Friday, March 20, 2009

සාමාන්‍ය අසාත්මිකතාව

ගර්භනී කාලයේ දී හට ගැනීමට ඉඩ ඇති ජර්මන් සරම්ප රෝගය වැළැක්වීම සඳහා යොවුන් දැරියන්ට ලබාදෙන රුබෙල්ලා එන්නත නිසා මාතර සාන්ත තෝමස් බාලිකා විදුහලේ දැරියන් 25 දෙනකු රෝහල් ගත කිරීමට සිදු වු බව ඊයේ (20 දා) දැනගන්නට ලැබිණි. මෙය සාමාන්‍ය අසාත්මික තත්ත්වයක් බව එම රෝහලේ වෛද්‍ය නිලධාරියකු පැවැසු බව දැනගන්නට තිබේ. අසාත්මික තත්ත්වය කොතරම් සාමාන්‍යයද යත්, එන්නතට ලක් කෙරුණු දැරියක් මාතර රෝහලේ දැඩි සත්කාර ඒකකයේ දී මිය ගියා ය. මේ සිද්ධිය ගැන එය සිදුවු දින රාත්‍රිය වන තුරුත් සෞඛ්‍ය අමාත්‍යාංශයේ නිලධාරීන් දැන සිටියේ නැත. ඔවුන්ගෙන් වැඩි දෙනා සම්මන්ත්‍රණ සහ සාකච්ඡාවලට සහභාගි වීම සඳහා කාර්යාලයෙන් නික්ම ගොස් සිටියහ. මේ ගැන සෞඛ්‍ය ඇමැති නිමල් සිරිපාල ද සිල්වා මහතා දැන සිටියේදැයි අපි නොදනිමු. ලෝක සෞඛ්‍ය සංවිධානයේ සභාපති ධුරය මේ දිනවල ශ්‍රී ලංකාවට හිමිව ඇති බැවින් නිමල් සිරිපාල මැතිතුමාට නිමක් නැතිව වැඩ තිබේ. ඒ මදිවාට එතුමා ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක ද වෙයි. මේ සියලු කරුණු සලකා බලන කල, වැඩ නැති නිලධාරීන් මේ ගැන දැන නො සිටියානම්, වැඩ ඇති ඇමැතිතුමා මේ ගැන කිසිත් දැන ගැනීමට කිසිදු හේතුවක් නැත.

ඉතා වැදගත් කාරණයක් ඉතා කෙටියෙන් කියමු. මෙබඳු සිද්ධියක් චීනයේ වී නම් ඒ රටේ සෞඛ්‍ය ඇමැති තුමා, අමාත්‍යාංශයේ ඉහළ නිලධාරීන්, එන්නත මිලට ගැනීමට අනුමැතිය දුන් සෞඛ්‍ය බලධාරීන්, එම ටෙන්ඩරය අනුමත කළ ටෙන්ඩර් මණ්ඩලයේ සාමාජිකයන්, එන්නත ලබා දුන් වෛද්‍යවරුන් යනාදී සියලු දෙනා රිමාන්ඩ් භාරයේ ය. පසුව ඔවුනට එරෙහිව නඩු විභාග කර වැරදිකරුවන් තෝරා එක පෙළට සිටුවා වෙඩි තබා මරනු ලැබේ. ඒ බව දන්නා වැරදිකාර නිලධාරීහු කල් තබාම සිය දිවි නසා ගනිති. එහෙත් ශ්‍රී ලංකාව ඉතාම ශිෂ්ට රටක් නිසා ද, තරු පහේ ප්‍රජාතන්ත්‍රවාදයක් මෙහි ඇති නිසා ද, වගකීමෙන් නිදහස් වීමේ අයිතිවාසිකම හැම බලවතකුටම ඇති නිසා ද ඇමැතිතුමා ද සියලු නිලධාරීන් ද රුබෙල්ලා සිද්ධියෙන් නිදහස ලැබීමට පුළුවන. එහෙත් රුබෙල්ලා එන්නත දෙන විට ඒ අසලින් ගමන් කළ රෝහලේ වැසිකිළි පිරිසිදු කරන්නා අත්අඩංගුවට ගෙන නඩු අසා හිරෙ\ යැවීමට ඉඩ තිබේ. අපේ රටේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් ඒ තරමට මස්තකප්‍රාප්ත වී තිබේ. මෙතරම් මනුෂ්‍ය සංහාරයක් කළ ප්‍රභාකරන් ත්‍රස්තවාදියකු බව කීමට තරම් මේ රටේ දේශපාලනඥයන්ට කොන්ද පණ නැත්තේ

එකී අසීමාන්තික ප්‍රජාතන්ත්‍රවාදයේ බල අධිකාරිය නිසා ය.

ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය අමාත්‍යාංශය 1994 දී බලයට පත්වු චන්ද්‍රිකා කුමාරතුංග ආණ්ඩුවෙන් පසු අතීසාර රෝගියකු බවට පත් විය. රෝගියාට ප්‍රතිකාර වශයෙන් ගසන ලද අමුඩය දිගින් දිගටම මාරු කිරීම නිසා අද වන විට අමුඩ රෙදිවල පවා හිඟයක් හටගෙන තිබේ. එක්කෝ පරණ සේලයින් ඇණවුම් කළ නිසා සෞඛ්‍ය අමාත්‍යාංශය අපකීර්තියට පත් වෙලා ය. නැතහොත් කල් ඉකුත් වු පැරසිටමෝල් ඇණවුම් කළ නිසා සෞඛ්‍ය නිලධාරීන් ටෙන්ඩර් වංචාවකට මැදි වෙලා ය. දොස්තරවරු, හෙදියෝ, සුළු සේවකයෝ හැමදාමත් උදේ අවදි වන්නේ ඉස්පිරිතාලවල වර්ජනයක් තිබේ ය යන ආරංචිය ඇසීමේ ආසාවෙනි. ඉතින් මෙවැනි අමාත්‍යාංශයක රුබෙල්ලා එන්නතින් පසු දැරියන් 25 ක් රෝගී වීම හා එක දැරියක් මිය යෑම "සාමාන්‍ය අසාත්මික තාවක්" පමණි. එතැනින් එහාට නඩු නැත.
(දිවයින_09/03/21)

පසු වදන_මේ අසාත්මිකතාව එතරම් හොඳ නැත. එතරම් නොව කොහෙත් ම හොඳ නැත. මෙවන් අසාත්මිකතා තවදුරටත් සිදුවීම ආණ්ඩුවේ පරමායුෂ කෙටි කරන බව පාලකයින් අවබෝධ කරගැනීම යෙහෙකි. සෞඛ්‍ය ඇමතිතුමාට ලෝක සෞඛ්‍ය සංවිධානයේ වැඩ බහුල නම් ඒ ඇමතිකම ද අන් කෙනෙකුට දිය යුතු ය. එවිට ජනපතිතුමාට තව හස්ති රාජයෙක් හීලෑ කරගත හැකි ය. හොඳ ඇත් ගොව්වෙක් යටතේ අලි, මහ අලි වැඩ කරන බව පෙනේ.

වර්ජන, සංකේත වර්ජන, අකුරට වැඩ කිරීම, ලෙඩ නිවාඩු, උද්ඝෝෂණ ගැන විසි හතර පැයේ ම කල්පනා කරන, එක එක වෘත්තිය සමිති යයි කියාගන්නා හෙංචයියලාගේ රූකඩ බවට බත්ව ඇති සෞඛ්‍ය සේවකයින් තමන්ට පැවරී ඇති වගකීම ගැනත් දවසට එක පැයක්වත් සිය හදවතට එකඟව කල්පනා කළ යුතු ය.

2 comments:

නිලන්‍ත said...

වගකීම භාරගැනීම කෙසේ වෙතත් වගකීමෙන් නිදහස් වීමට මේ සියලු වගකිවයුත්තෝ උත්සාහ දරනු ඇත. ඒ අප රටේ ඇති නිර්ලජ්ජ දේශපාලනයේ සිට සියලුම වගකිවයුතු නිලධාරීන්ගේ ක්‍රමයයි. ඉල්ලා අස්වන සමහරු "මහ ජනතාවගේ බලවත් ඉල්ලීම පිට" නැවතත් "රැකියාවට"එති.

නාමල් උඩලමත්ත said...

කටේ මසුරන් දැමිය යුතු කතාවක්. සමහරු සිය වහල මතට මහ ජනතාව නග්ගවති. තම දේශපාලන නායකයා නැවත මහජන සේවයට යන තුරු තමා මාරාන්තික උපවාසයකට පිවිසෙන බව වහල මත සිටින උන් පවසති. ඉතින් ජනතා තීන්දුව සියලු තීන්දුවලට වඩා බලවත් හෙයින් ඒ අහිංසක උතුමෝ නැවතත් මහජන සේවයට වඩිති. මේ උතමන්ගේ සේවය කෙතරම් හොඳ ද යත් රට දිනෙන් දින අගාධයට ම ඇදී යයි.

එහෙත් සිය සගයන් ද ජනතාව ද පුනපුනා ඉල්ලා අස්වන්නැයි කීව ද ඉල්ලා අස් නොවන ඡන්ද බර ගණනකින් ප්‍රතික්ෂේප කළ ද නිලය නිවන යයි සිතන උතුමෝ ද මේ රටේ වැඩ වසති.

මේ රටේ පැවැති මහත්මා දේශපාලනය, 77 ධර්මිෂ්ට සමාජයට පිං සිදුවන්නට අතගෑවි ගියේ ය. එහෙයින් සියල්ල මුල සිට ඇරඹිය යුතු තැනට රට පැමිණ ඇත.

මේ සියල්ලට හේතුව මහින්ද චින්තනය බවත් වහා යූඇන්පී ආණ්ඩුවක් පිහිට විය යුතු බවත් අර මුහුදු කොලුවා (ඔහු මේ නමින් විවිධ අඩවිවල ලියයි.) නම් කියනු ඇත.

 
සිය රට දේ සිරි සැප දේ !