Wednesday, September 13, 2017

දලයි ලාමා මලාලා යූසුෆ් සහ ෆොන්සේකා

බටහිරයෝ තමන්ට වාසියක් නැතිව කිසිවකුට සලකන්නේ නැත. කොටින්ම නිසරණධ්‍යාශයෙන් උදව් නොකරති. මීය කඩන්නේ අත ලෙවකන්න නොවේ. දලයි ලාමා මෙන්ම මලාලා යූසුෆ් ද අද අපට කියා දෙන්නේ ඒ පාඩමය. ඔවුහු දැන් බටහිර වුවමනාව ඉටු කරන බටහිර නියෝජිතයෝය. බටහිර රටවල් කන්න බොන්න ඉන්න හිටින්න දෙමින් විශාල සිවිල් බලයක් ආරෝපණය කොට බලපෑම් සහගත චරිත ලෙස ඔවුන් ඇතිදැඩි කරන්නේ තමන්ට අවශ්‍ය විට ප්‍රකාශ නිකුත් කරවා ගැනීම පිණිසය. 

බෞද්ධ නායකයකු යැයි කියන දලයි ලාමා බෞද්ධයන්ට වන කිසිදු හිංසනයකට කට අරින්නේ නැත. එහෙත් බෞද්ධයන් කිසියම් අවස්ථාවක සිය ආත්ම ආරක්ෂාව පිණිස කටයුතු කළේ ද මේ බටහිර රූකඩ නායකයා මහත් සංවේගයට පත්ව ප්‍රකාශ නිකුත් කරමින් එය හෙළා දකියි. ඔහු බංගලිදේශයේ බෞද්ධයන්ට විඳීමට සිදුව ඇති ඛේදවාචකය ගැන එසේ හඬ නොනඟයි. එහෙත් දශක ගණනාවක් තිස්සේ අනවරසයෙන් බෞද්ධ බුරුමයේ රොහිංගයා ප්‍රදේශය ආක්‍රමණය කොට බෞද්ධයන්ට එරෙහිව සටන් කරන ඉස්ලාම් ත්‍රස්තවාදයට එරෙහි නොවන ලාමා ඊට එරෙහිව බෞද්ධයන් නැගී සිටින විට ම මර නින්දෙන් අවදී වී බටහිර හාම්පුතුන්ගේ විරෝධය සිය වචනවලින් ප්‍රකාශ කරයි.

ඉස්ලාම් ත්‍රස්තවාදීන්ගේ ප්‍රහාරයකට ලක්වූ මලාලා යූසුෆ් බටහිරට ගෙන ගොස් සිය වියදමින් සුවපත් කළ බටහිරයෝ දැන් ඈ සිවිල් චරිතයක් බවට පත් කොට තමන්ට අවශ්‍ය පරිදි රූකඩයක් සේ යොදා ගනිති. මුස්ලිම් අන්තවාදයෙන් බැට කෑ ඈ ඊට එරෙහිව සටන් කළ යුතු වුව ද දැන් ඇය සටන් කරන්නේ රොහිංගයා මුස්ලිම් ත්‍රස්තවාදය වෙනුවෙනි. ඒ ඇයට තමන් වෙනුවෙන් බටහිර දැරූ වියදම ගෙවීමට සිදුව ඇති ආකාරයයි. 

බටහිර විසින් මිලට ගත් සරත් ෆොන්සේකා වැන්නකු වුවද හැසිරෙන්නේ මේ ආකාරයටමය. කොටි ප්‍රහාරයකින් දිවි ගලවා ගත් ෆොන්සේකාට සිය පෞද්ගලික සහ දේශපාලන හතුරන්ගෙන් පලි ගැනීමට ද බටහිරින් එල්ල වන යුද අපරාධ චෝදනා හමුවේ චෝදනාවේ සාක්ෂිකරුවකු වී දඬුවමින් මිදීමට ඉන් අවස්ථාව ලැබේ. එහෙත් ෆොන්සේකා ඒ වාසිය සඳහා කොටි රැකීමට සහ බෙදුම්වාදය වෙනුවෙන් පෙනී සිටීමට සිදුව ඇත්තේ ඉස්ලාම් අන්තවාදී ප්‍රහාරයකින් දිවි ගලවා ගත් මලාලා යූසුෆ්ට නැවත ඉස්ලාම් අන්තවාදය රැකීමට සිදුව ඇත්තාක් මෙනි.        

Tuesday, September 12, 2017

මුරලිගේ නම කටු ගෑම

සුපිරි ක්‍රීඩක මුත්තයියා මුරලිදරන් නමින් නම් කර තිබූ පල්ලේකැලේ ජාත්‍යන්ත ක්‍රිකට් ක්‍රීඩංගණයේ නම මේ වන විට වෙනස් කර ඇති බව මුරලිදරන්ගේ පියා මහ නායක හිමියන් බැහැ දැක පවසා තිබේ. මේ කටයුත්තට මුරලිගේ පියා මැදිහත් වන තුරු අපට මැදිහත් වීමට නොහැකි වීම පිළිබඳ අප මුරලිගෙන් පමණක් නොව ඔහුගේ පියාගෙන් සමාව ඉල්ලා සිටිය යුතුය.

මේ ඉතාම කනගාටුදායක කාරණයකි. රට බේරාගත් ආබාධිත රණවිරුවන්ට මහ පාරේ දමා ගෙන පහර දුන් ආණ්ඩුව රටේ කීර්ති නාමය ජාත්‍යන්තරයේ සනිටුහන් කළ මුරලිලාට පළ නොකියා පළා බෙදීම විය නොහැකි දෙයක් ද නොවේ. මගේ මතකය නිවැරදි නම් මුරලි තවමත් ලොව වැඩිම ටෙස්ට් සහ එක්දින කඩුලු ලාභියාය.

මේ වනාහි රාජපක්ෂ ආණ්ඩුව ආචාර්ය ආනන්ද කුමාස්වාමි නමින් නම් කර තිබු කලාභවන ඉදිරියෙන් වැටී ඇති මාර්ගයේ කොටසක් නෙළුම් පොකුණ මාවත නමින් වෙන් කිරීම මෙන් ම අධම වැඩකි. එදා මුරලිදරන් දඩයම් කිරීමට කුරුමානම් ඇල්ලූ ඩැරල් හෙයාර්ලාට එරෙහිව නැගී සිටි අර්ජුන රණතුංග ඇමතිකමක් දරන ආණ්ඩුවක් යටතේ මෙය සිදුවීම කනගාටුදායක තත්ත්වයකි. නෙළුම් පොකුණ මාවත නැවත ආචාර්ය ආනන්ද කුමාරස්වාමී නමින් නම් කළ ආණ්ඩුව යටතේ මෙය සිදුවීම උත්ප්‍රාසජනකය. උතුරේ තිලිපන් වැනි කොටින්ගේ පිළිරූ ඉදිවන පසුබිමක දකුණේ මුරලිලාගේ නම් අකාමකා දැමීම අප රට ගමන් කරමින් ඇති ප්‍රපාතයේ ගැඹුර පෙන්වා දෙයි.

මේ අධම අවකල් නිහීන පාහර ක්‍රියාව සාධාරණීකරණය කිරීමට ආණ්ඩුව කෙතරම් කරුණු ඉදිරිපත් කළ ද ඒවා කිසිවක් වලංගු නැත. නැවතත් වහාම මුත්තයියා මුරලිදරන් නමින් පල්ලේකැලේ ක්‍රීඩාංගනය නම් කළ යුතුය. ඉන් මොබ්බේ කිසිම විසඳුමක් භාර ගැනීමට අප ජාතියක් ලෙස ලැජ්ජා විය යුතුය. මේ ආණ්ඩුව එය නොකරන්නේ නම් ඊළඟ ආණ්ඩුව පත්ව 24 පැයක් ඇතුළත නැවත මුරලිදරන් නමින් ඒ ක්‍රීඩාංගණය නම් කර නැවත එවැනි නම් වෙනස් කළ නොහැකි ආකාරයට නීති සම්මත කරගත යුතුය. මුරලි අපට මහා ආඩම්බරයකි.

සංහිඳියාව යැයි කියමින් මුරලිදරන්ගේ නම ද කටුගා දමමින් මේ ආණ්ඩුව ගමන් කරන්නේ ජාතික සමගිය වෙත නොව බෙදුම්වාදය වෙත බව නම් ඉතාම පැහැදිලිය. කෙසේ වුව ද නියම ජාතිකවාදී ආණ්ඩුවක් යටතේ සුපිරි මට්ටමේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩංගණයක් යාපනේ ඉදිකළ යුතු අතර ජාත්‍යන්තර තරග යාපනයේ පැවැත්විය යුතුය. ක්‍රිකට් ක්‍රීඩාව ජාතිය ඒකාත්මික කරන රන් දමක් ලෙස භාවිත කළ යුතුය.

Wednesday, May 17, 2017

සිංහලයිනි, විජයග්‍රහණය නො කෙළසවූ!

ජාතියට අභය දානය දිනාගත් මැයි 18 වන දිනය බෙදුම්වාදී ආණ්ඩුව නො සමරන බව සහතිකය. ඒ වෙනුවට දැන් උතුරේ මහවිරු සමරු පැවැත්වෙයි. එම මහ විරු සැමරුම් නුදුරේදීම ජනපති අගමැති ප්‍රධානත්වයෙන් කොළඹ පැවැත් වුවද මම නම් පුදුම නොවෙමි. 

එක් අතකින් බෙදුම්වාදය වෙනුවෙන් පෙනී සිටිමින් ෆෙඩරල් පාරේ ඊළමට මග කියන ආණ්ඩුව රට එක්සේසත් කළ රණ විරුවන් බොරුවට හෝ සැමරීම ඔවුන්ට කරන නින්දාවකි. එහෙයින් ද්‍රෝහි දෑත්වලින් ඒ දිනය කිළිටි නොකිරීම පිළිබඳ මම සතුටු වෙමි. 

ආණ්ඩුව එය නොතකා හැරිය ද රටට ආදරය කරන කළගුණ ජනතාව විරු සමරුවට සැරසෙති. විවිධ උත්සව පිංකම් සංවිධානය කරති. සෑම නිවෙසකම ජාතික දජ ඔසවා පහනක් දල්වා ඒ ජයග්‍රහණය සැමරීමට මෙන්ම ඒ සඳහා ඇප කැප වූ සියලු විරුවන්ට පිංපෙත් අනුමෝදන් කිරීමටද කටයුතු සුදානම් කෙරෙයි.

කෙසේ වුව ද මැයි 18 විජයග්‍රහණය සිහිපත් කර බුකියේ පළ කර ඇති ඇතැම් පෝස්ටර් එම මහා ජයග්‍රහණයේ විශිෂ්ටත්වය සහ මානුෂික මුහුණුවර හුවා දක්වන අතර ඇතැම් ඒවා ඉතාම අශිෂ්ට ලෙස අපේ රණවිරුවන් සිදු කළ අසීමිත කැප කිරීම් හෑල්ලුවට ලක් කරන ඒවා බව කනගාටුවෙන් වුව කිව යුතුය. මේ ඇතැම් පෝස්ටර්වල සඳහන් වන්නේ මැයි 18 බල්ලා මරපු දිනය බවය. එවැනි අශිෂ්ට පෝස්ටර්වල පසුබිමෙහි ඇත්තේ ප්‍රභාකරන්ගේ දෙපළු වූ හිස සහිත විරූපි මුහුණය.

මේ ඡායාරූපය උජාරුවෙන් ප්‍රදර්ශනය කරන අය තුළ මැයි 18 ජයග්‍රහණය පිළිබඳ ඇත්තේ 96 ක්‍රිකට් ලෝක කුසලානය දිනාගත්තා වැනි බොළඳ නොමේරු මානසිකත්වයකි. අපේ විරෝධාර හමුදාව ත්‍රස්ත ගැටුමේ අවසාන අදියරේ යුද අපරාධ කළේ යැයි අභූත චෝදනා නැගෙන පසුබිමක මෙවැනි බිහිසුණු පින්තූර ප්‍රදර්ශනය ඔස්සේ පනින රිලවුන්ට ඉනි මං බැඳීමක් සිදුවන බව ඔවුන්ට නොවැටහෙන්නේ එහෙයිනි.

එසේම සතුරාගේ වෙඩි උණ්ඩයට ළය දෙමින් වෙල්ලමුල්ලවයික්කාල්හි මිනිස් ආවාරණයක් ලෙස යොදා ගත් හින්දු ජනතාව ලක්ෂ ගණනක් ගලවා ගැනීමට අපේ විරුවන් කළ අති මහත් කැප කිරීම් මෙවැනි එකම එක ඡායාරූපයකින් විනාශ වී යන බව මේ අමනයන්ට තේරුම්ගත නොහැකි වීම කනගාටුදායකය. 

අප නොපිළිගත්තද ප්‍රභාකරන් දෙමළ සමාජයට කෙතරම් හානියක් කළ ද ඒ ජනතාව මුහුණ පාන බොහෝ ගැටළුවලට විසඳුම ඇත්තේ ඔහු ළඟ යැයි පිරිසක් විශ්වාස කළහ. මේ ත්‍රස්ත ගැටුමේ අල ගිය මුල ගිය තැන් පිළිබඳ අවබෝධයක් නැති පිරිකට ඔහු වීරයකු විය. ඔහු ත්‍රස්තයකු වුවද ඇතැමුන්ට ඔහු විමුක්තිකාමීයකු විය. 

එසේම ප්‍රභාකරන් සිංහලයාගේ මාරයා වුවද සිය ඊනියා ඊළාම් දේශයට ආදරය කළේය. ඔහු විදෙස් රටකට නොගිය තරම්ය. ඔහු සිය ඊළාම් දේශයේ අගනුවර පිහිටි තිරිකුණාමල වරාය කිසිවකුට දෙන්න සුදානම් වූයේ නැත. එහි පිහිටි තෙල් ටැංකි ටික විකුණං කෑමට නො සිතුවේය. බිම් අගලක් කිසිවකුට විකුන්නේ නැත.

තමාට එරෙහිව කටයුතු කරන ඉන්දියාව කෙතරම් දැවැන්ත වුවද ප්‍රභාකරන් පෙරළා පහර දුන්නේය. ඔහු ඉන්දීය හමුදා බලව හමුවේ දණ නැමුවේ නැත. අගමැති රජිව් ගාන්ධිට පවා මියෙන්ට සිදුවිය. ලංකාවට පැමිණි ඉන්දීය හමුදාවට පන්න පන්නා පහර දුන්නේය. කලාපීය බලවතාය, අපේ ලොකු අයියාය කියමින් නවදිල්ලි වඳින්නට ඔහු ගියේ නැත. ප්‍රභාකරන්ගේ බොහෝ වැරදි දුටු දෙමළ ජනතාව ඔහු වීරයකු කොට සැලකුවේ මෙවැනි ගති ලක්ෂණ නිසාය.

ඔහු සිංහලයාගේ පරම සතුරා වුවද රට පාවා දෙන විකුණං කන අපේ නිවට නායකයන් මෙන් ප්‍රභාකරන් නිවටයකු නොවේ. ඔහු අපට රිදෙන්න පහර දුන් බව සැබෑය. වසරක් දෙකක් නොව තිස් වසරකට ආසන්න කාලයක් පහර දුන්නේය.

ඔහු⁣ ගොඩනැඟු ත්‍රස්ත සංවිධානය ⁣ලොව බිහිසුණුම ත්‍රස්ත සංවිධානය බව කීවේ අප නොව ඇමරිකාවය. ඔහු අපේ ඉන්දීය අගමැති පමණක් නොව ලංකාවේ ජනාධිපතිවරයෙක් ඇතුළු ප්‍රබල දේශපාලකයන් බුරුතු පිටින් ඝාතනය කළේය. ආසියාවේ ඊලාම් ක්‍රිස්තියානි රාජ්‍යයක් මවා පා බටහිර සහාය දිනාගත්තේය. අප පරාජය කළේ කෙතරම් ප්‍රබල සූක්ෂ්ම උපක්‍රමශීලි සතුරකුද යන්න අවබෝධ කර ගැනීමට මේ කරුණු ප්‍රමාණවත්ය. එහෙයින් අප සතුරාගේ ප්‍රබලතා මෙන්ම දුබලතා හඳුනාගත යුතුය. 

අනෙක් අතට එවැනි ඡායාරූප අපට උතුර දකුණු හදවත් නැවත යා කරන අරගලයට ප්‍රබල බාධකයකි. එමගින් නිරූපනය වන්නේ අශිෂ්ට ගෝත්‍රිකත්වයක් මිස කිසිවක් නොවේ. එහෙත් අපේ හමුදාව ඉතා ම ශිෂ්ට ලෙස එම දුෂ්කර සටනට මුහුණ දුන්නේය. එහි ඊළඟ පියවර ලෙස උතුර දකුණ යා කිරීමේ වගකීම අප භාරගත යුතුය. එහෙත් සිදුවන්නේ එය නොවේ.  

බල්ලා මළේ අද යැයි කියා අද ඒ සතුරා අවප්‍රමාණ කිරීම ඔස්සේ අප හෑල්ලුවට ලක් කරන්නේ ලොවක් විස්මයට පත් කරමින් අප ලද උදාර ජයග්‍රහණයයි. අපේ සතුරා දුබලයකු නම් ඔහු පරදා ලද ජය ශ්‍රෙෂ්ඨ වන්නේ නැත. අපේ මුතුන් මිත්තන් දුබලයකු සමග කරන සටන හෑල්ලුවට ලක් කළේ ගැරඬි මරලා පව් කරගන්න එපා යැයි කියලාය. එහෙත් අද සිංහල වෙස් ගත් අමනයෝ බල්ලා මැරුවේ යැයි උදම් අනති. මෙය කෙතරම් ඛේදවාචකයක්ද?

මේ අමනයන් ගැමුණු පුවත යටි පෙළ ද කියවා අවබෝධ කර ගත්තේ නම් මෙවැනි ⁣අමන වැඩ කරන්නේ නැත. එළාර පරාජය කළ ගැමුණු සිය සතුරාට ගරු බුහුමන් කළේ ඔහු ⁣ තුළ පැවති ඇතැම් යහපත් ගුණාංග නිසා පමණක් නොවේ. ඒ යහපත් ගුණාංග නිසා ඔහු වටා එක්වූ ඇතැම් සිංහලයන්ද ඇතුළු ජනතාව නැවත දිනාගත යුතු හෙයිනි. එමගින් ඔහු ඒ ජනතාව දිනා ගත්තේ එළාරට ද වඩා උතුම් ගුණාංග තමන් තුළ ඇතැයි ප්‍රදර්ශනය කරමිණි. පරාජයෙන් වේදනාවට පත්ව සිටින ජනතාව නැවත දිනාගැනීමට එය කෙතරම් ප්‍රබල උපක්‍රමයක් ද? 

අපේ විරෝධාර හමුදාව ලද ජයග්‍රහණය අවප්‍රමාණ කිරීම පිණිස ද එහි දී ඔවුන් ප්‍රදර්ශනය කළ මහා මානුෂීය ගුණය යටපත් කිරීමට ද රටට හතුරු බලවේග කටයුතු කරන අතර අවසාසන සටනේ බිහිසුණු පින්තූර අපේ හමුදාවට එරෙහිව යොදා ගන්නා පසුබිමක පනින රිලවුන්ට ඉනිමං බඳින ආකාරයේ කටයුතු කරමින් ඒ ජයග්‍රහණය හෑල්ලු කිරීමට වඩා ආණ්ඩුව මෙන් නිහඬව සිටීම වඩා යහපත් බව මගේ හැඟීමයි. 

මොවුන් සැබවින්ම කරන්නේ නැවත සමාජය බෙදා වෙන් කරන අතර රණවිරුවන් දංගෙඩියට දක්කා ගෙන වාමට අවශ්‍ය ජනමතය නිර්මාණය කිරීමය. දුර නොපෙනෙන සිංහලයෝ මෙවැනි බොරු වළවල්වලට පැන සිය දිවි නසා ගැනීමට හපන්නුය.

අප රටක් ලෙස ලද ජයග්‍රහණයේ ශ්‍රෙෂ්ඨත්වය රැක ගැනීමේ වගකීම පැවරෙන්නේ ජයග්‍රාහකයාට මිස පරාජිතයාට නොවේ. පරාජයෙන් වියරු වැටී සිටින පිරිස් මහින්දගේ පඹයන් පුළුස්සමින් කරන දෑවලට ජයග්‍රාහකයා පිළිතුර දීමට යා යුතු නැත. ඔවුන්ගේ මට්ටමට වැටිය යුතු නැත. ජයග්‍රාහකයා නිහතමානිව ජයග්‍රහණයේ සතුට භුක්ති විඳින අතර බුද්ධිමත් ලෙස ඒ ජය මහ පොළවේ සදාතනික ලෙස රෝපණය කිරීමට කටයුතු කළ යුතුය. එය තේරුම් නොගෙන කටයුතු කරන්නා දැන හෝ නොදැන රටට කරන්නේ හානියකි. 

Sunday, May 14, 2017

මහින්ද ජවිපෙ සහ සයිටම් දේශපාලනය

ඕනෑම දේශපාලන පක්ෂයක් බලය ලබා ගැනීමට උපක්‍රම තෝරයි. එහෙත් ඒ රටට යහපතක් කිරීමෙනි. ජවිපෙ කොටසක් අනෙක් දේශපාලන පක්ෂ ලෙස ම රටට යහපතක් කර බලය ලබා ගැනීමට වඩා උත්සාහ කරන අතර එහි කොටසක් දිගට ම රට උගුලක සිරකර බලය ලබා ගැනීම වඩා පහසු මාර්ගය බව විශ්වාස කළේය. ප්‍රධාන පක්ෂ දෙකෙන් රටට වඩාත් අහිතකර පක්ෂය හෝ නායකයා යැයි තමන් සිතන පුද්ගලයා බලයට පත්කර ඔහු ලවා රට විනාශ කරවා 'උනුත් එකයි මුනුත් එකයි' කියා රටේ විපක්ෂයේ බලය අල්ලා ගෙන තමන්ට බලය ලබා ගැනීම පහසු යැයි ඒ පිරිසේ විශ්වාසය විය.

2005 මහින්ද රාජපක්ෂ බලයට ගෙන ඒම සඳහා ජවිපෙ පිරිසක් යහපත් අරමුණින් කටයුතු කළ අතර තවත් පිරිසක් මහින්ද ඇණ ගත් පසු බලය ලබා ගැනීමේ අරමුණින් කටයුතු කළේය. 2007 ත්‍රස්තවාදය පරාජය කිරීමේ සටන තීව්‍ර ලෙස ඇදී යන විට අයවැය පරාජය කර ආණ්ඩුව පෙරළීමට උත්සාහ කළේ මේ දෙවන පිරිසය. පිරිසක් සමග ජවිපෙන් ඉවත්ව ආණ්ඩුව රැක ගෙන කොටි පරජය කිරීම සඳහා කටයුතු කළේ මුල් පිරිසය.

අනතුරුව ජවිපෙ හිටපු හමුදාපති සරත් ෆොන්සේකා ජනාධිපති කර ආණ්ඩුව පෙරළා රට ආලාපාළු කර බලය ලබා ගැනීමට කළ උත්සාහය වියැකී ගියේය. එය සාර්ථක වී නම් 2010-2014 සමයේ රටට ලැබූ දැවැන්ත සංවර්ධන ජයග්‍රහණ අහිමි වන්නට තිබිණි. අනතුරුව ඔවුන් දිගින් දිගට ම මහින්ද රාජපක්ෂ ආණ්ඩුවට එරෙහිව උද්ඝෝෂණ පෙළපාලි සංවිධානය කරමින් බොරු අවලාද නඟමින් ජනතාව අතර ආණ්ඩුව කෙරෙහි වැරදි ප්‍රතිරූපයක් ගොඩනැඟීමට කටයුතු කළ අතර 2015 ජනවාරි 08 වැනි දින මෛත්‍රීපාල සිරිසේන ජනාධිපති දුරයට පත්කරමින් නැවත එජාපය බලයට පත් කිරීම සඳහා දිගු කාලීනව තීරණාත්මක කාර්යාභාරයක් ඉටු කළේය.

අනතුරුව බිහිවන එජාප ශ්‍රීලනිපය දෙමුහුන් ආණ්ඩුව සමයේ ජවිපෙ ප්‍රධාන විපක්ෂය බවට පත්ව සිය ඉලක්කය කරා යාමේ යම් ශක්‍යතාවක් මුල දී පිළිබිඹු විය. විපක්ෂ නායක තනතුර ඊළම වෙනුවෙන් පමණක් කට අරින දෙමළ සන්ධානයට ලැබුණු අතර විපක්ෂයේ ප්‍රධාන සංවිධායක තනතුර ආණ්ඩුව විසින් ජවිපෙට කෘතගුණ පිණිස ලබා දුන්නේය. එහෙත් සිතූ ලෙස නව ශ්‍රී ලංකා සභාපති සමග බිම් මට්ටමේ ශ්‍රී ලංකාකාරයන් එක් වූයේ නැත. තනතුරු මස් කටු කිහිපයක් විසි කර ජනතාව විසින් පරාජය කළ අප්පච්චි මළෝ කල්ලිය බලයට රැගෙන ආවත් පාර්ලිමේන්තු, පළාත් පාලන ආයතන මන්ත්‍රීවරු පිරිස මහින්ද සමග රැඳුණේය.

පැවති ආණ්ඩුවට වඩා හැම අතින් ම අසාර්ථක භයානක ආණ්ඩුවක් තනා ගත හැකි වීම නිසා රට ප්‍රශ්න ආකරයක ගිල්වීමට ජවිපෙට හැකි විය. එහෙන් එට්කා ගිවිසුමය. මෙහෙන් වරාය විකිණිල්ලය. අරහෙන් තෙල් ටැංකි විකිණිල්ලය. මෙහෙන් හනුමා පාලමය. මෙහෙන් අර්ථ සාධක කප්පාදුවය. අරහෙන් රාජ්‍ය දේපළ පෞද්ගලීකරණයය. මෙහෙන් රට බෙදන බුදු දහමට ප්‍රමුඛත්වය අහිමි කරන රට කීතු කීතු කරන ෆෙඩරල් ව්‍යවස්ථාවය. මේ සියලු ප්‍රශ්න මැද ප්‍රධාන විපක්ෂය වීමට සිහින මැවූ ජවිපෙට ඒ අවස්ථාව ලැබුණේ නැත. රට වෙලා ගත් මේ ප්‍රශ්න හමුවේ ජනතාව නැවත ජනතාව රොද බැන්දේ මහින්ද වටාය. ආණ්ඩුව හදා වඩා ගත් ජවිපෙ නිල විපක්ෂයට ඇප නැති කර විපක්ෂයේ‍ නායකත්වය මහින්ද ප්‍රමුඛ ඒකාබද්ධ විපක්ෂයට හිමි විය. මේ ගැටලු විසඳිය හැකි සැබෑ නායකයා මහින්ද යැයි ජනතාව සිතූ අතර සිය නව නායකයා හෝ පක්ෂය පයිසෙකට මායිම් නොකළ ගමේ ශ්‍රී ලංකාකාරයන් ප්‍රභාකරන් පක්ෂ නායකයා වුව ද එහි රැදෙන යූඇන්පීකාරයන් මෙන් තමන් පක්ෂයක වහලුන් නොවන බව පසක් කර තිබේ.

මේ ප්‍රශ්න අමතා ජනතාව තමන් වටා පෙළ ගැස්වීම දැන් කිරීමට අපහසු දෙයක් නොව කළ නොහැකි දෙයක් බව අවබෝධ කරගත් ජවිපෙ ඊළඟට වෙනත් උපායමාර්ග තෝරන්නට විය. එහි දී ඔවුන් සොයා බැලුවේ මහින්ද රාජපක්ෂට නායකත්වය ගත නොහැකි ප්‍රශ්නයක් උඩට ගෙන එය රටේ දැවෙන ප්‍රශ්නයක් බවට පත් කර එහි නායකත්වය ගෙන ජනතාව තමා වටා ගොනු කර ගැනීමය. එහෙත් මහින්ද වෙතින් ජනතාව ගලවා ගත හැකි එවැනි ජනතා ප්‍රශ්න රටේ නැත. එහෙයින් ප්‍රශ්නයක් නිර්මාණය කළ යුතුය. ඒ ප්‍රශ්නය සයිටම්ය. රට හතර අතින් දෙකොණ විලක්කුවක් ලෙස දැවෙන පසුබිමක ඒ සියලු ප්‍රශ්න යටපත් කර සයිටම් ගැටලුව පෙරමුණට ගැනීමට ජවිපෙ සූක්ෂ්ම ලෙස කටයුතු කළේය.

සයිටම් මහින්ද රාජපක්ෂ යුගයේ නිර්මාණයක් වන අතර ඊට එරෙහිව සටනට මහින්දට අත ගැසිය නොහැකි අතර ඊට එරෙහිව ප්‍රකාශයක් නිකුත් කිරීම පවා මහින්ද කොන්දේසිවලට යටත්ව සයිටම් සඳහා අවසර දුන්නේය යන සත්‍ය යටපත් කර මහින්ද විහිළුවට ලක් කළ හැකිය. එට්කා ගිවිසුමට එරෙහි සටනේ ඉදිරිපෙළ සටන් කළ රාජ්‍ය වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ බහුතර පිරිස එට්කා සටනින් ගලවා රටට වඩා ඔවුන්ට පෞද්ගලිකව වැදගත් සයිටම් සටන වෙත පොළඹවා ගැනීමට ජවිපෙට හැකි විය. සයිටම් ප්‍රමිතියට මුවා වී ඇරඹු ඒ සටන පිටුපස ඇත්තේ ප්‍රමිතිය නොව පෞද්ගලික වෛද්‍යවිද්‍යාල විරෝධය බව සයිටම් ජනසතු කරනු නමැති අලුත් සටන් පාඨයෙන් තහවුරු වෙයි.

දැන් රටේ සියලු වෘත්තීය සමිති වැඩ වර්ජන කරන්නේ සයිටම් වෙනුවෙනි. රටේ දහසක් ප්‍රශ්න යට කරමින් මතු වන්නේ ඊනියා සයිටම් ගැටළුවයි. එට්කා ගිවිසුම, හනුමා පාළම, තෙල් ටැංකි බදු දීම, වරාය විකිණීම වැනි රටේ අනාගතය තීන්දු කරන සියලු ගැටලු යටපත් කර රටේ සියලු දෙනා සයිටම් කටුව සුප්පමින් සිටිති. මේ වර්ජන පිටුපස ඇත්තේ ජවිපෙය. පෞද්ගලික වෛද්‍යවිද්‍යා විරෝධි පෙරටුගාමීන් ද ඊට එක්ව තිබේ. ඒ වෙනුවෙන් රට පුරා එක රැයින් පෝස්ටර් ඇලවූයේ ජවිපෙ කාඩරයන් විය යුතුය. මේ ව්‍යාජ සටන වෙනුවෙන් ජනතාව පෙළ ගස්වන විට ඒකාබද්ධ විපක්ෂය කසාය බිවු ගොළුවන් බවට පත්ව තිබේ.

අනතුරුව ඒ කුමන්ත්‍රණෙය් දෙවන අදියර ක්‍රියාත්මක විය. එනම් සූක්ෂ්ම ලෙස රටේ දැවෙන ප්‍රශ්න වන එට්කා, රාජ්‍ය සම්පත් විකිණිම, රාජ්‍ය සේවය කප්පාදු කිරීම ආදි ප්‍රශ්න සියල්ල ඊනියා එට්කා සටනේ වලිග බවට පත් කිරීමය. මේ පසුබිම තුළ රටේ සැබෑ ප්‍රශ්න කෙරෙහි ජනතා අවධානය ගිලිහෙන අතර වික්කමසිංහ ආණ්ඩුවට ඒ වැඩපිළිවෙළ ඉදිරියට ගෙන යාම සඳහා පාර නිදහස් කර ඇත. ජනතා අවධානය සයිටම් වෙත ගොනු කර ඇත. මෙහි ඇති බරපතළ ම කාරණය මහින්ද පමණක් නොව රටේ සැබෑ ප්‍රශ්න කෙරෙහි සංවේදී ජනතාවගෙන් විශාල පිරිසක් ද සයිටම් බාධකය ඉදිරියට දමා අර සටනට සම්බන්ධ වීම වළක්වා තිබීමය.

රටට පෞද්ගලික වෛද්‍යවිද්‍යා අවශ්‍ය ද නැද්ද යන්න පිළිබඳ රටේ ඇත්තේ එක් මතයක් නොවේ. ජාතිකවාදීන් අතර  පවා ඒ පිළබඳ එක මතයක් නැත. එම කඳවුරේ ප්‍රමුඛයකු වන මහාචාර්ය නලින් ද සිල්වා පවා සිටින්නේ සයිටම් ප්‍රමිතිගත කොට ඉදිරියට ගෙන යා යුතුය යන මතයේය. පෞද්ගලික පාසල්, පෞද්ගලික විශ්වවිද්‍යාල, පෞද්ගලික රෝහල්, පෞද්ගලික මාධ්‍ය සමග ජීවත් වන රටේ බහුතර ජනතාවට ද සයිටම් ප්‍රශ්නයක් නොවේ. රටේ ජනතාව 1977 සිට මාරුවෙන් මාරුවට බලය ලබා දී ඇත්තේ ද පෞද්ගලික වෛද්‍යවිද්‍යාල ආදිය ප්‍රතික්ෂේප කළ ජවිපෙ වැනි පක්ෂවලට නොව ඒවා වර්තමාන ලෝක ආර්ථික රටාවට යම් යම් වෙනස්කම් සහිතව වුව අනුගත ප්‍රධාන පක්ෂ දෙකට පමණි.

එසේම ඇමරිකා සහ සෝවියම් රුසියා බලවතුන් නැතහොත් සමාජවාදී ධනවාදී කඳවුරු කරට කර ලෝක බලය හෙබවූ යුගයක රාගම පෞද්ගලික වෛද්‍යවිද්‍යාල විරෝධි සටනට යම් සුජාතභාවයක් ලැබුණ ද මේ වන විට එය අහෝසී වී තිබේ. අප කැමති වුව ද අකමැති වුව ද පෞද්ගලික ව්‍යවසාය පිළිගත යුතු ඇති අතර අපට සටන් කළ හැක්කේ වඩා යහපත් ප්‍රමිතිගත පෞද්ගලික වෛද්‍යවිද්‍යාල වෙනුවෙනි. කලාපයේ දී ලෝකයේ දී රාජ්‍ය වෛද්‍යවිද්‍යාලවලට වඩා ක්‍රියාත්මක වන්නේ පෞද්ගලික වෛද්‍යවිද්‍යාලය.

සයිටම් තනි අයිතිය අහෝසි කර එය කොටස් වෙළඳපොළේ ලියාපදිංචි කිරීම සහ එහි පරිපාලන කටයුතු සඳහා විශේෂ මණ්ඩලයක් පත්කර රජය සයිටම් වෙනුවෙන් ගත හැකි සාධනීය පියවර ගෙන තිබේ. එමගින් හුදු ලාභ පිණිස උපාධි විකුණන්නේය යන චෝදනාව බැහැරකරලිය හැකිය. ආරම්භයේ දී සයිටම් ප්‍රමිතිය ගැන කතා කළ පිරිස එකවර ම සයිටම් ජනසතු කරනු සටන් පාඨයට සීරු මාරු කිරීම තුළ ඔවුන් තුළ පවතින පෞද්ගලික වෛද්‍යවිද්‍යාල විරෝධී බළලා මල්ලෙන් පැන තිබේ. එවැනි සටනක් සඳහා මේ රටේ බහුතරයකගේ සහායක් නැත. රටේ අනාගතය තීන්දු කරන දැවෙන ප්‍රශ්න ඒ බොරු සටනෙහි වලිග බවට පත්කර මේ පිරිස රටට කරන හානිය සුළුපටු නැත. එසේ ම අපි විරුද්ධ සයිටම්වලට මිස පෞද්ගලික වෛද්‍යවිද්‍යාලවලට නොවේ යැයි මේ ඇතැමෙකු කියන්නේ පට්ටපල් බොරුවකි. හෙට ප්‍රින්ස්ටන් නමකින් තව වෛද්‍යවිද්‍යාලයක් බිහි වුව ද මේ අය කියනු ඇත්තේ අපි විරුද්ධ ප්‍රින්ස්ටන්ට මිස පෞද්ගලික වෛද්‍යවිද්‍යාලවලට නොවේ කියාය.

මේ සටන පෞද්ගලික වෛද්‍යවිද්‍යාල විරෝධි සමාජවාදී මාක්ස්වාදී මතය වෛද්‍ය සංගමයේ බහුතරයක් අනුමත කිරීම නිසා ඇති වූ තත්ත්වයක් මිස වෛද්‍ය සංගමයේ නිලධාරීන්ගේ වුවමනාව මත ඇදෙන සටනක් නොවේ. ඔවුන්ගේ අවශ්‍යතාව සිය සංගමය කැඩී බිඳී යාම වළක්වා ගැනීම විය හැකිය. එහෙත් වෛද්‍ය වර්ජනයට එරෙහිව දිගින් දිගට ම ආණ්ඩු පක්ෂයෙන් ප්‍රහාර එල්ල වූයේ වෛද්‍ය සංගම් සභාපති අනුරුද්ධ පාදෙණිය වෙතය. මේ වර්ජනය පිළිබඳ මාධ්‍ය දැනුම්වත් කිරීම්වල පවා ඔහු දක්නට නොලැබිණි. අවම වශයෙන් ඔහු සේවය කරන්නේ කිසිදු අවස්ථාවක වර්ජනය නොකරන ළමා රෝහලේ බව ද ඔහු වර්ජිත දිනයේ ද එහි සේවය කළ බව ද කිසිවකු කියා සිටියේ නැත.

එහෙත් දිගින් දිගටම වෛද්‍ය පාදෙණිය පෞද්ගලිකව ඉලක්ක කර හතර අතින් පහර දෙන විට වර්ජනය වෙනුවෙන් පෙනී සිටි ජවිපෙ කිසි විටෙක ඔහු ආරක්ෂා කිරීම සඳහා ඉදිරිපත් නොවීම සිත් ගන්නා සුළුය. එසේම රජයේ වෛද්‍ය නිලධාරී සංගමය තුළ සිටින ජවිපෙට සම්බන්ධ ක්‍රියාකාරීන්ට පහර දීම ද සිත්ගන්නා සුළු ලෙස මගහැරී තිබේ. ජවිපෙ නායකයකු තබා බුකියේ සිටින ජවිපෙ සහ පෙරටුගාමී ක්‍රියාකාරිකයකු පවා පාදෙනියගේ ආරක්ෂාව සඳහා ඉදිරිපත් වූයේ නැත. ඊනියා සයිටම් සටනේ යෙදෙන ජවිපෙ සැබෑ මුහුණුවර මින් හෙළි වෙයි. ඔවුන්ගේ අරමුණ කවර ආකාරයකින් හෝ වෛද්‍ය පාදෙණිය ද ඉන් ඉවත් කර ජවිපෙ සාමාජිකයකු එහි නියමුවා කරගැනීම විය හැකිය. රජයේ වෛද්‍ය නිලධාරී සංගමය එට්කා ගිවිසුමට එරෙහිව තීරණාත්මක ලෙස එරෙහි වන තැනට රැගෙන ආවේ පාදෙනිය වැනි රටට හිතැති පිරිස් නිසා ඔවුන් නිහඬ කොට තැබීම ජවිපෙට අවශ්‍ය පරිදි රට තවත් ආගාධයට ඇද දැමීමට අවශ්‍යය. ඔවුන්ගේ අරමුණ රට ගල් යුගයට යවා එහි පාලකයන් වීමය.

රටේ තවමත් රජයේ රෝහලට පැමිණෙන අසරණ ජනතාව ප්‍රාණ ඇපයට ගෙන කරන මේ ඊනියා සටන නිසා අපවාදයට ලක්වන්නේ ආණ්ඩුව පමණක් නොව වෛද්‍ය නිලධාරී සංගමයයි. එහෙත් දැනටමත් ජනතාවට එපා වී ඇති ආණ්ඩුවට එය එතරම් ගැටළුවක් නොවේ. එහෙත් තමන්ට එරෙහි වෛද්‍ය සංගමය ජනතාව අතර අප්‍රසාදයට ලක්වීම ආණ්ඩුවට වාසිදායකය. එට්කා වැනි ඉදිරි තීරණාත්මක සටන් සමය එළඹෙන විට වෛද්‍ය සංගමයේ අත පය කඩා බෙලහීන කර තැබීම ආණ්ඩුවට වාසිදායකය. එසේම බුර බුරා නැඟෙන ආණ්ඩු විරෝධය සයිටම් වැනි සිල්ලර කාරණාවකට ගොනු කර ඒ ජනතා විරෝධ වෙනතකට හැරවීම මෙන්ම ඒ ජනතා විරෝධය සයිටම් මගින් කෑලිවලට කඩා දුර්වල කිරීමද ආණ්ඩුවට වාසිදායකය. ඒ සියල්ලට වඩා මේ ඊනියා සටන මගින් මහින්ද වටා ආණ්ඩු විරෝධි බලවේග ගොනු වීම වැළැක්වීමට හැකි වීම ආණ්ඩුවට මහා ආශීර්වාදයකි. ජවිපෙ සටන ඒ වෙනුවෙනි. අපේ රට මේ උගුලේ සිරවීමට ඉඩ දිය යුතුද?

Sunday, April 30, 2017

ජවිපෙ ගිල්ල GMOAලා

ෂොක්මන් ඇන්ඩ් සමරවික්‍රම ආණ්ඩුව එට්කා ගිවිසුම ගසා රට ම ඉන්දියාවට විකිණීමට යන විට ඉන්ද්‍රඛීලයක් සේ ජනතාව සමග නැඟී සිටි ප්‍රබලතම වෘත්තීය සමිතිය රාජ්‍ය වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයයි (GMOA). ෂොක්මන් ඇන්ඩ් සමරවික්‍රම ආණ්ඩුව ඊට කෙතරම් බිය වීද යත් සේවා ගිවිසුමෙන් හීන් සීරුවේ වෛද්‍ය සේවාව ඉවත් කර පාදයක් පිටුපසට තබා ආරක්ෂක පියවරක් වෙත ගියේය. එහෙත් GMOA කියා සිටියේ තම සේවාව ගිවිසුමෙන් ඉවත් කළ ද එට්කා ගිවිසුම හකුළා ගන්නා තුරු සටනට අත් නොහරින බවය. 

GMOA එක ප්‍රබලව පවතින තෙක් මේ ගිවිසුම් අත්සන් කර රටට කෙළවීම අපහසු බව වටහා ගෙන ඉනික්බිති එය විනාශ කිරීමේ සටන අතට ගත්තේ ෂොක්මන් ඇන්ඩ් සමරවික්‍රම ආණ්ඩවේ මුර බල්ලා වන ජවිපෙය. ජවිපෙ හීන් සීරුවේ එට්කා සටනට කඩු මදිමින් සිටි GMOA එක 2008 ආරම්භ කළ සයිටම් අහෝසි කිරීමේ සටන වෙත දක්කා ගෙන ගියේ කාටත් හොරාය. මේ වන විට GMOA එකට සයිටම් හැර වෙන කිසි දෙයක් නැත. එට්කා අදාළ ම නැත. දිවි හිමියෙන් සටන් කරන්නේ සයිටම් අහෝසි කිරීමටය.

ඒ අතර ෂොක්මන් ඇන්ඩ් සමරවික්‍රම ආණ්ඩුව ඉන්දියාව සමග සාකච්ඡා කරමින් එට්කා ගිවිසුම ඉදිරියට ගෙන යමින් සිටියි. ඊට අවශ්‍ය පසුබිම් ගිවිසුම් අත්සන් කරමින් සිටියි. ඒ ගැන වගේ වගක් සයිටම් ගුලිය කෑ GMOA එකට දැන් නැත. එදා දුරදැක දේශප්‍රේමි හැඟීමෙන් එට්කා සටනට පණ පෙවූ GMOA එක මේ වන විට ජවිපෙට අවශ්‍ය මාවතේ එනම් ෂොක්මන් ඇන්ඩ් සමරවික්‍රම ආණ්ඩුව අවශ්‍ය මාවතේ දක්කා ගෙන යයි.

පෞද්ගලික බස්වල ගමන් කරන, පෞද්ගලික රෝහල්වලින් ප්‍රතිකාර ලබන, සිය දරුවන් පෞද්ගලික පන්ති යවන, පෞද්ගලික වෙළඳසැල්වලින් බඩු ගන්න ජනතාවට පෞද්ගලික වෛද්‍යවිද්‍යාල විරෝධයක් නැත. මේ රටේ ජනතාව 1978 සිට දිගින් දිගට ම බලය ලබා දී ඇත්තේ මාක්ස්වාදී පක්ෂවලට ද නොවේ. එහෙයින් එය කිසිසේත් ජනතා අවශ්‍යතාවක් නොවේ.

ජනතාව හමුවේ ඇති ලොකුම ප්‍රශ්නය මේ රටේ සම්පත් විකුණා ගෙන කමින් අවසානයේ එට්කා ගසා රට ම විකුණා ගෙන කෑමට සැරසෙන ෂොක්මන් ඇන්ඩ් සමරවික්‍රම ආණ්ඩුවේ විනාශකාරී ආර්ථික පිළිවෙතය. ෂොක්මන් ඇන්ඩ් සමරවික්‍රම ආණ්ඩුවේ මා දුටු එකම හොඳද තවමත් සයිටම් විනාශ නොකිරීමම පමණි. සයිටම් ආයතනය ඇවන්ගාර්ඩ් මෙන් විනාශ වනු දකින්නට මා කැමති නැත. එය අසිංහලයෙකුට අයිති වී නම් එහි ආරක්ෂාවට රොද බඳින්නට ඕනෑ තරම් පිරිස් සිටින්නට ඉඩ තිබිණි. 

සයිටම්ට එරෙහි සටනට ජනතාව කැඳවනු වෙනුවට ප්‍රමිතිගත පෞද්ගලික වෛද්‍යවිද්‍යාල ඇති කිරීමට මග පෙන්වනු වෙනුවට එට්කා ගිවිසුම යටට දමා සයිටම් උඩට ගන්නේ වෛද්‍ය වෘත්තිකයන්ගේ සම්මේලනය ජවිපෙ කාලකන්නි මතවාදයට ගොදුරු වීමේ ප්‍රතිඵලයක් ලෙසය. 

ලෝක යථාර්ථයට මුහුණ නොදී සිදුකරනු ලබන මේ විරෝධය කෙළවර වනු ඇත්තේ පරාජයෙනි. පෞද්ගලික වෛද්‍යවිද්‍යාල මෙවර නැත්නම් ඊ ළඟ වර මෙරට යථාර්ථයක් වනු ඇත. කෙසේ වුව ද රට හමුවේ ඇති එට්කා මර උගුල වැසෙන්නට සයිටම් සළුව එළිමට එජාප කොන්ත්‍රාත්කාර ජවිපෙට හැකිවී ඇත. 

අනෙකාට මෛත්‍රිය කරුණාව පෑමට කියාදෙන බුදුදහම අදහන රටේ පිරිසකගේ සිත් තමන්ට වඩා යමක් ඇති එකාට ධනපති හංවඩු ගසා වෛර කරමින් තමන්ගේ අනෙකා කරගැනීම පිණිස මාක්ස්වාදී වස බෙහෙත් වැද ආතුර වී ඇත. 2015 රටට ම කෙළවුණේ ද මහින්දලාගේ ආණ්ඩුවේ පිරිසක් රජ සැප විඳින බව කියමින් කළ කෙළෙස් කඳු ඇවිස්සීමේ ඇම ජනතාව ගිලීම නිසාය.  

දුර නොපෙනෙන ඕනෑම බලු බෙට්ටක් අතින් ගෙන ආණ්ඩුවට පහර දීමට බලා සිටින ජාතිකවාදීන් පිරිසක් ද ජවිපෙ ගැටයට හසුව ඇත. බලු බෙට්ට අතින් ගත් කළ මුලින්ම අසූචි තැවරෙන්නේ තම අතේ බවත් ඒ අසූචි සමග එට්කා සටනට ගිය කල ජනතාව උන් දෙස බලා නාසය වසාන ඉවත යනු ඇති බවත් අවබෝධ වනු ඇත. එකල්හි අශ්වයා ගොසිනි. 

එහෙයින් මේ සයිටම් විරෝධි සටනට සහාය වීම තනිකර ම ජවිපෙට කඩේ යාමක් ද එහෙයින්ම ආණ්ඩුවට කඩේ යාමක් ද එහෙයින් ම එට්කා ආදි මර උගුල්වලට රටේ ගෙළ සිරකිරීමට දැන හෝ නොදැන අනුබල දීමක් ද වෙයි. මේ නිසා සිදුවන ලොකුම විනාශය රටේ තීරණාත්මක ගැටලු හමුවේ රට වෙනුවෙන් සිට ගැනීමට තිබූ ප්‍රබල GMOA එක නම් ප්‍රබල වෘත්තීය ව්‍යාපාරය අලියා ගිල්ල දිවුල් ගෙඩියක් බවට පත්වීම පමණි. ඒ පිළිබඳ මට නම් කාලකන්නි සතුටක්වත් නැත. ඔවුන්ගේ මේ සිය දිවි නසා ගැනීම රටට දැවැන්ත පාඩුවකි.   

 
සිය රට දේ සිරි සැප දේ !