Thursday, May 31, 2018

ජවිපෙ විස්ස අවසාන ඊළාම් තුරුම්පුව ද?

කිසිවකු සීදේවි යැයි කියා මූදේවිට වරක් දෙරවක් රැවටීම ඒ හැටි අරුමයක් නොවේ. එහෙත් දවල් වැටුණු වළේ රෑ වටෙන්නා සේ නැවත නැවත රැවටෙන්නේ නම් එය මහ ඛේදවාචකයකි. මෙවැනි තත්ත්වයකට රටක ජනතාව වැටුණ කල ඒ රට දිනෙන් දින අගාධයට යනු මිස ගොඩ ඒමක් නම් නැත. අද අපෙ රට හමුවේ ඇත්තේ එවැනි ඛේදවාචකයකි. 

2015 යහපාලනය යන සර්ව පිත්තල වචනවලට මුවා වී විදෙස් බලවේග රටේ පාලනය ජනතාවගෙන් උදුරා ගත්තේය. කොටි ත්‍රස්තවාදය පරාජය කොට රටට සංවර්ධනයේ අරුණළු රැගෙන ආ ආණ්ඩුව බිඳ දැමූ සුද්දෝ we are part of this victory යැයි උදාන වාක්‍ය පැවසූහ. එය කෙතරම් ජුගුප්සාජනක කුමන්ත්‍රණයක් කිවහොත් සිය ජනාධිපතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශනය ලීවේ කවුද කියා එදා පත් වූ ජනාධිපතිවරයා පවා තවම දන්නේ නැත. 

එතෙක් පැවති නිවහල් රට දැන් බටහිර ඉන්දිය කොලනියකි. බටහිර ඉන්දිය ස්වාමීවරුන්ගේ උවමනා එපාකම් අනුව ඔවුන් විසින් පත් කළ ආණ්ඩුව සහ ආණ්ඩුකාරවරු අද රට පාලනය කරති. යහපාලන සුනාමියට පසු රට පාලනය කිරීම යනුවෙන් සිදුවූයේ ජනාධිපතිවරයාම පවසන පරිදි ඔහු පවා නොදන්නා බලවේගයක් විසින් ලියා දුන් කොලයක් අනුව වැඩ කිරීමය. (අදත් සිදුවන්නේ එයම බව කිව යුතුද?) එතෙක් පැවති ආසන 142ක් සහිත ආණ්ඩුව පෙරළා දමා ආසන 42කින් සමන්විත එජාප නායකයා අගමැති කෙරිණි. ලෝක පාර්ලිමේන්තු ඉතිහාසයේ මෙවැනි විගඩමක් සිදු වූ පළමු සහ අවසාන අවස්ථාව එය විය යුතුය.

රට ප්‍රජාතන්ත්‍රවාදයෙන් සුඛිත මුදිත කිරීමට 19 වෙනි ව්‍යවස්ථා සංශෝධනය ගෙන වඩම්මා ගෙන ආවේ ඊට පසුය. මේ සංශෝධනය සමග රටේ අධිකරණය, රාජ්‍ය සේවය, පොලිසිය ආදි ආයතන ස්වාධීන වී ජනතාගේ මානව අයිතිවාසිකම් සුරක්ෂිත ශිෂ්ට දේශයක් උදාවන බවට නියත විවරණ ලැබිණි. එහෙයින් 19 නමැති මල් වට්ටියට අත ගැසීම රටේ ප්‍රජාතන්ත්‍රවාදය ගරු කරන සියලු බලවේගවල පරම යුතුකම සහ වගකීම බව පරසක්වළ ගැසුවේය. 

හොරු අල්ලන්න බලයට පැමිණි පාලකයන් මහ බැංකුව කොල්ලකෑවේ මේ අතරය. ඕනෑම රටක බැංකු කොල්ලයක් සිදු විය හැකි වුවද රටක ආණ්ඩුවක් විසින් සිය රටේ මහ බැංකුව කොල්ල කෑ ඉතිහාසයේ ප්‍රථම සහ අවසාන අවස්ථාව එයයි. 2015 උදා වු යහපාලනයට සහ 19 වෙනි ව්‍යවස්ථා සංශෝධනය ඔස්සේ බලගැන්වූ දේශපාලන ඇඟිලි ගැසීම් නොමැති නීතියේ ආධිපත්‍යයට පිං සිදුවන්නට සිංගප්පූරුකාරයකුට රටේ මහ බැංකුව රිසි සේ කොල්ලකා නිදහසේ නැවත සිය රට බලා ගොස් ජීවත් වීමේ භාග්‍ය උදාවිය. 2014 වන විට කොටි සංවිධානයේ ජාත්‍යන්තර සබඳතා ජාලයේ ප්‍රධානියා වූ කේපී මැලේසියාවට ගොස් රැගෙන ඒමට තරම් ප්‍රබල බුද්ධි අංශයක් සහ ජාත්‍යන්තර සබඳතා ජාලයක් පැවති රටක එවැන්නක් සිදුවීම කෙතරම් උත්ප්‍රාසජනකද?

මේ මහා සහගහන අපරාධයට එරෙහිව ඒ අපරාධයේ මහා මොළකරුට එරෙහිව පාර්ලිමේන්තුවට ගෙන ආ විශ්වාසභංගය මහ බැංකුවෙන් කොල්ල කෑ මුදල් සහ කොටි ඩයස්පෝරාව පිට රටවලින් පොම්ප කළ මුදල්වලින් මිලට ගත් මැති ඇමතිවරු ලවා පරාජයට පත් කෙරිණි. ජනතා මුදල් මහ දවල් කොල්ලකෑ බැඳුම්කර හොර රැළ පාර්ලිමේන්තුවේ දී ආරක්ෂා කළ කල්ලියේ මන්ත්‍රීවරු සියයකට වැඩි පිරිසකට එලෙස ජනතාවගෙන් කොල්ලකෑ මුදල් අල්ලස් ලෙස ලබා දී ඇති බව දැන් රටට රහසක් නොවේ. මේ අතර 20 වෙනි සංශෝධනය ගෙන එන ජවිපෙ නායකයන් ද සිටින බව පැවසෙයි.

මහ බැංකු හොරුන්ගෙන් පගා ගෙන විශ්වාසභංගය පරාජය කිරීමට අත එසවූ සරත් ෆොන්සේකලා ගම්පෙරළියේ නන්දා පියල් දුන් ලියුම අල්මාරිය අස්සට විසි කළා වැනි විහිළු කතා කියමින් මේ රටේ ජනතාවගේ බුද්ධියට නිගා දෙනු බලා සිටීමට අද අපට සිදුව තිබේ. සැබවින්ම 19 වෙනි ව්‍යවස්ථා සංශෝධනය ඔස්සේ සිදුව ඇත්තේ මෙවැනි මහා අපරාධයක් සිදු වුව ද පියවරක් ගත නොහැකි තැනට විධායක ජනාධිපති ධුරයේ තටු කපා දැමීම පමණි. නො එසේ නම් 2015 ජනවාරි 9 වෙනිදා ආසන 142ක් සහිත සන්ධානයක් යටතේ දි.මු. ජයරත්න අගමැති ධුරයේ සිටියදීම ආසන 42ක් පමණක් තිබූ රනිල් අගමැති කළ මෛත්‍රීපාල සිරිසේනට දැන් රනිල් පහකර වෙනත් අගමැතිවරයකු පත් කිරීමට කිසිම නොහැකියාවක් නැත. 

අවසානයේ ආණ්ඩුව රටට කෙතරම් විනාශකාරී වුවත් වසර හතරහමාරක් ගෙවෙන තුරු එය විසුරුවා හැරීමේ බලය 19 වෙනි ව්‍යවස්ථා සංශෝධනය විසින් ජනාධිපතිවරයාගෙන් උදුරා ගෙන තිබේ. වෙනත් ලෙසකින් කිවහොත් 2003 චන්ද්‍රිකාට රනිල් පාලනය කර ගැනීමට තිබූ බලය අහිමි කර තිබේ. මේ වන විට ජනතාවගේ ජීවන බර, විරැකියාව ඉහළ ගොස් රටේ සියලු ආර්ථික දර්ශක පහළ වැටී දූෂණය ඉහවහා ගොස් රටම දෙකොණ විලක්කුවක් සේ ඇවිළි ගිය ද රටේ ජනාධිපතිවරයාට කළ හැක්කේ අනාරාධිතව උත්සව සභාවලට ගොස් කලින් කී බොරු වෙනුවට අලුත් බොරු කියා ඇදගෙන නෑමට පමණි. 

යහපාලන නියමුවකු වූ සෝභිත හිමිගේ සැමරුමට ඇමතිකමින් පහ කළ පිවිතුරු රවී කරුණානායක වැනි අයකුට පවා ආරාධනා කරන පසුබිමක එම බලවේගය විසින් බලයට ගෙන ආ වත්මන් ජනපතිට ආරාධනා නොකිරීමෙන් 19 ඔස්සේ ජනපති ධුරයට අත්ව ඇති ඉරණම, මේ ආණ්ඩුව තුළ ඇති ගිනි කන්ද පමණක් නොව යහපාලන විහිළුවේ සැබෑ හෙළු ද ප්‍රදර්ශනය වෙයි. 

මෙවැනි පසුබිමක 20 වෙනි සංශෝධනය ඔස්සේ රටේ ජනාධිපතිවරයා තෝරා ගැනීමට රටේ ජනතාවට ඇති බලය ඒ ජනතාවගෙන් උදුරා ගෙන පාර්ලිමේන්තුවට පැවරීමට යෝජනා කිරීම අප අවබෝධ කරගන්නේ කෙසේද? එහි අරමුණ කුමක්ද? බැඳුම්කර හොරුන්ගෙන් පාගා ගෙන ඒ හොරකමට එරෙහි විශ්වාසභංගය පරාජය කිරීමට අත එස වූ හොර කල්ලියකට මේ රටේ ජනාධිපතිවරයා තේරීමේ බලය ලබා දෙන්නේ රටේ ප්‍රජාතන්ත්‍රවාදය සුරක්ෂිත කිරීමට යැයි අප සිතිය යුතුද? 

සැබවින්ම 20 වෙනි ව්‍යවස්ථා සංශෝධනය ඔස්සේ සිදු කිරීමට උත්සාහ කරන්නේ රටේ විධායක ජනාධිපති ධුරය වෙනුවට විධායක අගමැති ධුරයක් නිර්මාණය කිරීමටය. බෞද්ධ ලේබලය සහිත පොදු අපේක්ෂකයකු ලවා පවා ඉටුකරගත නොහැකි වූ ඊළාම් ගමනේ ඊළඟ පියවර තැබීමට නූතන ඩොයිලි වන රනිල් වික්‍රමසිංහ පන්නයේ නායකයකු රටේ විධායකය බවට පත් කළ යුතුය. ඒ රනිල් වික්‍රමසිංහ, රාජිත සේනාරත්න හෝ මංගල සමරවීර වැන්නකු විය හැකිය. එවැනි අයකුට රටේ සමස්ත ජනතාවගේ ඍජු ඡන්දයෙන් ජනාධිපති ධුරයට පත් විය නොහැකිය. ඒ බහුතර සිංහල ජනතාව මෙවැනි පිල්ලිවලට එරෙහිව ඡන්දය භාවිත කරන නිසාය.

එහෙයින් කුමන නූල් සූත්තරය මගින් හෝ රටේ විධායකය තෝරන බලය ජනතාවගෙන් උදුරා ගෙන පාර්ලිමේන්තුවට ගතයුතුය. එවිට අර්ජුන් ඇලෝෂියස්ට පවා සල්ලිවලට ගත හැකි සරත් ෆොන්සේකලා වැනි සිංහල යැයි කියන මැති ඇමතිලා කොටි ඩයස්පෝරවේ මුදලින් මිලට ගෙන එජාප, ජවිපෙ, දෙමළ සන්ධානය ඇතුළු සුළු වාර්ගික පක්ෂ මන්ත්‍රීවරුන්ගේ ද සහාය ඇතිව බෙදුම්වාදී පිල්ලියක් රටේ විධායකයට පත්කිරීම ඒ හැටි කජ්ජක් නොවේ. 

ඒ සඳහා කළ යුත්තේ යහපාලනය, ප්‍රජාතන්ත්‍රවාදය, මානව අයිතිවාසිකම් වැනි බැලූ බැල්මට අතිශය සාධාරණ සටන් පාඨ ඔස්සේ විධායකය මහා භයානක යකකු කර ජනතාව සතු විධායකය තෝරන බලය බෙදුම්වාදී බලවේගවලට මුදල් බලයෙන් පාලනය කළ හැකි පාර්ලිමේන්තුවට ගැනීමය. කෙසේ හෝ මේ බාධකය ජය ගත හොත් පළමුව 13 වෙනි සංශෝධනය සම්පූර්ණයෙන් ක්‍රියාත්මක කිරීම ඔස්සේ උතුරේ ඊළාම් රාජ්‍යය බිහි කර ගැනීමට වසර කිහිපයකට වඩා ගත වෙතැයි සිතිය නොහැකිය. 

එහෙයින් මේ ගොනා හැරෙන්නේ පොල් පැලයට බව ජාතිය වහා අවබෝධ කර යුතුය. බෙදුම්වාදී බලවේග ජවිපෙ ලවා උත්සාහ කරන්නේ 20 නමැති අවසාන ඊළාම් තුරුම්පුව ගැසීමටය. එය පරාජය කරනු හැර විකල්ප නැත. එපමණක් නොව 19 වැනි සංශෝධනය ඔස්සේ සිදු වූ මහා නස්පැත්තිය වහාම නිවැරදි කිරීමට පෙරමුණ ගත යුතුය. මේ රටේ ජනතාව 2015 යහපාලන විප්ලවය ඔස්සේ ලැබුණු ප්‍රජාතන්ත්‍රවාදය රහ බලමින් නැවත ඒ බොරුවට රැවටෙන්නේ නම් මේ රටට අනාගතයක් තිබිය නොහැකිය.   

Friday, May 25, 2018

යාපනේ පුස්තකාලය ගිනි තැබුවේ කවුද?



අපි පොත් 97 000ක් සමග යාපනය පුස්තකාලය ගිනි තැබීමට තරම් ශ්‍රේෂ්ඨ ජාතියක් වූයෙමු යැයි ධර්මසිරි බණ්ඩානායක මහතා සෝපාහාසයෙන් පවසා තිබේ. ඔහු මේ කියන්නේ යාපනට පුස්තකාලය ගිනි තැබුවේ සිංහලයා බවය. 2500 වසරක අභිමාණවත් ඉතිහාසයක් සහිත ශ්‍රේෂ්ඨ ජාතියක් යැයි කියන සිංහලයා එවැනි නීච ක්‍රියාවක් කිරීමට තරම් අශිෂ්ට බවය.
එහෙත් කලාකරුවකු, උගතකු තබා සාමාන්‍ය නූගත් සිංහලයකු පවා දළඳා මාළිගාවට ගැහුවේ දෙමළා යැයි කියන්නේ නැත. ශ්‍රී මහා බෝධිය අසළ සිත් ගත් උවැසි උවැසියන් මරා දැමුවේ දෙමළා යැයි කියන්නේ නැත. ඔවුන් කියන්නේ මාළිගාවට කොටි ගැසුවා හෝ ශ්‍රී මහ බෝධියට කොටි ගැසූවා කියාය. එම ත්‍රස්ත ක්‍රියා සාමාන්‍ය දෙමළ ජනතාවගේ ප්‍රහාර නොවන බව අවබෝධ කර ගැනීමට නොහැකි තරම් ඒ ජනතාව මන්ද බුද්ධික නැත.
ධර්මසිරි බණ්ඩාරනායක මහතාගෙන් ඒ ගැන විමසුවහොත් කියනු ඇත්තේ එය විමුක්ති කොටි සංවිධානයේ ක්‍රියාවක් බවය. පීඩිත ජනතාවගේ විමුක්ති අරගලවල දී එවැනි දෑ සිදුවන බවත් තමන් හැම විටම අරගලය සමග සිටින බවත් කියනු ඇත. කොටින්ම එම ප්‍රහාර බෞද්ධයාගේ මුදුන් මල්කඩ වන් දළඳා මාළිගාවට සහ ශ්‍රී මහ බෝධියට පහර දීමට තරම් දෙමළා ශ්‍රේෂ්ඨ ජාතියක් වූයේ යැයි ඔහු කිසි විටක උත්ප්‍රාසයට නඟන්නේ නැත. එම ඛේදවාචක වර්ගවාදී ලේබල අලවා දෙමළාට පහර දෙන්නට යොදා ගන්නේ නැත.
යාපනය පුස්තකාලයට ගිනි තැබූවේ 1981 ජුනි 1 වෙනිදාය. ඊට හේතුව වූයේ ඊට පෙරදා එනම් මැයි 31 වන දා යාපනේ පැවති ද්‍රවිඩ එක්සත් විමුක්ති පෙරමුණේ දේශපාලන රැලියකට ආරක්ෂාව සපයමින් සිටි සිංහල පොලිස් නිලධාරීන් තිදෙනකු වෙඩි තබා ඝාතනය කිරීමය. ඒ සමග උසි ගන්වනු ලැබූ පිරිසක් යාපනය පුස්තකාලය ගිනි තබා ද්‍රවිඩ එක්සත් විමුක්ති පෙරමුණේ කාර්යාලට ද පහර දුන්හ.
යාපනය පුස්තකාලයට ගිනි තැබීම බුදුන් වහන්සේට වෙඩි තැබීම වැනි සිද්ධියක් බව 2006 වසරේ දී මහින්ද රාජපක්ෂ ප්‍රකාශ කළේය. යාපනය පුස්තකාලය ගිනි තැබීම පිළිබඳ එවක පැවති තම එජාප ආන්ඩුව වෙනුවෙන් කනගාටුව ප්‍රකාශ කරන බව රනිල් වික්‍රමසිංහ 2016 වසරේ දී ප්‍රකාශ කළේය. ඔහු කනගාටුව ප්‍රකාශ කරන විට එදා එජාප ආණ්ඩුව ඇති කළ කළු ජූලිය, යාපනය පුස්තකාලය ගිනි තැබීම ඔස්සේ බුර බුරා ඇවිළුණු වර්ගවාදී ඊළාම් ගින්නට ජීවිත දහස් ගණනක් බිලි වී තිබිණි.
එජාප මැරයන් විසින් කළ මේ නිහීන ක්‍රියා නිසා ඇවිළුණු ගිනි නිමා දැමූ පසු ධර්මසිරි බණ්ඩාරනායකලා නැවත පරණ තුවාල පාරන්නේ හුදෙක් එකිනෙකා අතර වෛරය අවිශ්වාසය නැවත ඇවිළීම පිණිසය. ඒ ගින්නෙන් සුරුට්ටු දැල්වීමටය. එය මේ රටේ සාමයට ළැදි සිංහල දෙමළ මුස්ලිම් සියලු දෙනා අවබෝධ කරගත යුතුය. එසේම මේ විනාශය පිටිපස සිටි සැබෑ අපරාධකරු එජාපය බව සඟවා සිංහලයාගේ ඇඟෙ ගසන්නේ වර්තමාන එජාප පාලනය ආරක්ෂා කිරීමට බව වටහා ගැනීම වැදගත්ය.
අනෙක් අතට එම පුස්තකාලයේ තිබූ පැරණි පුස්කොල පොත්වල ලියා තිබුණේ යාපනේ දෙමළ ජනතාවගේ ඉතිහාස කකාව ද බව ද ඒවා විනාශ වීම ඔස්සේ අහිමි වූයේ සිංහලයාගේ උතුරේ ඉතිහාසය වීමට ද ඇති ඉඩ බෙහෙවින් වැඩිය. එසේ බලන කල යාපනය පුස්තකාලය ගිනි තැබීම ආශීර්වාදයක් වී ඇත්තේ බෙදුම්වාදීන්ට මිස මේ රටට ආදරය කරන පිරිසට නොවේ.
කෙසේ වුව ද තම සිත් සතන්හි පුපුරු ගසන සිංහල බෞද්ධ විරෝධය මේ ආකාරයට එළියට දැමීම පිළිබඳ අප සතුටු විය යුතුය. එවිට මේ රටේ කලාකරුවන්ට, බුද්ධිමතුන්ට මුවා වී සිටින භයානක අවතාර හොලමන් හඳුනාගත හැකිය. මේ රටේ සිංහල දෙමළ විරසකය කිසි දිනක සුව නොවන්නට ඉඩ දෙන්නේ මෙවැනි මානව හිතවාදී යැයි කියන වර්ගවාදී, බෙදුම්වාදී, සිංහල බෞද්ධ විරෝධීන් බව අප හඳුනාගත් දිනයක මේ රටට සාමය උදාවනු ඇත. මේ බලවේග විසින් ගොඩනඟන ප්‍රාකාර බිඳ දමා සිංහල දෙමළ ජනතාව නැගෙනහිර බටහිර ජර්මනිය මෙන් නැවත එක්වනු ඇත.

Tuesday, May 1, 2018

කිත් නෝයර්ට ගැහුවේ ගෝඨාද?

යුද හමුදාව හමුදාපතිගේ පෞද්ගලික බූදලයක් නොවේ යැයි නේෂන් පත්තරේ කර්තෘ කිත් නෝයර් ලිපියක් ලීවා යැයි ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ ඔහු පැහැර ගෙන ගොස් පහර දෙන්නේ ඇයි?
එම පැහැර ගැනීම කළේ ගෝඨභය නම් එවකට විපක්ෂ නායක වත්මන් අගමැති රනිල් වික්‍රමසිංහ පාර්ලිමේන්තුවේ දී කිත් නොයර් පැහැර ගත්තේ හමුදාපති සරත් ෆොන්සේකාගේ කණ්ඩායම යැයි කීවේ ඇයි?
එජාප පාර්ලිමේන්තු මන්ත්‍රී ජෝෂප් මයිකල් පෙරේරා ද එම චෝදනාවම කළේ ඇයි? සරත් ෆොන්සේකා එම චෝදනාව යටතේ වහාම අත්අඩංගුවට ගතයුතු බවට ඔවුන් ආණ්ඩුවට බලකළේ ඇයි?

අනතුරුව සරත් ෆොන්සේකා ජනාධිපතිවරණ පොදු අපේක්ෂකයා බවට පත් වූ පසු ඔහු නිවැරදිකරු බවට පත් වූයේ කෙසේද? කොළඹින් ඡන්ද 5000ක් ලබා අන්ත පරාජයට පත් සරත් ෆොන්සේකාට පාර්ලිමේන්තු අසුනක් ලබා දී කැබිනට් ඇමතිකමක් ද ලබා දුන්නේ එම චෝදනා ඉල්ලා අස්කරගෙන ද?
සරත් ෆොන්සේකා එජාපය සමග සිට ගන්නා තුරු එල්ල වූ කිත් නොයර්ට පැහැර ගැනීමේ චෝදනාව අනතුරුව ගෝඨාභය වෙත එල්ල වන්නේ උපන් දා සිට කරපු පව් නැත වරක් වැන්දොත් කැලණියේ යැයි කියන්නාක් මෙන් එජාපය සමග සිටගත් විට ෆොන්ස්කා කළ සියලු පව් සේදී ගෝඨාට ඒ පව් ආරෝපණය වූ නිසාද?

විධායක ජනාධිපති ධුරය අහෝසි කරන්නේ ඇයි?

13 වන ව්‍යස්ථා සංශෝධනය සහ පළාත් සභා පනත ශ්‍රේෂ්ඨාධිකරණයට යොමු වූ අවස්ථාවේ එය විභාග කර තීන්දුව ලබා දීමට අගවිනිසුරු එස්. ෂර්වානන්ද ඇතුළු විනිසුරුවරුන් නව දෙනකු සහභාගී වී තිබේ. අගවිනිසුරු ඇතුළු විනිසුරුවන් පස් දෙනෙකුගේ මතය වී ඇත්තේ එමගින් රට ෆෙඩරල් ස්වරූපයකට යොමු නොවන බවයි.
එහි දී ඔවුන්ගේ මූලික තර්කය වූයේ පළාත් සභාවලට ලැබෙන විධායක බලතල ට ෆෙඩරල් නොවන බවය. ඉතිරි විනිසුරුවරුන් 4 දෙනා ඊට එකඟ වූයේ නැත. එහෙයින් 13 වැනි ව්‍යවස්ථා සංශෝධනය අනුමත වීමට පාර්ලිමේන්තුවේ 2/3 පමණක් නොව ජනමතවිචාරණයක් ද අවශ්‍ය බව ඔවුන්ගේ මතය විය. කෙසේ වුව ද බෙදුණු තීන්දුව බහුතර මතය ක්‍රියාත්මක විය.

විධායක ජනාධිපතිවරයා විසින් ආණ්ඩුකාරවරයා ඔස්සේ ප්‍රධාන ඇමති හා ඇමති මණ්ඩලයට ලබා දෙන හෙයින් ද එය අවසානයේ ජනාධිපතිගේ පාලනයට යටත් වන හෙයින් ද 13න් රට ෆෙඩරල් නොවන බවය.

එදා 13 නිසා රට ෆෙඩරල් නොවන්නේ යැයි කී පිරිස ද එසේ කීවේ විධායක ජනාධිපති ධූරය නිසා රටේ ඒකීයභාවය සුරක්ෂිත වන්නේය යන තර්කය මත පිහිටාය. එසේ නම් විධායක ජනාධිපති ධුරය අහෝසි කළ විට රට ෆෙඩරල් නොවන්නේ ද? විධායක අගමැතිවරයාට එම බලතල ලබා දෙන බවට බෙදුම්වාදීන් පවසන මතය අප පිළිගත යුතුද?
එම බලතල විධායක අගමැතිවරයාට ලබා දීමට ඔවුන් උත්සාහ කරන්නේ ඇයි? එම බලතල විධායක ජනාධිපතිවරයා යටතේ පවතිනවාට වඩා විධායක අගමැතිවරයා යටතේ තැබීමට ඔවුන් කැමති වන්නේ කුමන අරමුණකින් ද? එමගින් රටේ ඒකීයභාවය තවත් දුර්වල කළ හැකි නිසා ද? මේ හැරෙන්නේ පොල් පැලයට නෙමේද? ඒ රටේ ඒකීයභාවය රැකීමට ද නැතිනම් නැසීමට ද?
අවිචාරයේ 19 වෙනි ව්‍යවස්ථා සංශෝධනයට අත උස්සා විධායක ජනාධිපති ධුරය දුර්වල කළ ගමනේ දෙවන ඉනිමට ඒකාබද්ධ විපක්ෂයේ ඇතැමුන් සහාය වන්නටය සුදානම් වන්නේ 19 නිසා රටට සිදු වූ හානිය පිළිබඳ තක්සේරුවක් ඇතිව ද? අද රටම අරාජික වී ඇත්තේ 19 නිසා නොවේද?
 
සිය රට දේ සිරි සැප දේ !