Tuesday, August 30, 2011

හීනමානය, ආගම සහ දේශපාලන

එක්තරා වෙබ් අඩවියක කතෝලික පල්ලියේ දේශපාලන මතවාදය විවේචනය කර ලියූ ලිපියක් පළවිය. මේ ලිපිය දුටු ඇතැම්හු සාතන් සේ මාරාවේශ වී බුදුන්ටත් බුදුදහමටත් පලුයන්න බැන්නේ කිසිදු විචාරයකින් තොරවය. එකල ඉන් හැඟුම්බර වූ බෞද්ධයෝද පෙරලා එසේ කළෝය. ආගම් සහ ආගමික ශාස්තෘවරුන්ට ගැරහීම ශිෂ්ට නැත. ඒ ගැන මගේ කිසිදු ප්‍රසාදයක් ද නැත. කෙසේ වුවද ආගම සහ දේශපාලන පටලවාගත යුතු නොවේ. පල්ලිය දේශපාලනය විවේචනය කර ලියූ ලිපියට ප්‍රතිචාර පළ කළ යුත්තේ එහි දේශපාලනය පදනම් කරගෙනය. එහි බොහෝ දෙනා නොකළේද එයමය.

එහි තමා 'සත්‍ය' යැයි හණ ගසා ගත්තෙක්ගේ ප්‍රතිචාරය කියවූ මට සන්ෆලවර්ලාගේ 'පිං මාළු වලේ කුසල්හාමි මාලු බානවා' කියන බයිලය සිහිවූයේ නිතැතිණි. මන්ද එහි සියල්ලෝම කරන්නේ තමන්ගේ නමට නොගැළපෙන දේය. මේ පුද්ගලයාද එසේමය. ඇත්ත කියලා හිතාගෙන බොරු කියයි. නොදන්න දෙමළෙට ගිහින් වරිගෙ නහගන්නවා කියන්නේ මෙවැනි වැඩවලටය.

ඔහුගේ ප්‍රතිචාරය මෙසේ සංක්‍ෂිප්ත කළ හැකිය. ඉන්දියාවේ බෞද්ධයින් නැත. ලංකාවේ දෙමළ බෞද්ධ මහ නායක හිමිවරු නැත. හාමුදුරුවරු දුශ්හීලය. සිංහලයා කිසි දෙයක් කළ නොහැකි සුද්දා මත යැපෙන ජාතියකි. සිංහලයින් මල්ටි බැරල් ඒසී මැෂින් හදා නැත. ඔහු අන්තර්ජාලයක් නැත. මේ සියලු කාරණාවලින් පැහැදිලි වන්නේ වර්තමාන වන විට ජාතිය කෙතරම් හීනමානයකින් පෙළෙන්නේද යන්නය. අනෙක් අතට මෙරට පුස්සන් බිහි කරන අධ්‍යාපන ක්‍රමය ජාතියට හෙන ගෙඩියක් වී ඇති බවය.

ඉන්දියාවේ බුද්ධාගම නොමැති බව ඔහුට කීවේ කවුදැයි පැහැදිලි නැත. එයද දෙයියන්නාන්සේ කීවා විය හැකිය. උන්වහන්සේ කිව්වා නම් ඒ ඇත්තකි. මන්ද ඔහු මැවූ පෘථිවිය වටේ ඉර අදද කැරකෙන හෙයිනි. බෲනෝලා, ගැලීලියෝලා බොරු කී බව පසක් වී හෙයිනි. ඉන්දියාවේ බෞද්ධයෝ සිටිති. යුරෝපයේ, ඇමරිකාවේද බෞද්ධයෝ සිටිති. එහෙත් ඒ ඉතා සුළු පිරිසකි. එයට හේතු ගණනාවකි. එය දර්ශනයක් මිස ආගමක් නොවන අතර අවබෝධකර ගැනීම එතරම් පහසු නැත. ප්‍රාථමික මිනිසාගේ නොදැනුම, බය, පදනම් කරගත් මැවුම්වාදය, විශ්වාසය, භක්තිය වැනි දෑවලට එහි ඉඩක් නැත. එම දර්ශනය ඇසුරින් පසුව ආගමක් බිහිවුවද එය ඉතා අවිහිංසාවාදී ආගමකි. එය මිනිසා මත බලෙන් පටවන ආගමක් නොවේ. මිනිස් ජීවිත, රුධිර ගංගා මතින් ව්‍යාප්ත නොකළ එකම ආගම බුදුදහමයි.

තුවක්කු බයිබල් දෑතට ගෙන බටහිර ආක්‍රමණිකයින් කළා දෑ බෞද්ධයෝ කිසි දිනක කළේ නැත. ලංකාවේ දෙමළ ජනතාව බෞද්ධ කිරීමට කිසිවෙක් උත්සාහ නොගනී. බෞද්ධයෝ සිය ආගම බත් පැකට්, සිල්ලර බඩු මලු සමග දෙන්නේ නැත. සුපර්මාර්කට්වල සමහර බඩු සමග තව එකක් නොමිලේ දෙයි. ඇතැම් ආගම් ව්‍යාප්ත කරනට මේ ක්‍රමවේද භාවිත කළද බුදුදහම ව්‍යාප්ත කිරීමට බෞද්ධයෝ එසේ නොකරති.

මෙරට වැසියාට බුදුදහම දෙසීමට පෙර මිහිඳු මහරහතන් වහන්සේ තිස්ස රජු බුද්ධි පරික්ෂණයකට ලක්කළ සේක. ධර්මය දේශනා කළේ ඉන් සමත් වූ පසුය. දහම් අසා පැහැදී බුදුදහම වැළඳ ගන්න අවසර ඉල්ලූ උපාලි ගෘහපතියාට බුදු රජුන් මෙන්න මෙහෙම අවවාද කළා.
"කලබල වෙන්න එපා හොඳට කල්පනා කරලා බලන්න. හෙමිහිට හිතලා බලන්න. පස්සේ තීරණයක් ගන්න. නමුත් ඔබ දිනපතා නිඝන්ඨනාථපුත්ත වෙනුවෙන් ඔබේ නිවසේ ලබාදුන් දානය නතර කරන්න එපා"
ඒ බුදුමග. ඒ මග තමා ධර්මාශෝක රජු ගියේ. බෞද්ධයෝ යන්නේද ඒ මගමය. එහෙත් පෙරකී ෆැසිට්වාදී ක්‍රමය බෞද්ධයින් අනුගමනය කළේ නම් මේ රටේ දෙමළ බෞද්ධයෝ මිසක් හින්දුවරු නැති වනු ඇත. කතෝලිකයින්ද නැතිවනු ඇත. දෙමළ හෝ වෙනත් අය බෞද්ධ වුණා නම් ඒ බුදුදහම හැදෑරිමෙන් පසුවය. ඒ ඉතා සුළුතරයකි. වීරසෝළියම් නම් වියරණය කළේ දෙමළ ප්‍රාදේශීය රජෙකි.
පාළි බසින් බෞද්ධ පොත් ගණනාවක් ලියූ බුද්ධමිත්‍ර හිමි දෙමළ ජාතිකයෙකි. ත්‍රිපිටකයට අටුවු ලියූ මහා විහාරවාසී බදරතිත්ථ ධර්මපාල හිමි, කලක් අභයගිරියේ විසූ වජ්‍රබෝධි, අමෝඝවජ්‍ර හිමිවරුද දෙමළ ජාතිකයෝය. ආනන්ද වනරතන හිමි වෙතින් ත්‍රිපිටකය උගෙන පසුව බෞද්ධ කෘති ලියූ චෝළි දීපංකර හිමි ද දෙමළය. මෙසේ අද ද දෙමළ බෞද්ධයෝ සිටිති. ඒ ඉතා සුළුතරයකි.
ඒ අයට වඩා ක‍තෝලික දෙමළ අය වැඩිය. ඒ මන්දැයි නැවත පැහැදිලි කළ යුතු නැතැයි සිතමි.

මේ රටේ ඕනෑම කෙනෙකුට තමන් කැමති ආගමක් ඇදහිය හැකිය. අපි දෙමළ අයට පන්සල ළඟම කෝවිලක් තනා දී තිබේ. බෞද්ධයෝද එහි යති, එති. දෙපිරිසම එකට ගොස් කතරගම වන්දනා කරති. ලන්දේසි ඇවිත් පෘතුගීසි පල්ලි විනාශ කරන විට බෞද්ධයෝ තමන්ගේ පන්සල් ළඟින් කතෝලික අයට පල්ලි හදාගැනීමට අවසර දුන්හ. අනුරාධපුර යුග‍යේ මේ රටට වෙළඳාම පිණිස ආ ක‍තෝලික වෙළඳුන්ට වන්දනාමාන කරගැනීමට ස්ථාන දුන්හ. මේ රටේ 1505ට පෙර ක‍‍තෝලිකයින් උන්නා යැයි ඉතිහාසය විකෘති කිරීමට දතකන අය අද ඒවා තම පටු අරමුණු වෙනුවෙන් භාවිත කරති.

මේ රටට ‍කෝපි වැවීමට, දුම්‍කොල වැවීමට බටහිර ආක්‍රමණිකයෝ දෙමළ කම්කරුවෝ ගෙන ඒමට කලින් මේ රටට පැමිණි අය පරම්පරා දෙකකින් සිංහල බෞද්ධ වුහ. ඒ නිසා ඒ අයගෙන් පැවත එන අයත් සිංහල මහානායක හාමුදුරුවරු ලෙස මිස දෙමළ යැයි නොහඳුන්වයි. අප ජාතියට විවිධ ජාතීන් පැමිණ සම්මිශ්‍රවීම නතර කළේ අධිරාජ්‍යවාදීන්ය. අප අතර බේද ඇති කළේ ද ඔවුන්ය.

අපේ සංඝ සමාජයේ වැරදි කරන අය සිටිති. එදත් දෙව්දත් සුභද්‍ර වගේ අය සිටියහ. අදත් සිටිති. සමහරු ඇත්තටම චීවරධාරියෝය. මේ අය භික්ෂූහු නොවෙති.එවැන්නෝ හැම ආගමකම සිටිති. ඇතැම් ආගම්වල පූජකයින්ට තරම් බාලාපචාර ‍‍දූෂණ චෝදනා, රටවල් දඩයමේ යන ඇමරිකන් යුරෝපා කුලී හමුදාවටවත් එල්ල වී නැත.

වළගම්බා රජ්ජුරුවෝ මල්ටි බැරල් හංගලා නොතිබුණාට ජාතිකත්වය, රටේ ඒකීයත්වය වෙනුවෙන් සටන් කරන්න අවශ්‍ය ශක්තිය හංගා තිබුණි. ඒ මේ රටේ ජාතිමාමකයින්ගේ සිත්වල. එය මල්ටි බැරල්වලට වඩා ප්‍රබලය. මල්ටි බැරල් හැදු අය ලොව යුද්ධයක් දිනා ඇත්තේ කොහිද? ඔවුන් ගිය හැමතැනම අසාර්ථක වී තිබේ. සෑම රටක්ම විනාශ කළා විනා, ඒ රටවල සම්පත් කොල්ල කෑවා මිසක් ලද දිනුමක් ඇද්ද? එහෙත් අපට ලොවම දිනන්න බෑ කියූ ත්‍රස්තවාදය පරාජය කළ හැකි විය. එහෙයින් දැන් මල්ටිබැරල්කාරයින්ට තම තියරි අලුතින් ලියන්නට සිදු වී තිබේ.

සීගිරිය පමණක් නොව අපේ පැරණි මාළිගා බොහොමයක් වායුසමනය කරලා තිබුණි. එහෙත් ඒ සියලු වාකුහර හිරු එළියට යවට මෙන් රත්වන වීදුරුවලින් වසා සිය දහස් ගණන් මුදල් වියදම් කර විදුලි මැෂින්වලින් නොව, රටේ දේශගුණයට සරිලන සේ වා කවුළු තැබීමෙනි. මැටියෙන් කළ ගඩොලින් පළල බිත්ති බැඳීමෙනි. වහළයට මැටි උළු භාවිතයෙනි. උස් වහළවල් සැදීමෙනි. සිය උද්‍යානවල පරිසරය සිහිල් කරන ගස්වැල් වැවීමෙනි. සුළං හමන දිශානති අනුව ජල පොකුණු තැනීමෙනි. අපේ ඒ පරිසර හිතකාමී ක්‍රමවේදවලට පයින් ගසා නූතනත්වය යැයි අප බදාගත් දෑ දැන් ලෝකයට බරක් වී තිබේ.

පරිගණකය හෝ නව තාක්ෂණ දැනුම ප්‍රතික්ෂේප කිරීම බෞද්ධ සම්ප්‍රදාය නොවේ. එසේ විද්‍යාවට බුදුදහම බිය නොවන්නේ විද්‍යාවේ දියුණුව නිසා බුදුදහමට හොඳක් මිස නරකක් නොවන නිසාම නොවේ. අන්මතවලට ගරු කිරීමට එම දහම තුළ උගන්වන බැවිනි. චින්තකයින්, විද්‍යාඥයින් මරාදමා දැනුමට එරෙහි වූයේ බෞද්ධයින් නොවේ. එසේ ඇතැම් ආගම් නූතනත්වයට විද්‍යාවට එරෙහි නොවන්න පරිගණකය මීට වසර 500-600ට පෙර බිහිවන්නට හොඳටම ඉඩ තිබිණි.

අනෙක් අතට අප කිසිවක් නොකළ ජාතියකැයි ගැරහීම හෝ ප්‍රශ්න කිරීම යකඩ ගිනි ගත් ගේ පුළුං සෙවීමකි. මේ රටවල දැනුම විනාශ කළෝ, පොත්ගුල් ගිනි තැබුවෝ, පොතපත සිය රටවලට රැගෙන ගියෝ කවරහුද? සුද්දා සිය කාර්යාලවල පියන්වරු මෙරට බෝ කරනට ඇති කළ අධ්‍යාපන ක්‍රමයෙන් බිහිවන පුස්සන්ගෙන් එවන් නව දැනුමක් පැතීම වඳ ගැහැනියකගෙන් දරුවන් පැතීමක් නොවන්නේද?

සැබැවින්ම මේ රටට ආදරය කරන මිනිසුන් කළ යුත්තේ අප යා යුතු මග සොයා පාදා ගැනීම මිස පිර රට දේ සුර සැප දේ යැයි සීතාම්බර සළු හැඳ හඬලෑම නොවේ. ආක්‍රමණිකයා ජාතියට මග වැරැද්දු තැන සොයාගෙන නිවැරදිවීමට කාලයයි මේ.

Thursday, August 11, 2011

නෝර්වේට එහෙම නම් අපිට කොහොමද?


නෝර්වේ රටේදී මෑතදී එල්ලවූ ප්‍රහාරය තම අතීත පාපී ක්‍රියාවලියේ ප්‍රතිඵලයකැයි පූජ්‍ය බෙංගමුවේ නාලක හිමියෝ පැවසූහ. මේ පුවත පළවූ එක් අඩවියක පාඨකයෙක් සිය ප්‍රතිචාර දක්වා තිබිණි. නෝර්වේ රටට එසේවී නම් අපට 30 වසරක් කොටි ප්‍රහාරවලට ලක්වීමට සිදුවූයේ මන්දැයි අසා තිබිණි. මෙය නොදන්නාකම නිසා නොව තමන් දන්නේ යැයි සිතාගෙන අසන ලද පැනයකි. මින් ඔහු අන්‍යාකාරයෙන් කීමට උත්සාහ ගන්නේ ලංකාවේ අපට ද භුක්තිවිඳීමට සිදුවූයේ අතීත පාපී ක්‍රියාවලියක ප්‍රතිඵලය බවය. එය අපද පිළිගනිමු. එහෙත් ඔහු කීමට අදහස් කළේ එපමණක් නොව මේ ක්‍රියාවලියට සිංහලයා වගකිව යුතුය යන මාක්ස්වාදී කෙප්පයයි. එහෙයින් එහි සැබෑව විමසීම සහ අනාවරණය කිරීම අපගේ යුතුකමකැයි සිතමු.

පෙරද කී පරිදි අපටද භුක්තිවිඳීමට සිදුවූයේ අතීත පාපී ක්‍රියාවලියක ප්‍රතිඵලයයි. එය හේතුඵල දහමටද එකඟය. එහෙත් ඊට වගකිව යුත්තේ කවුද? මේ ප්‍රශ්නය නිර්මාණය කළේ කවුද? යන්න විමසන කල මම චූදිතයින් තිදෙනෙක් නම් කරමි.
1. ඉංග්‍රීසි පාලකයින්
2. ද්‍රවිඩ ජාතිවාදී නායකයින්
3. එජාප ආණ්ඩුව

ඉංග්‍රීසි පාලකයෝ සිය යටත් විජිත සමයේ සිය පාලනය පහසුවෙන් ස්ථාපිත කොට පවත්වාගෙන යාමට ජාතීන් භේදභින්න කළහ. ඒ සඳහා ඔවුන් කළේ රටේ ප්‍රධාන ජාතියට වඩා අනෙක් ජාතීන්ට පහසුකම් ලබාදීමය. මෙමගින් ප්‍රධාන ජාතිය අනෙක් ජාතීන් දෙස සැකෙන් බැලීමට යොමුවූ අතර ඔවුහු (අනෙක් ජාතීන්) වඩ වඩාත් සිය ස්වාමීන් වෙත ළංවූහ. මේ නිසා රටවල නිදහස් ව්‍යාපාර අඩාල වූ අතර ලිපිකරුවන් බෝකරන අධ්‍යාපන ක්‍රමයෙන් එම රටවල තමන්ට බය පක්ෂපාතී පිරිසක් බිහිකර ගැනීමටද හැකිවිය. යම් දවසක නිදහස ලැබුවද ඒ රටවල් කැබලිවලට කැඩී ගියේය. එසේ කැඩීයාමට සුදු ආණ්ඩුව උදව් කළේය.

පෙර තිබූ ශ්‍රී විභූතිය වියැකි ගිය අතර දේශසීමා ගැටුම් සහ වාර්ගික අරගල සහිත රෝගී රටවල් බිහිවිය. ජාතීන් අතර පෙර තිබූ එකමුතුව නැතිවිය. එය ධනපති රටවලට ආයුධ වෙළඳාමට වෙළඳපොළක් බවට පත්විය. තම ලෝක ආධිපත්‍යයට අභියෝග කළ හැකි රටවල් නිර්මාණය වීම නවතා දැමිය හැකි විය. නිදසුනක් ලෙස භාරතය නිදහස ලබද්දි ඉන්දියාව සහ පකිස්ථානය ලෙස දෙකඩ විය. පසුව පකිස්ථානයේ නැගෙනහිර කොටස බංගලිදේශය නමින් වෙන්විය. ලංකාවේ තත්ත්වයද මෙයට සමානය. මෙරට සිංහල ජාතියට නොමැති
විශේෂ වරප්‍රසාද සුදු ආණ්ඩුව දෙමළ ජනතාවට ලබාදුන්නේය. ලංකාවේ ප්‍රථම වෛද්‍යවිද්‍යාලය ඇරඹුණේ කොළඹ නොව යාපනේය. රජයේ තනතුරුවලට සිංහලයෙකු නොවීම විශේෂ සුදුසුකමක් විය. මෙසේ ජාතීන් අතර අසමානතා ඇති කිරීම අප 30 වසරක් තිස්සේ විඳි ඛේදවාචකයට මුල් හේතුව විය. එය තවමත් නිමා නොවුවකි.

දෙවැන්න සුදු ආණුඩුවේ සටපකට උපාය දෙමළ නායකයින් අවබෝධකර නොගැනීම හෝ එය ආයුධයක් ලෙස පාවිච්චි කිරීමේ ආත්මාර්ථකාමී බවය. තමන්ට වරප්‍රසාද දුන්නේ තමන්ට ඇති ආදරකයට නොව සිය පටු අරමුණු ඉටුකර ගැනීමට බව අවබෝධකර ගැනීමට ඔවුන් අසමත්විය. එහෙයින් ඉංග්‍රීසි ආණ්ඩුව සුළු ජාතීන්ට ලබාදුන් විශේෂ වරප්‍රසාද නිදහසින් පසුද එසේම ලබාගැනීම දෙමළ නායකයින්ගේ අරමුණ විය. එහෙත් එය රටේ ප්‍රජාතන්ත්‍රවාදී ආණ්ඩුවක් බිහිවූ විට ලද නොහැකි බව ඔවුන්ට අවබෝධ විය. ඒ නිසා වෙනම රාජ්‍යයක් තනා
ගැනීම වෙත ඔවුන් ගමන් කළේය. ලංකාව නිදහස ලබද්දී ද දෙමළ ජන නායකයෝ 50/50 ඉල්ලා සිටියේ මේ නිසාය. 1949 ෆෙඩරල් රාජ්‍යයක් වෙනුවෙන් පක්ෂයක් නිර්මාණය කළේ එහෙයිනි. ඒ වෙනම රාජ්‍යයක් වෙත යාමේ ආරම්භය වශයෙනි. 30 වසරක් මේ රටේ ගලා ගිය ලේ ගංගාවට ගිල්වාලූ ඊළාම්වාදී ත්‍රස්තයින්ට මව්පියන් වූයේ මෙකී සුදු ආණ්ඩුව සහ ජාතීවාදී දෙමළ නායකයෝය.

මෙසේ දෙමළ නායකයින් ගෙන ගිය ප්‍රජාතන්ත්‍රවාදී ඊළාම් අරගලය උච්චස්ථානයට ආවේත් එය ජාත්‍යන්තර අවධානයට පාත්‍රවූයෙත් 1983 කළු ජූලිය සමගය. උතුරේදී කොටි විසින් හමුදා නිලධාරීන් 13දෙනෙකු මරාදැමීම සමග සමස්ත දකුණම දෙදරුම් කා ගියේය. ඊට පෙර ආසන්න ඉතිහාසයේ එවන් ඛේදවාචකයක් අත්දැක නොතිබීම එයට හේතු විය. තිස් වසරක් මේ රට විශාලා මහනුවරක් වී නොතිබෙන්නට එම තත්ත්වය අපටද මැනවින් අවබෝධකරගත හැකිවනු ඇත. (දැන් එක්සත් රාජධානීයේ හටගෙන ඇති මහ කැරලිකාරී තත්ත්වයට හේතු වූයේ එක් පුද්ගලයෙකුගේ මරණයයි.) එකල පැවති එජාප ආණ්ඩුව මෙය මහා ජාතිවාදී ගින්නක් දක්වා ඇවිල යාමට අවශ්‍ය පිදුරු පෙට්‍රල් දැමුවේය. එජාප මැරයින්1981 යාපනේ සංවර්ධන සභා ඡන්දය කොල්ලකෑම, යාපනේ පුස්තකාලය ගිනි තැබීම ඉන් කිහිපයකි. අනතුරුව දකුණේ එජාප මැරයින්ට අහිංසක දකුණේ දෙමළ ජනතාව මරා, ස්ත්‍රීන් දූෂණය කර, නේක වද බන්ධනවලට ලක්කර ඔවුන්ගේ දේපොළ කොල්ලකෑමට ඉඩදී ඒ තකතීරු උමතු ආණ්ඩුව නිහඬව සිටියේය. නැතහොත් ඒ මංකොල්ය නතර කිරීමට පොලිසිය නොයොදවා අනියමින් සහය දුන්නේය.

ඊළාම්වාදීන්ට මෙකී එජාප උමතු රංචුව කළ නිහීන අධම වැඩවල වීඩියෝ පිට රටවලට යවා ජාත්‍යන්තර අනුකම්පාව, ආධාර ඇතුව වෙනම රාජ්‍යයක් වෙනුවෙන් සටන් කරන්නට නව පෙරමුණක් නිර්මාණය කරගත හැකිවිය. ද්‍රවිඩ ජාතීවාදීන් මෙලෙස දකුණේ ජනතාව මංකොල්ල කෑ එජාප පිරිස සිය දේශපාලන අරමුණු වෙනුවෙන් උතුරේ දෙමළ ජනතාව සහ ජාත්‍යන්තරයට හඳුන්වා දුන්නේ සිංහල ජනතාව ලෙසය. මෙසේ සිංහල ජනතාව කෙරෙහි බද්ධ වෛරයක් දෙමළ සිත්හි ජනිත කරන්නට එජාපය කළ නිහීන ක්‍රියාව හේතුවිය. ආයුධ අතට ගත් ඒ කල්ලි අතරින් වැල්වැටිතුරේ වෙරළේ හොරබඩු ජාවාරම් කරමින් සිටි ප්‍රභාකරන් නමැති මැරයාට අනෙක් අය පරයා නැගී සිටිය හැකි වූ අතර එජාප ආණ්ඩුව සැපයූ ජාතීවාදී පෙට්‍රල්වලින් ඔහුට වසර 30ක් රට ලේ ගංගාවක් කළ හැකි විය. අදටත් සිංහලයා පිළිබඳ දෙමළ ජනතාව සහ ජාත්‍යන්තරය තුළ ඇති වැරදි ආකල්පවල වැඩි වගකීමක් ගතයුත්තේ එජාපයයි. මන්ද ලංකාවේ ත්‍රස්ත අරගලය මහා පරිමාණයෙන් ව්‍යාප්ත
වීමෙහිලා ආරම්භය වූයේ 1983 කළු ජූලිය හෙයිනි. අද අප මුහුණදී ඇති එක් ප්‍රධාන අභියෝගයක් වන්නේ 1983 නිහීන ලෙස හැසිරුණේ සිංහලයින් නොව එක්තරා පක්ෂයක අන්ධ භක්තිකයින් රැළක් බව දෙමළ ජනතාවට ඒත්තු ගැන්වීමයි.

ඇතම් අරික්කාල් මාක්ස්වාදීන් සහ ඊළාම්වාදීන් තුන්වේලට ජප කිරීම නිසා (ගොබෙල්ස් තියරිය අනුව) දැන් නම් ඇත්තම යැයි සිතන 56 සිංහල රාජ්‍ය භාෂාව කිරීම මෙහිලා බලපෑවේ ඉතාම අඩුවෙනි. එසේ බලපෑවේද එය අසාධාරණයකැයි දෙමළ ජාතීවාදී නායකයින් පැවසීම සහ ඉන් ජාතිවාදය ඇවිස්සීම නිසාය. සිංහලය රාජ්‍ය භාෂාව කළේ දෙමළ බසට විරුද්ධව නොව ඉංග්‍රීසි පාලකයින් සිංහලය නොකතා හැරීම නිසා සිදුවූ අඩුව සපිරීමටය. අනෙක් අතට ඒ නිසා මුස්ලිම් ජනතාවට නොමැති විශේෂ ප්‍රශ්නයක් දෙමළ ජනතාවට ඇතිවිය නොහැකිය. එපමණක් නොව සිංහලය වනාහි 1815 තෙක් වසර දෙදහස් ගණනක් ලංකාවේ රජ බස විය. එහි ඒ නිල තත්ත්වය අහිමිවූයේ ශතවර්ෂ එකහමාරකට අඩු කාලයක් පමණි. 56 සිදුවූයේ නැවත සිංහලයට හිමිවී තිබූ තත්ත්වය ලබාදීම මිස නව වරප්‍රසාදයක් ලබාදීම නොවේ. අනෙක් අතට 56 සිංහල රාජ්‍ය භාෂාව කිරීම නම් හේතුව, එකී හේතුව ඉවත් කළ විට ඵලය එනම් ත්‍රස්තවාදය කෙළවර විය යුතුය. එහෙයින් රජය කල යුත්තේ බැදිවල නොයා සිංහල දෙමළ සහෝදරත්වය ඇති කිරීමේ සංග්‍රාමය, හදවත් යා කිරීමේ සංග්‍රාමය ඇරඹීමයි.

මේ සඳහා රජය ගෙන ඇති පියවර සම්පූර්ණයෙන් පළදරා ඇතැයි කිව නොහැකි වුවද යාපනේ පුස්තකාලය නැවත ගොඩනැංවීම, ඊළාම්වාදය ප්‍රතික්ෂේප කළ දෙමළ නායකත්වය පක්ෂයේ ඉහළ තනතුරුවලට ගෙන ඒම, උතුරේ ප්‍රජාතන්ත්‍රවාදය ස්ථාපිත කිරිම, මහා පරිමාණ සංවර්ධන ව්‍යාපෘති උතුරට ගෙන යාම සාධනීය වෙයි. මේවා කරන අතරතුර රජය සිංහල දෙමළ සහෝදරත්වය, සුදු අධිරාජ්‍යවාදීන් මෙරටට බෝවීමට පෙර තිබූ තත්ත්වයට පත්කළ යුතුය. ඒ වෙනුවෙන් කළ හැකි, කළ යුතු සියල්ල කළ යුතුමය. අප සතුරන් නොව අසල්වැසි සහෝදරයින්ය යන හැඟීම ඇති කළ යුතුය. දෙමළ ජනතාවට අවැසි ඊනියා කාල්මාක්ස්ලාගේ අනුකම්පාව නොව ආදරයේ, ගෞරවයේ, සහෝදරත්වයේ හස්තයයි. එවිට අප,තර විශ්වාස දළුලා වැඩෙනු ඇත. නව ලොව අභියෝගවලට මුහුණදිය හැක්කේත් සෞභග්‍ය කරා ළංවිය හැක්කේත් වෙන්ව නොව එක්ව සිටීමෙන් බව අවබෝධ වනු ඇත. උතුරේ එක් වැසියෙකු වෙනුවෙන් ඒ කාර්යය දකුණේ එක් වැසියෙකුට කළ හැකි නම් සුද්දා අපට දායාද කළ ඉන්පසු ජාතික දේහය පුරා ඔඩුදුවා ගොස් දැන් මදක් සමහන්ව ඇති මහා විසාදිය අප මව්බිමෙන් තුරන්ව යනු ඇත.





 
සිය රට දේ සිරි සැප දේ !