Saturday, March 21, 2009

වවුලාගේ මඟුල් ගෙදර ගියේ නම් එල්ලිලා හිටු !

වන්නියේ යුද ජයග්‍රහණ පිළිබඳ රුපවාහිනි නාලිකා මගින් සැපයෙන තොරතුරු දකුණේ ජනතාව තලු මරමින් රස විඳින පුවත් බවට පත්ව ඇතැයි එතෙර මෙතෙර දෙකෙහිම සිටින ඊනියා මානවහිතවාදීහු ලියති. කියති. ඒ පුවත් දකුණට මෙන්ම ප්‍රභාකරන්ගේ ඊලමට එරෙහි වී සිටින සියලුම ජනවර්ගයාගේ සිතට සතුටක් බව නිසැකය. එහෙත් ඒ ප්‍රවෘත්ති නිසා සලිත වන කම්පා වන අයද සිටිති. ඉහත සඳහන් කළ ඊනියා මානවහිතවාදීන් මෙන්ම බටහිරයන්ගෙන්ම යැපෙන මාධ්‍ය, රාජ්‍ය නොවන සංවිධාන ඇතුළු වෙනත් කොටි රුකඩවලටද ඒ පුවත් අසුබ, අරුචි වීමද ස්වභාවිකය.

යුද මුක්ත කලාපයද ඇතුළු වර්ග කි. මී. 28 කට පමණ සීමා වී සිටින දෙමළ ජනතාවගේ ඊනියා විමුක්ති නායකයා අඩි හයක් පොළව යටට යන්නේ කවදා කෙසේද යන ස්වභාවික කුතුහලය එදා සිටම ප්‍රභාකරන්ගේ ජන ඝාතක ජන පීඩක මුග්ධ ව්‍යාපාරයට එරෙහිවුවන්ට මෙන්ම අපටද තිබේ. එහෙත් තවමත් ප්‍රභාකරන්ට එසේ නොවේවායි හිතන පතන අයද වෙති. අප ආණ්ඩුවට අනතුරු හඟවන්නේ ඒ නග්න වෘකයන්ගෙන් ප්‍රවේශම් වන්නටය.

එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මානවහිමිකම් පිළිබඳ මහ කොමසාරිස් ධුරය හොබවන නවදීනම් පිල්ලේ මහත්මිය පසුගිය දිනක කිසිදු පදනමක් නොමැති චෝදනාවක් නැගු අයුරු අපට සිහි වේ. ආණ්ඩුවේ හමුදා අහිංසක සිවිල් වැසියන් දහස් ගණනක් මරා දමා ඇතැයි ඇය විසින් කරන ලද ගද්‍රභ ඝෝෂාව මතු වැඩ සඳහා කරන ලද්දක් බව අපට පැහැදිලිය.

කෙසේ හෝ ඇගේ එකී මුග්ධ චෝදනාව යටපත් කරමින් එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින්ම නගන ලද තවත් චෝදනාවක් මතු විය. ඒ එක්සත් ජාතීන්ගේ සංවිධානවල නියෝජිතයන් හා ඔවුන්ගේ පවුල්වල සාමාජිකයන් කොටින්ගේ පැහැර ගැනීම්වලට ලක්ව සිටින බවය. බලහත්කාරයෙන් රඳවා ගෙන සිටින බව කියැවෙන ඒ අය අතර දහසය හැවිරිදි දැරියක්ද සිටින බව සඳහන් විය.

කොටින්ගේ එම අධම ක්‍රියාව අපි කිසිසේත් අනුමත නොකරමු. එහෙත් මෙයින් පැහැදිලි වන යථාර්ථයට එක්සත් ජාතීන්ගේ සංවිධානයට හෝ කොටි වෙනුවෙන් කඳුළු සලන අයට දැක්විය හැකි ප්‍රතිචාරය කුමක්ද? යුද මුක්ත කලාපය තුළ සිටින කොටි ත්‍රස්තවාදීන් එමගින් ප්‍රකාශ කර සිටින්නේ තම සංවිධානය මේ ලෝකයේ පිළිගත් කිසිදු යුක්තියක් හෝ මානව ධර්මයක් නොතකන බව නොවේද? වවුලාගේ මඟුල් ගෙදර ගිය කාටත් සිදුවන්නේ එල්ලී සිටීමට යැයි සිංහල ජනවහරක් ඇත. මේ ඊනියා දෙමළ නායකයා කර ඇත්තේ එය සනාථ කිරීමක් නොවේද,

සිය තරාතිරම, සේවය, නිලය, බලය, ස්ත්‍රී පුරුෂභාවය යනාදී කිසි භේදයකින් තොරව මෙසේ බලහත්කාරයෙන් රඳවා ගෙන සිටින අය කොටින්ගේ සේවාවන් සම්පුර්ණ කළ යුතු වෙති. එක්සත් ජාතීන්ගේ සංවිධානයට අයත් සේවකයන්ට වුවද අගල් කැපීම, බංකරවලට අඩු වැඩිය සැපයීම වැනි ප්‍රභාකරන්ගේ ඊනියා ඊලාම් සටනේ ඇණ මුරුච්චි බවට පත්වීම හැර වෙනත් විකල්පයක් නැත.

එක්සත් ජාතීන්ගේ මණ්ඩලය අමාරුවේ වැටී සිටින මේ මොහොතේදී ඔවුන්ගේ හිත් රිදෙන පරණ කතා කීමට අපට අවශ්‍ය නැත. එහෙත් එකී සංවිධානයේ ඇතැම් නිල කටයුතු කොටින්ගේ වාසියට හේතු වු අවස්ථා බොහෝ විය. වරක් එහි සිටි මහලේකම්වරයකු වු කොෆි අන්නන් කෞශල්‍යයන් නමැති කොටි නායකයා ඝාතනය වු අවස්ථාවේ ශෝක ප්‍රකාශයක් ද කර තිබිණි. එහෙත් හමුදා ප්‍රහාර අබියස වියරු වැටී නින්දිත සැහැසිකම්වලින් මරණය කල් දමා ගනිමින් සිටින කොටි නායකයෝ ඒ කිසිවකට මායිම් කරත්ද? අප වෙනුවෙන් මෘදු ඇසකින් බැලු අය නොවේදැයි මොහොතකට හෝ කල්පනා කරත්ද? නැත. කිසිසේත්ම නැත. කොටියාගේ හැටි එහෙමය.

සැබැවින්ම කොටි නායක ප්‍රභාකරන් ජගත් සම්මුතිවලට හෝ එක්සත් ජාතීන්ගේ ප්‍රඥප්තිවලට හෝ තඹයකට තරම්වත් මායිම් නොකරන්නෙක් බව මෙයින්ම නොපෙනේද? අද වන්නියේ සිටින අහිංසක දෙමළ ජනතාව පළිහක් ලෙස භාවිත කරමින් හෝ පණ බේරා ගැනීමට තරම් කොටි නායකයෝ නිවටයන් වී නොසිටිතියි කිව හැකිද?

අපි ප්‍රභාකරන්ගේ අදිසි මිතුරන්ට මෙන්ම සදිසි මිතුරන්ටද එක් දෙයක් කියමු. මේ මෘග ඝාතකයා වෙනුවෙන් සටන් විරාම ඉල්ලීමට හෝ වෙනත් බොරු වෙටිටු දමා හමුදාව ආපස්සට ගැනීමට හෝ යමෙක් උත්සාහ කරන්නේ නම් හේ තරම් ද්‍රෝහියෙක් මේ මිහි මත තවත් නැති බව අපි කියමු.

ප්‍රභාකරන් ලවා දෙමළ ජනතාවට විමුක්තිය ලබා දීමට ඉදිරිපත් වු සියලු දෙනාගෙන්ම අපි එකම එක සාධාරණ හා යුක්තිසහගත ප්‍රශ්නයක් නගමු. ප්‍රභාකරන්ගේ අවසන් නියෝගය වී ඇත්තේ වන්නියේ යුද මුක්ත කලාපයේ රුඳී සිටින අහිංසක දෙමළ ජනතාවද ඔහු වෙනුවෙන් සයනයිඩ් කා මිය යා යුතු බවකි. තමා වෙනුවෙන් තම ජනතාව මරු තුරුලට යවන නායකයන් ගැන ඔබ අසා තිබෙන්නෙහිද?

ඉතිහාසයේ සඳහන් වන දුටුගැමුණු - එළාර යුද්ධයෙහිදී නිරපරාදේ සිදුවන මිනිස් ඝාතන වැළැක්වීම සඳහා ඒ නායකයන් දෙදෙනා එකඟතාවකට පැමිණ ද්වන්ධ සටනක් කළහයි කියැවේ. එළාර රජු විශිෂ්ට නරපතියකු ලෙස දැක්වෙන බොහෝ කරුණුද වේ. ඒ දෙමළ ජනතාවට සාඩම්බරයෙන් සිහිපත් කළ හැකි ගෞරවනීය, අභිමානවත් නායකයෙකි. තම ජනතාව දෙස දයාවෙන් බැලු නායකයෙකි. එහෙත් මේ නිවටයාගේ අවසන් ප්‍රයත්නය තම ජනතාවගේ ජීවිතද තමා වෙනුවෙන්ම බිලි ගැනීමය.

මහත්වරුනි, අන්න වෙනස, එළාර නමැති ශ්‍රේෂ්ඨයා ප්‍රභාකරන් වැනි ඝාතකයකු සමග සැසඳීම අපරාධයක් බවද අපි දනිමු.

ප්‍රභාකරන්ගෙන් කරන ඉල්ලීම්, ඔහුට කරන කන්නලව් නිසරු නිෂ්ඵල දේවල් බව දැන් එක්සත් ජාතීන්ගේ සංවිධානයටද පසක් විය යුතුය. ඔහු යහතින් සිටින තෙක් මේ රටට තබා ලෝකයටම යහපතක් නොවන බව දැන් තේරුම් යා යුතුය.
(දිවයින ඉරිදා සංග්‍රහය_09/03/22)

පසුවදන_කොටියා පිටකොටුවේ ආමර්වීදියේ නුගේගොඩ බෝම්බ වැල් පුපුරවන විට, ජය ශ්‍රී මහ බෝධියට, ශ්‍රී දළඳා මැදුරට පහර දෙන විට, උතුරු නැගෙනහිර රජයේ හුමදා කඳවුරු එකපිට ඇදවැටෙන විට සතුටු සිනා සාගරය කළඹමින් විදෙස් ප්‍රවෘත්ති සේවාවලට වාර්තා සැපයු මේ කුහක රැළ අද මුහුණදෙන්නේ දෛවයේ කුරිරු සරදමකට නොවෙද? පෙර කළ සිය මාක්ස්වාදී ලිබරල්වාදී මතවාද සනාථ කරනට රජයේ යුදමය පසුබෑම් යෙදවූ මේ කුහකයින් අද කුමක් කරම් ද?

දැන් කළ හැක්කේ දකුණේ මිනිසුන් යුද ජයග්‍රහණ තලු මරනවා වැනි නිවට කියමන් වමෑරීම ය. ඒ ජයග්‍රහණ ගෙනෙන්නේ සකල ලක්වැසියන් වෙනුවෙන් බව හෝ ඊට ජීවිත දෙන්නේ දකුණේ වීර පුතුන් බව උන් කියන්නේ නැත. රට මතක තබා ගත යුතු වැදගත් කාරණය මේ උඩුබුරන්නේ කොටියා කිසි දිනක පරාජ කළ නොහැකියයි කියූ ම්ලේච්ඡ ත්‍රස්තවාදය විමුක්තිවාදයකැයි කියූ දුගඳ කටවල් ම බව ය.

2 comments:

෴ .:GiniMakara :.෴ said...

අපේ ජාතියට වෙලා තියෙන්නෙ එඩිතරව "මම සිංහලයෙක්" කියල කියාගන්න බැරිකම. ඒක කියා ගන්නවත් කොන්ද පණ නැති බහුතරයක් තමා ලංකාවෙ ඉන්න කීයෙන් කීදෙනාටද එහෙම කියන්න පුළුවන්. හැමෝම බයයි තමාට ජාතිවාදී ලේබල් එක වදියි කියල. ජාති වාදී වීමයි ජාතික හැඟිමයි දෙකක්. ජාති වාදී LTTE එකට සුදු හුණු ගාමින් ජාතික හැඟිම් තියන අයට මඩ ගහන නපුංසක රැලක් ඉන්නව තමා. ඔය සිංහල ජාතිවාදය ගැන කතා කරන මහත්වරැ LTTE එකේ දෙමළ ජාතිවාදය ගැන කතා කරන්නෙ ‍නැහැ ජාතිවාදය නරක දෙයක් නම් ඒක කාටත් පොදු වෙන්න ඕනෙ. ඇත්තටම අපි අපේ ජාතිය ගැන දන්නවද? කීදෙනෙක් රටේ ඉතිහාසෙ ගැන දන්නවද? මහාවංශය කියවල තියෙන්නෙ කීයෙන් කී දෙනාද? ‍අපේ රට වෙනුවෙන් අරගළ කරපු ජාතික වීරයො ක‍ව්ද කියල අපිට හැඟිමක් තියනවද? එච්චර ඕනෙ නැහැ සිංහල හොඩියෙ අකුරැ කීයක් තියනවද හරියටම දන්නෙ කීයෙන් කී දෙනාද? තමන්ගෙ ජාතිකත්වය ගැනවත් නොදන්න අය කෙහොමද සුළු ජාතීනේගෙ දේවල් ගැන සංවේදීවෙන්නෙ.

නාමල් උඩලමත්ත said...

උන්ගේ නොදන්නකමවත් නොදැනීම තමා හෙනේ. තමන්ගේ ජාතියට නැති කැක්කුමක් වෙන ජාතියකට කොයින් ද? තමන්ගේ මවට නැති ආදරයක් අන් මිනිහෙකුගේ මවකට කොයින් ද? එහෙම වෙන්න පුළුවන් ද? බැහැ.

තම අම්මගේ අගය දන්න මිනිහා අනෙක් මිනිස්සුන්ගේ මවගේ අගේ දන්නවා. තම රටට දැයට ආදරය කරන මිනිහා අන් අයගේ රටට දැයට ආදරය කරනවා.
මීට අමතර කොටහක් ඉන්නවා. තම ජතියට ගරහමින් සෙසු ජාතීන්ගේ අයිතිවාසිකම් ගැන බුරනවා. ඒ තමා නියම කුහකයෝ. රස්සාවට කෑ ගහන කාලකන්නි. තමන්ගේ ගෙදර උන්දැට දොර පොල්ලෙන් ගහන එකාගේ හදවත අල්ලපු ගෙදර ගෑණිගේ දුකට වහා උණුවෙන්නේ මොකද දන්නවනේ.

 
සිය රට දේ සිරි සැප දේ !