Wednesday, March 4, 2009

අවාසනාවට ඇත්ත කතාවක් (2)

ශ්‍රී ලංකාවේ ක්‍රිකටි ක්‍රීඩකයන්ට පාකිස්තානයේදී එල්ල වු ප්‍රහාරයේදී ඊට වගකිවයුතු බවට උපකල්පනය කළ හැකි පාර්ශ්ව කිහිපයක් ගැන අප ඊයේ (04 දා) මේ තීරුව ඔස්සේ සඳහන් කළෙමු. ඔවුහු නම් කොටි සංවිධානය, අල්ඛයිඩාව, දියුණු ලෝකයෙන් පාකිස්තානය තුරන් කර තැබීමට තැත් කරන තලේබාන් වැනි සංවිධාන සහ ඉන්දියාවේ රෝ සංවිධානයයි. රෝ සංවිධානය ගැන අප සිහිපත් කිරීම ගැන අපගේ වැඩිමහලු සහෝදරයා වන ඉන්දියාව කෝප නො වනු ඇතැයි අපේකෂා කරමු. කොටි සංවිධානය පෝෂණය කිරීමට ඉන්දිරා ගාන්ධි මහත්මිය බලවත් සේ උදව් උපකාර කළ බව ජනප්‍රිය මතය වේ. එහෙත් සැබෑ තත්ත්වය නම් තමිල්නාඩුවේ කොටි කඳවුරු පිහිටුවීමට ගාන්ධි මැතිනිය මුලදී විරුද්ධ වු බව ය. එහෙත් ජේ. ආර්. ජයවර්ධන ජනාධිපතිතුමා ඇමරිකාවට පකෂපාතී ප්‍රතිපත්තියක් ගෙන යෑමට පටන් ගත් විට ඔහු පාලනය කිරීම සඳහා කොටින් පාවිච්චි කිරීමට ගාන්ධි මහත්මිය තීරණය කළා ය. එසේ කිරීමේදී කොටි සංවිධානය නමැති ගිනි අඟුර අල්ලන අඬුව ලෙස ඇය පාවිච්චි කළේ රෝ සංවිධානයයි. යාපනේ දෙමළ දේශපාලනඥයන් රැස්වීම් පවත්වන විට එම රැස්වීම්වලට බෝම්බ ගැසීම සඳහා රෝ සංවිධානය මිනිසුන් කුලියට ගත් බව කියැවෙන කතන්දර ඕනෑ තරම් ඇත. එසේ බෝම්බ ගසන විට දෙමළ දේශපාලනඥයන් විශ්වාස කළේ සිංහල ආණ්ඩුව තමන්ට බෝම්බ ගසන බව ය. එවිට එම දේශපාලනඥයන් සමඟ සිටි කොටි යුද හමුදාවට පහර දුන්හ. එක්දහස් නවසිය අසුතුනේ ජුලි කලබලය හටගැනීමට බලපෑ සාධක අතර මේ තත්ත්වය ද ප්‍රමුඛ ය. ඉන් පසුව රෝ සංවිධානය ශ්‍රී ලංකාවේ අභ්‍යන්තර කටයුතුවලට මැදි වු අවස්ථා බොහොමයක් තිබේ. මෙවර යුද්ධයේදී පාකිස්තානය සහ චීනය ශ්‍රී ලංකාවට බෙහෙවින් උදව් කළහ. කලාපයේ වැදගත් මර්මස්ථානයක් වන ශ්‍රී ලංකාව සමඟ, තම රට අසල සිටින න්‍යෂ්ටික බලවතුන් දෙපොළක් උදව් කරනු දැකීමට පෘථග්ජන ඉන්දියාව කැමැති වන්නේ නැත. ශ්‍රී ලංකාවේ ක්‍රීඩකයන්ට පාකිස්තානයේදී ප්‍රහාරයක් එල්ල කිරීමට රෝ සංවිධානය මැදිහත් වීමට ඉඩ ඇති බවට සැක පහළ වන්නේ මේ නිසා ය.

කවරකු කෙලෙස කීවත් මුම්බායි ප්‍රහාරය එල්ල වුයේ ඉන්දියාවේ ඇතැම් කොටස්වල අනුග්‍රහය ඇතිව ය. නැතහොත් නුගත් තරුණයන් කිහිපදෙනකුට මුහුදු මාර්ගයක් ඔස්සේ බර අවි රැසක් සහ චන්ද්‍රිකා දුරකථන සමඟ පැමිණ දින දෙකක් මුම්බායි නගරය යටත් කරගෙන සිටීම උගහට ය. එසේම ලාහෝර් ප්‍රහාරයේදී ද පකිස්තානයේ ඇතුළත බලවේග ඊට සම්බන්ධ වීම නො වැළැක්විය හැකි ය. නැතහොත් ක්‍රිකටි ක්‍රීඩකයන් එන මග මෝටාර් ප්‍රහාර එල්ල කරන තුවක්කු රැගෙන ඔවුන් සැඟව සිටියේ කෙසේ ද? ඔවුන් මහ පොළොව පලාගෙන මතු වුවෝ නො වෙති. සමහර විට ඔවුන් තමන්ටත් නො දැනී වෙනත් පාර්ශ්වයක් වෙනුවෙන් පාවිච්චි වන පිරිසක් වුවා වීමට පිළිවන. විවිධ රටවල ඔත්තු සේවා වෙනුවෙන් පාවිච්චි වී ඒ බව නො දැනම මියගිය අය ඕනෑ තරම් සිටිති. එය පෙරත් සිදු විය. අදත් සිදු වන්නේ ය. හෙටත් සිදු වනවා ඇත.

සාමාන්‍යයෙන් ඕනෑම කුණු ගොඩක් එල්. ටී. ටී. ඊ. ය මත පැටවීමේ වැඩපිළිවෙළක් කවදත් ශ්‍රී ලංකාවේ තිබිණ. එල්. ටී. ටී. ඊ. ය නමින් කප්පම් ගැනීම හා පෞද්ගලික තරහ පිරිමසා ගැනීම කවදත් තිබිණ. කොටි සංවිධානය දුර්වල වී, ප්‍රභාකරන් ඌරු මීයකු මෙන් ගුලක් තුළ සැඟවී සිටින මේ මොහොතේදී පෙරළා උත්තර බැඳීමට ද කිසිවකු නැති නිසා ඕනෑම අපරාධයක් ප්‍රභාකරන් පිට පටවා වැඩි දුර කටයුතු කෙටි කර ගැනීමට වැඩි දෙනා කැමැත්තාහ. අපගේ තර්කය වන්නේ ප්‍රභාකරන් වෙනුවෙන් ස්වෙච්ඡාවෙන් ඉදිරිපත් වු "ත්‍රස්තවාදී පුණ්‍යායතනයක්" වැනි සංවිධානයක් හැර කොටින්ට මේ මොහොතේදී මෙවැනි දෙයක් කිරීමට තරම් පණ නැති බව ය. ශ්‍රී ලංකා ක්‍රිකටි කණ්ඩායම පුදුකුඩිඉරිප්පුවේ ක්‍රිකටි ගැසීමට ගිය විට මේ ප්‍රහාරය එල්ල වී නම් අපට කෙළින්ම කොටින්ට ඇඟිල්ල දික් කළ හැකි ය. එහෙත් කිසියම් බලවේගයක් විසින් කුලියට ගත් දෙමළ ජාතිකයන් පිරිසක් මෙය කළා වීමටත් ඉඩ තිබේ.

අවසාන වශයෙන් අපට කීමට ඇත්තේ පාකිස්තානයේ සිවිල් ආණ්ඩුව බලගැන්වීමට මුළු මහත් කලාපයේම ආණ්ඩු එක් වී කටයුතු කළ යුතු බවයි. පකිස්තානය යනු ත්‍රස්තවාදීන්ගේ තිප්පොළකි. එම තිප්පොළට පොලිසියෙන් පැනීමට සුදුසු කාලය එළැඹ ඇත.
(දිවයින_09/03/05)

පසුවදන_'හැම කළු වලාවක ම රිදී රේඛාවක් ඇත' යන සුභාෂිතය කීවෝ ඉංගිරිසි මහා කවි විලියම් ශේක්ෂ්පියර්හු ය. එය සනාථන දහමෙකි. ලාහෝර් ප්‍රහාරය ද එම දහමට යටත් ය. මුම්බායි ප්‍රහාරය කාලයේ වැලි තලාවට වැසී යත්ම හිස එසවූ ඊනියා සාමයේ හෙවත් පිරපාහරන් බේරාගැනීමේ නිර්ලජ්ජී මෙහෙයුමේ උල ලේන් හඬ දැන් මොහොතකට යළි යට ගොස් ය. එය රටේ වාසනාවෙකි. එම රිදී රේඛාවේ එලියෙන් මුළු දිවයින ම සිහ දජ සෙවණට ගැනීමට හැකි වේවා! කළු වලාකුළු සදහට ම පහව යේවා!

2 comments:

පිස්සෙක් said...

ප්‍රහාරයකට වඩා මා නම් හිතන්නෙ අවශ්‍යා වී තිබුනේ කණ්ඩායම පැහැරගෙන යුද්ධ කොන්දේසි ඉදිරිපත කරන්න.

නාමල් උඩලමත්ත said...

ඔව් වෙන් පුළුවන්. මම දැක්කා වාර්තාවක තියෙනවා ඒ අයගේ අරමුණ මුම්බායි ප්‍රහාරයට සම්බන්ධ ඉන්දිය අත්අඩංගුවේ සිටින පිරිසක් නිදහස් කරගැනීම කියලා. අපේ වාසනාවට ඒක වැළකුණේ. මේක එක ගලින් කුරුල්ලෝ දෙන්නෙක් එලාගන්න පුළුවන් වැඩක්නේ නේද?

 
සිය රට දේ සිරි සැප දේ !