Wednesday, March 18, 2009

ශ්‍රී ලංකාවේ නාසය පටන් ගන්නා තැන...

දොස්තර මහතා සහ නීතිඥයා පිළිබඳ ඉතා පැරණි, කුඩු හැලෙන, දිරාගිය කියමනක් තිබේ. එනම්, දොස්තර මහතාට වැරදුණු විට ලෙඩා අඩි 6 ක් ගැඹුරු වළක සැතපෙන බවත් නීතිඥයාට වැරදුණ විට චුදිතයා අඩි 6 ක් උඩින් එල්ලුම් ගසේ එල්ලෙන බවත් ය. මේ කතාව පොලිසියටත් සාධාරණ බව සැබෑ කරන කතාවක් ඊයේ (18 දා) "දිවයිනේ" පළමු පිටුවේ පළවිය. එම පුවතට අනුව, ඌරුබොක්කේ වෛද්‍යවරයකුගෙන් කප්පම් ඉල්ලු බවට සැකපිට, පොලිසිය විසින් පුද්ගලයන් දෙදෙනකුට වෙඩි තබා ඇති බව ය. එහෙත් ඒ දෙදෙනාම සිද්ධියට සම්බන්ධ නැතිලුෟ මේ නිසා එම පොලිසියට විරුද්ධව උද්ඝෝෂණයක් පවා හටගෙන තිබේ. පොලිසියට වරදින අවස්ථා බහුල ය. භීෂණ කාලයකදී නම් පොලිසියට විසි තිස් දහස් වතාවක් වරදී. 88:89:90 අවුරුදුවලදී මෙසේ වැරදුණු අවස්ථා නිසා තරුණ තරුණියෝ 80000 ක් ජාතියට අහිමි වුහ. රෝහණ විජේවීරගේ පියා අත පය පණ නැති අබ්බගාතයකු බවට පත්වුයේ ඩඩ්ලි සේනානායක රජය යටතේ "වැරදීමකින්" පොලිසියෙන් ගුටි කෑ නිසා ය. පොලිසිය මේ වැරදි වහා හදාගත යුතුයි. නැතහොත් පොලිසියට වැරද්දවීම සඳහා ජනතාව බලවේගයක් ලෙස ඒකරාශි වනවා ඇත.

කෙසේ වුවද අද අපගේ මුඛ්‍ය අරමුණ වන්නේ ශ්‍රී ලංකාවේ ත්‍රස්ත මර්දන පනත පිළිබඳව විමර්ශනයක් කරන ලෙස ජාත්‍යන්තර මාධ්‍ය සම්මේලනය එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමසාරිස්ගෙන් කළ ලිඛිත ඉල්ලීමක් ගැන සාකච්ඡා කිරීම ය. ත්‍රස්තවාදය පවතින හැම රටකම ත්‍රස්ත මර්දන පනතක් පවතී. ශ්‍රී ලංකාව, ඉන්දියාව, පාකිස්තානය, ඇෆ්ගනිස්තානය ඇතුළු රටවල් ගණනාවක මේ පනත ක්‍රියාත්මක වේ. දැනට මෙය ක්‍රියාත්මක නො වන්නේ උත්තර ධ්‍රුවයේ සහ දකෂිණ ධ්‍රුවයේ පමණි. මිනිස් පුළුටක් නැති සහරා කාන්තාරය අයත් අප්‍රිකානු මහාද්වීපය තුළ පවා මෙය ක්‍රියාත්මක වේ. මේ පනත ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක වන ආකාරය හෝ ක්‍රියාත්මක කරන ආකාරය ගැන සොයා බැලීමට කාටවත් අයිතිවාසිකම් නැත. මන්ද ශ්‍රී ලංකාව කිසිදු රටක ත්‍රස්ත මර්දන පනත ක්‍රියාකාරී වන ආකාරය ගැන සොයා බලන්නේ නැත. අපේ ත්‍රස්ත මර්දන පනතට වඩා දැඩි ලෙස එම පනත ක්‍රියාත්මක කරන රටවල් ලොව පුරා තිබේ. උදාහරණයක් ලෙස චීනය ගත හැකිය. චීනය තම ආරකෂාව පිළිබඳව ඉතා දැඩි ප්‍රතිපත්තියකින් කටයුතු කරන නිසා අහල පහල දේශසීමාවල තිබෙන රටවලට එරටට පැමිණ ත්‍රස්ත ක්‍රියා සිදු කළ නො හැක. මේ පනත දැඩි ලෙස ක්‍රියාත්මක නො වීම නිසා පාකිස්තානයේ ජම්මු කාශ්මීර කොටස හරහා ඉන්දියාවට රිංගන ඉස්ලාමීය ත්‍රස්තවාදීහු මනුෂ්‍ය සංහාරවල නිරත වෙති. ත්‍රස්තවාදියා මැරිය යුතුම ය. මේ රට වසර 2500 ක බෞද්ධ සංස්කෘතියකින් යුතු රටක් වීම ඊට කිසිසේත්ම බලපාන්නේ නැත. ඉතා දැඩි භක්තියකින් යුතුව බුදුදහමේ ආරකෂකයන් ලෙස කටයුතු කළ පුරාණ සිංහල රජවරු විදේශික හෝ ස්වදේශික ත්‍රස්ත තර්ජනයක් එළැඹුණු විට ඉතා භයානක ලෙස සිය සතුරන් කඩු ගෑහ. ත්‍රස්තවාදයට මොන මානව හිමිකම්ද? එය තුරන් කළ යුත්තේ ත්‍රස්තවාදයෙන්ම ය. "මගේ මානව හිමිකම් ඔබේ නාසය පටන් ගන්නා තැනින් කෙළවර වෙයි. මා අත දිග හැරිය විට එය ඔබේ නාසයෙහි වදින්නේ නම් මම මානව හිමිකම් කඩන්නෙක්මි: ඔබ මානව හිමිකම් කැඩීමට ලක්වන්නෙකි...." යනුවෙන් ප්‍රසිද්ධ කියමනක් තිබේ.

මෙහිදී සිදුවී ඇති ලොකුම වරද නම් ශ්‍රී ලංකාවේ නාසය පටන් ගන්නා තැන විවිධ ජාත්‍යන්තර බලවේග සහ සංවිධාන දැන නො සිටීම ය. එහෙත් ඒ ගැන අපට දැනුමක් තිබේ. අපගේ නාසය පරෙස්සම් කර ගැනීම අපගේ වගකීම ය.
(දිවයින_09/03/19)

පසුවදන_ශ්‍රී ලංකාවේ නාසය පටන් ගන්න තැන පිළිබඳ මේ රටේ සම-හරක්ට ද අව‍බෝධයක් නැත. එක්කෝ උන් බොරුවට නිදි ය. එහෙයින් උන් අවදි කරවීම බොරු ය.

1 comment:

U R A J said...

දොස්තර මහතාට වැරදුණු විට ලෙඩා අඩි 6 ක් ගැඹුරු වළක සැතපෙන බවට හොදම උදාහරණය ගැන බලන්න මගේ බ්ලොග් එකට ගොඩ වෙන්න (මේක ස්පෑම් කිරීමක් නොවේ)

www.urajonline.myblog.lk

 
සිය රට දේ සිරි සැප දේ !