Wednesday, December 22, 2010

ජාතික ගීයේ ප්‍රශ්නය

සෑම රටක ම ම සිය ජාතික උත්සවවල දී සහ රට නියෝජනය කරන උත්සවවල දී ගැයීමට ගීයක් තිබේ. එය ජාතික ගීයයි. මේ ගීතයේ වචන, ස්වර මාලාව බොහෝ විට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට ඇතුළත් වෙයි. බොහෝ රටවල ඇත්තේ ජාතික ගී එකක් වුව ද ඇතැම් රටවල එහි පරිවර්තන තිබේ.

කැනඩාව, පිලිපීනය, බෙල්ජියම, ස්විට්සර්ලන්තය, ද. අප්‍රිකාව වැනි රටවල ජාතික ගීයේ කොටස් හෝ මුළු ගීතය ම භාෂා කිහිපයකින් සමන්විත වෙයි. මේ රටවල බොහෝ විට ෆෙඩරල් පාලන ක්‍රමවලට නැඹුරු කුඩා කොටස් එකතු වී සැදුණු රටවල් බව ද ලෝකයේ 200ට වැඩි රටවල් අතරින් එම ඉතා අල්පයක් බව ද පැහැදිළි ය.

ඉන්දියාවේ භාෂා 200ට අධික ගණනක් ව්‍යවහාර කළ ද ඇත්තේ එක ජාතික ගීයකි. එය රවින්ද්‍රනාත් තාගෝර්තුමා විරචිත 'ජන ගන මන' නමැති බෙංගලි ගීයයි. එය බහුතර හින්දියට පෙරළා ව්‍යවස්ථාගත කර නැත. බෙංගලී නොදත් කෝටි ගණනක් ජනතාව එය තම ජාතික ගීය ලෙස සලකා, එහි අරුත නොදැන ගයති. බුහුමන් කරති.

සිංගප්පූරු ජාතික ගීය රචනා වූයේ මැලේ බසිනි. පසුව එය ඉංග්‍රීසි, චීන මැන්ඩරීන් සහ දෙමළ භාෂාවලට ද පරිවර්තනය විය. එරට 75%ක් මැන්ඩරින් බස කතා කළ ද 13%ක් කතා කරන මැලේ බසින් රචිත මුල් ජාතික ගීය නිල උත්සවවලදී ගායනා කළ යුතු යැයි නීති පනවා තිබේ.

මෙරට ජාතික ගීය ලෙස 1951 "නමෝ නමෝ මාතා" ගීය පිළිගත් අතර එහි පද සහ සංගිතය ආනන්ද සමරකෝන් මහතා රචනා කළේ 1940 දී ය. එය 1951 සර් එඩ්වින් විජේරත්න ප්‍රමුඛ කොමිටියක් විසින් ලංකා ජාතික ගීය ලෙස යෝජනා කරන ලදී. 1962 "ශ්‍රී ලංකා මාතා" වෙනස් කරන ලද්දේ අශුභ ගණ පිහිටීමක් ඉවත් කිරීමට ය.

ලංකා ජාතික ගීයට ද දෙමළ සහ ඉංග්‍රීසි පරිවර්තන තිබේ. එහෙත් නිල රාජ්‍ය උත්සවවල ගායනා කරන්නේ සිංහල මුල් ගීයයි. එසේ විවිධ පරිවර්තන තිබීම ගැ‍ටළුවක් නොවුණ ද ඒවා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට ඇතුළත් කිරීමේ උවමනාවක් නැත. එහෙයින් 1977 ව්‍යවස්ථාවෙන් දෙමළ පරිවර්තය ව්‍යවස්ථාගත කිරීම වැරදි ය. එවන් උවමනාවක් නැත. ඉන් සිදුව ඇත්තේ නැති ප්‍රශ්න ඇති වීම පමණි.

අප ගයන්නේ ජන වාර්ගික ගීයක් නොව ජාතික ගීයයි. එය රටේ එකමුතුකම පිළිබඳ ගීයයි. එහිදී වැදගත් වන්නේ එය කුමන බසින් ද එම බස කතා කරන පිරිස කොතරම් ද යන්න නොව එය අපේ ජාතික ගීය ලෙස සැලකීමයි. එයත් විවිධ බසින් ගයයි නම් අප අතර ඇති සමගිය කුමක් ද? ජාතික ගීය භාෂා කිහිපයකින් ගැයීමට ගත් විට ප්‍රායෝගික ප්‍රශ්න ද ඇති වේ. සියලු ජාතීන් නියෝජනය කරන ජාතික උත්සවයට පිරිසක් ‍සිංහලෙන් ද තව පිරිසක් දෙමළෙන් ද සෙසු අය ඉංග්‍රීසියෙන් ද ගයන්නට වුවහොත් ඇති වන තත්ත්වය කුමක් ද? ඊනියා ජනවාර්ගික ප්‍රශ්නයට විසඳුම් ලෙස, පය බරවාට පිටිකර බෙහෙත් බඳින මාදිලියේ කටයුතු නිසා සිදුවන්නේ නැති ප්‍රශ්න ඇති වීම පමණි. එහෙයින් අප කළ යුත්තේ අසල්වැසි ඉන්දියාව, සිංගප්පූරුව මෙන් ම ලොව බහුතර රටවල ආදර්ශය ගෙන එකම කොඩිය යට සිට අපේ ජාතික ගීය "අප ශ්‍රී ලංකා මාතා" ලෙස එක හඬින් ගැයීම පමණි.

Friday, December 10, 2010

ජනතාවට ඔටු කිරි පොවන්නට ආවොත් . . .

මෙරට එක්තරා නියෝජ්‍ය ඇමතිවරුයෙක් රටේ කිරි හිඟයට අපූරු යෝජනවක් ගෙනැවිත් තිබේ. ඒ මේ රටට ඔටුවන් ආනනය කර ජනතාව ඔටු කිරි බීමට පෙළඹවීමයි. සිංහල ගැමියන් 'හිසේ ඇම්මට කොට්ටේ මාරු කරනවා'යැයි කියා සිනාසෙන්නේ මේ වගේ අමන වැඩවලට ය. එක අතකින් තමන් වැනි අමනයන්ට ඡන්දය දුන්නේ ජනතාව ඔටුවන් නිසා යැයි ඇතැම් මැති ඇමතිවරු සිතා සිටින බව ද පෙනේ.

ජනතාව දියර කිරි පානයට යොමු කළ ද පිටි කිරි පානයට කිසිසේත් හුරු නොකළ යුතුව ඇති අතර එය අධෙර්යමත් කළ යුතු ය. පිටි කිරි යනු ජනතාව පෝෂණ ගුණ සපිරි කෑම කැයි සිතා ලොකු මිලක් ගෙවා කිරි මැටි ගිලීම වැනි වැඩකි. සෙල්සියස් අංශක 400 පමණ උණු කර පිටි බවට හරවා ඇති පිටි කිරිවල ඇති පෝෂණ ගුණයක් නැත.

මේ නියෝජ්‍ය ඇමතිවරයා රටේ කිරි හිඟයට හේතුව ලෙස දකින්නේ රටේ ගව සම්පත අධික ලෙස ඝාතනය කිරීම ය. එසේ නම් කළ යුත්තේ ගව සම්පත ආරක්ෂා කර ගැනීමට අවශ්‍ය නීති සම්පාදනය කර ගව සම්පත රැක ගැනීම මිස ජනතාවට ඔටු කිරි බොන්න යැයි කීම ද? අතීසාරයට අමුඩ ගහන මේ උන්දැලා දිනකට ඔටුවෙකුගෙන් ලබා ගත හැක්කේ කිරි පයින්ට් 13ක් පමණක් බව ද එළදෙනකගෙන් කිරි පයින්ට් 50 ලැබෙන බව ද දැන සිටින්නේ ද?

1977 ජේ.ආර්. උතුමාට රට භාර දෙන විට මෙරට අවශ්‍යතාවෙන් 80%ක් දේශීය කිරි නිෂ්පාදකයින් විසින් සැපිරූ අතර අද වන විට එය 15% දක්වා පහත බැස තිබේ. මේ තත්ත්වයට විවෘත ආර්ථික ක්‍රමය ගෙනා ආ අය මෙන් ම එය නඩත්තු කරමින් රටේ සම්පත් විනාශ කළ අය ද වගකිව යුතු ය.

දැන් කළ යුත්තේ අතීසාරයට අමුඩ ගැසීම නොවේ. මෙවන් තක්කඩි අමන කතා කීම නො වේ. රටේ ගව සම්පත ආරක්ෂා කිරීමට වහා පියවර ගැනීම ය. රටට අවශ්‍ය කිරි, රටේ නිපදවන අතර රටින් කිරි පිටි ගෙන ඒම ක්‍රමයෙන් අධෛර්යමත් කිරීම ය. ජනතාව දියර කිරි පානයට හුරු කිරිම ය. එය ස්වයංපෝෂිත ආර්ථිකයක් කරා යන ගමනට අනීවාර්ය පියවරකි.

එසේ නො මැතිව රටේ ජනතාව ඔටුවන් යැයි සිතා ඔවුන්ට ඔටු කිරි පොවන්නට ආවොත් නුදුරේදී ම මේ උන්නැහෙලාට ඔටු කිරි පොවන්නට ජනතාව පියවර ගනු ඇත.

Thursday, December 9, 2010

කබල් දේශපාලනයට යට වුණු නොබෙල් ත්‍යාගය


නොබෙල් සාම ත්‍යාගය මෙවර ලැබුණේ චීන සිරකරුවෙකු වන ලියු සියාඔබෝට ය. ඔහුට චීන රජය විසින් වසර එකොළහක සිරදඬුවමක් නියම කරන ලද්දේ රතු චතුරස්‍ර අරගලයට නායකත්වය දීම නිසා ය. තව වසර 20-30ක් තුළ ලෝක ආර්ථික බලවතා වන චීනය කෙරෙහි බටහිර රටවල ඇති තරහ පිරිමසා ගැනීමට මේ සාම ත්‍යාගය භාවිත කරන බව පැහැදිළි ය.

නොබෙල් සාම ත්‍යාගය මෙන් ම සාහිත්‍ය ත්‍යාගය ද මෙසේ දේශපාලන ආයුධයක් ලෙස මෑත ඉතිහාසයේ දිගින් දිගට ම භාවිත කර තිබේ. බටහිර ගැති නොවන ආණ්ඩුවලට එරෙහි වන්නත්, එකී ව්‍යාපාර වෙනුවෙන් පොත් ලියන්නන් වීරයින් ලෙස හුවා දැක්වීම එම ව්‍යාපාරයයි. සලමන් රුෂ්ඩි, අවුං සාං සුකී මෙන් ම ලියු සියාඔබෝ ද අයිති වන්නේ ඒ කුලකයටයි. නියමින් හෝ අනියමින් බටහිර සේවය කිරීම මේ ත්‍යාගය ලැබීමට හේතු වෙයි. දේශපාලන අනාථයින් වන වික්‍රමබාහු වැන්නෝ මේ සම්මාන සඳහා කෙළ හලන බව හැසිරීමෙන් පෙනේ.

මේ ඊනියා වීරයින් විසින් කරන ලද්දේ සිය රටේ සමාජ සංස්කෘතික හර පද්ධති විවේචනය කිරීම, ඒවාට සමච්චල් කිරීම, බටහිර ගැති නොවන ආණ්ඩුවලට විරෝධය පෑම වැනි කටයුතු ය. නැතහොත් අධිරාජ්‍යවාදීන් විසින් කලක් කළ දේ උන් විසින් පෝෂණය කළ ස්වදේශිකයෙකු විසින් කිරීම පමණි. තම අධිරාජ්‍යවාදය එකී සමාජ වෙත පතුරුවා හැරීමට මෙකී පුද්ගලයින් විසින් ඉටු කරන ලද මෙහෙවර ඇගයීමක් පමණි මේ සම්මානය. මේ වූ කලි කැලෑ නසන්නට කැලේ ගසක් යොදා ගැනීමේ තියරියයි.

එහෙයින් එම උළෙල වර්ජනය කිරීමට ලංකා රජය ගන්නා ලද ක්‍රියා මාර්ගය අපි අගය කරමු. ඒ වෙනුවෙන් පෙනී සිටිමු. එහෙත් එකී මතවාදය වෙනුවෙන් ඔස්ලෝ තානාපතිවරයා පෙනී නොසිට, අන් රටවල් කරන දේ තමා ද කරන බව පැවසීම සහ මෙය නිල රාජ්‍ය උත්සවයක් නොවන නිසා සහභාගී නොවෙතියි පැවසීම වැනි ඇල් මැරුණ කතා අපි හෙළා දැකිය යුතුව තිබේ. මෙය නිළ රාජ්‍ය උත්සවයක් වුව ද සෙසු රටවල් සහභාගි වුව ද අප වර්ජනය කළ යුතු අවස්ථාවකි. එහි නිවැරදි බව ඉතිහාසය විසින් තහවුරු කරනු ඇත.

කළ යුත්තේ, බටහිර දේශපාලන ව්‍යාපෘතිවලට අපි කර නොගසන බවත්, බටහිර පදයට අපි නටන්න සුදානම් නැති බවත් තම මිතුරු රටක් අපහසුතාවයට පත් කිරීමට මෙකී සාම න්‍යාගය ගණිකා වෘත්තියේ යෙදවීමට අප විරුද්ධ බවත් ඒ නිසා මේ උළෙල වර්ජනය කරන බව පැවසීම පමණි.

Sunday, December 5, 2010

ගලේ පැහැරූ ආණ්ඩුවට වෙච්චි දේ . . .

ජනාධිපතිතුමා සුදු කොටි ගුහාවට රිංගා සහ හිස් අතින් යළි ඒම ගැන දෙස් විදෙස් සක්කිලි ද්‍රෝහීන් උදම් අනන අතර ආණ්ඩුව ගලේ පැහැරූ බළලාගේ තත්ත්වයට පත්ව තිබේ. රටේ නැති මනස්ගාත රජය පැත්තෙන් ගලා එයි. තම වරද පිළිගෙන යළි මෙවන් වැරදි සිදු කොවීමට කටයුතු කිරීම රජයේ වගකීම බව ප්‍රකාශ කරමින් මේ ටික ද ලියා තබමි.

මේ ගමන කිසිම රාජතාන්ත්‍රික ගමනක් නෙමේ. බ්‍රිතාන්‍ය රජය හෝ ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාලය නිල වශයෙන් අපේ ජනාධිපතිතුමාට ආරාධනා කරලත් නැහැ. මේක ඔක්ස්ෆර්ඩ්වල ඉගෙන ගන්න සිංහල සිසුන් කිහිප දෙනෙකුගේ උවමනාවට කරපු වැඩක්. අනෙක ශ්‍රීලනීප ලන්ඩන් ශාඛාව ජනාධිපතිතුමාට මේ ලන්ඩන් ඒමට තරම් හොඳ වෙලාවක් නෙමේ කියලා දැනුම් දීලා තිබුණා.

මේ ඔක්කෝට ම වඩා බ්‍රිතාන්‍යය කොටි තිප්පොළක් බව අපි දන්නවානේ. ඒ වන විට කොටි ජනාධිපති අත්අඩංගුවට ගන්න එහේ අධිකරණයකින් නියෝගයකුත් අරගෙන. මේ කිසිවක් ගැන හොයා නොබලා මේ වගේ ගමන් යාම අන්තිම භයානකයි. මේ ගමනේ දි මහින්දට යම් අනතුරක් වුණා නම් දකුණේ ජනතාව නැවත කුපිත වෙලා 1983ක් ආයේ එන්න ඉඩ තිබුණා. ඒ නිසා වසර 100න් විතර අපේ රට ආපස්සට යන්න ඉඩ තිබුණා.

අවසානයේ එතුමා යහතින් මෙරටට පැමිණීම ගැන මම සතුටු වෙනවා. (සෝම හාමුදුරුවෝ වැඩියේ නෑ ආපහු.) ඒ වගේ ම මේ වගේ හුදු ජනප්‍රියත්වය උදෙසා කරන වැඩවලට, අනවශ්‍ය අවදානමක් ගැනීමේ වැඩවලට මගේ විරෝධතාව නැවත පළ කරනවා.

එංගලන්තේ ඉඳන් කොටි ආවොත් අල්ලනවා කීවා පළියට සරම කැහැපොට ගහ ගෙන එහේ දුවන්න ඕනද අපේ රටේ නායකයා? එදා ප්‍රභාකරන් කිලිනොච්චියේ ඉඳන් එහෙම තර්ජනය කළා නම් එයා කිලිනොච්චි දුවනවා ද? ඕක අභියෝග භාර ගැනීමක් නෙමේ. මෝඩ විදිහට සතුරාගේ අරමුණ ඉටු කර ගැනීමට අවස්ථාවක් දීමක්. සතුරාගේ කටට රිංගීමක්.

පංචතන්ත්‍රයේ සිංහයාගෙයි ඌරාගෙයි කතාව දන්නවා නේද? ඔන්න දවසක් විල අයිනේ සිංහයා ලැගලා උන්නා. කාලා බීල බඩ පිරිලා. ඉතින් ඌරත් වතුර බොන්න විලට ආවා. ළඟට එනකම් ම ඉන්නවා සිංහයා දැක්කේ නෑ. ඒ වුණාට සිංහයා ඌරා ආවා කියලා ගණන් ගත්තෙත් නෑ. මොකද සිංහයා හොඳට ම කාලා හිටියේ. ඌරා හිතුවා මේ සිංහයා මට බයයි කියලා. එහෙම හිතලා සිංහයාට සටනට අභියෝග කළා. ඉතින් සිංහයාගේ බඩත් හොඳට ම පිරිලා. ඒ නිසා ඊළඟ සතියේ දිනයක් දා ගමු කියලා සිංහලා ඇහුවා. ඌරත් ඒකට කැමති වෙලා රංචුවට ගිහින් කීවා හපන්කම.

වැඩිහිටි ඌරෝ ඔලුවේ අත තියා ගත්තා. කල්පනා කරලා මේ මෝඩ ඌරා‍ගේ ජීවිතේ බේරගන්න ඕන නිසා උපදෙසක් දුන්නා. සතියක් අශූචි වලක බැහලා ඉඳලා නියමිත දවසේ සටනට යන්න කියලා. ඌරත් එහෙම කළා. දැන් මුළු පළාතම ගඳ ගස්ස ගෙන ඌරා එනවා සටනට. සිංහයාට මේ ගඳ උහුලන් ඉන්න බැහැ. සිංහයා කීවා 'උඹ දිනුම්! උඹ දිනුම්! මේ පලාතකවත් ‍එන්න එපා' කියලා. සිංහයා පරාජය භාර ගත්තා. සටන් කරන්න ඕන තමන්ට ගැළපෙන ප්‍රතිවාදියෙක් එක්ක. එහෙම නොවුණා ම අශූචි නාන්න වෙනවා. මේ ඊනියා සංචාරය නිසා මහින්ද විතරක් නෙමේ අශූචි නෑවේ මුළු රට ම.

Thursday, December 2, 2010

අහක ඉන්න නයි රෙද්ද අස්සේ දා ගෙන . . .

ජනපති මහින්ද රාජපක්ෂට අප බෙහෙවින් ගරු කරන අයෙකි. එහෙත් 1505 මෙරටට බටහිර ආක්‍රමණිකයා කඩාපාත් වී වසර සිය ගණනක් උන් මේ රට පාලනය කිරීම නිසා මේ රටේ බොහෝ දෙනා තුළ උපන් හීනමානයෙන් ඔහුට ද ගැළවීමක් නැති බව පෙනේ. සුද්දා අපට වඩා උසස් ය. සුද්දාගේ සරසවි අපේ සරසවිවලට වඩා උසස් ය යන හීනමානය ඔහුට ද තිබේ. ඔක්ස්ෆර්ඩ්වලින් ආරාධනයක් එත් ම සියලු වැඩ පසෙක දමා එහි දුවන්නට බලා සිටින්නේ ඒ නිසා ය. එය තමාට මහත් ගෞරවයක් යැයි ඔහු සිතයි. මේ රටේ බහුතරයක් ද සිතයි. නැති නම් මේ රටේ ඔහුට විසඳීඹට දහසකුත් එකක් ප්‍රශ්න තිබේ. එහෙත් මේ රටේ සරසවියක වැඩකට ජනපති තබා ඇමති කෙනෙකු ද ගෙන්වා ගැනීම ලෙහෙසි නැත. නිදසුනක් ලෙස කැලණි සරසවියේ රිසර්ච් සිම්පෝසියමේ ප්‍රධාන ආරාධිතයා වූ ජී. ඇල්. පීරිස් මහතා පිළිගත් ආරාධනය ද පසෙක තබා ජනපතිගේ සාටකේ එල්ලී එංගලන්තයට දිවීම දැක්විය හැකි ය.

ඔක්ස්ෆර්ඩ් කලෙක මහා දැනුම් සාගර ලෙස විරාජමාන වූ බව සැබෑ ය. එමෙන් ම ඊට බොහෝ කලකට පෙර ඉන්දියාවේ නාලන්දා වැනි විශ්වවිද්‍යාල තිබිණි. ඒවායේ කීර්තිය ද එසේ ම විය. දැන් ඒ ආලෝකය නිවී ගොස් ය. අනෙක් ඒවායේ ඉරණය ද එයම ය. අප කළ යුත්තේ අනුන්ගේ දේ සරණ යෑම නොව ඒවායේ යම් යම් යහගුණයක් ඇත්නම් අප සරසවි වෙත ඒ ගුණය ඇතුළත් කිරීම පමණි. එසේ නොමැතිව අප ඔක්ස්ෆර්ඩ්හි දේශන දෙකක් කළම්හයි බොරුවට උදම් ඇනීම නොවේ. එය සුදු අධිරාජ්‍ය සමයේ උන්ගේ ආණ්ඩුවට කත් ඇද නයිට් නාම හිඟා ගැනීමට වැඩි වැදගත්කමක් මට නම් නො පෙනේ.

අවසන අහක ඉන්න නයි රෙද්ද අස්සේ දා ගෙන කෑවෝ කෑවෝ කියා ගෙන ජනපතිට හිස් අතින් ම නැවත ලංකාවට ඒමට සිදුව තිබේ. එංගලන්ත ආණ්ඩුවට බැණ පලක් නැත. එය කොටි හිතවාදි බව අප දන්නෙමු. මේ රජය ද එය දනිතැයි සිතමු. එසේ තිබිය දී එහි යන්නේ කුමට ද? අප උද්ඝෝෂණ කළ යුත්තේ ඒ සියල්ල දැන ගෙන කොටි තිප්පළට ජනපති යාමට විරුද්ධව ය. මෙවන් කොටි තිප්පොළවල කරක් ගහන්නට පෙර ජනපතිතුමා සිතිය යුතු බොහෝ දේ තිබේ. ගංගොඩවිල සෝම හිමි ද රුසියාවට වැඩියේ මෙවන් ආරාධනයක් පිළිගෙන බව අපට මතක ය. එහෙත් උන් වහන්නේ නැවත මව්බිමට නො වැඩියේ ය. එහෙයින් ජාතියක් දවල් වැටුණු වලේ රෑ වැටිය යුතු නැත.
 
සිය රට දේ සිරි සැප දේ !