Tuesday, September 28, 2010

ජෙනරාල්ට වෙච්චි දේ

හිටපු ජෙනරාල් ඉස්සර අපට වීරයෙකි. ඔහු වෙනුවෙන් අපි ලීවෙමු. පෙනී සිටියෙමු. එහෙත් අවසන ජෙනරාල්ට ජනපති වීමට උවමනා විය. ඒ ගමන ආරම්භයේ ම සුදු කොඩි ඔස්සේ වීරයා මරාගෙන ද්‍රෝහියෙක් උපන්නේ ය. වීරයා මැරුවේ ජවිපෙය. වීරයාට පිහියෙන් ඇන්නේ ජවිපෙය. ද්‍රෝහියාගේ පියා ජවිපෙ ය. මව එජාපයයි.

එදා මාණ්ඩලික ප්‍රධානි ලෙස ඇමරිකාවට ගිය හිටපු ජෙනරාල් තමන්ගෙන් උපදෙස් ගත්තේ යැයි උජාරුවෙන් කී ටින් ටින් සිල්වා මේ ඉරිදා දිවයිනට කීවේ එය අසත්‍යයක් බව ය. එදා කතා කළේ සිල්වා ය. මෙදා කතා කරන්නේ ද සිල්වාම ය. ඔහුට එදා කී දේ අමතක වුව ද අපට අමතක නැත. ඔහු කියන සියල්ල ඇතැමුන්ට ඇත්ත වුව ද අපට නම් එසේ නැත.

අද The Island පත්තරේ එන මේ කාටුනය ජෙනරාල්ට වෙච්චි දේ අපට මැනවින් සිහිපත් කරදෙයි. යන එන මං නැතිව දේශපාලන කනත්ත බලා යමින් සිටින මළ පෙරහැරක මහ බඹා චරිතයට පණ දෙන්නට ජෙනරාල් වීරයා දිවි දුන්නේ ය. දුෂ්ටයා උපන්නේ ය. දැන් ඒ අගාධය වටේ සිට ජවිපෙ ජෙනරාල් විකුණති. ජෙනරාල් කෙසේ හෝ සිරගෙට යවා තම පක්ෂ දේශලාන මතවාදය ක්‍රියාවට නැගීමට ඇති එකම බාධකයෙන් නිදහස් වීම දැන් ජවිපෙ පැතුමයි. මේ උර චක්කර මාලයෙන් නිදහස් වී දඹුලු ගොහින් තලගොයි මරාගෙන එන්නට ජවිපෙ බලා සිටියි. තම මතවාදය වෙනුවෙන් රටේ සිය දහස් ගණනක් මරා දැමූ ජවිපෙට අවසානයේ ජෙනරාල් ද හපා විසි කරන උක් හපයක් පමණි.

Friday, September 24, 2010

දිවි හිමියෙන් රනිල් සුරකිමු

එජාප ප්‍රතිසංවිධාන යෝජනාවලියට බාලගිරි දෝෂය වැළඳීම පිළිබඳ සමාව අයැදිය යුතු රනිල් වික්‍රමසිංහ මහතා නොබෝදා එජාප මන්ත්‍රීවරු පිරිසක් 18 වැනි ව්‍යවස්ථා සංශෝධනයට පක්ෂ විම පිළිබඳ සමාව අයැදි සිටියේ ය.

18ට පක්ෂ වූ මන්ත්‍රීවරු මුදල්, වරප්‍රසාද සහ අනේක වරදාන පිණිස සිය ආත්මය පාවා දුන් බව පැවසු දයාසිරි ජයසේකර ඉන් පසු කීවේ පක්ෂ ප්‍රතිසංවිධාන යෝජනා තවත් පමා වේ නම් තමන් ඇතුලු පිරිසක් ස්වාධීන කණ්ඩායමක් ලෙස පාර්ලිමේන්තුවේ අසුන් ගන්නා බව කීවේ ය.

මේ වන විට දෛවයේ සරදමකට ලක්ව සිටින්නේ දයාසිරි ය. ඔහු 'ගෙදර ගියොත් අඹු නසී මග මිටියොත් තෝ නසී' තත්වයට පත්ව සිටියි. රනිල් කියන්නේ ස්වාධීනව සිටින්නට අදහස් කරන අය පක්ෂයෙන් ඉවත් විය යුතු බව ය. එක අතකින් මෙය ද ප්‍රතිසංවිධානයකි. පක්ෂයේ බුද්ධිමත් තරුණ ආකර්ශනීය නායකයින් පක්ෂය ගැන කලකිරී එය අතැර යයි.

මෙසේ ප්‍රතිසංවිධාන ඉල්ලු සියල්ලන් පක්ෂයෙන් විසිවී යන විට තමන් මත ද හෙට දවසේ වැදිය හැකි මුදල්, වරප්‍රසාද සහ අනේක වරදාන හංවඩුව, එහි ඉතිරි සිටින එකෙකුට, ගිය එකාගේ පිටේ ගැසිය හැකි ය. දැනට පක්ෂය වෙනුවෙන් මේ හංවඩුව ගැසීමට පැවරී ඇති ගයන්ත, තිස්ස වැන්නන්ට ද මේ හංවඩුව හෙට දවසේ වැදිය හැකි ය. මෙසේ යන කල අවසන ඉතිරි වන්නේ රනිල්, රවි, මංගල, අකිල වැනි පිරිසකි.

මෙය භයානක තත්වයකි. එජාපය තුළ ම ඇති එය විනාශවීමේ හේතු නිවැරදි නොකර ආණ්ඩුවට බැන පලක් නැත. විපක්ෂය දුර්වල වන තරමට ආණ්ඩුව කැමති ය. එහෙයින් රනිල් එජාප නායකයා ලෙස හැමදාම සිටී නම් ආණ්ඩුව හරි කැමති ය. රාමචන්ද්‍රලා ද රනිල්ට හරි කැමති ය. එසේ බලන කල මේ ආණ්ඩුව උන්දැලාට උදේ හවා පිං දිය යුතු ය.

Wednesday, September 15, 2010

එකා අධිපති කවුද?


රටක ප්‍රජාතන්ත්‍රවාදය සුරක්ෂිතවීමට ශක්තිමත් විපක්ෂයක් තිබිය යුතුය. එහෙත් අපේ රටේ එවැන්නක් නොමැත. 18ට විරුද්ධව කෑ මොර දුන් උඩුබිරූ අය ඒ ගැන කිසිවක් නොකියති. රටේ විපක්ෂය විනාශවීමට මූලික හේතුව රනිල් වික්‍රමසිංහගේ ආඥාදායකත්වයයි. ඔහු විපක්ෂ නායක වූ දා සිට ඔහු හා උරණ වී ආණ්ඩුවට ගිය පිරිස දැන් 60ද පැන තිබේ. හැමදාම නායකත්වය වෙනස් කරනට පෙරමුණ ගත් පිරිස නතර වූයේ ආණ්ඩුවේ ය. මුළු එජාපය ම එකත් පසකට වුව ද රනිල් එළවිය නොහැකි බව දැන් පැහැදිළි ය. ඒ පක්ෂ ව්‍යවස්ථාව එහි ඒකා අධිපති නායකත්වයක් තනා ඇති බැවිනි.

මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදය සුරක්ෂිත කරනට දැන් කළ යුත්තේ රටේ ව්‍යවස්ථාව නොව එජාප ව්‍යවස්ථාව වෙනස් කිරීමය. එහි නායකත්වය පත් කර ගැනීමට වඩා හොඳ ක්‍රමයක් නිර්මාණය කර ගැනීමය. ආණ්ඩු විරෝධීන් ද එජාප බැතිමතුන් ද දැන් කළ යුත්තේ එයයි. එවිට දැනට එජාප අභ්‍යන්තරයේ ඔඩුදුවා ඇති අර්බූධය කෙළවර වනු ඇත. එසේ නොකර තම ඇසේ පොල් පරාල සඟවා අන් ඇසක කෙහෙ ගසක් සොයන ක්‍රමය ඉදිරියට ගෙන යන්නේ කරන්නේ, ආණ්ඩුව ශක්තිමත් කිරීම පමණි.

රනිල් රටට නොගැලපෙන නායකයෙකු වන්නේ ඔහුගේ පුද්ගලික දුර්වලතා නිසා නොව ඔහු නියෝජනය කරන මතවාදය නිසා ය. මෙය රනිල්ගේ වරදක් නොව එකී බටහිර ගැති මතවාදයේ අර්බූධයකි. ඒ නිසා රනිල් එළවා රවි නායකයා කිරීම අතීසාරයට අමුඩෙ ගැසීමකි. ඔවුන් දෙදෙනා ම එක වල්ලේ පොල් ය. ජාතික ඇඳුමට රිගා ගත් පමණින් රවීට සිය බටහිර ගැතකම එහි සැඟවිය නොහැකි ය. එජාපයට නායකත්වය දීමට දැන් එහි සිටින නියම සුදුස්සා සජිත් ය. සජිත් තවම ළබාල යැයි රනිල් නිසා පක්ෂ නායකත්වයට කිට්ටු කළ නොහැකිව අකාලයේ වයසට ගිය අය පවසන කුහක කතා ජනතාව අනුකම්පාවෙන් බැහැර කරනු ඇත. විපක්ෂයට නිවැරදි නායකත්වයක් ලබා දීම මේ අවස්ථාවේ ප්‍රජාතන්ත්‍රවාදය උදෙසා කළ හැකි වැදගත් ම කාර්යයි.

Tuesday, September 7, 2010

18 ආණ්ඩුවේ මළගම ද?

8 වැනි දා සම්මත කර ගැනීමට යෝජිත දේශපාලන 18 වැනි ව්‍යවස්ථා සංශෝධනය පිළිබඳ බොහෝ දෙනා කතා කරති. දේශපාලන අනාථයෙකු ලෙස අලි අනාථාගාරයට ගිය මංගල සමරවීර උන්නැහේ සහ අපේ ගමේ ගයන්ත කරුණාතිලක උන්නැහේ ඒ ගැන කළ ප්‍රකාශ කෙරෙහි මගේ විශේෂ අවධානය යොමු විය.

මංගල කීවේ 18 සම්මත වීම ප්‍රජාතන්ත්‍රවාදයේ මළගම බව ය. පසුගිය ජනාධිපතිවරණයේ දී දකුණු ආසියාවේ හිට්ලර් බිහිකර ප්‍රජාතන්ත්‍රවාදය වළදැමීමට පුල පුලා සිටි සමරවීරය අද මෙසේ කියන්නේ. ඒ කතාව ඇසූ විට මට සිතුණේ යළි කිසිදා ජනාධිපතිවරණයක් නොපවත්වා ජනපතිට (මහින්දට) බලයේ සිටීමට අදාළ සංශෝධන ගෙන එනවා වැනි හැඟුමකි. එහෙත් එය එසේ නො වේ. වසර 6ට වරක් ජනතාව ඉදිරියට යාමට ඔහුට සිදුවෙයි. සිය වැඩපිළිවෙළ ජනතාව ලවා අනුමත කරගැනීමට ඔහුට සිදුවෙයි. ජනතාව අකමැති නම් මුල් වසර 6 අවසන වුව ඔහුට ගෙදර යාමට සිදු වනු ඇත. මෙය වසර 4 දක්වා පහත හෙළීම වඩා හොඳ ය.

1988 සහ 2005 වුව පැවති රජයන් යළි බලයට ආවේ ජේ.ආර් සහ චන්ද්‍රකා වෙනුවට පේමදාස සහ මහින්ද තරග කිරීමෙනි. එසේ නොකළා නම් එම මැතිවරණ ජයගන්නේ සිරිමා සහ රනිල් බව පැහැදිළි ය. මේ අවස්ථා දෙකේ ම එවක ජනාධිපතිවරු සිය පක්ෂයේ අනෙකෙකු වෙත අපේක්ෂකත්වය දුන්නේ අදාළ සීමාව නිසා මිස කැමැත්තකින් නොවේ. ඒ සීමා නොතිබිණි නම් සැබවින් ම සිදුවන්නේ ජේ. ආර්. සහ චන්ද්‍රිකා තරග කිරීම නිසා විපක්ෂය බලයට ඒම පමණි.

මේ අනුව 18 වැනි සංශෝධනය වඩා වාසිදායක විපක්ෂයට බව පෙනේ. ඔවුන් පවසන පරිදි මහින්ද රටට කිසිදු වැඩක් නොකරන නිසාත් 2017 ජනාධිපතිවරණ අපේක්ෂක මහින්ද නිසාත් ඔවුන්ට බලයට ඒමට ඇති කදිම අවස්ථාවකි මේ. කෙසේ වුව මහින්ද රටට වැඩ කළා යයි ද තව දුරටත් ඔහුගේ සේවය ලබා ගත යුතු යැයි ද ජනතාව තීරණය කළ හොත් කුමත් තරම් ද? ඒ ජනතා කැමැත්ත ය.

කරුණාතිලක උන්නැහේ කීවේ 18 ආණ්ඩුවේ මළගම බව ය. ඔහු මෙය කීවේ 18 පැමිණීමත් සමග පතෝල මැස්සක් මෙන් රජය කඩා වැටේය යන බොළඳ අරුතිනි. එසේ නම් විපක්ෂය කළ යුත්තේ අත් දෙක ම ඔසවා 18 සම්මත කර, ආණ්ඩුව වැටුණු පසු තම ආණ්ඩුවක් පිහිටුවා ගැනීම ය. කෙසේ වුව ද ඉහත මා කළ විග්‍රහ අනුව 18 දිගුකාලීනව ආණ්ඩුවට සුබවාදී නොවන්නට ඉඩ ඇත. 2010-12 වන විට මහින්දගේ ජනප්‍රිය බව අඩු වී තිබුණ ද ජනාධිපති සහ පක්ෂයේ නායක බලය යොදා නැවත තරග කළහොත් විපක්ෂ අපේක්ෂකයාට වාසි සහගත වනු ඇත. එවිට නැවුම් නායකත්වයකින් සහ නැවුම් වැඩපිළිවෙළකින් විපක්ෂය සන්නද්ධ වි සිටිය යුතුය.

මේ ප්‍රකාශ දෙක ම සසඳා බලන විට මංගලට වඩා පරිණත දේශපාලන බුද්ධියක් අපේ ගමේ ගයන්ත කරුණාතිලක උන්නැහේට ඇති බව පැහැදිළි වෙයි. එය අපටත් ආඩම්බරයකි.

Sunday, September 5, 2010

ව්‍යවස්ථාවෙන් සීමා පැනවිය යුත්තේ දිනන්නාට ද? පරදින්නාට ද?

ජේ.ආර්.ගේ ව්‍යවස්ථාව මරේ මරු එකකි. ජනාධිපතිවරණයක දී දිනන අපෙක්ෂකයාට, එනම් ජනතා කැමැත්ත ලබන්නාට සීමා පනවා තිබේ. එනම් ඔහු කෙතරම් හොඳින් රට පාලනය කළත් ජනතා ආශීර්වාදය තිබුණත් දෙවරක දී ගෙදර යා යුතුම ය. ‍3 වන වර ඔහුට ජන වරමක් ඉල්ලිය නොහැකි ය.ජනතා කැමැත්ත ප්‍රජාතන්ත්‍රවාදය නම් මෙහි ඇති ප්‍රජාතන්ත්‍රවාදය කුමක් දැයි ව්‍යවස්ථා සංශෝධනයට එරෙහි ව උඩු බුරන්නන් අපට කියා දෙන්නේ නැත.

එහෙත් ජනාධිපතිවරණයක දී පරදින්නාට සිය වරක් වුව යළි ඉල්ලිය හැකි ය. ඔහුට නීතියෙන් කිසිම බාධාවක් නැත. සැබවින් ම කළ යුතු වන්නේ ජනාධිපතිවරණයක දී 2 වරක් පරදින්නකුට යළි ඊට ඉදිරිපත් විය නොහැකි යැයි නීති පැනවීම ය. 5 වසර ශිෂ්‍යත්ව විභාගයට පෙනී සිටිය හැක්කේ වරකි. සරසවියට පිවිසීමට අපට උස්ස පෙළ සඳහා පෙනී සිටිය හැක්කේ 3 වරකි. පරිපාලන සේවා විභාගයට පෙනී සිටිය හැක්කේ 2 වරකි. එහෙත් සමස්ත රට පාලනය කරන ප්‍රධාන තනතුරට වරක් දෙවරක් නොව සිය වරක් ඡන්දය ඉල්ලා පැරදුන ද නැවත ඡන්දය ඉල්ලිය හැකි ය. මේ වූ කලී ජනතා පරමාධිපත්‍ය අන්තිම බිංදුවට හෑල්ලු කිරීමකි. අදාළ තනතුරු ද හාස්‍යයට ලක් කිරීමකි. රටේ උසස් පරිපාලන තනතුරුවලට යාමට ඇති විභාගවලට සීමා පනවා ජනාධිපතිවීමට කිසිදු සීමාවක් නොපැනවීම කවර නම් විහිළුවක් ද?

අද එජාපය නැති භංගස්ථාන වී විනාශ වී ඇත්තේ මේ නිසා නොවෙද? රටේ විශාලතම දේශපාලන පක්ෂය වූ එජාපය අද කොරෙහේ නෑවිය හැකි තත්වයට ඇද වැටී තිබේ. එහි සදාතනික නායක රනිල් වික්‍රමසිංහ උතුමාට පක්ෂ නායකයා ලෙස මැරෙන තුරු ජනපති ධූරයට තරග කළ හැකි ය.

සැබවින් ම රටේ ප්‍රජාතන්ත්‍රවාදයත් පක්ෂවල ප්‍රජාතන්ත්‍රවාදයත් ආරක්ෂා කිරීමට අවංක උවමනාවක් ඇති අය කළ යුත්තේ දිනන අපේක්ෂකයාට පනවා ඇති සීමා ඉවත් කිරීමට කටයුතු කිරීම පමණක් නො ව පරදින්නාට යම් සීමාවක් පැනවීම ය. ජනතා පරමාධිපත්‍ය ආරක්ෂා කළ හැක්කේ එසේ ය.

Saturday, September 4, 2010

බ්ලොග්කරුවෝ ආණ්ඩුව පෙරළති!

72 ප්‍රථම ජනරජ ව්‍යවස්ථාව යටතේ ධර්මිෂ්ට සමාජයක් තැනීම උදෙසා ජන වරමක් ඉල්ලු ජේ.ආර්. උතුමාට ජනතාව 6/5ක බලයක් ලබා දුන්නේ ය. ඒ උතුමා ධර්මිෂ්ට සමාජය හැදීමේ ප්‍රථම පියවර ලෙස සිය මන්ත්‍රීවරුන්ගෙන් දින රහිත ඉල්ලා අස්වීමේ ලිපි රැගෙන සාක්කුවේ දමා ගත්තේ ය. (ඒ 72 අගමැතිගේ බලයේ තරම ය. ගාමිණි දිසානායක, ලලිත් ඇතුලත්මුදලි වැනි සද්දන්ත අලි ද සිය ඉල්ලා අස්වීමේ ලිපි භාර දුන්හ. )

අනතුරුව විධායක ජනාධිපති ධූරයක් සහිත 78 ව්‍යවස්ථාව තනා ජන මතය නොවිමසා ධර්මිෂ්ට සමාජ ජනවරමින් ජනාධිපති විය. එවකට 72 හැවිරිදි ඒ උතුමා තමාගේ නාඩි වැටෙන තුරු ධූරයේ සිටීමට හැකි වන පරිදි එනම් අවුරුදු 84ක් වන තුරු ජනාධිපති වීමට හැකි වන පරිදි ජනාධිපති ධූරය වසර 12ට සීමා කළේ ය. එහෙත් අන්තිම කාලය ළං වන විට තව කාලයක් ධූරයේ සිටීමට උතුමාට අවශ්‍ය වුව ද ප්‍රේමදාස ඒ වන විට පක්ෂයේ බලවත් වී සිටීම නිසා අදාළ සංශෝධනය කරගත නොහැකි විය. චන්ද්‍රිකාට ද ධූරයේ රැඳී සිටීමට සිතුණ ද ඒ වන විට ඇය ද අන්තයට පිරිහී ගොස් තිබිණි.

එහෙත් විධායක ජනාධිපති ධූරය දැරූ කිසිවෙකුට කළ නොහැකි වූ ත්‍රස්තවාදය කෙළවර කිරීමට මහින්දට හැකි විය. ඊට එරෙහිව නැගුණු ජාත්‍යන්තර බලපෑම් හමුවේ කෙළින් සිට දැඩි තීරණ ගත හැකි වූයේ විධායක ජනපතිකම නිසා ය. එතෙක් කල් වඳුරන් අත දැලි පිහියක් වූ විධායකය නියම සුදුස්සා අතට ගියේ මෙවර ය. එහෙයින් මෙතෙක් කල් දැලි පිහිය මොට කළ යුතු යැයි කී අප දැන් ඒ දැලි පිහිය සුදුස්සකු අතට පත් කළ යුතු යැයි කියමු. එහි ධූර කාල සීමා ඉවත් කිරීමට පක්ෂ වන්නෙමු. අනාගතයේ නැවත මේ ධූරය වඳුරකු අතට පත්වීමේ අවධානමක් ඇති හෙයින් මේ පාර්ලිමේන්තු කාලය අවසන් වීමට පෙර ජනපති ධූරයේ කාල සීමාව වසර 4ට සීමා කිරීමේ සංශෝධනයක් ද ගෙන ආ යුතු යැයි කියමු. එවිට තම නායකයා වසර 4න් 4 පරික්ෂා කිරීමට ජනතාවට හැකි වෙයි. එය වසර 12දී 3 වරක් කළ හැකි වෙයි.

කෙසේ වුව ද ජවිපෙ, එජාපය, රාමචන්ද්‍ර, පුලස්ති, DAMROX, Kandula (කණ්ඩුල), sapumal, බියොන්ඩ් ෆ්‍රේම්, බුමුතුරුණු වැනි මහා අදීන ජන මාධ්‍යවේදීන් සයිබර් අවකාශයේ පාවෙමින් ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් දිවි හිමියෙන් කරන සටන නිසා ආණ්ඩුව පෙරලි යාමට ද ඉඩ තිබේ.
 
සිය රට දේ සිරි සැප දේ !