවර පුරා අඬබෙරකරුවකු යැව්වේ. එවිට අනේපිඬු සිටුතුමාගේ පරපුරෙන් පැවත එන සැදැහැති සිටු පුතෙක් සත්‍යක්‍රියා කොට දළදා වහන්සේ කිණිහිරෙන් මතුපිටට ගන්නට ඉදිරිපත් විය. ඔහු කළේ සුවඳ සිසිලදියෙන් පිරුණු රන් බඳුනක් ගෙන බුදුගුණ සිහිකරමින් එයට වඩින ලෙස දළදා වහන්සේට ආරාධනා කිරීමයි. එම රන් බඳුනට වැඩිය දළදා වහන්සේ සුවඳ ජලයෙහි ගිලෙමින් නැවැත මතුපිටට එමින් ප්‍රාතිහාර්ය දක්වන්නට වූහ. මෙය තුන්වන පෙළහරයි. එහෙත් පණ්ඩු රජු දළදා වහන්සේ වැනසීමේ වෑයම අත්හැරියේ නැත. ඊළඟට ඔහු කළේ වීදියක් මැද වළක් සාරවා දළදා වහන්සේ එහි දමා පස් පුරවා ඇතුන් ලවා මැඩීමයි. එකෙණෙහිම රියසකක් වැනි මහා පියුමක් පොළොව පළාගෙන මතුවිය. දළදා වහන්සේ පියුම් කෙමිය මත බැබළෙන අයුරු පෙනුණි. ඒ සිවුවන දළදා පෙළහරෙන් පසු නැවතත් රජු මුලා කළ නිවටුවෝ කසළ පිරී අගලකට දළදා වහන්සේ දැමූහ. එම අගල සත් පියුමෙන් පිරුණ පොකුණක් බවට පත්වුණි. ඒ පස්වන දළදා ප්‍රාතිහාර්ය දුටු ඇමැතිවරු රජුට වැඳ, රජතුමනි, බුදුරදුන්ගේ මෙවැනි හාස්කම් දැකීමෙන් පසුවත් කෙනකු තුළ බුදුරදුන් කෙරෙහි පැහැදීමක් නොමැති නම් ඔහුගේ ප්‍රඥාවෙන් ඇති ප්‍රයෝජන කුමක්දැයි ඇසූහ. එයින් කරුණු තේරුම් ගත් පණ්ඩු රජු තෙරුවන් කෙරෙහි පැහැදුණි. රජුගේ මහසෙනෙවි පොකුණ වෙත ගොස් දළදා වහන්සේට නමස්කාර කළේය. එවිට දළදා වහන්සේ පියුමෙන් පියුමට වඩින්නට වූහ. එය පැළලුප් නුවර සිදුවුණ සයවන දළදා ප්‍රාතිහාර්යයි.

පසුකලක නැවතත් කළිඟු රට දන්තපුරයට වැඩම කළ දළදා වහන්සේට පුදපූජා පැවැත්වීම භාරවුණේ ගුහසීහ රජුගේ බෑණනුවන් වූ දන්ත කුමරුටය. ඔහු සරණ පාවා ගත්තේ රජුගේ දියණිය වූ හේමමාලා කුමරියයි. මේ අතර දළදා වහන්සේ පැහැර ගන්නට රජ කුමරෙක් දන්තපුරය ආක්‍රමණය කළේය. එවිට ගුහසීහ රජු දන්ත කුමරු අමතමින්, මගේ දිවි තිබෙන තුරු දළදාව සතුරන් අතට පත්නොකරමි. මහ සයුරෙන් එතෙර සිහළ දේශයේ වෙසෙන මිනිස්සු බුදුරදුන් කෙරෙහි සැදැහැති බෞද්ධයෝය. බොහෝ භික්ෂූහු එම දේශයෙහි වෙසෙති. එහි මහසෙන් රජු මගේ මිතුරෙකි. සිහළ දේශයේ මිනිසුන් ඔබගේ හෝ මාගේ නෑදෑයන් නොවුණත් දළදා වහන්සේ ආරක්ෂා කරනු ඇත. ඒ නිසා දළදා වහන්සේ රැකගැනීම සඳහා සිහළ දේශයට ගෙනගොස් දෙන්නැයි නියම කළ බව පාලි දාඨාවංශයේ සඳහන් වෙයි. හේමමාලාවගේ කෙස් රෝ‍යුන් අහසට නැගුණ දළදා වහන්සේ ප්‍රාතිහාර්ය දැක්වූ බවද දාඨාවංශය සඳහන් කරයි. එය දැකීමෙන් සතුටට පත් කිත්සිරිමෙවන් රජු සිහළදීපය බුදුරදුන්ට පුදන බව කියමින් රන්මිණියෙන් බැබළෙන රජ කිරුළ දළදා වහන්සේට පිදුවේය. බුදුරදුන්ට තිබුණේ ඕෂධී තාරකාව මෙන් බැබළෙන සිදු දත්ය. මේ දළදා වහන්සේගේ අවපැහැයක් තිබෙන්නේ කුමක් නිසාද? යි කිත්සිරිමෙවන් රජුගේ සිතේ ප්‍රශ්නයක් මතුවිය. එකෙණෙහිම දළදා වහන්සේ සුදු හංසයකු මෙන් රජ මිදුල මතින් ඉහළ නැගී සුදුරැස් විහිදුවන්නට වූහ. එයින් පැහැදුණු රජු සිහසුන මත සුදු ඇතිරිල්ලක් එලා ඒමත දළදා වහන්සේ තැන්පත් කොට සුදුමලින් වැසුවේය. එකෙණෙහිම මල් මතුපිටට වැඩ දළදා වහන්සේ ප්‍රාතිහාර්ය දක්වා ඇත. එය ඉතිහාසයේ සඳහන් වන්නේ ලකදිව දී සිදුවුණු දෙවන දළදා පෙළහර වශයෙනි. අනුරපුරයේ වසරක් පාසා දළදා දැක්මක් පැවැත්වූ චීන ජාතික දේශාටක පාහියන් නාහිමියන්ගේ වාර්තාවේ දැක්වේ.

දළදා වහන්සේ සිංහල ජාතියට උරුම වුණේ බුදුසසුන සුරකින ජාතියක් වශයෙන් සිංහලයන් කෙරෙහි ලෝවැසියන් තුළ විශ්වාසයක් පැවැති බැවිනි. ඔවුන් අදත් අපේ සිංහල දේශයට හා සිංහල ජාතියට ඉමහත් ආදරයක් හා ගෞරවයක් දක්වන්නේ ශ්‍රී ලංකාව බෞද්ධ රාජ්‍යයක් යන අදහසිනි. අතීතයේ සිටම දළදා වහන්සේ සමග සිංහල ජාතියත්, රාජ්‍යත්වයත් බැදී පවතියි. ඒ පිළිබඳ විස්තර ඉතිහාසයේ දක්නට ඇත. දළදා වහන්සේ මුල්කරගෙන ගොඩනැගුන සාහිත්‍යයක් සහ සංස්කෘතියක් අපට තිබේ.

අපේ රට ඉංග්‍රීසීන්ට යටත් වී අවුරුදු දහයකට පමණ පසු රටපුරා පැවැති නියඟය තුරන් කර වැසි ලබැගැනීමට සඳහා දළදා ප්‍රදර්ශනයක් පවත්වන ලෙස බෞද්ධයෝ ඉංග්‍රීසි පාලකයන්ගෙන් ඉල්ලා සිටියහ. එය ඔවුන්ගේ හාස්‍යයට හේතුවුණ බවට සැකයක් නැත. බෞද්ධයන්ගේ ඉල්ලීම මත 1829 මැයි මස 29 දළදා ප්‍රදර්ශනය පැවැත් වූ විට නියඟ නිමා කරමින් මහවැසි අද හැලුණු බව ලේඛනවල සඳහන් වෙයි. එම සිද්ධිය ප්‍රසිද්ධ වී තිබෙන්නේ දළදා වතුර නමිනි. දළදා පෙරහර සහ දළදා දැක්ම සිදුවන සෑම විටෙකම වැසි ඇදහැළීම අනිවර්යයෙන් සිදුවන බව මහනුවර වෙසෙන කවුරුත් අත්දුටු සත්‍යයකි. මෙවැනි හාස්කම් සිදුවන්නේ කෙසේද? යන්න සැබැවින්ම අප කාටත් කිව නොහැක.
ආධ්‍යාත්මික ශක්තියක් ඇති උතුමන් හා සුවිශේෂ නොයෙකුත් වස්තූන් මුල්කරගෙන හාස්කම්, ප්‍රාතිහාර්ය සිදුවන බව බුදුදහමේ සඳහන් වෙයි. සාමාන්‍ය ව්‍යවහාරයේදී හාස්කම් යැයි කියන එවැනි ප්‍රාතිහාර්ය හඳුන්වන්නට බුදුදහමේ යෙදෙන්නේ අච්චරිය අබ්භූත ධම්ම යන වචනයයි. ආශ්චර්ය අද්භූත ධර්මතා යනු එහි තේරුමයි. ඒ ගැන මහා පරිනිබ්බාණ සූත්‍රයෙන් දැනගත හැක. යමාමහ පෙළහර, ජටිල දමන, බුද්ධත්වය, පරිනිර්වාණය වැනි බුද්ධ චරිතයට සම්බන්ධ අවස්ථාවන්හිදී සිදුවුණු ප්‍රාතිහාර්යන් ගැන බෞද්ධයෝ දනිති. සිත දියුණුකළ කෙනකුට හාස්කම් සහ සෘද්ධි ප්‍රාතිහාර්ය සිදුකළ හැකිය. පුද්ගලයන් දමනය කිරීමේ හා සත්‍යය වෙත යොමුකරවීමේ අරමුණින් බුදුරදුන් සෘද්ධි ප්‍රාතිහාර්ය දක්වා ඇත. එහෙත් උන්වහන්සේ අග කළේ දේශනා ප්‍රාතිහාර්යයි. හෙවත් ධර්ම දේශනා කිරීමයි. යම් සිද්ධියක් නිසා හාස්කම් ඉබේ සිදුවන්නට පුළුවන. මහපොළොව කම්පාවීම පවා සිදුවිය හැක. සාමාන්‍ය බුද්ධියෙන් හෝ විද්‍යාගාර තුළ සිදුකෙරෙන පර්යේෂණවලින් හාස්කම්වල ස්වරූපය හඳුනාගත නොහැක. බුදුදහම කියන පරිදි සෘද්ධි විෂය අචින්ත්‍ය වූවක් හෙයිනි. සාමාන්‍ය බුද්ධියෙන් සිතා තේරුම් ගත නොහැකි දෙයක් බැවිනි. ලොව සියල්ල සිදුවන්නේ හේතුඵලවාදයට අනුවය. හේතුවකින් තොරව යමක් සිදුනොවන බව බුදුදහම පවසයි. හේතුවක් හා පසුබිමක් නැතිව යමක් සිදුවන්නේ නැහැයි නවීන විද්‍යාව ද පිළිගනියි. “nothing happens without a cause,and nothing happens unless it can happen” දළදා වැස්ස වැනි හාස්කම්වලටද හේතුවක් තිබිය යුතුය. අපට ගැටලු මතුවන්නේ ත්, පිළිගැනීමට මැලි වන්නේත් ඒවා පිළිබඳව යාථාර්ථය වටහා ගන්නට නොහැකි නිසයි.

මැදගම ධම්මානන්ද හිමි
මහනුවර අස්ගිරි මහා විහාරවාසී
(ලක්බිම_09/03/17)

පසු වදන_
බුදු දහම ද බුද්ධ දර්ශනය ද තමන් අතැඹුලක් සේ දත්හයි සිතා සිටින මිත්‍යාදෘෂ්ටික පිරිසක් දළඳාව අපහාසයට උපහාසයට ලක් කර නේක වල්පල් ලියා තිබිණි. එමගින් උප්පැන්නයෙන් පමණක් සිංහල බෞද්ධ වන මේ පිරිස සිය අඳබාල ඉගනුමෙහි සීමා මැනවින් ප්‍රදර්ශනය කර තිබිණි. මොවුහු ආගම දර්ශනය පිළිබඳ අනවබෝධයේ පතුලේ ගිලී සිටිති. හැමදේම බටහිර විද්‍යාවට සාපේක්ෂව මැනීමේ නරක පුරුද්ද මෙකි වල්මත් වීම පසුපස ඇති සාධකයයි. මේ විද්‍යාව අද සත්‍යයයි සපථ කර කියන දේ හෙට බොරුයයි සනාථ කරන්නක් බව මේ දිළින්දන් අවබෝධ කරගන්නේ කවදා ද?

Monday, March 16, 2009

අපේ තාත්තලාගේ පක්ෂය

පෙරවදන_
අපේ තාත්තා පාරම්පරික යූඇන්පීකාරයෙකි. එය කීමට මම ලැජ්ජා නොවෙමි. අද ජීවතුන් අතර නැති ඔහු දේශපාලනය අත්දකින සමයේ යූඇන්පීය ප්‍රෞඩ පක්ෂයෙකි. එකල ප්‍රදේශයේ විසූ මහා ප්‍රතාප සිංහලයෝ යූඇන්පී නායකයෝ වූහ. ඈත පිටිසර ගමක විසූ අහිංසක ගැමියෙකු වූ තාත්තා අද සිටියා නම් නිසැකව ම මේ මහා ජන ගඟට එක් වනු ඇත. යූඇන්පීය මෙරට සංස්කෘතියෙන් සභ්‍යත්වයෙන් ඈත්වන තරමට ජනතාව ඊට පිටුපා යති. ඒ මහා නාය යාමට පිළියම් ලෙස දොන් ජුවන්ලා පය බරවාට පිටිකර බෙහෙත් බඳිති.

පකෂයක් නාය යන හැටි
සී. ඒ. චන්ද්‍රප්‍රේම
එ.ජා.ප.ය දෙස අප බලන විට දිස්වන්නේ බලාසිටියදී නායයමින් පවතින දේශපාලන පකෂයකි. මෙවන් දෙයක් වෙනත් කිසිම කලක අප අත්දැක නැත. මේ සම්බන්ධයෙන් එ.ජා.ප. ය තුළ රනිල් වික්‍රමසිංහ පාර්ශ්වයේ ඇතැමුන් න්‍යායක් සාදාගෙන ඇත. ඔවුන් පවසන්නේ 1970 මහ මැතිවරණයෙන් පසු එ.ජා.ප. යේ සිටි පැරණි පතාක යෝධයන් කීපදෙනකු ද ඇතුළුව දේශපාලකයන් එකසිය ගණනක් පමණ අවුරුදු කීපයක් ඇතුළත අභාවප්‍රාප්ත වු බවයි. අභාවප්‍රාප්ත වු අය අතරට පකෂ නායක ඩඩ්ලි. සේනානායක මහතා ද අයත්ය. මේ ආකාරයට පැරණි උදවිය ඉබේම වාගේ ප්‍රසිද්ධ වේදිකාවෙන් ඉවත්වීම නිසා

ජේ. ආර්. ජයවර්ධන මහතාට අලුත් මුහුණු ගණනාවක් දේශපාලනයට ගෙන ඒමටත් පකෂය තුළ අලුත් ජවසම්පන්න බවක් 1977 වන විට ඇති කිරීමට හැකි වු බව ද මොවුන් පවසති.

මෙවන් න්‍යායයන් වලින් ඔවුන් පවසන්නේ වර්තමානයේදී ද එ.ජා.ප. යෙන් විවිධ තලවල දේශපාලකයන් විශාල වශයෙන් ඉවත් වී යෑමෙන් දිගුකාලීනව එ.ජා.ප. යට හොඳක්ම මිස නරකක් සිදු නොවන බවයි. එයින් ඔවුන් අදහස් කරන්නේ මෙසේ ඉවත්වී යන පිරිස වෙනුවට අලුත් මුහුණු දමාගෙන 1977 දී සිදුවුවාක් මෙන් රනිල් වික්‍රමසිංහ මහතාට ද ජවසම්පන්න පකෂයක් සෑදීමට හැකිවන බවයි. අනාගතයේ යම් දවසක ජේ. ආර්. ජයවර්ධන මහතා විජයග්‍රාහීව නැඟී සිටියාක් මෙන් රනිල් වික්‍රමසිංහ මහතා ද විජයග්‍රාහීව නැගී සිටිනු ඇතැයි ඔවුන් තුළ ඇති බලාපොරොත්තුවයි.


ලක්බිම_09/03/17

මෙවන් බලාපොරොත්තු තියාගැනීම කොතරම් තාත්වික දැයි අප ව්‍යවහාර බුද්ධිය පාවිච්චි කොට සිතා බැලිය යුතුය. 1970 ගණන් වලදී එ.ජා.ප. යේ ප්‍රබලයන් ගණනාවක් මියගිය නිසා අලුත් මුහුණු දේශපාලනයට හඳුන්වාදී එමගින් එ.ජා.ප. ය නව ජවසම්පන්න බලවේගයක් හැටියට ඉස්මතු වු බව සත්‍යයකි. නමුත් එදා ඒ ප්‍රබලයන් මියගියේ ස්වභාවික හේතුන් මතය.

ඒ සියලුම දෙනා වියපත් වීම හේතුවෙන් ද රෝගාතුර වීම හේතුවෙන් ද ඒ වන විට ඒ ඒ පළාත්වල අදාළ ඡන්ද කොටිඨාසවල සුදුසු අනුප්‍රාප්තිකයෝ බිහිවී සිටියහ. ඇතැම් විට තමන්ගේ අනුප්‍රාප්තිකයන් ඒ වයෝවෘද්ධ දේශපාලකයන් විසින්ම ඉදිරියට ගෙන ආ උදවිය විය හැක. එසේ නැතිනම් පකෂය තුළ කාලාන්තරයක් මුළුල්ලේ ගොඩනැඟී ආ උදවිය විය හැක. මීට හොඳ නිදසුනක් වන්නේ එකල එ.ජා.ප. නායක ඩඩ්ලි සේනානායක මහතා රෝගාතුර වීමත් වියපත් වීමත් යන කාරණා නිසා ඔහු මියයන විට පැහැදිලි අනුප්‍රාප්තිකයකු හැටියට ජේ. ආර්. ජයවර්ධන මහතා පකෂය තුළ ඉස්මතුවී සිටීමය. ප්‍රාදේශීය මටිටමින් ද සිදුවුයේ ඒ ආකාරයේම ක්‍රියාදාමයක් යැයි අනුමාන කළ හැකිය. නමුත් අද එ.ජා.ප. ය තුළ සිදුවන්නේ ඊට බොහෝ වෙනස් ක්‍රියාදාමයකි. 1970 ගණන් වලදී එ.ජා.ප. යේ ප්‍රබලයන් එක්කෝ මිය යෑම නැතිනම් රෝගාතුර වීම හේතුවෙන් කලින්ම දේශපාලන කෙෂ්ත්‍රයෙන් ඉවත් විය. නමුත් අද සිදුවන්නේ ඊට හාත්පසින්ම වෙනස් දෙයකි. අද සිදුවන්නේ එ.ජා.ප. යේ දේශපාලකයන් වියපත් වීම හෝ රෝගාතුර වීමෙන් දේශපාලන කෙෂ්ත්‍රයෙන් ඉවත්වීම නොව ජවසම්පන්න වැඩක් කළ හැකි මිනිසුන්ගේ සිත් දිනාගත හැකි, දේශපාලන විවාදයකදී දකෂ ලෙස කරුණු ඉදිරිපත් කළ හැකි, එ.ජා.ප. ය තුළ සිටින සෑම තරාතිරමකම දේශපාලකයන් එ.ජා.ප. ය හැර දමා අනෙක් පැත්තට යෑමයි. අනෙක් පැත්තට ගොස් ඔවුන් නිකන් සිටින්නේ ද නැත. ඔවුන් කරන්නේ මුළු වෙර යොදාම ශ්‍රී.ල.නි. පකෂයට වැඩ කිරීමය. කොටින්ම කියතොත් ශ්‍රී.ල.නි.ප. යේ දැනට සිටින දේශපාලකයන්ටත් වඩා ආණ්ඩුවේ පෙරමුණු බළඇණිය වී ඇත්තේ එ.ජා.ප. යෙන් මෑතකදී ශ්‍රී.ල.නි.ප. යට එක්වු මේ පිරිසයි.

මේ නිසා දිනපතාම පාහේ එ.ජා.ප. යෙන් මිනිසුන් ගිලිහී යෑම අලුත් මුහුණු හඳුන්වාදී පකෂය ජවසම්පන්න කිරීමට ඇති අවස්ථාවක් යැයි සිතා සතුටු වීම ඇත්ත වශයෙන්ම මෝඩකමකි. ඒ මන්ද යත් එ.ජා.ප. යෙන් මේ ආකාරයට දිනපතාම පාහේ ගිලිහී යන්නේ ජවයත්, හැකියාවත් තිබෙන තවත් අවුරුදු ගණනාවකට එසේ නැත්නම් දශක කීපයකට වුණත් දේශපාලනයේ රුඳී සිටිය හැකි ප්‍රබල උදවිය වීමයි.

මේ ආකාරයට එ.ජා.ප. යෙන් දිනපතාම පාහේ "ගිලිහෙන අයගේ" පුරප්පාඩු පුරවන්නේ කෙසේ ද යන ප්‍රශ්නය ද පවතී. මා කලින් සඳහන් කළ ආකාරයට 1970 ගණන් වලදී එ.ජා.ප. ය තුළ විශාල වශයෙන් පුරප්පාඩු ඇති වන විට බොහෝ අවස්ථාවල ඒ වන විට ස්වභාවික අනුප්‍රාප්තිකයන් ද බිහිවී තිබිණි. නමුත් එසේ අනුප්‍රාප්තිකයන් බිහිවී නැති පළාත් ද බොහෝමයක් තිබිණි. මෙවැනි තැන්වලට එ.ජා.ප. යේ නායකත්වය විසින් වෙනත් කෙෂ්ත්‍රවල සිටි උදවිය පැරෂුටිකාරයන් වශයෙන් යොදවන ලදී. 1977 දී දේශපාලනයට පැමිණි පැරෂුටිකාරයන් අතර ඉන්ජිනේරුවකු වු පී. දයාරත්න මහතා ද උසස් රජයේ නිලධාරියකු වු වි.ජ.මු. ලොකුබණ්ඩාර මහතා ද ගිනිය හැක. එකල දේශපාලනයට පැමිණි සෑම පැරෂුටිකාරයකුම පාහේ සාර්ථක දේශපාලකයකු බවට පත් විය. අද දවසේ ද පුරප්පාඩු පිරවීමට පමණක් නොව දැනට සිටින දේශපාලකයන් එළියට තල්ලු කර දැමීමේ උපක්‍රමයක් හැටියට ද පැරෂුටි න්‍යාය ජයටම ක්‍රියාත්මක වෙමින් පවතී. එසේ නම් එදා මෙදා අතර වෙනස කුමක් ද? යම් කෙනෙක් පැරෂුටි මාර්ගයෙන් දේශපාලනයට ගෙන එන විට පකෂ නායකයාට ඒ අයගේ හැකියාවන් පිළිබඳව ඉතා හොඳ තක්සේරුවක් තිබිය යුතුය. යම් අයෙක් දේශපාලනයට සුදුසු ද නැද්ද යන්න ගැන පුදුමාකාර ඉවක් ජේ. ආර්. ජයවර්ධන මහතාට තිබිණි. ඔහු දේශපාලනයට ගෙන ආ පැරෂුටිකාරයන් අතර අසාර්ථක වුවා යැයි කිව හැකි එක් අයකුගේවත් නමක් මගේ සිහියට නැගෙන්නේ නැත. රනිල් වික්‍රමසිංහ මහතා දේශපාලනයට ගෙනාවේ ජේ. ආර්. ජයවර්ධන නොවේ දැයි අයකු ප්‍රශ්න කරනු ඇත. නමුත් රනිල් වික්‍රමසිංහ මහතා පැරෂුටිකාරයෙක් නොවීය. ඔහු පවුල් පසුබිම හේතුවෙන් එ.ජා.ප. ය තුළ ක්‍රියාකාරී වී යොවුන් පෙරමුණ තුළින් දේශපාලනයට ආ ආයෙකි. තවද ජේ. ආර්. ජයවර්ධන හා ප්‍රේමදාස පාලන සමයන් වලදී වික්‍රමසිංහ මහතා මිනිසුන්ට දිස්වුයේ ප්‍රබලයකු හැටියටය. ප්‍රශ්න ඇතිවන්නට පටන් ගත්තේ ඔහු පකෂ නායකයා වීමෙන් පසුව පමණි. ඒ කෙසේ වෙතත් එක දෙයක් නම් පැහැදිලිය. එනම් පකෂයේ පුරප්පාඩු වලට පැරෂුටිකාරයන් තෝරා ගැනීමේදී ජේ. ආර්. ජයවර්ධන මහතාට තිබු ඉව වික්‍රමසිංහ මහතාට නම් නැති බවයි.

ඔහු ගෙනා පැරෂුටිකාරයන් සියලුම දෙනා අතරින් දේශපාලකයන් හැටියට සාර්ථකත්වයක් පෙන්නුම් කර ඇත්තේ කරු ජයසුරියත් පාලිත රංගේබණ්ඩාරත් පමණි. අන් සියලුම දෙනා අසාර්ථක වුවා යැයි කිව හැකිය. තවද එ.ජා.ප. යට පිරවීමට සිදුවී ඇත්තේ බොහෝවිට මියගිය නැතිනම් දේශපාලනයෙන් ඉවත් වු අයගේ පුරප්පාඩු නොව පකෂය හැරදමා ගොස් ඇති ජවසම්පන්න පළපුරුදු උදවියගේ පුරප්පාඩුය. ඉකුත් අවුරුදු 15 ඇතුළතදී සහ විශේෂයෙන්ම මෑත අවුරුදු 2:3 තුළදී පකෂයෙන් ඉවත් වී යන මේ ප්‍රබලයන් හා දකෂයන් වෙනුවට ඉදිරියට ගෙනවිත් ඇත්තේ ඒ පකෂය හැරදා ගිය උදවියට කිසිසේත්ම සමාන කළ හැකි අය නොවේ. ඒ ගිය උදවියත් ආපු උදවියත් අතර ඇත්තේ අහසට පොළොව මෙන් වෙනසකි. පකෂය හැර දමා මිනිසුන් යන සෑම අවස්ථාවකදීම එ.ජා.ප. යට සිදුවී ඇත්තේ 1000 ක් දී 100 ක් ලබාගත්තා වැනි තත්ත්වයකි.

සෑම විටම 1000 ලැබෙන්නේ ආණ්ඩුවටය. 100 ලැබෙන්නේ එ.ජා.ප. යට ය. මේ ආකාරයට දිගින් දිගටම එ.ජා.ප. යෙන් ආණ්ඩුවට දකෂ කෘතහස්ථ පුද්ගලයන් එකතුවීම ජනාධිපති මහින්ද රාජපකෂට නම් මහත් භාග්‍යයක් වී ඇත. තෝරාගත් තැන්වල එ.ජා.ප. යේම බල කඳවුරු බිඳවැටීමට ඔහු උපයෝගී කර ගත්තේ එ.ජා.ප. යෙන්ම ලබාගත් අලි ඇතුන් ය. අපි වර්තමාන බස්නාහිර පළාත් සභා ඡන්දය දෙස බැලුවොත් කොළඹ දිස්ත්‍රික්කය තුළ ඡන්ද ව්‍යාපාරයේ පෙරමුණ ගෙන සිටින්නේ දුමින්ද සිල්වා හා තිලංග සුමතිපාල යන අපේකෂකයන් දෙදෙනාය. ඔවුන් දෙදෙනාම එ.ජා.ප. යෙන් ආණ්ඩු පකෂයට පැමිණි උදවියයි. මොවුන් දෙදෙනාම වැඩි බරක් යොදවනු ඇත්තේ සාම්ප්‍රදායිකව එ.ජා.ප. යට ලැදි කොළඹ නගර සීමාව තුළ සිටින ඡන්දදායකයන් ආණ්ඩුවට දිනාගැනීමටය. තම නව දේශපාලන පකෂය තුළ තම හැකියාවන් පෙන්වීම සඳහා ඔවුන් දෙදෙනාම මුළු වෙර යොදා වැඩ කරනු ඇත. කොළඹ නගරය මෙන්ම තවත් එ.ජා.ප. බලකොටුවක් වී තිබුණේ දෙහිවල, ගල්කිස්ස නගර සභා ප්‍රදේශයයි. මෙය ද දිගින් දිගටම එ.ජා.ප. ය දිනන බලසීමාවකි.

මීට සති 2 කට පමණ පෙර දෙහිවල : ගල්කිස්ස උප නගරාධිපති ධනසිරි අමරතුංග මහතා ද ආණ්ඩුවට එක් විය. මෙවන් පකෂ මාරු කිරීම් අවස්ථාවාදී හේතුන් මත කෙරෙන බව ඇතැම් අය සිතුව ද මේ සිදුවන පිල් මාරුකිරීම් වැලට හේතුව අවස්ථාවාදයට වඩා අපේකෂා භංගත්වය හා ආතතිය යැයි කිව හැක. දුමින්ද සිල්වාගේ පකෂය හැර යෑම දෙස බැලුව හොත් 2008 පළාත් සභා ඡන්දයේදී කොළඹ දිස්ත්‍රික්කයෙන් වැඩිම මනාප ප්‍රමාණයක් ලබාගෙන අංක 1 ට ආ දුමින්ද සිල්වාට කොළඹ දිස්ත්‍රික්කය තුළ සංවිධානය කිරීමට ආසනයක් ලැබුණේ නැත. ඔහුට ආසනයක් දුන් විට දෙන ලද්දේ කොළඹ දිස්ත්‍රික්කයේ කුඩාම ආසනයක් වන උතුරු කොළඹ ආසනයෙන් බාගයක් පමණි. එවිට උතුරු කොළඹ, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ලිලන්ත පෙරේරා මහතාත් දුමින්ද සිල්වා මහතාත් අතර උතුරු කොළඹ ආසනය දෙකට බෙදුනි. දුමින්ද සිල්වා පකෂය හැර ගියේය. තව පොඩ්ඩෙන් ලිලන්ත පෙරේරා මහතා ද පකෂය හැර ගිය අය අතරට එක්වීමට ගියත් යළිත් උතුරු කොළඹ ආසනය සම්පුර්ණයෙන්ම ඔහුට පවරා දීමෙන් එය වැළකිණි. ධනසිරි අමරතුංග මහතා පකෂය හැර දමා යෑමට ද දෙහිවල ගල්කිස්ස බලප්‍රදේශය තුළ ඔහුට සුනේත්‍රා රණසිංහ මැතිනිය සමග තිබුණ ආරවුලත්, එම ආරවුල සම්බන්ධයෙන් පකෂ නායකත්වය විසින් අනුගමනය කළ කල්මැරීමේ ප්‍රතිපත්තියත් නිසා ඔහු එ.ජා.ප. යට අහිමි විය.

සාමාන්‍යයෙන් ඡන්ද ව්‍යාපාරයක් පවතින අවස්ථාවේදී තාවකාලිකව හෝ පකෂය තුළ ඇති අභ්‍යන්තර ආරවුල් යටපත් වී යම්කිසි මතුපිටින් පෙනෙන සමගියක් ඇතිවේ. නමුත් බස්නාහිර පළාත් සභා ඡන්ද ව්‍යාපාරය ආරම්භ වී තිබුණා යැයි කියා එ.ජා.ප. යේ නාය යෑම තාවකාලිකව වත් නැවතී නැත. ධනසිරි අමරතුංග මහතා පකෂය හැරදා ගියේ බස්නාහිර පළාත් සභා ඡන්ද ව්‍යාපාරය ආරම්භ වු පසුවය. මෙපමණක් නොව කඩුවෙල ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපතිවරයකු වන හා වත්මන් සභිකයකු වන සරණපාල පෙරේරා සහ තවත් සභිකයකු වන ප්‍රසන්න විලත්ගමුව හා කඩුවෙල ප්‍රාදේශීය සභාවේ හිටපු සභිකයකු වන කීර්ති සිරිවර්ධන ද මීට දින ගණනාවකට පෙර ජනාධිපති හමුවී එ.ජා.ප. ය හැර ගියහ.

ඔවුන් සමග ගිය තවත් අයෙක් වුයේ යන දවස තෙක්ම රනිල් වික්‍රමසිංහ මහතාගේ පෞද්ගලික කාර්ය මණ්ඩලයේ ලිපිකරුවකු වශයෙන් සේවය කළ වසන්ත මායාදුන්නේ නමැත්තෙකි. මොහු වික්‍රමසිංහ මහතාගේ ලිපිකරු හැටියට වැටුප් ලබන අතර ඔහු අනුයුක්තව සිටියේ එ.ජා.ප. යේ මාධ්‍ය ඒකකයටය. ඔහු යන දවසට පෙර දවස වනතෙක්ම මාධ්‍ය ඒකකයේ වැඩ නොපිරිහෙලා ඉටුකර ගියේය. මේ ආකායරට එ.ජා.ප. ය හැර දමා යෑම සිදුවන්නේ බස්නාහිර පළාත තුළ පමණක් නොවේ. බස්නාහිර පළාත් සභා ඡන්ද ව්‍යාපාරය ආරම්භ වු පසු ගාලු දිස්ත්‍රික්කයෙන් ද නායයෑම් වාර්තා විය. ගාලු දිස්ත්‍රික්කයේ ප්‍රබල දේශපාලන පවුලකින් පැවත එන ආනන්ද අබේවික්‍රම මහතා දිස්ත්‍රික්කය පුරා "ඉතින් ආයුබෝවන්" කියමින් පෝස්ටර් ගසා එ.ජා.ප. යෙන් ඉවත් විය. අබේවික්‍රම මහතාගේ පියාගේ වැඩිමහල් සොහොයුරු සයිමන් අබේවික්‍රම මහතා 1938 සිට රාජ්‍ය මන්ත්‍රණ සභිකයකු වුවාක් මෙන්ම එ.ජා.ප. යේ ආරම්භක සාමාජිකයකු ද ඩී. එස්. සේනානායක මහතාගේ උප ඇමැතිවරයකු ද විය. ඔහුගේ පියා වු හෙන්රි අබේවික්‍රම ශ්‍රී.ල.නි.ප. යේ කැබිනටි ඇමැතිවරයකු විය. දැන් අබේවික්‍රම මහතාත් එ.ජා.ප. යට අහිමිය.

මීට සති 2 කට පමණ පෙර ගාලු දිස්ත්‍රික්කයේ තවලම ප්‍රාදේශීය සභාවේ විපකෂ නායක ප්‍රියන්ත ජයතිලක ද ආණ්ඩුවට එක් විය. එපමණක් නොව බෙන්තර ඇල්පිටිය ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපති ඇතුළු සභිකයන් 7 දෙනෙක් ආණ්ඩුවට එක් විය. ඉදිරි දින වලදී ගාලු දිස්ත්‍රික්කයේ තවත් ප්‍රාදේශීය සභාවක හිටපු සභාපති ඇතුළු පිරිසක් ජනාධිපති හමුවී ආණ්ඩු පකෂයට බැඳීමට නියමිතය. ඔවුන් තවමත් ජනාධිපති හමුවී නැති නිසා ඔවුන්ගේ නම් හෙළිකිරීමට අපට නොහැකිය. මිනිසුන් එ.ජා.ප. ය හැර දමා යන වේගය තීරණය වන්නේ ජනාධිපතිතුමාගේ දින පොතේ ඇති හිඩැස්වල ප්‍රමාණය අනුවය.
(දිවයින_09/03/16)

Friday, March 13, 2009

ජාතිවාදයට තිත

පෙරවදන_මෙරට ඉතිහාසය සහ ද්‍රවිඩ ජාතිවාදයේ උපත පිළිබඳ මැනවින් අධ්‍යයනය කළ විද්වතුන් දුලබ ය. එහෙයින් ඒ දැනුම සමාජගතවී නොමැත. විශේෂයෙන් ද්‍රවිඩ ජාතිවාදය ගැන සමාජයේ ඇත්තේ ඉතා පටු දැනුමෙකි. කලක් තිස්සේ බෙදුම්වාදයට ත්‍රස්තවාදයට ආවඩන උගතුන් මෙන් ම ද්‍රවිඩ ජාතිවාදය සිය දේශපාලන කටගැස්ම කරගත් දේශපාලකයින් මෙම මතවාද මවා පෝෂණය කරතිබේ. ත්‍රස්තවාදය මෙරටින් තුරන් කෙරෙන මේ යුගයේ ඒ පිළිබඳ නිවැරදි දැනුම සමාජගත කළ යුතු ය. එවිට සිංහල දෙමළ හෝ මුස්ලිම් ජාතිවාදයට මෙරට මුඩු බිමක් වනු ඇත. මේ ලිපිය ඊට මුලපිරීමෙකි.

දෙමළ ජාතිවාදයෙන් උපන් ත්‍රස්තවාදය

ශ්‍රී ලංකාවෙන් ඇරඹී ලොව පුරාම ව්‍යාප්ත වු බිහිසුනු ත්‍රස්තවාදී ක්‍රියාදාමයක් වන එල්ටීටීඊ සංවිධානයේ මුල බීජය වනුයේ ඉංග්‍රීසි අධිරාජ්‍යවාදීන් විසින් සිංහල ජාතිය මරර්දනය කිරීම සඳහා ඇති කරනු ලැබු දෙමළ ජන විඤ්ඤානයයි. පසුව එය සුළු ජාතික විඤ්ඤානය දක්වා ද දෙමළ ජාතිවාදය දක්වා ද වරර්ධනය විය. වාමාංශික හා ලිබරල්වාදී දේශපාලකයන් ස්වකීය සමාජ සාධාරණ ආකල්පය හුවා දැක්වීම සඳහා මෙම සුළු ජාතික විඤ්ඤානය යෙදා ගත් බව පෙනෙයි. එම වැඩපිළිවෙළ ද දෙමළ ජාතික විඤ්ඤානය හා දෙමළ ජාතිවාදය පෝෂණය වීමට හේතු විය. 1931 දී රාජ්‍ය මංත්‍රණ සභාවට පත්කර ගැනීමට එතෙක් ක්‍රියාත්මක වු ජාතිවාදී නියෝජනය අතහැර ස්වරර්ජන ඡන්ද ක්‍රමය ක්‍රියාත්මක කිරීමට යෙදු අවස්ථාවෙහි පොන්නම්බලම් රාමනාදන්, හා පොන්නම්බලම් අරුනාචලම් යන දෙසොහොයුරෝ මෙම දෙමළ විඤ්ඤානය මත පිහිටා සරර්වජන ඡන්ද ක්‍රමයට එරෙහි වුහ. පසු කාලයේ එස්. ජේ. වී. චෙල්වනායගම් වැනි දේශපාලනකයන් පනහට පනහේ ඉල්ලීම් මෙන්ම ෆෙඩරල් මුවාවෙන් ක්‍රියාත්මක කළ දෙමළ රාජ්‍ය පක්ෂයද දෙමළ ජාතික විඤ්ඤානය හරහා දෙමළ ජාතිවාදය බිහිවීමට හේතුවිය.

දෙමළ ඊළාම් සංකල්පය බිහිවුයේ ද මෙම පදනම මතයි. අමිරර්තලිංගම්, නීලම් තිරුචෙල්වම්, සෞම්‍යමුරර්ති තොණ්ඩමන් වැනි දෙමළ දේශපාලකයන් විසින් මෙම දෙමළ ජාතිවාදය පෝෂණය කොට වරර්ධනය කරන ලදී. ලොව පුරා විසිරී සිටින මිලියන 100 කට ආසන්න දෙමළ ජනයාට වෙනම රටක් හෝ වෙනම රාජ්‍යයක් ලොව කොතැනකවත් නොමැති කමේ අඩුව පිරිමසා ගැනීමේ අරමුණ ද ඉහත දැක්වු දෙමළ දේශපාලකයන් තුළ ක්‍රියාත්මක වී ඇත. ලොව වැඩි පුරම එක් ප්‍රදේශයක දෙමළ ජනයා වාසය කරනුයේ තමිල්නාඩුවෙහිය. ශ්‍රී ලංකාව මෙන් පස් ගුණයක් විශාල වන එහි වෙනම දෙමළ රාජ්‍යයක් බිහි වීමට ඉන්දියානු මධ්‍යම ආණ්ඩුව කිසිසේත්ම ඉඩ නොදෙයි. ඒ බව වටහා ගත් දෙමළ ජාතිවාදී දේශපාලකයන් ශ්‍රී ලංකාවෙහි උතුර හා නැගෙනහිර පළමු කොට දෙමළ රාජ්‍යයක් පිහිටුවා අනතුරුව මුළු ශ්‍රී ලංකාවම ද ඉන්පසු තමිල්නාඩුවද ඊට ඈඳෑගැනීමේ ක්‍රමෝපායන් යෙදීමේ ප්‍රතිඵලයක් වශයෙන් දෙමළ ඊළාම් විමුක්ති කොටි (එල්.ටී.ටී.ඊ.) සංවිධානය බිහි වු බව පෙනෙයි.

1976 දී යාපනයෙහි හිටපු නගරාධිපති දුරෙයි අප්පා මරා දැමීමත් සමගම දෙමළ ජාතික දේශපාලනය ත්‍රස්තවාදයකට පෙරළුණි. එම වැඩපිළිවෙළ මුල දී ක්‍රියාත්මක වු උමා මහේෂ්වරන්, සභාරත්නම්, කුටිටිමනි, කිටිටු වැනි නායකයන් ඝාතනය කිරීමෙන් අනතුරුව එල්ටීටීඊ ත්‍රස්තවාදී සංවිධානය පිරබාහරන් නම් වු ත්‍රස්තවාදියාගේ නායකත්වයෙන් මතුවී ආවේය. ඔහු මුල දී මත් ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකි. එයින් මුදල් උපයා ගත් මෙම ත්‍රස්තවාදියා ඇමෙරිකාවට ගොස් (බින්ලාඩන් මෙන්) ගරිල්ලා සටන් ක්‍රම හදාරා ශ්‍රී ලංකාවට පැමිණ දෙමළ ත්‍රස්තවාදි වැඩපිළිවෙළේ නායකත්වය අත්පත්කර ගත්තේය.

දෙමළ ත්‍රස්තවාදීන් අවි ආයුධ සන්නද්ධව ක්‍රියාත්මක වු අතර එම වැඩපිළිවෙළේම දේශපාලන මුහුණුවර ටී.එන්.ඒ. නමින් ක්‍රියාත්මක විය. ඔවුහු ශ්‍රී ලංකා පාරර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන් ලෙස ත්‍රස්තවාදී ක්‍රියාදාමයට අදාළව වෙනත් දේශපාලනමය සහයෝග ලබාදී ඇත. එල්ටීටීඊ ත්‍රස්තවාදයේ ජාත්‍යන්තර පැතිකඩ වනුයේ ටී. ආරර්. ඕ. සංවිධානයයි. අවි ආයුධ මිල දී ගැනීම ඇතුළු ත්‍රස්තවාදී ක්‍රියාවන්ට මුදල් උපයා දීම එහි ප්‍රධානම කාරර්යය වී ඇත. "ටැමිල් නෙටි" වෙබ් අඩවිය එල්ටීටීඊ සංවිධානයේ ජාත්‍යන්තර ප්‍රචාරක ජාලයයි. මෙම දෙමළ ත්‍රස්තවාදී එල්ටීටීඊ සංවිධානය ශ්‍රී ලංකාව තුළ මෙන්ම ජාත්‍යන්තරවද විවිධ මුහුණු වරින් ක්‍රියාත්මක වී ඇත.

කිසියම් රටක මෙවැනි ත්‍රස්තවාදී කණ්ඩායමක් බිහි වු විට එරට රාජ්‍ය තන්ත්‍රය විසින් කළ යුතු වනුයේ ඔවුන් මරර්දනය කරලීමයි. රජයකට ආයුධ සන්නද්ධ ආරක්ෂක සේනා සිටිනුයේ බාහිර සතුරන් මෙන්ම තම රට තුළින්ම බිහිවෙන සතුරු බලවේග මරර්දනය කරලීමටයි. එහෙත් ශ්‍රී ලංකා රාජ්‍ය ත්න්ත්‍රය මගින් එය නිසියාකාරව ක්‍රියාත්මක වි නොමැත. 1977:94 එක්සත් ජාතික පාක්ෂික රාජ්‍ය තන්ත්‍රය ත්‍රස්තවාදයට එරෙහිව යැයි කියමින් වට මේස කතා සරර්ව පාක්ෂික සමුළු හා තිම්පු සාකච්ඡා වැනි ජාත්‍යන්තර සමුළුද පැවැත්වු නමුදු ඒවා පැවැත්වෙන අතර දෙමළ ත්‍රස්තවාදීන් තම යුද ශක්තිය වැඩි කර ගත් බව පෙනෙයි. 1987 දී ඉන්දු ලංකා ගිවිසුමෙන් පසුව ක්‍රියාත්මක කළ පළාත් සභා ක්‍රමය ද උතුර හා නැගෙනහිර නැති ප්‍රශ්නයකට (ජනවරර්ග අරගලයට) විසඳුම් වශයෙන් ක්‍රියාත්මක කළ නමුත් එයින් ද පළක් නොවිණි. එම පළාත් සභා ක්‍රමය ද උතුර හා නැගෙනහිර මහ ඇමැති ධුරයට පත් වරර්ධරාජා පෙරුමාල් ඊළාම් රාජ්‍යයක් ප්‍රකාශයට පත් කිරීමට පදනමක් කර ගත් බැවින් ජනාධිපති ජේ. ආරර්. ජයවරර්ධන විසින් එම පළාත් සභාව විසුරුවා හරින ලදී.

මෙම අසාරර්ථක විසඳුම් ක්‍රියාත්මක වෙද්දී දෙමළ ත්‍රස්තවාදීන් උතුර හා නැගෙනහිර සිංහල හා මුස්ලිම් ගම්මානවලට වැදී දස දහස් ගණන් අහිංසක ජනතාව මරා දැමු අතර නිසි දේශපාලන නායකත්වයක් හා ත්‍රස්තවාදයට එරෙහිව පැහැදිලි අණක් ක්‍රියාත්මක නොවීම නිසා පුනරීන්, මුලතිව් වැනි කඳවුරු පිටින්ම ද ආරක්ෂක හමුදාව ත්‍රස්තවාදීන්ට බිලිවිය. වඩමාරච්චි සටනින් අවසන් කර ලීමට තිබු ත්‍රස්තවාදය එසේ නොවී වරර්ධනය වුයේ ජාත්‍යන්තර බලපෑම්වලට වඩා අපේ රටේ පාලකයන්ගේ වරදින් බව කිවයුතුය. 1973 සිට පාසල් තුළින් ඉතිහාසය නොදත් පුරවැසි පිරිසක් බිහිවීම හා දේශපාලකයන්ට හා උගතුන්ට ද ජාතික දේශපාලන මතවාදක් නොතිබීම ද දෙමළ ජාතිවාදයට උපකාර කළ බටහිර රටවල අදහස්වලට පාලකයන් අනුගත වීම ද වසර 30 ක් තරම් කාලයක් තිස්සේ ත්‍රස්තවාදය මරර්දනය නොවී වරර්ධනය වීමට හේතුවිය.

ජනවාරර්ගික අරර්බුදයක් හෝ සමාජ අසාධාරණයක් නොව දෙමළ ජාතිවාදය මත පදනම් වු වෙනම දෙමළ රාජ්‍යයක් බිහිකර ගැනීමෙ අරමුණින් ක්‍රියාත්මක වු ත්‍රස්තවාදයට විසඳුම වුයේ අවි බලයෙන් ඔවුන් මරර්දනය කිරීමයි. එසේ නොකළ මොහොතක් පාසා දෙමළ ජනයා ද එම ත්‍රස්තවාදයට ඈඳා ගනිමින් හෝ ඔවුන් බිය ගන්වා හෝ එම ත්‍රස්තවාදය ක්‍රියාත්මක වී ඇත. "ඉවසන දනා රුපු යුදයට ජය කොඩිය" යන කියමන අරර්ථවත් කළ මහින්ද රාජපක්ෂ මහතා බලයට පැමිණීමත් එතුමා දේශීය වු ජාතික මතවාදයක් මත පිහිටා ක්‍රියා කිරීමත් බටහිර රටවල බහට නොනැමීමත් නිසා ලොව පුරා දැවැන්ත ප්‍රතිරුපයක් ගොඩ නගා ගෙන තිබුණු එල්ටීටීඊ ත්‍රස්තවාදී ජාලය මේ වන විට සිඳබිඳ දැමීමට සමත් වී ඇත. එම දේශපාලන නායකත්වය මව්බිම රුක ගැනීමට ජීවිත පරිත්‍යාගයෙන් ඉදිරිපත් වු රණවිරුවන්ට මහා ශක්තියක් හා ආශීරර්වාදයක් වී ඇත.

මේ වන විට එල්ටීටීඊ ත්‍රස්තවාදය මුලතිව් ප්‍රදේශයේ වරර්ග කිලෝමීටරර් 50 කට අඩු ප්‍රදේශයකට සීමා වී ඇතත් ඔවුන්ට ශක්තියක්ව පැවති සම්බන්ධතා ජාලය විනාශ වී ඇතැයි කිව නොහැක. ඔවුන්ගේ ත්‍රස්තවාදි ක්‍රියා රටේ තැන් තැන්වල ක්‍රියාත්මක වන බවද පෙනෙයි. යාළ කැලෑ ප්‍රදේශය ආශ්‍රිතව සැඟවී සිටින ඔවුහු වරින් වර මිනිස් ඝාතන කරති. උතුරෙ\ ත්‍රස්තවාදීන් මරර්දනය කළ පසු එවැනි කණ්ඩායම් මරර්දනය කිරීමට ද උපාය මාරර්ග යෙදිය යුතුය. ඒ සමගම දෙමළ ජාතිවාදී දේශපාලනයටද තිත තැබීම අවශ්‍ය වෙයි. සමාජ අසාධරණයක් වේ නම් එය මේ රට තුළ ජීවත් වන සියලු දෙනාටම මිස දෙමළ ජනයාට කියා වෙනම අසාධාරණයක් වී නොමැත. එම පොදු සමාජ අසාධාරණයට හේතු සොයා බලා ඒවාට පිළියම් යෙදීමෙන් මෙන්ම ජාතිවාදී දේශපාලනයට ඉඩ නොදීමෙන් ද දෙමළ ජාතිවාදය අවසන් කළ හැකිය.

සිංහල දෙමළ මුස්ලිම් වශයෙන් කිසිදු ජනකොටසකට භුමි ප්‍රදේශ වෙන් කර ගැනීමට ඉඩ නොදීම රාජ්‍ය තන්ත්‍රයේ වගකීමයි. උතුරෙ\ ක්‍රියාත්මක වන "තේෂවලාමෙයි" වැනි නීති අවසන් කර ලීමට කාලය පැමිණ ඇත. මුස්ලිම් අන්තවාදීන්ගේ භුමිය අත්පත් කර ගැනීමේ උපක්‍රම ද හඳුනා ගෙන ඊට ද තිත තැබිය යුතුය. දිවයින පුරා ආක්‍රමණශීලීව නොව අන්‍යෝන්‍ය සුහදත්වයෙන් යුතුව ඕනෑම ජනකොටසකට ඕනෑම තැනක ජීවත් වීම රුකියා කිරීම සඳහා ඉඩකඩ සලසා දිය යුතුය. බලය බෙදීමේ ක්‍රමයක් නොව පරිපාලනය විමධ්‍ය ගත කර ජනතාවට සහන සැලසීමේ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කළ යුතුය. මෙරට සිංහල බෞද්ධ සංස්කෘතිය ප්‍රධාන සංස්කෘතිය බව පිළිගත යුතු අතර පුද්ගල සමානාත්මතාව සියලු දෙනා විසින් පිළිගත යුතුය. මෙවැනි ක්‍රියාදාමයකින් හැර ඊනියා බලය බෙදීමේ හෝ දෙමළ මුස්ලිම් සුළු ජාතිකයන් ලෙස සලකා ඔවුන්ට වරප්‍රසාද හිමි කර දීමෙන් හෝ රටේ පවතින ප්‍රශ්නයට නිවැරදි පිළිතුරක් ලබා දිය නොහැකි බව දේශපාලකයන් මෙන්ම උගතුන් හා බුද්ධිමතුන් ද වටහා ගත යුතුය.

බෙංගමුවේ නාලක හිමි
(දිවයින_09/03/14)

Thursday, March 12, 2009

ගොන් දෙපැයට විකල්පයක්

ප්‍රමාද වී හෝ ගත් වැදගත් තීරණයක්

දේශපාලනඥයන්ගේ මෙන්ම සාමාන්‍ය සිවිල් ජනතාවගේද ආරක්‍ෂාව පතා මහජන රැස්වීම් කෙටි කලකට හෝ සීමා කිරීමේ අවශ්‍යතාව අපි පෙරේදා (11) අපේ කතුවැකියෙන් පෙන්වා දුන්නෙමු. උත්සව නිසා සිදුවිය හැකි හානි පිළිබඳ බලධරයන්ගේ අවධානය යොමුවිය යුතු බව අපි තරයේ කියා සිටියෙමු.
ජාතික ආරක්‍ෂාව පිළිබඳ මාධ්‍ය මධ්‍යස්ථානයේ අධ්‍යක්‍ෂ ජනරාල් ලක්‍ෂ්මන් හුළුගල්ල මහතා පෙරේදා ලක්බිම පුවත්පතට ප්‍රකාශ කර තිබුණේ රටේ කුමන හෝ ප්‍රදේශයක මින් ඉදිරියට ජනතා සහභාගිත්වයෙන් සිදු කෙරෙන ජාතික මට්ටමේ උත්සව අවස්ථා සඳහා රාජ්‍ය ආරක්‍ෂක අමාත්‍යංශයේ අනුමැතිය ලබාගත යුතු යැයි තීරණයක් ගෙන ඇති බවය.
මේ පිළිබඳ අපි ඊයේ (12) “ලක්බිම” පුවත්පතේ ප්‍රධාන සිරස්තලය යටතේ වාර්තා කළෙමු.
මහජන සහභාගිත්වයෙන් සිදු කෙරෙන උත්සව හැකි තරම් දුරට සීමා කරන ලෙස රජය මේ අවස්ථාවේ ඉල්ලා සිටින බවද ඔහු පවසා සිටී. ප්‍රදේශීය වශයෙන් මහජන සහභාගිත්වයෙන් කෙරෙන උත්සව අවස්ථා සඳහාද එම ප්‍රදේශයේ ළඟම ඇති පොලිස් ස්ථානයෙන් අවසර ගතයුතු යැයි කොන්දේසියක් පනවා ඇති බවද ඔහු අනාවරණය කළේය.
එළඹෙන සිංහල දෙමළ අලුත් අවුරුදු උත්සව සමයේදීද පැවැත්වෙන ජාතික උත්සව වලදී ආරක්‍ෂාව තහවුරු කළ යුතු අතර ජන ජීවිත සුරක්‍ෂිත කිරීමට අවශ්‍ය බවට රජය අවධාරණය කරන්නේ යැයි ඔහු පවසා සිටී.
ඇත්ත වශයෙන්ම මෙම තීරණය ගතයුතුව තිබුණේ මෙයට වසර ගණනකට පෙරය. එසේ වූවානම් දේශපාලනඥයන් ඇතුළු ජනතාව විශාල සංඛ්‍යාවක ජීවිත බේරෙන්නට අවස්ථාව තිබුණි. එහෙත් ඒ ගැන සැලකිල්ලක් නොදක්වා විවිධ උත්සව තැන තැන සංවිධානය කිරීමෙන් සහ ඒවාට දේශපාලනඥයන් ගෙන්වා ගැනීමෙන් මරුවා කැඳවා ගැනීමට මෙතෙක් කල් කටයුතු කර ඇති බව පසක් වෙයි.
එල්.ටී.ටී.ඊ. සංවිධානය හමුදා අතින් පරාජයට පත්වෙමින් වියරු වැටී සිටින මේ අවස්ථාවේ වෙන කවරදාටත් වඩා දකුණේ ඝාතන සිදුකර ජනජීවිත අවුල් කිරීමට ඔවුන් උත්සාහ දරන බව කිවයුතු නොවේ. ආරක්ෂක හමුදාවල අනේකවිධ පරීක්‍ෂණ කපොලුවලින් බේරී මරාගෙන මැරෙන ත්‍රස්තයන් දකුණට රිංගා ගෙන ඇත. ඒ අයගෙන් සමහරුන් තවමත් අවස්ථාව ලැබෙන තුරු උකුසු ඇස් යොමමින් සිටිනවා විය හැකිය. එවැනි කොටින්ට ගොදුරු සකස්කර දීමට දකුණේ ජනතාව කටයුතු කරන්නේ නම් එය විශාල අවාසනාවකි. අමනොඥකමකි. ඒ තත්ත්වය දැන්වත් අවබෝධ කරගත යුතුය.
අප ඊයේද පැවසුවා මෙන් මේ මැතිවරණ සමයයි. මැතිවරණ වේදිකාවලට විවිධ දේශපාලනඥයන් ගොඩවෙනු ඇත. ජනතාව මුව අයාගෙන ඔවුන්ගේ සුරංගනා කතා අසනු ඇත. කොටියා ඒ අවස්ථාවෙන් ප්‍රයෝජන ගෙන තම රුදුරු අරමුණු ඉටුකර ගන්නවා නියතය.
අනෙක් අතට ජාතික ආගමික සහ ක්‍රීඩා ආදී සෙසු උත්සව අවස්ථාවලදීද දේශපාලනඥයන් අනිවාර්යෙන්ම සහභාගිකර ගැනීමට සංවිධායකයන් උනන්දුවන බව දක්නට ඇත. ඔවුන් සිතන්නේ තම හිතැති දේශපාලන බලවතා සහභාගි කරගැනීම වටිනා බවය. දේශපාලනඥයන් නොමැතිව උත්සව අවස්ථා වර්ණවත් කිරීම සඳහා තවත් කොතරම් ප්‍රභූ පුද්ගලයන් කැඳවා ගත හැකිද? දේශපාලනඥයකු සඳහා අවශ්‍ය ආරක්ෂක විධි විධාන සැලසීමට විශාල මුදලක් වැයවනු ඇත. ආගමික උත්සවයක මල් වට්ටියක් පූජා කරවීම සඳහා හෝ ක්‍රීඩා උත්සවයක කොඩියක් වැනීම සඳහා හෝ ප්‍රබල මැති ඇමැතිවරුන් ගෙන්වා ගැනීමේ අර්ථය කුමක්ද?
තවද අද පවතින වාතාවරණය අනුව මෙවැනි උත්සව නගරයේ හෝ ගමේ සංවිධානය කිරීම තාවකාලිකව නැවැත්විය යුතු වෙයි. මෙය උත්සව පැවැත්වීම සුදුසු වකවානුවක් නොවේ. දේශපාලන රැස්වීම් පවා හැම තැනම නොතබා එක් ප්‍රධාන රැස්වීමක් දිස්ත්‍රික්ක මට්ටමින් පැවැත්විය යුතුය. මහජනතාව දැනුවත් කිරීමට අවශ්‍ය අපේක්‍ෂකයන්ට ඒ සඳහා විද්‍යිත් හා මුද්‍රිත මාධ්‍යය පාවිච්චි කළ හැකිවෙයි.
අනෙක් අතට රැස්වීම් සඳහා සහභාගි නොවීමට මහජනතාව තීරණයක් ගත යුතුව ඇත. සාමාන්‍ය ජනතාව මෙවැනි සෙනග ගැවසෙන ස්ථානවලට යාමෙන් වැළකී සිටීමද විනාශකාරී සිද්ධි අවම කිරීමට හේතුවන බව පැවසිය යුතුය. මෙම තෙපාර්ශ්වයම අවස්ථාවෝචිතව කටයුතු කළ යුතු බව පෙන්වා දෙමු.
(ලක්බිම_09/03/13)

පසුවදන_
එළඹ ඇත්තේ බස්නාහිර පලාත් සභා මැතිවරණ සමයයි. බලයට ඇති ගිජුකම විසින් පිස්සු වට්ටා ඇති දේශපාලන නායකයින් යළි තැන නොතැන නොබලා ඇවිඳින්නට පටන් ගනු ඇත. මනාප පොරයට වන් කල්හි මේ අයගේ කරේ පිරපාහරන් මරණ වරෙන්තු එල්ලා ඇති බව අමතක වෙයි. ඉතින් මේ උතුමෝ මර ඇදේ පණ අඳින කොටියාගේ පහසු ඉලක්කයක් වී නිවට ලෙස මහ මග හෝ කසළ ගොඩක මියැදෙති. උන්ගේ කතා අසා ඔල්වරසම් දෙන්ට යන අහිංසකයෝ ද නිරපරාදේ මියෙති.

තණ්හාව සහ මනාප පොරය නිසා මැති ඇමතිවරු නිසිදා මැතිවරණ වේදිකා වර්ජනය නොකරනු ඇත. එහෙත් ජනතාවට පියවරක් ගත හැකි ය. ඔවුන් මේ වේදිකා ඉදිරියේ රැස්කකා බලා නොඉඳී නම් දේශපාලකයෝ එහි එනු තබා ඒ දෙ බලන්නේ ද නැත. රේඩියෝව රූපවාහිනිය අන්තර්ජාලය ආදී දියුණු සන්නිවේදන මාධ්‍ය භාවිතයට ඔවුන් පෙළඹෙනු ඇත. එවිට සිරසේ ගොන් දෙපැයට වෙනුවට මේ දේශපාලන කතා විකාශනය කළ හැකි ය. ජනතාවට ගෙදර සිට නැරඹිය හැකි ය. එකී ගොන් දෙපැයෙන් ලද ආස්වාදය එලෙසින් ම ජනතාවට ලැබිය හැකි ය. රටේ ආරක්ෂාව ද සහතික කළ හැකි ය. කොච්චර සිම්පල් ප්ලෑන් එකක් ද ආ....?

Wednesday, March 11, 2009

කොටියා ඇද වැටුණත් තවමත් මැරී නැත

මෝඩකම, කැපවීම, ජනතාව අතර සිටීමට ඇති වුවමනාව, මහජන සේවාව කෙරෙහි ඇති භක්තිය, මනාප ලබාගැනීමට ඇති ආසාව යනාදී වශයෙන් වු කරුණුවලින් එකක් හෝ සියල්ල ම නිසා මරණය වෙත ගමන් කර අනුනවයෙන් දිවි ගලවා ගත් මහින්ද විජේසේකර ඇමැතිතුමා දැඩි සත්කාර ඒකකයෙහි වැතිර සිටින අතර ආණ්ඩුවට මොළය පෑදී තිබේ. ඒ අනුව මින් ඉදිරියට සියලු ප්‍රසිද්ධ මහජන උත්සව සඳහා ඒවායේ සංවිධායකයන් ආරකෂක අමාත්‍යාංශයෙන් අනුමැතිය ලබාගත යුතුව ඇත. මේ නීතිය මෙයට දශක දෙකකට පමණ පෙර බලගැන්වීමට ඒ කාලයේ තිබු ආණ්ඩු ක්‍රියා කළේ නම්, ගාමිණී දිසානායක, ජී. එම්. ප්‍රේමචන්ද්‍ර, ලලිත් ඇතුලත්මුදලි, ආර්. ප්‍රේමදාස වැනි රටට වැඩක් ඇති ජනනායකයන් අදටත් ජීවතුන් අතර ය. සී. වී. ගුණරත්න මහතා අදටත් ජ්‍යෙෂ්ඨ ඇමැතිවරයකු ලෙස ආණ්ඩුවේ කටයුතු කරනවා ඇත. ජෙයරාජ් ප්‍රනාන්දුපුල්ලේ මහතා තවමත් ආණ්ඩුවේ ප්‍රධාන සංවිධායක ය. ඒ සියල්ලට ම අමතරව මරාගෙන මැරෙන කොටි බෝම්බකරුවන් අතින් මේ අය මියයන විට ඒ සමඟම මියගිය දහසකට වැඩි සිවිල් ජනයා ද අදටත් ජීවතුන් අතර ය.

මහින්ද විජේසේකර ඝාතන තැත සඳහා බෝම්බකරු පැමිණ ඇත්තේ බයිසිකලයකින් බව හෙළිව තිබේ. මේ කාරණය අපට සිහිගන්වන්නේ මෙයට වසර කිහිපයකට පෙර ආර්. ප්‍රේමදාස මහතා ඝාතනය කිරීමට බාබු නමැති දෙමළ තරුණයා බෝම්බ සහිත බයිසිකලයක නැඟී පැමිණි ආකාරයයි. බාබු යනු ජනාධිපති ප්‍රේමදාසගේ සුචරිත නිවසේ සිටි හිතවතෙකි. මේ දෙමළ තරුණයා ජනාධිපතිතුමා සමඟ කොතරම් සමීපව සිටියේ ද යත් කැබිනටි මණ්ඩල රුස්වීම් පවතින විට පවා එහි මුලාසනයේ සිටින ජනාධිපතිතුමාගේ කනට රහස් කියා දිව යෑමේ පුරුද්දක් බාබු සතු වී යැයි කියනු ලැබේ. අවසානයේදී එක්තරා මැයි පළමුවැනිදාවක බෝම්බ සහිත බයිසිකලයක් පැදගෙන ජනාධිපති ප්‍රේමදාස මහතා වෙත ආ බාබු, බෝම්බය පුපුරුවා ගත්තේ ය. මෙහිදී දෙදෙනාම කැබැලි වුහ.

මෙයට වසර කිහිපයකට පෙර සී. වී. ගුණරත්න මහතා මළේ ද පිළිගැනීමේ උත්සවයකට සහභාගි වී පෙරහැරින් ගාලු පාර දිගේ ගමන් කරමින් සිටියදී ය. රටක යුද්ධයක් පවතින විට දේශපාලකයන් බොරු වීරකම් මවා පෑම පිණිස පාරවල් දිගේ ගමන් කළ යුතු නැත. පළාත් සභා ඡන්ද සඳහා වු කබල් රුස්වීම් ඇමැතීමට රටේ සේනාධිනායකයා වු ජනාධිපතිතුමා යෑම අංක එකේ මුග්ධ ක්‍රියාවකි. එතුමා ඒවාට ගියත් නැතත් යුද්ධය ජයග්‍රහණය කිරීම නිමිත්තෙන් සේනාධිනායකයාට වැටෙන ඡන්ද නිසා ආණ්ඩුවට පළාත් සභා දිනාගත හැකි ය. අනෙක කිසියම් තැනෙක මරාගෙන මැරෙන බෝම්බයක් පුපුරුවා හළ විට ජනාධිපතිතුමා එහි යෑම කිසිසේත් ම ගැලපෙන්නේ නැත. ප්‍රභාකරන්ගේ ලොකුම ඉලක්කය තමා බව ජනාධිපතිතුමා දැනගෙන සිටිය යුතු ය. මේ යුද්ධය නිම කරනුවස් ඔහු ජීවතුන් අතර සිටිය යුතුම ය. බෝම්බයට ඇස් නැත. මේ සිටින්නේ ලංකාවේ ඒකීයත්වය උදෙසා කැප වු ජනාධිපතිතුමා බව බෝම්බය දන්නේ නැත. බෝම්බයට එවැනි විඥානයක් තිබුණත් එය නියෝජනය කරන්නේ ප්‍රභාකරන් නිසා පිපිරීම හා ජීවිත හානිය ස්ථිර ය.

මහින්ද විජේසේකර ගමන් කළ පෙළපාලිය මැදින් බයිසිකලයක් පදවාගෙන යනතුරු පොලිසිය කළේ කුමක්ද? ඊළඟ දවසේ ජනාධිපතිතුමා සහභාගි වන ප්‍රසිද්ධ උත්සවයක් මැදින් යුද්ධ ටැංකියක් පදවාගෙන ප්‍රභාකරන් ගියොත් පොලිසිය එයට ද විරුද්ධ නො වනවා ඇත. කොටියා තවමත් සම්පුර්ණයෙන් ම මැරී නැත. තවමත් උගේ ඇඟිලි තුන හතරකුත් මොළයෙන් ස්වල්පයකුත් වැඩ කරයි. මේ අවස්ථාව ඉතා භයානක ය. අප ඉතා සිහිබුද්ධියෙන් විමසා පසු කරගත යුත්තේ ද මේ අවස්ථාවයි.
(දිවයින_09/03/12)

පසුවදන_
මේ රටේ ආණ්ඩුවලට තිබුණු සහ ඇති බරපතළ ව්‍යාධියක් නම් නිසි කල නිසි දේ නොකිරීම ය. නියපොත්තෙන් කැඩිය හැකි සිය දහසක් දේ පොරවෙන් කැපීම දක්වා උස් මහත් කළේ මෙතෙක් මේ රටේ පැවැති ආණ්ඩු ය. මේ ආණ්ඩුවට ද ඒ රෝගය තිබේ.

ප්‍රභූ ආරක්ෂාව පිළිබඳ බරපතළ අවඳානමක් ඇති මේ අවස්ථාවේ ඔවුන් ඒ ගැන අවදානය යොමු කළේ නැත. ඒ නිසා රටට අහිමි වූ ජීවිත කෙතරම් ද? නාස්ති වූ සම්පත් කෙතරම් ද? දැන් සුපුරුදු පරිදි අශ්වයා ගිය පසු ඉස්තාලය වැසීමට ආණ්ඩුව සුදානම් ය. ඒ ආරක්ෂක අමාත්‍යංශයේ නිසි අවසර නොලබා මැති ඇමතිවරු පැමිණෙන උත්සව සංවිධානය කිරීමට අවසර නොදීමෙනි. මෙය කෙතරම් ඈත යුගයක ගතයුතුව තිබූ පියවරක් ද? මේ පියවර පවා ක්‍රමයෙන් ලිහිල්වී තව නොබෝ කලකින් මෙවැනි ම ඛේදවාචක අසන්නට ලැබුණොත් ඔබ පුදුම විය යුතු නැත. තම ජීවිත අවදානම නොතකන මෙවන් මිනිසුන් පිරපාහරන්ගේ කළු කොටි රැළේ ද නැත.

ඒ දුෂ්ට ඝාතන ලේඛනය අලුත් කර තිබේ!

වේළුපිල්ලෙයි ප්‍රභාකරන් තරම් අධම, තිරශ්චීන ඝාතකයකු ලොව නැතැයි අපි නිබඳවම කියා ඇත්තෙමු. ඔහුගේ භාෂාව මෙන්ම ආගමද ඝාතනයයි. හේ යළිත් ඊයේ (10) සිය ඝාතන ලේඛනය අලුත් කර ගෙන තිබේ. ඒ අකුරුස්සේ ගොඩපිටිය ජුම්මා මුස්ලිම් දේවස්ථානය කරා පැමිණෙමින් සිටි මුස්ලිම් බැතිමතුන්ගේ පෙරහැරකට මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරකයකු එවීමෙනි.

මාර්තු 10 වැනිදා (ඊයේ) මුස්ලිම් බැතිමතුන්ගේ උතුම් දිනයක් වු නබි නායක ජන්ම දිනයයි. එමෙන්ම බෞද්ධයන්ගේ මැදින් පොහෝ දිනයද ඊයේටම යෙදී තිබිණි. රජයේ මැති ඇමැතිවරුන් ඇතුළු මුස්ලිම් බැතිමතුන් ජුම්මා දේවස්ථානය කරා පැමිණෙමින් සිටියේ කෙබඳු බැතිමත් හැඟීමකින්ද? ලෝකයට සාමය, සහෝදරත්වය හා සමානත්මතාව දේශනා කළ නබි නායකතුමන්ගේ උතුම් වචන හා ධර්මයද සිහිපත් කරමින් පැමිණි ඒ පිරිසට මුහුණ දීමට සිදු වුයේ මොනතරම් අභාග්‍යයකටද?

දහතුන් දෙනකු එතැනම මරුමුවට පත්වුහ. පනහකට නොඅඩු පිරිසක් තුවාල ලැබුහ. තුවාල ලද පිරිස අතර රජයේ ඇමැතිවරු කීප දෙනෙක්ද වුහ. එයින් මහින්ද විජේසේකර ඇමැතිවරයාගේ තත්ත්වය බරපතල බවද වාර්තා විය. ඇමැතිවරුන් ඇතුළු සියලු දෙනාටම ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරන අතර මියගිය අයගේ පවුල්වලට අපි අපගේ සංවේගයද පළ කර සිටිමු.

ප්‍රභාකරන්ගේ දුෂ්ට ඝාතන ඉතිහාසය පුරාම ඇත්තේ අශිෂ්ට හා මෘග ඝාතන වැලක් බව නොකිවමනාය. පන්සල, පල්ලිය, කෝවිල මෙන්ම ඕනෑම පුජාභුමියක් යනු ඔහුට කදිම දඩබිමකි. සිංහල, දෙමළ, මුස්ලිම් ආදී ඕනෑම ජනවර්ගයක් ඔහුට සතුරෝය. ඔහුගේ දෑත් මේ හැම වර්ගයකම අහිංසක මිනිසුන්ගේ ලෙයින් රත් පැහැවී ඇත.

පුදුකුඩුඉරිප්පු ප්‍රදේශයේ කොතැනක හෝ හිස සඟවා ගුලිවී සිටියත් ඔහු තවමත් ඝාතනය අත්හැරීමට සුදානම් නැත. එමතු නොව ඒ ප්‍රදේශයේ හිරවී සිටින අහිංසක දෙමළ ජනතාවට නිදහසේ සිය ජීවිත ගොඩනගා ගැනීමටද ඔහු ඉඩ නොදෙයි.

වන්නියේ හිරවී සිටින සාමාන්‍ය ජනතාවට යැවෙන ආහාර ද්‍රව්‍ය ඇතුළු අත්‍යවශ්‍ය භාණ්ඩ රුගෙන යෑමට ඔහු ඉඩ නොදෙයි. පසුගිය 9 වැනිදා මුලතිව් බලා ගිය ආහාර නැවකට කාලතුවක්කු ප්‍රහාරයක් එල්ල කළේද ඒ නිසාය.

ප්‍රභාකරන්ගේ මෙකී දුෂ්ට ප්‍රතිචාර ඔහු වෙනුවෙන් සටන් විරාම ඉල්ලා සිටින කිසිවකුගේ අවධානයට යොමුවන බවක් නොපෙනේ. සත්තකින්ම ප්‍රභාකරන් යනු අද වෙඩි කෑ කොටියෙකි. එහෙත් ඔහුට තවමත් වුවමනා මිනිසුන්ගේ ලේ හා මිනිසුන්ගේ සුන්බුන් සිරුරු හා මිනිස් මස්වැදලි බව ඉතා පැහැදිලිය.

ජුම්මා මුස්ලිම් දේවස්ථානයට එල්ල කළ ප්‍රහාරය ලොවටම තහවුරු කරන්නේ එය නොවේද? ඔහු යටත්වී නිකම්ම මියැදෙන්නට සුදානම් නැති බව ඔහුගේ මෙබඳු ඝාතන මෙන්ම අනෙක් ප්‍රතිචාරවලින්ද ඉතා පැහැදිලිය. ඔහු විසින් මරා දමන ලද අහිංසකයන්ගේ හිස්කබල් ගොඩ ගැසුවේ නම් ඒවා අහස උසට නැගෙනු ඇත. ඔහුගේ රුධිර පිපාසය වෙනුවෙන් ගලා ගිය රුධිර ගංගාවල ප්‍රමාණය මේ රටේ සියලුම ගංගා ඇළ දොළවල දියකඳට වඩා අඩු යැයි කිසිවකුට කිව හැකිද?

ප්‍රභාකරන් වෙනුවෙන් පෙනී සිටි කිසිවකුට යහපතක් විය නොහැකි බව අපගේද විශ්වාසයයි. මන්ද යත් ඔවුන් විසින් දෙන ලද වාචික හෝ ක්‍රියාත්මක සහයෝගය නිසාම ප්‍රභාකරන්ට සිය කුරිරුකම්ද සැහැසිකම්ද වපුරමින් නිරුපද්‍රිතව සිටීමට හැකිවීම නිසාය.

ප්‍රභාකරන් සුරැකීම සඳහා බොරු හේතුපාඨ පෙරට දමන, තවමත් ඔහු වෙනුවෙන් පෙනී සිටින දෙස් විදෙස් මිතුරන්ටත් මිත්‍ර සමාගම්වලටත් දැන්වත් මේ බිහිසුණු නග්න වෘකයාගේ අනතුර තේරුම් ගත නොහැකි දැයි අපි දැඩිව ප්‍රශ්න කරමු. තව තවත් ඝාතන වපුරන්නට ඔහුට ඉඩ හරිනවාද? නැතහොත් දෙමළ ජනතාව නිදහස් කර ගන්නවාද යන්න හෘදය සාක්ෂියෙන්ම විමසන ලෙස අපි ඉල්ලා සිටිමු. එහෙත් එය වලංගු වන්නේ හෘදය සාක්ෂියක් ඇත්නම් පමණි.
(දිවයින_09/03/11)

පසු වදන_
අද මට අලුතින් ලිවීමට පසුවදනක් නැත. 09/03/06 දින ලියූ පසුවදන නැවත පළකරමි. දැන්වත් එය අදාළ බලධාරීන්ගේ අවදානයට ලක්වේවායි පතමි.

මේ ප්‍රහාර දාමය පසුපස ඇත්තේ නොසැලකිල්ල මිස අනෙකක් නොවේ. එය නිවට ත්‍රස්තවාදයේ දක්ෂතාවක් නොව පාලකයින්ගේ සහ ආරක්ෂක අංශවල අතිශය නොසැලකිල්ල ය. ප්‍රහාරයට පසු නිකුත් කළ සියලු වීඩියෝ දර්ශන එය මොනවාට කියාපායි. අපේ අසල්වැසි රටවල ආරක්ෂක අංශවලට සාපෙක්ෂව මෙරට ආරක්ෂක අංශ ගව් ගාණක් ඉදිරියෙන් සිට මෙවන් අවස්ථාවල අවස්ථාවල ක්‍රියාකරන බව ඉතා ම පැහැදිළි ය.

අපේ රටේ සිදු වූ ප්‍රභූ ඝාතන පසුපස ඇත්තේ ද ඒ නොසැලකිල්ල ය. ත්‍රස්තවාදය සහ ඉන් තමාට ඇති අවදානම නොතකා හැරීම ය. කුප්‍රකට කදිරගාමර්, ජෙයරාජ් ඝාතන මීට කදිම නිදසුන් ය. මෙරට වෙනසකට ඇත්තේ ආරක්ෂක අංශ කැපවී ක්‍රියා කරන අතර ප්‍රභූවරු ආරක්ෂක උපදෙස් නොපිළිපැදීම ය. තමන් වෙත ඇති අවදානම නොතකා නිරපරාදේ ත්‍රස්තවාදයට ගොදුරුවීම ය. අපේ ප්‍රභූවරු මේ දුර්වලතා සකසා ගන්නා තුරු ත්‍රස්තවාදීන්ට කදිරගාමර්, ජෙයරාජ් ලයිස්තුවට තව නම් එක් කිරීම මොන කජ්ජක් ද?

Sunday, March 8, 2009

උඳු වපුරා මුං පැතීම

ත්‍රස්තවාදය, ක්‍රිකටි හා මාතෘත්වය

ඝාතනයෙන් හා භීෂණයෙන් බැහැර වු දෙයක් පිළිබඳ ලිවීමට ත්‍රස්තවාදීහු අපට ඉඩ නොදෙති. ලියන අපට මෙන්ම කියවන ඔබට ද මේ ත්‍රස්තවාදය නමැති මාතෘකාවම වහකදුරු වී ඇති බව ද අපි දනිමු. එහෙත් ඒ අභාග්‍යමත් බිහිසුණු අත්දැකීම්වලින් ලොවම ලොමු ඩැහැ ගන්වන ත්‍රස්තවාදීන්ට නම් ඝාතනය, භීෂණය යනු සාමාන්‍ය දේවල් පමණි.

ශ්‍රී ලංකාවේ ක්‍රිකටි කණ්ඩායම ඉලක්ක කර ගනිමින් දින කීපයකට පෙර පකිස්තානයේ ලාහෝර්හිදී එල්ල වු ත්‍රස්ත ප්‍රහාරය ද යළිත් අප ඒ වෙත කැඳවා ගැනීමට සමත් වී තිබේ. ඝාතනයම ආගම බවට පත් කර ගත් ත්‍රස්තවාදීහු ක්‍රිකටි පිටියට ද ඝාතනය ව්‍යාප්ත කරමින් සිය ම්ලේච්ඡත්වය ලොවටම ප්‍රදර්ශනය කළහ.

දෛවයේ හාස්කමකින් මෙන් ශ්‍රී ලංකා ක්‍රිකටි ක්‍රීඩකයන්ගේ ජීවිත සුරුකුණු නමුදු ඒ වෙනුවෙන් ජීවිතවලින්ම වන්දි ගෙවීමට පකිස්තානයේ පොලිස් නිලධාරීන් කීපදෙනකුට හා සාමාන්‍ය වැසියන් දෙදෙනකුට ද සිදු විය. මේ තුච්ඡ ප්‍රහාරයට වගකිවයුතු ත්‍රස්තවාදී සංවිධානය තවමත් අනාවරණය වී නැති වුව ද ආසියානු කලාපය වාසභුමි කරගත් අල්කයිඩා, එල්. ටී. ටී. ඊ. හා කාශ්මීර ගරිල්ලන් බඳු කුප්‍රකට සංවිධානයක් හෝ වෙනත් මෘග සංවිධානයක් එයට සම්බන්ධ වී ඇති බව නිසැක ය.

අපි මොහොතකට මෙම ත්‍රස්තවාදයෙන් බැහැරව අද දවසේ මුළු මහත් ලොවටම අතිශය වැදගත් දිනයක් වන ජාත්‍යන්තර කාන්තා දිනය පිළිබඳව විමසා බලමු. සැබැවින්ම අද ජගත් ප්‍රජාවටම කාන්තා දිනය සැමරීමට සිදුව ඇත්තේ ත්‍රස්තවාදය විසින්ම ලොව හැමදෙයක්ම වනසා දමන ලද අඳුරු වාතාවරණයක් යටතේ බව අපගේ විශ්වාසයයි.

ජගත් කාන්තා දිනයේ අරුත හා හරය ස්ත්‍රීත්වයෙහි අභිමානය, ගෞරවය මෙන්ම කාන්තා විමුක්තියද තේමා කර ගත්තකි. එය ඇතැම් රාජ්‍ය නොවන සංවිධානවල ඊනියා කාන්තා විමුක්ති සරඹ සන්දර්ශනවල තත්ත්වයට බාල්දු කිරීමට අපට වුවමනා නැත. එහෙත් ලොව පුරා විසිරී සිටින දයාබර මවුවරුන්, බිරින්දන්, සොයුරියන්, මෙන්ම විවිධ වෘත්තීන්හි නිරතව සිටින කාන්තාවන්ට ද අපි අපගේ ගෞරවය හා ප්‍රණාමය ද පුද කරන්නෙමු. එහෙත් ත්‍රස්තවාදය ඒ හැම කාන්තාවකටම උරුම කර ඇත්තේ කුමක් ද?

ත්‍රස්තවාදයේ පීඩනයෙන් ද භීතියෙන් ද ඒ බොහෝ කාන්තා සිත් සතන් දෙදරා ගොස් නැතැයි කිසිවකුට කිව හැකි ද? ඒ කාන්තා දෑස්වලට සදාකාලික කඳුළු වැල් ලබාදී නැතැයි කිව හැකි ද?

ත්‍රස්තවාදයෙන් ලොව වනසන ත්‍රස්තවාදියා මෙන්ම එයින් ලෝකය මුදා ගැනීම සඳහා දිවි දෙන සොල්දාදුවාද මවු කුසින්ම බිහි වු බව සැබෑ ය. එහෙත් කිසි මවක් ත්‍රස්තවාදය සඳහා දරුවන් බිහිකිරීමට සුදානම් වන්නී ද? සිය දරුවන් ජන ඝාතකයන් වනු ඉවසන්නී ද? නැත. කිසිසේත්ම නැත. එසේම ත්‍රස්තවාදීහු මාතෘත්වයට ගරු කරත් ද? ස්ත්‍රීත්වයට ගරු කරත් ද?

ලෝකය යහපත් ස්ථානයක් බවට පත් කරන්නට දරුවන් වැදු මවුවරු ඒ ලෝකය විනාශ කරන තම පුතුන් දෙස බලා මොනතරම් සුසුම් හෙළත් ද? කඳුළු සලත් ද? එසේම එකී ත්‍රස්තවාදයේ ම කොටස්කාරියන් බවට පත්ව සිටින සිය දියණියන් සිහිපත් වන විට ඒ මවුවරුන්ට අස්වැසිල්ලක් තිබිය හැකි ද?

ත්‍රස්තවාදයේ ගොදුරු බවට පත්ව සිය ජීවිත අපේකෂාවන් සියල්ල අත්හැර සදාකාලික දුක් අන්ධකාරයක ගිලී සිටින කාන්තාවෝ කොපමණ සිටිත් ද? ඉරාකයේ, ඉරානයේ, ඇෆ්ගනිස්තානයේ, ගාසා තීරයේ මෙන්ම ඉන්දියාවේ, පකිස්තානයේ, නේපාලයේ, බංගලාදේශයේ හා ශ්‍රී ලංකාවෙන් ද එයට ඕනෑ තරම් නිදසුන් සොයා ගත හැකි ය.

ශ්‍රී ලංකාවේ කොටි ත්‍රස්තවාදය වෙනුවෙන් මවු උණුසුමෙන් උදුරා ගෙන ගිය දරුවන් ගැන ඒ මවුවරුන්ගේ හද තුළ කෙබඳු කම්පාවක් ඇතැයි ඔබට කිව හැකි ද? ප්‍රභාකරන්ගේ ත්‍රස්තවාදය විසින් යුද බිමට තල්ලු කරන ලද ඇතැම් දරුවන් ඔවුන් විසින් රැගෙන යනු ලබන ගිනි අවිය තරම්වත් උස නොමැති බව ද අපි දනිමු. ප්‍රභාකරන්ගේ විකෘති අරමුණ වෙනුවෙන් මරාගෙන මැරෙන බෝම්බ බවට පත්වු කාන්තාවෝ කොපමණ සිටිත් ද? සිය සිහින ඊළාමය වෙනුවෙන් සයනයිඩ් කරලක් ගෙලට දමා යුද බිමට බලහත්කාරයෙන් තල්ලු කර දමන ලද දෙමළ තරුණියෝ කොපමණ සිටිත් ද?

ලෝකයේම වැඩිම ළමා සොල්දාදුවන් අයත් ත්‍රස්තවාදී සංවිධානය එල්. ටී. ටී. ඊ. ය බව ලොවට ම කියන ජගත් සංවිධානවලට ඒ දරුවන් ඉන් මුදා ගත හැකි වී තිබේ ද?

ත්‍රස්තවාදය හැරුණු විට වෙනත් විවිධ අයුරින් හිංසනයට, අතවරයට, අපරාධවලට ලක්වන ස්ත්‍රීන්ගේ සංඛ්‍යාවද සුළුපටු නොවේ. මැදපෙරදිග මිඩි මෙහෙවර සඳහා යන අපේ ඇතැම් තරුණියන්ට ආපසු මවු රටට පැමිණීමට සිදුවී ඇත්තේ මිනීපෙටිටිවලිනි. වෙළෙඳ කලාපවල සුරාකෑම්වලට ලක්වන තරුණියන් පිළිබඳව මෙන්ම ගෘහස්තව හිංසනයට භාජන වන ළඳුන් ගැන ද ඇසෙයි. වෙනත් සමාජ ක්‍රියාකාරීන් විසින් අපයෝජනයට ලක් කරන ලද දැරියන් හා ලිංගික ශ්‍රමිකයන් බවට පත්ව සිටින කාන්තාවන් ගැන ද දුක්බර පුවත් ඇසෙයි.

තතු මෙසේ හෙයින් මෙවන් ජගත් කාන්තා දිනයකදී ඒ වෙනුවෙන් පෙනී සිටින සියලු ආයතන, සංවිධාන මෙන්ම පුද්ගලයන්ගේද වගකීම හා අරමුණ විය යුත්තේ මේ සකල වර්ගයේ අනතුරු, පීඩා හා විපත්වලට ගොදුරු වී සිටින කාන්තා සමාජයට අර්ථවත් රැකවරණයක් හා යහපත් හෙට දවසක් නිර්මාණය කිරීම බව ඉතා පැහැදිලි ය.

එහිලා ත්‍රස්තවාදයෙන් නිදහස් කාන්තා සමාජයක අවශ්‍යතාව ඉමහත් බව අපගේ විශ්වාසයයි. ත්‍රස්තවාදයෙන් නිදහස් වු ලොවක, ස්ත්‍රීත්වයට ගෞරව කරන සමාජයක් බිහි කර ගැනීම අසීරු නොවේ. ස්ත්‍රීත්වයට හා මාතෘත්වයට ගෞරව නොකරන සමාජයකට - ලෝකයකට කාන්තා දිනයක් කුමට ද?
(දිවයින_09/03/08)

පසු වදන_
ගැහැනිය මහල්ලා ගුරුවරයා ළමයා පෙම්වතා ආදී වශයෙන් ගෙන ඒ ඒ අයට දින වෙන් කර කරන විගඩමට මම පෞද්ගලිකව කැමති නැත. මා ඒ දින කිසිවක් සමරන්නේ ද නැත.එහෙත් ඒ ගැන ලිවීමට බාධාවක් නැත. මේ ඊනියා දිනවලින් කරන්නේ සැබවින් ම කුහක වැඩකි. වසරේ සෙසු දින 364 ම නොතකා හැරි යමෙක් ගැන එක් දිනයක් යොදා සංදර්ශන පැවැත්වීම ය.

අපි නිදසුනක් ගෙන බලමු. රට වෙනුවෙන් ශ්‍රමය වගුරා වයසට ගිය මිනිසාට නිසි රැකවරණ නොදී මහලු නිවාස නමැති අපායවලට ගාල් කර ඒ අයට දිනයක් වෙන් කළා ම හරි ද? ඔහුට සාධාරණය ඉටු වී ද? මහලු නිවාසවල සිටින අතිබහුතරට මෙරට මධ්‍යම පංතියේ සිට ඉහළට වැජඹෙන දූපුතුන්ගේ මව්පියවරු ය. එහෙයින් කළ යුත්තේ දෙමාපියන්ට සලකන සාරධර්ම පිරි සමාජයක් ගොඩනැඟීම ය. සිය දෙමාපියන්ට නොසලකන එකාගෙන් ගැහැනියකට යුක්තිය සාධාරණය බලාපොරොත්තු වීම උඳු වපුරා මුං පැතීමක් නොවෙ ද?
 
සිය රට දේ සිරි සැප දේ !