Monday, August 11, 2008

ආචාර්යතුමා

අවසන සියලු මහත්වරු ඒකඡන්දයෙන් ආචාර්ය ඇමැතිතුමාට මරණ දඬුවම පැනවීමට තීරණය කළා ය.

දඬුවම ක්‍රියාත්මක කළ යුතු ආකාරය පිළිබඳ විවාදය හොරා කිහිපයක් දිගු විය. අලියා නියෝජනය කරමින් පැමිණි නියෝජිතයා පැවසුවේ ඇමරිකානු ක්‍රමයට විදිලි පුටුවේ සිටවිය යුතු බව ය.

ත්‍රිවිල් සමාජවාදී පක්ෂයේ ආචාර්තුමා පැවසුවේ එය ඇමරිකානු අධිරාජ්‍යවාදයට බිලිවීමක් බවත් එහෙයින් ප්‍රභාකරන් දිඹුලාගල දී ජය ශ්‍රී මහ බෝධියේ දී අනුගමනය කළ ක්‍රමය යොදා ගත යුතු බව ය. එමගින් ප්‍රභාකරන්ගේ විමුක්ති සටන සාධාරණීකරණයට තල්ලුවක් ද ලැබෙන බව හෙතෙම තව දුරටත් පැවසුවේ ය.

මේ යෝජනාවෙන් පස්වනක් ප්‍රීතියෙන් ඔකඳ වූ ජඩ මාධ්‍ය ව්‍යාපාරයේ දේශඅප්‍රිය මහතා පැවසුවේ ‘අපිට බැරි ද කදිරාට කළ විදිහ යොදාගන්න? එතකොට පුළුවන්නේ ප්‍රභාකරන් දෙමළ ජනතාවගේ විමුක්තිවාදියා කියලත් ඔප්පු කරන්න.’ ඒ යෝජනාවට වාමාංශිකයෝ එක් ව අත්පොළසන් දුන් හ.

‘ඒත් ඔය කිසි ම ක්‍රමයකට බෑ අපිට මේකට පෞද්ගලිකව සහභාගී වෙන්න. ඒ නිසා අපි යෝජනා කරනවා ගෝල් ෆේස් එකේ ප්‍රසිද්ධියේ ගල් ගහලා මරන්න. හැබැයි ලයිව් පෙන්නන්නේ අපේ චැනල් එකේ විතරයි’ කොටි ෆස්ට් නාලිකාව නියෝජනය කරමින් පැමිණි නියෝජිතයා සිය හඬ අවදි කළේ ය.

ජාත්‍යන්තර මානව හිමිකම් කොම්පැණිය නියෝජනය කරමින් පැමිණි යුවතිය අවසන කතා කළා ය. ‘ඔව් අන්තිම යෝජනාව හොඳයි. මානුෂිකයි. කොහොම වුණත් අපි චූදිතයට එක් වරයක් දෙමු මුල් ම ගල ගහන කෙනා තෝර ගන්න.’ ඒ අනුව බොහෝ වේලාවක් ඇදී ගිය විවාදය ආචාර්යතුමා ගල් ගසා මරා දැමීමටත් ඊට මානුෂීය මුහුණුවරක් ආරෝපණය කිරීම සඳහා ඔහුට වරයක් ලබා දීමටත් ඒක ඡන්දයෙන් සම්මත කර ගෙන සභාව විසිර ගියේ අදාළ දින ගාලු මුවදොර හමුවීමේ එකඟතාවෙනි.

නියමිත දින උදෑසන පාර්ලිමේන්තුවේ සියලු පක්ෂ නියෝජනය කරමින් පක්ෂ ලේකම්වරු ඇතුළු පිරිසකගෙන් ද NGO කාරයින්ගෙන් ද ඇතැම් ජන මාධ්‍යවේදීන්ගෙන් ද වාමාංශික පක්ෂ නායකකාරකාදීන්ගෙන් ද මානුෂීය අයිතිවාසිකම් - කාන්තා අයිතිවාසිකම් - ළමා අයිතිවාසිකම් ආදී මෙකි නොකී හැටහුටහමාරක් සමාගම්වල බැළමෙහෙකරන්නන්ගෙන් ද ගාලු මුවදොර පිටිය අතුරු සිදුරු නැතිව පිරීතිරී ගියේ ය. ඔවුන් සියලු දෙනා අත ගල් කිහිපය බැගින් තිබිණි.

පෙරමුණේ රාළ මේ අවනඩුවට අකමැති වුව ද සිදුවන දේ දැන ගන්ට එහි ගියේ ය. දෑත පසුපටට තබා බැඳී ආචාර්යතුමා මුහුණු වසා ගත් පිරිසක් විසින් කැඳවා ගෙන එන ලදි.

‘දැන් තමාට අවසාන ඉල්ලීම කරන්න පුළුවන්’ උසාවි තෝල්කයා අචාර්යතුමා දෙසට හැරී පැවසුවේ ය. ඉතා ම ශාන්ත ලෙස උපැස් යුවළ පැළඳි මුහුණ නඩුකාර උන්නාන්සේ වෙත හැරවූ ආචාර්යතුමා මෙසේ කීවේ ය.

‘ස්වාමීණි, කවදාවත් සිහිනෙන්වත් වරදක් නොකරපු කෙනෙකුට පළමු ගල ගහන්න නියෝග කරන්න. ඒකයි මගේ අවසාන ඉල්ලීම’

මේ ඉල්ලීමත් සමග සියල්ලෝ ගල් ගැසුණා හ. ඔවුනොවුන් එකිනෙකාගේ මුහුණු බලන්නට විය. පිරිසක් කසුකුසුගාන්ට වූහ. ඇතැම්හු බර කල්පනාවකට වැටිණාහ. සමහරු සිතින් තම පව් පොත දිග හැර බලන්ට වූහ. බොහෝ දෙනාට තම පව් පොත් වරක් කියවීමට පවා සිය ඉදිරි ජීවිත කාලය මදි බව අවබෝධ විය.

‘මේ යක්ෂයා අපිට නිදහසේ මැරෙන්නවත් ඉඩ තියන්නේ නෑනේ’යි පෙරමුණේ රාළගේ කනට කොඳුළ වයසක මහතාගේ අතේ තිබූ ගල් නොදැනිම බිම වැටිණි. ‘මේ උන්නැහැ නම් NGO එකක වැඩ කරන කෙනෙක් වෙන්න ඇති’ පෙරමුණේ රාලට නිකමට සිතිණි. ඇසිල්ලකින් ඒ මහතා සතර අතින් මහා අග්නි ජාලාවක් මතුවී දැවෙන්නා සේ බිරාන්ත ව මොර දීගෙන බිම ඇද වැටිණි.

ඒ සමග ම එකිනෙකා සිය ගල් සිටි සිටි තැන ම අතැර නික්මෙන්ට වූහ. අවසන නඩුකාර උන්නාන්සේ ද නික්මිණි. ආචාර්යතුමාගේ දෑතේ විලංගු ලිහා දැමිණි.

ගාලු මුවදොර ගොඩ ගැසුණු මහා ගල් ගොඩ දැක පුදුම වූ පෙරමුණේ රාල ‘චීන මහා ප්‍රාකාරය වගේ පවුරක් ලංකාව වටේ හදන්න ගල් තියෙනවා’ යයි කියාගෙන යන්ට හැරෙත් ම ඇඳ පල්ලට වැටීණි. තමා දුටුවේ සිහිනයක් බව පෙරමුණේ රාලට හැ‍ඟෙත් ම සිහින් ලැජ්ජාවකින් සිත හැකිළි ගියේ ය. හාමිනේ අවදි නොවූ බව දැන ගත් ඔහු සෙමෙන් යළි ඇඳට ඇදුණේ ය.
 
සිය රට දේ සිරි සැප දේ !