Sunday, January 30, 2022

පාර්ලිමේන්තු කැන්ටිමේ බරත් ජනතාව දරන්න ඕන ද?

ජනතා සේවයට යන මැති ඇමැතිවරුන්ට ඉතා ම සහන මිලක් යටතේ පාර්ලිමේන්තු කැන්ටිමෙන් කන්න දෙනවා. ඒ වගේ ම පාර්ලිමේන්තු කාර්ය මණ්ඩලයටත් අමුත්තන්ටත් ඒ පහසුකම ලැබෙනවා. මන්ත්‍රීවරයෙකුට එක් වේලක් සඳහා අමුත්තන් 5 දෙනෙකු පමණ රැගෙන ආ හැකි බවත් කියනවා.

මේ සඳහා අවුරුද්දකට රු. ලක්ෂ 1200ක් පමණ වැය වෙන බව අවුරුදු කිහිපයකය පෙර වාර්තා වුණා. පසුගියදා පැවැති වැඩමුළුවක දී මන්ත්‍රීවරයෙකුගේ කෑම වේලක් සඳහා රු. 3000ක් වැය කරන බව පාර්ලිමේන්තු නිලධාරියෙක් කියා තිබුණා. මේ සඳහා මන්ත්‍රීවරයාගෙන් අයකරන්නේ රු. 200කට ආසන්න මුදලක්.

නමුත් රජයේ රැකියාවලට යන කිසිවෙකුට ආයතනයෙන් ආහාරපාන ලබා දෙන්නේ නෑ. කැන්ටිමෙන් කනවා නම් ටිකක් අඩුවෙන් කන්න පුළුවන්. නමුත් රු. 3000ක පමණ කෑම වේලක් රු. 200කට විතර දෙන කිසිම රාජ්‍ය ආයතනයක් නෑ. බොහෝ විට එම ආයතනවල කැන්ටිම බදු දෙනවා. ඒක කවදාවත් පාඩු පිට කන්න දෙන්නේ නෑ. ඒ නිසා එහි බර රටේ ජනතාව දරන්න ඕන නෑ.

මම හිතන්නේ මේ සිද්ධාන්තය පාර්ලිමේන්තුවටත් අදාළ විය යුතුයි. පාර්ලිමේන්තු කැන්ටිමත් පෞද්ගලික අංශයට ලබා දී මැති ඇමැතිලගේ කෑම බරෙන් ජනතාව නිදහස් කළ යුතුයි. එතකොට ආහාර වේලේ සැබෑ වටිනාකම ගෙවලා මැති ඇමැතිලටත් රටේ අනෙක් අයට වගේ කැන්ටිමෙන් කන්න පුළුවන්.

මේ වන විට පාර්ලිමේන්තුවේ වසරකට රු. කෝටි දෙකක වගේ කෑම හොරකම සහ නාස්තිය නිසා අහිමි වන බව විමර්ශනවල දී හෙළි වෙලා තියෙනවා. ඒ වගේ ම එහි නිලධාරි කපුටු රැල පාර්ලිමේන්තුවට මිලට ගන්නා පළතුරු ටිකේ සිට අල්ලස් ලබා ගන්නා බවත් මාධ්‍ය වාර්තා කර තිබුණා. 

මේ සියලු බර දරන්නේ මේ රටේ දහදුක් විඳින ජනතාව, විශේෂයෙන් පෞද්ගලික අංශය. මොකද මේ රටේ රටේ රාජ්‍ය අංශය නිෂ්පාදන අංශයට දක්වන දායකත්වය ඉතා ම අඩුයි. ඉතින් මේ කැන්ටිම පෞද්ගලික අංශයට ලබා දුන්නා නම් ඒ හොරකම් සහ නාස්තිය නිසා රටට අහිමි වන සම්පත් ටිකත් ඉතිරි වෙනවා.

කවුරු හරි කියන්න පුළුවන් ආරක්ෂාව පිළිබඳ ප්‍රශ්නයක් නිසයි, මේක පාර්ලිමේන්තුව යටතේ ම පවත්වා ගෙන යන්නේ කියලා. නමුත් මේ සියලු දෙනා පාර්ලිමේන්තුවෙන් පිට තරු හොටෙල්වල එකට එකතු වෙලා පක්ෂ විපක්ෂ භේදයක් නැතිව හොඳට කනවා බොනවා. එතකොට අවශ්‍ය නැති ආරක්ෂාවක් පාර්ලිමේන්තුව තුළ දී ඕන ද? එහෙම ආරක්ෂාව පිළිබඳ භය නම් අපේ හිටපු ජනාධිපති සිරිසේන වගේ නෝනා ලවා කෙහෙල් කොළේ බත් එකක් බැඳගෙන ඇවිත් සරල විදිහට කන්න පුළුවන්.


Friday, January 28, 2022

බෙල්ලන්විලට පන්සලට බෝම්බේ තිබ්බේ ඇයි...?

ඕෂල හේරත්ගේ තාත්තා බොරැල්ල පල්ලියට, නාරාහේන්පිට ඉස්පිරිතාලෙට වගේ ම බෙල්ලන්විල රජ මහා විහාරයටත් බෝම්බ තිබ්බේ ජාතික ආරක්ෂාව යහපාලනාණ්ඩුව කාලේ වගේම දුර්වලයි කියන මතය සමාජගත කරන්න නෙමෙයි. 

ජීවිත කිහිපයක් බිලි ගෙන රටේ මහජන කැළඹීමක් ඇති කරල, වාර්ගික ගැටුමක් නිර්මාණය කරන්නත් නෙමෙයි. රට අරාජික කර බලය ඩැහැගන්න බලා ඉන්න අවස්ථාවාදීන්ට ඒ ගැටුමින් සුරුට්ටු දල්වා ගෙන ගොඩ යන්න තල්ලුවක් දෙන්නත් නෙමෙයි. 

බෝම්බ පුපුරුවමින් බලයට පත් ආණ්ඩුව, දැන් බෝම්බ පුපුරුවමින් ජනතාව පීඬාවට පත් කරන සැබෑ ප්‍රශ්න යට ගහනවා කියන චෝදනාව නඟන්න පසුබිම හදන්නත් නෙමෙයි. කොටින් ම කාදිනල්තුමාට මාධ්‍ය හමු තියල රටට අඬබෙර ගහන්න තවත් මහ මොළකරුවකු නිර්මාණය කර දෙන්නත් නෙමෙයි. එතුමා එහෙම නෝටි බබෙක් නෙමෙයි.

ඒ වයෝවෘද වෛද්‍යචාර්යතුමා බොරැල්ල පල්ලියට බෝම්බේ තිබ්බේ 1970 පැවැති තමන්ගෙ‍ෙ විවාහයට පල්ලිය උදේ කාලයේ ඉඩ නොදුන් නිසයි. ඉස්පිරිතාලේට බෝම්බ තිබ්බේ තමන්ගේ බිරිඳ එම රෝහලේ දී මරුමුවට පත් නිසයි.



හැබැයි තව ම බෙල්ලන්විල රජ මහා විහාරයට බෝම්බ තිබ්බ හේතුව එතුමා හෙළි කළේ නෑ. මම නම් හිතන්නේ බෙල්ලන්වල පන්සලේ ඇත් පැටවට වධ හිංසා කළ නිසා තමයි බෝම්බේ ගැහුවේ. නැත්නම් එයාගේ බිරිඳට බෙල්ලන්විල හාමුදුරුවෝ අරියාදුවක් කරල ඇති.

ඉතින් ඔයාල හිතන විදිහට බෙල්ලන්විල පන්සලට වෛද්‍යතුමා බෝම්බයක් තිබ්බ හේතුව කමෙන්ට්ස් කරගෙන යන්න.. 

Sunday, January 23, 2022

ශිෂ්‍යත්ව අසාධාරණය...

රටේ සුළු පිරිසකට වරප්‍රසාද ලබා දීමේ අරමුණින් කටේ කිරි සුවඳ යන්නත් කලින් බහුතර දරුවන් අසමතුන් කරන අතර සියලු දරුවන්ගේ ළමා කාලය ද අහිමි කරන ශිෂ්‍යත්ව විභාගය පිළිබඳව ද මට ඇත්තේ කිසිසේත් ප්‍රියමනාප හැඟීමක් ද නොවේ. මෙම විභාගය ඇතුළු සියලු විභාගවලින් රටට සිදුවන හානිය අවසන් කළ හැක්කේ තරඟ විභාග නොමැති අධ්‍යාපන ක්‍රමයක් රටට හඳන්වා දීමෙනි. එහි දී මුලින් ම අහෝසි කළ යුත්තේ ශිෂ්‍යත්ව විභාගයයි.

එවැනි පසුබිමක වුව ද පසුගියදා පැවැති ශිෂ්‍යත්ව විභාගයේ දී සිසුන් පිරිසකට ආසාධාරණයක් වූ බවට නැඟෙන චෝදනා පිළිබඳ අවධානය යොමු නොකර සිටිය නොහැකි ය. මෙම චෝදනා එල්ල කළේ හිතාමතා කිසියම් පිරිසක් අපහසුතාවට පත්කිරීමේ අරමුණින් එවැනි කටයුතු කරතැයි විශ්වාස කළ නොහැකි කුඩා දරුවන්ගෙනි.

නියමිත වේලාවට විභාගය ආරම්භ නොකළ බව ද නියමිත කාලය ලබා නොදුන් බව ද සිසුහු සඳහන් කළේ හඬමිනි. එසේ ම කටුසටහන් සඳහා කොළ ඉල්ලූ විට බැණ වැදුණු බවත් මුස්ලිම් සිසුන් සඳහා ඒ ගුරුවරුන් උත්තර කියා දුන් බවත් මේ දරුවෝ පවසති. හය හතර නොදත් දරුවන් බොරු කියන්නේ යැයි කිව නොහැකි ය. එසේ ම මෙම අවසාන චෝදනාව ඉතා ම බරපතළ එකකි.

මේ චෝදනාවලින් ගුරු වෘත්තියෙහි පිරිහීම පමණක් නොව මානව ගුණධර්මවල පිරිහීම ද ප්‍රකට වෙයි. කොවිඩ් වසංගතය නිසා පාසැල අහිමිව නිවසේ රැඳෙමින් සූම් ඔස්සේ උගනිමින් ඉතා ම දුක සේ විභාගයට සූදානම් වූ දරු පැටවුන්ට මේ ගුරුවරු යැයි කියා ගන්නා පිරිස සලකා ඇති ආකාරය කිසිසේත් අනුමත කළ නොහැකි ය. මෙරට විභාගවල දී සුළු වාර්ගික කොටස් විභාග නීති උල්ලංඝනය කරමින් සිදුකරන අපරාධය ද මෙහි දී නැවතත් සමාජයට නිරුවත් වෙයි. විභාග ශාලාවේ දී සිය වර්ගයේ සිසුන්ට පිළිතුරු කියා දෙන මේ ගුරුවරු උත්තර පත්තර ඇගයීමේ දී එසේ නොකරනු ඇතැයි කිව හැක්කේ කාට ද?

මෙරට මුස්ලිම් දෙමළ සිසුන් සාතිශය බහුතරය දෙමළ බසින් විභාග සඳහා පෙනී සිටින අතර තම ශාලාව වෙත ලැබෙන පිළිතුරු පත්‍ර කවර පළාතක් නියෝජනය කරන සිසුන්ගේ දැයි දැන ගැනීමට මෙම කණ්ඩායම් සඳහා බැරිකමක් ද නොමැත. 

සිංහල සිසුන්ගේ ප්‍රශ්න පත්තර සියලු නීති රීතිවලට යටත්ව ද අනෙක් අයගේ ප්‍රශ්න පත්තර මෙලෙස වාර්ගික සානුකම්පිත පදනම මත ද බැලීම ඉතා ම අසාධාරණ තත්ත්වයකි. එසේ ම විභාග ශාලාවේ දී පවා සිය කාලය පවා කොල්ලකමින් සිදුකරන අක්‍රමිකතා පිළිබඳ නොතකා හැරීමට කිසිසේත් හැකියාවක් නොමැත. එය අධ්‍යාපන ක්ෂේත්‍රයෙහි සිදුවන වාර්ගික ශුද්ධකරණයකි.

මෙතරම් බරපතළ චෝදනා නැඟෙන පසුබිමක ලංකා ගුරු සංගමයේ ලේකම් ජෝෂ්ප් ස්ටාලිං සඳහන් කළේ ගුරුවරුන්ට චෝදනා කිරීම වැරදි බව ය. වැරැද්ද කළ එකා මහ බඹා වුව ද ඌට චෝදනා නොකර වෙන කිසිවෙකුට චෝදනා කරන්නේ කවර කැකිල්ලේ නීතියක් අනුව ද? දරුවන්ගේ යහපත වෙනුවෙන් යැයි කියමින් මාස ගණනක් ඉගැන්වීම් නතර කර දමා සිය පඩි වැඩි කරගත් ස්ටාලිංන් වැනි ආලාපාළුවෙකුගෙන් ඊට වැඩි යමක් බලාපොරොත්තු විය හැකි ද? 

එහෙයින් කළ යුත්තේ මෙම චෝදනා පිළිබඳ වහා ම පරීක්ෂණයක් පවත්වා එම අපරාධකාරයින් ගුරු වෘත්තියෙන් නෙරපා දැමීම ය. නමුත් විය හැක්කේ විනය පරික්ෂණ පවත්වන බව කියමින් කුමක් හෝ බොරුවක් කිරීම පමණි. අර අසාධාරණයට ලක්වූ සිසුන්ට සාධාරණයක් කිරීම ද කාලයේ වැලි තලාවට යට වනු ඇත.


ප්‍රේමය වෙනුවෙන් රටට බෝම්බ ගැසීම...

ඕෂල හේරත්ගේ පියා බොරැල්ල පල්ලියට බෝම්බ තබා ඇත්තේ 1970 ගණන්වල සිය විවාහයට උදෑසන දේව මෙහෙයක් නොදුන් නිසා ය. නාරාහේන්පිට රෝහලේ බෝම්බයක් තබා ඇත්තේ සිය බිරිඳට ප්රතිකාර කළ එම රෝහලට කෘතගුණ සලකා ප්රසිද්ධියක් ලබා දීමට ය.

විශ්රාමික වෛද්යවරයෙකු බව කියන මෙම පුද්ගලයා පසුගිය ජනාධිපතිවරණයේ දී අනුර දිසානායක සහ සජිත් ප්රේමදාස වෙනුවෙන් පෙනී සිටි ඕෂල හේරත්ගේ පියා ය. හිටපු ජනාධිපති මෛත්රීපාල සිරිසේනගේ සමාජමාධ්ය උපදේශක ලෙස කටයුතු කළේ ද ඕෂලය.
පොලිසිය පරික්ෂණ පවත්වන ආකාරය පවා විවේචනය කරමින් මේ බෝම්බ සිද්ධිවල මහ මොළකරු අල්ලා ගන්නැයි මාධ්ය කැඳවා යුද ප්රකාශ කළ මැල්කම් කාදිනල්තුමා අද නිහඬ ය. දැන් මහ මොළකරු ගැන කිසිවෙකු කතා කරන්නේ නැත. සිරිල් ගාමිණී පියනම ද විපක්ෂය ද නිහඬ ය. සියල්ලට වඩා දරාගත නොහැකි කාදිනල්තුමාගේ නිහඬකමය.


පල්ලියේ මෙන් ම රෝහලේ ද බෝම්බ තබා ඇත්තේ සිය අනුගාමිකයකු බව දැනගත් වහා මාධ්ය කැඳවා අදාළ අපරාධකරුගේ ප්රකාශය කොන්ඩෙ බැඳපු චීනුන්ට කියන ලෙස ද වහාම ඔහුට උපරිම දඬුවම් ලබා දෙන ලෙස ද කාදිනල්තුමා ඉල්ලා සිටිනු ඇතැයි මම සිතුවෙමි. පොලිසිය දින කිහිපයකින් මහ මොළකරු අත්අඩංගුවට ගැනීම පිළිබඳ සිය ස්තූතිය පළකරනු ඇති බව ය. රජය අපහසුතාවට පත් කිරීමට සිදුකළ මෙම නින්දිත ක්රියාව හෙළා දකිනු ඇති බවය. ඕෂලගේ නිවසේ තිබූ හමු වූ ආයුධ සෙල්ලම් බඩු යැයි කළ ප්රකාශයට ලුණු ඇඹුල් ඇතිව කාදිනල්තුමා අමතනු ඇති බව ය. එහෙත් දැන් පෙනෙන ආකාරයට කාදිනල්තුමා ද මේ මහ මොළකරුගේ ප්රකාශය පිළිගෙන තිබේ. ඕෂලගේ සෙල්ලම් බඩු ප්රකාශය ද හිස් මුදුනින් පිළිගෙන ඇත.
ඔහු කටයුතු කර ඇත්තේ කිසිදු දේශපාලන අභිලාෂයකින් නොව සාලිය අශෝකමාලා, ගාමිණි චිත්රා, ජැක් රෝස් වැනි ප්රේම කතාවල එන ප්රේමවන්තයින් මෙනි. මේ වියපත් පෙම්වතා සිය ප්රේමය වෙනුවෙන් පල්ලියේ ද රෝහලේ ද විශාල මුදලක් වැය කර බෝම්බ තබා තිබේ. ඒ පිවිතුරු සැලමුතු ප්රේමය වෙනුවෙන් මිස රටේ ජාතික ආරක්ෂාව තහවුරු වී නැතැයි ද යහපාලනාණ්ඩුව කාලයේ මෙන් ම රට පුරා බෝම්බ පුපුරන්නේ යැයි ද මතයක් සමාජගත කිරීමට නොවේ. කොටින් ම ආණ්ඩුව අපහසුතාවට පත් කිරීමට නොවේ. ඔහුගේ දේශපාලන වපසරිය අනුව ද මෙය තහවුරු කරගත හැකි ය. ඕෂලගේ පුතා පිස්ටල්, කඩු, තුවක්කුවලින් සෙල්ලම් කරන්නෙකි.
එහෙත් සහරාන් සිය පවුල ම විනාශ කර ගෙන මරා ගෙන මැරුණේ ද ජවිපෙ ජාතික ලැයිස්තුවේ සිටි කෝටිපති කුළුබඩු ව්යාපාරික ඊබ්රාහිම් නානා සහෝදරයා සිය දරු පවුල ම බිලි දුන්නේ ද ඊළඟ මැතිවරණයේ දී ගෝඨාභය රාජපක්ෂ දිනවීමට මිස මුස්ලිම් අන්තවාදී ප්රහාරයක් ලෙස නොවන බව කාදිනල්තුමාට හොඳට ම විශ්වාසය. කූරගල බෞද්ධ උරුමය රැකගත් ගෝඨාභය වෙනුවෙන් සහරාන්ලා මරාගෙන මැරෙන විට ඕෂල හේරත්ගේ තාත්තා සිය ප්රේමය වෙනුවෙන් රට පුරා බෝම්බ තැබූ බව අප ද පිළිගෙන කොණ්ඩෙ බැඳපු චීනුන් වන්නට සිතට ගමු.
කෙසේ වුව ද මේ බෝම්බ දෙකෙන් එකක් හෝ පුපුරා ගියේ නම්, මහ මොළකරු දින කිහිපයකින් අත්අඩංගුවට පත් නොවූයේ නම් කාදිනල්තුමා රටට කියනු ඇත්තේ කුමක් ද? රටේ ප්රශ්න යට ගැසීමට මෙම බෝම්බ පුපුරුවන බව ය. ජාතිවාදය වපුරා රට පාලනය කිරීමට බෝම්බ පුපුරුවන බව ය. බෝම්බ පුපුරුවා ගෙන බලයට පැමිණ බෝම්බ මතින් රට පාලනය කරන බවය. පාස්කු බෝම්බයේ මහ මොළකරු මෙන් ම මේ බෝම්බවල ද මහ මොළකරු එකම අයකු බව ය.
නාමල් උඩලමත්ත

Thursday, January 20, 2022

ජනේලයේ පැන උපාධිය ගත් අනුරගේ වික්‍රමය...!

තිස්ස ජනනායක විසින් අරවින්ද දිසානායක නොහොත් අනුර දිසානායක පිළිබඳ සිදුකරන ලද හෙළිදරව්වක් නිසා ජවිpay බැතිමතුන් පිරිස සුරතාන්තයට පත්ව සිටිති. ජනනායක පවසන්නේ, අනුර දිසානායක කිසිදු දවසක විශ්වවිද්‍යාල දේශන සඳහා සහභාගී නොවූ බවත් දහවල නිදාගෙන රාත්‍රීයට දේශපාලනය කළ නිශාචරයකු වූ හෙතෙම විභාග ආසන්නයේ දී කිසිවෙකුගෙන් ලබා ගන්නා ගන්නා සටහන්වල ෆොටෝ කොෆි පාඩම් කර විභාග සමත් වූ බවත්ය. ඔහු නේවාසිකාගාරයට ජනේලයෙන් පැන පැමිණීමට පුරුදු වී සිටි බවත් ජනනායක සඳහන් කරයි.

මෙම පුවත සමග අනුර දිසානායක ඇරිස්ටෝටල්, ප්ලේටෝ, අයින්ස්ටයින් වැනි යෝධයෙකු සේ මවා ගෙන ෆේස්බුකියේ ඩෙඟා නටන ජවිpay බැතිමතුන් පිරිස අවම වශයෙන් විශ්වවිද්‍යාලයට වැස්සකට හෝ ගොඩනොවූ පිරිසක් බව නොකියා ම බැරිය. විශ්වවිද්‍යාලයේ දේශන මගහැර වළ බසිමින් පිස්සු කෙළ, අවසානයේ කෙසේ හෝ යන්තම් විභාගය ගොඩ දමන අය ඕනෑ තරම් අප දැක තිබේ. එය විශ්වවිද්‍යාලයට ගිය අයෙකුට මහ අරුම පුදුම දෙයක් නොවේ. එය මහා විශ්වකර්ම වැඩක් ද නොවේ. මෙවැනි ගිරා උපාධි ගන්නා අයකු රටක පාලනයට නොව ආයතනයක රැකියාවක් සඳහා පවා සුදුස්සකු නොවේ.

මේ රටේ ජනතාව සිය බදු මුදල් ලක්ෂ ගණන් වැයකර විශ්වවිද්‍යාල වරම් ලබා දෙන පිරිසට අයත් සිසුවෙකු එම අවස්ථාව මගහැර යාම රටට කරන අපරාධයකි. විභාගය යනු කිසියම් කාල පරිච්ඡේදයක් තුළ සිසුවා උගත් දෙය පරික්ෂා කරන දුර්වල කෝදුවක් විනා පරිපූර්ණ මිනුම් දණ්ඩක් නොවේ. එහි දී යම් විෂයක් උගන්වා ඉන් තෝරාගත් ඉසව් කිහිපයකින් ප්‍රශ්න කිහිපයක් අසන්නේ සිසුවා සමස්ත විෂය ඉගෙන ඇති දැයි පරික්ෂා කිරීමටය. එහෙයින් කිසිදු දේශනයකට සහභාගී නොවී දේශන සටහන් කටපාඩම් කර යන්තම් විභාගය ගොඩදාගත හැකි වුව ද ඔහු නියම අධ්‍යාපනයක් ලද අයකු නොවේ. 

මෙය එක් අතකින් තහනම් උත්තේජක භාවිත කර තරඟ ජයග්‍රහණය වැනි ක්‍රියාවකි. පසුගිය සමයේ විශ්වවිද්‍යාල දේශනවලට සහභාගී වීම ඉහළ නැංවීම සඳහා විවිධ වැඩසටහන් දියත් කළේ එහෙයිනි. විශ්වවිද්‍යාලයට පැමිණ කිළිටි ඇඳුම් ඇඳගෙන රැවුල් නොකපා සෙරෙප්පු දෙකක් දා ගෙන සැරිසැරීම වීරකමක් ලෙස සලකන ජවිpay බැතිමතුන් පිරිස බොහෝ දෙනාගේ ජීවිත කතාව ද අනුර දිසානායකගේ කතාවට වෙනස් වන්නේ සුළු වශයනෙි. ඔවුන් විශ්වවිද්‍යාලයට ගිය ද එහි නියම පල නෙළා ගන්නේ නැත. 

බාහිර උපාධිධාරියෙකු මෙන් සටහන් කට පාඩම් කර විභාග සමත් වීම, ඇතැම් විට විෂයන් අසමත් වෙවී අවුරුදු ගණන් පසු වී උපාධිය ලබා ගැනීම ද මොවුන් අතර දැකගත හැකිය. පෝස්ටර් ඇලවීම, උද්ඝෝෂණ කිරීම, නවකවධය දීම, අරක්කු සිගරට් ගංජා ගැසීම ආදිය මිස කිසිදු කුසලතාවක් ප්‍රගුණ නොකරන පුස්තකාලයට ගොඩනොවදින මේ උපාධිකාරයින්ගේ ඊළඟ නවාතැන රැකියා විරහිත උපාධිධාරීන්ගේ සංගමයයි. ලිප්ටන් වටරවුමේ කාලයක් ගතකර ආණ්ඩුවේ රැකියාවකට රිංගා ගෙන වෘත්තිය සමිතියක් අටවා ගැනීම ඊළඟ පියවරයි. අනුර කුමාර වැනි නායකයින් පක්ෂය විසින් දිගු කාලීනව නඩත්තු කරයි.

අපගේ විශ්වවිද්‍යාල පද්ධතියේ ඛේදවාචකය මොනවාට විදහාපාන අනුර දිසානායක පුවත අසන විට සැබවින් ම අප හඬා වැටිය යුතුය. මේ රටේ ජනතාව උපාධිධාරියෙකුට ලක්ෂ 10-12 මුදල් වැය කරන්නේ නෝට් එකක් කටපාඩම් කර යන්තම් විභාගය සමත්ව උපාධි ලෝගුවෙන් වසා එළියට දමන පුස්සකු වෙනුවෙන් වීම කෙතරම් ඛේදවාචකයක් ද? මේ රටේ අධ්‍යාපන ක්‍රමය වහාම වෙනස් කළ යුතු බවට අරවින්ද දිසානායකගේ උපාධිය ද කිසිවක යහපත නොදකින ඔහුගේ සර්ව අශුභවාදී දුෂ්ටිය ද රටට ලබා දෙන පණිවිඩයයි.

පමා වූ හෝ මෙම හෙළිදරව්ව සම්බන්ධයෙන් තිස්ස ජනනායකට ස්තූති කරමින් මෙම සටහන ආරම්භ කරමි.

Wednesday, January 19, 2022

මිල්කො සභාපති එළවා දැමිය යුතු ද?

තෙෂාර ජයසිංහ වෙනුවට රේණුක පෙරේරා ලිට්‍රො සභාපති කිරීම වගේ ම ලසන්ත වික්‍රමසිංහ වෙනුවට රේණුක පෙරේරා මිල්කො සභාපති කිරීමත් ප්‍රඥාවන්ත තීන්දු නෙමෙයි. රටේ ගෑස් අර්බුදයක් තිබුණ නිසා කලබලෙට කොරස් කටෙත් අත දා ගන්න බැරි වෙනවා වගේ ලිට්‍රො සභාපති මාරුව නම් අත්වැරදීමක් වෙන්න පුළුවන්. නමුත් මිල්කෝ ආයතනය? එය මේ වන විට ඉතා ම හොඳින් ක්‍රියාත්මක වන ආයතනයක්.

මිල්කො ආයතනය යහපාලන කාලේ අවසන් වසර තුනේ මිලියන 2000කට වඩා පාඩු ලබමින් ජනතා බදු මුදල් ගිලිමින් පණ ඇද්ද ආයතනයක්. එහෙම ආයතනයක් තමයි, ලසන්ත එහි සේවකයින්ගේ නොමද ආශීර්වාදය සහ කිරිගොවීන්ගේ දායකත්වයත් ලබා ගෙන වසරකට මිලියන 400ක් ලාභ ලබන තැනට දියුණු කරන්නේ. 

ඒ විතරක් නෙමෙයි, මේ වන විට මිල්කො ආයතනය සේවකයින්ට බෝනස් ගෙවීමට වගේ ම කිරිගොවීන්ට ගෙවන මුදල 30%කින් වැඩි කරන්න කටයුතු කරලා අවසන්. ඒ අනුව මිල්කො ආයතනය ජනාධිපතිතුමාගේ සෞභාග්‍යයේ දැක්මේ කියන ජාතික සම්පත් වැඩි දියුණු කිරීම දේශීය ආයතන ශක්තිමත් කිරීම මේ වන විටත් ඉතා ම හොඳින් කරමින් තිබෙන ආයතනයක්. එම ලාභ ලැබීමේ රහස තවත් රහසක් තමයි, ආයතනය තුළ සිදු වූ දූෂණය වංචාව විශාල වශයෙන් සීමා කිරීම. 

ලසන්ත ඉවත් කිරීම සඳහා ඉහළට වැරදි තොරතුරු ලබා දෙන අය අතර යහපාලන කාලේ ආයතනයට මිලියන 2000ක් පාඩු වෙද්දි ඒ මුදල සාක්කුවට ගිය, එහෙම නැත්නම් පසුගිය වසර දෙකේ මිල්කො මිලියන 800ක් ලාභ ලබද්දි ඒක තමන්ගේ සාක්කුවට නොගිය අය ඉන්න පුළුවන්.  

එවැනි පසුබිමක පොදුජන පෙරමුණේ පාලන ලේකම් රේණුක පෙරේරාට තනතුරක් දිය යුතු නිසා ම සාර්ථක ලෙස ක්‍රියාත්මක වන ආයතනයක සභාපති තනතුර මාරු කිරීම ආණ්ඩුවට වගේ ම රේණුක පෙරේරාටත් හොඳ නැහැ. ඒ සියල්ලට ම වඩා මේ පත්වීම ඔස්සේ රටට ලබා දෙන පණිවිඩය හොඳ නෑ. ඒ වගේ ම ලසන්ත යුතුකම ජාතික සංවිධානය, වෘත්තිකයින්ගේ ජාතික පෙරමුණ වගේ සංවිධාන ගොඩනඟමින් 2015 ඉඳන් යහපාලනාණ්ඩුව ගෙදර යවලා ජාතිකත්වය අපේකම රජයන ආණ්ඩුවක් ගොඩනඟන්න පෙරමුණ ගත් තරුණ නායකයෙක්. 

ඉතින් දේශපාලනඥයින් ආයතන සභාපති මණ්ඩල අධ්‍යක්ෂ මණ්ඩලවලට නොදමන බව කියමින් අයඳුම්පත් කැඳවලා විශේෂඥ මණ්ඩල යටතේ සම්මුඛ පරීක්ෂණ කරල පත් කළ දක්ෂ සාර්ථක සභාපතිවරයෙක් කිසි ම හේතුවක් නොමැතිව දැහැටි දණ්ඩක් වගේ විසි කිරීමෙන් රටට ලැබෙන පණිවිඩය මොකක් ද? ලක්ෂ 4-5ක් මාසික වැටුපක් ලබමින් ජාත්‍යන්තර ආයතනයක ඉංජිනේරුවකු ලෙස සේවය කර ඒ සියල්ල අතහැර රට වෙනුවෙන් සේවය කරන්න පැමිණි තරුණයෙකුගේ ආත්ම අභිමානයට මොකද වෙන්නේ? එහෙම කරද්දි ජනාධිපතිතුමා ආරාධනා කළත් එදා තාප්පවල චිත්‍ර ඇන්ද, පුරන් කුඹුරු අස්වැද්දු තරුණ පරපුර නැවත රට වෙනුවෙන් ඉදිරියට ඒවි ද?

මේ සියල්ලට ම වඩා රේණුක පෙරේරා ඉන්දික අනුරුද්ධ රාජ්‍ය ඇමැතිවරයා එක්ක වැඩ කරන්න බෑ කියලා තමන්ට පැවරූ නිවාස සංවර්ධන අධිකාරියේ සභාපතිකමින් ඉල්ලා අස්වී ගෙදර ගිය කෙනෙක්. තමන්ට පැවරූ වගකීම එහෙම අතරමග දාලා ගිය කෙනෙකුට සියලු බාධක ජයගෙන ආයතනයක් සාර්ථකත්වය කරා රැගෙන ආ පුද්ගලයා පැත්තකට විසි කරලා තනතුරු ලබා දීමේ පදනම මොකක්ද කියල මට නම් තේරුමක් නෑ. එහෙම කරල මිල්කො ආයතනය නැවත බිඳ වැටුණොත් ඒ නිසා ජනාධිපතිවරයා ප්‍රමුඛ ආණ්ඩුවට එල්ල වන චෝදනා විපක්ෂයේ බොරු චෝදනා වගේ නොතකා හරින්න ජනතාව කටයුතු කරන එකක් නෑ. 

ඒ නිසා මේ අර්බුදකාරී අවස්ථාවේ අප හමුවේ ඇති අභියෝග ජයගනු මිස නැති ප්‍රශ්න නිර්මාණය කර ගෙන ඒ සඳහා පිළිතුරු සෙවීමට කාලය මිඩංගු කළ යුතු නෑ. රටේ අනාගත අභිවෘර්ධිය උදෙසා මේ ආණ්ඩුවේ අනාගත පැවැත්ම වගේ ම එහි ආරක්ෂාව පිළිබඳ නිරතුරුව සිතන මගේ අදහස නම් ලසන්ත වික්‍රමසිංහ කිසිසේත් මිල්කො ආයතන සභාපති ධූරයෙන් ඉවත් නොකළ යුතු බවයි. එම තීන්දුව රටේ යහපත තකා ආපසු හැරවිය යුතු බවයි. රේණුක පෙරේරා අදාළ පත්වීම භාරනොගත යුතු බවයි. රේණුක පෙරේරාට ආණ්ඩුවේ තනතුරක් දිය යුතු ම නම් කළ යුතු වන්නේ පසුගිය වසර දෙක තුළ අපේක්ෂිත ප්‍රතිඵල ලබා නොදුන් ආයතනයකට ඔහු පත්කිරීමය. 

Monday, January 17, 2022

නික්ම ගිය නීලාවන් ගැන..

නීලා වික්‍රමසිංහ මා වඩාත් ආකර්ෂණීය වන, මට වඩාත් දැනෙන කට හඬ හිමි ගායිකාව ය. ඒ, ගුවන්විදුලියෙන් අප ඇසූ ඇගේ මුල් කාලීන ගැඹුරු හඬට නොව කාලයක් තිස්සේ ගීත ගායනා කිරීමෙන් සුසර වූ ඉසියුම් මධුරතර හඬට ය. සිලිං බිලිං, බලා හිඳිමි, දස්කොන් සකිසඳ වැනි ගීතවල මට ඇසෙන්නේ ඒ මධුර හඬය. ඈ නික්ම යන්නට පෙර ද මම මේ පිළිබඳ කිහිප වරක් ලියා තැබීමට අවස්ථාව ලැබීමට ඉඩ ලැබීම සැනසිල්ලකි.

නීලා තුළ ගායිකාවක, සංගීතවේදිනියක, ගුරුවරියක මෙන් ම තම නිජබිමට ආදරය කළ, ඊට අනතුරක් වනු දුටු සඳ ඊට එරෙහිව නිර්භයව නැඟී සිටි අනාගතය විනිවිද දුටු අභීත ගැහැනියක් ද සිටියා ය. එදා 2015 මහින්ද රාජපක්ෂ පරාජයට පත්කළ අවස්ථාවේ ඈ සිදුකළ ප්‍රකාශයෙන් එය මොනවාට තහවුරු වෙයි.

රටේ සමස්ත භූමියෙන් 3/4ක පමණ ප්‍රදේශයක් පරාජයට පත් වූ බහුතර සිංහලයන් ප්‍රතික්ෂේප කළ මෛත්‍රීපාල සිරිසේන උතුරු නැගෙනහිර ඇතුළු සුළු ජන ඡන්දවලින් බලයට පත්වූ අවස්ථාවේ ම රට වන නස්පැත්තිය නීලා දුටුවාය. ඈ ඉවසීමේ සීමාව ද අහිමිව හඬා වැටෙමින් උක්ත ප්‍රකාශය කළේ එහෙයිනි. මත්තල ගුවන්තොටුපළේ වී ගබඩා කොට ආරම්භ වූ ඒ කලියුගයෙහි හම්බන්තොට වරාය විකුණා දැමීම, මහා බැඳුම්කර කොල්ලය, රණවිරුවන් ජිනීවා දංගෙඩියට යැවීම, උතුරු නැඟෙනහිර බෞද්ධ උරුමය බුල් ඩෝසර් කර මිරිස් වැවීම, රට දෙකඩ කරන MCC ගිවිසුම අත්සන් කරන මුව විටට ම රට ඇදගෙන ඒම සහ අවසානයේ පාස්කු ප්‍රහාරය එල්ල වන තැනට ජාතික ආරක්ෂාව දුර්වල කර ජන සංහාරයක් සිදුකිරීම වැනි අපරාධ මිස රටට සිදු වූ සෙතක් නැත. ඒ බව නීලා දුටුවේ සියලු ද්‍රෝහී බලවේග එකතු වී 2015 මහින්ද රාජපක්ෂ පරාජය කළ අවස්ථාවේ ය.

එම වසර පහ තුළ සමස්ත ආර්ථිකය බිඳ වැටුණි. ආර්ථික වර්ධන වේගය, දළ ජාතික නිෂ්පාදනය, ඒක පුද්ගල ආදායම, විදේශ සංචිත ආදී සියල්ල කඩා වැටුණේ කොවිඩ් වැනි දැවැන්ත වසංගතයක් තිබී නොව රාජපක්ෂ පාලනය අවසන් කිරීම සඳහා ම රටට බෝ කළ යහපාලන වසංගතය නිසාවෙනි. මේ රටේ ප්‍රධාන ආදායම් මාර්ගයක් වූ සංචාරක කර්මාන්තය කඩා වැටුණේ කොවිඩ් නිසා නොව අන්තවාදය සුරතල් කළ යහපාලන වසංගතයේ අනිවාර්ය ප්‍රතිඵලයක් වූ පාස්කු ප්‍රහාරය නිසාවෙනි. කොවිඩ් වසංගතය අපට දැඩි බලපෑමක් එල්ල කිරීමට මූලික හේතුව ද ලෝකය එක වසංගතයකට මුහුණ දෙන විට අපේ රට වසර 05ක් තිස්සේ යහපාලන වසංගතයට මුහුණ දී හෙම්බත්ව සිටීම නිසා ය. 

ඒ කලියුගය අවසානයේ යහපාලන ක්ෂාපාලකයින්ට උදම් අනන්නට ඉතිරි වුණේ ජිනීවාවල දී බැරක් ඔබාමා සිරිසේන අසලට පැමිණ කතා කිරීම, රුපියල් පහ සමග කහ ඉර සුදු කිරීම වැනි විහිළු කිහිපයක් පමණි. ඒ ව්‍යසනය එදා නොදුටු ජනතාව ද එක්ව අවසානයේ යහපාලන ආණ්ඩුව ගෙදර යැව්වේ එජාපයට යන එන මං නැති කරමිනි. ශ්‍රීලනිපයට පොහොට්ටුවේ එල්ලීම නිසා යන්තම් පණ නළ ගැටගසා ගැනීමට හැකි විය. මේ ව්‍යසනය එදා නීලා වික්‍රමසිංහ ඉතා ම නිවැරදිව දුටුවාය. ඒ වෙනුවෙන් ඈ හඬ නැගුවාය. ඒ සඳහා අවශ්‍ය ශක්තිය ඒ කලාකාරිනිය තුළ තිබිණි. නීලා වික්‍රමසිංහ කලාකාරිනියට උතුම් වූ නිර්වාණය ප්‍රාර්ථනා කරමි.

බලා හිඳිමි දුර ඈතක ඇයි ඔබ

මා රඳවා පියවර මැන්නේ ....

හෙළා සුසුම් රැළි දුක සඟවන්නෙමි

මා කතරක තනි වූ වැන්නේ ....

බලා හිඳිමි දුර ඈතක ඇයි ඔබ ....

නාමල් උඩලමත්ත


දුම්රිය අසේවයට විසඳුම ජනතා බදු මුදලින් කප්පම් ගෙවීම ද?

කොවිඩ් වසංගතයෙන් දෙවසරක් බැටකෑ රට සාර්ථක එන්නත්කරණයත් සමග නැවත හිස ඔසවමින් ඇත. පාස්කු ප්‍රහාරය සමග බිඳ වැටුණු සංචාරක කර්මාන්තය මෙන් ම අපනයනාභිමුඛ නිෂ්පාදන ඇතුළු සියලු නිෂ්පාදන ක්ෂේත්‍ර සිය සුපුරුදු රිද්මයට පැමිණෙන ලකුණු දක්නට ඇත. අපගේ අපනයන ආදායම කොවිඩ් වසංගතය මැද වුව පසුගිය වසරේ වාර්තා කර තිබුණේ ඉතිහාසයේ ඉහළතම අගයයි.

වසංගතයක් සමග යළි පිබිදෙන රටට රටේ රාජ්‍ය අංශය සිය උපරිම දායකත්වයේ ඉන්ධන ලබා දිය යුතු වුව ද සිදුවන්නේ එහි අනික් පැත්තය. වාර්ෂිකව රුපියල් බිලියන දෙකක ආදායමක් උපයමින් රුපියල් බිලියන 10ක ජනතා බදු මුදල් ගිලින ශ්‍රී ලංකා දුම්රිය සේවය ඒ සඳහා කදිම උදාහරණයකි. වෘත්තීය සමිති පිළිකාව හැම අතම පැතිර ගිය දුම්රිය සේවය මේ රටෙන් සහ ජනතාවගෙන් පළිගනිමින් ඇති බව කනගාටුවෙන් වුව ප්‍රකාශ කළ යුතුමය.

දුම්රිය සේවය දිගට ම පාඩු ලැබුව ද එහි සේවකයෝ දීමනා අතිකාල ඇතුළත්ව අති විශාල පඩියක් ලබති. එහි සුළු සේවකයෙකුගේ පවා ආරම්භක වැටුප රු. පනස්දහසකට ආසන්නය. දුම්රිය රියදුරෙකු සාමාන්‍ය මාසික වැටුප රු. ලක්ෂ දෙකහමාරත් තුනත් අතර පවතින අතර මෙවැනි ඉහළ වැටුප් ලබන ලංකාවේ ඇති අනෙක් එකම රාජ්‍ය සේවය වෛද්‍ය සේවයයි.

මේ ආකාරයට මහජන මුදල් දුම්රිය නඩත්තු කිරීම සඳහා වෙන් කළ ද එය දිනෙන් දින ජනතාව පීඩාවට පත්කරමින් ක්‍රියාත්මක වන ආකාරය පිළිකුල් සහගතය. එක දිනයක රියදුරන් ද තවත් දිනක දුම්රිය ස්ථානාධිපතිවරුන් ද තවත් දිනක දුම්රිය නියාමකවරුන් ද ඊට පසු සුළු සේවක හෝ කම්කරු ද වශයෙන් වර්ජන ක්‍රියාත්මක කරති. මේ වර්ජන රැල්ල විසින් කිසිදු ආයතනයක් රජයට පවරා ගැනීමට හෝ කතා කළහොත් ඊට එරෙහිව ජනතාව පාරට බසින තත්ත්වයට රාජ්‍ය සේවය එපා වී ඇත. හිඟුරාන සීනි සමාගම නැවත රජයට පවරා ගන්නා බවට රාජ්‍ය අමාත්‍ය ජානක වක්කුඹුර සිදුකළ ප්‍රකාශයට එරෙහිව දහස් ගණනක් මහ පාරට බැසීම ඒ සඳහා හොඳ ම උදාහරණයකි.

කිසියම් වර්ජනයක් ආරම්භ කිරීමට පැය 24කට පෙර ඒ පිළිබඳ ජනතාව දැනුම්වත් කළ යුතු වුව ද මෙම කල්ලිය ධාවනය වන දුම්රිය අතරමග කැළෑවල නතර කර දමා වර්ජන ආරම්භ කරමින් ම්ලේච්ඡත්වයේ උපරිම සීමාවට පැමිණෙන ආකාරය පසුගිය දිනවල දැකගත හැකි විය. මේ ම්ලේච්ඡ ප්‍රහාරය නිසා අසරණ වූ ජනතාව සිය දරු මල්ලන් ද බඩු පොදි ද අතින් කටින් එල්ලා ගෙන දුම්රිය පාර දෙපස කැළෑ බිඳගෙන පිළිසරණක් සොයා යන ආකාරය බලා සිටිය නොහැකි තරම් හද කම්පා කරවන සුළුය. ඒ අතර මේ රටට පැමිණි සංචාරක පිරිස් ද දක්නට ලැබුණු අතර ඔවුන් අපේ රට පිළිබඳ ලෝකයට රැගෙන යන පණිවිඩය කෙතරම් අප්‍රසන්න ද?

පාස්කු ප්‍රහාරය සහ කොවිඩ් වසංගතය නිසා සම්පූර්ණයෙන් බිඳ වැටුණු සංචාරක කර්මාන්තය යළි හිස ඔසවන අවස්ථාවක එල්ල වූ මේ ම්ලේච්ඡ ප්‍රහාරයට කිසිවෙකුට දඬුවම් ලැබෙන්නේ නැත. වෘත්තීය සමිති මාෆියාව වනසා දමා ඇති දුම්රිය සේවය වහා ම පෞද්ගලීකරණය කිරීම හැර කිසිදු විකල්පයක් මේ වන විට ඉතිරි වී නොමැති බව අපේ හැඟීමයි. මහජන බදු මුදල් පොම්ප කරමින් නඩත්තු කරන දුම්රිය සේවකයින් තව දුරටත් රටට සේවයක් ලබා නොදෙන පසුබිමක ජනතාවගෙන් සහ රටෙන් එළව එළවා පළිගන්නා පසුබිමක මහජන මුදල් පුච්චමින් මේ සාපරාධී ආයතන නඩත්තු කිරීම මේ රටේ ජනතාවට සිදුකරන බලවත් අසාධාරණයකි.

සෙසු රාජ්‍ය සේවකයින්ට සාපේක්ෂව අතිවිශාල වරප්‍රසාද ප්‍රමාණයක් භුක්ති විඳින දුම්රිය සේවකයින් තමන්ට කන්න අදින්න ලබා දෙන ආයතනය වැඩි දියුණු කිරීමට හෝ එය ලාභ ලබන ආයතනයක් බවට පත්කරලීමට වෙහෙසෙනු වෙනුවට ඊනියා අයිතිවාසිකම් ඉල්ලමින් ෂයිලොක් තියරියට වැඩ කරද්දි ආණ්ඩුව ඔවුන් ඉදිරියේ දණ ගැසීම ආණ්ඩුව ලද ජනවරමට ද සිදුකරන ද්‍රෝහිකමකි. එහෙයින් මේ අනවශ්‍ය බරින් ජනතාව මුදා හැරීම පාලකයින්ගේ වගකීමකි. 

දුම්රිය සේවය පෞද්ගලීකරණය හෝ අර්ධ රාජ්‍ය සේවයක් බවට පත්කර එහි ආදායමින් එය නඩත්තු කළ යුතුය. එවිට හිතුමතේ වර්ජන කරමින් මගී ජනතාව අපහසුතාවට පත්කරමින් මාසේ අන්තිමට සුපුරුදු ලෙස පිං පඩි ගැනීමට ඔවුන්ට අවස්ථාව නොලැබෙන අතර අපි හම්බ කළොත් අපි කනවා තියරියට අනුව සිය සේවය විධිමත් සහ උපරිම ආකාරයෙන් ජනතාවට ලබා දෙනු ඇත. එවිට මේ රටේ ජනතාවගේ බදු මුදල් කොල්ලය නතර වනු පමණක් නොව රටට ජාත්‍යන්තරය සමග සමතැන් ගන්නා දියුණු දුම්රිය සේවයක් ද ලැබෙනු ඇත.

නාමල් උඩලමත්ත

 
සිය රට දේ සිරි සැප දේ !