Monday, March 2, 2009

පුදුමෙනුත් පුදුමයි

"ලෝකය පුදුමවලින් පිරී ගොස් තිබේ. එහෙත් මේ හැම දෙයටම වඩා පුදුම දෙය මිනිසා ය" යනුවෙන් ග්‍රීක නාට්‍යකරුවකු වු සොෆොක්ලීස් (ක්‍රි.පු. 496 : 406) වතාවක් ලිවීය. ඔහු ලියු තරමක් ලියුවේ ඛේදාන්ත නාට්‍ය ය. එයට හේතුව මේ සමාජය තුළ සතුටට වඩා ඛේදය හට ගැනීමට ඇති ඉඩකඩ වැඩිවීම විය හැකි ය. පුදුම මිනිසා විසින් නිර්මාණය කරනු ලබන පුදුම සමාජය තුළ පුදුම බලවේග හට ගනී. යහපත් ගෘහණියක් ආදරණීය මවක් හා අවංක බිරිඳක් විය යුතු ගැහැනියක් ඉන වටා බෝම්බ බැඳගෙන පිරිසක් මැදට ගොස් පුපුරුවාගෙන තමාත් කැබලි වී අනුනුත් කැබැලි කිරීමට ඉටා ගන්නේ මේ පුදුම සමාජ බලවේගවල හේතුවෙනි. සිය සෙලියුලර් දුරකථනය සොරාගත්තේ යැයි කුඩා දරුවකුට චෝදනා කළ ගුරු මෑණියක් දිළිඳු ශිෂ්‍යයකුට පිට පුපුරණ තුරු පහර දුන් අන්දම ඉකුත් රැයෙක රූපවාහිනි නාලිකාවක් මගින් ප්‍රචාරය විය. මේ ගුරු මෑණිය රදාවානේ මහගමසේකර විදුහලේ සේවය කරන්නී ය. සිය ක්‍රියාව තුළින් තමා ගුරුවරියක නොව යකින්නියක බව ඇය ඔප්පු කළා ය. කුඩා දරුවකුට එසේ තැලීමට තරම් ඇය පෙළඹවු බලවේගය කුමක්ද? ඇය අත්අඩංගුවට ගෙන හැකි උපරිම දඬුවම් දීමට පමා වන්නේ ඇයි?

හැමදාමත් අප ලියන ප්‍රභාකරන්, ජීවන වියදම, යුද්ධය වැනි කාලකන්නි මාතෘකා පැත්තකින් තබා ඊයේ (02 දා) "දිවයිනේ" පළ වු පුවතක් ගැන අද ලියමු. සිරුර පුරා ගංජා බැඳගත් වියපත් මවක් සහ ඇගේ ගැබ්බර දියණිය පොලිස් අත්අඩංගුවට පත්වීම මේ පුවතයි. ගංජා යනු මත්ද්‍රව්‍යයකි. ලෝකයට දරුවන් බිහි කළ මවක් සහ ලෝකයට දරුවකු බිහි කිරීමට සුදානමින් සිටින මවක් ලෝකයේ අනාගතය විනාශ කරන බියකරු මත්ද්‍රව්‍ය ප්‍රවාහනයේ යෙදුණේ කවර නම් විනාශකාරී බලවේගයකට හිස නැමීමක් වශයෙන්ද? පුපුරණ ද්‍රව්‍ය සිරුරෙහි බැඳගෙන පුපුරුවා ගන්නා බෝම්බකාරියක් සහ ගංජා තොගයක් වෙළෙඳපොළට ප්‍රවාහනය කර සමාජය ඝාතනය කරන කාන්තාවක් අතර වැඩි වෙනසක් නැත. පළමුවැන්නී තමා සහ අවට සිටින තිස් හතළිස් දෙනකුට කෂණිකව මරු කැඳවයි. දෙවැන්නිය තරුණ පරම්පරාව මත්ද්‍රව්‍යවලට හුරුවීමේ පාපයට දායක වී දහස් ගණනකට ක්‍රමානුකුල මරණයක් ගෙන දෙයි. මේ සියලු දේට වරද දුප්පත්කම යැයි තර්ක කිරීමට කෙනකුට පිළිවන. දුප්පත්කම නිර්මාණය කරන්නේ ද මනුෂ්‍යයා විසිනි. සුරාකෑම, නිෂ්පාදන සාධක සමසේ බෙදී නොයෑම සහ නූගත්කම යනාදිය නිසා දුප්පත්කම එසේම පවතී. දුප්පත්කම නඩත්තු කිරීමට දෙගුණයක මුදලක් වුවමනා ය. දුප්පත්කම නිසා හට ගන්නා සමාජ උපද්‍රව සමනය කිරීමට තවත් මුදලක් වුවමනා ය.

අපේ රටේ මවුවරු හිටි හැටියේ ළමයින් කර පින්නාගෙන ගංගාවලට පනියි. තවත් සමහරු එක වස බෝතලය දරුවන් සමග බෙදාගෙන පානය කර මියෙති. තවත් සමහරු ගිනි තබා ගනිති. යුද්ධය නැති කාලයේදීත් මේ සමාජ විෂමතා එසේම තිබිණි. යුද්ධය ඇති මෙකලත් ඒවා එසේම ය. යුද්ධය අවසන් වු පසුත් මේවා මෙසේම පවතිනු ඇත.

මේ සමාජයේ කිසියම් තැනෙක කිසියම් වරදක් ඇතැයි සමහරු කියති.

අපගේ වැටහීම නම් මේ සමාජයේ බොහෝ තැන්වල බොහෝ වැරදි ඇති බවයි. ඒ වැරදි නිවැරදි කරන දවස එන තුරු මවුවරුන් ගංජා ප්‍රවාහනය කරනවා ඇත. දරුවන්ට වස පොවා තමන්ද වස බොනවා ඇත. සොෆොක්ලීස් කී කතාව ඇත්තකි. ලොව ඇති පුදුම අතර ලොකුම පුදුමය මිනිසාය. ඔහු විසින් මවන හොඳ දේ හා නරක දේ ඊටත් පුදුමය.

(දිවයින_09/03/03)

2 comments:

දිසා said...

නාමල් මෙවාට ගොඩක් දුරට හෙතුවන්නෙ මිනිසුන්ට ඇති ආර්ථික දුෂ්කරතාවයි. මට මතක හැටියට චක්කවත්තිසිහනාද සුත්‍රයේ මෙ කාරනාව හෙදට තියනවා

නාමල් උඩලමත්ත said...

ඒක ඇත්ත දිසා, අප මුහුණදෙන බොහෝ ප්‍රශ්නවලට ප්‍රධාන හේතුව දුප්පත්කම. ඔය විවිධ රටවල් අපේ ප්‍රශ්න අපට විසඳගන්න ඉඩ නොදෙන්නත් ආයුධයක් කරගන්නනේ දුප්පත්කම තමා.

කො‍හොම වුණත් රටේ කිසිම දුප්පතෙක් නැති වනතුරු මේ ප්‍රශ්න විසඳන්න බලාඉඳලා බැහැ. අනෙක මේ සියලු වැරදි පසුපස ඉන්න අය දුප්පත් ද? ඊට වඩා දුප්පත් එහෙත් කාටත් වරදක් නැතිව ජීවත් වන අය නැද්ද? ඇතැම් හොරු දූෂකයෝ කෝටිපතියෝ නෙමේ ද? ඒ කියන්නේ දුප්පත්කම එක හේතුවක් විතරයි. හේතු හරි සංකීර්ණයි. එහෙත් විසඳුම් වහා අවශ්‍යයි.

 
සිය රට දේ සිරි සැප දේ !