Sunday, August 17, 2014

හොඳ හමාස් ත්‍රස්තවාදය සහ නරක කොටි ත්‍රස්තවාදය

කැනඩාව, බ්‍රිතාන්‍යය, නෝර්වේ හෝ ස්වීඩනය ආදී රටවල් කොටි ත්‍රස්තවාදයට උදව් කළේ යැයි හෝ කරන්නේ යැයි චෝදනා කිරීමට රාජපක්ෂ ආණ්ඩුවට තව දුරටත් සදාචාරාත්මක අයිතියක් නැත. රාජපක්ෂලා මුස්ලිම් ඡන්ද කිහිපයක් වෙනුවෙන් හමාස් ත්‍රස්තවාදයට මුදලින් ආධාර කිරීමට ඇති අයිතිය අර කී රටවලට ද ඇතැයි ඔවුන් පිළිගත යුතු ය. ලෝකයේ පවතින ගැටුම් සිය ජාතික අභිලාෂ හෝ බලය වෙනුවෙන් කළමනාකරණය කිරීමය; දෙපිරස ම කරනුයේ. 

එදා ලෝකයේ හොඳ ත්‍රස්තවාදය සහ නරක ත්‍රස්තවාදය කියා දෙකක් නැතැයි කී ජනාධිපතිවරයා මෙදා හමාස් ත්‍රස්තවාදයට ඩොලර් මිලියනයක් පරිත්‍යාග කර තිබේ. ඒ මුදල මැදමුලන වලව්වේ පෙට්ට ගමින් ලබා දුන් නිසා ඒ ගැන විමසීමට අපට අයිතියක් නැත. කෙසේ වුව ද මේ අනුව ලෝකයේ හොඳ ත්‍රස්තවාදයක් ඇති බව රාජපක්ෂ ආණ්ඩුව ක්‍රියාවෙන් ම ඔප්පු කර තිබේ. 

මේ අනුව සුන්නි ත්‍රස්තවාදය හොඳ ත්‍රස්තවාදයකි. එහෙයින් ඔවුන්ට ඉරාකයේ ෂියා සහ කතෝලික පිරිස් ඝාතනය කළ හැකි ය. පෞරාණික ආගමික සිද්ධස්ථාන විනාශ කළ හැකි ය. එහෙත් ඔවුන්ට එරෙහිව ලංකාවේ පෙළපාලි උද්ඝෝෂණ නැත. සුන්නි ත්‍රස්තවාදය යමෙක් ප්‍රහාර එල්ල කරන්නේ නම් ඊට එරෙහිව පෙළපාලි සංදර්ශන ලංකාවේ පැවැත්වෙයි. ඒ සඳහා නීතියෙන් බාධාවක් නැත ද සුන්නි ත්‍රස්තවාදයට එරෙහිව උද්ඝෝෂණ කළ නො හැකි ය. ඒ ත්‍රස්තවාදයට මූල්‍ය ආධාර ද ලංකා ආණ්ඩුව ලබා දෙයි.

ලෝකයේ කිසියම් සෛවරී රාජ්‍යයකට ත්‍රස්ත ප්‍රහාරයක් එල්ල වන්නේ නම් කොන්දේසී විරහිතව අප ඒ රාජ්‍යය වෙනුවෙන් පෙනී සිටිය යුතු ය. අප හමාස් ඊශ්‍රායෙල් ගැටුම තේරුම් ගත යුත්තේ ස්වාධීන රාජ්‍යයක් සහ ත්‍රස්ත කල්ලියක් අතර ගැටුමක් ලෙසිනි. එසේ නොමැති ව යුදෙව් මුස්ලිම් ගැටුමක් ලෙස නොවේ. ලංකාව කොටි ත්‍රස්තවාදයට එරෙහිව ගෙන ගිය සටන සාධාරණීකරණය වන්නේ ඒ අර්ථයෙනි. 

ඒ සටන සාධාරණීකරණය කර ගැනීම අද රට හමුවේ ඇති අභියෝගයකි. එය ජාතික අභිලාෂයකි. ආණ්ඩුව ක්‍රියා කළ යුත්තේ ඒ ජාතික අභිලාෂය සාක්ෂාත් කර ගැනීම වෙනුවෙනි. ලංකාවේ බහුතර මුස්ලිම් ජනතාව අරාබි හෝ පලස්තීන මුස්ලිම් නොව භාරතීය දෙමළ සම්භවයක් ඇති ලාංකික මුස්ලිම් ජනතාවය. ඔවුන් ක්‍රියා කළ යුත්තේ ජාතික අභිලාෂවල ජයග්‍රහණ වෙනුවෙන් මිස සිය ඊනියා වාර්ගික අනන්‍යතා වෙනුවෙන් නොවේ.  
 
සිය රට දේ සිරි සැප දේ !