Monday, May 9, 2016

අයියෝ ජවිපෙ

ජනතා විමුක්ති පෙරමුණේ නායකයාට එල්ල වී ඇති චෝදනාවලට පිළිතුරු නොදී චෝදනා එල්ල කළ එකාගේ ඇඟිල්ලේ වැරදි කියමින් නාහෙන් හැඬීම හෝ දිවයින කියවන්න එපා කියමින් පෝස්ටර් ගැසීම මගින් ඒම පක්ෂයේ නිවැරදි උපක්‍ර‍ම තේරීමේ හැකියාව මොනවාට කියා පායි. මෙවැනි තහනම් නියෝග ඔස්සේ පාලනය කළ හැක්කේ සිය පක්ෂයේ මොළ සේදු කාඩරයින් පමණි. දිවයින විසින් විශාල මුදලක් වියදම් කර ලබා ගත යුතු ප්‍ර‍චාරයක් නොමිලේ ම ලබා දීම පිළිබඳ දිවයින ජනතා විමුක්ති පෙරමුණට කෘතඥ විය යුතු ය. ඉදිරියේ දිවයින පුවත්පතේ අලෙවිය කැපී පෙනෙන ලෙස ඉහළ යනු ඇති බව මගේ උපකල්පනයයි. අනෙක් අතට ඉතිහාසයේ මාධ්‍ය පිළිබඳ ජනතා විමුක්ති පෙරමුණේ භාවිතාව ද රනිල් හාමුගේ මාධ්‍ය පිළිබඳ භාවිතාව ද වර්තමාන ජවිපෙ මාධ්‍ය පිළිබඳ භාවිතාව ද එක සමාන බව ඔවුන් කිසිදා නිවැරදි නොවන දේශපාලන ව්‍යාපාරයක් බවත් මෙමගින් සනාථ කර ඇත..

Sunday, May 8, 2016

ආණ්ඩුවේ කතාව සහ කල්ක්‍රියාව

රට අනාරක්ෂිත බවත් උතුරේ උතුරේ යුදමය තත්ත්වයක් නිර්මාණය වී ඇති බවත් කියමින් රට අස්ථාවර කිරීමට උත්හාස කරන පිරිස් ගැන ආණ්ඩුව පරීක්ෂණ ආරම්භ කර ඇත. ඒ අනුව රට අනාරක්ෂිත වී නැත. උතුර ද ඉතා ම සාමකාමී ය. එසේ නොවේ යැයි යමෙක් කියන්නේ නම් ඔහු රට අස්ථාවර කිරීමට උත්සාහ කරන්නෙකි. ඒ ගැන පරීක්ෂණ කළ යුතු ය.

ඒ අතර රජය ක්‍රියාවෙන් ම සිය තක්සේරුව නිවැරදි බව තහවුරු කළ යුතු ය. අගමැතිවරයා ආරක්ෂකයින් නොමැතිව වහලය රහිත කාරයක නැඟී ගමන් බිමන් යා යුතු ය. නැතහොත් සාමාන්‍ය කාරයක ගමන් බිමන් යාම ය. දුම්රියේ සාමාන්‍ය ජනතාව සමඟ පත්තරයක් කියවමින් ගමන් කළ යුතු ය. ජනාධිපතිවරයා බයිසිකලයක නැගී ගමන් කළ යුතු ය. සිය ඇමති මණ්ඩලයේ ආරක්ෂාව ඉවත් කර දැමිය යුතු ය. රටේ ජාතික ආරක්ෂාව පිරිහී ඇතැයි පවසන පාර්ශවයේ නායකයා වන මහින්දගේ ආරක්ෂාව තවත් වැඩි කර තමන්ගේ ආරක්ෂාව ලිහිල් කරමින් ජාතික ආරක්ෂාව පිළිබඳ සිය මතය නිවැරදි බවත් බයියන්ගේ මතය බොරුවක් බවත් ඔප්පු කර මෝඩ බයියන්ට කට උත්තර නැති කළ යුතු ය.  

එහෙත් ආණ්ඩුව කතාව සහ කල්ක්‍රියාව අතර බලවත් පරස්පරයක් නිර්මාණය කරමින් අගමැතිවරයාගේ ආරක්ෂාවට වෙඩි නොවදින මෝටර් රථ ගෙන්වීමට යයි. රට බලවක් ආර්ථික අර්බුදයක සිර වී ඇති අතර සහන කප්පාදු කරමින් බදු පිට බදු ගැසීම නිසා ජනතාව දැඩි පීඩනයකට ලක්ව ඇති මොහොතක ප්‍ර‍මුඛ කාර්යයක් ලෙස සලකා ලක්ෂ 6000ක් ගෙවා අගමැතිවරයාට වෙඩි නොවදින මෝටර් රථ රැගෙන ඒම තරම් මේ ටේ ජාතික ආරක්ෂාව පිරිහී ඇති බව තහවුරු කරන තවත් සාධකයක් තිබේ ද? 
 
සිය රට දේ සිරි සැප දේ !