Tuesday, April 28, 2015

වහල් ජාතිය ඇමතුම...!

ජනපති ජාතිය අමතා ජනවාරි 08 වෙනිදා ඇමරිකාව ප්‍රමුඛ යුරෝපය සහ ඉන්දියාව තමා ඇමට යොදා කරන ලද බල පෙරළිය නැතහොත් ආක්‍රමණය විප්ලවයකට සමාන කළේ ය. එය ලෙහෙසි පහසු විප්ලවයක් නොව එක්සත් ජනපදයේ ඒබ්‍රහම් ලින්කන්ගේ වහල් තහනමට සමාන ය. මේ අදීනවිප්ලවය කළේ ඉන්දිය අගමැති නරේන්ද්‍ර මෝඩිගේ ඇඳුම ඇඳීමෙන් ද එංගලන්තයේ රැජිනගේ ග්ලවුස් නැති අත වර්ණනා කිරීමෙන් ද සිය ඇඹේනිය ලවා සිය යටත් විජිතවාසී ස්ත්‍රීන් එංගලන්ත රැජිනට ආචාර කරන ලෙස ආචාර කිරීමෙන් ද සිය නිදහස් නිවහල් ආදීනත්වය අකනිටා බඹලොව දක්වා පතුරුවා හළ ජනපති ය.

එදා ලින්කන් වහලුන්ට නිදහස ලබා දෙන විට ඇතැම් වහලුන් ඊට විරුද්ධ වූ බවත් අද තම විප්ලයට අකුල් හෙළන විරුද්ධ වන අය සහ එම වහලුන් අතර වෙනසක් නැති බවත් ඔහු කීවේ ය. ඔහුගේ ඊනියා විප්ලවයට ජනවාරි 08 වෙනිදා විරුද්ධ වූයේ ලක්ෂ 58ක් වුවත් අද, එදා ඔහුට ඡන්දය ලබා දී රටට සිදු කළ මහා අපරාධය පිළිබඳ පසුතැවෙන පිරිස දිනෙන් දින ඉහළ යන හෙයින් එය දැන් ලක්ෂ 70ට ආසන්න වෙතැයි සිතමි.  ඒ කෙසේ වෙතත් ඔහු තමාට එරෙහිව ඡන්දය පාවිච්චි කළ ජනතාව 18 වන සියවසේ එක්සත් ජනපදයේ විසූ වහලුන්ට සමාන කර තිබේ. ඔවුහු නිකන් ම වහලුන් නොව නිදහස එපා යැයි සටන් කළ වහල්ලු ය.

ඇමරිකානු ධනවාදය සහ අධිරාජ්‍යවාදය ද ඉන්දීය කළාපීය ව්‍යාප්තවාදය ද එක පෙළට සිට ජනවාරි 08 වෙනිදා කළ මේ මහා විප්ලවයට පසු "අප්පොච්චි මළෝ...!" යැයි හොටු පෙරා ගෙන සිරිසේන ජනපති ලබා දුන් නිවහල් දේශය බලා එක පිම්මේ දිව ගිය විජිත් විජිතමුණි සොයිසා ලා ද එතෙක් මහින්දගේ දෙපා මුළ ලැඟ සිට කිහිප වරක් උඩු බුරා සිරිසේන වෙත දුව ගිය මර්වින් සිල්වා ලා ද සිරිසේනට කොන්දක් නැතැයි නොහොඹිනා විහිළු කර ඔහුගේ දෙපා මුලට බඩ ගෑ දයාසිරි ජයසේකර ලා ද සැබෑ නිදහසේ අරුත වහා වටහා ගත් නිදහස්කාමී වහලුන් යැයි කිව හැකි ය. 58 ලක්ෂයක් ජනතාව ද එම ජනතා නියෝජිත ද 18 වන සියවසේ නිදහස එපා යැයි කියූ මෝඩ වහලුන් ය.

කෙසේ වුව ද වහලුන්ට නිදහස ලබා දුන්නේ යැයි පාරම්බාන සිරිසේන ජනාධිපතිවරයා, ඔහු ගෙනා ඊනියා නිදහසට එරෙහිව ඡන්දය පාවිච්චි කළ පක්ෂයේ නායකත්වය ඩැහැ ගැනීම අප අවබෝධ කර ගන්නේ කෙසේ ද? ජනාධිපතිවරණයේ දී තමන්ට එරෙහි වූ පිරිස සහිත පක්ෂයට පැමිණ එහි නායක පුටුවේ වාඩිවීම ලොව කවර නම් නිවහල් නායකයෙකු කර තිබේ ද? සන්ධාන පාර්ලිමේන්තු සහ සියලු ප්‍රාදේශීය සහ පළාත් පාලන ආයතනවල නියෝජිතයින්ගේ කැමැත්ත විමසා ඔහුට පක්ෂ නායකයා විය හැකි ද? ඔහු සැබවින් ම කර ඇත්තේ 58 ලක්ෂයක් ඡන්ද දායකයින් මත සිය නායකත්වය පිහිටුවා එම ජනතාව වහලුන් බවට පත් කිරීම නොවේද? වහලුන්ට නිදහස ලබා දුන්නේ යැයි පවසා රට ඉන්දියාවේ සහ ඇමරිකාව ප්‍රමුඛ බටහිර වහල් දේශයක් බවට පත් කර ශ්‍රීලනීපය ප්‍රමුඛ සන්ධානය වහල් පක්ෂයක් බවට පත් කිරීම පමණි ඔහු කර ඇත්තේ.

බටහිර සුවච කීකරු ගැත්තෙකු වන රනිල් වික්‍රමසිංහ ද වසර 20ක් තිස්සේ වහල් හිමියෙකු ලෙස නතැහොත් නියෝජිතයෙකු ලෙස එජාපය පාලනය කරමින් සිටී. එය උපන්ගෙයි ම බටහිර වහලුන්ගේ පක්ෂය හෙයින් එහි ඇති අරුමයක් නැත. එහෙත් ඒ වහල්භාවයට එරෙහිව මතු වූ ජනතා බලය සහිත පක්ෂය ද අද වහල්භාවයට ඇද දමා තිබේ. ජාතිය අමතනවා යැයි කියා ජනපති විසින් කරන  ලද්දේ  විධායක ජනාධිපති ධූරයේ බලය පාචිච්චි කරමින් ඩැහැ ගත් පක්ෂයේ සාමාජිකයින් සහ ජනතා නියෝජිතයින් වහලුන් යැයි අවමානයට ගැරහුමට පාත්‍ර කිරීම පමණි. එසේ අවමාන කරන්නේ 58 ලක්ෂයක් ජනතාව වහල්භාවයට ඇද දැමූ වහල් හිමියා ය. නැත වහල්හිමියාගේ ටොමියා ය. එහෙයින් එය ජාතික ඇමතිල්ලක් නොව හැමිනිල්ලකි.

'අප්පා මළයි!' ගෑ විට බලු කෙඳිරිල්ල
විසිකර ඇමති කටු නිවටුන් කර මෙල්ල
වහලුන් කියා ගැරහුම නිවහල් ගොල්ල
ඇමතුම නොව බොලවු! ජාතික හැමිනිල්ල

 

Sunday, April 26, 2015

අවජාතක 19 පරදා මද්දුම බණ්ඩාර සමරමු!

නිවට නොවී රජ අණ ළඟ වැටී                         දනින්
නොබා පෙරට පැන දිවි දුන් දැයට                  පෙමින්
සිරිලක් පුතා මද්දුම බණ්ඩාර                           නමින්
නැඟෙව්! නැඟෙව්! දහ නමයට එරෙහි           වෙමින්

දවටා නේක සැරසිලි විෂ ගුලිය                         වටේ
කොටි හිත පිණිස රවටා ජන බලය                   රටේ
දිනුවොත් මෙදා සතුරන්ගේ දහම්                    ගැටේ
රට දැය සමය නැහැ සැකයක් මකර                කටේ

මව්බිම රැගෙන යන විට දංගෙඩිය                    වෙත
සුජාත පුතෙකු නම් මහ යුතුකමක්                     ඇත
යොමමින් මැති ඇමති පිදේනි වෙත ම               සිත
සිටිනා එවුන් මකබෑවිය යුතු ව                          ඇත

Saturday, April 25, 2015

කොඩි මෙහෙයුම් කුමන්ත්‍රණය පරදමු!!!

යන්තම් මාසයක් සපිරෙන්නට පෙර යහ පාලන රෙජිමයට එරෙහිව නැඟුණු ජනතා විරෝධය දැන් රට පුරා බුරා බුරා නැඟෙන්නට පටන් ගෙන ඇත. මේ ජනතා විරෝධතාව තුළට ඉතා ම සූක්ෂම ලෙස පිරිසක් විසින් පිළිකාවක් එන්නත් කරන ආකාරය හඳුනාගත හැකි ය. ඒ විවිධ විරෝධතා ව්‍යාපාරවල ජාතික කොඩි වෙනුවට කන්නසාමි කුමාරයා හෙවත් ශ්‍රී වික්‍රම රාජසිංහ රජතුමා 1815 දක්වා මෙරට රාජ්‍ය කොඩිය භාවිත කළ සිංහ ලාංඡනය සහිත කොඩිය එසවීමයි. මෙරට බහුතර සිංහල ජනතාව මෙන් ම සෙසු ජන කොටස් ද එම කොඩිය මගින් නියෝජනය වුව ද පසුකාලීන ඉතිහාසය තුළ සිදු වූ එහෙත් නොවිය යුතුව තිබූ යම් යම් සිද්ධි නිසා සිංහල ජනතාව පමණක් සිංහ ලාංඡනයෙන් නියෝජනය වන්නේය යන වැරදි අදහසක් අනුව ඊට දෙමළ මුස්ලිම් ජනතාව නියෝජනය කිරීම සඳහා පාට තීරු දෙකක් එක් කර තිබේ. එය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මගින් ජාතික කොඩිය ලෙස සම්මත කර තිබේ. (ශ්‍රී වික්‍රමරාජසිංහ නමින් රජවූයේ රාජාධි රාජසිංහ රජතුමාගේ නැගණියගේ 18 වියැති පුතු බවත් ඔහු වර්මාන තමිල්නාඩු ප්‍රදේශය ආශ්‍රිත ද්‍රවිඩ රාජ්‍යයේ මධුරා රාජ වංශයට කුමාරයෙකු බවත් එකී වරද කළ ඉතිහාසය අමතක කර දමා තිබේ. කන්නසාමි කුමාරයා සිංහල දේශයට පැමිණ මෙරට සිංහලයකු බවට පත්ව ශ්‍රී වික්‍රමරාජසිංහ නමින් රට පාලනය කළේ ය.) සියලු නීතිවලට ඉහළින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා නීතිය පවතින අතර නීති ගරුක පුරවැසියන් වන අප ඊට අවනත විය යුතුය. අනෙක් අතට තමන් සිංහ ලාංඡනය තුළින් නියෝජනය නොවන්නේ යැයි මතයක් මෙරට සෙසු ජන කොටස්වල සිත්වල රෝපණය කර ඇති පසුබිමක  ජාතික කොඩිය ප්‍රතික්ෂේප කර රාජසිංහ රජුගේ කොඩිය අතට ගැනීම එම ජනතාවගේ සිත් රිදවන කාරණයක් වනු ඇත. එහෙයින් මේ පිළිකාව වහා ම ඉවත් කර දැමිය යුතුය. නියපොත්තෙන් කැඩිය හැකි දෙය පොරවෙන් කපා දමන තුරු වැඩෙන්නට ඉඩ නොහළ යුතු ය.

සේද මාවතේ පිහිටි සිංහල ද්වීපයට අතීතයේ ලොව දස දෙසින් විවිධ ජන කොටස් පැමිණියේ ය. ඇමරිකානූ භූමියට යුරෝපයේ විවිධ රටවලින් පැමිණි පිරිස් ඇමරිකානුවන් බවට පත් වූ ආකාරයට ම සිංහලයට පැමිණි පිරිස් පරම්පරා දෙකකින් සිංහලයින් බවට පත් වූහ. එය වසර දහස් ගණනක් පුරා සිදු වූ සංසිද්ධියකි. ඊට අනුගත නොවූ මුස්ලිම් පිරිස් ද මෙරට සංස්කෘතියට අනුගතව සිංහල මුස්ලිම්වරු බවට පත්වූහ. මෙම ක්‍රියාවලිය නතර කළේ යුරෝපීය යටත්විජිතවාදීන් විසිනි. කෙසේ වුව ද උතුරට දුම්කොළ වැවිම සඳහා ද කඳුරට තේ වගාව සඳහා ද රැගෙන ආ තමිල්නාඩු දෙමළ කම්කරු පිරිස් ද තව දුරටත් තමිල්නාඩු දෙමළ නොව සිංහල හින්දු වෙති. ‍වෙළඳාම පිණිස මෙරටට පැමිණි මුස්ලිම්වරු සිංහල ඉස්ලාම් වෙති. ඔවුහු සිංහල බෞද්ධ, සිංහල කතෝලික මෙන් ම සිංහල හින්දු, සිංහල ඉස්ලාම් වෙති. එසේ නොමැතිව ඔවුහු පෘතුගාල් කතෝලික නොවෙති. ඉන්දීය හින්දු නොවෙති. අරාබි හෝ ඉන්දීය මුස්ලිම් නොවෙති. ඒ දැනුම අප සමාජගත කළ යුතු ය. සිංහල බෞද්ධයින් පමණක් නොව ඔවුන් ද සිංහලයින් බව ද එහෙයින් සිංහ ලාංඡනය මගින් ඔවුන් ද නියෝජනය වන බව ද අවබෝධ කර දිය යුතු ය. ඔවුන් සිංහල ලාංඡනයට පිටතින් නොව සිංහ රුව තුළට පැමිණ අප සමඟ සමසුන් ගත යුතු බව එම අභිමාණය බෙදා ගත යුතු බව පෙන්වා දිය යුතු ය. එය ඔවුන්ගේ අභිමාණයට හේතුවක් බවත් පිටත තීරුවක රැඳී සිටීම එම අභිමානයට කැළලක් බවත් අප ඒත්තු ගැන්විය යුතුය. එඑවිට එම ජන කොටස් ඉතා ද ආදරයෙන් අප සමඟ අත්වැල් බැඳගනු ඇත. ශ්‍රී වික්‍රමරාජසිංහ කොඩිය එසවීමට උත්සුක වන පිරිස අවංකව ම ඉතිහාසය තුළ සිදු වූ ඉහත කී වරද නිවැරදි කිරීමට උත්සුක වන පිරිසක් නම් අපට කීමට ඇත්තේ මේ කරුණු ටික ය. 

අනෙක් අතට මේ අවස්ථාවේ ජාතික සංවිධාන තුළට රිංගා ඇති විවිධ කුමන්ත්‍රණකාරී බලවේගවල නියෝජිතයින් එම සංවිධාන මෙවැනි කටයුතුවලට මෙහෙයවමින් ඒවා විනාශ කිරීම සඳහා ඇතුළතින් ක්‍රියාත්මක වන්නේ දැයි අපට බලවත් සැකයක් තිබේ. මේ ඔස්සේ බොදු බල සේනා සංවිධානය මෙන් ම සෙසු සංවිධාන ද ජාතික බලවේගවල විනාශය සඳහා භාවිත කළ හැකි ය. මුස්ලිම් අන්තවාදයට එරෙහිව නැඟිය යුතු හඬ මතින් බිහි වූ බොදු බල සේනා සංවිධානය අවසානයේ එය මුස්ලිම් විරෝධයක් දක්වා රැගෙන ගොස් ස්වයං විනාශයට පත් විය. ඒ පිටුපස බෞද්ධ විරෝධි කුමන්ත්‍රණකාරී පිරිස් සිටි බව පැහැදිලිය. එහෙයින් තම සංවිධාන මෙවැනි කටයතුවලට යොමු කරමින් වල්මත් කිරීමට ක්‍රියාත්මක සාමාජිකයින් ගැන සෙසු සාමාජිකයින් අවදියෙන් සිටිය යුතුය. ඔවුන් පිළිබඳ වහා සොයා බලා නිසි කල්හි නිසි පියවර ගත යුතු ය. නැතහොත් බොදු බල සේනා සංවිධානය සහ එහි ඇතැම් අවංක සාමාජිකයින් මෙන් සෙසු ජාතික සංවිධානවල අවංක ජාති මාමක කොටස් ද සමාජය අභිමුව අවලංගු කාසි බවට පත්වනු ඇත. රටේ සතුරන් ජය ගනු ඇත. 

මෙම පැරණි කොඩි දකුණේ ඔසවමින් අද දවසේ කිසියම් පිරිසක් කරනු ලබන මේ කුමන්ත්‍රණකාරී ක්‍රියාව ඔස්සේ යහ පාලන රෙජිමය සෙවණේ දලු ලා වැඩෙන බෙදුම්වාදයට අත්තටු ලබා දෙන බව අවබෝධ කර ගැනීම ඉතා වැදගත් ය. දකුණේ සිංහලයින්ට ජාතික කොඩිය නොවන කොඩි එසවිය හැකි නම් උතුරේ දෙමළාට තමන් කැමති ඊළාම් කොඩිය එසවිය නොහැක්කේ මන්දැයි එක්ල්හි රනිල් වික්‍රමසිංහ, රාජිත සේනාරත්න, ශිරාල් ලක්තිලක, ඩිලාන් පෙරේරා, වික්‍රමබාහු කරුණාරත්න, අජිත් පී. පෙරේරා, විජේදාස රාජපක්ෂ, රහූෆ් හකීම්, අසාද් සාලි ආදීන් ඔබෙන් ප්‍රශ්න කරනු ඇත. දැන් උතුරේ සිදුවන ඊළාම් කොඩි එසවීම්, යෝජිත අවසන් සටනේ ශෝක සැමරුම්, අධි ආරක්ෂිත කළාප, හමුදා කඳවුරු, පොලිස් කොට්ඨාශ, මුර කපොලු ඉවත් කිරීම් ඒ ඔස්සේ සාධාරණීකරණයට උත්සාහ කරනු ඇත. නැඟෙනහිර ඉස්ලාම්කරණය, වන විනාශය කෙතරම් අහිංසක දැයි රිෂාඩ් බදූර්දීන්, අසාද් සාලි අපෙන් අසනු ඇත. එකල්හි උතුරේ ඊළාම් කොඩිය එසවීම ජාතිවාදී සිංහලයා ලැබූ කනේ පහරක් යැයි ගරු පාඨලි චම්පික රණවක අපට කියනු ඇත. එහෙයින් ජාතිද්‍රෝහී සූක්ෂම කල්ලි විසින් ඔබ කිසිසේත් අපේක්ෂා නොකළ ඉලක්කයන් වෙත දේශ මාමක ඔබ මෙහෙයවා ජාතික ව්‍යාපාරය ද එමගින් රට දැය සමය ද විනාශ කිරීම සඳහා අටවන මර උගුල්හි නොවැටෙන්න. අශ්වයා ගිය පසු ඉස්තාලය වසා කවර නම් ඵලයක් ද? ඉතිහාසයෙන් පාඩම් උගෙන නිවැරදි මාවතේ ගමන් කරන්න.

Monday, April 20, 2015

අනුර කුමාර සිරිකෝත සහෝදරයා දිනේවා!!!

ජනතවා විමුක්ති පෙරමුණේ හිටපු නායක සහ අන්තර්ජාතික සබඳතා පිළිබඳ ලේකම් සෝමවංශ අමරසිංහ මහතා පක්ෂයෙන් ඉවත් වීම පිළිබඳ සමාජය තුළ කතා බහක් නිර්මාණය වී තිබේ. කෙසේ වුව ද ටිල්වින් සිල්වා මහතා පවසන පරිදි පක්ෂය තුළ කිසිදු අර්බූදයක් හෝ ගැටලුවක් නැත. සෝමවංශ අමරසිංහ මහතා කුමක් කීවා ද ටිල්වින් සිල්වා මහතාගේ අදහස නිවැරදි බව මගේ අදහසයි.

2005 ජනාධිපතිවරණයෙන් පසු පක්ෂයේ ප්‍රචාරක ලේකම් විමල් වීරවංශ මහතා පක්ෂයෙන් ඉවත් විය. 2010 ජනාධිපතිවරණයෙන් පසු පක්ෂයේ අභ්‍යන්තර නායකයෙකු වූ කුමාර් ගුණරත්නම් මහතා ද පක්ෂයෙන් ඉවත් විය. ඒ අතර අජිත් කුමාර මහතා ස්වාධීන විය. අද 2015 ජනාධිපතිවරණයෙන් පසු සෝමවංශ අමරසිංහ මහතා ද පක්ෂය අතැර ගොස් ය. මේ සියල්ල පක්ෂයේ අර්බූද නොව පෞද්ගලික අර්බූදය. නැතහොත් කුමන්ත්‍රණය. එපමණක් නොව මේ සියල්ල පක්ෂය ලැබූ ජයග්‍රහණ බව මගේ අදහසයි. මේ කුණු ගොඩවල් ඉවත් කිරීම සහ ඉවත් වීම ඔස්සේ පක්ෂය පිරිසිදු වී ඇති අතර එහි සුවඳ දසත පැතිරෙයි.

ජවිපෙ මෑත කාලීනව මෙලෙස පිරිසිදු නිර්මල පක්ෂයක් බවට පත් වන්නේ අනුර කුමාර සිරිකෝත මහතා සහ ඔහුගේ මතවාදී හිතවතුන් පක්ෂය තුළ බලවත් වීමත් සමඟ ය. සෝමවංශ අමරසිංහ මහතා 88-89 මර්දනයෙන් පසු ඉතා අසීරුවෙන් පක්ෂය නැවත ගොඩ නැඟීමට විදේශයක සිට නායකත්වය ලබා දුන්නා ද ඔහු නායකත්වය ලබා දුන් සමයේ පක්ෂය අනුර කුමාර සිරිකොත මහතාගේ යුගයේ තරම් පොහොසත් නැති බව රට්ටු දනිති. එකල සාමාජිකයෝ පක්ෂය ගොඩ නැඟීමට මහ මඟ, බස් රියේ, දුම්රියේ කැට සෙලවූහ. 

එහෙත් අනුර කුමාර සිරිකොත මහතා පක්ෂ නායකත්වයට පත්වීමත් සමඟ පක්ෂයට එජාපයෙන් ලක්ෂ ගණනින් මුදල් ලැබිණි. විජේදාස රාජපක්ෂ මහතා ජවිපෙට ලක්ෂ විසි පහක් ලබා දුන් බව ප්‍රසිද්ධයේ කීවේ ය. එපමණක් නොව ඇමරිකා එක්සත් ජනපදයේ මූල්‍ය ආධාර ලබා ගැනීමට ද ජවිපෙ සමත් විය. නිර්ධන පන්ති ආඥාදායකත්වය ගොඩ නඟා රට සමාජවාදය කරා රැගෙන යෑමට කටයුතු කරන බව පවසන ජවිපෙ මෙලෙස ලංකාවේ අංක එකේ ධනවාදී, ඇමරිකන් ගැති එජාපයේ ද ලොව අංක එකේ ධනවාදී, අධිරාජ්‍යවාදී රජ්‍ය වන ඇමරිකා එක්සත් ජනපදයේ ද ආධාර ලබා ගැනීමට සමත් වීම අති විශාල ජයග්‍රහණයකි. ධනවාදයේ ආසිරි ගී මැද ශ්‍රී ලංකාව සමාජවාදය කරා රැගෙන යෑමට කටයුතු කිරීම උපක්‍රමික තලයේ ලබා ගත් විශාල ජයකි. එහි සියලු ගෞරව අනුර කුමාර සිරිකොත ඇතුළු පිරිසට ලබා දීමට අප පසුබට විය යුතු නැත. 

මේ ගමන සාර්ථක කර ගැනීම සඳහා ජවිපෙ තුළ ඇති ලාල් කාන්ත, බිමල් රත්නායක වැනි කසල ගොඩවල් ටික ද ඉවත් කර දැමිය යුතු ය. එවිට එය පිවිතුරු නිර්මල සැබෑ විප්ලවාදී දේශපාලන ව්‍යාපාරයක් බවට පත් වනු ඇත. ලෙඩා මළත් බඩ සුද්දයි කියා මේ පිරිසිදු කිරීම්වලට හිනා වන්නේ ජවිපෙ හතුරෝ ය. නිර්ධන පන්ති විප්ලවයට අකුල් හෙළන්නෝ ය. ජනතා විමුක්ති පෙරමුණ මේ මාර්ගය ඔස්සේ රැගෙන ගොස් නිර්ධන පන්ති විප්ලවය යථාර්ථයක් කර ගැනීමට නම් නුර කුමාර සිරිකෝත සහෝදරයා රැකගත යුතු ය. ඒ විප්ලයට ඇමරිකාවේ ද ඉන්දියාවේ ද එජාපයේ ද සහාය ලබා ගත හැකි ජගතෙක් මේ මිහිපිට ඇත්නම් ඒ අනුර කුමාර සිරිකෝත සහෝදරයා පමණි. එහෙයින් අනුර කුමාර සිරිකෝත සහෝදරයා දිනේවා! ජනතා විමුක්ති පෙරමුණ දිනේවා! විප්ලවය දිනේවා!



Thursday, April 9, 2015

19 නමැති බෙදුම්වාදී පිල්ලිය පරදමු!

අනුර කුමාර සිරිකොත, මාදුළුවාවේ සෝභිත හිමි, NGO උගතුන් සහ එක්සත් ජාතික පක්ෂය පවසන පරිදි පසුගිය ජනවාරි 08 වෙනිදා පවත්වා ඇත්තේ ජනාධිපතිවරණයක් නොවේ. ජනමත විචාරණයකි. ඒ විධායක ජනාධිපති ධූරය අහෝසි කිරීමට සහ 29 වරක් පරාජයට පත්ව පුටුව අත නොහැර සිය නොසැලෙන ගුණය ලෝකට ම කියා පෑ රනිල් වික්‍රමසිංහ අගමැති කිරීමට ය. මහින්දගේ පුටුවේ විලියම් ගොපල්ලව බවට පත්ව සිරිසේන වාඩි වීම අතුරු ඵලයකි. දැන් විධායක ජනාධිපති ධූරය දුර්වල කර නැවත කිසිදා මෙරට ජනවරමකින් ජනාධිපති ධූරයට පත් විය නොහැකි රනිල් වික්‍රමසිංහ විසි වසරක් තිස්සේ එක්සත් ජාතික පක්ෂයේ නායකත්වය අල්ලා ගෙන නටන එකාධිපති වියරුවට සමස්ත ලංකා රාජ්‍යය ම ගොදුරු කර ගැනීම සඳහා පිල්ලියක් එවා තිබේ. එය 19 වැනි ව්‍යවස්ථා සංශෝධනය යැයි නම් කර තිබේ. සිංහල බෞද්ධ විරෝධි රනිල් වික්‍රමසිංහ බලයට පත් කර සිය මනදොළ සපුරා ගැනීමට බලා සිටින සකලවිධ බෙදුම්වාදීන් ද සිංහල බෞද්ධ විරෝධීන් ද 19 ගැන ප්‍රශස්ති ගැයීමට එක්ව සිටිති. (නැඟෙනහිර සුළුජාතීන් අතරට රිංගා මහින්ද රාජපක්ෂ සිංහලයින්ගේ වීරයා බවත් එහෙයින් ඔහු පන්නා දැමිය යුතු බවත් කීවේ මේ රනිල් මය.) මේ බහුතර පිරිස යහ පාලන කෙබරය මේ රටේ ජන මනසට පොම්ප කර මුළු රටත් ජනතාවත් රවටා රට අගාධයට පෙරළා දැමූ සටකපට කල්ලි සමාජිකයෝ වෙති. එහෙයින් ජනතාව මේ වැදි බණවලට රැවටී ජනවාරි 8 දවල් වැටුණු වලේ රෑ වැටිය යුතු නැත.  

සිරිසේනගේ යහ පාලන මැතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ කිසිදු තැනක විධායක ජනාධිපති ධූරය අහෝසි කරන බවට හෝ අගමැතිවරයාට බලය පවරන බවට සඳහන් කර නැත. මහජන ඡන්දයෙන් තේරි පත් නොවුණු ඕනෑ ම බටහිර හෝ ඉන්දීය පිල්ලියකට මේ රටේ පාලන බලය ඩැහැ ගැනීමට ඉඩ ලබා දෙන බව සඳහන් කර නැත. සෝභිත හිමි සමඟ සහ ඊනියා උගතුන්ගෙන් සැඳුම්ලත් සිවිල් සංවිධාන සමඟ ද එක්සත් ජාතික පක්ෂය හෙවත් රනිල් වික්‍රමසිංහ සමඟ ද එවැනි ගිවිසුම් අත්සන් කළ බව කියවෙයි. එහෙත් ජනතාව ජන වරමක් ලබා දී ඇත්තේ එකී කල්ලි සමඟ ගැසූ ගිවිසුම්වලට නොව ජනතාව වෙත ඉදිරිපත් කළ ප්‍රතිපත්ති ප්‍රකාශනයටයි. එහෙයින් සිරිසේන ජනාධිපතිවරයා වගකිව යුත්තේ එකී ප්‍රතිපත්ති ප්‍රකාශනයටයි. පූර්ව ජනාධිපතිවරණ ප්‍රචාරක වැඩසටහන්වල දී අතුරලියේ රතන හිමි මෙන් ම පාඨලි චම්පික රණවක ද දිගින් දිගට ම පුන පුනා කීවේ විධායක ජනාධිපති ධූරයේ ඇතැම් අත්තනෝමතික බලතල ඉවත් කරන බව පමණි. එකල්හි අනුර කුමාර සිරිකෝ ද අද පාඨලිගේ කේන්දර බලන ගාමිණි වියන්ගොඩ ලා ද කොතැන සිටියේ දැන් අප නොදනිමු. එසේ ම ජනමත විචාරණයකින් වෙනස් කළ යුතු කිසිදු සංශෝධනයක් සඳහා යහ පාලන ආණ්ඩුව ක්‍රියා නොකරන බව එම ප්‍රතිපත්ති ප්‍රකාශනයේ සඳහන් විය. විධායක ජනාධිපති ධූරයේ යම් වෙනසක් කිරීමට නම් පාර්ලිමේන්තුවේ 2/3ක අනුමැතියට අමතරව ජනමත විචාරයක් සඳහා ද ඉදිරිපත් කළ යුතු ය. ඇතැම් විට මේ ඊනියා උගත්තු සමනලී ෆොන්සේකා එදා රෝහලේ කළ රංගන බලා කුල්මත් වූවා මිස ප්‍රතිපත්ති ප්‍රකාශනය නොකියවන්නට ඇත. තවමත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව නම් කියවා නැති බව පැහැදිලි ය.  

මේ අනුව පසුගිය ජනාධිපතිවරණය විධායකය වෙනස් කිරීමට ලබා දුන් ජන වරමක් ලෙස අර්ථ කථනය කිරීම අතිශයින් ම වැරදි සහගත බව පැහැදිලි ය. එපමණක් නොව එය විධායකය වෙනස් නොකරන බවට ලිඛිතව පොරොන්දු වී ලබා ගත් ජනවරමකි. එහෙයින් 29 වරක් ජනතාව ප්‍රතික්ෂේප කළ කිසිදු ජනවරමක් නොමැතිව අගමැති වූ රනිල් වික්‍රමසිංහට හෝ කිසිදු ජන වරමක් නැති පුද්ගලයින්ගෙන් සැදුම්ලත් ජාතික විධායක සභාව නම් ෆැසිස්ට් ආයතනයට හෝ විධායකය වෙනස් කිරීමට කිසිදු නෛතික බලයක් නැත. ඒ සඳහා සුළුතරයේ අති බහුතරයෙන් ද බහුතරයේ සුළුතරයේ ද කැමැත්තෙන් බලයට පත් සිරිසේන ජනාධිපතිවරයාට ද හැකියාවක් නොමැත. 2010 ත්‍රස්තවාදය පරාජය කොට රට එක්සේසත් කළ රජයට ලබා දුන් ජන වරම රට බෙදා විනාශ කිරීමට කැස කවන බලවේග සන්තර්පණය කිරීමට යොදා මංකොල්ල කෑමට ද ඔහුට අයිතියක් නැත. එය කිසිසේත් සිරිසේන ජනාධිපතිවරයා අද නියෝජනය කරන මතවාදයට සපුරා ප්‍රතිපක්ෂ දේශපාලන මතවාද සහිත ජනතාවක් විසින් ත්‍රස්තවාදය පරාජය කළ රටේ ඒකීයත්වය තහවුරු කිරීම සඳහා ලබා දෙන වරමකි.  

එසේ ම වර්තමාන ලෝකයේ මහා බලවතුන් මෙන් ම බලවත් රටවල් ලෙස සැලකෙන බොහෝ රටවල ඇත්තේ විධායක ජනාධිපති ධූර බව කිව යුතු මය. ඇමරිකාව, රුසියාව, ප්‍රංශය, චීනය, දකුණු අප්‍රිකාව, බ්‍රසීලය ඒ සඳහා නිදසුන් ලෙස සැලකිය හැකි ය. තිස් වසරක් මේ රට වෙළා පැවති ත්‍රස්තවාදය කෙළවර කළ හැකි වූයේ එකී විධායක ජනාධිපති ධූරයට පිං සිද්ධ වන්නට ය. වසර දහස් ගණනක් මේ රට සහ බුදු දහම ආරක්ෂා කර ගත හැකි වුණේ අපි විධායකය හෙවත් රජෙක් යටතේ පාලනය වූ හෙයිනි. ඒ විධායකය මේ රටේ පමණක් නොව සම්බුද්ධ ශාසනයේ ද භාරකරුවා විය. 1987 නඩු තීන්දුව අනුව 13 වැනි ව්‍යවස්ථා සංශෝධනය ඔස්සේ රට ෆෙඩරල්කරණය නොවන්නේ විධායක ජනාධිපති ධූරය නිසා ය. එවැනි පසුබිමක අප මත ඉන්දීය අධිකාරය විසින් බලෙන් පැටවූ 13 ව්‍යවස්ථා සංශෝධනය ව්‍යවස්ථාවෙන් ඉවත් නොකර 19 වැනි සංශෝධනය ඔස්සේ ජනාධිපති ධූරය කවරාකාරයකින් හෝ දුර්වල කිරීම නිසා සිදුවන්නේ රට ෆෙඩරල්කරණය වීම ය. බෙදුම්වාදය දිශාවට ඇදගෙන යෑම ය. 2009 බෙදුම්වාදයේ ත්‍රස්ත හිස විනාශ කොට තහවුරු කළ රටේ ඒකීයත්වය එක්සේසත් බව ප්‍රජාතන්ත්‍රවාදය නාමයෙන් නැවත බෙදුම්වාදයට ගොදුරු කිරීම ය. මේ 19 පිටුපස සිට රඟන්නේ බෙදුම්වාදී අවතාර මිස අනෙකෙක් නොවේ. ඔවුන්ට අවශ්‍ය කවරාකාරයකින් හෝ මේ රාජ්‍ය දුර්වල කර සිය බෙදුම්වාදී අරමුණු ඉටු කර ගැනීමටය. මේ අවස්ථාවේ ඒ සඳහා ඔවුන්ට ඇති ප්‍රධාන බාධාවක් වන්නේ විධායක ජනාධිපති ධූරයයි. විධායකය හෙවත් කේන්ද්‍රෙය් බලය දුර්වල කිරීම හරහා බෙදුම්වාදය බලවත් කර රට කැබලි කිරීම ඔවුන්ගේ අවසාන සහ එකම අරමුණ වෙයි. එහෙයින් ඊනියා මානව අයිතිවාසිකම්, ප්‍රජාතන්ත්‍රවාදය පිළිබඳ කිඹුල් කඳුලු හෙළමින් රට අරාජික කිරීමට සුදානම් වන බලවේගවලට එරෙහිව සියලු දේශ මාමක ජනතාව අත්වැල් බැඳගත යුතු ය. අපේ අනාගත පරපුරු වෙනුවෙන් ඒ බලවේග පරාජය කළ යුතුම ය.  

Sunday, April 5, 2015

සැබෑ ලාංකේය මුස්ලිම් සලකුණ: මොහොමඩ් මුසාම්මිල්

ජාතිකවාදය යනු කිසියම් ජනවර්ගයක්, ආගමක්, භාෂාවක් පදනම් කරගත් මතවාදයක් නොවේ. එය ඉන් එහා ගිය පුළුල් සංකල්පයකි. සිංහල ජාතිකවාදය නැතහොත් ලාංකේය ජාතිකවාදය නිර්මාණය වන්නේ වාර්ගික අනන්‍යතාවලට එහා ගිය ශක්තිමත් මතවාදීමය පදනමක් මත ය.
මේ රට එක්සේසත් නැතහොත් ඒකීය රටක් ලෙස පිළිගැනීම, රටේ මහා සංස්කෘතිය සිංහල බෞද්ධ සංස්කෘතිය බව පිළිගැනීම සහ ඒ මහා සංස්කෘතිය සෙවණේ සෙසු සංස්කෘතීන්හි සහජීවන පැවැත්ම පිළිගැනීම ඔස්සේ ඕනෑ ම පුද්ගලයෙකුට ජාතිකවාදියෙකු විය හැකි ය. ඊට සිංහල, දෙමළ හෝ මුස්ලිම් ජනවර්ගවලට අයත් වීම ප්‍රශ්නයක් නොවේ. ඊට බෞද්ධ, හින්දු, කතෝලික, ඉස්ලාම් ආගමට අයත් වීම ගැටලුවක් නොවේ.
එස්. එල්. ගුණසේකරට හෝ සිරිල් එඬේරමුල්ලට ඔවුන්ගේ කතෝලික ආගම ජාතිකවාදීන් වීමට බාධාවක් වූයේ නැත. බෙදුම්වාදයට එරෙහි වමට ලක්ෂ්මන් කදිරගාමර්ට සිය ජන වර්ගය හෝ ආගම බාධාවක් වූයේ නැත. නිදහස් සටනට පණ පෙවීමට සිකීම් මහින්ද හිමිට සිය ජන වර්ගය බාධාවක් වූයේ නැත. මොහොමඩ් මූසාම්මිල්ට සිය ජන වර්ගය හෝ ආගම ජාතිකවාදයෙකු වීමට බාධාවක් වී නොමැත. ඔහු නිය ම ලාංකේය නැතහොත් සිංහල මුස්ලිම්වරයෙකි. ඔහුගේ සිංහල භාෂා භාවිතයේ හැකියාව ඇතැම් සිංහල ගොත ගහන සිංහලයින්ට ආදර්ශයක් විය යුතු ය.
එහෙයින් වැරදීමකින් මුසල්මානුවකු වූ යන යෙදුම වැරදි සහ භයානක අරුත් සම්පාදනය කරයි. එය වර්ගවාදී හෝ ජාතිවාදී ඔලුවකින් එළියට පැමිණි අදහසකි. එකල කොටි ත්‍රස්තවාදීන් ලක්ෂ්මන් කදිරගාමර් ද දෙමළ නමක් ගත් සිංහලයෙකු යැයි කදිරගාමර් හැඳින්වූයේ මේ වර්ගවාදී පදනම මහතා පිහිටා ය. අනෙක් අතට වික්‍රමබාහු කරුණාරත්න, නිර්මාල් රංජිත් දේවසිරි, රාජිත සේනාරත්න, රනිල් වික්‍රමසිංහ, ඩිලාන් පෙරේරා ආදි ජාතිකවාදයට එරෙහි වන්නන්ට සිය ජන වර්ගය සිංහල වීම ඒ සඳහා කිසිදු බාධාවක් බවට පත්ව නැත.
මේ අනුව ජාතිකවාදය යනු ජාතිවාදය හෝ වර්ගවාදය නොවන බවත් අපට අවශ්‍ය වන්නේ සෙසු ජන වර්ගවලට හෝ ආගම්වලට අයත් පුද්ගලයින් බෞද්ධයින් හෝ සිංහලයින් බවට පත් කර ගැනීම නොවන බවත් තේරුම් ගැනීම වැදගත් ය. ජාතිකවාදට යනු සිංහලයින් මෙන් ම සෙසු සුළු ජන කොටස් සිය අනන්‍යතාව ආරක්ෂා වන පරිදි මහා සංස්කෘතිය යටතේ එකට ගොනු කර ගැනීම අරමුණු කරගත් මතවාදයකි. ජීවන ක්‍රමයකි. ඒ පිළිබඳ වැරදි අර්ථ කථන ලබා දීම නොකළ යුතු ය. මුහම්මඩ් මුසාම්මිල් ලා වැඩි වැඩියෙන් බිහි කර ගැනීම අද යුගයේ අවශ්‍යතාවකි. ජාතිකවාදයට අනුගත ඕනෑ ම ජන වර්ගයකට හෝ ආගමකට අයත් පුද්ගලයෙකුට මේ රටේ ඕනෑ ම දේශපාලන තනතුරක් දැරීමට කිසිඳු බාධාවක් නොමැත.
 
සිය රට දේ සිරි සැප දේ !