Sunday, October 30, 2011

මුං ඇට, කව්පි, කුරක්කන් වවන්න යල-මහ දෙකන්නයට අතරමැද කන්නයක් - පුවතක්

ඔන්න කරනවා නම් වැඩ. හැබැයි කටින් බතල හිටවලා වැඩක් නැහැ. ඒ නිසා කිව්වා නම් ඒක කරන්න ඕන. මොකද ඔයාලා කියන දේවල් දැන් ජනතාවට නිකන්ම අමතක වෙනවා අඩුයි. ඊළඟ පාර ඡන්දේ ළංවෙන කොට ජනමාධ්‍ය මේ ඔක්කෝම පොරොන්දු නැවත ජනතාවට සිහිපත් කරනවා.

වවන්න ඕන. හැබැයි මේ පොළව හූරං කාලා විනාශ කරන එක හරි නැහැ. අපි අපේ ඊ ළඟ පරම්පරාවටත් මේ පොළව පාචිච්චි කරලා මොනා හරි වවාගෙන කන්න ඉඩ තියන්න ඕන.

ඒ නිසා මේ භූමිය ආරක්ෂා කරගෙන ඉන් ප්‍රයෝජන ගැනීම අපේ යුතුකම. කොහොමද ඒක කරන්නේ. ඒක අපේ මුතුන් මිත්තෝ අගේට කළා. පරිසර හිතකාමී ගොවිතැන. වස බෙහෙත් නෑ. වස පෝර නෑ.

ඒ නිසා තමා අපට අදත් කරදරයක් නැතිව ‍ගෙදර වත්තේ හරි මඤ්ඤොක්කා නට්ටක් පොළවට යට කරලා තියලා අලයක් කන්න පුළුවන් වෙලා තියෙන්නේ. ඒ නිසා තමා අදත් මේ පොළව කාන්තාරයක් නොවී තියෙන්නේ.

ඒ නිසා මේ වගාවන් සම්පූර්ණයෙන් ම කාබනික පොහොර භාවිතයෙන් කරන්න දිරිමක් කරන්න. ඒ සඳහා අවශ්‍ය ආධාර දෙන්න. එහෙම කළොත් අපි පොළවෙන් යමක් ලබා ගෙන පොළවට කෘතගුණ සැලකුවා වෙනවා. අනාගත පරපුර වෙනුවෙන් ලොකු ආයෝජනයක් කළා වෙනවා.

නැත්නම් ඉතින් දවසට රත්තරන් බිත්තරයක් දාන කිකිළි‍ මරලා ඔක්කෝම බිත්තර එක පාර ගන්න ගිය මිනිහාට වෙච්චි දේ තමා වෙන්නේ. ඇමතිතුමා රත්තරන් බිත්තර දාන කිකිළි මරන්න නෙමේ නේද යන්නේ?

Thursday, October 27, 2011

ප‍්‍රභූ ආරක්‍ෂාවට වෙනම නිළ ඇඳුමක්-පුවතක්

මේ කට්ටියගේ මේ යෝජනාව ඇතුළේ තව කොටසක් තියෙනවා. ඒ තමා මැරයින්ට පොලිස් ඇඳුම අන්දන්න බෑනේ. ඒත් ප්‍රභූ ආරක්ෂක ඇඳුම හෝ ඊට සමාන ඇඳුමක් ඇඳගන්න කරදරයක් නෑනේ. ඉතින් දැන් මේ හදන්නේ කබරයා තලගොයා කරගෙන කන්න නේ. මොනවා වුණත් මුන් සුදානම් නැහැ වටේ ඉන්න ‍පතාළ සෙට් එක අයින් කරන්න. ඒක තමා ප්‍රයෝගික ගැටලුව.

පොලිස් නිලධාරීන්ට තරම්වත් දැන් දේශපාලකයන්ට ජනතාව සලකන්නේ නැහැ. පොලිසිය ජනතාවගෙන් දුරස් වුණේ දේශපාලකයින් පොලිසිය තමන්ට ඕන විදිහට නටවන්න පටන් ගැනීම නිසා. පොලිසිය දේශපාලනීකරණය වීම නිසා. දේශපාලකයින් ජනතාවට එපා වුණේ එවුන්ගේ හොර, මැර, වංචා, දූෂණ නිසා. මහජන මුදල් කාබාසිනියා කරන නිසා.

දැන් කොටි තර්ජන නැහැ. කොටි හිටියත් ඔය කියන ප්‍රභූන් වෙනුවෙන් උන් උණ්ඩයක් වියදම් කරන්නේ නැහැ. මේ රටේ ආරක්ෂාව ඕන ප්‍රභූවරු මේ පොලිස් ඇඳුමට බය වෙන්නේ නැහැ. ඒත් හීනමානෙන් පෙළෙන එවුන්ට වාහන 10-12ක් නැතුව වටේ මැරයෝ 20-30 නැතුව පාරේ යන්න බෑනේ.

හොඳ පතාළය නරක පාතාළය කියලා බෙදීමක් නොකර, ආණ්ඩුවට පක්ෂ පතාළය සහ එසේ නොවන පතාළය කියලා බේධයක් නැතිව පතාළය මර්දනය කරලා සියලු අවි ආයුධ රජය භාරයට ගැනීම තමා කළ යුත්තේ. උතුරු නැගෙනහිර දැන් කිසි සද්දයක් නැත්තේ ඒ අවි ආයුධ බහුතරයක් රජය භාරයට ගත් නිසානේ. දකුණෙත් කළ යුත්තේ එයමයි.

මේ රටේ පතාළය සම්පූර්ණයෙන් දේශපාලකයෝ තමා පෝෂණය කරන්නේ. තමන්ට ආරක්ෂාව සැපයූ දේශපාලකයා රෝහල්ගත කළ සැනින් කරාටේ ධම්මික පළා යනවා. ඒත් පළක් නැහැ. මිනිහා ඉස්සුවා. ඒත් මේච්චර කල් කොළඹ ඉඳලත් උස්සන්න බැරි වුණු මිනිහා. පොලිසියට අල්ලන්න බැරුවුණු මිනිහා.

ජනාධිපතිතුමාට මේ නීතියත් හකුළගෙන, එහෙම නැත්නම් තමන් කියන හැම දේම හිස් මුදුනින් පිළිනොගන්න එවුන්ට විතරක් මේ නීතිය අකුරට ක්‍රියාත්මක කරලා රටට ලොකු ආදර්ශයක් දෙන්න පුළුවන්. ජනාධිපතිතුමා වටේ ඉන්න මේ තක්කඩි හැත්ත නිසා ආණ්ඩුව කෙරෙහි බුර බුරා නැගෙන ජනතා අප්‍රසාදයට තව පිදුරු ටිකක් දාන්නත් පුළුවන්.

බිරිඳ ගෘහ මූලිකයා විය යුතුයි – විජිත් විජයමුණි - පුවතක්

අපේ රටේ කවුරුත් පිරිමි හිතා ඉන්නේ ගෙදර රජා තමන් කියලා. ඇත්තට ම ගෙදර ගෘහමූලිකයා කාන්තාව තමා. සියලු තීරණ ගන්නේ එයා. මොනවා කතා කළත් අවසානයට සිද්ධ වෙන්නේ එයාලට ඕන දේ එයාලට ඕන විදිහට.රණ්ඩුවෙලා හරි, චාටුනේ හරි 64 මායමෙන් හරි එයාලාගේ අරමුණ ජය ගන්න විදිහ එයාලා දන්නවා.

හැබැයි පිරිමියා ගෘහ මූලික වෙන තැනකුත් තියෙනවා. ඒ තමා ඡන්ද හිමි නාම ලේඛනය. ඒක හරියට විලියම් ගොපල්ලවගේ ජනාධිපතිකම වගේ. නිකන් ගරු තණතුරක් විතරයි.

ඇත්තට ම ගෙදර සබ්බ සකල මනාවක් වැඩ කෙරෙන්නේ ඇගේ අතින්. පිරිමි ඉස්සර ගෘහ මූලික වුණේ රැකියාව කළේ එයා නිසා. දැන් දෙන්නාම රස්සා කරනවා. සමහර පවුල්වල බිරිඳ රට. සැමියා ගෙදර වැඩ සහ දරුවන්ගේ වැඩ කරනවා.

දෙන්නාම රස්සා කරන පවුල්වල බිරිඳ රැකියාවට අමතරව ගෙදර සියලු වැඩත් කරනවා. බොහෝ විට සැමියා මත පැටවෙන බර අඩුයි. ඔහු පවුලේ අඩු වගකීමක් දරන්නේ.

ඥාතීන් සමග සබඳතා පැවැත්වීම වගේ දේවල් කෙරෙන්නේ ඇගේ ප්‍රධානත්වයෙන්. විවාහයෙන පස්සේ දෙදෙනා සමීප වෙන්නේ සැමියාගේ පවුලට නෙමේ බිරිඳගේ පවුලට. දරුවෝ පවා වඩා සමීප වෙන්නේ බිරිඳගේ පවුලට. මේ තත්ත්වය වෙනස් වෙන්නේ ඉතාම කලාතුරකින්. මමත් අයිති එහෙම පවුලකට.

ඒ නිසා මට නම් හිතෙන්නේ මේක අලුතින් කළ යුතු දෙයක් නෙමේ. දැනටමත් බිරිඳ තමා ප්‍රධානියා. ඒක සමහරු පිළිගන්නේ නැහැ. සමහරු පිළිගන්න කැමති නැහැ.

ස්වභාවයෙන් ම ගැහැනිය නම්‍යශීලියි. ඇය පිරිමියා තරම් දරදඩු නැහැ. ඒ නිසා ඇයට පහසුයි සිය ආධිපත්‍ය රැක ගන්න. හිනාවෙන්, චාටුවෙන්, කඳුලින්, තොදොල් බසින් මේ ආධිපත්‍ය ඇය රැගෙන යනවා. අපි ඒකට කැමති නැත්නම් අපි ඒක පිළිනොගෙන ඉමු. හැබැයි අපි පිළිනොගත්තා කියලා ඉර වටේ පෘථිවිය කරකැවෙන එක නතර නේනේ නැහැ. පෘථිවිය වටේ ඉර කැරකෙන්නෙත් නැහැ. හැබැයි බැලූ බැල්මට අපි වටේ ඉර කැරකෙනවා නේද?

Wednesday, October 26, 2011

විශ්ව විද්‍යාල ආරක්‍ෂාවට යළිත් ‘මාෂල්වරුන්’ - පුවතක්

ඇත්තටම පහුවෙලා හරි මොලේ පෑදිච්ච එක ලොකු දෙයක්. අද වෙන කොට විශ්වවිද්‍යාල ආරක්ෂක සේවය කියන්නේ මහලු මඩමක්. සමහර ආරක්ෂක නිලධාරී සියාල ආච්චිලා ගෙදර ඇ‍‍දේ තියා ගෙන ඇප උපස්ථාන කරන්න ඕන වයසේ අය. යකඩ ගේට්ටුව තල්ලු කරද්දි දුක හිතෙනවා මේ මිනිස්සු. මේ මිනිස්සු කොහොමද විශ්වවිද්‍යාල ආරක්ෂා කරන්නේ. ළමයින්ගේ විනය ආරක්ෂා කරන්නේ.

හම්පඩ කලිසම් ඇඳලා කිළිටි කමීස යට කරලා සෙරෙප්පු දාලා එකම පිස්සුවක්. කො‍ල්ලෙක් හිටියොත් ඌත් මහ විහිළුකාරයෙක්. කිසිම පෞරූෂයක් නෑ. මේ ආරක්ෂක සේවා ඇත්තට ම විශ්වවිද්‍යාලවලට නින්දාවක්. ඒවායේ පෞරුෂයට හානියක්.

විශ්වවිද්‍යාල ආරක්ෂක සේවය කියන්නේ මොකුත් කර ගන්න බැරි අයට ජොබ් දෙන තැනක් වෙලා. ඒ මිනිස්සුන්ට කැම්පස් ආරක්ෂා කරන්න තියා තමන්ගේ ආරක්ෂාව සලස ගන්නවත් බැහැ. හැබැයි මේක මේ අහිංසක මිනිස්සුන්ගේ වරද නෙමේ. මේ ආයතනවල තීරණ ගන්න අයගේ වැරදි.

ඒ නිසා මේ සඳහා නැවත මාෂල් ක්‍රමය ගෙන ඒම කලෝචිතයි. මනා පෞරූෂයක් ඇති උගත් තරුණයින් බඳවා ගත යුතුයි. ඔවුන්ට හොඳ පඩියක් තියෙනවා. මේ සඳහා විශ්වවිද්‍යාල උපාධිධාරීන්ම බඳවා ගත හැකි නම් වඩාත් හොඳයි. මොකද ඔවුන් රැකියාවට එනකොට විශ්වවිද්‍යාලය පිළිබඳ ලොකු අත්දැකීමක් තම සරසවි ජීවිතයේදී ලබන නිසා.

මනා ශරීර සෞඛ්‍යයක් ඇති අය බඳවා ගත යුතුයි. එහෙම නැතුව ඒකටත් පන්දම්කාරයොයි ගංජාකාරයොයි කසිප්පුකාරයොයි බඳවා ගත්තොත් ලංකා පාර්ලිමේන්තුව වගේ තැනක් වේවි.

Thursday, October 20, 2011

කහ ඉරෙන් පාර පනින්න උගන්වන්න පොලිසියෙන් පන්ති - පුවතක්

නීතිය සැමට සාධාරණ විය යුතුය යන්න සම්මතයකි. නීතියේ දෙවඟන දෑස රෙදි කඩකින් වසා ගෙන තරාදිය දරා සිටිනුයේ එහෙයිනි. එහෙත් මේ වන විට නීතිය හැඳි දෙකකින් බෙදන්නට පටන් ගෙන තිබේ. ඒ ආණ්ඩුවේ මැති ඇමතිවරුන්ට සහ කොන්දේසී විරහිත හිතවතුන්ට විශේෂ හැන්දකින් ද සාමාන්‍ය ජනතාවට සහ විපක්ෂයට සාමාන්‍ය හැන්ද ද වශයෙනි. එහෙයින් මේ අලුත් නීතිය ක්‍රියාත්මක වන විට ඇති විය හැකි කාරණායක් ගැන මෙසේ ලියා තබමි.

කහ ඉරිවලින් පිට පාර පනින එක වැරදියි. හැබැයි ඒක අදාළ විය යුත්තේ විපක්ෂයේ අයට සහ සාමාන්‍ය ජනතාවට පමණයි. ආණ්ඩුවේ ලොක්කෙක් එහෙම පාර පැනලා වාහනයක හැප්පුණොත් ආණ්ඩුව වහාම රජයේ සියලු ම කටයුතු නවතා එතුමා ගැන සොයා බැලිය යුතුයි. රජයේ ආරක්ෂක ප්‍රධානින් රෝහල්වලට යා යුතුයි. සියලු උපරිම ප්‍රතිකාර ඇමරිකාවෙන් හරි ගෙන ආ යුතුයි. වෛද්‍යවරු පිට සක්වලින් හෝ ගෙන ආ යුතුයි. රොහලේ කාර්ය මණ්ඩලය සැක නම් ඉවත් කරලා වෙන අය දැම්මත් කමක් නැහැ.

රජයේ ජඩ මාධ්‍ය ප්‍රකාශකලා ආරක්ෂක මාධ්‍ය ප්‍රකාශකලා වහාම ප්‍රවෘත්ති සාකච්ඡාවක් කැඳවා ඇත්ත පැවසිය යුතුයි. මෙන්න මේ විදිහට.

“ඇත්තම කියනවා නම් මේ කහ ඉර ඇඳලා තියෙන්නේ වැරදි තැන. අපි වගකිව යුතු රජයක් විදිහට මේ ආයතන දැනුවත් කළා කිහිප වරක්ම. මේ අපේ මන්ත්‍රීතුමා පැනපු තැනින් කහ ඉර අඳින්න කියලා. ඒත් මේ යල් පැනපු නිලධාරීවාදය ඔඩු දුවපු රාජ්‍ය සේවය ඒක කළේ නැහැ.අතිගරු ජනාධිපතිතුමා කුෂ්නීම්භුතවෙලා බලා හිටියා මේ සිද්ධිය ඇහුව ගමන්."

"ඒ නිසා අපි වහාම කොමිටියක් පත් කරනවා. මෙතන වැරදි විදිහට කහ ඉර ඇඳපු කම්කරුවාට තරාතිරම නොබලා අපි උපරිම දඬුවම් දෙන්න පසුබට වෙන්නේ නැහැ. අපිට දැනටමත් ආරංචිවෙලා තියෙනවා මේ රටේ ඇතැම් විපක්ෂ කණ්ඩායම් මේ අක්‍රමික ලෙස කහ ඉරි ඇඳීම පිටුපස ඉන්නවා කියලා. අපි ඉදිරියේ දී ඔවුන්ගේ නම් ගම් හෙළි කරන්න සුදානම්."

"ඒ වගේ ම මේ කහ ඉරි අඳින්න තින්ත ගනිපු සමාගමේ නිලධාරීන්ගේ දූෂණ වංචා සොයලා ජනතාව ඉදිරියේ නිරුවත් කරන්න අපි දෙපාරක් හිතන්නේ නැහැ. මේ විදිහට බහුජාතික සමාගම්වලට මේ රටේ ජාති මාමක ජනතාව විසින් පත් කරපු ආණ්ඩුවට, තිස්ව වසරක යුද්ධය නිමා කරපු ආණ්ඩුවට විරුද්ධව කුමන්ත්‍රණ කරන්න ඉඩදීලා අපට නිහඬව බලා ඉන්න බැහැ. අපි ඒ වෙනුවෙන් දිවි පුදා සටන් කරන්න සුදානම්. "

"එදා අපි දීපු උපදෙස් මේ නිලධාරීන් ඇහුවා නම් රටක් වටින මන්ත්‍රීතුමාට මේ විදිහට කරදරයකට මුහුණ දෙන්න වෙන්නේ නැහැ. මේ අකරතැබ්බය නිසා එතුමාගේ සේවය ලබපු ජනතාව දැන් සිහිසුන්වෙලා ඉන්නේ. ඒ තරුණයෝ උමති වෙලා මන්ත්‍රීතුමාගේ සරණ සොයනවා. කවුද දැන් ඒ තරුණයින්ට පිහිට වේනේ?

"මේ වගේ දූෂිත රාජ්‍ය නිලධාරීන් වහාම රාජ්‍ය සේවයෙන් ඉවත් කළ යුතුයි. වඩා කාර්යක්ෂම අය පත් කළ යුතුයි. අපි ළඟ තියෙනවා ලිස්ට් එක. අපට හරියට දතක් හාර ගන්න බැරි දැහැටිවලින් වැඩක් නැහැ. ඒ නිසා අපි මේ රටට ආදරය කරන සියලු දේශ මාමක ජනතාවගෙන් ඉල්ලා සිටිනවා, ඒකාවන්ව පෙළ ගැසී ආණ්ඩුව ශක්තිමත් කරන්න කියලා. ජනාධිපතිතුමාගේ දෑත ශක්තිමත් කරන්න කියලා”

Sunday, October 16, 2011

පස්සේ ආ අඟ ලොකු වීමේ වරද !!!

මැකෝ සම්මානලාභි (ශ්‍රී ලංකා ජනසන්නිවේදකයින්ගේ සංගමය), දේශාභිමාන දේශ ශක්ති ජනරංජන (ජාතික සාම සම්මේලනය), ජනාභිමානී දේශමාන්‍ය ලංකාපුත්‍ර (ශ්‍රී ලංකා අමරපුර මූලවංශික මහා නිකාය), ගෞරව සම්මානලාභි (සුරකිමු ලංකා මාතෘභූමි සංවිධානය), කොළොන්නාව ප්‍රධාන සංවිධායක (ශ්‍රීලනිප), සභාපති (ජාතික ජිම්නාස්ටික් සම්මේලනය‍, බස්නාහිර මේස පාන්දු සම්මේලනය, කොළඹ දිස්ත්‍රික් සැහැල්ලු පන්දු සම්මේලනය), ආරක්ෂක අමාත්‍යංශ ගරු අධීක්ෂණ මන්ත්‍රී දුමින්ද සිල්වා මැතිතුමා භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර මහතා මහ මග මරා දමා දැන් දින කිහිපයකි. එහිදි තුවාල ලද එතුමා පූර්ණ රාජ්‍ය අනුග්‍රහය සහ අධීක්ෂණය යටතේ ප්‍රතිකාර ලබමින් සිටියි. රටේ සමස්ත ජනතාවගේ එකම පැතුම වන එතුමා සුවපත් වේවාය යන පැතුම හදැතිව අපි මේ සටහන ආරම්භ කරමු.

භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර මහතා මහත්මා ගාන්ධි මග ගිය අන්නා හසාරේ කෙනෙකු නොවන බව අපි දනිමු. එහෙත් ඔහුගේ ජීවිතය උදුරා ගැනීමට අයිතියක් ඇත්තේ කාටද? පව්කාර ස්ත්‍රීයට ගල් ගසා මරන්නට පිරිසක් ගල් අමෝරා ගෙන සුදානම් වෙද්දි එහි සපැමිණි ජේසුතුමා පැවසුවේ කිසිදා පවක් නොකළ අයෙකු පළමු ගල ගැසිය යුතු බවය. එසේ නම් භාරතට පළමු ගල ගැසිය යුත්තේ ද කිසිදා පවක් නොකළ අයෙකු මිස පව්කාර දණ්ඩෙකු නොවේ. ඔහුට ළමා අපචාර චෝදනා, ස්ත්‍රී දූෂණ චෝදනා, ස්ත්‍රීන් පැහැර ගෙන යාමේ චෝදනා නොතිබුණි. ඔහු පෞද්ගලික දේශපාලන දොළ පිදේනි වෙනුවෙන් පක්ෂ මාරු කළ අයෙකු ද නොවේ. ඔහුට කුඩුකාරයින් සමග සබඳතා නොතිබුණා මෙන්ම ඔහු ඊට විරුද්ධව සටන් කළේය.

භාරත වසර 30-40ක් දේශපාලනය කළේ කොළොන්නාව ප්‍රදේශයේය. ඔහු ඒ ජනතාව සමග ඉතාම සමීප සබඳතාවක් ගොඩනගා ගෙන තිබූ බව පැහැදිලිය. එහෙයින් ආණ්ඩුවේ වගකීම විය යුතුව තිබුණේ ඔහුට එම ආසනයේ සංවිධායක තනතුර ලබාදීමය. එහෙත් වූයේ අනෙකකි. එහි ප්‍රතිඵලය ලෙස දැන් ඔහු සතර රියනක් යට සැතපෙයි. බිරිඳට සැමියෙක්ද දරුවන්ට පියාද ප්‍රදේශයේ ජනතාවට සිය ආදරණීය නායකයා ද අහිමි වී තිබේ.

මෙවර පලාත් පාලන මැතිවරණ සමයේ කොළොන්නාව ගරු සංවිධායක දුමින්ද සිල්වා මහතා සිය පතාළ මැරයින් සමග එක්ව ප්‍රදේශය පුරා මහත් භීෂණයක් වැපිරුවේය. එදා දහවල් පැෆරල් සංවිධානය සිය නිරීක්ෂකයින් ඔස්සේ එය සනාථ කළේය. ඔහු තම අපේක්ෂයින් වෙනුවෙන් හොඳින් හෝ නරකින් මනාප රැස් කිරීමේ මෙහෙයුමක් අරඹා තිබිණි. දුමින්ද, භාරතගේ ප්‍රධාන අනුගාමිකයා වන ප්‍රසංග සෝලංගආරච්චිගේ කාර්යාලය වෙත කඩා පැන ඔහුගේ බිරිඳගෙන් විමසුවේ ඡන්දය දුන්නේ කාටද කියාය. එවිට ඈ පවසා ඇත්තේ සිය සැමියා වන ප්‍රසංග සෝලංගආරච්චිට බවය. එහිදී තොපි ඔක්කොම මරනවා යැයි කියා මේ ගරු සංවිධායක මහතා සෝලංගාරච්චි මහත්මයට පහර දී ඇති බව මට අසන්නට ලැබුණේ ගුවන්විදුලියේ හඩ්සන් සමරසිංහ මහතාගේ ම මුවින් බැවින් එය අසත්‍යයැයි සිතන්නට කිසිදු කාරණයක් නොමැත. ඒ අනුව සැමියා වෙනුවෙන් බිරිඳට ඡන්දය දීමේ අයිතිය දිනා ගන්නට ආසියාවේ මුලින්ම සර්වජන ඡන්ද බලය ලද රටේ රට වැසියාට දැන් සිදුව තිබීම කවර නම් ඛේදවාචයක්ද?

අනෙක් අතට මෙවර මැතිවරණය සඳහා ගරු සංවිධායක දුමින්ද සිල්වා මහතාගේ අනුගාමිකයින් මෙන්ම භාරතගේ අනුගාමිකයාද ඉදිරිපත් විය. ආසන සංවිධායක ලෙස ද පාර්ලිමේන්තු මන්ත්‍රිවරයෙකු ලෙස ද ආරක්ෂක අමාත්‍යාංශ අධීක්ෂණ මන්ත්‍රී ලෙස ද ගරු දුමින්ද සිල්වා මහතා ලද ජන ප්‍රසාදය ප්‍රතිඵලය මගින් මොනවාට පිළිබිඹු වෙයි. භාරත සහාය පළ කළ සෝලංගආරච්චි මනාප ඡන්ද 42 000ක් ලබා ගනිද්දි දෙවැන්නාට හිමිව ඇත්තේ මනාප ඡන්ද 8000කි. ඒ අනුව ආයතනය දිනාගත්තද ආසන සංවිධායක අන්ත පරාජයකට ලක්ව තිබේ. සෝලංගාරච්චි මහතාට ලබා දුන් සියලු මනාප ගරු දුමින්ද සිල්වා මහතාට විරුද්ධව ලබා දුන් ඒවා බව කිව යුතු නොවේ. මින් හෙළිවන අනෙක් ප්‍රධාන කාරණය ප්‍රදේශයේ ජනතාව සැබවින්ම සිය සංවිධායකයා, නායකයා ලෙස සලකා ඇත්තේ භාරත බවය.

මෙමගින් ආණ්ඩුව අවබෝධ කරගත යුතු වැදගත්ම කාරණය ජනතාව මත බලෙන් නායකත්වය පැටවිය නොහැකි බවය. නායකත්වය ජනතාව තුළින් මතුව ආ යුතුය. මහින්ද සහ රනිල් අතර වෙනස ද එයයි. රනිල් තමාගේ ජ්‍යෙෂ්ඨ නායකයින්ගේ අභාවයේ පිනෙන් පහළ වෙද්දි මහින්ද ජනතාව සමග උරෙනුර ගැටී දේශපාලන කරමින් මතුව ආවේය. මෙවර දුමින්දගේ කුඩුකාර අනුගාමිකයින්ට සහාය පළකිරීම සඳහා ගෝඨාභය රාජපක්ෂ මහතා පැමිණි බවට භාරත සිය අවසන් කතාවේදී චෝදනා කළේය. එසේ පැමිණිය ද ඔහුට ජන මතයට බලපෑම් කළ නොහැකි වූ බව පැහැදිලිය. ජනතාව එය සතයකට මායිම් කොට නැති බව ප්‍රතිඵල මගින් සනාථ වෙයි.

ඔවුන් සිය අසමසම නායකයා ලෙස සලකා ඇත්තේ භාරතය. හිටපු ආසන සංවිධායක භාරතය. ඔවුන්ගේ ගමේ එකාය. ඔහුට රත්මලාන ආසනය භාර ගන්නැයි ජනපති කීවද ඔහු සිය ජනතාව අතැර නොගියේ මේ ළෙංගතු බැඳීම නිසා ම නොවෙද? ඔහු තනතුරුවලට වඩා සිය ප්‍රදේශයේ ජනතාව සමහ හදවතින් බැඳී දේශපාලනය කළ බව පැහැදිලිය. අනෙක් අතට මේ රටට අසමාන මෙහෙවරක් කළ ගෝඨාභය රාජපක්ෂ මහතාට සරත් ෆොන්සේකා මහතාට මෙන් මේ රටේ ජනතා හදවත්වල ඇති ගෞරවය විනාශ කර ගන්නට ඉඩ නොතැබීම පරිණත දේශපාලඥයකු වන මහින්ද රාජපක්ෂ මහතාගේ වගකීමයි.

දුමින්ද සිල්වා සහාය පළ කළේ පතාළයේ නම ගිය කරාටේ ධම්මික නමැත්තෙකුගේ ඥාති පුතෙකුට බව දිවයින පුවත්පතේ සඳහන් විය. එසේ නම් උතුරේ ත්‍රස්තවාදය අවසන් කිරීමෙන් පසු රටේ පතාළය විනාශ කරන බවට සපථ කළ ගෝඨාභය රාජපක්ෂ මහතා හෝරාගේ අම්මාගෙන් පේන අහන්නට දුමින්ද ළං කර ගත්තේද? අනෙක් අතට භාරතගේ ආසන සංවිධායකකම දුමින්දට ලබාදීමෙන් ප්‍රදේශයේ ජනතාව ලැබුවේ කුමක්ද? 2005 වසර වන විට 16ක් ව පැවති කුඩු තිප්පොළවල් ගණන 570ක් වීමද? ප්‍රදේශයේ තරුණියකට රැයට තබා දහවලටවත් මහ මග යා නොහැකි වීමද? ප්‍රදේශයේ තරුණයින් කුඩුකාරයින් බවට පත්වීමද? මැරයින් පතාළ කාරයින් වැහි වැහීමද?

මැතිවරණ ප්‍රතිඵලවලින් පැහැදිලි වන්නේ ජනතාව බුද්ධිමත් සහ සාධාරණ තීන්දුවක් දී ඇති බවය. ඔවුන් සිය මනාපය දුමින්දට ඇති අමනාපය ප්‍රකාශ කිරීමට භාවිත කර තිබේ. ඔහුගේ සියලු නීති විරෝධි ක්‍රියාවලට විරුද්ධව භාවිත කර තිබේ. කොළඹින් දුමින්ද සහාය පළ කළ ජීහාන් හමීඩ් මහත්මිය ද පරාජයට පත්ව තිබේ. ආණ්ඩුව සහ පොලිසිය, දුමින්ද ආරක්ෂා කළ ද ජනතාව භාරත ආරක්ෂා කර තිබේ. භාරත සිය අවසන් කතාවේදී සපථ කරන අයුරින්ම සෝලංගාරච්චි ලංකාවේ වැඩිම මනාප ලාභියා බවට පත් කළේ ප්‍රදේශයේ සංවිධායක, පොලිසිය, ආණ්ඩුව හැම විටම දුමින්ද සිල්වාට සහාය දක්වන පසුබිමකය. එහෙත් ඒ ජයග්‍රහණය භුක්ති විඳින්නට භාරතට වරම් නොලැබිණි.

මේ ආණ්ඩුවට පදනම් වූ ජනමතය විනාශ කරන කඳ පණුවා කවුද? මේ රටේ බෙංගාසි කැරලිකරුවන් නිර්මාණය කරන ප්‍රධාන ගර්භාෂය කුමක්ද? යන ප්‍රශ්න දෙකටම අපට ඇත්තේ එක පිළිතුරකි. ඒ 2005 ජනවරමට විරුද්ධව වැඩ කොට එහි ජයග්‍රහණය වළක්වාගත නුහූ තැන කපන්න බැරි අත සිඹින්නට පැමිණි පිරිස බවය. මොවුන් පවසන්නේ තමන් ජනපති දෑත ශක්තිමත් කරන බවය. එහෙත් මොවුන් පාලනය කරන සියලු ආයතන ජනතාව මේ ආණ්ඩුවට විරුද්ධව පෙළ ගස්වන තැනට කටයුතු කරන බව අපට පෙනේ. මේ කිසිවෙකු 2005 ජනවරමට හිස නමා එය පිළිගෙන පැමිණියා නොව හුදු පෞද්ගලික ලාභ ප්‍රයෝජන උදෙසා පැමිණි අයය. අනාගත එජාප ආණ්ඩුවක් පහළ වන ලකුණු දැනට නැතද ආශ්චර්යකින් පහළ වුවහොත් එහි මුල් පුටු හොබවනු ඇත්තේ ද මොවුන්මය.

ආණ්ඩුවට මේ සිද්ධියෙන් උගත හැකි පාඩම් බොහෝය. නායකයින් නිර්මාණය කරන්නේ ජනතාව මිස ආණ්ඩු නොවන බව පැහැදිලිව මතක තබා ගත යුතුය. සැබෑ ජන පදනමක් ඇති නායකයින් වෙනුවට පැරෂුට්කාරයින් බැස්සවීමෙන් සුදුවන්නේ විනාශයක් පමණි. එහෙයින් කොළොන්නාවට පමණක් නොව රටේ ඕනෑම ආසනයකට නායකයින් පත් කරන විට භාරත - දුමින්ද සිද්ධිය පරමාදර්ශයක් කර ගැනීම ආණ්ඩුවේ පරමායුෂ තීරණය කරන සාධකය වනු ඇත.

හොඳ ත්‍රස්තවාදය සහ නරක ත්‍රස්තවාදය කියා දෙකක් නැත යන ජනපති ප්‍රකාශය අනුව ම හොඳ පතාළය සහ නරක පාතාළය කියා ද දෙකක් නැති බව අවබෝධ කරගත යුතුය. නිහතමානී සිය වැරදි නිවැරදි කරගත යුතුය. ජනමතයට කන්දිය යුතුය. එසේ නොවුණ හොත් මේ රටේ දේශමාමක ජනතාව මහත් වැරවෑයමින් ගොඩනැගූ 2005 ජන වරමද ත්‍රස්තවාදය විනාශ කොට ලද ජයග්‍රහණයද ගඟට කැපූ ඉණි සේ බවට පත්වනු ඇත. එපමණක් නොව ඉස්සෙල්ලා ආ කනට වඩා පස්සේ ආ අං ආණ්ඩුවට ලොකු විය හැකි වුව ද ජනතාව නම් ලොකු නැති බව නම් තරයේ සිහිපත් සිහියේ තබා ගත යුතුමය.

Tuesday, October 4, 2011

ලංකාවට සිංහ නාද කරන පොලිසියක් අවශ්‍ය වී තිබේ

මෙරට සිටින නිල පතාල කල්ලිය පොලිසිය යැයි කිසිවෙකුට සාධාරණ චෝදනාවක් එල්ල කළ හැකි තරමට ලංකා පොලිසිය දිනෙන් දින පිරිහෙමින් තිබේ. නීතියට මුවා වී රට පුරා අහිංසකයින් මරා දැමීම මොවුන්ගේ විනෝදාංශය බවට පත්ව ඇතැයි සිතෙන තරම්ය. මුහුදට පැන වැඳ වැටෙන අහිංසකයෙකුට පොලුවලින් පහර දී මරා දැමූ පොලිසිය ඊට පසු අඟුලානේ දී තරුණයින් දෙදෙනෙකු වෙඩි තබා මරා දැමුවේය. සුපුරුදු පරිදි දොම්පේ පොලිසියට රැගෙන ගිය තරුණයෙකු දිනකට පසු මල මිනීයක් බවට පත්ව තිබිණි.

මෙසේ මාධ්‍ය ඔස්සේ වාර්තා වන දෑවලට අමතරව පොලිසියේ නේක අඩම්තේට්ටම්වලට වධ බන්ධනවලට ගොදුරු වන මිනිසුන් ප්‍රමාණය අතිමහත්ය. ඒවා තිත්ත කුණුහරුපයෙන් කරන බැණ අඬ ගැසීම්වල සිට අත පය කැඩෙන තුරු කරන දරුණු පහර දීම් දක්වා ගලා යයි. මෙවන් තත්ත්වයක් තුළ පොලිස් නිලධාරියෙකු තමාට දෙනෝදහක් මැද කුණු හරුපයෙන් බැණ වැදීම ජනතාව සලකන්නේ තමන්ට සිදුවන හිංසනයක් ලෙස නොව ගෞරවයක් ලෙසය. මන්ද අතක් පයක් කඩා නොගෙන පොලිස් නිලධාරියාගෙන් මිදීමට හැකිවීම ගැන ඔවුන්ට උදම් ඇනිය හැකිය.

මේ අතර අලි සංගණනයට ගිය නිලධාරීන් දෙදෙනෙකු ග්‍රීස් යකුන් යැයි පල්ලියක සිර කර ගත් මැර කල්ලියක් අභියස වැඳ වැටෙන ඉහළ පොලිස් නිලධාරියෙකු මාධ්‍ය ඔස්සේ රටට ම දක්නට ලැබිණි. ඔහු අර මැර රංචුව ඉදිරියට විත් තමා මරා දමන්නැයි ද අහිංසක නිලධාරීන් දෙදෙනා නිදහස් කරන්නැයි ද ඉල්ලා සිටියේ ය. මේ පොලිස් නිලධාරියා මෙසේ වැඳ වැටුණේ, ආයාචනා කළේ රටේ නීතිය අතට ගෙන ක්‍රියා කළ මැර රංචුවක් ඉදිරියේ ය.

ඊට පසු දිනක කොල්ලුපිටියේ පවත්වා ගෙන නීති විරෝධි පන්සල් කඩයක් වෙත පැමිණි මහා සංඝ රත්නය හමුවේ එහි පැමිණි උසස් පොලිස් නිලධාරියෙකු හැසිරුණු ආකාරයෙන් සාමාන්‍ය ජනතාව සමග මොවුන් ගනුදෙනු කරන ආකාරය කෙතරම් බිහිසුණු විය හැකි දැයි අවබෝධ කර ගත හැකිය. මේ කඩය පිළිබඳ කිහිප වරක් සිය විරෝධය පළ කළ ද ඊට එරෙහිව කිසි පියවරක් නොගත් පොලිසිය, එහි පැමිණි මහා සංඝ රත්නය හමුවේ හැසිරුණේ මේ පන්සල් කඩය පවත්වා ගෙන ගියේ අර පොලිස් නිලධාරියාගේ නැන්දාම්මා යැයි ඒ දුටු අයට සිතෙන තරම් පහත් ලෙස ය.

නීතිය කාටත් එකය. නීතිය අතට ගැනීමට කිසිවෙකුට ඉඩ දිය නොහැකි යැයි කෙනෙකු තර්ක කළ හැකිය. එහෙත් නීතිය කාටත් එක නම් පෙර කී නිලධාරීන් මැර රංචුවක් අබියස වැඳ වැටී නිරායුධ මහ සඟ රුවන ඉදිරියේ කුලප්පු වී උඩ පැනීම අප අවබෝධ කරගන්නේ කෙසේද?

මහ සඟ රුවන ඉදිරියේ සිංහ වේශයෙන් පෙනී සිටි මේ පොලිස් නිලධාරියා එකී පන්සල් කඩය ආරක්ෂා කිරීමට ක්‍රියාත්මක වූ දේශපාලන හස්තය හෝ මොනයම් බලවේගයක් හෝ ඉදිරියේ මෙසේ හැසිරුණි නම් නොවෙද, ඔහු නියම සිංහයෙක් වන්නේ? මෙසේ නීතිය ක්‍රියාත්මක කරන්නැයි ඉල්ලා සිටින බලවේග නිහඬ කිරීමෙන් සිදුවන්නේ රටේ තව තවත් අපරාධ බහුල වීම නොවෙද? ආගම්වලට මුවා වී මිනිසුන් ගසා කමින් ඔවුන්ගේ ජීවිත සමග සෙල්ලම් කිරීමට උඩගෙඩි දීම නොවේද? මිනිසුන් පැහැර ගත් මැර රංචුවකට වැඳ වැටීමෙන් පොලිසිය ලබා දෙන ආදර්ශය කුමක්ද?

මේ සිදුවීම් දකින විට එස්. මහින්ද හිමියන්ගේ කවක් මා සිතට නැඟුණේ නිතැතින්මය.

උස් තැන් දැක හැකි‍ළෙන්නේ
මිටි තැන් දැක පුප්පන්නේ
නිවටුන් බව සිතමින්නේ
මගේ පුතා ලොකු වෙන්නේ

දේශපාලන බලය, මැර බලය, තක්කඩිකම්, පගාව, අල්ලස ඉදිරියේ දෙකට තුනට කුදු වන්නෝ එවන් බලයක් නැති දුබලයින් දුටු කළ සිංහ ගර්ජනා කරන්නට තතනති. එහෙත් ඒ තප්පුලෑමක් පමණි. උඩු බිරීමක් පමණි. නිවට ඇම්බැට්ටයා දුටුවාම එළුවා ද නිකට පානවා යැයි ගැමියන් කීවේ මේ වැනි අවස්ථාවලය. එය සිංහ ගර්ජනාවක් වන්නේ අසාධාරණය, අයුක්තිය, අවනීතිය ඉදිරියේ නැගීමෙනි. සැබෑ වීරයින් නම් කළ යුත්තේ එයයි.

එමෙන්ම සිය රාජකාරිය දේවකාරිය මෙන් සලකන, අවිනීතිය අයුක්තිය, අසාධාරණය හමුවේ දණ නොනමන, විනය ගරුක පොලිස් නිලධාරීන්ට අපි අපේ ගෞරවය පුද කිරීමට ද නොපැකිළෙමු. එහෙත් දැන් දැන් එවන් උතුමන් කළුනික මෙන් දුර්ලභ බව ද ලියා තබමු. රටට අවශ්‍ය එවන් සිංහ නාද කරන පොලිසියක් මිස උඩු බුරන තප්පුලන පොලිසියක් නොවේ.

කරුණු මෙසේ හෙයින් පොලිසියේ සිටින බල්ලන් රංචුව බැඳ දමන ලෙස ද හමුදා නිලධාරීන් මෙන් විනය ගරුක පොලිස් නිලධාරියෙක් තැනීමට කටයුතු කරන මෙන් ද ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාගෙන් ඉල්ලා සිටිමු. රටේ පතාළය විනාශ කිරීම පැත්තකින් තබා පොලිස් පතාළය විනාශ කොට දිනාගත් නිදහස භුක්ති විඳීමට රටේ සාමාන්‍ය ජනතාවට අවස්ථාව උදා කර දෙන මෙන් අපි එතුමාගෙන් ගෞරවෙන් ඉල්ලා සිටිමු. එසේ නැතහොත් මේ රටේ නීති සාමය ආරක්ෂා කිරීම බරපතළ අර්බූදයකට යනු ඇත්තේ පොලිසියේ මෙවන් වැරදි දඩමීමා කරගෙන කසිප්පුකාරයින් ගංගා වවන්නන් ස්ත්‍රී දූෂකයින් ජනතාව පොළඹවා ගෙන පොලිසිවලට කඩාපාත්වීම නිසාය. එවිට බටහිර මාධ්‍ය එය වාර්තාකරනු ඇත්තේ ලංකාවේ සිවිල් ජනතාව මහින්ද රාජපක්ෂ පාලනයට එරෙහිව පොලිසිවලට පහරදී සිවිල් නීති කඩකිරීම අරඹයි යනුවෙනි.
 
සිය රට දේ සිරි සැප දේ !