Thursday, November 26, 2009

රැවුලත් නැත කැඳත් නැත. ප්‍රභාකරනුත් නැත

කිසි කෙනකුටත් මතක නැති ලෙස ප්‍රභාකරන්ගේ උපන් දිනය ඊයේ (26) නිකම්ම ගෙවී ගියේය. මෙයට වසර කිහිපයකට පෙර හෝ ඉකුත් වසරේදී නම් ප්‍රභාකරන්ගේ උපන් දිනයට දෙසතියකට පමණ පෙර ඒ සඳහා සූදානම් වනු දක්‌නා ලදී. ඒ කවරෙක්‌ද? කොටින්ව හඳුනන සියලු දෙනා ය. සටන් විරාම කාලයේදී නම් ප්‍රභාකරන් "ජාතිය" අමතා කළ මහ විරු කතාව ජාතික රූපවාහිනියෙන්ම පෙන්වන ලදී. කතාව පෙන්වීමට පෙර උතුරු නැගෙනහිර ජනයා කැමැත්තෙන් හෝ අකමැත්තෙන් උත්සවයට සූදානම් කෙරිණ. කොළඹ සිටි කොටින්ට පක්‍ෂපාත ජනයා සහ ප්‍රභාකරන්ගේ පිහිටාධාරය බලාපොරොත්තු වූ අය සිය කැමැත්තෙන්ම උත්සවයට සූදානම් වූහ. ප්‍රභාකරන් පවත්වන මහ විරු කතාව කෙරෙහි සියලු දෙනා උනන්දු වූ අතර ඉදිරි කාලයේදී ප්‍රභාකරන් හැසිරීමට යන ආකාරය එම කතාවෙන් හෙළිදරව් විය. ප්‍රභාකරන් හැමදාමත් කීවේ එකම දෙයකි. ඒ වූ කලී සිංහල බෞද්ධ ආණ්‌ඩුව යටතේ තමන්ට තවත් ජීවත් වීමට වුවමනා නැති බවත් වෙනම රාජ්‍යයක්‌ අවශ්‍ය බවත්, ඒ සඳහා මිනී මරණ බවත්ය.

ඒ අතර ප්‍රභාකරන් සිය උපන් දිනයේදී මනුෂ්‍ය සංහාරයක්‌ කරවීමට පුරුදුව සිටි බැවින් ඔහුගේ උපන් දිනයට පෙර සතියේත්, පසු සතියේත් රටේ ආරක්‍ෂාව තර කරන ලදී. ඒ නිසා ඒ සති දෙකම අත්හල ප්‍රභාකරන් ඊළඟ සතියේදී මහා විනාශයක්‌ කළේය. එක්‌කෝ බස්‌ රියකට බෝම්බ තැබූ ඔහුගේ කාලකන්නි ගෝලයෝ එය පුපුරුවා පාසල් දරු දැරියන් විශාල සංඛ්‍යාවක්‌ ඝාතනය කළහ. නැතහොත් තර්ජිත ගම්මානයකට පහරදී අසරණ නිරායුධ ගම් වැසියන් එක පිට එක කැතිගා දැමූහ. ප්‍රභාකරන් මහවිරු කතාව කිරීමට සැදී පැහැදී සිටි ආකාරය සැලකිල්ලට ගත් ත්‍රස්‌තවාදය පිළිබඳ විචාරකයෝ විවිධ අනාවැකි පළ කළහ. සමහරුන් කීවේ ප්‍රභාකරන් තම සුපුරුදු උඩු රැවුල කපා දමා සිටියේ නම් ළඟදීම යුද්ධයක්‌ හට ගන්නා බවය. එහෙත් අන්තිමේදී රැවුලත් නැති ව, කැඳත් නැතිව, නන්දිකඩාල් කලපුවේ වැටී තිබූ ප්‍රභාකරන්ගේ මෘත දේහය හමුදාවට හමු විය.

ප්‍රභාකරන්ගේ උපන් දිනය ගැන කිසිදු සැමරුම් වගන්තියක්‌ කොටින්ට පක්‍ෂපාති වෙබ් අඩවිවල ඊයේ (26) පල වී තිබුණේ නැත. අපටත් කලින් ප්‍රභාකරන්ගේ ගෝලයන්ට ඔහු ගැන අමතකව තිබිණි. දැන් පිටරට සිටින ඩයස්‌පෝරාවට හෝ වෙබ් අඩවිවලට ප්‍රභාකරන්ගෙන් වැඩක්‌ නැත. ඔවුනට වැඩක්‌ ඇත්තේ ඊළඟ ප්‍රභාකරන් හා ඊළඟ රට කැඩීමේ වැඩපිළිවෙළ ගැනය. මෙය වූ කලී ව්‍යාපාරයකි. මේ ව්‍යාපාරයෙන් මේ රටේ සමහරුත් පිටරට සමහරුත් ජීවත් වූහ. ප්‍රභාකරන් මැරී සය මසක්‌ ගත වීමටත් පළමුව ඔහුගේ උපන් දිනය දෙමළ ඩයස්‌ පෝරාවට හා මෙරට සිටින කොටි හිතවාදීන්ට අමතක වීමෙන් ඒ බව පෙනී යයි. මේ සියලු කාරණා අතර ප්‍රභාකරන් නැතත් ඔහුගේ පරමාර්ථය වූ රට අස්‌ථාවර කිරීමේ කුමන්ත්‍රණය එසේම පවත්වාගෙන යැමට ඒ සඳහා කොන්ත්‍රාත්තුව ලබාගත් පිරිස රෑ දහවල් නොබලා වැඩ කරති.

මේ සඳහා වියදමට අනාගතයටත් එක්‌කම ප්‍රභාකරන්ගෙන් මුදල් ලබා ගැනීමට මේ පිරිස සමත් වූහ. එයින් කොටසක්‌ ගසා කන ලද අතර ඉතිරි කොටස දැන් වියදම් කරනු ලැබේ. මේ රට කැඩීමට නම් මේ ජනාධිපති එළවිය යුතුමය. ගෝඨාභය රාජපක්‍ෂ එල්ලුම් ගස්‌ යවා බැසිල් රාජපක්‍ෂ හිරේ යෑවිය යුතුමය. එවිට නිසි නායකත්වයක්‌ හා කාර්යශූරත්වයක්‌ නැති රට දෙකට නොව දහයකට වුව කැඩිය හැකිය. යුද්ධය නිමා කිරීමෙන් ජනාධිපති කළේ ස්‌වල්ප වරදක්‌ නොවේ. ඔහු විවිධ පුද්ගලයන් ආයුධවලින් කොමිස්‌ මුදල් ගැසීම නිමාවට පත් කළේය. සාමාන්‍යයෙන් එක වෙඩි උණ්‌ඩයකින් ඩොලර් ශත දෙකක හෙවත් රුපියල් 2.40 ක පමණ කොමිසක්‌ ලබාගත හැක. උණ්‌ඩ කෝටියක්‌ ගෙනාවොත් එතැන දෙකෝටි හතළිස්‌ ලක්‍ෂයක ආදායමක්‌ ආයුධ ජාවාරම්කාරයාට ලැබේ. ප්‍රභාකරන්ගේ උපන් දිනය ද ඔහු අමතක කර දැමීමෙන් ඔහුගේ අනුගාමිකයන් හා ඔහුගෙන් යෑපුණු අය මොන තරම් ආත්මාර්ථකාමීන්ද යන්න පෙනේ.

(දිවයින - 09/11/27)

ටිප්පණිය - කලකින් දක්නට ලැබුණු හොඳ කතුවැකියකි. එදා සහ විරු දින සැමරූ උන්ට දැන් වීරයා මතක නැත. එහෙත් වීරයා නම් කීවේ සිංහලයාට ඕනෑම දෙයක් දෙසතියෙන් අමතක වන බව ය. එහෙත් දැන් ඒ රෝගය ඇත්තේ ඔහුගේම හෙංචයියලාට බව පැහැදිළි ය. දිවයිනට සිහි වූ කුප්‍රකට උපන් දිනය කොටි හෙංචයියලාට වහා අමතක වූ සැටි!!!

Thursday, November 19, 2009

දේශපාලන වඳුරන්ගේ කතා වස්‌තුව

මේ රටේ දේශපාලන පක්‍ෂ රැසකම ලියාපදිංචිය අහෝසි වී ඇති බව මැතිවරණ කොමසාරිස්‌ කාර්යාලය විසින් ප්‍රකාශයට පත් කරනු ලැබ ඇති බව ඊයේ (19) දිවයිනේ ප්‍රධාන ප්‍රවෘත්තිය ලෙස පළවී තිබේ. මේ ගැන සාකච්ඡා කිරීමට පෙර මේ රටේ ජනයාගේ ජාතික ගතියක්‌ ගැන ස්‌වල්පයක්‌ කියමු. පුරුදු පුහුණු කරන ලද වඳුරකු මෙන් අන් අය කරන දේ එසේම කිරීමට මේ රටේ සමහරු කැමැත්තාහ. උදාහරණයක්‌ වශයෙන් ගතහොත් හන්දියක බුලත් විට කඩයක්‌ අලුතින් අරින ලද්දේද, ස්‌වල්ප කලකින් එය සරුසාර බුලත් විට කඩයක්‌ බවට පත් වූයේද, අපේ මිනිහා කැමති වන්නේ එහා පැත්තෙන්ද බුලත් විට කඩයක්‌ම අටවා ගැනීමටය. ගමක එක මං සන්ධියකට බුලත් විට කඩ දෙකක්‌ වැඩි නැතැයි සිතමු. එහෙත් අපේ මනුස්‌සයා එතැනින් නොනවතී. අන්තිමට මං සන්ධිය පුරා බුලත්විට කඩ ඇරේ. එහි ප්‍රතිඵලය වන්නේ සියලු බුලත් විට කඩ බංකොලොත් වී බුලත් විට ගැනීම සඳහා අල්ලපු ගමට යැමට ගැමියන්ට සිදුවීමය. මෙය ජාතික පුරුද්දකටත් වඩා සංසාරික පුරුද්දකි.

මේ සංසාරික පුරුද්ද දේශපාලනයටද පොදුය. තමන් දැනට සිටින දේශපාලන පක්‍ෂය සමග ආරවුලක්‌ ඇතිකර ගන්නා ඕනෑම දේශපාලනඥයකු ගන්නා පියවර දෙකක්‌ තිබේ. එයින් පළමුවැන්න වෙනත් පක්‍ෂයක සාමාජිකත්වය ලබා ගැනීමය. ඒ එම දේශපාලනඥයා පිළිගැනීමක්‌ ඇති ජනප්‍රිය කෙනෙකු නම් පමණි. ඔහු දේශපාලන කබලකු නම් කිසිදු පක්‍ෂයක්‌ විසින් ඔහු භාර ගන්නේ නැත. එවිට ඔහු අලුත් පක්‍ෂයක්‌ පිහිටුවයි. කැත්ත, උදැල්ල, ගඩොල් කැටය, දෝලාව, භූමිතෙල් ගැලුම, ලාඩම හෝ අං තට්‌ටුව වැනි ඕනෑම ඡන්ද ලකුණකට ඔහු සූදානම්ය. එතැන් සිට ඔහු නව පක්‍ෂයට සාමාජිකයන් බඳවා ගනී. පක්‍ෂ අරමුදල සඳහා ධනය රැස්‌ කරන්නට පටන් ගනී. ඊළඟ ඡන්දය වන විට ඔහු තවදුරටත් කබලකු නොවී ශක්‌තිමත් තත්ත්වයක සිටින්නේ නම් බලයේ පවතිනා පක්‍ෂයකට මුක්‌කුවක්‌ ගසයි. ඔහු වඩාත් ප්‍රිය කරන්නේ ජාතික ලැයිස්‌තුවෙන් ඡන්දය ඉල්ලීමටය. ගම් දනව් පුරා පයින් ඇවිද ගොස්‌ ගැමියන්ගේ දුක්‌ සහගත ජීවිත ගැන සෙවීමට හෝ නාගරිකයේ මුඩුක්‌කු ජනයාගේ දුක බැලීමට ඔහුට වුවමනාවක්‌ නැත.

මේ නිසා ශ්‍රී ලංකාව තුළ පසුගිය කාලය පුරා දේශපාලන පක්‍ෂ විශාල ප්‍රමාණයක්‌ හට ගත්තේය. තමා ශ්‍රීලනිපයෙන් කොටසක්‌ බව දවසක්‌දා උදේ පාන්දර කල්පනා කළ මංගල සමරවීර ශ්‍රීලනිප මහජන පාර්ශ්වය ලෙස අලුතින්ම පක්‍ෂයක්‌ පිහිටුවන බව කියමින් සවස්‌ වන විට පුවත්පත් නිවේදනයක්‌ නිකුත් කළේය. ශ්‍රීලනිපයට මහජන පාර්ශ්වයක්‌ කුමටද? මෙතෙක්‌ කලක්‌ ශ්‍රීලනිපයේ තිබුණේ මහජනතාවගෙන් සමන්විත පාර්ශ්වයක්‌ නොවන්නේද? ළඟකදී සිහල උරුමයෙන් කැඩී වෙන්වුණු කෙනකු නව සිහල උරුමය නමින් පක්‍ෂයක්‌ පිහිටුවීය. මේ ආකාරයෙන් අව්වටත් වැස්‌සටත්, යලටත් මහටත්, සීතලටත්, උණුහුමටත් යනාදී වශයෙන් දේශපාලන පක්‍ෂ විශාල ප්‍රමාණයක්‌ මේ රටේ පිහිටුවා තිබේ. මේ පක්‍ෂ වලින් වැඩිහරිය ඡන්ද ලකුණටත් එය ලියාපදිංචි කළ මහතාටත් සීමාවී ඇත. ඇතැම් පක්‍ෂයක ඇත්තේ සභාපති, ලේකම්, භාණ්‌ඩාගාරික යන මහත්වරුන් පමණි. මේ නයින් බලන කල දේශපාලන පක්‍ෂ ලියාපදිංචිය පිළිබඳ නිශ්චිත නිර්ණායකයන් හෝ සීමාවක්‌ නො ගෙනාවොත් මේ රටේ සෑම පවුලකටම එක දේශපාලන පක්‍ෂය බැගින්ද, පසුව එක පුද්ගලයාට එක දේශපාලන පක්‍ෂය බැගින් බිහිවනු නියතය.

අපගේ වැටහීම නම් ප්‍රධාන පක්‍ෂ සහ සෙසු ජාතීන්ගේ පක්‍ෂ හැරුණ විට වෙනත් පක්‍ෂ පිහිටුවීමේදී මැතිවරණ කොමසාරිස්‌තුමා කල්පනාකාරීව කටයුතු කළ යුතු බවයි. එතුමා දැනටත් කල්පනාකාරීව සිටින බවද කිසිදු තර්කයක්‌ නැත. පටු පරමාර්ථ තකා දේශපාලන පක්‍ෂ පිහිටුවීමට තැත් කළ කල්හි එම පක්‍ෂ සඳහාවූ අයදුම් පත් කුණු කූඩයට විසි කෙරුණු අවස්‌ථා ගැන පසුගියදා අපට දැන ගන්නට ලැබිණි. එතුමා එම ප්‍රතිපත්තියේ දිගටම සිටිය යුතු අතර නොවැදගත් වල් පැළ පාත්ති වැනි පක්‍ෂ අවලංගු කර මැතිවරණ වියදම් අවම කර ගැනීමට පියවර ගත යුතු බව අපගේ වැටහීමය.
(දිවයින - 09/11/20)

ටිප්පණිය - සීමාව ඉක්මවා ගිය කල ඕනෑම හොඳ දෙයක් නරක බවට හැරෙයි. නිදහස, අයිතිවාසිකම් ඈ ඕනෑම දේකට අත්වන ඉරණම එයයි. මගේ නිදහස අනෙකාගේ නිදහස ඇරඹෙන තැනින් කෙළවර වෙයි. අයිතීන් ද එසේ ය. ප්‍රජාතන්ත්‍රවාදයට ද ඒ නියාම දහම පොදු ය. ප්‍රජාතන්ත්‍රවාදය යනු ඕන එකෙකුට ඕනෑම දෙයක් කිරීමේ හැකියාව නොවේ. එහි වල්බූරු නිදහසක් නැත. එහෙයින් එහි සීමා අවබෝධ කරගැනීම වැදගත් ය. එහෙත් මෙරැටියන් සංකල්ප විනා එහි සීමා නොදනිති. එහෙයින් යහපත් සංකල්පවලට මුවා වී වල් වදිති.

ඉන් අදහස් කරන්නේ ආණ්ඩුව කියන කරන හැමදේම දේව වාක්‍ය සේ පිළිගෙන හිස නැමීම නොවේ. හැමදේම විවේචනය කිරීම ද නොවේ. හරි වැරැද්ද නිවහල් මනසින් දැකීම ය. වරදට බැණ හොඳ වැනීම ය.

Wednesday, November 18, 2009

මියන්මාර් නායකයා වැරැදියි ඔබාමා හොඳයි!

කොටි ඝාතන සමාගම විසින් අරන්තලාවේදී භික්‍ෂූන් ඝාතනය කළ අවස්‌ථාවේදී හා අනුරාධපුර ශුද්ධ නගරයේ මිනිස්‌ ඝාතනයක්‌ මෙහෙයවීම ගැනද කොළඹදී කිසිම විරෝධතාවක්‌ නැඟුනේ නැත.

එහෙත් පසුගියදා මෙරටට සම්ප්‍රාප්ත වූ මියන්මාරයේ නායක ජනරාල් තාන් ස්‌ටේ මියන්මාරයේ භික්‍ෂූන් ඝාතනය කළේ යෑයි කියමින් සුළු පිරිසක්‌ විසින් විරෝධතාවයක්‌ දක්‌වනු ලැබිණි. එහෙත් ඇමරිකානු හමුදා ඇෆ්ගනිස්‌තානයේ හා ඉරාකයේ සිවිල් වැසියන් බෝම්බ දමා ඝාතනය කරද්දී ශ්‍රී ලංකාවේ සුප්‍රකට විරෝධතා මෙහෙයවන්නන්ගේ කණ්‌ඩායම වෙතින් ඊට එරෙහිව විරෝධතාවක්‌ මතු වූයේ නැත.

තෙදිනක නිල සංචාරයක්‌ සඳහා මෙරටට පැමිණි මියන්මාර නායකයාට එරෙහිව මෙලෙස විරෝධතාවක්‌ පැවැත්වූයේ කොටි ඝාතනයට එරෙහි ව දියත් වූ වන්නි මෙහෙයුම නතර කිරීමට දැඩි උත්සාහයක්‌ ගත් කොළඹ එන්.ජී.ඕ. ක්‍රියාකාරී පිරිසයි.මේ සඳහා මෙරට සිටින මියන්මාර් භික්‍ෂූන් වහන්සේලා පිරිසක්‌ ද සහභාගි වී තිබේ.

මියන්මාරයේ දේශපාලනය තීරණය කරන්නේ එරට ජනතාව හා රජයයි. එසේ නැතිව නෝර්වේ අරමුදල් මත ක්‍රියාත්මක වන රාජ්‍ය නොවන ක්‍රියාකාරීහු නොවේ. මියන්මාරයේ හමුදා රජයට එරෙහිව නෝර්වේ රජය විසින් "ප්‍රී ධර්මා" නමැති ගුවන්විදුලි සේවාවක්‌ද පැවැත්වීමට ඉඩ දී ඇත. මෙය රටක අභ්‍යන්තර කටයුතුවලට මැදිහත්වීමක්‌. කොටි ඝාතකයන් බෝම්බ තබා අහිංසක සිවිල් වැසියන් ඝාතනය කරද්දී ලොව කිසිම රටක්‌ බෝඩ් ලෑලි ඔසවාගෙන කොටි ඝාතන නවත්වනු කියා ඝෝෂා කළේ නෑ. මෙරට ජනාධිපතිවරයකු ඝාතනය කළ අවස්‌ථාවේ හා ජනාධිපතිනියක්‌ ඝාතනය කිරීමට උත්සාහ කළ විටකදිත්, එන්.ජීඕ ක්‍රියාකාරීහු කොළඹ ලිප්ටන් වටරවුමේ විරෝධතාවක්‌ පැවැත්වීමට ක්‍රියා කළේද?

ශ්‍රී ලංකාව හා මියන්මාරය (බුරුමය නිදහස ලැබුවේ 1945 දීය) 1949 ජුනි 7 වැනිදා බුරුමය හා ශ්‍රී ලංකාව අතර තානාපති සබඳතා ඇති විය.

ශ්‍රී ලංකා මියන්මාර තානාපති සබඳතා ඇති වී වසර හැටක්‌ සපිරෙන අවස්‌ථාවේ මියන්මාරයේ හමුදා නායකයාට මෙරටට ඒමට ඇරයුම් කළේ මන්ද යන්න මේ එන්. ජී. ඕ. ක්‍රියාකාරීන් විසින් රජයෙන් ප්‍රශ්න කර ඇත.

මේ ප්‍රශ්නය මෙරට යුරෝපා තානාපතිවරයකු විසින්ද ජනාධිපතිවරයාගෙන් විමසා ඇතැයි වාර්තා වේ. මොවුන් ඊට නිදසුනක්‌ ලෙස දක්‌වන්නේ බුරුම රජා මානව හිමිකම් උල්ලංඝනය කරන බවයි.

එසේ නම් රුසියානු අගමැති වැලඩ්මිර් පුටින් චෙච්නියාවට එරෙහිව දියත් කළ මෙහෙයුමේදී සිවිල් වැසියන් මිය යැම නිසා ඔහුට ශ්‍රී ලංකාවට ඒමට ඇරයුම් නොකළ යුතුය.

ඊශ්‍රායලය පලස්‌තීන හා හමාස්‌ ත්‍රස්‌තයන්ට ප්‍රහාර එල්ල කර මානව හිමිකම් උල්ලංඝනය කරන නිසා ශ්‍රී ලංකා රජය ඊශ්‍රායලයෙන් කපීර් ප්‍රහාරක යානා සහ ඩොව්රා යාත්‍රා ද නියමුවන් රහිත යානා ද මිලයට ගැනීමෙන් වැලකී යුතුව තිබිණි. ඒ මන්ද ඉන් කොටි ඝාතකයන්ගේ මානව හිමිකම් උල්ලංඝනය වන හෙයිනි.

මෙලෙස මියන්මාර් හමුදා නායකයාට මෙරටට ඇරයුම් කිරීම ගැන විරෝධතාවක්‌ දක්‌වන මේ විහිළුකාරයන් ඇමරිකානු හමුදාව ඉරාකයේ මෙහෙයුම් දියත්කරන සමයේ සිටි තානාපතිනි පැට්‌රීසියා බුවේනිය ශ්‍රී ලංකාවේ තානාපතිනිය ලෙස පත් නොකරන්නැයි නොඉල්ලුවේ මන්ද. මියන්මාරයේ මෙන්ම ඉන්දුනීසියාවේ ජනාධිපති ලෙස ක්‍රියා කරන්නේද හිටපු හමුදාපතිවරයකු වූ පුද්හොවන්ජි පකිස්‌තානයේ නායකයා ලෙස වසර ගණනාවක්‌ම කටයුතු කළේ ජනරාල් පර්වේස්‌ මුෂාරප්ය.

මුෂාරප් මෙරටට පැමිණි අවස්‌ථාවේ ඔහුට එරෙහිව මේ එන්. ජී. ඕ. කණ්‌ඩායම විරෝධතා දැක්‌වූයේද, මින් පැහැදිලි වන්නේ අරමුදල් සපයන විදේශ ස්‌වාමිවරුන්ගේ න්‍යාය පත්‍ර මත මේ විරෝධතාකරුවන් ක්‍රියා කරන බවයි.

මේ නිසා මියන්මාරයේ ඇතිවී තිබෙන අභ්‍යන්තර අර්බුදය ගැන තීරණයක්‌ ගත යුත්තේ මියන්මාර් ජනතාව මිස විදේශ අරමුදල් ලබන්නන් නොවේ.

මෙලෙස විරෝධතා මෙහෙයවන්නන් අතිරේක ඇමරිකානු බල ඇනියක්‌ ඇෆ්ගනිස්‌තානයට යෑවීම ගැන ඇමරිකානු ජනාධිපති බරක්‌ ඔබාමාට එරෙහිව හඬ නඟන්නේ නෑ. දෙවැනි ලෝක යුද්ධයෙන් පසු ජනරාල් අවුන්සාන්ගේ පැසිස්‌ට්‌ විරෝධී නිදහස්‌ පෙරමුණ බ්‍රිතාන්‍ය බලධාරීන්ගෙන් ඉල්ලීම් කරමින් බුරුමයට පූර්ණ නිදහස හිමිවිය යුතු යෑයි කියා සිටියේය.

මෙයට ප්‍රතිචාර දැක්‌වූ බ්‍රිතාන්‍ය බලධාරීහු පැවසුවේ කඳුකරයේ සිටින ගෝත්‍රික ජනතාව බුරුම රාජ්‍යයට එකතුවීමට අකැමැති නිසා තොරතුරු විමසීමට කණ්‌ඩායමක්‌ එවන බවයි. එහෙත් ජනරාල් අවුන්සාන් එම කණ්‌ඩායම ප්‍රතික්‍ෂේප කරනු ලැබීය. 1947 දී ජනරාල්වරයා ඝාතනය විය. ඊට බ්‍රිතාන්‍යයේ සම්බන්ධතාවයක්‌ ඇතැයි වාර්තා විය. මෙවන් වාතාවරණයක්‌ මැද වත්මන් ඇමරිකානු ජනාධිපති බරක්‌ ඔබාමා ප්‍රකාශ කළේ මියන්මාර් හමුදා පාලනය සමග ඇමරිකානු රජය සෘජු සබඳතා පවත්වන බවයි.

මේ නිසා මියන්මාර් නායකයාව මෙරටට කැඳවීමට එරෙහි විරෝධතා මෙහෙයවූ එන්ජීඕ ව්‍යාපාරිකයෝ ඔබාමාට එරෙහිව විරෝධතාවක්‌ මෙහෙයවීමට ක්‍රියා නොකිරීම මවිතයට කරුණකි.

මෙයට වසර කීපයකට පෙර ත්‍රස්‌තවාදී ක්‍රියාදාමයකින් මියන්මාරයේ නායකයන් රැසක්‌ එකවර ඝාතනය විය. එහෙත් මේ ත්‍රස්‌ත ක්‍රියාව ගැන කොළඹ ලිප්ටන් වට රවුමේ විරෝධතා රැඟුම් දැක්‌වූයේ නැත. මෙවර රැඟුමේ මූලිකයා ප්‍රධානතම එන්.ජී.ඕ. ක්‍රියාකාරිකයෙකි. පුළුවන් නම් ප්‍රභාකරන්ගේ හිස ගේන්න කියා මා රජයට කියනවා යෑයි වරක්‌ ඔහු පුරසාරම් දෙඩීය.

එහෙත් ආරක්‍ෂක හමුදාව මළ ප්‍රභාකරන් ජනතාව හමුවට ඉදිරිපත් කළේය. මෙහිදී ඔහු නිහඬ විය.

මේ සෑම විරෝධතා ක්‍රියාදාමයක්‌ හමුවේම ඇත්තේ විදේශ අරමුදල්ය. ලෝකයේ ප්‍රධානතම යුද අපරාධකරු වන ඇමරිකාවට එරෙහිව විරෝධතා නොපවත්වන පිරිස මියන්මාර් රාජ්‍ය නායකයාට එරෙහිව විරෝධතා පැවැත්වීම පුදුමයක්‌ නොවන්නේද?

මියන්මාර් නායකයාට එරෙහිව කීපදෙනකුට පමණක්‌ සීමා වූ විරෝධතාවක්‌ පැවැත්වූ මේ එන්. ජී. ඕ. කණ්‌ඩායම ප්‍රභාකරන්ගේ විනාශකාරී ක්‍රියාවලින් සිවිල් ජනතාව මියයද්දී ඊට එරෙහිව විරෝධතාවක්‌ නොපැවැත්වූයේ ඇයි?

ඇමරිකානු රාජ්‍ය නිලධාරී රිචඩ් බවුචර් මෙරටට සම්ප්‍රාප්ත වූයේ කලකට පෙරය ඉරාක ඇෆ්ගනිස්‌තානයේ සිවිල් වැසියන් ඝාතනය වීම ගැන බවුචර්ට එරෙහිව හඬක්‌ නැඟුනේ නැත.

බ්‍රිතාන්‍ය විදේශ ඇමැති ඩේවිඩ් මිලිබෑන්ඩ් ද මෙරටට සම්ප්‍රාප්ත විය. ඇෆ්ගනිස්‌තානයට බ්‍රිතාන්‍ය හමුදාව යෑවීම ගැන ඔහුගේ ශ්‍රී ලංකා සංචාරයට කිසිවෙක්‌ එරෙහි වූයේද?

මේ අතර මියන්මාරයේ මානව හිමිකම් ගැන මෙරට එන්ජීඕ ක්‍රියාකාරීහු කිඹුල් කඳුළු සලද්දී උස්‌බෙකිස්‌තානයේ හිටපු බ්‍රිතාන්‍ය තානාපති ක්‍රෙග් මරේ පසුගිය 4 වැනිදා ප්‍රකාශයක්‌ කරමින් ත්‍රස්‌තවාදී සැකකරුවන්ට වධහිංසා පැමිණ වීම සඳහා ඇමරිකානු සීඅයිඒ සංවිධානය විසින් උස්‌බෙකිස්‌තාන් වධ කඳවුරුවලට යෑවූ බව කියා සිටියේය. එහෙත් මේ ඇමරිකානු ක්‍රියාදාමයට එරෙහිව කොළඹ ලිප්ටන් වටරවුමේ රැඟුම් දැක්‌වූයේද?

කීර්ති වර්ණකුලසූරිය

(දිවයින -09/11/18)

ටිප්පණිය - මේ එන්ජීඕ රොත්ත කන්න හිතුණාම කබර ගොයාත් තලගොයා කරගන්නා වර්ගයේ අයියලා බව කිවයුතු නොවේ. ඒ බව මියන්මාර් නායකයා මෙරටට පැමිණි කල නැටූ නෙයියාඩමෙන් පැහැදිළි වෙයි. ලොව එකම හමුදා පාලනයක් ඇති රට මියන්මාරය නොවේ. තායිලන්තයේ ද ඇත්තේ හමුදා පාලනයකි.

එහෙත් බටහිර සහ ඇමරිකන් විරෝධි හමුදා පාලනයක් ඇත්තේ මියන්මාරයේ ය. එහෙයිනි මේ හිඟන රිළා නැටුම. මේ රිළවු නටන්නේ බටහිර සහ ඇමරිකන් හාම්පුතුන්ගේ පදයට බව අප අමතක නොකළ යුතු ය. අවුන්සාං සුකීගේ මානව හිමිකම් ගැන ඔවුනට මෙතරම් රුදාවක් ඇත්තේ ඇයිදැයි අප අවබෝධ කරගත යුතු ය. සුකී බලයට ගෙන ඒමට වළිකන උන් ඉරාන ජනාධිපති බලයෙන් පහ කරන්නට නොගන්නා උත්සාහයක් නැත. ඒ මන්දැයි සිතා බැලීම නුවණට හුරු ය.

Wednesday, November 11, 2009

තරහ අවසර. රාමචන්ද්‍රතුමනි,

ඊයේ ඇරඹි අකුරට වැඩ කිරීම අතිශයින් ම සාර්ථක බව වෘත්තීය සමිති නායකයෝ කීහ. එය එසේ නොවන බව ආණ්ඩුව කීවේ ය. අකුරට වැඩ කිරීම ඉතා ම ආදර්ශවත් ක්‍රියාවක් බව මම ඊයේ මේ තීරුවෙන් පෙන්වා දුනිමි. ඊට ප්‍රතිචාර දැක්වූ රාමචන්ද්‍ර සහෝදරයා මට බැණ වැදිණි. ඔහු පවසන්නේ ඒකාධිපතියාට කඩේ යන දිවයිනට වඩා ඉතා අවදානම් රාජකාරි කරන මේ සේවක පිරිස් රටට වැඩක් කරන බව ය. මම එසේ නොවේ යැයි කීවේ නැත. ඒ සේවක මහත්වරුන්ගේ රාජකාරීය අප කිසි තැනක අවතක්සේරු කර නැත.

මම කිසි තැනක එකී අකුරට වැඩ කිරීම හෙළා දැක නැති බවත් එහි හොඳ ම දැක ඇති බවත් විද්වත් පාඨකයාට අවබෝධ කරගැනීම අපහසු නැත. එහෙත් ආණ්ඩුවට කඩේ ගියා යැයි කියන්නේ ඇයිදැයි මට තේරුම් ගත නොහැකි ය.

මේ දූෂිත ඒකාධිපති රාජපක්ෂ පාලනයට මම විරුද්ධ වෙමි. ඔවුන් රාජ්‍ය මාධ්‍ය හරහා පට්ටපල් බොරු දෙසා බාමින් අකුරට වැඩ කිරීමේ ආදර්ශය රටට අනාවරණය කිරීමෙන් වළකති. මහින්ද අබේසුන්දර සහ හඩ්සන් සමරසිංහ ඒ කොන්ත්‍රාක්තුව කදිමට කරති.

ආණ්ඩුව පට්ටපල් බොරු කියන බව අද ආණ්ඩුවේ ප්‍රකාශයෙන් ද සනාථ වෙයි. ආණ්ඩුව කියන්නේ අකුරට වැඩ කිරීම අසාර්ථක බවත් ඒ ඒ ආයතනවල එදිනෙදා කටයුතු මැනවින් සිදු වු බවත් ය. වෙනදා විදිලිය බිල් ගෙවීමට විශාල පාරිභෝගික පෝලිම් තිබුණ ද ඊයේ එසේ නොවීම ඊට නිදසුනක් ලෙස ද දක්වති. මේ කතාවෙන් හෙළි වන්නේ ආණ්ඩුවේ මෝඩ තකතීරුකම ය. අනවබෝධයයි. අනෙක් පැත්තට අප ඊයේ පැවසු දේවල සත්‍යතාව ය.

සේවකියන් අකුරට වැඩ කරන කල්හි ආයතනවල පෝළිම් ඇති වන්නේ නැත. ජනතාව රස්තියානු වන්නේ ද නැත. එහි අලුත් පුවතක් නැත. අප පුදුම වන්නේ එසේ නොවුණා නම් ය. එහෙත් අර කතාවේ යම් සත්‍යයක් ඇත. එනම් වෙනදා පෝලිම් තිබුණු බවය. එනම් ඒ දිනවල මේ ආයතනවල අප ඊයේ පෙන්වා දුන් පරිදිම වැඩක් සිදු වී නැත. ඒ අකුරට වැඩ නොකළ නිසා ය. එහෙයින් මේ අකුරට වැඩ කිරීම හැකි නම් තව සතියක් ඉදිරියට කරගෙන යන මෙන් ඉතා ගෞරවයෙන් ඉල්ලා සිටිමි. ඒ අහිංසක ඉල්ලීම රටේ ජනතාව වෙනුවෙනි. එමෙන්ම මේ ආදර්ශය සිය නිවෙසට ගෙන යන මෙන් මම රටේ ජනතාවගෙන් ඉල්ලා සිටිමි. එසේ කළහොත් අපට සිංගප්පුරුවක් නොව සෝවියට් දේශයක් මේ රටේ ගොඩ නැගිය හැකි බවට මට වඩා හොඳට රාමචන්ද්‍රතුමා සාක්ෂි දරනු ඇත.



(ලක්බිම -09/11/12)

එමෙන් ම දිවයින පමණක් නොව ලක්බිම ආදී පුවත්පත් ආණ්ඩුවට කඩේ යන බව ද කිව යුතු ය. ඔවුන් මේ කිසිදු දේශපාලන සම්බන්ධයක් නැති වෘත්තීය සමිති පරම පිවිතුරු කම්කරු අයිතීන් දිනීමේ චේතනාවෙන් ම ගෙන යන අකුරට වැඩ කිරීමේ පුණ්‍ය කර්මයට එරෙහිව සිටිති. බුදුන්ට ද දෙව්දත්ලා සිටි හෙයින් යේසුට ජුදාස්ලා සිටි හෙයින් ඒ ගැන මේ වෘත්තීය සමිතිවල බෝසත්වරු කලබල විය යුත නැත. රාමචන්ද්‍ර සහෝදරතුමා ද මා වැනි කම්කරු සටනට සහය දෙන බ්ලොග්කාරයින් හා උරණ නොවිය යුතු ය.

Tuesday, November 10, 2009

වැඩ කරන හැම දිනක් ම අකුරට වැඩ කරන දිනක් වේවා!

මේ පහුගිය දින කිහිපයේ ජනතාව සිටියේ පුදුම සතුටකිනි. ඔවුන්ගේ මුහුණු සතුටින් බලාපොරොත්තුවලින් පිරී තිබිණි. ඒ අන් කිසිවක් නිසා නොව අද සිට ඇරඹෙන වරාය විදුලි සහ ජල සේවකයින්ගේ අකුරට වැඩ කිරීමේ තුන් දින මහා ශීල ව්‍යාපාරය නිසා ය. රටේ ජනතාව මේ සේවකයින් හැමදාම අකුටර වැඩ කරනවා නම් ඉතාම කැමති ය. ඒ තම රාජකාරිය ඉතා ඉක්මණින් ඉටුකරගෙන මෙකී ආයතනවලින් ගැලවී යා හැකි බැවිනි. කෙසේ වුවත් අවුරුද්දකට දින තුනක් හෝ තම ශක්ති ප්‍රමාණයෙන් මෙසේ අකුරට වැඩ කිරීම ගැන රටේ ජනතාව තුළ බලවත් ප්‍රසාද‍යකි.

ඇන්ටන් ජෝන් කලාකරුවා ගයන 'කන්තෝරුව කන්තෝරුව මම වැඩ කරන' ගීතය සාමාන්‍ය රාජ්‍ය සේවකයෙකුගේ කාර්යාලීය දින චරියාව මැනවින් විවරණය කරයි. ඔහු සාමාන්‍ය වැඩ ඇරඹෙන වේලාවට පැයකට ‍එකහමාරකට පසු කාර්යාලයට එන විට තේ බොන වේලාව ළඟ ය. තේ බී මිතුරන් සමග මදක් පිළිසඳර කතාවේ නිමග්න වී සිටිත් ම නොදැනිම දිවා ආහාර විවේකය ගැනීමට සිදුවෙයි. පෙර කී පිළිසඳර කතාව කරගෙන යමින් ම දිවා ආහාරය ගෙන දවසේ පුවත්පත් කිහිපය උඩින් පල්ලෙන් පෙරලා අසල මාර්කට් එකෙන් නිවසට ගත යුතු බඩු කිහිපයක් මිල දී ගෙන එන කල කල හවස තේ සුදානම් යැයි පියන් කොලුවා මොර දෙයි. ඉතින් මේ සියලු කරදර අහවර කර දවසේ වැඩ අරඹන්නට සුදානම් වෙත් ම කාර්යාලයේ කවුළු පියන්පත්, විදුලි පංකා එක දෙක වැහෙමින් දැන් ගෙදර යන වේලාව ළංවී ඇති බව අඟවයි.

මේ දෙලොවට ම නැති කම්මැලි මුස්පේත්තු දින චරියාවට රාජ්‍ය සේවකයින් කොහෙත් ම කැමති නැත. ඔවුහු එදා සිට දිවි හිමියෙන් ඊට විරුද්ධව සටන් කළහ. ඊට වෛර කළහ. එහෙයින් ඔවුන් මෙසේ දින තුනක් හෝ අකුරට වැඩ කිරීමට තීරණය කිරීම හොඳ ආරම්භයක් බව ජනතාවගේ අදහසයි. හැකි නම් වසරේ සියලු වැඩ කරන දින අකුරට වැඩ කරන දින කරන ලෙස නියෝග කර සංගාඥාවක් පනවැන්නැයි ද සමහරු ඉල්ලා සිටියහ.

ජනතාව පවසන පරිදි ඔවුන් මේ දින තුනේ නියමිත වේලාවට වැඩට එනු ඇත. නියමිත වේලාව වැඩ කරනු ඇත. කෑම පැය විනාඩි හැටේ එකක් වනු ඇත. වෙනදා තිස් පැයේ ම පිරී ඉතිරි යන ආපනශාලාව තේ වේලාවට කෑම පැයට පමණක් කාර්යබහුල වනු ඇත. වැඩ ඇරී ගෙදර යන ගමන් මාර්කට් යනු ඇත. මහ දවල් කඩපිල්වල තදබදය අඩු වනු ඇත. එහෙයින් මේ ආයතනවලට යන ජනතාවට සිය වැඩකටයුතු ඉක්මණින් කරගත හැකි වනු ඇත. අවසාන වශයෙන් මේ දින තුනේ රටට පලදායි යමක් බිහිවනු ඇත.

එහෙයින් වැඩ කරන හැම දවසක් ම අකුරට වැඩ කරන දවසක් වේවායි! පස්වනක් ප්‍රීතියට පත් රටේ ජනතාව උදේ හවා මේ සේවක මහතුන්ගේ දෙමාපියන් ද සිහිකරමින් පතනු ඇත. වැඩ කරන ජනතාව දිනේවා! කම්කරු විප්ලවය දිනේවා!

Sunday, November 8, 2009

මෙවන් දසුන් යළි දෑසට පෙනෙනු එපා !

ඉකුත් ඔක්‌තෝබර 29 වැනි බ්‍රහස්‌පතින්දා රාත්‍රියේ ආහාර ගැනීමට පෙර පෞද්ගලික රූපවාහිනි නාලිකාවක්‌ ඔස්‌සේ විකාශය වූ ප්‍රවෘත්ති බලද්දී හදිසියේ නෙත ගැටුණු පුවතකින් මම මහත් සේ කම්පනයට පත්වීමි.

හදිසියේ නෙත ගැටුණු ඒ රූපාවලිය මගේ ආහාර රුචිය ද මොහොතකට නැතිවූ බව කීම අතිශයෝක්‌තියක්‌ නොවේ. ගොඩබිමට ආසන්න මුහුදු තීරයක වැඳ වැටෙමින් අභය ඉල්ලා සිටින පුද්ගලයකුට පොලු මුගුරු ගත් පුද්ගලයන් දෙදෙනකු විසින් පහර දෙන ආකාරයත්, වරෙක ඔහු පියවර කිහිපයක්‌ ඉදිරියට ඇවිදගෙන එන මොහොතෙහි, ඔහුගේ දකුණු පසින් වූ පුද්ගලයා අත වූ දිග මුගුරකින් පහර පිට පහර දුන් ආකාරයත් මුහුදු දිය පෙවි පෙවී දැත් එක්‌ කරමින් වැඳ වැටෙමින් ජීවිතය ඉල්ලා සිටි පුද්ගලයාගේ අතෙහි මුගුරක්‌ තබා ගල් කැටයක්‌ හෝ නොවුණු ආකාරයත් දුටු කවරෙකුගේ වූව හදවත විස්‌තර කළ නොහැකි ශෝකයකින්, දුකකින් මෙන්ම ඒ අයුරින් පහරදුන්නා වූ තිරිසනුන් වන් පුද්ගලයන් කෙරෙහි දැඩි කෝපයකින් හා වෛරයකින් නොපිරුණා නම් පුදුමයකි. එවන් අමානුෂික, ම්ලේච්ඡ මිනිස්‌ පහරදීමක්‌ නැරඹීමෙන් පසු, කෙසේ නම් අහර ගන්නේද? ප්‍රවෘත්තියට අදාළ රූපාවලිය ඔවුන් සතු වූවක්‌ නොවන බවත්, එය ටී. එන්. එල්. නාලිකාව විසින් රූගත කරන ලද්දක්‌ බවත් සඳහන් විය. මෙම රූපාවලිය දුටු කල මගේ මතකය අතීත සිදුවීම් දෙකක්‌ වෙත ඇදීගියේ නිතැතිනි.

පළමුවැන්න සුනාමි ඛේදවාචකය වූ දිනෙක ගාල්ල බස්‌නැවතුමේ දී තරුණියකගේ ගෙල බැඳි රන් දම කඩාගත් තිරිසනුන් දෙදෙනකු අතින් ඈ මියයැම පිළිබඳ අධිකරණය හමුවේ විකාශය වූ රූපාවලි වාර්තාවයි. දෙවැන්න මා පාසල් ගිය දරුවකුව සිටිය දී දෑසින් නොදුටු, එහෙත් මගේ අම්මා විසින් පැවැසූ කතාවකි. වර්ෂය 1958 තරම් වන්නට ඇතැයි මතකය. පුරුදු පරිදි එදින උදෑසනද මල්ලී හා මම ගන්දර සිට මාතරට පාසල් ගියෙමු. සාන්ත සර්වේෂස්‌ විදුහලට යැම සඳහා සුපුරුදු පරිදි එලියට්‌ පාර අසල බස්‌ නැවැතුමෙන් බට මා දුටුවේ ඉදිරිපස ඇති සයිවර් හෝටලය කුඩු පට්‌ටම් කොට තිබූ අයුරුයි. හෝටලය තුළ මිනිසුන් රැසක්‌ සිටිනු දිටිමි. සිංහල දෙමළ කෝලාහලයක්‌ පිළිබඳ කතාබහ ඇසුණේ, පාසලට ගිය පසුය. පාලමෙන් එගොඩහ කොයිල්පිල්ලේගේ පරණ යකඩ සුන්බුන් කඩය කඩා වළලා තිබූ මුදල් පැහැරගෙන තිබූ බවක්‌ද ඇසිණ. පාසලේ කටයුතු වෙනදා මෙන් සිදුවනු වෙනුවට සෑම තැනකින්ම කිසියම් ඛේදවාචකයන් සිදුවී ඇත යන කතා බහ ඇසිණි. සුපුරුදු පරිදි විවේක කාලයේදී පාසලේ වසා තිබෙන ප්‍රධාන ගේට්‌ටුව වෙතට අප රොක්‌වන්නේ ගේට්‌ටුවෙන් පිටත සිට සීනිකූරු හා වඩේ විකුණන දෙමළ ආච්චි වෙතය. එදා දෙමළ ආච්චි පැමිණ නොසිටියාය. වඩේ හෝ සීනිකූරු කෑම සිහිනයක්‌ම වීය. පාසල කලින් වසා දැමිණ. මල්ලීත් මමත් වෙනදාට වඩා කලින් ගෙදර ආවෙමු. බසයෙන් බැස ගෙදර එන අප දෙදෙනා දුටුවේ ගන්දර කඩ පොළ අසල හන්දියේ මහා මාර්ගය හරස්‌ කොට සවිකොට තිබූ මාර්ග බාධකයකි. එය ඉතා දිග ලීයක්‌ වී යයි මතකය. රැස්‌ව සිටි මිනිසුන්ගේ කෑ කෝ ගැසීම් ඇසිණ. මාතර සිට තංගල්ල දෙසට යන වාහනත් මාතර දෙසට එන වාහනත් නවත්වා මගීන් හා කතාබහකරන හන්දියේ පුද්ගලයන් ද දිටිමි. දෑසින් දුටු සිද්ධිය එපමණකි.

නගරයේ ගමේ හන්දියේ හා පාසලේ තතු අම්මා සමඟ පැවසුවෙමි. අම්මාගේ කතාබහෙන් මා තේරුම්ගත්තේ සිංහල, දෙමළ දෙපිරිස අතර මහා කෝලාහලයක්‌ ඇති වී ඇති බවත්, ඔවුනොවුන් එකිනෙකා මරාගන්නා බවත්, කඩ සාප්පු මංකොල්ල කන බවත්, කඩ ගිනි තබන බවත් වැනි ඊට පෙර කවදාවත් අසා නැති සිදුවීම් රට පුරා සිදුවන බවකි. එහෙත් ඒ කිසිවක්‌ මා දැක නැත. අද උදේ දෙමළ මනුස්‌සයකුට හොඳටම ගහල, ගහල මූද මැදට ගෙනිහිල්ලා අත ඇරලා තියෙනවා හන්දියෙ කාර් හයර් කරන කට්‌ටිය. ගමේ මිනිස්‌සු එකතුවෙලා හන්දියෙ පාර හරහා පොල්ලක්‌ දා ගෙන බස්‌වල යන එන දෙමළ මිනිස්‌සු හොය හොයා එළියට අරගෙන තියෙනවලු. නාකි දෙමළ මනුස්‌සයෙක්‌ අල්ලලා හොඳටම ගහ ගහ වැල්ලට ගෙනැල්ලා පස්‌සේ ඔරුවක නැගල ගිහින් ඒ මිනිහා මූද මැද්දෙ ගිල්ලෙව්වලු. හන්දියෙ ඉ‍‍ඳල වැල්ලට ගේන කොට වැඳ වැඳ අනේ ෂාමි, අනේ ෂාමි මරන්න එපා, ගහන්න එපා කියල කිව්වලු." අම්මා පැවැසූ කතාව ඇසූ පසු බත් කෑමට වූ පිරිය සැඟවිණ. පොලු මුගුරුවලින් පහර කන මහලු මිනිසෙකු දෑත් එක්‌කොට වැඳ වැටෙමින්, ජීවිතය ඉල්ලා සිටි අන්දම සිත ඇඳිණ. එබඳු සිද්ධියක්‌ම නොවේද 29 බ්‍රහස්‌පතින්දා රාත්‍රියේ රූපවාහිනි තිරය මත සැබැවින්ම සිදුවූ ආකාරය නෙත ගැටුණේ ? පනස්‌ ගණන්වල ඇසූ පුවතෙහිත් 2009 දී ඇසින් දුටු පුවතෙහිත් වෙනසක්‌ වේද? එදා ගුවන් විදුලියෙන් නිශ්චිත දිනයක, වේලාවක පමණක්‌ ඇසුණු බණ දහම්, පිරිත් දේශනා වෙනුවට දැන්, ගුවන් විදුලියට අමතරව රූපවාහිනි නාලිකා රාශියක්‌ ඔස්‌සේ දවසේ පැය විසිහතර පුරාම ඇසෙන දකින ධර්මදේශනා කොතෙක්‌ වේද? පිරිත් සඡ්ධායනා කොපමණක්‌ද? මේ නම් ආසියානු කලාපයේ පමණක්‌ නොව, සමස්‌ත ලෝකයෙහිම අංක එක යෑයි නම් ලද ධර්ම රාජ්‍යයක්‌ම නොවන්නේද? දෙනෝදාහක්‌ දෙනා මැජික්‌ සංදර්ශනයක්‌ බලා සිටින්නා සේ නෙත් අයාගෙන විස්‌මයෙන් බලා සිටිද්දී ජීවිතය ඉල්ලමින් වැඳ වැටී ආයාචනා කළ මිනිසෙකුට තවත් මිනිසුන් යෑයි කියා ගන්නා දෙදෙනකු විසින් පහරදී මරා දැමීමට බලපත්‍ර ලබාදී ඇත්තේ කිනම් ධර්ම රාජ්‍යයකද? ලක්‍ෂ සංඛ්‍යාත එන්නත් ආනයනය කරන කල්හි ඒ අතර වීදුරු කටු සහිත එන්නත් කුප්පියක්‌ දෙකක්‌ හමුවීම පුදුමයට කරුණක්‌ නොවිය යුතු යෑයි පවසන බලධාරීන් මෙන් ඉඳහිට බම්බලපිටිය මුහුදු තීරයේ සිදු වූ ආකාරයේ සිදුවීමක්‌ දෙකක්‌ සිදුවීම, මිනිසෙකු මිය යැම සාමාන්‍ය සිද්ධියක්‌ යෑයි නිලදරුවන්ට පවසා නිහඬව සිටිය හැකිද? මාස තුන හතරකට පෙර මේ මූදු තීරයේම තරමක එපිට අඟුලානේ දී තරුණ ජීවිත තුනක්‌ම බිල්ලට ගත් නීතිය රකින්නන් සිටි බව කෙසේ නම් අපට අමතක වේද? බාලවර්නන් සිවකුමාරන්, මානසික ආබාධයකින් පෙළුණු තරුණයෙක්‌ වූවද නැතද මෙලෙස ඔහුගේ ජීවිතය විනාශ කිරීමට බලය දුන්නෝ කවරහුද?

තම ප්‍රේමය අහිමිවීම හේතු කොටගෙන මානසික ආබාධයකට ලක්‌වීමෙන් අනතුරුව කිහිපවතාවක්‌ම මුල්ලේරියාව මානසික රෝහලින් ප්‍රතිකාර ලබාගෙන ඇති බව සනාථ කෙරෙන අහිංසක තරුණයෙකුගේ ජීවිතය විනාශ කළේ කවුරුන් වුව, ඔවුන් බුදු දහමේ පැවසෙන පරිදි, දුර්ලභ වූ මිනිසත් බව ලැබූ මිනිස්‌ පුත්‍රයෙක්‌ විය හැකිද? කොළඹ අපරාධ අංශයේ අධ්‍යක්‍ෂ, ජ්‍යෙෂ්ඨ පොලිස්‌ අධිකාරී, රවීන්ද්‍ර කරවිට මහතා පවසා තිබුණේ, පළමුවෙන්ම මේ පුද්ගලයාට පහර දීම වෙනුවට, ඔහු වෙත කඔයක්‌ වීසිකොට ඔහු වෙරළට ගෙන ඒමට කටයුතු කිරීමයි පොලිස්‌ නිලධාරීන් විසින් කළ යුතුව තිබුණේ කියායි. එහෙත් දැන් සියල්ල සිදුවී හමාරය. බම්බලපිටියේ මුහුදු තීරය බාලවර්නන් සිවකුමාරන්ගේ මරණය පිළිබඳ කම්පා නොවේ. බම්බලපිටිය පොලිසියේ හෝ දිවයිනේ කිසිම පොලීසියක නිලධාරියකුට ඒ පිළිබඳ කම්පා වෙමින් සිටින්නට කාලයක්‌ නොමැත. ඔවුනගේ එදිනෙදා රාජකාරී ඉටුකරමින් රටෙහි නීතිය සාමය රකිමින්, සාධාරණත්වය ඉටු කිරීමට වෙහෙසවන්නට සිදු වේ. ඔවුහු නීතියෙන් ඒ සඳහා බැඳී සිටිති.

එහෙත් මනමේ නාටකය අවසන මහාචාර්ය සරච්චන්ද්‍ර විසින් තම ප්‍රේක්‍ෂකයන් වෙත ප්‍රශ්න සමුදායක්‌ ඉතිරි කරයි. මනමෙ කුමරු වැදි රජුගේ අතින් මිය යැම කෙසේ සිදුවුණා දැයි නාට්‍යය නරඹා නිවෙස්‌ කරා යන ප්‍රේක්‍ෂකයනට සිතන්නට සිදුවේ. "අනේ එවිපත සිදුවුණි නොදනිමි කාගෙ දොසා "යෑයි පොතේගුරු ලවා ගායනා කරවුවද ප්‍රේක්‍ෂක සිත්හි ඒ පිළිබඳ ප්‍රශ්න රැසකි. බිසව වැදි රජුට ප්‍රේමයෙන් ආසක්‌තව කඩුව දුන්නාද කුමරු බිසවගේ වචනයෙන් සිත සසල වූ කල වැදි රජු විසින් කඩුව උදුරාගෙන කුමරුට ඇන්නේද වැදි රජු තම ජීවිතාරක්‍ෂාව සඳහා කුමරු මරා දැම්මාද වැනි ප්‍රශ්නාවලියකට අදත් අපි පිළිතුරු සොයමු. බාලවර්නන් සිවකුමාරන්ගේ ඝාතනය පිළිබඳ පුවත ද එවැන්නක්‌ම නොවේද? ඔහු දියේ ගිලී මිය ගියාද, පහර කෑමෙන් මියගියාද? මානසික ආබාධයකින් පෙළුණ මුත් මහජනතාවට හිරිහැර වනසේ හැසිරීම අනුමත කළ හැකිද? දුම්රියකට බස්‌රියකට, ගල් ගැසීමේ වරදට දඬුවමට එසේ කරන්නාට තිරිසනෙකුට හෝ නොසලකන අයුරින් දෙනෝදාහක්‌ දෙනා බලා සිටියදී පොදු මුගුරුවලින් ගසා මරා දැමීමටද මැරෙන්නට ඉඩ සැලැස්‌වීමද? ඔහුගේ සිරුරේ කොටස්‌ පේරාදෙණිය ශික්‍ෂණ රෝහලේ පරීක්‍ෂණවලින් පසු ඉදිරිපත් කෙරෙන වාර්තාවේ ප්‍රතිඵල කුමක්‌ වූවත් ඉන් ඇති ඵලක්‌වේද? බාලවර්නන් සිවකුමාරන් මෙසේ ඝාතනය වන කල, සැලසුම් සහගත කුමන්ත්‍රණ මගින් අහිංසක ජීවිත විනාශ කරන සැබෑ මිනීමරුවන්ට ඔවුන්ට හිමි දඬුවම් ලැබෙන්නේද? බාලවර්නන් සිවකුමාරන් තරුණයා මරා දැමූ විලාසයේ ජීවිත විනාශ කිරීමේ රංගන, කෙතරම් සොම්නස්‌ සිතකින් නරඹන්නට හැකි වූ ප්‍රේක්‍ෂකයන් සිටියත්, මනුෂ්‍යත්වය අගයන, මිනිස්‌කම හඳුනන කිසිවෙකුට පිළිකුලකින්, ක්‍රෝධයකින් තොරව එවැනි දසුනක්‌ බලන්නට නොහැකි බව කිව යුතුයි. එවැනි දසුන් අප දැසට යළි නොපෙනේවා.
(දිවයින - 09/11/10)
ටිප්පණිය - මෙවන් අපරාධ කරන අලුගෝසුවන් එල්ලා මරා දැමිය යුතු බව මගේ අදහසයි. එහෙත් ඊට පරහට හිටින්නේ මානව හිමිකම් ය. තවෙකෙකුගේ ජීවිතය විනාශ කළ පාපතරයෙකුට තව දුරටත් ජීවත්වීමට ඇති අයිතිය කුමක් ද? නැවත එවන් අපරාධයක් සිදුනොවීමට ගතහැකි පියවර කුමක් ද? අපරාධකරු කළ වරද කෙතරම් බරපතළ වුව ද ඊට නිසි දඬුවම් දීමට හරහට සිටින්නේ මේ ඊනියා මානව හිමිකම් ය. මිනිමරුවා මාස හයක් හිරේ සිට සාක්ෂි නැති හෙයින් යහතින් ගෙදර එයි. සමාජයට මිනී මැරීම ඉතා ම සරළ සාමාන්‍ය දෙයක් බවට පත්වෙයි.

කෙසේ වුව ද මේ ම්ලේච්ඡ ඝාතනය TNL නාළිකාව විසින් රූගත කළේ රටේ වාසනාවට ය. එසේ නොවුණා නම් හඩ්සන් සමරසිංහ සහ මහින්ද අබේසුන්දර මෙසේ පවසනු ඇත. අංගොඩ මානසික රෝහලින් පළා ආ පිස්සෙක් හෝ එසේ රඟපෑ පුද්ගලයෙක් බම්බලපිටියේ කිසියම් ප්‍රභූ ඝාතනයකට රැක සිට එය ව්‍යවර්ථ වූ කල දුම්රියට ගල් ගසා පොලිසියට ද පහර දී මුහුදට පැන සිය දිවි හානි කරගෙන තිබේ. සිරස රූගත කළා නම් එය 1983 ඉදිරි දිගුවක් බව මහගෙදර මෙන් නාට්‍යානුසාරයෙන් ඉදිරිපත් කරනු ඇත.

Wednesday, November 4, 2009

දෙවියනි ඔබ කොහිද?

අප මේ වැකිය ලියන්නේ කිසියම් ආගමක්‌ කෙරෙහි හටගත් ද්වේෂයකින් හෝ කිසියම් ආගමකට ගැරහීම සඳහා නොවන බව මුලින්ම කියමු. කෙනෙකුට පහර දෙන විට ඔහුගේ ආගමට ජාතියට කුලයට සහ ඔහු හෝ ඇය ආදරය කරන දේට අත නොතැබිය යුතු බව එදා සිටම මේ තීරුව ඔස්‌සේ අපි සඳහන් කර ඇත්තෙමු. එහෙත් උසස්‌ ආගමික නායකයන්, වක්‌තෘවරුන්, දෙවියන් යනාදීන් ඇපයට තබා තම අරමුණ ඉටු කර ගැනීම සඳහා කටයුතු කරන්නට ගොස්‌ එයින් මිනිස්‌ ජීවිත හානි වූ විට ඒ සම්බන්ධයෙන් අපගේ මතය සඳහන් කරන්නට අපට අයිතියක්‌ තිබේ. අද අප පාවිච්චි කරන්නේ ඒ අයිතියයි.

විහාරමහා දේවි උද්‍යානයේ පැවැති යාඥ මෙහෙයකට පැමිණි රෝගී කාන්තාවන් දෙදෙනකු රෝගය උත්සන්න වීමෙන් ක්‌ලාන්තව ඇද වැටී රෝහල් ගත කළ විට මිය යැමේ පුවතක්‌ ඉකුත් සඳුදා (02 දා) වාර්තා විය. රූපවාහිනී නාළිකා ඔස්‌සේද පෙන්වන ලද මේ සිද්ධියට නිසි ප්‍රචාරය දැනටමත් ලැබී තිබේ. මේ යාඥ මෙහෙයේ අරමුණ දේව හාස්‌කමින් රෝග සුව කිරීම බව කියනු ලැබේ. මේ සිද්ධියට අමතරව බත්තරමුල්ලේ කොස්‌වත්ත ප්‍රදේශයේ පවත්වන ලද මෙවැනිම යාඥ මෙහෙයකට සහභාගි වූ කාන්තාවක්‌ ඒ මෙහෙය අතරතුරදී වෙවුලන්නට පටන්ගෙන රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මිය ගියාය. එයද 02 වැනිදා දිවයිනේ පළවිය.

ලෙඩ සුව කර ගැනීමට දොස්‌තරවරයකු හෝ වෙද මහතකු වෙත නොගොස්‌ විවිධ දේවගැතිවරුන් සහ පූජකයන් සමග යාඥ කරමින් සිට මියගිය සංඛ්‍යාව ඉකුත් වසර 05 තුළ සැලකිය යුතු ආකාරයෙන් ඉහළ ගියේය. ඒ මළමිනී ගොඩට ගෙන ඒවා එකින් එක ගැන මරණ පරීක්‌ෂණ පැවැත්වීමේ අදහස අප තුළ නැත. රෝගයක්‌ වැළඳුනු විට දෙවියන්ට බෙහෙත් අවශ්‍ය නැත. (නැතහොත් දෙවියන්ට රෝග වැළඳෙන්නේ නැත.) එහෙත් මනුෂ්‍යයන් වූ අපට රෝගයක්‌ වැළඳුනු විට බෙහෙත් අත්‍යවශ්‍යය. රටපුරා රෝහල්, වෛද්‍ය මධ්‍යස්‌ථාන සහ සායන දහස්‌ ගණනක්‌ ආණ්‌ඩුවේ වියදමින් පිහිටුවා ඇත්තේ මේ කාරණය පිණිසය. ඒ අතර විශ්ව ශක්‌තියෙන් ලෙඩ සුව කිරීම, යන්ත්‍ර මන්ත්‍ර ගුරුකම් මගින් ලෙඩ සුව කිරීම, මළයාලි වශී ගුරුකම් සහ භෞතික නිර්වචනවලට අසු නොවන ක්‍රම මගින් ලෙඩ සුව කිරීම මේ දිනවල යහමින් දැක ගත හැකිය. යාඥ මගින් ලෙඩ සුව කිරීමද මෙවැන්නකි. මෙයද අතට හසු නොවෙයි. මෙහි බෙහෙත් නැත. ශුද්ධ වූ ජලය, මතුරන ලද තැඹිලි වතුර යනාදිය මෙයට අඩංගුය. ලෙඩා පණ අදින විට පවා ඔහු රෝහලකට රැගෙන නොගොස්‌ දිගින් දිගටම යාඥ කිරීම මෙහි ලක්‌ෂණයකි. අන්තිමේදී ලෙඩා මළ විට ඔහුගේ හෝ ඇයගේ ආත්මය දෙවියන් විසින් රැගෙන යනු ලැබ ඇතැයි ප්‍රකාශයට පත් කරනු ලැබේ. එහෙත් මිනිය කපා බැලූ විට හෙළි වන්නේ උත්සන්නවූ රෝගයට ප්‍රතිකාර නොකළ බැවින් මරණය සිදු වී ඇති බවය.

විද්‍යාවට සියලු දෙයම හසු කර ගත නොහැකි බව අපි පිළිගනිමු. මරණින් මතු ජීවිතය, ගන්ධබ්බ කාලය, ආත්මවාදය වැනි කරුණු අදටත් අභියෝගයට ලක්‌ කළ නොහැක. එහෙත් කෙනකු අසනීප වූ විට හාස්‌කම් පිළිබඳ අවදානමක්‌ නොගෙන ලෙඩා රෝහල්ගත කරන්නේ නම් ඔහුට තවදුරටත් ජීවත්වීමට හැකි වනවා ඇත. යාඥ මෙහෙයකදී කෙනෙකු මියගිය විට එය එම මෙහෙය සිදුකළ ආගමික නිකායටද ඉතා නරක ලෙස බලපායි. විහාරමහා දේවි උයනේදී මෙන්ම බත්තරමුල්ලේ කොස්‌වත්තේදී වූ මරණවලින් පෙනී යන්නේ දේවගැතිවරුන් සහ බැතිමතුන් සහභාගි වුවද එම යාඥ මෙහෙයට දෙවියන් ඊට සහභාගි වී නැති බවය. දෙවියනි ඔබ කොහිද?

(දිවයින - 09/11/05)

ටිප්පණිය - ලංකාව පුරා මේ ආකාරයේ විවිධ ආගමික කල්ලි අහිංසක නූගත් මිනිසුන් ගොදුරු කර ගනිති. ඉන් බහුතරය බෞද්ධයින් බව නොකියා ම බැරි ය. රටේ අතිබහුතරය බෞද්ධයින් වුව ද නායකයින් බොහෝ දෙනා ජාතික ඇඳුම ඇඳ අතේ පිරිත් නූල් බැන්ද ද ඊට එරෙහිව ගත් ක්‍රියාමාර්ගයක් නැත. සිදුවන්නේ ඒ අහිංසක මිනිසුන්ගේ කරමතින් උන් සුරලොව ගොස් ඒ හිණි මගට පයින් ගැසීම පමණි. ජනතාව සිය සංස්කෘතිය ද ආගම ද පෞඪත්වය ද අහිමි කර ගනිමින් ඒ නරා වළේ ම පැසවති. ඔවුන් දෙවියන්ගේ බැල්ම වැටෙන මානයෙන් බොහෝ ඈත ය.

රජුට ද්‍රෝහී වුවද රටට ද්‍රෝහි නොවනු!

පෞද්ගලික සංචාරයක්‌ සඳහා ඇමරිකාවට ගිය ජනරාල් සරත් ෆොන්සේකා ඇමරිකානු රජයේ සාක්‍ෂිකරුවකු කරගෙන ආරක්‍ෂක ලේකම් ගෝඨාභය රාජපක්‍ෂට එරෙහිව චෝදනා පත්‍රයක්‌ සැකසීමේ අධිරාජ්‍යවාදී කුමන්ත්‍රණය දැන් දියත්ව පවතී. ඒ අතර යුද්ධය ගැන දැනගැනීමට යමක්‌ වෙතොත් ඒ සඳහා නියෝග දුන් තමාගෙන් විමසන ලෙස ජනාධිපති මහින්ද රාජපක්‍ෂ තම හමුදාපතිවරයා වෙනුවෙන් නිර්භයව හා ආදර්ශවත් ලෙස පෙනී සිටී. මේ රට ඒකීය රටක්‌ව තිබෙනු දැක්‌මට ප්‍රිය කරන්නේ ඉන්දියාව හා චීනය ඇතුළු ආසියාවත් රුසියාව ද ඇතුළු යුරෝපීය රටවල් ස්‌වල්පයකුත් පමණි. සෙසු සියලු අධිරාජ්‍යවාදීන්ගේ සහ කොම්ප්‍රදෝරු පන්තියේ (අධිරාජ්‍ය ගැති ධනපති පන්තිය) රටවල අවශ්‍යතාව වන්නේ එක්‌කෝ ශ්‍රී ලංකාව දෙකඩ වනු දැකීමය. නැතහොත් අඩුම ගණනේ ශ්‍රී ලංකාව මුලට ෆෙඩරල් රාජ්‍යයක්‌ කර පසුව කැබැලි වනු දැකීම ය. මේ උත්සාහය වළක්‌වාලීම සඳහා යුද ජයග්‍රහණය ලබාගන්නා ලද්දේ විධායක ජනාධිපති ක්‍රමය නමැති දෙපැත්ත කැපෙන, එහෙත් නිසි ලෙස පාවිච්චි කළොත් අවශ්‍ය දේ හරියටම කැපෙන ආයුධය යොදාගෙන බව මතක්‌ කර දෙමින් අද මේ වැකිය අරඹමු.

මේ මොහොතේදී මේ රටේ විපක්‍ෂය සතුව පවත්නා ලොකුම ඉල්ලීම විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කළ යුතුය යන්න ය. රටේ ප්‍රශ්න කොතෙකුත් ඇත. ජීවන වියදම පළමුවැන්නය. රට ගොඩනැගීම දෙවැන්නය. සාමාන්‍යයෙන් යුද්ධයකින් පසු ඉතිරි වන රාජ්‍යයක පළමුවන ප්‍රශ්නය විය යුත්තේ රට කෙසේ ගොඩනගමුද යන්න ය. එහෙත් ලංකාවේ දේශපාලනය බෙහෙවින් බඩගෝස්‌තරවාදී නිසා සාමාන්‍යයෙන් රට ගොඩනැංවීමට ලැබෙන්නේ දෙවැනි තැන ය. එහෙත් මෑතක සිට ඒ සියලු කරුණු පසෙකලා විධායක ජනාධිපති ක්‍රමය තුරන් කරමු යන සටන් පාඨය ඉදිරියට පැමිණ ඇත. මෙහිදී විධායක ජනාධිපති ක්‍රමයේ ඉතිහාසය ගෙන බලමු. ඡේ. ආර්. ජයවර්ධන මැතිතුමා එක්‌සත් ජාතික පක්‍ෂ ජනාධිපතිවරයකු යටතේ පමණක්‌ මේ රට පාලනය කරනු සඳහා විධායක ජනාධිපති ක්‍රමය මෙරටට හඳුන්වා දෙන ලදී. එසේම, තම මන්ත්‍රීවරුන් තමන්ට අකීකරු වුවහොත් ඔවුන්ගේ අඬු කැඩීම සඳහා දින නැති ඉල්ලා අස්‌වීම් ලියුම් ද ඔහු විසින් ලබාගන්නා ලදී. එතුමා හිරේ සිටි ගෝනවල සුනිල් මහතා එම බලතල යොදවා නිදහස්‌ කරගෙන ඔහුට සාම විනිසුරු තනතුරක්‌ ද ප්‍රදානය කරන ලදී. මේ හැරෙන්නට එතුමා විධායක ජනාධිපති ක්‍රමය මගින් කළ වෙනත් වැදගත් යමක්‌ ගැන මේ මොහොතේදී අපට කල්පනා වන්නේ නැත. ප්‍රේමදාස ජනාධිපතිතුමාට තම වැඩ කර ගැනීම සඳහා විධායක ක්‍රමය උවමනා වූයේ නැති අතර ඒ සඳහා එතුමාට වෙනම විධි තිබිණ. ඒ ගැන අපට වඩා හොඳින් ජ.වි.පෙ. දනී. විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරමු යන සටන් පාඨය යටතේ බලයට පැමිණි චන්ද්‍රිකා මැතිනිය පසුව ජ.වි.පෙ. සමඟ එකතු වූ බැවින් එම සටන් පාඨය යට ගියේය. ජ.වි.පෙ.ට එම පාඨය යළි මතක්‌ වූයේ දවසක්‌ උදේ පාන්දර ඇහැරී බලන විට තමන් තවදුරටත් පොදු පෙරමුණු ආණ්‌ඩුවේ නැති බව ප්‍රත්‍යක්‍ෂ වූ කල්හිය.

විධායක ජනාධිපති ක්‍රමය නිසි ලෙස පරිහරණය කළ එකම නායකයා ජනාධිපති මහින්ද රාජපක්‍ෂය. යුද ජයග්‍රහණයේ පසුබිමෙහි විධායක ජනාධිපති ක්‍රමයේ එතෙක්‌ ප්‍රයෝජනයට නොගත් කොටස්‌ ද විය. රට දෙකඩ කිරීම සඳහා රේඛාවක්‌ අඳිමින් ත්‍රස්‌තවාදියකු සමඟ අත්සන් කෙරුණු සටන් විරාම ගිවිසුම ඉරා විසිකරන ලද්දේ විධායක ජනාධිපති ධුරයේ බලතල එය දමා තිබූ පරණ පෙට්‌ටගමෙන් එළියට ගෙන පාවිච්චි කිරීමෙනි. යුද්ධයට විරුද්ධව ඔලුවෙන් හිටගත් එ.ජා.ප.ය සහ දෙමළ සන්ධානය නොතකා සේනාධිනායකයා ලෙස අණ දෙමින් ත්‍රිවිධ හමුදාපතිවරුන් මෙහෙයවීමට ජනාධිපතිතුමාට හැකි වූයේ විධායක බලතල හරිහැටි පාවිච්චි කිරීම තුළිනි.

යුද්ධය නිමව ඇති නිසා විධායක බලතල තවදුරටත් මොකටදැයි සමහරු ප්‍රශ්න කරති. ධාරානිපාත වැස්‌සක්‌ වැස පෑවූ සැනින් මිනිසුන් පිස්‌සන් ලෙස මඟට බසින්නේ නැත. යළි ඇතිවිය හැකි වර්ෂාවෙන් ආරක්‍ෂා වීම සඳහා ඔවුහු කුඩයක්‌ ගෙන මඟට බසිති. ශ්‍රී ලංකාවේ කොටි බලය වැනසී ගිය ද කොටින්ගේ ජාත්‍යන්තර ජාලය තවමත් නිමාවට පත්වී නැත. එම ජාලයේ ප්‍රධානියා වන කුමාරන් පද්මනාදන් වමාරන තොරතුරුවල හැටියට ප්‍රභාකරන් තව පරම්පරා හතකට ප්‍රමාණවත් කොටි ජාලයක්‌ හදා ඇත. ඒ නිසා තවත් කලකට මේ බලතල පවත්වාගෙන යා යුතු බව ඉතා කෙටියෙනුත් පැහැදිලිවත් කියමු. රජුට ද්‍රෝහී වුවද රටට ද්‍රෝහී නොවන ලෙසට පැරණි සිංහල කියමනක්‌ තිබේ. මේ වෙලාවේදී සේනාධි නායකයා පළවා හැරීමටත් ආරක්‍ෂක ලේකම් කොටු කිරීමටත් කරන උත්සාහයන් නිර්වචනය කළ හැක්‌කේ රටට ද්‍රෝහී වීමක්‌ ලෙස ය. මේ රට දේශපාලන මඩ ගොහොරුවකි. කුහකකම, බලලෝභය, පළිගැනීම යනාදිය මේ ගොහොරුව තුළ පැසවමින් බුබුලු දමයි. මේ ගොහොරුව සුවඳවත් පියුම් පිපෙන සුන්දර ජලාශයක්‌ කළ යුතුව තිබේ. එය කළ හැක්‌කේ අපට නිවහල් ඒකීය රටක්‌ ඇත්නම් පමණි.

(දිවයින - 09/11/04)

ටිප්පණිය - අප විවිධ මාධ්‍යවලින් ලද තොරතුරු අනුව හිටපු හමුදාපතිතුමා සහ රජය අතර යම් ගැටුමක් අති වී තිබේ. ඊට විවිධ හේතු බලපා ඇත. කෙසේ වුව ද මේ ගැටලුව සමතයකට පත් කර ගැනීමට කටයුතු කළ යුතු බව අවධාරණය කරමු. කෙසේ වුව ද සරත් ෆොන්සේකා මහතා ඉතා ඉවසීමෙන් කටයුතු කළ යුතු ය. එසේ නොවී ආවේගාත්මක වී දේශද්‍රොහී බලවේගවල ගොදුරක් වීමෙන් රටට මෙන් ම එතුමාට ද පරාජයක් විනා ලැබෙන කිසිවක් නැත. එහෙත් රටට ආදරය කරන බලවේග දෙකට තුනට කඩා විනාශ කිරීමෙන් යළි රට අගාධයට දැමීමෙන් කුහක ආස්වාදයක් ලැබීමට තකතිරු රොත්තක් පුලපලා සිටිති.
 
සිය රට දේ සිරි සැප දේ !