ත්‍රස්තවාදය, ක්‍රිකටි හා මාතෘත්වය
ඝාතනයෙන් හා භීෂණයෙන් බැහැර වු දෙයක් පිළිබඳ ලිවීමට ත්‍රස්තවාදීහු අපට ඉඩ නොදෙති. ලියන අපට මෙන්ම කියවන ඔබට ද මේ ත්‍රස්තවාදය නමැති මාතෘකාවම වහකදුරු වී ඇති බව ද අපි දනිමු. එහෙත් ඒ අභාග්‍යමත් බිහිසුණු අත්දැකීම්වලින් ලොවම ලොමු ඩැහැ ගන්වන ත්‍රස්තවාදීන්ට නම් ඝාතනය, භීෂණය යනු සාමාන්‍ය දේවල් පමණි.
ශ්‍රී ලංකාවේ ක්‍රිකටි කණ්ඩායම ඉලක්ක කර ගනිමින් දින කීපයකට පෙර පකිස්තානයේ ලාහෝර්හිදී එල්ල වු ත්‍රස්ත ප්‍රහාරය ද යළිත් අප ඒ වෙත කැඳවා ගැනීමට සමත් වී තිබේ. ඝාතනයම ආගම බවට පත් කර ගත් ත්‍රස්තවාදීහු ක්‍රිකටි පිටියට ද ඝාතනය ව්‍යාප්ත කරමින් සිය ම්ලේච්ඡත්වය ලොවටම ප්‍රදර්ශනය කළහ.
දෛවයේ හාස්කමකින් මෙන් ශ්‍රී ලංකා ක්‍රිකටි ක්‍රීඩකයන්ගේ ජීවිත සුරුකුණු නමුදු ඒ වෙනුවෙන් ජීවිතවලින්ම වන්දි ගෙවීමට පකිස්තානයේ පොලිස් නිලධාරීන් කීපදෙනකුට හා සාමාන්‍ය වැසියන් දෙදෙනකුට ද සිදු විය. මේ තුච්ඡ ප්‍රහාරයට වගකිවයුතු ත්‍රස්තවාදී සංවිධානය තවමත් අනාවරණය වී නැති වුව ද ආසියානු කලාපය වාසභුමි කරගත් අල්කයිඩා, එල්. ටී. ටී. ඊ. හා කාශ්මීර ගරිල්ලන් බඳු කුප්‍රකට සංවිධානයක් හෝ වෙනත් මෘග සංවිධානයක් එයට සම්බන්ධ වී ඇති බව නිසැක ය.
අපි මොහොතකට මෙම ත්‍රස්තවාදයෙන් බැහැරව අද දවසේ මුළු මහත් ලොවටම අතිශය වැදගත් දිනයක් වන ජාත්‍යන්තර කාන්තා දිනය පිළිබඳව විමසා බලමු. සැබැවින්ම අද ජගත් ප්‍රජාවටම කාන්තා දිනය සැමරීමට සිදුව ඇත්තේ ත්‍රස්තවාදය විසින්ම ලොව හැමදෙයක්ම වනසා දමන ලද අඳුරු වාතාවරණයක් යටතේ බව අපගේ විශ්වාසයයි.
ජගත් කාන්තා දිනයේ අරුත හා හරය ස්ත්‍රීත්වයෙහි අභිමානය, ගෞරවය මෙන්ම කාන්තා විමුක්තියද තේමා කර ගත්තකි. එය ඇතැම් රාජ්‍ය නොවන සංවිධානවල ඊනියා කාන්තා විමුක්ති සරඹ සන්දර්ශනවල තත්ත්වයට බාල්දු කිරීමට අපට වුවමනා නැත. එහෙත් ලොව පුරා විසිරී සිටින දයාබර මවුවරුන්, බිරින්දන්, සොයුරියන්, මෙන්ම විවිධ වෘත්තීන්හි නිරතව සිටින කාන්තාවන්ට ද අපි අපගේ ගෞරවය හා ප්‍රණාමය ද පුද කරන්නෙමු. එහෙත් ත්‍රස්තවාදය ඒ හැම කාන්තාවකටම උරුම කර ඇත්තේ කුමක් ද?
ත්‍රස්තවාදයේ පීඩනයෙන් ද භීතියෙන් ද ඒ බොහෝ කාන්තා සිත් සතන් දෙදරා ගොස් නැතැයි කිසිවකුට කිව හැකි ද? ඒ කාන්තා දෑස්වලට සදාකාලික කඳුළු වැල් ලබාදී නැතැයි කිව හැකි ද?
ත්‍රස්තවාදයෙන් ලොව වනසන ත්‍රස්තවාදියා මෙන්ම එයින් ලෝකය මුදා ගැනීම සඳහා දිවි දෙන සොල්දාදුවාද මවු කුසින්ම බිහි වු බව සැබෑ ය. එහෙත් කිසි මවක් ත්‍රස්තවාදය සඳහා දරුවන් බිහිකිරීමට සුදානම් වන්නී ද? සිය දරුවන් ජන ඝාතකයන් වනු ඉවසන්නී ද? නැත. කිසිසේත්ම නැත. එසේම ත්‍රස්තවාදීහු මාතෘත්වයට ගරු කරත් ද? ස්ත්‍රීත්වයට ගරු කරත් ද?
ලෝකය යහපත් ස්ථානයක් බවට පත් කරන්නට දරුවන් වැදු මවුවරු ඒ ලෝකය විනාශ කරන තම පුතුන් දෙස බලා මොනතරම් සුසුම් හෙළත් ද? කඳුළු සලත් ද? එසේම එකී ත්‍රස්තවාදයේ ම කොටස්කාරියන් බවට පත්ව සිටින සිය දියණියන් සිහිපත් වන විට ඒ මවුවරුන්ට අස්වැසිල්ලක් තිබිය හැකි ද?
ත්‍රස්තවාදයේ ගොදුරු බවට පත්ව සිය ජීවිත අපේකෂාවන් සියල්ල අත්හැර සදාකාලික දුක් අන්ධකාරයක ගිලී සිටින කාන්තාවෝ කොපමණ සිටිත් ද? ඉරාකයේ, ඉරානයේ, ඇෆ්ගනිස්තානයේ, ගාසා තීරයේ මෙන්ම ඉන්දියාවේ, පකිස්තානයේ, නේපාලයේ, බංගලාදේශයේ හා ශ්‍රී ලංකාවෙන් ද එයට ඕනෑ තරම් නිදසුන් සොයා ගත හැකි ය.
ශ්‍රී ලංකාවේ කොටි ත්‍රස්තවාදය වෙනුවෙන් මවු උණුසුමෙන් උදුරා ගෙන ගිය දරුවන් ගැන ඒ මවුවරුන්ගේ හද තුළ කෙබඳු කම්පාවක් ඇතැයි ඔබට කිව හැකි ද? ප්‍රභාකරන්ගේ ත්‍රස්තවාදය විසින් යුද බිමට තල්ලු කරන ලද ඇතැම් දරුවන් ඔවුන් විසින් රැගෙන යනු ලබන ගිනි අවිය තරම්වත් උස නොමැති බව ද අපි දනිමු. ප්‍රභාකරන්ගේ විකෘති අරමුණ වෙනුවෙන් මරාගෙන මැරෙන බෝම්බ බවට පත්වු කාන්තාවෝ කොපමණ සිටිත් ද? සිය සිහින ඊළාමය වෙනුවෙන් සයනයිඩ් කරලක් ගෙලට දමා යුද බිමට බලහත්කාරයෙන් තල්ලු කර දමන ලද දෙමළ තරුණියෝ කොපමණ සිටිත් ද?
ලෝකයේම වැඩිම ළමා සොල්දාදුවන් අයත් ත්‍රස්තවාදී සංවිධානය එල්. ටී. ටී. ඊ. ය බව ලොවට ම කියන ජගත් සංවිධානවලට ඒ දරුවන් ඉන් මුදා ගත හැකි වී තිබේ ද?
ත්‍රස්තවාදය හැරුණු විට වෙනත් විවිධ අයුරින් හිංසනයට, අතවරයට, අපරාධවලට ලක්වන ස්ත්‍රීන්ගේ සංඛ්‍යාවද සුළුපටු නොවේ. මැදපෙරදිග මිඩි මෙහෙවර සඳහා යන අපේ ඇතැම් තරුණියන්ට ආපසු මවු රටට පැමිණීමට සිදුවී ඇත්තේ මිනීපෙටිටිවලිනි. වෙළෙඳ කලාපවල සුරාකෑම්වලට ලක්වන තරුණියන් පිළිබඳව මෙන්ම ගෘහස්තව හිංසනයට භාජන වන ළඳුන් ගැන ද ඇසෙයි. වෙනත් සමාජ ක්‍රියාකාරීන් විසින් අපයෝජනයට ලක් කරන ලද දැරියන් හා ලිංගික ශ්‍රමිකයන් බවට පත්ව සිටින කාන්තාවන් ගැන ද දුක්බර පුවත් ඇසෙයි.
තතු මෙසේ හෙයින් මෙවන් ජගත් කාන්තා දිනයකදී ඒ වෙනුවෙන් පෙනී සිටින සියලු ආයතන, සංවිධාන මෙන්ම පුද්ගලයන්ගේද වගකීම හා අරමුණ විය යුත්තේ මේ සකල වර්ගයේ අනතුරු, පීඩා හා විපත්වලට ගොදුරු වී සිටින කාන්තා සමාජයට අර්ථවත් රැකවරණයක් හා යහපත් හෙට දවසක් නිර්මාණය කිරීම බව ඉතා පැහැදිලි ය.
එහිලා ත්‍රස්තවාදයෙන් නිදහස් කාන්තා සමාජයක අවශ්‍යතාව ඉමහත් බව අපගේ විශ්වාසයයි. ත්‍රස්තවාදයෙන් නිදහස් වු ලොවක, ස්ත්‍රීත්වයට ගෞරව කරන සමාජයක් බිහි කර ගැනීම අසීරු නොවේ. ස්ත්‍රීත්වයට හා මාතෘත්වයට ගෞරව නොකරන සමාජයකට - ලෝකයකට කාන්තා දිනයක් කුමට ද?
(දිවයින_09/03/08)
පසු වදන_
ගැහැනිය මහල්ලා ගුරුවරයා ළමයා පෙම්වතා ආදී වශයෙන් ගෙන ඒ ඒ අයට දින වෙන් කර කරන විගඩමට මම පෞද්ගලිකව කැමති නැත. මා ඒ දින කිසිවක් සමරන්නේ ද නැත.එහෙත් ඒ ගැන ලිවීමට බාධාවක් නැත. මේ ඊනියා දිනවලින් කරන්නේ සැබවින් ම කුහක වැඩකි. වසරේ සෙසු දින 364 ම නොතකා හැරි යමෙක් ගැන එක් දිනයක් යොදා සංදර්ශන පැවැත්වීම ය.
අපි නිදසුනක් ගෙන බලමු. රට වෙනුවෙන් ශ්‍රමය වගුරා වයසට ගිය මිනිසාට නිසි රැකවරණ නොදී මහලු නිවාස නමැති අපායවලට ගාල් කර ඒ අයට දිනයක් වෙන් කළා ම හරි ද? ඔහුට සාධාරණය ඉටු වී ද? මහලු නිවාසවල සිටින අතිබහුතරට මෙරට මධ්‍යම පංතියේ සිට ඉහළට වැජඹෙන දූපුතුන්ගේ මව්පියවරු ය. එහෙයින් කළ යුත්තේ දෙමාපියන්ට සලකන සාරධර්ම පිරි සමාජයක් ගොඩනැඟීම ය. සිය දෙමාපියන්ට නොසලකන එකාගෙන් ගැහැනියකට යුක්තිය සාධාරණය බලාපොරොත්තු වීම උඳු වපුරා මුං පැතීමක් නොවෙ ද?
Sunday, March 8, 2009
Subscribe to:
Post Comments (Atom)
No comments:
Post a Comment