Wednesday, October 21, 2015

දැන් White House සහ White Elephant දෙක ම එකයි!

ඇමරිකාව ISIS ඇතුළු ත්‍රස්ත කල්ලි මාර්ගයෙන් සිරියාවේ දේශපාලන ගැටුම් නිර්මාණය කළේ 2011 වසරේ සිට සිරියානු ජනාධිපති බෂාර් අල්-අසාද් විදේශ් සංචාරවලට සහභාගී වුණේ නෑ. ඒ අතර ISIS මර්දනය කරන බව පවසමින් ISIS ඇතුළු ත්‍රස්ත කල්ලි වර්ධනය කළේ ඇමරිකාව.

නමුත් රුසියාව ත්‍රස්ත මර්දන ප්‍රහාර ආරම්භ කරලා මාසයක් තුළ සිරියානු රජය සහ හමුදා ශක්තිමත් වුණා. ඒ ශක්තිය කෙතරම් ද කිවහොත් අල්-අසාද්ට විදේශ සංචාරයකට සහභාගී වෙන්න පුළුවන් තරමට ඔවුන් ශක්තිමත්. ඒක ISIS ඇතුළු ත්‍රස්ත කල්ලි මාර්ගයෙන් අල්-අසාද්ගේ ඇමරිකන් සහ බටහිර ගැති නොවන ශියා පාලනය පෙරළා දමා ඇමරිකන් සහ බටහිර ගැති සුන්නි පාලනයක වියරු සිහින දුටු ඇමරිකාවට මේක කනේ පහරක්.

මේ අව් අස්සේ කැනඩා නව අගමැති ජස්ටින් ට්‍රඩියෝ ඇමරිකාව ප්‍රමුඛ ඊනියා ISIS ප්‍රහාර කණ්ඩායමෙන් තමන්ගේ යානා ඉවත් කරගන්නා බව ප්‍රකාශ කිරීම ගහෙන් වැට්ට ඇමරිකාවට ගොනා ඇන්නා වගේ වැඩක්. ඉතින් අවයිට් හවුස් එක සිරියානු ජනාධිපති බෂාර් අල්-අසාද්ගේ රුසියානු සංචාරය හෙළා දකිනවා කියලා කියනවා. හෙළා නෙමේ, හෙළුවෙන් දකිනවා කියලායි මට හිතෙන්නේ.

අපේ ගෙදරට එන එවුන්, අපි යන තැන තීරණය කරන්නේ අපි මිස ගමේ චණ්ඩියා නෙමේ කියලා පූටින් හිනාවෙනවා ඇති. ඒ ගොං චණ්ඩි පාට් බටහිර ඉන්දිය කොදෙව්ව වගේ පොන්නයෝ පාලන කරන රටවල්වලට මිස පුටීන්ලා වගේ නායකයෝ පාලනය කරන රටවල්වලට දාන්න ගියාම ඔහොම පීචං වෙන්න වෙනවා. දැන් White House සහ White Elephant දෙක ම එකයි!. ඇත්ත ඒක තමා. මුල දී ඉතින් දරා ගන්න අමාරු තමා.

කුමාරසිංහ සිරිසේන යනු පියදාස සිරිසේනගේ මල්ලී ය

ලංකාවට යහ පාලන වසන්ත කාලය උදා වන විට ටෙලිකොම් සභාපතිගේ වැටුප ලක්ෂ 2කි. කුමාරසිංහ සිරිසේන මහතා සභාපතිත්වයට පත් වු වහා එය ලක්ෂ 9 බවට පත්ව පසුව ලක්ෂ 30ක් බවට පත් විය. සියලු දීමනා සමඟ ලක්ෂ 90ක් ඔහුට මාසිකව ලැබිණි. දැන් ඔහු වැටුප ලෙස රුපියල් කෝටියක් ඉල්ලා සිටින බව වාර්තා වේ.

මහින්ද රාජපක්ෂ දූෂිත පාලන සමයේ බොහෝ දුක් විඳිමින් ඉතා ම දුෂ්කර ජීවිත ගත කළ රාජ්‍ය සේවකයෙකු රට නිවැරදි මාවතේ ගමන් කරන මෙවන් කාලයක හොඳ වැටුපක් ඉල්ලා සිටීම පිළිබඳ ඇතැමුන් කුහක ලෙස අදහස් ප්‍රකාශ කරන්නේ ඇයි ද යන්න ජනතාවට ගැටලුවකි.

රටේ ජනතාවට තේ දළු කිලෝවක් රුපියල් 150-160ක මිලකට අලෙවි කළ හැකි රටක, වී කිලෝවක් රුපියල් 90-110ට අලෙවි වන රටක, රබර් ෂීට් කිලෝවක් රුපියල් 750ට වැඩි මිලකට අලෙවි වන රටක එවැනි ඉඩකඩම් දේපොල කිසිවක් නැති අසරණ රාජ්‍ය සේවකයෙකු රුපියල් කෝටියක වැටුපක් ඉල්ලුවේ යැයි කෝපවන්නෝ යහ පාලනයට නින්දා නොකරත් ද? අනෙක් අතට මේ ඔවුන් නින්දා කරන්නේ ජනවාරි 08 වෙනිදා වනතුරු විළිරුදාවෙන් මොරදී බිහි කර ගත් කුළුඳුල් යහ පාලන නොදරුවාට නොවෙද?

අනෙක් අතට මේ කුමාරසිංහ සිරිසේන යනු අපේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ බාල සොහොයුරා බවට ගෙන යන ප්‍රචාරය ද මහා බොරුවකි. සරල දිවිපෙවෙතක් ගත කරන එතුමා ජනාධිපති මන්දිරයේ වාසය කිරීම පවා ප්‍රතික්ෂේප කළ සැබෑ මහත්මයෙකි. එතුමා රාජපක්ෂ පවුල් පාලනයට මෙන් ම ඕනෑම පවුල් පාලනයකට එරෙහිවන ජන නායකයෙකි. නාස්තියට, ගසා කෑමට හෝ වංචාවට එතුමාගෙන් කිසි බුරුලක් නැත.

කෙසේ වුව ද මේ කුමාරතුංග සිරිසේන මහතා යනු පියදාස සිරිසේන නැමැත්තාගේ මල්ලි වීමට බොහෝ දුරට ඉඩ තිබේ. ඔහු විමලතිස්සි හාමුදුරුවන්ගේ මුදල් පෙට්ටිය නමින් පොතක් ද ලියා තිබේ. ඒ සිරිසේන මුදල් පසු පස්සේ දිව ගියා පමණක් නොව හාමුදුරුවන්ගේ මුදල් පෙට්ටි වෙත ද ඇස ගසා ගෙන සිට තිබේ. කුමාරතුංග සිරිසේන පියදාස සිරිසේනගේ සොහොයුරාා බව සනාථ කිරීමට මේ සාධක ප්‍රමාණවත් ය. එහෙයින් ලොවට ම ආදර්ශයක් වූ සිරිසේන ජනාධිපතිවරයාට අවලාද නඟන කණ්ඩායම් පිළිබඳ ජනතාව අවදියෙන් සිටිය යුතු ය.

Monday, October 12, 2015

එන්න අපි පිල්ලෙයාන්ට ගල් ගහමු!

2005 වසර යනු කොටි ත්‍රස්තවාදය දරුණු ලෙස ක්‍රියාත්මක වූ සමයකි. එකල සිදු වූ ඝාතන බොහෝ ය. ඒ සියල්ල ප්‍රභාකරන්ගේ අණින් කළ ඒවා ය. ශිවනේෂතුරෙයි චන්ද්‍රකාන්තන් නමැති පොඩි එකා ළමා සොල්දාදුවෙකු ලෙස කොටි සංවිධානයට බඳවා ගන්නේ ද ඔහුට පිල්ලෙයාන් යනුවෙන් නමක් ලබා දෙන්නේ ද ප්‍රභාකරන්ගේ අණ අනුව ය. මොළ සෝදා කුඩා දරුවන් වූ චන්ද්‍රකාන්තන්ලා පමණක් නොව පමණක් නොව විනයාගමූර්ති මුරලිදරන්ලා මිනි මැරීම සඳහා යොමු කළේ ප්‍රභාකරන් ය. ඒ ම්ලේච්ඡ කටයුතු අපේ ළමයින්ගේ දඟකාරකම් ලෙස සලකා කටයුතු කළේ දෙමළ ජාතිවාදී දේශපාලකයෝ ය. ඒ සඳහා අවශ්‍ය මූල්‍ය ශක්තිය සහ ජාත්‍යන්තර සහාය ලබා දුන්නේ සුරේන් සුරේන්ද්‍රන්ලා ප්‍රමුඛ දෙමළ ඩයස්පෝරාවයි. එසේ බලන කල චන්ද්‍රකාන්තලා යම් අපරාධයක් කළේ නම් ඊට සහාය දුන් දෙමළ ජාතික සංවිධානය ද දෙමළ ඩයස්පෝරාව ද වගඋත්තරකරුවන් විය යුතු ය.

එහෙත් හිටපු පාර්ලිමේන්තු මන්ත‍්‍රී ජෝෂප් පරරාජසිංහම් මහතා 2005 වසරේදී ඝාතනය සම්බන්ධයෙන් සැක පිට හිටපු නැගෙනහිර පළාත් මහ ඇමති චන්ද්‍රකාන්තන් පමණක් අත් අඩංගුවට ගෙන තිබේ. ඒ ඔහු ප්‍රජාතන්ත්‍රවාදයට පැමිණීමට පෙර කළ වරදකට ය. එසේ අත්අඩංගුවට ගන්නා ලද්දේ දෙමළ ජාතික සන්ධානය ද දෙමළ ඩයස්පෝරාව ද සිය මිතුරන් ලෙස සලකන ආණ්ඩුව විසිනි. චන්ද්‍රකාන්තන්ලා අත්අඩංගුවට ගත් ආණ්ඩුවේ විදේශ ඇමතිවරයා නොබෝදා සුරේන් සුරේන්ද්‍රන්ගේ එංගලන්ත නිවසේ රාත්‍රී සම්භාෂණයකට පැමිණි බව වාර්තා වේ. චන්ද්‍රකාන්තන්ලාට අපරාධ කිරීමට අනුබල දුන්නේ සුරේන්ද්‍රන්ලාගේ දෙමළ ඩයස්පෝරාවයි. ඒවා සාධාරණීකරණය කළේ දෙමළ ජාතික සන්ධානයයි. 

මේ උභතෝකෝටිකය අප තේරුම් ගන්නේ කෙසේ ද? සැබවින් ම මේ අත්අඩංගුවට ගන්නේ ඔවුන් සඳහන් කර ඇති අපරාධය නිසාම ද? නො එසේ නම් විනයාගමූර්ති මුරලිදරන් සමඟ කොටි සංවිධානයෙන් බිඳී අවුත් ශ්‍රී ලංකා හමුදාව සමඟ එක්ව කොටි පරාජය කරන යුද්ධයේ තීරණාත්මක කාර්යභාරයක් ඉටු කළ නිසා ද?ජනවාරි 08 වෙනිදා සිට බන්ධනාගාරව ගතව සිටි දරුණු ගණයේ කොටි නිදහස් කළ ආණ්ඩුව චන්ද්‍රකාන්තන්ලා පසුපස හඹා යන්නේ ඇයි? මෙවැනි චෝදනා යටතේ කොටින්ට ද්‍රෝහි වූ නිසා ම විනයාගමූර්ති මුරලිදරන් වුව අත් අඩංගුවට ගත හැකි ය. බෞද්ධයින්ගේ මුදුන් මල්කඩ වූ ජය ශ්‍රී මහා බෝධියට ප්‍රහාර එල්ල කිරීම ඒ සඳහා කදිම චෝදනාවකි. එහෙත් සැබවින් ම ඔවුන් අත් අඩංගුවට පත් වන්නේ තිස් වසරක් මේ රට වෙළා ගෙන පැවති ම්ලේච්ඡ කොටි ත්‍රස්තවාදය පරාජය කිරීමට කටයුතු කළ නිසා ය. ඊට අනුබල දුන් නිසා ය. මහින්ද රාජපක්ෂ සමඟ සිටගත් නිසා ය. 

එහෙයින් ප්‍රභාකරන්ගේ පුතා බාලේන්ද්‍ර වෙනුවෙන් කිඹුල් කඳුලු හෙළු මේ රටේ මානව හිමිකම් අයිතිකාරයින්ට කිසි විටෙක චන්ද්‍රකාන්තන්, මුරලිදරන් වැනි එදවස ළමා සොල්දාදුවන් වූ අහිංසකයින්ගේ ලමා අයිතිවාසිකම් සිහිපත් නොවනු ඇත. ඔවුන්ගේ ළමා කාලය උදුරා ගෙන අත රැඳී පෑන පොත වෙනුවට තුවක්කුව සහ බෝම්බය ද ගෙලට සයනයිට් කරල ද ලබා දුන් ප්‍රභාකරන් ද දෙමළ ජාතික සන්ධානය ද දෙමළ ඩයස්පෝරාව ද කිසිවෙකු ප්‍රශ්න නොකරනු ඇත. ඊනියා ළමා අයිතිවාසිකම් වෙනුවෙන් නොව ශ්‍රී ලංකා හමුදාවට අපහාස කිරීමට ඔවුන් රටට දිනා දුන් ජයග්‍රහණය අවප්‍රමාණ කිරීමට බාලේන්ද්‍ර ගැන කවි ලියු කවීන් ඊට සුදු කොඩි එසවූ මානවහිතවාදීන් කවි නොලියනු ඇත. සුදු කොඩි නො උස්සනු ඇත.   ඉතින් අපි සම්බන්ධන්ට සහෝදරත්වයේ දෑත් දිගු කරමු. සුරේන්ද්‍රන්ලා සමඟ සව්දිය පුරමු. පිල්ලෙයාන්ට ගල් ගහමු. කරුණාට ගල් ගහමු. 

Sunday, October 11, 2015

බදු බොන එකා බේබද්දාය

ලාල් කාන්තා කියනවා ගල් අරක්කු බෝතලයක් රුපියල් 1060 වෙද්දී, එයින් රුපියල් 888ක් බදු කියලා. එතකොට ගල් බෝතලයක සැබෑ වටිනාකම රුපියල් 172යි. එහෙම බලද්දී අනිත් අරක්කුවල ගණන්වල වුණත් ලොකු වෙනසක් නැතිව ඇති.

කිසිම බදු මුදලක් නොගෙවන දේශීය නිෂ්පාදනයක් වන කසිප්පු බෝතලයකුත් මං හිතන්නේ දැන් රුපියල් 300ක් වත් වෙනවා ඇති. ඒ කියන්නේ මහ ලොකු අරක්කු, කසිප්පු තරම්වත් වටින දෙයක් නෙමේ. බලන් යද්දී අපේ ටයි කෝට් දාන පොරවල් උජාරුවෙන් සෙට් වෙලා බොන්නේ බදු නේ.

හවසට සෙට්වෙනවා. බදු බොනවා. මඟුලේ දී සෙට් වෙනවා. බදු බොනවා. මරණෙදී සෙට් වෙනවා. බදු බොනවා. දානේ දී සෙට් වෙනවා. බදු බොනවා. බොන්නෙම බදු. 'බොනවා' කියන ක්‍රියා පදය 'බිව්'වෙලා 'බේ' වෙනවා. 'බදු' ඒක වචනයේ දී 'බද්ද' වෙනවා. 'අා' ප්‍රත්‍යය යෙදිලා 'බද්දා' කියන නාම පදය හැදෙනවා. බේ + බද්දා = බේබද්දා. බදු බොන එකා බේබද්දා ය. බදු බොන එවුන් රංචුව බේබද්දෝ ය.

නැටුම කෙළවර

"රනිල්-මෛත්‍රී දෙපළම එකතුවී අප වැන්නන්ගේ රෙදි ගැලවීමට සෑහෙන මහන්සියෙන් කටයුතු කරමින් සිටී." - ආචාර්ය නිර්මාල් රංජිත් දේවසිරි
අත්තික්කා මල් වගේ කෙප්ප යහ පාලනයක් ගැන කියලා රටේ ජනතාවගෙන් සැලකිය යුතු පිරිසක් ගොනාට අන්දවන්න නිර්මාල් මහතා ප්‍රමුඛ උගත්තු විශාල කාර්යභාරයක් කළා. එහෙම කළේ අද තිබෙන තත්ත්වයට රට පත්වෙනවා කියලා නොදැන, අවංකවම නම් එතුමන්ලාට අනුකම්පා කරන්න ඕන. යම් දේශපාලන ව්‍යපාරයක අතීතය සහ වර්තමාන මත සිට එහි අනාගතය විනිවිද දැකිය නොහැකි අය උගත්තු වුණාට බුද්ධිමතුන් නම් නෙමේ.
ජනවාරි 08 වෙනිදා ඉඳලා ම නිර්මාල් මහතා ප්‍රමුඛ උගත්තු මොනර නැටුම් නැටුවේ ඊනියා යහ පාලන සීතාම්බර සළුව ඇඳ ගෙන. මේ නැටුම් දැකපු බොහෝ උගත්තු සළුව වර්ණනා කරන්න ඇති. නමුත් එහෙම සළුවක් ඇඳලා තිබුණේ නෑ. නිරුවස්ත්‍රාභරණයෙන් සැරසිලා නැටුවේ. ඒක දැකපු මෝඩයෝ පිරිසකුත් රටේ හිටියා. යහ පාලන සීතාම්බර සළුව නොපෙනෙන ඒ මෝඩයෝ 'ඔබබතුමන්ලා නිරුවතින්' කියලා ඇඟිල්ල දික් කරලා මුණට ම කියන කොට දැන් එතුමන්ලා තමන්ගේ ඇඳුම් හොයනවා. වැඩේ කියන්නේ දැන් ඇඳුම් ගලවලා දාපු තැනුත් මතක නෑ.

Friday, October 9, 2015

රැවටුණේ රනිල් නොව ඔබාමාය!

අගමැති රනිල් වික්‍රමසිංහ මහතා ජපන් පාර්ලිමේන්තුව ඇමතු ලොව තෙවන රාජ්‍ය නායකයා බව පසු ගිය දා මාධ්‍ය අනාවණරය කර තිබිණි. එහෙත් එය පට්ටපල් බොරුවකි. එතුමා ජපන් පාර්ලිමේන්තුව ඇමතු ලොව ප්‍රථම රාජ්‍ය නායකයා ය. එතුමාට අපහාස කළ මෝඩයින් දැන් වහාම එතුමාගෙන් සමාව ඉල්ලා සිටිය යුතුය. 

මීට පෙර බැරක් ඔබාමා, නරේන්ද්‍ර මෝඩි මෙන් ම චීන සහ භූතාන නායකයින් ද දේශන පවත්වා තිබුණේ ජපන් පාර්ලිමේන්තුවේ නොව ජපානයේ  හිරෝහිතෝ අධිරාජ්‍යයා රාජ්‍ය විචාළ රාජ සභාවෙහි ය. ඔබාමා, ෂී පෙන් රාජ සභාව අමතන පින්තූරවල ඇති පැරණි ගෘහ නිර්මාණ ලක්ෂණ එය සත්‍යයක් බව සනාථ කරයි.

තමන්ගේ රටට බෝම්බ දැමූ ඇමරිකාවේ රාජ්‍ය නායකයින් ලවා සිය ගම්භීර පාර්ලිමේන්තුව කිළුටු කර ගැනීමට අභිමාණවත් ජපන් ජාතිකයෝ කිසිසේත් ක්‍රියා නොකරති. එහෙත් ඔබාමා තරහ කර ගෙන බැරි නිසා ඔහුට පැරණි රාජ සභාව ඇමතීමට අවස්ථාවක් ලබා දී තිබිණි. එහෙත් එය රහසක් ලෙස තබා ගැනීම සඳහා ඊට පසු පැමිණි රාජ්‍ය නායකයින්ට ද ජපන් පාර්ලිමේන්තුව ඇමතීමට අවස්ථාව ලබා දෙන බව පවසා ජපනුන් කර ඇත්තේ පැරණි රාජ සභාවේ කතාවක් කරවා ඔවුන් සතුටු කරවීම ය.

එහෙත් නළුවෙක් නොව මොළයක් බව පැවසෙන ශ්‍රී ලංකා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා එසේ රැවටිය නොහැකි බව ජපනුන් දැන සිටි අතර ඔහුගේ මාමා වන ජේ. ආර්. ජයවර්ධන මහතා එක්සත් ජාතීන්ගේ සංවිධානය තුළ ජපානය වෙනුවෙන් පෙනී සිටිමේ ගෞරවය ආරක්ෂා කිරීමට ද ඔවුන්ට අවශ්‍ය විය.
එහෙයින්ය; ඔවුන්ගේ සැබෑ පාර්ලිමේන්තුව අමතන ප්‍රථම විදේශ රාජ්‍ය නායකයා ලෙස රනිල් වික්‍රමසිංහ මහතා තෝරා ගනු ලැබූවේ. එය අපට මහත් ආඩම්බරයකි. 

කෙසේ වුව ද මේ සමඟ ජපානය සහ ඇමරිකාව අතර රාජ්‍ය තාන්ත්‍රික ගැටුමක් ඇති වී තිබේ. ඒ ජපානය සිය රාජ්‍ය නායකයා ලවා ජපාන පාර්ලිමේන්තුව යැයි පැරණි රාජ සභාව ඇමතවීම සිය රටට කළ මදි පුංචිකමක් ලෙස ඇමරිකාව සලකන නිසා ය. අනෙක් අතට තම අගමැතිවරයා ඇමතුවේ ජපන් පාර්ලිමේන්තුව නොව එහි රැස්වීම් ශාලාවක රැස් වූ මන්ත්‍රී පිරිසක් යැයි ලංකා ආණ්ඩුව වරදවා තේරුම් ගැනීම නිසා එම සංචාරය නිමා වනවාත් සමඟ ජපන් වාහනවල බදු ගණන් ඉහළ දමා තිබේ. 

ඔබාමා මහතාට මෙන් ම රනිල් මහතාට ද සැබෑ තත්ත්වය අවබෝධ කර ගැනීමට මේ ලිපිය ප්‍රමාණවක් යැයි සිතමි. සත්‍ය අවබෝධ කර ගෙන ජපන් වාහනවල බදු පහත දමා අඩුවට වාහනයක් ගැනීමට එජාප ආණ්ඩුවක් උදා වන තුරු ස්කුටියක නැඟී වැස්සේ තෙමුණු සුදු නංගිටත් ඒ සුන්දර සිහින දුටු සුදු අයියාලාටත් මල්ලිලාටත් අවස්ථාවක් ලබා දෙන මෙන් ඉල්ලා සිටිමි.


Wednesday, October 7, 2015

මානව හිමිකම් නමැති ආයුධය!

ඇමරිකාව ඇෆ්ගනිස්ථානයේ කුන්දූස් නගරයේ රෝහලකට බෝම්බ දාලා කාර්ය මණ්ඩලයේ 12ක් සහ රෝගීන් 10ක් සමඟ 22ක් මරණයට පත්වුණේ ය. තව 30 දෙනෙක් අතුරුදහන් වී ඇති බව ඇතැම් මාධ්‍යවල කියැවිණි. මෙය අත්වැරදීමක්ලු. ඔබාමා පූර්ණ පරීක්ෂණයක් ද කරන්නේලු. මේ පරීක්ෂණයෙන් රෝහලේ මිය ගිය කාර්ය මණ්ඩලය සහ රෝගීන් වැරදිකරුවන් වෙන්න තියෙන ඉඩ බොහොම වැඩිය. දැනටමත් ඔවුන් දඩුවම් ලබලා නිසා ලොකු ප්‍රශ්නයක් නොවනු ඇත.

ඒ කොහොම වුණත් මෙවන් සිද්ධියක් ඇමරිකාව සහ බටහිර විරෝධි රටක් අතින් සිදු විණි නම් මේ වන විට ලෝක දේශපාලන නායකයින්ගේ සහ සංවිධානවල හැසිරීම කුමක් විය හැකිව තිබුණි ද? BBC, CNN, අල්-ජසීරා ඇතුළු මාධ්‍යවල හැසිරීම කුමන ස්වරූප ගනු ඇත් ද? මේ කොදෙව්වේ ජීවත් වන NGO උගතුන් කුමක් කරනු ඇත් ද?

එසේ වී නම් අදාළ රටේ නායකයා ජිනීවා රැගෙන යාමට අවශ්‍ය සියලු මතවාද මේ වන විට සමාජයට මුදා හැර අවසන් ය. ඊට එරෙහිව ලොව පුරා ජනතාව වීථි බස්වා අවසන් ය. දහස් ගණනින් පෙත්සම්වලට අත්සන් තබා අවසන් ය. බෑන් කී මූන් පැයෙන් පැයට නිවේදන නිකුත් කරනු ඇත. හියුමන් රයිට්ස් වොච්ලාට වෙන වැඩක් නැති වනු ඇත. ලංකාවේ උගත්තු ලිප්ටන් වටරවුමේ නිහඬ උද්ඝෝෂණයක් කර අදාළ රටේ තානාපති කාර්යාලයට විරෝධතා සන්දේශයක් රැගෙන යනු ඇත. අදාළ රටේ පාලකයා කිලර්, බුචර් වැනි නම්වලින් හඳුන්වමින් ලෝකය විනාශ කරන්නට පැමිණි අති භයානක චරිත ලෙස හුවා දක්වනු ඇත. එහෙත් මේ අවස්ථාවේ ඒ කිසිවක් සිදු නොවේ.

එසේ වන්නේ ඇයි? ඒ අන් කිසිවක් නිසා නොව මානව හිමිකම්, ප්‍රජාතන්ත්‍රවාදය, මාධ්‍ය නිදහස ආදි සියල්ල ලෝක බලවතුන් සිය දේශපාලන සතුරන් දඬයම් කිරීම සඳහා භාවිත කරන භයානක ආයුධ නිසා ය. මේ වන විට ලෝකයේ මානව හිමිකම්, භාෂණ නිදහස, ප්‍රජාතන්ත්‍රවාදය ආදිය කිසියම් ජනතාවකට හිමි යැයි බටහිර සහ ඇමරිකාව පිළිගනු ලැබීමට නම් ඒ රටවල පාලකයින් ඇමරිකන් සහ බටහිර ගැති නොවිය යුතු ය. ඇමරිකන් අභිලාෂයන්ට පටහැනිව ක්‍රියා කළ යුතු ය. එකල්හි ඒ රටේ පාලකයින් ජනතාව පෙළන බවට වසර ගණනාවක් තිස්සේ ලෝක මට්ටමින් මතවාද නිර්මාණ කරනු ලැබේ. විරුද්ධ පක්ෂ කණ්ඩායම්වල රටේ ප්‍රජාතන්ත්‍රවාදය ස්ථාපිත කිරීම සඳහා ඇමරිකාව විසින් නොමිලේ ආයුධ සහ පුහුණුව ලබා දෙනු ලැබේ. ඒ රටවල ප්‍රජාතන්ත්‍රවාදී පාලකයින් පැන්නීම සඳහා ගැටුම් නිර්මාණය කරනු ලැබෙන අතර ඒවා මර්දනයට අදාළ ආණ්ඩු ක්‍රියා කරන විට රටේ ජනතා මර්දනය කරන බව පවසමින් තමන් ආධාර කළ ත්‍රස්ත කල්ලි ආරක්ෂා කරනු ලැබේ. දැන් සිරියාවේ සිදු වන්නේ එයම ය. කෙසේ වුව ද කිසියම් රටක් ඇමරිකාවේ මිතුරන් නොවුණ ද ඇමරිකාවේ දේශපාලන සතුරන්ගේ සතුරන් නම් ඒ රටවල ජනතාවට අර පැකේජය නොමිලේ ලැබේ.

Tuesday, October 6, 2015

ප්‍රජාතන්ත්‍රවාදය රැකගමු ද? ඇමරිතන්ත්‍රවාදය පිළිගමු ද?

සිරියාවේ ඉල්ලීමක් හෝ එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ඉල්ලීමක් හෝ නොමැතිව අවුරුද්දක පමණ කාලයක් ISISලාට පහර දෙන්නේ යැයි කියමින් සිරියාවට බෝම්බ හෙළු ඇමරිකාවට, සිරියානු රජයේ ඉල්ලීම සහ සිය රටේ අනුමැතිය සහිතව රුසියාව ISISලාට පහර දෙන විට මේ තරම් රිදෙන්නේ ඇයි? ඇමරිකාව සැබවින් ම ISISලාට එරෙහි නම් කළ යුත්තේ අවුරුද්දක් තිස්සේ බෝම්බ හෙළා තමන්ට කිසිදු ප්‍රගතියක් අත්කර ගත නොහැකි වූ කටයුත්ත සාර්ථක කර ගැනීමට රුසියාවට සහාය වීම නොවෙද? එහෙත් අවුරුද්දක් තිස්සේ ISISලාට පහර දෙන බව පවසමින් එය මර්දනයට නොව වර්ධනයට කටයුතු කළ ඇමරිකාව, රුසියාව සිය ප්‍රථම ගුවන් ප්‍රහාරය එල්ල කිරීමට ද පෙර රුසියානු ප්‍රහාරවලින් සාමාන්‍ය සිරියානු වැසියන් මියෙන බව ප්‍රකාශ කිරීම අප අවබෝධ කර ගත යුත්තේ කෙසේ ද? එම ප්‍රකාශයට අත්පොළසන් දෙන සෞදි, කුවෙට්, තුර්කි සුන්නි ත්‍රස්තවාදය අප තේරුම් ගෙන තිබේ ද? එම ප්‍රකාශය නිකුත් කර පැය ගණනක් ඇතුළත ඇෆ්ගනිස්ථානයේ රෝහලකට බෝම්බ දමා එම රෝහල විනාශ කර 20 අධික පිරිසක් මරා දැමූ ඇමරිකාව මිනිස් ජීවිතවලට ලබා දී ඇති වටිනාකම කුමක් ද? 

එම ප්‍රහර එල්ල වූ රෝහල් සේවකයෙකු BBCයට ප්‍රකාශ කර ඇති පරිදි පැයක පමණ කාලයක් එම රෝහලට ප්‍රහාර එල්ල කර තිබේ. එහෙත් රෝහල් පරිශ්‍රයේ තාලිබාන් හෝ කිසිදු ත්‍රස්තවාදියෙකු සිට නැත. ඔහු ප්‍රකාශ කරන පරිදි දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටි රෝගීන් සිව් දෙනෙකු ප්‍රහාරය සමඟ පණ පිටින් දැවී ගොස් තිබේ. වෛද්‍යවරු ඇතුළු රෝහල් කාර්ය මණ්ඩලය 10ක් ද රෝගීන් 10ක් පමණ ද මිය ගොස් ඇත. එහෙත් ඇමරිකාවේ ම්ලේච්ඡ ත්‍රස්තවාදයට එරෙහිව සුන්නි ත්‍රස්තවාදීහු කිසිවක් නොකියති. මේ අනුව ඇමරි ත්‍රස්තවාදය සහ සුන්නි ත්‍රස්තවාදය ලොව සියලු සංකල්ප නැවත අර්ථ කතනය කරමින් සිටින බව පැහැදිලි ය. ඔවුන්ගේ අර්ථයෙන් ත්‍රස්තවාදය යනු අන් කිසිවක් නොව ඇමරිකාවට සහ සුන්නි ත්‍රස්තවාදය එරෙහි වීම ය. ඔවුන්ගේ අභිලාෂයන්ට පටහැනිව ක්‍රියා කිරීම ය. එසේ ක්‍රියා කරන විට තම දේශපාලන සතුරන් සකල විධ මානව හිමිකම් කඩ කරන බව පවසමින් BBC, CNN සහ අල්-ජසීරා අති දැවැන්ත ත්‍රස්ත ප්‍රචාරණ ජාලයක් ලෝකයට මුදා හරින අතර ඉන් සැබෑ ත්‍රස්තවාදීන්, විමුක්තිවාදීන් බවට ද ඊට එරෙහිව සටන් කරන පිරිස් ත්‍රස්තවාදීන් බවට ද පත් කෙරේ. මේ දැවැන්ත ප්‍රචාරණ ජාලයට ලෝක ජන මනස වහා ගොදුරු වන අතර ඔවුහු ඉන් සිහි විකල්ව එය අනුමත කරමින් ඊට පක්ෂව ක්‍රියා කරති. ලෝක ජනතාව නැවත සිහි එල්බ ගන්නා විට සියලු විනාශයන් සිදු වී හමාර ය. 

මේ තත්ත්වය නිවැරදිව අවබෝධ කර නොගතහොත් රුසියාව, සිරියාවේ ISISලා මර්දනයට එරෙහි මේ ප්‍රධාන ත්‍රස්ත කල්ලි දෙක ගෙන යන ප්‍රචාරණය ද කෙළවර වනු ඇත්තේ මහා විනාශයක් ඉතිරි කරමිනි. ඇමරිකාව ප්‍රමුඛ බටහිර තමන්ගේ දේශපාලන අභිලාෂයන්ට අනුව නො හැසිරෙන, ඊට එරෙහි වන සිරියානු අල්-අසාද් පාලනය බිඳ දැමීමට ISIS ඇතුළු ත්‍රස්ත කල්ලි නිර්මාණය කර රට අස්ථාවර කර තිබේ. ISIS කල්ලියේ වැඩ කරන කුළී හේවායන් සිය ස්වාමීවරුන්ගේ අභිලාෂ වෙනුවෙන් ISIS ක්‍රියාකාරකම් මෙහෙයවයි. ඒ සඳහා සුන්නි-ෂියා ගැටුම ඇමරිකාව මැනවින් භාවිත කරයි. අල්-අසාද්ගේ ෂියා පාලනය බිඳ දමා සිරියාවේ සුළුතර සුන්නි පිරිස අතට බලය ලබා ගැනීම සඳහා ලෝක සුන්නි ත්‍රස්තවාදය පිස්සු වැට්ටීම මගින් සෞදි, කුවෙට්, තුර්කි සහාය දිනා ගැනීමට ඇමරිකාව සමත්ව තිබේ. සිරියානු විපක්ෂය යැයි බටහිර මාධ්‍ය පුල පුලා පවසන්නේ මේ සුන්නි ත්‍රස්තවාදය විසින් පෝෂණය කර මෙහෙය වනු තබන ත්‍රස්ත කල්ලි වේ. එහෙත් එරට පැවති ජනාධිපතිවරණයෙන් 80%කට වැඩි කැමැත්තකින් බලයට පත් අසාද්ට සිය රට පාලනය කිරීමට ඇමරි සහ සුන්නි ත්‍රස්තයෝ ඉඩ නොදෙති. ඒ හුදෙක් ඔවුන්ගේ දේශපාලන අභිලාෂයන්ට අල්-අසාද් පාලනය අහිතකර නිසා පමණි. මේ අනුව නූතන මානව හිමිකම්, ප්‍රජාතන්ත්‍රවාදය යනු බටහිර විසින් සිය දේශපාලන සතුරන් මර්දනය සඳහා භාවිත කරන සමූල ඝාතන පරමාණු බෝම්බයකි. 

මේ වන විට රුසියානු ප්‍රහාර හමුවේ අල්-අසාද් පාලනය බිඳ දැමීමට ඇමරි-සුන්නි කල්ලිය ඇටවූ ISIS කෙමන දෙදරා තිබේ. එහි කුලී හේවයින් හය සියයක් පමණ නැවත යුරෝපයට පැන යාමට සැරසෙති. ප්‍රහාරය සමඟ ISIS මධ්‍යස්ථාන, සන්නිවේදන මධ්‍යස්ථාන, යුද ටැංකි විනාශ වී ඇති අතර බ්‍රිතාන්‍ය යේ සිට ක්‍රියාත්මක සිරියානු මානව හිමිකම් සංවිධානයක් ප්‍රකාශ කළ පරිදි එක් ප්‍රහාරයකින් ISIS ත්‍රස්තයින් 12 දෙනෙකු මිය ගොස් තිබිණි. ඇමරි-සුන්නි ත්‍රස්තවාදයට එරෙහි සියලු දෙනා මේ අවස්ථාවේ කළ යුත්තේ ඔවුන්ගේ ව්‍යාජ සාමවාදී වෙස් මුහුණු ගලවමින් සැබෑ මිනි මරු මුහුණ ලොව හමුවේ නිරුවත් කර සිරියාවේ ජනතා කැමැත්තෙන් පත් වූ පාලනය ආරක්ෂා කර ගැනීම සඳහා ජන මතයක් නිර්මාණය කිරීම ය. එසේ නොවුණහොත් ඉක්මණින් ම ප්‍රජාතන්ත්‍රවාදය මිය ගොස් ඇමරිත්‍රන්තවාදය උපදිනු ඇත. ඇමරිතන්ත්‍රවාදය යනු ඇමරිකන් කැමැත්ත සහිත පාලක ගැත්තන් විසින් ලොව අනෙකුත් රටවල් පාලනය කිරීම ය.    

Thursday, October 1, 2015

දැන් ළමා අපචාර දෙකයි!

පස් හැවිරිදි සේයා දැරියි දූෂණය කර මරා දැම්මේ යැයි දා හත් හැවිරිදි පාසල් සිසුවෙකු අත් අඩංගුවට ගත් කොටදෙනියාව පොලිසිය ඔහුට නිරුවත් කර පහර දී තිබේ. තරුණයාගේ නිරුවත් ඡායාරූප ද ගෙන තිබේ. දැරිය මිය විට ෆේස් බුක් ඔස්සේ ප්‍රචාරය වූ ඇගේ ඡායාරූපයක් පාසල් සිසුවාගේ දුරකතනයේ තිබී ඇත. එසේ ම ඔහුගේ පරිගණකයේ නිල් චිත්‍රපට තිබිම ද මෙලෙස ඔහු අත් අඩංගුවට ගෙන පහර දෙමින් චෝදනා පිළිගන්නා ලෙස බල කිරීමට හේතු වී ඇත. එහෙව් පොලිසිය ලබා දුන් තොරතුරු සුවිශාල කර රටට කුණු රසය බෙදා සිය ගුවන් කාලය සහ පත්තර ටික විකුණා ගත්තේ මෙරට ජඩ මාධ්‍යයයි. කොණ්ඩයාගේ පාපොච්චාරණය හමුවේ වුව ද මේ තරුණයාට බුරුලක් නො ලැබිණි. පසුව DNA සාම්පල වෙනස්වීම ඔහුට නිදහස ලැබිණි.
මෙසේ බලන කල කොණ්ඩයා නමැති මැරයෙකු තනිව ම සේයා දැරිය දූෂණය කර මරා දමද්දි පොලිසිය නමැති රාජ්‍ය ආයතනය සියලු රාජ්‍ය වරප්‍රසාද ලබමින් තවත් දරුවෙකු දූෂණය කර නොමරා මරා තිබේ. ෆේස්බුක් ඔස්සේ පාසල් සිසුවාගේ දුරකතනයේ තැන්පත් වූ සේයාගේ ඡායාරූපය නිසා පාසල් සිසුවා අත් අඩංගුවට ගත් පොලිසිය, තරුණියකට අමානුෂික ලෙස පහර දෙන තරුණ පොන්නයින් දෙදෙනෙකු ඇතුළත් වීඩියෝව තවම නුදුටුවේ ද? ඒ තරුණ පොන්නයින් දෙදෙනා සහ අසරණ තරුණියට පහර දෙන ආකාරය වීඩියෝ ගත කළ පොන්නයා අත් අඩංගුවට ගැනීමට පොලිසියට තවත් සාක්ෂි අවශ්‍ය ද? ඊට එරෙහින නීතිය ක්‍රියාත්මක වී ද? පොලිසිය අසරණ තරුණයෙකුට කළ අසාධාරණයට එරෙහිව නීතිය ක්‍රියාත්මක වන්නේ ද?
නො එසේ නම් මෙලෙස නීතිය වල් වැදීමට දෙන්නේ ප්‍රධාන ජාතිය තුළ ම සිදූ වූ ළමා අපචාරයක වරදකරුවෙකුට කාන්තා හිංසනයක වරදකරුවෙකුට එරෙහිව නීතිය ක්‍රියාත්මක නොවන ගෝත්‍රික රටක සුළු ජාතීන්ට සිදු වන අසාධාරණයක් හමුවේ එරට නීතියේ සරණ පැතීම නිශ්ඵල බව සනාථ කර ඇමරිකන් අධිකරණයේ යුධ අපරාධ නඩු ඇසීම සාධාරණීකරණය කිරීමට ද?

ජනපති ධූරයට අපහාස කරන්නේ කවුද?

ජනපති ධුරයට අපහාස කළේ යැයි සම්පත් අතුකෝරළ සිරගත කර තිබේ. ඔහු දකුණු පලාත් සභා මන්ත්‍රීවරයෙකි. මාධ්‍ය නිදහස, මානව අයිතිවාසිකම්, නිදහස් අදහස් දැරීමේ අයිතිය ගැන නරිවාදන් දෙඩු නිදහස් මාධ්‍ය ව්‍යාපාරික ප්‍රජාව සහ බඩගෝස්තරවාදී ඊනියා උගත්තු ඩොලර් උස්මුරුත්තාවෙන්දෝ එහෙන් මෙහෙන් පුංචි පුංචි බලු කෙඳිරිලි හඬක් දෙකක් නඟා යළි නින්දට වැටෙති. ඒ එවුන් පැතූ දැන් මාධ්‍ය නිදහස ද ප්‍රකාශන නිදහස ද ස්ථාපිත වී ඇති හෙයින් විය යුතු ය.

පසු ගිය ආණ්ඩු සමයේ ෆේස් බුකියේ මහින්ද විරෝධීන් මේ චෝදනාව යටතේ අත් අඩංගුවට ගත්තේ නම් මත්තල වී ගබඩාව වැනි නව සිරගෙවල් තැනීමට සිදුවනු ඇත. කෙසේ වුව ද එසේ එකෙකු අත් අඩංගුවට ගත්තේ නම් මෙරට නිදහස් මාධ්‍ය ව්‍යාපාරික රංචුව, NGO කල්ලිය, ඊනියා උගතුන් ඇතුළු පල්ලිය ඇතුළු සකලවිධ බලවේගව එක පෙළට ලිප්ටන් වටරවුමෙහි, කොටුව දුම්රිය පොළ ඉදිරිපිට බඩ පිනුම් උඩ පිනුම් ගසනු දැකිය හැකිව තිබිණි.

ඇතැම් තනතුරුවලට බෙහෙවින් අපහාස කරන්නේ, නින්දා කරන්නේ අන් අය නොව ඒ තනතුරු දරන අයම ය. යම් යම් තනතුරු කටුස්සාගේ කරේ රන් බැන්දා මෙන් වූ අය ය. රටේ ගෞරවනීය තනතුරු රට්ටු හිනස්සන විකට තනතුරු බවට අපහරණය කළ අයම ය. ඒ අර්ථයෙන් ගත් කල ජනපති ධූරයට අපහාස කිරීමේ චෝදනාව යටතේ සිරගත කළ යුත්තේ සම්පත් අතුකෝරළ නොවන බව නම් ඉතා ම පැහැදිලි ය.

රුසියානු විපක්ෂයේ ජවනිකා තුනක්

ප්‍රථම ජවනිකාව:
රුසියානු හමුදාපති ගැලවීමේ හමුදාවටවත් සුදුසු නෑ. ඕන ගොනෙකුට යුද්ධ කරන්න පුළුවන්. ඩමස්කස් කියන්නේ කැලයක්. රුසියානු හමුදාව සිරියාවේ යනවා කියලා කොරියාවේ යනවා.
දෙවන ජවනිකාව:
පූටින් කරපු යුද්ධයක් නෑ. මිනිහා මොස්කව්ල හැංගිලා හිටියේ. හමුදාපතියි විරෝධාර රණවිරුවොයි යුද්ධ කළේ. පූටින් තමන් යුද්ධ කළා කියන එක වැරදියි. පූටින් මහ රජා වෙන්න හදන එකත් වැරදියි.
තෙවන ජවනිකාව:
පූටින් හොරා පූටින් හොරා.... හොරා...
ඒකාධිපතියා .... ඒකාධිපතියා... ඒකාධිපතියා...
මිනිමරුවා .... මිනිමරුවා.... මිනිමරුවා....

උඹලා හරි මෝඩයි බං...

උඹලා දැක්කේ නැද්ද ඇමරිකන් ජනාධිපති බැරක් ඔබාමාගේ ගෙදර උන්දෑ මිචෙල් ඔබාමා ජිනීවා ඇවිත් උජාරුවෙන් මානව හිමිකම් ගැන කතා කළ හැටි?
උඹලා දැක්කේ නැද්ද චීන ජනාධිපති ශී පෙන්ග්ගේ ගෙදර උන්දෑ පෙන්ග් ලියුවාන් ජිනීවා ඇවිත් චීන කටු චිකිත්සාව ගැන කතා කළ කළ හැටි?
උඹලා දැක්කේ නැද්ද බ්‍රිතාන්‍ය අගමැති ඩේවිඩ් කැමරන්ගේ ගෙදර උන්දෑ සමන්තා කැමරන් ජිනීවා ඇවිත් ස්කොට්ලන්ත ස්වයං නිර්ණන අයිතිය ගැන හඬ නගපු හැටි?
උඹලා දැක්කේ නැද්ද ඕස්ට්‍රේලියානු අගමැති මැල්කම් ටර්න්බල්ගේ ගෙදර උන්දෑ ලුසි ටර්න්බල් ජිනීවා ඇවිත් සමලිංගික අයිතිවාසිකම් ගැන කතා කළ හැටි?
උඹලා දැක්කේ නැද්ද කැනඩාවේ අගමැති ස්ටෙෆන් හාෆර්ගේ ගෙදර උන්දෑ ටර්න්බල් ලොරීන් හාපර් ජිනීවා ඇවිත් බහු-සංස්කෘතිය ගැන කතා කළ ගිය හැටි?
උඹලා දැක්කේ නැද්ද නවසීලන්ත අගමැති ජෝන් කීගේ ගෙදර උන්දෑ බ්‍රෝනා කී ජිනීවා ඇවිත් සිරියාව ගැන කතා කළ හැටි?
උඹලා දැක්කේ නැද්ද දකුණු අප්‍රිකානු ජනාධිපති ජේකොබ් සුමාගේ ගෙදර උන්දෑ ග්ලොරියා නේග්මා ජිනීවා ඇවිත් දීර්ඝ පවුල් ජීවිතයක රහස් හෙළ කළ හැටි?
අන්න ඒ විදිහට හැම ලෝක නායකයෙක්ගේම ගෙදර උන්දෑ ආපු නිසා තමා ඔබාලාගේ, පෙන්ගේ, කැමරන්ගේ දරුවෝ ජිනීවා ආවේ නැත්තේ. ගෙදර උන්දැලා ආවේ නැත්නම් ඉතින් අපට බලන්න තිබුණා එවුන්ගේ දරුවෝ හැත්ත බුරුත්ත රොත්ත පිටින් ගෙහුන් ජිනීවා සමුළුව පවත්වපු ශාලාව මිදුලේ ඔළිඳ කෙළින හැටි. ඒකවත් නොරේන මහින්දගේ මෝඩ වහල්ලු එනවා රට හදන්න. ඉදකින්..... උඹලා හරි මෝඩයි බං...

නොසියා කරොමතුල්ලෝ

මම නොසියා කරොමතුල්ලෝගේ ගීත රස විඳිනවා. නගෝ නගෝ කියන ගීතය ඒ අතර විශේෂයි. ඇය තජිකිස්ථාන තරුණියක්. ඔවුන්ගේ සංස්කෘතිය තව ම සෞදි ඉස්ලාම් සංස්කෘතික ආක්‍රමණයට සම්පූර්ණයෙන් ම ගොදුරු නෑ. එහෙම වුණා නම් ඇයත් කළු පැහැ රෙදි ගෝණියක ඔතලා ගෙයි මුල්ලට දාලා අහවරයි.

දැන් ඇයට අන්තවාදී ඉස්ලාම් කල්ලි වෙතින් මරණ තර්ජන එල්ල වන බව අහන්න ලැබෙනවා. ඇත්තට ම මේ ජනතාව අයිති වෙන්නේ 1970 විතර ඇෆ්ගනිස්ථානයේ පැවති ආසියානු සංස්කෘතියට මිස දැන් ලොව පුරා මුස්ලිම් ජනතාව අතර වසංගතයක් වගේ බෝ වන තාලිබාන් සංස්කෘතිය නෙමේ. හැබැයි අන්තවාදය තව බොහෝ කලක් නොසියාලාට මේ නිදහස භුක්ති විඳින්න ඉඩ දෙන එකක් නෑ. ඇතැම් විට ඇයට ජීවිතයෙන් වන්දි ගෙවන්න වෙයි අන්තවාදයට.

ලොව පුරා ඒ ඒ රටවල මුස්ලිම් ජනතාවගේ ස්වකීය අනන්‍යතාෙ විනාශ කරන සෞදි තාලිබාන් සංස්කෘතික වියාදියට අප විරුද්ධ විය යුතුයි. එවිට මුස්ලිම් අන්තවාදීන් සමඟ සිට ගන්නා ඊනියා බුද්ධීමතුන් අද දෙමළ බෙදුම්වාදය සහ ත්‍රස්තවාදය සාධාරණීකරණය කරන්නාක් මෙන් ම අපට මුස්ලිම් අභිලාෂයන් තේරුම් ගත නොහැකි බව කියමින් තාලිබාන් ත්‍රස්තවාදය සාධාරණීකරණය කරනු ඇත.
https://www.youtube.com/watch?v=s86JCGbPby4
 
සිය රට දේ සිරි සැප දේ !