Wednesday, February 25, 2015

ජාතිකවාදීන් සහ එහි විවේචකයින්ගේ අදහස්

නිර්මාල් රංජිත් දේවසිරි මහතා

Nalin Subasinghe Charitha Kariyawasam Namal Udalamatta වැනි අය මගේ දේශපාලන අභිලාෂ, එහි සීමා මායිම් යනාදිය පිළිබද අවසාන විනිෂ්චය දී ඇති බැවින් මට තවත් ඒ ගැන වාද විවාද කිරීමට දෙයන් ඇත්තේ නැත. කළ හැක්කේ හා එහෙමද කියා නිලං සිටීම පමණි. ඔබගේ දේශපානවය ගැන මට ඇති විවේචන මේ වනවිටත් ඉදිරිපත් කර ඇති බැවින් ඒවා සම්බන්ධව ඔබ තුළ සංවේදීතාවයක් ඇති වේදෝයි මම බලා සිටිමි. එතෙක් අපි අපේ මාවත් වල යමු. අපි යහපත දකින්නේ වෙනස් ආකාරවලිනි. ඔබ අපේක්ෂා කරන දෙවෙනි මහින්දාගමනයෙන් පොදු යහපත උදාවේදැයි බලමු.

මගේ ප්‍රතිචාරය

අපි හැමෝ ම නිර්මාල් සර් ද ඇතුළත්ව අප සියලු දෙනා ම පිළිබඳ අවසාන විනිශ්චය කෙසේ වෙතත් යම් විනිශ්චයක ඉන්නවා. ඔබ සහ අපි මේ විදිහට සංවාදයේ දි මුණ ගැහෙන්න ඒ අවබෝධය ඇතුව. ඔබේ දැක්ම අනුව නුගේගොඩ රැළිය පිටුපස තියෙන්නේ ප්‍රතිගාමී හා ෆැසිස්ට්වාදී දේශපාලන පරිකල්පනයක්. ඒ කියන්නේ අපි ඒ ප්‍රතිගාමී හා ෆැසිස්ට්වාදී දේශපාලන මතවාදය දරන අය. ඒකයි ඔබේ අදහස. ඔබේ ඒ අදහස ගැන ගොඩක් අය සතුට පළ කරලා තිබුණා. අප අතර මතවාදීමය වෙනස්කම් වගේ ම සමානතා තියෙනවා. කුමාර් ගුණරත්නම් පිළිබඳ ඔබ දරණ අදහසට මම එකඟයි. ඇත්ට ම අපි විරුද්ධ වුණේ යහ පාලනයට නෙමේ, යහ පාලන වෙසින් එන බෙදුම්වාදයට. එහි සැබෑ මුහුණ එළියට එනතුරු මම යහ පාලනය වෙනුවෙන් පෙනී සිටියා.

අපේ විරුද්ධවාදීන් කැමතියි අපි ජාතිකවාදීන් විදිහට නෙමේ, ජාතිවාදීන්, වර්ගවාදීන්, ගෝත්‍රවාදීන්, ලේ ගඳ ගහන ම්ලේච්ඡයෝ විදිහට දකින්න. සමහරු හිතා ඉන්නේ නුගේගොඩ ආවේ හරක් කියලා. සමහරු හිතනවා අපිව පුනරුත්ථාපනය කළ යුතු බව. යටත්විජිත සමයේ පූජක පිරිස් වගේ ඔවුන් අප සමඟ සංවාදයට එන්නෙත් ඒ අදහස පෙරදැරිව. අපි අතර මතවාදීමය වෙනස්කම් තියෙන්න පුළුවන්. නමුත් අපේ ඇතැම් විරුද්ධවාදීන් කැමති නෑ, අපි ඔවුන් වගේ ම ඔවුන්ට වඩා වෙනස් දේශපාලන අදහස් දරන අය විදිහටවත් පිළිගන්න. මම දන්නවා ඊට වඩා ලේසියි කියලා අර විදිහට ගරහන එක. 

අනෙක නිර්මාල් මහතා විරුද්ධ මත දරන අයගේ අදහස්වලට විරුද්ධව කරන දේශපාලන අර්ථ දැක්වීම් කවදාවත්, අපට ආදේශ කිරීමට පෙර තමන්ට, තමන්ගේ දේශපාලන කඳවුරට ආදේශ කරගන්නේ නෑ. ක්ෂමාලාපකයින්, සන්නස්ගලකරණය, අවසාන විනිශ්චය විතරක් නෙමේ, සෝමා අක්කාගේ මෙව්ව එකත් එහෙමයි. ඒවා තමන්ට ම පරාවළල්ලක් වුණා ම විරුද්ධවාදීන් මුකුත් දන්නේ නෑ කියලා නොකියා කියනවා. දාර්ශනික ප්‍රකාශ නිකුත් කරනවා. ඊට පස්සේ කෝප වෙලා වගේ යනවා. ආයේ එනවා. ඒ මොනවා වුණත් ඔබට අනුව ප්‍රතිගාමී හා ෆැසිස්ට්වාදී දේශපාලන අදහස් දරන අපි හැමදාම ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රවාහය තුළ ඔබ සමඟ, අපේ විරුද්ධවාදීන් සමඟ සංවාද කරන්න සුදානම්.

Tuesday, February 24, 2015

මෙවර තරඟ කළොත් දිනන්නේ මහින්දමයි. - රනිල් වික්‍රමසිංහ

තමන් සමඟ මහා මැතිවරණයට එන්නැයි රනිල් වික්‍රමසිංහ, මහින්ද රාජපක්ෂට අභියෝග කර තිබේ. රනිල් පවසා ඇත්තේ අභියෝගය භාර ගතහොත් පසුගිය ජනාධිපතිවරණයේ දී මහින්ද ලබා ගත් ඡන්ද ලක්ෂ 58, මෙවර ලක්ෂ 50 දක්වා අඩු කරන බවය. 

මුළු රට ම එකම ඡන්ද කොට්ඨාශයක් ලෙස සලකා එක ම තනතුරක් වෙනුවෙන් පවත්වන බොහෝ විට ප්‍රධාන අපේක්ෂකයින් දෙදෙනෙකු අතර ද්වන්ධ සටනක් බවට පත්වන ජනාධිපතිවරණයක දී අපේක්ෂකයෙකු ලබා ගන්නා ඡන්ද ප්‍රමාණය, පාර්ලිමේන්තු ආසන 225ක් වෙනුවෙන් පවත්වන, පක්ෂ දෙකක් නොව බොහෝ ගණනක් තරඟ වදින මහා මැතිවරණයක ලබා ගත නො හැකි බව අවබෝධ කර ගැනීමට අමුතු දේශපාලන සාක්ෂරතාවක් තිබිය යුතු නොවේ. 

2004 එක්සත් ජනතා නිදහස් සන්ධානය ලබා ගත්තේ ලක්ෂ 42ක් පමණයි. 2009 වර්ෂයේ ත්‍රස්තවාදය කෙළවර කර මහින්ද රාජපක්ෂ රජය රට තුළ අතිශය ජනප්‍රිය තලයක පැවැත්වූ 2010 මහා මැතිවරණෙය් දී එක්සත් ජනතා නිදහස් සන්ධානය ලබා ගත්තේ ඡන්ද ලක්ෂ 48.5ක් පමණයි. මේ මැතිවරණවල දී එජාපය ලබා ගෙන ඇත්තේ පිළිවෙළින් ඡන්ද ලක්ෂ 35ක් සහ 23.5ක් පමණි.

ඉතින් මෙවැනි පසුබිමක රනිල් කියනවා මහින්දට එළඹෙන මහා මැතිවරණයේ දී ඡන්ද ලක්ෂ 50ක් ලබා ගත හැකි බව. ඒ කියන්නේ මහින්ද ජනාධිපතිවරයා ලෙස සිට 2010 පැවැත්වූ මහා මැතිවරණයටත් වඩා විශිෂ්ට ජයග්‍රහණයක් මහින්ද අගමැති අපේක්ෂක ලෙස එළඹෙන මහා මැතිවරණයට තරඟ කළහොත් ලබා ගත හැකි බව රනිල් වික්‍රමසිංහ මහතා ඉතා විශිෂ්ට ලෙස ගණන් මිමි සහිතව පැහැදිලි කරන්නේ.

ඉතින් නුගේගොඩට ගලපු ජන ගඟෙන් පැහැදිලිය රටේ මතයත් ඒක බව. නමුත් මෛත්‍රීපාල ජනාධිපතිතුමාට ඒක තේරෙන්නේ නෑ. එතුමා කියනවා මහින්ද නැතුව දිනන්න පුළුවන් කියලා. මේ කතාව අහද්දී "ලේලි මැරෙනවා නම් පුතා කණවැන්දුන් වුණත් කමක් නෑ" කියලා හිතන නැන්දම්මලා තමා මට මතක් වෙන්නේ.   

Sunday, February 22, 2015

ශ්‍රී පවන් අගවිනිසුරු වීමට ජාතිකවාදීන් විරුද්ධ ද?

දෙමළ ජාතිකයෙකු වන කේ. ශ්‍රී පවන් මහතා මේ රටේ අගවිනිසුරු ධූරයට පත්ව තිබේ. මේ ආණ්ඩුව හිටපු අගවිනිසුරු ඉවත් කළ ව්‍යවස්ථා විරෝධි යහ පාලනයටම ඔබින විළි ලැජ්ජා නැති අශිෂ්ටත්වයට මම එරෙහි වෙමි. ශිරාණි බණ්ඩාරනායක ඉවත් කිරීම පසුගිය රජයේ අවශ්‍යතාව අනුව සිදු වුව ද එය ව්‍යවස්ථාව අනුව පාර්ලිමේන්තුව ඔස්සේ සිදු කිරීමට තරම් විනයක් ඔවුන්ට තිබිණි. රටට ඒ විනය ප්‍රමාණවත් නැති හෙයින් ගෙන ආ යහ පාලනය දැන් අර අවම විනය ද නැතිව හැසිරෙන ආකාරය බලා සිටීමට ජගුප්සාජනක ය. දැන් අපි අපේ මාතෘකාව වෙත යොමු වෙමු.

මම ශ්‍රීපවන් මහතා අගවිනිසුරු වීම ගැන සතුටු වෙමි. ඔහු අද මේ රටේ අභිමාණවත් හතර වැනි පුරවැසියා. ඔහු මේ රටේ බෞද්ධ සම්ප්‍රදායට ගරු කරමින් මල්වතු අස්ගිරි මහා නා හිමිවරුන් බැහැ දැක ආශීර්වාද ලබා ගැනීම ඔස්සේ ඒ මහතා මේ රටේ සංස්කෘතියට හර පද්ධතියට ගරු කරන බව ද ප්‍රදර්ශනය කොට තිබේ. දෙමළ ජනතාව කොන් කරලා මේ ප්‍රශ්නය විසඳිය නො හැකි ය. යමෙකුට සුදුසුකම් ඇත්නම් ජාතිය ආගම කුමක් වුවත් ඒ තනතුර දිය යුතුය. 

එසේ ම ආරුන් තම්බිමුත්තු, විනයාගමූර්ති මූරලිදරන් වැනි අය අප මේ රටේ ප්‍රධාන දේශපාලන ධාරාවට ඔසවා තබා ඔවුන් එහි ප්‍රමුඛ චරිත කළ යුතුය. අපි ලක්ෂ්මන් කදිරගාමර්ලා නැවත බිහි කරගත යුතුය. සුද්දාගේ ඇමරිකාව ඔසාමා බින් ලාඩන්ලාගෙන් ආරක්ෂා කරන බැරක් හුසේන් ඔබාමා පන්නයේ පිරිසක් අපි ද්‍රවිඩ ජනතාව අතරින් නිර්මාණය කරගත යුතුය. ඇත්තට ම ලක්ෂ්මන් කදිරගාමර් මේ රටේ අගමැති ධූරයට පත් කළ යුතු මට්ටමේ සිටි ප්‍රශස්ත දේශපාලකයෙකි. මේ රටේ ඒකීයත්වය ගරු කරන බෙදුම්වාදයට එරෙහි බෞද්ධ සංස්කෘතියට හිමි විය යුතු තැන රැක දෙන දෙමළ නායකයෙකු රනිල් වික්‍රමසිංහ පන්නයේ බෙදුම්වාදී සිංහල නායකයින්ට එරෙහිව රටේ ජනාධිපති තනතුරට පත් කිරීමට වුව ජාතිකවාදීන් වන අප නො පසුබට විය යුතුය. ඒ සඳහා සිංහල ජනතාව සවිඥානක කළ යුතු ය.

අප විරුද්ධ විය යුත්තේ දෙමළ ජාතිකත්වයට නොවේ. දෙමළ වර්ගවාදයටයි. සිංහල ජාතිකත්වයට එරෙහිව පාවිච්චි කෙරෙන දෙමළ ජාතිවාදයටයි. ඒ අතර අපි දෙමළ ජාතිකත්වයේ ආරක්ෂකයින් විය යුතුය. අපි අපේ සිංහල බෞද්ධ සංස්කෘතියට ගරු කරන අතර එය ආරක්ෂා කර ගැනීමට කටයුතු කරන අතර දෙමළ ජාතිකත්වයට ගරු කළ යුතුය. ඔවුන්ගේ සංස්කෘතියේ සැබෑ සතුරා බෞද්ධයින් නොවේ. එහෙත් සැබෑ සතුරා විසින් බෞද්ධයා දෙමළාගේ සතුරා යැයි දැවැන්ත මතයක් නිර්මාණය කර දෙමළ ඔළුවල ගබඩා කර තිබේ. එය අප විසින් උපක්‍රමිකව ආදරයෙන් ජයගත යුතු කඩ ඉමකි. මම හැකි සෑම විට ම දෙමළ ආගමික සංස්කෘතික උත්සවවලට යමි. කෝවිලට යමි. මගේ දෙමළ මිතුරන්ගේ නිවෙස්වලට යමි. ලොව පුරා සිටින දෙමළ මිතුරු මිතිරියන් සමඟ දුක සැප බෙදා ගනිමි. එය මේ රටට ආදරය කරන සෑම සිංහලයෙකු විසින් ම කළ යුතු දෙයකි. ඔවුන් බෙදුම්වාදයෙන් ඈත් කර අපට ළං කර ගැනීම, ඔවුන් ලවා ම බෙදුම්වාදය ප්‍රතික්ෂේප කිරීම, බෙදුම්වාදය දුර්වල කිරීම සඳහා අධිවේගී මාර්ගයකි. 

Saturday, February 21, 2015

දෙයියන්ටවත් නොපෙනෙන දයාගේ අවනඩුව !

දයා ගමගේ පවසන පරිදි නැඟෙනහිර මහ ඇමති ධූරය සිංහලයෙකු දරනවාට රහූෆ් හකීම් කැමති නැත. රහූෆ් හකීම් කැමති වුව ද මුස්ලිම් අන්තවාදය ඊට අකමැති බව පැහැදිලි ය. එම මතයට එරෙහිව ක්‍රියා කළ හොත් හකීම් ද්‍රෝහියා කර මුස්ලිම් ඡන්ද ටික බිලිබා ගැනීමට අසාද් සාලි පන්නයේ ISISලා පෙළ ගැසී සිටිති. මේ නිසා විශාකාවට සිය දුව යවන අතර සෙසු මුස්ලිම් දියණියන් කළු අබායෙන් වැසීමට අනුබල දීමට හකීම් සිදුව තිබේ. මල්වතු අස්ගිරි නාහිමියන් බැහැදැක අටපිරිකර පූජා කර වැඳ නැඟෙනහිරට ගොස් බෞද්ධ විරෝධි ප්‍රකාශ කිරීමට, බෞද්ධ සිද්ධස්ථානවල සිදුවන මුස්ලිම් ආක්‍රමණය සාධාරණීකරණයට සහ අනුබල දීමට ඔහුට සිදුව තිබේ. 

කෙසේ වුව ද එම මුස්ලිම් අන්තවාදය නැඟෙනහිර මහා ඇමති ධූරය දෙමළ සන්ධානයට ලබා දීමට කැමතිය. එහෙත් ජාතික තලයේ දේශපාලනයේ දී තම පක්ෂය වන එජාපයේ දයා ගමගේට ලබා දීමට අකමැතිය. ඒ දයා ගමගේ සිංහල නිසා ය. මේ අනුව නැඟෙනහිර මහා ඇමති ධූරය දැරීමට දයා ගමගේ සතු එකම නුසුදුසුකම සිංහලකමයි. බහුතරයක් සිංහලයන් ජීවත් වන රටේ තත්ත්වය එයයි.

මෙවැනි ප්‍රකාශයක් සිංහලයෙකු විසින් කළේ නම් ඊට එරෙහිවීමට ඇතැම් විට ජිනීවා දක්වා ගෙන යෑමට මේ රටේ බෞද්ධ විරෝධි උගත්තු එක පෙළට සිට ගනු ඇත. එහෙත් ඒහා සමාන ඇතැම් විට ඊටත් භයානක ප්‍රකාශයක් සුළු ජාතියකට අයත් අන්තවාදියෙකු ප්‍රකාශ කළ විට එය නිහඬව අනුමත කරමින් හීන්සීරුවේ එය සුළු ජාතික විඥානය තුළ සාමාන්‍යකරණය වන තුරු සිටීම, හැකි නම් අනුබල දීම මේ ඊනියා බුද්ධිමතුන්ගේ සිරිතයි. ඒ සමස්ත සුළු ජාතීන් ම සිංහල විරෝධීන් වීම ඔස්සේ තම බෞද්ධ විරෝධි මානසික තත්ත්වය ලබන අමන්දානන්දය වෙනුවෙන් විය යුතු ය.

කේ. ශ්‍රී පවන් මහතා අගවිනිසුරු වීම පිළිබඳ ජාතිකවාදීන් විරෝධය පළ කළ බව පවසමින් අසත්‍ය ප්‍රචාර මුදා හරින අවස්ථාවාදී කල්ලි පවා දයා ගමගේ සිද්ධිය පිළිබඳ කිසිවක් නො කියති. ශ්‍රී පවන් මහතා අග විනිසුරු ධූරයට පත්වීම ජාතිකවාදීන් ලද ජයග්‍රහණයක් ලෙස මම සලකමි. දෙමළාට මේ රටේ නිසි තැන නො ලැබෙන බවට ද දෙමළාට දෙමළ වීම නිසා ම ඇති ඊනියා ප්‍රශ්නයක් පිළිබඳව ද නිර්මාල් රංජිත් දේවසිරිලා ගොඩ නඟන තර්කය, ශ්‍රී පවන් මහතා අගවිනිසුරු නැතහොත් මේ රටේ සිව් වැනි පුරවැසියා බවට පත්වීමත් සමඟ පුස්සක් බවට පත්වෙයි. සැබවින් ම ලක්ෂ්මන් කදිරගාමර් මහතා මරා නො දමන්නට ඔහු මේ රටේ අගමැති හෝ ජනාධිපති ධූරයට හෝ පත්වීමේ හැකියාවක් තිබිණි. සිංහල බෞද්ධ විරෝධීන්ගේ පුහු තර්ක බිඳ දැමිය හැක්කේ ආරුන් තම්බිමුත්තු වැනි තරුණයින් මේ රටේ දේශපාලන කේන්ද්‍රයට රැගෙන ඒම තුළිනි. බෙදුම්වාදයට එරෙහි  පරපුරක් දෙමළ සමාජය තුළින් නිර්මාණය කර ගැනීමෙනි. දෙමළ හින්දු ජාතිකත්වයේ සැබෑ සතුරා ඔවුන්ට අවබෝධ කර ගැනීමට අවස්ථාව ලබා දීමෙනි.

අනෙක් අතට සම්බන්ධන් සහ සුමන්තිරන් දෙමළ ජනතාව නියෝජනය කරමින් දශක ගණනාවකට පසු ජාතික නිදහස් උළෙලට සහභාගි වීම මහා ජයග්‍රහණයක් ලෙස සලකන පිරිස ඒ ගැන අපේ අදහස් විමසති. සැබවින්ම අපි ජාතිකවාදීන් ලෙස එය අගය කරමු. එය සුබ පෙර නිමිත්තක් ලෙස දකිමු. ඊට එරෙහි වන උතරේ වර්ගවාදීන්ට එරෙහි වෙමු. එහෙත් ඒ ජයග්‍රහණය සමරන විද්වත්හු කොටි ත්‍රස්තවාදීන් උතුරින් එළවා දැමූ සිංහල ජනතාව නැවත උතුරේ පදිංචි කරවා, බිඳුණු මිතුදම් අලුත් කරනට කිසිවක් නො කරති. ඊට එරෙහි වන දෙමළ වර්ගවාදී මතයට එරෙහි නොවෙති. යුද්ධය නිසා උතුරින් පළා ගිය දෙමළ මුස්ලිම් ජනතාවට නැවත එම ගම්බිම්වලට පැමිණීමට ඇති අයිතිය සිංහල ජනතාවට සිංහල වීම නිසා ම අහිමි කිරීමේ දෙමළ වර්ගවාදයට එරෙහි නොවෙති. එය අප ජීවත් වන යුගයේ අත්දකින මහා ඛේදවාචකයකි.

අප එරෙහි වන්නේ මෙලෙස සිංහලයාට හිමි එකම රටේ ම සිංහල වීම නිසා ම සිදුවන මෙවැනි අසාධාරණකම්වලටය. නැගෙනහිර දයා ගමගේට මහා ඇමති විය නොහැක්කේ ද උතුරින් පළවා හැරි සිංහල ජනතාවට නැවත සිය ගම්බිම්වල පදිංචි වීමේ අයිතිය නො ලැබෙන්නේ ද ඒ ගොරතර වර්ගවාදය නිසා ය. මේ අසාධාරණයට ඔවුන් ලක් වන්නේ ජාතියෙන් සිංහල වීම නිසාම ය. අප එරෙහි වන්නේ මෙලෙස සිංහල ජාතියට එරෙහිව දෙමළ මුස්ලිම් වර්ගවාදය භාවිත කිරීමට ය. එසේ නොමැතිව අපි දෙමළ ජාතිකත්වයට එරෙහි නොවෙමු. ඔවුන්ගේ සංස්කෘතිය නිදහසේ බුක්ති විඳීමේ අයිතියට ගරු කරමු. 

මුස්ලිම් 36%ක් ජීවත් වන නැඟෙනහිර 23%ක් වන සිංහල ජනතාව නියෝජනය කරන සිංහලයෙකුට මහා ඇමති වි නොහැකි නම් 10%ක සුළුතර මුස්ලිම් ජනතාවක් ජීවත් වන බහුතර සිංහලයින් 75%ක් ජීවත් වන රටක රහූෆ් හකීම්, රිෂාඩ් බදූර්දීන් ඇමති තනතුරු දරන්නේ කෙසේ දැයි අපි ප්‍රශ්න කරමු. දෙමළ ජනතාවගෙන් 50%ක් පමණ දකුණේ බහුතර සිංහල ජනතාව සමඟ ජීවත් වන රටක උතුරේ බහුතර දෙමළ ජනතාව සමඟ සිංහලයින්ට ජීවත්වීමට අයිතියක් නැත්තේ ඇයි දැයි අපි ප්‍රශ්න කරමු. වර්ගවාදයට එරෙහි වීම යනු මෙවැනි අකටයුතුවලට එරෙහි වීම මිස ගෙදර ඇති සිංහල මුව හමට තඩි බෑම නොවේ.  


Friday, February 13, 2015

18 නුගේගොඩ රොද බඳිමු!

මගේ ප්‍රකාශය
යහ පාලන සුදු නංගි පෙන්නා රටට ස්වං පාලන කැත මැහැලිය ලබා දුන් පාලනයට එරෙහි වෙමු. අසාද් සාලි ඇතුළු අන්තවාදී කල්ලිවල එරෙහිව මුහමඩ් මුසාමීල් වැනි ලාංකික මුස්ලිම්වරුන් සමඟ පෙළ ගැසෙමු. රට වෙනුවෙන් අපේ පරම්පරාවේ යුතුකම ඉටු කරමු.

Asitha G Punchihewaගේ පිළිතුර
මමත් මුලින් කොමෙන්ට් දැම්මේ මේක ගැන අසාත් සාලි පරද්දන්න එන්න කියලා. එත් මේක දකිනකොට හිතෙනවා රාජපක්ස අසාත් සාලිට ගෙවලා මේක කියව ගත්තා කියලා මෝඩ සිංහලයෝ නුගේගොඩට ගෙන්වාගන්න. සතා ෂුවර් නෑ. මහින්දත් තම්බියෙක්ම තමයි. එකනේ කලීෆා පට්ටම ලැබුනේ. එකනේ ඉස්ලාමිය ත්‍රස්තවාදියෝන්ට මිලියන ගණන් සල්ලි දුන්නේ අපේ රටේ එවුන් නියන්ගෙන් පීඩා විඳිද්දී, එකනේ බැසිල් සහෝදරයා එක්ක රිෂාඩ් විල්පත්තු ඉඩම් කොල්ල කෑවේ, එකනේ මොට්ටාගල දෙබෑ කරාට පස්සෙවත් මොනවත් නොකළේ, එකනේ ලංකා බැංකුවත් ෂරියා කලේ, එකනේ හලාල් නැවැත්තුවේ නැත්තේ, එකනේ හාමුදුරුවරු ගිනි තියාගද්දීත් ගව ඝාතනේ නැවැත්තුවේ නැත්තේ, එකනේ නාමල් බේබි වගේම හම්බයොත් හොර පාරේ නීති විද්‍යාලෙට යද්දී මොනවත් නොකළේ, එකනේ අපේ ගෑනු හම්බ අරාබි පොලු වලින් කාලා මරෙද්දීත් මොනවත් නොකළේ. ඕකගේ ජාති ආලය ව්‍යාජ එකක්. එකත් අසාද් සාලි වගේම තම්බියෙක්. යන්න එපා රටට ආදරේ එකෙක් 18 වැනිදා නුගේගොඩට

මගේ පිළිතුර
අරාබියට ගෑණු පටවන්න පටන් ගත්තේ යූඇන්පී ආණ්ඩුව මිස මහින්ද නෙමේ. මහින්දගේ කාලේ තමා දකුණු කොරියානු රැකියා රටට මහා පරිමාණයෙන් ලැබුණු බව නම් ඇත්ත. අනෙක් අතට මහින්ද සමඟ ඉඳගෙන මුස්ලිම් අන්තවාදය ව්‍යාප්ත කළ සියලු අන්තවාදී කල්ලි අද ඉන්නේ රනිල් සමඟ මිස මහින්ද සමඟ නෙමේ. මහින්ද මුස්ලිම් අන්තවාදයට එරෙහිව දැඩි පියවර ගත යුතුව තිබුණා. එහෙම කළා නම් මුස්ලිම් අන්තවාදයට එරෙහි සමාජමතය බොදු බල සේනාව වැනි සංවිධාන නිසා හුදු මුස්ලිම් විරෝධි මතයක් බවට පත් නො වෙන්න ඉඩ තිබුණා.

ඒ වගේ ම මං අහන්න කැමතියි දැන් රනිල් වික්‍රමසිංහ සුදානම් ද මහින්ද සමයේ සිදු වුණු අසිත අයියා කියපු වැරදි නිවැරදි කරන්න? ඔහු සුදානම් ද හලාල් තහනම් කරන්න? ගව ඝාතන තහනම් කරන්න රනිල් සුදානම් ද? රිෂාඩ් බදූර්දීන් කොල්ල කෑ විල්පත්තු ඉඩම් ටික පවර ගන්න රනිල් සුදානම් ද? ඔහු සුදානම් ද නැගෙනහිර බෞද්ධ උරුමය නඟා සිටුවන්න? ලංකා බැංකුවවේ හලාල් අයින් කරන්න රනිල් සුදානම් ද? හකීම් නීති විද්‍යාලයේ සිංහල සිසුන්ට කළ අසාධාරණකම් නිවැරදි කරන්න රනිල් සුදානම් ද? මේ මුකුත් වෙන්නේ නෑනේ. 

මහින්දට වඩා රනිල් මුස්ලිම් අන්තවාදයට ඉඩ දෙන නිසා තමා සියලු මුස්ලිම් කල්ලි මහින්දය විරුද්ධව රනිල් ළඟට ආවේ. ඒකට රනිල් කෘතගුණ සැලකුවේ ඉතිහාසයේ ප්‍රථම වරට මේ රටේ මුස්ලිම් ආගමික අමාත්‍යංශයක් පත් කරලා. අඩු තරමේ මහින්ද මේ මේ මුස්ලිම් අන්තවාදී වැඩ කළා කියලා රනිල්ට කටක් අරින්න පුළුවන්ද? බෑ. මහින්දට වඩා දේවල් බලාපොරොත්තුවෙන් තමා මේ මුස්ලිම් කල්ලි රනිල් ළඟට ආවේ. අරලිය ගහ මන්දිරේ මහින්ද 140 වාරයක් විතර අඛණ්ඩව පවත්වපු පෝදා ධර්ම දේශනාව අවලංගු කළ රනිල්ගෙන් මේ රටේ බෞද්ධයින් කිසි දෙයක් බලාපොරොත්තු නොවිය යුතුයි. ඊට වඩා හොඳයි ඉබ්බන්ගෙන් පිහාටු පතන එක.

අනෙක් අතට අද අපට තියෙන ලොකුම ප්‍රශ්නය රට දෙකඩ වීම වැළැක්වීම. රනිල් සම්බන්ධන් හකීම් පාඨලි බෙදුම්වාදී කල්ලියෙන් රට ගළවා ගත යුතුයි. ඒ සඳහා අප බලවේගයක් නිර්මාණය කර ගත යුතුයි. මොකද මේ වෙද්දී හොරා හොරා කියලා මහින්ද එළවලා රට පාලනය කරන්නේ චාල්ස් ඥානකෝන්ලා. ඥානකෝන් කලින්දා ෆේස්බුක් එකේ දාන එක ඊට පස්සෙන් ද කැබිනට් මණ්ඩල තීරණ විදිහට එළියට එන තැනට රට ඇවිත්. 

රටේ අධි ආරක්ෂිත කළාප අයින් කරනවා. මුහුදු මුර සංචාර සීමා කරනවා. ඉන්දියාවෙන් ඇවිත් යාපනේ දෙමළ ධීවරයාගේ මාලු ටික අල්ල ගෙන යනවා. මාර්ග බාධක අයින් කරනවා. උතුරේ පිහිටි හමුදා කදවුරු අවට අධි ආරක්ෂිත කළාප ඉවත් කිරීම නිසා අපේ සෙබලුන්ගේ ජීවිත අනවශ්‍ය අවදානමකට ගොදුරු වෙනවා. ඒ සියල්ල එහෙම කරලා ජනාධිපති බුලට් ෆෘෆ් එකට බැහැලා ගමන් බිමන් යනවා. තමන් වටේ ඉන්න හතුරු කල්ලියෙන් සිදුවිය හැකි අනතුර නිසා එතුමා එහෙම කරනවා නම් ප්‍රශ්නයක් නෑ. නමුත් ඒ හතුරු කල්ලිය මේ රටේ අනාගතය අනතුරේ හෙළන තුරු අපට බලා ඉන්න බෑ. ඇමතිකමට රට පාවදීලා ගල් ලෙන බින්ඳා කියන හිවල්ලු දැන් කසාය බීපු ගොලුවෝ වගේ මුණිවත රකිනවා. 

ඒ නිසා මේ අවධානයම තේරුම්ගත යුතුයි රටේ ජනතාව. මහින්දගේ අඩුපාඩු තිබුණා. නමුත් මුන් වගේ මහින්ද රට පාව දුන්නේ නෑ. ඒ කාලේ රට පාලනය කළේ මහින්ද මිස විදෙස් කොටි කල්ලි නෙමේ. දැන් බෙදුම්වාදීන්ගේ සියලු මනදොල සපුරමින් රට අගාධයට අරගෙන යනවා මේ යම පාලනය. ඒ නිසා රටට හිතැති සියලු දෙනා මේ මොහොතේ සියලු භේද ඉවතලා එක්විය යුතුයි.

Thursday, February 12, 2015

ශ්‍රීලනීපය රට බෙදන්න සුදානම් ද?

"දෙමළ ජනතාවගේ අවශ්‍යතා ඉටු කිරීමට බලය බෙදා හැරීමට තමන් එකඟ නමුත් බෙදුම්වාදය ශක්‌තිමත් කෙරෙන කිසිදු යෝජනාවක්‌ පිළිගැනීමට තමන් සූදානම් නැතැයි විපක්‍ෂ නායකවරයා කියා සිටී." නිමල් ද සිරිපාල ද සිල්වා (දිවයින 15/02/13)

සිල්වා බලය බෙදීමට පක්ෂය. බෙදුම්වාදය ශක්තිමත් කිරීමට විරුද්ධය. බෙදුම්වාදය ශක්තිමත් නොවන අයුරින් බලය බෙදන්නේ කෙසේද? මේ වන විට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය බලය බෙදීමට පක්ෂ බව මින් කියවේ. මේ වනාහි උගුරට හොරා බෙහෙත් කෑමට දරන අතිශය වංචා සහගත ප්‍රකාශයකි. ප්‍රදේශ මුල් කර ගෙන සිදු කරනු ලබන සියලු ම ආකාරයේ බලය බෙදීම්වලින් රටේ ඒකීයභාවය දියවීමට සාපේක්ෂව බෙදුම්වාදය ශක්තිමත් වන බව ඕනෑ ම අත දරුවෙකුට වටහා ගැනීම අපහසු නැත. එහි කෙළවර ඊළම බව තරයේ සිහි කටයුතු ය. 

අනෙක් අතට 50%ක් පමණ දෙමළ ජනතාව දකුණේ සෙසු ජන කොටස් සමඟ ජීවත් වන පසුබිමක, 2009 පසු එය තව තවත් තීව්‍ර වන පසුබිමක මෙම බලය බෙදීම හරහා දෙමළ ජනතාවට විශේෂයෙන් ඇතැයි කියන ඊනියා ප්‍රශ්නවලට කිසිදු පිළිතුරක් නොලැබේ. එහෙයින් බෙදුම්වාදය ශක්තිමත් වීමට සිරිසේන ලා සිරිපාල ලා එකඟ නොමැති නම් කළ යුත්තේ රටේ ඒකීයත්වය තහවුරු කරන අතර පරිපාලනය විමධ්‍යගත කිරීමය. 

එහෙත් මේ සැරසෙන්නේ යහ පාලන බෝඩ් ලෑල්ල ඉදිරියට දමා ස්වයං පාලන බෝඩ් ලෑල්ල කරළියට ගත්තා සේ බෙදුම්වාදයට විරුද්ධයි, බලය බෙදීමට එකඟයි කියා රටේ ඒකීයත්වය විනාශ කිරීමටය. එක්සත් රාජ්‍යය, ෆෙඩරල් රාජ්‍යය ඔස්සේ ඊළම වෙත යෑමටය. 26 000ක් ජීවිත පූජා කොට එක්සේසත් කළ රට බෙදුම්වාදීන්ට බන්දේසියක තබා පූජා කිරීමට ය. 

මහින්ද රාජපක්ෂ යටතේ එක්සේසත් කළ රට නැවත බෙදුම්වාදීන්ට බිලි දීමට සිරිසේන ජනාධිපතිවරයාට ජනතාව කිසිම බලයත් ලබා දී නැත. ඌව ඡන්දයේ දී තම ආසනය ද පරාජය වූ නිමල් ද සිරිපාල ද සිල්වා අද ජනාධිපතිගේ විපක්ෂ නායක ලෙස කටයුතු කරන්නේ ඊළම අබිමුව පැවති රට 2009 එක්සේසත් කළ විට ජනතාව ලබා දුන් ජන වරමින් බව ඔහු සිහියේ තබාගත යුතුය. 

සිරිසේන ජනාධිපතිවරයාගේ වගකීම සිංහල දෙමළ සියලු දෙනාට මේ රටේ ඕනෑම තැනක ජීවත් විය හැකි එක නීතියක් ක්‍රියාත්මක වන රටක් නිර්මාණය කර තබා ගෙදර යෑම ය. මහින්ද රාජපක්ෂ නතර කළ තැනින් ඉදිරියට රට ගෙන ගොස් සැබෑ යහ පාලනයක් උදා කළ හැක්කේ එලෙසය. ඔහු කෙරෙහි ජනතාව තැබූ විශ්වාසය තහවුරු කළ හැක්කේ එලෙසිනි.

එහෙත් රනිල් වික්‍රමසිංහ හෝ නිමල් ද සිරිලා ද සිල්වා කිසි දිනක එම බලාපොරොත්තු ඉටු වන ගමනක් සඳහා පෙරමුණ ගනු ඇතැයි කිසිවෙකු සිහිනයකින් වුව ද නො සිතිය යුතු ය. ඒ සඳහා මේ රටට ආදරය කරන ඒකීයත්වය ආරක්ෂා කරන එය තව දුරටත් ශක්තිමත් කරන නායකයෙකු වෙත නැවත රට භාර දිය යුතු ය. ලාභෙට ලැබෙන පාන් පිටි ගිලමින් තම දරුවන්ට මව්බිම ලෙස තවත් පලස්තීනයක් ද උතුරින් ඊශ්‍රායලයක් ද ලබා නොදීම සිය පරම වගකීම බව මතක තබා ගත යුතු ය.   

Tuesday, February 10, 2015

ජෝන් ආණ්ඩුව ද? රනිල් ජනාධිපති ද?

විපක්ෂය ජෝන් අමරතුංග ඇමතිවරයාට විරුද්ධව විශ්වාසභංග යෝජනාවක් පාර්ලිමේන්තු බහුතර මන්ත්‍රී ප්‍රමාණයකගේ අත්සන් සහිතව කතානායකවරයාට භාර දී තිබේ. මේ යෝජනාව පිළිබඳ ඡන්දයෙන් ආණ්ඩුව පරාජය වුවහොත් කළ යුත්තේ ඔහු දරන ඇමති ධූරය ජනාධිපතිවරයා නැවත පවරා ගෙන වෙන සුදුසු අයෙකුට ලබා දීම ය. 

එහෙත් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසන්නේ විශ්වාසභංගයෙන් පරාජය වුවහොත් තමන් ආණ්ඩුව විසුරුවා හරින බවත් මහා මැතිවණයක් කැඳවන බවත් ය. විශ්වාසභංග ඉදිරිපත් කර ඇත්තේ ණයට ආණ්ඩු කරන එජාප ආණ්ඩුවට විරුද්ධව නොව එහි එක් ඇමතිවරයෙකුට විරුද්ධව ය. ඒ නිසා ආණ්ඩුව විසුරුවා හැරීමේ අවශ්‍යතාවක් නොමැත. 

අනිත් අතට ආණ්ඩුව විසුරුවීමේ බලය හෝ මහා මැතිවරණ කැඳවීමේ බලයක් වික්‍රමසිංහ අගමැතිවරයාට නැත. ඔහු වර්තමානයේ ජනාධිපතිවරයා ලෙස හැසිරුණ ද ඔහු මේ රටේ සුළුතර ආණ්ඩුවක අගමැතිවරයා පමණි. ආණ්ඩුව විසුරු වීමේ බලය මෙන් ම මහා මැතිවරණයක් කැඳවීමේ බලය ද ඇත්තේ ජනාධිතිවරයාටය. මේ වගේ වැඩ කරන විට ගැමියන් නම් කියන්නේ "ගොනාගේ වැඩ බූරුවා කරන්න ඕන නෑ." කියා ය.

අනිත් අතට මේ අවස්ථාවේ පාර්ලිමේන්තුව විසුරුවා හැරීම එජාපයට අතිශය වාසි බවත්, තම පක්ෂයට අවාසි බවත් ජනාධිපතිවරයා අවබෝධ කර ගෙන ඇතැයි සිතමි. එහෙයින් ආණ්ඩුව විසුරුවා නොහැර විකල්ප ක්‍රියාමාර්ග ඔස්සේ එය ආරක්ෂා කළ යුතු ය. මේ දින 100 කෝළම මේ ආකාරයට ම විහිළුවක් විකාරයක් ප්‍රෝඩාවක් බව ජනතාවට අවබෝධ කර ගැනීමට අවස්ථාව ලබා දිය යුතු ය. එය ඉදිරි මැතිවරණයේ දී එජාපය විශේෂයෙන් රනිල් වික්‍රමසිංහ බලයට පත්වීම වැළැක්වීමට වැදගත් ය. එසේ නොවුණහොත් ඊනියා ජනතාවාදී අයවැය ක්‍රියාත්මක කිරීමට ජනතා විරෝධි සන්ධාන විපක්ෂය ඉඩ නොදුන් බවට කිඹුල් කඳුලු සලමින් ජනතාව ඉදිරියට යෑමේ අවස්ථාවක් එජාපයට හිමි වන අතර එය ඔවුන්ට අතිශය වාසි සහගත ය.  

එමෙන් ම මේ අවස්ථාවේ ශ්‍රීලනිපය ප්‍රමුඛ සන්ධානයට රනිල් සමඟ තරගයට ඉදිරිපත් කළ හැකි හොඳ ම අපේක්ෂකයා මහින්ද රාජපක්ෂ බවට විවාදයක් නැත. රනිල් සමඟ තරඟ කර සන්ධානය දිනවිය හැකි වෙනත් කිසි ම අපේක්ෂකයෙකු එහි නැත. පාඨලි චම්පික රණවක වැනි අය ඊට විරුද්ධ විය හැකි වුව ද ඔහු අද දැහැටි කූරක තත්ත්වයට පත්ව ඇති බව ද මේ රටට වැදගත් වන්නේ රටේ ජයග්‍රහණය මිස පාඨලි නොවන බව ද තේරුම් ගත යුතු ය. 

මහින්ද පරාජය කිරීම පිටුපස සිටින්නේ සිය දේශපාලන අභිලාෂ අනුව මේ රටේ භූ දේශපාලන සිතියම තීරණය කිරීමට අර අඳින ඉන්දියාව, ඇමරිකාව ප්‍රමුඛ කුමන්ත්‍රණකාරයින් බව දැනටමත් අනාවරණය වී ඇති හෙයින් එම පණිවිඩය වහා ජනතාව අතරට ගෙන යෑම ඔස්සේ නැවත මහින්ද රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් ශක්තිමත් ආණ්ඩුවක් පිහිටුවා ගැනීමට හැකි ය. ඒ සඳහා මේ දින 100 වැඩ සටහන වෙස්වළාගත් ආශීර්වාදයකි.
  

Saturday, February 7, 2015

වර්තමාන ආණ්ඩුව පිළිබද මගේ දේශපාලන ස්ථාවරය - නිර්මාල් රංජිත් දේවසිරි

මෙම සටහන ලීවා කියා මගෙ විවේචකයින් මා ආණ්ඩුවේ දුක්ගන්නාරාල බවට පත්කිරීමට දරන උත්සාහය නොනවතින බව මම දනිමි. ඒ සම්බන්ධව මට එතරම් ගැටලුවක් නැත. කෙසේ වෙතත් මගේ අදහස් පිළිබදව සාධනීය උනන්දුවක් දක්වන අය මෙන්ම නිශේධනාත්මක උනන්දුවක් දක්වන අයට සිය විවේචන වලදී අවශ්‍යනම් අදාළ කර ගැනීම සදහාද මේ කරුණු කීපය ඉදිරිපත් කරමි.
මහින්ද රාජපක්ෂගේ පාලන තන්ත්‍රයට එරෙහිව පොදුජන විරෝධතා ව්‍යාපාරයක් ගොඩනැංවීම සදහා දායක වීමේදී පැවැති මගේ ඉලක්ක චතුර්විධ විය.
* පළමු ඉලක්කය විවේචනාත්මක පොදුජන දේශපාලන කතිකාවක් ගොඩ නැංවීම. ඇත්ත වශයෙන්ම මහින්ද ආණ්ඩුව මෙතරම් ඉක්මනින් පරාජය කළ හැකි වෙතැයි මම කෙසේවත් නොසිතුවෙමි. මම 2009 දී පමණ ප්‍රසිද්ධියේ ප්‍රකාශ කලේ මම රාජපක්ෂ පාලනය යටතේ ඉදිරි වසර 15 ජීවත් වීමට හිත හදාගෙන සිටින බවයි. ඒසේ කීවේ විහිළුවට නොවේ. මා ඇත්ත වශයෙන්ම හිතුවේ රාජපක්ෂ පාලනය බිදවැටීමට ඉඩ විවර වනු ඇත්තේ අනුප්‍රාප්ති අර්බුදයක් මතුවූ විට කියායි.
*කෙසේ වෙතත් ජනාධිපතිවරණ ව්‍යාපාරය තුළ ආණ්ඩුව පරාජය කිරීමේ හැකියාව ඇති බව පෙනුණු විට එයද මගේ ද්විතීය ඉලක්කයක් බවට පත්විය. රාජපක්ෂ තන්ත්‍රය විසින් දේශපාලනයට විලංගු ලා තිබූ තත්වයක් තුළ පත්වන්නේ කුමන ආණ්ඩුවක් වුව ද (එය ප්‍රජාතන්ත්‍රවාදී දෘෂ්ටිකොණයකින් බැලූ විට රාජපක්ෂ තන්ත්‍රයට වඩා නරක එකක් නොවීමට ඉඩ තිබූ තත්වයක් තුළ) ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලන අවකාශය පුළුල් කරන්නක් බව මගේ මතය විය. (පෙරටුගාමී සමාජවාදී පක්ෂයට තේරුම්ගත නොහැකිවූයේ මෙයයි.)
* විශේෂයෙන් ගොඩනැංවෙමින් තිබූ විපක්ෂ කදවුරේ දේශපාලන සංයුතිය නිසා පශ්චාත් රාජපක්ෂ ආණ්ඩුව තුළ සීමිත ප්‍රතිසංස්කරණ විභවයක් ඇතිවිය හැකිබව මගේ තක්සේරුව විය. මේ නිසා හුදු ආණ්ඩු පෙරළියකින් ඔබ්බට ගොස් ඇතැම් සීමිත ප්‍රතිසංස්කරණ සදහා ආණ්ඩුව යොමුකිරීමේ හැකියාවක්ද තිබෙණ බව පෙණිනි. මෙය මගේ තෘතියික අපේක්ෂාවයි. එම ප්‍රතිසංස්කරණ නම් ජනාධිපති ධූරයේ බලතල අඩු කිරීම, කොමිෂන් සභා ස්ථාපිත කිරීම වැනිදේ හරහා යහපත් ආණ්ඩුකරණයට අදාළ (ඇත්ත වශයෙන්ම ‘යහපාලනය‘ යන වචනය good governance යන වචනය සදහා නොගැලපේ) ඇතැම් සංවරණ සහ තුළන යාන්ත්‍රණ මීට අයත් වේ.
*හතරවෙනි බලාපොරොත්තුව වඩා වැදගත්ය- එනම් රාජපක්ෂය තන්ත්‍රය පෙරළා දැමීම සදහා ගොඩනැගෙන පොදුජන ව්‍යාපාරය තුළ මතුවන අපේක්ෂාවන් දේශපාලන ක්‍රමය තුළ සුජාත ප්‍රතිමාන ලෙස තහවුරු කිරීම සහ යලි-තහවුරු කිරීම සදහා එයින් ලැබෙන හැකියාවයි. ප්‍රංශ විප්ලවයට අදාළව කියන්නේ නම් ප්‍රංශ විප්ලවය තුළ මතු වූ පොදුජන අභිලාෂ ආසන්න පශ්චාත් විප්ලවීය ආණ්ඩු තන්ත්‍රයන් යටතේ ක්‍රියාවට පෙරළුනේ නැත. සිදුවුනේ ඒවා පිළිගත් දේශපාලන මූලධර්ම ලෙස තහවුරු වීමයි. ඉන් පසුව සිදු වූ බහුජන අරගල වල දී සිදුවූයේ එම පශ්චාත් විප්ලවීය තන්ත්‍රයන් මගින් මූලධර්මීය ලෙස ඔසවා තබනු ලැබූ සංකල්ප (නිදහස, සමානාත්මතාවය, සහෝදරත්වය වැනි) ක්‍රියාවට පෙරළීමට උත්සාහ කිරීමයි.
මේ සම්බන්ධව උදාහරණයක් ලෙස මට පුද්ගලිකව ඉතා සමීප අධ්‍යාපනයට දළ ජාතික නිෂ්පාදිතයෙන් 6%ක් වෙන් කිරීම පිලීබද ගැටලුව සලකා බලමු. එහි පළමු අදියර වූයේ එම ඉල්ලීමට මහජනයා තුළ සහ ආණ්ඩුබලයට පැමිණීමට අපේක්ෂා කරන පිරිස් අතර පිළිගැනීමක් ඇති කිරීමයි. එහි දෙවෙනි අදියර වූයේ පශ්චාත් රාජපක්ෂ තන්ත්‍රය විසින් (පසුගිය අයවැයේ දී) එම ඉල්ලීමට රාජ්‍ය මට්ටමින් පිළිගැනීමක් ලැබීමයි. තෙවෙනි අදියර වන්නේ මේ මූලධර්මය ඇත්ත වශයෙන්ම ක්‍රියාවට පෙරළා ගැනීමයි. දෙවෙනි අදියර නිසා තෙවෙනි අදියරට වැඩි පහසුවක් ලැබීම මෙහි ඇති වැදගත් කමයි. (මෙය ද පෙරටුගාමී සමාජවාදී පක්ෂයට නොතේරෙන දෙයකි.)
මා මෙහි සදහන් කර ඇති කාරණා සමස්තයක් ලෙස සැලකිල්ලට ගන්නේ නැතිව මගේ විරුද්ධවාදීන්ට ආණ්ඩුව කරන සහ නොකරන දේ සම්බන්ධව මගෙන් කරුණු විමසීමට පුළුවන මට ඔවුන්ට කීමට හැක්කේ ඉහත් දක්වා ඇති කරුණු වලට අදාළව මිස ඉන් පිටත මා ආණ්ඩුව වෙනුවෙන් විශේෂ වගනීමක් නොගන්නා බවයි. මගේ විරුද්ධවාදීන් බොහොමයකගේ දේශපාලන සාක්ෂරතාවය ඉතා දුර්වල මට්ටමක පවතින් බැවින් මගේ මේ කරුණු දැක්වීම මගේ විවේචකයින් කෙරේ එතරම් බලපෑමක් කිරීමට ඇති ඉඩ බෙහෙවින් අඩුය.

මගේ පිළිතුර (මෙහි සැබවින් ම සාකච්ඡා වන්නේ නිර්මාල් මහතාගේ තර්කය සහ ඇතැම් කමෙන්ට් මගින් පළ කළ අදහස්ය)

ඇත්තට ම සෙරෙප්පුව බුද්ධි ප්‍රභාව ද ඇකඩමියානු විනය ද දෝතට ගෙන උපන් ශාන්ත ෆිලිප්තුමාගේ නම් අප වැනි සට්ටැම්ඹියන්ට, ක්ෂමාලා පකයින්ට එය අමෘතය සේ රස වීම අරුමයක් නොවේ. එහෙයින් ඒ සෙරෙප්පුව හපමි. 

නිර්මාල් මහතා මහින්ද ආණ්ඩුවේ විවිධ වැරදිවලට නලින් ද සිල්වා අමරසේකර පමණක් නොව අප වැනි ලිලිපුට්ටන් ද වග උත්තර කරුවන් කිරීමට උත්සාහ ගත්තේ ය. පසු ගිය දා මහින්දගේ බිලියන දෙකේ ගෘහ භාණ්ඩ ගැන මහින්ද විරෝධීන් ගැසූ කෙබර  පුවතකට නිර්මාල් මහතා අප ටැග් කළේ අප ඒ සඳහා අනියමින් වැරදිකරුවන් කරමිණි. එහි අරුත අප කුමන දේශපාලන පදනමක සිට මහින්දට සහාය දුන්නා ද ඔහු කළ වැරදිවලට ද අප වගකිව යුතු බව නොවෙද? එහෙත් එතුමා දැන් තම ක්‍රියාව තමාට ම පරාවළල්ලක් වූ විට ඉන් ගැලවෙනු පිණිස න්‍යායක් නිර්මාණය කර ගෙන තිබේ. ඒ න්‍යාය එදා සිය දේශපාලන විරුද්ධවාදීන් වෙනුවෙන් භාවිත නොකළ එතුමා එදා එතුමා සිටි තැන සිට අද අප ප්‍රශ්න කරන විට සිය ආත්ම ආරක්ෂාව සඳහා භාවිත කරයි. එය අසාධාරණ නැත. රටේ අධි ආරක්ෂිත කළාප, මාර්ග බාධක, පරීක්ෂා කිරීම්, නාවික මුර සංචාර අවම කරන අතර ජනාධිපතිතුමා බුලට් ෆ්‍රෘෆ් ජැකටයකින් සැරසීම ද සාධාරණ වන්නේ තමන්ගේ ආරක්ෂාව තමා සලසාගත යුතු නිසා ය.

1994 චන්ද්‍රිකා බලයට පත්වන සමයේ ජාතිකවාදයේ ප්‍රබලතාව සමඟ වර්තමාන ජාතිකවාදය සැසඳීම විහිළුවක් නො වන්නේ ශාන්ත ෆිලිප්තුමා වැනි බුද්ධිමතෙකුට ම පමණි. 1994 වන විට ජාතිකවාදය ප්‍රධාන දේශපාලන කතිකාවතෙහි ප්‍රධාන මතවාදයක් නොවිණි. අනෙක් අතට 17 වසරක නරුම එජාප පාලනය ජනතාවට තිත්ත වී තිබිණි. උතුර පමණක් නොව දකුණ ද ත්‍රස්තවාදයේ ගොදුරු බවට පත්ව තිබිණි. මේ තත්ත්වය තුළ චන්ද්‍රිකා එංගලන්තයේ සිට මෙරටට ආනයනය කළේ ද විහාරමහා දේවියට අන්දවා මිස දෝණ කතිරිනාට අන්දවා නොවේ. එහෙයින් 94 චන්ද්‍රිකා ලද 62%ක ෆෙඩරල්වාදය හෝ වෙන යම් බෙදුම්වාදයක් වෙනුවෙන් ලද ජන වරමක් යැයි අර්ථ කතනය කිරීම අප වන් ඇකඩමියානු විනයක් නැති සට්ටැම්ඹියන්ට කෙසේ වුව ද ෆිල්ප්තුමා වැනි ප්‍රාඥයින්ට නම් තරම් නොවේ. 

අනෙක් අතට චන්ද්‍රිකා ලද ජනවරමින් පසු රටේ ඒකීයත්වය නැති කිරීම සඳහා කරන ලද සියලු උත්සාහයන් සාර්ථක ලෙස ව්‍යවර්ථ කරන ලද්දේ ජාතිකවාදයේ නැඟීම විසිනි. රනිල් වික්‍රමසිංහගේ උත්සාහයන් ද අසාර්ථක වුයේ එලෙසිනි. බෙදුම්වාදයේ ඍජු ලංකා නියෝජිතයා වන රනිල් වික්‍රමසිංහ ඉතිහාසය පුරා දිගින් දිගට ම පරාජය වන්නේ රටේ බහුතර පිරිසක් ජාතිකවාදී නොවුණ ද බෙදුම්වාදය ප්‍රතික්ෂේප කළ නිසා ය. 2010 මෙන් ම 2015 ද රනිල් වික්‍රමසිංහට ජනාධිපතිවරණ අපේක්ෂකත්වය පවා නොලැබෙන්නේ ඒ නිසා ය. අද රනිල් මාර්කට් කළ නොහැකි තත්ත්වයට පත්ව සිටින්නේ ඔහුගේ බෙදුම්වාදී දේශපාලනය නිසා ය. මහින්ද රාජපක්ෂට එරෙහිව පාවිච්චි කිරීම සඳහා 2010 මෙන් ම 2015 ද ජාතිකවාදී කඳවුරෙන් කිසියම් ජාතිකවාදී හැඩයක් ඇති ෆොන්සේකා සහ මෛත්‍රී තෝරා ගැනීමට බෙදුම්වාදීන්ය සිදුවන්නේ ඒ නිසා ය. එසේ නොමැතිව රනිල් වික්‍රමසිංහ, චන්ද්‍රිකා බලයට ආශාවක් නැති නිසා නොවේ. ඒ මහින්ද වටා ගොඩ නැඟෙන ජාතිකවාදී බලය ජාතිකවාදී හැවක් සහිත පුද්ගලයෙකු භාවිත කර තනුක කිරීම සඳහා ය. නැතහොත් රැවටීම සඳහා ය. අනෙක් අතට දකුණේ ඡන්ද විශේෂයෙන් සිංහල බෞද්ධ ඡන්ද මෛත්‍රීපාලට ආකර්ශනය කර ගැනීමට හෙළ උරුමය, ෆොන්සේකා ඉටු කළ කාර්යභාරය අතිශය වැදගත් ය. රටේ ඒකීයත්වය ගරු කරන ඒ ඡන්දදායකයින් දැඩිව විශ්වාස කළේ පාඨලි, ෆොන්සේකා මෛත්‍රී පාලනයේ සිටින තුරු රටේ ඒකීයත්වයට ප්‍රශ්නයක් ඇති නොවන බව ය. මේ පිරිසෙන් කොටසක් මේ වන විට ඒ සිහිනයෙක් අවදි වුව ද තවමත් පිරිසක් පාඨලි ලා කෙරෙහි විශ්වාස කරති. 

එහෙත් මෙවැනි තත්ත්වයක් 1994 මේ රටේ නොතිබිණි. අවශ්‍යතාව තිබිණි නම් එකල කැමරන්ට හෝ ජෝජ්ර් බුෂ්ට මේ රටේ නායකයා විය හැකිව තිබිණි. එහෙත් අද තත්ත්වය වෙනස් වී තිබේ. ඒ ජාතික මතවාදය රටේ ප්‍රධාන දේශපාලන මතවාදයක් බවට පත්වීම නිසා ය. එය එසේ නොවේ යැයි සිතීමට ඇතැම් ජාතිකවාදී විරෝධි පිරිස් තුළ ඇති ආසාව අපට තේරුම් ගත හැකි ය. ඒ ආසාව මත පිහිටා තමා අත්දකින යථාර්ථයට පිටුපා තර්ක ගොඩනැඟීම ඇකඩමියානු විනය හෙයින් ඒ ගැන අප තුළ අරුමයක් නැත.   

 
සිය රට දේ සිරි සැප දේ !