Wednesday, March 11, 2009

කොටියා ඇද වැටුණත් තවමත් මැරී නැත

මෝඩකම, කැපවීම, ජනතාව අතර සිටීමට ඇති වුවමනාව, මහජන සේවාව කෙරෙහි ඇති භක්තිය, මනාප ලබාගැනීමට ඇති ආසාව යනාදී වශයෙන් වු කරුණුවලින් එකක් හෝ සියල්ල ම නිසා මරණය වෙත ගමන් කර අනුනවයෙන් දිවි ගලවා ගත් මහින්ද විජේසේකර ඇමැතිතුමා දැඩි සත්කාර ඒකකයෙහි වැතිර සිටින අතර ආණ්ඩුවට මොළය පෑදී තිබේ. ඒ අනුව මින් ඉදිරියට සියලු ප්‍රසිද්ධ මහජන උත්සව සඳහා ඒවායේ සංවිධායකයන් ආරකෂක අමාත්‍යාංශයෙන් අනුමැතිය ලබාගත යුතුව ඇත. මේ නීතිය මෙයට දශක දෙකකට පමණ පෙර බලගැන්වීමට ඒ කාලයේ තිබු ආණ්ඩු ක්‍රියා කළේ නම්, ගාමිණී දිසානායක, ජී. එම්. ප්‍රේමචන්ද්‍ර, ලලිත් ඇතුලත්මුදලි, ආර්. ප්‍රේමදාස වැනි රටට වැඩක් ඇති ජනනායකයන් අදටත් ජීවතුන් අතර ය. සී. වී. ගුණරත්න මහතා අදටත් ජ්‍යෙෂ්ඨ ඇමැතිවරයකු ලෙස ආණ්ඩුවේ කටයුතු කරනවා ඇත. ජෙයරාජ් ප්‍රනාන්දුපුල්ලේ මහතා තවමත් ආණ්ඩුවේ ප්‍රධාන සංවිධායක ය. ඒ සියල්ලට ම අමතරව මරාගෙන මැරෙන කොටි බෝම්බකරුවන් අතින් මේ අය මියයන විට ඒ සමඟම මියගිය දහසකට වැඩි සිවිල් ජනයා ද අදටත් ජීවතුන් අතර ය.

මහින්ද විජේසේකර ඝාතන තැත සඳහා බෝම්බකරු පැමිණ ඇත්තේ බයිසිකලයකින් බව හෙළිව තිබේ. මේ කාරණය අපට සිහිගන්වන්නේ මෙයට වසර කිහිපයකට පෙර ආර්. ප්‍රේමදාස මහතා ඝාතනය කිරීමට බාබු නමැති දෙමළ තරුණයා බෝම්බ සහිත බයිසිකලයක නැඟී පැමිණි ආකාරයයි. බාබු යනු ජනාධිපති ප්‍රේමදාසගේ සුචරිත නිවසේ සිටි හිතවතෙකි. මේ දෙමළ තරුණයා ජනාධිපතිතුමා සමඟ කොතරම් සමීපව සිටියේ ද යත් කැබිනටි මණ්ඩල රුස්වීම් පවතින විට පවා එහි මුලාසනයේ සිටින ජනාධිපතිතුමාගේ කනට රහස් කියා දිව යෑමේ පුරුද්දක් බාබු සතු වී යැයි කියනු ලැබේ. අවසානයේදී එක්තරා මැයි පළමුවැනිදාවක බෝම්බ සහිත බයිසිකලයක් පැදගෙන ජනාධිපති ප්‍රේමදාස මහතා වෙත ආ බාබු, බෝම්බය පුපුරුවා ගත්තේ ය. මෙහිදී දෙදෙනාම කැබැලි වුහ.

මෙයට වසර කිහිපයකට පෙර සී. වී. ගුණරත්න මහතා මළේ ද පිළිගැනීමේ උත්සවයකට සහභාගි වී පෙරහැරින් ගාලු පාර දිගේ ගමන් කරමින් සිටියදී ය. රටක යුද්ධයක් පවතින විට දේශපාලකයන් බොරු වීරකම් මවා පෑම පිණිස පාරවල් දිගේ ගමන් කළ යුතු නැත. පළාත් සභා ඡන්ද සඳහා වු කබල් රුස්වීම් ඇමැතීමට රටේ සේනාධිනායකයා වු ජනාධිපතිතුමා යෑම අංක එකේ මුග්ධ ක්‍රියාවකි. එතුමා ඒවාට ගියත් නැතත් යුද්ධය ජයග්‍රහණය කිරීම නිමිත්තෙන් සේනාධිනායකයාට වැටෙන ඡන්ද නිසා ආණ්ඩුවට පළාත් සභා දිනාගත හැකි ය. අනෙක කිසියම් තැනෙක මරාගෙන මැරෙන බෝම්බයක් පුපුරුවා හළ විට ජනාධිපතිතුමා එහි යෑම කිසිසේත් ම ගැලපෙන්නේ නැත. ප්‍රභාකරන්ගේ ලොකුම ඉලක්කය තමා බව ජනාධිපතිතුමා දැනගෙන සිටිය යුතු ය. මේ යුද්ධය නිම කරනුවස් ඔහු ජීවතුන් අතර සිටිය යුතුම ය. බෝම්බයට ඇස් නැත. මේ සිටින්නේ ලංකාවේ ඒකීයත්වය උදෙසා කැප වු ජනාධිපතිතුමා බව බෝම්බය දන්නේ නැත. බෝම්බයට එවැනි විඥානයක් තිබුණත් එය නියෝජනය කරන්නේ ප්‍රභාකරන් නිසා පිපිරීම හා ජීවිත හානිය ස්ථිර ය.

මහින්ද විජේසේකර ගමන් කළ පෙළපාලිය මැදින් බයිසිකලයක් පදවාගෙන යනතුරු පොලිසිය කළේ කුමක්ද? ඊළඟ දවසේ ජනාධිපතිතුමා සහභාගි වන ප්‍රසිද්ධ උත්සවයක් මැදින් යුද්ධ ටැංකියක් පදවාගෙන ප්‍රභාකරන් ගියොත් පොලිසිය එයට ද විරුද්ධ නො වනවා ඇත. කොටියා තවමත් සම්පුර්ණයෙන් ම මැරී නැත. තවමත් උගේ ඇඟිලි තුන හතරකුත් මොළයෙන් ස්වල්පයකුත් වැඩ කරයි. මේ අවස්ථාව ඉතා භයානක ය. අප ඉතා සිහිබුද්ධියෙන් විමසා පසු කරගත යුත්තේ ද මේ අවස්ථාවයි.
(දිවයින_09/03/12)

පසුවදන_
මේ රටේ ආණ්ඩුවලට තිබුණු සහ ඇති බරපතළ ව්‍යාධියක් නම් නිසි කල නිසි දේ නොකිරීම ය. නියපොත්තෙන් කැඩිය හැකි සිය දහසක් දේ පොරවෙන් කැපීම දක්වා උස් මහත් කළේ මෙතෙක් මේ රටේ පැවැති ආණ්ඩු ය. මේ ආණ්ඩුවට ද ඒ රෝගය තිබේ.

ප්‍රභූ ආරක්ෂාව පිළිබඳ බරපතළ අවඳානමක් ඇති මේ අවස්ථාවේ ඔවුන් ඒ ගැන අවදානය යොමු කළේ නැත. ඒ නිසා රටට අහිමි වූ ජීවිත කෙතරම් ද? නාස්ති වූ සම්පත් කෙතරම් ද? දැන් සුපුරුදු පරිදි අශ්වයා ගිය පසු ඉස්තාලය වැසීමට ආණ්ඩුව සුදානම් ය. ඒ ආරක්ෂක අමාත්‍යංශයේ නිසි අවසර නොලබා මැති ඇමතිවරු පැමිණෙන උත්සව සංවිධානය කිරීමට අවසර නොදීමෙනි. මෙය කෙතරම් ඈත යුගයක ගතයුතුව තිබූ පියවරක් ද? මේ පියවර පවා ක්‍රමයෙන් ලිහිල්වී තව නොබෝ කලකින් මෙවැනි ම ඛේදවාචක අසන්නට ලැබුණොත් ඔබ පුදුම විය යුතු නැත. තම ජීවිත අවදානම නොතකන මෙවන් මිනිසුන් පිරපාහරන්ගේ කළු කොටි රැළේ ද නැත.

No comments:

 
සිය රට දේ සිරි සැප දේ !