Wednesday, December 22, 2010

ජාතික ගීයේ ප්‍රශ්නය

සෑම රටක ම ම සිය ජාතික උත්සවවල දී සහ රට නියෝජනය කරන උත්සවවල දී ගැයීමට ගීයක් තිබේ. එය ජාතික ගීයයි. මේ ගීතයේ වචන, ස්වර මාලාව බොහෝ විට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට ඇතුළත් වෙයි. බොහෝ රටවල ඇත්තේ ජාතික ගී එකක් වුව ද ඇතැම් රටවල එහි පරිවර්තන තිබේ.

කැනඩාව, පිලිපීනය, බෙල්ජියම, ස්විට්සර්ලන්තය, ද. අප්‍රිකාව වැනි රටවල ජාතික ගීයේ කොටස් හෝ මුළු ගීතය ම භාෂා කිහිපයකින් සමන්විත වෙයි. මේ රටවල බොහෝ විට ෆෙඩරල් පාලන ක්‍රමවලට නැඹුරු කුඩා කොටස් එකතු වී සැදුණු රටවල් බව ද ලෝකයේ 200ට වැඩි රටවල් අතරින් එම ඉතා අල්පයක් බව ද පැහැදිළි ය.

ඉන්දියාවේ භාෂා 200ට අධික ගණනක් ව්‍යවහාර කළ ද ඇත්තේ එක ජාතික ගීයකි. එය රවින්ද්‍රනාත් තාගෝර්තුමා විරචිත 'ජන ගන මන' නමැති බෙංගලි ගීයයි. එය බහුතර හින්දියට පෙරළා ව්‍යවස්ථාගත කර නැත. බෙංගලී නොදත් කෝටි ගණනක් ජනතාව එය තම ජාතික ගීය ලෙස සලකා, එහි අරුත නොදැන ගයති. බුහුමන් කරති.

සිංගප්පූරු ජාතික ගීය රචනා වූයේ මැලේ බසිනි. පසුව එය ඉංග්‍රීසි, චීන මැන්ඩරීන් සහ දෙමළ භාෂාවලට ද පරිවර්තනය විය. එරට 75%ක් මැන්ඩරින් බස කතා කළ ද 13%ක් කතා කරන මැලේ බසින් රචිත මුල් ජාතික ගීය නිල උත්සවවලදී ගායනා කළ යුතු යැයි නීති පනවා තිබේ.

මෙරට ජාතික ගීය ලෙස 1951 "නමෝ නමෝ මාතා" ගීය පිළිගත් අතර එහි පද සහ සංගිතය ආනන්ද සමරකෝන් මහතා රචනා කළේ 1940 දී ය. එය 1951 සර් එඩ්වින් විජේරත්න ප්‍රමුඛ කොමිටියක් විසින් ලංකා ජාතික ගීය ලෙස යෝජනා කරන ලදී. 1962 "ශ්‍රී ලංකා මාතා" වෙනස් කරන ලද්දේ අශුභ ගණ පිහිටීමක් ඉවත් කිරීමට ය.

ලංකා ජාතික ගීයට ද දෙමළ සහ ඉංග්‍රීසි පරිවර්තන තිබේ. එහෙත් නිල රාජ්‍ය උත්සවවල ගායනා කරන්නේ සිංහල මුල් ගීයයි. එසේ විවිධ පරිවර්තන තිබීම ගැ‍ටළුවක් නොවුණ ද ඒවා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට ඇතුළත් කිරීමේ උවමනාවක් නැත. එහෙයින් 1977 ව්‍යවස්ථාවෙන් දෙමළ පරිවර්තය ව්‍යවස්ථාගත කිරීම වැරදි ය. එවන් උවමනාවක් නැත. ඉන් සිදුව ඇත්තේ නැති ප්‍රශ්න ඇති වීම පමණි.

අප ගයන්නේ ජන වාර්ගික ගීයක් නොව ජාතික ගීයයි. එය රටේ එකමුතුකම පිළිබඳ ගීයයි. එහිදී වැදගත් වන්නේ එය කුමන බසින් ද එම බස කතා කරන පිරිස කොතරම් ද යන්න නොව එය අපේ ජාතික ගීය ලෙස සැලකීමයි. එයත් විවිධ බසින් ගයයි නම් අප අතර ඇති සමගිය කුමක් ද? ජාතික ගීය භාෂා කිහිපයකින් ගැයීමට ගත් විට ප්‍රායෝගික ප්‍රශ්න ද ඇති වේ. සියලු ජාතීන් නියෝජනය කරන ජාතික උත්සවයට පිරිසක් ‍සිංහලෙන් ද තව පිරිසක් දෙමළෙන් ද සෙසු අය ඉංග්‍රීසියෙන් ද ගයන්නට වුවහොත් ඇති වන තත්ත්වය කුමක් ද? ඊනියා ජනවාර්ගික ප්‍රශ්නයට විසඳුම් ලෙස, පය බරවාට පිටිකර බෙහෙත් බඳින මාදිලියේ කටයුතු නිසා සිදුවන්නේ නැති ප්‍රශ්න ඇති වීම පමණි. එහෙයින් අප කළ යුත්තේ අසල්වැසි ඉන්දියාව, සිංගප්පූරුව මෙන් ම ලොව බහුතර රටවල ආදර්ශය ගෙන එකම කොඩිය යට සිට අපේ ජාතික ගීය "අප ශ්‍රී ලංකා මාතා" ලෙස එක හඬින් ගැයීම පමණි.

Friday, December 10, 2010

ජනතාවට ඔටු කිරි පොවන්නට ආවොත් . . .

මෙරට එක්තරා නියෝජ්‍ය ඇමතිවරුයෙක් රටේ කිරි හිඟයට අපූරු යෝජනවක් ගෙනැවිත් තිබේ. ඒ මේ රටට ඔටුවන් ආනනය කර ජනතාව ඔටු කිරි බීමට පෙළඹවීමයි. සිංහල ගැමියන් 'හිසේ ඇම්මට කොට්ටේ මාරු කරනවා'යැයි කියා සිනාසෙන්නේ මේ වගේ අමන වැඩවලට ය. එක අතකින් තමන් වැනි අමනයන්ට ඡන්දය දුන්නේ ජනතාව ඔටුවන් නිසා යැයි ඇතැම් මැති ඇමතිවරු සිතා සිටින බව ද පෙනේ.

ජනතාව දියර කිරි පානයට යොමු කළ ද පිටි කිරි පානයට කිසිසේත් හුරු නොකළ යුතුව ඇති අතර එය අධෙර්යමත් කළ යුතු ය. පිටි කිරි යනු ජනතාව පෝෂණ ගුණ සපිරි කෑම කැයි සිතා ලොකු මිලක් ගෙවා කිරි මැටි ගිලීම වැනි වැඩකි. සෙල්සියස් අංශක 400 පමණ උණු කර පිටි බවට හරවා ඇති පිටි කිරිවල ඇති පෝෂණ ගුණයක් නැත.

මේ නියෝජ්‍ය ඇමතිවරයා රටේ කිරි හිඟයට හේතුව ලෙස දකින්නේ රටේ ගව සම්පත අධික ලෙස ඝාතනය කිරීම ය. එසේ නම් කළ යුත්තේ ගව සම්පත ආරක්ෂා කර ගැනීමට අවශ්‍ය නීති සම්පාදනය කර ගව සම්පත රැක ගැනීම මිස ජනතාවට ඔටු කිරි බොන්න යැයි කීම ද? අතීසාරයට අමුඩ ගහන මේ උන්දැලා දිනකට ඔටුවෙකුගෙන් ලබා ගත හැක්කේ කිරි පයින්ට් 13ක් පමණක් බව ද එළදෙනකගෙන් කිරි පයින්ට් 50 ලැබෙන බව ද දැන සිටින්නේ ද?

1977 ජේ.ආර්. උතුමාට රට භාර දෙන විට මෙරට අවශ්‍යතාවෙන් 80%ක් දේශීය කිරි නිෂ්පාදකයින් විසින් සැපිරූ අතර අද වන විට එය 15% දක්වා පහත බැස තිබේ. මේ තත්ත්වයට විවෘත ආර්ථික ක්‍රමය ගෙනා ආ අය මෙන් ම එය නඩත්තු කරමින් රටේ සම්පත් විනාශ කළ අය ද වගකිව යුතු ය.

දැන් කළ යුත්තේ අතීසාරයට අමුඩ ගැසීම නොවේ. මෙවන් තක්කඩි අමන කතා කීම නො වේ. රටේ ගව සම්පත ආරක්ෂා කිරීමට වහා පියවර ගැනීම ය. රටට අවශ්‍ය කිරි, රටේ නිපදවන අතර රටින් කිරි පිටි ගෙන ඒම ක්‍රමයෙන් අධෛර්යමත් කිරීම ය. ජනතාව දියර කිරි පානයට හුරු කිරිම ය. එය ස්වයංපෝෂිත ආර්ථිකයක් කරා යන ගමනට අනීවාර්ය පියවරකි.

එසේ නො මැතිව රටේ ජනතාව ඔටුවන් යැයි සිතා ඔවුන්ට ඔටු කිරි පොවන්නට ආවොත් නුදුරේදී ම මේ උන්නැහෙලාට ඔටු කිරි පොවන්නට ජනතාව පියවර ගනු ඇත.

Thursday, December 9, 2010

කබල් දේශපාලනයට යට වුණු නොබෙල් ත්‍යාගය


නොබෙල් සාම ත්‍යාගය මෙවර ලැබුණේ චීන සිරකරුවෙකු වන ලියු සියාඔබෝට ය. ඔහුට චීන රජය විසින් වසර එකොළහක සිරදඬුවමක් නියම කරන ලද්දේ රතු චතුරස්‍ර අරගලයට නායකත්වය දීම නිසා ය. තව වසර 20-30ක් තුළ ලෝක ආර්ථික බලවතා වන චීනය කෙරෙහි බටහිර රටවල ඇති තරහ පිරිමසා ගැනීමට මේ සාම ත්‍යාගය භාවිත කරන බව පැහැදිළි ය.

නොබෙල් සාම ත්‍යාගය මෙන් ම සාහිත්‍ය ත්‍යාගය ද මෙසේ දේශපාලන ආයුධයක් ලෙස මෑත ඉතිහාසයේ දිගින් දිගට ම භාවිත කර තිබේ. බටහිර ගැති නොවන ආණ්ඩුවලට එරෙහි වන්නත්, එකී ව්‍යාපාර වෙනුවෙන් පොත් ලියන්නන් වීරයින් ලෙස හුවා දැක්වීම එම ව්‍යාපාරයයි. සලමන් රුෂ්ඩි, අවුං සාං සුකී මෙන් ම ලියු සියාඔබෝ ද අයිති වන්නේ ඒ කුලකයටයි. නියමින් හෝ අනියමින් බටහිර සේවය කිරීම මේ ත්‍යාගය ලැබීමට හේතු වෙයි. දේශපාලන අනාථයින් වන වික්‍රමබාහු වැන්නෝ මේ සම්මාන සඳහා කෙළ හලන බව හැසිරීමෙන් පෙනේ.

මේ ඊනියා වීරයින් විසින් කරන ලද්දේ සිය රටේ සමාජ සංස්කෘතික හර පද්ධති විවේචනය කිරීම, ඒවාට සමච්චල් කිරීම, බටහිර ගැති නොවන ආණ්ඩුවලට විරෝධය පෑම වැනි කටයුතු ය. නැතහොත් අධිරාජ්‍යවාදීන් විසින් කලක් කළ දේ උන් විසින් පෝෂණය කළ ස්වදේශිකයෙකු විසින් කිරීම පමණි. තම අධිරාජ්‍යවාදය එකී සමාජ වෙත පතුරුවා හැරීමට මෙකී පුද්ගලයින් විසින් ඉටු කරන ලද මෙහෙවර ඇගයීමක් පමණි මේ සම්මානය. මේ වූ කලි කැලෑ නසන්නට කැලේ ගසක් යොදා ගැනීමේ තියරියයි.

එහෙයින් එම උළෙල වර්ජනය කිරීමට ලංකා රජය ගන්නා ලද ක්‍රියා මාර්ගය අපි අගය කරමු. ඒ වෙනුවෙන් පෙනී සිටිමු. එහෙත් එකී මතවාදය වෙනුවෙන් ඔස්ලෝ තානාපතිවරයා පෙනී නොසිට, අන් රටවල් කරන දේ තමා ද කරන බව පැවසීම සහ මෙය නිල රාජ්‍ය උත්සවයක් නොවන නිසා සහභාගී නොවෙතියි පැවසීම වැනි ඇල් මැරුණ කතා අපි හෙළා දැකිය යුතුව තිබේ. මෙය නිළ රාජ්‍ය උත්සවයක් වුව ද සෙසු රටවල් සහභාගි වුව ද අප වර්ජනය කළ යුතු අවස්ථාවකි. එහි නිවැරදි බව ඉතිහාසය විසින් තහවුරු කරනු ඇත.

කළ යුත්තේ, බටහිර දේශපාලන ව්‍යාපෘතිවලට අපි කර නොගසන බවත්, බටහිර පදයට අපි නටන්න සුදානම් නැති බවත් තම මිතුරු රටක් අපහසුතාවයට පත් කිරීමට මෙකී සාම න්‍යාගය ගණිකා වෘත්තියේ යෙදවීමට අප විරුද්ධ බවත් ඒ නිසා මේ උළෙල වර්ජනය කරන බව පැවසීම පමණි.

Sunday, December 5, 2010

ගලේ පැහැරූ ආණ්ඩුවට වෙච්චි දේ . . .

ජනාධිපතිතුමා සුදු කොටි ගුහාවට රිංගා සහ හිස් අතින් යළි ඒම ගැන දෙස් විදෙස් සක්කිලි ද්‍රෝහීන් උදම් අනන අතර ආණ්ඩුව ගලේ පැහැරූ බළලාගේ තත්ත්වයට පත්ව තිබේ. රටේ නැති මනස්ගාත රජය පැත්තෙන් ගලා එයි. තම වරද පිළිගෙන යළි මෙවන් වැරදි සිදු කොවීමට කටයුතු කිරීම රජයේ වගකීම බව ප්‍රකාශ කරමින් මේ ටික ද ලියා තබමි.

මේ ගමන කිසිම රාජතාන්ත්‍රික ගමනක් නෙමේ. බ්‍රිතාන්‍ය රජය හෝ ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාලය නිල වශයෙන් අපේ ජනාධිපතිතුමාට ආරාධනා කරලත් නැහැ. මේක ඔක්ස්ෆර්ඩ්වල ඉගෙන ගන්න සිංහල සිසුන් කිහිප දෙනෙකුගේ උවමනාවට කරපු වැඩක්. අනෙක ශ්‍රීලනීප ලන්ඩන් ශාඛාව ජනාධිපතිතුමාට මේ ලන්ඩන් ඒමට තරම් හොඳ වෙලාවක් නෙමේ කියලා දැනුම් දීලා තිබුණා.

මේ ඔක්කෝට ම වඩා බ්‍රිතාන්‍යය කොටි තිප්පොළක් බව අපි දන්නවානේ. ඒ වන විට කොටි ජනාධිපති අත්අඩංගුවට ගන්න එහේ අධිකරණයකින් නියෝගයකුත් අරගෙන. මේ කිසිවක් ගැන හොයා නොබලා මේ වගේ ගමන් යාම අන්තිම භයානකයි. මේ ගමනේ දි මහින්දට යම් අනතුරක් වුණා නම් දකුණේ ජනතාව නැවත කුපිත වෙලා 1983ක් ආයේ එන්න ඉඩ තිබුණා. ඒ නිසා වසර 100න් විතර අපේ රට ආපස්සට යන්න ඉඩ තිබුණා.

අවසානයේ එතුමා යහතින් මෙරටට පැමිණීම ගැන මම සතුටු වෙනවා. (සෝම හාමුදුරුවෝ වැඩියේ නෑ ආපහු.) ඒ වගේ ම මේ වගේ හුදු ජනප්‍රියත්වය උදෙසා කරන වැඩවලට, අනවශ්‍ය අවදානමක් ගැනීමේ වැඩවලට මගේ විරෝධතාව නැවත පළ කරනවා.

එංගලන්තේ ඉඳන් කොටි ආවොත් අල්ලනවා කීවා පළියට සරම කැහැපොට ගහ ගෙන එහේ දුවන්න ඕනද අපේ රටේ නායකයා? එදා ප්‍රභාකරන් කිලිනොච්චියේ ඉඳන් එහෙම තර්ජනය කළා නම් එයා කිලිනොච්චි දුවනවා ද? ඕක අභියෝග භාර ගැනීමක් නෙමේ. මෝඩ විදිහට සතුරාගේ අරමුණ ඉටු කර ගැනීමට අවස්ථාවක් දීමක්. සතුරාගේ කටට රිංගීමක්.

පංචතන්ත්‍රයේ සිංහයාගෙයි ඌරාගෙයි කතාව දන්නවා නේද? ඔන්න දවසක් විල අයිනේ සිංහයා ලැගලා උන්නා. කාලා බීල බඩ පිරිලා. ඉතින් ඌරත් වතුර බොන්න විලට ආවා. ළඟට එනකම් ම ඉන්නවා සිංහයා දැක්කේ නෑ. ඒ වුණාට සිංහයා ඌරා ආවා කියලා ගණන් ගත්තෙත් නෑ. මොකද සිංහයා හොඳට ම කාලා හිටියේ. ඌරා හිතුවා මේ සිංහයා මට බයයි කියලා. එහෙම හිතලා සිංහයාට සටනට අභියෝග කළා. ඉතින් සිංහයාගේ බඩත් හොඳට ම පිරිලා. ඒ නිසා ඊළඟ සතියේ දිනයක් දා ගමු කියලා සිංහලා ඇහුවා. ඌරත් ඒකට කැමති වෙලා රංචුවට ගිහින් කීවා හපන්කම.

වැඩිහිටි ඌරෝ ඔලුවේ අත තියා ගත්තා. කල්පනා කරලා මේ මෝඩ ඌරා‍ගේ ජීවිතේ බේරගන්න ඕන නිසා උපදෙසක් දුන්නා. සතියක් අශූචි වලක බැහලා ඉඳලා නියමිත දවසේ සටනට යන්න කියලා. ඌරත් එහෙම කළා. දැන් මුළු පළාතම ගඳ ගස්ස ගෙන ඌරා එනවා සටනට. සිංහයාට මේ ගඳ උහුලන් ඉන්න බැහැ. සිංහයා කීවා 'උඹ දිනුම්! උඹ දිනුම්! මේ පලාතකවත් ‍එන්න එපා' කියලා. සිංහයා පරාජය භාර ගත්තා. සටන් කරන්න ඕන තමන්ට ගැළපෙන ප්‍රතිවාදියෙක් එක්ක. එහෙම නොවුණා ම අශූචි නාන්න වෙනවා. මේ ඊනියා සංචාරය නිසා මහින්ද විතරක් නෙමේ අශූචි නෑවේ මුළු රට ම.

Thursday, December 2, 2010

අහක ඉන්න නයි රෙද්ද අස්සේ දා ගෙන . . .

ජනපති මහින්ද රාජපක්ෂට අප බෙහෙවින් ගරු කරන අයෙකි. එහෙත් 1505 මෙරටට බටහිර ආක්‍රමණිකයා කඩාපාත් වී වසර සිය ගණනක් උන් මේ රට පාලනය කිරීම නිසා මේ රටේ බොහෝ දෙනා තුළ උපන් හීනමානයෙන් ඔහුට ද ගැළවීමක් නැති බව පෙනේ. සුද්දා අපට වඩා උසස් ය. සුද්දාගේ සරසවි අපේ සරසවිවලට වඩා උසස් ය යන හීනමානය ඔහුට ද තිබේ. ඔක්ස්ෆර්ඩ්වලින් ආරාධනයක් එත් ම සියලු වැඩ පසෙක දමා එහි දුවන්නට බලා සිටින්නේ ඒ නිසා ය. එය තමාට මහත් ගෞරවයක් යැයි ඔහු සිතයි. මේ රටේ බහුතරයක් ද සිතයි. නැති නම් මේ රටේ ඔහුට විසඳීඹට දහසකුත් එකක් ප්‍රශ්න තිබේ. එහෙත් මේ රටේ සරසවියක වැඩකට ජනපති තබා ඇමති කෙනෙකු ද ගෙන්වා ගැනීම ලෙහෙසි නැත. නිදසුනක් ලෙස කැලණි සරසවියේ රිසර්ච් සිම්පෝසියමේ ප්‍රධාන ආරාධිතයා වූ ජී. ඇල්. පීරිස් මහතා පිළිගත් ආරාධනය ද පසෙක තබා ජනපතිගේ සාටකේ එල්ලී එංගලන්තයට දිවීම දැක්විය හැකි ය.

ඔක්ස්ෆර්ඩ් කලෙක මහා දැනුම් සාගර ලෙස විරාජමාන වූ බව සැබෑ ය. එමෙන් ම ඊට බොහෝ කලකට පෙර ඉන්දියාවේ නාලන්දා වැනි විශ්වවිද්‍යාල තිබිණි. ඒවායේ කීර්තිය ද එසේ ම විය. දැන් ඒ ආලෝකය නිවී ගොස් ය. අනෙක් ඒවායේ ඉරණය ද එයම ය. අප කළ යුත්තේ අනුන්ගේ දේ සරණ යෑම නොව ඒවායේ යම් යම් යහගුණයක් ඇත්නම් අප සරසවි වෙත ඒ ගුණය ඇතුළත් කිරීම පමණි. එසේ නොමැතිව අප ඔක්ස්ෆර්ඩ්හි දේශන දෙකක් කළම්හයි බොරුවට උදම් ඇනීම නොවේ. එය සුදු අධිරාජ්‍ය සමයේ උන්ගේ ආණ්ඩුවට කත් ඇද නයිට් නාම හිඟා ගැනීමට වැඩි වැදගත්කමක් මට නම් නො පෙනේ.

අවසන අහක ඉන්න නයි රෙද්ද අස්සේ දා ගෙන කෑවෝ කෑවෝ කියා ගෙන ජනපතිට හිස් අතින් ම නැවත ලංකාවට ඒමට සිදුව තිබේ. එංගලන්ත ආණ්ඩුවට බැණ පලක් නැත. එය කොටි හිතවාදි බව අප දන්නෙමු. මේ රජය ද එය දනිතැයි සිතමු. එසේ තිබිය දී එහි යන්නේ කුමට ද? අප උද්ඝෝෂණ කළ යුත්තේ ඒ සියල්ල දැන ගෙන කොටි තිප්පළට ජනපති යාමට විරුද්ධව ය. මෙවන් කොටි තිප්පොළවල කරක් ගහන්නට පෙර ජනපතිතුමා සිතිය යුතු බොහෝ දේ තිබේ. ගංගොඩවිල සෝම හිමි ද රුසියාවට වැඩියේ මෙවන් ආරාධනයක් පිළිගෙන බව අපට මතක ය. එහෙත් උන් වහන්නේ නැවත මව්බිමට නො වැඩියේ ය. එහෙයින් ජාතියක් දවල් වැටුණු වලේ රෑ වැටිය යුතු නැත.

Sunday, November 21, 2010

අයවැයට පෙර වදනක්

අද හවස අයවැය සභාගත වනු ඇත. රටට ආදරය කරන සමස්ත රටේ ජනතාව බලාපොරොත්තු වන්නේ සංවර්ධනාත්මක අයවැයකි. ඔවුන් තම කුස දෙස නො ව අනාගත ලංකාවේ සංවර්ධනය දෙස බලා සිටිති. තම කුසගින්න ගැන නොසිතා රටේ සංවර්ධන අභියෝග ජය ගැනීමට අවශ්‍ය ක්‍රියා මාර්ග මෙවර අයවැයෙන් ඔවුහු බලාපොරොත්තු වෙති. රටක් සංවර්ධනය කිරීමට නම් රටේ පරම්පරාවක් දුක්විඳිය යුතු බව කිසියම් කැප කිරීමක් කළ යුතු බව ඔවුහු දනිති. අද අප විඳින දුක හෙට අපේ දුවා දරුවන්ගේ සතුට උදෙසා බව ඔවුන්ට සිහිපත් කළ යුතු නැත.

එහෙත් තව පිරිසක් ආණ්ඩුවෙන් නිකන් කා බඩ පුරවා ගන්නට බලා සිටිති. ඔවුන්ට රටෙන් හෝ රටේ සංවර්ධනයෙන් වැඩක් නැත. අනාගත පරපුරට හෙන ගැහුවත් එයාලාට කම් නැත. අපට ඕන කන්න ය. කෑවා ම හොඳට ම ඇති ය. එසේ කන්න ඕනෑ අතපය නො සොල්ලා ය. කන්න දෙනවා නම් අපට බොන්න දෙනවා නම් වෙන මොන කෙන්ගෙඩියක්වත් අපට ඕනෑ නැත. ඒ නිසා පඩි වැඩි කළ යුතු ය. සහනාධාර වැඩි කළ යුතු ය. බදු අඩු කළ යුතු යුතු ය. බඩු මිල අඩු කළ යුතු ය.

මේ බඩගෝස්තරවාදීන්ට උල්පන්දම් දෙන්නේ එජාප සහ ජවිපෙ බලලෝභි දේශපාලන මුස්පේත්තුවෝ ය. එයාලාට අනුව රටේ කිසිම සංවර්ධයක් සිදු වී නැත. සිදු වී ඇත්තේ රට පස්සට යාම පමණි. සැබවින් ම සිදු වී ඇත්තේ රටේ සංවර්ධනය නිසා මේ අමන දේශපාලන රැළ ආපස්සට යාම ය. වේගයෙන් දුවන රියක සිටින විට මහපොළව ආපස්සට දුවන්නා සේ පෙනෙන ලෙස ම දේශපාලන කනත්තට දුනව මේ අයට රට පස්සට යනවා සේ පෙනේ. ඒ ගැන අප කලබල විය යුතු නැත.

රටට අවශ්‍ය සහනාධාර පොදි පිනට බෙදන පිංගුත්තරයින් බිහි කරන අයවැයක් නොවේ. අනාගත සංවර්ධන ඉලක්ක ජයගත හැකි අයවැයකි. 2009 '10 000 එපා අපට 2500ක් ඇති' යයි ජනතාව කීවේ එහෙයිනි. මේ ආණ්ඩුව පිහිට වූයෙත් සතරවරම් දෙවියන් සේ මේ ආණ්ඩුව රකින්නේත් අප මුලින් සඳහන් කළ බහුතර ජනතාව මිස අගුපිල්වල ලගින පාන් බකුස්සන් හෝ පිදේනි යදින්නන් නොවෙති.

Wednesday, November 17, 2010

හඳුන්නෙත්තිගේ වාසනාව!

සුනිල් හඳුන්නෙත්ති මහතා යාපනේ යාමට පෙර කළ කතාවක් රූපවාහිනිය ඔස්සේ දුටිමි. එහි දී ඔහු කීවේ සමාජවාදය යනු පෞද්ගලික දේපල රජයට ගැනීම නොවන බව ය. ඉන් ඔහු විවේචනය කිරීමට උත්සාහ ගත්තේ රජය සෙල් ගෑස් සමාගම නැවත රජයට පවරා ගැනීම ය.

පහුගිය කාලයේ පැවති රජයන් රටේ දේපල කුණු කොල්ලයට විකුණන විට ඊට විරුද්ධව රට අවදි කළේ ජවිපෙ යැයි කීමට අපි මැලි නොවෙමු. ඒ ගෞරවය ඔවුන්ට පුදන අතර ම අද එම පක්ෂය පත්ව ඇති බංකොලොත් භාවය ද හෙළි කිරීම නොකළ යුත්තක් නොවේ යැයි අපි විශ්වාස කරමු.

සමාජවාදය යනු රටේ පෞද්ගලික දේපළ රජයට ගැනීම යැයි කිසිවෙකු කියා නැත. එහෙත් විවිධ බහුජාතික සමාගම්වලට කුණු කොල්ලයට විකුණා දැමූ රටේ සම්පත් නැවත වරක් රට අත්පත් කර ගැනීම පිළිබඳ වඩාත් සතුටු විය යුතුව තිබුණේ ජවිපෙ ය. මෙරට ජනතාව සතුව තිබූ සම්පත් එසේ නැවත අත්කර ගැනීම රටට හැම අතින් ම වාසිදායක ය. එම සමාගම් ලාභ ලෙස මෙරටින් පිටට පොම්ප කළ ‍ඩොලර් මිලියන ගණනක මුදල් මේ නිසා යළි රටට ඉතිරි වෙයි.

එහෙත් සිය ප්‍රතිපත්ති පාව දී කුහක දේශපාලනයක යෙදෙමින් මහත් වැර වෑයමෙන් පිරිහෙන ජවිපෙට එය නොපෙනේ. ආණ්ඩුව වැරදි ය. රටේ සම්පත් විකුණුවත් වැරදි ය. විකුණු දෑ යළි ගත්තත් වැරදි ය. හරි ජවිපෙ පමණි. මේවා අසන ජනතාව හඳුන්නෙත්තිලාට ඔලු නැතැයි සිතන්නට වූහ. එහෙත් ඔහු යාපනේට යාම නිසා හඳුන්නෙත්තිට ඔලුවක් ඇතැයි ජනතාව දැන ගත්තේ ය. එය ඔහුගේ වාසනාව ය.

Thursday, October 14, 2010

රාජපක්ෂලා හිනි මගට පයින් ගසති!

නොබෝදා බැසිල් රාජපක්ෂ පහුගිය මැතිවරණවලදී ආණ්ඩුවට සහාය වූ ගම්පහ නීතිඥ පිරිස් හමු වී තිබේ. එහි දී නීතිඥවරුන්ට භෝජන සංග්‍රහයක් පවත්වා ඇති අතර නීතිඥවරු සිය ඉල්ලීම් ලෙස ඉදිරිපත් කර ඇති කරුණු කිහිපයකි.

* සිය දරුවන් පාසැල්වලට ඇතුල් කර ගැනීමට සහාය වීම (පිළිගත් ක්‍රමවේදයට පිටින් දේශපාලන බලය යොදා ඔවුන්ගේ දරුවන් පාසැල්වලට ඇතුල් කිරීම)

* නීතිඥවරුන්ට ආණ්ඩුවේ තනතුරු, අඩු තරමේ රාජ්‍ය සංස්ථාවක අධ්‍යක්ෂ මණ්ඩලයටවත් පත් කිරීම (එනම් රජයේ ආයතනවල ආණ්ඩුවට පක්ෂපාති වූ නිසා ම පත් කිරීම)

* ඇමතිතුමා පෞද්ගලිකව හමුවීමට අවස්ථාව දීම (එනම් මහජන දිනයේ නොව වෙන දිනවල සිය පෞද්ගලික කටයුතුවලට)

මේ සියල්ල අසා සිටි බැසිල් රාජපක්ෂ පවසා ඇත්තේ තමන්ට දරුවන් පාසැල්වලට දැමීමට බලපෑම් කළ නොහැකි බවත් එවන් ඉල්ලීම් නොකරන ලෙසත් ය. එමෙන් ම මහජන දිනයේ තමා හමුවන ලෙසත් පොදු ඉල්ලීම් මිස කිසිදු පෞද්ගලික ඉල්ලීමක් තමන්ගෙන් නො ඉල්ලන ලෙසත් ය.

මේ පුවත වාර්තා කළේ රජයේ මාධ්‍යයක් හෝ රජයට හෝ රටට හෝ හිතවත් මාධ්‍යයක් වූවා නම් මෙය තවත් දේශපාලන නාටකයක් යැයි අපට සැක කළ හැතිව තිබිණි. එහෙත් මෙය වාර්තා කර ඇත්තේ ලංකා ඊ නිව්ස් නම් වෙබ් අඩවියයි. මේ බැසිල්ගේ ප්‍රකාශයෙන් සාමාන්‍ය රට වැසියන් ලෙස අප සතුටු විය යුතු වුවත් සිය පාක්ෂිකයින්ට විශේෂ කොට සැලකීමේ ජරා දේශපාලනයෙන් මිදීමට ගත් වෑයමක් ලෙස ප්‍රශංසා කල යුතු වුවත් ලංකා ඊ නිව්ස් පවසන පරිදි මේ මහා අපරාධයකි. හිණි මගට පයින් ගැසීමකි.

එසේ නම් ඔවුන්ට බැසිල් කළ යුත්තේ සිය හෙංචයියලාගේ දරුවන් හොඳ පාසැල්වලට දමා ඒ හෙංචයියලාට සංස්ථා මණ්ඩල භාර දී ඔවුන්ගේ පෞද්ගලික ඕනෑ එපා කම් ඉටු කිරීම ය. එහෙත් අපට හිතෙන්නේ ඡන්දය අවසන් වූ පසු පක්ෂ විපක්ෂ සියලු දෙනා එක ලෙස සැලකීම යහපත් බව ය. එය ලංකා ඊ නිව්ස් අනුව නම් මහා පාපයකි. මුල අමතක කිරීමකි. මා නම් හිතන්නේ මෙය හිනි මගට පයින් ගැසීමක් නම් එසේ පයින් ගැසීම ශ්‍රේෂ්ටතම ක්‍රියාවක් බව ය.

ඒ ගැන ඔබට කීමට ඇත්තේ කුමක් ද?

Friday, October 8, 2010

හිටපු ජෙනරාල් නිදහස් කළ යුත්තේ ඇයි?





මේ ගැන විවිධ අය විවිධ කතා කියති. පහුගිය ජනාධිපතිවරණයේ දී ඔහුට පිරිත් නූල් බැඳ ආශිර්වාද කළ අය කියන්නේ යුද සමයේ සියලු දෙනා සමගිව සිටි හෙයින් දැන් ඔහුට සමාව දිය යුතු බවයි. තව ද දුටුගැමුණු, වලගම්බා සිය ජයග්‍රහණයෙන් පසු තම සෙන්පතියන්ට සැලකූ අයුරු ද ගෙන හැර පායි. එහෙත් ඒ සෙන්පතිවරු රජුට සැලකූ අයුරු නො දෙසති.

මොහු ගැලවීමේ හමුදාවටත් නුසුදුසු යැයි ද ජානක පෙරේරා හමුදාපති කළ යුතු යැයි ද කී එජාපය අද කියන්නේ ලොව හොඳම හමුදාපති සිරේ දැමීම අපරාධයක් බවයි. නැතහොත් සුදු වෑන්වලින් පැහැර ගෙන මිනිසුන් මරා දමතියි එදා පාර්ලිමේන්තුවේ චෝදනා කළ හමුදාපති නිදහස් කරන ලෙස ය.

ජවිපෙ කියන්නේ දළඳා මාලිගාවට පහර දී මහ සඟ රුවන මරා දැමූ කරුණාට රජ සැප දෙමින් මොහු හිරේ දැමීම අසාධාරණ බව ය. එහෙත් තමන් ද දළඳා මාළිගාවට පහර දුන් බව ද කොටිකාවත්තේ සද්ධාතිස්ස හිමි ඇතුලු මහ සඟරුවන මරා දැමූ බව නොකියති.

ලංකා ඊනිව්ස් වැනි මාධ්‍ය පවසන්නේ කොටි විනාශ කළ ෆොන්සේකා හිරේ දැමුවාට අන්තවාදි දෙමළ පිරිස් මහින්දට ස්තුති කර පෝස්ටර් ගසා ඇති බව ය. මේ පෝස්ටර් පසුපස සිටින්නේ බොරදියේ මාලු බාන ඊ නිව්ස් වැනි අය බව අප කිය යුතු නැත. දෙමළ ඩයස්පෝරාව සිය සතුරා හඳුනති.

පහුගිය ජනාධිපතිවරණයේ දී මේ දෙමළ ඩයස්පෝරාව ද සහාය දුන්නේ කාට ද? උතුරු නැගෙනහිර ඡන්ද ජයග්‍රහණය කළේ කවුද? යන සරල ප්‍රශ්නවලට පිළිතුරු සොයාගත හැකි අයට මේ කතාවලට හිනායාම වැළැක්විය නොහැකි ය. ඊනිව්ස් පුවත නිවැරදි නම් උතුරු නැගෙනහිර ඡන්දවලින් දිනන්නේ මහින්දය. එහෙත් දිනුවේ ඔවුන්ගේ වීරයා ය.

අප විශ්වාස කරන පරිදි හිටපු ජෙනරාල් නිදහස් කළ යුත්තේ මේ මනස්ගාත නිසා නොවේ. දේශපාලන අගාධයේ පතුලට වැටී සිටින කල්ලි දෙකක් එක්වී zero කෙනෙක් hearo කරන්නට යන ගමන වැළැක්වීමට ය. එදා අපට වීරයා වූ හිටපු ජෙනරාල් අද සීරෝ වූයේ කෙසේ දැයි දැන් ඔබ මගෙන් අසනු ඇත. ඔහු එදා සීරෝ වූ අයට ද්‍රෝහියා වූ අයට අද වීරයා වී ඇත. එවිට ඔහු අපේ වීරයා වන්නේ කෙසේ ද?

මේ වීරාභිෂේකය වෙනුවෙන් දෙමළ ඩයස්පෝරාව සිය යුතුකම මැනවින් ඉටු කළේ ය. ඒ උතුරු නැගෙනහිර ඔහු දිනවීමෙනි. එහෙත් රටේ වාසනාවට දකුණේ කල්ලි දෙකට එය කළ නොහැකි විය. මොවුන් කෙරෙහි විශ්වාසය තැබූ හිටපු ජෙනරාල්ට වූයේ අලි ඇබැද්දියකි. (උන්දෑට බලයක් තිබුණා නම් කටු ලොවින්නට දෙන්න තිබුණි මුන්ට) ඒ නිසා දැන් හිටපු ජෙනරාල්ගෙන් මේ කල්ලි දෙක සමාව ඉල්ලිම නිවැරදි ය.

දැන් එජාප සහ ජවිපෙ කල්ලි දෙක තතනන්නේ ලංකාවේ අවුන් සාං සුකී කෙනෙක් හදා ඒ පිටින් ගොඩ යන්නට ය. දෙමළ ඩයස්පෝරාව, බටහිර ඇතැම් රටවල් බලා සිටින්නේ ඒ හරහා නැවත රටේ බෙදුම්වාදය කරා දක්කන්නට ය. එහෙයින් කළ යුත්තේ හිටපු ජෙනරාල් නිදහස් කිරීම ය.


Wednesday, October 6, 2010

ආණ්ඩුවේ අවධානය පිණිස

ජෙනරාල් ඝාතනය කිරීමේ කුමන්ත්‍රණයක් ගැන ජවිපෙ විසින් පෝස්ටර් අලවා තිබිණි. එහෙත් ජෙනරාල් මරා දමා දැන් බොහෝ කල් ය. ලෝකයේ හොඳ ම යුද හමුදාපති ලෙස ගරු නම් ලද ජෙනරාල් දේශපාලන නරා වළට ඇද දමා මරා දැමුවේ ජවිපෙ සහ එජාලය විසිනි. ඒ තම පටු දේශපාලන අරමුණු වෙනුවෙනි. ඒ අනුව මේ පෝස්ටරය අලවා ඇත්තේ මිනීමරුවා විසිනි. අද වැලිකඩ තපින්නේ ජෙනරාල් නොව සරත් ෆොන්සේකා ය. අපේ යුද වීරයා නො ව යුද්ධයට විරුද්ධව කටයුතු කළ උන්ගේ පසුකාලීන නායකයා ය. හමුදාපති තනතුරට ජානක පෙරේරා පත් කළ යුතු යැයි කී අපේ වීරයා ගැලවීමේ හමුදාවට සුදුසු යැයි කී අයගේ නායකයා ය.

අපේ වීරයා රටේ හතුරන්ගේ පිළට ගොස් උන්ගේ නායකයා වූ කල අපට ඔහු වීරයෙක් වන්නේ නැත. ඔහු වීරයෙක් වන්නේ හතුරන්ගේ ය. ඔහු සිය පිළට එක්වීමෙන් වඩාත් සතුටු වු ඊළාම්වාදීන්ගේ ය. කෙසේ වුව ද විශ්‍රාම යන්නට බලා සිටි ෆොන්සේකා හමුදාපති කර, ඔහුට වීරයෙක් වන්නට මග හෙළි කළේ මහින්ද ය. මේ ටික ඔහුට අමතක වුව ද ජනතාවට අමතක නොවූ බව ජනාධිපතිවරණයෙන් ලද අන්ත පරාජයෙන් පැහැදිළි වෙයි.

මේ මොහොතේ දේශපාලනයේ අන්තයට පිරිහී වැලේ වැල් නැතිව සිටින විපක්ෂයට සටන් පාධ සැපයීමට, අනවශ්‍ය මහජන අනුකම්පාවක් ලබා ගැනීමට රජය ඉඩ දිය යුතු නැත. මේ මොහොතේ ෆොන්සේකා තරගයට විකුණමින් බොර දියේ මාලු බෑමට කිසිවෙකුට ඉඩදිය යුතු නැත. රට ගැන වෛරයෙන් සිටින ද්‍රෝහීන්ට ඒකරාශි වන්නට තිප්පොළවල් තනා දීම කළ යුතු නැත. කොටින් ම ලංකාවේ අවුන් සාන් සුකී කෙනෙක් තැනීමට නම් කිසිසේත් ඉඩදිය යුතු නැත.

දැන් මේ විපක්ෂය පෙළ ගැසෙන්නේ කුමකට දැයි ආණ්ඩුව අවබෝධ කරගත යුතු ය. ජාතික සහ ජාත්‍යන්තර තලයේ ජාතිකත්වය වෙනුවෙන් ද ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් ද ෆොන්සෙකා අලෙවි කර ඒ මතින් ගොඩ යෑම විපක්ෂයේ අරමුණ බව පෙනේ. ජවිපෙ සහ එජාපය පොරකමින් උද්ඝෝෂණ කරන්නේ ඒ සඳහා ය. ෆොන්සේකා ප්‍රජාතන්ත්‍රවාදය උදෙසා අභීතව සටන් කළ වීරයෙක් ලෙස බෞතීස්ම කරන්නට සතුරෝ පුල පුලා බලා සිටිති. ඒ කිසිවකට නොව මේ රජය පෙරළා දමා උන්ට අවශ්‍ය පරිදි රූකඩ ආණ්ඩුවක් පත් කර රට පාලනය කිරීමට ය. රට ආපස්සට ඇද ගෙන යාමට ය.

එහෙයින් කළ යුත්තේ ජනාධිපති සමාව යටතේ ෆොන්සේකා නිදහස් කිරීම ය. ඊනියා වීරයෙක් තැනීමට රජය සම්මාදම් විය යුතු ය. එමගින් විපක්ෂය මෙන් ම අපට හිනාවන්නට බලා සිටින ද්‍රෝහීන්ට ද බකං නිලා සිටින්නට සිදුවනු ඇත.

Tuesday, September 28, 2010

ජෙනරාල්ට වෙච්චි දේ

හිටපු ජෙනරාල් ඉස්සර අපට වීරයෙකි. ඔහු වෙනුවෙන් අපි ලීවෙමු. පෙනී සිටියෙමු. එහෙත් අවසන ජෙනරාල්ට ජනපති වීමට උවමනා විය. ඒ ගමන ආරම්භයේ ම සුදු කොඩි ඔස්සේ වීරයා මරාගෙන ද්‍රෝහියෙක් උපන්නේ ය. වීරයා මැරුවේ ජවිපෙය. වීරයාට පිහියෙන් ඇන්නේ ජවිපෙය. ද්‍රෝහියාගේ පියා ජවිපෙ ය. මව එජාපයයි.

එදා මාණ්ඩලික ප්‍රධානි ලෙස ඇමරිකාවට ගිය හිටපු ජෙනරාල් තමන්ගෙන් උපදෙස් ගත්තේ යැයි උජාරුවෙන් කී ටින් ටින් සිල්වා මේ ඉරිදා දිවයිනට කීවේ එය අසත්‍යයක් බව ය. එදා කතා කළේ සිල්වා ය. මෙදා කතා කරන්නේ ද සිල්වාම ය. ඔහුට එදා කී දේ අමතක වුව ද අපට අමතක නැත. ඔහු කියන සියල්ල ඇතැමුන්ට ඇත්ත වුව ද අපට නම් එසේ නැත.

අද The Island පත්තරේ එන මේ කාටුනය ජෙනරාල්ට වෙච්චි දේ අපට මැනවින් සිහිපත් කරදෙයි. යන එන මං නැතිව දේශපාලන කනත්ත බලා යමින් සිටින මළ පෙරහැරක මහ බඹා චරිතයට පණ දෙන්නට ජෙනරාල් වීරයා දිවි දුන්නේ ය. දුෂ්ටයා උපන්නේ ය. දැන් ඒ අගාධය වටේ සිට ජවිපෙ ජෙනරාල් විකුණති. ජෙනරාල් කෙසේ හෝ සිරගෙට යවා තම පක්ෂ දේශලාන මතවාදය ක්‍රියාවට නැගීමට ඇති එකම බාධකයෙන් නිදහස් වීම දැන් ජවිපෙ පැතුමයි. මේ උර චක්කර මාලයෙන් නිදහස් වී දඹුලු ගොහින් තලගොයි මරාගෙන එන්නට ජවිපෙ බලා සිටියි. තම මතවාදය වෙනුවෙන් රටේ සිය දහස් ගණනක් මරා දැමූ ජවිපෙට අවසානයේ ජෙනරාල් ද හපා විසි කරන උක් හපයක් පමණි.

Friday, September 24, 2010

දිවි හිමියෙන් රනිල් සුරකිමු

එජාප ප්‍රතිසංවිධාන යෝජනාවලියට බාලගිරි දෝෂය වැළඳීම පිළිබඳ සමාව අයැදිය යුතු රනිල් වික්‍රමසිංහ මහතා නොබෝදා එජාප මන්ත්‍රීවරු පිරිසක් 18 වැනි ව්‍යවස්ථා සංශෝධනයට පක්ෂ විම පිළිබඳ සමාව අයැදි සිටියේ ය.

18ට පක්ෂ වූ මන්ත්‍රීවරු මුදල්, වරප්‍රසාද සහ අනේක වරදාන පිණිස සිය ආත්මය පාවා දුන් බව පැවසු දයාසිරි ජයසේකර ඉන් පසු කීවේ පක්ෂ ප්‍රතිසංවිධාන යෝජනා තවත් පමා වේ නම් තමන් ඇතුලු පිරිසක් ස්වාධීන කණ්ඩායමක් ලෙස පාර්ලිමේන්තුවේ අසුන් ගන්නා බව කීවේ ය.

මේ වන විට දෛවයේ සරදමකට ලක්ව සිටින්නේ දයාසිරි ය. ඔහු 'ගෙදර ගියොත් අඹු නසී මග මිටියොත් තෝ නසී' තත්වයට පත්ව සිටියි. රනිල් කියන්නේ ස්වාධීනව සිටින්නට අදහස් කරන අය පක්ෂයෙන් ඉවත් විය යුතු බව ය. එක අතකින් මෙය ද ප්‍රතිසංවිධානයකි. පක්ෂයේ බුද්ධිමත් තරුණ ආකර්ශනීය නායකයින් පක්ෂය ගැන කලකිරී එය අතැර යයි.

මෙසේ ප්‍රතිසංවිධාන ඉල්ලු සියල්ලන් පක්ෂයෙන් විසිවී යන විට තමන් මත ද හෙට දවසේ වැදිය හැකි මුදල්, වරප්‍රසාද සහ අනේක වරදාන හංවඩුව, එහි ඉතිරි සිටින එකෙකුට, ගිය එකාගේ පිටේ ගැසිය හැකි ය. දැනට පක්ෂය වෙනුවෙන් මේ හංවඩුව ගැසීමට පැවරී ඇති ගයන්ත, තිස්ස වැන්නන්ට ද මේ හංවඩුව හෙට දවසේ වැදිය හැකි ය. මෙසේ යන කල අවසන ඉතිරි වන්නේ රනිල්, රවි, මංගල, අකිල වැනි පිරිසකි.

මෙය භයානක තත්වයකි. එජාපය තුළ ම ඇති එය විනාශවීමේ හේතු නිවැරදි නොකර ආණ්ඩුවට බැන පලක් නැත. විපක්ෂය දුර්වල වන තරමට ආණ්ඩුව කැමති ය. එහෙයින් රනිල් එජාප නායකයා ලෙස හැමදාම සිටී නම් ආණ්ඩුව හරි කැමති ය. රාමචන්ද්‍රලා ද රනිල්ට හරි කැමති ය. එසේ බලන කල මේ ආණ්ඩුව උන්දැලාට උදේ හවා පිං දිය යුතු ය.

Wednesday, September 15, 2010

එකා අධිපති කවුද?


රටක ප්‍රජාතන්ත්‍රවාදය සුරක්ෂිතවීමට ශක්තිමත් විපක්ෂයක් තිබිය යුතුය. එහෙත් අපේ රටේ එවැන්නක් නොමැත. 18ට විරුද්ධව කෑ මොර දුන් උඩුබිරූ අය ඒ ගැන කිසිවක් නොකියති. රටේ විපක්ෂය විනාශවීමට මූලික හේතුව රනිල් වික්‍රමසිංහගේ ආඥාදායකත්වයයි. ඔහු විපක්ෂ නායක වූ දා සිට ඔහු හා උරණ වී ආණ්ඩුවට ගිය පිරිස දැන් 60ද පැන තිබේ. හැමදාම නායකත්වය වෙනස් කරනට පෙරමුණ ගත් පිරිස නතර වූයේ ආණ්ඩුවේ ය. මුළු එජාපය ම එකත් පසකට වුව ද රනිල් එළවිය නොහැකි බව දැන් පැහැදිළි ය. ඒ පක්ෂ ව්‍යවස්ථාව එහි ඒකා අධිපති නායකත්වයක් තනා ඇති බැවිනි.

මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදය සුරක්ෂිත කරනට දැන් කළ යුත්තේ රටේ ව්‍යවස්ථාව නොව එජාප ව්‍යවස්ථාව වෙනස් කිරීමය. එහි නායකත්වය පත් කර ගැනීමට වඩා හොඳ ක්‍රමයක් නිර්මාණය කර ගැනීමය. ආණ්ඩු විරෝධීන් ද එජාප බැතිමතුන් ද දැන් කළ යුත්තේ එයයි. එවිට දැනට එජාප අභ්‍යන්තරයේ ඔඩුදුවා ඇති අර්බූධය කෙළවර වනු ඇත. එසේ නොකර තම ඇසේ පොල් පරාල සඟවා අන් ඇසක කෙහෙ ගසක් සොයන ක්‍රමය ඉදිරියට ගෙන යන්නේ කරන්නේ, ආණ්ඩුව ශක්තිමත් කිරීම පමණි.

රනිල් රටට නොගැලපෙන නායකයෙකු වන්නේ ඔහුගේ පුද්ගලික දුර්වලතා නිසා නොව ඔහු නියෝජනය කරන මතවාදය නිසා ය. මෙය රනිල්ගේ වරදක් නොව එකී බටහිර ගැති මතවාදයේ අර්බූධයකි. ඒ නිසා රනිල් එළවා රවි නායකයා කිරීම අතීසාරයට අමුඩෙ ගැසීමකි. ඔවුන් දෙදෙනා ම එක වල්ලේ පොල් ය. ජාතික ඇඳුමට රිගා ගත් පමණින් රවීට සිය බටහිර ගැතකම එහි සැඟවිය නොහැකි ය. එජාපයට නායකත්වය දීමට දැන් එහි සිටින නියම සුදුස්සා සජිත් ය. සජිත් තවම ළබාල යැයි රනිල් නිසා පක්ෂ නායකත්වයට කිට්ටු කළ නොහැකිව අකාලයේ වයසට ගිය අය පවසන කුහක කතා ජනතාව අනුකම්පාවෙන් බැහැර කරනු ඇත. විපක්ෂයට නිවැරදි නායකත්වයක් ලබා දීම මේ අවස්ථාවේ ප්‍රජාතන්ත්‍රවාදය උදෙසා කළ හැකි වැදගත් ම කාර්යයි.

Tuesday, September 7, 2010

18 ආණ්ඩුවේ මළගම ද?

8 වැනි දා සම්මත කර ගැනීමට යෝජිත දේශපාලන 18 වැනි ව්‍යවස්ථා සංශෝධනය පිළිබඳ බොහෝ දෙනා කතා කරති. දේශපාලන අනාථයෙකු ලෙස අලි අනාථාගාරයට ගිය මංගල සමරවීර උන්නැහේ සහ අපේ ගමේ ගයන්ත කරුණාතිලක උන්නැහේ ඒ ගැන කළ ප්‍රකාශ කෙරෙහි මගේ විශේෂ අවධානය යොමු විය.

මංගල කීවේ 18 සම්මත වීම ප්‍රජාතන්ත්‍රවාදයේ මළගම බව ය. පසුගිය ජනාධිපතිවරණයේ දී දකුණු ආසියාවේ හිට්ලර් බිහිකර ප්‍රජාතන්ත්‍රවාදය වළදැමීමට පුල පුලා සිටි සමරවීරය අද මෙසේ කියන්නේ. ඒ කතාව ඇසූ විට මට සිතුණේ යළි කිසිදා ජනාධිපතිවරණයක් නොපවත්වා ජනපතිට (මහින්දට) බලයේ සිටීමට අදාළ සංශෝධන ගෙන එනවා වැනි හැඟුමකි. එහෙත් එය එසේ නො වේ. වසර 6ට වරක් ජනතාව ඉදිරියට යාමට ඔහුට සිදුවෙයි. සිය වැඩපිළිවෙළ ජනතාව ලවා අනුමත කරගැනීමට ඔහුට සිදුවෙයි. ජනතාව අකමැති නම් මුල් වසර 6 අවසන වුව ඔහුට ගෙදර යාමට සිදු වනු ඇත. මෙය වසර 4 දක්වා පහත හෙළීම වඩා හොඳ ය.

1988 සහ 2005 වුව පැවති රජයන් යළි බලයට ආවේ ජේ.ආර් සහ චන්ද්‍රකා වෙනුවට පේමදාස සහ මහින්ද තරග කිරීමෙනි. එසේ නොකළා නම් එම මැතිවරණ ජයගන්නේ සිරිමා සහ රනිල් බව පැහැදිළි ය. මේ අවස්ථා දෙකේ ම එවක ජනාධිපතිවරු සිය පක්ෂයේ අනෙකෙකු වෙත අපේක්ෂකත්වය දුන්නේ අදාළ සීමාව නිසා මිස කැමැත්තකින් නොවේ. ඒ සීමා නොතිබිණි නම් සැබවින් ම සිදුවන්නේ ජේ. ආර්. සහ චන්ද්‍රිකා තරග කිරීම නිසා විපක්ෂය බලයට ඒම පමණි.

මේ අනුව 18 වැනි සංශෝධනය වඩා වාසිදායක විපක්ෂයට බව පෙනේ. ඔවුන් පවසන පරිදි මහින්ද රටට කිසිදු වැඩක් නොකරන නිසාත් 2017 ජනාධිපතිවරණ අපේක්ෂක මහින්ද නිසාත් ඔවුන්ට බලයට ඒමට ඇති කදිම අවස්ථාවකි මේ. කෙසේ වුව මහින්ද රටට වැඩ කළා යයි ද තව දුරටත් ඔහුගේ සේවය ලබා ගත යුතු යැයි ද ජනතාව තීරණය කළ හොත් කුමත් තරම් ද? ඒ ජනතා කැමැත්ත ය.

කරුණාතිලක උන්නැහේ කීවේ 18 ආණ්ඩුවේ මළගම බව ය. ඔහු මෙය කීවේ 18 පැමිණීමත් සමග පතෝල මැස්සක් මෙන් රජය කඩා වැටේය යන බොළඳ අරුතිනි. එසේ නම් විපක්ෂය කළ යුත්තේ අත් දෙක ම ඔසවා 18 සම්මත කර, ආණ්ඩුව වැටුණු පසු තම ආණ්ඩුවක් පිහිටුවා ගැනීම ය. කෙසේ වුව ද ඉහත මා කළ විග්‍රහ අනුව 18 දිගුකාලීනව ආණ්ඩුවට සුබවාදී නොවන්නට ඉඩ ඇත. 2010-12 වන විට මහින්දගේ ජනප්‍රිය බව අඩු වී තිබුණ ද ජනාධිපති සහ පක්ෂයේ නායක බලය යොදා නැවත තරග කළහොත් විපක්ෂ අපේක්ෂකයාට වාසි සහගත වනු ඇත. එවිට නැවුම් නායකත්වයකින් සහ නැවුම් වැඩපිළිවෙළකින් විපක්ෂය සන්නද්ධ වි සිටිය යුතුය.

මේ ප්‍රකාශ දෙක ම සසඳා බලන විට මංගලට වඩා පරිණත දේශපාලන බුද්ධියක් අපේ ගමේ ගයන්ත කරුණාතිලක උන්නැහේට ඇති බව පැහැදිළි වෙයි. එය අපටත් ආඩම්බරයකි.

Sunday, September 5, 2010

ව්‍යවස්ථාවෙන් සීමා පැනවිය යුත්තේ දිනන්නාට ද? පරදින්නාට ද?

ජේ.ආර්.ගේ ව්‍යවස්ථාව මරේ මරු එකකි. ජනාධිපතිවරණයක දී දිනන අපෙක්ෂකයාට, එනම් ජනතා කැමැත්ත ලබන්නාට සීමා පනවා තිබේ. එනම් ඔහු කෙතරම් හොඳින් රට පාලනය කළත් ජනතා ආශීර්වාදය තිබුණත් දෙවරක දී ගෙදර යා යුතුම ය. ‍3 වන වර ඔහුට ජන වරමක් ඉල්ලිය නොහැකි ය.ජනතා කැමැත්ත ප්‍රජාතන්ත්‍රවාදය නම් මෙහි ඇති ප්‍රජාතන්ත්‍රවාදය කුමක් දැයි ව්‍යවස්ථා සංශෝධනයට එරෙහි ව උඩු බුරන්නන් අපට කියා දෙන්නේ නැත.

එහෙත් ජනාධිපතිවරණයක දී පරදින්නාට සිය වරක් වුව යළි ඉල්ලිය හැකි ය. ඔහුට නීතියෙන් කිසිම බාධාවක් නැත. සැබවින් ම කළ යුතු වන්නේ ජනාධිපතිවරණයක දී 2 වරක් පරදින්නකුට යළි ඊට ඉදිරිපත් විය නොහැකි යැයි නීති පැනවීම ය. 5 වසර ශිෂ්‍යත්ව විභාගයට පෙනී සිටිය හැක්කේ වරකි. සරසවියට පිවිසීමට අපට උස්ස පෙළ සඳහා පෙනී සිටිය හැක්කේ 3 වරකි. පරිපාලන සේවා විභාගයට පෙනී සිටිය හැක්කේ 2 වරකි. එහෙත් සමස්ත රට පාලනය කරන ප්‍රධාන තනතුරට වරක් දෙවරක් නොව සිය වරක් ඡන්දය ඉල්ලා පැරදුන ද නැවත ඡන්දය ඉල්ලිය හැකි ය. මේ වූ කලී ජනතා පරමාධිපත්‍ය අන්තිම බිංදුවට හෑල්ලු කිරීමකි. අදාළ තනතුරු ද හාස්‍යයට ලක් කිරීමකි. රටේ උසස් පරිපාලන තනතුරුවලට යාමට ඇති විභාගවලට සීමා පනවා ජනාධිපතිවීමට කිසිදු සීමාවක් නොපැනවීම කවර නම් විහිළුවක් ද?

අද එජාපය නැති භංගස්ථාන වී විනාශ වී ඇත්තේ මේ නිසා නොවෙද? රටේ විශාලතම දේශපාලන පක්ෂය වූ එජාපය අද කොරෙහේ නෑවිය හැකි තත්වයට ඇද වැටී තිබේ. එහි සදාතනික නායක රනිල් වික්‍රමසිංහ උතුමාට පක්ෂ නායකයා ලෙස මැරෙන තුරු ජනපති ධූරයට තරග කළ හැකි ය.

සැබවින් ම රටේ ප්‍රජාතන්ත්‍රවාදයත් පක්ෂවල ප්‍රජාතන්ත්‍රවාදයත් ආරක්ෂා කිරීමට අවංක උවමනාවක් ඇති අය කළ යුත්තේ දිනන අපේක්ෂකයාට පනවා ඇති සීමා ඉවත් කිරීමට කටයුතු කිරීම පමණක් නො ව පරදින්නාට යම් සීමාවක් පැනවීම ය. ජනතා පරමාධිපත්‍ය ආරක්ෂා කළ හැක්කේ එසේ ය.

Saturday, September 4, 2010

බ්ලොග්කරුවෝ ආණ්ඩුව පෙරළති!

72 ප්‍රථම ජනරජ ව්‍යවස්ථාව යටතේ ධර්මිෂ්ට සමාජයක් තැනීම උදෙසා ජන වරමක් ඉල්ලු ජේ.ආර්. උතුමාට ජනතාව 6/5ක බලයක් ලබා දුන්නේ ය. ඒ උතුමා ධර්මිෂ්ට සමාජය හැදීමේ ප්‍රථම පියවර ලෙස සිය මන්ත්‍රීවරුන්ගෙන් දින රහිත ඉල්ලා අස්වීමේ ලිපි රැගෙන සාක්කුවේ දමා ගත්තේ ය. (ඒ 72 අගමැතිගේ බලයේ තරම ය. ගාමිණි දිසානායක, ලලිත් ඇතුලත්මුදලි වැනි සද්දන්ත අලි ද සිය ඉල්ලා අස්වීමේ ලිපි භාර දුන්හ. )

අනතුරුව විධායක ජනාධිපති ධූරයක් සහිත 78 ව්‍යවස්ථාව තනා ජන මතය නොවිමසා ධර්මිෂ්ට සමාජ ජනවරමින් ජනාධිපති විය. එවකට 72 හැවිරිදි ඒ උතුමා තමාගේ නාඩි වැටෙන තුරු ධූරයේ සිටීමට හැකි වන පරිදි එනම් අවුරුදු 84ක් වන තුරු ජනාධිපති වීමට හැකි වන පරිදි ජනාධිපති ධූරය වසර 12ට සීමා කළේ ය. එහෙත් අන්තිම කාලය ළං වන විට තව කාලයක් ධූරයේ සිටීමට උතුමාට අවශ්‍ය වුව ද ප්‍රේමදාස ඒ වන විට පක්ෂයේ බලවත් වී සිටීම නිසා අදාළ සංශෝධනය කරගත නොහැකි විය. චන්ද්‍රිකාට ද ධූරයේ රැඳී සිටීමට සිතුණ ද ඒ වන විට ඇය ද අන්තයට පිරිහී ගොස් තිබිණි.

එහෙත් විධායක ජනාධිපති ධූරය දැරූ කිසිවෙකුට කළ නොහැකි වූ ත්‍රස්තවාදය කෙළවර කිරීමට මහින්දට හැකි විය. ඊට එරෙහිව නැගුණු ජාත්‍යන්තර බලපෑම් හමුවේ කෙළින් සිට දැඩි තීරණ ගත හැකි වූයේ විධායක ජනපතිකම නිසා ය. එතෙක් කල් වඳුරන් අත දැලි පිහියක් වූ විධායකය නියම සුදුස්සා අතට ගියේ මෙවර ය. එහෙයින් මෙතෙක් කල් දැලි පිහිය මොට කළ යුතු යැයි කී අප දැන් ඒ දැලි පිහිය සුදුස්සකු අතට පත් කළ යුතු යැයි කියමු. එහි ධූර කාල සීමා ඉවත් කිරීමට පක්ෂ වන්නෙමු. අනාගතයේ නැවත මේ ධූරය වඳුරකු අතට පත්වීමේ අවධානමක් ඇති හෙයින් මේ පාර්ලිමේන්තු කාලය අවසන් වීමට පෙර ජනපති ධූරයේ කාල සීමාව වසර 4ට සීමා කිරීමේ සංශෝධනයක් ද ගෙන ආ යුතු යැයි කියමු. එවිට තම නායකයා වසර 4න් 4 පරික්ෂා කිරීමට ජනතාවට හැකි වෙයි. එය වසර 12දී 3 වරක් කළ හැකි වෙයි.

කෙසේ වුව ද ජවිපෙ, එජාපය, රාමචන්ද්‍ර, පුලස්ති, DAMROX, Kandula (කණ්ඩුල), sapumal, බියොන්ඩ් ෆ්‍රේම්, බුමුතුරුණු වැනි මහා අදීන ජන මාධ්‍යවේදීන් සයිබර් අවකාශයේ පාවෙමින් ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් දිවි හිමියෙන් කරන සටන නිසා ආණ්ඩුව පෙරලි යාමට ද ඉඩ තිබේ.

Monday, August 30, 2010

ව්‍යවස්ථා සංශෝධනයට එරෙහිව පාරට බහිමු!


ව්‍යවස්ථා සංශෝධනයට විරුද්ධ ව ජනතාව පාරට බස්සවන බවට ටිල්වින් සිල්වා ඊයේ මොර දුන්නේ ය. රාජපක්ෂ රජය ෆෙඩරල් ව්‍යවස්ථාවක් ගෙන එන්නට යතැයි මම මුලින් සිතුවෙමි. බලය බෙදන බෙදුම්වාදය පෝෂණය කරන එවන් කටයුතුවලට ජනතාව විරුද්ධ විය යුතු ම ය. නැතහොත් ජනතා පරමාධිපත්‍යයට වැට බඳින සංශෝධන ගෙන එන්නට රාජපක්ෂ රජය අර අඳිතියි සිතුවෙමි. ජනතාවට කෙනෙක් ජනපති කළ හැකි වාර ගණන අඩු කිරීම වැනි ක්‍රියාවකට ජනතාව පාරට බැස්ස විය යුතු ය. එහෙත් මේ කිසිවක් රජය කරන බවත් නොපෙනේ.

තම නායකයා ලෙස කෙනෙකු කැමති වාරයක් පත් කර ගැනීමට ජනතාවයට ඇති අයිතිය සුරක්ෂිත කිරීමට රජය සැරසෙයි. ඒ අයිතිය 78 ව්‍යස්ථාවෙන් ජනතාවට අහිමි කර තිබේ. ඒ අයිතිය නැවත ජනතාවට ලබා දීම වැදගත් ය. දැන් ටිල්වින් සිල්වා ජනතාව පාරට බැස්සවීමට සුදානම් වන්නේ ජනතාවට අහිමි ව පැවති අයිතියක් නැවත ලබා දීමට විරුද්ධ ව ය. කලක් ජනතාවගේ අයිතිවාසිකම් දිනා දීමට පාරට බැස්ස ජවිපෙ අද ඒ අයිතිවාසිකම් ලැබීමට විරුද්ධ ව පාරට බසියි. එහෙත් ඊටත් කලින් ජනතාවගේ ජීවත්වීමේ අයිතිය තීරණය කළ පක්ෂයක් අද මේ තත්ත්වයට පත්වීම ගැන අප පුදුම විය යුතු ද?

කෙසේ වුව ද මේ සංශෝධන තුන් කල් බලා කළ යුතු ය. එය 72 බිහි වූ ජනතාවාදී ව්‍යස්ථාවට එහා ගිය ව්‍යවස්ථාවක් විය යුතු ය. අප 2010 සිට ඊට වසර 40ට පෙර කළ ව්‍යස්ථාවකට පිටු පසින් සිට පලක් නැත.

Monday, August 16, 2010

මාගම්පුර කිරි කළයට ගොම ලෑම

පසුගිය දා මාගම්පුර ජාත්‍යන්තර වරාය විවෘත කිරීම ජනපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් මහත් උත්කර්ශවත් ලෙස සිදු විය. මේ කාර්ය අප මීට දශක කිහිපයකට පෙර කළ යුතු ව තිබුණත් අය අපේ ජාතියෙන් මග හැරී ගිය රටේ සංවර්ධන සංග්‍රාමයේ යෝධ පියවරක් බව කිව යුතු නැත. මේ මහා කාර්යයට උර දුන් සියලු දෙනාට ජාතියේ ප්‍රණාමය හිමි විය යුතු ය. නායකත්වයේ සිට ලොරි රථ රියදුරා කම්කරුවා දක්වා සියල්ලෝ අනාගත පරපුරේ බුහුමන් ලැබිය යුතු මිනිසුන් බව අප කීමට මැලි වන්නේ නැත.

මේ උත්සවය මුල සිට රූපවාහිනය ඔස්සේ නැරඹු අප සිත් එක් මොහොතක කැළඹිණි. එය සැබවින් ම එකවර පතිත වූ හෙණයක් සේ අප සිත් කම්පදය කළ බව කිව යුතු ම ය. අප අද ලියන්නේ ඒ ගැන ය.

උත්සව අවස්ථාව වෙනුවෙන් පැවැත් වූ සංස්කෘතික සංදර්ශනය ආරම්භක විශේෂාංගය ජැක්සන් ඇන්තනී නම් විශිෂ්ට කලාකරුවාගේ නිර්මාණයකි. එය අති විශිෂ්ට නිර්මාණයක් නොවුණ ද එහි අපේ රටේ සම්ප්‍රදාය දේශීයත්වය පිළිබඳ යම් සංවේදිවීමක් දක්නට ලැබිණි. එහෙත් භාතිය සන්තුෂ් ඇතුලු පිරිස විසින් එහි අවසාන අංගය ලෙස ඉදිරිපත් කළ විකාරය කුමන හේතුවක් නිසා එහි එබුවා දැයි මට නොතේරෙයි. එය කිරි කලයට ගොම තැම්බක් දෑමක් බව මෙහි සිටියවුන්ට නොපෙණුනේ ඇයි?

මේ විකාරයෙන් ඒ ජාතික උත්සයේ තිබුණු පෞඪත්වය විනාශ වූ බව කිව යුතු නැත. සුද්දන්ගෙන් නිදහස් වී වසර 60ක් ගෙවුණු තැනදිත් තමුන්ගේ හීනමානය කෙළවර කරනට ජාතියක් ලෙස අප අසමත් වී සිටින බවය උත්සවය කෙලවර මුන් ලෝකයට ඔප්පු කළේ. වරක් නිදහස් උළෙලක දී චන්ද්‍රිකා ජනපතිනිය චාල්ස් කුමාරයාට ඇහෙන්නට ඉංග්‍රීසියෙන් කතා කිරීමේ විහිළුට මේ අමන ක්‍රියාව ‍දෙවෙනි වන්නේ කෙසේ ද? මට ඇති දුක නම් විදෙස් රටවල සමුළුවලට ගොස් සිංහලෙන් දෙමළෙන් කතා කර රටට ආදර්ශයක් දුන් නායකයා යටතේ ම මෙවන් තුප්පහි වැඩ සිදු වීම ය. ඇතැම් විට නාමල් පුතා මේ අවසාන අංගයෙන් සතුටු වන්නට ඇත. මට නම් ඉන් ලද හැකි සතුටක් නැත.

මේ කොඳු නැති අමනයින්ට බලන්නට 2008 චීන ඔලිම්පික් උළෙල වෙනුවෙන් ඔවුන් නිමැවු ගීතය මෙහි ආඳිමි. ඔවුන් සිය අභිමාණය ගෞරවය උරුමය ආරක්ෂා කරමින් ද එය ලොවට පෙන්වා අභිමාණයට පත් වෙමින් ද ලොවට කරන ආරාධනය අපට ආදර්ශයට ගත නො හැක්කේ ඇයි?

Thursday, August 5, 2010

ජාතියේ ආඩම්බරකාර බාප්පලාගේ කතාව

ජනපති මහින්ද රාජපක්ෂ වරක් තමා හඳුන්වා ගත්තේ පරපුරක සාඩම්බර පියා ලෙස ය. තිස් වසරක් ‍ඇදී ගිය යුද්ධය කෙළවර කොට රටේ ප්‍රගතිය උදෙසා අඩුපාඩු යටතේ වුව යම් වැඩපිළිවෙළක් ඔහු ක්‍රියාවට නඟන හෙයින් ඒ හැඳින්වීම ගැන අපට උරණ වන්නට කාරණයක් නැත. එහෙත් ඔහුගේ නිශ්ශංක මල්ල ප්‍රතිපත්තිය නම් මා දැඩි ලෙස ප්‍රතික්ෂේප කරන බැව් කිව මනා ය. ඉන් ඔහුගේ ප්‍රතිරූපයට හානියක් මිස වන සෙතක් මට නො පෙනෙයි. ඔහු වටා සිටින කේවට්ට උපදේශකයින් මේවාට වගකිව යුතු යැයි අපි සිතමු. එහෙයින් ඔහු මේ අයියලාගෙන් පරිස්සම් විය යුතු ය.

ජනපති ජාතියේ ආඩම්බරකාර තාත්තා කැබිනට් මණ්ඩලයේ සිටින අය අප හඳුන්වන්නේ කෙසේ ද? ඒ අය ජාතියේ ආඩම්බරකාර බාප්පලා ය. මේ බාප්පලා අතරින් දෙදෙනෙකු මෑත දී රත්නපුරයට ගොස් අපූරු කතාවක් කියා තිබුණි.

ඔවුන් රත්නපුරයට ගොස් තිබුණේ විදේශ සේවා නියුක්ති කාර්යාංශයට අනුබද්ධිත පුහුණු පාසැලක් විවෘත කිරීමට කියා ය; මගේ මතකයේ ඇත් තේ. එහිදී කතා කළ මේ බාප්පලා පවසා තිබුණේ දැන් රත්නපුරේ මැණික් හිඟ හෙයින් කාන්තාවන් වැඩිපුර පිට රට යැවිය යුතු බව ය. පැහැදිළි ව කිව හොත් අපේ අම්මලා, සහෝදරියන්, බිරින්දෑවරු මැදපෙර දිග වළං හෝදන්නට තව තවත් යැවිය යුතු ය.

රත්නපුරේ මැණික් හිඟ වීමෙන් ඇති වන ආර්ථික බලපෑමෙන් ආරක්ෂා වීමට මේ ජාතියේ බාප්පලා යෝජනා කරන්නේ රටේ ගැහැණු ටික පිට රට යැවීම ය. කාන්තාවන් රට යැවීම නිසා මේ රට දැන් බොහෝ ප්‍රශ්නවලට මුහුණ දෙයි. ඒ ප්‍රශ්න මේ බාප්පලාට නො තේරෙයි. බාප්පලාගේ බිරින්දෑවරු ගෙදර වැඩ වසති. ඒ බොහෝ දෙනාගේ නම් ඇමති කාර්ය මණ්ඩල පඩි ලැයිස්තුවේ තිබේ. ‍

රටේ ගැහැණු ලවා අනුන්ගේ වළං හෝදවා, ඒ ලැබෙන විදේශ විනිමයෙන් ජීවත් වීමට සිතීම මහා නිවට කමකි. අපට වඩා දුප්පත් බංගලිදේශය වැනි රටවල ගැහැණු පවා පිට රට ගෘහ සේවිකාවන් ලෙස නො යවයි. එහෙයින් රටේ අභිමාණයට කැළලක් වන මේ නිහීන ක්‍රියාව නතර කිරීමට රජයට බල කරන මහා ජන මතයක් ඇති කළ යුතු ය. පුහුණු ශ්‍රමිකයින් ලෙස පිරිමි විදේශ රැකියාවලට යාමේ කිසිදු ගැටළුවක් නැත. විවාහ වීමට පෙර ගැහැණු වුව ඒ සඳහා ගියාට එතරම් වරදක් නැත. විවාහ වී දරුවන් ලැබූ පසු මව ඒ දරුවන් සමග ජීවත් විය යුතු ය. මන්ද ඒ කුඩාවුන් රටේ අනාගතයයි.

නුපුහුණු ශ්‍රමිකයින් ලෙස කාන්තාවන් උපයන සොච්චමින් ඇමති වරප්‍රසාද විඳිමින් කුමාර ජීවිත ගත කරන මේ ආඩම්බරකාර බාප්පලා සමග රට සෞභාග්‍ය කරා ගෙන යා හැකි ද යන ගැටළුව ද දැන් දැන් අප තුළ මතු ව එයි.

Thursday, July 29, 2010

කකුළු පැටවුනි, කෙලින් පලයව්!

විමල් වීරවංශගේ පාක්ෂිකයින්ට පහර දුන් පොලිසියට ගුටි කෑවුන් විසින් පෙරලා පහරදීම ගැන මාධ්‍ය නිවේදනයක් නිකුත් කළ ජවිපෙ පොලිසියේ රාජකාරියට බාධා කළවුන් වහා ම අත් අඩංගුවට ගත යුතු යැයි කීවේ ය. එදා පොලිසිය කිසිදු වග විභාගයකින් තොරව පහර දුන්නේ තමන්ට නොවන නිසාත් තමාගේ අංක එකේ හතුරා ලෙස සලකන්නාට නිසාත් ජවිපෙ වහා ම පොලිසිය වෙනුවෙන් පෙනී සිටියේ ය.

ඉතිහා‍සයේ හැමදාම ආණ්ඩුවේ මුර බල්ලන් යැයි පොලිසියට බැණ වැදුණු ජවිපෙට කන්න හිතුණා ම කබර ගොයා තළගොයා කර ගත්තේ එසේ ය. මේ රටේ හතුරන් වෙනුවෙන් ලියන බ්ලොග්කරුවෝ ද එදා පොලිසිය රැක්කේ මුර බල්ලන් ලෙස ය. ඔවුන් මේ කිඹුල් කඳුලු හෙළන්නේ සිය සතුරාට රිදවීම නිසා මිස පොලිසිය කෙරෙහි ඇති කැමැත්තකට නොවන බව අපි එදා කීවෙමු.

ඔවුන් අපි එදා පොලිසියේ පහර දීම පමණක් නො ව පෙරලා පොලිසියට පහර දීම ද හෙළා දුටුවෙමු. එවිට ඔවුන් කීවේ නීතිය සාමය සුරැකීමට පොලිසියට බාධා නොකළ යුතු බවය. පොලිසිය නීතිය සාමය සුරකින විට මිනිසුන් මළ කඳන් වීමත් සමහරුන්ට දින ගණන් රෝහල්වල ප්‍රතිකාර ගන්න සිදුවීමත් අපට ගැටලුවක් වුව ද ඔවුන් එය ගැටලුවක් වූයේ නැත. එහෙත් අනුර කුමාර අද කියන්නේ පොලිස්පති ඉල්ලා අස්විය යුතු බවකි. ඒ රුහුණු සරසවි සිසුවාගේ මරණය ගැන මුලින් මරණ පරීක්ෂණ වාර්තාවේ හේතුව කියවීම සහ පසුව එය මිනී මැරුමක් විය හැකැයි කීම නිසා ය.

එදා තම සතුරාට පහර දුන් විට සිය ඉෂ්ට දේවතාව වූ පොලිසිය අද ජවිපෙ හතුරා වී තිබේ. පොලිසිය එරෙහිව සටන් පාඨ කියමින් පෙළපාලි යන අන්තරේ වස්සන් ටික මහ පාරේ ය. කෙසේ හෝ පොලිසිය සමග ගැටුමක් ඇති කර මේ එක නාම්බෙක් එළා ගත්තොත් ජවිපෙට තව මාස ගාණක් ඒ මළ කුණ විකිණිය හැකි ය. '---සහෝදරයාට අපේ විප්ලවීය ආචාරය' යැයි පෝස්ටර් ගැසිය හැකි ය. මිනී පුළුටු සුවඳ නැති වීට හුස්ම ගත නොහැකි පිශාචයින් පිරිසක් අද ජවිපෙ මුල් පුටු අරක් ගෙන සිටිති. මොවුන් පසුපස යන වඳුරු පෝතකයින් එය අවබෝධ කරගත යුතු ය.

ලැබී ඇති සාධක අනුව මේ සිසුවාගේ මරණයට අන්තරේ බස්සා මෙන් ම පොලිසියේ අළුගෝසුවන් ද වගකිව යුතු ය. මේ දෙපිරිසට ම අනෙකාට වගකීම පවරා මාරුවීමට ඉඩ දිය යුතු නැත. ප්‍රභාකරන්ට පසු ලංකාවේ ප්‍රසිද්ධ ඝාතන, මැර ක්‍රියා බොහෝ ගණනක් කර ඇත්තේ පොලිසියයි. මේ වන විට මහජන මුදලින් නඩත්තු වන ජඩම ආයතනට බවට පොලිසිය පත්ව තිබේ. (පොලිසියේ යහපත් මහත්වරු ඇත්නම් කමත්වා!)

තම සහෝදර සිසුවෙකුගේ හිස පරිගණකයකින් ගසා දෙපලු කළ හැකි අළුගෝසුවන්ය අද අන්තරේ ඇත්තේ. මේ නිල නොලත් මැර රංචු දෙක මර්දනය කිරීමට හමුදාව යෙදවීමට සිදුවන තත්ත්වයකි දැන් උදා වී ඇත්තේ. ජනතාව මෙන් ම නීති ක්‍රියාත්මක කරන වුන් ද නීති ආරක්ෂා කළ යුතු ය. එසේ නොකර කකුළු පැටවුන්ට කෙළින් පලයන් යැයි කීමෙන් පලක් වෙද?

Thursday, July 15, 2010

මෙදා කැබිනට්ටුව මැදවච්චියේ රැස්වෙයි

තිස් වසරක් කොටි ග්‍රහණයේ පැවති උතුරු නැගෙනහිර ඊනියා දෙමළ රාජ්‍යයේ අගනුවර ලෙස හැඳින්වූයේ කිලිනොච්චියයි. කොටි වනසා වසරක් ගෙවුණු තැන, කිලිනොච්චිය හෙවත් ඊනියා කොටි අගනුවර ජනපතිගේ ප්‍රධානත්වයෙන් ලංකා රජයේ කැබිනට් මණ්ඩලය රැස්වීම අතිශය වැදගත් පණිවිඩ ගණනාවක් ලොවට ලබාදෙයි.

එකක් මේ රටින් සහමුලින් ම ත්‍රස්තවාදය අතුගා දමා අවසන් බව එනම් මේ වන විට සමස්ත රටේ ම ආරක්ෂාව තහවුරු කර ඇති බව පළමුවැන්න ය. මේ නිසා සංචාරකයින්ට, ආයෝජකයින්ට කිසිදු චකිතයකින් තොරව රටට පැමිණිය හැකි වාතාවරණයක් රට තුළ නිර්මාණය වී ඇත යන පුවත ලෝකයට යයි.

රටින් පිට සිට තවත් කොටි කල්ලි කිහිපයක් කටින් බතල කොල හිටෙව්ව ද උන්ට කළ හැකි ඉටි ගෙඩියක් නැත යන පණිවිඩය අනෙක ය. තම මුදලට කිසිදා වෙන ම රාජ්‍යයක් හිමි නොවන බවේ කටුක යථාර්ථයට ‍ඊළාම්වාදීන්ට කෙමෙන් අත්විඳින්නට සිදු වන ඇත. එහෙයින් තව දුරටත් ඊළාම් රාජ්‍ය විකුණමින් දෙමළ ජනතාවගෙන් මුදල් ගැරීම අපහසු වනු ඇත. සියලු ජනතාව සමග සාමුහිකව ජීවත්වීමේ විකල්පය වෙත යාමට ඊළාම්වාදීන්ට සිදුවනු ඇත. බටහිර රටවල ඇතැම් දේශපාලකයින්ට ඊළමේ පිහිටින් පාර්ලිමේන්තු යාම ද තවදුරටත් පහසු නොවනු ඇත.

මේ ආකාරයට ලංකාවේ හැම අස්සක් මුල්ලක් නෑර ම මධ්‍යම ආණ්ඩුවේ බලය පැතිර ඇති බව සංකේතාත්මකව ප්‍රදර්ශනය කිරීම ඔස්සේ වසර තිහක් තිස්සේ ඊළම සිහිනවලින් මොළ සේදීමට ලක් කළ පිරිසට ද ක්‍රමයෙන් පියවී ලෝකය වෙත පිය නගන්නට අවස්ථාව උදාවනු ඇත. එහෙත් මේ යථාර්ථය පිළිනොගෙන ඊට එරෙහිව ක්‍රියාකිරීමට ද පිරිසක් සිටිනු ඇත. ඒ අය නම් ඊළම වෙනුවෙන් පෙනී සිටි මෙරට සහ පිටරට ඇතැම් කොටස් ය. යුද්ධයට අකුල් හෙළමින් කොටි රැක ගන්නට වළි කෑ පිරිස ය. ඔවුන් මේ අවස්ථාවේ කිලිනොච්චියේ කැබිනට් රැස්වීම පැවැත්වීම හෑල්ලුවට ලක් කිරීම අනීවාර්ය වෙයි.

අද වික්‍රමබාහු කරුණාරත්නගේ දේශපාලන මාවතේ පාද තබන, කුප්‍රකට NGOකාරයෙක් වන ජේ.සී. වැලිඅමුණගෙන් බණ අහන ජවිපෙ අනුර කුමාර පැවසුයේ, 'අපට වැදගත් කැබිනට් මණ්ඩලය රැස්වන තැන නොව ගන්නා තීරණ' බව ය. එය ඇත්ත ය. එහෙත් එය එසේ වූ පමණින් කිලිනොච්චියේ කැබිනට් මණ්ඩලය රැස්වීමෙන් ලෝකයට ලබා දෙන පණිවිඩය නොතකා හළ හැකි ද? ගන්නා තීරණ මිස තීරණ ගන්නා තැන වැදගත් නොවේ නම් 'මහ ගෙදර' නමින් සුවිසල් පක්ෂ මුලස්ථානයක් සිය පක්ෂය තනන්නේ කුමටදැයි අනුර කුමාර කීවේ නැත. මහා පක්ෂයක් බවට අතු ඉති ලා වැඩෙමින් පැවති ජවිපෙ වඳ ‍කොට, විනාශ කළ රොත්ත අද ගන්නා තීන්දු උන්ගේ වළ උන් ම හාරා ගැනීමකට එහා නොගිය ඒවා බව අමුතුවෙන් කිව යුතු නැත. එවන් තීරණ ගැනීමට දැවැන්ත මන්දිරයක් උවමනා ද? උක්ත ප්‍රකාශය ද ජවිපෙ දේශපාලන බංකොලොත්භාවය ප්‍රකාශ කරන කුහක දෙඩවිල්ලක් ම පමණි.

තවත් ඊළාම් වෙබ් අඩවියක් වන ලංකා ඉනිව්ස් පැවසුවේ මෙදා කැබිනට් මණ්ඩලය කිලිකොච්චි කොටි සාම මහ ලේකම් කාර්යාලයේ පැවැත් වූ බවයි. එම ගොඩනැගිලි සංකීර්ණය අද නැගෙනහිර ආරක්ෂක සේනා මූලස්ථානය වන අතර එදා වාර්මාර්ග දෙපාර්තමේන්තුවට අයත් විය. එහෙත් කොටි ග්‍රහණයේ පැවති සමයේ එය උන්ගේ මළ ඉලව් කාර්යාලයක් ලෙස භාවිත කෙරිණි. ඒ ඉතිහාසය දැන දැන ම වසන් කිරීමෙන් ඉනිව්ස් උත්සාහ කරන්නේ, මේ භූමිය ඈත අතීතයේ සිට කොටි පාලනය කළා වැනි හැඟුමක් දැනවීමට ය. එවන් අදහස් නොවිණි නම් ඔවුන් කිව යුතු ව තිබුණේ මෙදා කැබිනට් රැස්වීම කිලිකොච්චියේ නැගෙනහිර ආරක්ෂක සේනා මූලස්ථානයේ පැවති බව ය.

විම්ල් වීරවංශ ගෙන ගිය උපවාසය නිසා, සමස්ත රටේ ම අවධානය බෑන් කි මූන්ගේ කොටි කමිටුව වෙත යොමු වීම ද මෙරට ලොව පුරා සිටින දේශප්‍රේමින් එම කොටි කමිටුවට එරෙහිව නැගී සිටිම ද සිදුවන පසුබිමක කිලිකොච්චියේ කැබිනම් මණ්ඩලය රැස්වීම ද්‍රෝහීන්ට කෙසේ වුව ද මේ රටට ලැදිවුන්ගේ අමන්දානන්දයට හේතු වූ බව කිව යුතු ය. දුකට පත් වුව ද 'ආණ්ඩුව බොරු කියන්නේ, කිලිනොච්චියේ කියලා කැබිනට් මණ්ඩලය මැදවච්චියේ පැවැත්වූයේ' යැයි කීමට කිසිවෙක් අද ඉදිරිපත් නොවේ.




Thursday, July 8, 2010

මරණය නම් නිවටකමයි

ගිය වසරේ මැයි මස ත්‍රස්තවාදය මෙරටින් අතුගා දැමූ මොහොත වන විට සමස්ත රට දෙකඩ බෙදී තිබිණි. එක් පැත්තක ලංකා රජය, ලක් හමුදාව, දේශමාමක බලවේග, රටේ අති බහුතර ජනතාව සහ අපේ ඇතැම් මිත්‍ර රටවල් විය. අනෙක් පස කොටි සහ කොටි මිතුරු හවුල විය. නෝර්වේ ප්‍රමුඛ බටහිර රටවල්, එක්සත් ජාතීන්, ටීඑන්ඒ, රනිල්, රවි, කිරිඇල්ල ප්‍රමුඛ එජාපය, ලංකා ඉනිව්ස් වැනි වෙබ් අඩවි, සුනන්ද ද්වේශප්‍රිය ආදි නිදහස් මාධ්‍ය ව්‍යාපාරික පිරිස අනෙක් පස විය.

ඉන් වසරක් ගෙවී ගිය තැන තිස් වසරක යුද්ධය නිමා කර රටට සාමය දිනාදුන් දේශපාලන සහ හමුදා නායකත්වය ජාත්‍යන්තර දං ගෙඩියට දක්කාගෙන යාමට එක්සක් ජාතීන් යැයි හැදින්වෙන ඇමරිකානු බළල් අත පිඹුරු පත් සකසයි. මේ ලෝක මිනිමරුවා ඉරාකයේ සහ ඇෆ්ගනිස්ථානයේ ලක්ෂ 11ක් සිවිල් ජනතාව මරා දමා අපේ රටේ අතීතයේ සිදුවූ මානව අයිතීන් කඩවීම් සෙවීමට එයි. එසේ එන අතරමග ද අර දෙරටේ මිනිසුන් මරා දමයි. පලස්තීන ජනතාව එලිමහන් සිරගෙයක ලා සිටින ඊශ්‍රායලයට ආශීර්වාද කරයි. මේ කවර නාටකයක් ද? ගණිකාවක් කාන්තාවකගේ පතිවත සෙවීමක් නොවෙද?

අප වරදක් නොකළා නම් පර්යේෂණවලට බිය ඇයිදැයි ඇතැම්හු අපෙන් අසති. එහෙත් වරදක් නොකළ අප පරික්ෂා කිරීමට වැරදි කළ සහ තවමත් කරන අයෙකුට ඇත්තේ කවර අයිතියක් දැයි ඔවුහු නො අසති. එම ඊනියා පර්යේෂණ කමිටුව පිළිගැනීම ම අප වරදක් කළා යැයි පිළිගැනීමක් බව නොසිතති. මේ යෝජනාව මීට පෙර එක්සත් ජාතීන්ගේ බහුතර ඡන්දයෙන් දෙවරක් පරාජය වූ යෝජනාවක් නොසිතති. මෙවන් කමිටු පත් කිරීමට බෑන් කි මූන්ට කිසිදු බලයක් නැති බවනොසිතති. මේ කමිටුවේ අනීවාර්ය උපදේශය ලංකාවේ මානව හිමිකම් උල්ලංඝණය වී ඇති හෙයින් වහාම පර්යේෂණ මණ්ඩලයක් පත් කරන්න යන නිර්දේශය බව මොවුන්ට නොපෙනේ.

කෙසේ වුව ද මෙදා ඊනියා කමිටුවට සුජාතභාවයක් දෙන්නට පෙළ ගැසී සිටින්නන් ද බොරු විරෝධතා පා ඊට ආශීර්වාද කරන්නන් ද යුද සමයේ ද ක්‍රියා කළේ මෙසේ ම බැව් කිව මනා නොවේ. එකල පවා විපක්ෂයේ සිටි සජිත් පේමදාස වැනි සැබෑ දේශප්‍රේමීහු අදත් රට වෙනුවෙන් පෙනී සිටිති. එදා යුද්ධය වෙනුවෙන් මුළු රටක් ජනතාවත් අවදි කළ විමල් වීරවංශ මෙදා රණවිරුවන්ගේ ආරක්ෂාව වෙනුවෙන්, මව්බිමේ අභිමාණය වෙනුවෙන් මාරාන්තික උපවාසයකට පිවිස සිටියි. එවන් කොන්දක් ඇති එකෙකු හෝ මෙරට පාර්ලිමේන්තුවේ සිටීම ගැන අපි ආඩම්බර වන්නෙමු.

බටහිර ආක්‍රමණිකයා ඉදිරියේ දණ නොනැමූ අපේ මුතුන්මිත්තන්ගේ රුධිරයෙන් උපන් අපි, ලොව දරුණුම ත්‍රස්තවාදය ඉදිරියේ දණ නොගැසූ අපි, දැයේ අභිමාණය වෙනුවෙන් දිවිදුන් පුරන් අප්පු, මද්දුම බණ්ඩාර පරපුරෙන් පැවත එන අපි, හසලක වීර ගාමිණි වැනි වීරයින් විරුවන් උපන් බිමේ හුස්ම ගන්නා අපි, මේ ඊනියා ජාත්‍යන්තර කමිටුවලට ඉඩදිය යුතු නැත. ඊට විරුද්ධව පෙළ ගැසිය යුතු ය. අපට නිදහස දිනා දුන් අපේ රණවිරුවන්ගේ ආරක්ෂාව වෙනුවෙන් පෙරමුණ ගත යුතුය. අපේ ජාතියේ අභිමාණයට නිගා නොකළ යුතු ය. පරයින්ගේ වහලුන් ලෙස නිවටව පරගැතිව සිය වසක් ජීවත් වනවාට වඩා අදීන මිනිසෙක් ලෙස මිය යාම අභිමාණයකි. එහෙයිනි මව් බිමේ අභිමාණය, ප්‍රෞඩත්වය වෙනුවෙන් පෙළ ගැසිය යුත්තේ.

අපේ රට තවත් ඉරාකයක් වන්නට ඉඩ දිය යුතු නැත. ඊළඟ සදාම් හුසේන් මෙරටින් බිහි වන්නට ඉඩ දිය යුතු නැත. අපි අද අභිමාණයෙන් ජීවත් වන්නේ එදා අපේ මුතුන් මිත්තන් දිවිපුදා මේ රට රැකගත් නිසා ය. මාතෘභූමියේ ආරක්ෂාව චිරස්ථිතිය වෙනුවෙන් සතුරා ඉල්ලා සිටින්නේ මහා රුධිර ගංගාවක් නම් අප ඒ සඳහා සුදානම් විය යුතු ය. මව්බිම වෙනුවෙන් දිවිදුන්නෝ කිසිදා නොමැරෙති. නිවටකම පරාධීනත්වය නම් මරණය මැයි.

ලංකාව ඉරාකයක් නොවන්නට නම්!

ඉරාකයේ පරමාණු අවි ඇතැයි කියා ඒ රට ආක්‍රමණය කිරීම සාධාරණීකරණය කිරීම කළේ ඇමරිකාව විසිනි. ඊට පසු 2002 ඉරාකය ආක්‍රමණය කළ අතර මෙතෙක් පරමාණු අවි සොයා ගෙන නැත. එහෙත් අභිමාණවත් ශිෂ්ටාචාරයක් ලොවට අහිමි විය. ලක්ෂ 6ට වඩා ජනතාවක් මරා දැමිණි. සදාම් හුසේන් එල්ලා මරා දැමුවේ ය. අද රටේ බෝම්බයක් නො පිපිරෙන දවසක් නැත. මුළු රට ම විශාලා මහ නුවරකි. තැන තැන ළතෝනි ය. කෙඳිරිලි ය. රතු ලේ ය. මර හඩ ය. මළ කඳන් ය. මිනි ගඳ කුණු ගඳ ය. එහෙත් ලේ දහරා මැදින් ඇමරිකාවට නිදහසේ තෙල් ගලා යයි. කිසිවෙකුට අත නොපා ජීවත් වූ ජාතියක් අද අසරණ වී සිටියි.

හෙට දින තවත් ඉරාකයක් දකුණු ආසියාවෙන් බිහි වන ලකුණු දැන් කෙමෙන් පහළ වෙයි. ත්‍රස්තවාදය මර්දනය කළ මෙහෙයුම සමයේ සිදු වූ මානව අයිතීන් කඩවීම පිළිබඳ සෙවීමට පත් කළ බෑන් කී මූන්ගේ කමිටුව සනිටුහන් කළේ එහි ආරම්භයයි. දෙපාර්ශවය ගැන ම මේ ඊනියා කමිටුව සොයන බව කීව ද අද ඇත්තේ එක් පාර්ශවයක් පමණි. සන්නද්ධ කොටි ප්‍රධානීහු අද මෙලොව නැත. එහෙයින් ඒ ගැන සොයා පලක් නැත. දඬුවම් දීමට ද කෙනෙක් නැත. එහෙයින් මේ කමිටුව පත් කළේ ලංකාවේ සේනාධිනායක, හමුදා ප්‍රධානීන් ඇතුලු ආරක්ෂක හමුදාව දං ගෙඩියට යැවීම පිණිස පැහැදිළි ය. එහි අර්ථය මේ කමිටුව අපේ රටට විරුද්ධව පත් කළ කමිටුවක් බව ය.

එය පත් කළේ ඇමරිකාව, එංගලන්තය ප්‍රමුඛ ඉටහිර රටවල් විසිනි. බෑන් කී මූන් යනු ඔවුන් අත නැටවෙන පඹයෙක් පමණි. එක්සත් ජාතීන් යනු අද ක්‍රියාත්මක තලයේ බටහිර අධිරාජ්‍යවාදය අරමුණු සපුරන ආයතනයකි. (සඳරුවන් සේනාධීර මහතාගේ 7 ශ්‍රේණීයේ පොතේ මේසේ සඳහන් නොවේ.)

මේ කමිටුව තව සිව් මසකින් ප්‍රකාශ කරන වාර්තාව වන්නේ යුද සමයේ ලංකාවේ මනාව හිමිකම් උල්ලංඝනය කර ඇති බව ය. අතිඋතුම් ජෙනරාල්තුමාගේ සුදු කොඩි කතාව ඒ සඳහා ප්‍රබල සාක්ෂියක් වනු ඇත. මේසේ ලංකාව යුද්ධය දිනුවේ මානව හිමිකම් උල්ලංඝනය කර බව, අද වන විට ඉරාකයේ සහ ඇෆ්ගනිස්ථානයේ ලක්ෂ 11ක් සිවිල් ජනතාව මරා දැමූ ඇමරිකා-එංගලන්ත අළුගෝසුවන් දෙදෙනා ලෝකයට පවසනු ඇත.

එසේ අපේ ර ලද යුද ජයග්‍රහණයේ අභිමාණය විනාශ කරන අතර අපේ රටට විවිධ සම්බාධක පනවමින්, ශවේන්ද්‍ර සිල්වා ඇතුලු රණ විරුවන් නඩු ඇසීමට තමන් වෙත භාර දෙන්නැයි ඔවුන් ඉල්ලා සිටිනු ඇත. එම ඉල්ලීමට ප්‍රතිචාර නොදක්වන කල අපේ රට ලෝක සාමයට තර්ජනයකැයි පවසා ආක්‍රමණය කිරීම සඳහා සුදුසු දේශපාලන වටපිටාවක් සකසා දීමට CNN, BBC වැනි ආයතන ක්‍රියා කරනු ඇත.

ඒ මාධ්‍ය මෝහණය කිරීම් මැද සිය හමුදාව මෙරටට ගොඩ බැස්සවීමට ඇමරිකාවට හැකි ය. ලංකා හමුදාව සමග ඇවිලෙන යුද්ධය සෙසු බටහිර රටවල ද උදව් ඇති ව දිනා ගෙන මහින්ද, ගෝඨාභය, ශවේන්ද්‍ර සිල්වා, චාගි ගාල්ලගේ, සරත් වීරසේකර ඇතුලු රණවිරුවන් ත්‍රස්තවාදය විනාශ කළ වරදට එල්ලා මරා දැමිය හැකි ය. සරත් ෆොන්සේකාට ඇමරිකන් රජයේ හෝ එක්සත් ජාතීන්ගේ සාක්ෂිකරුවෙකු වී අභය දානය ලද හැකි ය.

මෙරට පාලනය රනිල් වික්‍රමසිංහ, රවි කරුණානායක හෝ ආර්. සම්බන්ධන් වැනි ඇමරිකන් ගැත්තෙකුට පවරා, ත්‍රිකුණාමල වරාය අත්පත් කරගැනීමට ඔවුන්ට හැකි ය. රට වටා මුහුදේ ඇති තෙල් ටික ද ඛනිජ ටික ද ඇමරිකාවට යැවිය හැකි ය. ඇමරිකන් ගැති ආණ්ඩුවට එරහිව මෙරට ඇති වන සිවිල් අරගල සඳහා නවීන ආයුධ විකිණීමට ඇමරිකාව පමණක් නොව නෝර්වේ රටට ද එක් විය හැකි ය. අටේ අනාගත පරපුරට නැවත 1983 සිට ඉදිරියට අප ගෙවූ කාලය නැවත මුල සිට ගෙවා දැමිය හැකි ය. එවිට ලංකාව තවත් ඉරාකයක් වනු ඇත.

මූන්ගේ කමිටුව සුළුවට සලකා අමතක නොකළ යුත්තේ එහෙයිනි. මෙය තලියෙහි පැනෙහි කිඹුලෙකු දැකීම කැයි නොසිති යුත්තේ එහෙයිනි. එහෙයින් වහා අවදි වන්නැයි සකල දේශප්‍රේමි ජනතාවගෙන් අපි ඉල්ලා සිටිමු. මුළු ලෝකය ම එරෙහිව එද්දී අපට කොටි ත්‍රස්තවාදය විනාශ කළ හැකි වූයේ ඔබේ ශක්තියෙනි. නැවතත් මර උගුලක වැටෙන්න යන මව් බිමට ඔබේ පිහිට අවැසි ම මොහොතයි මේ. සියලු වාදභේද දුරලා එක මිටට මව් බිමේ සුරක්ෂිතභාවය වෙනුවෙන් රොද බැඳිය යුතු මොහොතයි මේ.

Tuesday, July 6, 2010

ඊ නිව්ස් කර්තෘගේ 7 දැනුම

ලංකා ඉ නිව්ස් යනු ඊළාම්වාදී වෙබ් අඩවියකි. මේ ඊළාම්වාදීන්ගේ රාජ්‍ය විරෝධය ආණ්ඩු විරෝධයක් ලෙස අවබෝධ කරගත් පක්ෂ විපක්ෂ දේශපාලන ජාත්‍යන්ධයෝ සිටිති. මොවුන් ඊට විරුද්ධ වන්නේ තම ආණ්ඩුවට එරෙහි වුවා යැයි සිතා ගෙන වන අතර පක්ෂ වන්නේ ආණ්ඩුවට විරුද්ධ වුවා යැයි සිතා ගෙන ය. එහි කතුවරයා යැයි කියන සඳරුවන් සේනාධීර නමැත්තා දැනට රටින් පළා ගොස් ඊළම වෙනුවෙන් තවමත් ලියන්නෙකි.

ලංකාවට එරෙහිව ගෙන ආ යෝජනා එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ ද, ආරක්ෂක මණ්ඩලයේ ද පරාජයට පත්වීම නිසා කෝපයට පත්ව සිටි මොහු බෑන් කී මූන්ගේ කමිටුව ගැන සියලු ඊළාම්වාදීන් මෙන් ම මහත් සතුටට පත්ව සිටින්නෙකි. ලංකා රජය සහ බහුතර ජනතාව ද නොබැදි ජාතීන් ද චීතය, රුසියාව සහ ඉන්දියාව ද සිය විරෝධය ප්‍රකාශ කොට ඇති මේ ඊනියා කමිටුවට සුජාතභාවයක් දීමට මේ ඊළාම්වාදියා ලිපියක් ලියා තිබේ.

එහි සඳහන් වන පරිදි ඔහුට එක්සත් ජාතීන්ගේ සංවිධානය ගැන උගන්වා ඇත්තේ පාසැලේ 7 වන ශ්‍රේණියේ දී බව ය. එහිදී ඔහුට උගන්වා ඇත්තේ අද මේ විරෝධතාකරුවන් පවසන ආකාරයේ සංවිධානයක් ගැන නොවේ. එහෙයින් මේ විරෝධතාකරුවන් කියන දෑ බොරු ය. ඇත්ත නම් සඳරුවන් සේනාධීරට පාසැලේ 7 වන ශ්‍රේණියේ උගැන්වූ දෑ ය.

7 වන ශ්‍රේණියේ ළමයෙකුට ඔහුගේ ධාරණ ශක්තියට ගැලපෙන ලෙස අදාළ සංවිධාන ගැන මූලික දැනුමක් ලබා දෙයි. එහෙත් ඒ මූලික දැනුම පදනම් කරගෙන අදාළ සංකල්ප, සංවිධාන ගැන ඔහු තව තවත් අධ්‍යයනයට යොමු වෙතැයි අධ්‍යාපනඥයෝ බලපොරොත්තු වෙති.

මේ පුද්ගලයා එසේ අධ්‍යයනය නොකිරීම ගැන අපට ප්‍රශ්නයක් නැත. අපට ප්‍රශ්නය ඔහු මීට වසර 20-30ට පෙර 7 ශ්‍රේණියේ උගත් දැනුමින් ලිපි ලිවීම ය. අපට ද ඒ දෘෂ්ටියෙන් ලෝකය බලන්නැයි ආරාධනා කිරීම ගැන ය. සඳරුවන් සේනාධීරගේ 7 දැනුම සිරසේ 'පුංචි පහේ මං' වැඩසටහනට ප්‍රමාණවත් විය හැකි වුව ද වර්තමාන ලෝකයේ එක්සත් ජාතීන්ගේ භූමිකාව විවේචනයට නම් ප්‍රමාණවත් නැත.

ජාතීන්ගේ සංවිධානයයේ අසාර්ථකත්වය හමුවේ 1945 බිහි වූ එක්සත් ජාතීන්ගේ සංවිධානය මේ වන විට ක්‍රියාත්මක වන්නේ එය ගිවිස ගත් ප්‍රඥප්තිය හෝ එදා පැවති ලෝක සමාජ දේශපාලන වටපිටාවෙහි නොවේ. 1992 වන විට සෝවියට්දේශය සහ බිඳ වැටී සීතල යුද්ධය ද කෙළවර වී තිබේ. මේ වන විට ලෝක දේශපාලනයේ ප්‍රධාන භූමිකාව ඇමරිකන් පොලිස්කාරයා සහ බටහිර බලවතුන් කිහිපදෙනෙකු විසින් උසුලනු ලැබේ. අපට 7 ශ්‍රේණියේ ප්‍රඤාප්තිය ඉගැන්වීමට එන සඳරුවන් සේනාධීර 1945 සිට එක්සත් ජාතීන්ගේ භූමිකාව විමසා බැලිය යුතුය. එවිට එහි න්‍යායාත්මක භූමිකාව සහ ප්‍රයෝගික ක්‍රියාකාරීත්වය අතර වෙනස අවබෝධ කරගත හැකි වනු ඇත.

Monday, July 5, 2010

රනිල් මහතා මෙවරත් රට බේරා ගනියි!

ලොව භයානකම ත්‍රස්ත සංවිධානය යැයි බටහිර අටවල් විසින් ම නම් කළ කොටි, ලංකා හමුදාව විසින් පරාජය කරද්දි, ඒ අහලකවත් නැති තාලීබාන්වරුන් ඉදිරියේ ලොව තවත් රටවල් 29ක් සමඟ දණ ගසන්නට සුද්දාට සිදු වී තිබේ. මේ නවනිංගිරාවෙන් සුද්දා ගලවාගත හැකි කදිම මගක් තිබේ. එනම් ඇෆ්ගනිස්ථානයේ සුදු සමත්වරු තාලීබාන්වරු හමුවේ දණ ගැසුවේ, ඒ සුදු මහත්වරු සියලු යුද නීති සම්මත අකුරට ක්‍රියාත්මක කළ නිසා බවත්, ලංකා හමුදාව යුද්ධය දිනුවේ ඒ නීති උල්ලංඝනය කර බවත් පෙන්වීමෙනි. මේ උදව්ව කිසිවෙකුට කළ හැකි නම් ඒ වෙනුවෙන් ප්‍රති-උපකාර කිරීමට ඉහත රටවල් නොපසු බසිනු ඇත.

කොෆී අනන් සහ බුත්‍රෝස් බුත්‍රෝස් ගාලි මෙන් වරකින් දෙකකින් ගෙදර නොයා එක්සත් ජාතින්ගේ ලේකම් පුටුව රත්කිරීමට බලා සිටින්නෙකි බෑන් කී මූන්. මේ අවස්ථාවේ ඇමරිකාව ප්‍රමුඛ බටහිර හොඳ හිත දිනා ගතහොත් තම අභිලාෂ ඉටු කරගත හැකිවෙතැයි ඔහු සිතයි. එහෙයින් තමන්ට කිසිදු බලයක් නැති වැඩ කරන්නට වුව ඔහු පසු නොබසියි. අපේ රට ගැන උපදෙස් දීමට යැයි ඔහු කමිටුවක් නමින් පතෝල මැස්සක් ඇටෙව්වේ සිය හාම්පුතාගේ අරමුණු ඉටුකර එමගින් සිය අරමුණු ඉටු කර ගැනීමේ පටු අදහසිනි.

මේ කෙහෙල් මල් කමිටුවට අපේ රටේ පස් පාගන්නට ඉඩ නොදීම ගැන අපි ආණ්ඩුවට අපේ සතුට ප්‍රකාශ කරමු. ඒ තීරණය වෙනුවෙන් පෙනී සිටිමු. අවසනාවකට ඔවුන්ට මේ රටට ඒමට ඉඩ දුන්නා නම් රටේ මානව හිමිකම් උල්ලංඝනය කර ඇතැයි ද එක්සත් ජාතීන් වහාම මැදිහත් විය යුතු යැයි ද මේ ඊනියා කමිටුව නිර්දේශ කරනු ඇත.

එවිට අපේ යුද ජයග්‍රහණයේ දැලි ගා ඇෆ්ගනිස්ථානයේ විඳින්නට සිදුව ඇති විළිලැජ්ජාව වසා ගැනීමට සුදු හාම්පුතාට අවස්ථාව ලැබෙනු ඇත. ඇතැම් විට මූන්ට තව කලක් ලේකම් පුටුව රත් කිරීමට ද අවස්ථාව උදාවනු ඇත. ලංකාව ආසියාවේ ඉරාකය කොට, රනිල් වික්‍රමසිංහ එහි නායකයා කර ඇමරිකන් රූකඩ ආණ්ඩුවක් ද පිහිටුවන ඇත.

සමාවෙන්න. මට වැරදුනි. 2003 රනිල් වික්‍රමසිංහ මහතා බලයේ ඉද්දි ජාත්‍යන්තර යුද අධිකරණවලට ලංකාව යටත් කිරීමට ගෙනා යෝජනාවට ඒ උතුමා අත්සන් කර නැත. ඒ උතුමාටත් උතුමාගේ මාපිය පාර්ශවවලටත් පිං සිදුවන්නට ලංකාව නැවත යටත්විජිතයක් වීමේ අවධානමෙන් මිදුණි. දැන් ඉතින් සුද්දාට හුළං තමා. ලංකාවට අතතැබීමට සක්කරයාගේ පුතා වයිමාටවත් බැරිය. කොහොමද වික්‍රමසිංහ උන්නැහෙගේ මොලේ.

Friday, July 2, 2010

මහින්දගේ කනේ පහර

රටක අභ්‍යන්තර ගැටළු සඳහා විදෙස් හමුදාවක් විසඳුමක් නොවේ යැයි ජනපති මහින්ද යුක්රේනයේ ආරක්ෂක විද්‍යාපිඨයේ පැවැත් වූ දේශනයකදී පැවැසුවේ යැයි වාර්තා විය. මේ වූ කලී ලෝක නායකයින් සිය අවධානය යොමු කළ යුතු ප්‍රකාශයකි. මෑත ඉතිහාසයේ එවන් ප්‍රකාශයක් කිරීමේ අයිතිය ඇති එකම නායකයා ද ඔහු ය.

ඇමරිකාව, බ්‍රිතාන්‍යය, නේටෝව මෑත කාලයේ ඉරාකයේ, ඇෆ්ගනිස්ථානයේ ගෙන ගිය යුද්ධ සියල්ල තවමත් කෙළවර කරනට හැකියාවක් ලැබී නැත. සැබවින් ම සිදු වූයේ නැති ත්‍රස්තවාදයක් ඇති වීම පමණි. ඒ රටවල සාමාන්‍ය ජනතාව පවා පිටස්තර හමුදාවට එරෙහිව සටන් වැදීමට ත්‍රස්ත සංවිධානවලට ආධාර කිරීමත් සමග ත්‍රස්වාදය තව තවත් ව්‍යාප්ත වී තිබේ. ඉරාකය මේ සඳහා කදිම නිදසුනකි. ඇෆ්ගනිස්ථානයේ යුද්ධය පකිස්ථානය වැනි රටවලට ද ඉතා තදින් දැනෙන්නට පටන් ගෙන තිබේ.

විදෙස් අත පෙවීම් නිසා ඉරාකය, ඇෆ්ගනිස්ථානය වැනි රටවල අවුලින් අවුලට ඇද වැටී තිබේ. ඒ ඒ රටවල බටහිර ගැති රූකඩ ආණ්ඩු පිළිගැනීමට ජනතාව සුදානම් නැත. මේ නිසා බටහිරට රටවල් දැන් කොටි වලිගය අල්ලා ගත් තත්ත්වයට පත්ව තිබේ. කිසිදු බටහිර හමුදාවකට යුදබිම්වල කිසිදු ප්‍රගතියක් ලැබීමට නොහැකි වී ඇතිවා පමණක් නොව දැඩි පසුබෑම්වලට ලක්වීමට සිදු වී තිබේ. මෑතදී ඇෆ්ගනිස්ථානයේ ඇමරිකා හමුදා නායකත්වය සහ ඇමරිකන් පරිපාලනය අතර අවුලක් හටගත්තේ මේ වේදනාත්මක අත්දැකීම් නිසා ය. ඇෆ්ගන් ඇමරිකන් හමුදා නිලධාරියෙකු තලිබාන් ව්‍යාපාරය සහ තමන් අතර සාකච්ඡා ඇතිවීමට ඇති ඉඩක් ගැන කතා කළ ද යුද්ධයෙන් දිනමින් සිටින තමන් කිසිදු සාකච්ඡාවකට නොයන බව තලිබාන්වරු කියති.

ඇමරිකා වියට්නාමයේ මුහුණ දුන් පරාජයට අද ඇමරිකාව, බ්‍රිතාන්‍යය, නේටෝව සාමුහිකව මුහුණදෙමින් සිටියි. එහෙත් සමස්ත ලෝකයේ අංක එකේ ත්‍රස්තවාදය මර්දනය කිරීමට මේ පුංචි රටට හැකි විය. එසේ වූ කල ඇෆ්ගනිස්ථානය ඉරාකය දෙස බලා කම්මුලේ අත ගසා සිටින සුද්දෝ බෑන් කී මූන් නම් රූකඩය අප රටට එරෙහිව නටවන්නට වළිකමින් සිටියි. එවන් පසුබිමක මහින්දගේ ප්‍රකාශය ඔවුන්ට නියම කනේ පහරකි.

Wednesday, June 30, 2010

මෙහෙව් ආණ්ඩුවක් !

ආණ්ඩුව ගැන විපක්ෂයට ප්‍රධාන විවේචන තුනක් තිබේ. එකක් නම් සුද්දන්ට සිංහලෙන් බැණ ඉංග්‍රීසියෙන් දණ ගසා කන්නලව් කරන බව ය. සුද්දාට සිංහල නොතේරෙයි. එහෙයින් බැන්නාට සුද්දා තරහා නොවේ. සිංහලයාට ඒ බැනුම් තේරෙයි. එහෙයින් ඔහු සිතන්නේ සුද්දාට ද එය තේරි ඇති බව ය. ඉන් සිංහලයා අමන්දානන්දයට පත් වෙයි. එහෙත් ඉංග්‍රීසියෙන් සුද්දාට වැඳ වැටී කරන කන්නලව් බොහෝ සිංහලයින්ට නොතේරෙයි. එහෙයින් ඔහු සිතන්නේ සිංහලෙන් මෙන් ම ඉංග්‍රීසියෙන් ද සුද්දාට පලු යන්න බැන්නා කියා ය. මේ විග්‍රහයෙන් විපක්ෂය උත්සාහ කරන්නේ ආණ්ඩුව මෙරට ජනතාව ඉදිරියේ පුරන් අප්පු චරිතය ද පිට රැටියන් ඉදිරියේ නිවට චරිකයක් ද රඟපා ජනතාව ගොනාට අන්ඳවන බව පෙන්වීම ය.

දෙවන විවේචනය ආණ්ඩුව ලෝක බලවතුන් ඉදිරියේ ගමේ හංදියේ චණ්ඩියෙකු ලෙස හැසිරෙන බවය. යුරෝපය අපට ලබා දෙන බදු සහනය ලබා ගන්නට උවමනාවක් නැත්තේ එහෙයිනි. ඔවුන් සමග කතා බස් කර එම බදු සහනය ලබා ගැනීමටවත් මේ ආණ්ඩුවට හැකියාවක් නැතැයි ඉන් කියවේ. මේ නිසා පහර වදින්නේ ලක්ෂ සංඛ්‍යාත ඇඟලුම් සේවක පිරිස් වැනි දුප්පත් අසරණ ජනතාව වෙත යැයි විපක්ෂය චෝදනා කරයි.

තෙවන විවේචනය මේ ආණ්ඩුව ලෝක බලවතුන් ඉදිරියේ දණ ගසන නිවට ආණ්ඩුවකි. ලෝක බැංකුව, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල වැනි ආයතනවල කොන්දේසි ඉටු කරමන් රජය මහජන සුබ සාධන අරමුදල් කප්පාදු කරමින් රට අගාධයට ගෙන යයි. මෙවර අයවැයෙන් ඒ බලවතුන්ගේ කොන්දේසි ඉටු කළ නිසා ණය මුදලක් ද ලැබිණි. ඒ අනුව සුද්දා ඉංග්‍රීසියෙන් ලියා දුන් අයවැය සිංහලෙන් කීම පමණි ආණ්ඩුව කර ඇත්තේ. එහෙයින් මේ නම් බටහිර ආධිපත්‍ය දොහොත් මුදුන් දී පිළිගත් ආණ්ඩුවකි.

සමස්ත කතාවෙන් කියවෙන්නේ ආණ්ඩුව දෙබිඩි නොව තෙබිඩි පිළිවෙතක් අනුගමනය කරන බවය. රට යම් ආධාර මුදලක් ගතහොත් ඒ සුද්දාට වැඳ වැටිමෙනි. යම් සහනයක් නොලද හොත් ඒ ආණ්ඩුවේ දඩබ්බරකමක් අසමත්කමක් නිසා ය. මේ පරස්පර විරෝධි අදහස් අනුව ලංකාවේ අඩු තරමින් ආණ්ඩු තුනක්වත් තිබිය යුතු ය. නැත්නම් විපක්ෂය මේ ආණ්ඩුව කුමක් කළත් එය විවේචනය කරන අන්ත පටු තැනකට පිරිහී තිබිය යුතුය.

මේ සත්‍ය දකිනවුන් ආණ්ඩුවේ බත් බැලයෝ ය. ITN බලමින් රජයට කඩේ යනවුන් ය. උන්ට ආණ්ඩුවෙන් බ්ලොග් ලියන්න සල්ලි ලබා දෙයි. එහෙත් විපක්ෂය කියන මේ සියලු කතා යළි වමාරන්නේ ලෝකය අතැඹුලක් සේ දත් මහා ප්‍රාඥයෝ ම ය .

Tuesday, June 29, 2010

ඊළමේ සිංහල හඬ

පහුගිය දිනක මම බීබීසී සංදේශය වැඩසටහනට සවන් දුනිමි. එවිට එම සංවාදයේ මුල් කොටස විකාශය වී තිබිණි. නිවේදක රජයේ උතුරු නැගෙනහිර පුනරුත්තාපන වැඩසටහන් ජපන් විශේෂ නියෝජිත යශුෂි අකාශි පසසා ඇතැයි කී විට අදාළ පුද්ගලයා කීවේ, යශුෂි අකාශි ගම්බිම්වලට නොගිය බවත් ඔහුට රජය පෙන්වූ දේවල් බලා එසේ නිගමනය කළ නොහැකි බවත් ය. කොටින් ම උතුරේ පුනරුත්තාපන වැඩ කිසිවක් රජය කර නැත යන්න ඔහුගේ අදහස විය. මම එකවර ම සිතුවේ මේ නම් කොටි රූකඩ ටීඑන්ඒ කාරයෙක් බව ය. එහෙත් එතරම් චතුර ලෙස ඔවුන්ට සිංහල කතා නොකළ හැකි බව සිහි වූ මම විපිලිසර වීමි. වැඩසටහන අවසන ඔහු ජවිපෙ විජිත හේරත් බව ඇසූ මම ගැල් ගැසුනෙමි.

ඊට පසු එක්සත් ජාතීන්ගේ මහ (ලොකු) ලේකම් මූන් කී බෑන් මෙරට යුද අපරාධ සෙවීමට කමිටුවක් පත් කිරීම ගැන ජවිපෙ ටිල්වින් සිල්වා මහත් ප්‍රසාදයෙන් කතා කළේ ය. එය ඔවුන් සලකා ඇත්තේ තමන් ලද වරප්‍රසාදයක් ලෙස ය. මෙසේ රටට හිතකර ප්‍රකාශයක් වෙත් නම් එය ප්‍රතික්ෂේප කර රටට අහිතකර ප්‍රකාශවලට අත් පොළසන් දී විසිල් ගැසීම අද ජවිපෙ දේශපාලනය වී තිබේ. මේ කටයුත්ත එදා කළේ ටීඑන්ඒකාර‍යෝ ය. ඒ හඬ සිංහල බසින් ලොවට ගෙන ගියේ වික්‍රමබාහු කරුනාරත්න, සුනන්ද දේශප්‍රිය ආදි ත්‍රිවීල් වමේ පක්ෂ සහ නිදහස් මාධ්‍ය ව්‍යාපාරික ප්‍රජාව ය. අද මේ සියල්ලෝ ඉතිහාසයේ කුණු බක්කියට විසි වී ගොස් හමාර ය. ඒ හඬ නිහඬ වූ තැන දැන් ජවිපෙ බෑඟිරි තළයි.

ඊළාම්වාදී දෙමළ ඩයස්පෝරාවේ හඬ සිංහලට නැගීමේ තුප්පහි වැඩේ අද ජවිපෙ භාරගෙන ඇත්තේ ඉතිහාසේ කුණු බක්කියේ සිට ම ය. ඔවුන් කුණු බක්කියට විසි වූයේ 2005 පසු ගත් අමන දේශපාලන තීන්දුවලට පිං සිදුවන්නට ය. මේ රටට ආදරය කරන පිරිසක් තවමත් ජවිපෙ බිම් මට්ටමේ සිටිති. ඔබේ නායකත්වය ඔබ මේ ගෙන යන්නේ දේශපාලන කනත්තට ය. මේ නායකත්වයට ඔබ යුෂ උරා විසි කළ හැකි උක් දණ්ඩක් පමණි. එහෙයින් අවදියෙන් සිටින්න. සැබෑ සතුරා හඳුනාගන්න. දුර සිටින සතුරාට වඩා මිතුරු වෙසින් ළඟ සිටින සතුරාගෙන් පරිස්සම් වන්න. ඊළමේ සිංහල හඬට එරෙහිව නැගී සිටින්න.

Tuesday, June 22, 2010

විපක්ෂ නායක ධූරය 10 වරකට සීමා කරයි!

ව්‍යස්ථාව කඩිමුඩියේ වෙනස් නොකරන්නැයි ගයන්ත කරුණාතිලක මහතා රජයට තර්ජනය කළේ ය. 1978 ව්‍යස්ථාව තනා වසර 10ක් ගත වන විට, එනම් 1988 වන විට, එය 16 වරක් සංශෝධනය කළේ එජාපයයි. මේ ව්‍යස්ථාව තැනූ එජාපයයි. තමන් ම ව්‍යස්ථාව තනා වසර 10ක් තුළ සංශෝධන 16ක් ගෙනා පිරිස, ඒ ව්‍යස්ථාවට වසර 32ක් පිරුණු විට කරන සංශෝධන කඩිමුඩියේ කරනවා යැයි කීම තරම් තවත් විහිළුවක් ඇද්ද?

77, ඇට අටක් දීමටත් ධර්මිෂ්ට සමාජයක් උදාකිරීමටත් ජේ.ආර්. උතුමා බලය ඉල්ලුවා මිස, ව්‍යවස්ථාවක් තැනීමට බලය ඉල්ලු බවක් නම් අප අසා නැත. ජනාධිපති තනතුරක් ගැන ද කීවේ නැත. මැතිවරණයේ දී ව්‍යවස්ථාවක් ගැන නොකී නිසා පසුව තැනූ ව්‍යස්ථාව බල රහිත වීද? ජනාධිපතිකම බල රහිත වීද? නැත. ඒ කිසිවක් වූයේ නැත.

රටේ පරමාධිපත්‍ය හිමි ජනතාවට ය. ඔවුන් කැමති නායකයෙක් පත් කර ගැනීමට ජනතාවට අයිතියක් තිබේ. ඒ නායකයා නරක නම් ඔහු ගෙදර යැවීමට ද ජනතාවට අයිතියක් තිබේ. එසේ ම යම් නායකයෙකුට ජනතාව කැමති නම් ඔහු දෙවරක් නොව ඕනෑම වාරයක් සිය නායකයා වශයෙන් පත් කර ගැනීමේ අයිතිය ද ජනතාවට තිබිය යුතු ය. ජනතාව සතු ඒ අයිතිය අහිමි කිරීම වැරදි ය. එසේ අහිමි කර ඇති ජනතා පරමාධිපත්‍ය අයිතිය නැවත ලබාදීමට ජනතාව ලෙස අප කැමති ය. එය ජනතාවට අහිමි වූ අයිතියක් නැවත ලබා දීමකි.

එහෙත් ජනතාව 20 වරක් ප්‍රතික්ෂේප කළ පුද්ගලයෙක් විපක්ෂ නායක ධූරයේ සිටීම නම් මහ අවුලකි. රටක විපක්ෂ නායක යනු ඊළඟ ආණ්ඩුවේ නායකයා ය. එහෙත් අපේ විපක්ෂ නායක ඊළඟ ආණ්ඩුවෙත් විපක්ෂ නායකයාම ය. මේ නිසා රටට ප්‍රබල විපක්ෂයක් නොලැබේ. විපක්ෂයේ හොඳ නායකත්වයක් බිහි නොවේ. ජනතාව පවතින ආණ්ඩුවට වඩා මේ විපක්ෂ නායකයාට අකමැති හෙයින් ද්වි-පක්ෂ ක්‍රමය තුළ නැවත පවතින ආණ්ඩුවට බලය දෙනු විනා වෙන විකල්යක් ජනතාවට නැත.

එහෙයින් 'කෙනෙකුට රටේ විපක්ෂ නායක දූරය දැරිය හැක්කේ 10 වරක් පමණි' කියා ව්‍යවස්ථාවට ඇතුළත් කළ යුතු ය. 20 වාරයක් රටේ නායකත්වයට සුදුස නැතැයි ජනතාව තීරණය කළ පුද්ගලයෙක් නැවත නැවත ඊළඟ ආණ්ඩුවේ නායකයා කරන්නැයි ජනතාවගෙන් ඉල්ලීම ජනතා පරමාධිපත්‍ය හෑල්ලුවට ලක් කිරීමකි. එහෙයින් විපක්ෂ නායක ධූරය 10 වරකටවත් සීමා කර, එය අතීතයට බලපාන පරිදි ක්‍රියාත්මක කරන්නැයි අපි ඉල්ලා සිටිමු.

Monday, June 21, 2010

මා ශ්‍රී ලාංකිකයෙකු නොවේ ද?

තමන් සිංහලයෙකු වීම ගැන දුක්වන සිංහලයෝ අප අතර වෙති. ඔවුන් ඊට වඩා දුක්වන්නේ තමා සුද්දෙකු නොවීම ගැන ය.එමෙන් ම මෙරට සිටින ඇතැම් දේශප්‍රේමි කොටස් පවා තමා ශ්‍රී ලාංකිකයෙකු යැය කීමට කැමැති ය. මේ රටේ සියලු ප්‍රශ්නවලට මුල අප එක ම ජාතියක් ලෙස නොසිතීමය යන සිතිවිල්ල ඔවුන්ගේ සිත්වලට කවා තිබේ. එනම් අප සිංහල, අප දෙමළ, අප මුස්ලිම් යැයි සිතීම රටේ ජන කොටස් අතර අසමගිය වර්ධනය කරන බව ය. එසේ තම සිංහල හංවඩුව ජාතීන් අතර අසමගියට හේතු වේ නම් එය සඟවා ගෙන වුව සිටීමට මේ දේශප්‍රේමි කොටස් කැමති ය. මේ මතය ඔවුන් තුළට කාවද්දා ඇත්තේ රටේ බුද්ධිමතුන්ය කියා ගන්නා පිරිසක් විසිනි. ඔවුන් මේ මුලාවට හෙලුවේ බහු-සංස්කෘතිය නම් බහුබූතය විසිනි.

මේ බුද්ධිමතුන් පවසන්නේ ඉන්දියානුවා ඉන්දියානුවෙකු ලෙස සිතන බව ය. ඇමරිකානුවා ඇමරිකානුවෙකු ලෙස සිතන බව ය. චීන ජාතිකයා චීනෙකු ලෙස සිතන බව ය. එහෙත් අප එසේ නොසිතන බව ය. මේ පිට රැටියන් සිතන අයුරු පෙර කී උගතුන් දන්නේ කෙසේ ද? ඔවුන් පරචිත්ත විජානන ඥානය ඇතිවුන් ද? මේ සඳහා ඇත්තේ ක්‍රම කිහිපයකි. එක්කෝ ඔවුන් මේ විදේශිකයින් හා කතා කර තිබේ. නැත්නම් අනෙකෙකුගෙන් අසා දැනගත්තකි. ඔබ හා ඉන්දියානුවෙකු කතා කරන විට ඔහු තමා හඳුන්වා දෙන්නේ ඉන්දියානුවෙකු ලෙස ය. එය ප්‍රමාණවත් ය. ඔබ ඉන්දියාවේ අභ්‍යන්තර ප්‍රදේශ ගැන නොදන්නකු වීමට ඇති ඉඩ බොහෝ ය. එහෙයින් මම ඉන්දියාවේ නවදිල්ලියට වයඹින් තියෙන ස්වරූප් නාගර් කොළනියේ කෙනෙක් යැයි කීම නිශ්ඵල ය. ඔහුගේ කුලය, ගෝත්‍රය ගැන ඔබට කිසිදු අවබෝධයක් නැත. අසල්වැසි රට ගැන තත්ත්වය එසේ නම් අන් රටවල් ගැන කවර කතා ද?

එහෙයින් ඔහු ඔබට කින්නේ මූලික තොරතුර පමණි. ඉන් එහා යාමට නම් ඔබට ඒ රට තොට, සංස්කෘතිය ගැන පුළුල් අවබෝධයක් තිබිය යුතු ය. එහෙත් එවැන්නක් නැති තැන ඔහුගේ තොරතුරු සීමාවෙයි. එහෙයින් මෙවන් දැනුමකින් ඔහු ඉන්දියානුවෛකු, චීනෙකු ලෙස සිතනවා යැයි ගැනීම විහිළුවකි. එමෙන් ම ඇමරිකාව වැනි රටවලට ඇත්තේ ඉතා කෙටි ඉතිහාසයකි. ඔවුන් යුරෝපයෙන් පැමිණි රතු ඉන්දියානු සංස්කෘතිය පාගා, එකම යුරෝපීය සංස්කෘතියක් පෝෂණය කළා පිරිසකි. එවන් සාධක ද එහිලා බලපායි. සැබවින් ම සිදුවන්නේ ඔවුන් තුළ ඇති විවිධ අනන්‍යතා, වෙනස්කම් අප වෙත අනාවරණය නොවීම පමණි. අපේ රටේ පුද්ගලයෙකු හමු වූ විට 'මම ශ්‍රී ලාංකිකයෙකු' යැයි ඔබට කිවහොත් ඔහුගේ මොළයේ අමාරුවක් තිබේ. ඔහු ශ්‍රී ලාංකිකයෙකු බව ඔබට දැනගැනීමට අවශ්‍ය නැත. එය ඔබ දනියි. ඔබට අවශ්‍ය ඔහුගේ ගම් පලාත ආදි විස්තර ය. දෙදෙනාම එක රටක වීම සහ ඒ පිළිබඳ පොදු දැනුම නිසා ඔබ අතර වඩා දිගු සාකච්ඡාවකට ඉඩ ලැබේ. එවිට ඔබට අර ශ්‍රී ලාංකිකයාගේ තොරතුරුවල ගැඹුරට යෑමට හැකි වෙයි. ඒ මත සිට ඔබ ඔහු ශ්‍රී ලාංකිකයෙකු ලෙස නොසිතතියි ගැනීම ද වැරදි ය. ඔහුට විදේශිකයෙකු හමු වූ විට ඔහු කියන්නේ තමා ශ්‍රී ලාංකික බව ය. එහෙයින් මම ඔබට සිංහල යැයි කියමි. විදේශිකයෙකුට නම් මම ශ්‍රී ලාංකික යැයි කියමි.

Saturday, June 19, 2010

එජාපයේ මහ සිකුරාදා

විය යුතු පරිදිම එජාපය හමුදා විජයග්‍රහන සැමරුමින් කර ඇරියේ ය. ඒ ඉසව්වට රෙදි ඇඳගෙන යාමට තරම් හැකියාවක් එජාප නායකයින්ට තිබුණේ නැත. තමන් ඊට නොගිය ද කැමති අයට ඊට අවසර දීමට එජාප නායකයාට නම්‍යශීලි වීමට සිදුවීම, පක්ෂය තුළ යැංකි පැංකි රොත්ත වෙනුවට රටට හිතැති පිරිස ක්‍රමයෙන් පිබිද එන බවට සාක්ෂියකි. අපි ඒ ගැන සතුටු වන්නෙමු.

තොප්පිගල කියන්නේ මහා කැළයක් බවත් නැගෙනහිර අඥාපති තොප්පිගල සෙව්ව ද සිතියමේ ඇත්තේ baron's cap යනුවෙන් බවත් කියමින් රණවිරුවන්ගේ අභීත ජයග්‍රහණය පමණක් නොව ඔවුන්ගේ දැනුම ද හෑල්ලුවට ලක් කළේ රනිල්වික්‍රමසිංහ ශූරීන් ය. හමුදාව කිලිනොච්චි යනවා යැයි කියා මැදවච්චි යන බව පවසමින් ද නැගෙනහිර ඇල්ලුවට හැකි නම් වන්නිය අල්ලා පෙන්වන්නැයි වහසි බස් දොඩා අපේ හමුදාවේ චිත්ත ධෛර්යය බින්ඳේ අද ජාතික ඇඳුමට බැස සිටින රවින්ද්‍රන් කරුණානායගම් ය. ඕන ගොනෙකුට යුද්ධ කළ හැකි යැයි කියා රටේ හමුදාවේ ගොනුන්ට සම කළේ ලක්ෂ්මන් කිරිඇල්ල ය. තර්ජිත ගම්මානවල සයිරන් නළා බෙදා දෙමින් කොටි එන විට සිංහලයාට දුවන්න උපදෙස් දුන්නේ, රටේ පිරිසක් කොටි මරණ වරෙන්තු කරේ එල්ලා ගෙන දිවි ගෙවු යුගයක කොටි පාලනයේ පැවති මඩු පල්ලියට නිතර දෙවේලේ දිව ගිය කොටි මිතුරු ජයලත් ජයවර්ධන ය. ඉතින් මොවුන්ට එය විජයග්‍රහණයක් නො ව ශෝක සතියකි. මහ සිකුරාදා මෙන් දුක්ඛදායක දිනයකි.

රෙදි ඇඳගෙන ගාලු මුවදොරට ගොස් පීඨිකාවේ වාඩිවීමට මොවුන්ට හැකියාවක් නැත. ඒ නිසා කළ යුතු වූයේ කුමක් හෝ හේතුවක් දක්වා ඊට නොයා සිටිම ය. එය ගියාට වඩා හුඟක් හොඳ ය. මොවුන් එතැන සිටියා නම් එහි අභිමාණයට කැළලකි. ඔවුන්ට ඒ උත්තමාචාර බලා සතුටු විය හැකි නම් වයිකෝ, නැදුමාරන්, රුද්‍රකුමාර් සහ ඇතැම් බ්ලොග්කරුවන්ට ද ඉන් සතුටු විය හැකි වනු ඇත. ඒ නිසා සිංහල නාමධාරී වයිකෝලා, රුද්‍රකුමාරන්ලා නාවාට අපට කම් නැත. ඒ ගැන අපි අපේ බලවත් සතුට ප්‍රකාශ කරමු. මව්බිම හමුවේ අපට පක්ෂ, පාට වැදගත් නැත. ඒ සියල්ල ට වඩා මව්බිම අපට උතුම් ය. කෙසේ වුව ද සජිත් ප්‍රේමදාස ඇතුලු එජාපයේ රටට හිතැති පිරිසක් එහි සපැමිණියහ. අපි ඔවුන් හදවතින් ම වැළඳගන්නෙමු. ඔවුන්ට සුබ පතන්නෙමු.

Thursday, June 17, 2010

ටියුෂන් සපුරා තහනම් කරනු!

ඉරිදා ටියුෂන් තහනම් කිරීම පිළිබඳ විරෝධය පළ කර ඇතැම් බ්ලොග් අඩවිවල ලිපි ලියා ඇති අතර ඇතැමෙක් ඊට පක්ෂව කරුණු දක්වා තිබේ. මේ විරෝධතාකරුවෝ සමස්තයක් ලෙස ආණ්ඩුව කරන ඕනෑ ම දෙයක් විවේචනය කිරීමට සැදී පැහැදී සිටින අය බව කිව යුතු නොවේ. දෙස් විදෙස් බලවේග සමග එක පෙළට සිට යුද්ධයට එරෙහිව ලියුවෝ මොවුහු ය. බටහිර තානාපති කාර්යාල සමග එක්ව ෆොන්සේකා ජනපති කරන්නට ලියුවෝ මොවුහු ය. බුදු හාමුදුරුවෝ ළමා අයිතීන් උල්ලංඝණය කොට ඇතැයි ලියුවෝ මොවුහු ය. රටට සෙතක් වන ඕනෑ ම දේකට මොවුන් විරුද්ධ ය. රටේ සම්ප්‍රදාය, සංස්කෘතිය, හර පද්ධතිය දවා හළු කරන ඕනෑම ගින්නකට පිදුරු දමන්නටය; මොවුන් බලා ඉන්නේ. අතට හසු වන ඕනෑ ම දෙයකින් ගැසීමට පුලපුලා සිටින හෙයින් සිතන්නනට වෙලාවක් නැත. නැතහොත් උපතින් ම සිතන ශරීරාංගය ලැබී නැත.

ඉරිදා ටියුෂන් තහනම් කිරීමෙන් සිංහල බෞද්ධයාට විශේෂ වාසියක් අත්වීය යන සාවද්‍ය මතය මේ කුකුල් කේන්තියට ප්‍රධාන හේතුව වී තිබේ. එහෙත් කතෝලික, හින්දු, ඉස්ලාම් ඈ සියලු දෙනාට මේ නිසා ඉරිදාට සිය දහම් අධ්‍යාපන කටයුතු කිරීමට ඉඩහසර හිමි වෙයි. එදින සිය දේවස්ථානයට, කෝවිලට, පල්ලිට ගොස් ආගමික කටයුතු කිරීමට අවස්ථාව ලැබේ. බෞද්ධ දහම් පාසැල් බිහිවූයේ පල්ලියේ දහම් පාසැල ආදර්ශයට ගෙන බව මේ කූප මණ්ඩුකයෝ නොදනිති.

ඉරිදා ටියුෂන් තහනම රටේ වර්ගවාදය පැතිරීමට, ජාතීන් අතර බෙදීම් ඇති වීමට, ළමා අපචාර ඉහළ යාමට, ළමයින්ගේ සිතීමේ ශක්තිය වියැකීමට හේතු වෙතැයි මේ ඊනියා බුද්ධිමත්හු දෙසති. තම දරුවා කළ යුත්තේ කුමක්දැයි තීරණය කරන්නේ තමත් බව තවත් බක පණ්ඩිතයෙකුගේ නරිවාදමකි. පෙර කී ඊනියා බුද්ධිමත්තු අඩුතරමේ අනුන්ගෙන් හිඟා ගත් මතවාදවත් පුරරුච්චාරණය කරති. එහෙත් මේ බක පණ්ඩිතයා තවමත් රාජ්‍ය නමැති සංකල්පය බිහි නොවු ප්‍රාග් ‍ඓතිහාසික යුගයක ජීවත් වන බව පෙනේ. මේ අවිචාරවත් මනස් පුත්තු දෙසන වැදි බණ අසා සාධුකාර දෙන්නට උප්පැන්නේ බෞද්ධයෝ ද, බෞද්ධ වේශධාරියෝ ද දෑත් නළලේ බැඳ බලා සිටිති.

ටියුෂන් යනු නිදහස් අධ්‍යාපනය ගිළගත් මහා පිළිලයකි. එය විභාග කේන්ද්‍රීය භයානක මාෆියාවකි. එහි කිසිදු විෂයක් නූගන්වයි. එහෙත් වසර ගණනාවක ප්‍රශ්න පත්‍ර අධ්‍යයනය කරන ටියුෂන් මාස්ටර්, ළමයි ලවා අනුමාන ප්‍රශ්නවලට උත්තර කටපාඩම් කරවයි. විභාගයේ දී සිදුවන්නේ තමන් තුළ නොමැති දැනුමක් ඇතැයි උත්තර පත්‍ර පරික්ෂක රැවැට්ටීම පමණි. එහෙයින් කළ යුත්තේ මේ මාෆියාව සපුරා තහනම් කිරීමයි. අඩපණ වී ඇති පාසැල් පද්ධතිය යළි නඟා සිටුවීමයි. එවිට නිදහස් අධ්‍යාපනය මේ පොළවේ සැබෑ යථාර්ථයක් වනු ඇත. ළමයාගෙන් උදුරාගත් ළමා කාලය ඔහුට යළි ලැබෙනු ඇත. සැබෑ බුද්ධිමතුන් රටට බිහි වනු ඇත.

Tuesday, June 15, 2010

නැවත පදිංචි කිරීමේ කෙළවර කොතැන ද?

කොටි ත්‍රස්තවාදය විනාශ කළ මානුෂීය මෙහෙයුමේ ප්‍රථම සංවත්සරික උත්සවය උත්කර්ෂවත් අන්දමින් පැවැත්වීමට රජය සුදානම් වෙයි. යුද සමයේ හමුදාව කිලිකොච්චි කියා මැදවච්චි යන බව පැවසූ, අයවැය පරාජය කර ආණ්ඩුව පෙරළා යුද්ධය නතර කිරීමට වළිකෑ කල්ලිය, ෆොන්සේකා නැතිව මොන විජයග්‍රහණ උත්සව දැයි මුසුප්පුවෙති. යකඩ ගිනිගත් ගෙයි පුළුන් සොයන කොටි හිතවාදීහු පිරිසක් අවසන් මානූෂිය මෙහෙයුමේදී සිදුවූයේ යැයි කියන මානව හිමිකම් කඩවීම් සෙවීමට වෙහෙසෙති. මේ මෙහෙයුම ඇරඹීමට ආසන්නතම සාධකය වූයේ කොටි මාවිලආරු සොරොව්ව වසා 30 000ට වැඩි මිනිසුන්ගේ මානව අයිතීන් උල්ලංඝණයට එරෙහිව බව කොටි මත පුනරුච්චාරණය කරන ඇතැමුන්ට මතක නැත.

උක්ත අවසන් මෙහෙයුමේදී නැගෙනහිර 217 000ක් පමණ ද උතුරේ 293 000ක් පමණ ද අවතැන් විය. නැගෙනහිර සියලු අවතැන්වූවන් මේ වන විට නැවත පදිංචි කර ඇත. උතුරේ 49 000ක් තවමත් අවතැන් කඳවුරුවල ය. ඒ අය ද ඉක්මණින් නැවත පදිංචි කළ යුතු ය. එවිට සියල්ල් කෙළවර ද?තවමත් 49 000ක් අවතැන් කඳවුරුවල යැයි කිඹුල් කඳුලු හෙළන අය සිතන පරිදි ප්‍රශ්නය එතැනින් අහවරය.

එහෙත් මේ යුද්ධය නිසා උතුරු නැගෙනහිර ජීවත් වූ සිංහල මුස්ලිම් ජනතාව වසර 30ක් තිස්සේ සිය මුල්ගම්බිම් අතැර දකුණට පළා ආහ. දෙමළ ජනතාව ද සිය ගම්බිම් අතැර දකුණට ආහ. මේ සියලු දෙනා සිය මුල් ගම්බිම්වල නැවත පදිංචි කළ යුතුය. ඔවුන්ගේ ජීවිත යළි ගොඩනගා ගැනීමට රජය උදව් කළ යුතු ය. ත්‍රස්තවාදය ඇරඹීමට පෙර උතුරු නැගෙනහිර පැවැති ජන අනුපාතය නැවත ඇති කළ යුතු ය. බෙදුම්වාදී කොටි මේ අපේ නිජබිමැයි කීමට උතුරු නැගෙනහිරින් පළවා හැරි සිංහල මුස්ලිම් ජනතාව නැවත එහි පදංචි කළ යුතු ය. විනාශ කර ඇති පුරාවිද්‍යා ස්ථාන ප්‍රතිසංස්කරණය කළ යුතුය. නැවත පදිංචිකිරීම් කෙළවර වන්නේ එතැනිණි.

Monday, June 14, 2010

කඩුවට නොබැන, නිසි අතට කඩුව දෙනු!

විධායක ජනපති ධූරයට තරග කළ හැකි වාර ගණන 2ට සීමා කර ඇති ව්‍යවස්ථා නීති වෙනස් කිරීමට ආණ්ඩුව ඉදිරියේ දී කටයුතු කරනු ඇත. මෙය ඉතිහාසයේ සිදුවිය හැකි භයානකම ව්‍යවස්ථා සංශෝධනන බැව් විපක්ෂයේ අදහසයි. මේ සංශෝධනයත් සමග රටේ සියලු ප්‍රශ්න දූරිභූත වී තව්තිසාව මෙරට උදාවනු ඇති බව ආණ්ඩුවේ අදහසයි.

මහින්ද ප්‍රමුඛ රජය ඊට කැමැති මේ සංශෝධන සමග තව බොහෝ කලක් රට පාලනය කළ හැකිය යන අදහස නිසා ය. විපක්ෂය ඊට අකමැති වන්නේ ද ඒ නිසා ය. මේ අදහසේ ඇත්තක් නැත්තේ නොවේ. දැනට මහින්ද ගොඩ නගා ගත් දේශපාලන පෞරුෂයට කිට්ටු කළ හැකි කිසිවෙකු මෙරට නැත. ඒ නිසා තව දෙතුන් වරක් වුව ඔහුට ජනාධිපතිවරණයකින් ජය ගැනීම කජ්ජක් නොවේ. ඒ සඳහා අවශ්‍ය කායික මානසික ශක්තිය ද ඔහුට තිබේ.

එක නායකත්වයක්, ප්‍රතිපත්තියක් යටතේ දශක කිහිපයක් රට පාලනය වීම එහි දියුණුවට හේතු වෙයි. එයට ලෝක‍ දේශපාලනයෙන් නිදසුන් දිය හැකි ය. එමෙන් ම මහින්දට ඒ සඳහා දැඩි උවමනාවත් ඇති බව ද පෙනේ. රට පුරා සිදුවන සංවර්ධන ක්‍රියාදාමයෙන් එය පැහැදිළි වෙයි. එහෙත් වාහන අමතර කොටස්වල බදු අඩු කර දේශීය රථ වාහන නිෂ්පාදනය දිරිගන්වනු වෙනුවට වාහන බදු අඩු කිරීමෙන් එහි ඇතැම් සීමා ද දිස්වෙයි. අප වැනි රටවලට යම් විධායක බලතල සහිත නායකත්යක් අවැසි බවත් එහි වැදගත්කමත් පහුගිය යුද්ධය කෙළවර කරනට ඉන් සිදුවූ සේවයෙන් පැහැදිළි වෙයි. විධායක ජනපතිකම කදිම කඩුවකි. එය නිසි ‍පුද්ගලයා අතට දීමට ජනතාව තීරණය කළ යුතුය. ඒ සඳහා අවැසි දේශපාලන විඤානය මෙරට ජනතාවට ඇති පහුගිය ජනාධිපතිවරණයෙන් පැහැදිළි වෙයි.

එහෙත් ජනාධිපති ධූරය සිය වරක් දැරිය හැකි වුව ද ඊට පත්වි හැක්කේ මහජන කැමැත්තෙනි. ඉතිහාසයේ දෙවන වර ප්‍රථම වාරයට වඩා ඡන්ද ලබා ගෙන ඇත්තේ මහින්ද පමණි. එහෙයින් එසේ රැඳී සිටීම ලෙහෙසි නොවන බව පෙනේ. මහජන කැමැත්ත රඳවා ගැනීම පහසු නැත. ඒ සඳහා ඔහු රටට වැඩ කළ යුතු ය. මේ මගේ අවසන් වාරය යැයි සිතා කිසිදු වැඩක් නොකර ධූර කාලය ගෙවා දැමූ චන්ද්‍රකා පන්නයේ ජනපතිවරු නව සංශෝධන යටතේ බිහි නොවනු ඇත. තණ්හාව තිබූ පමණින් කිසිවෙකුට ජීවිතාන්තය තෙක් ජනපති විය නොහැකි ය. ඒ සඳහා වැඩ කළ යුතු ය. එසේ වැඩ කිරීමය රටට අවැසි. ඒ බව පක්ෂ විපක්ෂ හැම සිහිතබා ගත යුතුය.

Saturday, June 12, 2010

විපක්ෂයට මල් මිටක්

රටට අහිතකර, අවාසිදායක සීපා ගිවිසුම රටට ම සඟවා අත්සන් කිරීමට එජාපය විරුද්ධ යැයි කබීර් හෂීම් මහතා කීවේ ය.හිරිකිත රෝෂාන්ලා මෙරටට ගෙන ආ අයිෆා වෙනුවෙන් අත්සන් කළ ගිවිසුම වහා හෙළිදරව් කර ඒ ගැන අවබෝධයක් ලබා ගැනීමට පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට ඇති අයිතිය ආරක්ෂා කරන්නැයි රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවේ සිංහනාද කළේ ය.ආණ්ඩුව කරන හැමදේට ම පක්ෂවීමට නම් විරුද්ධ පක්ෂයක් අවශ්‍ය නැත. එමෙන් ම ආණ්ඩුව කරන හැමදේට ම විරුද්ධවීම ද වගකිව යුතු විපක්ෂයක ලක්ෂණයක් නොවේ.

විරුද්ධ පක්ෂයක් විරුද්ධ විය යුත්තේ ආණ්ඩුවේ වරදකට ය.එසේ විරුද්ධ වීම සාධාරණීකරණය සඳහා ජනතාව අබිමුව ඔවුන්ට තැබිය හැකි ප්‍රබලතම සාක්ෂිය තමන් ආණ්ඩු කරන සමයේ ද මේ වැරදි නොකළ බව නැතහොත් ඊට විරුද්ධ වූ බව පෙන්වා දීම ය.මෙදා විරුද්ධවීමේ පදනම එදා තමන් බලය හොබවන කල ආරක්ෂා කර තිබිණි නම් කිසිවෙකුට විරුද්ධ පක්ෂය අවස්ථාවාදී යැයි කිව නොහැකිය.අතීතය අමතක නැති අය ඉදිරියේ මේ සිංහනාදය, උඩුබිරුමක් වන්නේ ද නැත.රටේ දැයේ විරුද්ධ පක්ෂය වෙනුවෙන් ලියන තුප්පහි රෑන ආතක් පාතක් නැතිව අසරණ වන්නේ ද නැත.එහෙත් අවාසනාවට සිදු නොවන්නේ එයමය.

මේ විරුද්ධ පක්ෂ නායකයා එදා මෑත ඉතිහාසයේ රාජ්‍ය නායකයෙකු අත්සන් කළ වඩාත් රටට අහිතකර ගිවිසුම අත්සන් කළේ ය.ඒ රනිල් වික්‍රමසිංහට දොන් ජුවාන් ගෞරව උපාධිය දිනාදුන් ඊනියා සටන් විරාම ගිවිසුම ය.මොහු ජේ.ආර්.ඉන්දියාව සමග ගිවිසුම් ගසා ඉන්දිය හමුදාව මෙරටට ගෙන්වූ ආණ්ඩුවේ ද සිටියේ ය.තව ම බල පවත්වන ඉන්දු-ලංකා ගිවිසුම තම පාලන කාලය තුළ පවත්වා ගෙන ගියේ ය.මේ සියල්ල සිදුවන කල කබීර් හෂීම් මහතා ද යහතින් එජාපයේ සිටියේ ය.ඒ කිසිවකට මොවුන් විරුද්ධ වූ බවක් දන්නෙක් නැත.

රට දෙකඩ කිරීමේ අවසන් මොහොතට රට දක්කා ගෙන ගිය සටන් විරා ගිවිසුම අත්සන් කළ, රටේ ස්වෛරීත්වයට අභියෝග කළ ඉන්ද-ලංකා ගිවිසුම අනුමත කළ මේ අයට විරුද්ධවීමට තරම් බරපතළ ගිවිසුමක් මේ රජය අත්සන් කර තිබේ ද? එසේ අත්සන් කර ඇත්නම් විරුද්ධ වීමට හැක්කේ එදා අර ගිවිසුම්වලට ද විරුද්ධවූ අයට ම නොවෙද? ඒ පව්වලින් අපිරිසිදු වූ නොවු අත්වලට නොවෙද? රජය ගැසූ ගිවිසුම් හෙළි කරන්නැයි පැවසීමට නම් තමන් ගිවිසුම් ගැසීමට පෙර ඒවා රටට ඉදිරිපත්කර තිබිය යුතු නොවෙද? අනුන්ට ඇඟිල්ලක් දිගු කරන විට තමන් වෙත ඇඟිලි ගණනාවක් දිගු වී ඇතැයි සිතිය යුතු නොවද?මේ අවස්ථාවාදී හැසිරීම් ගැන අප සවිඥානික වීම සහ ඒවා හෙළිදරව් කිරීම ආණ්ඩුවට කඩේ යාමකැයි කීම කෙතරම් යුක්ති සහගත දැයි බුද්ධිමත් පාඨකයින් සිතා බැලිය යුතුය.

කෙසේ වුව ද ජනතාවට රටට ජාතියට මහත් ඵල මහත් ආනිසංස ගෙන දෙන ජයග්‍රහණයක් දිනා ගැනීමට පක්ෂ විපක්ෂ බේද ඉවතලා සියලු දෙනා එක්වීම මෑතදී අපට දැකිය හැකි විය. ඒ සිය මන්ත්‍රී වරප්‍රසාද යටතේ ගෙන එන සුඛෝපභෝගී රථයේ බදු වරප්‍රසාදය ඇ.ඩො.35000 සිට ඇ.ඩො.50000 දක්වා ඉහළ දැමීමට ය.එසේ ආණ්ඩුව රට වෙනුවෙන් ගත් තීරණය අනුමත කරමින් ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරු පරයා විපක්ෂ මන්ත්‍රීවරු පෙරමුණ ගැනීම ගැන ද අපි සතුටු වෙමු.

මෙසේ බලන කල විපක්ෂය සැම විට ම රටට අහිතකර සීපා වැනි ගිවිසුම්වලට විරුද්ධ බවත් රටට හිතකර බදු වරප්‍රසාද වැනි දේට පක්ෂ බවත් අප අවබෝධ කරගත යුතුය. දැන් අප සීපා ගිවිසුමට පක්ෂ බව කීවේ යැයි යමෙක් මෙහි ලිවීමට සැරසේ නම් යළි මගේ ලිපිය කියවන්නැයි අනුකම්පාවෙන් ඉල්ලා සිටිමි.

Thursday, June 10, 2010

ආදරණීය සිරස !

රූපවාහිනී නාළිකාවකි; සිරස. මේ අඩුපාඩුව ශ්‍රී ලාංකේය ජාතියට ඉදිරියට යාමට ඇති විශාලතම බාධකය වශයෙනි; සිරස සලකන්නේ. අපේ රටේ ළදරු මරණ අනුපාතය, ගැබිනි මරණ අනුපාතය ඉහළ ගියේ එහෙයිනි. උද්දමනය ඉහළ ගියේ එහෙයිනි. ගෑස්, පාන් පිටි, කිරි පිටි මිල ඉහළ ගියේ එහෙයිනි. කොටින් ම 1505 පෘතුගීසි මෙරටට පාත්වූයේත් 1815 සුද්දා මුළු රට ම යටත් කරගත්තේත් අපට හරිහමන් ගායකයෙක් නොසිටි නිසා බව සිරස දැඩිව විශ්වාස කරයි. 1971 සහ 89 දකුණේ සහ 1983 සිට උතුරේ ඇරඹි ත්‍රස්ත ක්‍රියා සඳහා ද බලපෑවේ මේ ඛේදවාචකයයි.

ජාතියේ අවාසනාවට අපට හරිහමන් ගායකයෙක් තවමත් පහළ ලැබුණේ නැත. ඒ නිසා සිරස අපට ගායකයෙක් තෝරාදීමට දිවා රෑ වෙහෙසෙයි. මෙසේ රට ගැන හිතා කටයුතු කරන සිරසට, දේශද්‍රෝහි ආණ්ඩුව මහත් කෙනහිලිකම් කරයි. ගායකයන් තෝරන්නට සුගතදාස ක්‍රිඩාංගණය ලබා නොදෙයි. එය ලබා දෙන්නේ අයිෆා වැනි දෙකේ පංතියේ වැඩවලට බව ප්‍රකාශ කළේ එම නාළිකාවේ සිටින කිංස්ලි රත්නායක නම් උතුමා ය. ඒ කතාවේ ඇත්තක් තිබේ. අපේ රටේ ගායකයින් තේරීමට සාපෙක්ෂව අයිෆා මොන කෙහෙම්මලක් ද?

එහෙත් මට ඇති ප්‍රශ්නය එය නොවේ. මෙවර අයිෆා උළෙලේ හොඳ ම සිනමා කෘතිය ලෙස ලද සම්මාන සහ අයිෆා ලාංචනය ද යොදා ගනිමින් තමන් මෙදා 3 Idiots පෙන්වන බවට සිරස දිවයිනනේ දැන්වීමක් පළ කළේ ය. තමන් වැනි ලොව ශ්‍රේෂ්ඨතම වැඩසටහන් පෙන්වන ආයතනයක් අයිෆා වැනි තුච්ච පහත් වැඩකින් ප්‍රචාරය ලබා ගැනීම තමන්ට තරම් නොවන බව සිරසට නොපෙනුණේ ඇයි? මෙය මට තේරුම්ගත නොහැකි ය. එහෙත් අයිෆා ගැන අනුකම්පාවෙන් ඊට ද යම් ප්‍රචාරයක් ලබාදීමට සිතා සිරස ආයතනය මේ දැන්වීම පළ කළේ යැයි සිතා අවසන මම හිතා හදාගතිමි.

Tuesday, June 8, 2010

දොන් ජුවාන් පුරන් අප්පුට ඇඳීම

අයිෆා සිනමා උළෙලට ඉන්දිය නළු නිළියන් සහභාගී වීමට එරෙහිව කොටි හිතවාදීන් මහා සංග්‍රාමයක් ඇරඹුවේ ය. එය ගින්නක් සේ පැතිරෙන විට මෙරට විපක්ෂය සුපුරුදු පරිදි ඒ ගින්නෙන් සුරුට්ටු පත්තු කළේ ය. ඒ ගින්නේ එළියෙන් දේශපාලන සූදු කෙළියේ ය. අයිෆා සිනමා උළෙලට අමිතාබ් බච්චාන් ඇතුලු ඇතැම් නළු නිළියන් සහභාගී නොවීම පිළිබඳ කොටි හිතවාදීන් සමග මෙරට විපක්ෂය සිය සතුටු බෙදා හදා ගත්තේ ය. මේ කාලකන්නි සතුට මුන් ලබන්නේ රටට එරෙහිව කඳවුරු බැඳ සිටින සතුරන් සමග බව තේරුම් ගන්නේ කවදා ද?

මෑත කාලයේ මෙරට විපක්ෂය ක්‍රියා කළේ රටේ විපක්ෂය ලෙස මිස ආණ්ඩුවේ විපක්ෂය ලෙස නම් නොවේ. පහුගිය යුද සමයේ එය නතර කිරීමට කොටි හිතවාදීන් හා කරට කර සටන් කළේ මෙරට අමන විපපක්ෂයයි. දැන් යුද වීරයින් වන්නට දඟලන හිටි හැටියේ ජාතික ඇඳුමට බැස හැංගිමුත්තන් කෙළින අය එදා ක්‍රියා කළ හැටි රටට අමතක නැත. විස්කා සමාගම කොන්දේසි කඩකළේ යැයි අයිෆා උළෙලට රජය වියදම් කළ කෝටි 110 යළි උදුරා ගන්නැයි කෑ ගසා පුරන් අප්පුට පණ පොවන රනිල් වික්‍රමසිංහයෝ එදා තමා රහසේ මහ කොටියා සමග අත්සන් කළ ඊනියා සාම ගිවිසුම කොටි කීතු කීතු කරද්දි ගොළුවෙකු බිහිරෙකු මෙන් සිටියා රටට අමතක නැත.

කෙසේ වුව ද ආණ්ඩුවට මේ විපක්ෂය ආශීර්වාදයකි. මේ අමන විපක්ෂය කිසි විටෙකත් ජනතාව ආණ්ඩුවෙන් ඈත් කිරීමට ක්‍රියා නො කරයි. ජනතාව තමන් වෙත දිනා ගැනීමට ක්‍රියා නො කරයි. සිය වැරදි හදා නොගනි. එළුවාගේ මොකක් ද එක හැලෙන තුරු පස්සෙන් යන හිවලෙකු සේ නරිවාදන් දෙසමින් විපක්ෂය ඔහේ ඉබාගාතේ යයි. රටට එරෙහි බලවේග සමග එකගෙයි කන මෙරට විපක්ෂය දකින ජනතාව, ආණ්ඩුවේ යම් යම් වැරදි තිබුණත් ඒවා අමතක කොට යළි යළි ආණ්ඩුව ආරක්ෂා කළ යුතුය යන අදහසට එල්බ ගනිති.

Thursday, June 3, 2010

මොකක් ද මේ සම්බුද්ධ ජයන්තිය?

කැලැන්ඩරයේ සඳහන් වන්නේ මේ ක්‍රි.ව. 2010 බව ය. ලිතේ සඳහන් පරිදි මේ බු.ව. 2554 ය. එහෙත් මාධයෙන් නිතර දෙවේලේ පැවසෙන්නේ, මත තොට ප්‍රදර්ශනය වන්නේ, “2600 වැනි සම්බුද්ධ ජයන්තියට පිළිවෙතින් පෙළ ගැසෙමු.“ කියා ය. උදේ හවා කෙරෙන ධර්ම දේශනාවලදී ද මේ ගැන විශේෂයෙන් සඳහන් කෙරේ. මේ පිළිබඳ ඇතැමුන් අප සමග කළ කතාබස්වලදී පැහැදිළි වූයේ බොහෝදෙනා තුළ උක්ත කාරණාව ගැන පැහැදිළි අවබෝධයක් නැති බව ය.

“2600 වැනි සම්බුද්ධ ජයන්තියට පිළිවෙතින් පෙළ ගැසෙමු.“ යන පාඨයේ කියැවෙන පරිදි 2600 වැනි සම්බුද්ධ ජයන්තිය යෙදී ඇත්තේ ඉදිරියට ය. හරිට ම කිවහොත් ක්‍රි.ව. 2011 වසරට ය. බු.ව. 2555 වසරට ය. එසේ ගත් විට මේ බුද්ධ ජයන්තිය සහ බුද්ධ වර්ෂය අතර වසර 45ක පරතරයක් තිබේ. වෙනත් විදිහකට කිවහොත් 2555ට 45 එකතු කළ විටය 2600 ලැබෙන්නේ. මේ වසර 45 සිද්ධාර්ථ බෝධිසත්වයන් වහන්සේ ලොව්තුරු බුද්ධත්වයට පත්ව ගත කළ කාලයයි.

බුද්ධ වර්ෂ ගණනය ඇරඹෙන්නේ බුද්ධ පරිනිර්වාණ වර්ෂයේ සිට බව දැන් පැහැදිලි වේ. එය ක්‍රිස්තුස් වහන්සේ උපන් වසරින් ඇරඹෙන ක්‍රිස්තු වර්ෂ ක්‍රමයට වඩා වෙනස් බව ඉන් පෙනේ. මේ අනුව සිදුහත් උපත සිදු වූයේ බුද්ධ වර්ෂයට වසර 80 පෙර ය. උන්වහන්සේ බුද්ධත්වයට පත් වූයේ බුද්ධ වර්ෂයට වසර 45ට පෙර ය. එනම් වයස 35දී ය. පිරිනිවන් පෑවේ බුද්ධ වර්ෂ 0දී ය. අද වන විට බුද්ධ පරිනිර්වාණයට වසර 2554කි. බුද්ධත්වයට පත්ව වසර 2599කි. සිද්ධාර්ථ උපතට වසර 2634කි. ඒ අනුව අපි ලබන වසරේ උත්කර්ෂවත් ලෙස සැමරීමට සුදානම් වන්නේ සිදුහත් තවුසා ලොව්තුරු බුද්ධත්වයට පත්ව 2600 වැනි වසර ය.

Tuesday, June 1, 2010

ඉතින් අපි තව්තිසාවේ ජීවත් වෙමු!

වෙනදා පාපැදිය පිටුපස පත්තර මිටිය බැඳගෙන එන පත්තර කොලුවා, ගේ ඉදිරියේ මෝටර් රථය නවතා පත්තරය ගේට්ටුවෙන් ඇතුළට විසි කර යන්න ගියේය. පත්තරය අහුලා ගන්නට ඉදිරියට ගිය මට හෝන් ගසමින් සිල්වා ද නවීන කාරයක නැඟී ඉගිළ ගියේය. මේ අයුරින්ම මාලු, එළවලු, පාන් වෙළෙන්දෝ සිය මෝටර් රථවල නැගී වෙළඳාම් පිණිස ගමන් කළේය.

හිමිදිරියේ මහා මාර්ගවල විශාල වාහන තදබදයක් දක්නට ලැබිණි. නවීන මෝටර් රථවලින් සියලු පාරවල් වැසී තිබිණි. වෙනදා තරම් පාරේ බස් දක්නට ලැබුණේ ද නැත. හැමදාම පොල් පටවා ගෙන මරු විකල්ලෙන් දුවන පෞද්ගලික බස් රථ, මෙදා මිනිසුන් එකා දෙන්නා පටවා ගෙන පාරේ ගෑටුවේය. පාර අතුගාන කම්කරුවෝ හිමිදිරියේ ම සිය මෝටර් රථවලින් පැමිණි, ඒවා මහ මග අයිනේ නවතා මාර්ග පිරිසිදු කළහ. වෙනදා බස්වල තෙරපෙමින් එන කාර්යාල සුළු සේවක‍යෝ පාන්දරින් කාර්යාලවලට පැමිණ සිය අලුත් වාහනවල හැඩරුව බලමින් සිටියහ.

සියලු කාර්යල ඉදිරියේ මෝටර් රථ ගාල් කිරීම නිසා ඒවාට පිවිසීම ද අපහසු විය. පමා වී කාර්යාල වෙත පැමිණෙන ඇතැම් නිළධාරීන්ට සිය වාහන සුපුරුදු තැන්වල ගාල් කළ නොහැකි වූයේ සුළු සේවකයා ද සිය නවීන මෝටර් රථයෙන් කාර්යලය වෙත පැමිණ සිටි හෙයිනි. වෙනදා කාර්වල මහේශාක්‍ය ලීලාවෙන් ඉගිළ ගිය ඇතැම්හු පුළුටු මුහුණින් කරබා ගෙන ගමන් කළේය. ගේ පීරා රුපියල් 12ක් අහුලා ගෙන පාළු බසයකට ගොඩ වූ මා වෙත පැමිණි කොන්දොස්තර කොලුවා "ඇයි සර් කාර් එකක් ගත්තේ නැද්ද? ගණන් හොඳටම බස්සලා. මමත් හවසට එකක් ගන්නවා" යැයි කීවේ වෙනදා නොමැති අභිමාණයෙනි.

"යුද්දේ ඉවර කළාට පස්සේ අපට තිබුණෙ එකම ප්‍රශ්නයයි. අපි හැමෝම ලක්ෂ 10ක් විතර අතේ තියා ගෙන බලා හිටියේ අපටම කියලා කාර් එකක් ගන්න. දැන් ඒකත් හරි. දැන් අපට කිසි ප්‍රශ්නයක් නෑ. මෙවාට බනින්නේ දුප්පත් අපි කාර්වල යනවා දකින කොට ඇස්වල කටු ඇනෙන ඊර්ෂ්‍යාකාරයෝ." රජයේ ප්‍රධානින්ගේ දෙමාපියන්ට පිං අනුමෝදන් කරමින් සිටි ජනතාව පැවසූ කතාවල සමස්ත අර්ථය එය විය.

‍‍



Sunday, May 30, 2010

තිතට මත

මතට තිත වැනි වැඩසටහන් ඉතා යහපත් වුවද එහි ක්‍රියාකාරීත්වය පිළිබඳ අපට සෑහීමකට පත්විය නොහැකිය. ඇතැම් ඇමතිවරු පහුගිය කාලයේ චයිනීස් යන නාමය යටතේ නව පන්නයේ තැබෑරුම් විවෘත කළ අතර මතට තිත, තිතට මත විය. සෑම අයවැයකින් ම මත්ද්‍රව්‍යවලට පනවන බදු මුදල් ඉහළ දැම්ම ද භාවිතයේ විශාල අඩුවක් දක්නට නොලැබේ. කෙසේ වුවද ගමේ කසිප්පු මුදලාලිට නම් මේ ආණ්ඩුව එතරම් යහපත්වී නැත. මේ නිසා අහළ පහළ තැබෑරුම්වල ආදායම් ඉහළ ගොස් තිබේ. මෙය කසිප්පුකාරයින්ගේ මානව අයිතිවාසිකම් උල්ලංඝනය කැයි ඇතැම් බ්ලොග්කරුවන් ලියන්නට බැරිකමෙක් ද නැත.

ආණ්ඩුව යැපෙන්නේ මත්ද්‍රව්‍ය මත පනවන බදුවලින් යැයි කීව ද එසේ බදු ලෙස ලැබෙන්නේ ද.ජා.නි. 12%කි. මත්ද්‍රව්‍ය භාවිතය නිසා රෝගී වන අයට ප්‍රතිකාර කිරීමට ද.ජා.නි.22%ක් වැය වන නිසා එහි සත්‍යයක් නැති බව පැහැදිළි වෙයි. මේ නිසා අයවැයෙන් මත්ද්‍රව්‍යවල බදු ඉහළ දමන අතර මත්ද්‍රව්‍ය භාවිතය අධෛර්යමත් කිරීමට තවත් පුළුල් ක්‍රියා මාර්ගවලට යා යුතුය. ආණ්ඩුවේ ප්‍රතිපත්තිවලට පටහැනිව යන ඇමතිහොරු ගැන තීන්දුවක් ගත යුතුය. මත්ද්‍රව්‍ය භාවිතයේ ඇති ආදීනව ජනතාව අතරට ගෙන යාමට මීට වඩා පුළුල් ක්‍රමවේද අනුගමනය කළ යුතුය. ඉස්සර මෙන් දැන් බස්වල සිගරට් උරන්නන් නැත. සිගරට් තව දුරටත් සමාජ තත්ත්වය නිරූපණය කරන දෙයක් ද නොවේ.

දුම්වැටියේ එක් කෙළවරක ගිනි දැල්වී ඇතැයි ද අනෙක් කෙළවර මෝඩයෙක් එල්ලී ඇතැයි ද කීවේ මහත්මා ගාන්ධිතුමාය. මේ මෝඩයෝ අතර ආචාර්ය මහාචාර්යවරු, ගුරුවරු, චීවරධාරීහු ඇතුලු උගත් නූගත් සමස්ත සමාජයේ සියලු පැතිකඩ නියෝජනය කරන උතුමෝ ම වැජඹෙති. ප්‍රසිද්ධ ස්ථානවල දුම්පානය තහනම් කර එසේ කරන අය නීතියේ රැහැනට හසු කර ගැනීමට බලය පවරා ඇති පොලිස් රාලහාමිලා තැන් තැන්වල හොරා දුම් උරමින්, දුම් උරන්නන් නීතියේ රැහැනට හසු කර ගැනීමට බලා සිටිනු අප දැක තිබේ. මේ සියලු දෙනාට මරුවාගෙන් ගැලවීමක් නැත. මරුවා මේ සියලු දෙනා අකාලයේ සිය වසඟයට ගනී. කෙසේ වුව ද දුම් නොඋරන අය අක්‍රිය දුම්පානයට ගොදුරු වීම භයානකය. ඊට එරෙහිව ඔබ සැම විටම ක්‍රියාත්මක විය යුතුය.

Saturday, May 29, 2010

දළඳා පෙරහැර නවතව්!

විනයෙන් තොර දැනුම භයානකය. එතැන බුද්ධිය ද නැති වූ කල අතිභයානකය. මිනිසා අතට පත් දැනුම සිය බුද්ධිය නමැති කෝවෙහිලා උණුකර, විනය නම් පෙරහන් කඩින් පෙරාගත යුතුය. එකලය ඒ දැනුම සමාජයට හිතකර වන්නේ. විනයක් නැති අනුවණයින් ලබන දැනුම සෑම කල්හිම විනාශකාරී වන්නේ පෙරකී ක්‍රියාවලිය සිදු නොවන හෙයිනි. ඒ දැනුම වඳුරාට දැළි පිහිය අහුවීමට නොදෙවෙනිය.

උක්ත කාරණාව මැනවින් පැහැදිලි වන්නේ;ඇතැම් බ්ලොග් අඩවි බලන විටය. මොවුන්ට අනුව දුටුගැමුණු රජු කළේ ආගමික යුද්ධයකි. මහායානික අභයගිරිය විනාශ කිරීම ආගමික සංහාරයකි. ඒ නයින් සෙසු ආගමිකයින් තම ආගම ව්‍යාප්ත කිරීමට කරන ලද සියලු ආක්‍රමණ, සංහාර බෞද්ධයින් ද කර තිබේ. ළමුන් මහණ කිරීම ළමා අයිතිවාසිකම් උල්ලංඝයකි. සිය මානසික විකෘතිවලට ගැළපෙන මතවාද නොදරන්නන් අන්තවාදීන් යැයි හංවඩු ගසන මොවුන්ට තමන් සිටින අගාධය නොපෙනේ. තමන් කරපින්නා ගෙන සිටින අන්තවාදය නොපෙනේ. තම දැනුම් දරිද්‍රතාව කිසි කලෙක නොපෙනේ.

බටහිරින් ගලා එන ඕනෑම කසිකබල් මතවාදයක් කරගසා ගෙන අප නම් ප්‍රබුද්ධයින් වම්හයි පාරම් බෑම පමණි; මේ කූප මණ්ඩුකයින්ට කළ හැක්කේ. මොවුන්ට සිය ස්වාමිවරුන් උගන්වා ඇත්තේ 'තම මතවාද දරන්නා මිනිසෙකි; අනෙකා ත්‍රස්තවාදියෙකි' කියාය. ඉතින් බටහිර මානව අයිතීන්, ළමා අයිතීන් දිවි හිමියෙන් 100% ආරක්ෂා කළ යුතුය. නැත්නම් අපි අසමත්ය. ආක්‍රමණයකට එරෙහිව සටන් වැදීම ද අපරාධයකි. එය ආගමික සංහාරයකි.

ඉදිරියේදී මොවුන් සත්ව අයිතිවාසිකම් උල්ලංඝනය වන හෙයින් ජාතික කොඩියෙන් සහ සඳකඩ පහනින් සිංහයා ඉවත් කළ යුතුයැයි කියනු ඇත. අලි ඇතුන්ගේ අයිතීන් සුරක්ෂිත කිරීමට දළඳ පෙරහැර නවතන්නැයි කියනු ඇත. ඉන් නොනැවතී කාන්තා අයිතිවාසිකම් සුරැකීමට ළමා ප්‍රජනන කාර්යය තමන් වෙත පවරන්නැයි කීවත් අප පුදුම විය යුතු නැත.

තායිලන්තයේ මෙන් සියලු බෞද්ධයින් කලක් සිවුරේ සිටීමේ සම්ප්‍රදායක් මෙරට නොතිබීම මෙවන් අසංස්කෘතික මිනිසුන් බිහිවීමෙහිලා කළ බලපෑම සුළුපටු නැත. ඉතිහාසය, සාහිත්‍යය උදුරාගත් මුල් සිඳුණු පරපුරකින් මීට වඩා යමක් ලැබීය හැකිද කියා වරෙක සිතෙයි.

Friday, May 28, 2010

තරු සහ මෙරු

මේ රටේ රූපවාහිනී ජාලය සිය ප්‍රමුඛ මාධ්‍ය වගකීම ලෙස සලකන්නේ ගායක තරු තේරීමය.මේ සංදර්ශන ගොන්න දකින පිටරැටියෙකුට ඉතිහාසය පුරා ලංකාවේ කිසිදු ගායකයෙක් බිහිව නැතැයි ද එහෙයින් මෙසේ වහා වහා ගායකයින් තෝරනු ඇතැයි ද සිතෙනු ඇත. මේ තරු තේරීම ඇරඹී දැන් වසර කිහිපයක් ගතව ගොස්ය. රුපියල් මිලියන ගණනින් වපුරමින්, රටක් කළඹමින් තේරු එකදු sms තරුවක් නව පරපුරේ කසුන් කල්හාර අසලටවත් ළං වේද? අද ආපසු හැරී බලන අප හමුවේ නැගෙන ප්‍රශ්නය, මේ තරගවලින් අපට එකදු ප්‍රතිභාසම්පන්න ගායකයෙක්, සංගීතවේදියෙක් බිහි කරගත හැකි වීද යන්න නොව, එසේ කළ නොහැකි වූයේ ඇයිද යන්නය.

මූලිකව මේ මාධ්‍ය ආයතන සඳහා අවැසි වූයේ සංගීත ක්ෂේත්‍රයට ඵලදායි නිෂ්පාදයක් බිහි කරනට නොව තම වෙළඳ අභිලාෂ ඉටුකර ගැනීමටය.එහෙයින් ඒ තරුවල සංගීත හැකියාව, ප්‍රතිභාව, පසුබිම හැර සෙසු සියල්ල විනිශ්චය කෙරිණි.යෞවනෝන්මාදයට අවැසි සරාගී රූපසපුව, පේක්ෂක අනුකම්පාව දිනාගත හැකි දුප්පත්කම,වෛද්‍ය වැනි රටේ සම්භාවනාවට ලක්වන විෂය හැදෑරීම ආදිය එහිලා ප්‍රමුඛ විය.මේ ඔස්සේ පේක්ෂක මනස සන්තර්පණය කරමින්, sms,වෙළඳ දැන්වීම් හරහා එම ආයතන මිලියන සිය ගණනින් ආදායම් ලැබීය.

ඇඟ ලොමු ඩැහැ ගන්වන මේ ත්‍රාසජනක ක්‍රීඩාව අවසන තරුවක් තෝරා උපයාගත් මුදලින් සොච්චමක් තෑගී කෙරිණි. මේ බොහෝ තරු දුප්පත්ය. ඉතින් අනේක හේතු නිසා සිහින ජයගත නුහූ පිරිස් තම සිහින දිනූහයි මේ සිහිනයේ වැද ස්වයං තෘප්තියක් ලබති.ඒ සිහිනයේ පරමායුෂ කෙළවර වන කල තව අලුත් සිහිනයක් ඔබේ ආලින්දයට එළඹෙනු ඇත.

මේ මාධ්‍ය ආයතනවලට සැබෑවටම රටේ සංගීත ක්ෂේත්‍රයට යමක් කිරීමේ අවංක අභිලාෂයක් ඇත්නම් කළ යුතු වැඩ කොතෙක්ද? නැති බැරි අය ඇති හැකි කරන ජනසවිය, සමෘද්ධිය පන්නයේ මේ මුදල්, නිවෙස්, වාහන වෙනුවට සැබෑ දක්ෂයෙක් තෝරා දෙස් විදෙස් සංගීත සම්ප්‍රදායන් උගැන්මට, දෙස් විදෙස් අධ්‍යාපනය ලබනට අවැසි සියලු පහසුකම් දිනිනම් කෙතරම් අගේද? එහෙත් මුදලාලිලාට ලාභ මිස අනෙකක් කුමටද? එහෙයින් ඔබට තව කලක් වහා පියාපත් ලැබ අහසට ඉගිළ ඊට වැඩි වේගයෙන් බිමට වැටෙන මෙරු දකිනට වාසනාව ලැබෙනු ඇත.

Tuesday, May 25, 2010

ආගම යනු කිම?

ඉස්ලාම් ආගමට අපහාස වන දෑ පළ කළේය යන හේතුව පදනම් කරගෙන පකිස්ථානය ෆේස්බුක්, යූටියුබ් සහ විකිපීඩියා වෙබ් අඩවි තහනම් කර තිබේ. මේ ආගමික අන්තවාදය යැයි කෙනෙකුට තර්ක කළ හැකිය. යමෙකුගේ විශ්වාසයකට නිග්‍රහ කර අනියමින් තම විශ්වාසයන් හුවා දැක්වීම අන්තවාදයක් නොවේදැයි තවෙකෙකුට තර්ක කළ හැකිය. කෙසේ වුවද මේ ගැටුමෙන් පිළිඹිබු වන්නේ ක්‍රිස්තියානි සංස්කෘතිය සහ ඉස්ලාම් සංස්කෘතිය අතර මතුව ඇති සීතල යුද්ධයයි. මේ සංස්කෘතීන් දෙකම ඉතාම ආක්‍රමණකාරී බව කිව යුතු නැත. ඔවුනොවුන් අතර ලෝක සංස්කෘතික ආධිපත්‍ය සඳහා බල අරගලයක් වෙයි. තවමත් ලෝක සංස්කෘතික ආධිපත්‍ය උසුලන බටහිර ක්‍රිස්තියානි සංස්කෘතිය තමාට තර්ජනයක් වන ඕනෑම බලවේගයකට එරෙහිව යුද්ධ ප්‍රකාශ කිරීමට පසුබට නොවන බව මෑත ඉතිහාසය සනාථ කරයි.

ආගම වෙනුවෙන් යුද ප්‍රකාශ කිරීම, සිය දහස් ගණන් මිනිසුන් මරාදැමීම සහ නොයෙක් අශික්ශිත ක්‍රමවේද ඔස්සේ සිය ආගම අනුන් මත පැටවීම ඉතිහාසය පුරා සිදු වූ දෑය. මෙසේ සිය ආගම සංස්කෘතිය ව්‍යාප්ත කිරීමට අද ද ඔවුනොවුන් ඇනකොටා ගන්නා අතර වෙනස ඇත්තේ ක්‍රමවේදවල පමණි.

බුදුදහමින් පෝෂණය ලැබු ධර්මාශෝක රජතුමා සිය ශිලා ලේඛනයකින් ප්‍රකාශ කළේ අන් ආගමකට අපහාස කිරීම සිය ආගමට අපහාස කිරීමක්ම බවය. ඉන් තමා සිය ආගමින් මැනවින් හික්මී නැති බව පිළිඹිබු වෙයි. උක්ත ඝට්ඨනවලින් ප්‍රකට වන්නේ එයම නොවේද?

ආගම යනු සත්‍ය නොව සත්‍ය යැයි පිළිගැනීමය. එය වැරදි හෝ නිවැරදි හෝ විය හැකිය. එසේ තමා කැමති ආගමක් ඇදහීමට සැමට අයිතියක් තිබේ. එකී විශ්වාසයක්ට ගරහා ඒවා ඇදහන අය අපහසුවට පත් කිරීම යුක්ති යක්ති නැත. අප කළ යුත්තේඅපේ ආගම නිවැරදිව ඇදහීමයි. එසේ යම් ආගමිකින් ශික්ෂණය වූ අයෙකු කිසි විටක සෙසු ආගම්වලට අපහාස නොකරයි.

සමකාලීන භාරත සමාජයේ විවිධ ආගමික නායකයින්ගේ ආරාමවලට යමින් එමින් ඔවුන්ගේ යහලක්ෂන සිය ශ්‍රාවකයින්ට පෙන්වා දෙමින් ඔවුන් සමග ඉතාම සුහදශීලි සම්බන්ධයක් පැවැත්වූ බුදු හාමුදුරුවෝ මේ ගැටුම් මැදින් බෞද්ධ අප යා යුතු මාවත පෙන්වා දුන් සේක.

Monday, May 24, 2010

නිදහස් අධ්‍යාපනය සුරකිනු පිණිස !

නමෝ විත්තියෙන් උසස් අධ්‍යාපන ඇමති ධූරයේ දිවුරුම් දුන් එස්.බී.දිසානායක මහතා මෙරටට පෞද්ගලික විශ්වවිද්‍යාල අරඹන බව කීවේය. එය නිදහස් අධ්‍යාපනයේ මළගම බවට කෑ මොර දෙමින් පිරිසක් මහා ගාල ගෝට්ටියක් ඇරඹූහ. එහෙත් මොවුහු පෞද්ගලික රෝහල්වලින් ප්‍රතිකාර ගනිති. පෞද්ගලික රේඩියෝ රූපවාහිනි නරඹති. පෞද්ගලික බස්වල යති. එති. දූ දරුවන් පෞද්ගලික පංතිවලට යවති. ඇතැම්හු සිය දරුවන් පෞද්ගලික පාසැල්වලට යවති.

විශ්වවිද්‍යාල දෙවනක් කරන මේ පෝරිසාදයෝ කී දෙනෙක් පෞද්ගලික පංති නොගොස් එහි පැමිණියාහුද? එකල නැති බැරි අයගේ දරුවන්ට ටියුෂන් ගත නොහැකැයි සිතා තමන්ද ටියුෂන් නොගොස් සිටි අය කවරහුද? ඊට විරුද්ධ වූ අය කවරහුද? පෞද්ගලික රෝහල්, පාසැල් නිසා අද නිදහස් සෞඛ්‍යයට හෝ අධ්‍යාපනයට සිදුව ඇති සන්තෑසිය කුමක්ද? එසේ නම් මෙරට පෞද්ගලික විශ්වවිද්‍යාල ඇරඹීමෙන් නිදහස් අධ්‍යාපනය කෙළවර වෙතැයි කිම මොන තරම් අනුවණකමක්ද?

අප සිතා බැලිය යුත්තේ තලියේ කිඹුලන් දකින්නන්ගේ විකාර වල්පල් ගැන නොව පෞද්ගලික විශ්වවිද්‍යාල ඇරඹීමෙන් රටට ලැබෙන දේ ගැනය.වසරකට දහස් ගණනක් සිසුහු උපාධිපතා විදෙස්ගත වෙති. එක් අයෙකු වෙනුවෙන් ලක්ෂ 60ක් පමණ මුදලක් වැය වෙයි. මෙසේ වාර්ෂිකව ලොව පුරා විවිධ විශ්වවිද්‍යාලවලට ගලා යන මහා ජාතික ධනයෙන් විශාල කොටසක් මෙරට ඉතිරිවනු ඇත. අමතරව විදෙස් සිසුන් මෙරට විශ්වවිද්‍යාලවලට ඇද ගැනීම එය රටට විදෙස් මුදල් ගලා එන ක්‍රමයක්ද වනු ඇත. එමෙන්ම විදේශයකදී වැය වන මුදලට වඩා අඩු මුදලකට මෙරට උපාධි ලබා ගැනීමට හැකි වෙයි. එවිට තවත් පිරිසකට උපාධි ලබා ගැනීමට හැකි වනු ඇත. රටේ රාජ්‍ය විශ්වවිද්‍යාලවල ප්‍රමිතිය උසස්වීමට ද පෞද්ගලික විශෟවවිද්‍යාල අනියමින් හේතු වනු ඇත.එවිට මෙරට නිදහස් අධ්‍යාපනය තවත් සුරක්ෂිත වනු ඇත.

Friday, May 21, 2010

සොබාදහම කැළඹීම

DNA හෙවත් ප්‍රජාතන්ත්‍රවාදී ජාතික සංන්ධානය පවසන පරිදි ජෙනරාල් උතුමාට රජය සිදු කරන අනන්ත හිරිහැර දරනු බැරිව සොබාදහම පවා කැළබී තිබේ. බෙංගාල බොක්ක කැළඹී ඇත්තේ ඒ නිසාය. ලයිලා කුණාටුව හැමවේ ඒ නිසාය. ගං වතුර ඒ නිසාය. ඒ කතාවේ ද ඔවුන් ඇදබාන අනෙක් කතාවල මෙන්ම ඇත්තක් තිබේ. මීට පෙර කවදාවත් ගං වතුර ගැලුවේ නැත. මේ ගං වතුර වුවද DNA අනුගාමිකයින් තෝරා බේරා සෙසු පක්ෂවල අය පමණක් යට කළේය. සුළි සුළං හැමුවාට ලයිලා කුණාටුව හැමුවේ නැත. ඒවා කෙසේ වුවත් රටට කෙළවෙන තුරු බලා සිටින බෙංගාල බොකු නම් අද තරම් කවදාවත් කැළඹුණේ නැති බව සහතිකය.

බෙංගාල බොක්ක කුමක් නිසා කැළඹුනත් රට ගං වතුරින් යට වී තිබේ. පක්ෂ බේදවලින් තොරව ලක්ෂ ගණනක් පීඩාවට පත්ව තිබේ. කොළඹ ගම්පහ කළුතර ආදි ප්‍රධාන නගර ගණනාවක් යට වී තිබේ. පොද වැස්සටත් දැන් නගර යටවෙයි. මෙයට ප්‍රධාන හේතුව අනවසර ඉදිකිරීම් බවට තර්කයක් නැත. කිහිපදෙනෙකු කරන නීති විරෝධි වැඩ නිසා මුළු මහත් ජනතාව ම අපහසුතාවට පත්වෙයි. මෙවන් අවස්ථාවල රජය තදින් නීතිය ක්‍රියාත්මක කළ යුතුය. නගරවල සියල අනවසර ඉදිකිරීම් ඉවත් කිරීමට රජය තීරණය කරයි නම් අපි රජය වෙනුවෙන් පෙනී සිටිමු.

කිසිවෙකුට නීති විරෝධි වැඩක් කර සිය අයිතිවාසිකම් ගැන කතා කිරීමට අයිතියක් නැත. ජීවත්වීමට මගන් නැතැයි කියා කසිප්පු පෙරන්න හෝ කුඩු විකුණන්න අයිතියක් නැත්නම් මුළු රටක් අගාධයට හෙළමින් නීති විරෝධි ඉදිකිරීම් කරනට ද කිසිවෙකුට අයිතියක් නැත. රජය අනවසර ඉදිකිරීම් ඉවත් කරන විට සිය බඩගෝස්තරවාදී පටු දේශපාලන අරමුණු වෙනුවෙන් ඊට විරුද්ධ වන උත්තමයින් පරිස්සම් විය යුතුය. මන්ද ගං වතුර නිසා පීඩාවට පත්ව සිටින ලක්ෂ ගණන් ජනතාවගේ දුක ඉවසනු බැරිව සොබාදහම කැළඹි අකුණු පාත් විය හැකි හෙයිනි.

Wednesday, May 19, 2010

ඉතිහාසයෙන් උගනිමු

ඊයේ අපේ රට කොටි ත්‍රස්තවාදයෙන් නිදහස ලද දිනයයි. ඇතැම්හු මේ අපේ දෙවන නිදහස් දිනය යයි කියති. එහෙත් මේ නිදහස පෙර අන් කිසි නිදහසකට වඩා උතුම් සහ ශ්‍රේෂඨ බැව් අප මතයයි. බටහිර විජිත කොල්ලකරුවන්ට එරෙහිව අප රටේ විවිධ කැරලි පැන නැග්ග ද අප නිදහස ලද්දේ ඉන්දිය නිදහස් සටනට පිං සිදුවන්නටය. ඒ නිදහස ද සැබෑ නිදහසක් නොවන්නේ අපේ රට භාර දුන්නේ සුද්දා ඇති දැඩි කළ කළු සුදු කුක්කන් පිරිසකට හෙයිනි. 48 රටේ අගමැති ධුරය ඩී. බී. ජයතිලක මහතාට හිමි විය යුතුය යන්න රටේ මහා සංඝ රත්නය ප්‍රමුඛ දේශප්‍රේමි ජන මතය විය.‍

මේ රට නිදහසේ ප්‍රථම වර්ෂ පූර්ණය සමරද්දි ඊයේ රාජකීය ආසියාතික සමිතිය උතුරු නැගෙනහිර පුරාවිද්‍යාත්මක නටඹුන් පිළිබඳ දේශනයක් සංවිධානය කිරීම සුවිශේෂි වෙයි. එම දේශනය සඳහා ආරාධනා ලැබ සිටියේ සිය ජීවිත කාලයෙන් වසර 50ක් පමණ උක්ත කාර්ය සඳහා කැප කළ එල්ලාවල මේධානන්ද හිමිය. මේ වැදගත් දේශනය සඳහා කිසිදු ප්‍රචාරයක් ලබා නොදුන් නිසා දෝ සහභාගීත්වය අඩු විය. එහෙත් ඒ දේශනය සම ශ්‍රී ලාංකිකයෙකු විසින් ම ශ්‍රවනය කළ යුත්තක්ය යනු මගේ හැඟීමයි.

බෙදුම්වාදයට සහ අධිරාජ්‍යවාදයට සේවය කරන ව්‍යාජ ඉතිහාසකරුවන් ලියූ කසිකබල් පොත් කඩමාළු ඉවත දමා අපි දැන්වත් අපේ සැබෑ ඉතිහාසය සොයා පාදා දිය යුතුය. ඉතිහාසය නූගත් හෙයින් නිවටව පරාධීනව සිටින අද පරපුරට මගේ මේ වදන් නිසරු ප්‍රලාප ලෙස හැඟුණ ද අපේ රටේ ඒකීයත්වය චිර පැවැත්ම රඳන්නේ අපේ සැබෑ ඉතිහාසය අනාගත පරපුර අතර පත් කිරීම මතය. ඊට සිංහල දෙමළ මුස්ලිම් බේදයක් නැත. ඒ සියල්ලෝ ලාංකික දෙමළ සහ ලාංකික මුස්ලිම්වරු වෙති. ඔවුන් මේ රටේ ඉතිහාසය දැන සිටිය යුතුය. එවිට තමන්ට උතුර අයිති යැයි දෙමළ අයද නැගෙනහිර තමනට අයිති යැයි මුස්ලිම්වරුද ජාතිවාදි ගිනි මැළයට බිළිදීමට කිසිවකුට නොහැකි වනු ඇත. ඔවුන්ට ඉතිහාසයෙන් ඉගනීමට ඉඩහසර දිය යුතුය. මේ රට රටේ වෙසෙන සියල්ලන්ගේය. රටේ සිව් කොණ මුල් පදිංචිකරුවෝ සිංහලයෝය. එය පරම සත්‍යයකි. එම සත්‍ය සෙසු ජනතාවට රටේ ඕනෑම තැනක නිදහසේ ජීවත්වීමට තර්ජනයක් නොවේ.

Saturday, May 1, 2010

පදික වේදිකාව කා‍ගෙද?

ඔබ කිසියම් උවමනාවකට විදෙස් ගත විණැයි මොහොතකට සිතමු. එවිට ඔබට, ඔබේ නිවස ගැන සොයා බලන්නට නොහැකි වෙයි. මෙය දැනගත් තවෙකෙක් විත් එහි පදිංචි වෙයි. එය දැනගන්නා ඔබ පොලිසිය මාර්ගයෙන් එහි පදිංචි පිරිස ඉවත් කර නිවස අත්පත් කර ගනී. එකල්හි අර නිවස බලෙන් අත්පත් කර ගෙන සිටි අයට සිය අයිතිවාසිකම් කඩවිණැයි කිව හැකිද? නීතිය ක්‍රියාත්මක කිරීමට එරෙහිව උද්ඝෝෂණ කළ හැකිද?

ඔබ නොහැක කියනු ඇත. එහෙත් පිටකොටුවේ පදික වේදිකා වෙළඳුන්ට සහ ඔවුන්ගේ ඡන්ද බලාපොරොත්තුවෙන් කට අරින දෙස්පාලුවන්ට අනුව නම් එසේ උද්ඝෝෂණ කළ හැකිය. පොලිසිය කලින් විත් ඔවුන්ට ඉවත් වන්නැයි දැන්විය යුතුය. පොලිසිය කියන්නේ එසේ දැන්වූ බවය. අර වෙළඳ පිරිස කියන්නේ එසේ නොකළ බවය.

අපට කීමට ඇත්තේ පොලිසිය එසේ නොකළ යුතු බවය. මේ වෙළඳ මංකොල්ලකාරයින් මහමග මැසි අටවා ගත්තේ පොලිසියෙන් අවසර ගෙනද? පදික වේදිකාව ඇත්තේ මගීන්ට යාමට මිස වෙළඳාම් කිරීමට නොවේ. එය නීතියෙන් තහනම්ය. නීති නොදැන සිටීම දඬුවමින් ගැලවීමට හේතුවක් නොවේ. එහෙයින් නීති විරෝධි වැඩ කර සිය ඊනියා අයිතීන් ගැන කෑ ගැසීමට මේ අයට අයිතියක් නැත.

පදික වේදිකාවේ සිදුවන්නේ වෙළඳාමට වඩා මංකොල්ලයකි. මහමග යනෙන උන්ට කිසිදු ප්‍රමිතියක් නැති බඩු විකිණීම, වැඩි මිලට බඩු විකිණීම, මිනිසුන් බිය වද්දා බඩු විකිණීම, ළඳුන්ට ලිංගික අඩම්තේට්ටම් කිරීම මෙහි සුලබ දේය.

පදික වේදිකා වෙළඳාම සපුරා තහනම් කළ යුතුය. එය නගරයේ සුන්දරත්වයට අනීවාර්ය වේ. එමෙන්ම ඉහත කී දූෂණ ඉන් වළකාගත හැකිය. පදික වේදිකාවේ වෙළඳාම් කිරීම තහන්ම කර ඒ සඳහා දැඩි නීති පැනවිය යුතුය. දඩ මුදල් අය කරගත යුතුය. එම නීති කිසිසේත් ආණ්ඩු මාරු වන විට වෙනස් නොවිය යුතුය.

බාල ජනප්‍රිය තීන්දු තීරණවලින් රටක් ගොඩනැගිය නොහැකිය. හොරකම් කරන, කසිප්පු පෙරන, මංකොල්ල කනවුන්ට නීතියෙන් දඬුවම් දෙනු මිස උන්ට ජීවන මාර්ග සොයා දෙන්නට රජයක් බැඳී නැත. මහපාරට වැටුණැයි උඩුබුරන අය මේ බැව් සිහි තබා ගතයුතුය. පදික වේදිකා වෙළඳ මාෆියාව අවසන් කිරීම දෙකෝටියක් ජනතාවගේ හිතසුව පිණිසම වන බැවින් රජයේ මේ ක්‍රියාදාමය අපි පසසමු. පදිකවේදිකාව මගීන්ගේ මිස පිටකොටුවේ මැරයින්ගේ නොවේ.

Wednesday, April 28, 2010

ගෝළයා දුව දුව කිරීම

සෝමාවතී පුද බිම ඩෝසර් කරමින් සිටි ජාතික අපරාධත්‍කරුවන් පිරිසක් අල්ලා ගත් වන ජීවි නිලධාරීන්ට පහරදී අපරාධකරුවන් පැහැර ගෙන ගිය ප්‍රාදේශීය සභා සභාපති නාම්බෙක් ගැන අද දිවයින කතුවැකිය ලියැවි තිබේ.(තන කන ගවයින්ට කැළලක් වී නම් සමාවන්න.)මේ සභාපති නාම්බා එක්සත් ජනතා නිදහස් සන්ධානයේමලු.

පුදුමය එය නොවේ අර වස්සාට වහා දඬුවම් දෙන්නැයි ගරු මෛත්‍රීපාල සිරිසේන සහ සුසිල් ප්‍රේමජයන්ත මහතුන්ට දිවයින පැමිණිලි කිරීමයි.

ඒ දඬුවම ගරු එල්ලාවල මේධානන්ද හිමි ‍පාර්ලිමේන්තුවෙන් ඉවත් කර ඒ වෙනුවට අර නාම්බා පත් කිරීම වැනි දැඩි එකක් විය හැකිය. ඔහුට ජාතික උරුමයන් පිළිබඳ අමාත්‍යංශය භාරදී දඬුවම තවත් බරපතළ කිරීමට ද මේ අය පසුබට නොවනු ඇත.

ගමක් ගාණේ චයිනීස් නමැති අරක්කු බාර් ඇර 'මතට තිත' 'තිතට මත' කළ එවුන්ගේ ද,අනවසර වැලි ගොඩ දමා ගිං ගඟ විනාශ කළ හොරුන්ගේ ද,ගමේ කසිප්පුකාරයාගේ,හංදියේ මැරයාගේ ද මුර දේවතාවා වූ පහුගිය ඡන්දයේදි රටේ අවාසනාවට ලිස්ට් එකේ වලිගයේ එල්ලි යාන්තම් පාර්ලිමේන්තුවට රිංගු ජාති භ්‍රෂ්ටයින් මේ ආණ්ඩුව දෝතින් භාරගෙන කැබිනෙට්ටුවේ වාඩි කරවු උජාරුව දුටු අපට සිතෙන්නේ එසේය.

ඒවා දකින පොඩිවුන් අර වගේ සුරතල් වැඩ කිරීමේ කවර පුදුමයක්ද? ගුරා හිටගෙන කරන විට ගෝළයා දුව දුව කිරීම සිරිතය.
 
සිය රට දේ සිරි සැප දේ !