Tuesday, June 19, 2018

කේෂාප් ගෝඨා සහ අපේ නිවටකම්

ප්‍රජාතන්ත්‍රවාදය කුමක්ද යන්න පිළිබඳ විවිධ යුගවල විවිධ අර්ථකතන ඉදිරිපත් වී තිබේ. 1861-1865 සමයේ ඇමරිකාවේ ජනාධිපති ධුරය දැරූ ඒබ්‍රහම් ලින්කන් පැවසුවේ ප්‍රජාතන්ත්‍රවාදය යනු ජනතාවට අයත්, ජනතාව විසින්, ජනතාව වෙනුවෙන් ක්‍රියාවට නංවන ආණ්ඩුක්‍රමයක් බවය. මේ අනුව ප්‍රජාතන්ත්‍රවාදය යනු ජනතා පරමාධිපත්‍ය පදනම් කරගත් පාලන ක්‍රමයකි. අපේ රටේ ද ක්‍රියාත්මක වන්නේ ප්‍රජාතන්ත්‍රවාදී පාලන ක්‍රමයකි.

77 ව්‍යවස්ථාවේ 3 වෙනි වගන්තිය අනුව ජනරජයේ පරමාධිපත්‍ය බලය ජනතාව කෙරෙහි පිහිටා ඇති අතර එය අත්හළ නොහැක්කේය. ඊට පාලන බලතල, මූලික අයිතිවාසිකම් සහ ඡන්ද බලය ඇතුළත් වේ. එහි 4 වෙනි වගන්තිය අනුව එම පරමාධිපත්‍ය බලයට අයත් ජනතාවගේ විධායක බලතල ජනතාව විසින් ඡන්දයෙන් පත් කරගන්නා විධායක ජනාධිපති විසින් ද ව්‍යවස්ථාදායක බලතල ජනතාව ඡන්දයෙන් පත් කරගන්නා මන්ත්‍රීවරුන්ගෙන් සමන්විත පාර්ලිමේන්තුව විසින් ද ක්‍රියාත්මක කෙරේ. ජනතාවගේ අධිකරණ බලතල ව්‍යවස්ථානුකූලව පිළිගත් අධිකරණ සහ පාර්ලිමේන්තුව මගින් ද ක්‍රියාත්මක කෙරේ.

මේ අනුව අපේ රටේ ව්‍යවස්ථාදායක, විධායක සහ අධිකරණ බලතල සියල්ල මේ රටේ පුරවැසියන්ට අයත්ය. එය ඔවුන්ගේ පරමාධිපත්‍ය යටතේ ක්‍රියාත්මක විය යුතුය. එය මේ රටේ මිලියන 200ක් පමණ වන ජනතාවට අයිති අත්හළ නොහැකි අයිතියකි. මේ රටේ පුරවැසියාගේ පරම අයිතියකි. ඒ අයිතියට කිසියම් පරයකු ඇඟිලි ගැසීමට සූදානම් වන්නේ නම්, ඒ අයිතිය කිසියම් පරයකු අපෙන් උදුරා ගැනීමට සූදානම් වන්නේ නම් මිලියන 20ක් වන ජනතාව එක හඬින් ඊට එරෙහි විය යුතුය. මන්ද එවැනි බාහිර බලපෑම් අපේ පරමාධිපත්‍ය බලයට අභියෝග කරන හෙයිනි.

එහෙත් 2015 ජනාධිපතිවරණයට පසු බටහිර රටවල සුද්දෝ we are part of this victory කියා උදම් ඇනූහ. අනතුරුව මේ සුද්දන්ම ඇමරිකානු ජනාධිපතිවරණය අවස්ථාවේ රුසියානු නායකයා ට්‍රම්ප්ට උදව් කළේ යැයි කනිපින්දම් කී බව අපට අමතක නැත. අනුන්ගේ පරමාධිපත්‍ය බලය තුට්ටුවකට මායිම් නොකරන සුද්දන් පවා තමන්ගේ පරමාධිපත්‍ය බලය වෙනුවෙන් පෙනී සිටින බව මින් තහවුරු වෙයි.

ට්‍රම්ප්ගේ ජයග්‍රහණය පූටින්ගේ බලපෑම් කළ ද නොකළ ද එවැන්නක් වුණේ යැයි සුද්දන් චෝදනා කිරීම මගින් සනාථ වන්නේ තමන්ගේ වැඩවලට අනෙකා ඇඟිලි ගැසීම ඔවුන් නුරුස්සන බවය. සිය පරමාධිපත්‍ය බලය වෙනුවෙන් පෙනී සිටින බවය. කිසිම ඇමරිකන්කාරයකු පූටින් ට්‍රම්ප්ගේ ජයග්‍රහණයට උදව් කළේ යැයි උදම් වූයේ නැත. ට්‍රම්ප් හෝ ජයග්‍රාහි පිරිස හෝ එය පිළිගත්තේ ද නැත. එවැනි අදහසක් පිළිගැනීම පවා නින්දාවක් ලෙස සැලකීමට තරම් ඇමරිකන්කාරයාට විළිබිය සහ ආත්ම ගරුත්වයක් ඇත.

එහෙත් අපේ රටේ තත්ත්වය කුමක් ද? 2015 ජනාධිපතිවරණයට තමන් ද දායක වූයේ යැයි සුද්දන් කියන විට එසේ නොවුණේ යැයි බොරුවට හෝ කියා ආත්ම ගරුත්වය බේරා ගැනීමට තරම් විළිබියක් ලැජ්ජාවක් අපේ පාලකයන්ට තිබුණේ නැත. ඊටත් එහා ගිය නිවට සිදුවීම් පෙළක් පසුගිය දා සිදුවිය.

මෑතක විශ්‍රාම ගිය කේෂාප් සිය රට බලා යාමට පෙර හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා මුණ ගැසුණු අවස්ථාවේ ගෝඨාභය රාජපක්ෂ ඉදිරි ජනාධිපතිවරණයට ඉදිරිපත් නොකරන්න යැයි දන්වා සිටියේ යැයි කතාවක් මාධ්‍යවල පළ විය. අතුල් කේෂාප් ඔබාමා පරිපාලනය විසින් මෙරටට එවන ලද තානාපතිය. මේ පුවත දැක අපේ රටේ ජනතා පරමාධිපත්‍ය බලය හිමි ජනතාවගෙන් පිරිසක් මහත් අමන්දානන්දයට පත් වී තිබිණි. ඔවුන් මේ පුවත සිය ෆේස්බුක් පිටුවළ පළ කළේ මහත් උජාරුවෙනි. ඇමරිකානු ජනතාව පූටින්ගේ බලපෑමට එරෙහිව යුද ප්‍රකාශ කරන පසුබිමක අප බටහිරයන්ගේ බලපෑම දෝත පා වැළඳ ගැනීම මොන තරම් නිවට පරාධීන වහල්කමක්ද? මිනිසකුට මීට වඩා ද්‍රෝහීකමක් සිය මාතෘභූමියට සහ අනාගත පරපුරට කළ හැකිද?

ඇසුණු වහා අප එකවර ලැජ්ජාවට ද කෝපයට ද කනගාටුවට ද පත්විය යුතු මේ පුවත අපට අමන්දානන්දයට හේතුවක් වන්නේ කෙසේද? අපේ ජාතිය හෘද සාක්ෂියක් නැති අක්මුල් නැති දවස් හතළිහේ බෝයිලස් කුකුළන්ගේ තත්ත්වයට පත් වෙලාද?

කේෂාප් අභියෝග කර ඇත්තේ අපේ රටේ පුරවැසියන් මිලියන 200ට හිමි පරමාධිපත්‍ය බලයටයි, අත්හළ නොහැකි පරමාධිපත්‍ය බලයටයි. මේ රටේ බෝඩිංකාරයන් නොවන ඕනෑම පුරවැසියකු සිය අපේ පරමාධිපත්‍ය බලයට අභියෝග කිරීමට උඹ කවුද යැයි පෙරළා ප්‍රශ්න කළ යුතු නොවෙද? එහෙත් ඉන් අමන්දාන්නදයට පත්වන්නේ නම් අප ඒ ඇමරිකන්කාරයාගේ වහල් රෑනක් මිස නිදහස් නිවහල් රට වැසියන් යැයි පිළිගත හැකිද? මේ ප්‍රශ්නය වරක් නොව සිය වරක් හෝ අප අපේ හෘද සාක්ෂියෙන් විමසිය යුතු නැද්ද?

මේ රටේ අනාගත පාලකයා තෝරන්නේ අපය. අපේ රටේ මිලියන 200ක් ජනතාවය. ඒ ජනතාවගේ බහුතර කැමැත්තය. ඒ බලයට අපගේ පරම අයිතියකි. ඒ බලය වෙනුවෙන් අප පාට පක්ෂ ආගම් භේද පසෙක ලා එකම ජාතියක් ලෙස නැඟී සිටිය යුතුය. ඒ බලය අපේ අනාගත පරපුරට ආරක්ෂා කොට දිය යුතුය. හුදු පෞද්ගලික පටු කෙටි දේශපාලන අරමුණු සහ තෘප්තිය වෙනුවෙන් අපේ බලය පරයන්ට පාවා දීම මොන කරුමයක්ද? අපේ රටෙන් කොටසක් පරයකු පාලනය කිරීම ඉවසා ගත නොහැකිව ඇඳේ වකුටු වී නිදන ළමුන් බිහි කළ ජාතියක අලුත් පරපුර මෙතරම් පරාධීන ජාති භ්‍රෂ්ටයන් වූයේ කෙසේද?

මේ රටේ ජනතාව රටේ පාලකයා බහුතර ජනතාව තම පාලකයා තෝරා ගන්නේ රටේ යහපත සලකාය. ජනතාව තෝරා පත් කර ගත් පසු නායකයන් මොන වැරදි කළ ද ජනතා අපේක්ෂාව යහපත් පාලනයකි. එහෙත් අපේ රට වෙනුවෙන් බාහිර බලවේග නායකයන් තෝරා දෙන්නේ අපේ රටේ යහපතටද යන්න අප විමසා බැලිය යුතුය.

මේ අනුකම්පා කළ යුතු ලැජ්ජාවට පත් විය යුතු අමන්දානන්දයට හේතුව මැතිවරණයක් මගින් පරාජය කළ නොහැකි යැයි සිතන ප්‍රතිවාදී අපේක්ෂකයා බාහිර බලවේග ලවා හෝ ඉවත් කර දුර්වලයකු සමග තරග කර ජය ලැබීමේ මෝඩ උමතුව බව රහසක් නොවේ. එහෙත් මෙවැනි මෝඩකම් 1815 අපේ රජතුමා සුද්දාට පාව දී ලැබූ ජයට නොදෙවෙනි බව අප අවබෝධ කරගත යුතුය.

අනෙක් අතට දුර්වලයකු සමග සටන් කර ලබන ජය විශිෂ්ටද? තහනම් උත්තේජක භාවිත කොට ඔලිම්පික් පදක්කමක් දිනීම ශිෂ්ට ලෝකය පිළිගන්නවාද? කෙසේ හෝ පිටියේ දී උසේන් බෝල්ට් පරාජය කරනු මිස ඔහුට තරග තහනමක් පනවා ජය ගැනීමට ජස්ටින් ගැට්ලින් උපක්‍රම යෙදුවේද? මේ මොන නිවට කම් ද?

රටේ ජනතා සතු පරමාධිපත්‍ය බලය කිසිවකු කඩා වඩා ගන්නවා බලා උදම් ඇනීම සමාන වන්නේ අල්ලපු ගෙදර චණ්ඩියා ගෙදරට පැන සිය බිරිඳට අතවර කිරීම අභිමානයක් කොට සැලකීම වැනි නීච නිවට ක්‍රියාවකට පමණි. අතුල් කේෂාප්ගේ ප්‍රකාශය කනට මී පැණි වත් කළා සේ මධුරතර විය හැක්කේ එවැනි මානසික මට්ටමක සිටින අයකුටය. අප ජාතියක් ලෙස හඬා වැටිය යුතු කෝපයෙන් වියරු වැටිය යුතු සිද්ධියක් අපේ අමන්දානන්දයට හේතු වීම කෙතරම් ඛේදජනකද? එදා 1815 කුප්‍රකට උඩරට ගිවිසුමින් රට පාවාදීමට මොහොතකට පෙර කතර කොඩිය එසවීමට එරෙහි වූ වාරියපොළ සුමංගල නාහිමි වැනි විරයන් දෙව්ලොව සිට කුමක් සිතනු ඇතිද?

Monday, June 18, 2018

ගෙදර ගියොත් අඹු නසී, මග හිටියොත් තෝ නසී!

භික්ෂූන් වහන්සේ භික්ෂු විනයට මෙන්ම ජීවත් වන රටේ නීතියට ද අනුගත විය යුතුය. එහෙත් අපේ රටෙි අද ඇත්තේ වසර දහස් ගණනක් තිස්සේ ගොඩනැඟුණු සිංහල නීතිය නොව රෝම ලන්දේසි නීතියයි.

ඒ නීති පද්ධතිය වසර සිය ගණනක් මෙරට භාවිත වුවද එය අපේ සංස්කෘතියට අවශෝෂණය කර ගැනීමට අප අසමත් වී ඇත. අපේ සංස්කෘතික වටිනාකම් ආරක්ෂා වන පරිදි ඒ නීතිය අපේ කර ගැනීමට අප අසමත් වී ඇත.

අපේ රටේ භික්ෂුවක් සිවිල් නීතියට අනුගත වරදක් කළ විට දඬුවම් ලබා දීමට එම නීතියට හැකි වීම ගැටලුවක් නොවුණ ද චීවරය ගලවා ජම්පරය ඇන්දවීමේ බලයක් එම නීතියට දිය යුතු නැත.

භික්ෂූන් වහන්සේ කෙනෙකුගේ චීවරය ගලවා දැමීමේ බලය රටේ නායක භික්ෂූන් වහන්සේලාට පමණක් හිමි යුතුය. එය බන්ධනාගාර කොමසාරිස් කෙනෙකුට නොව ජනාධිපතිට පවා ලබා දීම බුද්ධ චීවරයට කරන නින්දාවකි.

දෙව්දත් හිමි අපාගත වූයේද සිවුර පිටින් බව බණ කතාවේ කියවෙයි. කුඩාපොළ හිමි වෙඩි කෑවේ සිවුර පිටිනි. සුද්දා වාරියපොළ සුමංගල හිමි සිරගත කළ ද සිවුර ගැලවූ බවක් නොකියවෙයි. සුද්දා සිවුර ගැලවුවද ඒ වරද වහා නිවැරදි විය යුතුය.

මන්ද එමගින් හෑල්ලුවට ලක් වන්නේ මේ රට දැය සමයෙහි මුර දේවතාවුන් වැනි ආර්ය මහා සංඝ රත්නය කළ මහා උදාර සේවයයි. අපේ බෞද්ධ උරුමයයි. බන්ධනාගාර කොමසාරිස් වැනි මහජන මුදලින් යැපෙන ගිහියකු අතින් ගැළවෙන්නේ හුදු සිවුරක් නොව මේ ශිෂ්ටාචාරයේ අභිමානයේ සළුවයි.

මේ මොහොතේ අප අභියස රඟ දැක්වෙන්නේ භයානක විගඩමක් බවට කිසි සැකයක් නැත. කළු ඩිපෙන්ඩරයක තරුණයකු පැහැර ගෙන ගොස් මරණ තර්ජනය කළ හිරුණිකාලා මැති ඇමතිකම් දරමින් සුවසේ වාසය කරන රටක හුදෙක් මරණ තර්ජනය කළේ යැයි ඥානසාර හිමි සිරගත කර ජම්පරය ඇන්ද වීම ඔස්සේ සතුරා අරමුණු කිහිපයක් සපුරා ගැනීමට කටයුතු කරන්නේ යැයි සිතිය හැකිය.

පළමුවැන්න මේ රටේ සතුරන් සතුටු කිරීමය. දෙවනුව මේ රටේ බුදු දහමට හිමි තැන අහිමි කොට නින්දා කිරීමය. තෙවනුව මේ ආණ්ඩුව රකින අන්තවාදී කල්ලි සතුටු කිරීමය. සිව්වනුව රට වෙනුවෙන් පෙරට එන භික්ෂුව නිහඬ කිරීමය. පස්වනුව සමාව ලබා දී වීරයන් වීමය. සය වනුව එහිමියන්ගේ ගිලිහි ගිය ජනප්‍රියත්වය නැවත ලබා ගැනීමට මග පාදා තමන්ට අවශ්‍ය පරිදි බෞද්ධයන් රැවටීමට යොදා ගැනීමය.

දැන් නිර්මාණය වී ඇති පසුබිම තුළ ඥානසාර හිමිට සිරගෙදර සිට පැමිණ 2020 ජනාධිපතිවරණයට ඉදිරිපත් වී රනිල් හෝ රටේ සතුරු අපේක්ෂකයාට එරෙහිව වැටෙන බෞද්ධ ඡන්ද ප්‍රමාණයක් කඩා දැමිය හැකිය. නො එසේ නම් ඒ ජනාධිපතිවරණයට රනිල්ට හෝ රටේ සතුරාට එරෙහි අපේක්ෂකයාට සහාය දෙන බව පවසා ඔහුට වැටෙන සුළු ජාතික ඡන්ද විශේෂයෙන් මුස්ලිම් ඡන්ද කැඩිය හැකිය.

බොදුබල සේනාව බිහි කළ පාර්ශව පවසන පරිදිම එය දෙපැත්ත කැපෙන අසිපතකි. රටට හිතැති බලවේග ගෙදර ගියොත් අඹු නසී, මග හිටියොත් තෝ නසී තත්ත්වයට පත් වනු අැත. එහෙයින් ජනතාව වෙනදාටත් වඩා පරිස්සමින් ඉවසීමෙන් මේ දෙස බලා සිටිය යුතුය. මේ නාටකට ඔස්සේ සිදු කරන සංස්කෘතික සංහාරයට එරෙහි විය යුතුය. නැතහොත් මේ අසිපත් පහරක් ලක් මවගේ ගෙලට එල්ල විය හැකිය.

Monday, June 11, 2018

කර්නල් රත්නප්‍රිය උතුරෙන් උදුරා නොගනු!

උතුරේ ජනතාව කාකි ඇඳුමට දක්වන්නේ පුදුම බියක් බවත් ඒ ජනතාවට ශ්‍රී ලංකා හමුදාව පෙනෙන්නේ ආක්‍රමණික ස්ත්‍රී දූෂක මිනිමරුවන් පිරිසක් බවත් දෙස් විදෙස් මාධ්‍ය ඔස්සේ සමාජගත කර තිබූ මතයයි. ඒ අනුව හමුදාව උතුරින් ඉවත් කිරීම, ඉතිරි හමුදාව බැරැක්කවලට සීමා කිරීම, මහජන සබඳතා කටයුතුවලින් ඉවත් කිරීම ආදිය යහපාලන ආණ්ඩුව මහා ප්‍රජා සත්කාර ලෙස සිදු කළේය. ඔවුන් සංහිඳියාව ලෙස දුටුවේ එයයි. 

සුනන්ද දේශප්‍රිය වැනි අයකු කිලිනොච්චියේ දැල්වුණු වෙසක් කූඩුවක් පවා සිංහල බෞද්ධ ආක්‍රමණයක් ලෙස දුටු අතර ඒවා හමුදා කඳවුරුවලට සීමා කළ යුතු බව ප්‍රකාශ කෙරිණි. මේ මතය වෙනුවෙන් රාජ්‍ය නොවන සංවිධානවලින් එදා වේල සපයා ගන්නා පිරිස දිවා රෑ නොබලා පෙනී සිටියේය. උතුරේ ජනතාව සමග එතරම් සබඳතා නැති සිංහල ජනතාවට ද මේ අදහස් විශ්වාස කිරීම හැර වෙන විකල්පයක් නොතිබිණි.  

ඔවුන් මාධ්‍ය ඔස්සේ දුටුවේ බුදු පිළිම ඉවත් කිරීමට දෙමළ ජාතික සන්ධානය සංවිධානය කරන උද්ඝෝෂණය. උතුරු පළාත් සභාව නාගදීපයේ බුදු පිළිමය තැනීම තහනම් කිරීමය. උතුරේ බෞද්ධ සිද්ධස්ථාන වසා දැමිය යුතු බවට නඟන හඬය. සිංහල ජනතාව නැවත උතුරේ පදිංචි කිරීමට එරෙහි සටන්ය. උතුරට සිංහල රාජ්‍ය නිලධාරීන් පත්කිරීම පවා ඔවුන්ගේ විරෝධයට හේතු විය. 

එහෙත් ඒ සියල්ල දෙමළ සන්ධානය නිර්මාණය කළ නාඩගම් මිස දෙමළ ජනතාව මුහුණ දෙන සැබෑ ප්‍රශ්න නොවන බව කොටි ත්‍රස්තවාදය පරාජය කර දශකයක් ගත වීමට මත්තෙන් ශ්‍රී ලංකා හමුදාව සනාථ කර තිබේ. පසුගිය දා කිලිනොච්චියේ සේවා කාලය නිමවා පැමිණීමට සුදානම් වූ යාපනය කිලිනොච්චි මුලතිව් අණ දෙන නිලධාරී කර්නල් රත්නප්‍රිය බන්දු මහතා මුහුණ දුන් අත්දැකීම් ලෝකයට නිහඬව එහෙත් ගැඹුරු හඬින් කියා පෑවේ ඒ කතාන්දරයයි. 

දෙමළ ජනතාව තමන්ගෙන් සමුගෙන යන හමුදා නිලධාරියා වෙනුවෙන් මෙසේ හඬා වැළපෙනු දැකීමට බෙදුම්වාදී බලවේග හෝ ඊනියා සංහිඳියා මස් වැද්දන් කිසිසේත් කැමති නොවනු ඇත. එහෙත් ඒ ජනතාව තමාගෙන් සමුගන්නා හමුදා නිලධාරියාගේ වෙන්වීම දරා ගත නොහැකිව හඬ වැළපුණේය. වැඳ වැටුණේය. මල් මාලා පැළඳ වූයේය. මල් වරුසා ඉස්සේය. තම කර මතින් වීදි දිගේ ඔසවා ගෙන ගියේය. 

එදා තමන්ගේ නායකයා ප්‍රභාකරන් බවත් දැන් කර්නල්වරයා බවත් කියමින් තමා අතැර නොයන ලෙස ආයාචනා කළේය. තමන්ගේ සතුට අදින් අවසන් බව කියමින් එක කාන්තාවක් මහ හඬින් හඬා වැළපුණාය. කර්නල්වරයාගේ දෑසින් ගලන කඳුලු සඟවාලීමට ඔහු පැළඳ සිටි අව් කණ්ණාඩියට හැකි වුව ද ඔහුගේ හැඟුම්බර ඉරියව් කෙසේ සඟවාලන්නද? මේ සියල්ල දෙස බලා සිටින විට අපට අවබෝධ වන්නේ ඒ අහිංසක දෙමළ ජනතාවගේ ආරක්ෂකයා ද මිත්‍රයා ද අම්මා ද තාත්තා ද ලෙස කටයුතු කර ඇත්තේ මේ කාකි සූට්කාරයා බවය. 

ඒ ජනතාව ත්‍රස්තවාදය නිමා වූ පසු මෙතෙක් කල් ආරක්ෂා කළේ කාගෙන්ද? දකුණේ සිංහල ජනතාවගෙන්ද? නැතහොත් උතුරේ බෙදුම්වාදී කල්ලි කණ්ඩායම්වලින් ද? කර්නල්වරයා සමුගත් විට ඔවුන් අසරණ වනවා යැයි ඔවුන්ට හිතෙන්නේ ඇයි? දෙමළ සන්ධානය මේ ජනතාවගේ එකම ගැලවුම්කරුවා ලෙස කරන රඟපෑම කෙතරම් විහිළුවක්ද? 

දෙමළ ජනතාව නියෝජනය කරන්නේ යැයි පරසක්වළ ගහන කණ්ඩායම් සහ සාමාන්‍ය ජනතාව අතර ඇත්තේ කෙතරම් පරතරයක්ද? මේ රටේ පාලකයන් ඊනියා සංහිඳියාවේ නාමයෙන් උතුරේ ජනතාවගේ එකම විශ්වාසනීය ආරක්ෂකයා වන හමුදාව ඉවත් කර ඔවුන් බෙදුම්වාදයට බිලි දෙන්නේ ඇයි? මේ ගැටලුවලට අපට පිළිතුරක් තිබේද? නැත්නම් වහාම පිළිතුරු සොයා ගත යුතුය. 

අප සැබවින්ම සවන් දුන්නේ එදා නන්දිකඩාල් වෙරළේ දී අපේ රජුට ගිහින් කියන්න අපි බේරගන්න කියලා යැයි හඬා වැළපුණු කාන්තාවගේ හඬට නොව ඒ ජනතාව වෙනුවෙන් කිඹුල් කදුළු හෙළන ක්‍රිස්තියානි බළල් අතක් වන දෙමළ සන්ධානයේ බෙදුම්වාදී හඬටය. ඉතිහාසයේ අප කරගත් බරපතළම වරද ලෙස එය නූතන ඉතිහාසය ලියන දිනයක ලොකු අකුරින් සටහන් විය යුතුය.

සිය සිංහල ආරක්ෂක නිලධාරියාගේ මරණය හමුවේ හඬා වැටුණු යාපනේ විනිසුරු ඉලන්චේලියන්, උසාවියේ භික්ෂූන් වහන්සේලාට අසුන් පැනවූ චන්ද්‍රසේකරන් විනිසුරුතුමිය සහ මෙදා කර්නල් රත්නප්‍රිය දෙවියකු ලෙස සලකා බුහුමන් කරන කිලිනොච්චි ජනතාවගේ හෘද සාක්ෂිය සමග අප සිටගත යුතුය. ලෙයින් තෙත් වූ භූමියෙන් මතුව එන සැබෑ ළෙංගතුකමේ පුෂ්පය අප දෝතින්ම වැළඳගත යුතුය.  

දැන්වත් මේ රටේ පාලකයන් උතුරේ දෙමළ ජනතාවගේ සැබෑ ප්‍රශ්න හඳනා ගත යුතුය. ඒ ප්‍රශ්නවලට ඒ ජනතාවට විසඳුම් ලබා දිය යුතුය. ඒ ජනතාව නැවත බෙදුම්වාදයට තල්ලු කර දැමීමට කටයුතු කරන කල්ලි කණ්ඩායම් පරාජය කළ යුතුය. ඒ සඳහා ගත යුතු මූලික පියවරක් තිබේ. ඒ සාමාන්‍ය හමුදා නීතිය මේ ජනතා ඉල්ලීම හමුවේ වෙනස් කරමින් කර්නල් රත්නප්‍රිය නැවත ඒ ජනතාවට ලබා දීම මගිනි. 

සාධාරණ ජනතා අපේක්ෂාවලට ඉහළින් ක්‍රියාත්මක වන නීතියක් තිබිය යුතු නැත. එමගින් අපට උතුරේ ජනතාවට ලබා දිය හැකි ලොකුම පණිවුඩය අප ඔබේ හදවතට අපි ඔබේ හඬට සවන් දීමට සූදානම් බවය. අප සහ ඔබ දෙදෙනකු නොව එක් අයකු බවය. කර්නල්වරයා වසර පහක් තුළ උතුරේ ජනතාව අතර දිනාගත් ආදරය ජීවිත කාලය පුරා ඊළම වෙනුවෙන් පෙනී සිටි වික්‍රමබාහු කරුණාරත්නට හෝ වෙනත් එන්ජීඕකාරයකුට දිනාගත හැකි යැයි අප විශ්වාස කරන්නේ නැත. 



එහෙයින් මෙය විශේෂ අවස්ථාවක් ලෙස සලකා ජනාධිපතිවරයා මැදිහත් වී කර්නල්වරයාට උසස් වීමක් ද ලබා දී නැවත උතුරේ ජනතාවට සේවය කිරීමට ඔහුට විශේෂ වරමක් ලබා දිය යුතුය. ඔහු යටතේ තවත් එවැනි නිලධාරි පිරිසක් පුහුණු කළ යුතුය. එය රටේ දිගුකාලීන සාමය ද සැබෑ සංහිඳියාව ද සොයා යන ගමනේ මං සලකුණක් වනු නො අනුමානය.    

Thursday, June 7, 2018

අඹර හිමිගේ කතා වස්තුව

ජනවාරි 8 අපේ රටට යහපාලනය පිරුණු සාධාරණ සමාජයක් දිනාදීමට සටන් බිමේ පෙරමුණේ සටන් කළ අඹර හිමි පිළිබඳ මේ රටේ බහුතර ජනතාව තුළ මෙන්ම මා තුළ ද ඇත්තේ අසීමාන්තික ගෞරවයකි. භක්තියකි. ඒ ගෞරවය කෙතෙක් ද යත් රට්ටු එහිමියන්ගේ දෙමාපියන් පවා නිතර සිහිකරති.
එවැනි පසුබිමක උන් වහන්සේ කෙරෙහි වෛර බැඳගත් එක්තරා මිත්‍යාදෘෂ්⁣ටික පිරිසක් අර්ජුන් ඇලෝෂියස් නම් නීලකාස සොර දෙටුවකුගෙන් අල්ලස් ගත්තේ යැයි බොරු චෝදනාවක් රට පුරා ප්‍රචාරය කර හැරීම පිළිබඳ මුළු රටම කම්පාවට පත් විය.
රට දෙගොඩතලා සංවර්ධනය කළ ආසිරි වැසි නැවතිණි. වෙනදා මෙන් නැගෙනහිරෙන් ඉරු නැඟුණේ නැත. මල් නොපිපීම පර විය. කුරුල්ලෝ සෝ ගී පමණක් ගයන්නට වූහ. පොළෝ මහී කාන්තාව සලිත විය.
මැදමුලනේ මහින්ද නම් පෝරිසාදයකු සමග එකතු වී රටේ මහ බැංකුව කඩා කෙළක් ධනය සොරකම් කළ චෞරයකු සම්බන්ධ කර අසාධාරණය පරදා සාධාරණ සමාජයකක් තැනීමට කැප වූ අඹර හිමියන්ට අපහාස කර විට සොබාදහම පවා කම්පා වීම අසාධාරණ නොවේ.
මහින්ද ඇලෝෂියස් ලවා සොරා ගත් මුදලින් පවුලේ සාමාජිකයන්ට එක ගණනේ හෙලිකොප්ටර් ගත්තේය. ලැම්බෝගිනි ගත්තේය. ඇමරිකාවේ බකිංහැම් මාළිගාවෙන් රත්තරන් අස්පයන් ගත්තේය. ඉතිරි ඩොලර් බිලියන 18 පිටරට බැංකුවක තැන්පත් කර අැත. මෑතක ඇලෝෂියස් පාර්ලිමේන්තු මැති ඇමතිලා ඇතුළු 118 දෙනෙකුට බෙදා දී තිබුණේ ඔහුට ලැබුණු සුළු මුදලින් කොටසකි.
මෙවැනි අපරාධකාරයන් සමග සාධාරණ සමාජයක් තැනීමට කැපවූ අප හිමියන් සබඳතා නොපවත්වන බව රට්ටුන්ට මෙන්ම මට ද ගූගල් බැලුම් මෙන් විශ්වාසය. කෙසේ වුවද මේ අවලාද මුසාවාද වරුසාවට මගේ අප්‍රසාදය සහ කනගාටුව පළ කිරීමට සිතූ මම උන් වහන්සේ ⁣බැහැදැකීමට පන්සලට ගියෙමි.
පන්සලේ මකර තොරණ යටින් වැටුණු සුදු වැලි පාරේ ඉදිරියට ඇදුණු මට අරලිය ගසක් යට භාවනාවේ නිමග්න අඹර හිමියන් ඈතදීම දැකගත හැකිවිය. සෙමෙන් ඒ අසලට ගිය මට "සාධාරණ සමාජයක් වේවා" "සාධාරණ සමාජයක් වේවා" යැයි උන් වහන්සේ මුමුණන හඬ ඇසෙයි. මෙවන් මහා ගුණැති අප හිමියන්ට නැඟෙන අවලාද සිහිවී සිතට නැඟුණු වේදනාව සමනය කරගත්තේ බුදුන්ට චිංචි මානවිකාව යොදා ගෙන නැඟූ අවලාද සිහි කිරීමෙනි.

අඹර හිමි අඩ හෝරාවකට පමණ පසු සාධාරණුස්‍රති භාවණවෙන් මිදුණු විට ඉදිරියට ගිය මම උන් වහන්සේගේ දෙපා නමැද එකත්පස් වීමි.
'අපේ මහත්තයා හදිසියේම පන්සලට ආවේ මං ගැන රට්ටු කියන දේවල් නිසා කියලා මම දන්නවා.' හිමියෝ මගේ සිත කියවන්නට වූහ.
'එහෙයි, හාන්දුවනේ, නීලකාස හොරෙකුගෙන් සල්ලි ගත්තා කියලා බොරු කියන එවුන් මොන අපායක යයිද කියලා මං මේ කල්පනා කළේ.'
'නෑ අපේ මහත්තයෝ ඒ කතාව බොරුවක් නෙමේ.'
'මොනවා, ඔබ වහන්සෙත් ඒ බොරු විශ්වාස කරනවාද? ගොබෙල්ස් න්‍යාය මේ තරම් බලවත් කියලා මං නම් කවදාවත් හිතුවේ නෑ අපේ හාන්දුවනේ..'
'නෑ නෑ මහත්තයෝ, මාව විශ්වාස කරන්න. මම ඇලෝෂියස් කියන ඇත්තාගෙන් මූල්‍යමය පරිත්‍යාගයක් ඉවසා වැදෑරු බව ඇත්ත. ඒත් මම ඒක ක⁣ළේ යහපත් අරමුණින්. ක්‍රියාව නෙමේ අරමුණයි වැදගත්. එහෙමයි බණේ තියෙන්නේ.'
'හොරෙක් දෙන සල්ලි ඉවසා වදාරන්න පුළුවන් ද හාමුදුරුවනේ යහපත් අරමුණින්. බුදු හාමුදුරුවෝ සල්ලි සර්පයකුට නේද උපමා කළේ? ' වියවුලට පත් මම ඇසීමි.
'මුලදි චණ්ඩා⁣ශෝක කියලා අඳුන්නපු අයෙක් තමයි පස්සේ ආසියාවේ බෞද්ධ සමාජයක් හදන්න ආධාර කළේ මහත්තයෝ. ඉතින් ඇලෝෂියස් ඇත්තාට මෙදා සාධාරණ සමාජයක් හදන්න උදව් වෙන්න බැරිද? අංගුලිමාල කියන මිනිමරුවා පස්සේ අංගුලිමාල මහ රහතන් වහන්සේ වුණු බව අමතක කරන්න එපා අපේ මහත්තයෝ. අනෙක බුදු හාමුදුරුවෝ සර්පයාට උපමා කළේ ඉන්දියානු රුපියල් මිස ලංකා රුපියල් හරි ඩොලර් හරි නෙමේ.' මගේ අඳුරු සිත දහමින් ආලෝකවත් කරමින් හිමියන් දෙසූහ.
අඹර හිමියන් කෙරෙහි තවත් පැහැදුණු මම දොහොත් මුදුන් දී 'ආලෝකෝ උදපාදී!' යැයි මහ හඬින් කියා 'සාදු සාදු සාදු' යැයි තෙවරක් තෙපලා උන් වහන්සේ පාමුල වැඳ වැටුණෙමි.

Thursday, May 31, 2018

ජවිපෙ විස්ස අවසාන ඊළාම් තුරුම්පුව ද?

කිසිවකු සීදේවි යැයි කියා මූදේවිට වරක් දෙරවක් රැවටීම ඒ හැටි අරුමයක් නොවේ. එහෙත් දවල් වැටුණු වළේ රෑ වටෙන්නා සේ නැවත නැවත රැවටෙන්නේ නම් එය මහ ඛේදවාචකයකි. මෙවැනි තත්ත්වයකට රටක ජනතාව වැටුණ කල ඒ රට දිනෙන් දින අගාධයට යනු මිස ගොඩ ඒමක් නම් නැත. අද අපෙ රට හමුවේ ඇත්තේ එවැනි ඛේදවාචකයකි. 

2015 යහපාලනය යන සර්ව පිත්තල වචනවලට මුවා වී විදෙස් බලවේග රටේ පාලනය ජනතාවගෙන් උදුරා ගත්තේය. කොටි ත්‍රස්තවාදය පරාජය කොට රටට සංවර්ධනයේ අරුණළු රැගෙන ආ ආණ්ඩුව බිඳ දැමූ සුද්දෝ we are part of this victory යැයි උදාන වාක්‍ය පැවසූහ. එය කෙතරම් ජුගුප්සාජනක කුමන්ත්‍රණයක් කිවහොත් සිය ජනාධිපතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශනය ලීවේ කවුද කියා එදා පත් වූ ජනාධිපතිවරයා පවා තවම දන්නේ නැත. 

එතෙක් පැවති නිවහල් රට දැන් බටහිර ඉන්දිය කොලනියකි. බටහිර ඉන්දිය ස්වාමීවරුන්ගේ උවමනා එපාකම් අනුව ඔවුන් විසින් පත් කළ ආණ්ඩුව සහ ආණ්ඩුකාරවරු අද රට පාලනය කරති. යහපාලන සුනාමියට පසු රට පාලනය කිරීම යනුවෙන් සිදුවූයේ ජනාධිපතිවරයාම පවසන පරිදි ඔහු පවා නොදන්නා බලවේගයක් විසින් ලියා දුන් කොලයක් අනුව වැඩ කිරීමය. (අදත් සිදුවන්නේ එයම බව කිව යුතුද?) එතෙක් පැවති ආසන 142ක් සහිත ආණ්ඩුව පෙරළා දමා ආසන 42කින් සමන්විත එජාප නායකයා අගමැති කෙරිණි. ලෝක පාර්ලිමේන්තු ඉතිහාසයේ මෙවැනි විගඩමක් සිදු වූ පළමු සහ අවසාන අවස්ථාව එය විය යුතුය.

රට ප්‍රජාතන්ත්‍රවාදයෙන් සුඛිත මුදිත කිරීමට 19 වෙනි ව්‍යවස්ථා සංශෝධනය ගෙන වඩම්මා ගෙන ආවේ ඊට පසුය. මේ සංශෝධනය සමග රටේ අධිකරණය, රාජ්‍ය සේවය, පොලිසිය ආදි ආයතන ස්වාධීන වී ජනතාගේ මානව අයිතිවාසිකම් සුරක්ෂිත ශිෂ්ට දේශයක් උදාවන බවට නියත විවරණ ලැබිණි. එහෙයින් 19 නමැති මල් වට්ටියට අත ගැසීම රටේ ප්‍රජාතන්ත්‍රවාදය ගරු කරන සියලු බලවේගවල පරම යුතුකම සහ වගකීම බව පරසක්වළ ගැසුවේය. 

හොරු අල්ලන්න බලයට පැමිණි පාලකයන් මහ බැංකුව කොල්ලකෑවේ මේ අතරය. ඕනෑම රටක බැංකු කොල්ලයක් සිදු විය හැකි වුවද රටක ආණ්ඩුවක් විසින් සිය රටේ මහ බැංකුව කොල්ල කෑ ඉතිහාසයේ ප්‍රථම සහ අවසාන අවස්ථාව එයයි. 2015 උදා වු යහපාලනයට සහ 19 වෙනි ව්‍යවස්ථා සංශෝධනය ඔස්සේ බලගැන්වූ දේශපාලන ඇඟිලි ගැසීම් නොමැති නීතියේ ආධිපත්‍යයට පිං සිදුවන්නට සිංගප්පූරුකාරයකුට රටේ මහ බැංකුව රිසි සේ කොල්ලකා නිදහසේ නැවත සිය රට බලා ගොස් ජීවත් වීමේ භාග්‍ය උදාවිය. 2014 වන විට කොටි සංවිධානයේ ජාත්‍යන්තර සබඳතා ජාලයේ ප්‍රධානියා වූ කේපී මැලේසියාවට ගොස් රැගෙන ඒමට තරම් ප්‍රබල බුද්ධි අංශයක් සහ ජාත්‍යන්තර සබඳතා ජාලයක් පැවති රටක එවැන්නක් සිදුවීම කෙතරම් උත්ප්‍රාසජනකද?

මේ මහා සහගහන අපරාධයට එරෙහිව ඒ අපරාධයේ මහා මොළකරුට එරෙහිව පාර්ලිමේන්තුවට ගෙන ආ විශ්වාසභංගය මහ බැංකුවෙන් කොල්ල කෑ මුදල් සහ කොටි ඩයස්පෝරාව පිට රටවලින් පොම්ප කළ මුදල්වලින් මිලට ගත් මැති ඇමතිවරු ලවා පරාජයට පත් කෙරිණි. ජනතා මුදල් මහ දවල් කොල්ලකෑ බැඳුම්කර හොර රැළ පාර්ලිමේන්තුවේ දී ආරක්ෂා කළ කල්ලියේ මන්ත්‍රීවරු සියයකට වැඩි පිරිසකට එලෙස ජනතාවගෙන් කොල්ලකෑ මුදල් අල්ලස් ලෙස ලබා දී ඇති බව දැන් රටට රහසක් නොවේ. මේ අතර 20 වෙනි සංශෝධනය ගෙන එන ජවිපෙ නායකයන් ද සිටින බව පැවසෙයි.

මහ බැංකු හොරුන්ගෙන් පගා ගෙන විශ්වාසභංගය පරාජය කිරීමට අත එසවූ සරත් ෆොන්සේකලා ගම්පෙරළියේ නන්දා පියල් දුන් ලියුම අල්මාරිය අස්සට විසි කළා වැනි විහිළු කතා කියමින් මේ රටේ ජනතාවගේ බුද්ධියට නිගා දෙනු බලා සිටීමට අද අපට සිදුව තිබේ. සැබවින්ම 19 වෙනි ව්‍යවස්ථා සංශෝධනය ඔස්සේ සිදුව ඇත්තේ මෙවැනි මහා අපරාධයක් සිදු වුව ද පියවරක් ගත නොහැකි තැනට විධායක ජනාධිපති ධුරයේ තටු කපා දැමීම පමණි. නො එසේ නම් 2015 ජනවාරි 9 වෙනිදා ආසන 142ක් සහිත සන්ධානයක් යටතේ දි.මු. ජයරත්න අගමැති ධුරයේ සිටියදීම ආසන 42ක් පමණක් තිබූ රනිල් අගමැති කළ මෛත්‍රීපාල සිරිසේනට දැන් රනිල් පහකර වෙනත් අගමැතිවරයකු පත් කිරීමට කිසිම නොහැකියාවක් නැත. 

අවසානයේ ආණ්ඩුව රටට කෙතරම් විනාශකාරී වුවත් වසර හතරහමාරක් ගෙවෙන තුරු එය විසුරුවා හැරීමේ බලය 19 වෙනි ව්‍යවස්ථා සංශෝධනය විසින් ජනාධිපතිවරයාගෙන් උදුරා ගෙන තිබේ. වෙනත් ලෙසකින් කිවහොත් 2003 චන්ද්‍රිකාට රනිල් පාලනය කර ගැනීමට තිබූ බලය අහිමි කර තිබේ. මේ වන විට ජනතාවගේ ජීවන බර, විරැකියාව ඉහළ ගොස් රටේ සියලු ආර්ථික දර්ශක පහළ වැටී දූෂණය ඉහවහා ගොස් රටම දෙකොණ විලක්කුවක් සේ ඇවිළි ගිය ද රටේ ජනාධිපතිවරයාට කළ හැක්කේ අනාරාධිතව උත්සව සභාවලට ගොස් කලින් කී බොරු වෙනුවට අලුත් බොරු කියා ඇදගෙන නෑමට පමණි. 

යහපාලන නියමුවකු වූ සෝභිත හිමිගේ සැමරුමට ඇමතිකමින් පහ කළ පිවිතුරු රවී කරුණානායක වැනි අයකුට පවා ආරාධනා කරන පසුබිමක එම බලවේගය විසින් බලයට ගෙන ආ වත්මන් ජනපතිට ආරාධනා නොකිරීමෙන් 19 ඔස්සේ ජනපති ධුරයට අත්ව ඇති ඉරණම, මේ ආණ්ඩුව තුළ ඇති ගිනි කන්ද පමණක් නොව යහපාලන විහිළුවේ සැබෑ හෙළු ද ප්‍රදර්ශනය වෙයි. 

මෙවැනි පසුබිමක 20 වෙනි සංශෝධනය ඔස්සේ රටේ ජනාධිපතිවරයා තෝරා ගැනීමට රටේ ජනතාවට ඇති බලය ඒ ජනතාවගෙන් උදුරා ගෙන පාර්ලිමේන්තුවට පැවරීමට යෝජනා කිරීම අප අවබෝධ කරගන්නේ කෙසේද? එහි අරමුණ කුමක්ද? බැඳුම්කර හොරුන්ගෙන් පාගා ගෙන ඒ හොරකමට එරෙහි විශ්වාසභංගය පරාජය කිරීමට අත එස වූ හොර කල්ලියකට මේ රටේ ජනාධිපතිවරයා තේරීමේ බලය ලබා දෙන්නේ රටේ ප්‍රජාතන්ත්‍රවාදය සුරක්ෂිත කිරීමට යැයි අප සිතිය යුතුද? 

සැබවින්ම 20 වෙනි ව්‍යවස්ථා සංශෝධනය ඔස්සේ සිදු කිරීමට උත්සාහ කරන්නේ රටේ විධායක ජනාධිපති ධුරය වෙනුවට විධායක අගමැති ධුරයක් නිර්මාණය කිරීමටය. බෞද්ධ ලේබලය සහිත පොදු අපේක්ෂකයකු ලවා පවා ඉටුකරගත නොහැකි වූ ඊළාම් ගමනේ ඊළඟ පියවර තැබීමට නූතන ඩොයිලි වන රනිල් වික්‍රමසිංහ පන්නයේ නායකයකු රටේ විධායකය බවට පත් කළ යුතුය. ඒ රනිල් වික්‍රමසිංහ, රාජිත සේනාරත්න හෝ මංගල සමරවීර වැන්නකු විය හැකිය. එවැනි අයකුට රටේ සමස්ත ජනතාවගේ ඍජු ඡන්දයෙන් ජනාධිපති ධුරයට පත් විය නොහැකිය. ඒ බහුතර සිංහල ජනතාව මෙවැනි පිල්ලිවලට එරෙහිව ඡන්දය භාවිත කරන නිසාය.

එහෙයින් කුමන නූල් සූත්තරය මගින් හෝ රටේ විධායකය තෝරන බලය ජනතාවගෙන් උදුරා ගෙන පාර්ලිමේන්තුවට ගතයුතුය. එවිට අර්ජුන් ඇලෝෂියස්ට පවා සල්ලිවලට ගත හැකි සරත් ෆොන්සේකලා වැනි සිංහල යැයි කියන මැති ඇමතිලා කොටි ඩයස්පෝරවේ මුදලින් මිලට ගෙන එජාප, ජවිපෙ, දෙමළ සන්ධානය ඇතුළු සුළු වාර්ගික පක්ෂ මන්ත්‍රීවරුන්ගේ ද සහාය ඇතිව බෙදුම්වාදී පිල්ලියක් රටේ විධායකයට පත්කිරීම ඒ හැටි කජ්ජක් නොවේ. 

ඒ සඳහා කළ යුත්තේ යහපාලනය, ප්‍රජාතන්ත්‍රවාදය, මානව අයිතිවාසිකම් වැනි බැලූ බැල්මට අතිශය සාධාරණ සටන් පාඨ ඔස්සේ විධායකය මහා භයානක යකකු කර ජනතාව සතු විධායකය තෝරන බලය බෙදුම්වාදී බලවේගවලට මුදල් බලයෙන් පාලනය කළ හැකි පාර්ලිමේන්තුවට ගැනීමය. කෙසේ හෝ මේ බාධකය ජය ගත හොත් පළමුව 13 වෙනි සංශෝධනය සම්පූර්ණයෙන් ක්‍රියාත්මක කිරීම ඔස්සේ උතුරේ ඊළාම් රාජ්‍යය බිහි කර ගැනීමට වසර කිහිපයකට වඩා ගත වෙතැයි සිතිය නොහැකිය. 

එහෙයින් මේ ගොනා හැරෙන්නේ පොල් පැලයට බව ජාතිය වහා අවබෝධ කර යුතුය. බෙදුම්වාදී බලවේග ජවිපෙ ලවා උත්සාහ කරන්නේ 20 නමැති අවසාන ඊළාම් තුරුම්පුව ගැසීමටය. එය පරාජය කරනු හැර විකල්ප නැත. එපමණක් නොව 19 වැනි සංශෝධනය ඔස්සේ සිදු වූ මහා නස්පැත්තිය වහාම නිවැරදි කිරීමට පෙරමුණ ගත යුතුය. මේ රටේ ජනතාව 2015 යහපාලන විප්ලවය ඔස්සේ ලැබුණු ප්‍රජාතන්ත්‍රවාදය රහ බලමින් නැවත ඒ බොරුවට රැවටෙන්නේ නම් මේ රටට අනාගතයක් තිබිය නොහැකිය.   

Friday, May 25, 2018

යාපනේ පුස්තකාලය ගිනි තැබුවේ කවුද?



අපි පොත් 97 000ක් සමග යාපනය පුස්තකාලය ගිනි තැබීමට තරම් ශ්‍රේෂ්ඨ ජාතියක් වූයෙමු යැයි ධර්මසිරි බණ්ඩානායක මහතා සෝපාහාසයෙන් පවසා තිබේ. ඔහු මේ කියන්නේ යාපනට පුස්තකාලය ගිනි තැබුවේ සිංහලයා බවය. 2500 වසරක අභිමාණවත් ඉතිහාසයක් සහිත ශ්‍රේෂ්ඨ ජාතියක් යැයි කියන සිංහලයා එවැනි නීච ක්‍රියාවක් කිරීමට තරම් අශිෂ්ට බවය.
එහෙත් කලාකරුවකු, උගතකු තබා සාමාන්‍ය නූගත් සිංහලයකු පවා දළඳා මාළිගාවට ගැහුවේ දෙමළා යැයි කියන්නේ නැත. ශ්‍රී මහා බෝධිය අසළ සිත් ගත් උවැසි උවැසියන් මරා දැමුවේ දෙමළා යැයි කියන්නේ නැත. ඔවුන් කියන්නේ මාළිගාවට කොටි ගැසුවා හෝ ශ්‍රී මහ බෝධියට කොටි ගැසූවා කියාය. එම ත්‍රස්ත ක්‍රියා සාමාන්‍ය දෙමළ ජනතාවගේ ප්‍රහාර නොවන බව අවබෝධ කර ගැනීමට නොහැකි තරම් ඒ ජනතාව මන්ද බුද්ධික නැත.
ධර්මසිරි බණ්ඩාරනායක මහතාගෙන් ඒ ගැන විමසුවහොත් කියනු ඇත්තේ එය විමුක්ති කොටි සංවිධානයේ ක්‍රියාවක් බවය. පීඩිත ජනතාවගේ විමුක්ති අරගලවල දී එවැනි දෑ සිදුවන බවත් තමන් හැම විටම අරගලය සමග සිටින බවත් කියනු ඇත. කොටින්ම එම ප්‍රහාර බෞද්ධයාගේ මුදුන් මල්කඩ වන් දළඳා මාළිගාවට සහ ශ්‍රී මහ බෝධියට පහර දීමට තරම් දෙමළා ශ්‍රේෂ්ඨ ජාතියක් වූයේ යැයි ඔහු කිසි විටක උත්ප්‍රාසයට නඟන්නේ නැත. එම ඛේදවාචක වර්ගවාදී ලේබල අලවා දෙමළාට පහර දෙන්නට යොදා ගන්නේ නැත.
යාපනය පුස්තකාලයට ගිනි තැබූවේ 1981 ජුනි 1 වෙනිදාය. ඊට හේතුව වූයේ ඊට පෙරදා එනම් මැයි 31 වන දා යාපනේ පැවති ද්‍රවිඩ එක්සත් විමුක්ති පෙරමුණේ දේශපාලන රැලියකට ආරක්ෂාව සපයමින් සිටි සිංහල පොලිස් නිලධාරීන් තිදෙනකු වෙඩි තබා ඝාතනය කිරීමය. ඒ සමග උසි ගන්වනු ලැබූ පිරිසක් යාපනය පුස්තකාලය ගිනි තබා ද්‍රවිඩ එක්සත් විමුක්ති පෙරමුණේ කාර්යාලට ද පහර දුන්හ.
යාපනය පුස්තකාලයට ගිනි තැබීම බුදුන් වහන්සේට වෙඩි තැබීම වැනි සිද්ධියක් බව 2006 වසරේ දී මහින්ද රාජපක්ෂ ප්‍රකාශ කළේය. යාපනය පුස්තකාලය ගිනි තැබීම පිළිබඳ එවක පැවති තම එජාප ආන්ඩුව වෙනුවෙන් කනගාටුව ප්‍රකාශ කරන බව රනිල් වික්‍රමසිංහ 2016 වසරේ දී ප්‍රකාශ කළේය. ඔහු කනගාටුව ප්‍රකාශ කරන විට එදා එජාප ආණ්ඩුව ඇති කළ කළු ජූලිය, යාපනය පුස්තකාලය ගිනි තැබීම ඔස්සේ බුර බුරා ඇවිළුණු වර්ගවාදී ඊළාම් ගින්නට ජීවිත දහස් ගණනක් බිලි වී තිබිණි.
එජාප මැරයන් විසින් කළ මේ නිහීන ක්‍රියා නිසා ඇවිළුණු ගිනි නිමා දැමූ පසු ධර්මසිරි බණ්ඩාරනායකලා නැවත පරණ තුවාල පාරන්නේ හුදෙක් එකිනෙකා අතර වෛරය අවිශ්වාසය නැවත ඇවිළීම පිණිසය. ඒ ගින්නෙන් සුරුට්ටු දැල්වීමටය. එය මේ රටේ සාමයට ළැදි සිංහල දෙමළ මුස්ලිම් සියලු දෙනා අවබෝධ කරගත යුතුය. එසේම මේ විනාශය පිටිපස සිටි සැබෑ අපරාධකරු එජාපය බව සඟවා සිංහලයාගේ ඇඟෙ ගසන්නේ වර්තමාන එජාප පාලනය ආරක්ෂා කිරීමට බව වටහා ගැනීම වැදගත්ය.
අනෙක් අතට එම පුස්තකාලයේ තිබූ පැරණි පුස්කොල පොත්වල ලියා තිබුණේ යාපනේ දෙමළ ජනතාවගේ ඉතිහාස කකාව ද බව ද ඒවා විනාශ වීම ඔස්සේ අහිමි වූයේ සිංහලයාගේ උතුරේ ඉතිහාසය වීමට ද ඇති ඉඩ බෙහෙවින් වැඩිය. එසේ බලන කල යාපනය පුස්තකාලය ගිනි තැබීම ආශීර්වාදයක් වී ඇත්තේ බෙදුම්වාදීන්ට මිස මේ රටට ආදරය කරන පිරිසට නොවේ.
කෙසේ වුව ද තම සිත් සතන්හි පුපුරු ගසන සිංහල බෞද්ධ විරෝධය මේ ආකාරයට එළියට දැමීම පිළිබඳ අප සතුටු විය යුතුය. එවිට මේ රටේ කලාකරුවන්ට, බුද්ධිමතුන්ට මුවා වී සිටින භයානක අවතාර හොලමන් හඳුනාගත හැකිය. මේ රටේ සිංහල දෙමළ විරසකය කිසි දිනක සුව නොවන්නට ඉඩ දෙන්නේ මෙවැනි මානව හිතවාදී යැයි කියන වර්ගවාදී, බෙදුම්වාදී, සිංහල බෞද්ධ විරෝධීන් බව අප හඳුනාගත් දිනයක මේ රටට සාමය උදාවනු ඇත. මේ බලවේග විසින් ගොඩනඟන ප්‍රාකාර බිඳ දමා සිංහල දෙමළ ජනතාව නැගෙනහිර බටහිර ජර්මනිය මෙන් නැවත එක්වනු ඇත.

Tuesday, May 1, 2018

කිත් නෝයර්ට ගැහුවේ ගෝඨාද?

යුද හමුදාව හමුදාපතිගේ පෞද්ගලික බූදලයක් නොවේ යැයි නේෂන් පත්තරේ කර්තෘ කිත් නෝයර් ලිපියක් ලීවා යැයි ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ ඔහු පැහැර ගෙන ගොස් පහර දෙන්නේ ඇයි?
එම පැහැර ගැනීම කළේ ගෝඨභය නම් එවකට විපක්ෂ නායක වත්මන් අගමැති රනිල් වික්‍රමසිංහ පාර්ලිමේන්තුවේ දී කිත් නොයර් පැහැර ගත්තේ හමුදාපති සරත් ෆොන්සේකාගේ කණ්ඩායම යැයි කීවේ ඇයි?
එජාප පාර්ලිමේන්තු මන්ත්‍රී ජෝෂප් මයිකල් පෙරේරා ද එම චෝදනාවම කළේ ඇයි? සරත් ෆොන්සේකා එම චෝදනාව යටතේ වහාම අත්අඩංගුවට ගතයුතු බවට ඔවුන් ආණ්ඩුවට බලකළේ ඇයි?

අනතුරුව සරත් ෆොන්සේකා ජනාධිපතිවරණ පොදු අපේක්ෂකයා බවට පත් වූ පසු ඔහු නිවැරදිකරු බවට පත් වූයේ කෙසේද? කොළඹින් ඡන්ද 5000ක් ලබා අන්ත පරාජයට පත් සරත් ෆොන්සේකාට පාර්ලිමේන්තු අසුනක් ලබා දී කැබිනට් ඇමතිකමක් ද ලබා දුන්නේ එම චෝදනා ඉල්ලා අස්කරගෙන ද?
සරත් ෆොන්සේකා එජාපය සමග සිට ගන්නා තුරු එල්ල වූ කිත් නොයර්ට පැහැර ගැනීමේ චෝදනාව අනතුරුව ගෝඨාභය වෙත එල්ල වන්නේ උපන් දා සිට කරපු පව් නැත වරක් වැන්දොත් කැලණියේ යැයි කියන්නාක් මෙන් එජාපය සමග සිටගත් විට ෆොන්ස්කා කළ සියලු පව් සේදී ගෝඨාට ඒ පව් ආරෝපණය වූ නිසාද?

විධායක ජනාධිපති ධුරය අහෝසි කරන්නේ ඇයි?

13 වන ව්‍යස්ථා සංශෝධනය සහ පළාත් සභා පනත ශ්‍රේෂ්ඨාධිකරණයට යොමු වූ අවස්ථාවේ එය විභාග කර තීන්දුව ලබා දීමට අගවිනිසුරු එස්. ෂර්වානන්ද ඇතුළු විනිසුරුවරුන් නව දෙනකු සහභාගී වී තිබේ. අගවිනිසුරු ඇතුළු විනිසුරුවන් පස් දෙනෙකුගේ මතය වී ඇත්තේ එමගින් රට ෆෙඩරල් ස්වරූපයකට යොමු නොවන බවයි.
එහි දී ඔවුන්ගේ මූලික තර්කය වූයේ පළාත් සභාවලට ලැබෙන විධායක බලතල ට ෆෙඩරල් නොවන බවය. ඉතිරි විනිසුරුවරුන් 4 දෙනා ඊට එකඟ වූයේ නැත. එහෙයින් 13 වැනි ව්‍යවස්ථා සංශෝධනය අනුමත වීමට පාර්ලිමේන්තුවේ 2/3 පමණක් නොව ජනමතවිචාරණයක් ද අවශ්‍ය බව ඔවුන්ගේ මතය විය. කෙසේ වුව ද බෙදුණු තීන්දුව බහුතර මතය ක්‍රියාත්මක විය.

විධායක ජනාධිපතිවරයා විසින් ආණ්ඩුකාරවරයා ඔස්සේ ප්‍රධාන ඇමති හා ඇමති මණ්ඩලයට ලබා දෙන හෙයින් ද එය අවසානයේ ජනාධිපතිගේ පාලනයට යටත් වන හෙයින් ද 13න් රට ෆෙඩරල් නොවන බවය.

එදා 13 නිසා රට ෆෙඩරල් නොවන්නේ යැයි කී පිරිස ද එසේ කීවේ විධායක ජනාධිපති ධූරය නිසා රටේ ඒකීයභාවය සුරක්ෂිත වන්නේය යන තර්කය මත පිහිටාය. එසේ නම් විධායක ජනාධිපති ධුරය අහෝසි කළ විට රට ෆෙඩරල් නොවන්නේ ද? විධායක අගමැතිවරයාට එම බලතල ලබා දෙන බවට බෙදුම්වාදීන් පවසන මතය අප පිළිගත යුතුද?
එම බලතල විධායක අගමැතිවරයාට ලබා දීමට ඔවුන් උත්සාහ කරන්නේ ඇයි? එම බලතල විධායක ජනාධිපතිවරයා යටතේ පවතිනවාට වඩා විධායක අගමැතිවරයා යටතේ තැබීමට ඔවුන් කැමති වන්නේ කුමන අරමුණකින් ද? එමගින් රටේ ඒකීයභාවය තවත් දුර්වල කළ හැකි නිසා ද? මේ හැරෙන්නේ පොල් පැලයට නෙමේද? ඒ රටේ ඒකීයභාවය රැකීමට ද නැතිනම් නැසීමට ද?
අවිචාරයේ 19 වෙනි ව්‍යවස්ථා සංශෝධනයට අත උස්සා විධායක ජනාධිපති ධුරය දුර්වල කළ ගමනේ දෙවන ඉනිමට ඒකාබද්ධ විපක්ෂයේ ඇතැමුන් සහාය වන්නටය සුදානම් වන්නේ 19 නිසා රටට සිදු වූ හානිය පිළිබඳ තක්සේරුවක් ඇතිව ද? අද රටම අරාජික වී ඇත්තේ 19 නිසා නොවේද?

Thursday, April 19, 2018

වී වෙනුවට ප්ලේන් බාන වී ගබඩාව

ඊයේ දින මත්තල වී ගබඩාවට ලොව විශාලතම භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානාව වන ඇන්ටනොව් 225 ගුවන්යානයක් ගොඩ බා තිබේ. එම ගුවන්යානයට තෙල් සහ කාර්ය මණ්ඩලයට පහසුකම් ලබා දීම මගින් රුපියල් මිලියන 13ක විදේශ විනිමයක් රටට ලැබී තිබේ. මේ ලෝකයේ වී ගබඩාවක් එක් දිනක් තුළ ලද වැඩිම මුදල බවට කිසිදු සැකයක් නැත.

මෙවැනි විදේශ විනිමයක් උපයන්නේ 2015 වසරේ සිට මත්තල ජාත්‍යන්තර ගුවන්තොටුපළේ වී ගබඩා කරමින් ද ජාත්‍යන්තරයේ ගුවන්තොටුපළක් ලෙස නිර්මාණය වෙමින් තිබූ නාමය විනාශ කරමින් ද අපේ ආණ්ඩුව කරගෙන ගිය විශිෂ්ට වැඩපිළිවෙළේ ප්‍රතිඵලයක් ලෙසය.
දුරදිග බලා රට ගැන සිතා කටයුතු කරන අපේ යහපාලන ආණ්ඩුව නොවන්නට ලොව විශාලතම ගුවන් යානාවක් කිසි දිනක වී ගබඩාවකට පාත් කිරීම පවා සිහිනයකි. 2015 වෙනසට පාර කියා මත්තල වී ගබඩාවටත් ලොව විශාලතම ගුවන්යානා රැගෙන ආ ජන බලය දිගුකල් දිනේවා! වී වෙනුවට ගුවන්යානා බාන වී ගබඩාවක් රටට දිනාදුන් යහපාලනාණ්ඩුව වැජඹේවා!

Thursday, April 5, 2018

විශ්වාසභංගය සහ අනාගතය‍

සිරිසේනගේ ශ්‍රීලනිපයේ 45ක් විතර පිරිස අතරින් 22ක් විතර විශ්වාසභංගයට ඡන්දය ප්‍රකාශ කළේ නෑ. ඒ කියන්නේ විශ්වාසභංගයට පක්ෂ වුණේ නෑ. විරුද්ධ වුණා. ඊට පක්ෂ වුණේ 16 දෙනයි. ඒ අය කළේ සිරිසේනගේ මතයට එරෙහිව යාම.
රනිල් තමන්ට පක්ෂ වුණු අයට වගේම විරුද්ධ නොවී පක්ෂ වුණු අයටත් ස්තූති කළා. සිරිසේන අවසාන මොහොත දක්වා හොරගල් අහුලලා කීවේ ඡන්දයට මුහුණ නොදී රනිල් රකින්න කියලා. ඒ නිසා තමා වීරකුමාර, ශ්‍රීයාණි වගේ ඔහුගේ සමීපතයෝ විසි ගණනක් ඡන්දය මගහැර ගියේ.
සිරිසේන මුල දි ඊට පක්ෂව සිය පිරිස උසි ගන්වා සුපුරුදු ලෙස අවසාන මොහොතේ පාවා දුන්නා. සිරිසේන වගේම මේ අයත් පක්ෂ ගහන්න හේතුව මහ බැංකුව වංචාව නිසා චාටර් වුණු රනිල් වෙනුවට රාජිත, මංගල වගේ අයෙක් අගමැති කරලා ගැටුමක් නොමැතිව ඊළමට යන්න අවස්ථාව රනිල් ඉල්ලා අස්වීම නොවීම නිසා අහෝසී වීම තමයි. 2015 වගේ ම දෙමළ සහ මුස්ලිම් පක්ෂ අවසාන මොහොත දක්වා දකුණට සිග්නල් දාලා අන්තිම මොහොතේ තමන්ට උවමනා විදිහට වමට කැපුවා.
ඡන්දයකින් රනිල් පරාද වීම ආණ්ඩුව තුළ අනවශ්‍ය ගැටුම් ඇති වෙලා තමන්ගේ ගමනට බාධාවක් වෙයි කියලා ඔවුන් දන්නවා. රනිල්ගෙන් නැවත සහතික කරගත් කරුණු 10කින් සමන්විත ඊළාම් සැලැස්ම බැලුවාම වුණත් ඒක පැහැදිලියි. මහ බැංකු හොරකම පවා ඔවුන් ඊළම වෙනුවෙන් පාවිච්චි කරනවා.
ආචාර්ය නලින් ද සිල්වා අද ලියා ඇති පරිදි ඔහු තුළ වුණත් ආරම්භයේ දී මේ විශ්වාසභංගය පිළිබඳ විශ්වාසයක් තිබිලා නෑ. මහින්ද රාජපක්ෂගේ හැසිරීම බැලුවත් පේන්නේ ඔහුත් ඒ මතයේම සිටි බවයි. අපත් ඒ පිළිබඳ ප්‍රසාදය පළ නොකළේ එය තවත් එක් රවි කරුණානායක නාඩගමක් ලෙස කෙළවර වී මුහුණු මාරුවකින් එම ආණ්ඩුවම ඉදිරියට යාමේ අවදානම බැහැර කළ නොහැකි නිසයි.
කොහොම වුණත් මේ නිසා ආණ්ඩුව ඇතුළේ ඉදිරියේ දී තව ගැටුම් ඇති වෙනවා. එජාපයේ නායකත්ව ගැටලුව නිමා නොවුණු නිසා ඒ ගැටුමත් තව ඇදෙයි. විශ්වාසභංගයට පක්ෂ වූ අයට එරෙහිව සෑහෙන තර්ජනයක් එයි. දැන් නැවත රනිල්ගේ ඊළාම් සැලැස්ම රටට හෙළි වීම හොඳයි. ඒ රනිල් වෙනුවට වෙන රනිල් කෙනෙක් ඒ ගමන යනවාට වඩා රටම දන්න සුපුරුදු රනිල් යද්දි අඳුන ගන්න ජනතාවට පහසු වෙයි.
සිරිසේන අවසාන මොහොතේ විශ්වාසභංගය පරාජය වන තැනට වැඩ කරද්දි එජාපයේ කැරලිකාර කොටස් පසුබැසීම ගැන පුදුම විය යුතු නෑ. රංගෙබණ්ඩාරලා බොරුවට රඟපෑවත් විජේදාසලා බොරු කළා කියලා නම් මට හිතෙන්නේ නෑ. ඔහුගේ ඡන්දය තීරණාත්මක නොවන පසුබිමක ඇමතිකමටත් කෙළවිලා තවත් වළක විහින් නොවැටී සිටීම හොඳයි. සතුරා ප්‍රබල අවස්ථාවේ පසු නොබැස බූරුවෙක් වගේ වෙඩි කන්න ඕන නෑ.
සිරිසේන තම පිරිසට ඡන්දය වර්ජනය කරන ලෙස පැවසූ බව අද වීරකේසරි පත්තරේ සඳහන් වන බව රේඩියෝවක කිව්වා. සිරිසේන කියන්නේ දුර්වලයෙක් නෙමෙයි පාවාදෙන්නෙක් කියලා ආයේ ඔප්පු වුණා. ජුදාස් වුණත් එක පාරයි පාව දුන්නේ. සිරිසේන පාවා දීම් අතින් ජුදාස් පරාද කරලා ගොඩක් කල්.
විජේදාසලාට ආරක්ෂිත පියවරකට යන්න වුණේ සිරිසේන නිසායි. ඒ නිසා ඔවුන්ට බැණ වැදීම කුඹුර පාළු කළාට ගෙදර තියෙන මුව හමට තඩි බානවා වගේ වැඩක්. බොහෝ දෙනා පිළිගන්න අකමැති වුණත් අප වෙන මතයක හිටියත් විශ්වාසභංගය නමැති කුඹුර කෑවේ සිරිසේන.
දැන් ජාතික බලවේග කළ යුත්තේ උදා වී ඇති නව දේශපාලන තත්ත්වය රටට හිතකර වන ආකාරයට කළමනාකරණය කරගත හැකි ආකාරය සොයා බැලීමයි. ඒ පිළිබඳ උපක්‍රම තේරීමයි.

මරු පිල්ලිය

උතුරේ ප්‍රභාකරන් සහ සුමන්දිිරන් බෙදුම්වාදයේ ඍජු හා වක්‍ර පිල්ලි වන්නේ යම් සේ ද දකුණේ රනිල් සහ සිරිසේන බෙදුම්වාදයේ ඍජු සහ වක්‍ර පිල්ලි වෙයි.
උතුරේ බෙදුම්වාදයේ ත්‍රස්ත පිල්ලිය පරාජය කළ අපට එහි ප්‍රජාතන්ත්‍රවාදී පිල්ලිය පරාජය කළ නොහැකි විය. ඒ එය ත්‍රස්ත පිල්ලියට ද වඩා භයානක බැවිනි. ඊටත් වඩා ඒ භයානක බව රටට ලෝකයට ඒත්තු ගැන්වීම අපහසු බැවිනි.
ඍජු පිල්ලිය නැති රටේ දැන් ඒ වක්‍ර පිල්ලිය නැවත අප ගිලින තරමට අලුත් ඍජු පිල්ලිවලට උපත ලබා දිය හැකි තැනට වැඩි වර්ධනය වී ඇත. ඍජු පිල්ලිය නොමැති වීම වක්‍ර පිල්ලියට සරු පසක් වී අැත.
දකුණේ බෙදුම්වාදී පිල්ලි දෙක ද එසේමය. ඍජු පිල්ලිය නැති අනාගතයේ වක්‍ර පිල්ලිය බලවත් සේ නැගී සිටිය හැකිය. ඍජු පිල්ලිය පස් වූ බිමේ වක්‍ර පිල්ලිය දලු ලා වේගයෙන් වැඩිය හැකිය. එය වඩා භයානක වන්නේ බෙදුම්වාදයට එරෙහි ජනතාවට පවා මේ වක්‍ර පිල්ලියේ අනතුරුදායක බව ඒත්තු ගැන්වීම අපහසු බැවිනි.
මේ වක්‍ර පිල්ලියට අනාගතයේ කැප්පෙටිපොළ කෙනෙකු හෝ අවුං සාං සුකී කෙනෙකු විය නොහැකි දැයි කෙනෙකු ප්‍රශ්න කළ හැකිය. එහෙත් එසේ විය හැකි බවට කිසිදු සංඥාවක් මොහු ප්‍රදර්ශනය කර නැත.
ඇහැලේපොළට එකල භික්ෂූන් වහන්සේලා අවවාද කළ බව පැවසුව ද සතුරු පිළේ සිටි ඔහුට ශක්තිය දිය යුතු යැයි විමුක්තිකාමීන්ට පැවසූ බවක් නොකියවෙයි. එහෙත් ඔහු සතුරු කඳවුරෙන් තීරණාත්මක ලෙස වෙන් වූ පසු ඔහු පිළිගැනීමට සිංහලයා මැලි වූයේ නැත.
බුරුම මිලිටරි අාණ්ඩු සමයේ බටහිර රටවල් ඒ රටට සම්බාධක පැනවීමට සූදානම් වූ විට ඉන් පීඩාවට පත් වන්නේ සිය රටේ ජනතාව යැයි කී එවක මිලිටරි පාලනය යටතේ නිවාස අඩස්සියේ සිටි සුකී ඊට එරෙහි විය.
එහෙත් 2007 කොටි පරාජය කරන සටන තීව්‍ර මොහොතේ සිය රටට දෙන ආධාර නතර කරන්න යැය එවක විපක්ෂ නායක රනිල් වික්කමසිංහ ජපන් ආණ්ඩුවෙන් ඉල්ලා සිටියේය. නායකයන්ගේ දේශපාලන කෝන්තරවලට රටක ජනතාව වන්දි ගෙවිය යුතු නොවන බව ජපන් රජයෙි නියෝජිතයාගේ ඍජු පිළිතුරු විය.
එහෙව් වික්කමසිංහ ඩීව් ගුණසේකර කෝප් වාර්තාව පාර්ලිමේන්තුවේ සභාගත කර මහ බැංකු වංචාව සනාථ කර අනතුරුව පැවැත් වූ මහා මැතිවරණයෙන් ජනතාව ලවා හෝ ගෙදර යැවීම වළක්වා ආරක්ෂා කළේ සිරිසේනය. ඒ ගැන උදම් ඇනුවේ සිරිසේනය. එමගින් නැවතත 2016 මහ බැංකුව කොල්ලකෑමට මග කීවේ සිරිසේනය.
එහෙයින් හැකි නම් මේ පිල්ලි දෙකම එකවර පරාජය කළ යුතුය. එසෙි නොහැකි නම් උපක්‍රමික ලෙස ඍජු පිල්ලිය පරාජය කිරීමට වක්‍ර පිල්ලිය යොදා ගත්ත ද කිසි විටක වක්‍ර පිල්ලිය බලවත් කිරීමට කටයුතු නොකළ යුතුය. එය අනාගතයේ අපට කිසිසේත් පරාජය කළ නොහැකි මරු පිල්ලියක් වීමට ඇති අවධානම අප හමුවේ දත් නියවා ගෙන ඇත.
(2018 April 2 at 10:18pm

Thursday, March 29, 2018

බෝයිලස් විභාග සූරයෝ

සාමාන්‍ය පෙළ විභාග ප්‍රතිඵල නිකුත් වී තිබේ. A සමාර්ථ 9ක් ලබා ගත් පිරිස 9960කි. පළමු ස්ථාන හයක් ද දෙවන ස්ථාන ද නවයක් ද වාර්තා වී තිබේ. මේ සිසුන් සඳහා බොහෝ දෙනා සුබ පැතුව ද මට මේ පිරිස ගැන ඇත්තේ කනගාටුවක් සහ අනුකම්පාවකි. මේ අතරින් සාතිශය බහුතරයක් සිය ළමා කාලය මුළුමනින් ම අහිමි වූ විභාග සඳහා ද ඇති දැඩි කළ බෝයිලස් සිසුන්ය. 

අද සිටම ජයග්‍රාහී සිසුන් මාධ්‍ය වෙත තමන් අතිරේඛ පන්ති නොගිය, පාසල් වැඩ ඒ අවස්ථාවේම කළ, සියලු බාහිර ක්‍රියාකාරකම් කළ, දවසෙම සෙල්ලම් කළ පිරිසක් යැයි බොරු කියනු ඇත. එහෙත් ඒ ඇත්ත නොවේ. ඇත්ත නම් මොවුන් බහුතරය බොහෝ දේ අහිමි කරගත් පිරිසක් බවය. 

තරග විභාගයක් නොවන සාපෙළ විභාගය යම්තම් සමත් වන සිසුන් ඒ සම්මාන 9, 8, 7 ගත් අයට වඩා සිය ළමා කාලය සතුටින් නිදහසේ ගත කළ ළමුන්ය. එහෙයින් මම සිතන්නේ වඩා වාසනාවන්ත ඔවුන් බවය. එහෙයින් මම ඔවුන්ට සුබ පතමි.
ප්‍රථම ස්ථාන කිසිවක් කොළඹින් වාර්තා නොවීම කොළඹ නොවන අයගේ අමන්දානන්දයට හේතු වී ඇති බව පෙනේ. එහෙත් මේ වන විට සාපෙළ සම්මාන පහක් සමග සමත් වන ඕනෑම අයකුට විවිධ ආකාරයේ උපාධි ලබාගත හැකි පෞද්ගලික විශ්වවිද්‍යාල ජාලයක් කොළඹ කේන්ද්‍රකරගෙන බිහි වී ඇති නිසාත් පිට රට ගොස් උපාධි ගන්නා නිසාත් කොළඹ දෙමාපියන් සිය දරුවන් මේ තරගයෙන් ඉවත් කරගෙන ඇතැයි සිතිය හැකිය. 

අනෙක් අතට කොළඹ පහසුකම් ඇති නිසා උසස් පෙළ සඳහා සුපිරි පාසල්වලට යාමේ තරගයක් ද ඔවුන්ට නැත. කුමන හේතුව නිසා හෝ දහ දුකක් වන විභාග තරගයෙන් ඉවත් වීමට ලැබීම භාග්‍යයකි. එම දුකින් අපේ ගම්වල පොඩි එවුන් ද නිදහස ලබනු දැකීම මගේ බලාපොරොත්තුවයි. 

ඒ සඳහා  පවතින ලොකුම බාධාව උපාධිය ගත් සියලු දෙනාට ආණ්ඩුව විසින් රැකියා ලබා දිය යුතු යැයි පවතින අදහසයි. මෙය බොහෝ දෙනාගේ කෝපයට හේතු විය හැකි අදහසක් වුවත් යථාර්ථය එයයි. බොහෝ දෙනා අකමැත්තෙන් වුවත් මේ මාරාන්තික තරගයට යොමු කිරීමට එක් හේතුවක් එයයි. අනික යම් යම් රැකියා උසස් කොට සැලකීමයි. කය වෙහෙසා වැඩ කිරීම ලඝු කොට සැලකීමයි. 

මේ යල්පැන ගිය අදහස් අපේ සමාජයෙන් තුරන් කළ හැකි නම් රටේම ළමුන්ට ළමා කාලය නැවත ලැබෙනු ඇත. විභාග තරගය නිමාවනු ඇත. දරුවන් තම තමන් කැමති ක්ෂේත්‍ර ඔස්සේ ඉහළට ඉගෙන ගනු ඇත. නවෝත්පාදන ඉහළ යනු ඇත. අද දරුවන් අතර විභාග නිසා බෝ වී ඇති ආත්මාර්ථකාමීත්වය, ඊර්ෂ්‍යාව, සාමූහික හැඟීම් නොමැති වීම ආදි ව්‍යාධි තුරන් වී රට දැය සමය මෙන්ම පොදු යහපත ගැන ද සිතන පරිසරයට ආදරය කරන සැබෑ මිනිස් පරම්පරාවක් රටට ලැබෙනු ඇත. 


Monday, March 19, 2018

සිංහලයාගේ කරුමක්කාර චක්කරේ

අප ජාතියක් ලෙස සිද්ධියෙන් සිද්ධියට ප්‍රතිචාර දැක්වීමට ආසන්නතම සිද්ධියට අනුව ප්‍රතිචාර දැක්වීමට නැඹුරු වූයේ කවදා ද සිට ද යන්න කිව නොහැකිය. කෙසේ වුව ද කිසියම් සිද්ධියක් හෝ ආසන්න සිද්ධිය අළලා දුරදිග නොබලා ප්‍රතිචාර  දැක්වීමට තරම් සිංහලයා වහා කලබල වන ළග පිකප් වන ජාතියක් නිසා ම අපට ඉතිහාසය පුරා සිදුව ඇත්තේ අවාසිමය.

අපට 1813-14 වන විට සිතෙන්නේ අපේ රජු (එකල අප සිතුවේ ඒ අපේ නොව වඩිග රජ ලෙසය) සුද්දාට අල්ලා දී ඔහුට හොඳ පාඩමක් ඉගැන්වීමටය. උඩරට ප්‍රභූන් බලලෝභීත්වය නිසා රජුට එරෙහි වීම, ඒ නිසා ම සිංහල නීතිය අනුව ඇහැලේපොළ පවුලට මරණ දඬුවම දීම,  ඒ පදනම් කරගෙන රජු ද්‍රෝහියෙක් කිරීමට ඩොයිලිලා ගෙතු කතා ජනතාව පිළිගැනීම ඊට හේතු සාධක වන්නට ඇත. 

එලෙස රජු පවා දී ලබන ක්ෂණික තෘප්තියට පසු මුහුණ දීමට සිදුවන තත්ත්වය පිළිබඳ අප කලින් සිතන්නේ නැත. ඒ පිළිබඳ සිතා වෙහෙසී රජුට රිදවා ලබාගත හැකි සතුට අහිමි කරගැනීමට අප සුදානම් නැත. එසේ සිතිය යුතු යැයි කිසිවකු කියන්නේ නම් ඌ පිස්සකු නැතහොත් රජුගේ වහලකු ලෙස සලකා අවඥාවට ලක් කිරීම අපේ සිරිතය. 

එහෙත් ඊට පසු එළඹෙන අතිශය භයංකර කාලය තුළ අපට රජුට රිදවා ලද සතුට මෙන් කිහිප ගුණයක වන්දියක් ගෙවීමට සිදුවෙයි. එහෙත් එදා රජු පාවා දීමට මුල් වූ ඇතැම්හු එහි වරදක් කිසිදා නොදකින අතර ඔවුන් සුද්දා සමග එක්ව රට වනසනන්ට සහ රජුට වඩා භයානක ලෙස ජනතාව පෙළන්නට වූහ. සංස්කෘතිය ශිෂ්ටාචාරය සංහාරය කරන්නට වූහ. පිරිසක් පසුකලක සත්‍ය අවබෝධ කරගත්ත ද එවිට අශ්වයා ගොසිනි.

එයින් වසර 200ට පමණ පසු 2015 වූයේ ද එයයි. රාජපක්ෂ ආණ්ඩුව් සුළු සුළු වැරදිවලට ජනතාව ප්‍රතිචාර දක්වන්නට වූහ. රටට හතුරු බලවේග ඒ සඳහා කල්යල් බලා පිදුරු දැමූහ. සමහරුන්ට හොරකම ද සමහරුන්ට වංචාව සමහරුන්ට ඒකාධිපතිත්වය ද සමහරුන්ට නාස්තිය ද සමහරුන්ට මාධ්‍ය නිදහස ද සමහරුන්ට වන විනාශය ද සමහරුන්ට රසායනික පොහොර ද මාතෘකා විය. 

එහෙත් මේ පිටුපස සිටින අය බෙදුම්වාදීහු, ඊළාම්වාදීහු, සිංහල බෞද්ධ විරෝදීහු වූහ. එහි අවසාන ප්‍රතිඵලය වූයේ ආචාර්ය නලින් ද සිල්වා පෙන්වා දී ඇති ආකාරයට ම 2009 ලද නන්දිකඩාල් ජයග්‍රහණය සිහිනෙන් ගෑ සුවඳක් බවට පත්වීමය. දැන් ඒ ජයග්‍රහණය බොහෝ දුරට නැවත පාවා දී අවසන්ය.  රට නැවත 1983ට පමණ ආපසු ගමන් ගොසිනි. 

වසර දහස් ගණනක් තිස්සේ අපට හතුරුකම් කරන ඉන්දියාව අපගේ වීරයා වීමට ද ඔවුන්ගේ ජය පතා සටන් පාඨ කීමට ද අපට ගත වූයේ විනාඩි කිහිපයකි. ඉතිහාසය පුරා අප වෙනුවෙන් ජය ඝෝෂා නැඟූ බංගලාදේශය ද්‍රෝහීන් වීමට ගත වූයේ ද එම කාලය පමණි. මේ රට අද පවතින කාලකන්නි තත්ත්වයට ඇද දැමූවේ ඉන්දියානුවන් බව අපට අදාළ නැත. කොටින් ම අපට සමස්තය අදාළ නැත. අදාළ ආසන්නතම සිද්ධිය පමණි. 

සිංහලයාගේ මේ උපන්ගෙයි ලෙඩේ ගැන රටේ සතුරෝ  මැනවින් දනිති. ඉතින් කල් යල් බලා උන් නැවත නැවත එකම වළට අප ඇද දමති. අප අමාරුවෙන් පියවර 10ක් තබා කරන ගොං වැඩක් නිසා නැවත පියවර 100ක් පමණ පසුපසට විසිවෙයි. ඉක්මන් හැඟීම්බර තීන්දු ගෙන පසුව නිවී හැනහිල්ලේ පසුතැබීම අපේ අමන ජාතික පුරුද්දක් බවට පත්ව තිබේ. 

අප මේ කරුමක්කාර චක්‍රයෙන් ගොඩ ඒමට නම් එක එක සිද්ධියට නොව සමස්තයට ප්‍රතිචාර දක්වන දැක්මක් ජාතියට ලබා දිය යුතුය. සුළු සුළු සිද්ධි දෙස නොව සමස්ත චිත්‍රය දෙස බැලීමට දෑසක් ජාතියට ලැබිය යුතුය. ආසන්නතම සිද්ධියට බුද්ධියෙන් නොව හදවතින් ප්‍රතිචාර දක්වා අමාරුවේ නොවැටීමට තරම් ප්‍රඥාවකින් අප සන්නද්ධ විය යුතුය. එසේ නොවන්නේ නම් අප මේ නරා වළෙන් වෙර යොදා ගොඩ ආව ද නොබෝ කලකින් නැවත ඊට වඩා ගැඹුරු අගාධයකට වැටී හතර හන්දි කඩා ගනු නියතය. 

Monday, March 5, 2018

ඉවසීම හැර විකල්පයක් නැත

පෙබරවාරි 10 වෙනි දින සිට මේ රටේ සිදුවන බොහෝ දේ එදා ජනතාව  ලබා දුන් තීන්දුව කෙසේ හෝ කනපිට පෙරලීමට සිදුකරන සැලසුම්ගත කුමන්ත්‍රණ බව පෙනේ. එතෙක් කල් රටේ සිදුවූ සියල්ල දෙස හොඳ අවදියෙන් බලා සිට පෙබරවාරි 10 වෙනිදා සිය තීන්දුව ප්‍රකාශ කළ ජාතිය අවදි කිරීමට වසර කිහිපයක් බොරුවට නිදා සිටි බලවේග සුදානම් වීම, අම්පාරේ වඳ බෙහෙත් නාටකය මෙන්ම තෙල්දෙණියේ ඝාතනය ද දවසින් දවස එළි දකින එම කුමන්ත්‍රණයේ කොටස්ය. නතාව තීන්දුව මෙය නොවන්නට මෙවැනි සිදුවීම් මෙවැනි වේගයෙන් සිදු වන්නේ නැත. මළමිනීවල පුළුටු සුවඳ පස්සේ දුවන සුනඛයන් ඉන් දේශපාලන වාසි ගැනීමට උත්සාහ කරන්නේ නැත.

මේ අවස්ථාවේ කුමන හෝ නොසණ්ඩාල පාහර වැඩක් කර සිංහල ජනතාව ප්‍රකෝප කරවා වාර්ගික ගැටුමක් ඇති කිරීම මේ පිටුපස සිටින බලවේගවල අරමුණ බව පෙනේ. සිංහලයාට එරෙහි මේ භයානක නාඩගම් අපේ රටේ වාසය කරන මධ්‍යස්ථ සර්වාගමික ජාත්‍යන්තර පුරවැසියන්, කලාකාරයන්, කවියන්, චිත්‍රපටකාරයන්, ඩොලර් හිඟන්නන් දකින්නේ නැත. එම ප්‍රකෝප කිරීම්වලට එරෙහිව කටේ කෙළ බිඳක් හෙළන්නේ ද නැත.

එහෙත් කිසියම් අවස්ථාවක සිංහලයන් ඊට එරෙහිව යම් ප්‍රතිචාර දැක්වුවහොත් එදා සිට හිස ගිනි ගත්තකු එගිනි නිවන සේ මේ කල්ලි කණ්ඩායම් වහා සටන් බිමට පැමිණ සටන අරඹති. උද්ඝෝෂණ කරති. මාධ්‍ය හමු තියති. තානාපති කාර්යාලවලට ලියති. කළු පටි බඳිති. කවි ලියති. චිත්‍රපට නාට්‍ය තනති. ගෝත්‍රික ම්ලේච්ඡ දෙදහස් පන්සිය අවුරුද්දක ශිෂ්ටාචාරය ඇසේ සිට පට්ට ගසති. අවසානයේ මේ සිංහල මුස්ලිම් ගැටුම මහින්ද හෝ ගෝඨාභයගේ ගිණුමට බැර කොට අත පිසදා ගනිති.


එදා අලුත්ගම දී වුණේ එයයි. එහි ප්‍රතිඵලය ලෙස  මුස්ලිම් ජනතාව පමණක් නොව සිංහල දෙමළ ජනතාව ද මහින්දලා සමග තරහා වූ අතර 2015 ජනාධිපතිවරණය පරාජයට එය හේතුවක් විය. එහෙත් අද ඒ ජනතාව තමන් රැවටුණු බව වටහා ගෙන මුස්ලිම් ජනතාව පවා නැවත මහින්ද රාජපක්ෂ වටා එකතු වන බේරුවල මැතිවරණ ප්‍රතිඵලවලින් සනාථ වේ. දැන නැවත සිදු වන්නේ එම එකතු වීම විනාශ කිරීම සඳහා කුමන්ත්‍රණයකි. ඒ සඳහා බටහිර බලවෙග මෙන් ම වහාබ් මුස්ලිම් අන්තවාදී බලවේග එකමුතුව කටයුතු කරන බව පෙනේ. 

එහෙයින් මේ අවස්ථාවේ සිංහලයනි බොහෝ ඉවසීමෙන් කටයුතු කළ යුතුය. ඔබ ප්‍රකෝප වී මේ පිල්ලිවලට ප්‍රතිචාර දක්වනු දැකීම ඒවා සැලසුම් කොට ක්‍රියාත්මක කරන සියලු දෙනාගේ අරමුණය. එහ අරමුණ ඉටු කර දීමට ඔබ කටයුතු කළ යුතු නැත. එවැනි ගැටුමක් ඇති වුව ද මේ ආණ්ඩුව කිසි විටක සිංහලයා වෙනුවෙන් පෙනී සිටින්නේ නැත. 1915 වසරේ මෙන් සිංහල මුස්ලිම් ගැටුමට ආධාර කළේ යැයි සිංහල නායකයන් කිහිප දෙනෙකු අත්අඩංගුවට ගැනීමට මේ ආණ්ඩුව එය අවස්ථාවක් කරගනු ඇත. 

එපමණක් නොව වාර්ගික පදනම යටතේ රට බෙදන ව්‍යවස්ථා සාධාරණීකරණය කිරීමට ද එය යොදා ගනු ඇත. එහෙයින් මේ අවස්ථාවේ කළ යුතු හොඳම දේ ඉවසීමය. ඒ හැර විකල්පයක් නැත. මෙය ඉතාම බුද්ධිමත් ලෙස විසඳාගත යුුතු ප්‍රශ්නයකි.

Wednesday, February 28, 2018

වඳ බෙහෙත් කොත්තු කෑමට පෙර

ආණ්ඩුව විසින් සිය මැතිවරණ පරාජය වසා ගැනීමට සහ ඉදිරි මැතිවරණවල දී ලැබීමට නියමිත අන්ත පරාජයේ ඉරණම වෙනතකට හරවා ගැනීමට අම්පාරේ වඳ බෙහෙත් නාඩගම කරළියට ගෙන තිබේ.

මුස්ලිම් ආක්‍රමණය පිළිබඳ ලෝකයේ මෙන්ම මෙරට ජනතාව අතර පවතින සාධාරණ සැකය සහ බිය ආණ්ඩුව විසින් ඒ සඳහා ප්‍රයෝජනයට ගන්නා ආකාරය දැකිය හැකිය. තුනපහවලට සප්තකුප්ප මිශ්‍ර කිරීමට සහ සිංහල කාන්තාවන්ට බලහත්කාරයෙන් වඳ සැත්කම් කිරීමට ඇතැම් මුස්ලිම් කණ්ඩායම් සම්බන්ධ වීම ඊට හේතුවකි.

කෙසේ වුව ද පෙබරවාරි 10 වෙනිදා වන තුරු සිංහල ජාතියට හෙණ වැදුණා ද කියා හෝ සොයා නොබැලූ පිරිස් නැවත නොයෙක් පූජා තබමින් ද තවත් පිරිසක් වඳ බෙහෙත් නාටක රඟ දක්වමින් ද සුදානම් වන්නේ කුමකට දැයි ජනතාව අවබෝධ කරගත යුතුය.

එසේම මෙම නාටකයට බුකියේ ජාතිකවාදී මතවාදය නියෝජනය කිසිවකු හසු නොවුණ ද ආණ්ඩුවේ යහපාලන සහයකයින් ඒ සඳහා බොහෝ විට උසුළු විසුළු කළේ එම පිරිසටය. දේශමාමක බලවේගය වෙතය. මේ දිනවල බොහෝ දුරට බුකියේ සකීය නොමැති ගිණුම් පවා වහා පිබිදී අවුත් ලද අවස්ථාවෙන් බයියන්ට උඩ පැන පැන නෙළනු දැකිය හැකි විය.

මෙම ප්‍රහාරය පිටුපස සිටි බොහෝ දෙනාගේ අරමුණ වූයේ වඳ පෙති නාටකය සහ එම කඩයට එල්ල වූ ප්‍රහාරය මහින්ද රාජපක්ෂ නියෝජනය කරන බලවේගය වෙත පැවරීම බව හොඳින් නිරීත්ෂණය කළ හැකිය. අවසානයේ එම පණිවිඩය මෙරට තානාපති කාර්යාවලට ද ජාත්‍යන්තර සංවිධානවලට ද ලබා දීම ඔවුන්ගේ අරමුණය.

එසේ ම මෙම සිද්ධිය ලොව හමුවේ ඇති සැබෑ මුස්ලිම් ආක්‍රමණය පිළිබඳ සංවේදී පිරිස වෙත සිනාසීමට ද ජාති මාමක අදහස් දරන පිරිස හෑල්ලුවට ලක් කිරීමට ද ඒ පිරිස ඉතා බුහුටි ලෙස යොදා ගත් බව පැහැදිලිය.

එහෙත් අලුත්ගම සිද්ධියට පසු කරළියට පැමිණි පාඨලි චම්පික රණවක මෙවර එතරම් ප්‍රබල භූමිකාවයක් රඟපෑමට කටයුතු නොකළේය. එය ද අප සැලකිල්ලට ගත යුතුය.

ඇතැම් විට නාටකයේ තිරපිටපත රචනය සහ අධ්‍යක්ෂණය කරන අතර ප්‍රධාන චරිතය ද රඟපෑම නුසුදුසු යැයි ද එවිට නාට්‍ය ආතාත්වික වනු ඇතැයි ද හෙතෙම සිතන්නට ඇත.

කෙසේ වුව ද ජාතික මතවාද සමග බුද්ධිමය ගනුදෙනුව අඩු එහෙත් රට ගැන කැක්කුමක් ඇති හදවතින් තීරණ ගන්නා පිරිස මැසෙන්ජර් ඔස්සේ මේ වීඩියෝව රට පුරා ලොව පුරා ව්‍යාප්ත කළේය. මේ තමන් නැවත උගුලක දැමීමට සුදානම් වන පිල්ලියකි යන හැඟීම ඔවුන් තුළ ඇත.

අවාසනාවට එම පිරිස දැනුම්වත් කිරීමට අපට වැඩපිළිවෙළක් නොමැති අතර ඔවුන්ගේ මේ දුර්වලතාව රටේ සතුරෝ මැනවින් හඳුනා ගෙන සිටින අතර තීරණාත්මක අවස්ථාවල ඉන් මැනවින් ප්‍රයෝජන ලබති. අලුත්ගම කඩ ගිනි තැබීම තම ජයග්‍රහණයක් ලෙස සිතා කටයුතු කළේ ද මේ පිරිසය.

මේ නාටකය තුළ කුමන්ත්‍රණකාරයන් විසින් මුස්ලිම් කඩය ගිනි තැබීම සිය ජයග්‍රහණයක් ලෙස සලකන තැනට එම පිරිස නැවත වැටී ඇත. මෙය තමන්ගේ ද රටේ ද සතුරාගේ උගුලක් බව ඔවුන් අවබෝධ කර ගැනීමට තරම් මේ පිරිස දැනුම්වත් නැත.

තමන්ට මුස්ලිම් ජනතාගේ කඩවලින් ආහාර ගැනීම සහ ඇඳුම් ගැනීම ප්‍රශ්නයක් නම් කළ යුත්තේ එවැනි ස්ථානවලට නොගොස් සිටීමය. අප පාරේ යන විට ඔවුන් බලෙන් ඔවුන් අප බලහත්කාරයෙන් සිය හොටෙල් හෝ ව්‍යාපාරික ස්ථානවලට ඇද ගෙන යන්නේ නැත. ඔබ ඒ සියල්ල මිලක් ගෙවා ලබා ගත් දෑය.

එහෙයින් අපට ඔවුන් පිළිබඳ සාධාරන සැකයක් ඇත්නම් කළ යුත්තේ පාරිභෝගික සේවා අධිකාරියට පැමිණිලි කිරීමය. ඔවුන් විසඳුමක් ලබා නොදෙන්නේ නම් පෞද්ගලිකව ඔබට එවැනි ස්ථානවලට නොයා සිටිය හැකිය. අපේ සමීපතමයන් ඉන් වළක්වා ගත හැකිය.

රටේ බහුතරයක් එම ක්‍රියා මාර්ගය අනුගමනය කරන්නේ නම් කිසිවකු ජාතිතිය වඳ කරන්නේ යැයි බිය විය යුතු නැත. එවැනි බලපෑම් එල්ල වන කිසිවක් ඔබට ලබා දීමට ද නොහැකිය.

රටේ 74%ක් වන ඔබ ඔවුන්ගේ කඩ වෙත නොයන්නේ නම් ඔවුන්ට තම ආහාරවල ප්‍රමිතිය සුරක්ෂිතතාව පිළිබඳ රටට සහතිකයක් නොදී ඔබේ විශ්වාසය ගොඩ නගා නොගෙන සිය ව්‍යාපාර කළ නොහැකි වනු ඇත.

එසේම ඔබට ආහාර ගැනීමට සිංහල හෝ දෙමළ කඩයක් වෙත යා හැකිය. මා අත්දැක ඇති පරිදි සාමාන්‍ය සිංහල කඩවලට වඩා දෙමළ කඩ ඉතා ම පිරිසිදුය. ඔවුන්ගේ බොහෝ කෑම ද සිංහල කඩවල කෑම තරම් බටහිරකරණය වී නැත. අජිනමොටෝ ආදි රසකාරක නැත. තවමත් සාම්ප්‍රදායික ක්‍රමයට වැඩි බරක් තබා ආහාර සකසයි.

දෙමළ කඩවලට මුස්ලිම් කඩයලට ඇති චෝදනාව කිසිවකු නගන්නේ ද නැත. එහෙයින් මම හැකි සෑම විටකම දෙමළ කඩයකින් කෑමට ප්‍රිය කරමි. අපට සිංහල දෙමළ මුස්ලිම් යනුවෙන් විකල්ප තුනක් පවතින විට එකක කෑම පිළිබඳ සැක යැයි සතුරාට වාසිදායක වන ආකාරයට ගැටුම් ඇති කරගත යුතු නැත.

අප කළ යුත්තේ සෙසු විකල්ප දෙක වෙත යාමය. එසේ නොමැතිව මුස්ලිම් කඩවලට පහර දීම නොවේ. ඒ සඳහා අනුබල දීම හෝ නොවේ. එසේ කිරීමට අනුබල දීම පවා අපරාධයකි. රටම සතුරාගේ උගුලක සිර කිරීමකි.

එහෙයින් බුද්ධිමත්ව හැසිරෙන්න. බුද්ධිමත්ව කටයුතු කරන්න. රටේ සතුරන් අටවන උගුල්වල නොවැටෙන්න. එසේම සිගරට් අරක්කු පානය වැනි සිංහලයා කායික වශයෙන් පමණක් නොව ආර්ථික වශයෙන් ද වඳ කරන පිල්ලි ගැන ද ඔබ වඳ බෙහෙත් ගැන දක්වන අවදානය යොමු කරන්නේ නම් පවුලකට තව දරුවකු දෙදෙනකු ඉතා ම පහසුවෙන් එකතු කර ගත හැකිය.

ආන්තික කල්ලි අතට ගිය පළාත් පාලනය

පසුගිය පළාත් පාලන මැතිවරණයේ දී ලැයිස්තු මන්ත්‍රීවරු පත් කිරීමේ දී සිදුව ඇති බරපතළ වැරදි නිසා පොදුජන පෙරමුණට මන්ත්‍රී ධුර 200ක් පමණ අහිමි වී ඇතැයි එම පක්ෂයේ නායකයන් මැතිවරණ කොමිසම මුණ ගැසුණු බව ද එම කොමිසමේ සාමාජිකයකු එම වරද පිළිගත් බව ද පසුගිය දා ප්‍රකාශයට පත්විය.

එහෙත් මෙම මැතිවරණ ක්‍රමය විකෘති කිරීම ඔස්සේ ජයග්‍රාහී පක්ෂයට සිදු කර ඇති හානිය ඉන් ඔබ්බට යන බව අපේ හැඟීමයි. ඒ 2004 වසරේ සාකච්ඡා කරමින් සැකසූ පළාත් පාලන සංශෝධන පනත ඒ ආකාරයෙන් ක්‍රියාත්මක නොකර එය විකෘති කිරීම ඔස්සේය. රට පිළිගත් විද්වතුන් පිරිසක් විශාල කාලයක් ශ්‍රමයක් වැය කොට නිර්මාණය කළ පනත වර්තමාන ආණ්ඩුව වෙනස් කළේය.

ඒ එම ආණ්ඩුවේ ශක්තිය බවට පත්ව ඇති සුළු වාර්ගික සහ සුළු ආගමික පක්ෂ, බෙදුම්වාදී න්‍යායාචාරවරුන් ඇතුළු අයගේ මනදොළ සපුරනු පිණිසය. ඔවුන්ගේ එකම අවශ්‍යතාව මේ රටේ පාලන බලය උසුලන ප්‍රධාන පක්ෂ දුර්වල කිරීමය. එමගින් සිංහලයා දුර්වල කිරීමය. ඒ අතර දුර්වල පාලන ක්‍රම නිර්මාණය කිරීමය. සුළු වාර්ගික ආගමික පක්ෂ ශක්තිමත් කරමින් ආන්තික කණ්ඩායම් බලවත් කිරීමය. ප්‍රධාන පක්ෂ වටා ගොනුවන ප්‍රධාන ජාතිය එම සුළු පක්ෂවල ප්‍රාණ ඇපයට ගැනීමය.

පනතේ යෝජනා වී තිබූ ඕනෑම පළාත් පාලන ආයතනයක් ජයග්‍රහණය කරන පක්ෂයට හෝ කණ්ඩායමට හිමි විය යුතු ආසන දෙක ඉවත් කිරීම මෙන්ම කිසියම් කොට්ටාශයක ඡන්ද 5%කට වඩා ගත නොහැකි අයට ආසන ලබා නොදීම ද වෙනස් වන්නේ මේ අයගේ පටු අරමුණු සන්තර්පණය කිරීම පිණිසය. 

මේ විකෘර්තිය කෙතරම් විහිළුවක් බවට පත්ව තිබේ ද යත් නුවරඑළිය තලවකැලේ ලිඳුල ප්‍රාදේශීය සභාව ඡන්ද 40න් ජයගත් කම්කරු කොංග්‍රමයට ආසන 3ක් ද දෙවන ස්ථානයට පත් පොදුජන පෙරමුණට ආසන 4ක් ද ලැබිණි. වලපනේ ප්‍රාදේශීය සභාවේ 3%ක් ඡන්ද ලබා ගත නොහැකි වූ ජනතා විමුක්ති පෙරමුණ ඇතුළු සුළු පක්ෂ සහ කණ්ඩායම්වලට ආසන 4ක් හිමි වී තිබිණි. 

ජනතා විමුක්ති පෙරමුණ ඇතුළු සුළු පක්ෂවලට මේ ඔස්සේ විශාල අවස්ථාවක් ලැබෙන අතර ඒ අවස්ථාව ලැබෙන්නේ බහුතර ජනතාවකගේ ප්‍රජාතාන්ත්‍රිය අයිතිය පොකට් ගැසීමකි. එසේම පළාත් පාලන ආයතනවල ස්ථාවර පාලනයක් ඇති විමට ඇති අවස්ථාව එමගින් බෙහෙවින් අහිමි කර තිබේ.

කිසියම් පළාත් පාලන ආයතනයක් ජයග්‍රහණය කළ පක්ෂයට බෝනස් ආසන දෙකක් ලබා දීමට මූලික හේතුව ශක්තිමක් පාලනයක් බිහි කර ගැනීමට සහාය වීමය. ජනතා කැමැත්ත මැනවින් ක්‍රියාත්මක කිරීමට අවස්ථාව ලබා දීමය. කෙසේ වුව ද කුමන්ත්‍රණකාරී ලෙස ජනතාවගෙන් එම අයිතිය උදුරා ගැනීමට ආණ්ඩුව කටයුතු කළේය.

එමගින් පළාත් පාලන ආයතන 231ත් ජයග්‍රහණය කළ පොදුජන පෙරමුණෙන් උදුරා ගත් මන්ත්‍රී ධුර ගණන පමණක් 462කි. මේ වෙනුවෙන් එක්සත් ජාතික පක්ෂයට අහිමි කර ගැනිමට සිදුව ඇත්තේ ආසන 68කි. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට ආසන 14කි. උතුරු නැගෙනහිර ඒකාධිකාරය උසුලන දෙමළ සන්ධානයට ආසන 82කි. මේ අනුව ලැයිස්තු මන්ත්‍රීවරු පත් කිරීමේ සිදු වූ වරදට සහ මේ විකෘතිය නිසා පොදුජන පෙරමුණට මෙවර මැතිවරණයෙන් ලැබිය යුතු ආසන අවම වශයෙන් 662ක් අහිමි වී තිබේ.

මෙය එක් අතකින් බහුතර ජනතාවගේ ප්‍රජාතන්ත්‍රිය අයිතිය සුළු වාර්ගික ආගමික කණ්ඩායම්වල අභිලාෂයන්ට පාවා දීමක් වන අතර රටේ පළාත් පාලන ආයතන පද්ධතිය අස්ථාවර කිරීමකි. කිසිදු ප්‍රධාන පක්ෂයකට සුළු පක්ෂ හා කණ්ඩායම්වල සහාය නොමැතිව එම ආයතනවල පාලන කටයුතු කර ගෙන යා නොහැකි තත්ත්වයක් ඇති කිරීමේ මූලික අරමුණ අද මහ ආණ්ඩුව තැනීමේ දී සුළු ඡන්ද පදනමට ලැබෙන වටිනාකම පළාත් පාලන ආයතනවල ද ලබා දීමය.  මහ ආණ්ඩුව මෙන්ම පළාත් පාලන ආයතන ද සුළු වාර්ගික ආගමික කණ්ඩායම්වල රූකඩයක් කිරීමය. මෙය ඉතාම භයානක තත්ත්වයක් වන අතර එම විකෘතිය වහා නිවැරදි කිරීමට පියවර ගැනීම අද දවසේ රට හමුවේ පවතින විශාලත අභියෝගයකි.  




Saturday, February 17, 2018

උතුරේ ජනමතය සහ පොහොට්ටුව

උතුරේ ද දකුණේ ද වාසය කරන දෙමළ වර්ගවාදීන් පවසන පරිදි අපේ රටෙන් වෙන් වී වෙනම රටක් ගොඩනැගීම උතුරේ ජනතාවගේ එකම අරමුණය. 13 බලාත්මක කිරීම, ෆෙඩරල්, සන්ධීය සහ සහ සන්ධීය මාර්ග ඔස්සේ ඒ ඊළම වෙත යාමට මග අවුරන්නේ සිංහල ජාතිවාදියෝය. ඒ වර්ගවාදීන්ගේ කඳවුර පොදුජන පෙරමුණය.

මෙවර මැතිවරණයේ දී එම පෙරමුණට උතුරේ කිසිවකු ඡන්දය ප්‍රකාශ කරන්නේ නම් ඔහු බෙදුම්වාදයට එරෙහි අයකු විය යුතුය. තමන්ට තනි රටක් නොව අප හැමට එක රටක් යන මතයෙහි පිහිටා කටයුතු කරන පිරිසක් විය යුතුය. බෙදුම්වාදීන් පවසන පරිදි නම් එවැනි පිරිසක් උතුරේ සිටිය නොහැකිය. උතුරේ බෙදුම්වාදයට එරෙහි කිසිවකුට කිසිම ඉඩක් තිබිය නොහැකිය. මන්ද තමන් නියෝජනය කරන්නේ උතුරේ ජනමතය යැයි ඔවුන් කියන නිසාය.

ඒ අනුව උතුරේ විශේෂයෙන් යාපනයෙ පොදුජන පෙරමුණට අවාසි සහගතම කලාපය ලෙස නම් කිරීම නිවැරදිය. බෙදුම්වාදය වෙනුවෙන් පෙනී සිටින ජනතා විමුක්ති පෙරමුණට ද ඔවුන්ට වඩා වායසියක් උතුරේ තිබිය යුතුය.

එහෙත් මහ පොළොවේ යථාර්ථය ඊට වෙනස්ය. මේ පොදුජන පෙරමුණ උතුරේ යාපනය දිස්ත්‍රික්කයේ ලද ඡන්ද ප්‍රමාණයයි.
පේදුරු තුඩුව නගර සභාව 66
චාවකච්චේරි නගර සභාව 60
කරෙයිනගර් ප්‍රාදේශීය සභාව 15
කයිට්ස් ප්‍රාදේශීය සභාව 142
වෙලනායි ප්‍රාදේශීය සභාව 899
වලිකාමම් බටහිර ප්‍රදේශීය සභාව 198
වලිකාමම් නිරිත දිග ප්‍රදේශීය සභාව 198
වලිකාමම් දකුණ ප්‍රදේශීය සභාව 188
වඩමාරච්චි නිරිත දිග ප්‍රදේශීය සභාව 125
පේදුරුතුඩුය ප්‍රාදේශීය සභාව 912
චාවකච්චේරි ප්‍රාදේශීය සභාව 210
නල්ලූර් ප්‍රාදේශීය සභාව 274
එකතුව 3287


මේ අනුව පළාත් පාලන මැතිවරණයේ දී යාපනය දිස්ත්‍රික්කයේ පොදුජන පෙරමුණ ඡන්ද 3287ක් ලබා නියෝජිතයන් තිදෙනකු පත්ව තිබේ. අතිශය භයානක ලෙස සිංහල ජනතාව කෙරෙහි බිය වෛරය ඇති වන ආකාරයටත් මහින්ද රාජපක්ෂ එහි නායකයා ලෙසත් හුවා දක්වා දෙමළ සන්ධානය, ආණ්ඩුව සහ ජනතා විමුක්ති පෙරමුණ දියත් කළ වර්ගවාදී මැතිවරණ ප්‍රචාරය හමුවේ උතුරින් පොදුජන පෙරමුණට තරග කිරීමට අපේක්ෂකයන් සොයා ගැනීමට හෝ හැකියාවක් ඇතැයි අප විශ්වාස කළේ නැත.

එහෙත් යාපනයේ සැලකිය යුතු පිරිසක් ඒ ප්‍රචාරවලට එරෙහිව පොදුජන පෙරමුණ ඔස්සේ තරග වැදී තිබීම ඉතාම වැදගත්ය. ඡන්ද ප්‍රමාණය පවා එතරම් වැදගත් නැත. බෙදුම්වාදය වෙනුවෙන් පෙනී සිටින ජවිපෙට වඩා ජන ආකර්ෂණයක් පොදුජන පෙරමුණට ම රටේ අවාසිසහගතම කලාපයේ දී තිබේ.

මෙලෙස මාස කිහිපයක් ඇතුළත සමස්ත රට පුරා බිම් මට්ටමේ සාමාජික පිරිසක් ගොඩ නඟා ගැනීම එම පක්ෂය ලද සුවිශේෂ ජයකි. එන්ජීඕකාරයන් සහ ෆෙඩරල්වාදීන් දුර්මුඛ කරන මේ ප්‍රතිඵලය රැක ගැනීමට ජාතික බලවේග පෙරමුණ ගැනීම වැදගත්ය. උතුරේ ජනතාව අතර සිංහල ජනතාවට එරෙහිව වපුරන හුඹස් බිය පරාජය කිරීමට කටයුතු කිරීම මේ අවස්ථාවේ අප හමුවේ ඇති වගකීමකි.

එසේම මේ අවස්ථාවේ දෙමළ සන්ධානයේ මතය ම නියෝජනය කළ ද එක්සත් ජාතික පක්ෂය සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය යන ජාතික ධාරාවේ පක්ෂ වෙත උතුරේ ජනතාව ආකර්ෂණය වීම ඉහළ යාම ද මා මේ මොහොතේ දකින සුබ ලකුණකි. එය අනාගතයේ දෙමළ ජනතාව තමන් සිර කොට ඇති වර්ගවාදී සීමා බිඳ දමා එක රටක් එක දැයක් ලෙස නැගී සිටීමට සුදානම් වන බවට ලද ඉඟියකි. අප ද ඒ පිරිස සාදරයෙන් පිළිගැනීමට සහ සෙසු පිරිස ද ඒ දහරාවට යොමු කර ගැනීමට සුදානම් විය යුතුය.

Sunday, January 21, 2018

ජවිපෙ අවතාර සහ පිල්ලි

"ලංකා දේශපාලනයේ අවතාරයක් සැරිසරයි; ඒ ජවිපෙය" කියලා ජවිපෙට ගම දෙන්න කියන ආචාර්ය නිර්මාල් නොබෝදා ෆේස්බුක් සටහනක් තබා තිබෙනු දුටිමි. ඒ අතර ජවිපෙ ඡන්දයෙන් පැරදී ජාතික ලැයිස්තුවෙන් පත් වූ මන්ත්‍රී සුනිල් හඳුන්නෙත්ති පවසා තිබුණේ මහ බැංකු අධිපති ධුරයට අර්ජුන් මහේන්ද්‍රන් පත් කිරීම සම්බන්ධව වගකිව යුත්තේ ජනාධිපතිවරයා බවය.

මේ කතා දෙකම ජවිපෙ වර්තමාන තත්ත්වය පිළිබිඹු කරන පැහැදිලි කැටපත් දෙකකි. අර්ජුන් මහේන්ද්‍රන් නමැති සිංගප්පූරුකාාරයා අදාළ තනතුරට පත් කිරීමට ජනපති පමණක් නොව තවත් බොහෝ දෙනා එරෙහි වෙද්දී තමන් පෞද්ගලිකව වගකීම භාරගන්නා බව පවසමින් සිය ගජයා මහ බැංකුව සුද්ද කිරීමේ මෙහෙයුමේ නායකත්වයට පත් කළේ එවක ආසන 42ක් සහිත ජනවරම පොකට් ගසා අගමැති වූ රනිල් වික්කමසිංහය.

මේ රටම දන්නා සත්‍ය විකෘති කරමින් බොරු කීමට තව දුරටත් පණ ඇති දේශපාලන ව්‍යාපාරයකට නොහැකිය. අවම වශයෙන් එජාපයේ පී. හැරිසන් වැනි බොරුකාරයන් පවා මෙි තරම් පක්ෂග්‍රාහී පිළිකුල් සහගත බොරු කියන්නේ නැත. එහෙයින් ආචාර්ය නිර්මාල් පවසන පරිදිම අනුරගේ ජවිපෙ යනු සෝමවංශගේ ජවිපෙ මළ පසු උපන් අවතාරයකි.

දැන් එහි නායකත්වයට පත්ව ඇත්තේ රනිල් නමැති යක් දෙස්සා මුදල් නමැති මන්තර බලයෙන් බැඳ ගෙන වැඩ ගන්නා යක්කුය. කුම්භාණ්ඩයෝය. මළ ප්‍රේතයෝය. එජාපයට අවශ්‍ය නොවන අවස්ථාවල තමන්ට රිසි සේ හැසිරෙන මොවුහු සිරිකොතින් කැඳවීම් ලද වහා මරු පිල්ලි ලෙස කටයුතු කරති.

මේ ආණ්ඩුවේ විනාශකාරී ගමන සිය විධායක බලය පාවිච්චි කර නිවැරදි මාවතට ගන්නා බවක් සිරිසේන ජනාධිපතිවරයා මෙතෙක් ප්‍රදර්ශනය කර නැත. ඔහු ද ඒ විනාශයේ කොටස්කරුවකු වූවා පමණි. ඔහු විශ්වාසදායි පුරවැසියෙක් මහ බැංකු අධිපති කළා නම් එජාපය⁣ට ඔහුම පවසන මෙරට ඉතිහාසයේ දැවැන්තම වංචාව කිරීමට අවස්ථාව ලැබෙන්නේ නැත. ඩිව් ගුණසේකර කෝප් කමිටු වාර්තාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නොදී එය විසුරුවා නැවත රනිල් අගමැති නොකරවන්නට නැවත 2016 පෙර හොරකමටත් දරුණු දෙවන මහ බැංකු කොල්ලය සිදුවන්නේ නැත.

එහෙත් මේ ගමනට කිසියම් අවස්ථාවක ඔහු එරෙහි වන්නේ නම් ජවිපෙ වහාම සිය හාම්පුතාගේ පිල්ලි ලෙස සිය වගකීම ඉටු කරමින් සිරිසේනට පහර දෙනු ඇත. එකල්හි ඒකාබද්ධය රටේ යහපත වෙනු⁣වෙන් සිරිසේන වෙනුවෙන් පෙනී සිටිය යුතුය.

එහෙත් අනෙකාට සහාය වීමට නම් මුලින්ම තමා ශක්තිමත් විය යුතුය. හිඟන්නකුට අවශ්‍ය විටක තම මිතුරකුට පවා උදව් කළ නොහැකිය.එහෙයින් ඒකාබද්ධය එළඹෙන මැතිවරණය තමන් ශක්තිමත් වීමට යොදා ගත යුතුය.
 
සිය රට දේ සිරි සැප දේ !