Thursday, August 27, 2009

කල්තොට පොලිසියට ආයුධ කුමකටද?

අපගේ ගරු කටයුතු පේෂකර්ම ඇමැතිතුමා වන මහින්ද රත්නතිලක මැතිතුමා කල්තොට පොලිසියට කඩා පැන එහි රඳවාගෙන සිටි සැකකරුවකු සහ පොලිසිය භාරයේ තිබූ යතුරුපැදියක්‌ පැහැරගෙන යැම පිළිබඳව මේ වන විට රටම දනී. සැකකරු, රත්නතිලකයන්ගේ ආධාරකරුවකු බවත් රත්නතිලකයන් පොලිසියට කඩා පැන ඇත්තේ ඇඳ සිටි සරම ද ඔසවාගෙන කුණුහරුප කියමින් බවත් දැනගන්නට තිබේ. මේ හැසිරීම ගැන අප තුළ එක්‌වනම කනගාටුවකුත් දෙවනුව හාස්‍යයකුත් ඇති වූ බව කියමු. හාස්‍යයට හේතුව ඇමැතිතුමා සරම ඔසවාගෙන සිටින විට ඇති වී යෑයි අප උපකල්පනය කරන දර්ශනයකි.

මහින්ද රත්නතිලකයෝ මැදිවියද ඉක්‌මවා මහලු විය කරා ප්‍රවිශ්ඨ වෙමින් සිටින මහතෙකි. එබැවින් එතුමන්ගේ දෙපා යුග්මය පෘෂ්ටිමත්ව පැවැතීමට හේතුවක්‌ නැත. එවැනි පෞරාණික කකුල් සහිත මහලු මනුෂ්‍යයකු ඇඳිවත එසවූ විට, සිටුවූ ඉරටු දෙකක්‌ මතට පොල්කට්‌ටක්‌ නැමුවාක්‌ වැනි දර්ශනයක්‌ ඇති වීමට ඉඩ තිබේ. සමාවෙන්නෘ මෙය අප උපකල්පනය කළ දර්ශනයයි. මෙය කර්තෘ වාක්‍යයට අදාළ නැති පෘථග්ජන සිතිවිල්ලකි.

නාලන්ද එල්ලාවල ඝාතන නඩුවේදී සුසන්ත පුංචිනිලමේ ගරු ඇමැතිතුමා ද සමඟ විත්තිකරුවකුව සිටි මහින්ද රත්නතිලක මැතිතුමා තම ආධාරකරුවා වෙනුවෙන් පෙනී සිටි ආකාරය ප්‍රශංසනීය ය. සිය ආධාරකරුවන් වෙනුවෙන් පෙනී සිටින දේශපාලනඥයන් ගණන අද ඉතා සීමිත ය. අප දන්නා ඉතිහාසයේ මෙවැනි ආධාරකරුවකු ලෙස පෙනී සිටි පළමු උතුමා ඡේ. ආර්. ජයවර්ධන උතුමා ය. එතුමා, අංක එකේ මිනීමරුවකු සහ ස්‌ත්‍රී දූෂකයකු වූ ගෝනවල සුනිල් නමැති සිරකරු (1980) ජනාධිපති සමාවක්‌ යටතේ නිදහස්‌ කරවාගෙන ඔහුට සාමවිනිසුරු පදවියක්‌ පවා දුන්නේ ය. අන්තිමේදී සුනිල් වෙඩි කා මළේය. සුනිල් මෙන්ම ඡේ. ආර්. ද ජීවතුන් අතර නැති නිසා ඒ අය ගැන කතා නොකරමු. එහෙත් ඒ පරම්පරාවේ මන්ත්‍රීවරුන් මැරයන් ලෙස හැසිරුණු ආකාරය අමතක කළ නො හැකිය.

සිවිල් ත්‍රස්‌තවාදියාට මහජන ඡන්දවලින් හෝ පත් කළ මන්ත්‍රී කෙනකු ලෙස රාජ්‍ය බලය ලැබුණු විට ඔහු යකකු බවට පත්වෙයි. ජනමාධ්‍යකරුවන්ට පහර දෙන්නේත්, මැර කල්ලි සමඟ හිතවත්කම් පවත්වන්නේත් මෙසේ සිවිල් බලයට රාජ්‍ය බලය එක්‌වීමේ පල විපාකයක්‌ ලෙස ය.

මහින්ද රත්නතිලකලා ප්‍රචණ්‌ඩත්වයට අමතරව සමාජය වෙත මුදාහළ සේවයක්‌ ගැන නම් අපට ආරංචියක්‌ නැත. සමහර විට පසුව ආරංචි වනු ඇති. මහින්ද රත්නතිලක මැතිතුමා ආණ්‌ඩුවට හේත්තු වූයේ එ.ජා.ප.යෙනි. තම ප්‍රචණ්‌ඩ හැසිරීම මගින් ඔහු පළමු කොට තම මුල් පිහිටි එ.ජා.ප.යට අපහාස කරයි. දෙවනුව රනිල් වික්‍රමසිංහගේ නායකත්වයට විරුද්ධව කැරැල්ලක්‌ ගැසූ අවස්‌ථාවේදී යනෙන මං නැතිව සිටින විට තමන්ට සෙවණ දුන් එක්‌සත් ජනතා නිදහස්‌ සන්ධානයට අපහාස කරයි.

අපට කනගාටු කල්තොට පොලිසිය ගැන ය. නරුම දේශපාලනඥයන් ඉදිරිපිට කොන්ද කෙළින් කරගෙන සිටින පොලිස්‌ නිලධාරීහු සිටිති. එහෙත් කල්තොට පොලිසියට එවැනි නිලධාරීන් නැති බව පෙනේ. ඇමැතිතුමා ඇතුළු මැර කල්ලිය පොලිසියට කඩාවැදුණු විට බලය පාවිච්චි කිරීමට පොලිසිය අසමත් වූයේ ඇයි? පොලිසියේ ඇති තුවක්‌කු, පිස්‌තෝල, වෙඩි උණ්‌ඩ සහ බැටන් පොලුවලට කුමක්‌ වීද? මේ පොලිසිය සතු අවි ආයුධ ආරක්‍ෂක අමාත්‍යාංශය විසින් වහා ආපසු ගෙන්වා ගත යුතු ය. ඊළඟට අපරාධකරුවන්ට පවන් සැලීම සඳහා වටාපත් යනාදියත් ඔවුන් නෑවීම සඳහා උණුවතුර සහ සුවඳ සබන් යනාදියත් පොලිසියට ලබා දිය යුතු ය.

(දිවයින - 09/08/28)

ටිප්පණිය - ලංකා පොලිසිය ත්‍රස්තවාදය පාතාලය මර්දනය කිරීම සදහා කළ කාර්යභාරය අපට අමතක නැත. එහෙත් ඒ නිසා ඔවුන්ට රටේ නීතිය කඩන්නට අවසර නැත. නීතිය සැමට සාධාරණ විය යුතුය. බලවතාට එක නීතියකුත් දුබලයාට තව නීතියකුත් දැනට මෙරට ක්‍රියාත්මක වෙයි. ඔවුන් ඇතැම් විට හැසිරෙන්නේ ඉතා ම පරස්පර ලෙස ය. සැබෑ යුක්තිගරුක පොලිසියක් නම් ඔවුන්ට අඟුලානේ හැසිරීම කල්තොටට භාවිත කරන්නට තිබිණි. එසේ වී නම් අඟුලානේ ජනතාව ගැසූ ගල් කල්තොට දී මල් වැසසක් වන්නට ඉඩ තිබිණි. මේ පරස්පරය මකා ගත් දාට ජනතාව පොලිසියට ගරු කරනු ඇත. දැන් පොලිසිය ගැන ජනතාව තුළ ඇත්තේ පිළිකුළකි. ඒ පිළිකුළ මුසු බිය නිසා දක්වන බය පක්ෂපාතීත්වය ගරු බුහුමනක් ලෙස වරදවා තේරුම් ගත යුතු නැත..

Tuesday, August 25, 2009

"පැවැරුම්" තවමත් අවසන් නැත

සරත් ෆොන්සේකා මහතා යුද හමුදාපතිව සිටි සමයේදී ඔහු ඝාතනය කිරීමට තැත් කළ කොටි සාමාජිකයන් සමඟ කිට්‌ටු සම්බන්ධකම් පැවැත්වූ ලක්‍ෂ්මන් කුරේ නමැති පොලිස්‌ මුලාදෑනි මහතකු ගැන මේ දිනවල ඉතා උනන්දුවෙන් කතා බහ කෙරේ. රජයේ විවිධ ප්‍රභූවරුන් ඝාතනය කිරීම සඳහා මේ මුලාදෑනියා කොටි සංවිධානයට සහය දී ඉතා විශාල මුදලක්‌ උපයා ගත් බව දැනගන්නට ඇත. අප මහත් පුදුමයෙන් කතා කළ ද මෙවැනි මුලාදෑනීහු පෙරත් සිටියහ. අදත් සිටිති. හෙටත් සිටිනු ඇති. යුද හමුදාව පොලිසිය යන ආයතනවල සිටි මෙබඳු සිංහල කොටි ගැන කාලයෙන් කාලයට වාර්තා විය.

සමහරු කොටින්ට ඉන්ධන අලෙවි කර මන්දිර තැනූහ. තවත් සමහරු කොටින්ට ඔත්තු දී මුදල් උපයා ගත්හ. ආයුධ ජාවාරම්කාරයන් සමඟ සම්බන්ධ වී තුවක්‌කුවලට නොගැලපෙන උණ්‌ඩත්, උණ්‌ඩවලට නොගැලපෙන තුවක්‌කුත් මෙරටට ගෙන්වා පසුව ඒවා පරණ යකඩවලට විකුණා ලාභ ගත්හ. ආරක්‍ෂක අංශවලට අයත් ආයුධ සතුරන්ට විකිණූ අවස්‌ථා පවා අපගේ ඉතිහාසයේ තිබේ. ඒ ඉතිහාසය වූ කලී 1977 න් පසු ලියන ලද ඉතිහාසයයි.

ප්‍රභාකරන් මියගියේ රට පුරා සිටින මරාගෙන මැරෙන බෝම්බකාරයන් එහෙමම ඉතිරි කරමිනි. ප්‍රභාකරන් මියගිය බව අසා මේ බෝම්බකාරයන් එකකුවත් සියදිවි නසා ගත්තේ නැත. ඔවුහු, මැරීම පිණිස තමන්ට භාර කළ බෝම්බකරුවන් එනතුරු අදටත් රැක සිටිති. අපගේ ජනාධිපතිතුමා ඡන්ද රැස්‌වීම් ඇමැතීම සඳහා ඌව පළාත් වේදිකාවලට නැංගේත්, බැසිල් රාජපක්‍ෂ මන්ත්‍රීතුමා නැගෙනහිර පළාත සංවර්ධනය කිරීම සඳහා පාරවල් දිගේ පයින් යන්නේත් මේ බෝම්බකරුවන් ඔවුන් එනතුරු බලාගෙන සිටින අවස්‌ථාවකදී ය.

කොටි සංවිධානය ජනාධිපතිතුමා ඇතුළු රාජපක්‍ෂ පවුලේ සාමාජිකයන් ගැනත් රජයේ මැති ඇමැතිවරුන් ගැනත් වඩාත්ම වෛරයෙන් පසුවන කාලය මෙයයි. පිටරටවල සිටින කොටි හිතවාදී දෙමළ ඩයස්‌පෝරාව හෙවත් ශ්‍රී ලංකාවේ බෙදුම්වාදයට ආධාර දෙන විදේශික දෙමළ ප්‍රජාව වැඩිම වෛරයකින් පසුවන වකවානුව මෙය වන්නේ ය.

නෝර්වේ රාජ්‍යයට හා බෙදුම්වාදයට හිතවත් නායකයකු බලයට පත්වුවහොත් මිස කිසි කලෙකත් තමන්ට හිස එසැවීමට නොහැකි බව කොටි දනිති. ඒ නිසා මරාගෙන මැරෙන්නට ඔවුන් සූදානම් ය. ඊළම බිහිකිරීම පිළිබඳ "පැවැරුම" ප්‍රභාකරන්ගෙන් අවසන් වුවද රටේ දේශපාලන ප්‍රභූවරුන් ඝාතනය කිරීම සඳහා ප්‍රභාකරන් කළ "පැවැරුම" තවමත් එසේම පවතී. මරාගෙන මැරෙන කොටියා පුහුණු කර ඇත්තේ එවැනි මානසික මට්‌ටමක්‌ සහිතව ය. මේ ලෝකයේ අවසානයට ඉතිරි වන්නේ තමාත්, තමාට මැරීම පිණිස පවරන ලද මිනිසාත් පමණක්‌ නම් ඔහු මරාගෙන මැරීමට ඒ කොටියා සූදානම් ය.

අපගේ වැටහීම නම් මේ කාරණය නිසි ලෙස තේරුම් කරගෙන ඇත්තේ ආරක්‍ෂක ලේකම් ගෝඨාභය රාජපක්‍ෂ පමණි. දේශපාලනඥයකු නොවන නිසාදෝ ඔහු කසිකබල් රැස්‌වීම්වලට යන්නේ නැත. බෝම්බයට ඇස්‌ නැති බව ඔහු දනී. මේ සිටින්නේ රට බේරාගත් ජනාධිපති බව බෝම්බය දන්නේ නැත. අපට පෙනෙන පරිදි මේ රටේ ප්‍රභූවරුන් ද සිතන්නේ බෝම්බය සිතන පරිදි ය.

(දිවයින - 09/08/26)

ටිප්පණිය - තම ආරක්ෂාව තමන් සලසා ගත යුතු යුතු යයි කීවෝ ගරු ජේ. ආර්. උතුමෝ ය. ඒ කතාව නිසා එතුමා අද වන තුරු බැනුම් අයසයි. එහෙත් එතුමා කී පරිදි ම සිය ආරක්ෂාව සලසා ගත් නිසා නිසි ආයු වැළඳුවේ ය. එහෙත් ඉන් පසු අපේ නායකයෝ සිය ආරක්ෂාව ගැන සිතුවේ නැත.ඒ වරදට බොහෝ දෙනා ජීවිතයෙන් වන්දි ගෙවූහ. ඒ එතුමා ලංකාවට බො‍් කළ බොහෝ දේවල් උග්‍ර විෂ සහිත නිසා ඉවක් බවක් නැතිව සියල්ල ප්‍රතික්ෂේප කිරීමේ වරද ය.

අපේ නායකයෝ ඒ ගැන නැවත නැවත සිතිය යුතු ය. ප්‍රසිද්ධ රැස්වීම් පෙළපාළිවලින් ටික කලකට හෝ ඈත්ව සිටීම සතුරාට කල හැකි දැවැන්ත අභියෝගයකි. ඉන්දියාවේ රන් දෙවොල ග්‍රහනයට ගත් බින්දර්වාලා ප්‍රමුඛ සික්‌ ත්‍රස්‌ත කණ්ඩායම විනාශ කළ ජනරාල් අරුන් විද්‍යාව ත්‍රස්තයින් විසින් ඝාතනය කළේ ඊට බොහෝ කලකට පසු ය.

මහජන සේවය නමැති තඩි බොරුව

උසස්‌ පෙළ විභාගය මේ දිනවල පැවැත්වෙයි. ඉකුත් 22 වැනිදා පැවැතියේ ඉංගිරිසි විෂයයට අදාළ ප්‍රශ්න පත්‍රයයි. එදා කොටිකාවත්තේ රාජසිංහ මහ විදුහලේ ශාලා අංක 2 විභාගාපේක්‍ෂකයන්ට උදේ ලැබීමට නියමිත ප්‍රශ්න පත්‍රය වෙනුවට ලැබුණේ සවස්‌ වරුවට නියමිත ප්‍රශ්න පත්‍රය බව අපට දැන ගන්නට ලැබී ඇත. මෙය මේ රටේ අධ්‍යාපනය තවත් ඉදිරියට යැමකි. සවසට නියමිත ප්‍රශ්න පත්‍රය උදේ දීම තවදුරටත් වර්ධනය කළොත් ඊ ළඟ අපොස උසස්‌ පෙළ විභාගයේ ප්‍රතිඵල විභාගය පැවැත්වීමටත් කලින් ම නිකුත් කළ හැකි ය. තවත්දුරට යන්නේ නම් සිසුන් පාසල් නොයවා ම විභාග පාස්‌ කරවිය හැකි ය. එවිට අධ්‍යාපනය වෙනුවෙන් වැය කරන මුදල ඉතිරි කර ඒ මුදල් රෝහිත බෝගොල්ලාගම ඇමැතිතුමාගේ විදේශ ගමන් සඳහා වැය කළ හැකි ය.

රෝහිත බෝගොල්ලාගම මැතිතුමා ගැන අපට මතක්‌ වූයේ හොඳ වෙලාවටයි. රජයේ වියදමින් එතුමා සහ එම පවුලේ උදවිය කෙන්යාවේ සංචාරයක්‌ කළ බවත් වැය වූ මුදල ඉතා විශාල බවත් ඊයේ (24 දා) දිවයිනේ මුල් පිටුවේ ම පළ විය. බෝගොල්ලාගම මැතිතුමාගේ බිරිය එතුමාගේ පෞද්ගලික ලේකම්වරිය යි. එ බැවින් එතුමිය ඒ ගමන යා යුතුම ය. අම්මා තාත්තා සමඟ දූ දරුවන් ද නොයන ගමනක්‌ වෙතොත් එය සිංහල සංස්‌කෘතිය උල්ලංඝනය කිරීමකි. ඒ නිසා එතුමාගේ ගමනට දූ දරුවනුත් එකතු වන්නට ඇති. මේ පිරිස කෙන්යාවේ වනාන්තරවල සෆාරියක්‌ ගිය බව ද වාර්තා වේ. එයත් සාධාරණ ය. කෙන්යාවේ ගොස්‌ එහි වනාන්තර මැද සිටින බෙල්ල දිග ජිරාෆ්ලා සහ කොට මහත රයිනෝසිරස්‌ලා බැලීමට සෆාරියක්‌ නො යන්නා මෝඩයෙකි. ඇමැතිතුමා තමා ගත් සියලු පියවරවලින් පෙන්නුම් කර ඇත්තේ තමන් මෝඩයකු නො වන බව ය. එහෙත් තමා නොම්මර එකේ නාස්‌තිකාරයකු බව එතුමා ඉතාම අවංක ලෙසත්, සත්‍යවාදී ලෙසත්, හෘදයාංගම ලෙසත්, සෘජු ලෙසත් මේ රටේ බදු ගෙවන ජනතාවට පෙන්වා දී ඇත. පසුගියදා එතුමාගේ දියණියගේ උපන් දින උළෙල ඇමරිකාවේ පැවැති අතර එතුමා ඒ සඳහා රුපියල් ලක්‍ෂ 45 ක්‌ වැය කළේ ලූෘ ඒ අතින් ද එතුමා ඉතාම හොඳ පියෙකි. අද රටේ සිදුවන දේවල හැටියට දෙමාපියන් විදේශගතව සිටියදී ගැහැනු ළමයකුගේ උපන් දින සාදයක්‌ හුදෙකලාව පැවැත්වීම සුදුසු නැත. එ බැවින් යුතුකම් දත් පියකු ලෙස බෝගොල්ලාගම ඇමැතිතුමා සිය දියණියගේ උපන් දින උත්සවය ඇමරිකාවේ පැවැත්වීමට තීරණය කරන්නට ඇති. එකම වරද එම සාදයේ බිල එතුමා විසින් ආණ්‌ඩුවට ඉදිරිපත් කරනු ලැබීම ය.

දැන් අපි මෙතෙක්‌ සාකච්ඡා කළ ප්‍රශ්නයේ යථා ස්‌වරූපය දෙස බලමු. අද මේ රටේ රාජ්‍ය සේවය යනු තඩි බොරුවකි. බොහෝ ඇමැතිවරුත්, මන්ත්‍රීවරුත් කිසිදු හිරිකිතයක්‌ නැතිව තම බිරිය තම පෞද්ගලික ලේකම් ලෙස පත් කර ගනිති. එවිට පෞද්ගලික ලේකම්ට හිමි රජයේ වැටුප වැඩි කලබලයක්‌ නැතිව ම මන්ත්‍රීතුමාගේ ගෙදරට යයි. ඊළඟට පිටරට යන විට තම බිරියත්, දූ දරුවනුත්, මස්‌සිනාත්, බෑණාත්, දියණිය සමඟ විවාහ ගිවිස ගෙන සිටින තරුණයාත් එම තරුණයාගේ පියා සහ මවත් රජයේ වියදමින් ගෙන යැමට මන්ත්‍රීතුමා හෝ ඇමැතිතුමා වගබලා ගනී. මෙවැනි කාරණා සම්බන්ධයෙන් කුසලාන දිනූ ඇමැතිවරයා රෝහිත බෝගොල්ලාගම මැතිතුමා බව (අ) ගෞවරයෙන් සඳහන් කරමු. මේ විදියට ගියොත් මේ රටේ ජාතික ආදයමෙන් කාලක්‌ ම මැති ඇමැතිවරුන්ගේ පිස්‌සු විකාර සඳහා වැය විය හැකි ය. (එසේ නොකරන යහපත් උදවියට අපි හිසනාමා ආචාර කරමු) ජනපතිතුමනි මේ කර්තෘ වාක්‍යය ඔබතුමාගේ අවධානය පිණිසයි.

(දිවයින-09/08/25)

ටිප්පණිය - මේ රටේ මොන ප්‍රශ්න තිබුණ ද අධ්‍යාපන ක්ෂේත්‍රය මෙතරම් පිරිහුණු අවධියක් අපට මතක නැත. රටේ වාසනාවට ඒ වගකීම සිය උර මතට ගෙන ඉල්ලා අස්වී ගෙදර යන ඇමතිවරු අපට නැත. එසේ වුයේ නම් දියවන්නාව මැද පිහිටි සුවිසල් මැදුර විවිධ සම්මන්ත්‍රණ ආදියට බදුදීමට තිබිණි.
ජාතියේ පිනට ලැබුණු මේ ඇමතිවරුන් ලබන භවයේ සුගතියක ම ඉපදේවායි ජනතාව උදේ හවා පතන්නේ සිය පැතුම් කිසිදා ඉටු නොවන බවත් එහි අනෙක් පැත්ත ම සිදුවන බවත් ඔවුන් ටක්කෙට ම දන්නා හෙයිනි. විශේෂයෙන් ගරු බෝගොල්ලාගම ඇමතිතුමා වැනි උතුමන්ගේ හතර වරිගය ම සදෙව්ලොව ඉපදේවායි ජනතාව නිතර ප්‍රාර්ථනා කරනු ඇත. ඒ වෙනුවෙන් එතුමා නිතර පිං දහම් කරමින් ජනතා ආශීර්වාදය ලබා ගනියි. ජනාධිපතිතුමාගෙන් ජනතාව කරන එක ම ඉල්ලීම මෙවන් ඇමතිවරු තව දුසිමක් රටට ලබා දෙන්න යන්න පමණි.

Monday, August 24, 2009

විසඳුම ගැන තදියම කිම !

දේශපාලන විසඳුමකින් තොරව ප්‍රභාකරන්ගේ ත්‍රස්‌තවාදය විනාශ කළ නොහැකි යෑයි පාරම්බෑ නඩය, ප්‍රභාකරන් විනාශ කිරීමත් සමඟ "බලය බෙදීමේ" වියරුවෙන් පෙළෙමින් ඉන්න බව පෙනේ. මේ නඩයට ඉන්දියානු රෝ ඒජන්තයන්, බටහිර INGO ඒජන්තයන්. දේශීය NGO කාරයන්, අවලංගු වූ මාක්‌ස්‌වාදීන්, තවලම් ගිය නෙලුම් මල් ඉස්‌සූ නිවටයන්, ඉංගිරිසි පුවත්පත්වලට ලියන ලිපි මගින් මේ රටේ ජනමතය වෙනස්‌ කළ හැකි යෑයි අදහන නිකමුන් බවට පත්වී ඇති විශ්‍රාම ගිය රජයේ නිලධාරීන්, තානාපති ආදීත් ඇතුළු වෙයි. අවලංගු වෙමින් යන එ. ජා. ප. යද මොවුන් පිටුපසින් ඇත.

"ඔන්න මම අහවල් දිනයේ 13 හෝ 13+ සංශෝධනය ක්‍රියාත්මක කරනවා" යන්න මහින්ද රාජපක්‍ෂ ලවා කියවා ගන්නාතුරු මොවුන්ට නින්ද නොයන බව පෙනේ.

මේ නින්ද නොයන වියරුව මුලින්ම එළිදක්‌වන ලද්දේ ප්‍රභාකරන්ගේ හතුරකු වුව දෙමළ ජාතිවාදයේ හතුරෙකු නොවන දයාන් ජයතිලක විසිනුයි. එක්‌සත් ජාතීන් හමුවේ එදා ගෙන ආ යෝජනාව මගින් මහින්ද රාජපක්‍ෂ ජනාධිපතිවරයා මේ උගුලේ සිර කිරීමට ඔහු සටකපට අයුරින් වග බලා ගත්තේය. තවදුරටත් කට මැත දොඩවන්නට නොදී ඔහු කැඳවා ඒ කටමැත දෙඩවීම ඉංගිරිසි පත්තරවලට සීමාකර තැබීම රජය ගත් නුවණැති පියවරකි. ඉංගිරිසි පත්තරයේ පළවන හෑලිවලට මේ රටේ ජනමතය වෙනස්‌ කිරීම "අධෝ මුඛයෙන් පිටවෙන වාතයකට" වැඩි ශක්‌තියක්‌ නොමැති බව මේ තුප්පහියන් නොදනිති. ඉංගිරිසි පත්තරය සිය පිළිබිඹුව දෙස බලා උජාර්වීමට හොඳ කැඩපතක්‌ බව නම් ඇත්තකි.

මේ ජාතිද්‍රෝහී නඩයට සිය බෙදුම්වාදී ඉල්ලීම යළි කරළියට ගෙන ඒමට මෑතකදී උතුරේ පැවැත්වූ ඡන්දය හොඳ තල්ලුවක්‌ දී ඇති බව පෙනේ. යාපනයේ ජනයාගෙන් සියයට විස්‌සක්‌ පමණක්‌ ඡන්දය දී තිබීමටත්, වවුනියාවේ ටී. එන්.ඒ. පක්‍ෂය - කොටි වලිගය බලයට ඒමටත් හේතුව මොවුන් පෙන්වා දෙන අයුරු මහින්ද රාජපක්‍ෂ නොවලහා කට ඇර 13 සංශෝධන ක්‍රියාත්මක කරන බවට සපථ නොවීමයි. මහින්ද රාජපක්‍ෂ එසේ කළා නම් ඒ ජනතාවගේ හද - මනස දිනාගෙන ජයග්‍රහණය අත්පත් කර ගැනීමට ඔහුට හැකිවන්නට තිබිණි. මොවුන්ගේ තර්කය මෙවැනි වෙයි.

රජය විසින් පසුගියදා කඩිමුඩියේ උතුරේ ඡන්ද පැවැත්වීමට තීරණය කළේ කුමක්‌ නිසාද යන්න අපට නම් ප්‍රහේලිකාවකි. එවැන්නක්‌ කිසි ලෙසකින් අවශ්‍යව තිබුණේද? ඒ අනුවන ක්‍රියාවට රජය තල්ලු කරන්නට ඇත්තේ බැටළු හම් පොරවා ගෙන රජය ඇතුළේම සිටින අර ජාතිද්‍රෝහී නඩයේම කොටස්‌ විසින් විය හැකියි. රජය ඒ මගින් කරගත්තේ නිකරුණේ හොස්‌ස බිම උලාගෙන අර ද්‍රෝහීන්ට සිය අධම ප්‍රචාරය ගෙන යැමට අවස්‌ථාවක්‌ ලබාදීමයි. පිටරට ජනමාධ්‍ය ඒ ද්‍රෝහීන්ගේ අධම ප්‍රචාරය පුන පුනා එළිදැක්‌වූ සැටි අපි පසුගියදා දුටුවෙමු.

13 සංශෝධන ක්‍රියාත්මක කිරීම මගින් උතුරේ ජනතාවගේ හද - මනස දිනාගෙන ඔවුන් රජයට පක්‍ෂපාතී පිරිසක්‌ බවට පත්කර ගත හැකිය යන මතය අප විසින් ගැඹුරින් සලකා බැලිය යුතු වෙයි.

මෙහිදී පළමුවෙන්ම කිව යුත්තේ කිසිවකුගේ හද - මනස දිනා ගැනීම "ඇඳුම් මාරුකිරීමක්‌" වැනි සෙල්ලමක්‌ නොවන බවයි. එක ඇඳුමක්‌ ගලවා අලුත් ඇඳුමක්‌ ඇඟ ලා ගැනීම වැනි ලෙහෙසි පහසු කටයුත්තක්‌ නොවේ එය. එක මානසිකත්වයකින් තව මානසිකත්වයකට පත්වීම මානසිකව විප්ලවයකට වඩා මානසික පරිණාමයකි. පුද්ගලයකුගේ ජීවිතයේ පවා එවැන්නක්‌ සිදුවන්නේ හිටි ගමන් නොව කාලයේ ඇවෑමත් සමඟයි. පෙරළි කීපයකින් පසුවයි. සෙමෙන් ක්‍රියාත්මක වන සිද්ධි මාලාවක අවසාන ප්‍රතිඵලයක්‌ ලෙසයි. පුද්ගලයකුගේ හද - මනස වෙනස්‌ වන්නේ මෙසේ නම් සාමූහික පිරිසකගේ හද - මනස වෙනස්‌ වන්නේ කෙසේද යන්න ගැන අටුවා ටීකා අවශ්‍යද? ඒ සඳහා කොතරම් සිද්ධි මාලාවක්‌ අවශ්‍ය වනු ඇත්ද? කොතරම් කාලයක්‌ අවශ්‍ය වනු ඇද්ද?

13 සංශෝධනය ක්‍රියාත්මක කරන බවට සඵත වීම මගින් උතුරේ ජනතාවගේ හද - මනස දිනා ගත හැකිය යන ප්‍රලාපය මහින්ද රාජපක්‍ෂ රජයට ඉදිරිපත් කිරීම මගින් මේ ජාතිද්‍රෝහී අධමයන් බලාපොරොත්තු වන්නේ මහින්ද රාජපක්‍ෂ ජනාධිපතිවරයා හිරකර තැබීම බව කිව මනා නොවේ. ඉන්දියාව ද ඒ උපායම යොදවා මහින්ද රාජපක්‍ෂ හිරකර තැබීමට කටයුතු කර තිබේ.

13 සංශෝධනය ක්‍රියාත්මක කිරීම මගින් උතුරේ ඉන්න ජනතාවගේ හද - මනස දිනාගත හැකි වේ යෑයි මොහොතකට පිළිගනිමු. ඒත් ප්‍රශ්නය නම් එසේ දිනා ගැනීමට හැකි හද - මනසක්‌ උතුරේ ඉන්නා අසරණ පීඩිත ජනතාවට ඇද්ද යන්නයි. පසුගිය කාලය තුළ ඔවුන් හැසිරුණු අයුරින් නම් අපට පෙන්වන ලද්දේ ඔවුන් එසේ හද - මනසක්‌ ඇති පිරිසක්‌ නොවන බවයි. ඔවුන් එවැනි හද - මනසක්‌ ඇති පිරිසක්‌ වී නම් ප්‍රභාකරන් මිනීමරුවාට තුන් ලක්‍ෂයක්‌ පමණ වූ ඔවුන් වර්ග කිලෝමීටර් විස්‌සක්‌ තුළ ගාල්කර තබාගෙන සිටීමට හැකිවනු ඇද්ද? එපමණක්‌ නොවේ, ප්‍රභාකරන් ඉදිකර තිබූ කටුකම්බි වැටවල් විනාශ කළ සැනින් ඔවුන් ගව රැලක්‌ සේ එළියට ඇදී ආ සැටි ද අපි දුටුවෙමු.

මෙ නයින් බලන විට අපට නොකැමැත්තෙන් හෝ එළැඹිය හැකි නිගමනය නම් උතුරේ වසන ඒ පීඩිත ජනතාව තමනට කියා හද - මනසක්‌ නැති, තමන්ට කියා පෞරුෂයක්‌ මෙතෙක්‌ හිමිකර නොගත්, අධම නායකයන් විසින් පාගාගෙන පාලනය කිරීම නිසා මනු - සත්ව විශේෂයක්‌ බවට පත්කර ඇති පිරිසක්‌ බවයි. එවැනි තිරිසන් පාලනයකට නතු කරන ලද සත්වයා ඉන් මුදවා ගත්තද පැරැණි පුරුදු අනුව හැසිරෙන බව අපි දනිමු. වව්නියාවේ දී ටී. එන්. ඒ. කොටි වලිගය ජයග්‍රහණය කළේ ඒ හේතුව නිසයි. උතුරේ රජය ගෙන යන සංවර්ධනය ඔවුන්ගේ හද - මනසට තබා සිරුරට දැනේනනට පටන් ගෙන නැති මේ මොහොතේ ඔවුන් එසේ හැසිරීම අපගේ පුදුමයට හේතු විය යුතු නොවේ.

මෙහිලා තවත් දෙයක්‌ ද අප විසින් දැක ගත යුතු වෙයි. එනම් උතුරේ ඉන්නා මේ අසරණ පීඩිත ජනතාව දකුණේ ඉන්නා ජනතාවගෙන් වෙනස්‌ පිරිසක්‌ බවයි. සියවස්‌ ගණනක්‌ උතුරේ පීඩතයන් අත්විඳින ලද කුල පීඩනය, පීඩිතයන් ලෙසවත් ඔවුන්ට නොවැටහේ දකුණේ ඉන්න ජනතාව කිසිවකුගේ අණසක අනුව එසේ නැටවෙන පිරිසක්‌ නොවේ. ඔවුන්ට හද - මනසක්‌ තිබේ. අස්‌ම්මානයක්‌ තිබේ. ඔවුන් සතු මේ හද - මනස ඔවුන්ගේ ප්‍රගමනයට මෙන්ම ප්‍රතිගමනයටද ඇතැම් අවස්‌ථාවලදී හේතු වී ඇති බව අපි දනිමු. ඒ කෙසේ වෙතත් දකුණේ ජනතාව සතු හද - මනස උතුරේ පීඩිත ජනතාව මෙතෙක්‌ හිමිකර ගෙන නොමැති බව අප විසින් පිළිගත යුතුයි. දකුණේ ජනතාව ඡේවීපී ත්‍රස්‌තවාදයට මුහුණ දුන් ආකාරය උතුරේ ජනතාව ප්‍රභාකරන්ගේ ත්‍රස්‌තවාදයට මුහුණ දුන් ආකාරය සමඟ සසඳා බැලීමෙන් මෙය තවදුරටත් පැහැදිලි වනු ඇත. බාගෙවිට දකුණේ ජනතාව විසින් ඔවුන්ට ලබාදිය යුත්තක්‌ වන්නට පුළුවන.

මහින්ද රාජපක්‍ෂ ජනාධිපතිවරයා මේ ජාතිද්‍රෝහී නඩවල කීම් බස්‌වලට කන්නොදී, සිය පළමු පියවර වශයෙන් උතුරේ ජනතාව සුඛිත මුදිත කිරීමේ නියෑළී සිටීම අතිශය ප්‍රඥසම්පන්න වෙයි. රජය විසින් දියත් කර ඇති සංවර්ධනය අප විසින් දැකිය යුත්තේ අර ජනතාවට හද - මනසක්‌ දීමේදී ඉටුකළ යුතු පළමු පියවර ලෙසයි. හද - මනස පහළ වන්නේ කුස පිරුනොත් පමණි. බුදුන්වහන්සේ ද හද - මනසට ආමන්ත්‍රණය කළේ ගැත්තාගේ කුස පිරවීමට සැලැස්‌වීමෙන් පසුවයි. උතුරේ ඉන්න පීඩිතයාගේ කුස පිරුණු පසු ඔහුට හද - මනස පහළ වනු ඇත. එවිට ඔහු සමඟ සංවාදයකට එළඹීමට හැකිවනු ඇත. ඉන් අනතුරුවයි ඔහු දේශපාලන විසඳුමක්‌ පතන්නේද, එසේ පතන්නේ නම් එය කෙබඳු දේශපාලන විසඳුමක්‌ ද යන්න අපට තෝරා බේරා ගැනීමට හැකිවනු ඇත්තේ. එසේ නොමැතිව ඔවුන් පාලනය කරන ජාතිවාදී අධම ගොපල්ලා සමඟ කරන සංවාදයක්‌ මගින් එය දැනගත හැකි නොවේ.

මේ ක්‍රියාදාමයට අඩු තරමින් අවුරුද්දක්‌ හෝ ඊට වැඩි කාලයක්‌ ගතවනු ඇත. එහෙත් දේශපාලන විසඳුම් ගැන කතා කිරීම පවා අවශ්‍ය නොවේ. කොටින් කියතොත් දේශපාලන විසඳුම් දීමට කිසිම තදියමක්‌ නොමැතියි.

මේ රටේ ජනතාව විසින් අද කළ යුතුව ඇත්තේ මේ රට ත්‍රස්‌තවාදයෙන් මුදාගත් මහින්ද රාජපක්‍ෂ රජය ආරක්‌ෂා කර ගන්නා අතරම එය පැහැදිලි දර්ශනයක්‌ වෙත යොමුකර අප පතන මානව හිතවාදී සමාජය - ආර්ථික රටාව ඉටුකරන ලෙස බලකර සිටීමයි. ඒ සඳහා වෙනම රජයක්‌ පිහිටුවා ගැනීම අවශ්‍ය යෑයි ඇතැමෙකුට සිතුනද එවැන්නක්‌ ඉටුකර ගැනීමේ අවස්‌ථාවක්‌ පේන තෙක්‌ මානයේ දකින්නට නොමැතියි. මේ රටේ ජනතාව ඊට කිසි ලෙසකින් සූදානම් බවක්‌ අපට නොපෙනේ. පසුගිය කාලය තුළ පැවැති පළාත් සභා මැතිවරණ විසින් පෙන්නුම් කරන්නේ ඒ සත්‍යයයි. දකුණු පළාත් සභා ඡන්දයෙන් 10% එජාපයට නොලැබෙනු ඇතැයි රුක්‌මන් සේනානායක මහතා පවසා ඇති බව දුටුවෙමු. (එතුමාට එසේ පෙනුණේ තවමත් සේනානායක ලේ ඔහුගේ සිරුර තුළ සංසරණය වන නිසා විය යුතුය.)

මේ රටේ ජනතාව විසින් කළ යුත්තේ එජාපය සියයට දහයට බැස්‌සීම නොව එජාපය දේශපාලන ක්‍ෂේත්‍රයෙන් බැහැර කිරීමට කටයුතු කිරීමයි. එජාපය පසුගිය අඩසියවස තුළ ජාතිකත්වය හළ විජාතික බලවේග වෙනුවෙන් පෙනී සිටින පක්‍ෂයක්‌ වූ බව ඉතා මැනවින් ඔප්පු කර තිබේ. ඒ පක්‍ෂය තවදුරටත් සේනානායකලා බිහි කළ පක්‍ෂය නොවේ. මේ රටේ ජනතාව වෙනුවෙන් පෙනී සිටීමේ සදාචාරාත්මක අයිතිය ඒ පක්‍ෂය විසින් අහිමිකර ගෙන තිබේ. එජාපය දේශපාලන ක්‍ෂේත්‍රයෙන් බැහැර කරන ලෙස ඉල්ලන ඉල්ලීම ජාතිය වෙනුවෙන් කළ යුතුව ඇති ඉතා සාධාරණ ඉල්ලීමකි.

එජාපය එසේ බැහැර කිරීම මගින් කරුණු දෙකක්‌ ඉටුකර ගැනීමට හැකිවනු ඇත. පළමුවැන්න නම් විජාතික එජාපය වෙනුවට ජාතික ප්‍රබල විරුද්ධ පක්‍ෂයක්‌ රට තුළින් මතුකර ගැනීමට අවස්‌ථාව පෑදීමයි. (එවැනි පක්‍ෂයක්‌ අවශ්‍ය ද යන්න වෙනම සලකා බැලිය යුත්තකි) දෙවැන්න නම් මහින්ද රාජපක්‍ෂ රජය ඔය කියන ඒකාධිපතිවාදය වෙත යැමට සැරසෙන්නේ නම් එය වළක්‌වාලීමයි. රජයක්‌ ඒකාධිපතිවාදය වෙත යන්නේ ජනතා බලයෙන් පිරිහුණු විට විනා ජනතා බලය ලැබෙනවිට නොවේ. එපමණක්‌ නොව මහින්ද රාජපක්‍ෂ ජනාධිපතිවරයාගේ හස්‌තය ශක්‌තිමත් කිරීම මගින් අද මේ රජය තුළ නොඅඩුව ඉන්න අවස්‌ථාවාදීන්, හොර දෙටුවන්, දූෂිතයන්, වනචරයන් පන්නා දැමීමටද හැකිවනු ඇත.

මේ එළඹ ඇති මොහොතේ නිසිඵල නෙළා ගැනීමට හැකි වනු ඇත්තේ ඉහතින් දැක්‌වූ ක්‍රියාමාර්ග අනුගමනය කිරීමෙන් විනා ජාතිද්‍රෝහීන්ගේ ඇනවුම අනුව රට බෙදන දේශපාලන විසඳුම්දීමට තදියම් වීමෙන් නොවේ.

ගුණදාස අමරසේකර
(ඉරිදා දිවයින_09/0822)

ටිප්පණිය- බලය බෙදීම ෆෙඩරල්කරණය ආදි විසඳුම් අවශ්‍ය වන්නේ සාමාන්‍ය දෙමළ ජනතාවට නොව ඒ ජනතාව මත නැග පාලකයින් ලෙස වැජඹීමේ උවමනාව ඇති අයට ය. මෑත ද ඔවුන් හමුවට ගිය රජයේ මැති ඇමතිවරුන්ගෙන් ඔවුන් ඉල්ලා තිබුණේ පැය 24ම ධීවර කර්මාන්තයේ යෙදීමට අවසරය, සාධාරණ වෙළඳපොළක්, සාධාරණ මිලට භාණ්ඩ ආදියයි. ඔවුන් ස්වයං නිර්ණය අයිතියක් ගැන කතා කර තිබුණේ නැත. පලාත් සභා ඉල්ලා තිබුණේ නැත. ඔවුන්ට අවශ්‍ය වන්නේ සිය ජීවන පැවැත්ම යහපත් කරගැනීමට අවශ්‍ය මූලික පහසුකම් ය. රජය කළ යුත්තේ ඒ ජනතා මතයට හිස නමා ඒ වෙනුවෙන් ක්‍රියා කිරීම මිස අවස්ථාවාදීන් සහ මෝස්තරවාදීන් ගහන පදයට නැටීම නොවේ.

Friday, August 21, 2009

දෙමළ ප්‍රශ්නය සහ බලය බෙදීම

දෙමළ ජනතාවට ප්‍රශ්නයක්‌ වී ඇත්තේ ඔවුන් දේශපාලනික වශයෙන් බල රහිත වීම යෑයි සමහර විචාරකයින්ගේ මතය වී ඇති බව පෙනේ. දෙමළ ජනතාව මේ නිසා කොන් වී ඇති බවක්‌ ඔවුනට මහත් සේ දැනෙන බව පැවසේ. මෙසේ සිදුවී ඇත්තේ තීරණ ගැනීමේ අයිතිය ඔවුන් සතු නොවන නිසා බව එම විචාරකයන්ගේ අදහස වී ඇත. දෙමළ ජනතාව නියෝජනය කරන මන්ත්‍රීන් සංඛ්‍යාව පිළිබඳව ඔවුන්ගේ ජන අනුපාතවලට අනුලෝමව බැලුවිට සෑහීමකට පත්විය හැකි බව පෙනේ.

තවද දෙමළ ජනතාවගේ ආගම, සංස්‌කෘතිය සහ ඔවුන් ජීවත් වන පළාත්වල සංවර්ධනය සොයා බැලීම පිණිස ඇමැතිවරුන් කිහිපදෙනෙක්‌ද පත් කර ඇත. විශේෂයෙන්ම සඳහන් කළ හැක්‌කේ ශ්‍රී ලංකාවේ ආණ්‌ඩුක්‍රමයේ බලවත් අංගයක්‌ වන විධායක ජනාධිපතිවරයා ඡන්දයකින් පත්කර ගැනීමට සුළු ජාතීන්ගේ ඡන්ද අත්‍යවශ්‍ය බවය. ශ්‍රී ලංකාවේ ජනාධිපතිවරයාට විශාල බලයක්‌ ව්‍යවස්‌ථාව මගින් ලබා දී ඇත.

ඒ මගින් දෙමළ ජනතාවගේ ස්‌වාධිපත්‍ය ප්‍රකාශ කිරීමක්‌ සිදුවන බව කිවහැක. එලෙසම දේශපාලන බලය ස්‌ථානගත වන ව්‍යවස්‌ථාදායක, විධායක සහ අධිකරණ යන සංස්‌ථා ත්‍රිත්වය තුළද පවතින දෙමළ නියෝජනය පිළිබඳව සෑහීමකට පත්විය හැකි බව පෙනේ. එනමුත් දෙමළ ජනතාව දේශපාලනිකව බල රහිත වී ඇති බව පැවසේ. පාර්ලිමේන්තුවේ දෙමළ නියෝජිතයන්ගේ සංඛ්‍යාව සුළුතරයක්‌ වීම නිසා ඔවුන්ට අදාළ ප්‍රශ්න පිළිබඳව වුවද තීරණයක්‌ ගැනීමට ඔවුන්ට නොහැකි වීම මීට හේතුව බව පෙන්වා දී ඇත. මේ ප්‍රශ්නය විසඳීම පිණිස දෙමළ ජනතාව ජීවත් වන ප්‍රදේශවලට දේශපාලන බලය බෙදා දිය යුතු යෑයි මෙම විචාරකයන්ගේ අදහස වී ඇත. එවිට ඔවුන්ගේ ප්‍රශ්න පිළිබඳව ඔවුන්ට තීරණ ගත හැකිය.

බලය බෙදීම දෙමළ ප්‍රශ්නයට විසඳුමක්‌ වීමට නම් ඔවුන් ජීවත් වන ප්‍රදේශවල බහුතරය දෙමළ විය යුතුය. එසේ නොමැතිව ඔවුන් සුළුතරයක්‌ වේ නම් තීරණ ගැනීමේ බලය ඔවුනට ලැබෙන්නේ නැත. එසේම දෙමළ ජනයාගෙන් සෑහෙන ප්‍රමාණයකට තීරණ ගැනීමේ අයිතිය මේ විසඳුමෙන් ලබාදිය යුතුය. දේශපාලන බලය බෙදීම වැනි අත්‍යන්ත බලවත් වෙනස්‌කමක්‌ කළ යුත්තේ එය සාධාරණීකරණය කළ හැකිදැයි සලකා බලාය. දෙමළ ජනතාවගේ බහුතරයකට තීරණ ගැනීමේ බලය එම විසඳුමෙන් ලැබෙන්නේ නැති නම් එය සාධාරණීකරණය කළ නොහැක.

දෙමළ ජනතාව බහුතරයක්‌ ලෙස පදිංචි වී සිටින්නේ කුමන පළාත්වල දැයි යන්න මෙම ප්‍රශ්නයට අදාළ ඉතාමත් වැදගත් කරුණක්‌ බව කිව යුතුය. දෙමළ ජනතාවගෙන් කෙතරම් ප්‍රමාණයකට බලය බෙදීම් හේතුවෙන් තීරණ ගැනීමේ හැකියාව ලැබේදැයි කිව හැක්‌කේ දෙමළ ජනතාව කෙතරම් ප්‍රමාණයක්‌ ඒකරාශී වී සිටිදැයි සොයා බැලීමෙනි. ඔවුන්ගෙන් අඩකටත් වැඩි ප්‍රමාණයක්‌ ජීවත් වන්නේ උතුර සහ නැගෙනහිර පළාත්වලින් පිටත බව සංඛ්‍යාලේඛන පෙන්වා දෙයි. උතුර සහ නැගෙනහිර පළාත්වලින් පිටත ජීවත් වන දෙමළ ජනයා බහුතරයක්‌ ලෙස ඒකරාශී වී සිටින පළාත් නොමැති බවද පෙනී යයි.

නැගෙනහිර පළාතේද දෙමළ ජනතාව බහුතරයක්‌ නොවන බව පෙනේ. එම පළාතේ සිංහල හා මුස්‌ලිම් ජනතාව එකතු වූ විට දෙමළ ජනතාව සුළුතරයක්‌ වන බව සංඛ්‍යාලේඛනවලින් පෙන්වාදිය හැකිය. දෙමළ ජනයා බහුතරයක්‌ වන තරමට ඒකරාශී වී සිටින්නේ උතුර පළාතේ පමණක්‌ බව පෙනේ. උතුර පළාතේ ජීවත් වන දෙමළ ජනතාවගේ සංඛ්‍යාව මුළු දමිලයින්ගෙන් තුනෙන් එකකට වඩා ස්‌වල්පයක්‌ වැඩිය.

මින් පෙනී යන්නේ පාලන බලය බෙදීමෙන් සෙතක්‌ සිදුවන්නේ නම් එසේ සිදුවන්නේ දෙමළ ජනතාවගෙන් තුනෙන් එකකට වැනි සුළු ප්‍රමාණයකට පමණක්‌ බවය. එසේ නම් එය සාධාරණීකරණය කළ හැකිද? දේශපාලන බලය බෙදීම වනාහී සුළු පටු වෙනසක්‌ සිදුකරන්නනක්‌ නොවේ. ජනතාවගේ පරමාධිපත්‍යය දුර්වල කිරීමට ඉවහල් විය හැකි වෙනසක්‌ ඉන් සිදුවිය හැකි බව සැලකිය යුතුය.

ජෝන් ලොක්‌ නැමති ශ්‍රේෂ්ඨ ඉංග්‍රීසි ජාතික දේශපාලන දාර්ශනිකයාගේ (17 වෙනි ශ.ව.) අදහසට අනුව දේශපාලන බලය පිහිටා ඇත්තේ ජනතාවගේ පරමාධිපත්‍යය මතය. ලොක්‌ වනාහි දේශපාලන බලය පිළිබඳ ඉතාම වැදගත් සංකල්ප ඉදිරිපත් කළ විද්වතෙකි. ව්‍යවස්‌ථාදායකය. විධායකය සහ අධිකරණය යන සංස්‌ථා ත්‍රිත්වය ප්‍රධාන ලෙස ඔහුගේ නිපැයුමකි. එම සංස්‌ථා අතර තිබිය යුතු බල තුලනය ගැන හෙතෙම පවසා ඇත්තේ එය ඉතා ප්‍රවේශමෙන් රැකිය යුතු බවය. පරමාධිපත්‍ය ජනතාවගේ සාමුහික ශක්‌තියක්‌ බවත් දේශපාලන බලය තුළින් එය රැකෙන බවත් හෙතෙම සඳහන් කොට ඇත.

දේශපාලන බලය සංගතික රාමුවක්‌ තුළ පවතින කල පරමාධිපත්‍ය රැකෙන බවත් එය බෙදා වෙන් කිරීමට තුඩුදෙන ක්‍රමයක්‌ පිහිටුවීමෙන් පරමාධිපත්‍ය දුර්වල වන බවත් ජෝන් ලොක්‌ පවසා ඇත. ජනාධිපති ක්‍රමය සංගතික ශක්‌තියක්‌ ඇති කිරීමේ එක්‌ මාර්ගයක්‌ වන අතර පාලන බලය බෙදීම වනාහී වෙන් කරන්නට තුඩුදෙන ශක්‌තියක්‌ ඇති කිරීමේ මාර්ගයක්‌ බව සැලකිය යුතුය. ජනාධිපතිවරණයකදී සුළු ජාතීන්ගේ ඡන්දය යම් ප්‍රමාණයකට ලබා නොගෙන කෙනකුට ඡන්දය ජය ගත නොහැක.

එසේ පත් කරගන්නා ජනාධිපතිවරයකු සුළු ජාතීන්ගේද ජනාධිපති යෑයි ඔවුන්ට හැඟීමක්‌ ඇති විය හැක. ජනාධිපතිවරයාට අයත් වන විධායක බලතල අතිමහත් වන හෙයින් විධායකය තුළ සුළු ජාතීන්ගේ නියෝජනය බලගතු බව කිව හැක. මේ ලෙසින් රටේ ජීවත් වන ජන කොටස්‌ සැමගේ සාමූහික පරමාධිපත්‍යය ශක්‌තිමත් වන බව පෙන්වාදිය හැකිය. දේශපාලන බලය බෙදීම තුළින් සිදු වන්නේ මීට විරුද්ධ වූ ක්‍රියාවලියකි.

විධායක ජනාධිපතිවරයා වෙත හිමි වී ඇති බලය හේතුවෙන් තනි පුද්ගලයකු තුළ බලය කේන්ද්‍රගතවීම වැළැක්‌විය නොහැක. මෙම ක්‍රමය තුළ දූෂිතභාවය ඇතිවන බවත් එම නිසා ඉන් අවැඩක්‌ සිදුවන බවත් ජනාධිපති ක්‍රමයට විරුද්ධ වන්නන්ගේ මතය වී ඇත. එනමුත් සුළු ජාතීන්ගේ අයිතිවාසිකම් රැකීමට ඇති මාර්ග අතරෙන් මෙම ක්‍රමය ඉතා හොඳ එකක්‌ බව පිළිගැනේ. ඉන් සුළු ජාතීන්ගේ අයිතීන් රැකෙන අතර මහා ජාතීන්ට හානිකර දෙයක්‌ සිදු නොවේ. තවද එම ක්‍රමය සෑම ජාතීන්ගේම එකමුතුව ශක්‌තිමත් කරන අතර ඔවුන්ගේ සාමූහික පරමාධිපත්‍යය තහවුරු කරයි.

සුළු ජාතීන්ගේ අයිතිවාසිකම් සුරැකීම පිණිස එක්‌සත් ජාතීන්ගේ සම්මේලනය විසින් සම්මත කරගන්නා ලද ප්‍රකාශනයට (18.12.1992 47/135 වැනි සම්මුතිය) අනුව ඔවුන්ගේ භාෂාව, ආගම, සංස්‌කෘතිය, අධ්‍යාපනය, ආර්ථිකය සහ එවැනි මූලික අයිතීන් සුරක්‍ෂිත කොට වැඩිදියුණු කිරීමට සෑම රජයක්‌ම බැඳී සිටියි. තවද සුළු ජාතීන්ගේ ප්‍රජා සහ දේශපාලන අයිතීන් සුරැකීම පිණිස සම්මත කරගන්නා ලද අන්තර් ජාතික ගිවිසුමේ 27 වැනි වගන්තියට (16.12.1966 දිනැති අංක 22004 (ඞඞෂ) සම්මුතිය) අනුව සුළු ජාතීන්ට රටේ අණ පනත් සම්පාදනය කිරීම සහ තීරණ ගැනීමේ ක්‍රියාවලියට සහභාගිවීමට රජය විසින් ඉඩ සලසා දිය යුතුය.

එක්‌සත් ජාතීන්ගේ සංවිධානය විසින් ප්‍රකාශිත ඉහත සඳහන් සම්මතවලට අනුකූලව ශ්‍රී ලංකා රජයයන් ක්‍රියාකොට ඇති බව පෙනේ. දෙමළ ජනතාවගේ භාෂාව රාජ්‍ය භාෂාවක්‌ ලෙස ව්‍යවස්‌ථාව මගින් ප්‍රකාශකොට ඇත. ඔවුන්ගේ ආගම සංස්‌කෘතිය සහ අනිකුත් අයිතීන් සුරක්‍ෂිත කරන බවට ව්‍යවස්‌ථාව මගින් ප්‍රතිඥ දී ඇත.

එක්‌සත් ජාතීන්ගේ සංවිධානය විසින් බලය බෙදීම පිළිබඳ ප්‍රකාශන නිකුත්කොට නොමැත. සුළු ජාතීන්ගේ අයිතීන් සුරැකීම පිණිස දේශපාලන බලය බෙදාදිය යුතු යෑයි එම සංවිධානය විසින් මොනම අවස්‌ථාවකදීවත් තීරණයක්‌ ගෙන නොමැත. සුළු ජාතීන්ට සර්වජන ඡන්දය හිමිවන්නේ නම් එම මාර්ගයෙන් දේශපාලන බලය අවශ්‍ය ප්‍රමාණයට ඔවුන්ට ලැබී ඇති බව එම සංවිධානය විශ්වාස කරන බව මින් පෙනී යයි.

ඡන්දය පාවිච්චි කිරීමේ නිදහස ද නියෝජිතයන් තෝරා ගැනීමේ නිදහස ද එම නියෝජිතයන් ඔවුන්ගේ ප්‍රශ්න ඔවුන්ට අවශ්‍ය පරිදි විසඳන්නේ නැත්නම් එම නියෝජිතයන් වෙනුවට වෙනත් නියෝජිතයන් තෝරාපත් කර ගැනීමේ නිදහස ද සුළු ජාතීන් සතුව ඇත. සෑම රජයකින්ම එක්‌සත් ජාතීන්ගේ සංවිධානය බලාපොරොත්තු වන්නේ එම නිදහස සුළු ජාතීන්ට ලබාදීම බව පෙනී යයි. සුළු ජාතීන්ට ඉන් ලැබෙන දේශපාලන බලය ප්‍රමාණවත් බවද එම සංවිධානය අදහස්‌ කරන බව කිව හැක.

ශ්‍රී ලංකාව දෙකඩ කිරීමේ ව්‍යාපාරයක්‌ තිබෙන බව අප දනිමු. එය රට තුළ පමණක්‌ නොව ලෝක ව්‍යාප්ත බවද නොරහසකි. එම ව්‍යාපාරයට ඉතාමත්ම බලසම්පන්න රටවල් අනුග්‍රහය දක්‌වන බව පෙනේ. ඔවුන්ගේ සැඟවුණු අභිප්‍රායයන් මොනවාදැයි සිතා ගැනීම එතරම් අසීරු කරුණක්‌ නොවේ.

සැමදා යටත්විජිතවාදය වංක ලෙස ක්‍රියාවට නඟන එම රටවල්වලට අවශ්‍යව ඇත්තේ ශ්‍රී ලංකාවේ පරමාධිපත්‍යය දුර්වලකොට දෙකඩ කිරීමේ ව්‍යාපාරය ඉදිරියට ගෙන යැමය. ඉන්දියන් සාගරයේ වැදගත් ස්‌ථානයක පිහිටා ඇති ශ්‍රී ලංකාව අනාගතයේ ඇති විය හැකි සීතල යුද්ධයකදී ප්‍රයෝජනයට ගත හැකි වන පරිදි දුර්වල කොට තැබීම ඔවුන්ට අවශ්‍යව ඇත. දේශපාලන බලය බෙදීම වනාහී මෙම ව්‍යාපාරයට පාර කපන වැඩපිළිවෙළක්‌ බව සිහියේ තබාගත යුතුය.

මහාචාර්ය එන්.ඒ.ද.එස්‌. අමරතුංග
(දිවයින_09/08/21)

ටිප්පණිය_බලය බෙදීම යනු අධිරාජ්‍යවාදී අවශ්‍යතා වෙනත් මුහුණුවරකින් කරළියට පැමිණිමත් බව අපි පුනපුනා කීවෙමු. මේ ලිපියෙන් එය මැනවින් පැහැදිළි කෙරේ. වර්ග බේදයකින් තොරව ජනතාව පෙළන ප්‍රශ්නය සම්පත් බෙදී යාමේ විෂමතාවයි. අප විසඳුම් දිය යුත්තේ ඊට ය. ඊට විසඳුම රට සමස්තයක් ලෙස සංවර්ධනය කරා ගෙන යාමයි. කොළඹට මෙන් ම ගමට ද කිරි ලබාදීමයි.

Thursday, August 20, 2009

ආණ්‌ඩුවේ මුදලින් සැප ගැනීම

රාජ්‍ය ආයතන විස්‌සක දූෂණ හා වංචා හෙළිදරව් කරමින් නිකුත් වූ කෝප් වාර්තාව නිසා එම ආයතන කෙරෙහි වූ ජනතා විශ්වාසය පලුදු වී තිබේ. සමහර විට රටේ සියලුම රාජ්‍ය ආයතන ගැන ස්‌වාධීන පරීක්‍ෂණයක්‌ කළ හොත් ලැබීමට ඉඩ ඇති ප්‍රතිඵල සමූහය බෙහෙවින් භයානක ය. කෝප් වාර්තාව ගැන සාකච්ඡා නො කර මේ රටේ දූෂණ ගැන කතා කිරීමට මෙය අවස්‌ථාව කර ගනිමු. සමහර පෞද්ගලික ආයතන රජයට පවරා ගත යුතු බවට ව්‍යාපාරයක්‌ මේ දිනවල පවතී.

අලුත් කෝප් වාර්තාව දුටු අපට මේ ව්‍යාපාරය ගැන බියක්‌ හටගෙන තිබේ. මේ ව්‍යාපාරයට සහයෝගය දෙනවා ද නැද්ද යන්න හරියාකාරව තීරණය කර ගැනීමට අපට නො හැකිව තිබේ. මන්ද යත් පෞද්ගලික අංශයට අයත් ව්‍යාපාරයක්‌ රජයට එකතු වීම යනු එම ආයතනය රාජ්‍ය දූෂණයේ මකර කටට යැම වන නිසා ය. ආණ්‌ඩුවේ සල්ලිවලින් සැප ගන්නේ කෙසේ ද යන්න මේ රටේ දේශපාලනඥයන්ට උගන්වන ලද්දේ 1970 දී බලයට පත් වූ සමගි පෙරමුණ රජයයි. ඒ ආණ්‌ඩුව පැවැති කාලයේදී පිටරටින් කිරි පිටි ගෙන්වීම තහනම් කළ නිසා රටේ කිරි පිටි හිඟයක්‌ ඇති විය.

ආණ්‌ඩුව එය කළේ දේශීය නිෂ්පාදනය නැංවීම සඳහා සද්භාවයෙනි. එහෙත් ඒ ආණ්‌ඩුවේ ඇමැතිවරුන්ගේ මන්දිර තුළ පිටරටින් ගෙන්වූ කිරි පිටි ඕනෑතරම් තිබූ බවත් එක්‌ ඇමැතිවරයකුගේ සත්ත්ව ගොවිපලේ සතුන්ට ආහාර පිණිස කිරිපිටි ගෝනි ගණන් ගබඩා කර තිබූ බවත් පසුව හෙළි විය. මෙසේ කිරි පිටි පැකට්‌ටුවකින් හෝ රැකියාවක්‌ ලබා දීමට තරුණියක්‌ බිලි ගැනීමෙන් ඉතා ප්‍රාථමික ලෙස පටන් ගත් රාජ්‍ය දූෂණය 1977 දී බලයට පත් එ.ජා.ප. රජය සමයේදී අතු පතර විහිදුනු මහා ගසක්‌ ලෙස වැඩී ඵල දරන්නට ද විය. මේ ගස ඉතා භයානක ගසක්‌ විය.

ඒ යටින් ගමන් කළ ඕනෑම ආයතනයක්‌ හෝ පුද්ගලයකු වීද, ඒ ගසේ විසූ යක්‍ෂයා විසින් ඒ මොහොතේදීම ගිල දමන ලදී. කඩිනම් මහවැලි යෝජනා ක්‍රමය, ගම් උදාව හෙවත් නිවාස දසලක්‍ෂයේ වැඩපිළිවෙල, ජනසවිය ඇතුළු රජයේ සියලුම වැඩපිළිවෙළ හරහා මුදල් ගසාකන ලදී. අගමැති ප්‍රේමදාසගේ ජනසවිය සංකල්පයක්‌ වශයෙන් ඉතා උසස්‌ විය. එහෙත් එයට සම්බන්ධ වූ සමහරුන් විසින් මුල සිට අගට යන තෙක්‌ම ගසා කෑම නිසා ජනසවිය අසාර්ථක විය.

1977 දී බලයට පත් වූ ජයවර්ධන රජයේ ඇමැතිවරයකු නිතර කියූ ප්‍රකට කියමනක්‌ මෙහිදී මතක්‌ කරමු. එනම් මේ රටේ ආණ්‌ඩුවේ කටයුත්තක්‌ සඳහා රුපියල් දහයක්‌ අවශ්‍ය තැනක්‌ වෙත් ද, එතැනට රුපියල් පහළොවක්‌ නිකුත් කළ යුතු බව ය. හේතුව රුපියල් දහයෙන් පහක්‌ එය අතට ලැබෙන මොහොතේදී ම ගසා කන නිසා වැඩය අතරමගදී ඇන හිටීම ය. රුපියල් පහළොවක්‌ නිකුත් කළ විට රුපියල් පහක්‌ ගසා කා ඉතිරි රුපියල් දහයෙන් වැඩේ නිම කළ හැකි ය. මෙයින් වැටහෙන්නේ දූෂණය රටේ ජන සමාජය තුළට කිඳා බැස ඇති බව ය.

ශ්‍රී ලංකාව යළි ගොඩ නැංවීමේ කාර්යාවලියේදී ත්‍රස්‌තවාදය විනාශ කිරීමට මුල් තැන දෙන ලදී. ඊළඟට ආණ්‌ඩුව අදහස්‌ කළේ පාතාලයට අත තැබීමට ය. ස්‌ථිර වශයෙන් ම මේ හා සමගාමීව රටේ දූෂණය ද විනාශ කළ යුතුය. 1970 දී "අසමත් රාජ්‍යයක්‌" වෙනුවෙන් අප ඇරැඹි ගමන දැන් අවසන් කළ යුතුව තිබේ. මේ රට ස්‌ථිර වශයෙන්ම ගොඩනැංවිය හැකි ය. එයට සියලු පක්‍ෂවල සහාය ද ලැබිය යුතු ය.

(දිවයින-09/08/21)

ටිප්පණිය- හොරකම් ගැන එකිනෙකාට ඇඟිලි දිගුකර ගැනීමට මේ රටේ ප්‍රධාන පක්ෂ දෙකට ම අයිතියක් නැත. මන්ද සිය පාලන කාලවල සියලු ආණ්ඩු රිසි සේ හොරකම් කළහ. එහෙයින් මේ හොරු කළ යුත්තේ අනාගතයේ හෝ හොර හංවඩුවෙන් මිදීමට අද සිට යහපත් ලෙස වැඩ කිරීමය. අද අදූරදර්ශී නායකත්වය විසින් ගමනක අවසානය කරා වේගයෙන් රැගෙන යන ජවිපෙට දූෂණ ගැන කතා කිරීමට අයිතියක් තිබේ. මන්ද ඔවුන් කලක් පාලනය කළ අමාත්‍යංශ ඊට සාක්ෂි දරන බැවිනි. එහෙත් ඒ අයිතිය දඩමීමා කරගෙන පදනම් විරහිත චෝදනා එල්ල කිරීම ද පක්ෂයේ වර්තමාන පිරිහීම පිළිබිඹු කරන්නකි. කෝප් වාර්තාව වූ කලී මේ රටේ සැට වසරක පාලනයේ ශේෂ පත්‍රයයි.

Wednesday, August 19, 2009

නීතියට පහළින් පියැඹීම

නීතියට උඩින් යන්නට කාටවත් නො හැකි බව සබරගමු මහ සමන් දේවාලයේ පැවැති රණවිරු උපහාර උළෙලක දී ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා පවසා තිබේ.

ජනාධිපතිතුමා මෙබන්දක්‌ පවසන්නට ඇත්තේ නීතියට උඩින් පියාඹන්නට තැත් කරන අය මේ රටේ සිටින නිසා ය. අඟුලාන පොලිසියේ ඕ. අයි. සී. බාලු නිව්ටන් පසුගියදා එසේ පියාඹන්නට තැත් කර දැන් රිමාන්ඩ් කූඩුවේ ය. පොලිස්‌ අධිකාරි වාස්‌ ගුණවර්ධනගේ පුත්‍රයා සහ බිරිය එසේ පියාඹන්නට ගොස්‌ දැන් බලවත් ගැටලුවකට මුහුණ දී සිටිති. පැමිණිල්ලක්‌ දැමීම සඳහා අවිස්‌සාවේල්ල පොලිසියට ගිය කාන්තාවකගේ සිරුර ස්‌පර්ශ කර පසුව ඇය සනසා ඇගේ නිවසට ගිය සල්ලාල පොලිස්‌කාරයකු ගැන පෙරේදා (18 දා) අපට දැන ගන්නට ලැබිණ. ඒ වනචර මහතා දැන් අත්අඩංගුවේ ය. ඔහු ද නීතියට උඩින් පියාඹන්නට තැත් කළ නරුමයෙකි.

ලෝකයේ ඉතාම තෘප්තිමත් වැසියන් සිටින රටවල් අතුරින් 22 වැනි තැන ශ්‍රී ලංකාවට හිමි වූ බව කිසියම් සමීක්‍ෂණ ආයතනයකින් කළ ජනමත විචාරණයකදී හෙළිවී ඇතැයි පසුගියදා අපට කියවන්නට ලැබිණ. මෙසේ තෘප්තිමත්ව සිටින්නෝ නීතිය උඩින් ගිය අය ද නැතහොත් යටින් ගිය අය ද යන්න අප නො දනිමු. කෙසේ වුව ද, නීතියට උඩින් යැමේ දී ඇති වන විශාල නාස්‌තිය ඊ ළඟ මොහොතේ දී විනාශයට පත්වන බව පෙර කී උදාහරණ ස්‌වල්පයෙන් අපට පැහැදිලි කර ගත හැකි ය. අප විසින් තේරුම් ගත යුතු වැදගත් ම කාරණය වන්නේ ගත වූ අවුරුදු 30 ක කාලය තුළ මේ සියල්ල මෙසේ ම මේ රටේ සිදු වූ බව ය. එහෙත් යුද්ධය නිසා ඒ සියල්ල නොකී කතා බවට පත් විය. එබඳු සිදුවීම්වලට ලක්‌ වූ ගැහැනුන් හා පිරිමින් හෙළුE කඳුළු වහාම වියළී ගියේ ය. දැන් යුද්ධය නිමා වී තිබේ. මේ නිසා රටේ ඇති සියලු කුණු කන්දල් ඉතා ඉහළින් මතු වී පෙනෙන්නට පටන් ගෙන තිබේ. යුද්ධය නැති ශ්‍රී ලංකාව ප්‍රවෘත්ති වලින් තොර භූමියක්‌ වනු ඇතැයි සමහරු කීහ. එහෙත් යුද්ධයට වඩා මවිල් කෙළින් හිටුවන පුවත් දැන් දිනපතා අප ඉදිරිපිට දක්‌නට ලැබෙයි. පුදුමාතලන් සිට පැමිණි යුද වාර්තාවට වඩා අඟුලානේ සිට එන පොලිස්‌ වාර්තාව ශෝකජනක ය. නන්දිකඩාල් කලපුවේ සිද්ධිය අද පරණ කතාවකි. අලුත් කතාව වාස්‌ පුත්‍රයාගේ කතාව ය. අවිස්‌සාවේල්ලේ සල්ලාල පොලිස්‌කාරයාගේ කතාව ය.

මේ පුංචි රට කරවන රාජ්‍ය නායකයා ත්‍රිවිධ හමුදාව, පොලිසිය සහ සිවිල් ආරක්‍ෂක හමුදාව සමඟ එක්‌ව යුද්ධය ජයග්‍රහණය කරනු ඇතැයි කවුරුවත් කල්පනා කළේ නැත. එහෙත් අවසානයේදී අප යුද ජයග්‍රහණය අභිමුව සිටින බව ඉන්දියාවට වැටහින. ඒ බව බ්‍රිතාන්‍යයට, ඇමරිකාවට, නෝර්වේ රටට, කැනඩාවට කල්තියා වැටහුණි නම් ඔවුන් නිශ්චිතවම අපගේ පරාජය වෙනුවෙන් පෙනී සිටිනු ඇත. ඒ බව කේ. පී. විසින් දෙනු ලැබූ කට උත්තරවලින් පෙනී යයි. සමහර අවස්‌ථාවක කේ. පී. විසින් ගනුදෙනු කරන ලද මුදලේ ප්‍රමාණය සහ ශ්‍රී ලංකාවේ වාර්ෂික ජාතික ආදායම එකිනෙක සැසඳින. මේ සා මුදල් ප්‍රමාණයක්‌ රටින් රටට පනිමින් සිටින අපරාධකාරයකුට කොයින්ද? ඒවා පිටරටවල් විසින් ඔහුට දෙනු ලැබූ සල්ලි ය. ඒ සල්ලි යොදා අරඹන ලද ව්‍යාපාරවලින් ඔහු ඉපයූ සල්ලි ය.

අන්තිමේදී කේ. පී. ද අත්අඩංගුවට පත්විය. රටට වින කරන අය කොහේ සිටියත් ඔවුන් පරදවන බව ජනාධිපතිතුමා සබරගමු මහ සමන් දේවාලයේදී කළ කතාවේ සඳහන් විය. ඒ අතර පෙරේදා (18 දා) කැනඩාවේ එල්.ටී.ටී.ඊ. ශිෂ්‍ය අංශයේ නායකයා ද එරට පොලිසියට හසුවිය.

අප කිසියම් ජයග්‍රහණ සමූහයක්‌ මැද සිටින වාසනාවන්ත ජාතියක්‌ වීමේ පෙර ලකුණු පහළ කර සිටිමු. මේ රටේ සියලු දෙනා නීතියට පහළින් පියඹා යැමට පුරුදු වුවහොත් මේ රට ලෝකයේ ඉතාම තෘප්තිමත්ම රට වනවා ඇත.
(දිවයින_09/08/20)

ටිප්පණිය_මේ රටේ වඩාත් දූෂිත ආයතනය කුමක්දැයි පුංචි පහේ හපනෙකුගෙන් ඇහුවත් සැනෙන් පවසන්නේ පොලිසිය කියා ය. පොලිසිය ඒ තරමට දූෂිත ආයතනයකි. එහෙත් කළුනික මෙන් යහපත් නිලධාරීන් ද නැතුවා නොවේ. එහෙත් බහුතරය හොරුය. තක්කඩිය. අප කුඩා කළ අප අයත් කොට්ඨාසයේ පොලිසියේ සිටි එක් නිලධාරියෙක් ජනතාව අතර කුප්‍රසිද්ධව සිටියේ 'මග දඩයා' නමිනි. ඒ ඔහු වැරදිකරුවන් අල්ලා මහ මග නඩු අසා දඩය ද නියම කළ බැවිනි. එකල ඔහු බලපත්‍ර නැති පාපැදි පැදීමේ වරදට දඩය ලෙස අය කළේ පාන් ගෙඩි දෙකකි.

කෙසේ වුව ද ඔහු හොරෙක් නම් අද උන් කම්බ හොරුය. මුදලට ආත්මය විකුණන පාහරයින්ගෙන් පොලිසිය කුණු වී ඇත. රටක් වටින ජෙයරාජ් ඝාතනයට කොටි මුදලට ගත්තේ මෙවන් පාහරයෙකි. ජනපති ඝාතනයට මුදලට ගත්තේ ද මෙවන් නීච අධමයෙකි. අපගේ එකම පැතුම police යන වදනේ අරුත් සරුකරන විනයගරුක පොලිසියක් බිහි වේවා යන්න ය. ඒ පැතුම මේ සියවසේ දකින්නට ලැබේවා යන්න ය.

Tuesday, August 18, 2009

ඉතිහාසයේ කුණු බක්‌කිය සහ තෙල් තාච්චිය

උතුරේ යුද්ධයෙන් අවතැන්ව අනාථ කඳවුරුවල වෙසෙන ලක්‍ෂ සංඛ්‍යාත ජනතාව ළඟ එන මෝසම් වර්ෂාවට පෙර පහසුකම් සහිත ගම්මානවල පදිංචි කළ යුතු බව එ.ජා.ප.ය ඇතුළු විපක්‍ෂයේ සමහරු මේ දිනවල තරයේ කියති. අනාථ වූවන් වෙනුවෙන් ඔවුන් හෙළන කඳුළු කොතරම් ද යත් ඒවායින් සැදෙන කඳුළු ගඟ මෝසම් වැස්‌සට පෙර අනාථ කඳවුරු යටකරගෙන ගලන්නට ඉඩ තිබේ. එබැවින් සිය හැඬීම් සහ දුක්‌ අඳෝනා ස්‌වල්ප කලකට නවත්වා ගන්නා ලෙස එසේ හඬන අයගෙන් ඉල්ලමු. කඳුළුවලට වටිනාකමක්‌ ඇත්තේ එම කඳුළු අවංකව ඇදහැලෙන්නේ නම් පමණි. එසේ නැතිව හෙළන කඳුළු නිකම්ම නිකම් ලුණු වතුර ය.

ඉතාම අපහසු කටයුත්ත වන්නේ යුද්ධය නොව සාමයයි. සාමය කැඩීමට එක පොලු පහරක්‌ ප්‍රමාණවත් වන අතර එම පොලු පහරින් දෙපළු වුණ ඔළුව යළි හා වීමට හය හත් මාසයක්‌ යයි. අවතැන්වීම ද මෙවැන්නකි. කෙනකුගේ ගේ දොර බිඳ ඔහු හෝ ඇය අනාථ භාවයට පත්කිරීමට ගතවන්නේ ඉතාම ස්‌වල්ප වේලාවකි. එහෙත් ඒ ගේ දොර නැවත තනා අනාථයන් එහි පදිංචි කිරීමට වැය වන කාලය ඉතා දිග ය. නැගෙනහිර පළාතේ යුද්ධයේදී මේ ගැටලුව මතු වූ අතර එම යුද්ධයේදී අනාථ වූවන්ගෙන් 30% ක්‌ පමණ යුද්ධය අවසන් වී වසර දෙකකටත් වඩා ගතවී ඇති මේ මොහොතේදීත් අනාථ කඳවුරුවල ජීවත් වෙති. ප්‍රභාකරන් "තම තුවක්‌කු නිහඬ කිරීමට පෙර" තම බලය පැවැති උතුරේ යුද බිම බිම් බෝම්බ යායක්‌ බවට පත් කළේ ය. බිම් බෝම්බය ද සාමය වැනිම කාරණයකි. බිම් බෝම්බයක්‌ වැළලීමට විනාඩි 10 ක්‌ වත් ගතවන්නේ නැත. එහෙත් එය ඉවත් කිරීමට දින කිහිපයක්‌ ගතවෙයි. මුලින්ම බිම් බෝම්බ තිබෙන ස්‌ථාන හඳුනාගත යුතු ය. ඊළඟට ඒවා ක්‍රමානුකූලව නිෂ්ක්‍රීය කර හෝ නොකර ඉවත් කළ යුතු ය. මෙය ජීවිතය හා මරණය අතර දෝලනය වන්නකි. ඇෆ්ගනිස්‌ථානයේ වර්ග සැතපුමක බිම් බෝම්බ ඉවත් කිරීමට ඇමෙරිකානු බෝම්බ නිෂ්ක්‍රීය අංශවලට වසර තුනකට වඩා ගතවිය.

උතුරුකරයේ යුද භූමිය අද සුන්බුන් ගොඩකි. කාලතුවක්‌කු වෙඩි උණ්‌ඩ, ගුවන් ප්‍රහාර, යුද ටැංකිවලින් නිකුත් වූ වෙඩි, බෝම්බ ප්‍රහාර යනාදිය නිසා මේ ප්‍රදේශය සුනාමියෙන් පීඩාවට පත් පළාතක ස්‌වරූපය ගෙන තිබේ. මේ සුන්බුන් ඉවත් කර, භූමිය නිරවුල් කර, අමුතුවෙන්ම ගෙවල් සෑදිය යුතුව තිබේ. ඒ තැන්වලට යැම සඳහා අලූතෙන් පාරවල් තැනිය යුතුව තිබේ. ඒ පාරවල්වල අතර මග ඇති, කඩා බිඳ දමන ලද පාලම් ගලවා වීසි කර අලුත් පාලම් තැනිය යුතුව තිබේ. විදුලිය, ජලසම්පාදනය යළි ඇති කළ යුතුව තිබේ. මේ සියල්ල මෝසම් වැසි හතර පහක්‌වත් ගතවනතුරු කළ හැකිද යන්න සැක සහිත ය.

ඒ අතර ආණ්‌ඩුවට තවත් වගකීමක්‌ තිබේ. ඒ අනාථ කඳවුරුවල සිටින එල්. ටී. ටී.ඊ. මිනීමරුවන් හඳුනා ගැනීම ය. අත්වල තැවරුණ ලේ පිසදාගත් ත්‍රස්‌තවාදීන් අඩුම ගණනේ හාර පන්දහසක්‌වත් මේ කඳවුරු තුළ සිවිල් ජනයාට මුවා වී සිටිය හැකි ය. මේ මිනීමරුවන් නිකම්ම සමාජයට යෑවිය නොහැකි ය. ඔවුන්ගෙන් සමහරුන්ට හිර ගෙදර අයත්ය, තව සමහරුන්ට මරණ දඬුවම අයත් ය. ඔවුනට හිමි දේ ඔවුනට ලබාදිය යුතු ය.

දෙවන ලෝක යුද්ධයේදී රුසියන් හමුදා හිට්‌ලර්ගේ හමුදාවලට පහර දී විනාශ කළේ සිසිර සෘතුව ප්‍රයෝජනයට ගනිමිනි. හිමපතනයට මුහුණදී ගත නොහැකි වූ හිට්‌ලර්ගේ මිනීමරුවෝ මිත්‍ර හමුදාවලින් පහර කා මිය ගියහ. මෙය එක්‌තරා යුද උපක්‍රමයකි. ප්‍රභාකරන් ද දිගු කලක සිට අපේ හමුදාවලට පහර දීම සඳහා මෝසම් වැස්‌ස ප්‍රයෝජනයට ගත්තේ ය. ඉතිහාසය කොතරම් නරකද යත් අද ආණ්‌ඩුවට පහරදීම සඳහා විපක්‍ෂයේ සමහරු පාවිච්චි කරන්නට තැත් කරන්නේ ද මෝසම් වැස්‌ස ය. ඉතිහාසයේ කුණු බක්‌කිය සහ ඉතිහාසයේ තෙල් තාච්චිය යනුවෙන් දෙකක්‌ ඇත. ඉතා පටු පරමාර්ථ උදෙසා මෝසම් වැස්‌ස පාව්චිචි කරන අයට ඉතිහාසයේ තෙල් තාච්චිය සුදුසු ය.

(දිවයින_09/08/19)

ටිප්පණිය_යුද්ධ කරන්න ඕනෑ ම මෝඩයෙකුට පුළුවනැයි ද කිලිකොච්චියට හමුදාව ගියොත් සිය ආගම වෙනස් කරමියි ද හමුදාව කිලිනොච්චි කියා මැදවච්චි යන්නේ යයි ද තොප්පිගල කැලය් බව ද කියා ත්‍රස්තවාදයට එරෙහි මෙහෙයුම් නතර කරලන්නට දතකෑ මොවුහු අද යළිත් ත්‍රස්තවාදය රටට බෝ කරන්නට කොඩිවිණ කරති. අද මෙසේ සුදු පිරුවට ඇඳ කිඹුල් කඳුලු වගුරන උන්ගේ පුල්ලි ජනතාව දැක තිබේ. ජනතාව විසින් ඉතිහාසයේ කුණු බක්කියට පොළවේ ගසා විසි කළ මේ අධමයින් දකුණේ දී ඉන් එහා ගිය කදිම පාඩමක් උගනිනු ඇත. අලියා නොයන මග යහමග බව දැන් ජනතාව හොඳින් දනිති.මේ අලි නැට්ටේ එල්ලි දිව්‍ය ලෝකේ යන්න සිතා සිටින ජවිපෙ නැමැති ගමරාලගේ තරම ද ජනතාව හොඳින් දනී.

Sunday, August 16, 2009

ජාතික චින්තනය මගහැර සංවර්ධනයට වෙන මගක්‌ නෑ

බ්‍රිතාන්‍ය අධිරාජ්‍යවාදීන්ගේ පාලනයට නතුව පැවති ලංකාව එම පාලනයෙන් නිදහස්‌ වී වසර හැටක්‌ ඉක්‌ම ගොස්‌ ඇත. නිදහස ලැබෙන අවස්‌ථාවේ ආසියාවේ ප්‍රබල ආර්ථිකයක්‌ හිමි කරගෙන තිබූ අපේ රට වසර 60 ක්‌ පමණ ස්‌වදේශික නායකයන්ගේ පාලනය යටතේ ආර්ථික පරිහානිය කරා ගමන් කර ඇත. ඒ අවධියේ ඉතා දිළිඳු මට්‌ටමේ සිටි ඉන්දියාව, සිංගප්පූරුව, මලයාසියාව වැනි රටවල් අද ඉතා ඉහළ ආර්ථික තත්ත්වයක්‌ ළඟා කරගෙන තිබේ. අපට බැරිවන්නටත්, ඔවුන්ට පුළුවන් වන්නටත් බලපෑ හේතු සාධක කවරේද යන්න විමසා බැලිය යුතු කරුණකි.

කවර රටක්‌ හෝ සංවර්ධිතව එම රට එම රටේ නිෂ්පාදනවලින් යෑපෙන තමන්ගේම දෙපයින් හිටගත හැකි තත්ත්වයකට පත් කිරීමට බලපාන ප්‍රධාන සාධක වන්නේ එම රටේ මිනිසුන්ට රට ගැන ආදරයක්‌, හැඟීමක්‌ තිබීමය. වෙනත් වචනවලින් කිවහොත් රටේ මිනිසුන්ට ජාතික චින්තනයක්‌ තිබිය යුතු වීමය. අපේ රටේ ගමේ ගොඩේ සාමාන්‍ය ජනතාව රටට ආදරය කරන දේශීය දේ අගය කරන දේශ වාත්සල්‍යයෙන් යුතු පිරිසකි. එහෙත් ඉහළ ස්‌ථරයේ බොහෝ දෙනෙක්‌, විශේෂයෙන් රටේ සංවර්ධනයට යමක්‌ කළ හැකි පිරිස තුළ පවතින පරගැති චින්තනය අපට රටක්‌ වශයෙන් නැඟී සිටීමට ප්‍රබල බාධකයක්‌ වී තිබේ.

නිදහසින් පසු මෙරට බලය ලබාගත් දේශීය ධනේශ්වර පංතිය තුළ මෙම පරගැති චින්තනය හොඳින්ම රෝපණය වී තිබිණි. එය රෝපණය කළේ අධිරාජ්‍යවාදීන්මය. අධිරාජ්‍ය පාලකයන්ට අවශ්‍ය වූයේ ඔවුන් මෙරට අත්හැර යනවිට ඔවුන්ටත් වඩා අධිරාජ්‍යවාදයට කත් අදින කොම්ප්‍රදෝරු ධනේශ්වර පංතියක්‌ මෙරට බිහි කිරීමයි. ඔවුහු එය අකුරටම ඉටු කළහ. ඔවුන් බිහි කළ මිෂනාරි පාසල් මගින් සුද්දන්ටත් වඩා බ්‍රිතාන්‍ය කිරීටයට පක්‍ෂපාත, සුද්දන් ඉදිරියේ දෙකට තුනට නැමෙන නිවට නියාලු පිරිසක්‌ බිහි කිරීමට පදනම දැමීය.

එපමණක්‌ නොව ඔවුන් රට හැර යන විට මෙරට බිහි කළ පාලන තන්ත්‍රය ද, එම කණ්‌ඩායම තුළට බලය ලැබෙනපරිදි සකස්‌ කළේය. ඒ අනුව බලය ලබාගත් දේශීය ධනේශ්වර පංතිය කොතෙක්‌ දුරට ඉංග්‍රීසි අනුකාරකයක්‌ වූවාද යත් ප්‍රථම අග්‍රාමාත්‍යතුමා සකස්‌ කරගත් නිල ඇඳුම වූයේ ද "ටොෆ් හැට්‌ ටේල් කෝට්‌" දැමූ සර්වානියකි. සර් ජෝන් කොතලාවල අගමැතිතුමා ද එය මහ ඉහළින් පිළිගත්හ. 1956 ආණ්‌ඩු පෙරළියෙන් පසු බණ්‌ඩාරනායක අගමැතිතුමා දේශීය චින්තනයට තැනක්‌ දුන් නිසා එතුමා රෙද්ද බැනියමට බැස්‌සේ ය. 56 පෙරළිය මහගත්කරු මාර්ටින් වික්‍රමසිංහ මහතා හැඳින්වූයේ බමුණුකුලය බිඳ වැටීම ලෙස ය.

එහෙත් 1977 ආණ්‌ඩු පෙරළියත් සමඟම බලයට පත් යෑංකි ඩිකී යෑයි විරුදාවලි ලත් ඡේ. ආර්. ජයවර්ධන මහතා 56 ඉස්‌මතු වූ දේශීය චින්තනය විනාශ කොට යළි පරගැති චින්තනය වපුරාලීය. ඔහු රෙද්ද බැනියම ඇන්දත් කටයුතු කළේ අධිරාජ්‍යවාදීන්ගේ සුවච කීකරු ගෝලයකු ලෙසය.

1970-77 අතර කාලයේ බලයේ සිටි සිරිමාවෝ බණ්‌ඩාරනායක මැතිනිය දේශිය චින්තනයෙන් පෝෂණය වූ තැනැත්තියකි. එම නිසා ඇය රට කෘෂිකර්මාන්තයෙන් හා කර්මාන්තවලින් නඟාසිටුවා දේශීය ආර්ථිකයක්‌ ගොඩනැඟීමට උත්සාහ ගත්තාය. මේ නිසා රටේ ජනතාවට අත්‍යවශ්‍ය නොවන භාණ්‌ඩ පිටරටින් ගෙන්වීම නතර කළ අතර මෙරට වගා කළ හැකි අත්‍යවශ්‍ය භෝග ගෙන්වීම සීමා කළාය. මෙරටට අවශ්‍ය මෙරට වගා කළ හැකි දේ මෙහිම වගා කිරීමට ජනතාව පෙළැඹවූවාය. මිදි, ඇපල් ආදිය ගෙන්වීම මුළුමනින්ම නතර කළාය. එහෙත් මෙරට ඇතැම් ජනමාධ්‍ය මගින් මෙම වැඩපිළිවෙළට අකුල් හෙළීය. මිදි, ඇපල් නොගෙන්නවීම මහත් අපරාධයක්‌ ලෙස එම මාධ්‍ය ප්‍රචාරය කළේය. මඤ්ඤොක්‌කා විෂ වී මිය යන අය ගැන ඇතැම් පත්තර පිටු ගණන් වාර්තා පළ කළේය. අනාධිමත් කාලයක්‌ තිස්‌සේ මෙරට මිනිස්‌සු මඤ්‍‍ඤොක්‌කා අනුභව කළහ. දැනුදු අනුභව කරති. කවුරුත් ඒවා කා ජීවත් වුණා මිස මිය ගියේ නැත. එහේ අපේ ඇතැම් පත්තර වාර්තා කළේ එසේය.

පිටරටින් සීනි ගෙන ඒම සීමා කොට ඒ වෙනුවට ආදේශයක්‌ ලෙස හකුරු සාදා ගැනීම සඳහා ගැමියකුට පොල්ගස්‌ දෙකක්‌ මැද ගැනීමට බලපත් ක්‍රමයක්‌ හඳුන්වා දුන් විට එම යෝජනාව ගෙන ආ එවකට මුදල් ඇමැති වූ ආචාර්ය ඇන්. ඇම්. පෙරේරා මහතා ආගම් ද්‍රෝහියෙක්‌ ලෙස එම මාධ්‍ය මගින් හුවා දැක්‌වීය. එක්‌තරා පුවත්පතක්‌ මෙය ලබුගෙඩි අකුරෙන් ප්‍රධාන පුවත ලෙස පළ කළේ පෙරේ රා" කියා රජය ජනතාව සුරාවට පොළඹවන බව කීමටය. මෙසේ වූයේ ඇයි. එම මාධ්‍යකරුවන් හා දේශපාලකයන් තුළ මුල් බැසගෙන ඇති පරගැති චින්තනය නිසාමය. ඡේ. ආර්. වැපිරූ එම පරගැති චින්තන බීජය කොතෙක්‌ බලවත් වුයේද යත් මැතිනියගෙන් පසු බලයට ආ ඇගේම පක්‍ෂයේ ඇතැම් අය පවා විදේශවලට ආවැඩීමට පටන් ගත්හ.

සුද්දන් අපේ ජනතාව පරගැත්තන් බවට පත් කිරීමට ගත් උත්සාහයක්‌ කොතරම් දුරට සාර්ථක වූයේද යත් අපේ පොදු ජනතාව පවා විදේශවලට පුදන මට්‌ටමකට පත් වූහ. මේ නිසාම අපේ ව්‍යවහාරයෙන් පවා වෙනස්‌ විය. මෙතෙක්‌ පැපොල්, අඹ යෑයි හැඳින්වූ රසවත්ම අඹ "රට අඹ" ලෙස හැඳින්වීමට පටන් ගත්හ. පිටි බහුල ඉතා රසවත් වට්‌ටක්‌කා වර්ගය "රට වට්‌ටක්‌කා" විය. මේ ලෙස "රට දෙල්, "රට පේර", "රට පුවක්‌" වශයෙන් හොඳම දේවල් හැඳින්වීමට රට කොටස යොදා ගත්හ. එසේ කළේ හොඳම දේවල අගය වැඩිවන්නේ රටින් ගෙනා බව කීවොත් යෑයි සිතීය. පසුගිය වකවානුවේ වෙළෙඳ දැන්වීම් පවා සකස්‌ කළේ රටින්ගෙනා බව කියෑවෙන ලෙසය. "රටින් ගෙනා අගනා කිරි" ලෙස හිරිකිතයක්‌ නැතිව පුන පුනා වර්ණනා කළේ, කරන්නේ, පරගැති බව නිසාමය.

රටක මිනිසුන්ගේ දේශීය චින්තනය ගොඩනැඟෙන්නේ මව් බසත් සමඟය. මව් බසටත් තමන්ගේ ජාතියටත් ගරු නොකරන මට්‌ටමට අපේ මිනිසුන් පත් කිරීමට සුද්දෝ සමත් වූහ. මේ නිසා අතීතයේ පැවැති අභිමානය නැති කොට හොඳට වැඩක්‌ කළොත් "හරියට සුද්දා කළා වාගේ ඇති" "සුද්දා වගේ වෙලාවට ඇති" ආදි ලෙස කීමට ද පුරුදු කළහ. එහෙත් ඇත්ත කියතොත් සුද්දත් ම්ලේච්ඡයන් ලෙස සිටින අවධියේ අපේ මිනිසුන් නියම වේලාවට, තිතට, වැඩ කිරීමට පුරුදුව සිටියහ. නැකතකට වැඩක්‌ ආරම්භ කිරීමේ චින්තනය බිහි වූයේ හරියටම වේලාවට වැඩ කිරීමට දැක්‌වූ උනන්දුව නිසාය.

සිංහල භාෂාව පිළිබඳව අපේ මිනිසුන් තුළ පැවැති අභිමානය ද නැත්තටම නැති කළේය. මෙය අපේම උදවියට කොතෙක්‌ බලපා ඇත්දැයි තේරුම් ගැනීමට අපට ලැබෙන මංගල ආරාධනා පත්‍ර ගැන අවධානය යොමු කිරීම ප්‍රමාණවත්ය. ලෝකයේ වෙනත් රටවල මිනිසුන් සිය ජීවිතයේ වැදගත් අවස්‌ථාවල කටයුතු සඳහා යොදා ගන්නේ මව් බසය. එහෙත් අපේ අය ජීවිතයේ ස්‌වර්ණමය අවස්‌ථා වන විවාහ මංගල්‍යයට ආරාධනා පත්‍රය ලියන්නේ ඉංග්‍රීසියෙනි. තමා සිටින්නේ ඉහළ සමාජ ස්‌ථරයක බව වක්‍ර ලෙස අනෙක්‌ අයට හුවා දැක්‌වීම සඳහා ඉංග්‍රීසියෙන් මංගල ආරාධනා පත්‍රය ලියනවා විය හැකිය. එහෙත් එය එක ද විදේශිකයකුටවත් යවන්නේ නැත. යවන්නේ ගමේ ගොඩේ නෑ දැ හිත මිතුරන්ටය. එසේ නම් ඇයි මේ පරබසක්‌ ඒ සඳහා යොදා ගන්නේ, වෙනකක්‌ නොව අප පරගැතිවී සිටින මට්‌ටමයි ඒ පෙන්වන්නේ.

එපමණක්‌ නොව ලොව අනෙක්‌ ජාතීන් තමාගේ වර්ගයේ දෙදෙනෙක්‌ මුණ ගැසුණු විට කතා කරන්නේ තමාගේ භාෂාවෙනි. එය ඔව්හු ආඩම්බරයක්‌ ලෙස සිතති. එහෙත් අපේ ඉහළ මධ්‍යම පංතියේ දෙදෙනෙක්‌ පිටරටක දී පමණක්‌ නොව මෙරටදී ද මුණගැසුන විට කතා කරන්නේ ඉංග්‍රීසියෙනි. මෙය අපේ නිලධාරි පැළැන්තිය තුළ ද මුල් බැසගෙන ඇති පුරුද්දකි. බොහෝ නිලධාරීන් සාමාන්‍ය මිනිසුන් ඉදිරියේදී වරද්ද වරද්දා හෝ ඉංග්‍රීසියෙන් කතා කිරීමට උත්සාහ ගන්නේ ඔවුන් තුළ ඇති හීනමානය නිසා නොවේද?

මේ ලෙස සිය බසට, සිය රැසට ඇළුම් නොකරන පරගැති චින්තනය ම කරපින්නා ගෙන සිටින පිරිස එයින් මුදවා නොගෙන රට සංවර්ධනය කරා ගෙන යැම අපහසු කරුණක්‌ වනු ඇත.

විජේරත්න අතුරුපාන

(දිවයින_09/08/17)

ටිප්පණිය_මේ පරගැතියාවේ කරවටක් ගිලී සිටිනුයේ තමන් කාන්තාවන්ට වඩා උසස් යයි ද නැණවත් යයි ද සිතා සිටින පිරිමි බව කීම බොරුවක් නොවේ. අපේ සංස්කෘතික හර පද්ධතිය ඉදිරි පරම්පරාව වෙත ගෙන යාමේ කාර්යභාරය ද උසුලනුයේ ඇයම ය. සිය විවා මගුල් දා තමන්ට සම්ප්‍රදායෙන් උරුම වූ සාරිය ඔසරිය අඳින සිංහල ලලනාව හා අතිනත ගන්නට සිංහල පිරිමි සුද්දාගේ ටයි කෝට් පටලවා ගෙන උජාරුවෙන් එති. සමහරු මේ ණයට ගත් ඇඳුම සම්පූර්ණයෙන් අඳින එක ම දිනය ද සිය විවාහ මංගල්‍යය වීම කෙතරම් උත්ප්‍රාසජනක ද?

Thursday, August 13, 2009

"කවට කතිකයා"

තරුණියකට උසුළු විසුළු කිරීමේ චෝදනාව මත පෙරේදා (12 දා) අඟුලානේ පොලිසිය විසින් තරුණයෝ දෙදෙනෙක්‌ අත්අඩංගුවට ගනු ලැබෙති. පොලිසියේ රඳවා ගනු ලැබූ තරුණන් දෙදෙනාගේ මළ සිරුරු පසුව මොරටුව සහ රත්මලාන යන ප්‍රදේශවල මුහුදු වෙරළේ තිබී හමුවේ. ඒ දැක කුපිත වන අඟුලානේ ගම්වැසියෝ මුහුදුබඩ දුම්රිය මාර්ගයේ කොටසකට අලාභ හානි කර දුම්රිය ගමනාගමනය නවත්වා පොලිසියට පහර දෙති. අඟුලාන පොලිසියේ ඕ. අයි. සී. මහතා ඉතා හොඳටත් දැනෙන පරිදිත් ගුටිකා තුවාල ද ලබයි. ඉහත සඳහන් ප්‍රවෘත්තිය සම්පූර්ණ වශයෙන් අද (14 දා) "දිවයිනේ" පළවන අතර ඒ සම්බන්ධයෙන් උත්තර ලිවීමට පොලිසිය විසින් පත් කරනු ලැබ ඇති පොලිස්‌ මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස්‌ අධිකාරි රංජිත් ගුණසේකර පහත සඳහන් ආකාරයේ පිළිතුරක්‌ අප වෙත එවා එය පත්‍රයේ පළ කෙරුණොත් පුදුම නොවන්න. ඒ පිළිතුර මෙසේ විය හැකියá

"ඉකුත් 12 වැනිදා රාත්‍රියේ අඟුලානේ අතුරු පාරක ගමන් කරමින් සිටි සුපේෂල ශික්‍ෂාකාමී තරුණියකට වනචර තරුණන් දෙදෙනකු විසින් අතවර කිරීමට තැත් කරන ලදී. (හෝ අතවර කරන ලදී.) එයින් බලවත් චිත්ත සන්තාපයට පත් අඟුලාන පොලිසියේ නිලධාරීන් සහ කොස්‌තාපල්වරුන් කිහිප දෙනකු (ඔවුහු ශ්‍රී ලංකා අමද්‍යප ව්‍යාපාරයේද, සාසන සේවක සමිතියේද, ගැල්ගව මිතුරෝ නමැති සත්ත්ව හිංසන විරෝධී සංවිධානයේ ද තවත් සමාජ ශෝධක ආයතන ගණනාවකම සාමාජිකයෝ වෙති.) තරුණයන් සොයා ගොස්‌ වායු සමීකරණය කළ වාහනයක ඔවුන් නංවාගෙන පොලිසියට ගෙනවුත් රාත්‍රි ආහාරය සඳහා බුරියානි සහ වටලප්පම් අනුභවයට දී ඔවුන් කළ වරද පැහැදිලි කර ධර්මානුශාසනාවක්‌ කර ඇත. එවිට බලවත් සේ පශ්චාත්තාපයට පත් තරුණයන් දෙදෙනා තමන් වහලයේ එල්ලා යටි පතුල්වලට පහර දෙන ලෙසත්, ධර්ම චක්‍රයේ දමා කරකවන ලෙසත් පොලිසියෙන් ඉල්ලා ඇත. පොලිසිය එය ප්‍රතික්‍ෂේප කළ විට තරුණන් දෙදෙනා හඬමින් ද කෑගසමින් ද පාපොච්චාරණය කරමින්ද පොලිසියෙන් ඉවතට දිව ගොස්‌ ඇත. ඔවුන් එසේ යන අතර කියා ඇත්තේ එකෙක්‌ මොරටුවෙන් ද අනෙකා රත්මලානෙන් ද මුහුදට පනින බව ය. සිද්ධිය වරදවා තේරුම් ගත් ගම්වාසීන් පොලිසියට පහර දී තිබේ. එය ද නොතකා තරුණන් දෙදෙනාගේ අවසන් කටයුතු අඟුලාන පොලිසියේ වියදමින් සිදු කිරීමට එහි රාළහාමිලා තීරණය කර ඇත."

ඉහත සඳහන් පිළිතුර එක්‌ වර්ගයක පිළිතුරක්‌ පමණි. තවත් වර්ගයක පිළිතුරක්‌ ද පොලිසිය සතුව තිබේ. එය මෙසේයá අදාළ සැකකරුවන් දෙදෙනා පාතාල කල්ලියක සාමාජිකයෝ වෙති. ස්‌ත්‍රී දූෂණ කිහිපයක්‌ සම්බන්ධයෙන් ඔවුන් සැක කෙරෙන අතර අත්අඩංගුවට පත් වූ පසු මොරටුව සහ රත්මලාන ප්‍රදේශවල සඟවා තිබූ අවි පෙන්වීමට යැමේදී මුහුදට පැන ඇත."

පොලිසියට ගිය මිනිසකු ගෙදර එනතුරු විශ්වාස නැති බව අප මේ තීරුව මගින් නිතර කියා ඇත්තෙමු. ජ්‍යෙෂ්ඨ පොලිස්‌ අධිකාරි වාස්‌ ගුණවර්ධනගේ පුත්‍රයා ඇතුළු කණ්‌ඩායමක්‌ නිපුන රාමනායක නමැති ශිෂ්‍යයකු පැහැරගෙන ගොස්‌ අත පය තලා දැමීම සම්බන්ධයෙන් ද අපි කතුවැකියක්‌ ලියුවෙමු. ඉකුත් වසරේ පොලිසියට විරුද්ධව ලැබුණු පැමිණිලි ගණන 1380 ක්‌ බවට පොලිස්‌ කොමිසම කළ ප්‍රකාශයක්‌ ද පළ කළෙමු. පොලිස්‌ මාධ්‍ය ප්‍රකාශක රංජිත් ගුණසේකර කියන්නේ එම ගණන් හිලව් බොරු බව ය. එහි අනෙක්‌ තේරුම පොලිස්‌ කොමිසම බොරු කියන බව ය. පොලිස්‌ කොමිසමට කළ මේ අපහාසය සම්බන්ධයෙන් එම කොමිසම රංජිත් ගුණසේකරට විරුද්ධව පියවර ගත යුතු බව අපි යෝජනා කරමු.

පොලිසියට ගෙන ගිය පණ ඇති මිනිසුන් මළ මිනී හැටියට ගෙවල්වලට ගෙනෙන අවස්‌ථා රැසක්‌ පසුගිය කාලයේදී ප්‍රසිද්ධියට පත් විය. වරක්‌, සපුගස්‌කන්ද පොලිසියෙන් ගුටිකා මියගිය අයකුගේ දේහය එහි අයිතිකරුවන් විසින් පෙට්‌ටියක දමා සපුගස්‌කන්ද පොලිසියට ම ගෙන යනු ලැබී ය. පොලිසියට එන ලෙස පණිවුඩයක්‌ ලැබුණත් සිය දිවි නසාගත යුතු තත්ත්වයක්‌ දැනට උද්ගතව තිබේ. හිටපු පොලිස්‌පති වික්‌ටර් පෙරේරා මහතාගේ කාලයේදී පොලිසිය කාබාසිනියා වූ අතර අලුත් පොලිස්‌පති ජයන්ත වික්‍රමරත්න මහතා යටතේ පොලිසිය යළි නැගී සිට පාතාලය විනාශ කර සමාජය ශෝධනය කරනු ඇතැයි අපි කල්පනා කළෙමු. එහෙත් අද පොලිසිය නැගී සිටින්නේ පාතාලයට නොව ජනතාවට විරුද්ධව ය. අඟුලානේ මළ සිරුරු දෙක ඉතා භයානක අනාගතයක්‌ පිළිබඳව සිවිල් සමාජය දැනුවත් කරවයි. පොලිසියට එරෙහිව සන්නද්ධ වීමට ජනයා උත්සාහ කළොත් ඇති වන තත්ත්වය ඉතා භයානක ය. එවිට පොලිසිය වෙනුවෙන් ප්‍රකාශ කරන කවට කතිකයන්ට පුවත්පත්වලට උත්තර ලිවීමට සිදුවන්නේ පොළවේ හෑරූ ගුල්වල සැඟවී සිට ය. වාස්‌ ගුණවර්ධනගේ සිද්ධිය බෝම්බ ලොරියෙන් යට ගියේ ය. අඟුලානේ සිද්ධිය යටපත් කිරීමට බෝම්බ ලොරි දහයකුත් මදිය!

(දිවයින_09/08/14)

ටිප්පණිය_පාතාළය විනාශ කරන බව කී පොලීසිය අද වන විට තවත් පාතාළයක් බවට පත්ව තිබේ. ඕනෑ ම තරුණයෙක් මරා දමා ඔහුට පාතාළ ලේබලය අලවා අත් සෝදා ගැනීමට අද පොලිසිය හුරු වී සිටී. මේ කිසිවෙකුට නිසි සඪුවමක් ලැබී නැත. මෙය ඉතා ම භායානක තත්ත්වයකි. මේ ආකාරයට පොලිසිය ජනතාවට හිරිහැර කරන්නේ නම් ඔවුන් මර්දනය කිරීමට ද හමුදාව යෙදවීය යුතු ය. සමස්තයක් ලෙස පොලිසිය ගැන ජනතාව තුළ ඇත්තේ කිව නොහැකි තරම් පිළිකුළකි. අප්‍රසන්න හැඟීමකි. කෝපයකි. අඟුලාන සිද්ධිය හරහා මතුව ආවේ ඒ ආවේගයයි. කෝපයයි. මෙහි අවසානය කෙසේ විය හැකි ද? ඒ මෙසේ ය. තම ප්‍රදේශයේ පොලිස් නිලධාරීන් අල්ලා ගස් බැඳ මැරෙන තුරු පහර දෙන පොලීසි ගමකට එකක් ගාණේ ජනතාව අතරින් මතුවනු ඇත.

Monday, August 10, 2009

කතිරය පිටුපස ඇති "ඇත්ත" (2)

අප කියන්නේ ආණ්‌ඩුව මින් ඉදිරියට සෑහෙන කාලයකට ඡන්දයකට ඉදිරිපත් විය යුතු නැති බවයි. මන්ද යත් ආණ්‌ඩුවට තරගයක්‌ නැති නිසා ය. විපක්‍ෂය ඉතා කනගාටුදායක ලෙසත්, භයානක ලෙසත්, ශෝකජනක ලෙසත් දුර්වල වී තිබේ. මහ ඡන්දයකදී ආණ්‌ඩුවට කදිම පාඩමක්‌ උගන්වමු යි තිස්‌ස අත්තනායක මැතිතුමා කියන කතාව ඉතා කම්මැලි, ඈනුම් යන අවලංගු කතාවක්‌ වී තිබේ. මෙය සෑම ඡන්දයක්‌ම පැරදුණු විට කීම පිණිස පුරුදු කරන ලද්දකි. තිස්‌ස අත්තනායක මැතිතුමා ගිරවකු මෙන් මෙයම කියයි. ජනතා විමුක්‌ති පෙරමුණේ ටිල්වින් සිල්වා මහත්මයාගේ අදහස මෙම මැතිවරණය, මැතිවරණයක්‌ ලෙස විග්‍රහ කළ නො හැකි බවත්, ආණ්‌ඩුව තනිවම කළ ඡන්දයක්‌ බවත් ය. තිස්‌ස අත්තනායක මහතා කියන කතාව අපට තේරුම් ගත හැකි වුව ද, ටිල්වින් සිල්වා කියන කතාව නම් කිසි විටෙකත් තේරුම් ගත නො හැක. මේ මැතිවරණය මැතිවරණයක්‌ ලෙස විග්‍රහ කළ නො හැකි නම් විග්‍රහ කළ හැක්‌කේ කුමක්‌ ලෙස ද? ක්‍රීඩා තරගයක්‌ ලෙස ද? නැතහොත් මහා බත් දන්සලක්‌ ලෙස ද? මෙහිදී ටිල්වින් සිල්වා මැතිතුමා කළ යුත්තේ විකාර කතා නො කර ඌව පළාත් සභාව තුළ ජනතා විමුක්‌ති පෙරමුණ වාෂ්පීකරණය වීමට හේතුව සොයා බැලීම ය. පරාජය ලඡ්ජාවට කාරණයක්‌ නොවේ. ජනතා විමුක්‌ති පෙරමුණ සිය ඉතිහාසය තුළ අවස්‌ථා දෙකකදී සංහාරයකට ලක්‌ වුව ද, නැවත වතාවක්‌ අළු මතින් හිස ඔසවා ජනතාව අතර ස්‌ථාවරයක්‌ ගොඩ නංවාගෙන පාර්ලිමේන්තු ආසන ගණනාවක්‌ ම දිනා ගත්තේය.

ආණ්‌ඩුව මේ ඡන්ද දිනන ආකාරය ආණ්‌ඩුවට ද අපහසුවක්‌ වී ඇති බව අපි දනිමු. එකම ළමයකු සිටින පන්තියක පළමුවැනියා වීම, එකම ධාවකයකු සිටින ධාවන තරගයක ජයග්‍රාහකයා වීම, එක තරගකරුවකු පමණක්‌ ඉදිරිපත් වූ බොක්‌සිං තරගයක කුසලාන හිමිකරුවා වීම වැනි තත්ත්වයකට ආණ්‌ඩුව ද පත් වී තිබේ. එහෙත් පළාත් සභාවක බලය ලබා ගැනීම නිතරගයෙන් කළ නො හැකි නිසා ඒවාට ඉදිරිපත්වීමට ආණ්‌ඩුවට සිදු ව තිබේ. රටක විපක්‍ෂය පරිහානිගත වීම ඉතා කලාතුරකින් සිදුවිය හැකි අවාසනාවකි.

රටක විපක්‍ෂය දෙවිදියකට පරිහානියට පත්විය හැකිය. පළමුවැන්න ආණ්‌ඩුව විසින් තලා පෙළා මරා විපක්‍ෂය වනසා දමනු ලැබිය යුතු ය. උදාහරණ ලෙස මාලදිවයිනේ තිබූ තත්ත්වය, ඉරාකයේ ඒක පාක්‍ෂික ආණ්‌ඩු ක්‍රමය යනාදිය දැක්‌විය හැකි ය. දෙවැන්න විපක්‍ෂය විසින් ම පරිහානිය වෙත ගමන් කරනු ලැබීම ය. ශ්‍රී ලංකාව තුළ සිදුව ඇත්තේ මෙකී දෙවැන්න ය. එ.ජා.ප.ය සහ ජ.වි.පෙ. අන් අයගේ මළඉලව් ගැන කතා කරමින් සිටියා මිස දේශපාලන ඉදිරි ගමන ගැන කල්පනා කළේ නැත. ජවිපෙ හැර පාර්ලිමේන්තුවේ සිටින සෙසු විපක්‍ෂවලින් වැඩි හරිය කතා කළේ විකට කතා ය. මේ නිසා ජනතාවට විපක්‍ෂය එපා විය. ඌව පළාත් සභා ඡන්දයේදී ගෙදරට වී සිටිය යුතු යූ.එන්.පී.කාරයන් ඡන්ද පොළට ගොස්‌ ශ්‍රීල.නි.ප. ය වෙනුවෙන් ඡන්දය ප්‍රකාශ කළේ එ බැවිනි. අප ඉදිරිපිට ඇති සත්‍යය මෙයයි. මේ රට වසර 30 ක්‌ පුරාම යුද්ධයක ගිලී සිටි බවත්, ජනාධිපති රාජපක්‍ෂ සිය මළනුවන් හා ත්‍රිවිධ හමුදාව සමඟ එක්‌ව කොටි යුද්ධය පැරදවූ බවත් ජනතාවට මතක තිබේ. ඒ මතකය ප්‍රභාකරන් කියූ සති දෙකේ මතකය නොව තවත් දශක කිහිපයක්‌ ඉදිරියට යන මතකයකි. විපක්‍ෂය තේරුම් ගත යුත්තේ මෙයයි.

(දිවයින_09/08/11)

ටිප්පණිය_2005 ජනාධිපතිවරණයේ දී මහින්ද රාජපක්ෂ ඌව ජයග්‍රහණය කළේ වැඩි ඡන්ද 2කිනි. මෙවර ඌව ආණ්ඩුව ජයගත්තේ වැඩි ඡන්ද ලක්ෂ 2කිනි. මේ ජයග්‍රහණයට හෙවත් විපක්ෂයේ අන්ත පරාජයට හේතු ලෙස විපක්ෂය දක්වන කාරණාවලින් පැහැදිළි වන්නේ නුදුරේ එන සියලු මැතිවරණවලින් ද ඔවුන් නියත ලෙස පරාජය වන බවයි. විපක්ෂය සිය පරාජයට හේතු සොයන්නට කිසිදු අවංක උත්සාහයක් නොගෙන නන් දොඩවයි. කිලිනොච්චියට හමුදාව ගියොත් තම ආගම වෙනස් කරමියි කියූ අයියලා මේ පරාජයේ මහා මොළකාරයෝ ය.

කතිරය පිටුපස ඇති"ඇත්ත"

අපගේ වැටහීමට අනුව, ජනතා සහභාගිත්ත්වයක්‌ ඇතිව මේ රටේ සිදු වූ අවසාන කැරැල්ල 1818 කැරැල්ල ය. ඌව වෙල්ලස්‌ස මුල් කරගෙන පැවැති ඒ කැරැල්ල මර්දනය කිරීම සඳහා සිංහලයන් ලක්‍ෂයකට වඩා සංහාරය කර ගව මහීෂාදී සතුන් මරා දමා, ගෙවල් බිමට සමතලා කර, කෙත්වතු ගිනි තබා උපරිම විනාශයක්‌ කිරීමට බ්‍රිතාන්‍ය අධිරාජ්‍යවාදියාට සිදු විය. දහඅටේ කැරැල්ල හා සසඳා බලන විට එක්‌දහස්‌ නවසිය හැත්තෑ එකේ කැරැල්ල අමනෝඥ අත්හදා බැලීමකි. අසූඅටේ සහ අසූ නවයේ තරුණ නැඟිටීම හුදෙකලා සංග්‍රාමයකි.

එක්‌දහස්‌ අටසිය දහඅටේදී බ්‍රිතාන්‍ය අධිරාජ්‍යවාදීන් විසින් වෙල්ලස්‌සට කෙරුණු විනාශයෙන් පසු එම ප්‍රදේශය අභාවයට ගියේ ය. ඒ දෙස හැරී බැලීමට එක්‌ දේශපාලනඥයකු හැර අන් කිසිදු දේශපාලනඥයෙක්‌ උනන්දු වූයේ නැත. එසේ උනන්දු වූ එකම දේශපාලනඥයා ඩී. එස්‌. සේනානායක ය.

ඉන් පසු වෙල්ලස්‌ස ගැන උනන්දු වූ එකම දේශපාලනඥයා ශෂීන්ද්‍ර රාජපක්‍ෂ විය යුතු ය. මෙවර ඌවේ පළාත් සභා ඡන්දයට ශෂීන්ද්‍ර රාජපක්‍ෂ ඉදිරිපත් වූ විට ඔහුගේ පිරිපුන් වත කමල සහ දේශපාලන පසුබිම ගැන සලකා බැලූ පළාතේ ජනයා ජනාධිපති මහින්ද රාජපක්‍ෂ යුද්ධය ජයගත් ආකාරය සිහිපත් කර ශෂීන්ද්‍රට ඡන්දය දුන්හ.

ඌවට දිස්‌ත්‍රික්‌ දෙකක්‌ අයත් ය. එකක්‌ බදුල්ල ය. අනෙක මොණරාගල ය. 1947 දී එ.ජා.ප.ය බිහි වූ දා සිට මොනරාගල දිස්‌ත්‍රික්‌කයෙන් එම පක්‍ෂය ලද අන්තම අන්ත පරාජය වාර්තා වන්නේ ඉකුත් සෙනසුරාදා පැවැත්වූ පළාත් සභා මැතිවරණයේදී ය. පළාත් සභා ඡන්ද ඉතිහාසයේ වැඩිම ඡන්ද ප්‍රතිශතයක්‌ හිමි කරගත්තේ 1993 මැයි මාසයේ පැවැති බස්‌නාහිර පළාත් ඡන්දයේදී චන්ද්‍රිකා කුමාරතුංග මහත්මිය ය. ඇය ගම්පහ දිස්‌ත්‍රික්‌කයෙන් ඉදිරිපත් වූ අතර ලැබූ ඡන්ද ප්‍රතිශතය 84.4% කි. ශෂීන්ද්‍ර රාජපක්‍ෂ මෙවර ලද ප්‍රතිශතය 85.51% කි.

ඌව පළාත් සභා ඡන්දයේදී ශෂීන්ද්‍ර දිනන බව හැමෝම දැන සිටියහ. එහෙත් මේ ආකාරයෙන් දිනනු ඇතැයි කවුරුත් කල්පනා කළේ නැත. මේ මැතිවරණයේදී එ.ජා.ප.ය බිමටම ඇද වැටිණ. ජ.වි.පෙ. වාෂ්ප විය.
යුද්ධය දිනා මාස දෙකක්‌ පමණ ගතවී ජීවන වියදම ඉතාම ඉහළ ගොස්‌ ඇති මෙවැනි මොහොතක ශ්‍රී.ල.නි.ප. ය මෙවැනි ජයග්‍රහණයක්‌ අත්කර ගත්තේ ඇයි? අපට වැටහෙන පරිදි ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා කෙරෙහි ජනතාව තැබූ විශ්වාසයට අභියෝග කිරීමට ජීවන වියදමට එ.ජා.ප.යට හෝ ජ.වි.පෙ.ට හැකි වූයේ නැත. ශ්‍රී ලාංකිකයා නැවත වතාවක්‌ ක්‍රමයෙන් කෘතවේදී ජාතියක්‌ බවට පත්වෙමින් සිටින බව පෙනේ. ජනාධිපති මහින්ද රාජපක්‍ෂ කෙරෙහි ඇති ඒ කෘතවේදී බව ශ්‍රීලනිපය ගෑවුණු - ගෑවුණු හැම තැනකදී ම පෙන්වීමට තරම් ජනතාව ත්‍යාගශීලී වී ඇත.

හෙට ලක්‍ෂ්මන් කිරිඇල්ල හා තිස්‌ස අත්තනායක ගරු මන්ත්‍රීතුමන්ලා මොනවා කීවත් එ.ජා.ප.ය තමන් දැනට වැටී සිටින වළ පතුලේ තවත් අඩි කිහිපයක්‌ යටට සියතින්ම කපාගෙන ඇති බව පෙනේ. ඕනෑම ගොනකුට යුද කළ හැකි බව කීමෙන් ලක්‍ෂ්මන් කිරිඇල්ල මහතා රණවිරුවනට කළ අපහාසයත් අලිමංකඩ - පාමංකඩ කතාව කීමෙන් රවි කරුණානායක මහතා රණවිරුවන්ට කළ අපහාසයත් එ.ජා.ප.ය පසුපස තවත් සෑහෙන කලකට එනු ඇත.
කවුරු කොහොම කීවත් සාමාන්‍ය එ.ජා.ප. පාක්‍ෂිකයෝ වැඩි දෙනා රටට ආදරය කරති. ප්‍රභාකරන් මරා දමා කොටි සංවිධානය වැනසුවාට ඔවුහු ප්‍රිය වෙති. ඒ නිසා ඌව පළාත් සභා ඡන්දය දවසේදී ගෙදරට වී සිටිය යුතු එ.ජා.ප. පාක්‍ෂිකයන් දහස්‌ ගණනක්‌ ඡන්ද පොළට ගොස්‌ ජනාධිපති මහින්ද රාජපක්‍ෂ වෙනුවෙන් ශෂීන්ද්‍රට කතිරය ගැසූ බව පැහැදිලි ය.

ජනාධිපතිතුමා මේ ගමන පැමිණියේ දුෂ්කරතා රැසක්‌ මැද ය. පක්‍ෂය කඩාගෙන ගිය මැට්‌ටන් මෙන්ම පැදුරු සාදවල නටන විකාර මන්ත්‍රීවරුන් ද පාලනය කරගෙන ඔහු ගිය ගමන මේ රටේ රදළ පරම්පරාවලට එල්ල කළ පා පහරක්‌ විය. ඒ පා පහරේ වාසිය ශෂීන්ද්‍රට ද ලැබී තිබේ. දැන් කළ යුතුව ඇත්තේ ඌව - වෙල්ලස්‌ස යළි ගොඩනැඟීම සඳහා තමන්ට ඇති ජනවරම ශෂීන්ද්‍ර රාජපක්‍ෂ විසින් ක්‍රියාත්මක කිරීම ය.
(දිවයින_09/08/10)

ටිප්පණිය_අප කලක සිට පැවසුයේ අද ඇත්තේ එජාපයක් නොව එවිපයක් බව ය. (එක්සත් විජාතික පක්ෂය) ජවිපෙ සිය මංමුලාවෙන් මිදි නිවැරදි මගට පිවිසිය යුතු බව ය. එහෙත් එහි කිසිදු වෙනසක් වූයේ නැත. උඳු වපුරා මුං පතා පලක් නැත. එහෙයින් එම පක්ෂ දෙක නෙළුවේ තමන් වැපිරූ බිජුවටවල අස්වැන්න බව වටහා ගත යුතු ය. ඔවුන් නුදුරේ දී ම නිවැරදි වන බවට සාධක නැති හෙයින් දකුණින් ද මීට වඩා දෙයක් බලාපොරොත්තු නොවිය යුතු ය.

එමෙන් ම වව්නියාව ප්‍රථිඵලයෙන් ප්‍රකට කෙරෙන ද්‍රවිඩ ජනමතය රජය නොසලකා නොහැරිය යුතු ය. එම දෙමළ ජනතාව දිනාගැනීමට රජය විධිමත් වැඩපිළිවෙළක් සැකසිය යුතුය. ඒ සඳහා රජයට කාලය තිබේ. ශක්තිය තිබේ. ඒ සඳහා නැගෙනහිර මෙන් ම යාපනය ද කදිම පූර්වාදර්ශ වේ.

Sunday, August 2, 2009

එල්ලූම් ගස පැළ කර කොළ ආ පසු මැල්ලූම් කමු

එල්ලුම් ගස නැවත ක්‍රියාත්මක කළ යුතු බවට සංවාදයක්‌ මේ දිනවල පවතී. මේ සංවාදය කාලයෙන් කාලයට අසා, අපට ඉතා පුරුදු ය. කෙතරම් පුරුදු ද යත් දැනටමත් එල්ලුම් ගස ක්‍රියාත්මක වන බව මේ ගැන වැඩි තොරතුරු නො දන්නා කෙනකුට හිතෙන්නට පවා පිළිවන. මේ ගස යළි ක්‍රියාත්මක කළ යුතු බවට විශාලතම හඬ නැගුනේ මෙයට වසර කිහිපයකට පෙර මහාධිකරණ විනිසුරු සරත් අඹේපිටිය මහතා ඝාතනය කළ විට ය. උසාවියේ ඇසෙමින් පැවැති කුඩු නඩුවක තීන්දුව ඝාතනය සිදු කළ දිනට දින කිහිපයකට පසු ප්‍රකාශ කිරීමට අඹේපිටිය විනිසුරුතුමා බලාපොරොත්තුවෙන් සිටියේ ය.

අදාළ කුඩු ජාවාරම්කාරයා වූ පොට්‌ට නවුෆර් නමැත්තා රුපියල් ලක්‍ෂයකටත් අඩු මුදලකට කොන්ත්‍රාත්තුවක්‌ දී විනිසුරුතුමා මැරවී ය. පසුව එල්ලුම් ගසට නියම වූ විත්තිකරුවෝ අදටත් හිර ගෙදර යහතින් සිටිති. ප්‍රධාන විත්තිකරු හෙවත් කොන්ත්‍රාත්තුව ප්‍රදානය කළ තැනැත්තා අදටත් හිර ගෙදර සැප පහසු ජීවිතයක්‌ ගත කරයි.

විනිසුරු ඝාතනයෙන් පසු විටමින් පීප්ප දහයක්‌ පානය කළාක්‌ මෙන් කෙළින් සිටගත් එවකට පැවැති ආණ්‌ඩුව එල්ලුම් ගස සඳහා පාකිස්‌තානයෙන් අලුත් කඹයක්‌ පවා ගෙන්වීය. මේ කඹයට වෙනම ප්‍රචාරයක්‌ දෙන ලදී. කඹය ගෙන්වූයේ චන්ද්‍රිකා ජනාධිපතිතුමියගේ කාලයේදී ය. අද ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා වන අතර කඹයෙන් ගත් වැඩක්‌ නැත. මසකට වරක්‌ පමණ තුන් හතර දෙනකු එල්ලුම් ගසට නියම කරනු ලැබේ. ඒ මිනිසුන් හිර ගෙදරට යවනු ලැබේ. එහෙත් එල්ලුම් ගස නැති බැවින් එකී මනුෂ්‍යයන්ගේ දඬුවම ස්‌වල්ප කලකින් ජීවිතාන්තය දක්‌වා වූ දඬුවමකට පරිවර්තනය වන්නේ ය. යහපත් කල් ක්‍රියාව, ජනාධිපති සමාව යන කාරණා යටතේ මෙයින් සිරකරුවෝ කිහිප දෙනෙක්‌ නිදහස ලබති. තවත් භයානක මනුෂ්‍ය ඝාතනයක්‌ සිදුවන තුරු එල්ලුම් ගස පිළිබඳ කතාවට තිතක්‌ තබනු ලැබේ.

එල්ලුම් ගස ක්‍රියාත්මක නොවීමට කාරණය සැකෙවින් මෙසේ ය. විනිසුරුතුමා විත්තිකරුවකුට මරණ දඬුවම නියම කළ ද ඒ දඬුවම ජනාධිපතිතුමා විසින් අත්සන් කර අනුමත කරනු ලැබිය යුතු ය. විත්තිකරු එල්ලිය හැක්‌කේ එවිට ය. එහෙත් වසර 1977 දී "ධර්මිෂ්ඨ සමාජය" යන ලේබලය යටතේ බලයට පත් වූ ඡේ. ආර්. ජයවර්ධන මැතිතුමා මරණ දඬුවම් ලියෑවිලි අත්සන් කර අනුමත කිරීමෙන් වැළකී සිටියේ ය. ඊට පසු බලයට පැමිණි ප්‍රේමදාස ජනාධිපතිතුමා ඡේ. ආර්. ට ලැබුණු ලකුණු තමා ද ලබාගනු රිසිව ඒ දේම කළේ ය. මේ වන විට ලෝකය වෙනස්‌ වී ඇමිනෙස්‌ට්‌ ඉන්ටර්නැෂනල්, ණය දෙන විදේශ සංවිධාන සහ රාජ්‍ය නොවන සංවිධාන යනාදිය තුන්වන ලෝකයේ ජනාධිපතිවරුන් ලෙස ද කියමින් කටයුතු කරන්නට පටන් ගත්හ. කිසියම් රටක්‌ මරණ දඬුවම ක්‍රියාත්මක කරන විට ඒ රටට ණය සහ ආධාර දීමෙන් වැළකී සිටින ලෙසට බලපෑම් කිරීමට ඇමිනෙස්‌ට්‌ ඉන්ටර්නැෂනල් වැනි මානව හිමිකම් සංවිධානවලට හැකි විය.

ඒ නිසා එල්ලා මැරිය යුතු අපරාධකරුවන් පෝලිමක්‌ සිටියත් උන් එල්ලා ජාත්‍යන්තර තලයේදී අනාථ වීමට, ඒ වන විට බලයට පැමිණ සිටි චන්ද්‍රිකා කුමාරතුංග මහත්මිය ද නො කැමැති වූවාය. එහෙත් ඉතාම නරක තත්ත්වය වූයේ ඇමිනෙස්‌ට්‌ ඉන්ටර්නැෂනල් සංවිධානයට අරමුදල් සපයන ඇමරිකාව වැනි රටවල් පවා මරණ දඬුවම ක්‍රියාත්මක කිරීම ය. මෙය තම බිරියගෙන් පතිව්‍රතය බලාපොරොත්තු වන වනචර පිරිමින්ගේ කල් ක්‍රියාවට සමාන කල් ක්‍රියාවකි.

කෙසේ වුවද ජාත්‍යන්තර සංවිධාන සහ බලගතු රටවල් සත පහකට ගණන් නොගෙන යුද්ධය නිමා කළ මහින්ද රාජපක්‍ෂ ජනාධිපතිතුමාට එල්ලුම් ගස නැවත ක්‍රියාත්මක කළ හැකි ය. රටේ අපරාධ බහුල ය. නො එල්ලන බැවින් රුපියල් ලක්‍ෂ දෙක තුනක කොන්ත්‍රාත්තුවක්‌ ගෙන මිනිසකු මරා ස්‌වල්ප කලක්‌ සිරේ ගතකර ගෙදර යැම ලාභ අධික ව්‍යාපාරයකි. අපරාධකරුවන් නො එල්ලන එල්ලුම්ගසෙන් ඇති ඵලය කිම? එය ගලවා ගෙනවුත් ගාලු මුවදොර පැළ කර කොළ ආ දවසක මැල්ලුම් කමු
(දිවයින_09/08/03)

ටිප්පණිය_'ඔවා දෙනු පරහට තමා සම්මතෙහි පිහිටා සිට' යන කවි දෙපදය ඇත්තේ සුභාෂිතයේ ය. එය ඇමරිකානුවන් කියවා නැත. ඇතැම් හිංගලයින් ද කියවා නැත. එහෙයන් ඒ උතුමෝ තම ඇහේ පරාළ නොදකිති. අන් ඇහැක රැදි කෙහේ ගහ දකිති. මෙරට සිටින කළු සමැති සුද්දෝ ද සුදු වැදි බණ ම මතුරති. ඉන් අපට කම් නැත. ත්‍රස්තවාදයට තිත තැබූ සේ අපරාධ රැල්ලට ද තිත තැබිය යුතු ය. ඒ සඳහා එල්ලුම් ගස කදිම ය. පකිස්ථානයෙන් ගෙන ආ ලක්ෂ 2 1/2 කඹය නිකරුණේ දිරා යාමට ඉඩ නොදිය යුතු ය.

Saturday, August 1, 2009

වර්ග බේදවාදී පළාත් සභා වෙනුවට සොබා ධර්මවාදී සංවර්ධන සභා

ජනවර්ග බේදවාදී පළාත් සභා ක්‍රමය ශ්‍රී ලාංකීය ජනතාව මත පටවන ලද්දේ ඉන්දියානු නායකත්වය විසිනි. ඡේ. ආර්. ජයවර්ධන ජනාධිපතිවරයාගේ බටහිර ගැති නායකත්වය යටතේ ත්‍රිකුණාමල වරාය මෙන්ම සමස්‌ත ශ්‍රී ලංකාවම ඉන්දියා විරෝධී ක්‍රියාමාර්ගයක්‌ සඳහා යොදා ගැනීමේ අමෙරිකානු සැලැස්‌මක්‌ ක්‍රියාත්මක වෙමින් පවතී යයි සැක කළ ඉන්දියානු නායකත්වය දෙමළ ඊළාම් ත්‍රස්‌තවාදීනට අවි පුහුණුව ලබාදී පෝෂණය කළ බව රහසක්‌ නොවේ. ඉන්දිරා ගාන්ධිගේ නායකත්වයෙන් දකුණු ආසියාවේ කලාපීය අධිපතිවාදී බලවේගයක්‌ ලෙස ක්‍රියාත්මක වූ ඉන්දියානු තර්ජනය හමුවේ අමෙරිකාවෙන් පිළිසරණක්‌ නොලැබූ ඡේ. ආර්. ජයවර්ධන ජනාධිපතිවරයා තම පක්‌ෂයේ නායක මණ්‌ඩලවල පවා අදහස්‌ නොවිමසා ජනමත කොල්ලයක්‌ මගින් කාලය දිගු කරගන්නා ලද ප්‍රජාතන්ත්‍ර විරෝධී පාර්ලිමේන්තුව උපයෝගී කරගෙන ඉන්දියානු පළාත් සභා සැලැස්‌ම ක්‍රියාවට නැගුවේ විශාල ජනතා විරෝධයක්‌ මැදය.

ඊනියා ජනවර්ග ප්‍රශ්නයට විසඳුමක්‌ වශයෙන් ක්‍රියාවට නගන ලද පළාත් සභා වැඩ පිළිවෙළ උතුරු නැගෙනහිර දෙපළාතේ ක්‍රියාත්මක නොවී අනෙකුත් පළාත්වල පමණක්‌ ක්‍රියාත්මක වීම දේශපාලන විහිළුවක්‌ බවට පත්විය. උතුරු පළාතේ කොටි බලය නිසාත් නැගෙනහිර පළාතේ බහුතර ජනතා විරෝධය නිසාත් උතුර නැගෙනහිර දෙපළාතේ පළාත් සභා ක්‍රමය ක්‍රියාත්මක නොවීම මගින් පෙන්නුම් කරන්නේ කොටින්ට මෙන්ම උතුර නැගෙනහිර දෙපළාතේ වෙසෙන සිංහල දෙමළ මුස්‌ලිම් ජනකොටස්‌ තුනටම පළාත් සභා ක්‍රමය නොගැලපෙන දෙයක්‌ව පැවැති බවයි. කොටි ත්‍රස්‌තවාදීන් විසින් උතුරු පළාතේ සිංහල, මුස්‌ලිම් ජනකොටස්‌ මුළුමනින් පලවා හරිනු ලැබ තිබුණු තත්ත්වයක්‌ තුළ උතුරේ පළාත් සභාව ක්‍රියාත්මක වූවා නම් එය නිකම්ම දෙමළ ජාතිබේදවාදී පාලනයක්‌ බවට පත්වනු නිසැකය. නැගෙනහිර පළාතේ බහුතර ජනතාව වූ සිංහල, මුස්‌ලිම් ජන කොටස්‌වලට මරණීය තර්ජන එල්ලවෙමින් පැවති තත්ත්වය තුළ නැගෙනහිර පළාත් සභා ක්‍රමය ක්‍රියාත්මක වූවා නම් එය වඩා දරුණු ජනවර්ග බේදවාදී පාලනයක්‌ විය හැකිව තිබුණි.

පළාත් සභා බලතල ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් ප්‍රේමදාස ජනාධිපතිවරයාගේ ආණ්‌ඩුව සමග දැඩි අර්බුදයක පැටලී සිටි වර්ධරාජා පෙරුමාල්ගේ නායකත්වයෙන් ප්‍රකාශිත ඊළාම් රාජ්‍යය දැඩි විරෝධයකට ලක්‌ වූ නැගෙනහිර පළාතේ පැවැති තත්ත්වය අනුවත් කොටි බලය ප්‍රබලව පැවැති මුලතිව්, කිලිනොච්චි, මන්නාරම් දිස්‌ත්‍රික්‌කවල හා වව්නියා යාපන දිස්‌ත්‍රික්‌කවල දේශපාලන බලවේග පෙළ ගැසී තිබු ආකාරය අනුවත් මුළු රටෙන්ම ප්‍රතික්‌ෂේප වූ වර්ධරාජා පෙරුමාල්ගේ නායකත්වයෙන් ප්‍රකාශිත ඊළාම් රාජ්‍යය අහෝසිවීම වැළැක්‌විය නොහැක. වර්ධරාජා පෙරුමාල්ගේ නායකත්වයෙන් පිහිටුවන ලද උතුරු නැගෙනහිර පළාත් සභාවේ අභාවවාචක අත්දැකීම මගින් පැහැදිලි වන්නේ රටවැසි බහුතර ජනතාව මත බාහිර බලවේග මගින් කෘත්‍රිමව ආරෝපණය කරන ලද ජනවර්ග බේදවාදය හෝ ජනවර්ග බේදවාදී පළාත් බෙදීම් රටවැසි සියලුම ජනකොටස්‌වල පිළිගැනීමට ලක්‌නොවන රටේත් ජනතාවගේත් ඉදිරි ගමනට වින කරන කොඩිවිනයක්‌ බවයි. මිනිස්‌ පළිහක්‌ ලෙස යොදාගනු ලැබ සිටි දෙලක්‌ෂ අසූහත්දහසක්‌ ජනතාව කොටි මර උගුලෙන් මිදී දිවි පරදුවට තබා හමුදා රැකවරණය පතා දුවමින් පැමිණි සංවේදී ආකාරයෙන් අවසාන වශයෙන් පැහැදිලි වී ඇත්තේ ඊනියා ජනවර්ග ප්‍රශ්නයට බාහිර බලවේග මගින් ආරෝපණය කරන ලද මිථ්‍යාවක්‌ බවයි.

මාවිල්ආරු ජල මාර්ගය වසමින් කොටි සංවිධානය මගින් අනුගමනය කරන ලද ම්ලේච්ඡ වර්ගබේදවාදී කුරිරු ක්‍රියාමාර්ගය මගින් පෙන්නුම් කරන්නේ එවන් අන්තවාදී සංවිධානයක්‌ යටතට මහවැලි ගඟ අත්වූවා නම් උතුරුමැද හා උතුර නැගෙනහිර ජනතාවට කෙබඳු ඉරණමකට මුහුණ පාන්නට සිදුවේද? යන බරපතල ප්‍රශ්නයයි. මහවැලි ගඟ හා සම්බන්ධ එක්‌ ඇළ මාර්ගයක්‌ වූ මාවිල්ආරුව වැසීම මගින් ජනවර්ග බේදවාදය කෙතරම් කුරිරු අන්තයක්‌ කරා යා හැකිද? යන බරපතල ප්‍රශ්නය මතුකරන හෙයින් කෘෂිකාර්මික ශ්‍රී ලංකාවේ දේශපාලනය ගැන කතාකරන සියලුම දෙනා රටේ භූමි පිහිටීම, ස්‌වභාව සම්පත් විසිරී පැතිරී හා ගොනුවී ඇති ආකාරය නිවැරදිව තේරුම් ගතයුතුය. ලක්‌වැසි ජනතාව සතු ප්‍රධානතම සම්පත වන්නේ මධ්‍ය කඳුකරයෙන් ඇරඹි දිවයිනේ හතර අතට ගලා බසින ගංගා ජලයයි. ශ්‍රී ලංකාවේ පානීය ජලයේත් කෘෂිකර්මය සඳහා වූ වාරිමාර්ග ජලයේත් පදනම වන්නේ මහවැලි, කළු, කැලණි, වලවේ සිව් මහා ගංගා ඇතුළු එකසිය තුනක්‌ වූ ලොකු කුඩා ගංගාවන්ය. ජනතාවගේ මෙන්ම ජනතාවට හිතකර ගව, එළු, කුකුළු, තාරා ආදී සීපා පක්‌ෂීන්ගේත් මීමැසි බමර සමනල් ආදී හිතකර කෘමි සතුන්ගේත් ගස්‌වැල් පැලෑටිවලත් ජීවයේ පදනම වන්නේ ජලයයි. ජලය හිඟවීමෙන් හා ජලය නැතිවීමෙන් ප්‍රකෘතිය විකෘති වී මුළු මහත් ජීව පද්ධතියම විනාශ වී යයි. එහෙයින් ලංකාවේ භූගෝලය හා දේශගුණික රටාව විසින් රටවැසි සැමට උගන්වන සොබා ධර්මවාදී ජීව හිතවාදී දේශපාලනයක්‌ ඇති බව සෑම ජනවර්ගයකටම අයත් විවිධ ආගම් අදහන, විවිධ දේශපාලන මතවාද දරන සියලු දෙනා ජනවර්ග ආදී බේදවලින් තොරව අවබෝධකරගත යුතුව තිබේ.

වර්ගබේදවාදී හෝ ආගම්වාදී අන්තයන්ට ගොදුරු වූ කිසිදු දේශපාලන ජන කොටසක්‌ යටතට පළාත් සභාවක්‌ තබා දිස්‌ත්‍රික්‌ සභාවකවත් ඉඩම් බලතල ලැබෙන වැඩපිළිවෙළක්‌ සැකසීම බෙහෙවින් හානිකර ප්‍රතිවිපාකයන්ට මුහුණපෑමට හේතුවන්නක්‌ වනු ඇත. ශ්‍රී ලංකාවේ රජුන් තනන්නා හැටියට දශක කීපයක්‌ තිස්‌සේ බලවත්ව සිටි තොණ්‌ඩමන් මහතාගේ දේශපාලනය නිසා රටටම අවශ්‍ය වූ ඉහළ කොත්මලේ ජල විදුලි ව්‍යාපෘතිය ක්‍රියාවට නැගිය නොහැකි විය. රටටම අවශ්‍ය වූ ඉහළ කොත්මලේ ජල විදුලි ව්‍යාපාතිය ක්‍රියාවට නැගීමේ ආරම්භක පියවර තැබිය හැකි වූයේ සෞම්‍යමූර්ති තොණ්‌ඩමන් මහතා අභාවප්‍රාප්ත වී ඔහුගේ මුණුබුරාගේ නායකත්වය යටතේ වතු කම්කරු කොංග්‍රසය දෙකඩ වී දුර්වල වූවාට පසුව පමණක්‌ වීමෙන් පෙනීයන්නේ ප්‍රභාකරන්ට මෙන් අවි බලයක්‌ නැතිවත් ශ්‍රී ලංකාවේ දේශපාලන ඉරණම මෙන්ම සංවර්ධන ක්‍රියාමාර්ගද පාලනය කිරීමේ හැකියාව තොණ්‌ඩමන්වරුන් සතුව පැවති බවයි. සෝවියට්‌ දේශයේ සමාජවාදී ක්‍රමය ක්‍රියාවට නැගීමෙහිලා නායකත්වය දුන් ලෙනින් විසින් පෙන්වාදී ඇත්තේ ජල විදුලිය සමාජවාදය ගොඩනැඟිමේ ප්‍රබල සාධකයක්‌ වන බවයි. භූමි ප්‍රමාණයට සාපේක්‌ෂකව සෝවියට්‌ දේශයට වඩා කීප ගුණයකින් වැඩි ජල විදුලි නිපයුමක්‌ කළ හැකි ශ්‍රී ලංකාවේ සංවර්ධනයේ ප්‍රධාන සාධකය හිරකරගෙන ඉන්නට ප්‍රභාකරන්ට හැකිවී නම් යම් හෙයකින් ඉඩම් හා පොලිස්‌ බලතල ඇතිව නුවරඑළි දිස්‌ත්‍රික්‌කයේ බලවතා වන්නට තොණ්‌ඩමන්ගේ දේශපාලන පරපුරේ වර්ගවාදී අන්තවාදියකුට හැකි වුවහොත් මහනුවර, මාතලේ, අනුරපුර, පොළොන්නරු හා ත්‍රිකුණාමල දිස්‌ත්‍රික්‌කවල ජනතාවට මාවිල්ආරු ඇළ වැසීමට වඩා සියගුණයක්‌ බරපතල අත්දැකීම්වලට මුහුණපාන්නට සිදුවිය හැක.

බුද්ධකාලීන උතුරු ඉන්දියාවේ එකම භාෂාවක්‌ කථා කළ එකම ජන වර්ගයකට අයත් ශාක්‍ය, කෝලිය ඥති දෙපාර්ශ්වය අතර පවා ජලය සඳහා යුද්ධයක්‌ ඇතිවන තත්ත්වයක්‌ උදාවූවා නම් භාෂා ප්‍රශ්නය නිවැරදිව විසඳී නැති ශ්‍රී ලංකාවේ නුවරඑළි දිස්‌ත්‍රික්‌කයේ පොලිස්‌, ඉඩම් බලතල හා ඊටත් වැඩි දහතුන් වැනි ආණ්‌ඩුක්‍රම සංශෝධනය ඉක්‌මවා යන බලතලද ලැබෙන වර්ගබේදවාදී අන්තවාදී පාලනයකින් බලාපොරොත්තු විය යුත්තේ කෙතරම් බරපතල අර්බුදකාරි තත්ත්වයක්‌ද? අප ඉපදුණු විසිවැනි සියවසේ මැදභාගයේ එකම භාෂාවක්‌ කතා කළ බංගලි ජනතාව ආගම්බේදය නිසා රටවල් දෙකකට බෙදී බිහිසුණු යුද්ධ තුනකට මුහුණ දෙන්නට සිදු වූවා සේම ප්‍රධාන බංගලි නිෂ්පාදනයක්‌ වූ ජූට්‌ නිපයුම ජූට්‌ වගාව හා කර්මාන්තශාලා ඉන්දු පකිස්‌තාන් දෙරට අතර බෙදීගිය සංවර්ධනයට හානිකර වූ ආර්ථික විද්‍යා විරෝධී අත්දැකීම් දකුණු ආසියාවේ අපේ පරපුරට අමතක නොවේ. බටහිර බෙංගාලය ඉන්දියාවටත් නැගෙනහිර බෙංගාලය පකිස්‌තානයටත් වශයෙන් බෙදීගිය ඒ ඛේදජනක දකුණු ආසියානු අත්දැකීම අපේ ඇස්‌ පනා පිට තිබියදී වර්ගබේදවාදී බෙදුම්වාදයේ මුල් සිඳ දැමීමෙන් තොරව පුංචි ශ්‍රී ලංකාවේ ඉඩම්, ජලය හා ඛනිජ වැනි ප්‍රධාන සෞඛ්‍ය සම්පත් පාලනය කිරීමේ බලතල දිස්‌ත්‍රික්‌ සභාවකට පැවරීම වුවද බරපතල හානිකර තත්ත්වයන් උදාවීමට හේතුවනු ඇත.

සුවිසාල ඉන්දියාවේ කඳු වැටි හා මහා ගංගාවලින් වෙන් වූ විවිධාකාර භාෂා සාහිත්‍ය, සංගීත, චිත්‍ර, මූර්ති, නැටුම් කලාදියෙන් පොහොසත් සුවිශේෂ සංස්‌කෘතික ලක්‌ෂණ සහිත දසකෝටි ගණන් ජනතාවක්‌ වෙසෙන දිගු ඉතිහාසයක්‌ සහිත පැරණි රාජධානි පෙඩරල් නොවන ප්‍රාන්ත ක්‍රමයක්‌ අනුව බෙදා පාලනය කරන්නට සිදුවූ නිසාම අපද ඒ අනුව යමින් පුංචි ශ්‍රී ලංකාවේ පොදු ජලවහන රටාවකින් බැඳුණු භූමිය භාෂා හෝ ආගම වශයෙන් බෙදීම බරපතල අහිතකර ප්‍රතිවිපාකයන්ට හේතුවනු නිසැකය. කුඩා රටකට වුවද පෙඩරල්වාදී බලතල බෙදීමක්‌ සුදුසු යයි කියන බටහිර ආදර්ශය වූ ස්‌විස්‌ටර්ලන්තය යුරෝපීය බලවතුන්ගේ අවශ්‍යතා අනුව සැකසුණු දිගු ඉතිහාසයක්‌ නැති රටකි. ඊට මුළුමනින් වෙනස්‌ වූ දිගු ආර්ථික, සංස්‌කෘතික ඉතිහාසයක්‌ ඇති ඒ සුවිශේෂ ඉතිහාසය තුළ දස දහස්‌ ගණන් වැව් ඇල වේලි ජාලයකින් බැඳුණු ස්‌වභාව ධර්මයේ දායාදයන් අනුවම ඒකීය රටක්‌ විය යුතු ශ්‍රී ලංකාව කුඩා ස්‌විස්‌ටර්ලන්තය හෝ අමෙරිකා එක්‌සත් ජනපදය වැනි කෙටි ඉතිහාසයක්‌ ඇති සුවිසාල රටක ප්‍රාන්ත හෝ ආදර්ශයට ගැනීම ඉතිහාස විරෝධී, ස්‌වභාව ධර්ම විරෝධී, මානව විරෝධී, ආර්ථික විද්‍යා විරෝධී විනාශකාරී මගක යාමක්‌ වනු ඇත.

භූගෝලීයව ස්‌වාභාවික ජලවහන රටාවකින් බැඳුණු ශ්‍රී ලංකාව ඉන්දියාව හෝ අමෙරිකා එක්‌සත් ජනපදය අනුව යාම සොබා දහමේ නියාමයන්ට එරෙහිව යාමකි. මධ්‍ය කඳුකරයෙන් හතර අතට ගලන ගංගා මෙන්ම රක්‌වාන බුළුතොට හෙල්වැටිය හා කහල්ල රිටිගල ආදී රජරට කුඩා කඳුකර ප්‍රදේශවලින් ගලන ගංගා නැතිව උතුරට නැගෙනහිරට තබා උතුරු මැදට, වයඹට හෝ රුහුණු ගිරුවාපත්තුවටද පැවතිය නොහැක. දිගු ඉතිහාසයක්‌ තුළ වැව් ඇලවේලි ජාලයකින් බැඳුණු කෝටි සංඛ්‍යාත දේශප්‍රේමි ජනහිතකාමි ජීවහිතවාදී මුතුන් මිත්තන්ගේ ශ්‍රමශක්‌තියෙන් ජීවිත පූජාවෙන් හා ලෙයින් දහදියෙන් එක්‌සේසත් කර පෙරදිග ධාන්‍යාගාරය හා ධර්මද්වීපය බවට පත් කරන ලද ශ්‍රී ලංකාව ඉන්දියාවේ හෝ අමෙරිකා එක්‌සත් ජනපදයේ ප්‍රාන්ත අනුව බෙදීම ඉතිහාස විරෝධි වේ. එය ආර්ථික විද්‍යා විරෝධී වන්නේ සමස්‌ත ශ්‍රී ලාංකීය ජනතාව සඳහා වන ඛනිජ ද්‍රව්‍යවලින් වැඩි ප්‍රමාණයක්‌ ඇත්තේ උතුරු නැගෙනහිර දෙපළාතේ හා උතුරු නැගෙනහිර මුහුදු තීරයේ වන නිසා මෙන්ම උතුරු නැගෙනහිර දෙපළාතේ කෘෂිකර්මය මධ්‍ය කඳුකරයේ ජලය හා සිංහල ජනතාව බහුතරය වන පළාත්වල වෙළෙඳ පල මත ර¹ පවත්නා හෙයිනි.

දකුණු ඉන්දියාවේ වෙළෙඳ පලවල් උතුරු ඉන්දියාවේ නිෂ්පාදිත අඩු මිල කෘෂි නිෂ්පාදනවලින් පිරී ඇති හෙයින් ශ්‍රී ලංකාවේ උතුරු නැගෙනහිර කෘෂි නිෂ්පාදන සඳහා වන වෙළෙඳ පළ ඇත්තේ අඩු වියදමකින් ප්‍රවාහනය කළ හැකි වයඹ, ඌව, මධ්‍යම, බස්‌නාහිර හා සබරගමු පළාත්වල බවට සැකයක්‌ නැත. පුංචි ශ්‍රී ලංකාව ඉන්දියාව හෝ අමෙරිකා එක්‌සත් ජනපදයේ ප්‍රාන්ත ආදර්ශය අනුව බෙදීම ආගමික හා සංස්‌කෘතික වශයෙන්ද හානිකර වන්නේ රටේ ඓතිහාසික විහාර දාගැබ්වලින් සෑහෙන සංඛ්‍යාවක්‌ උතුරු නැගෙනහිර ප්‍රදේශවල විසිරී ඇති හෙයිනි. උතුරු, නැගෙනහිර දෙපළාතේ හින්දු භක්‌තිකයන්ට පළාත් බේදයකින් තොරව කතරගමට පා ගමනින් පෙරහැරේ යන්නට පහසුකම් තිබිය යුතුවාක්‌ මෙන්ම වයඹ හා දකුණු, බස්‌නාහිර පළාත්වල වෙසෙන කතෝලික බැතිමතුන්ටද නිදහසේ මඩු වන්දනාවේ ගොස්‌ කූඩාරම් ගහගෙන පුද පූජා කරමින් ඉන්නට බාධා නොවන ආකාරයේ ඒකීය ශ්‍රී ලංකාවක්‌ තිබීම ජාතික ආගමික සමගියට හේතු වේ.

ලෝකයේ කෙමෙන් උග්‍රවන පානීය ජල හිඟය අනුව ශ්‍රී ලංකාවේ මධ්‍ය කඳුකරයට හා රක්‌වාන බුළුතොට හෙල් වැටි ප්‍රදේශයට කාර්මික විෂ වායුවලින් දූෂණය නොවූ දක්‌ෂිණ සාගරය ඔස්‌සේ එන ජල වාෂ්ප සහිත සුළඟින් ගෙනෙන වර්ෂාපතනයේ පිරිසිදු ජලය ශ්‍රී ලාංකීය ජනතාව සතු ලොකුම වස්‌තුව වන බවට සැකයක්‌ නැත. මධ්‍යම පළාතේ විශේෂයෙන් මුළුමහත් නුවරඑළි දිස්‌ත්‍රික්‌කයේ හා බදුළු දිස්‌ත්‍රික්‌කයේ බණ්‌ඩාරවෙල, හපුතලේ හා වැලිමඩ වැනි ප්‍රදේශවල පලිබෝධනාශක වසවිස හා අහිතකර රසායන පොහොර භාවිතය අත්හලහොත් පිරිසිදු පානීය ජලය ශ්‍රී ලංකාවෙන් ජාත්‍යන්තර වෙළඳ පොළට යෑවෙන වටිනාම වෙළඳ භාණ්‌ඩය වනු ඇත. ශ්‍රී ලංකාවට අවශ්‍ය විදේශ විනිමය සොයා ගැනීම සඳහා තවදුරටත් වනය විනාශ කරමින් තේ, රබර් හා වානිජ එළවළු වගාව පුළුල් නොකර පලිබෝධ නාශක වසවිස හා රසායන පෝර භාවිතය අවම කිරීම හෝ මුළුමනින් කාබනික පොහොර භාවිතයට හා කොහොඹ ශාකසාර ආදී දේශීය හිතකර පලිබෝධ නාශක ක්‍රමවලට මාරුවීම මගින් පිරිසිදු පානීය ජලය විකුණා විදේශ වත්කම් තරකර ගත හැක. එසේ විදේශ විනිමය උපයා ගැනීම සඳහා පිරිසිදු පානීය ජලය අලෙවි කළත් නැතත් ශ්‍රී ලාංකීය ජනතාවගේ සෞඛ්‍ය රැක ගැනීම හා කෘෂි අවශ්‍යතා සඳහා රටේ මධ්‍යම පළාතේ නුවරඑළි දිස්‌ත්‍රික්‌කයේ වැඩි කොටසකුත් ඌව හා සබරගමු පළාත්වලින් ප්‍රමාණවත් කොටසකුත් ලක්‌වැසි සමස්‌ත ජනතාවගේ ජල කලාපය ලෙස සුරක්‌ෂිත කළ යුතුය.

රසායනික වසවිෂ මිශ්‍ර ජලය පානය කිරීම නිසා ඇතිවන වකුගඩු රෝග, හෘදයරෝග, ඇස්‌රෝග, අස්‌ථි රෝග, දත්රෝග හා ස්‌නායු රෝගවලින් ලක්‌වැසි ජනතාව බේරා ගැනීම සඳහා මුළු රටටම ජලය ලබාදෙන මධ්‍ය කඳුකරය හා රක්‌වාන බුළුතොට හෙල් වැටි ප්‍රදේශය ජල කලාපය ලෙස සුරක්‌ෂිත කළ යුතුය. ඌව පළාතේ මෙන්ම වයඹ හා උතුරු මැද පළාත්වල ද එසේ සුරක්‌ෂිත කළයුතු ජල කලාප ප්‍රදේශ ඇති කළ යුතුය. ඒ සඳහා වන විනාශය වැළැක්‌වීමත් විනාශ වු අත්‍යවශ්‍ය වන ප්‍රදේශවල නැවත වන වගා කිරීමත් හදිසි ජාතික අවශ්‍යතාවකි. එසේ පොදුවේ මුළු රටේම ජනතාව සෞඛ්‍යය හා කෘෂිකාර්මික ජන ජීවිතය ආරක්‌ෂා කරන සොබා ධර්මවාදී ජල කලාප ඇතිකරන ජාතික සැලැස්‌මකට බාධාවන ජනවර්ගවාදී පලාත් සභා ක්‍රමයක්‌ ජාතික විපතක්‌ වන බව අමුතුවෙන් පැහැදිලි කළ යුතු නොවේ.

ලක්‌වැසි ජනතාවගේ දිවි පැවැත්ම සඳහාත් රටේ ආර්ථික සංස්‌කෘතික අභිවෘද්ධිය සඳහාත් ජාතික ආරක්‌ෂාව සඳහාත් අතීතයේ ගාමණි, ගමික, රැටික, ගමරාල හා රටේ රාල ආදීන්ගේ නායකත්වයෙන් පැවති ග්‍රාම රාජ්‍ය හා ගම්සභා වැනි ප්‍රාදේශීය පාලන ආයතන ක්‍රමයක්‌ අපේ යුගයට ගැලපෙන ආකාරයට ප්‍රජාතන්ත්‍රවාදී ලෙස ගොඩනැගිය යුතුව තිබේ. එහිදී කඩිනම් සංවර්ධනය, සමාජ අභිවෘද්ධිය හා ආරක්‌ෂාව අරමුණු කරගත් සෝවියට්‌ සභා ක්‍රමයෙනුත් චීනයේ ඉක්‌මන් දියුණුවට හේතුවු මහජන කොමියුන් ක්‍රමයෙනුත් ඉන්දියාවේ පංචායත් ක්‍රමයෙනුත් කිසියම් ආදර්ශයක්‌ ලබා ගැනීම වරදක්‌ නොවේ. ඉන්දියාව ජන වාර්ගික කොටස්‌වලට බෙදීයාම වැළැක්‌වීම සඳහා මහත්මා ගාන්ධි විසින් යෝජනා කරන ලද්දේ මුළුමහත් භාරත දේශයම අයත්වන සේ ග්‍රාම රාජ්‍ය දස දහස්‌ ගණනක්‌ පිහිටුවිය යුතු බවයි. මහත්මා ගාන්ධි තම ශ්‍රේෂ්ඨ ජාතික වීරයා ලෙස සලකන ඉන්දීය ජනතාවත් ඉන්දියානු නායකත්වයත් ලක්‌වැසි අපට උපදෙස්‌ දිය යුත්තේ ඉන්දියාවේ ක්‍රියාවට නැගිය නොහැකි වූ ග්‍රාම රාජ්‍ය පිළිවෙත ශ්‍රී ලංකාවේවත් ක්‍රියාවට නගන ලෙස මිස කාලපීය අධිපතිවාදී වුවමනාවන් අරමුණු කරගෙන පුංචි ශ්‍රී ලංකාව ජන වර්ග බේදවාදී ලෙස පළාත් සභා වශයෙන් බෙදීමට නොවේ.

ශ්‍රී ලංකාවේ ඇති කරන හැම දේශපාලන ක්‍රියාදාමයක්‌ම විදේශ ආක්‍රමණ දහසයකට මුහුණ දී රට දැය රැක ගන්නට මගපෑදු දේශප්‍රේමී ඉතිහාසය නිර්මාණශීලී ලෙස ඉදිරියට ගෙන යන්නට ආධාර විය යුතුය. කෘෂිකාර්මික ශ්‍රී ලංකාවේ ඇති කරන හැම දේශපාලන ආයතන ක්‍රමයක්‌ම දස දහස්‌ ගණන් වැව් ඇල වේලි ජාලයකින් රට ඈඳීම සඳහා ශ්‍රමය වැගිරූ මුතුන්මිත්තන්ගේ ප්‍රයත්නයන් නිර්මාණාත්මකව ඉදිරියට ගෙනයන ජාතික වැඩපිළිවෙළක ප්‍රගතිගාමී කොටසක්‌ විය යුතුය. ශ්‍රී ලංකාවේ ඇතිකරන හැම පළාත් පාලන ආයතනයක්‌ම හිතකර සංවර්ධනය අරමුණු කරගත් සොබා පරිසරවාදී ප්‍රාදේශීය සභා හා නගර සභා ක්‍රමයට වැඩි නොවන රටේ ඒකීය පැවැත්මට හානිකර නොවන ඒවා විය යුතුය. ශ්‍රී ලංකාවේ ඇති කරන හැම ප්‍රජාතන්ත්‍රවාදී ආයතන පිහිටුවීමක්‌ම රටේ ආරක්‌ෂාවට හා සමාජ අභිවෘද්ධියට හේතුවන රටවැසි ජනතාව එකහදින් එක්‌ කිරීමට මගපාදන ජනහිතකාමී ජීව හිතවාදී විශ්වාසන්තවාදී ලෝක ආදර්ශයක්‌ විය යුතුය.

අනගාරික ධර්මසේකර

(දිවයින_09/08/01)

ටිප්පණිය_මේ විහිළු පලාත් සභාවට තවත් මේ රටේ මහජන දේපළ ගිළින්නට ඉඩ නොදිය යුතුය. වසර 20ක පමණ කාලය තුළ මේ රකුසා ගිල දැමු මහජන මුදල් කෙතරම් ද? ඉන් සිදු වී ඇති සේවය කුමක් ද? සේවයක් සිදු වූයේ කාට ද? සිදුවූ එක ම සේවය ජාතික දේශපාලනයේ යෙදෙන මහත්වරුන්ට සිය හතර වරිගය නඩත්තු කිරීම සඳහා කදිම කප් රුකක් වීම ය. පාර්ලිමේන්තු ඡන්දයෙන් පැරදුනු අයියලාට පහසුකම් සපයන තිප්පොළක් විම ය. රටේ බුද්ධිමත් ජනතාව මේ සිතිය යුතුය.
 
සිය රට දේ සිරි සැප දේ !