Tuesday, February 9, 2010

ගලගණ්‌ඩයට එරෙහිව

පිළියන්දල පොලිසියේ කූඩුවෙහි රඳවා සිටි සැකකරුවකු රාත්‍රි කාලයේදී සිවිලිම බිඳගෙන වහලයත් කඩාගෙන පැන ගිය බවත්, ඔහු මුර කිරීමට සිටි රාළහාමි කෙනකු සහ පොලිසියේ රාත්‍රි සේවයෙහි නියුතුව සිටි සාජන් මහතකු සම්බන්ධයෙන් දැන් පරීක්‍ෂණයක්‌ පැවැත්වෙන බවත් මෙයට දින දෙක තුනකට පෙර අපට දැනගන්නට ලැබිණි. සාමාන්‍යයෙන් මෙබඳු අවස්‌ථාවලදී පොලිසිය කරන්නේ වහලය හා සිවිලිම තැනූ වඩු බාස්‌ අත්අඩංගුවට ගැනීමය. නැතහොත් පැනගිය එකාගේ බිරිය හා දරුවන් පොලිසියට ගාල් කිරීමය. එසේ නොකර වරද සම්බන්ධයෙන් ඇසට පෙනෙන වගකීම භාර දෙදෙනාට විරුද්ධව ක්‍රියාමාර්ගයක්‌ ගැනීමට තීරණය කිරීමෙන් පෙනී යන්නේ පොලිස්‌ දෙපාර්තමේන්තුවේ පරිපාලනය නැවත වරක්‌ නිසි අතට හැරෙමින් පවත්නා බවය. මේ පුවත නිසා පොලිස්‌සිය කෙරෙහි ඇති වූ පහන් සිතින් වෙසෙන අපට පසුගියදා ඇසුණු වෙනත් පුවතක්‌ නිසා මහත් සංවේගයක්‌ ඇතිවිය. ඒ වූ කලී මාතලේ දිස්‌ත්‍රික්‌කයේ මහවෙල ගමේ විහාරස්‌ථානයක වැඩවසන තරුණ භික්‍ෂූන් වහන්සේලා දෙනමකට මහවෙල පොලිසිය පහර දී ඇති බවත්, තුවාල ලද භික්‍ෂූන් දෙනමට රෝහලෙන් ප්‍රතිකාර ලබා දී ඇති බව ද දැනගන්නට තිබේ. පොලිස්‌පතිතුමා මේ ගැන පුද්ගලිකවම සොයා බලන්නේ නම් මහත් වටනේය. යුක්‌තිය හැම දෙනාටම එක හා සමව ඉටුවිය යුතුය.

ඊයේ දවස අපට මහත් සතුටු දවසකි. මන්දයත් තයිරොක්‌සින් ඖෂධය මෙරටදීම නිෂ්පාදනය කිරීමට ඖෂධ සංස්‌ථාව තීරණය කර ඇති බව ඊයේ (09 දා) "දිවයිනේ" පළ වී තිබීම ය. තයිරොක්‌සින් යනු තයිරොයිඩ් ග්‍රන්ථිය මගින් නිෂ්පාදනය කෙරෙන හෝමෝනයකි. සමහරකුගේ තයිරොයිඩ් ග්‍රන්ථිය එම හෝමෝනය නිපදවීම ක්‍රමයෙන් අඩු කර අවසානයේදී සම්පූර්ණයෙන්ම අත්හිටුවා දමයි. එවිට තයිරොයිඩ් ග්‍රන්ථිය ඉදිමෙන්නට පටන් ගනී. ඔබත් අපත් දන්නා වායු ගෙඩිය හෙවත් ගලගණ්‌ඩය හටගන්නේ එවිට ය. මෙය සමාන කළ හැක්‌කේ අග්න්‍යාශය මගින් ඉන්සියුලින් නමැති හෝමෝනය නිෂ්පාදනය කෙරෙනු නැවැතීමට ය. එවිට දියවැඩියාව හටගනී. රෝගියා බේරා ගැනීමට නම් ඉන්සියුලින් සිරුරට එන්නත් කළ යුතුය. නැතහොත් වකුගඩු අක්‍රිය වී රෝගියා මියයයි. තයිරොක්‌සින් හිඟවීමෙන් ගලගණ්‌ඩය හටගෙන එය පමණ ඉක්‌මවා ඉදිමුණහොත් මාරක ප්‍රතිඵල හටගනී. සමහර විට කටහඬ පවා නැතිව යයි. මේ රෝගයට මුහුණපෑ කීර්තිමත් ගායකයකු වූ අබේවර්ධන බාලසූරියට අද කතා කිරීමට නොහැක.

සෞඛ්‍ය අමාත්‍යාංශය පසුගිය කාලයේදී හොඳ වැඩ කිහිපයකට අත ගැසීය. එයින් පළමුවැන්න ජාතික ඖෂධ ප්‍රතිපත්තියක්‌ ඇති කිරීමට වැඩ පටන් ගැනීම ය. මේ ප්‍රතිපත්තිය මගින් සිදුවන එක වාසියක්‌ පෙන්වා දෙමුá සාමාන්‍යයෙන් ඖෂධ වෙළෙඳපොළට එන්නේ විවිධ වෙළෙඳ නාම යටතේ ය. උදාහරණයක්‌ ලෙස පැරසිටමෝල් වේදනා නාශකය ගනිමු. මෙය විවිධ වෙළෙඳ නාම යටතේ වෙළෙඳ පොළට එයි. පැරසිටමෝල් පෙත්තක මිල සත 20 කට වඩා නැත. එහෙත් පැරසිටමෝල් පෙත්ත වෙළෙඳ නාමයන් යටතේ එන විට එක පෙත්තක මිල රුපියල් දෙකක්‌ හෝ තුනක්‌ වෙයි. ජාතික ඖෂධ ප්‍රතිපත්තිය යටතේ වෙළෙඳ නාමය යටතේ නොව රසායනික නාමය යටතේ ඖෂධ ලබාගැනීමේ වාසිය රෝගියාට ලැබෙයි.

තයිරොක්‌සින් හෝමෝනය නිපදවීමට පියවර ගැනීමෙන් ඖෂධ සංස්‌ථාව කර ඇත්තේ ජාතික මෙහෙවරකි. දියවැඩියාවට එරෙහිව ජාතික ව්‍යාපාරයක්‌ ඇති නමුත් ගලගණ්‌ඩයට එරෙහිව ජාතික ව්‍යාපාරයක්‌a ඇද්ද යන්න අපි නොදනිමු. කෙසේ වුවද තයිරොක්‌සින් මෙහිම නිපදවීමට තීරණය කිරීමෙන් විදේශවලට ඇදී යන මුදල මෙහිම ඉතිරි වනු ඇත. තමාට අවශ්‍ය ඖෂධය තම මවු රටෙහිම හෙවත් තම අත ළඟම නිපදවන බව ඇසීමෙන් ගලගණ්‌ඩ රෝගීන් තුළ මහත් සහනදායක සිතුවිල්ලක්‌ හටගන්නවා ඇත. මෙය මහත් පිනකි. මෙහිදී සඳහන් කළ යුතු වැදගත්ම කාරණය වන්නේ මේ පිනෙන් කොටසක්‌ රාජ්‍ය ඖෂධ සංස්‌ථාවේ නිර්මාතෘ මහාචාර්ය සේනක බිබිලේ මැතිතුමාට අනුමෝදන් වන බවය. නිරෝගී බව පරම ලාභය බව බුදු වදනයි. සතුට පරම ධනයයි. නිරෝගී කය තුළ පරම සතුට හටගැනීම සිදුවන්නේ නිරායාසයෙනි.
(දිවයින - 10/02/10)

ටිප්පණිය - මෙහි සඳහන් පොලිසිය නිල බල නොසලකා වැරදිකරුවන්ට චෝදනා ගොනු කිරීම, රටට අවශ්‍ය ඖෂධ රටේ නිපදවීම ආරම්භ කිරීම මේ රටට ආදරය කරන සැමගේ මහත් සතුටට හේතු වනු ඇත. එය අප බොහේ කලක් පුල පුලා බලා සිටි තත්ත්වයකි. අපි දැන් වහා දියුණුව කරා යා යුතුය. අප‍ට අවශ්‍ය සියල්ල හැකි උපරිමයෙන් රටේ නිපදා ගත යුතුමය. අතිරික්තය පිට රට පටවා විදේශ විනිමය රටට ගෙන ආ යුතුය.

ඒවා ක්‍රමයෙන් දියුණු වන විට අරාබියේ වළං සේදීමට යවන අපේ ගෙදර බුදුන් අම්මා ගෙදර නවතා ගතත යුතුය. කාන්තාවන් විදෙස් වහල් සේවයෙන් සම්පූර්ණයෙන් මුදවා ගත යුතුය. ඒ සියල්ල කිරීමට පෙර භික්ෂූ දෙනමකට පහර දුන් පාහරයින් අල්ලා උන්ට ලබා දිය හැකි උපරිම දඬුවම දිය යුතුය. ඕනෑම කලවැද්දෙකුට මේ රටේ නීතිය එක සමාන බව පෙන්වා දිය යුත්තේ අධිකරණයයි.

Friday, February 5, 2010

මුට්‌ටි කාසි දේශපාලනයෙන් එහාට හිතමු

ඡන්ද ප්‍රතිඵලය දූෂිත නැතැයි මැතිවරණ කොමසාරිස්‌ දයානන්ද දිශානායක ප්‍රකාශ කිරීමත් සමඟම, ඒ ප්‍රතිඵලය කර තබාගෙන විපක්‍ෂය ගිය ගමන සියයට පනහකින් බාල වී තිබේ. ප්‍රතිඵලය ගැන සෑහීමකට පත් නොවන අයට ශ්‍රේෂ්ඨාධිකරණයට පැමිණිලි කළ හැකි බව ද මැතිවරණ කොමසාරිස්‌තුමා කියා තිබේ. ඒ ප්‍රකාශයත් සමඟම ප්‍රතිඵලයට එරෙහිව උසාවි යැමේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතිය තහවුරු වූ බැවින් ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරිපිට ඡන්ද පෙත්සම්කරුවන් පෝළිමක්‌ දැක ගැනීම අපගේ අපේක්‍ෂාව වුවද කිසිවකුත් දක්‌නට නො ලැබිණ. ඒ අතර ඡන්ද ප්‍රතිඵලය සමඟ එක්‌සත් ජාතීන්ගේ සංවිධානයට පැමිණිලි කරන බව සෝමවංශ අමරසිංහ මැතිතුමා පවසනු අපි රූපවාහිනියෙන් දුටුවෙමු. මේ අනුව ශ්‍රේෂ්ඨාධිකරණයට යැමට සිටි අයට දැන් එක්‌සත් ජාතීන්ගේ සංවිධානයට ගිය හැකිය. මේ සංවිධානයේ මූලස්‌ථානය පිහිටා ඇත්තේ ඇමරිකාවේය. ඇමරිකාවේ පදිංචියට යැම සඳහා කල් බලමින් සිටි ධනවත් දේශපාලකයන්ට මෙය හොඳ අවස්‌ථාවකි. රටේ හොඳ නම යකාට ගියාවේෘ අවස්‌ථාවෙන් ප්‍රයෝජන ගැනීම නොපිරිහෙළා කළ යුතු කර්මාන්තයකි.

මැතිවරණයට පසුදා අවසන් ප්‍රතිඵලය ප්‍රකාශ කරන අවස්‌ථාවේදී දයානන්ද දිශානායකයන්ගේ මුහුණ හොඳටම නරක්‌ වී තිබූ බවත් ඔහු දැඩි පීඩනයක්‌ යටතේ සිටි බවත් ජනතා විමුක්‌ති පෙරමුණ ඇතුළු හංස කණ්‌ඩායම පැවැසූහ. දයානන්ද දිශානායක යනු විශ්‍රාම යන වයස ද පසුකර බොහෝ කාලයක්‌ ගත වූ මහත්මයෙකි. මෙතුමාට පසුගිය ඡන්ද හත අටකම පටන් තිබෙන්නේ මේ මුහුණම ය. ඡන්දයක්‌ යනු සෙල්ලමක්‌ නොවේ. ඒ සඳහා මැතිවරණ කොමසාරිස්‌තුමා රාත්‍රි දෙක තුනක්‌ නිදි වරයි. ඔහුට දසතින් දුරකථන ඇමතුම් එයි. ඔහු ඡන්ද මධ්‍යස්‌ථාන විශාල ගණනක්‌ සමඟ සම්බන්ධතා පැවැත්විය යුතුය. ඡන්ද පොළ දහස්‌ ගණනක්‌ ගැන සොයා බැලිය යුතුය. කෙළවරක්‌ නැති පැමිණිලිවලට සවන් දිය යුතුය. මෙවැනි පීඩනයකට යටත්ව සිටින රජයේ නිලධාරියකු අවසන් ඡන්ද ප්‍රතිඵලය නිකුත් කරන විට වයලීනයක්‌ වයමින් ගීයක්‌ ගායනා කරනු ඇතැයි අපේක්‍ෂා කළ හැකිද? නැතහොත් විහිළු තහළු කරමින් ජනාධිපති අපේක්‍ෂකයන් කිති කවමින් එහා මෙහා දුවන භූමිකාවක්‌ ඒ නිලධරයා කළ යුතුද? විපක්‍ෂය බලාපොරොත්තු වන්නේ එවැනි ඡන්ද කොමසාරිස්‌ කෙනකු නම් මානසික රෝහලකින් කෙනකු කැඳවා ගත යුතු ය. මැතිවරණ සමයක තිබිය යුතු පීඩනය දිශානායක මහතා තුළින් විද්‍යමාන වන්නට ඇති. එසේ නොවන්නට නම් ඔහු හැඟීම් දැනීම් නැති ප්‍රතිමාවක්‌ විය යුතුය. විපක්‍ෂයේ ලණු කෑමට මැතිවරණ කොමසාරිස්‌තුමා සූදානම් බවක්‌ පෙනෙන්නට නැත. ඔවුන්ගේ ලණු ගිල දැමූ අසරණ ජෙනරාල්ට වූ විපත නොපෙනේද?

අප ඉදිරිපිට තිබෙන්නේ රට ගොඩනැඟිය යුතු කාලයයි. ත්‍රස්‌තවාදයෙන් සම්පූර්ණයෙන්ම විනිර්මුක්‌ත වූ මෙවැනි කාලයක්‌ යළි කිසි කලෙකත් නො එනවා ඇත. එහෙත් ඒ කාලයෙන් ප්‍රයෝජන ගෙන රට ගොඩනැංවීමේ කටයුත්තට උරදීමට බල ලෝභී විපක්‍ෂයට උවමනා නැත. කාණුවක තිබූ ඡන්ද පත්‍රිකා යෑයි කියන කරදාසි මිටියක්‌ සමඟ මහානායක හිමිවරුන් හමුවීමට එ.ජා.ප.යේ කරු ජයසූරිය මහතා යන්නේ වටිනා වැඩක්‌ කළ හැකි කාලය නිරපරාදේ දිය කර හරිමිනි. ජනාධිපතිවරණය නිමවී දෙවන සතියත් නික්‌ම යැමට ආසන්නව තිබුණත් සෝමවංශ අමරසිංහ මැතිතුමා තවමත් ජීවත්වන්නේ ඡන්ද දවස තුළය. මේ දවසින් එළියට නාවොත් එතුමාගේ සිහිය විකල්වීම නොවැළැක්‌විය හැකිය.

කිසියම් මැතිවරණයක ප්‍රතිඵල නිකුත් වූ පසු ඒ ගැන කල්පනා කරමින් සිටීමේ උවමනාවක්‌ මේ රටේ ජනයාට නැත. ඡන්දයෙන් පසු බලයට එන්නේ රාජපක්‍ෂද, ෆොන්සේකාද යන කාරණය සැලකිල්ලට නොගෙන මේ රටේ ජනයා වැඩට බසිති. මන්ද, කට වැඩ කරවිය හැක්‌කේ අත වැඩ කරවුවොත් පමණකැයි ඒ අය දනිති. එහෙත් පක්‍ෂවල මුට්‌ටි කාසිවලින් ජීවත්වන මහත්වරුන්ට එවැනි වගකීමක්‌ නැත. සැබෑව එයයි.
(දිවයින - 10/02/06)
ටිප්පණිය - ශ්‍රී ලංකා දේශපාලන කරළියේ ජවිපෙ තරම් හොඳට රඟපාන අනෙකකු නැත.ඒ රංගනය කෙතරම් අද්විතීය ද යත් අවසන ඔවුහු ද එහි ගිලී ඒ සැබෑ ලෝකය යැයි සිතති. අද ෆොන්සේකා මම ජනාධිපති යැයි කියා රට්ටු හිනස්සන්නේ ඒ රංගනයෙන් මෝහනය වීමෙනි. ඔවුන්ට මුට්ටිතාසි දේශපාලනයෙන් එහා ගමනක් නැති බව මේ වන විට ඔවුන් පෙන්වා තිබේ.එය අතීතයක් මිස අනාගතයක් නැති බංකොලොත් කල්ලියක තත්ත්වයට දැන් පිරිහී ඇත.වික්‍රමබාහුගේ කල්ලිය සහ සෝමවංශගේ කල්ලිය අතර වෙනසක් දැන් නැත.අපට දුක කලක් මේ රටේ බලාපොරොත්තුව වූ දේශපාලන ව්‍යාපාරයක් මෙසේ කුණු බක්කියට විසි වී යාම ගැනයි.ළඟ එන මහ මැතිවරණයෙන් පසු ද මොවුන්ට කීමට ඉතිරි වන්නේ ද හොර මැතිවරණයක් දූෂිත යන ප්‍රලාපය පමණි.ඒ සඳහා තව දුරටත් පාර්ලිමේන්තුව තුළ ඉඩක් ජනතාව මොවුන්ට නොදෙනු ඇත. ලිප්ටන් වට රවුම පමණක් ඉතිරි වනු ඇත.

Thursday, February 4, 2010

නිදහසට පසු වදනක්‌ (වියළි මිරිස්‌ නිදර්ශනය)

ඊයේ (4) මහනුවරදී පැවැති හැටදෙවන නිදහස්‌ දින උළෙලට මේ රටේ විපක්‍ෂය සහභාගි වූයේ නැත. එසේ වීමට හේතු දෙකක්‌ ඇතැයි අප තුළ උපකල්පනයක්‌ තිබේ. එනම්,

1. විපක්‍ෂය සතු දේශපාලන කුහකකම.

2. පසුගිය දිනවල කළ කී දෑ වලට අනුව රෙදි ඇඳගෙන නිදහස්‌ උත්සවයට සහභාගි වීමේ හැකියාවක්‌ විපක්‍ෂයට නො තිබීම.

මේ රටේ විපක්‍ෂය යනු කුමක්‌ ද? බෙදුම්වාදී දෙමළ ජාතික සන්ධානය, එම සන්ධානයට සහාය දීම සඳහා ගිවිසුම් ගැසූ යූ.එන්.පී. ය සහ ජනතා විමුක්‌ති පෙරමුණ, මනෝ ගනේෂන්ගේ පක්‍ෂය (මේ පක්‍ෂයේ නමවත් මතක හිටින්නේ නැත.) මංගල සමරවීර නමැති පක්‍ෂය යනාදියෙන් විපක්‍ෂය සමන්විත ය. ජාතිවාදය, බල ලෝභය, කවදා බලයට පැමිණිය හැකි ද යන්න නො දන්නාකමින් හටගත් අපේක්‍ෂා භංගත්වය, අභ්‍යන්තර භේද භින්නවීම් සහ කුලල් කා ගැනීම් යනාදිය නිසා විශාල දේශපාලන බංකොලොත්භාවයකට මුහුණ පා සිටින මේ විපක්‍ෂයට කළ හැකි මළ ඉලව්වක්‌ නැත. එහෙත් නරක තත්ත්වයත් එයමයි. විපක්‍ෂය දුර්වල වූ තරමට ආණ්‌ඩුවට ආඥාදායකයකු වීම පහසු ය. ජනාධිපති මහින්ද රාජපක්‍ෂගේ ආණ්‌ඩුව එසේ නො වේවා

සියලු දෙනා විසින්ම සතුටින් සමරනු ලැබිය යුතු නිදහස්‌ දිනයේ තත්ත්වය එය වීම ගැන අප පුදුම විය යුතු නැත. රටේ තත්ත්වයත් එයමයි මිනියක්‌ වළලන්නට ගියත් පාංශුකූලයක්‌ දෙන්නට ගියත් හැම තැනකම භේද භින්න වැපිරී තිබේ. ඇතැම් ආගම්වලට අයත් සුසාන භූමිවල මිනියක්‌ වළලන්නට යන්නේ නම් මියගිය එකා ජීවත්ව සිටි කාලයේ දී බොහෝ දෑ කර තිබිය යුතු ය. තම ආගමේ ශාඛාවට දායක මුදල් ගෙවා තිබිය යුතු ය. නැතහොත් මිනිය වැළලීමට සුසාන භූමියේ ඉඩ නැත. ඇතැම් මෘත ශරීර සඳහා පාංශුකූල පැවැත්වීම දේශපාලන හේතු මත පවා ප්‍රතික්‍ෂේප කරනු ලැබේ. සුසාන භූමිය හා පාංශුකූලය අයත් වන්නේ මළ මිනිසුන්ට ය. එහෙත් දැන් ඒවා අයිතිකර ගෙන සිටින්නේ පණපිටින් සිටින මිනිසුන් ය.

මෙහෙම රටක්‌ ගොඩ එන්නේ කොහොමද? බ්‍රිතාන්‍ය අධිරාජ්‍යවාදියා 1948 පෙබරවාරි 4 වැනිදා ලංකාවෙන් නික්‌ම යන විට වෛරය, ද්වේශය, ක්‍රෝධය, භින්නරුචිය, පංති භේදය යනාදිය ඉතිරි කර ගියේ ය. මේ කිවූ කරුණු පහ සිංහලයාට අමුතුවෙන් උගැන්විය යුතු දේ නොවේ. එහෙත් බ්‍රිතාන්‍ය අධිරාජ්‍යවාදියා පෙර කී පරිහානි ධර්මතාවල දහස්‌ ගුණයක පමණ මාත්‍රාවක්‌ සිංහල සමාජයට පෙවීය. සිංහලයා නරක දේට වහා හුරුවෙයි. හොඳම උදාහරණය වියළි මිරිස්‌ ය. සිංහලයා මෙයට වසර 300 කට පෙර වියළි මිරිස්‌ අනුභව කළේ නැත. ඒ අතර ඉංගිරිසි ආණ්‌ඩුව යටතේ ඉන්දියාවේ කේරළ ප්‍රාන්තයේ වෙළෙන්දෝත්, කරණවෑමියෝත්, වෙනත් වෘත්තිකයෝත් මෙහි ආහ. ඒ මිනිස්‌සු වියළි මිරිස්‌වලට පුරුදුව සිටි අය වෙති. ඔවුන්ගේ ආහාරය සඳහා මෙයට වසර 210 කට පමණ පෙර, පළමු වියළි මිරිස්‌ හොණ්‌ඩර 100, ඉන්දියාවෙන් ගෙන්වන ලදී. මාස 6 ක්‌ තුළ මේ ගණන දෙගුණ වූ අතර වසර 05 ක්‌ තුළ මුළු රටම, එතෙක්‌ තමන් අනුභව කරමින් සිටි ගම්මිරිස්‌, අමු මිරිස්‌, කොච්චි මිරිස්‌ පසෙක දමා වියළි මිරිස්‌ කන්නට පටන් ගත්හ. වියළි මිරිස්‌ අනුභවයෙන් කුස තැම්බෙයි. සිරෝසිස්‌ වැළඳෙයි. එහෙත් කාට කියමු ද? 1977 දී බණ්‌ඩාරනායක මැතිනියගේ ආණ්‌ඩුව පැරදීමට හේතුවක්‌ වූයේ වියළි මිරිස්‌ මිල ඉහළ යැම ය.

කීර්තිමත් යුද වීරයකු ලෙස සිය ජීවිතයේ අවසාන කාලය ගත කිරීමට ජෙනරාල් සරත් ෆොන්සේකාට තිබූ අවස්‌ථාව නැති කරන ලද්දේ මේ රටේ පෙර කී විපක්‍ෂය යි. ජාතියේ ලණු අඹරන්නා වූ මංගල සමරවීර මැතිතුමා විසින් ජ.වි.පෙ. සහ එ.ජා.ප.ය ලබා දුන් කොහුවලින් ඇඹරූ දේශපාලන ලණුව ගිල දැමූ ජෙනරාල් අද ඉතා නරක ලෙස අසරණ වී තිබේ. මේ සියලු දෙනාම ආපසු දිනා ගත හැකි නම් ආණ්‌ඩුවට දිගු ගමනක්‌ යා හැකි ය.

මේ රට බිය සහ දූෂණය නැති තැනක්‌ කරන බව ජනාධිපතිතුමා සිය නිදහස්‌ දින කතාවේ දී පැවැසී ය. එය කළ යුතුම ය. නැතහොත් තව වසර 20 ක්‌ පමණ ගිය තැන මේ රට වෙනුවට ඉතිරි වන්නේ හිස්‌ භූමියක්‌ පමණයි. මේ රටේ හැම අංශයකටම ප්‍රතිසංස්‌කරණ අවශ්‍යය. ප්‍රශ්න පත්‍ර අච්චු ගැසීමේ සිට පාරවල්වලට තාර දැමීම දක්‌වා වූ හැම දෙයකටම මේ ප්‍රතිසංස්‌කරණ අවශ්‍ය ය. ජනාධිපතිතුමා වටා සිටින අය කළ යුත්තේ එතුමා මුරුංගා අත්තක වාඩි කර අත්ත කැඩෙන තුරු බලා සිට "ඔන්න අත්ත කැඩුණා" යෑයි කීම නොව මේ රටේ පවත්නා දුක්‌ දොම්නස්‌වල සැබෑ තත්ත්වය එතුමාට කියා දීම ය.

මේ රට ත්‍රස්‌තවාදයෙන් නිදහස්‌ කර ගත් පසු පැවැති පළමු නිදහස්‌ සැමරුම නිමා වන්නේ පෙර කී කරුණු අප ඉදිරිපිට තබමිනි.
(දිවයින - 10/02/05)

ටිප්පණිය - විපක්ෂය නිදහස නොසැමරීම ගැන අපට නම් අමුතු පුදුමයක් නැත. නිදහස සැමරිය යුත්තේ නිදහස දිනූ මිනිසුන්ය. බටහිර අධිරාජ්‍ය බලවේගවල දේශීය නියෝජිත තණතුර උසුලන මෙරට විපක්ෂය ලබා ඇති නිදහස කුමක් ද? තවමත් සුද්දා කියන දේ කරන, උන්ගේ පදේට නටන නිවටයින්ට සැමරීමට ඇති නිදහස කුමක්ද? අද අපේ වගකීම වන්නේ මේ නිවට අම්බරුවන් පසුපස අයාලේ යන අපේ මිනිසුන් ඉන් ගලවා ගැනීමය. ඔවුන්ට ආදරයෙන් හරි මග කියා දීමය.

Tuesday, February 2, 2010

ජවිපෙන් ප්‍රජාතන්ත්‍රවාදය රැක ගනිමු!

දූෂිත මැතිවරණ ප්‍රතිඵල පිළිනොගන්නැයි ද ඊට එරෙහිව පෙළ ගැසෙන්නැයි ද ජවිපෙ පෝස්ටර් අලවා තිබිණි. එහෙත් මේ මැතිවරණය දූෂිත වන්නේ කවර මැතිවරණයට සාපේක්ෂව දැයි එහි කියා නොතිබිණි.

1982 එවක විපක්ෂ නායිකා සිරිමාගේ ප්‍රජා අයිතිය අහෝසි කර, ප්‍රධාන විපක්ෂ ජනාධිපති අපේක්ෂක හෙක්ටර් කොබ්බෑකඩුවගේ ඡන්දය ද හොරට දමා පැවැත්වූ මැතිවරණයට සාපේක්ෂව ද?

උතුරේ කොටි ත්‍රස්තවාදය ද දකුණේ ජවිපෙ භීෂණය ද විසින් මුළු රට ම හෙල්ලු සමයේ ප්‍රේමදාස මහතා ජයග්‍රහණය කළ ජනාධිපතිවරණයට සාපේක්ෂව ද?

එජාප ජනාධිපති ධූර අපේක්ෂක ගාමිණි දිසානායක මහතා කොටි විසින් මරා දැමූ
1994 චන්ද්‍රිකා දිනු ජනාධිපතිවරණයට සාපේක්ෂව ද?

පරාජයේ හිනිපෙත්තේ සිටි චන්ද්‍රිකා, සිය ඇසක් අහිමි කළ කොටි බෝම්බ ප්‍රහාරය නිසා මහජන අනුකම්පාවෙන් යළි දිනූ 1999 ජනපතිවරණය ගැන ද?

එසේ නැත්නම් රටෙන් 3/1ක් කොටි අණසකට යටත් කාලයේ උතුරේ ජනතාවට ඡන්ද බලය අහිමි කොට පැවැත් වූ 2005 ජනපතිවරණයට සාපේක්ෂව ද?

එසේත් නැත්නම් ලෝකයේ දූෂිතම මැතිවරණයක් ලෙස ඉතිහාසගත වන චන්ද්‍රකා පැවැත්වූ වයඹ මැතිවරණයට සාපේක්ෂව ද?

මේ ප්‍රශ්න අද ඊයේ නූපන් ඕනෑම කෙනෙකු තුළ ඇති වන ප්‍රශ්නය. එහෙයින් ජවිපෙ හෝ එජාපය හෝ එවුන්ගේ බත්බැළයින් හෝ මේ ප්‍රශ්නවලට පිළිතුරු දේ නම් අපි අගය කොට සලකමු.

අප දකින සත්‍ය නම් මෑත ඉතිහාසයේ ලංකාවේ පැවැත්වූ සාධාරණ ම මැතිවරණය මෙයයි. එහිදී සමස්ත ලංකාවේ ම ජනතාවට ඡන්දය පාවිච්චි කිරීමේ අයිතිය ලැබිණි. ඒ කොටි අවසන් කළ නිසාය. රන්ජන් විජේරත්න මහතාට පිං සිදුවන්නට දකුණේ ජනතාවයට ද ඡන්ද අයිතිය ලැබිණි. නැතනම් ඡන්දයට කලින් දින ඔබේ හැදුනුම්පත් රැගෙන යන්නට ජවිපෙ සහෝදරවරු ගෙදරට එනු ඇත. ඒ අතීතය ජවිපෙ වේදිකාවේ තබා ගෙන ම මෙදා එජාපය සිහිපත් කළේය.

ප්‍රජාතන්ත්‍රවාදය ගැන කිඹුල් කඳුලු හෙලන මොවුන් කිසි කලෙක ප්‍රජාතන්ත්‍රවාදයට ගරු කළ අය නොවේ. 1972 ජනතා ඡන්දයෙන් පත්වූ ආණ්ඩුවක් පෙරලන්නට ගොස් ඇණ ගත්තේ ය. 1988 කැරලි ගසා තවත් ජීවිත 60 000ක් බිලි දුන්නේය.
මෙවර ප්‍රජාතන්ත්‍රවාදය නොහඳුනන ඡන්ද බලයවත් නොමැති ෆොන්සේකා මගින් පාලන බලය ඩැහි ගන්නට මාරාන්තික සටනක යෙදුණේ ය.තම ඡන්දයවත් පාවිච්චි නොකරන මිනිහා ප්‍රජාතන්ත්‍රවාදයට ගරු කරතැයි සිතන්නේ කෙසේ ද? එහෙත් රටේ බුද්ධිමත් ජනතාව මේ නම් රට වනසන පිල්ලියකැයි දැන ඔවුන්ට නිසි පාඩම් ඉගැන්වූයේ ය.

මැයි 18 කොටි වැනසූ දා ජාතික දජ රැගෙන මහ මගට බැස්ස ජනතාව මෙදා ද කැවුම් කිරිබත් සදා දන්සැල් කළේ ය. රතිඤ්ඤා දැල්වූයේ ය. තවමත් එහි නිමාවක් නැත. එහෙයින් රටේ ජනතාවට ජවිපෙන් ලබා ගන්නට ප්‍රජාතන්ත්‍රවාදයක් නැති බව පැහැදිළිය. ජනතාව අවධියෙන් සිටිය යුත්තේ ජවිපෙන් ප්‍රජාතන්ත්‍රවාදය රැක ගැනීමට බව අපි අවධාරණය කරමු.

ජර්මනියේ හිට්ලර් බලයට ආවේ ප්‍රජාතන්ත්‍රවාදී මැතිවරණයකිනි. ඔහු පැමිණ ලක්ෂ ගණනක යුදෙව්වන් සංහාරය කළේ ය. රට ම විනාශ කළේ ය. උගන්ඩාවේ ඉඩි අමීන් නම් මැරයා සිය ඇමති මණ්ඩලයේ සාමාජිකයින් 15ක් මරා දැම්මේ ය. එකී අතීතය ලංකාවේ වර්තමානය වන්නට තිබුණු ඉඩ රටේ දේශප්‍රේමි ජනතාව අහෝසි කළේ රටේ වාසානාවටය. නැත්නම් දඩමස්වලින් පටන් ගෙන මිනී මස්වලින් අවසන් කෙරෙන පාලකයෙකු ගැන මහාවංසයේ ලියැවෙනු ඇත.

එහෙයින් ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කරගත යුත්තේ ජවිපෙන් බව අපි නැවතත් පවසමු. ඔවුන් මෙවර උත්සාහ කළේ දෙවරක් සන්නද්ධ ක්‍රියා මාර්ගවලින් කරගත නොහැකි වූ දේ ප්‍රජාතන්ත්‍රවාදය ඔස්සේ කරන්නටය. ප්‍රජාතන්ත්‍රවාදය මගින් ප්‍රජාතන්ත්‍රවාදය මරන්නටය. ඌරාගේ මාලු ඌරාගේ ඇඟේ තබා කැපීමටය.

ප්‍රජාතන්ත්‍රවාදය හොඳය. එහෙත් ප්‍රජාතන්ත්‍රවාදය මරා දමන්නට ප්‍රජාතන්ත්‍රවාදය භාවිතයට ඉඩදිය යුතු නැත. එසේ කීවේ රනිල් වික්‍රමසිංහය. එය වර්තමාන ජර්මන් ව්‍යවස්ථාවට ද ඇතුළත් බව වික්‍රමසිංහ මහතා සිය 'අනාගත අභියෝග' නම් කෘතියේ සඳහන් කරයි. එකී නීතිය අපේ ව්‍යවස්ථාවට ද ඇතුළත් කිරීමට කාලය එළැඹ ඇත. පසුගිය ජනාධිපතිවරණය සමයේ මේ ද්‍රෝහී රැළගේ ක්‍රියා කළාපයෙන් රට උගත යුතු පාඩම එයයි.

Monday, February 1, 2010

ඡන්ද කොමසාරිස්‌තුමනි; නොබියව ඇත්ත කියනු මැනවි!

ජනාධිපතිවරණයේ ප්‍රතිඵල පිළිබඳව විවිධ චෝදනා නැගෙමින් පවතී. ඒවා පසුගිය කාලයේදී විවිධ ජනමාධ්‍ය මගින් ප්‍රචාරය කරන ලදී. ඒ චෝදනාවලින් කිහිපයක්‌ මෙසේය

= ජනාධිපතිවරණයේ ප්‍රතිඵල පරිගණක මගින් විකෘති කර ඇති බව එ.ජා.ප. මහලේකම් තිස්‌ස අත්තනායක පැවැසීම.

= ජනාධිපතිවරණයේ අවසන් ප්‍රතිඵලය නිකුත් කිරීමේදී ඡන්ද කොමසාරිස්‌ කළ කතාව අනුව අභිරහසක්‌ සිදුව ඇති බව පෙනී යාම.

= ඡන්ද ප්‍රතිඵලය නො පිළිගන්නා බව ජනතා විමුක්‌ති පෙරමුණේ සෝමවංශ අමරසිංහ සහ අනුර කුමාර දිසානායක පැවැසීම.

ඉහත සඳහන් චෝදනා ජාත්‍යන්තරයට ගෙන යැම සඳහා ඊමේල් සහ එස්‌. එම්. එස්‌. ව්‍යාපාරයක්‌ ද දියත් කළ බව හෙළිවී තිබේ.

මේ රටට සහ ජාතියට අපහාස කිරීමට හැකි ඕනෑම අවස්‌ථාවක අඩුවක්‌ පාඩුවක්‌ නැතිව එය ඉටු කිරීමට සූදානම් කාලකන්නීහු ඕනෑ තරම් වෙති. ජනාධිපතිවරණය ආසන්නයේදී යුද්ධයේ සැබෑ ස්‌වරූපය ගැන රටට කීමට රූපවාහිනියට පැමිණි හමුදා නිලධාරීන් කිහිපදෙනා ද ගෝඨාභය රාජපක්‍ෂ ද යුද්ධාධිකරණයට දක්‌කාගෙන යැමේ උත්සාහය තවමත් අත්හැරී නැත. ජනාධිපතිවරණයේදී ජෙනරාල්ට සහය දීමට දෙමළ ජාතික සන්ධානයේ සම්බන්ධන් තීරණය කිරීම නිසා උතුරු නැගෙනහිර දිස්‌ත්‍රික්‌ 5 ක්‌ දිනා ගැනීමට ජෙනරාල්ට හැකි විය. ප්‍රභාකරන් මිය ගිය ද ඔහුගේ අභිප්‍රාය ඉදිරියට ගෙනයැමට දැන හෝ නොදැන ජෙනරාල් දායක විය. දැන් මේ දිස්‌ත්‍රික්‌ පහේ ඊළාම් සිතියම ගෙන රට රටවල් ගානේ යන සම්බන්ධන් ඊළමට ඇති දෙමළ ජනයාගේ ප්‍රසාදය ගැන දේශන පවත්වනවා ඇත. එක්‌සත් ජාතීන්ගේ සංවිධානයට, යුරෝපා සංගමයට යන ඔහු ලංකාව දෙකට කැඩීමට උදව් නොදෙන්නේ මන්දැයි විමසනවා ඇත. අප දකින පරිදි මේ ඡන්ද ප්‍රතිඵලයේ නරකම පැත්ත මෙයයි. ජෙනරාල් සම්බන්ධන්ට කිසිවක්‌ පොරොන්දු නොවූයේ නම් ඊළාම් සිතියම තුළ ජීවත් වූ දෙමළ ජනයා කීයටවත් ජෙනරාල්ට ඡන්දය දෙන්නේ නැත.

දැන් ඡන්ද ප්‍රතිඵලය දෙසට නැවත වරක්‌ හැරෙමු. ඡන්ද ප්‍රතිඵලය විකෘති කරන ලද බවට තිස්‌ස අත්තනායක, සෝමවංශ අමරසිංහ, අනුර දිසානායක වැනි මහත්වරුන් කියන කතා ඒ තරමට ගණන් ගත යුතු නැත. එහෙත් අභිරහසක්‌ සිදුව ඇති බවට විපක්‍ෂ නායකතුමා කියන කතාව එසේ අත්හැර දැමිය යුතු නැත.

අවසන් ප්‍රතිඵලය නිකුත් වූ පසු එය පිළිගන්නා බව විපක්‍ෂ නායකතුමා ප්‍රසිද්ධියේ කීය. ප්‍රතිඵලය ගැන යමක්‌ කීමට මංගල සමරවීර මන්ත්‍රීතුමා ඉදිරිපත් නොවූයේ එතුමාගේ කම්මුල ආශ්‍රිතව කිසියම් සිද්ධියක්‌ වූ බවට පැතිර ගිය කට කතාවට අනුව විය යුතුය. එහෙත් ජාත්‍යන්තර නිරීක්‍ෂකයන් සිය ගණනකගේත් පැෆරල් සංවිධානයේත් සියලු පක්‍ෂවල නියෝජිතයන්ගේත් ඇස්‌ ඉදිරිපිට ගණන් කළ ඡන්දය එසේ වංචා කළ හැකිද? මේ ඡන්දය ගණන් කළ ආකාරය සහ ප්‍රතිඵල නිකුත් කළ ආකාරයේ ක්‍රමවත් භාවය ගැන මැතිවරණ කොමසාරිස්‌තුමා ඉතා පැහැදිලි ලෙස පෙන්වා දුන්නේ ය. එහෙත් ඡන්ද කොමසාරිස්‌තුමා ස්‌ථිර වශයෙන් ම කලකිරී සිටියේය. එයට හේතුව විශ්‍රාම යැමේ වයස ද පසුකර සිsටින එතුමා තුළ ඇති පීඩනය ය. එසේම එතුමාට දුරකථන මාර්ගයෙන් මැර තර්ජන එල්ල වී තිබිණ. ඒ මැරයන්ගේ කටවල් ආශ්‍රිතව, ජෙනරාල් ගන්නා ආකාරයේ පියවර ගත යුතුම ය. ඒ අතර මේ ඡන්දය සම්බන්ධයෙන් කිසියම් දූෂණයක්‌ සිදුවීද, ආණ්‌ඩුව ඔහු සිර කරගෙන සිටියේද යනාදිය ගැන එතුමා රටට ප්‍රකාශයක්‌ කළ යුතුම ය. නැතහොත් මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදයේ ඉදිරි ගමන අවුලකට පත්වනු ඇති. ඡන්ද හාරපන් ලක්‍ෂයක්‌ නම් හොරට දැමුවා යෑයි නිකමට සැක කරමු. එහෙත් ඡන්ද දහඅට ලක්‍ෂයක්‌ හොරට දැමිය හැකිද?
(දිවයින - 2010/02/01)

ටිප්පණිය - පසුගිය ජනාධිපතිවරණයෙන් මහින්ද රාජපක්ෂ ලද ජය මෙරට ජාතික බලවේග ලද ජයෙකි. ජෙනරාල් පරණ කාකි සූට් එක පොරව ගෙන සිටිය ද ඔහු දේශද්‍රෝහී රැළේ ඇමක් බව දකුණේ ජනතාව මැනවින් අවබෝධ කරගත්හ. එපමණක් ‍නොව මේ නම් ප්‍රභාකරන්ගේ අවතාරය යැයි ඔවුහු දැන ගත්හ. එහෙයින් සිය ඡන්දය නැමැති කෙවිටෙන් පහර දී ද්‍රෝහියා එළවා දැම්මේ ය. එපමණක් නො ව සිය නායක ප්‍රභාකරන්ගේ අවතාරය දැක අමන්දානන්දයට පත් වූ ජාතිවාදි දෙමළ නායකයෝ ද්‍රවිඩ ජනතාව ජෙනරාල් වෙත දැක්කූහ. රටේ ජනතාව මේ අවතාරයට දැක්වූ ප්‍රතිචාරය 27 ලැබිණි.

ඒ අනුව 27000ක් ජීවිත පුදා විනාශ කළ ඊළාම් සිතියම නැවත සලකුණු කිරීමට ද්‍රෝහී රූකඩයාට හැකි විය. මේ මහා පාපයට දායක වූ දකුණේ මිනිසුන් නැවත සිතා බැලිය යුතුය. සිය වරද අවබෝධ කරගත හැකි අවංක මිනිසුන්ට ඒ සඳහා අවස්ථාව දැන් ඇත. කෙසේ වුව ද දිවි හිමියෙන් බෙදුම්වාදයට එරෙහිව සටන් කිරීමට මෙරට සියලු දේශප්‍රේමි ජනතාව අදිටන් කරගත යුතුය.

සම්බන්ධන් හෙට අනිද්දා සිය අපේක්ෂකයාට ලද ඡන්ද 40% බෙදුම්වාදය ලද ජයකැයි කියමින් ලොව පුරා දඩාවතේ යමින් ඊළමක් ඉල්ලනු ඇත. එවිට අද පාත්තයා පසුපස දේශප්‍රේමීන් ලෙස රඟන අම්බරුවන්ගේ ප්‍රතිචාරය කුමක් වේදැයි අපි බලා සිටිමු.





 
සිය රට දේ සිරි සැප දේ !