2010 ජනාධිපතිවරණයෙන් පසු මේ රජයේ ගමන් මඟ පිළිබඳ මා තුළ කිසිදු පැහැදීමක් නැත. එහෙයින් පසු ගිය කාලයේ දිගින් දිගට ම ආණ්ඩුවේ අකටයුතු විවේචනය කළ මම ජනාධිපතිවරණයේ දී ජාතිකවාදී පක්ෂ සහ සංවිධාන මහින්ද රාජපක්ෂට සහාය පළ කරන්නේ නම් එය කොන්දේසී සහිතව කළ යුතුය යන මතය දැරුවෙමි. එසේ නොමැතිව මහින්ද රාජපක්ෂ ඇතුළු මේ ආණ්ඩුවට කොන්දේසී විරහිතව සහාය දීම නිසා සිදුවනුයේ මේ ආණ්ඩුව සමඟ ජාතිකවාදීන් ද පරාජයට පත්වීම සහ ආණ්ඩුවේ සියලු පව්වලට ජාතිකවාදීන්ට කර ගැසීමට සිදුවීම බව ද කීවෙමි. එහෙත් අපේ ජාතිකවාදී පක්ෂ මෙන් ම නායකයින් ද කැමති අනෙකා කපා තමා මුදුනා විමටය. විමල්, පාඨලි, දිනේෂ්, නලින්, අමරසේකර ආදී පිරිස එකතු වී කිසියම් ප්‍රභල බලයක් නිර්මාණය කොට, අනතුරුව මහින්ද රාජපක්ෂට කොන්දේසී ඉදිරිපත් කර, ඔහුගේ ජයග්‍රහණය ඔස්සේ ඒ අරමුණුවලට යෑමේ මඟ මේ කුළල් කා ගැනීම නිසා අහිමි විය.
අනෙක් අතට හෙළ උරුමය කිසියම් කොන්දේසී මාලාවක් ජනාධිපතිවරයා වෙත ඉදිරිපත් කිරීම සහ ඊට එකඟ වන්නේ නම් සහාය දිය හැකි බව ප්‍රකාශ කිරීම ඉදිරි පියවරක් විය. මේ සඳහා ධනාත්මක ප්‍රතිචාර දක්වා හෙළ උරුමය ආණ්ඩුවේ රඳවා ගැනීමට, මේ ආණ්ඩුවේ ප්‍රභලයින්ගේ උද්දච්චකම සහ තමන් පිළිබඳ ඇති අධිමානය ද අනෙකා පිළිබඳ ඇති අවමානී හැඟීම ද හරස් විය. මෙහි දි හෙළ උරුමය ජාතිකත්වය වෙනුවෙන් තම පක්ෂය තුළින් වෙන ම අපේක්ෂකයෙකු ඉදිරිපත් කළ යුතුය යන ස්ථාවරයේ මම සිටියෙමි. ඒ අපේක්ෂකයා පාඨලි චම්පික රණවක විය යුතු බව ද තම කොන්දේසීවලට මහින්ද රාජපක්ෂ එකඟ වන්නේ නම් පාඨලීට ගිවිසුමකට අනුව තරඟයෙන් ඉවත්ව මහින්ද රාජපක්ෂට සහාය දිය යුතු යැයි ද අපේක්ෂා කළෙමි. එහෙත් සිදුවූයේ හෙළ උරුමය පොදු අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන මහතාට සහාය දීමට තීරණය කිරීම ය.
පොදු සන්ධානය සමඟ හෙළ උරුමය එක්වීම සමඟ පොදු අපේක්ෂකගේ පාර්ශවයට ද ජාතිකත්ව ස්වරූපයක් ලැබිණි. විශේෂයෙන් චන්ද්‍රිකා, රාජිත, මංගල ආදී ආදී ෆෙඩරල්වාදී, ජාතික විරෝධි, රටේ ඒකීයත්වය පිළිනොගන්නා පිරිස්වල බලය හෙළ උරුමයේ ජාතිකත්ව ඒකීයත්ව බලය හමුවේ දියාරු වී යනු ඇතැයි අපේක්ෂා කළ අප හෙළ උරුමය කෙරෙහි විශ්වාසය තබා මෛත්‍රීපාල සිරිසේන මහතාට සහාය වීමට තීරණය කළෙමි. එහෙත් නොබෝ දිනකින් ම හෙළ උරුමයේ ගම්මන්පිල ප්‍රමුඛ පළාත් සහ ප්‍රාදේශීය සභා නියෝජිතයින් 29 දෙනාගෙන් 22ක් නැවත ආණ්ඩුව සමඟ එක් විය. හෙළ උරුමය මෙවර ගත් දේශපාලන තීන්දුව සම්බන්ධයෙන් හෙළ උරුමය තුළ පවා මතවාදීමය එකඟතාවක් හෝ විශ්වාසයක් නොතිබුණු බව ඉන් පැහැදිලි වේ.
අනෙක් අතට ආණ්ඩුවේ සිටි බොහෝ දූෂිත අන්තවාදී කල්ලී සියල්ල පොදු අපේක්ෂක වටා රොක්විය. තමන් අධිකරණ ඇමතිව සිටිය දී නීති විද්‍යාල ප්‍රවේශ විභාගය හලාල්කරණය කළ හකීම් මෛත්‍රීට එක් විය. ඒ දිගු කලක් තිස්සේ ආණ්ඩු සමඟ කේවල් කළ මුස්ලිම් පරිපාලන ඒකකයක් සඳහා මහින්දගේ අනුමැතිය නො ලැබුණු නිසා ය. අනෙක් අතට මේ වසලයා 2005 මෙන් ම 2010 ද මහින්ද රාජපක්ෂට විරුද්ධව අපේක්ෂකයාට සහාය වූ බව ද යුද්ධය තීව්‍ර අවස්ථාවේ එනම් 2007 වසරේ තම ද්‍රෝහීත්වය මොනවාට ප්‍රදර්ශනය කරමින් නැවත විපක්ෂයට ගිය බව ද සිහිතබා ගත යුතු ය. ඒ පසුපස බැසිල් රාජපක්ෂගේ හුරතලා රිෂාඩ් බදූර්දීන් ද විපක්ෂයට ගියේ ය. තහීඩ් ජමාද් නමැත් අන්තවාදී මුස්ලිම් කල්ලිය නිර්මාණය කර මේ රටේ බෞද්ධ - මුස්ලිම් සමගිය විනාශ කළේ ද අධිකරණයට ගල් ගැසූ, රක්ෂිත වනය කපා මුස්ලිම් කොලනි නිර්මාණය කළ මේ බදූර්දීන් ය. දැන් මේ සන්ධානය තුළ අසාද් සාලි ද තහීඩ් ජමාද් ඇතුළු සියලු මුස්ලිම් අන්තවාදී කල්ලි ද කොටි සංවිධානයේ ප්‍රජාතන්ත්‍රවාදී කල්ලිය වන ද්‍රවිඩ සන්ධානය ද එකමුතු වී සිටී.
මර්වින් සිල්වා සිය සන්ධානයට නොගන්නා ලෙස ද තිස්ස අත්තනායක නැවත පැමිණියහොත් තමන් ඉවත් බව ද කීමට තරම් එඩිතර වූ අතුරලියේ රතන හිමි මේ මුස්ලිම් කල්ලිවලට විරුද්ධව කිසිවෙක් නො කීවේ ය. කොටි සංවිධානය විනාශ කිරීමෙන් පසු මේ රටේ සිදුවුණු සියලු අන්තවාදී ක්‍රියා පිටුපස සිටි මුස්ලිම් අන්තවාදී කල්ලි ය. ඒ අකටයුතුකම් ජඩකම් සමාජයට අනාවරණය කරමින් සමාජය තුළ විරෝධතාවක් ගොඩනැඟූ හෙළ උරුමය මේ අන්තවාදී කල්ලි කණ්ඩායම් ඉවසුවේ ඇයි දැයි මට අවබෝධ කරගත නො හැකි ය. අනෙක් අතට මොවුන් සමඟ යහ-පාලනයක්, මෛත්‍රී පාලනයක් ගොඩනඟන්නේ කෙසේ දැයි අවබෝධ කරගත නො හැකිය. දැන් සිදුවිය හැක්කේ මෛත්‍රී දිනුවහොත් එම ආණ්ඩුවේ ද ප්‍රභල ඇමති ධූර හිමි කරගෙන, දඬුවම් ලැබිය යුතු කල්ලි යෙහෙන් වැජඹීමය. ඒ අනුව අප අපේක්ෂා කළ කිසිවක් මේ හවුල ඔස්සේ ලබා ගත නොහැකි බව සක්සුදක් සේ පැහැදිලි ය. පාර්ලිමේන්තු ආසන දෙකක් සහිත පාඨලි ප්‍රමුඛ හෙළ උරුමයේ කේවල් කිරීමේ බලය බෙදුම්වාදී රාජිත සහ මංගලගේ බලයට කැපී ගිය විට ද්‍රවිඩ සන්ධානය සතු ආසන 14න් ද හකීම් සතු ආසන 8න් ද බදුර්දීන් සතු ආසන 2න් ද නැවත රට බෙදුම්වාදී දිශානතිය වෙත යොමු කළ හැකි ය. එසේ නම් විය හැක්කේ 2005 සිට අප ජාතිය දුක් විඳ ලබා ගත් ජයග්‍රහණ ද අහිමි වීම ය.
මෑත ලංකා ඉතිහාසයේ පහළ වූ අසාර්ථක ම නායිකාව වන චන්ද්‍රිකා කුමාරතුංග මැතිවරණයට පෙර උතුරට ගොස්, රාජපක්ෂ පාලනයට වඩා මෘදු මෛත්‍රී පාලනයක් තුළ සිය බෙදුම්වාදී අරමුණු කරා වේගයෙන් යෑමට හැකි පරිසරය නිර්මාණය කෙරෙන බවට ඉඟියක් ලබා දෙමින් මිස්ටර් ප්‍රභාකරන් යැයි කියා අළු යට ඇති බෙදුම්වාදී ගිනි පුපුරුවලට පිඹ අත්පොළසන් නාදයක් ද ලබා ගත්තා ය. බින් ලාඩන් ජීවත්ව සිටින කාලයේ ම ලොව භයානක ම ත්‍රස්තවාදියා බවට ඇමරිකාව ද නම් කළ ප්‍රභාකරන්ට, මේ රට තිස් වසරක් සිංහල දෙමළ ලෙයින් තෙත් කළ ප්‍රභාකරන්ට, ඔහුගේ මළ ගමින් පසුව ද මිස්ටර් යැයි අමතන චන්ද්‍රිකා කුමාරතුංග, තමන්ගේ ද ඇසක් උදුරා ගත් ප්‍රභාකරන් විනාශ කර රට එක්සේසත් කළ ජනාධිපතිවරයාට අමතන්නේ මහින්ද රාජපක්ෂ නමිනි. බෞද්ධ විරෝධී මංගල සමරවීර බෞද්ධකමක් ගෑවි නැති චන්ද්‍රිකාගේ මේ ක්‍රියාව ඈ සතු බෞද්ධ හැදියාවේ ලක්ෂණයක් ලෙස දකින අතර තමන් එසේ කීවේ සමච්චලයට යැයි චන්ද්‍රිකා විසින් පැහැදිලි කිරීම එම හැදියාවේ නිරුවත අප හමුවේ තබා තිබේ. අදටත් තමිල්නාඩුවේ සහ බටහිර රටවල මහින්දගේ අනුරුව තනා ඒවාට සෙරෙප්පුවලින් පහර දී, ගිනි තැබීම කරන බෙදුම්වාදීන් පිනවීමට ඈ දැන් සිට ම ක්‍රියාත්මක වන ආකාරයෙන් මෛත්‍රී පාලනය තුළ ඇගේ හැසිරීම අනුමාන කළ හැකි ය.
මේ නිසා මෛත්‍රීපාල සිරිසේන යහපත් මිනිසෙකු වුව ද පාඨලි චම්පික රණවක ජාතිකත්වය නියෝජනය කළ ද අපට දරාගත නොහැකි මහා මෙරක් තරම් බරක් අවධානමක් ඔවුන් බරට සිටින චන්ද්‍රිකා, රනිල්, මංගල, රාජිත, හකීම්, බදූර්දීන්, තහීද් ජමාද්, අසාද් සාලී, සම්බන්ධන් කල්ලියට හිමිය. මේ සියලු දෙනා සිංහල බෞද්ධ විරෝධීය. ජාතිකවාදයේ හතුරෝය. රටේ ඒකීයත්වය පිළි නොගන්නෝය. දේශපාලන විසඳුම් ගැන අදත් නන්දොඩවන්නෝ ය. මේ රෝග ලක්ෂණවලට එක්වූ හුදු මහින්ද රාජපක්ෂ විරෝධයෙන් ඔබ්බට ගිය දැක්මක් මොවුන්ට නොමැත. එහෙයින් මෛත්‍රීපාල සිරිසේන මහතාගේ පාලනය තුළ අප අපේක්ෂා මුදුන් පත්වේ යැයි සිතීම ඉබ්බන්ගෙන් පිහාටු පැතීමට නො දෙවෙනි අමනකමකි.
එහෙයින් මේ සියලු කරුණු කාරණා පිළිබඳ සලකා බැලීමේ දී මහින්ද රාජපක්ෂ පාලනයේ සීමා පිළිබඳ විවේචන තිබුණ ද, ඒ සීමා අතික්‍රමණය කළ හැකි නායකයෙකු නිර්මාණය කර ගත යුතුව තිබුණ ද මේ මොහොත වන විට ඒ සඳහා පැවති සියලු කවුළු වැසී ඇති බව පැහැදිලි වෙයි. රටට අවශ්‍ය නායකත්වය බිහි කර ගන්නා තුරු දන්න යකා ආරක්ෂා කිරීමට සිදුවෙයි. එසේ නොවුණහොත් රට නැවත අගාධයට ඇද දැමිය හැකි දුර්වල පාලනයක්, ජාතිකත්වය වෙනුවට විජාතිකත්වය රජ විය හැකි පාලනයක්, සිංහලකම, සිංහල බෞද්ධකම අනාගමිකත්වයේ සළු පොටට මුවා වී යටපත් කළ හැකි පාලනයක්, මුස්ලිම් අන්තවාදය අදටත් වඩා නිදහසේ වැඩීමට ඉඩ සලසන පාලනයක්, මුළු මහත් ජාතිය සප්ත මහා සාගරය පරයන ලේ කඳක් හෙළා දිනා ගත් නිවහල් ඒකීය රට නැවත බෙදුම්වාදය කරා ඇද ගෙන පාලනයක් රට එක්සේසත් කර වසර 5ක් තුළ නැවත බිහිවීමේ මහා අවධානමක් අද රට හමුවේ පවති. මේ අවධානම පරාජය කළ හැක්කේ රටේ ඒකීයත්වය ගරු කරන අප දිනාගත් නිදහස අගයන අන්තවාදී නොවන සිංහල දෙමළ මුස්ලිම් බර්ගර් මැලේ ආදී සියලු ජන කොටස්වල එකතුවෙනි.
මහින්ද රාජපක්ෂ සිය දෙවැනි ධූර කාලය තුළ 2/3 බලයක් සහිත පාර්ලිමේන්තුවක් තනාගත හැකි වුව ද ඔහු ඒ බලය භාවිත කළේ රටේ යහපතට නොවේ. ඒ සඳහා ජාතිකවාදී පක්ෂ එකමුතුව මීට වඩා බලපෑමක් කළ යුතුව තිබිණි. එහෙත් සිදුවූයේ සිය වාසිය සඳහා ව්‍යවස්ථාව වෙනස් කිරීම පමණි. කෙසේ වුව ද විවිධ වරදාන වරප්‍රසාද ලබා දී තබා ගත් සියලු අවස්ථාවාදීන්, අන්තවාදීන්, ඊළාම්වාදීන් මේ වන විට ආණ්ඩුවෙන් පිටතට ගොස් ඇත. ඒ පිරිස් නැවත සිය ආණ්ඩුවට නො ගන්නා බවට මහින්ද රාජපක්ෂ පවසා තිබේ. එය යහපත් ප්‍රවණතාවකි. අනෙක් අතට රටේ ඒකීයත්වය ආරක්ෂා කරන බවට මහින්ද රාජපක්ෂ සිය මැතිවරණ ප්‍රකාශනයේ පවසා තිබේ. එහෙයින් ආණ්ඩුවේ අට අනූවක් ව්‍යාදීන් අමතක කර මහින්ද රාජපක්ෂ තව දුරටත් ජනාධිපති ධූරයේ තබා ගැනීමට අප කටයුතු කළ යුතුව ඇත. ඒ ඔහුගේ ජයග්‍රහණය වෙනුවෙන් නොව මව්බිමේ ජයග්‍රහණය වෙනුවෙනි. දිනු නිදහසේ සුරක්ෂිතතාව වෙනුවෙනි. මාතෘ භූමියේ අනාගත ඒකීයත්වය වෙනුවෙනි.
මාගේ ආදරණීය මාතෘ භූමිය සදාකල් දිනේවා!!!