Sunday, May 30, 2010

තිතට මත

මතට තිත වැනි වැඩසටහන් ඉතා යහපත් වුවද එහි ක්‍රියාකාරීත්වය පිළිබඳ අපට සෑහීමකට පත්විය නොහැකිය. ඇතැම් ඇමතිවරු පහුගිය කාලයේ චයිනීස් යන නාමය යටතේ නව පන්නයේ තැබෑරුම් විවෘත කළ අතර මතට තිත, තිතට මත විය. සෑම අයවැයකින් ම මත්ද්‍රව්‍යවලට පනවන බදු මුදල් ඉහළ දැම්ම ද භාවිතයේ විශාල අඩුවක් දක්නට නොලැබේ. කෙසේ වුවද ගමේ කසිප්පු මුදලාලිට නම් මේ ආණ්ඩුව එතරම් යහපත්වී නැත. මේ නිසා අහළ පහළ තැබෑරුම්වල ආදායම් ඉහළ ගොස් තිබේ. මෙය කසිප්පුකාරයින්ගේ මානව අයිතිවාසිකම් උල්ලංඝනය කැයි ඇතැම් බ්ලොග්කරුවන් ලියන්නට බැරිකමෙක් ද නැත.

ආණ්ඩුව යැපෙන්නේ මත්ද්‍රව්‍ය මත පනවන බදුවලින් යැයි කීව ද එසේ බදු ලෙස ලැබෙන්නේ ද.ජා.නි. 12%කි. මත්ද්‍රව්‍ය භාවිතය නිසා රෝගී වන අයට ප්‍රතිකාර කිරීමට ද.ජා.නි.22%ක් වැය වන නිසා එහි සත්‍යයක් නැති බව පැහැදිළි වෙයි. මේ නිසා අයවැයෙන් මත්ද්‍රව්‍යවල බදු ඉහළ දමන අතර මත්ද්‍රව්‍ය භාවිතය අධෛර්යමත් කිරීමට තවත් පුළුල් ක්‍රියා මාර්ගවලට යා යුතුය. ආණ්ඩුවේ ප්‍රතිපත්තිවලට පටහැනිව යන ඇමතිහොරු ගැන තීන්දුවක් ගත යුතුය. මත්ද්‍රව්‍ය භාවිතයේ ඇති ආදීනව ජනතාව අතරට ගෙන යාමට මීට වඩා පුළුල් ක්‍රමවේද අනුගමනය කළ යුතුය. ඉස්සර මෙන් දැන් බස්වල සිගරට් උරන්නන් නැත. සිගරට් තව දුරටත් සමාජ තත්ත්වය නිරූපණය කරන දෙයක් ද නොවේ.

දුම්වැටියේ එක් කෙළවරක ගිනි දැල්වී ඇතැයි ද අනෙක් කෙළවර මෝඩයෙක් එල්ලී ඇතැයි ද කීවේ මහත්මා ගාන්ධිතුමාය. මේ මෝඩයෝ අතර ආචාර්ය මහාචාර්යවරු, ගුරුවරු, චීවරධාරීහු ඇතුලු උගත් නූගත් සමස්ත සමාජයේ සියලු පැතිකඩ නියෝජනය කරන උතුමෝ ම වැජඹෙති. ප්‍රසිද්ධ ස්ථානවල දුම්පානය තහනම් කර එසේ කරන අය නීතියේ රැහැනට හසු කර ගැනීමට බලය පවරා ඇති පොලිස් රාලහාමිලා තැන් තැන්වල හොරා දුම් උරමින්, දුම් උරන්නන් නීතියේ රැහැනට හසු කර ගැනීමට බලා සිටිනු අප දැක තිබේ. මේ සියලු දෙනාට මරුවාගෙන් ගැලවීමක් නැත. මරුවා මේ සියලු දෙනා අකාලයේ සිය වසඟයට ගනී. කෙසේ වුව ද දුම් නොඋරන අය අක්‍රිය දුම්පානයට ගොදුරු වීම භයානකය. ඊට එරෙහිව ඔබ සැම විටම ක්‍රියාත්මක විය යුතුය.

Saturday, May 29, 2010

දළඳා පෙරහැර නවතව්!

විනයෙන් තොර දැනුම භයානකය. එතැන බුද්ධිය ද නැති වූ කල අතිභයානකය. මිනිසා අතට පත් දැනුම සිය බුද්ධිය නමැති කෝවෙහිලා උණුකර, විනය නම් පෙරහන් කඩින් පෙරාගත යුතුය. එකලය ඒ දැනුම සමාජයට හිතකර වන්නේ. විනයක් නැති අනුවණයින් ලබන දැනුම සෑම කල්හිම විනාශකාරී වන්නේ පෙරකී ක්‍රියාවලිය සිදු නොවන හෙයිනි. ඒ දැනුම වඳුරාට දැළි පිහිය අහුවීමට නොදෙවෙනිය.

උක්ත කාරණාව මැනවින් පැහැදිලි වන්නේ;ඇතැම් බ්ලොග් අඩවි බලන විටය. මොවුන්ට අනුව දුටුගැමුණු රජු කළේ ආගමික යුද්ධයකි. මහායානික අභයගිරිය විනාශ කිරීම ආගමික සංහාරයකි. ඒ නයින් සෙසු ආගමිකයින් තම ආගම ව්‍යාප්ත කිරීමට කරන ලද සියලු ආක්‍රමණ, සංහාර බෞද්ධයින් ද කර තිබේ. ළමුන් මහණ කිරීම ළමා අයිතිවාසිකම් උල්ලංඝයකි. සිය මානසික විකෘතිවලට ගැළපෙන මතවාද නොදරන්නන් අන්තවාදීන් යැයි හංවඩු ගසන මොවුන්ට තමන් සිටින අගාධය නොපෙනේ. තමන් කරපින්නා ගෙන සිටින අන්තවාදය නොපෙනේ. තම දැනුම් දරිද්‍රතාව කිසි කලෙක නොපෙනේ.

බටහිරින් ගලා එන ඕනෑම කසිකබල් මතවාදයක් කරගසා ගෙන අප නම් ප්‍රබුද්ධයින් වම්හයි පාරම් බෑම පමණි; මේ කූප මණ්ඩුකයින්ට කළ හැක්කේ. මොවුන්ට සිය ස්වාමිවරුන් උගන්වා ඇත්තේ 'තම මතවාද දරන්නා මිනිසෙකි; අනෙකා ත්‍රස්තවාදියෙකි' කියාය. ඉතින් බටහිර මානව අයිතීන්, ළමා අයිතීන් දිවි හිමියෙන් 100% ආරක්ෂා කළ යුතුය. නැත්නම් අපි අසමත්ය. ආක්‍රමණයකට එරෙහිව සටන් වැදීම ද අපරාධයකි. එය ආගමික සංහාරයකි.

ඉදිරියේදී මොවුන් සත්ව අයිතිවාසිකම් උල්ලංඝනය වන හෙයින් ජාතික කොඩියෙන් සහ සඳකඩ පහනින් සිංහයා ඉවත් කළ යුතුයැයි කියනු ඇත. අලි ඇතුන්ගේ අයිතීන් සුරක්ෂිත කිරීමට දළඳ පෙරහැර නවතන්නැයි කියනු ඇත. ඉන් නොනැවතී කාන්තා අයිතිවාසිකම් සුරැකීමට ළමා ප්‍රජනන කාර්යය තමන් වෙත පවරන්නැයි කීවත් අප පුදුම විය යුතු නැත.

තායිලන්තයේ මෙන් සියලු බෞද්ධයින් කලක් සිවුරේ සිටීමේ සම්ප්‍රදායක් මෙරට නොතිබීම මෙවන් අසංස්කෘතික මිනිසුන් බිහිවීමෙහිලා කළ බලපෑම සුළුපටු නැත. ඉතිහාසය, සාහිත්‍යය උදුරාගත් මුල් සිඳුණු පරපුරකින් මීට වඩා යමක් ලැබීය හැකිද කියා වරෙක සිතෙයි.

Friday, May 28, 2010

තරු සහ මෙරු

මේ රටේ රූපවාහිනී ජාලය සිය ප්‍රමුඛ මාධ්‍ය වගකීම ලෙස සලකන්නේ ගායක තරු තේරීමය.මේ සංදර්ශන ගොන්න දකින පිටරැටියෙකුට ඉතිහාසය පුරා ලංකාවේ කිසිදු ගායකයෙක් බිහිව නැතැයි ද එහෙයින් මෙසේ වහා වහා ගායකයින් තෝරනු ඇතැයි ද සිතෙනු ඇත. මේ තරු තේරීම ඇරඹී දැන් වසර කිහිපයක් ගතව ගොස්ය. රුපියල් මිලියන ගණනින් වපුරමින්, රටක් කළඹමින් තේරු එකදු sms තරුවක් නව පරපුරේ කසුන් කල්හාර අසලටවත් ළං වේද? අද ආපසු හැරී බලන අප හමුවේ නැගෙන ප්‍රශ්නය, මේ තරගවලින් අපට එකදු ප්‍රතිභාසම්පන්න ගායකයෙක්, සංගීතවේදියෙක් බිහි කරගත හැකි වීද යන්න නොව, එසේ කළ නොහැකි වූයේ ඇයිද යන්නය.

මූලිකව මේ මාධ්‍ය ආයතන සඳහා අවැසි වූයේ සංගීත ක්ෂේත්‍රයට ඵලදායි නිෂ්පාදයක් බිහි කරනට නොව තම වෙළඳ අභිලාෂ ඉටුකර ගැනීමටය.එහෙයින් ඒ තරුවල සංගීත හැකියාව, ප්‍රතිභාව, පසුබිම හැර සෙසු සියල්ල විනිශ්චය කෙරිණි.යෞවනෝන්මාදයට අවැසි සරාගී රූපසපුව, පේක්ෂක අනුකම්පාව දිනාගත හැකි දුප්පත්කම,වෛද්‍ය වැනි රටේ සම්භාවනාවට ලක්වන විෂය හැදෑරීම ආදිය එහිලා ප්‍රමුඛ විය.මේ ඔස්සේ පේක්ෂක මනස සන්තර්පණය කරමින්, sms,වෙළඳ දැන්වීම් හරහා එම ආයතන මිලියන සිය ගණනින් ආදායම් ලැබීය.

ඇඟ ලොමු ඩැහැ ගන්වන මේ ත්‍රාසජනක ක්‍රීඩාව අවසන තරුවක් තෝරා උපයාගත් මුදලින් සොච්චමක් තෑගී කෙරිණි. මේ බොහෝ තරු දුප්පත්ය. ඉතින් අනේක හේතු නිසා සිහින ජයගත නුහූ පිරිස් තම සිහින දිනූහයි මේ සිහිනයේ වැද ස්වයං තෘප්තියක් ලබති.ඒ සිහිනයේ පරමායුෂ කෙළවර වන කල තව අලුත් සිහිනයක් ඔබේ ආලින්දයට එළඹෙනු ඇත.

මේ මාධ්‍ය ආයතනවලට සැබෑවටම රටේ සංගීත ක්ෂේත්‍රයට යමක් කිරීමේ අවංක අභිලාෂයක් ඇත්නම් කළ යුතු වැඩ කොතෙක්ද? නැති බැරි අය ඇති හැකි කරන ජනසවිය, සමෘද්ධිය පන්නයේ මේ මුදල්, නිවෙස්, වාහන වෙනුවට සැබෑ දක්ෂයෙක් තෝරා දෙස් විදෙස් සංගීත සම්ප්‍රදායන් උගැන්මට, දෙස් විදෙස් අධ්‍යාපනය ලබනට අවැසි සියලු පහසුකම් දිනිනම් කෙතරම් අගේද? එහෙත් මුදලාලිලාට ලාභ මිස අනෙකක් කුමටද? එහෙයින් ඔබට තව කලක් වහා පියාපත් ලැබ අහසට ඉගිළ ඊට වැඩි වේගයෙන් බිමට වැටෙන මෙරු දකිනට වාසනාව ලැබෙනු ඇත.

Tuesday, May 25, 2010

ආගම යනු කිම?

ඉස්ලාම් ආගමට අපහාස වන දෑ පළ කළේය යන හේතුව පදනම් කරගෙන පකිස්ථානය ෆේස්බුක්, යූටියුබ් සහ විකිපීඩියා වෙබ් අඩවි තහනම් කර තිබේ. මේ ආගමික අන්තවාදය යැයි කෙනෙකුට තර්ක කළ හැකිය. යමෙකුගේ විශ්වාසයකට නිග්‍රහ කර අනියමින් තම විශ්වාසයන් හුවා දැක්වීම අන්තවාදයක් නොවේදැයි තවෙකෙකුට තර්ක කළ හැකිය. කෙසේ වුවද මේ ගැටුමෙන් පිළිඹිබු වන්නේ ක්‍රිස්තියානි සංස්කෘතිය සහ ඉස්ලාම් සංස්කෘතිය අතර මතුව ඇති සීතල යුද්ධයයි. මේ සංස්කෘතීන් දෙකම ඉතාම ආක්‍රමණකාරී බව කිව යුතු නැත. ඔවුනොවුන් අතර ලෝක සංස්කෘතික ආධිපත්‍ය සඳහා බල අරගලයක් වෙයි. තවමත් ලෝක සංස්කෘතික ආධිපත්‍ය උසුලන බටහිර ක්‍රිස්තියානි සංස්කෘතිය තමාට තර්ජනයක් වන ඕනෑම බලවේගයකට එරෙහිව යුද්ධ ප්‍රකාශ කිරීමට පසුබට නොවන බව මෑත ඉතිහාසය සනාථ කරයි.

ආගම වෙනුවෙන් යුද ප්‍රකාශ කිරීම, සිය දහස් ගණන් මිනිසුන් මරාදැමීම සහ නොයෙක් අශික්ශිත ක්‍රමවේද ඔස්සේ සිය ආගම අනුන් මත පැටවීම ඉතිහාසය පුරා සිදු වූ දෑය. මෙසේ සිය ආගම සංස්කෘතිය ව්‍යාප්ත කිරීමට අද ද ඔවුනොවුන් ඇනකොටා ගන්නා අතර වෙනස ඇත්තේ ක්‍රමවේදවල පමණි.

බුදුදහමින් පෝෂණය ලැබු ධර්මාශෝක රජතුමා සිය ශිලා ලේඛනයකින් ප්‍රකාශ කළේ අන් ආගමකට අපහාස කිරීම සිය ආගමට අපහාස කිරීමක්ම බවය. ඉන් තමා සිය ආගමින් මැනවින් හික්මී නැති බව පිළිඹිබු වෙයි. උක්ත ඝට්ඨනවලින් ප්‍රකට වන්නේ එයම නොවේද?

ආගම යනු සත්‍ය නොව සත්‍ය යැයි පිළිගැනීමය. එය වැරදි හෝ නිවැරදි හෝ විය හැකිය. එසේ තමා කැමති ආගමක් ඇදහීමට සැමට අයිතියක් තිබේ. එකී විශ්වාසයක්ට ගරහා ඒවා ඇදහන අය අපහසුවට පත් කිරීම යුක්ති යක්ති නැත. අප කළ යුත්තේඅපේ ආගම නිවැරදිව ඇදහීමයි. එසේ යම් ආගමිකින් ශික්ෂණය වූ අයෙකු කිසි විටක සෙසු ආගම්වලට අපහාස නොකරයි.

සමකාලීන භාරත සමාජයේ විවිධ ආගමික නායකයින්ගේ ආරාමවලට යමින් එමින් ඔවුන්ගේ යහලක්ෂන සිය ශ්‍රාවකයින්ට පෙන්වා දෙමින් ඔවුන් සමග ඉතාම සුහදශීලි සම්බන්ධයක් පැවැත්වූ බුදු හාමුදුරුවෝ මේ ගැටුම් මැදින් බෞද්ධ අප යා යුතු මාවත පෙන්වා දුන් සේක.

Monday, May 24, 2010

නිදහස් අධ්‍යාපනය සුරකිනු පිණිස !

නමෝ විත්තියෙන් උසස් අධ්‍යාපන ඇමති ධූරයේ දිවුරුම් දුන් එස්.බී.දිසානායක මහතා මෙරටට පෞද්ගලික විශ්වවිද්‍යාල අරඹන බව කීවේය. එය නිදහස් අධ්‍යාපනයේ මළගම බවට කෑ මොර දෙමින් පිරිසක් මහා ගාල ගෝට්ටියක් ඇරඹූහ. එහෙත් මොවුහු පෞද්ගලික රෝහල්වලින් ප්‍රතිකාර ගනිති. පෞද්ගලික රේඩියෝ රූපවාහිනි නරඹති. පෞද්ගලික බස්වල යති. එති. දූ දරුවන් පෞද්ගලික පංතිවලට යවති. ඇතැම්හු සිය දරුවන් පෞද්ගලික පාසැල්වලට යවති.

විශ්වවිද්‍යාල දෙවනක් කරන මේ පෝරිසාදයෝ කී දෙනෙක් පෞද්ගලික පංති නොගොස් එහි පැමිණියාහුද? එකල නැති බැරි අයගේ දරුවන්ට ටියුෂන් ගත නොහැකැයි සිතා තමන්ද ටියුෂන් නොගොස් සිටි අය කවරහුද? ඊට විරුද්ධ වූ අය කවරහුද? පෞද්ගලික රෝහල්, පාසැල් නිසා අද නිදහස් සෞඛ්‍යයට හෝ අධ්‍යාපනයට සිදුව ඇති සන්තෑසිය කුමක්ද? එසේ නම් මෙරට පෞද්ගලික විශ්වවිද්‍යාල ඇරඹීමෙන් නිදහස් අධ්‍යාපනය කෙළවර වෙතැයි කිම මොන තරම් අනුවණකමක්ද?

අප සිතා බැලිය යුත්තේ තලියේ කිඹුලන් දකින්නන්ගේ විකාර වල්පල් ගැන නොව පෞද්ගලික විශ්වවිද්‍යාල ඇරඹීමෙන් රටට ලැබෙන දේ ගැනය.වසරකට දහස් ගණනක් සිසුහු උපාධිපතා විදෙස්ගත වෙති. එක් අයෙකු වෙනුවෙන් ලක්ෂ 60ක් පමණ මුදලක් වැය වෙයි. මෙසේ වාර්ෂිකව ලොව පුරා විවිධ විශ්වවිද්‍යාලවලට ගලා යන මහා ජාතික ධනයෙන් විශාල කොටසක් මෙරට ඉතිරිවනු ඇත. අමතරව විදෙස් සිසුන් මෙරට විශ්වවිද්‍යාලවලට ඇද ගැනීම එය රටට විදෙස් මුදල් ගලා එන ක්‍රමයක්ද වනු ඇත. එමෙන්ම විදේශයකදී වැය වන මුදලට වඩා අඩු මුදලකට මෙරට උපාධි ලබා ගැනීමට හැකි වෙයි. එවිට තවත් පිරිසකට උපාධි ලබා ගැනීමට හැකි වනු ඇත. රටේ රාජ්‍ය විශ්වවිද්‍යාලවල ප්‍රමිතිය උසස්වීමට ද පෞද්ගලික විශෟවවිද්‍යාල අනියමින් හේතු වනු ඇත.එවිට මෙරට නිදහස් අධ්‍යාපනය තවත් සුරක්ෂිත වනු ඇත.

Friday, May 21, 2010

සොබාදහම කැළඹීම

DNA හෙවත් ප්‍රජාතන්ත්‍රවාදී ජාතික සංන්ධානය පවසන පරිදි ජෙනරාල් උතුමාට රජය සිදු කරන අනන්ත හිරිහැර දරනු බැරිව සොබාදහම පවා කැළබී තිබේ. බෙංගාල බොක්ක කැළඹී ඇත්තේ ඒ නිසාය. ලයිලා කුණාටුව හැමවේ ඒ නිසාය. ගං වතුර ඒ නිසාය. ඒ කතාවේ ද ඔවුන් ඇදබාන අනෙක් කතාවල මෙන්ම ඇත්තක් තිබේ. මීට පෙර කවදාවත් ගං වතුර ගැලුවේ නැත. මේ ගං වතුර වුවද DNA අනුගාමිකයින් තෝරා බේරා සෙසු පක්ෂවල අය පමණක් යට කළේය. සුළි සුළං හැමුවාට ලයිලා කුණාටුව හැමුවේ නැත. ඒවා කෙසේ වුවත් රටට කෙළවෙන තුරු බලා සිටින බෙංගාල බොකු නම් අද තරම් කවදාවත් කැළඹුණේ නැති බව සහතිකය.

බෙංගාල බොක්ක කුමක් නිසා කැළඹුනත් රට ගං වතුරින් යට වී තිබේ. පක්ෂ බේදවලින් තොරව ලක්ෂ ගණනක් පීඩාවට පත්ව තිබේ. කොළඹ ගම්පහ කළුතර ආදි ප්‍රධාන නගර ගණනාවක් යට වී තිබේ. පොද වැස්සටත් දැන් නගර යටවෙයි. මෙයට ප්‍රධාන හේතුව අනවසර ඉදිකිරීම් බවට තර්කයක් නැත. කිහිපදෙනෙකු කරන නීති විරෝධි වැඩ නිසා මුළු මහත් ජනතාව ම අපහසුතාවට පත්වෙයි. මෙවන් අවස්ථාවල රජය තදින් නීතිය ක්‍රියාත්මක කළ යුතුය. නගරවල සියල අනවසර ඉදිකිරීම් ඉවත් කිරීමට රජය තීරණය කරයි නම් අපි රජය වෙනුවෙන් පෙනී සිටිමු.

කිසිවෙකුට නීති විරෝධි වැඩක් කර සිය අයිතිවාසිකම් ගැන කතා කිරීමට අයිතියක් නැත. ජීවත්වීමට මගන් නැතැයි කියා කසිප්පු පෙරන්න හෝ කුඩු විකුණන්න අයිතියක් නැත්නම් මුළු රටක් අගාධයට හෙළමින් නීති විරෝධි ඉදිකිරීම් කරනට ද කිසිවෙකුට අයිතියක් නැත. රජය අනවසර ඉදිකිරීම් ඉවත් කරන විට සිය බඩගෝස්තරවාදී පටු දේශපාලන අරමුණු වෙනුවෙන් ඊට විරුද්ධ වන උත්තමයින් පරිස්සම් විය යුතුය. මන්ද ගං වතුර නිසා පීඩාවට පත්ව සිටින ලක්ෂ ගණන් ජනතාවගේ දුක ඉවසනු බැරිව සොබාදහම කැළඹි අකුණු පාත් විය හැකි හෙයිනි.

Wednesday, May 19, 2010

ඉතිහාසයෙන් උගනිමු

ඊයේ අපේ රට කොටි ත්‍රස්තවාදයෙන් නිදහස ලද දිනයයි. ඇතැම්හු මේ අපේ දෙවන නිදහස් දිනය යයි කියති. එහෙත් මේ නිදහස පෙර අන් කිසි නිදහසකට වඩා උතුම් සහ ශ්‍රේෂඨ බැව් අප මතයයි. බටහිර විජිත කොල්ලකරුවන්ට එරෙහිව අප රටේ විවිධ කැරලි පැන නැග්ග ද අප නිදහස ලද්දේ ඉන්දිය නිදහස් සටනට පිං සිදුවන්නටය. ඒ නිදහස ද සැබෑ නිදහසක් නොවන්නේ අපේ රට භාර දුන්නේ සුද්දා ඇති දැඩි කළ කළු සුදු කුක්කන් පිරිසකට හෙයිනි. 48 රටේ අගමැති ධුරය ඩී. බී. ජයතිලක මහතාට හිමි විය යුතුය යන්න රටේ මහා සංඝ රත්නය ප්‍රමුඛ දේශප්‍රේමි ජන මතය විය.‍

මේ රට නිදහසේ ප්‍රථම වර්ෂ පූර්ණය සමරද්දි ඊයේ රාජකීය ආසියාතික සමිතිය උතුරු නැගෙනහිර පුරාවිද්‍යාත්මක නටඹුන් පිළිබඳ දේශනයක් සංවිධානය කිරීම සුවිශේෂි වෙයි. එම දේශනය සඳහා ආරාධනා ලැබ සිටියේ සිය ජීවිත කාලයෙන් වසර 50ක් පමණ උක්ත කාර්ය සඳහා කැප කළ එල්ලාවල මේධානන්ද හිමිය. මේ වැදගත් දේශනය සඳහා කිසිදු ප්‍රචාරයක් ලබා නොදුන් නිසා දෝ සහභාගීත්වය අඩු විය. එහෙත් ඒ දේශනය සම ශ්‍රී ලාංකිකයෙකු විසින් ම ශ්‍රවනය කළ යුත්තක්ය යනු මගේ හැඟීමයි.

බෙදුම්වාදයට සහ අධිරාජ්‍යවාදයට සේවය කරන ව්‍යාජ ඉතිහාසකරුවන් ලියූ කසිකබල් පොත් කඩමාළු ඉවත දමා අපි දැන්වත් අපේ සැබෑ ඉතිහාසය සොයා පාදා දිය යුතුය. ඉතිහාසය නූගත් හෙයින් නිවටව පරාධීනව සිටින අද පරපුරට මගේ මේ වදන් නිසරු ප්‍රලාප ලෙස හැඟුණ ද අපේ රටේ ඒකීයත්වය චිර පැවැත්ම රඳන්නේ අපේ සැබෑ ඉතිහාසය අනාගත පරපුර අතර පත් කිරීම මතය. ඊට සිංහල දෙමළ මුස්ලිම් බේදයක් නැත. ඒ සියල්ලෝ ලාංකික දෙමළ සහ ලාංකික මුස්ලිම්වරු වෙති. ඔවුන් මේ රටේ ඉතිහාසය දැන සිටිය යුතුය. එවිට තමන්ට උතුර අයිති යැයි දෙමළ අයද නැගෙනහිර තමනට අයිති යැයි මුස්ලිම්වරුද ජාතිවාදි ගිනි මැළයට බිළිදීමට කිසිවකුට නොහැකි වනු ඇත. ඔවුන්ට ඉතිහාසයෙන් ඉගනීමට ඉඩහසර දිය යුතුය. මේ රට රටේ වෙසෙන සියල්ලන්ගේය. රටේ සිව් කොණ මුල් පදිංචිකරුවෝ සිංහලයෝය. එය පරම සත්‍යයකි. එම සත්‍ය සෙසු ජනතාවට රටේ ඕනෑම තැනක නිදහසේ ජීවත්වීමට තර්ජනයක් නොවේ.

Saturday, May 1, 2010

පදික වේදිකාව කා‍ගෙද?

ඔබ කිසියම් උවමනාවකට විදෙස් ගත විණැයි මොහොතකට සිතමු. එවිට ඔබට, ඔබේ නිවස ගැන සොයා බලන්නට නොහැකි වෙයි. මෙය දැනගත් තවෙකෙක් විත් එහි පදිංචි වෙයි. එය දැනගන්නා ඔබ පොලිසිය මාර්ගයෙන් එහි පදිංචි පිරිස ඉවත් කර නිවස අත්පත් කර ගනී. එකල්හි අර නිවස බලෙන් අත්පත් කර ගෙන සිටි අයට සිය අයිතිවාසිකම් කඩවිණැයි කිව හැකිද? නීතිය ක්‍රියාත්මක කිරීමට එරෙහිව උද්ඝෝෂණ කළ හැකිද?

ඔබ නොහැක කියනු ඇත. එහෙත් පිටකොටුවේ පදික වේදිකා වෙළඳුන්ට සහ ඔවුන්ගේ ඡන්ද බලාපොරොත්තුවෙන් කට අරින දෙස්පාලුවන්ට අනුව නම් එසේ උද්ඝෝෂණ කළ හැකිය. පොලිසිය කලින් විත් ඔවුන්ට ඉවත් වන්නැයි දැන්විය යුතුය. පොලිසිය කියන්නේ එසේ දැන්වූ බවය. අර වෙළඳ පිරිස කියන්නේ එසේ නොකළ බවය.

අපට කීමට ඇත්තේ පොලිසිය එසේ නොකළ යුතු බවය. මේ වෙළඳ මංකොල්ලකාරයින් මහමග මැසි අටවා ගත්තේ පොලිසියෙන් අවසර ගෙනද? පදික වේදිකාව ඇත්තේ මගීන්ට යාමට මිස වෙළඳාම් කිරීමට නොවේ. එය නීතියෙන් තහනම්ය. නීති නොදැන සිටීම දඬුවමින් ගැලවීමට හේතුවක් නොවේ. එහෙයින් නීති විරෝධි වැඩ කර සිය ඊනියා අයිතීන් ගැන කෑ ගැසීමට මේ අයට අයිතියක් නැත.

පදික වේදිකාවේ සිදුවන්නේ වෙළඳාමට වඩා මංකොල්ලයකි. මහමග යනෙන උන්ට කිසිදු ප්‍රමිතියක් නැති බඩු විකිණීම, වැඩි මිලට බඩු විකිණීම, මිනිසුන් බිය වද්දා බඩු විකිණීම, ළඳුන්ට ලිංගික අඩම්තේට්ටම් කිරීම මෙහි සුලබ දේය.

පදික වේදිකා වෙළඳාම සපුරා තහනම් කළ යුතුය. එය නගරයේ සුන්දරත්වයට අනීවාර්ය වේ. එමෙන්ම ඉහත කී දූෂණ ඉන් වළකාගත හැකිය. පදික වේදිකාවේ වෙළඳාම් කිරීම තහන්ම කර ඒ සඳහා දැඩි නීති පැනවිය යුතුය. දඩ මුදල් අය කරගත යුතුය. එම නීති කිසිසේත් ආණ්ඩු මාරු වන විට වෙනස් නොවිය යුතුය.

බාල ජනප්‍රිය තීන්දු තීරණවලින් රටක් ගොඩනැගිය නොහැකිය. හොරකම් කරන, කසිප්පු පෙරන, මංකොල්ල කනවුන්ට නීතියෙන් දඬුවම් දෙනු මිස උන්ට ජීවන මාර්ග සොයා දෙන්නට රජයක් බැඳී නැත. මහපාරට වැටුණැයි උඩුබුරන අය මේ බැව් සිහි තබා ගතයුතුය. පදික වේදිකා වෙළඳ මාෆියාව අවසන් කිරීම දෙකෝටියක් ජනතාවගේ හිතසුව පිණිසම වන බැවින් රජයේ මේ ක්‍රියාදාමය අපි පසසමු. පදිකවේදිකාව මගීන්ගේ මිස පිටකොටුවේ මැරයින්ගේ නොවේ.
 
සිය රට දේ සිරි සැප දේ !