Wednesday, June 30, 2010

මෙහෙව් ආණ්ඩුවක් !

ආණ්ඩුව ගැන විපක්ෂයට ප්‍රධාන විවේචන තුනක් තිබේ. එකක් නම් සුද්දන්ට සිංහලෙන් බැණ ඉංග්‍රීසියෙන් දණ ගසා කන්නලව් කරන බව ය. සුද්දාට සිංහල නොතේරෙයි. එහෙයින් බැන්නාට සුද්දා තරහා නොවේ. සිංහලයාට ඒ බැනුම් තේරෙයි. එහෙයින් ඔහු සිතන්නේ සුද්දාට ද එය තේරි ඇති බව ය. ඉන් සිංහලයා අමන්දානන්දයට පත් වෙයි. එහෙත් ඉංග්‍රීසියෙන් සුද්දාට වැඳ වැටී කරන කන්නලව් බොහෝ සිංහලයින්ට නොතේරෙයි. එහෙයින් ඔහු සිතන්නේ සිංහලෙන් මෙන් ම ඉංග්‍රීසියෙන් ද සුද්දාට පලු යන්න බැන්නා කියා ය. මේ විග්‍රහයෙන් විපක්ෂය උත්සාහ කරන්නේ ආණ්ඩුව මෙරට ජනතාව ඉදිරියේ පුරන් අප්පු චරිතය ද පිට රැටියන් ඉදිරියේ නිවට චරිකයක් ද රඟපා ජනතාව ගොනාට අන්ඳවන බව පෙන්වීම ය.

දෙවන විවේචනය ආණ්ඩුව ලෝක බලවතුන් ඉදිරියේ ගමේ හංදියේ චණ්ඩියෙකු ලෙස හැසිරෙන බවය. යුරෝපය අපට ලබා දෙන බදු සහනය ලබා ගන්නට උවමනාවක් නැත්තේ එහෙයිනි. ඔවුන් සමග කතා බස් කර එම බදු සහනය ලබා ගැනීමටවත් මේ ආණ්ඩුවට හැකියාවක් නැතැයි ඉන් කියවේ. මේ නිසා පහර වදින්නේ ලක්ෂ සංඛ්‍යාත ඇඟලුම් සේවක පිරිස් වැනි දුප්පත් අසරණ ජනතාව වෙත යැයි විපක්ෂය චෝදනා කරයි.

තෙවන විවේචනය මේ ආණ්ඩුව ලෝක බලවතුන් ඉදිරියේ දණ ගසන නිවට ආණ්ඩුවකි. ලෝක බැංකුව, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල වැනි ආයතනවල කොන්දේසි ඉටු කරමන් රජය මහජන සුබ සාධන අරමුදල් කප්පාදු කරමින් රට අගාධයට ගෙන යයි. මෙවර අයවැයෙන් ඒ බලවතුන්ගේ කොන්දේසි ඉටු කළ නිසා ණය මුදලක් ද ලැබිණි. ඒ අනුව සුද්දා ඉංග්‍රීසියෙන් ලියා දුන් අයවැය සිංහලෙන් කීම පමණි ආණ්ඩුව කර ඇත්තේ. එහෙයින් මේ නම් බටහිර ආධිපත්‍ය දොහොත් මුදුන් දී පිළිගත් ආණ්ඩුවකි.

සමස්ත කතාවෙන් කියවෙන්නේ ආණ්ඩුව දෙබිඩි නොව තෙබිඩි පිළිවෙතක් අනුගමනය කරන බවය. රට යම් ආධාර මුදලක් ගතහොත් ඒ සුද්දාට වැඳ වැටිමෙනි. යම් සහනයක් නොලද හොත් ඒ ආණ්ඩුවේ දඩබ්බරකමක් අසමත්කමක් නිසා ය. මේ පරස්පර විරෝධි අදහස් අනුව ලංකාවේ අඩු තරමින් ආණ්ඩු තුනක්වත් තිබිය යුතු ය. නැත්නම් විපක්ෂය මේ ආණ්ඩුව කුමක් කළත් එය විවේචනය කරන අන්ත පටු තැනකට පිරිහී තිබිය යුතුය.

මේ සත්‍ය දකිනවුන් ආණ්ඩුවේ බත් බැලයෝ ය. ITN බලමින් රජයට කඩේ යනවුන් ය. උන්ට ආණ්ඩුවෙන් බ්ලොග් ලියන්න සල්ලි ලබා දෙයි. එහෙත් විපක්ෂය කියන මේ සියලු කතා යළි වමාරන්නේ ලෝකය අතැඹුලක් සේ දත් මහා ප්‍රාඥයෝ ම ය .

Tuesday, June 29, 2010

ඊළමේ සිංහල හඬ

පහුගිය දිනක මම බීබීසී සංදේශය වැඩසටහනට සවන් දුනිමි. එවිට එම සංවාදයේ මුල් කොටස විකාශය වී තිබිණි. නිවේදක රජයේ උතුරු නැගෙනහිර පුනරුත්තාපන වැඩසටහන් ජපන් විශේෂ නියෝජිත යශුෂි අකාශි පසසා ඇතැයි කී විට අදාළ පුද්ගලයා කීවේ, යශුෂි අකාශි ගම්බිම්වලට නොගිය බවත් ඔහුට රජය පෙන්වූ දේවල් බලා එසේ නිගමනය කළ නොහැකි බවත් ය. කොටින් ම උතුරේ පුනරුත්තාපන වැඩ කිසිවක් රජය කර නැත යන්න ඔහුගේ අදහස විය. මම එකවර ම සිතුවේ මේ නම් කොටි රූකඩ ටීඑන්ඒ කාරයෙක් බව ය. එහෙත් එතරම් චතුර ලෙස ඔවුන්ට සිංහල කතා නොකළ හැකි බව සිහි වූ මම විපිලිසර වීමි. වැඩසටහන අවසන ඔහු ජවිපෙ විජිත හේරත් බව ඇසූ මම ගැල් ගැසුනෙමි.

ඊට පසු එක්සත් ජාතීන්ගේ මහ (ලොකු) ලේකම් මූන් කී බෑන් මෙරට යුද අපරාධ සෙවීමට කමිටුවක් පත් කිරීම ගැන ජවිපෙ ටිල්වින් සිල්වා මහත් ප්‍රසාදයෙන් කතා කළේ ය. එය ඔවුන් සලකා ඇත්තේ තමන් ලද වරප්‍රසාදයක් ලෙස ය. මෙසේ රටට හිතකර ප්‍රකාශයක් වෙත් නම් එය ප්‍රතික්ෂේප කර රටට අහිතකර ප්‍රකාශවලට අත් පොළසන් දී විසිල් ගැසීම අද ජවිපෙ දේශපාලනය වී තිබේ. මේ කටයුත්ත එදා කළේ ටීඑන්ඒකාර‍යෝ ය. ඒ හඬ සිංහල බසින් ලොවට ගෙන ගියේ වික්‍රමබාහු කරුනාරත්න, සුනන්ද දේශප්‍රිය ආදි ත්‍රිවීල් වමේ පක්ෂ සහ නිදහස් මාධ්‍ය ව්‍යාපාරික ප්‍රජාව ය. අද මේ සියල්ලෝ ඉතිහාසයේ කුණු බක්කියට විසි වී ගොස් හමාර ය. ඒ හඬ නිහඬ වූ තැන දැන් ජවිපෙ බෑඟිරි තළයි.

ඊළාම්වාදී දෙමළ ඩයස්පෝරාවේ හඬ සිංහලට නැගීමේ තුප්පහි වැඩේ අද ජවිපෙ භාරගෙන ඇත්තේ ඉතිහාසේ කුණු බක්කියේ සිට ම ය. ඔවුන් කුණු බක්කියට විසි වූයේ 2005 පසු ගත් අමන දේශපාලන තීන්දුවලට පිං සිදුවන්නට ය. මේ රටට ආදරය කරන පිරිසක් තවමත් ජවිපෙ බිම් මට්ටමේ සිටිති. ඔබේ නායකත්වය ඔබ මේ ගෙන යන්නේ දේශපාලන කනත්තට ය. මේ නායකත්වයට ඔබ යුෂ උරා විසි කළ හැකි උක් දණ්ඩක් පමණි. එහෙයින් අවදියෙන් සිටින්න. සැබෑ සතුරා හඳුනාගන්න. දුර සිටින සතුරාට වඩා මිතුරු වෙසින් ළඟ සිටින සතුරාගෙන් පරිස්සම් වන්න. ඊළමේ සිංහල හඬට එරෙහිව නැගී සිටින්න.

Tuesday, June 22, 2010

විපක්ෂ නායක ධූරය 10 වරකට සීමා කරයි!

ව්‍යස්ථාව කඩිමුඩියේ වෙනස් නොකරන්නැයි ගයන්ත කරුණාතිලක මහතා රජයට තර්ජනය කළේ ය. 1978 ව්‍යස්ථාව තනා වසර 10ක් ගත වන විට, එනම් 1988 වන විට, එය 16 වරක් සංශෝධනය කළේ එජාපයයි. මේ ව්‍යස්ථාව තැනූ එජාපයයි. තමන් ම ව්‍යස්ථාව තනා වසර 10ක් තුළ සංශෝධන 16ක් ගෙනා පිරිස, ඒ ව්‍යස්ථාවට වසර 32ක් පිරුණු විට කරන සංශෝධන කඩිමුඩියේ කරනවා යැයි කීම තරම් තවත් විහිළුවක් ඇද්ද?

77, ඇට අටක් දීමටත් ධර්මිෂ්ට සමාජයක් උදාකිරීමටත් ජේ.ආර්. උතුමා බලය ඉල්ලුවා මිස, ව්‍යවස්ථාවක් තැනීමට බලය ඉල්ලු බවක් නම් අප අසා නැත. ජනාධිපති තනතුරක් ගැන ද කීවේ නැත. මැතිවරණයේ දී ව්‍යවස්ථාවක් ගැන නොකී නිසා පසුව තැනූ ව්‍යස්ථාව බල රහිත වීද? ජනාධිපතිකම බල රහිත වීද? නැත. ඒ කිසිවක් වූයේ නැත.

රටේ පරමාධිපත්‍ය හිමි ජනතාවට ය. ඔවුන් කැමති නායකයෙක් පත් කර ගැනීමට ජනතාවට අයිතියක් තිබේ. ඒ නායකයා නරක නම් ඔහු ගෙදර යැවීමට ද ජනතාවට අයිතියක් තිබේ. එසේ ම යම් නායකයෙකුට ජනතාව කැමති නම් ඔහු දෙවරක් නොව ඕනෑම වාරයක් සිය නායකයා වශයෙන් පත් කර ගැනීමේ අයිතිය ද ජනතාවට තිබිය යුතු ය. ජනතාව සතු ඒ අයිතිය අහිමි කිරීම වැරදි ය. එසේ අහිමි කර ඇති ජනතා පරමාධිපත්‍ය අයිතිය නැවත ලබාදීමට ජනතාව ලෙස අප කැමති ය. එය ජනතාවට අහිමි වූ අයිතියක් නැවත ලබා දීමකි.

එහෙත් ජනතාව 20 වරක් ප්‍රතික්ෂේප කළ පුද්ගලයෙක් විපක්ෂ නායක ධූරයේ සිටීම නම් මහ අවුලකි. රටක විපක්ෂ නායක යනු ඊළඟ ආණ්ඩුවේ නායකයා ය. එහෙත් අපේ විපක්ෂ නායක ඊළඟ ආණ්ඩුවෙත් විපක්ෂ නායකයාම ය. මේ නිසා රටට ප්‍රබල විපක්ෂයක් නොලැබේ. විපක්ෂයේ හොඳ නායකත්වයක් බිහි නොවේ. ජනතාව පවතින ආණ්ඩුවට වඩා මේ විපක්ෂ නායකයාට අකමැති හෙයින් ද්වි-පක්ෂ ක්‍රමය තුළ නැවත පවතින ආණ්ඩුවට බලය දෙනු විනා වෙන විකල්යක් ජනතාවට නැත.

එහෙයින් 'කෙනෙකුට රටේ විපක්ෂ නායක දූරය දැරිය හැක්කේ 10 වරක් පමණි' කියා ව්‍යවස්ථාවට ඇතුළත් කළ යුතු ය. 20 වාරයක් රටේ නායකත්වයට සුදුස නැතැයි ජනතාව තීරණය කළ පුද්ගලයෙක් නැවත නැවත ඊළඟ ආණ්ඩුවේ නායකයා කරන්නැයි ජනතාවගෙන් ඉල්ලීම ජනතා පරමාධිපත්‍ය හෑල්ලුවට ලක් කිරීමකි. එහෙයින් විපක්ෂ නායක ධූරය 10 වරකටවත් සීමා කර, එය අතීතයට බලපාන පරිදි ක්‍රියාත්මක කරන්නැයි අපි ඉල්ලා සිටිමු.

Monday, June 21, 2010

මා ශ්‍රී ලාංකිකයෙකු නොවේ ද?

තමන් සිංහලයෙකු වීම ගැන දුක්වන සිංහලයෝ අප අතර වෙති. ඔවුන් ඊට වඩා දුක්වන්නේ තමා සුද්දෙකු නොවීම ගැන ය.එමෙන් ම මෙරට සිටින ඇතැම් දේශප්‍රේමි කොටස් පවා තමා ශ්‍රී ලාංකිකයෙකු යැය කීමට කැමැති ය. මේ රටේ සියලු ප්‍රශ්නවලට මුල අප එක ම ජාතියක් ලෙස නොසිතීමය යන සිතිවිල්ල ඔවුන්ගේ සිත්වලට කවා තිබේ. එනම් අප සිංහල, අප දෙමළ, අප මුස්ලිම් යැයි සිතීම රටේ ජන කොටස් අතර අසමගිය වර්ධනය කරන බව ය. එසේ තම සිංහල හංවඩුව ජාතීන් අතර අසමගියට හේතු වේ නම් එය සඟවා ගෙන වුව සිටීමට මේ දේශප්‍රේමි කොටස් කැමති ය. මේ මතය ඔවුන් තුළට කාවද්දා ඇත්තේ රටේ බුද්ධිමතුන්ය කියා ගන්නා පිරිසක් විසිනි. ඔවුන් මේ මුලාවට හෙලුවේ බහු-සංස්කෘතිය නම් බහුබූතය විසිනි.

මේ බුද්ධිමතුන් පවසන්නේ ඉන්දියානුවා ඉන්දියානුවෙකු ලෙස සිතන බව ය. ඇමරිකානුවා ඇමරිකානුවෙකු ලෙස සිතන බව ය. චීන ජාතිකයා චීනෙකු ලෙස සිතන බව ය. එහෙත් අප එසේ නොසිතන බව ය. මේ පිට රැටියන් සිතන අයුරු පෙර කී උගතුන් දන්නේ කෙසේ ද? ඔවුන් පරචිත්ත විජානන ඥානය ඇතිවුන් ද? මේ සඳහා ඇත්තේ ක්‍රම කිහිපයකි. එක්කෝ ඔවුන් මේ විදේශිකයින් හා කතා කර තිබේ. නැත්නම් අනෙකෙකුගෙන් අසා දැනගත්තකි. ඔබ හා ඉන්දියානුවෙකු කතා කරන විට ඔහු තමා හඳුන්වා දෙන්නේ ඉන්දියානුවෙකු ලෙස ය. එය ප්‍රමාණවත් ය. ඔබ ඉන්දියාවේ අභ්‍යන්තර ප්‍රදේශ ගැන නොදන්නකු වීමට ඇති ඉඩ බොහෝ ය. එහෙයින් මම ඉන්දියාවේ නවදිල්ලියට වයඹින් තියෙන ස්වරූප් නාගර් කොළනියේ කෙනෙක් යැයි කීම නිශ්ඵල ය. ඔහුගේ කුලය, ගෝත්‍රය ගැන ඔබට කිසිදු අවබෝධයක් නැත. අසල්වැසි රට ගැන තත්ත්වය එසේ නම් අන් රටවල් ගැන කවර කතා ද?

එහෙයින් ඔහු ඔබට කින්නේ මූලික තොරතුර පමණි. ඉන් එහා යාමට නම් ඔබට ඒ රට තොට, සංස්කෘතිය ගැන පුළුල් අවබෝධයක් තිබිය යුතු ය. එහෙත් එවැන්නක් නැති තැන ඔහුගේ තොරතුරු සීමාවෙයි. එහෙයින් මෙවන් දැනුමකින් ඔහු ඉන්දියානුවෛකු, චීනෙකු ලෙස සිතනවා යැයි ගැනීම විහිළුවකි. එමෙන් ම ඇමරිකාව වැනි රටවලට ඇත්තේ ඉතා කෙටි ඉතිහාසයකි. ඔවුන් යුරෝපයෙන් පැමිණි රතු ඉන්දියානු සංස්කෘතිය පාගා, එකම යුරෝපීය සංස්කෘතියක් පෝෂණය කළා පිරිසකි. එවන් සාධක ද එහිලා බලපායි. සැබවින් ම සිදුවන්නේ ඔවුන් තුළ ඇති විවිධ අනන්‍යතා, වෙනස්කම් අප වෙත අනාවරණය නොවීම පමණි. අපේ රටේ පුද්ගලයෙකු හමු වූ විට 'මම ශ්‍රී ලාංකිකයෙකු' යැයි ඔබට කිවහොත් ඔහුගේ මොළයේ අමාරුවක් තිබේ. ඔහු ශ්‍රී ලාංකිකයෙකු බව ඔබට දැනගැනීමට අවශ්‍ය නැත. එය ඔබ දනියි. ඔබට අවශ්‍ය ඔහුගේ ගම් පලාත ආදි විස්තර ය. දෙදෙනාම එක රටක වීම සහ ඒ පිළිබඳ පොදු දැනුම නිසා ඔබ අතර වඩා දිගු සාකච්ඡාවකට ඉඩ ලැබේ. එවිට ඔබට අර ශ්‍රී ලාංකිකයාගේ තොරතුරුවල ගැඹුරට යෑමට හැකි වෙයි. ඒ මත සිට ඔබ ඔහු ශ්‍රී ලාංකිකයෙකු ලෙස නොසිතතියි ගැනීම ද වැරදි ය. ඔහුට විදේශිකයෙකු හමු වූ විට ඔහු කියන්නේ තමා ශ්‍රී ලාංකික බව ය. එහෙයින් මම ඔබට සිංහල යැයි කියමි. විදේශිකයෙකුට නම් මම ශ්‍රී ලාංකික යැයි කියමි.

Saturday, June 19, 2010

එජාපයේ මහ සිකුරාදා

විය යුතු පරිදිම එජාපය හමුදා විජයග්‍රහන සැමරුමින් කර ඇරියේ ය. ඒ ඉසව්වට රෙදි ඇඳගෙන යාමට තරම් හැකියාවක් එජාප නායකයින්ට තිබුණේ නැත. තමන් ඊට නොගිය ද කැමති අයට ඊට අවසර දීමට එජාප නායකයාට නම්‍යශීලි වීමට සිදුවීම, පක්ෂය තුළ යැංකි පැංකි රොත්ත වෙනුවට රටට හිතැති පිරිස ක්‍රමයෙන් පිබිද එන බවට සාක්ෂියකි. අපි ඒ ගැන සතුටු වන්නෙමු.

තොප්පිගල කියන්නේ මහා කැළයක් බවත් නැගෙනහිර අඥාපති තොප්පිගල සෙව්ව ද සිතියමේ ඇත්තේ baron's cap යනුවෙන් බවත් කියමින් රණවිරුවන්ගේ අභීත ජයග්‍රහණය පමණක් නොව ඔවුන්ගේ දැනුම ද හෑල්ලුවට ලක් කළේ රනිල්වික්‍රමසිංහ ශූරීන් ය. හමුදාව කිලිනොච්චි යනවා යැයි කියා මැදවච්චි යන බව පවසමින් ද නැගෙනහිර ඇල්ලුවට හැකි නම් වන්නිය අල්ලා පෙන්වන්නැයි වහසි බස් දොඩා අපේ හමුදාවේ චිත්ත ධෛර්යය බින්ඳේ අද ජාතික ඇඳුමට බැස සිටින රවින්ද්‍රන් කරුණානායගම් ය. ඕන ගොනෙකුට යුද්ධ කළ හැකි යැයි කියා රටේ හමුදාවේ ගොනුන්ට සම කළේ ලක්ෂ්මන් කිරිඇල්ල ය. තර්ජිත ගම්මානවල සයිරන් නළා බෙදා දෙමින් කොටි එන විට සිංහලයාට දුවන්න උපදෙස් දුන්නේ, රටේ පිරිසක් කොටි මරණ වරෙන්තු කරේ එල්ලා ගෙන දිවි ගෙවු යුගයක කොටි පාලනයේ පැවති මඩු පල්ලියට නිතර දෙවේලේ දිව ගිය කොටි මිතුරු ජයලත් ජයවර්ධන ය. ඉතින් මොවුන්ට එය විජයග්‍රහණයක් නො ව ශෝක සතියකි. මහ සිකුරාදා මෙන් දුක්ඛදායක දිනයකි.

රෙදි ඇඳගෙන ගාලු මුවදොරට ගොස් පීඨිකාවේ වාඩිවීමට මොවුන්ට හැකියාවක් නැත. ඒ නිසා කළ යුතු වූයේ කුමක් හෝ හේතුවක් දක්වා ඊට නොයා සිටිම ය. එය ගියාට වඩා හුඟක් හොඳ ය. මොවුන් එතැන සිටියා නම් එහි අභිමාණයට කැළලකි. ඔවුන්ට ඒ උත්තමාචාර බලා සතුටු විය හැකි නම් වයිකෝ, නැදුමාරන්, රුද්‍රකුමාර් සහ ඇතැම් බ්ලොග්කරුවන්ට ද ඉන් සතුටු විය හැකි වනු ඇත. ඒ නිසා සිංහල නාමධාරී වයිකෝලා, රුද්‍රකුමාරන්ලා නාවාට අපට කම් නැත. ඒ ගැන අපි අපේ බලවත් සතුට ප්‍රකාශ කරමු. මව්බිම හමුවේ අපට පක්ෂ, පාට වැදගත් නැත. ඒ සියල්ල ට වඩා මව්බිම අපට උතුම් ය. කෙසේ වුව ද සජිත් ප්‍රේමදාස ඇතුලු එජාපයේ රටට හිතැති පිරිසක් එහි සපැමිණියහ. අපි ඔවුන් හදවතින් ම වැළඳගන්නෙමු. ඔවුන්ට සුබ පතන්නෙමු.

Thursday, June 17, 2010

ටියුෂන් සපුරා තහනම් කරනු!

ඉරිදා ටියුෂන් තහනම් කිරීම පිළිබඳ විරෝධය පළ කර ඇතැම් බ්ලොග් අඩවිවල ලිපි ලියා ඇති අතර ඇතැමෙක් ඊට පක්ෂව කරුණු දක්වා තිබේ. මේ විරෝධතාකරුවෝ සමස්තයක් ලෙස ආණ්ඩුව කරන ඕනෑ ම දෙයක් විවේචනය කිරීමට සැදී පැහැදී සිටින අය බව කිව යුතු නොවේ. දෙස් විදෙස් බලවේග සමග එක පෙළට සිට යුද්ධයට එරෙහිව ලියුවෝ මොවුහු ය. බටහිර තානාපති කාර්යාල සමග එක්ව ෆොන්සේකා ජනපති කරන්නට ලියුවෝ මොවුහු ය. බුදු හාමුදුරුවෝ ළමා අයිතීන් උල්ලංඝණය කොට ඇතැයි ලියුවෝ මොවුහු ය. රටට සෙතක් වන ඕනෑ ම දේකට මොවුන් විරුද්ධ ය. රටේ සම්ප්‍රදාය, සංස්කෘතිය, හර පද්ධතිය දවා හළු කරන ඕනෑම ගින්නකට පිදුරු දමන්නටය; මොවුන් බලා ඉන්නේ. අතට හසු වන ඕනෑ ම දෙයකින් ගැසීමට පුලපුලා සිටින හෙයින් සිතන්නනට වෙලාවක් නැත. නැතහොත් උපතින් ම සිතන ශරීරාංගය ලැබී නැත.

ඉරිදා ටියුෂන් තහනම් කිරීමෙන් සිංහල බෞද්ධයාට විශේෂ වාසියක් අත්වීය යන සාවද්‍ය මතය මේ කුකුල් කේන්තියට ප්‍රධාන හේතුව වී තිබේ. එහෙත් කතෝලික, හින්දු, ඉස්ලාම් ඈ සියලු දෙනාට මේ නිසා ඉරිදාට සිය දහම් අධ්‍යාපන කටයුතු කිරීමට ඉඩහසර හිමි වෙයි. එදින සිය දේවස්ථානයට, කෝවිලට, පල්ලිට ගොස් ආගමික කටයුතු කිරීමට අවස්ථාව ලැබේ. බෞද්ධ දහම් පාසැල් බිහිවූයේ පල්ලියේ දහම් පාසැල ආදර්ශයට ගෙන බව මේ කූප මණ්ඩුකයෝ නොදනිති.

ඉරිදා ටියුෂන් තහනම රටේ වර්ගවාදය පැතිරීමට, ජාතීන් අතර බෙදීම් ඇති වීමට, ළමා අපචාර ඉහළ යාමට, ළමයින්ගේ සිතීමේ ශක්තිය වියැකීමට හේතු වෙතැයි මේ ඊනියා බුද්ධිමත්හු දෙසති. තම දරුවා කළ යුත්තේ කුමක්දැයි තීරණය කරන්නේ තමත් බව තවත් බක පණ්ඩිතයෙකුගේ නරිවාදමකි. පෙර කී ඊනියා බුද්ධිමත්තු අඩුතරමේ අනුන්ගෙන් හිඟා ගත් මතවාදවත් පුරරුච්චාරණය කරති. එහෙත් මේ බක පණ්ඩිතයා තවමත් රාජ්‍ය නමැති සංකල්පය බිහි නොවු ප්‍රාග් ‍ඓතිහාසික යුගයක ජීවත් වන බව පෙනේ. මේ අවිචාරවත් මනස් පුත්තු දෙසන වැදි බණ අසා සාධුකාර දෙන්නට උප්පැන්නේ බෞද්ධයෝ ද, බෞද්ධ වේශධාරියෝ ද දෑත් නළලේ බැඳ බලා සිටිති.

ටියුෂන් යනු නිදහස් අධ්‍යාපනය ගිළගත් මහා පිළිලයකි. එය විභාග කේන්ද්‍රීය භයානක මාෆියාවකි. එහි කිසිදු විෂයක් නූගන්වයි. එහෙත් වසර ගණනාවක ප්‍රශ්න පත්‍ර අධ්‍යයනය කරන ටියුෂන් මාස්ටර්, ළමයි ලවා අනුමාන ප්‍රශ්නවලට උත්තර කටපාඩම් කරවයි. විභාගයේ දී සිදුවන්නේ තමන් තුළ නොමැති දැනුමක් ඇතැයි උත්තර පත්‍ර පරික්ෂක රැවැට්ටීම පමණි. එහෙයින් කළ යුත්තේ මේ මාෆියාව සපුරා තහනම් කිරීමයි. අඩපණ වී ඇති පාසැල් පද්ධතිය යළි නඟා සිටුවීමයි. එවිට නිදහස් අධ්‍යාපනය මේ පොළවේ සැබෑ යථාර්ථයක් වනු ඇත. ළමයාගෙන් උදුරාගත් ළමා කාලය ඔහුට යළි ලැබෙනු ඇත. සැබෑ බුද්ධිමතුන් රටට බිහි වනු ඇත.

Tuesday, June 15, 2010

නැවත පදිංචි කිරීමේ කෙළවර කොතැන ද?

කොටි ත්‍රස්තවාදය විනාශ කළ මානුෂීය මෙහෙයුමේ ප්‍රථම සංවත්සරික උත්සවය උත්කර්ෂවත් අන්දමින් පැවැත්වීමට රජය සුදානම් වෙයි. යුද සමයේ හමුදාව කිලිකොච්චි කියා මැදවච්චි යන බව පැවසූ, අයවැය පරාජය කර ආණ්ඩුව පෙරළා යුද්ධය නතර කිරීමට වළිකෑ කල්ලිය, ෆොන්සේකා නැතිව මොන විජයග්‍රහණ උත්සව දැයි මුසුප්පුවෙති. යකඩ ගිනිගත් ගෙයි පුළුන් සොයන කොටි හිතවාදීහු පිරිසක් අවසන් මානූෂිය මෙහෙයුමේදී සිදුවූයේ යැයි කියන මානව හිමිකම් කඩවීම් සෙවීමට වෙහෙසෙති. මේ මෙහෙයුම ඇරඹීමට ආසන්නතම සාධකය වූයේ කොටි මාවිලආරු සොරොව්ව වසා 30 000ට වැඩි මිනිසුන්ගේ මානව අයිතීන් උල්ලංඝණයට එරෙහිව බව කොටි මත පුනරුච්චාරණය කරන ඇතැමුන්ට මතක නැත.

උක්ත අවසන් මෙහෙයුමේදී නැගෙනහිර 217 000ක් පමණ ද උතුරේ 293 000ක් පමණ ද අවතැන් විය. නැගෙනහිර සියලු අවතැන්වූවන් මේ වන විට නැවත පදිංචි කර ඇත. උතුරේ 49 000ක් තවමත් අවතැන් කඳවුරුවල ය. ඒ අය ද ඉක්මණින් නැවත පදිංචි කළ යුතු ය. එවිට සියල්ල් කෙළවර ද?තවමත් 49 000ක් අවතැන් කඳවුරුවල යැයි කිඹුල් කඳුලු හෙළන අය සිතන පරිදි ප්‍රශ්නය එතැනින් අහවරය.

එහෙත් මේ යුද්ධය නිසා උතුරු නැගෙනහිර ජීවත් වූ සිංහල මුස්ලිම් ජනතාව වසර 30ක් තිස්සේ සිය මුල්ගම්බිම් අතැර දකුණට පළා ආහ. දෙමළ ජනතාව ද සිය ගම්බිම් අතැර දකුණට ආහ. මේ සියලු දෙනා සිය මුල් ගම්බිම්වල නැවත පදිංචි කළ යුතුය. ඔවුන්ගේ ජීවිත යළි ගොඩනගා ගැනීමට රජය උදව් කළ යුතු ය. ත්‍රස්තවාදය ඇරඹීමට පෙර උතුරු නැගෙනහිර පැවැති ජන අනුපාතය නැවත ඇති කළ යුතු ය. බෙදුම්වාදී කොටි මේ අපේ නිජබිමැයි කීමට උතුරු නැගෙනහිරින් පළවා හැරි සිංහල මුස්ලිම් ජනතාව නැවත එහි පදංචි කළ යුතු ය. විනාශ කර ඇති පුරාවිද්‍යා ස්ථාන ප්‍රතිසංස්කරණය කළ යුතුය. නැවත පදිංචිකිරීම් කෙළවර වන්නේ එතැනිණි.

Monday, June 14, 2010

කඩුවට නොබැන, නිසි අතට කඩුව දෙනු!

විධායක ජනපති ධූරයට තරග කළ හැකි වාර ගණන 2ට සීමා කර ඇති ව්‍යවස්ථා නීති වෙනස් කිරීමට ආණ්ඩුව ඉදිරියේ දී කටයුතු කරනු ඇත. මෙය ඉතිහාසයේ සිදුවිය හැකි භයානකම ව්‍යවස්ථා සංශෝධනන බැව් විපක්ෂයේ අදහසයි. මේ සංශෝධනයත් සමග රටේ සියලු ප්‍රශ්න දූරිභූත වී තව්තිසාව මෙරට උදාවනු ඇති බව ආණ්ඩුවේ අදහසයි.

මහින්ද ප්‍රමුඛ රජය ඊට කැමැති මේ සංශෝධන සමග තව බොහෝ කලක් රට පාලනය කළ හැකිය යන අදහස නිසා ය. විපක්ෂය ඊට අකමැති වන්නේ ද ඒ නිසා ය. මේ අදහසේ ඇත්තක් නැත්තේ නොවේ. දැනට මහින්ද ගොඩ නගා ගත් දේශපාලන පෞරුෂයට කිට්ටු කළ හැකි කිසිවෙකු මෙරට නැත. ඒ නිසා තව දෙතුන් වරක් වුව ඔහුට ජනාධිපතිවරණයකින් ජය ගැනීම කජ්ජක් නොවේ. ඒ සඳහා අවශ්‍ය කායික මානසික ශක්තිය ද ඔහුට තිබේ.

එක නායකත්වයක්, ප්‍රතිපත්තියක් යටතේ දශක කිහිපයක් රට පාලනය වීම එහි දියුණුවට හේතු වෙයි. එයට ලෝක‍ දේශපාලනයෙන් නිදසුන් දිය හැකි ය. එමෙන් ම මහින්දට ඒ සඳහා දැඩි උවමනාවත් ඇති බව ද පෙනේ. රට පුරා සිදුවන සංවර්ධන ක්‍රියාදාමයෙන් එය පැහැදිළි වෙයි. එහෙත් වාහන අමතර කොටස්වල බදු අඩු කර දේශීය රථ වාහන නිෂ්පාදනය දිරිගන්වනු වෙනුවට වාහන බදු අඩු කිරීමෙන් එහි ඇතැම් සීමා ද දිස්වෙයි. අප වැනි රටවලට යම් විධායක බලතල සහිත නායකත්යක් අවැසි බවත් එහි වැදගත්කමත් පහුගිය යුද්ධය කෙළවර කරනට ඉන් සිදුවූ සේවයෙන් පැහැදිළි වෙයි. විධායක ජනපතිකම කදිම කඩුවකි. එය නිසි ‍පුද්ගලයා අතට දීමට ජනතාව තීරණය කළ යුතුය. ඒ සඳහා අවැසි දේශපාලන විඤානය මෙරට ජනතාවට ඇති පහුගිය ජනාධිපතිවරණයෙන් පැහැදිළි වෙයි.

එහෙත් ජනාධිපති ධූරය සිය වරක් දැරිය හැකි වුව ද ඊට පත්වි හැක්කේ මහජන කැමැත්තෙනි. ඉතිහාසයේ දෙවන වර ප්‍රථම වාරයට වඩා ඡන්ද ලබා ගෙන ඇත්තේ මහින්ද පමණි. එහෙයින් එසේ රැඳී සිටීම ලෙහෙසි නොවන බව පෙනේ. මහජන කැමැත්ත රඳවා ගැනීම පහසු නැත. ඒ සඳහා ඔහු රටට වැඩ කළ යුතු ය. මේ මගේ අවසන් වාරය යැයි සිතා කිසිදු වැඩක් නොකර ධූර කාලය ගෙවා දැමූ චන්ද්‍රකා පන්නයේ ජනපතිවරු නව සංශෝධන යටතේ බිහි නොවනු ඇත. තණ්හාව තිබූ පමණින් කිසිවෙකුට ජීවිතාන්තය තෙක් ජනපති විය නොහැකි ය. ඒ සඳහා වැඩ කළ යුතු ය. එසේ වැඩ කිරීමය රටට අවැසි. ඒ බව පක්ෂ විපක්ෂ හැම සිහිතබා ගත යුතුය.

Saturday, June 12, 2010

විපක්ෂයට මල් මිටක්

රටට අහිතකර, අවාසිදායක සීපා ගිවිසුම රටට ම සඟවා අත්සන් කිරීමට එජාපය විරුද්ධ යැයි කබීර් හෂීම් මහතා කීවේ ය.හිරිකිත රෝෂාන්ලා මෙරටට ගෙන ආ අයිෆා වෙනුවෙන් අත්සන් කළ ගිවිසුම වහා හෙළිදරව් කර ඒ ගැන අවබෝධයක් ලබා ගැනීමට පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට ඇති අයිතිය ආරක්ෂා කරන්නැයි රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවේ සිංහනාද කළේ ය.ආණ්ඩුව කරන හැමදේට ම පක්ෂවීමට නම් විරුද්ධ පක්ෂයක් අවශ්‍ය නැත. එමෙන් ම ආණ්ඩුව කරන හැමදේට ම විරුද්ධවීම ද වගකිව යුතු විපක්ෂයක ලක්ෂණයක් නොවේ.

විරුද්ධ පක්ෂයක් විරුද්ධ විය යුත්තේ ආණ්ඩුවේ වරදකට ය.එසේ විරුද්ධ වීම සාධාරණීකරණය සඳහා ජනතාව අබිමුව ඔවුන්ට තැබිය හැකි ප්‍රබලතම සාක්ෂිය තමන් ආණ්ඩු කරන සමයේ ද මේ වැරදි නොකළ බව නැතහොත් ඊට විරුද්ධ වූ බව පෙන්වා දීම ය.මෙදා විරුද්ධවීමේ පදනම එදා තමන් බලය හොබවන කල ආරක්ෂා කර තිබිණි නම් කිසිවෙකුට විරුද්ධ පක්ෂය අවස්ථාවාදී යැයි කිව නොහැකිය.අතීතය අමතක නැති අය ඉදිරියේ මේ සිංහනාදය, උඩුබිරුමක් වන්නේ ද නැත.රටේ දැයේ විරුද්ධ පක්ෂය වෙනුවෙන් ලියන තුප්පහි රෑන ආතක් පාතක් නැතිව අසරණ වන්නේ ද නැත.එහෙත් අවාසනාවට සිදු නොවන්නේ එයමය.

මේ විරුද්ධ පක්ෂ නායකයා එදා මෑත ඉතිහාසයේ රාජ්‍ය නායකයෙකු අත්සන් කළ වඩාත් රටට අහිතකර ගිවිසුම අත්සන් කළේ ය.ඒ රනිල් වික්‍රමසිංහට දොන් ජුවාන් ගෞරව උපාධිය දිනාදුන් ඊනියා සටන් විරාම ගිවිසුම ය.මොහු ජේ.ආර්.ඉන්දියාව සමග ගිවිසුම් ගසා ඉන්දිය හමුදාව මෙරටට ගෙන්වූ ආණ්ඩුවේ ද සිටියේ ය.තව ම බල පවත්වන ඉන්දු-ලංකා ගිවිසුම තම පාලන කාලය තුළ පවත්වා ගෙන ගියේ ය.මේ සියල්ල සිදුවන කල කබීර් හෂීම් මහතා ද යහතින් එජාපයේ සිටියේ ය.ඒ කිසිවකට මොවුන් විරුද්ධ වූ බවක් දන්නෙක් නැත.

රට දෙකඩ කිරීමේ අවසන් මොහොතට රට දක්කා ගෙන ගිය සටන් විරා ගිවිසුම අත්සන් කළ, රටේ ස්වෛරීත්වයට අභියෝග කළ ඉන්ද-ලංකා ගිවිසුම අනුමත කළ මේ අයට විරුද්ධවීමට තරම් බරපතළ ගිවිසුමක් මේ රජය අත්සන් කර තිබේ ද? එසේ අත්සන් කර ඇත්නම් විරුද්ධ වීමට හැක්කේ එදා අර ගිවිසුම්වලට ද විරුද්ධවූ අයට ම නොවෙද? ඒ පව්වලින් අපිරිසිදු වූ නොවු අත්වලට නොවෙද? රජය ගැසූ ගිවිසුම් හෙළි කරන්නැයි පැවසීමට නම් තමන් ගිවිසුම් ගැසීමට පෙර ඒවා රටට ඉදිරිපත්කර තිබිය යුතු නොවෙද? අනුන්ට ඇඟිල්ලක් දිගු කරන විට තමන් වෙත ඇඟිලි ගණනාවක් දිගු වී ඇතැයි සිතිය යුතු නොවද?මේ අවස්ථාවාදී හැසිරීම් ගැන අප සවිඥානික වීම සහ ඒවා හෙළිදරව් කිරීම ආණ්ඩුවට කඩේ යාමකැයි කීම කෙතරම් යුක්ති සහගත දැයි බුද්ධිමත් පාඨකයින් සිතා බැලිය යුතුය.

කෙසේ වුව ද ජනතාවට රටට ජාතියට මහත් ඵල මහත් ආනිසංස ගෙන දෙන ජයග්‍රහණයක් දිනා ගැනීමට පක්ෂ විපක්ෂ බේද ඉවතලා සියලු දෙනා එක්වීම මෑතදී අපට දැකිය හැකි විය. ඒ සිය මන්ත්‍රී වරප්‍රසාද යටතේ ගෙන එන සුඛෝපභෝගී රථයේ බදු වරප්‍රසාදය ඇ.ඩො.35000 සිට ඇ.ඩො.50000 දක්වා ඉහළ දැමීමට ය.එසේ ආණ්ඩුව රට වෙනුවෙන් ගත් තීරණය අනුමත කරමින් ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරු පරයා විපක්ෂ මන්ත්‍රීවරු පෙරමුණ ගැනීම ගැන ද අපි සතුටු වෙමු.

මෙසේ බලන කල විපක්ෂය සැම විට ම රටට අහිතකර සීපා වැනි ගිවිසුම්වලට විරුද්ධ බවත් රටට හිතකර බදු වරප්‍රසාද වැනි දේට පක්ෂ බවත් අප අවබෝධ කරගත යුතුය. දැන් අප සීපා ගිවිසුමට පක්ෂ බව කීවේ යැයි යමෙක් මෙහි ලිවීමට සැරසේ නම් යළි මගේ ලිපිය කියවන්නැයි අනුකම්පාවෙන් ඉල්ලා සිටිමි.

Thursday, June 10, 2010

ආදරණීය සිරස !

රූපවාහිනී නාළිකාවකි; සිරස. මේ අඩුපාඩුව ශ්‍රී ලාංකේය ජාතියට ඉදිරියට යාමට ඇති විශාලතම බාධකය වශයෙනි; සිරස සලකන්නේ. අපේ රටේ ළදරු මරණ අනුපාතය, ගැබිනි මරණ අනුපාතය ඉහළ ගියේ එහෙයිනි. උද්දමනය ඉහළ ගියේ එහෙයිනි. ගෑස්, පාන් පිටි, කිරි පිටි මිල ඉහළ ගියේ එහෙයිනි. කොටින් ම 1505 පෘතුගීසි මෙරටට පාත්වූයේත් 1815 සුද්දා මුළු රට ම යටත් කරගත්තේත් අපට හරිහමන් ගායකයෙක් නොසිටි නිසා බව සිරස දැඩිව විශ්වාස කරයි. 1971 සහ 89 දකුණේ සහ 1983 සිට උතුරේ ඇරඹි ත්‍රස්ත ක්‍රියා සඳහා ද බලපෑවේ මේ ඛේදවාචකයයි.

ජාතියේ අවාසනාවට අපට හරිහමන් ගායකයෙක් තවමත් පහළ ලැබුණේ නැත. ඒ නිසා සිරස අපට ගායකයෙක් තෝරාදීමට දිවා රෑ වෙහෙසෙයි. මෙසේ රට ගැන හිතා කටයුතු කරන සිරසට, දේශද්‍රෝහි ආණ්ඩුව මහත් කෙනහිලිකම් කරයි. ගායකයන් තෝරන්නට සුගතදාස ක්‍රිඩාංගණය ලබා නොදෙයි. එය ලබා දෙන්නේ අයිෆා වැනි දෙකේ පංතියේ වැඩවලට බව ප්‍රකාශ කළේ එම නාළිකාවේ සිටින කිංස්ලි රත්නායක නම් උතුමා ය. ඒ කතාවේ ඇත්තක් තිබේ. අපේ රටේ ගායකයින් තේරීමට සාපෙක්ෂව අයිෆා මොන කෙහෙම්මලක් ද?

එහෙත් මට ඇති ප්‍රශ්නය එය නොවේ. මෙවර අයිෆා උළෙලේ හොඳ ම සිනමා කෘතිය ලෙස ලද සම්මාන සහ අයිෆා ලාංචනය ද යොදා ගනිමින් තමන් මෙදා 3 Idiots පෙන්වන බවට සිරස දිවයිනනේ දැන්වීමක් පළ කළේ ය. තමන් වැනි ලොව ශ්‍රේෂ්ඨතම වැඩසටහන් පෙන්වන ආයතනයක් අයිෆා වැනි තුච්ච පහත් වැඩකින් ප්‍රචාරය ලබා ගැනීම තමන්ට තරම් නොවන බව සිරසට නොපෙනුණේ ඇයි? මෙය මට තේරුම්ගත නොහැකි ය. එහෙත් අයිෆා ගැන අනුකම්පාවෙන් ඊට ද යම් ප්‍රචාරයක් ලබාදීමට සිතා සිරස ආයතනය මේ දැන්වීම පළ කළේ යැයි සිතා අවසන මම හිතා හදාගතිමි.

Tuesday, June 8, 2010

දොන් ජුවාන් පුරන් අප්පුට ඇඳීම

අයිෆා සිනමා උළෙලට ඉන්දිය නළු නිළියන් සහභාගී වීමට එරෙහිව කොටි හිතවාදීන් මහා සංග්‍රාමයක් ඇරඹුවේ ය. එය ගින්නක් සේ පැතිරෙන විට මෙරට විපක්ෂය සුපුරුදු පරිදි ඒ ගින්නෙන් සුරුට්ටු පත්තු කළේ ය. ඒ ගින්නේ එළියෙන් දේශපාලන සූදු කෙළියේ ය. අයිෆා සිනමා උළෙලට අමිතාබ් බච්චාන් ඇතුලු ඇතැම් නළු නිළියන් සහභාගී නොවීම පිළිබඳ කොටි හිතවාදීන් සමග මෙරට විපක්ෂය සිය සතුටු බෙදා හදා ගත්තේ ය. මේ කාලකන්නි සතුට මුන් ලබන්නේ රටට එරෙහිව කඳවුරු බැඳ සිටින සතුරන් සමග බව තේරුම් ගන්නේ කවදා ද?

මෑත කාලයේ මෙරට විපක්ෂය ක්‍රියා කළේ රටේ විපක්ෂය ලෙස මිස ආණ්ඩුවේ විපක්ෂය ලෙස නම් නොවේ. පහුගිය යුද සමයේ එය නතර කිරීමට කොටි හිතවාදීන් හා කරට කර සටන් කළේ මෙරට අමන විපපක්ෂයයි. දැන් යුද වීරයින් වන්නට දඟලන හිටි හැටියේ ජාතික ඇඳුමට බැස හැංගිමුත්තන් කෙළින අය එදා ක්‍රියා කළ හැටි රටට අමතක නැත. විස්කා සමාගම කොන්දේසි කඩකළේ යැයි අයිෆා උළෙලට රජය වියදම් කළ කෝටි 110 යළි උදුරා ගන්නැයි කෑ ගසා පුරන් අප්පුට පණ පොවන රනිල් වික්‍රමසිංහයෝ එදා තමා රහසේ මහ කොටියා සමග අත්සන් කළ ඊනියා සාම ගිවිසුම කොටි කීතු කීතු කරද්දි ගොළුවෙකු බිහිරෙකු මෙන් සිටියා රටට අමතක නැත.

කෙසේ වුව ද ආණ්ඩුවට මේ විපක්ෂය ආශීර්වාදයකි. මේ අමන විපක්ෂය කිසි විටෙකත් ජනතාව ආණ්ඩුවෙන් ඈත් කිරීමට ක්‍රියා නො කරයි. ජනතාව තමන් වෙත දිනා ගැනීමට ක්‍රියා නො කරයි. සිය වැරදි හදා නොගනි. එළුවාගේ මොකක් ද එක හැලෙන තුරු පස්සෙන් යන හිවලෙකු සේ නරිවාදන් දෙසමින් විපක්ෂය ඔහේ ඉබාගාතේ යයි. රටට එරෙහි බලවේග සමග එකගෙයි කන මෙරට විපක්ෂය දකින ජනතාව, ආණ්ඩුවේ යම් යම් වැරදි තිබුණත් ඒවා අමතක කොට යළි යළි ආණ්ඩුව ආරක්ෂා කළ යුතුය යන අදහසට එල්බ ගනිති.

Thursday, June 3, 2010

මොකක් ද මේ සම්බුද්ධ ජයන්තිය?

කැලැන්ඩරයේ සඳහන් වන්නේ මේ ක්‍රි.ව. 2010 බව ය. ලිතේ සඳහන් පරිදි මේ බු.ව. 2554 ය. එහෙත් මාධයෙන් නිතර දෙවේලේ පැවසෙන්නේ, මත තොට ප්‍රදර්ශනය වන්නේ, “2600 වැනි සම්බුද්ධ ජයන්තියට පිළිවෙතින් පෙළ ගැසෙමු.“ කියා ය. උදේ හවා කෙරෙන ධර්ම දේශනාවලදී ද මේ ගැන විශේෂයෙන් සඳහන් කෙරේ. මේ පිළිබඳ ඇතැමුන් අප සමග කළ කතාබස්වලදී පැහැදිළි වූයේ බොහෝදෙනා තුළ උක්ත කාරණාව ගැන පැහැදිළි අවබෝධයක් නැති බව ය.

“2600 වැනි සම්බුද්ධ ජයන්තියට පිළිවෙතින් පෙළ ගැසෙමු.“ යන පාඨයේ කියැවෙන පරිදි 2600 වැනි සම්බුද්ධ ජයන්තිය යෙදී ඇත්තේ ඉදිරියට ය. හරිට ම කිවහොත් ක්‍රි.ව. 2011 වසරට ය. බු.ව. 2555 වසරට ය. එසේ ගත් විට මේ බුද්ධ ජයන්තිය සහ බුද්ධ වර්ෂය අතර වසර 45ක පරතරයක් තිබේ. වෙනත් විදිහකට කිවහොත් 2555ට 45 එකතු කළ විටය 2600 ලැබෙන්නේ. මේ වසර 45 සිද්ධාර්ථ බෝධිසත්වයන් වහන්සේ ලොව්තුරු බුද්ධත්වයට පත්ව ගත කළ කාලයයි.

බුද්ධ වර්ෂ ගණනය ඇරඹෙන්නේ බුද්ධ පරිනිර්වාණ වර්ෂයේ සිට බව දැන් පැහැදිලි වේ. එය ක්‍රිස්තුස් වහන්සේ උපන් වසරින් ඇරඹෙන ක්‍රිස්තු වර්ෂ ක්‍රමයට වඩා වෙනස් බව ඉන් පෙනේ. මේ අනුව සිදුහත් උපත සිදු වූයේ බුද්ධ වර්ෂයට වසර 80 පෙර ය. උන්වහන්සේ බුද්ධත්වයට පත් වූයේ බුද්ධ වර්ෂයට වසර 45ට පෙර ය. එනම් වයස 35දී ය. පිරිනිවන් පෑවේ බුද්ධ වර්ෂ 0දී ය. අද වන විට බුද්ධ පරිනිර්වාණයට වසර 2554කි. බුද්ධත්වයට පත්ව වසර 2599කි. සිද්ධාර්ථ උපතට වසර 2634කි. ඒ අනුව අපි ලබන වසරේ උත්කර්ෂවත් ලෙස සැමරීමට සුදානම් වන්නේ සිදුහත් තවුසා ලොව්තුරු බුද්ධත්වයට පත්ව 2600 වැනි වසර ය.

Tuesday, June 1, 2010

ඉතින් අපි තව්තිසාවේ ජීවත් වෙමු!

වෙනදා පාපැදිය පිටුපස පත්තර මිටිය බැඳගෙන එන පත්තර කොලුවා, ගේ ඉදිරියේ මෝටර් රථය නවතා පත්තරය ගේට්ටුවෙන් ඇතුළට විසි කර යන්න ගියේය. පත්තරය අහුලා ගන්නට ඉදිරියට ගිය මට හෝන් ගසමින් සිල්වා ද නවීන කාරයක නැඟී ඉගිළ ගියේය. මේ අයුරින්ම මාලු, එළවලු, පාන් වෙළෙන්දෝ සිය මෝටර් රථවල නැගී වෙළඳාම් පිණිස ගමන් කළේය.

හිමිදිරියේ මහා මාර්ගවල විශාල වාහන තදබදයක් දක්නට ලැබිණි. නවීන මෝටර් රථවලින් සියලු පාරවල් වැසී තිබිණි. වෙනදා තරම් පාරේ බස් දක්නට ලැබුණේ ද නැත. හැමදාම පොල් පටවා ගෙන මරු විකල්ලෙන් දුවන පෞද්ගලික බස් රථ, මෙදා මිනිසුන් එකා දෙන්නා පටවා ගෙන පාරේ ගෑටුවේය. පාර අතුගාන කම්කරුවෝ හිමිදිරියේ ම සිය මෝටර් රථවලින් පැමිණි, ඒවා මහ මග අයිනේ නවතා මාර්ග පිරිසිදු කළහ. වෙනදා බස්වල තෙරපෙමින් එන කාර්යාල සුළු සේවක‍යෝ පාන්දරින් කාර්යාලවලට පැමිණ සිය අලුත් වාහනවල හැඩරුව බලමින් සිටියහ.

සියලු කාර්යල ඉදිරියේ මෝටර් රථ ගාල් කිරීම නිසා ඒවාට පිවිසීම ද අපහසු විය. පමා වී කාර්යාල වෙත පැමිණෙන ඇතැම් නිළධාරීන්ට සිය වාහන සුපුරුදු තැන්වල ගාල් කළ නොහැකි වූයේ සුළු සේවකයා ද සිය නවීන මෝටර් රථයෙන් කාර්යලය වෙත පැමිණ සිටි හෙයිනි. වෙනදා කාර්වල මහේශාක්‍ය ලීලාවෙන් ඉගිළ ගිය ඇතැම්හු පුළුටු මුහුණින් කරබා ගෙන ගමන් කළේය. ගේ පීරා රුපියල් 12ක් අහුලා ගෙන පාළු බසයකට ගොඩ වූ මා වෙත පැමිණි කොන්දොස්තර කොලුවා "ඇයි සර් කාර් එකක් ගත්තේ නැද්ද? ගණන් හොඳටම බස්සලා. මමත් හවසට එකක් ගන්නවා" යැයි කීවේ වෙනදා නොමැති අභිමාණයෙනි.

"යුද්දේ ඉවර කළාට පස්සේ අපට තිබුණෙ එකම ප්‍රශ්නයයි. අපි හැමෝම ලක්ෂ 10ක් විතර අතේ තියා ගෙන බලා හිටියේ අපටම කියලා කාර් එකක් ගන්න. දැන් ඒකත් හරි. දැන් අපට කිසි ප්‍රශ්නයක් නෑ. මෙවාට බනින්නේ දුප්පත් අපි කාර්වල යනවා දකින කොට ඇස්වල කටු ඇනෙන ඊර්ෂ්‍යාකාරයෝ." රජයේ ප්‍රධානින්ගේ දෙමාපියන්ට පිං අනුමෝදන් කරමින් සිටි ජනතාව පැවසූ කතාවල සමස්ත අර්ථය එය විය.

‍‍



 
සිය රට දේ සිරි සැප දේ !