Friday, March 26, 2010

ගොනාට ඇඳීම

කටින් බතල සිටවීමට මේ යුගයේ සිටින සුපිරි දක්ෂයා රනිල් වික්‍රමසංහය. ඔහු රටට සාමය ගේන්නට සටන් විරාම ගිවිසුමක් අත්සන් කළ අතර එය කොටින්ගේ අරමුණු ඉටු කළා මිස රට ලද සාමයක් නැත. පඩි වැඩි කරන බව පවසා වසර 2ට ඉලයට ආ වික්‍රමසිංහ උන්නැහේ 2 වන අවුරුද්දේ රු.1000න් පඩි වැඩි කළේ ය. එහෙත් ඡන්ද පොරොන්දුවල නොතිබු පෞද්ගලීකරණය විසින් රට ගිල ගත්තේය. රජයේ සේවය කප්පාදු කළ අතර සේවකයින් බඳවා ගැනීම නතර කළේය. දැන් ඔහු ආණ්ඩුවට බනින්නේ ළමයි ගඟට විසි කරන්න ආණ්ඩුව පාලම් හදනවා කියාය. රටට වරායවල් හදන්නේ ළමයින්ට පෙන්නන්නලු. රටේ සිදුවන සංවර්ධනයේ ඇතැම් දුර්විපාක ගැන අපට ද විවේචන තිබුණ ද වික්‍රමසිංහ උන්නැහේ හදන්නේ ජනතාවට ටොෆි චුවිම්ගම් බේස්ලට් පෙන්වා බලය ඩැහැ ගැනීමටය. රටේ සංවර්ධනය වෙනුවට ජනතාවට මාලු පාන් පෙන්වා රටේ ඉදිරි ගමන අඩාල කිරීමටය. කොටින් ම ජනතාව ගොනාට ඇන්දවීමටය. එහෙත් මෙවරත් ගොනාට අදින්න වෙන්නේ වික්‍රමසිංහ උන්නැහේට ම බව අප්‍රේල් 9 වන දින වෙද්දි සනාථ වනු ඇත. ඒ නිසා දිවයින කතුවරයා මතු කරන සැකය සාධාරණය.

Tuesday, March 23, 2010

බල්ලා හැපූ කල පෙරලා හැපීම

සිරස මාධ්‍ය ජංජාලයට පහරදීම පිටුපස ඇත්තේ අකෝන් නැමැති සෙනිගාල් ඇමරිකානු ගායකයෙකු මෙරටට ගෙන්වීමට එකී මාධ්‍ය ජංජාලය උත්සාහ කිරීම යැයි දැනගන්නට තිබේ. අකෝන් නම ගිය අපරාධකරුවෙකු පමණක් නොව බුදුදහමට නිගාදෙන ආකාරයේ ගීත වීඩියෝවක්ද එළිදක්වා ඇති පරයෙකි. මෙවන් හාල්කෑලි අපේ රටට ගෙනැවිත් වීරයින් කරන්න වළිකන්නේ අපේ රටට අපේ සංස්කෘතියට එරෙහිව මේ මාධ්‍යජාල හිමිකරුවන් තුළ ඇති වෛරය පිරිමසා ගැනීමට බැව් අප අවබෝධ කරගත යුතුය. සාතන්ගේ කිවි ලියූ සල්මන් රුෂ්ඩිට මෙන් ම ලැජ්ජා කෘතිය ලියු තස්ලිමා නස්ලින්ට ද ඒ ඒ ජන කොටස්වලින් එල්ල වූ විරෝධය ලොව පුරා ප්‍රසිද්ධ වූ බව පැහැදිළිය.

ඔබට, ඔබ කැමති කලා ක්ෂේත්‍රයේ සුවිශේෂී දක්ෂතා නැතනම්, කැපී පෙනෙන්නට ආශාව ඇතත් ඊට ඉඩ හසරක් නැත්නම් ඔබ කළ යුත්තේ එකී කලාවට මුවා වී කිසියම් ආගමකට පහර ගැසීමය. එවිට ඒ ආගම අදහන්නන් ඔබට විරුද්ධ වන නිසා ඔබ වහා ලොව පුරා ප්‍රසිද්ධ වෙයි. එවිට එකී සංස්කෘතියට විරුද්ධ, අන් සංස්කෘති නොරිස්සනවුන් අතර ඔබ වීරයෙක් වනු ඇත.

මේ රට සිංහල බෞද්ධ සංස්කෘතියෙන් පෝෂිත හර පද්ධති වටිනාකම් සහිත රටක් බැව් ඇතැම් බහු සංස්කෘතික කෝලම්කාරයින් පිළිනොගත්ත ද සත්‍ය එයයි. ඉන්දියාවේ හින්දු සංස්කෘතිය මෙන් ම පකිස්ථානයේ මුස්ලිම් සංස්කෘතිය මෙන් ම ලංකාවේ ඇත්තේ බෞද්ධ සංස්කෘතියේ ආධිපත්‍යයයි. එහෙයින් සිය ආගමට අවමන් කළ අයෙකු මෙරටට ගෙන්වීමට රටේ ජනතාව විරෝධය පෑමේ පුදුමයක් නැත. මෙරට සංස්කෘතිය සදාචාරය විනාශ කොට එය නරුමයින්ගේ රටක් කිරීමේ දුෂ්ට ක්‍රියාදාමයක සිරස මාධ්‍ය ජංජාලය නිරත වන බව සත්‍යයකි. එහෙයින් අප පෙරද පැවසු පරිදි ඔවුන්ගේ හැසිරීම දෙස සුපරික්ෂාකාරීව බලා සිටීම සැමගේ යුතුකමය. වගකීමය. ඔවුන් රටට එරෙහිව ගන්නා ක්‍රියාමාර්ගවලට විරුද්ධ වීම ද අත්‍යවශ්‍යය.

එහෙත් ගැටළුව ඇත්තේ විරෝධය පෑ ආකාරයේ ය. බල්ලෙකු අපේ පය හැපූ කල පෙරලා බල්ලා හපා කන සිරිතක් අපට නැත. එහෙයින් බල්ලාගේ හපා කෑමට දක්වන ප්‍රතික්‍රියාව මිනිසාට තරම් විය යුතුය. ඉරාක ඇෆ්ගන් වැසියන්ට නැති එහෙත් කොටින්ට පමණක් ඇති ඊනියා මානව හිමිකම් සොයමින් බටහිර දඩ බල්ලන් මෙරටට ඉව කරන සමයක, කලක් තිස්සේ මෙරට ප්‍රබුද්ධයින් විසින් සිරස ගෙන යන සංස්කෘතික සංහාරය රටට අනාවරණය කිරීමේ ප්‍රතිඵලය ලෙස ජනතාව වේගයෙන් මේ කසිකබල් නාලිකාව ප්‍රතික්ෂේප කරන යුගයක මෙවන් තකතීරු ප්‍රහාරවලින් වාසි අත්වන්නේ කාටදැයි සොයා බැලිය යුතුය. පළමුවෙන් ම ඊනියා මානව හිමිකම් මුදලාලිලාට කොටි වැනසීමේ වාඩුව ගන්නට අපේ රටට අත පෙවීමට මේ කදිම විවරයකි. අපේ රටේ මානව හිමිකම් ජනමාධ්‍ය නිදහස නැතැයි කියා විවිධ විදෙස් අතපෙවීම් හරහා රට නැවත අඳුරු අගාධයකට ඇද දැමීමට මෙවන් සිද්ධි දඩමීමා කරගැනීමට මේ නූල් සූත්තකාරයින් හරි දක්ෂය. අනෙක් අතට ජනතාව අතරින් වියැකි යන සිරසට නැවත මහජන අනුකම්පාව ලබා ගැනීමට එය මගකි. ඒ හරහා සිය සුපුරුදු සංකෘතික සංහාරය නිදහසේ කරගෙන යා හැකි වෙයි.

එහෙයින් මෙවන් හැලි වඳුරන් අතට හසුවන්නට පිහි නොතැබීමට ආණ්ඩුව වග බලා ගත යුතුය. රටට එරෙහිව එවන් පිහිකාරයින්ට ජල්ලිපැනීමට කිසිදු ඉඩක් නොතැබිය යුතුය. සිරසට පහර දුන් හෝ සිරසට පහර දීගෙන රටේ ප්‍රතිරූපය වනසන ඕනෑ ම ජඩයෙකුට දැඩි දඬුවම් කළ යුතුය. අද දිවයින කතුවැකිය ඒ ගැනය.

Sunday, March 14, 2010

පොලිස් ත්‍රස්තවාදයට තිත...

තිස් වසරක ශාපලත් ත්‍රස්තවාදයේ අනිටු ඵල ලෙස මෙරට සමාජ සංස්කෘතික දේහය තුවාල විය. මහින්ද රාජපක්ෂ මහතාගේ අභීත නායකත්වය සහ ජාතික බලවේගවල ධෛර්යය පෙරදැරිව විරෝදාර හමුදාව එකී ත්‍රස්තවාදය මුලිනුපුටා දැම්මේය. සැරව දමා ඕජස් ගලමින් පැවති සමාජ දේහය කෙමෙන් සුව අතට හැරෙන අතර ඇතැම් සිවිල් ආයතන මළ ගිය කොටි අවතාර මෙන් හැසිරෙන්නට පටන් ගෙන ඇත. ඒ අතර ඉහළින් සිටින්නේ පොලිසියයි. අද වන විට පොලිසිය කුණු වී ගඳ ගසයි. ඉන් මුළු සමාජය ම ගඳ ගස්වයි. ස්ත්‍රී දූෂකයෝ, කසිප්පුකාරයෝ, කැලෑ පාළුවෝ, හොර වැලි ගොඩදමන්නෝ, ගංජා වවන්නෝ, හෙරොයින්කාරයෝ, හොර හරක්කාරයෝ ආදි මෙකී නොකී සියලු සමාජදූෂකයෝ පොලිසියේ ගජ මිතුරෝය. උන්ට පොලිසිය සලකන්නේ කල්‍යාණ මිත්‍රයින්ට ලෙසය.

එහෙත් එදාවේල හොයාගෙන කන අහිංසකයින් පොලිසියට පෙනෙන්නේ විනෝදයට දඩයම් කළ හැකි සතුන් ලෙසය. කොටි ත්‍රස්තවාදයට තිත තැබූ ජනපතිතුමා දැන් පොලිස් ත්‍රස්තවාදයට ද තිත තැබීමට ද පෙරමුණගත යුතුය. නැතහොත් කොටි ත්‍රස්තවාදය අවසන් වුවද මේ රටේ ජනතාවට නිදහසේ මර බියෙන් තොරව ජීවත් වීමට නොහැකි වනු ඇත. තව ම මැතිවරණයට දුර වැඩිය. නැත්නම් හතේ හත වැදී මළ මිනි විකුණා ගෙන කා ජීවත් වන මෙරට විපක්ෂය මේ මළමිනී ද ආණ්ඩුවට සිය පහත් දේශපාලන අරමුණු වෙනුවෙන් ගණිකා වෘත්තියේ යොදවනු ඇත. එවිට ඔවුන්ට තම ආණ්ඩුවේ අනුදැනුම මත 1988-1989 සමයේ කළ නින්දිත ඝාතන අමතක වෙයි. එවිට ජනතා විමුක්ති පෙරමුණ මෙරට තරුණයින් අමු සොහොනට දැක්වූ අයුරුද අමතක වෙයි.

මේ කාරණා ටික ලීවේ දිවයින කතුවැකිය කියවීමෙන් පසු ය.

Saturday, March 13, 2010

රට සංස්කෘතික කාන්තාරයක් වන්නට පෙර ...

මේ රටේ පවතින අධ්‍යාපන ක්‍රමය ගැන ජනතාව තුළ ඇත්තේ බලවත් අප්‍රසාදයකි. අවිශ්වාසයකි. උතුම් ගුරු වෘත්තිය අද අන්තිම බිංදුවට බාල්දු වී තිබේ. 90%ක් ගුරුවරු ළමයි ටියුෂන් කඩවලට දක්කන කෙවිටි පමණි. ටියුෂන් නොගිය ළමයෙකු රටේ ප්‍රධාන විභාගයක් සමත් වීම ඇසීම කන කැස්බෑවා විය සිදුරින් එළිය බැලීමට වඩා දුෂ්කර ක්‍රියාවකි.

එහෙත් රටේ ඇත්තේ නිදහස් අධ්‍යාපනයකි. රජය විෂය මාලා සකස් කර, ගුරුවරු පත් කර උගන්වා, අදාළ විෂය මාලාවෙන් ප්‍රශ්න පත්‍ර සකසා ළමයින්ට උත්තර ලිවීමට දුන් කල ඔවුන්ට ටියුෂන් නොගියහොත් පිළිතුරු දෙන්නට බැරිය. එහෙත් පෙර සඳහන් කළ ගුරුවරුන්ට එකී විෂය මාලා ඉගැන්වීම සඳහා වසරකට රුපියල් කෝටි ගණනක වැටුප් ගෙවනු ලැබේ. මේ ගඟට ඉණි කැපීමක් නොවන්නේ ද?

මේ රටේ ඇත්තේ නාමික නිදහස් අධ්‍යාපයකි. සෑම ළමයෙකු ම ටියුෂන් ගොස් මුදල් ගෙවා ඉගෙන ගන්නා බව පැහැදිළිය. එසේ නම් මේ පද්ධතිය තුළ ලොකු අර්බුධයක් ඇති බව පැහැදිළිය. එහෙයින් තව දුරටත් පාසැල් පවත්වා ගෙන යන්නේ නම් ශක්‍යතා අධ්‍යනයක් කර රජය ඒ වෙනුවෙන් වියදම් කරන මුදලට රටට යම් ප්‍රතිඵලයක් ලබා ගැනීමට කටයුතු කළ යුතුය. නැතහොත් ටියුෂන් කඩ මීට වඩා විධිමත් කර, රජයෙන් ඔවුන්ට යම් සහනාධාරයක් ලබා දී ළමයින්ගේ ටියුෂන් ගාස්තු අඩු කිරීමට ක්‍රියා කිරීම නිදහස් අධ්‍යාපනය වෙනුවෙන් ගන්නා යහපත් ක්‍රියා මාර්ගයක් වනු ඇත. එයින් පසු රටේ පාසැල් පද්ධිතය සහ ගුරු පිරිස රටට ඵලදායි කටයුත්තක් සඳහා යොදා ගැනීමට හැකිය.

නැතහොත් නොබෝ කලකින් මේ රට සංස්කෘතික කාන්තාරයක් වනු ඇත.

Thursday, March 11, 2010

හිඟාකෑම ලැජ්ජාවකි!

ලංකාව 1505 තෙක් ස්වයංපෝෂිත දේශයක් විය. සරළ ජීවිතයක් ගත කළ ලාංකිකයා තම එදිනෙදා අවශ්‍යතා දහදිය මහන්සියෙන් හේනෙන් කුඹුරෙන් සපයා ගෙන නිදහසේ ජීවත් විය. එහෙත් යටත්විජිතවාදීන් මෙරටට කඩාපාත් වී නොබෝ කලකින් එතෙක් පැවැති සමාජ ආර්ථීක දේහය උඩුයටිකුරු වී සතර අත කන කොක් හඬ නැඟෙන්නට විය. තම දෑතේ දෙපයේ මහන්සියෙන් උපයා ගෙන කෑ ජාතියක් සියල්ල නැවෙන් බානතුරු මුහුදට දත නියවා ගෙන සිටියේය.

ගේ පිළිකන්නේ ඔහේ වැවුණු කරපිංචා ගහ, මිරිස් ගහ, රම්පෙ පඳුර, ගහල ගහ ගලවා විසි කර ඒ වෙනුවට නේක වර්ගයේ ක්‍රෝටන් පඳුරු ගේ වටා වවන්නට විය. පරපුරක් බත් කෑ කුඹුරු කෑල්ල ගොඩ කර කඩ කාමරයක් තනන තැනට ඔහු පිරිහී ගියේය. ක්‍රමයෙන් පිට රටින් ගෙනෙන නේක විච්චූර්ණ භාණ්ඩ විකුණන කසිකබල් වෙළඳ පොළක තත්ත්වයට රට පිරිහිණි. රටේ ආර්ථික සමෘද්ධිය නැතිවී පිට රටින් ණය ගැනීමට සිදු වූයේ මේ අතරය.

රටේ නායකයෝ එකිනෙකා පරයමින් ලෝකේ වටේ ගොස් හිඟාකමින් රටට විත් පරසාරම් දෙඩුවේ මීට පෙර කිසිදු නායකයෙකු නොලද තරම් ණය (හිඟමන්) තමා ලද බව පවසමිනි. ඒ නායකයා තම පක්ෂයේ නම් ජනතාව අත්පුඩි ගසා හුරේ දැමූහ. අනෙක් පක්ෂ අනුගාමිකයින් දෙස උජාරුවෙන් බැලූහ. එහි ප්‍රතිඵලය ලෙස අද හිඟමන් නොලැබීම අපේ අසමත්කමකැයි සිතන තත්ත්වයට ජනතාව පත්ව තිබේ. ලෙඩාට බෙහෙ‍ත් දෙන්නේ රෝගය සුව වන තුරු පමණි. එසේ ම සුනාමි සහනාධාර සුනාමියේ හානිය යථා තත්ත්වයට පත් වන තුරු පමණි.

එක අතකින් මේ සහනාධාර රටට පිළිලයක් වෙයි. අද දිවයිනේ කතුවැකිය ඒ ගැනය.

Sunday, March 7, 2010

යුද අපරාධ සහ යුද පුණ්‍යකර්ම

බටහිර බෙදුම්වාදීන් කඩාපාත්වීමට පෙර මෙරට කිසිදු ජාති ආගම් බේදයක් නොතිබිණි. ආගන්තුක සත්කාරයට ඉතා ලැදි සිංහල ජනතාව සෙසු ජන කොටස් සමග ඉතා සමගියෙන් ජීවත් විය. සිංහලයාගේ ආගන්තුක සත්කාර ගැන රොබට් නොක්ස් ආදී විදේශිකයින් ලියූ ලේඛනවල පවා තොරතුරු තිබේ. සෙසු ජාතීන් ද තමන් හා සම කොට සැලකීම නිසා ඔවුන් අතර විවාහ ආවාහ ආදී සබඳතා ඇති විය. මේ නිසා පරම්පරා දෙකක් තුළ ඕනෑම විදේශිකයෙකු සිංහලයෙකු බවට පත් විය. ඒ තත්ත්වයට කණ කොකා හැඬුවේ බටහිර ආක්‍රමණිකයා පැමිණි පසුය. විශේෂයෙන් බ්‍රිතාන්‍යයින් මේ රටේ ජාතික සමගිය විනාශ කිරීම සඳහා ගතහැකි සියලු පියවර ගත්තේය.

කෝල්බෲක් ප්‍රතිසංස්කරණවල සිට ඔවුන් ඒ වෙනුවෙන් ක්‍රියා කළේය. 1917 සිංහලයෙකු වෙනුවට ද්‍රවියෙකු ලංකා ජාතික සංගමයේ සභාපති කළේ බහුතර සිංහලයෝ ය. එසේ සිටි දෙජාතිය බෙදා වෙන් කර 1947 වන විට වෙන ම රාජ්‍යයක් ඉල්ලන තත්ත්වයට ද්‍රවිඩ නායකත්වය තල්ලු කළේ ඔවුන් ය. වසර 30 ඛේදනීය යුද්ධය අවසන නැවත රටේ සමගිය ගොඩ නැගෙන විට නැවත සුද්දා කරන්න යන්නේ එදා කළ දේමය. යුද අපරාධ චෝදනා පාරෙන් මේ ගොනා හැරෙන්නේ පොල් පැලයට බව තරයේ මතක තබා ගත යුතුය. පක්ෂ පාඨ බේදයකින් තොරව රට වෙනුවෙන් අනාගත පරපුර වෙනුවෙන් ඊට එරෙහිව නැඟී සිටිය යුතුය. අද දිවයින කතුවැකිය ඒ ගැනය.

Thursday, March 4, 2010

(ප්‍රශ්න පත්‍ර සොරකම එහි අතීතය සහ) විභාග කොමසාරිස්‌තුමා පරිස්‌සම් කර ගැනීම

අවසාන විග්‍රහයේ දී සොරකම යනු අගහිඟකම විසින් මෙහෙයවනු ලබන දුර්වල සිතුවිල්ලක්‌ හෝ සිතුවිලි සමූහයක්‌ භෞතික බලවේගයක්‌ බවට පත්වීම බව කියමින් සොරුන් පුනරුත්ථාපනය කිරීමෙහි නිරත වන යහපත් ධාර්මික මහත්වරු අදටත් ඕනෑ තරම් සිටිති. ඒ යහපත් කටයුත්ත සඳහා මේ මහත්වරුන්ට පල්ලිය විසින් හෝ පන්සල විසින් හෝ වෙනත් සමාජ ශෝධන ආයතන විසින් හෝ මුදල් ගෙවනු ලැබේ. එය ඒ මහත්වරුන්ගේ රැකියාව ය. එහෙත් ඒ දුර්වල සිතුවිල්ල පාලනය කර ගැනීමට ප්‍රමාණවත් නීති, දඬුවම් සහ ආගම් ලෝකය පුරා ඇති තරම් පැතිර ඇති නිසා සොරකම දඬුවම් ලැබිය යුතු වරදක්‌ බව මෙයට සියවස්‌ ගණනාවකට පෙර තීන්දු කළ ශිෂ්ඨ ලෝකය සොරකු අසු වුණු කල ඔහුට ගස්‌ බැඳ පහර දී නීතිය ඉදිරියට ගෙන ගියේ ය. ඊයේ (04 දා) දිවයිනේ මුල් පුවතේ සඳහන් ජාතික අධ්‍යාපන විද්‍යා පීඨයේ අවසන් වසර විභාගයේ ප්‍රශ්න පත්‍ර සොරකමට සම්බන්ධ උදවියට දඬුවම් කළ යුත්තේ ද මේ ආකාරයෙන් ම බව කෙනෙකු කියතොත් අපට එයට එරෙහි විය නො හැක. මන්ද යත් සොරාගත් ප්‍රශ්න පත්‍රයක්‌ බලාගෙන කල්තියා සූදානම් වී විභාගයට යන ශිෂ්‍යයාත් "ට්‍රයල්" නො පෙන්වා රියෑදුරු බලපත් ලබා ගන්නා පුද්ගලයාත් යන දෙදෙනාම සමාජයට අති විශාල ලෙස හානි කරන දෙදෙනකු වන බැවිනි. පළමුවැන්නා තමා නො දන්නා දෙයකට ලකුණු ලබාගෙන රැකියාවකට ගොස්‌ සමාජය ඝාතනය කරයි. දෙවැන්නා රිය පැදවීමට නො දැන සුක්‌කානම කරකවා පදිකයන් මරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රශ්න පත්‍ර සොරකමට ඉතිහාසයක්‌ තිබේ. උසස්‌ විභාගවල සියලු ප්‍රශ්න පත්‍ර අතීතයේ පටන් ම විභාග දෙපාර්තමේන්තුවේ මුද්‍රණාලයෙහි මුද්‍රණය කරන ලදී. දැඩි පරීක්‍ෂාවක්‌ යටතේ විශ්වාසවන්ත සේවකයන් යොදා ගෙන, පිටතට යැමට නොදී ඔවුන් එහි රඳවාගෙන ප්‍රශ්න පත්‍ර මුද්‍රණය කෙරිණ. මේ කියන කාලයේ දී ෆොටෝ කොපි යන්ත්‍ර නැත. එ බැවින් ලද ඇසිල්ලකදී ප්‍රශ්න පත්‍රය ලේන්සුවේ පිටපත් කර ගන්නා ඇතැම් සේවකයෙක්‌ පිටතට පැමිණි විට එය විභාග අපේක්‍ෂකයන්ට විකුණුවේ ය. එක්‌ මහතෙක්‌ තම සරමේ කොණක ප්‍රශ්න පත්‍රයක්‌ මුද්‍රණය කර ගත් අවස්‌ථාවක්‌ ද විය. එවැනි මහත්වරුන් කනෙන් අල්ලා එළියට දමන ලදී. අප මේ කියන්නේ 1970 න් පසු සිදු වූවකි.

ඒ කෙසේ වෙතත් එස්‌.එම්.එස්‌. මගින් ලෝකය පාලනය කෙරෙන මේ සමයෙහි ලේන්සුවේ හෝ සරමෙහි ප්‍රශ්න පත්‍ර මුද්‍රණය කර ගැනීමේ අවශ්‍යතාව තවදුරටත් නැත. ප්‍රශ්න පත්‍ර කෙසේ වෙතත් ප්‍රශ්න සොරකම් කිරීමේ හැකියාව ඉතා ලෙහෙසියෙනුත් පහසුවෙනුත් අත පොවන හරියේම තිබේ. සෙලියුලර් දුරකථනයක්‌ මගින් ප්‍රශ්න පත්‍රයක්‌ කොටස්‌ කිහිපයකට ඡායාරූපගත කර 3 ඨ තාක්‍ෂණය යටතේ එය වෙනත් දුරකථනයකට යෑවීමේ හැකියාව පවා තිබේ. අප මේවා ලියන්නේ ප්‍රශ්න පත්‍ර සොරුන්ට අලුත් මාර්ග කියා දෙනු පිණිස නොව, විභාග දෙපාර්තමේන්තුව මේ වගක්‌ නො දන්නා බව සිතාගෙන ය. වසර 2004 දී ද නිල්වලා අධ්‍යයන පීඨයේදී මෙබඳු ප්‍රශ්න පත්‍ර සොරකමක්‌ සිදු විය. එදා සොරුන් බැස්‌සේ වහලයේ උළු ඉවත් කර ඒ කපොල්ල තුළිනි.

එහෙත් ජාතික අධ්‍යාපන පීඨයේ සොරු ඊට වඩා මහන්සියක්‌ ඇති, කැපවීමක්‌ ඇති සොරු ය. ඔවුහු ප්‍රශ්න පත්‍ර තැන්පත් කර තිබූ කාමරයේ යතුරු කපාගෙන, දොර ඇරගෙන කාමරයට රිංගා තම කාර්යය කරගෙන තිබුණ බව පසුගිය දෙදින පුවත්පත්වල පළ විය.

මේ සොරු ඉතා සර්ව සම්පූර්ණ සොරු වෙති. ඒ නිසා දැන් එළැඹී ඇති කාර්යය වන්නේ අධ්‍යාපන පීඨවල අධිපතිවරුන් හා විභාග කොමසාරිස්‌තුමා මේ සොරුන්ගෙන් ආරක්‍ෂා කර ගැනීම ය. පීඨාධිපතිවරුන් හා කොමසාරිස්‌තුමා සොරකම් කරගෙන ගියොත් විශාල අපවාදයකට මුහුණ දීමට රජයට සිදු වනු ඇත. විභාග කොමසාරිස්‌තුමා ද තම ගමන් බිමන් වලදී පරිස්‌සම් විය යුතු ය. නාඳුනන අය දෙන ටොෆි සහ චොකලට්‌ කෑමෙන් වලකින ලෙස එතුමාගෙන් ඉල්ලමු. ඒ අතර සොරුන් සමඟ සාකච්ඡා කර සාමකාමී විසඳුමකට එන ලෙස රජයෙන් ඉල්ලමු.

(දිවයින - 2010/03/05)

ටිප්පණිය - කලක සිට මේ රටේ වඩාත් ජනතා අපවාදයට ලක් වන ආයතනය වන පොලිසියේ තත්ත්වයට අද අධ්‍යාපන සහ සෞඛ්‍ය ක්‍ෂේත්‍ර පිරිහී තිබේ. මේ පිළිබඳ මා සහ මගේ මිතුරන් අතර උණුසම් විවාදයක් ඇති විය. එහිදී පවතින තත්ත්වය මා දැඩි ලෙස විවේචනය කිරීම ඔවුන්ගේ ප්‍රසාදයට හේතු වුයේ නැත. එහෙත් මේ සියලු දෙනා සුසිල් ප්‍රේමජයන්තට සහ සිමල් සිරිපාලට පළු යන්න බනිති. ‍රටේ අධ්‍යාපනය සහ සෞඛ්‍ය විනාශ කළේ මුන් යැයි ඔවුහු නොවළහා කියති. මේ නම් හැම දේට ම දේශපාලකයාට ඇඟිල්ල දිගු කර අත පිහිදා ගැනීමේ අමන පුරුද්ද ය. 'තම වරද නොදිස්නේ මෙරමා වරද දිස්නේ' යැයි කව්සිළුමිණිකරු උපහාසයට නැඟුවේ මේ දුබලතාව නොවෙද?

එහෙයින් කියමි. වැරදිකාර පාර්ශවයේ අපේ ඥාතීන් සිටි පමණින් අපේ මිතුරන් සිටි පමණින් එය නිවැරදි යැයි කෑ ගැසීමෙන් රටට විපතක් මිස වන සෙතක් නැත. එය හුදෙක් පෘථග්ජන අපේ බොළඳ හැඟුම් ප්‍රදර්ශනය කිරීමක් පමණි. එය අදාළ වෘත්තීන් වෙත සිය ගෞරවය පුද කිරීමක් වන්නේ ද නැත. ඇත්තෙන් ම එකී වෘත්තීන් වෙත කළ හැකි බලවත් ම අපරාධය මෙය නොවෙද?

රටේ අනාගත පරපුරට පාර කියා දෙන්නේ ගුරුවරුය. එහෙයින් ගුරු වෘත්තිය යහපත් වෘත්තියකි. අවාසනාවට වැරදි මිනිසුන් නිසා වඩාත් අයපත් වෘත්තීයක් බවට එය අද දවසේ පත්ව තිබේ. මේ වෘත්තියට අද පිවිසෙන්නවුන්ගේ තත්ත්වය මෑතදී සිදු වූ ප්‍රහ්න පත්‍ර සොරකමින් මොනවාට පැහැදිළි වෙයි. එකී ගුරු විද්‍යා පීඨ දෙකෙන් පිටව හෙට දවසේ රටට මග කියාදෙන්නේ මේ හොරුය. රටේ දරුවන් බුලත් දී වැඳ අනුගමනය කරන්නේ මොවුන් ය. මේ බරපතළ කාරණාව ගැන රටේ වහා සාකච්ඡා කිරීම ප්‍රසංශා කටයුතුය. ඊයේ දිවයිනේ මුල් පුවතට මෙන්ම ලංකාදීපයේ කතුවැකියට පදනම් වූයේ මේ සිද්ධියයි. අද දිවයිනේ කතුවැකිය ඒ ගැනය. මාධ්‍ය කලෙකින් සිය වගකීම නිසි ලෙස ඉටු කළ අවස්ථාවකි මේ.

මේ නිහීන ක්‍රියාව කළේ කිහිප දෙනෙකු බවත් එහෙයින් සමස්තය විවේචනය නොකළ යුතු බවත් කෙනෙකු තර්ක කරනු ඇත. සැබෑවකි. මේ ගුරු වෘත්තියේ යෙදෙන සැබෑ ගුරුවරු අදත් අප අතර සිටිති. එහෙත් අතළොස්සකි. බොහෝ දෙනා සිය විවේකය පතා ගුරුවරු වෙති. දවසෙන් වරුවක් ද සතියෙන් දෙදවසක් ද මාසෙන් අට දවසක් ද අමතරව වසරෙන් තෙමසක් ද මොවුන් ඒ විවේක සුව විඳිති. කොටින් ම මේ බොහේ දෙනා තමාට ඉන් රටට කළ හැකි දේ නොව තමාට ලද හැකි වාසි ගැන සිතා ගුරුකමට එන්නවුන්ය.

පාසැල් වේලාවෙන් පසු ටියුෂන් මාෆියාව ඇරඹේ. එතැන ඉන්නේ ද මොවුන්මය. ඇතැම් විට උදේ පාසැලේ කළ පාඩමේ ඉතිරි කොටස ඉගෙනීමට ළමයා හවස ගුරුතුමාගේ ටියුෂන් කඩයට යා යුතුය. ඒ අනුව බොහෝ ගුරුවරු ළමයින් ටියුෂන් කඩලවට දක්කන කෙවිටි පමණි. අධ්‍යාපන අමාත්‍යංශය ලබා දෙන විෂය නිර්දේශ නිවැරදිව පාසැලේ දී කියා දේ නම් ළමයින් ටියුෂන්වලට දිව යා යුතු නැත. එහෙත් අද ප්‍රධාන නගරවල ළමයි දහස් ගණනින් රොක් වන ටියුෂන් කඩ පිරීතිරී ගොස් තිබේ. ටියුෂන් කඩ වැඩි වන තරමට ඉන් ධ්වනිත කෙරෙන්නේ පාසැල් ගුරුවරයාගෙන් සිදුවිය යුතු වැඩ කොටස සිදු නොවන ප්‍රමාණය අඩු වන බවය. මීට අමතරව ඇතැම් ගුරුවරු ළමයන්ගේ කන් පලති. අපචාරයට ලක් කරති. එහෙයින් ගුරු වෘත්තිය පාදඩයින්ගෙන් බේරා ගැනීම සඳහා වහා සංගායනාවක් කළ යුතු යැයි අපි යෝජනා කරමු. එසේ කියන්නේ එකී වෘත්තිය කෙරෙහි අප තුළ ඇති ගෞරවය සහ එහි වත්මන් භාවිතය පිළිබඳ බලවත් අප්‍රසාදය සහ විරෝධතාව නැවත ප්‍රකාශ කරන අතරය.

 
සිය රට දේ සිරි සැප දේ !