Friday, May 17, 2013

විරු සැමරුම සහ වියැකි යන මගේ සිහින


ඒ ඓතිහාසික සිද්ධියට අදට වසර හතරකි. කිසිදා පරාද කළ නොහැකි ලොව බිහිසුණුම ත්‍රස්ත සංවිධානය යැයි නම් ලද කොටි සංවිධානය  ආණ්ඩුවේ දේශපාලන නායකත්වය යටතේ අපේ ත්‍රිවිධ හමුදාව විසින් පරාජයට පත් කොට අදට වසර හතරකි. ලොව දියුණුම අවි ආයුධ සහ තාක්ෂණික උපාංගවලින් සන්නද්ධ ඇමරිකානු හමුදාව ලොව පුරා කරන ලද සියලු යුද්ධවලින් අසාර්ථක වන පසුබිමක ගොඩ නඟන ලද බටහිර මතවාද පවා නැවත අභියෝගයට ලක් කිරීමට තරම් මේ ජයග්‍රහණය සුවිශේෂ වූවකි. එතෙක් බටහිර පිළිගත් මතාවදය වූයේ යුද්ධයෙන් කිසිදා ත්‍රස්තවාදය පරාජය කළ නොහැකි බවය. ඇමරිකාව පිට පිට ලබන පරාජයන් සාධාරණීකරණය සඳහා ද ලංකාව වැනි රටවල අරගල හිඟන්නාගේ තුවාල බවට පත් කොට සිය අවශ්‍යතා අනුව කලමනාකරණය කොට පවත්වා ගෙන යාමට ද මේ තියරි භාවිත කෙරිණි. ලංකාවේ සාම මුදලාලිලා ජීවත්වූයේ අපේ රටේ ජනතාව වෙත මේ මතවාද පොම්ප කිරීම වෙනුවෙන් ලැබෙන ඩොලර්වලිනි. එහෙත් 2009 මැයි 19 වන දින එම තියරි අභියෝගයට ලක් කිරීම ආරම්භ විය. 

අප එදා ලද ජයග්‍රහනය හුදු ආණ්ඩුවේ ජයග්‍රහනයක් නොවේ. සිංහලයා දෙමළාට විරුද්ධව ලද ජයක් ද නොවේ. අප ඒ ජයග්‍රහණය ලැබුවේ තනි රටක් ජාතියක් ලෙසය. අපි පරාජය කළේ කොටි මිස දෙමළ ජනතාව නොවේ. කොටි සංවිධානය දෙමළ තරුණයින්ගෙන් සමන්විත වුව ද දෙමළ ජනතාව යනු කොටි නොවේ. එහෙයින් අපි මේ ජයග්‍රහණය විග්‍රහ කොට ගත යුත්තේ රටේ සාමකාමී සිංහල දෙමල මුස්ලිම් හැමගේ ජයක් ලෙසය. අප පරාද කළේ බෙදුම්වාදය සහ ත්‍රස්තවාදයයි. ඊට උඩගෙඩි දුන් බටහිර බලවේගය. එදා හමුදාව ජීවිත පරිත්‍යාග කොට ලද ජයග්‍රහණය අර්ථවත් කිරීමේ වගකීම පැවරෙන්නේ ආණ්ඩුවටයි. පසුගිය වසර හතර දෙස ආපසු හැරී බලන විට අපට සතුටු විය හැකි ද? ආණ්ඩුව සිය යුතුකම් කොටස මැනවින් ඉටු කොට තිබේද? නැවත බෙදුම්වාදයට රට යොමු වීමට ඇති මං අහුරා තිබේද?


මේ සියලු ප්‍රශ්නවලට මගේ පිළිතුර නැත යන්නය. ඕනෑම සටනක් අවසානයේ වැඩි වගකීම පැටවෙනුයේ ජයග්‍රාකයා අත බව ආණ්ඩුව අවබෝධ කරගෙන නොමැත. අප විනාශ කළේ බෙදුම්වාදයේ ත්‍රස්ත හිස පමණි. එහි ප්‍රජාතන්ත්‍රවාදී හිස දැන් පෙරටත් වඩා ශක්තිමත් ලෙස ලංකාව දෙකඩ කිරීම සඳහා ක්‍රියා කරමින් සිටියි. ඉන් උතුරේ සාමාන්‍ය වැසියා ගලවා ගැනීමට ආණ්ඩුව සක්‍රිය ලෙස කටයුතු කළ බවක් දක්නට නොමැත. අනෙක් අතට 13 වැනි සංශෝධනය නමැති බෙදුම්වාදී පිළිකාව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් ඉවත් කිරීම සඳහා අවශ්‍ය බලය මේ ආණ්ඩුව සතු වුව ද ඒ සඳහා කිසිවක් කොට නොමැත. ඒ නිසා එදා යුද්ධයෙන් දිනාගත නොහැකි වූ ඊළම මතුදා ප්‍රජාන්ත්‍රවාදය ඔස්සේ ජාත්‍යන්තරයේ සහයෝගයෙන් දිනා ගැනීමට අවශ්‍ය රෝග බීජ තව දුරටත් නිදැල්ලේ වැඩෙන්නට හැර තිබේ. 

අපට යුද්ධ ආයුධවලින් ත්‍රස්තවාදය දිනුව ද එලෙස ජනතාවගේ හදවත් දිනාගත නොහැකිය. දකුණේ ජනතාවට මෙන්ම උතුරේ ජනතාවට ද තිස් වසරක් පුරා මේ යුද්ධය වෙනුවෙන් විශාල ජීවිත දේපොල ප්‍රමාණයකින් වන්දි ගෙවීමට සිදු විය. කොටි පරජය සමඟ ඇතැම් ද්‍රවිඩ පිරිස් අතර කිසියම් හීනමානී හැඟීමක් හට ගැනීම ස්වාභාවිකය. උතුරේ තරුණ දේශපාලකයින් බිහි කොට ආණ්ඩුවේ ප්‍රධාන තනතුරු ඔවුන්ට දෙමින් දෙමළ ජනතාවගේ අභිමානය නැවත නඟා සිටුවීමට ආණ්ඩුව ක්‍රියා කරන බවක් පෙනෙන්නට නැත.  ජීවිත හැර යුද්ධය නිසා අහිමි වූ සියල්ල නැවත දෙමියි ජනාධිපතිතුමා උතුරේ වැසියන්ට පොරොන්දු වුව ද අවසානයේ කළේ අපි ජාතික වීරයෙකු ලෙස සැලකිය යුතු ආනන්ද කුමාරස්වාමි මහතාගේ නාමය යෙදු මාවත චීන කොන්ක්‍රීට් ගොඩක් නිසා නෙලුම් පොකුණ මාවත යැයි නම් කිරීමය. මේ ආණ්ඩුවට උපදෙස් දෙන කේවට්ටයින් අතර අබැටක් මොලේ ඇති එකෙක් සිටියේ නම්  ආණ්ඩුවට උපදෙස් දිය යුතුව තිබුණේ උක්ත රඟහල ද ආනන්ද කුමාරස්වාමි රඟහල ලෙස නම් කරන ලෙසය. ඉන් නොනැවතුණු ආණ්ඩුව එදා ප්‍රභාකරන් මුලතිව් කැලේ හැදූ ගුවන්පථය සංවර්ධනය කොට ජාත්‍යන්තර ගුවන් තොටු පලක් හදනු වෙනුවට මත්තල සරුංගල් පිට්ටනියක් ද තැනුවේය.ෙ

එපමණක් නොව බහුතර බෞද්ධ ජනතාවගේ ඡන්දයෙන් තේරි පත්වූ මේ ආණ්ඩුව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව බුදු දහමේ ආරක්ෂාව සහ දියුණුය සඳහා ගන්නා කිසිදු වැදගත් ක්‍රියාමාර්ගයක් දැකිය නොහැකිය. රටපුරා බෞද්ධ උරුමය, බෞද්ධ සංස්කෘතික සංහාරය නොදැක්කා සේ සිටින ආණ්ඩුව සිදු කරන්නේ ඇතැම් සුළු ජාතික කණ්ඩායම්වල අන්තවාදී ක්‍රියාවලට විරුද්ධව බෞද්ධ ජනතාව නැගී සිටින තුරු ඔවුන්ගේ ඉවසීමේ සීමාව අහවර වනතුරු බොරුවට නිදා සිටීමය. බොදුබල සේනා, සිංහල රාවය වැනි සංවිධාන පෙර කී අන්තවාදයට විරුද්ධව බිහිවන සංවිධාන බව ඒවාට පහර දෙන පුස්සන්ට නොපෙනී යාම අරුමයකි. බුදු හිමි දේශනා කළ පරිදි හේතුවක් නොමැතිව ඵලයක් හට නොගනී. පෙර කී බෞද්ධ සංවිධාන ඇතැම් සුළු ජාතික අන්තවාදීන්ගේ ක්‍රියාවල ඵලය මිස අනෙකක් නොවේ. 

එසේ නම් එකී සුළු ජාතික අන්තවාදය කවර හේතුවක ඵලයක් දැයි කෙනෙක් ප්‍රශ්න කළ හැකිය. ඒ අන් කිසිවක් නොව අවුරුදු සිය දහස් ගණනක් ඈත යුගයේ ඇතැම් ආගමික ශාස්තෘවරුන් ස්වකීය ජන කණ්ඩායම්වල ආරක්ෂාව වෙනුවෙන් දේශනා කළ ඇතැම් කරුණු අද දවසේ වෙනත් සමාජ දේශපාලන පසුබිමක භාවිත කිරීම සඳහා උත්සාහ ගැනීමේ ඵලයයි. රට පුරා සෙමෙන් ලියලන මේ අන්තවාදී පිළිල වහා විනාශ කර දැමිය යුතුය. එදා ගෝත්‍රික සමාජය දෙසූ දහම් කොටස් අදට නොගැලපෙන බව ද තමන් ජීවත් වන රටේ ප්‍රධාන සංස්කෘතියට ගරු කරමින් සහයෝගයෙන් ජීවත් වීම සිය වගකීම බව ද එම කොටස්වලට තේරුම් කර දීම ආණ්ඩුවේ වගකීමයි. බෞද්ධයින් සැමට මෛත්‍රී කළ යුතුයැයි බුදුන් දෙසූ බව නිතර දේශනා කරන්නවුන් මේ පිළිබඳ වදනක් පවසනු මා දැක නැත. බෞද්ධයින් සැම විට ම සටන් කොට ඇත්තේ අවි අතට ගෙන ඇත්තේ ස්වකීය ආත්ම ආරක්ෂාව සඳහා බව ඉතිහාසය හැදෑරීමෙන් උගත හැකිය. එසේ නොව අවස්ථාවක් ඇත්නම් පෙන්වා දෙන මෙන් අපි අභියෝග කරමු. 

රටපුරා විසිර සිටින හින්දු ජනතාව විවිධ අන්තවාදී ආගමික කල්ලි විසින් නොයෙක් කූට උපක්‍රම භාවිත කරමින් සිය ලබ්ධීන්වලට හරවා ගනිමින් කරනු ලබන සංස්කෘතික සංහාරය මේ ආණ්ඩුවට පේන්නේ නැත. සිංහල බෞද්ධයින් වෙනුවෙන් උඩ පනින බෞද්ධ සංවිධානවලට වුව දකුණේ සිය අසල්වැසි හින්දු මිනිසා අන්තවාදී ආගමික කල්ලි විසින් බිලි ගැනීම ප්‍රශ්නයක් නොවේ. එහෙත් ඔවුන් අවබෝධ කරගත යුත්තේ ලබ්බට තැබූ අත දැනටමත් පුහුලට තබ ඇති බවය. දකුණේ සිංහල ගම් ආශ්‍රිතව ජීවත් වන සුළුතර හින්දු ජනතාව මුලින්ම සිය ආගමික කල්ලිවලට බිලි ගන්නා අන්තවාදීන් අනතුරුව සිංහල බෞද්ධ ජනතාව ද සෙමෙන් සෙමෙන් බිලි ගන්නට පටන් ගෙන ඇති බවට ඇස් පනාපිට සාධක තිබේ. එහෙයින් සිය අසල්වැසි හින්දු ජනතාවගේ ආගමික සංස්කෘතික අයිතිවාසිකම් ආරක්ෂා කරදීමට ඉදිරිපත් වීම සිංහල බෞද්ධ සංවිධානවල යුතුකම ද වගකීම ද බව වහා අවබෝධ කරගත යුතුය.

අනෙක් අතට අප මේ විරු සැමරුම කළ යුත්තේ දෙකඩ වී ඇති උතුරු දකුණු හදවත් යා කිරීම සඳහා මිස යුද්ධයේ අවතාර වැනි බිහිසුනු ආයුධ ප්‍රදර්ශනය කිරීම සඳහා නොවේ. රණවිරුවන් ජීවිත පූජා කළේ උතුර දකුණ යා වූ තනි රටක් දකිනු පිණිස මිස මෙලෙස අතීත අවතාර ගාලු මුවදොර හොල්මන් කරනු දකිනු පිණිස නොවේ. එහෙයින් මේ විරු සැමරුම සිංහල දෙමළ සංස්කෘතික සංදර්ශනයක් බවට පත් කළ යුතුය. එක්ව නැඟී සිටින ජාතියක සාඩම්බර ශක්තිය විදහාපාන කැඩපතක් විය යුතුය. සිංහලයාට පමණක් නොව අපේ දෙමළ සහෝදරයින්ට ද සාඩම්බරයෙන් සහභාගී විය හැකි උත්සවයක් විය යුතුය. අප ජාතිය තව තවත් එකිනෙකාට ළං කරන සොඳුරු තොටමුණක් විය යුතුය. පෙබරවාරි 4 වැනි දින කරන ආයුධ පෙළපාලි මැයි 19 වන දිනට රැගෙන නො ආ යුතුමය. අප මැයි 19 ගාලු මුවදොර රඟදැක්විය යුත්තේ උතුරේ හින්දු සංස්කෘතික අංගය. දකුණේ සිංහල සංස්කෘතික අංගය. සෙසු ජාතිවල සුන්දර සංස්කෘතික අංගය. එකී විවිධත්වය තුළ මතුවන ඒකීයත්වයේ සුන්දරත්වය විඳ ගැනීමට හැකි විසල් මනස් සහිත ජාතියක් නිර්මාණය කළ යුතුය. කොටින්ම අප දේදුන්නක සුන්දරත්වය විඳගත හැකි ජාතියක් බිහි කළ යුතුය. දේදුන්නේ සුන්දරත්වය ඇත්තේ විවිධ පාටවල සංයෝගය නිසා බව තේරුම්ගත හැකි ජාතියක් නිර්මාණය කළ යුතුය. ඒ සංයෝගයෙන් මිදුණු කල එහි දේදුන්නක් හෝ සුන්දරත්වයක් නැත. මෙහිලා මා පවසන්නේ බහු සංස්කෘතික විකාරයක් ගැන නොවන අතර මේ ඒ පිළිබඳ සාකච්ඡාවකට අවස්ථාවක් නොවේ.      

මා මේ කෙටි ලිපිය ලීවේ අප ලද විජයග්‍රහණයේ හතර වන සැමරුම සමරන මොහොතේ මා තුළ ඇති අතෘප්තිය ප්‍රකාශ කිරීම සඳහාය. එදා අපි යුධ බිමට නොගිය ද මාක්ස්වාදීන් ද බෙදුම්වාදීන් ද ඕල්කට් බෞද්ධයින් ද මේ රටේ විපක්ෂය ද (මේ රටේ ඇත්තේ ආණ්ඩුවට විපක්ෂයක් නොව රටට විපක්ෂයකි) සමඟ මතවාදීමය වශයෙන් ගැටුණෙමු. ඔවුන්ගේ මතවදා අපි පරාජයට පත් කළෙමු. අප අන්තර්ජාලය අරා සිටි බෙදුම්වාදී රංචු සමඟ අතිවිශාල සටනක් කළ බව දන්නෝ දනිති. යුද්ධය වෙනුවෙන් දකුණේ ජනතාවගේ මානසික ශක්තිය ආරක්ෂා කරගැනීම සඳහා අපි මහත් ලෙස කැපවීමු. ඔවුන් කිසියම් මොහොතක මානසික ලෙස ඇද වැටුණි නම් ප්‍රතිඵලය එතරමු සුන්දර නොවන්නට ඉඩ තිබිණි. මගේ කසාපබ්බත අඩවියේ 2009 වසර තුළ ලිපි 200 ආසන්න ප්‍රමාණයක් ලියැවෙන්නේ ඒ කාර්යයට උරදීම සඳහාය. අප එදා ලද ජයග්‍රහණය ජාතිය සතු සදාකාලික ජයග්‍රහණයක් බවට පත්වන්නේ මේ රටේ ඒකීයභාවය ද සිංහල බෞද්ධ සංස්කෘතික පසුබිම ද පිළිගන්නා දේශප්‍රේමී තරුණයෙකු උතුරින් ඇවිත් රටේ ජනාධිපති ධූරය දරන දිනකය. බෙදුම්වාදී අපේක්ෂා සුනුවිසුනු කිරීම සඳහා උතුරේ ජනතාව දකුණේ ජනතාව සමඟ එක්ව අත්වැල් බැඳ ගන්නා දවසකය. එහෙත් ආණ්ඩුවට අපේ සිහිනවලින් පලක් තිබේද? පෙට්‍රල් මිල වැඩිය කියා පාරේ දුවන වස්සන් ද පෙට්‍රල් මිල වැඩි කළාට කමක් නැතැයි කියා ජාතික දජ එල්ලා කොළඹ පරාවල් දිගේ පෙලපාලි දක්කන නාම්බන් ද දකින සිහිනය අද අප දකින සිහිනයම ද? මට මේ මොහොතේ සිතෙන්නේ සාඩම්බර දේශයක් තැනීම සඳහා ආණ්ඩුවට ඉතිහාසය විසින් ලබා දුන් අනගි අවස්ථාව විනාශ කරමින් සිටින බවය. කිසිදු දේශපාලන පරණත භාවයක් නැති අවස්ථාවදී විපක්ෂයට ඇත්තේ කෙසේ හෝ පාලන බලය ඩැහැ ගැනීමේ ආශාව පමණි. මේ තත්ත්වය තුළ අප හිස මත දිනෙන් දින නැඟ  එන කළු වළාකුලු දැක දැක ජීවත් වන්නට අපට සිදුව තිබේ.  

Wednesday, February 27, 2013

අටපිරිකරත් හලාල් වීමට පෙර ....

ආණ්ඩුවේ ජාත්‍යන්තර කුමන්ත්‍රණ පිළිබඳ විශේෂඥයා විමල් වීරවංශ පවසන පරිදි මුස්ලිම් අන්තවාදය හමුවේ සිංහලයින් නොසන්සුන් වීම ද ජාත්‍යන්තර කුමන්ත්‍රණයකි. මංගල සමරවීර පවසන පරිදි එය ආණ්ඩුවේ වැඩකි. නිමල් සිරිපාල පවසන පරිදි එය අන්තවාදයකි. මේ සියල්ලට හේතුව වේගයෙන් ව්‍යාප්ත වන මුස්ලිම් අන්තවාදය බව කීමට කිසිවෙකු නොමැත. එසේ කිසිවෙකු කිවහොත් ඌ ජාතිවාදියෙකි. අද සිංහලයා සිංහල වීම නිසාම කිසිදු හඬක් නොමැති නිවටයෙක් බවට පත්ව සිටී.

උලමා සංවිධානය පවසන  පරිදි රජය හලාල් සහතික දිය යුතුය. උලමා කුමක් සිතුවද ලංකාව මුස්ලිම් රටක් නොවේ. එහෙයින් අන්තවාදය සාධාරණීකරණය කරමින් ඊට රාජ්‍ය පිළිගැනීමක් ද ලබා දෙමින් බහුතර ජනතාවට හලාල් කැවීමට උලමා අටවන උගුලෙහි ආණ්ඩුව නොවැටිය යුතුය. ආණ්ඩුව හලාල් සියතට ගැනීමට සුදානම් වේ නම් 2001 රනිල්ගේ ආණ්ඩුව මෙන් මේ ආණ්ඩුව ද ගෙදර යැවිය යුතුය. සිංහලයාට සිය රටේ ස්වාධීනත්වය ආරක්ෂා කර ගැනීමට නොහැකි නම් මේ ආණ්ඩුව ද මුස්ලිම් අන්තවාදයට ආවඩයි නම් සිංහලයා කළ යුත්තේ විමල් වීරවංසලාට බම්බු ගහ ගන්න යැයි කිසා බැරක් ඔබාමා ඉදිරියේ වැඳ වැටී අපේ රට ඇමරිකන් යටත් විජිතයක් කර ගන්නා ලෙස ඉල්ලා සිටීමය. ෂාරියා නීතිය ක්‍රියාත්මක වන ගෝත්‍රික රාජ්‍යයකට වඩා එය හොඳය. ශිෂ්ටාචාරයේ වසර දහස් ගණනක් ආපස්සට යෑමට වඩා වසර සිය ගණනක් යෑම හොඳය.

උලමා කළ යුත්තේ සෙසු 92%ක් ජනතා මෙන් රජයේ ප්‍රමිති ආයතනවලින් ලබා දෙන ප්‍රමිති පිළිගැනීමය. ලංකාවට වඩා මුස්ලිම්වරු සිටින ඉන්දියාවේ ද හලාල් නැත. රජය කළ යුත්තේ අවශ්‍ය නම් මස්වලට පමණක් හලාල් සහතික ලබා දීමට උලමාට අණ කිරීම පමණි. ආණ්ඩුවේ ගොන් තඩි සිංහල බෞද්ධ අන්තවාදයක් පිළිබඳ උඩු බිරීම නවතා බෞද්ධයින් නොසන්සුන් වී ඇත්තේ මන්දැයි බුද්ධිමත්ව සොයා බැලිය යුතුය. මේ රටේ මුස්ලිම් ජනතාව දිනෙන් දින අන්තවාදය දෙසට තල්ලු කරන සංවිධාන හඳුනා ගත යුතුය. මොහිදීන් බෙග්කරණයේ සිට බින්ලාඩන්කරණය දෙසට ගමන් කරන මුස්ලිම් අන්තවාදය වහා නතර කළ යුතුය.


දිනෙන් දින මතුවන කළු ලෝගු පිළිබඳ මේ අඳ බාලයින් සංවේදී නොවුණ ද ඒ පිළිබඳ අවදියෙන් සිටින පිරිසක් මේ රටේ තවමත් සිටිති. මේ අන්තවාදය හමුවේ ගතයුතු පියවර මොනවා දැයි මේ රටේ තුප්පහි ආණ්ඩුව ප්‍රංශ, ඕස්ටේලියානු, ඩෙන්මාර්ක්, රුසියානු ආණ්ඩුවලින් ටියුෂන් ගත යුතුය. ප්‍රංශයේ දශ ලක්ෂයක් මුස්ලිම්වරුන් සිටිය ද ප්‍රසිද්ධ ස්ථානවල පර්දා පැළදීම තහනම් අතර එසේ කළහොත් යුරෝ 300ක් ඒ මොහොතේම දඩ ගසනු ලැබේ. ඕස්ට්‍රේලියානු අගමැතිනිය මෑතදී කීවේ සිය රටේ ෂාරියා නීතිය ක්‍රියාත්මක කළ නොහැකි බව ද පවතින නීතිය යටතේ ජීවත් වීමට අකමැති අයට රටින් පිටවන ලෙසය. දවසට 6 වරක් ශබ්ද විකාශන යන්ත්‍ර භාවිතයෙන් යාතිකා ගායනයට ද ඕස්ට්‍රේලියාවේ ඉඩක් නොමැත. ඩෙන්මාර්කයේ මුස්ලිම් දේවස්ථාන ඉදිකිරීම සපුරා තහනම්ය. පර්දා පැළඳ පාසැල් ඒම රුසියාව තහනම් කළේ ඉතාම මෑතකදීය. ෂාරුක් ඛාන් සිද්ධිය අවස්ථාවේ අසල්වැසි ඉන්දියාවේ ආණ්ඩුව මෙන්ම විපක්ෂය හැසිරුණු ආකාරය මේ රටේ සිංහල ඡන්දවලින් පාර්ලිමේන්තු ගොස් ගඟෙන් වතුර බී මුහුදට ආ වඩන නිවට දේශපාලකයින් නිරුවත් කොට අවසානය.

මේ රටේ සිංහල බෞද්ධයින් දැන්වත් මේ රටේ ද්වි-පක්ෂ ක්‍රමය මගින් සිය ජාතියට කර ඇති හානිය අවබෝධ කරගත යුතුය. සිංහලයාට තමන් දීගේලි කර ඇති පක්ෂ පිළිබඳ නොව රට දැය සමය පිළිබඳ සංවේදී වීමට මේ ආණ්ඩුව මෙන්ම විපක්ෂය දැන් මහඟු අවස්ථාවක් සපයා තිබේ. හලාල් ප්‍රශ්නය හමුවේ පක්ෂ භේදයකින් තොරව සියලු මුස්ලිම් දේශපාලකයින් ෂාරියා නීතිය වෙනුවෙන් හඬ නගද්දී තම නියෝජිතයින් කළේ කුමක් දැයි සිංහලයින් දැන්වත් අවබෝධ කරගත යුතුය. සිංහලයා කිසිදු දේශපාලකයෙකු විශ්වාස නොකළ යුතු අතර තම රට දැය සමය රැක ගැනීම තම වගකීමක් බව අවබෝධ කරගත යුතුය.

මේ රට අනතුරකට අවධානමකට මුහුණපෑමට ගොදුරු වන කල්හි ඒ පිළිබඳ වහා සංවේදී වී ඉදිරියට එන්නේ බෞද්ධ භික්ෂුවයි. එය ඉතිහාසය පුරා සිදුවූවකි. නූතනයේ විවිධ දේශපාලන පක්ෂවල අතකොලු බවට පත්ව ඇති සහ ඇතැම් ලලනාකාමී ගණින්නාන්සේලා ද පල්ලි නිකායේ භික්ෂූන් ද බහුල වුව ද රට දැය සමය රකින මුරදේවතාවුන් වැනි භික්ෂූන් වහන්සේලා තවමත් අප අතර සිටීම ජාතියේ වාසනාවකි. අවධානම කලින් දැන ජාතිය ඒ සඳහා සුදානම් කිරීමේ භාරදූර වගකීම උන්වහන්සේලා මහත් අභීමාණයෙන් දරති. එය මේ රට ලද භාග්‍යයකි. නිසි නායකත්වයක් නොමැතිව වල්මත්ව සිටින අසරණ බෞද්ධයින්ට මගපෙන්වීම උන්වහන්සේලාගේ වගකීමයි. හලාල්කරණයට ජනතතා නැගීටීමට නිසි නායකත්වයක් සපයා එය බෞද්ධ ප්‍ර බෝධය සඳහා කළමනාකරණය කිරීම නූතන භික්ෂුවට පැවරෙන දැවැන්ත වගකීමකි.

මේ රටේ සංහිඳියාවෙන් ජීවත් වීමට කැමති බහුතර මුස්ලිම් ජනතාවට ආදරය රැකවරණය සපයන අතර ඔවුන් අන්තවාදය කරා දක්කා ගෙන යන්නවුන් මර්දනය කිරීම අද රට හමුවේ ඇති වගකීමකි. එය අතුරේ යනු වැනි වැඩකි. මේ රටේ සිංහල දෙමළ ජනතාව සමග සමගියෙන් ජීවත් වීමට කැමති මුස්ලිම් ජනතාව පාඩම් උගත යුත්තේ සෙසු රටවල අන්තවාදී මුස්ලිම් කල්ලිවලින් හෝ ඔවුන්ගේ දේශීය නියෝජිතයින්ගෙන් නොව මොහිදීන් බෙග්, අන්වර් මොහිදීන්, මොහොමඩ් ගවුස්, ඒ.ජේ. කරීම් වැනි මේ රටේ ශ්‍රේෂ්ඨ මුස්ලිම් පුරවැසියන්ගෙන් උගත යුතුය. සිංහල බෞද්ධ ගීත අති බහුතරයක් ගයා ඇත්තේ මේ මුස්ලිම් කලාකරුවන්ය. ඉන්දියාවේ හිටපු ජනාධිපති අබ්දුල් කලාම් ද ඔවුන් ආදර්ශයට ගත යුතුය. මුස්ලිම් නොවන රටක ජීවත් වන අරාබි පියෙකුට ද සිංහල මවකට දාව උපන් සිංහල මුස්ලිම්වරුන්ට මුස්ලිම් රටක මෙන් කුරාණය 100%ක් ක්‍රියාත්මක කළ නොහැකි බව අවබෝධ කර ගත යුතුය. සිංහලයින් සමඟ සමගියෙන් ඔවුන්ට තර්ජනයක් නොවන ලෙස ජීවත් වන තුරු අන්තවාදී මුස්ලිම් රටක නොමැති නිදහසක් ද භුක්ති විඳීමට මෙරට මුස්ලිම්වරුන්ට අවස්ථාව තිබේ.

කෙසේ වුවද රටේ දෝර ගලන ආගමික අන්තවාදය හමුවේ බෞද්ධ අන්තවාදයට ගමන් කොට අප බුදුන් දෙසු දහම අනුව සියල්ල අනිත්‍යයයි. එහෙයින්  ජාතියෙන් පලක් නොමැත. අප නිවන් සොයා යා යුතුයැයි සිතා නිහඩව බවුන් වැඩුවහොත් සිය ජාතිය ආගම වහා නිවන් දකිනු ඇති අතර මුස්ලිම් අන්තවාදයට බිලි වූ පකිස්ථානය, ඇෆ්ගනිස්ථානය, බංගලිදේශය, මාලදිවයින මෙන් ලංකාව ද මුස්ලිම් රටක් වනු ඇත. අපේ අනාගත දරු මුනුබුරන්ට ෂාරියා නීතිය යටතේ කළු ලෝගුවලට මුවා වී අපායක ජීවත් වීමට සිදුවනු ඇත. බෞද්ධයින් අන්තවාදී ලෙස ලොව්තුරු සුව සොයා යෑම නිසා සිදුව ඇත්තේ ඒ රටවලින් බුදු දහම අතුරුදන් වීම පමණි. මුස්ලිම් අන්තවාදය විසින් ගිලගත් අතිබහුතරයක් රටවල් බෞද්ධ බව අමතක නොකළ යුතුය. එසේ වූයේ බෞද්ධයින් අන්තවාදය කරා ගමන් කළ හෙයිනි. බෞද්ධ අන්තවාදය නිශ්ක්‍රීය අන්තරාවර්ති වූවකි. සෙසු සියලු ප්‍රධාන ආගම්වල අන්තවාදය ව්‍යාප්තවාදී ද ආක්‍රමණකාරී ද වේ.





  

Monday, December 10, 2012

උතුරේ ජනතාවට මළවුන් සැමරීමට ඉඩ දෙනු !!!

උතුරේ වැසියන්ට සිය මළවුන් සැමරීමට ඉඩදිය යුතු යැයි කණ්ඩායම් කිහිපයක් තැනින් තැන උද්ඝෝෂණ කරනු දැකිය හැකිය. මේ උද්ඝෝෂණ පිටුපස සිටින්නේ ද්‍රවිඩ ජාතික සන්ධානය, පෙරටුගාමි පක්ෂය සහ මනෝ ගනෝෂන් වැන්නවුන් සහ නිමල්කා ප්‍රනාන්දු වැනි NGO කාඩරයින්ය. ඔවුන්ගේ දේශපාලන මතවාද කෙසේ වුව ද මේ සටන් පාඨය අප එකවර ඔවුන් හා එකඟ කර ගැනීමට තරම් සංවේදී වූද මානව හිතවාදී වූද එකකි.

අපේ සමීප ඥාතීන් අපට අහිමි වූ විට අපි මහත් ශෝකයට පත් වන්නෙමු. ප්‍රිය විප්පයෝග දුක්ඛයෙන් නොකා නොබී හැඬූ කඳුලින් දවස ගත කරමු. වාර්ෂිකව ඔවුන් සිහිපත් කරමින් දානමාන දෙමින් ඒ දුක තුනී කරගනිමු. 'සියලු සංස්කාරයෝ අනිත්‍යයයි!' යැයි දේශනා කරමින් මහ සඟ රුවන ඒ සඳහා අපට මානසික ශක්තිය  ලබා දෙයි. එසේ නම් එම නිදහස උතුරේ වැසියාගෙන් උදුරා ගැනීම කෙතරම් නරුම ක්‍රියාවක් ද? එය මානව සාරධර්ම අමු අමුවේ උල්ලංඝණය කිරීමක් නොවෙ ද? ඒ සඳහා බාධා පමුණු වන ලංකා ආරක්ෂක අංශ සිදු කරනුයේ අහිංසක ද්‍රවිඩ ජනතාවගේ මානව අයිතිවාසිකම් තුවක්කුවේ බලයෙන් යටපත් කිරීම නොවෙද?

මේ නොසන්සුන්කාරී තත්ත්වය වර්ධනය වූයේ පසුගිය දා යාපනේ විශ්වවිද්‍යාලයේ බෙදුම්වාදී ශිෂ්‍ය පිරිසක් පොංගු තමිල් උත්සවයක් සැමරීමට උත්සාහ කිරීමත් සමඟය. පොංගුතමිල් උත්සවය යනු උතුරේ වෙනම රාජ්‍යයක් තැනීම වෙනුවෙන් මිය ගිය පිරිස් සැමරීම සඳහා ප්‍රභාකරන් ආරම්භ කළ උත්සවයයි. එහිදී මූලික වූයේ උතුරින් ඉන්දීය හමුදාව පිට විය යුතු බව පවසමින් උපවාස කර මිය ගිය කොටි ත්‍රස්තවාදියෙකු සිහි කිරීම සහ ප්‍රභාකරන්ගේ උපන් දිනය සැමරීමයි. 2001 - 2003 සමයේ අතිගරු රනිල් වික්‍රමසිංහ මහතාගේ ආණ්ඩුවට පිං සිදුවන්නට වරක් ජාතික රූපවාහිනය ඔස්සේ සජීවී ව පොංගු තමිල් උළෙලක් නැරමීමේ වාසනාව දකුණේ ජනතාවට ද ලැබිණි. 




පොංගු තමිල් උළෙල එවකට උතුරේ පැවැත්වූයේ මහා සැණකෙළියක් වශයෙනි. එහි සන්නිවේදිත අරමුණ ඊළම වෙනුවෙන් මළවුන් සැමරීම වුව ද සැඟවුණු අරමුණ වූයේ මිය ගිය එකාගෙන් ගිලිහෙන තුවක්කුව අතට ගැනීමට අනෙකෙක් සුදානම් කිරීමය. කොටින්ම කිවහොත් ඊළම වෙනුවෙන් ඊළඟ බිල්ල සුදානම් කිරීමය. ප්‍රභාකරන් සහ අද ප්‍රභාකරන්ගෙන් යෂ්ටිය රැගෙන අද ඊළම වෙනුවෙන් දුවන ද්‍රවිඩ ජාතික සන්ධානය ඇතුළු බෙදුම්වාදී කල්ලියේ ඊළාම් සිහිනය වෙනුවෙන් අහිංසක දෙමළ තරුණයින්ගේ මොළ සෝදා සයනයිට් කරල ගෙල බැඳ ශුද්ධ වූ මරණයකට සුදානම් කිරීමය. 

ප්‍රභාකරන්ගේ ත්‍රස්තවාදය නන්දිකඩාල් කලපුවේ ගිල්වා දමන විට උතුරේ බෙදුම්වාදී සිහිනය සමඟ පොංගු තමිල් උළෙල ද එහි වැළලිණි. දැන් නැවත බෙදුම්වාදී මිනී වළෙන් ගොඩ ගෙන පණ පිඹීමට දත කන්නේ ඒ පොංගු තමිල් උළෙලටයි. බෙදුම්වාදී සිහිනයටයි. කොළඹ ද්‍රවිඩ  ඡන්ද 5000ක් තොරොම්බල් කරන මනෝ ගනේෂන් නමැති බෙදුම්වාදීයා පවසන පරිදි ජනතා විමුක්ති පෙරමුණට සිය මිය ගිය නායකයින් සැමරීමට හැකි නම් උතුරේ ජනතාවට ද සිය නායකයින් සැමරීමට අවස්ථාව තිබිය යුතු බවය. එසේ නොවුණ හොත් උතුරට කිසිදා සාමය අදා නොවනු ඇති බවය. එය ද අප එකවර නිරුත්තර කරවන සුළු තර්කයකි. එහෙත් ජනතා විමුක්ති පෙරමුණ මේ වන විට ඔවුන් එතෙක් අනුගමනය කළ අවි බලයෙන් ආණ්ඩු පෙරලන මතවාද වෙනස් කරගෙන ප්‍රජාතන්ත්‍රවාදයට පිවිස තිබේ. ඔවුන් සිය ඉල් මහේ විරුවන් සමරන්නේ ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රවාහයේ සිටය. එහෙත් උතුරේ තවමත් බෙදුම්වාදය ක්‍රියාත්මක වෙයි. තමන්ට ඊළම අවශ්‍ය යැයි ඔවුහු යාපනේ ද ලන්ඩනයේ ද උද්ඝෝෂණ කරති. ඒ වෙනුවෙන් ලෝක ජන මතයක් ඇති කිරීට උත්සාහ කරති.

යුදමය ක්‍රියා මාර්ග ඔස්සේ විනාශ කළේ එහි ත්‍රස්තවාදී හිස පමණි. බෙදුම්වාදය නමැති ඔලු දෙකේ යක්ෂයාට ත්‍රස්තවාදී හිස අහිමි වුව ද තවමත් ප්‍රජාතන්තවාදී හිස හිමිය. දැන් නැවත පොංගු තමිල් උළෙලවල් පවත්වා ත්‍රස්තවාදී හිසට පණ නල පිඹින්නට වලිකන්නේ ප්‍රජතන්ත්‍රවාදී බෙදුම්වාදීන්ය. බෙදුම්වාදය ත්‍රස්තවාදී වුව ද ප්‍රජාතන්ත්‍රවාදී වුව ද එහි භයානක කමෙහි කිසිදු වෙනසක් නොමැත. එහෙයින් සියලු ආකාරයේ බෙදුම්වාදයන් විනාශ කළ යුතුමය. නැවත කිසිදු ආකාරයකින් ඊට හිස එසවීමට ඉඩ දිය යුතු නැත. සිංහලයා දෙමළාගේ  හතුරාය යන බොරුව විකුණා ගෙන ජීවත් වන බෙදුම්වාදී දේශපාලකයින්ට සහ NGO කාඩරයින්ට අවශ්‍ය දැන් ජනතාව බුක්ති විඳින සාමය විනාශ කොට නැවත මේ රට ලේ විලක් කිරීමටය. බෙදුම්වාදය පෝෂණය කිරීමට පොංගු තමිල් සැමරීමට උත්සාහ කරනවුන්ගේ අරමුණ එය මිස අනෙකක් නොවේ.

මළවුන් සැමරීමට මුවා වී මොවුන් නැවත උත්සාහ කරන්නේ අහිංසක දෙමළ තරුණයින් බෙදුම්වාදය වෙත ත්‍රස්තවාදය බිලි දීමටය. උතුරේ ජනතාවගේ ජීවිත වසර 30ක් අපායක සිරකළ ත්‍රස්ත රංචුවක් සැමරීමට උතුරේ සමස්ත ජනතාවට අවශ්‍ය යැයි පැවසීම එක් අතකින් ඒ ජනතාවයට කරන නින්දාවකි. එය ජනතාවගේ සැබෑ අවශ්‍යතාවක් නොව බෙදුම්වාදීන් විසින් කෘත්‍රීම ලෙස මතු කරන අවශ්‍යතාවකි. මළවුන් සැමරීම සඳහා විශ්වවිද්‍යාල භාවිත කළ යුතු නැත. ඒවා සිය නිවෙස්වල හෝ කෝවිල්වල සිදු කළ හැකිය. අපේ සංවේදීත්වය වංචාකාරී ලෙස මංකොල්ල කන මනෝ ගනේෂන්ලාගේ සටන් පාඨයේ ඔතා ඇත්තේ මහා වස ගුලියක් බව දැන් ඔබට අවබෝධ වනු ඇතැයි සිතමි.    

රජයේ වගකීම වන්නේ උතුරේ ජනතාව අද මුහුණ දී ඇති සැබෑ ප්‍රශ්න සොයා විසඳුම් ලබා දීමය. විශේෂයෙන් තමිල්නාඩු ධීවරයින් ලංකා මුහුදු සීමාවට රිංගා උතුරේ ජනතාවගේ මත්ස්‍ය සම්පත කොල්ලකෑම තවමත් නවතා නැත. ඒ සඳහා අවශ්‍ය රාජ්‍ය තාන්ත්‍රික ක්‍රිය මාර්ග ගැනීම වහාම කළ යුත්තකි. එමෙන්ම උතුරේ ත්‍රස්තවාදය පැවති සමයේ සිට විවිධ NGO කල්ලිවලට මුවා වී යාපනේ සාම්ප්‍රදායික් හිංදු ජනතාව විවිධ මූල ධර්මවාදී ආගමික කල්ලි විසින් ගොදුරු කර ගැනීම තවමත් එලෙසම සිදුවේ. අන්‍යාගමීකරණ විරෝධී පනත ගෙන ඒමට මුල් වූ ටී. මහේෂ්වරන් පාර්ලිමේන්තු මන්ත්‍රිවරයා ප්‍රකාශ කළේ එවකට 7000ක් හිංදුවරු අන්තවාදී ක්‍රිස්තියානි කල්ලි විසින් ගොදුරු කර ගෙන ඇති බවය. අවසානයේ ඔහුට සිදුවූයේ කෝවිලක දේව මෙහෙයට සහභාගී වී පැමිණෙන විට වෙඩි කන්නටය. එහෙයින් හිංදු ආගම සංස්කෘතිය විනාශ කිරීමේ කුමන්ත්‍රණය නැවැත්වීමට වහා ක්‍රියා කළ යුතුය. හිංදුවරුන්ට සිය ආගම සංස්කෘතිය අනුව ජීවත්වීමට අවශ්‍ය සියලු පහසුකම් සලසා දිය යුතුය. රටේ ඒකීයත්වයට ගරු කරන දෙමළ තරුණයින්ට රටේ ජනාධිපති ධූරය දක්වා යාමට මග හෙලි කළ යුතුය.

එහෙත් බෙදුම්වාදී මනදොල පුරවමින් රට නැවත අගාධයට තල්ලු කිරීමට පොංගු තමිල් උළෙලවල් පැවැත්වීමට නැවත කිසිදා ඉඩදිය යුතු නැත. සියලු බෙදුම්වාදී ක්‍රියා පසුපස සිටින නරුමයින් වහා සොයා ප්‍රශ්නය මතු වූ වහා ඒවා මුලිනුදුරා දැමීමට ආරක්ෂක අංශ යුහුසුළු විය යුතුය. ප්‍රභාකරන් යනු මේ රට වසර 30ක් තිස්සේ විශාලා මහනුවරක් කොට මිනිස් ලේ බොමින් මිනී මස් බුදිමින් ජීවත් වූ යක්ෂයෙකි. රුධිර පිපාසිත බෙදුම්වාදීන්ට එම යක්ෂයා දෙවියකු වුව ද ශිෂ්ට සමාජයක එවන් නරුමයින් සැමරීමට ඉඩදිය යුතු නැත. යාපනේ පුරපති ඇල්ෆ්‍රඩ් දොරේ අප්පාගේ සිට ප්‍රභාකරන්ට ගොදුරු වූ සිය දහස් ගණනක් මිනිසුන්ට කළ හැකි විශාලතම නින්දාව එයයි. ලක්‍ෂමන් කදිරගාමර්, ජෙයරාජ් ප්‍රනාන්දු පුල්ලේ, රජිව් ගාන්ධි ආදීන්ට කළ හැකි බලවත්ම නින්දාව එයයි. ඇමරිකාව ඔසමා බින් ලාඩන් සමරන දවසට, ජර්මනිය ඇඩොල්ෆ් හිට්ලර් සමරන දවසට, ඉන්දියාව වීරප්පන් සමරන දවසට මෙරට බෙදුම්වාදී නරුමයින්ට ප්‍රභාකරන් නමැති සාතන් සැමරිය හැකිය. එහෙත් එවන් දවසක් කිසිදා උදා නොවනු ඇත.    





 
සිය රට දේ සිරි සැප දේ !