Wednesday, December 31, 2008

එතුමාගේ හදවත ගලක්ද?

ඔන්න හැමෝට ම සුබ නව වසරක් වේවා! කියලා රාල පැතුවා. ජනපති, අගමැති, විපක්ෂ නායක සහ තවත් අයගේ විවිධ පැතුම් මාධ්‍ය ඔස්සේ ගලා ආවා. 2009 වසර සිංහල දෙමළ මුස්ලිම් හෝ උතුරු දකුණු බේධයකින් තොරව හැමෝට ම නිදහසේ ජීවත් විය හැකි පරිසරයක් මගේ රටේ උදාවේවායි මමත් පතනවා. ඒ කොහොම වුණත් ජනාධිපතිතුමා අපේ මැති ඇමතිවරුන්ට දීපු අවුරුදු තෑග්ග ගැන නම් මම විරෝධය පළ කරනවා. මෙහෙම ගියොත් 2010 වෙද්දි අපේ අහිංසක දුප්පත් ඇමතිවරු හිඟමනට වැටෙයි. නැද්ද මං අහන්නේ? අනේ අම්මපා!?!

ඩීසල්, පෙට්‍රල්, භුමිතෙල්, ගෑස් යනාදියෙහි මිල අඩු වී තිබේ. ත්‍රිරෝද රථ සඳහා දිනකට පෙට්‍රල් ලීටර 4 ක් ලීටරයක් රුපියල් 100 බැගින් නිකුත් කිරීමට ආණ්ඩුව තීරණය කර තිබේ. ගෑස් මිල, ඩීසල් මිල අඩු කිරීම යනාදිය සමාජයට කෙළින්ම බලපාන කාරණා ය. ගිය අවුරුද්දේ නොවැම්බර් අග වන විට ශ්‍රී ලංකාවේ තිබු (අදටත් තිබෙන) ත්‍රිරෝද රථ සංඛ්‍යාව හාර ලකෂ පනස් දහසක් විය. එනම්, ත්‍රිරෝද රථ නිසා පවුල් හාරලකෂ පනස් දහසක් ජීවත් වෙති. එක පවුලක පස් දෙනෙක් සිටියා සේ ගණන් ගතහොත්, ත්‍රිරෝද රථ නිසා ජීවත් වන මුළු ජන ප්‍රමාණය විසි ලකෂයකි. තේ, රබර්, කුරුඳු යනාදියේ අපනයන බදු ඉවත් කර, ඇමැතිවරුන්ගේ ගෙවල් කුලී දීමනාව 50% කින් කපා දමා ජනපතිගේ සහ අගමැතිගේ දීමනා 15% කින් අඩු කර තිබේ. එසේම ඇමැතිවරුන්ගේ සහ විපකෂ නායකවරයාගේ දීමනා 10% කින් කපා දමා තිබේ. (මෙය නම් පිකටිං කිරීමට සුදුසු කාරණයකි). ඇමැතිවරුන්ගේ දීමනා 10% ක් කැපීමෙන් එතුමන් ලා හිඟමනට පත්වීම වැළැක්විය යුතු ය. ජනාධිපති හා අගමැති යනාදීන්ගේ දීමනා කැපීම ආර්ථිකයට දැනෙන තීරණාත්මක සාධකයක් නොවුවත් ආදර්ශවත් පියවරකි. ඇමැතිවරුන්ගේ ගෙවල් කුලී දීමනා 50% කින් කැපීමෙන් ඔවුන් පත්වන අසීරුව අපගේ හදවත පැලෙන තරමට වේදනා ගෙන දෙයි. දැන් මේ දුප්පත් මිනිසුන් ගෙවල් කුලීකාරයාගෙන් බේරෙන්නේ කොහොමද? ඇමැතිවරුන් වැඩි හරියකට කොළඹ පෞද්ගලික දේපළක් ලෙස නිවසක් හෝ නිවෙස් දෙකක් තිබේ. එය කුලියට දෙන ඔවුහු ආණ්ඩුවේ ගෙවල් කුලී දීමනාවෙන් ගෙයක් කුලියට ගනිති. සමහරවිට මේ ගෙදරක මාසික කුලිය රුපියල් ලකෂයකි. කොළඹ සිටින හැම ඇමැතියකුගේම නිවස වායු සමීකරණය කර ඇත. ඉතාම ප්‍රගතිශීලී මන්ත්‍රීවරු පවා වායු සමීකරණයේ සුවය විඳිති. ඒ අනුව ඔවුන්ගේ ගෙවල් කුලිය 50% ක් කැපීමෙන් ජනාධිපතිවරයා ඉතා නපුරු ලෙස කටයුතු කර ඇත. දැන් ඉතින් මේ සැප ඇඟවල්වලට යන කල දසාව කුමක්ද? ඒ. සී. නැති ලාබ ගෙවල්වල ගත කිරීමට සිදුවන කාලකන්නි ජීවිත නිසා අපගේ ඇමැතිවරුන්ට සංසාරය එපා වෙනවා ඇත.

ලාෆ් ගෑස් මිල රුපියල් 276 කින් ද ෂෙල් ගෑස් මිල රුපියල් 166 කින්ද අඩු කර තිබීම මෙය ගෙවල්වලට මිස හෝටල්වලට කිසිසේත් ම නො දැනෙනවා ඇත. මේ රටේ ගෑස් සිලින්ඩරයක් රුපියල් 50 කින් ඉහළ ගිය විට හෝටල්කාරයා ආප්පයක මිල රුපියලකින් ද තේ කෝප්පයක මිල රුපියලකින්ද නග්ගයි. ගෑස් සිලින්ඩරයකින් ආප්ප 1000 ක් සෑදිය හැකි අතර හෝටල්කාරයා රුපියල් පනහේ මිල වැඩිවීමෙන් රුපියල් 1000 ක් ලාබ ලබයි. තේ පිළිබඳ තත්ත්වය ද මෙයමයි. බස් ගාස්තු හා ත්‍රිරෝද රථ පිළිබඳ තත්ත්වය ද මෙයමයි. රජය විසින් කරන මිල පහළ දැමීම්වල සහනය පාරිභෝගිකයා වෙත ගලා යෑම එක්තරා කඩඉමකදී නවතී. පෙට්‍රල් මිල අඩු වු විට ප්‍රවාහන ගාස්තු අඩු කිරීමට අකැමැති වන ත්‍රිරෝද රථ හිමියා සහ බස් හිමියා කියන්නේ ටයර් මිල ඉහළ ගොස් ඇති බව ය. ටයර් දිනපතා මාරු කරනු නො ලැබේ. ත්‍රිරෝද රථයක ටයරයක් මාස 6 කට වඩා පාවිච්චි කළ හැකි ය. ඩීසල් මිල අඩු වීමෙන් ප්‍රවාහන වියදම් අඩු වුවද ඒ ලොරිවල ප්‍රවාහනය කරන බඩු මිල අඩු වන්නේ නැත. බඩු මිල සම්බන්ධයෙන් වෙළෙඳ ඇමැතිවරයා කියන හැම දෙයක්ම වරදී. එතුමා සිමෙන්ති අඩු කරන බව කීව ද එසේ වී නැත. එය එතුමාගේ වරද නොව පවතින ක්‍රමයේ වරදයි. අප කියන්නේ ඉහත සඳහන් සහන වලින් බඩු මිල පහත යෑමට වෙළෙඳුන් ඉඩ නොදෙන විට බලහත්කාරයෙන් එය කළ හැකි යාන්ත්‍රණයක් ඇති කළ යුතු බව ය. කෙසේ වුවද ඇමැතිවරුන්ගේ ගෙවල් කුලී දීමනාව 50% කින් බස්සා ජනාධිපතිවරයා කළ නපුරු කම අමතක කළ නොහැකි බව යළි කියමු. එතුමාගේ හදවත ගලක් ද?
(දිවයින-09/01/01)

Tuesday, December 30, 2008

විපක්ෂ නායකට මුඛවාඩමක් අවශ්‍යය යි !

මේ රටේ ත්‍රස්තවාදය ඔඩු දුවා විශාල ප්‍රශ්නයක් වීම කෙරෙහි රට පාලනය කළ සියලු දෙනා වගකිව යුතු බව රාලගේ මතයයි. ආණ්ඩු පක්ෂය ඊට විසඳම් දෙන විට විරුද්ධ පක්ෂය එහි නැති අඩපාඩු පෙන්වමින් විරුද්ධ වීම මෙරට සම්ප්‍රදායයි. විරුද්ධ පක්ෂය ආණ්ඩුව කරන සියල්ලට විරුද්ධ විය යුතුය යන දුප්පත් මානසිකත්වයේ මෙරට සියලු විපක්ෂ පෙළුණි. අද ද එසේ ය. 9/11 ප්‍රහාරයේ දී ඇමරිකානු විපක්ෂය මෙන් ම නොබෝ දා මුම්බායි ප්‍රහාරයේ දී ඉන්දිය විපක්ෂය ක්‍රියා කළ අයුරු ප්‍රශංසනීය වේ. එහෙත් අප ඒවා ආදර්ශයට ගත යුතු නැත. එසේ ආදර්ශයට ගත්තේ නම් රනිල් අද මෙතැන නැත. අනෙක් බොහෝ අය ද නැත. රාල මේ කතුවැකිය පළ කරන්නේ හැමදාම මේ රටේ විපක්ෂ නායකයින් කළ දෑ සිහිපත් කරනට ය. ඔහුට අවශ්‍ය රට නොව අම්මා අප්පා වුව බිල්ලට දී පර්චස් භාගයක හෝ ජනපති වීමට ය. රනිල්ට විතරක් ඒ උරුමය අමකත කළ හැකි ද? එසේ කරන්ටැයි කීම හරි ද? "ඔවා දෙනු පරහට තමා සම්මතෙහි පිහිටා සිට" කීවේ කට කහනවාට නොවේ.

ජනාධිපති ජෝර්ජ් ඩබ්ලිව්. බුෂ් මහතා වරක් මෙසේ කියා තිබේ. ‘ත‍්‍රස්තවාදය පරාජය කිරීමට නම් දැඩි අවධානයකින් පසු විය යුතු ය. අධිෂ්ඨානයෙන් යුතු ව කි‍්‍රයාත්මක විය යුතු ය.

ත‍්‍රස්ත ප‍්‍රහාර හෙළා දැකීම පමණක් නො ව අප ගේ තොරතුරු ත‍්‍රස්තවාදියා ට නො දී සිටීමට ද අප වග බලා ගත යුතු ය’ ත‍්‍රස්තවාදයෙන් හොඳට ම පාඩම් උගත් අමෙරිකාවේ රාජ්‍ය නායකයා එසේ කියන්නේ විහිළුවක ට නො වේ.

ත‍්‍රස්තවාදියා අප ගේ ශක්තිය මැන බැලීමට ත්, තොරතුරු විමර්ශනය කිරීමටත් තම කාලය, ශ‍්‍රමය හා ධනය වැය කරයි. එය ත‍්‍රස්තවාදියා ගේ අනාගත සැලැසුම් සඳහා අත්‍යවශ්‍ය වේ. මේ අතර අප ගේ ඇතැම් නායකයෝ ත‍්‍රස්තවාදියා ට නොමිලේ ම විස්තර සැපැයීම ට උත්සුක වෙති.

විපක්ෂ නායක රනිල් වික‍්‍රමසිංහ මහතා යුද්ධය ට සම්බන්ධ තොරතුරු ගැන ආණ්ඩුවෙන් විමසා සිටී. ඒ ප‍්‍රසිද්ධියේ ය. එතුමා ට ශ‍්‍රී ලංකා ගුවන් හමුදාව ගැන දැන ගන්නට වුවමනා කර තිබේ.

ගුවන් යානා කො පමණ ප‍්‍රමාණයක් තිබේ ද ? එම යානා වල ගෙන යා හැකි ගුවන් මගීන් ගේ ප‍්‍රමාණය කොපමණ ද ? අලුත්වැඩියා කළ ප‍්‍රහාරක යානා කොපමණක් තිබේ ද ? සමහර යානා අලුත්වැඩියා නො කරන්නේ මන් ද ? වැනි ප‍්‍රශ්න ගණනාවක් රනිල් වික‍්‍රමසිංහ මහතා විසින් විමසා තිබේ.

ත‍්‍රස්තවාදයට එරෙහි යුද්ධයක් පවතින රටක දේශපාලකයකු මෙබඳු මෝඩ ප‍්‍රශ්න විමසන අවස්ථාවක් අප ගේ මතකයට නො නැඟේ.

කිසිවකු කොටි සංවිධානයට තොරතුරු සපයන්නේ ද ඒ ගැන අප ට ඇත්තේ බලවත් අප‍්‍රසාදයෙකි. බලවත් විරෝධයෙකි. රටට ආදරයක් ඇති සියලු දෙනා එබඳු දුෂ්ඨ ප‍්‍රයෝග පිළිකුලෙන් යුතු ව ප‍්‍රතික්ෂේප කරනවා ට සැකයක් නැත.

එපමණකින් නො නැවතී සියලු දෙනා ඊට විරුද්ධ විය යුතුය යනු අප ගේ අවංක හැඟීම වේ. දැන් පෙනෙන හැටියට එජාප නායක රනිල් වික‍්‍රමසිංහ මහතා වේළුපිල්ලේ ප‍්‍රභාකරන් ප‍්‍රමුඛ කොටි සංවිධානයට තොරතුරු සැපැයීමක යෙදී සිටී. වික‍්‍රමසිංහ මහතා ප‍්‍රසිද්ධියේ විමසන සෑම ප‍්‍රශ්නයක් ම කොටි සංවිධානයට ඉතා වැදගත් ය. ඒ සියලු ප‍්‍රශ්න ප‍්‍රභාකරන් ගේ ප‍්‍රශ්න වනු ඇත.

ශ‍්‍රී ලංකාවේ ප‍්‍රධාන දේශපාලන ගැටලුව බෙදුම්වාදී කොටි ත‍්‍රස්තවාදය නම්; එය පිටුදැකීම සඳහා ප‍්‍රධාන පක්ෂ දෙක ම යම් කැපවීමක් කළ යුතු ය. එහෙත් දිගු කාලයක සිට ම එජාපය එය මඟ හරිමින් සිටී. විශේෂයෙන් රනිල් වික‍්‍රමසිංහ මහතා ගේ නායකත්වය යටතේ කොටි ත‍්‍රස්තවාදයට අහිතකර යමක් කිරීමට එජාපය පෙළැඹී නැත.

ත‍්‍රස්තවාදය විනාශ කරනු වෙනුවට ඊට පණ පෙවීමේ කි‍්‍රයාවලියක ඔව්හු නිරත ව සිටිති. රනිල් ආණ්ඩුව හා එල්. ටී. ටී. ඊ. සංවිධානය අස්සන් තැබූ සටන් විරාම ගිවිසුම ඊට කදිම සාක්ෂ්‍යය වේ. එම කාලයෙහි කොටි සංවිධානය සන්නද්ධ අංශයේ මෙන් අන්තර්ජාතික දේශපාලනය ඔස්සේ ද වඩාත් ශක්තිමත් විය. එහි භයානක ප‍්‍රතිඵල අප ගේ ජනතා ව අදත් භුක්ති විඳිති.

වික‍්‍රමසිංහ මහතා මෙහි දී යම් පෙ‍්‍රඩාවක් ද ගෙන යන බව පෙනෙයි. එනම්; රණවිරුවන් ගැන කවදාවත් නො වූ කරුණාවක් පෙරටු කොට යුද්ධය ගැන කතා කරන්නට පටන් ගැනීම ය.

ඔහු කිලිනොච්චි සටන්වල දී මිය යන ආරක්ෂක හමුදාවන්ගේ සංඛ්‍යා ලේඛන ඉල්ලා සිටී. ඒ ප‍්‍රසිද්ධ කිරීම සඳහා ය. සොල්දාදුවන් ගේ මරණ ගණන් කොට වික‍්‍රමසිංහ මහතා ට ප‍්‍රීතියක් ලැබිය හැකි දැ’ යි අප හරියට ම දන්නේ නැත.

එහෙත් ත‍්‍රස්තවාදයට එරෙහි ව කිසිදු බුද්ධිමත් තීන්දුවක් නො ගත් රනිල් වික‍්‍රමසිංහ වැනි නායකයකු සොල්දාදුවන් ගේ මරණ ගැන කියන විට දේශපෙ‍්‍ර්මී ජනතාව ගේ සිත්හි විශාල සැකයක් මතු වේ.

වික‍්‍රමසිංහ මහතා ත‍්‍රස්තවාදී කි‍්‍රයාපද්ධතියට එරෙහි යුද්ධයට අතීතයේ උදවු කෙළේ නැත. වර්තමානයේ උදවු කරන්නේ ද නැත. අනාගතයේ උදවු කරන්නේ යැයි උපකල්පනය කරන්නට ද පුළුවන්කමක් නැත.

ඉතා ඈත අතීතයේ පටන් ම අප ගේ ජාතිය මුහුණ දෙන බරපතළ දේශපාලන ගැටලුවක් තිබේ. එනම්; ඇතැම් නායකයන් විෂයයෙහි පවත්නා පාවාදීමේ ප‍්‍රතිපත්තිය යි හෙවත් කැත සිරිත ය.

ඉංග‍්‍රීසීන් මේ රට මුළුමනින් ම යටත්කර ගත්තේ ද එම කැත සිරිත නිසා ය. එදා ඇතැම් දුෂ්ඨ නායකයෝ තම පටු වුවමනාවන් ඉටු කර ගැනීම සඳහා ජාතික අරගලය පාවා දුන්හ.

එයින් නිදහස් සටන දියාරු වූ අතර අභීත නායකයනට හිස් ගැසුම් කන්නට සිදු විණි. ඒ වෙනුවට කුහක සිංහල නායකයනට සුද්දන් ගේ තාන්න - මාන්න ලැබිණි. අද තත්ත්වය ද ඊට වෙනස් නැත. අප ගේ ඇතැම් දුෂ්ඨ දේශපාලකයෝ කොටි සංවිධානයෙන් ද විවිධ අල්ලස් ලබා ගනිති.

ශ‍්‍රී ලංකාව දේශපාලනික වශයෙන් තීරණාත්මක අවස්ථාවකට එළැඹ තිබේ. ඒ පිළිබඳ විස්තර නැවත - නැවත කීමෙහි තේරුමක් නැත. දැන් අවශ්‍ය වන්නේ සාමූහික ප‍්‍රයත්නයෙකි.

කොටි සංවිධානය ගැන අති සරල ලෙස කල්පනා කිරීම ද වැරැදි ය. සිදුවිය යුත්තේ දේශපෙ‍්‍ර්මීන් ශක්තිමත් ව පෙළගැසී ත‍්‍රස්තවාදයට එරෙහි ව දැවැන්ත ප‍්‍රහාරයක් එල්ල කිරීම ය. කොයි හැටි වුව මේ සටනේ ජයග‍්‍රහණය සැමැරිය යුත්තේ අප ගේ වීරෝදාර හමුදාවන් සමඟ ය. ඒ දිනය වැඩි ඈතක නො විය යුතු ය.

ශ‍්‍රී ලංකාව, ඉන්දියාව, පාකිස්ථානය, ඇෆ්ගනිස්ථානය, ත‍්‍රස්තවාදයේ හොඳට ම බැට කන දකුණු ආසියාවේ රටවල් ය. මේ කලාපයේ ත‍්‍රස්තවාදය මරා දැමීම සඳහා විවිධ වැඩසටහන් කි‍්‍රයාත්මක විය.

සමහරක් සාර්ථක ය, තවත් දේ අසාර්ථක ය. කෙසේ වුව ශ‍්‍රී ලංකාවේ ත‍්‍රස්තවාදය පරාජය කිරීමේ පළමු පියවර විය යුත්තේ විපක්ෂ නායකතුමා ගේ කටට සුළු කාලයකට හෝ මුඛවාඩමක් බැඳීම ය.

Monday, December 29, 2008

ගාසා තීරය ඉකි බිඳියි !

ඊශ්‍රායලය අපේ මිතුරු රටකි. මිතුරා තබා දෙවියන්නාන්සේ වුණත් කළේ වරදක් නම් එය පෙන්වා දෙන්ට හෝ ඊට විරුද්ධව නැඟී සිටින්ට රාල පසුබට වන්නේ නැත. ඒ නිසාමයි ඔවුන්ගේ ම්ලේච්ඡ පලස්තීන ආක්‍රමණය රාල හෙළා දකින්නේ. ඊශ්‍රායලය කියා රටක් 1949 පෙර ලෝක සිතියමේ තිබුණේ නැත. එය නිර්මාණය කළේ ඇමරිකාව විසිනි. දැන් ඒ බිම එහි සැබෑ උරුමකරුවන්ට අහිමි වී ඇත. මරණය හිමි වී ඇත.

වසර 30ක් පමණ විවිධ කුමන්ත්‍රණකාරයෝ මේ ඉරණම අපට ද උරුම කරන්ට කොටි ත්‍රස්තවාදයට කිරි පෙවූහ. එහෙත් ඒ මහා ශාපයෙන් අපේ මව් බිම රණ විරුවෝ නිදහස් කරගනිමින් සිටිති. ඔන්න ඒ රණවිරුවන්ට රාලගේ උත්තමාචාරය පිදුවා! දැන් දිගට ම කියවන්නකෝ.

නුතන ලෝකයේ දීර්ඝ ම හා ම්ලේච්ඡ ම සටන ඇත්තේ පලස්තීනයෙහි ය. මුළු මැදපෙරදිග පුරා උණු කඳුළු ගලා යනු දක්නට ලැබේ.

තම උපන් බිම රැක ගැනීම සඳහා කැටපෝලයක් හෝ ගල්කැටයක් හෝ රැගෙන ගාසා තීරයේ තම නිවාස මුර කරන පලස්තීන තරුණයන් ද, ඔවුනට එරෙහි ව බරැති බෝම්බ හෙළන ආක‍්‍රමණිකයන් ද අප ට මේ සටන් බිමෙහි දී මුණ ගැසේ. මේ වන විට පලස්තීනය යනුවෙන් නිශ්චිත භූගෝලීය කලාපයක් නැති තරමට ම ආක‍්‍රමණය වේගවත් ය.

අරාබි ජාතිකයන් ගේ ශුද්ධභූමිය පමණක් නො ව ඔවුන් ගේ උපන් බිම ඇතුළු අනෙකුත් සම්පත් ද කොල්ල කෑමට ලක් විණි. සටන් – විරාම, සාම ගිවිසුම් යන සියල්ල අහෝසි වී ඇත. ඉතිරි ව ඇත්තේ විනාශය පමණි.

පලස්තීනය යළිදු ගිනි ගොඩක් බවට පත්ව තිබේ. ඊශ‍්‍රායලයේ ආරක්ෂක අමාත්‍ය එහුඩ් බරක්ගේ නියෝගය මත පසුගිය 27 දා බරපතළ ගුවන් ප‍්‍රහාරයක් ගාසා තීරයට එල්ල විණි.

ප‍්‍රහාරක යානා 60 ක් උපයෝගී කර ගනිමින් බෝම්බ හෙළා ඇති බව වාර්තා වේ. 280 ගණන ක් මිය ගොස් හත්සිය ගණනක ට බරපතළ තුවාල සිදු ව තිබේ.

මේ සියලු දෙනා අහිංසක පලස්තීනුවන් බව ආරංචි මාර්ග සඳහන් කරයි. තමන්ගේ මවුබිම ආක‍්‍රමණය කළ පිරිස් පෙර ළා ස්වදේශිකයනට ම පහර දෙත් නම් එහි ඇති සාධාරණත්වය කුමක් ද ? ලෝක බලවතුන් මේ ගැන නිහඬ ප‍්‍රතිපත්තියක් අනුගමනය කරන්නේ මන් ද ?.

පලස්තීන ප‍්‍රශ්නය පැන නගින්නේ 7 වැනි සියවසේ සිට යැයි අපි විශ්වාස කරමු.

ඊට අදාළ ප‍්‍රධාන සාධකය වන්නේ යුදෙව් ජාතිකයන් පලස්තීනය ආක‍්‍රමණය කිරීම ය. පලස්තීනය යනු අරාබි ජාතිකයන්ගේ හෙවත් ඉස්ලාම් භක්තිකයන්ගේ ශුද්ධ භූමියට අයත් ප‍්‍රදේශයකි. 7 වැනි සියවසේ සිට මේ භූමිය ආක‍්‍රමණය කරන්නට යුදෙව්වෝ පෙළඹී සිටිති.

මේ සම්බන්ධ නඩු විභාගයක් කළහොත් ප‍්‍රධාන සැකකරුවෝ දෙදෙනෙක් අධිකරණය ඉදිරියට ගෙන ආ යුතු ය. පළමු වැන්නා අමෙරිකාවේ ජීවත් වූ යුදෙව් ජාතික ධනවත් ව්‍යාපාරකයකු වූ බැරන් රොන්ස්වයිඩ් ය. ඔහු යුදෙව් ජාතිකයන් ඒකරාශී කොට පලස්තීනය ඔවුන්ගේ ජනපදයක් හැටියට පත් කිරීමට කටයුතු කෙළේය.

ඒ සඳහා අප‍්‍රමාණ ප‍්‍රාග්ධනයක් ද වැය කෙළේය. දෙවැනි චූදිතයා වන්නේ පත‍්‍රකලාවේදියකු වන ටියුඩෝර් හාර්සල් ය. ඔහු රුසියාවේ පෝලන්තයේ ප‍්‍රංසයේ ජර්මනියේ යුදෙව් ජාතිකයන් ඒකරාශී කොට 1897 දී ස්විස්ටර්ලන්තයේ බාල් නගරයේ යුදෙවන්ගේ සම්මන්ත‍්‍රණයක් පැවැත්වී ය.

නූතන පලස්තීන ගැටුමේ ආරම්භය එය යැයි සමහරු කියති. එවක් පටන් ලොව පුරා විසිරී සිටි යුදෙව් ජාතිකයෝ පලස්තීනය ආක‍්‍රමණය කිරීම සඳහා පෙළ ගැසෙන්නට පටන් ගත්හ. 1882 රිෂෝන් ලේසයන් ජනපදය පලස්තීනයේ ඉදි වන්නේ ද එහි එක් ප‍්‍රතිඵලයක් ලෙස ය.

මේ තත්ත්වය ව්‍යාප්ත කිරීම සඳහා සියොන්වාදය විශාල පිටුබලයක් ලබා දුන්නේ ය. 1881 පලස්තීනයට කඩා වැදුණු යුදෙව් වන්ගේ ගණන 25,000 කි. 1914 වන විට යුදෙව්වන්ගේ කඩා වැදීම 80,000 දක්වා ව්‍යාප්ත වී තිබිණි.

මෙහිලා තේරුම් ගත යුතු එක් සාධකයක් තිබේ. එනම් බලහත්කාරය හා යුද ශක්තිය මේ වන විට පලස්තීනය නමැති පැරැණි අරාබි රාජ්‍ය මුළුමනින් ම ආක‍්‍රමණය කර ඇති බව ය. ගෝලීය ත‍්‍රස්තවාදය ගැන කතා කරන මහා බි‍්‍රතාන්‍ය මෙන් ම අමෙරිකාව ද මීට විසඳුමක් ලබා දිය යුතු ය.

පලස්තීන ගැටුම පිටුපස සිටින එක් රාජ්‍යයක් වන්නේ මහා බි‍්‍රතාන්‍යය යි. බි‍්‍රතාන්‍යයේ දේශපාලකයෝ යුදෙව් සංස්කෘතිය වැරැදි ලෙස වටහා ගනිමින් පලස්තීනයට බොහෝ අසාධාරණකම් කර තිබේ.

ඔවුන්ගේ ඇතැම් ගිවිසුම් මගින් පලස්තීනුවන්ට අසාධාරණකම් සිදු වී තිබේ. නූතන ඊශ‍්‍රායලය ගොඩනැගීම සඳහා මෙන් ම ඔවුනට යුද ශක්තිය ලබාදීම සම්බන්ධයෙන් ද වගකිව යුතු බලධරයා වන්නේ අමෙරිකා එක්සත් ජනපදය යි. එය මෝෂේ දයාන්ගේ කාලයේ පටන් පැවත එන සත්‍යයකි.

ඊශ‍්‍රායලය නම් යුදෙව් රාජ්‍යයක් අතීතයේ නො තිබිණි. පෝලන්තයේ, රුසියාවේ, ප‍්‍රංසයේ හා ජර්මනියේ වාසය කළ යුදෙව් ජාතිකයන් ඒකරාශී කොට ඔවුන ට ස්වාධීන රාජ්‍යයක් ඇතිකරදීමට සහාය දුන් ජාතිකයෝ බටහිරයෝ වෙති. ඔව්හු පලස්තීන ගැටුම වර්ධනය කළා පමණක් නො ව අරාබි ලෝකය ට අභියෝගයක් ද එල්ල කළ හ. එහි ප‍්‍රතිඵලය ඉතා භයානක වේ.

පලස්තීනයට පහරදීම කිසි ලෙසකින් වත් අනුමත කළ නො හැකි ය. එය ලෝකයේ සදාචාරවත් දේශපාලනයට නො ගැළපෙන ත‍්‍රස්තවාදී කි‍්‍රයාවක් ලෙස සලකන්නට අපට සිදු වේ.

ශ‍්‍රී ලංකාවේ ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අතීතයේ පටන් ම පලස්තීන ප‍්‍රශ්නය ගැන කතා කළ සහ ඊට අදාළ ආක‍්‍රමණයන් සම්බන්ධයෙන් විරෝධතාව දැක් වූ දේශපාලනඥයෙකි. ශ‍්‍රී ලංකාව හා පලස්තීනය අතරත් ශ‍්‍රී ලංකාව හා අරාබි ලෝකය අතරත් සමීප සම්බන්ධතාවක් පවතී. මේ මොහොතේ අපි සියලු දෙනා ම එක් වී පලස්තීන ආක‍්‍රමණය හෙළා දැකිය යුතු වෙමු. (දිනමිණ 08/12/30)

Monday, December 22, 2008

කොළඹ ගෙදර

ආණ්ඩුවේ මැති ඇමතිවරු ජනතාව ගැනත් හිතන බව පේන දුලබ පුවතක් මේක. රාලගේ හිතේ නම් මේ ගැන කහටක් නැතුවම නෙවෙයි. ඒකත් අර ජේ.ආර්. උතුමගේ ශ්‍රී ජයවර්ධනපුර කෙරුවාව වගේ වෙයි ද කියලයි මට. එහෙම නොවේවා කියලත් ඔන්න රාල පැතුවා! දැන් කියවලා බලමුකෝ ...

කොළඹ ගෙදර

ශ්‍රී ලංකාවේ කාර්ය බහුලම වෙළෙඳ නගරය පමණක් නොව, බොහෝ යස ඉසුරු, නවීන තාක්ෂණ පහසුකම්, විනෝදාස්වාදන මාර්ග, සෞඛ්‍ය පහසුකම්, සුපිරි පාසල්, සුපිරි ගොඩනැගිලි ආදී සියල්ල සපිරි නොනිදන නගරය කොළඹ බව පැවසීම අතිශයෝක්තියක් නොවේ. මේ සියල්ලටම අමතරව, දුෂණ, භීෂණ, වංචා පිළිබඳවද කොළඹ නගරයට හිමිවන්නේ කුප්‍රකට කීර්තියකි.

කොළඹට කිරි : ගමට කැකිරි යන්න නිර්මාණය වී ඇත්තේද කොළඹ නගරය විසින් අත්පත් කර ගන්නා ලද ඒ සුවිශේෂත්වය නිසාමය. කලකට පෙර කොළඹ පාර්ලිමේන්තුව සමඟ රජයේ ඇතැම් ගොඩනැගිලි ද ඇතුලු සමහර දේවල්ද කෝටිටේ ප්‍රදේශයට රැගෙන ගියේ ශ්‍රී ලංකාවේ අගනුවර කොළඹ නොව ශ්‍රී ජයවර්ධනපුරය ලෙස යළි අභිෂේක කරමින් ය. එහෙත් ශ්‍රී ජයවර්ධනපුරය ජේ. ආර්. ජයවර්ධන යුගයේ දේශපාලන ව්‍යාපෘතියක් විනා, කොළඹ නගරයට විකල්පයක් නොවු වග අමුතුවෙන් කිව යුතු නොවේ.

කෙසේ හෝ ඒ කොළඹ නගරයේ ප්‍රථම වරට, මේ රටේ සිව් දෙසින් එන හුදී ජනතාව සඳහා විශේෂ ව්‍යාපෘතියක් ආරම්භ කිරීමට මහින්ද රාජපකෂ රජයේ ප්‍රවාහන ඇමැති ඩලස් අලහප්පෙරුම මහතා ඉදිරිපත්ව සිටීම අපේ කොළඹ කතාවට පදනම විය.

කොළඹට එන මගී ජනතාව සඳහා අංගසම්පුර්ණ හා සුරක්ෂිත නිවහනක් ඉදිකිරීමට ප්‍රවාහන ඇමැතිවරයා පෙළඹී ඇත්තේ ජනාධිපතිවරයාගේ ද මැදිහත්වීමෙන් බව ද පැවසෙයි. මේ නිවහන ශ්‍රී ලංකා දුම්රිය සේවයට නවතම බලවේග කට්ටල සැපයු හුබෙයි (චීන සමාගමේ තිළිණයක් බව ද කියති.)

ඉකුත් 21 වන ඉරුදින (ඊයේ) මේ නිවහනට මුල්ගල් තැබීමට ආරාධනා කර තිබුණේද මෙරට ජනමාධ්‍ය ප්‍රධානීන් පිරිසකට වීම ද විශේෂ කරුණකි. එය ප්‍රවාහන ඇමැතිවරයා ද මෙයට පෙර සම්බන්ධව සිටි වෘත්තීය මාධ්‍ය ජීවිතයටත්, මාධ්‍ය සගයින්ටත් කළ ගෞරවයක් වැන්න.

ඈත ගම්දොර සිට කොළඹට එන බොහෝ දෙනෙකු රාත්‍රියට නවාතැන් ගන්නා පොදු ස්ථාන බවට පත්ව තිබෙන්නේ කොටුව දුම්රිය ස්ථානය හෝ මධ්‍යම බස් නැවතුම්පොල හෝ වෙනත් පදික වේදිකාවන් ය. පත්තර කඩදාසියක් බිම එලාගෙන ගෙවන ඒ රාත්‍රිය ඇතැම් විට වෙනත් අනතුරුවලින්ද පිරී ගිය ත්‍රාසජනක අත්දැකීම් ද බොහෝ මගීන්ට ලබා දී තිබෙන බව ද රහසක් නොවේ.

කොළඹ යනු නොදන්නා ගැමියන් තබා කොළඹ සිටින කාක්කන්ද නන්නත්තාර කරවන නගරයකි. එවන් නගරයක ඈත ගම්දොරින් එන මගියකුට තිබෙන රැකවරණය කුමක් ද? ප්‍රවාහන ඇමැතිවරයා සඳහන් කළ පරිදි කොළඹ කන්තෝරුවල කාර්යක්ෂම සේවය පිළිබඳව කවුරුත් හොඳින් දනිති. බොහෝ කර්යාලවල සේවකයන්ගේ කාරුණිකභාවයද ඊට නොදෙවෙනි ය.

මේ තතු යටතේ කොළඹට එන සාමාන්‍ය මිනිසාට සිදුවන අතවර බොහෝ ය. සුපිරි හෝටල්වලට යෑමට තබා ගෝනිවලින් වටවු ලොජ් එකකට යෑමට තරම්වත් වත්කමක් නැති අය ඔවුන් අතර බොහෝය. කොළඹ අවට නෑයෙක්, හිතවතෙක් නොමැති ඔවුන්ට හිමිවන්නේ සීතල පොළොව හෝ වෙනත් අගුවකි.

ප්‍රවාහන ඇමැතිවරයාගේ මෙකී සද්කාර්ය ඒ පීඩිත මගී ජනතාවට කෙබඳු සහනයක්දැයි කිව යුතු නැත. කොළඹට පැමිණ නන්නත්තාරවීම වෙනුවට සිත් සේ රුය ගෙවා යෑමට තරම් සුදුසු නවාතැනක් ඔවුන්ට හිමිවේ. කොටින්ම ඔවුන්ට කොළඹින් ගෙදරක් ලැබෙයි.

මෙහිදී කිවයුතු තවත් දෙයක් ද වේ. එනම් මුල්ගල් තැබීම අතින් අපට හිමි වී තිබෙන වාර්තා ගැනය. වාසනාවකට මෙන් මුල්ගල් පැල නොවේ. එසේ පැල නොවුනු මුල් ගල් අදටත් මේ රටේ බොහෝ තැන්වල අපට දැක ගත හැකිය.

මේ රටෙි මුල්ගල්වලට අත්වන ඉරණම ගැන ප්‍රවාහන ඇමැතිවරයා තවත් සාක්ෂියක් ද ඉදිරිපත් කළේය. ඒ කලකට පෙර වත්මන් ජනාධිපතිවරයා විසින් ඇස් රෝහල යාබද ඉඩමක තබන ලද මුල්ගලකි. මුල්ගල තැබුවේ වැඩ කරන ජනතාව සඳහා වෙනම රෝහලක් තැනීමටය. එහෙත් ඒ මුල්ගල වසාගෙන ව්‍යාපාරික ආයතනයක් ඉදිවිය.

මේ මුල්ගලට එබඳු ඉරණමක් අත්වේ යැයි අපි කිසිසේත් නොසිතමු. පොදු ජනාතවට උරුම වු පොදු ප්‍රවාහනය වල් වැදී වැනසී ගිය රටක එය යළි ජනතා සේවයක් බවට පුනරුත්ථාපනය කිරීමට ඩලස් අලහප්පෙරුම ඇමැතිවරයා ගන්නා අවංක වෑයම අපි දනිමු. මළගමක් වු ලංගම යළි ජීවය ලබමින් එයි. දුම්රියද ජන සේවයට සුදානම්ය. එහෙයින් මේ නිවහනද මගියා සනසන යථාර්ථයක්ම වනු නිසැකය. ගමේ ගෙදර සිට කොළඹට එන ගැමියාට පුංචි මිනිහාට කොළඹින් ගෙදරක් ලැබෙනු ඇත. මොනතරම් සුන්දරද?
(දිවයින 08/12/22 )

Wednesday, December 17, 2008

මහ පාරේ ත්‍රස්තවාදය!

ඔන්න අද රාළ කියන්නේ ලෝකයේ භයානක ම තැන ගැන. ඔය කියන තැන භයානක තැනක් කළේ අපි අපි ම නේද?

ගාලු පාරේධාවනය වෙමින් තිබු බස් රථ තුනක් වාද්දුවේදී එකිනෙක ගැටීමෙන් පාසල් ශිෂ්‍යයකු ඇතුළු තිදෙනකු මියගොස් 45 දෙනකු තුවාල ලබා ඇතැයි පෙරේදා (16 දා) අපට දැනගන්නට ලැබිණි. ඊයේ (17 දා) මේ සම්බන්ධයෙන් පුවත්පත්වල පළ වු වාර්තාවලට අනුව අනතුරට ලක් වු බස් රිය තුනෙන් එකක රියැදුරා මිය ගොසිනි. වරද කාගේ වුවද නැති වු ජීවිතවල අඩුව යළි කිසි කලෙකත් පිරවිය නො හැක. අනතුරින් තුවාල ලබා නො මැරී ජීවත් වන්නවුන් පත්ව සිටින ශාරීරික වේදනාව සහ මානසික ව්‍යාකුලත්වය පහව යෑමට බොහෝ කල් ගත වනු ඇත.

බස් තුනක් අනතුරට ලක්වීම යනු වටිනා දේපළ තුනක් විනාශ වීමකි. "ඒකට මොකද, බස්වල වටිනාකම ඉන්ෂුවරන්ස් එකෙන් ගෙවනවා" යැයි ඇතැම් පණ්ඩිතයෙක් කියනු ඇති. එහෙත් එවැනි මෝඩ පණ්ඩිතයන් තේරුම් ගත යුතුව ඇත්තේ එසේ වන්දි ගෙවීමෙන් රටේ ජාතික ධනයෙන් කොටසක් රටට අහිමි වන බව ය. බස් සහ මිනිස් ජීවිත යනු ළිංවලින් උනන වතුර හා සමාන දෙයක් නොවේ. එක මනුෂ්‍යයකු මියයෑමෙන් සම්පුර්ණ පවුලක් පාරට වැටෙන අවස්ථා තිබේ. එක බස් රියක් විනාශ වීමෙන් අලුත් බසයක් රටින් ගෙන්වීමට සිදු වන අතර ඒ වෙනුවෙන් රට යන ධනය ශ්‍රී ලංකාවේ ජාතික ධනයයි.

ලෝකයේ භයානක ම තැන කොතැනද? හිමාල කඳු මුදුනද? ඇමේසන් වනයද? නැතහොත් මරියානා අගාධය ද? ටයිම් සඟරාවේ මතයට අනුව ලොව භයානක ම තැන ඉන්දු පාකිස්තාන් දේශ සීමාවයි. මේ දේශ සීමාව තුළ තප්පරයට වෙඩි දෙකක් පමණ හුවමාරු කෙරේ. අපගේ වැටහීම නම් ලොව භයානක ම තැන ශ්‍රී ලංකාවේ මහ පාරවල් බව ය. කොළඹ : නුවර පාර, කොළඹ : ගාල්ල පාර, කොළඹ : කතරගම පාර යනාදී මාර්ග A : 9 පාරටත් වඩා භයානක ය. මේ මාර්ගවල සිදුවන අනතුරු A : 9 දෙපස රුක සිටින කොටින් අතින්වත් සිදු වන්නේ නැත. සාමාන්‍යයෙන් බිම් බෝම්බයකින් බස් මගීන් තිහ හතළිහක් තුවාල ලබන අතර ඊට වඩා මිනිසුන් ප්‍රමාණයක් තුවාල ලබන, මියයන රිය අනතුරු නුවර පාර, ගාලු පාර, කතරගම පාර යනාදියෙහි සිදු වෙයි.

ශ්‍රී ලංකාව ඉතා වේගයෙන් රථ වාහනවලින් පිරී යමින් පවතී. ත්‍රිරෝද රථ, බස්, කාර්, මෝටර් සයිකල්, කන්ටේනර් වාහන පමණක් නොව ගල් රෝල් පවා මහ පාරේතරගයට යනු අපට දැකිය හැකි ය. මේවා මහ පොළවට අඩි කිහිපයක් උඩින් යන අවස්ථා දැක ගත හැකි අතර මේවාට හසුවන මනුෂ්‍යයන් තවදුරටත් සාකෂි ඉතිරි නො කරම වාෂ්ප වන අවස්ථා තිබේ. දැන් මහ පාරට විනයක් නැත. ප්‍රයිවටි බස්කාරයන් විසින් කෙළෙසන ලද මහ පාර සෙසු සියලු රියැදුරන් විසින් තවදුරටත් අවිනීත තැනක් බවට පත්කර තිබේ. තමන්ට ඉදිරියෙන් වාහනයක් ගමන් කරනු දකිනු නො රිසි ඇතැම් රියැදුරෝ වෙති. මේ අය ඒ වාහනය පසු කිරීමට ගොස් එය ද පන්නා මිනිසුන් කිහිප දෙනකු ද යට කොට විනාශයක් කරයි. මෙවැනි අනතුරකින් පසු රියැදුරා කරන්නේ දිව ගොස් ළඟම ඇති පොලිසියට රිංගා ගැනීම ය.

යම් හෙයකින් මේ රියැදුරු ජීවග්‍රහයෙන් මිනිසුන්ට හසු වුවහොත් ඇති විය හැකි ප්‍රතිඵලය ඉතා බියකරු ය. ඒ තත්ත්වය ඇති කරගෙන ඇත්තේ ද රියැදුරන් විසින්ම ය. රේල් ගේටිටුව වසන අතර ඊට යටින් රිංගා ගොස් බසය කෝච්චියේ ගැටී තිස් හතළිස් දෙනකු ම මියයෑමට ඉඩ හරින කාලකණ්නි රියැදුරෝ මේ රටේ වෙති. එවැනි මිනිසුන්ට එරෙහිව ඇති නීති තද නැත. හරි නම් මෙවැනි රියැදුරන් එල්ලිය යුතුය. එහෙත් මීට වඩා භයානක මිනීමරුවන් පවා එල්ලුම් ගස නැතිකමින් බන්ධනාගාරවල සැපවත් ජීවිත ගත කරති. ඉතින් කාට කියම්ද?
(දිවයින 08/12/19)

Thursday, December 11, 2008

යහපත් හා සුබවාදී සංඥාවක්

මේකත් මම අහුලගත්තේ දිවයිනෙන්. නොදා බැරිම හින්දයි දාන්නේ.

වේළුපිල්ලෙයි ප්‍රභාකරන්ගේ ඓතිහාසික පරාජය දෙස සංවේගයෙන් බලා සිටින ඔහුගේ ගජමිතුරු රාජ්‍ය නොවන සංවිධානවලට පමණක් නොව තමිල්නාඩුවට හා ලංකාවේ දෙමළ සන්ධානයටද අද අවශ්‍යව ඇත්තේ අපේ ආරකෂක හමුදාවන් ආපසු හරවා යැවීම බව නිසැකය. එල්. ටී. ටී. ඊ. ය යුදමය වශයෙන් කිසිදිනක පරාජය කළ නොහැකි යැයි සපථ කළ සියලුදෙනාම විස්මයට පත් කරවමින් ආරකෂක හමුදා මේ වන විටද ඓතිහාසික ජයග්‍රහණ රුසක් අත්පත් කරගෙන සිටිති.

එදා මාවිල්ආරුවලින් සිය පරාජයේ අමිහිර දිව ගෑ ප්‍රභාකරන්ට සාම්පුර්, වාකරෙ\ ඇතුළු මුළු නැගෙනහිරම අහිමි විය. අනතුරුව බටහිර මුහුදු තීරය සමග පුනරීන් ද අහිමි වු අතර මේ වන විට කිලිනොච්චිය අසලටම ආරකෂක හමුදා ළංව සිටින බව ප්‍රභාකරන් දනියි. ප්‍රභාකරන්ගේ මෙම පසුබැසීම "උපක්‍රමික පසු බැසීමක්" ලෙස අර්ථ ගන්වා විචිත්‍ර වාර්තා සපයන කොටි හිතවාදීහු ඔහු බේරාගන්නා සම්‍යක් ප්‍රයෝගයක් ද ඉදිරිපත් කරති. ඒ අන් කිසිවක් නොව සටන් විරාමයයි.

තමිල්නාඩු ප්‍රාන්තයේ මන්ත්‍රීවරුන් පිරිසක් ඉන්දියාවේ අගමැති මන් මෝහන් සිං මහතා හමුවී සටන් විරාමයක් සඳහා ලංකාවට බලපෑම් කරන ලෙසද ඉල්ලා සිටියහ. ද්‍රවිඩ සන්ධානයේ සිටින ප්‍රභාකරන්ගේ රුකඩවලටද ඒ අනුව සටන් විරාම ඉල්ලීම පෙරට දැමීමට සිදුවී තිබේ. ප්‍රභාකරන් සිය වාර්ෂික දේශනයේදී කවදාවත් නැති තරමටම ඉන්දියාවට ආයාචනා කර ඇත්තේද තමන්ට සහාය වන ලෙසය.

සිය පරාජයේ අඳුරු සෙවණැලි යට සිට වුවද ප්‍රභාකරන් ඊළාම් සිහිනය මෙන්ම යුද්ධයද අතහැර දැමීමට සුදානම් නැති බව ඔහුගේ වචනවලින්ම පැහැදිලිව පෙනී යයි.

"තමිල් ඊළාම් ජනතාවගේ විමුක්ති ව්‍යාපාරය වශයෙන් අපි අපගේ මාතෘ භුමිය සිංහලයන්ට අත්පත් කර ගැනීමට හෝ ඒ මත ඔවුන්ගේ ආධිපත්‍යය පැටවීමට හෝ ඉඩ දෙන්නේ නැත......" කුමන බලවේගයක් අපගේ මග අවුරා සිටියද දෙමළ ජනතාවගේ නිදහස වෙනුවෙන් අපි ඉදිරියටද සටන් කරන්නෙමු.."

ප්‍රභාකරන් යනු ම්ලේච්ඡ ත්‍රස්තවාදියකු පමණක් බවත් ඔහු දන්නා එකම දෙය ඝාතනය බවත් ඔහුගේ කුපක්‍රට ඉතිහාසය තුළින්ම තහවුරු වී තිබේ. එහෙව් ඝාතකයකුට සටන් විරාමයක් යනු ඉතා පැහැදිලිවම යුද විරාමයක් පමණි. මෙම සටන් විරාමය වෙනුවෙන් පෙනී සිටින අය ද ඔහුගේ අනුදැනුම මත එම ඉල්ලීම කරන්නෝ බව අමුතුවෙන් කිව යුතුද? ප්‍රභාකරන්ගේ ඊනියා වාර්ෂික දේශනය තුළ රුව්දෙන්නේ ඔහු තුළ කැකෑරෙන වර්ගවාදයත් ලේ පිපාසයත් හැර අන් කුමක්ද?

ප්‍රභාකරන්ගේ මෙම දුෂ්ට අරමුණ ඔහු වෙනුවෙන් සටන් විරාම අයදින අය නොදකිත්ද? නොඑසේ නම් දැක දැකත් ඔහු සුරුකීම සඳහා එබඳු මෙහෙවරක යෙදී සිටිත්ද? සැබැවින්ම ඔවුහු සිය ගජමිතුරු ප්‍රභාකරන්ගේ ගමනක අවසානය වෙනස් කිරීමට සටන් විරාම නමැති කඩතුරාව ඉල්ලා සිටින්නෝ නොවෙත්ද?

මුම්බායි ත්‍රස්ත ප්‍රහාරයේ කම්පනය තවමත් නිවී නැති බව ඉන්දියාව හොඳින් දනී. තම රට වනසන ත්‍රස්තවාදයට සමාව දෙන්නට ඉන්දියාව සුදානම් නැත. එසේ නම් තම සංස්කෘතික මිත්‍රයා වන ශ්‍රී ලංකාවේ ත්‍රස්තවාදී නායකයා වෙනුවෙන් ඉන්දියාවට එබඳු සටන් විරාමයක් ඉල්ලා සිටීමට සදාචාරාත්මක අයිතියක් නැති බව මන්මෝහන් සිං අගමැතිවරයාගේ හෘදය සාකෂියට දැනෙන බවද නිසැකය.

ශ්‍රී ලංකාවේ විපකෂයට ද මෙම ත්‍රස්තවාදයත් එහි උල්පත බවට පත්ව සිටින ප්‍රභාකරනුත් විනාශ කළ යුතුය යන යථාර්ථ දැක්ම දැන් පහළව තිබේ. පසුගියදා එ. ජා. ප. යේ ජ්‍යෙෂ්ඨයකු වන ලකෂ්මන් සෙනෙවිරත්න මහතා විසින් පාර්ලිමේන්තුවේදී කරන ලද ප්‍රකාශය එයට සාකෂිය. ත්‍රස්තවාදය යුද්ධයෙන් නිම කළ යුතු බවත්, ප්‍රභාකරන් පමණක් නොව හැකිනම් ප්‍රභාකරන්ගේ බාප්පාදට ද පහර දිය යුතු බවත්, ඔහුගේ අවධාරණය විය. සිය පකෂය සටන් විරාමයකට එකඟ නැති බවද ඔහු පවසා තිබිණි.

ප්‍රභාකරන්ගේ සහ ඔහුගේ ත්‍රස්තවාදය තුළින් වඩාත්ම විනාශයට ලක්වුයේ එජාපය බවද අපි දනිමු. සිය පකෂ නායකයකු ඇතුළු ජ්‍යෙෂ්ඨයන් රුසක්ම එයට ගොදුරු වු වග එජාපයට අමතක විය නො හැකිය. ඒ කුමක් වුවත් දැන් එ. ජා. ප. ය. සටන් විරාමයට එකඟ නොවීමත් ත්‍රස්තවාදය යුද්ධයෙන්ම නිම කළ යුතුය යන ස්ථාවරයට එළඹීමත් ආරකෂක අංශවලටද දිරි වඩන සුලු පුවතකි.

අප මෙම තීරුවෙන් බොහෝවිට දක්වන ලද පරිදිම ත්‍රස්තවාදයට විනා දෙමළ ජනතාවට මේ රටේ සිංහලයන්ගේ හෝ වෙනත් කිසි ජනකොටසකගේ විරෝධයක් නැත. සිංහල, දෙමළ, මුස්ලිම් සමගිය බිඳ දැමු දුෂ්ට බලවේගය ප්‍රභාකරන්ගේ ත්‍රස්තවාදයම පමණි. එහෙයින් මේ ඓතිහාසික මෙහොතේ පකෂ විපකෂ භේදයකින් තොරව එක්සත්ව ත්‍රස්තවාදය පැරදවීමට ක්‍රියාත්මක වන ක්‍රියාමාර්ග අනුමත කිරීම විපකෂය රටට දුන් යහපත් සංඥාවක් ලෙසද අපි දකිමු.

සටන් විරාම උගුලට යළිත් අප තල්ලු කර හිර කිරීමට තැත් කරන කපටියන්ගෙන්ද අපි ප්‍රවේශම් විය යුතු වන්නෙමු. එසේම ත්‍රස්තවාදය පරදවා දෙමළ ජනතාවගේ ගැටලුවලට දේශපාලන විසඳුමක් ලබාදීමේ වගකීම ද රජයට තිබේ. එහිදීත් පටු අරමුණු ඔස්සේ නොගොස් රටේ ඒකීය භාවයටත්, ස්වෛරීභාවයටත් අබැටකින් තරම්වත් හානියක් නොවන විසඳුමක් කරා යෑමට සියලුම පකෂ වගකීමෙන් ක්‍රියා කරනු ඇතැයි ද අපි බලාපොරොත්තු වෙමු.
(දිවයින 08/12/07)

Wednesday, December 10, 2008

තමිල්නාඩු නායකයන්ගේ රාජ්‍යතාන්ත්‍රික චර්යාව

මේ ඊයේ ලක්බිමේ කතුවැකිය. ඊයේ පත්තරේ වුණත් කාරණේ වැදගත් නිසා පලකළේ ආයුබෝවන්ඩ. කියවලා බලමුකෝ!
තමිල්නාඩු ජනතාව මේ වන විට මුහුණ පා සිටින දැවෙන ප්‍රශ්න කිසිවක් විසඳුමෙහි අසමත්ව සිටින ප්‍රාන්තයේ දේශපාලන නායකයෝ, තමන් වෙත ජනතාවගෙන් එල්ල වන අප්‍රසාදය හා විරෝධය වළක්වා ගන්නට නැතහොත් හැකිතාක් අවම කර ගන්නට විවිධාකාර උපාමාරු යොදමින් සිටිති. විශේෂයෙන් ළඟඳී පවත්වන්නට නියමිත මහ මැතිවරණයේඳී තමන් පරාජයට පත්වනු ඇතැයි යන බිය ඊට හේතු වී ඇත. ජනතා ගැටලු විසඳුමට වඩා ඔවුන්ගේ අභිප්‍රාය බවට පත්ව තිබෙන්නේ කෙසේ හෝ මැතිවරණය ජයග්‍රහණය කිරීමය. උතුරේ දෙමළ ජනතාව පිළිබඳ වෙනදා නොතිබූ අනුකම්පාවක් තමිල්නාඩු දේශපාලනඥයන් තුළ ජනිත වීමට ප්‍රධාන වශයෙන් හේතුවී තිබෙන්නේ එම කාරණයයි.
තමිල්නාඩු ජනතාවගේ අවධානය තමන් වෙත දිනා ගැනීම සඳහා දරන ලද තවත් ලාභදායක ප්‍රයත්නයක් හැටියට තමිල්නාඩු කම්කරු මහජන පක්ෂයේ නායක රාම්දාස්ගේ පහත සඳහන් ප්‍රකාශය පෙන්වා දෙන්නට පුළුවන.
ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය ප්‍රනාබ් මුඛර්ජි මහතා පැය හතළිස් අටක් ඇතුළත දී ලංකාවට එවා ශ්‍රී ලංකාවට අවවාද කළ යුතුයයි හෙතෙම කියා සිටී. තමිල්නාඩු දේශපාලනඥයන් සම්බන්ධයෙන් ශ්‍රි ලංකාවේ හමුදාපතිවරයා කරන ලද එක්තරා විවේචනාත්මක ප්‍රකාශයකට විරෝධය පළකරමින් කම්කරු මහජන පක්ෂ නායකයා එම යෝජනාව ඉදිරිපත් කොට තිබේ.
පැය හතළිස් අටක් ගතවන්නට පෙරාතුව ශ්‍රි ලංකාවට ගොස් ආණ්ඩුවට අවවාද කරන ලෙස යෝජනා කරන තමිල්නාඩු දේශපාලන නායකයින් ශ්‍රි ලංකාවේ ආණ්ඩුව සම්බන්ධයෙන් පසුගිය මාස කීපයක කාලය ඇතුළත අනුගමනය කරන ලද්දේ කෙබඳු පිළිවෙතක්ද? උතුරේ දෙමළ ජනතාවට කොටි ත්‍රස්තවාදයෙන් එල්ල වන තර්ජනය අවම කරනු පිණිස දියත් කොට ඇති මානුෂික මෙහෙයුම් නතර කරවන්නට ඔවුහු විවිධ උපාමාරු යෙදූහ. සර්ව පාක්‍ෂික සමුළු කැඳවා ශ්‍රි ලංකා ආණ්ඩුවට විවිධාකාර බලපෑම් එල්ල කරන්නට ඉන්දිය මධ්‍යම රජය මෙහෙයවා ගන්නට ඔවුන් කටයුතු කළ ආකාරය කිසිවකුට හෝ රහසක් නොවේ. තමිල්නාඩු නළු නිළියන් යොදවාගෙන ශ්‍රි ලංකා ආණ්ඩුව උතුරේ දෙමළ ජනතාවට අමානුෂිකව සලකන බවට චෝදනා එල්ල කළහ. තමිල්නාඩු දේශපාලන පක්‍ෂ නියෝජිතයෝ ඉන්දිය රාජ්‍ය නායකයන් මුණගැසීමට ගොස් කොටි ත්‍රස්තවාදීන් පරාජයෙන් වළකා ගන්නට මැදිහත් වන ලෙස වක්‍රාකාරයෙන් ඉල්ලා සිටියහ.
කම්කරු මහජන පක්ෂ නායක රාම්දාස් ප්‍රකාශ කරන ආකාරයට, එලෙස ශ්‍රි ලංකාවේ ආණ්ඩුව විවේචනය කරන්නට හා වෙනත් විරෝධතා ව්‍යාපාර දියත් කරන්නට අයිතිය ඇත්තේ ඔවුන්ට පමණකි. ඔවුන්ගේ ක්‍රියාකාරකම් පිළිබඳ තම අදහස් පළකරන්නට හෝ විවේචනය කරන්නට හෝ ශ්‍රි ලංකාවේ කිසිවකුට අයිතියක් නැත. පැය හතළිස් අටක් ගත වන්නට පෙර ශ්‍රි ලංකාවට ගොස් ආණ්ඩුවට අවවාද කරන ලෙස ඉනදියාවේ විදේශ කටයුතු අමාත්‍යවරයාට ඔහු යෝජනා කර තිබෙන්නේ එබැවිනි.
එබඳු යෝජනා ඉදිරිපත් කිරීම මගින් ඉතා පැහැදිලිව තහවුරු වන්නේ ඔවුන්ගේ රාජ්‍යතාන්ත්‍රික චර්යාවයි. දෙරටක් අතර පවත්නා රාජ්‍යතාන්ත්‍රික සබඳතා තම දේශපාලන වාසියට ඉවහල් වන ආකාරයට පාවිච්චියට ගත හැකියයි ඔවුහු සිතා සිටිති.
ත්‍රස්තවාදයේ ග්‍රහණයට හසුව පීඩාවට පත්ව සිටින උතුරේ සිවිල් ජනතාව වෙනුවෙන් තමිල්නාඩු නායකයන් කිඹුල් කඳුළු හෙළන්නේ කවර වාතාවරණයක් තුළද? ඉනදියාවද ත්‍රස්ත ප්‍රහාරයකට ගොදුරුව සිටින අවස්ථාවකය. තමිල්නාඩු නායකයන්ගේ සැබෑ අවශ්‍යතාව කුමක්ද යන්න එමගින් වුව වටහා ගත හැකිය. දේශපාලන වාසි විනා තම ප්‍රාන්තයේ ජනතාවගේ ආරක්‍ෂාව කෙරේ වුව ඔවුන්ගේ අවධානය යොමුව නැත.
තමිල්නාඩු නායකයන්ගේ විරෝධතා ව්‍යාපාර හා යෝජනා ආදිය කෙරේ දැක්වූ ප්‍රතිචාරයෙන් පැහැදිලි වනුයේ ඔවුන්ගේ එවන් ව්‍යාපාරවල හරය, ඉන්දීය රජය විසින් වටහා ගෙන තිබෙන ආකාරයයි. රාම්දාස්ගේ යෝජනාව සම්බන්ධයෙන්ද ඊට වෙනස් ප්‍රතිචාරයක් ඉන්දීය මධ්‍යම රජය විසින් නොදක්වනු ඇතැයි යන්න අපගේ විශ්වාසයයි.

Tuesday, December 9, 2008

කප්පම් ආර්ථිකය

රාල මොකද නිස්සද්ද කියලා කීප දෙනෙක් අහපි. කිව්ව ම මොක ද මම අපේ ගමේ ගියා නොවැ. වැඩි විස්තර පස්සේ බැරුවයැ. මෙන්න ලංකාවේ අලුත් ම ලාභදායි කර්මාන්තය ගැන විස්තර ටිකක්.

කරුණාගේ සහ පිල්ලෙයාන්ගේ නම් සඳහන් කරමින් ධනවතුන් බියපත් කර රුපියල් කෝටි ගණන් කප්පම් ගත් පුද්ගලයකු ගැන දැනගන්නට තිබේ. දෙමළ ජාතිකයකු වන මේ මහතා ආදුරුප්පු වීදියේ පොලිසිය මගින් අත්අඩංගුවට ගනු ලැබ දැනට හිර කුඩුවේ යකඩ කුරු ගණන් කරමින් සිටින බව දැනගන්නට ඇත. ඔහු පොලිසියට හසුවන විට පිටකොටුවේ දෙමළ ජාතික ධනවතකුගෙන් කප්පම් ගැනීමට සුදානම්ව සිටියේ ය. මේ රටේ සිවිල් පුරවැසියෝ ජාති භේදයකින් තොරව කරුණා සහ පිල්ලෙයාන් කෙරෙහි පරාන බියක් දක්වති. ඒ භීතිය මුදල් බවට පත්කිරීමේ ශාස්ත්‍රය සමහරුන් විසින් ප්‍රගුණ කරනු ලැබ තිබේ. එල්. ටී. ටී. ඊ. සංවිධානය කප්පම් කර්මාන්තය සම්බන්ධයෙන් ජාත්‍යන්තර කීර්තියක් උසුලයි. ඔවුහු ශ්‍රී ලංකාව තුළ පමණක් නොව කැනඩාව, එංගලන්තය, ප්‍රංශය වැනි රටවල සිටින අයගෙන් පවා කප්පම් එකතු කරති. කරුණා සහ පිල්ලෙයාන් කොටි සංවිධානයට ඉතා ඉහළින් සම්බන්ධ වී සිටි දෙදෙනෙකි. අද ඔවුන් ටී. එම්. වී. පී. නමින් දේශපාලන සංවිධානයක් පිහිටුවාගෙන ඇතත් දෙදෙනා අතර පවත්නා විවිධ අර්බුද, එම සංවිධානයට අයත් පුද්ගලයන් නාඳුනන තුවක්කුකරුවන් විසින් ඝාතනය කරනු ලැබීම වැනි කාරණා නිසා මේ දෙදෙනා සියයට සියයක්ම ප්‍රජාතන්ත්‍රවාදයට පිවිස ඇති බවක් පිළිගැනීමට ජනයා තුළ මැලිකමක් ඇත. විශේෂයෙන් ම මේ රටේ මුල්‍ය ද්‍රවශීලතාවයෙන් හෙවත් නෝටිටු කොල සහ රත්තරන් ලෙස ඇති වත්කම්වලින් වැඩි හරියක අයිතිකරුවන් වන දෙමළ සහ මුස්ලිම් ව්‍යාපාරික ප්‍රජාව තුළ ඒ බිය විශාල වශයෙන් ඇත. එයට හේතුව ඔවුන් නිරන්තරයෙන් කප්පම් ඉල්ලනු ලැබීමට භාජනය වීම ය. සිංහල පාතාලයට අමතරව සිටින දෙමළ පාතාලය සහ මුස්ලිම් පාතාලය මෙවැනි ව්‍යාපාරිකයන් පැහැරගෙන ගොස් ගෙල කපා වෙඩි තබා මැරු අවස්ථා බහුල ය.

ඕනෑම බලවත් කෙනකුගේ නමක් විකුණා මුදල් එකතු කිරීමේ ව්‍යාපාරය කොටි ත්‍රස්තවාදයත් සමඟ රට තුළ පැතිර ගියේය. ඒ අතර යුරෝපීය රටවල සිටින කොටින් ඒ රටවැසියන්ගෙනුත් කප්පම් එකතු කරන බවට ලැබුණු ආරංචි නිසා කප්පම්කරුවන්ගේ තත්ත්වය වඩාත් ශක්තිමත් විය. ප්‍රභාකරන්ගේ නම විකුණා රුපියල් කෝටියක් ගැනීම ඉතා සුළු දෙයක් වු අතර එසේ කප්පම් එකතු කරන බවක් ප්‍රභාකරන් හෝ කොටි සංවිධානය දැන නො සිටින්නට ඇත.

අන් අයගේ නම් විකුණා අහිංසක අසරණ මිනිසුන්ගෙන් මුදල් එකතු කිරීමේ ව්‍යාපාරය මේ මොහොතේදීත් සිදු කෙරේ. වරායට සේවකයන් දැමීම සඳහා අදාළ ඇමැතිතුමාගේ නම විකුණා මුදල් ගැරීම, අධ්‍යාපන ඇමැතිගේ නම විකුණා සල්ලි එකතු කිරීම, විවිධ කොන්ත්‍රාත් ලබාදීම සඳහා බලවත් දේශපාලනඥයන්ගේ නම් විකිණීම ඉතා විශාල වශයෙන් කෙරෙන ජාවාරමකි. ඒ ඒ දේශපාලනඥයන්ගේ හා ආයතන ප්‍රධානීන්ගේ ලිපි ශීර්ෂ සහ මුද්‍රා අත්සන් යනාදිය මේ ජාවාරම්කාරයන් සතුව ඇත. මෙයද එක්තරා ආකාරයක කප්පම් එකතු කිරීමකි. ඉන්දියාවේ ජීවත් වු ප්‍රකට කප්පම්කාරයකු හා ඉස්ලාමීය ත්‍රස්තවාදීන්ට මුදල් සැපයු ඩාවුඩ් ඉබ්‍රාහිම් නමැත්තකු කලකට පෙර ඉතා ඉහළින් ක්‍රියාකාරී විය. ඔහු කෝටිපතියකු වු අතර සුඛෝපභෝගී ජීවිතයක් ගත කළේ ය. අද ඔහු ආ ගිය අතක් නැති අතර පසුගියදා ඉන්දියාවේ මුම්බායි නුවර හටගත් බෝම්බ ප්‍රහාරයට ද ඔහුගේ සම්බන්ධයක් ඇති බව හෙළි විය. ඔහුගේ නමින් ද ඔසාමා බින් ලාදින්ගේ නමින් ද තවමත් විවිධ රටවල කප්පම් එකතු කෙරේ. මේ භයානක තත්ත්වය මර්දනය කිරීමට මුළු මහත් දකුණු ආසියාව වහා පියවර ගත යුතු ය. නැතහොත් ඉදිරි වසර කිහිපය තුළ ඒ ඒ රටවල ආර්ථිකය කප්පම්කරුවන් අතට පත්වනු ඇති අතර ඒ ඒ රටවල ඒ ඒ මහ බැංකුවල අධිපතින් ලෙසින් කප්පම්කාරයා බැගින් ද මුදල් ඇමැතීන් ලෙසින් කප්පම්කාරයා බැගින් ද පත් කිරීමට සිදුවනවා ඇත.

Thursday, December 4, 2008

ජී. එස්. පී. තීරකයා කවරෙක්ද?

පෙරමුණේ රාලට බොරු කියන්න කිසි උවමනාවක් නැත. උදේ 6ට පමණ පත්තර කොලුවා සීනුව නාද කරනු තුරු මට නින්ද ගිය බව සැබෑ ය. දනිපනි ගා නැඟිට නින්දෙන් වාගේ පත්තර අරන් ආවෙමි. එහා ගෙදර බළලා ඒ අස්සේ කාමරයට රිංගගෙන ය. ඌ ඇඳ මුල්ලේ සිට 'ඥාව්' "ඥාව්' ගාන්නට විය. ඌට පමණක් නොව පෙරමුණේ රාළට ද නැතිබැරිකම් ඇත. ඒත් මේ රාල කාගෙන්වත් ඉල්ලන් කන්නේ නැත.

එහෙත් අපි රටක් ජාතියක් ලෙස දැන් හිඟා කෑම ආඩම්බරයෙන් සලකමු. අපේ හොඳ ම නායකයා ලෝකේ වටේ ගොස් වැඩියෙන් ම හිඟාකන එකා ය. අපට කොහෙන් හෝ සහනාධාර නොලැබේ නම් අපි හාමතේ මැරේ යයි දැන් ජනතාව සිතති. මේ මොන තරම් අවාසනාවක්දැයි රාළට දිනකට සිතෙන්නේ වරක් දෙවරක් නොවේ. මේ කතාව ඒ ගැන ය. කියවල ම බලමුකෝ?

සුනාමිය විසින් අපෙන් ගන්නා ලද දේ මෙන්ම අපට දෙන ලද දේ ද තිබේ. අපෙන් ගන්නා ලද දේ අතර මනුෂ්‍ය ජීවිත, දේපළ, වෙරළාසන්න යටිතල පහසුකම් සහ රටේ ආර්ථිකය වෙයි. අපට ලැබුණ දේ අතර විදේශීය සහනාධාර, ජාත්‍යන්තර අනුකම්පාව, ජී. එස්. පී. ප්ලස් පහසුකම යනාදිය වෙයි. ජී. එස්. පී. ප්ලස් යනු යුරෝපය විසින් වෙනත් රටවලින් ඇණවුම් මිලට ගැනීමේදී සුනාමියෙන් හානියට පත් වු රටවල නිෂ්පාදනය කරන ඇණවුම්වලට ප්‍රමුඛත්වය ලබා දීම ය. මේ නිසා සුනාමියෙන් හටගත් ආර්ථික අමාරුකම්වලට පිළිසරණක් ලැබෙන බව මේ පහසුකම තීරණය කිරීමට පුරෝගාමී වු රටවල් කල්පනා කරති. ශ්‍රී ලංකාවේ මානව හිමිකම් උල්ලංඝනය වන බවටත් ඒ නිසා ජී. එස්. පී. සහනය නො ලැබෙන බවටත් මේ දිනවල කට කතා පැතිර යමින් පවතී. ජී. එස්. පී. සහනය ලබා දුන්නේ සුනාමි සහනාධාරයක් හැටියට බවත් එම සහනය ප්‍රදානය කිරීමේදී මානව හිමිකම් උල්ලංඝනය වීම කොන්දේසියක් හැටියට සඳහන් නො කෙරුණු බවත් සඳහන් කරන්නේ මේ කාරණය පිළිබඳව අනාගතයේදී ඇතිවිය හැකි සංවාදවලදී පාඨකයාට ප්‍රයෝජනවත් වනු පිණිස ය.

මෙහිදී මේ රටේ මානව හිමිකම් උල්ලංඝනය කිරීම පිළිබඳව කෙටි විග්‍රහයක් කිරීම වැදගත් ය. ශ්‍රී ලංකාව තුළ යුද්ධයක් පවතී. රට තුළම කෙරෙන බෙදුම්වාදී යුද්ධයක් වුවද මේ යුද්ධය ක්‍රමවේදය, දේපළ හානි, ජීවිත හානි යනාදිය පැත්තෙන් සලකා බලන කල රටවල් දෙකක් අතර කෙරෙන යුද්ධයක් හා සමාන ය. යුද්ධයක් කෙරෙන්නේ මල් වටිටි සහ සෙමර (පවන් සැලීමට ගන්නා චාමර) වලින් නොව බෝම්බ, රොකටි වෙඩි, උණ්ඩ යනාදියෙනි. මෙහිදී වෙඩි වදින කවර පාර්ශ්වයක වුවද මානව හිමිකම් උල්ලංඝනය වෙයි. රටේ නීත්‍යානුකුල යුද හමුදාව ත්‍රස්තවාදියාට වෙඩි තැබු විට ඔහුගේ මානව හිමිකම් උල්ලංඝනය වෙයි. ත්‍රස්තවාදීයා යුද හමුදාවට වෙඩි තැබු විට යුද හමුදාවේ මානව හිමිකම් උල්ලංඝනය වෙයි. මෙය යුද්ධයක් තුළදී නො වැළැක්විය හැකි තත්ත්වයකි. මේ සඳහා ඉතා සරල ජාත්‍යන්තර උදාහරණයක් ගනිමි. එක්දහස් නවසිය අනු ගණන්වලදී ඉරාකය විසින් කුවේටය ආක්‍රමණය කරන ලදී. එවිට කුවේටයේ මානව හිමිකම් උල්ලංඝනය විය. ඊළඟට ඇමරිකාව, බ්‍රිතාන්‍යය, ප්‍රංශය ප්‍රමුඛ යුරෝපා රටවල් සමුහයක් (අපට ජී. එස්. පී. සහනය සැපයු උදවිය) ඉරාකයට බෝම්බ දමා එරට කුඩු පටිටම් කළේ ය. එවිට ඉරාකයේ මානව හිමිකම් උල්ලංඝනය විය. එය යුද්ධයේ ස්වභාවයයි. ත්‍රස්තවාදී කණ්ඩායමක් ශ්‍රී ලංකාව දෙකඩ කරන ලෙස ඉල්ලා තුවක්කු ගෙන වෙඩි තබන විට හා බෝම්බ පුපුරුවන විට පෙරළා වෙඩි තැබීම හැර වෙන යමක් ඉතිරි වන්නේ නැත. වැදගත්ම කාරණය නම් යුද හමුදාව අතින් සිල්ලර මටිටමින් මානව හිමිකම් උල්ලංඝනය වන විට කොටි හමුදාව තොග වශයෙන් මානව හිමිකම් උල්ලංඝනය කිරීම ය. ඔවුහු සිය හමුදාවට තරුණ ගැහැනු ළමයින් බලෙන් බඳවාගෙන දුෂණය කර යුද බිමට යවති. තුවක්කුවටත් අඩු උසකින් යුතු පිරිමි ළමයින් යුද පෙරමුණට යවති. මේ ළමයි ගෙවල්වලින් පැහැරගත් අය වෙති. කවර මවක්වත් පියෙක්වත් සිය කුඩා පුත්‍රයා හෝ දියණිය යුද බිමට යවන්නේ නැත. එල්. ටී. ටී. ඊ.ය තම ළමා හමුදාව පෙරමුණට යැවීමෙන් මුලින්ම ඒ ළමයින්ට වෙඩි කෑමට සලස්වනු ලැබේ. ඊළඟට ඒ දරුවන්ගේ මළසිරුරු ජාත්‍යන්තර එන්. ජී. ඕ. කාරයන්ට පෙන්වා යුද හමුදාව මානව හිමිකම් කඩකරන බව කියති.

ජී. එස්. පී. ප්ලස් සහනය ලබා දී ඇත්තේ වසර තුනකට ය. එය තවදුරටත් දීර්ඝ කිරීම හෝ කෙටි කිරීම හෝ අත්හිටුවීම එය ලබා දුන් රටවල රාජකාරියකි. එහෙත් සියලු දෙනා මතක තබා ගත යුතුව ඇත්තේ ජී. එස්. පී. නැති කාලයේ ද මේ රට ජීවත් වු බවයි. ඉදිරියේදී ද ජී. එස්. පී. නැති වුවහොත් කිසිදු රටවැසියකු සිය දිවි නසා ගන්නේ නැත. කලක් මේ රටේ ප්‍රධාන ආදායම වුයේ අපනයන භෝග හා මැණික් ය. පසු කාලයේදී ඒ වෙළෙඳපොළ බිඳ වැටුණේය. එහෙත් කිසිදු රටවැසියෙක් එය නිමිත්ත කරගෙන වස පානය කළේ නැත. එල්ලී මළේ ද නැත. ජී. එස්. පී. සහනය හොඳ බව ඇත්ත. එහෙත් ඒ වෙනුවෙන් රටේ ඒකීයත්වය සඳහා ගෙන යන යුද්ධය හෝ ප්‍රතිපත්ති පාවා දිය යුතු නැත. ජී. එස්. පී. නැති වුණොත් ඒ තැන ගැනීමට වෙනත් වාණිජ ක්‍රමවේදයක් පැමිණීමට ඉඩ තිබේ. ඒ ස්වභාවධර්මයයි. සමහර ප්‍රශ්න කාලය විසින් ද තවත් සමහර ප්‍රශ්න ස්වභාවධර්මය විසින් ද විසඳනු ලැබේ. ජී. එස්. පී. ප්‍රශ්නය ස්වභාවධර්මය විසින් විසඳනු ලැබීමට බොහෝ දුරට ඉඩ තිබේ.
(දිවයින 08/12/05)

Wednesday, December 3, 2008

ආසියාවේ හොඳ ම මාධ්‍යවේදියාට කන්දෙමු

තාම උදේ පාන්දර ය. කුකුළා හැඬලුවා පමණි. පත්තර බෙදන කොලුවා තාම ආවේ නැත. උදේ පාන්දර පින්න නිසා එළියට පහළියට යන්න ද බැරි ය. කම්මැලි කම යන්නත් එක්ක කුමක් හෝ කියවන්න ඕනයයි සිතූ මම ඇඳ යටට අත දැම්මෙමි. මේ එහි පත්තර කරදහියක තිබූ මසුරන් කතුවැකියෙකි. පෙරමුණේ රාළ කිව්වට කියවලම බලමුකෝ ආයුබොවන්ඩ.

ආසියාවේ හොඳ ම මාධ්‍යවේදියා ලෙස එන්. රාම් මහතා පත් ව සිටී. එන්. රාම් යනු ‘ද හින්දු’ පුවත්පතෙහි ප‍්‍රධාන කතුවරයා ලෙස ද ‘ෆ්රන්ට්ලයින්’ සඟරාවෙහි කතුවරයා ලෙස ද කීර්තිමත් වෘත්තීය භාවයක් හිමිකරගත් ජ්‍යෙෂ්ඨ පත‍්‍රකලාවේදියෙකි.

සමාජ විශ්ලේෂකයකු හැටියට ද දේශපාලන විචාරකයකු හැටියට ද රාම් මහතා ප‍්‍රකට ය. ආසියාවේ දේශපාලනය පිළිබඳ උනන්දුවක් ඇති බොහෝ විද්වත් හු රාම් මහතා ගේ ලිපි - ලේඛනවලට ආකර්ෂණය වෙති.

වයස අවුරුදු විසිදෙක තරම් වූ තරුණ අවදියේ ම ඇමෙරිකාවේ කොලොම්බියානු විශ්ව විද්‍යාලයයෙන් පුවත්පත් කලාව පිළිබඳ ගෞරව උපාධියක් හිමිකරගත් රාම් මහතා ශිෂ්‍ය අවදියේ ම වාම දේශපාලනයට යොමු වූ බව කියැ වේ.

1967 – 1968 කාලයේ ඇමෙරිකන් ශිෂ්‍ය ව්‍යාපාරය තුළ මතු වූ බොහෝ විරෝධතාවල පෙරමුණ ගත් කි‍්‍රයාකාරිකයකු ලෙස ද ඇතැම් හු එන්. රාම් හඳුන්වති.

පසුකලෙක ඉන්දියාවේ ‘බෝෆෝස්’ අවි ගනුදෙනුව පිළිබඳ තොරතුරු හෙළි කරමින් රට දේශපාලන වෙනසකට යොමු කළේ ඔහු බව ද කියැ වේ.

ශ‍්‍රී ලංකාවේ අප එන්. රාම් මහතාට කන්දිය යුත්තේ මන් ද? එම තර්කයට අදාළ ප‍්‍රධාන සාධක දෙකක් තිබේ. පළමුවැන්න ඉතා නිවැරැදි ව හා විචක්ෂණශීලි ව මෙරට ත‍්‍රස්තවාදය විග‍්‍රහ කිරීමට රාම් මහතා සමත් ව තිබීම ය.

දෙවැන්න ආසියාව තුළ සමාජයට වගකියන ජනමාධ්‍ය කලාවක් ස්ථාපිත කිරීම සඳහා රාම් මහතා යොමු වී සිටීම ය. මේ ප‍්‍රවාහ දෙක තුළ ම එන්. රාම් මහතා දැවැන්තයෙකි.

ශ‍්‍රී ලංකාවට බෙහෙවින් ඇලුම්කරන ඔහු මෙරට ත‍්‍රස්තවාදය සම්බන්ධයෙන් ඉතා නිවැරැදි විග‍්‍රහ ගණනාවක් ඉදිරිපත් කර තිබේ. ත‍්‍රස්තවාදයෙන් ජනවාර්ගික ගැටලුවට කිසිදු විසැඳුමක් නො ලැබෙන බව ඔහු ප‍්‍රකාශ කළේ කොටි ත‍්‍රස්තවාදය මෝරා වැඩෙමින් තිබූ අවදියේ ම ය.

එමෙන් ම ත‍්‍රස්තවාදයට උපකාර කිරීම සඳහා බලවත් රටවල් ඉදිරිපත් නො විය යුතු බව ද ඔහු අවධාරණය කළේ ය. ඔහු එය ඉන්දියාවට ද කියා සිටියේ ය.

රාම් මහතා 1992 දී ඉතා වැදගත් ප‍්‍රකාශයක් කළේ ය. එනම්; ශ‍්‍රී ලංකාවේ ආණ්ඩුව සාකච්ඡා මේසයට ගෙන ඒම සඳහා බලපෑමක් කළ යුතු ය යන පදනමෙහි සිට එල්. ටී. ටී. ඊ. සංවිධානයට මුදල් ආධාර දී ම, අවි පුහුණුව ලබාදීම හා රැකවරණය ලබාදීම වැනි පහසුකම් සැලයීම බෙහෙවින් වැරැදි සහගත කි‍්‍රයා බව පෙන්වාදීම ය. එහෙත් එම වැරැද්ද ඉන්දියාව එක් වරක් කළ බව ද ඔහු පෙන්වා දුන්නේ ය. (මදුරාසියේ පළවන සුබමංගලා සඟාව)

කොටි සංවිධානය විමුක්ති හමුදාවක් නො වන බවත් ශ‍්‍රී ලංකාවේ වන්නි පළාතෙහි පවතින්නේ පලස්තීන ගැටලුව හා සැසඳිය හැකි තත්ත්වයක් නො වන බවත් රාම් මහතා කියා තිබේ. ඔහු කොටි සංවිධානය සම කරන්නේ කාම්බෝජයේ පොල්පොට්වාදීන්ට හා පීරු රටේ ෂයිනින් බාත් ගරිල්ලන්ට ය.

ශ‍්‍රී ලංකාවේ අවතැන්වූවන් පිළිබඳ ප‍්‍රශ්නයක් ඈඳ්‍රගනිමින් තමිල්නාඩු මහ ඇමැති කරුණානිධි මහතා අල්ලන්නට ගිය අඩව්ව දැඩි ලෙස විවේචනය කරමින් මෙරට යථා තත්ත්වය ඉන්දියාව හමුවේ තබන්නට රාම් මහතා මහත් පරිශ‍්‍රමයක් දැරී ය. එහි ප‍්‍රතිඵලයක් ලෙස හින්දු පත‍්‍ර කාර්යලයට ප‍්‍රහාරයක් එල්ල විය.

ඇතැම් නගරවල දෙමළ අන්තවාදීන් විසින් පුවත්පතෙහි පිටපත් දහස් ගණනක් වීදිවල පුළුස්සා දැමිණි. අලෙවි නියෝජිතයන්ට තර්ජන එල්ල විණි. එහෙත් රාම් මහතා ගේ පෑන මේ කිසිවකින් නැවතුණේ නැත. අවසානයේ සත්‍යය ජය ගත්තේ ය. රාම් මහතා ගේ මතවාදය ද ජය ගත්තේ ය.

මේ ජ්‍යෙෂ්ඨ පත‍්‍රකලාවේදියා ගේ මතයට අනුව ශ‍්‍රී ලංකාවේ මහින්ද රාජපක්ෂ ආණ්ඩුව උතුරේ ප‍්‍රශ්නය සම්බන්ධයෙන් කි‍්‍රයාත්මක වන ආකාරය නිවැරැදි ය.

ත‍්‍රස්තවාදය ශ‍්‍රී ලංකාවට පමණක් නො ව අසල්වැසි ඉන්දියාවට ද බලවත් තර්ජනයෙකි. ත‍්‍රස්තවාදය මුලිනුපුටා දැමීම සඳහා කි‍්‍රයාත්මක වීමට ඉන්දියාවට මෙන් ම ශ‍්‍රී ලංකාවට ද අයිතියක් තිබේ. ඒ අතර ම දෙමළ ජනතාව ගේ ගැටලු විසැඳීම සඳහා දේශපාලන යෝජනාවලියක් කි‍්‍රයාත්මක විය යුතුය.

ඉන්දියාවේ මධ්‍යම ආණ්ඩුව, ශ‍්‍රී ලංකාවේ ආණ්ඩුව මෙන් ම රාම් මහතා ද එය පිළිගනී. දැන් මේ රට තුළ සත්‍යය ලෙස ම සිදුවන්නේ එය යි.

මේ තත්ත්වය තේරුම් නො ගෙන ත‍්‍රස්තවාදය වර්ධනය කිරීමේ පසුබිමක් ඇති කළහොත් එහි භයානක ප‍්‍රතිඵල ශ‍්‍රී ලංකාවට මෙන් ම ඉන්දියාවට ද අත්විඳින්නට සිදු වේ. රාම් මහතා ගේ සියලු දේශපාලන විග‍්‍රහ ඉහත කී කාරණය හා බැඳී පවතී.

එන්.රාම් මහතා ගේ ජනමාධ්‍ය භාවිතය දෙසට යොමු වුවහොත්, පුවත්පත් කලාවේ වෘත්තීයභාවය රැකෙන ප‍්‍රධාන සාධක තුනක් ඇතැයි ඔහු කියයි. පළමුවැන්න පාඨකයා ගේ විශ්වසනීයභාවය රැකීම ය.

දෙවැන්න ප‍්‍රවෘත්ති සම්බන්ධයෙන් විශ්ලේෂණය කිරීම හා ඊට අදාළ නිවැරැදි නිගමනයක් ලබාදීම ය. තෙවැන්න ආකර්ෂණීය පිටු සැලැසුම් ඉදිරිපත් කිරීම ය.

ඇමෙරිකන් පුවත්පත් කලාව ගත්ත ද, බි‍්‍රතාන්‍ය පුවත්පත් කලාව ගත්ත ද, අප‍්‍රිකානු හා ලතින් ඇමෙරිකානු පත‍්‍රකලාව ගත්ත ද ඉහත කරුණු තුන පුවත්පත් කලාවේ උසස් ගුණාංග ලෙස සැලකේ.

එන්. රාම් මහතා ගේ නිවැරැදි දේශපාලන දෘෂ්ටිය මෙන් ම ඔහු භාවිත කරන සමාජ වගකීම් සහිත පත‍්‍රකලා න්‍යාය ද අප විසින් නැවත – නැවත අධ්‍යයනය කළ යුතු ව තිබේ. ශ‍්‍රී ලංකාවේ ජනමාධ්‍ය පදනම ඔහුට සම්මානයක් ප‍්‍රදානය කිරීම බෙහෙවින් පැසසිය යුතු කාරණයෙකි.

(දිනමිණ-09/10/31)

Tuesday, December 2, 2008

ත්‍රස්තවාදය බින්ලාදින්ගෙන් අත හිත ඇමෙරිකාවෙන්!

පෙරමුණේ රාළ, උදේ පාන්දර හකුරු කෑල්ලක් සමඟ බෙලි මල් උගුරක් බිව් විගස, දිවයින පත්තරේ අතට ගන්නේ අද ඊයේ සිට නොවේ. 1980 දශකයේ සිට මෙරට සැමට සමගියෙන් ජීවත්විය හැකි පතිරූප දේශයක් කරනට උන්දැලා කළ මෙහෙවර සුළුපටු නොවේ. උන්දැලාගේ මේ මසුරන් කතුවැකිය 'කසාපබ්බත' අඩවියේ පළ කරන්නේ ඒ සඳහා උත්තමාචාරයක් වශයෙනි.

ඇතැම් පුද්ගලයන් ප්‍රභාකරන් ආරකෂා කිරීමට උත්සාහ කරන බවත් ඔවුන් ප්‍රභාකරන්ගේ යථා ස්වරුපය හරි හැටි නො දන්නා බවත් ටී. එම්. වී. පී. පකෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී කරුණා අම්මන් පෙරේදා (1 වැනිදා) පාර්ලිමේන්තුවේදී පැවැසී ය. මෙය ලෝකයටම පොදු ධර්මතාවකි. ඇමෙරිකානු නායකයන් ඔසාමා බින් ලාදින් නිර්මාණය කළේ ඔහු ගැන හරි හැටි දැනගෙන නොවේ. ඉන්දියාව ප්‍රභාකරන් නිර්මාණය කළේ ඔහු ගැන හරි හැටි දැනගෙන නොවේ. ප්‍රභාකරන් ගැන දන්නා හොඳම මිනිසා කරුණා අම්මන් ය. ඒ වසර ගණනාවක් තිස්සේ ඉතාම භක්තිමත් කොටියකු ලෙස ප්‍රභාකරන්ගේ දර්ශනය අනුව යමින් කටයුතු කිරීමට කරුණාට අවස්ථාව තිබුණ බැවිනි. ඔහු ප්‍රභාකරන්ගේ බලය සේම දුර්වලකම් ද ඉතා හොඳින් දන්නා බව අපගේ විශ්වාසයයි. ඔහු පරණ කරුණා බවට පත් කර නො ගෙන ප්‍රජාතන්ත්‍රවාදී කරුණා ලෙස ම පවත්වාගෙන යෑම වැඩදායක ය.

ප්‍රභාකරන් ආරකෂා කිරීමට උත්සාහ කරන්නේ කවරෙක්දැයි බලමු. අපගේ වැටහීම නම් විදේශ කිහිපයකුත් එම රටවලින් යැපෙන රාජ්‍ය නොවන සංවිධාන කිහිපයකුත් මේ කාරණයෙහි නියුක්තව සිටින බව ය. සියලු විදේශික රාජ්‍ය නොවන සංවිධානවලට තම රටේ න්‍යාය පත්‍රය අනුව කටයුතු කිරීමට සිදුවී තිබේ. රාජ්‍යය ඔවුන්ගේ යැපීම සඳහා මුදල් මුදා හරින්නේ එවිට ය. උදාහරණයක් වශයෙන් නෝර්වේ රට ගනිමු.

තමිල්නාඩුව හැරුණු කොට ප්‍රභාකරන් වෙනුවෙන් වැඩිපුරම කතා කරන්නේ නෝර්වේ රාජ්‍යය යි. ඒ ඔවුන් ශ්‍රී ලංකාව දෙකඩ වනු දැකීමට ඉතා ප්‍රිය නිසා ය. ප්‍රභාකරන්ගේ පාලනය යටතේ බිහි වන ඊළාම් රාජ්‍යය සතු ඛනිජ වර්ග හා විකිරණශීලී මුලද්‍රව්‍ය ලබා ගැනීමට සමහර විට නෝර්වේ රට කල්පනා කරනවා විය යුතු ය. තමිල්නාඩුවේ අරමුණ වෙනස් එකකි. ඔවුන් ප්‍රභාකරන් ප්‍රවර්ධනය කරන්නේ ඒ මුවාවෙන් තමිල්නාඩුවටත් වෙනම රාජ්‍ය තත්ත්වයක් ලබා ගැනීම සඳහා ය. තමිල්නාඩුව වෙනම රටක් වුවහොත්, ඉන්දියාවේ සියලු ප්‍රාන්ත කැඩී බිඳී වෙනම රාජ්‍ය බවට පත් වනවා ඇත. ශ්‍රී ලංකාවේ බෙදුම්වාදයට උදව් කළ මුල් කාලයේදී ඉන්දියාව මේ බව නිකමටවත් කල්පනා නො කරන්නට ඇති. එසේ කල්පනා කළා නම් රජීව් ගාන්ධි අදටත් ජීවතුන් අතර ය.

ඇමෙරිකාව විසින් ඔසාමා බින් ලාදින් නිර්මාණය කළේ සෝවියටි සංගමයට එරෙහිව කුලී හමුදා රැස් කිරීම පිණිසය. මේ කාලයේදී ඇෆ්ගනිස්ථානය තිබුණේ සෝවියටි රූකඩ පාලකයන් යටතේ ය. එම පාලනයට එරෙහිව මුජහෙඩීන් ගරිල්ලෝ ත්‍රස්තවාදී ව්‍යාපාරයක් සංවිධානය කළහ. එයට කුලී හේවායන් සැපයීමත් අවි ආයුධ සැපයීමත් ඇමෙරිකාව විසින් කරන ලදී. ඒ ඔසාමා බින් ලාදින් හරහා ය. තම සේවය වෙනුවෙන් ඇමෙරිකාව ගෙවු අති මහත් ධනස්කන්ධය ඉතිරි කර ගත් බින් ලාදින් එය කෘෂිකාර්මික ව්‍යාපාර වෙනුවෙන් ආයෝජනය කර, ඇමෙරිකානු ව්‍යාප්තවාදයට එරෙහිව අල්කයිඩා නමැති භයානක ත්‍රස්තවාදී ඒකකය නිර්මාණය කළේය. අල් කයිඩා ත්‍රස්තවාදීන් ඇමෙරිකාවට පහර දුන්නේත්, මුම්බායි නුවරදී විශාල පිරිසක් සංහාරය කළේත් ඇමෙරිකාව එදා දුන් සහයෝගය නිසා ය. "අත හිත අසුවල් බැංකුවෙනි" යන කියමන පින්තාරු කරන ලද පෞද්ගලික බස් රථ පාරේ දුවනු අපට දැකිය හැකි ය. ඒ අනුව "ත්‍රස්තවාදය අල්කයිඩා සංවිධානයෙනි - අත හිත ඇමෙරිකාවෙනි" යනුවෙන් පින්තාරු කළ ඇඳුම් මේ ත්‍රස්තවාදීන් පාවිච්චි කළ යුතු ය.

සදාම් හුසේන්ට මුල් කාලයේදී උදව් කරන ලද්දේ ඇමෙරිකාව හා බ්‍රිතාන්‍ය යි. අන්තිමේදී සදාම් හුසේන් ඒ දෙරටටම ඉහළින් යනු දුටු විට ඔහු විනාශ කිරීමට මේ දෙරටම එක්විය. මහ බලවතා යනු අත්තනෝමතික ප්‍රභවයකි. ඔවුන්ට යහපත් දේ යහපත් ලෙසත්, ඔවුන්ට අයහපත් දේ අයහපත් ලෙසත් පිළිගැනීමට අපට බල කරනු ලැබේ. අප එය පිළිගත හොත් ඔවුන්, අප ඉතා කීකරු මිනිසුන් ලෙස සලකනු ලැබේ. නැතහොත් අප මත බෝම්බ හෙළනු ලැබේ.
(දිවයින 08/12/03)

Wednesday, October 1, 2008

කොකාකෝලා පිම්බීම

කිව්වම මොකද ආයුබෝවන්ඩ මමත් දැන් වරුස ගාණක් තිස්සේ යනවා නොවැ අර පොත් පෙදර්සනේ බලන්න. බලන්න කිව්වට මම නම් යන්නේ ඔය දුර්ලභ පොතක් දෙකක් තිබුණොත් අරන් එන්න මිසක් රස්තියාදු ගහන්න නෙවේ ඔන්න.
මම දැක්ක ආයුබෝවන්ඩ අපේ තරුණ ගැටව් ඒ කිව්වේ කලිසම ඔන්න වැටෙයි මෙන්න වැටෙයි කියලා හිතෙන පුතාලා රංචු රංචු එහා මෙහා හක්කලන් කරනවා.

ඔන්න ඉතින් ටිකක් ඇවිදින කොට කකුල් කෙටි දෙක රිදෙන්න ගත්තා. තොල කටත් වෙලීලා. ගිරිස්මේ නිසා දාඩිය ඉහෙන් කනෙන් බේරෙනවා. අප්පච්චියේ තැඹිලි ගෙඩියක් බොන්න තිබුණා නම් මසුරං වටිනවා.

"මේ පුතාලා කිට්ටුවක දැක්කේ නැද්ද තැඹිලි ගෙඩියක් බොන්න තැනක්" වෙසක් කූඩු වගේ ලස්සනට ඇඳලා එන පුතාලා කට්ටියකගෙන් මම ඇහුවා.

"අයියෝ අන්කල් මේක ඉන්ටර් නැෂනල් එක්ෂිබිෂන් එකක්. ලැජ්ජ නැද්ද තැඹිලි කෝම්බ ලොවින්න. බොන්නකෝ අර කොකාකෝලා එකක් " ඔන්න ඔහොමයි ආයුබෝවන්ඩ අලි බදින දම්වැලක් කරේ දාගෙන ආපු පුතෙක් මට උත්තර දුන්නේ.

මම ආයේ වටපිට හෝදිසි කරලා බැලුවා රණවරා උගුරක් හරි බෙලි මල් කෝප්පයක් හරි බොන්න ඇහැක් තැනැක්. ඔහේ නෑ ආයුබෝවන්ඩ. හැමතැන ම රට බීම. කෝකාකෝලා පුතාලා නම් සාලාව ඇතුලෙත් උන්නා. මට ඉතින් ඔය ඒරොප්පෙන් එන කෝකාකෝලා අරකෝලා මේකෝලා හරියන් නැහැ නොවැ. අන්තිමට සාලාව පිළිකන්නේ තිබුණ තේ කඩෙන් කහට උගුරක් බීවා.

විදිලි එළියට කළුවර මැකුනට මොකද වේලාව අස්ස පිටේ ගොහිල්ලා. මම දනිපනි ගාලා ආපහු එන්න හැරුණා ගෙදර යන්න. මෙන්න බොලේ අර කලිසං හැලෙන පුතාලා කට්ටියකුත් යනවා. ඒත් ගනිපු පොත් නම් අතේ තිබුණේ නෑ. පොත් නැතුවට මොකද ආයුබෝවන්ඩ ඔක්කොමල්ලා පොඩි පොඩි කෝකාකෝලා කෝප්පවලට බට දාගෙන බිබි යන උජාරුව. සිරියාවේ බෑ.

මම හිතන්නේ ඒ උගත් පුතාලට ගන්න වටින පොත් නැතිව වෙන්නැති. ඔය එක එකා ඒ පුතාල ගැන ඔලොක්කුවට කතා කළාට මම නම් ඔය අලුගුත්තේරු වැඩවලට නෑ.

වතුර මල ළඟට එද්දි නොවැ මම දැක්කේ අර බෝතලේ. කිරි අප්පට බල්ලෝ පැනපි ඒකේ ලොකු. බෝතලයක් හුළං ගහලා පුම්බලා. ඒකේ කෝකාකෝලා කියලා ලියලා. සාලාව ඉස්සරහ හරියට මහබඹා වගේ. මහ පාරට ඇවත් මම ආයෙත් හැරිලා බැලුවා. අම්මපා කිව්වට විස්වාස කරන්න එපා ආයුබෝවන්ඩ ප්‍රදර්සනේ බලන්න නොගිහින් පාර දිගේ ගියානම් ඕන එකෙක් හිතන්නේ කොකාකෝලා ප්‍රදර්සනයක් කියලා. නැද්ද මං අහන්නේ?

Wednesday, September 24, 2008

හිඟා කා තැනූ මහා සෑය

පෙරමුණේ රාල අවුරුදු කීපයක් තිස්සේ කොළඹ ගෙන්දගම් පොළවෙ පය ගහලා ඉන්නවා තමා. ඒ වුණාට මම ඉතින් ගමේ බයියෙක් නොවැ. බලු වලිගේ උණ පුරුකේ ලෑවත් ඇද ඇරෙන්නෑ වගේ ගමේ පුරුද්දට තාම සිරි ලංකා ගුවන් විදිලියේ එහෙම නැත්නම් රෙදෙව්වේ උදේ පරවුත්ති අහන එක මගේ පුරුද්ද.

දැන් පරවුත්ති කාලයත් කොම්පැණිවලට විකුණපු බව මම නොකිව්වට ඔහෙලා හොඳටම දන්නවා නෙව. ඉතින් අපේ රටේ බැංකුවකට තමා මේ උදේ පරවුත්ති අයිති. උන්දැලගේ දැන්වීමට හඬ කවන්නේ ළා හඬක් තියෙන නාඹර ගැටයෙකුයි ගැටිස්සියෙකුයි. ඒ මෙහෙම.

ගැටයා_ ඔයා දන්නව ද අපේ තාත්තාලා සීයලා ගෙවල් හැදුවේ කොහොම ද කියලා ?

ගැටිස්සි_බැංකු ණය අරන් වෙන්න ඇති.

අපේ තාත්තාට අර ගරාමීය බැංකුවේ පොතක් නම් තිබුණා ආයිබෝවන්ඩ. ඒත් තාත්තා පුළු පුළුවන් විදිහට ඒකට කීය කීය හරි දැම්ම මිසක් ණය ගත්තේ නැහැ. මුත්තා නම් බැංකුවක් දැකලාවත් නැතිව ඇති. දෙයියන්ගේ පිහිටෙන් මුන්දැලා දෙන්නට ම වැටිලා ඉන්න තැනක් හදාගෙන තිබුණා.

හැබැයි ඔය එක එකාට ණය ‍වුණේ නැහැ. කිව්වට විශ්වාස කරන්න අද කාලේ හැම එකාට ම අතපෑම නම්බුවක් වුණාට ආයුබෝවන්ඩ උන්දැලා ඒක සැලකුවේ මහා නවනිංගිරාවක් විදිහට. මට දුක මේ රටේ එවුන් කාටවත් ණය නොවී ජීවත්වෙලා දැන් මේ පොළව යට නිඳා ඉන්න උන්දැලට නින්දා කරන එක ගැන. අම්මපා උන්දැලා හිටියා නම් මුන්ට කියලා දෙයි ගනිපු ණය. මොකටද මගේ කට.

මේ උත්තමයෝ හෙට අනිද්දා රුවන්වැලි සෑය යටට ගොහින් "අපේ දුටුගැමුණු මුත්තා මේක හැදුවේ චෝල දේසේ රජාගෙන් ණය අරගෙන නොවැ" කීවොත් පුදුම වෙන් එපා ආයුබෝවන්ඩ.


Monday, August 11, 2008

ආචාර්යතුමා

අවසන සියලු මහත්වරු ඒකඡන්දයෙන් ආචාර්ය ඇමැතිතුමාට මරණ දඬුවම පැනවීමට තීරණය කළා ය.

දඬුවම ක්‍රියාත්මක කළ යුතු ආකාරය පිළිබඳ විවාදය හොරා කිහිපයක් දිගු විය. අලියා නියෝජනය කරමින් පැමිණි නියෝජිතයා පැවසුවේ ඇමරිකානු ක්‍රමයට විදිලි පුටුවේ සිටවිය යුතු බව ය.

ත්‍රිවිල් සමාජවාදී පක්ෂයේ ආචාර්තුමා පැවසුවේ එය ඇමරිකානු අධිරාජ්‍යවාදයට බිලිවීමක් බවත් එහෙයින් ප්‍රභාකරන් දිඹුලාගල දී ජය ශ්‍රී මහ බෝධියේ දී අනුගමනය කළ ක්‍රමය යොදා ගත යුතු බව ය. එමගින් ප්‍රභාකරන්ගේ විමුක්ති සටන සාධාරණීකරණයට තල්ලුවක් ද ලැබෙන බව හෙතෙම තව දුරටත් පැවසුවේ ය.

මේ යෝජනාවෙන් පස්වනක් ප්‍රීතියෙන් ඔකඳ වූ ජඩ මාධ්‍ය ව්‍යාපාරයේ දේශඅප්‍රිය මහතා පැවසුවේ ‘අපිට බැරි ද කදිරාට කළ විදිහ යොදාගන්න? එතකොට පුළුවන්නේ ප්‍රභාකරන් දෙමළ ජනතාවගේ විමුක්තිවාදියා කියලත් ඔප්පු කරන්න.’ ඒ යෝජනාවට වාමාංශිකයෝ එක් ව අත්පොළසන් දුන් හ.

‘ඒත් ඔය කිසි ම ක්‍රමයකට බෑ අපිට මේකට පෞද්ගලිකව සහභාගී වෙන්න. ඒ නිසා අපි යෝජනා කරනවා ගෝල් ෆේස් එකේ ප්‍රසිද්ධියේ ගල් ගහලා මරන්න. හැබැයි ලයිව් පෙන්නන්නේ අපේ චැනල් එකේ විතරයි’ කොටි ෆස්ට් නාලිකාව නියෝජනය කරමින් පැමිණි නියෝජිතයා සිය හඬ අවදි කළේ ය.

ජාත්‍යන්තර මානව හිමිකම් කොම්පැණිය නියෝජනය කරමින් පැමිණි යුවතිය අවසන කතා කළා ය. ‘ඔව් අන්තිම යෝජනාව හොඳයි. මානුෂිකයි. කොහොම වුණත් අපි චූදිතයට එක් වරයක් දෙමු මුල් ම ගල ගහන කෙනා තෝර ගන්න.’ ඒ අනුව බොහෝ වේලාවක් ඇදී ගිය විවාදය ආචාර්යතුමා ගල් ගසා මරා දැමීමටත් ඊට මානුෂීය මුහුණුවරක් ආරෝපණය කිරීම සඳහා ඔහුට වරයක් ලබා දීමටත් ඒක ඡන්දයෙන් සම්මත කර ගෙන සභාව විසිර ගියේ අදාළ දින ගාලු මුවදොර හමුවීමේ එකඟතාවෙනි.

නියමිත දින උදෑසන පාර්ලිමේන්තුවේ සියලු පක්ෂ නියෝජනය කරමින් පක්ෂ ලේකම්වරු ඇතුළු පිරිසකගෙන් ද NGO කාරයින්ගෙන් ද ඇතැම් ජන මාධ්‍යවේදීන්ගෙන් ද වාමාංශික පක්ෂ නායකකාරකාදීන්ගෙන් ද මානුෂීය අයිතිවාසිකම් - කාන්තා අයිතිවාසිකම් - ළමා අයිතිවාසිකම් ආදී මෙකි නොකී හැටහුටහමාරක් සමාගම්වල බැළමෙහෙකරන්නන්ගෙන් ද ගාලු මුවදොර පිටිය අතුරු සිදුරු නැතිව පිරීතිරී ගියේ ය. ඔවුන් සියලු දෙනා අත ගල් කිහිපය බැගින් තිබිණි.

පෙරමුණේ රාළ මේ අවනඩුවට අකමැති වුව ද සිදුවන දේ දැන ගන්ට එහි ගියේ ය. දෑත පසුපටට තබා බැඳී ආචාර්යතුමා මුහුණු වසා ගත් පිරිසක් විසින් කැඳවා ගෙන එන ලදි.

‘දැන් තමාට අවසාන ඉල්ලීම කරන්න පුළුවන්’ උසාවි තෝල්කයා අචාර්යතුමා දෙසට හැරී පැවසුවේ ය. ඉතා ම ශාන්ත ලෙස උපැස් යුවළ පැළඳි මුහුණ නඩුකාර උන්නාන්සේ වෙත හැරවූ ආචාර්යතුමා මෙසේ කීවේ ය.

‘ස්වාමීණි, කවදාවත් සිහිනෙන්වත් වරදක් නොකරපු කෙනෙකුට පළමු ගල ගහන්න නියෝග කරන්න. ඒකයි මගේ අවසාන ඉල්ලීම’

මේ ඉල්ලීමත් සමග සියල්ලෝ ගල් ගැසුණා හ. ඔවුනොවුන් එකිනෙකාගේ මුහුණු බලන්නට විය. පිරිසක් කසුකුසුගාන්ට වූහ. ඇතැම්හු බර කල්පනාවකට වැටිණාහ. සමහරු සිතින් තම පව් පොත දිග හැර බලන්ට වූහ. බොහෝ දෙනාට තම පව් පොත් වරක් කියවීමට පවා සිය ඉදිරි ජීවිත කාලය මදි බව අවබෝධ විය.

‘මේ යක්ෂයා අපිට නිදහසේ මැරෙන්නවත් ඉඩ තියන්නේ නෑනේ’යි පෙරමුණේ රාළගේ කනට කොඳුළ වයසක මහතාගේ අතේ තිබූ ගල් නොදැනිම බිම වැටිණි. ‘මේ උන්නැහැ නම් NGO එකක වැඩ කරන කෙනෙක් වෙන්න ඇති’ පෙරමුණේ රාලට නිකමට සිතිණි. ඇසිල්ලකින් ඒ මහතා සතර අතින් මහා අග්නි ජාලාවක් මතුවී දැවෙන්නා සේ බිරාන්ත ව මොර දීගෙන බිම ඇද වැටිණි.

ඒ සමග ම එකිනෙකා සිය ගල් සිටි සිටි තැන ම අතැර නික්මෙන්ට වූහ. අවසන නඩුකාර උන්නාන්සේ ද නික්මිණි. ආචාර්යතුමාගේ දෑතේ විලංගු ලිහා දැමිණි.

ගාලු මුවදොර ගොඩ ගැසුණු මහා ගල් ගොඩ දැක පුදුම වූ පෙරමුණේ රාල ‘චීන මහා ප්‍රාකාරය වගේ පවුරක් ලංකාව වටේ හදන්න ගල් තියෙනවා’ යයි කියාගෙන යන්ට හැරෙත් ම ඇඳ පල්ලට වැටීණි. තමා දුටුවේ සිහිනයක් බව පෙරමුණේ රාලට හැ‍ඟෙත් ම සිහින් ලැජ්ජාවකින් සිත හැකිළි ගියේ ය. හාමිනේ අවදි නොවූ බව දැන ගත් ඔහු සෙමෙන් යළි ඇඳට ඇදුණේ ය.

Wednesday, July 2, 2008

ලැප්ටොප් තහනම්!!!

මම එදා ඉඳලම ඇහැව්වේ රෙදෙව්ව නොවැ. රෙදෙව්ව කියන්නේ ඔය මහත්තුරු කියන විදියට ගුවන්විදුලිය. ඕක අපේ මුත්තලෑ කාලේ 1925 වරුසේ තමා නමෝ විත්තියෙන් පටන් ගත්තේ. ඉතින් අපේ ඈයෝ රටේ ලෝකේ වෙන දේවල් එදා දැන ගත්තේ ඔකෙන් තමා. අපේ ආතලා බණ ඇහුවා. අපි සිංදු ඇහුවා. ඔක්කොමලා පෙවුර්ති ඇහුවා. කිව්වට මොකද ඒ කාලේ මුළු ගමට රෙදෙව් තිබුණේ අතේ ඇඟිලි ගාණට. දැන් නම් අපේ ගුණපාලයගේ ලොකු කොලූගේ අර සැල්පෝන් එකෙත් තියෙනවා නොවැ රෙදෙව්ව.


ඔන්න ඔහොම කලක් ගියා කියමුකෝ. මට නිච්චි හැටියට 1942 වරුසේ බීබීසී සංදේසේ කියලා රටක් වටිණ පොරෝගැරූම් එකක් පටන් ගත්තා. ඕක කොළේ බිරිතානියේ ඉඳලා. ඉතින් ඕක බොහොම කාලයක් ජයට කොළා. පහුපහු වෙද්දි තමා කොහුකොහු වුණේ. දැණුත් අපි වගේ ඉහනිකට පැහුණු ඈයෝ ඕක අහනව නම් තමයි. ඒත් ඉතින් කලු කෝට් අස්සෙන් කොටි පුල්ලි පේනවා. ඕන්න ඕක නිසා තමා කොලුවෝ යන දීපංකරේක දැනං පලයන් කියන්නේ.

කොහොමින් කොහොමින් හරි මම කියන්න ආ කාරණාවත් අමතක වුණා නොවැ. ඔය බීබීසී සංදේසේ ඊයේ රෑ කිව්වා මරු කතාවක්. භුතානේ කතානායකතුමා පාර්ලිමේන්තුවේ ලැප්ටොප් පාවිච්චිය තහනම් කොළාලු. උන්නැහේ කියනවා ආයුබෝවන්ඩ රටේ වැදගත් පුරස්න මෙතන කතා කොරද්දි මන්තිරිලා ලැප්ටොප් එකේ ගේම් ගහනවලු. අපේ රටේ පාර්ලිමේන්තුවේ ඉන්න ඈයෝ ගහන ගේම් ගැන උන්නැහේ දන්නවා නම් මොනවා කොරයි ද මන්දා?

ඔන්න ඉතින් මං මේ ගැන අහන්න කදිම මනුස්සයා හොයාන දියවන්නාව පැත්තේ ගියා. ගිහින් උන්නැහේ එනකම් ඔහේ තැග් ගැහි ගැහි උන්නා. උන්නැහේගෙ සද්දන්ත වාහනේ දැක්ක ගමන් අත දැම්මා පාරට. මාව පහුකර ගෙන යාර ගාණක් ඉගිලුන වාහනේ ආපි පස්සට.

"මොකද රාල මේ පැත්තේ?" කියවමින් සිටි 'සීගිරි ගී' පොත නමලා අතේ තියාන ලොකුබණ්ඩාර උන්නැහේ ඔලුව දමාපි එළියට. මම උන්නැහේගෙ සුපුරුදු ලෙංගතු හිනාවට හිස නමන ගමන්ම කිව්වා ආරංචිය. දැහැන්ගත වෙලා වගේ මගේ කතාව අහන් වුන්නු උන්නැහේ මෙන්න මෙහෙම කියලා ඔලුව වාහනේ ඇතුලට දා ගත්තා.

"මොනවා කරන්නද රාලේ උන්නැහේ තමන්ගේ පාර්ලිමේන්තු මන්ත්‍රි ගොල්ලගේ දෙපා නැමද සමාව ගනීවි"

උන්නැහේ මෙහෙම කියලා හිනාවුණේ කාටද කියලයි මම තාම කල්පනා කොරන්නේ. උන්දැ හිනාවුණේ භුතානේ මන්තිරි ගොල්ලට ද? නැත්නම් ඒ රටේ කතානායක උන්දැට ද? උන්දැ උන්දැටම හිනාවුණා ද? එහෙමත් නැත්නම් අපේ මන්තිරිගොල්ලට ද? නැත්නම් මේ උත්තමයෝ දියවන්නාවට උස්ස ගෙන ගිය අපට ද? මගේ අප්පච්චියේ මම තාම පිලේ ඉඳ ගෙන කල්පනා කොරනවා. අනේ හැබෑවටම උන්දෑ හිනාවුණේ කාට ද? හා කියමුකො බලන්න.
 
සිය රට දේ සිරි සැප දේ !