Wednesday, September 30, 2009

ළමයා අදටත් වහලෙකි!

ලෝක ළමා දිනය අදයි

ළමයින් දස ලක්‍ෂ ගණනක්‌ හිඟාකන, පාසල් නො යන, ලිංගික අපහරණයට ලක්‌ කෙරෙන , ළමා කම්කරුවන් ලෙස සේවය කරන, ළමා සොල්දාදුවන් ලෙස ජීවිත කැප කරන ලෝක ළමා දිනය අදයි.

ගිය අවුරුද්දේත් අද වැනි දවසෙක ලෝක ළමා දිනය යෙදී තිබිණි. එදත් තත්ත්වය මෙයම විය. ඊට පෙර අවුරුද්දේත් තත්ත්වය මෙයම විය. ලෝක ජනගහනය ක්‍රමයෙන් වැඩී ළමා ජනගහනය වර්ධනය වී උද්ධමනය ඉහළ ගොස්‌ දුප්පත්කම දසත පැතිර යන්නට පටන් ගත් කල පාසල් යැමට නියමිතව සිටි දුප්පත් රටවල ළමයින්ගෙන් කොටසක්‌ පාරට බැස හිඟා කන්නට පටන් ගත්හ. තව ළමයි පිරිසක්‌ වහල් මෙහෙයටත්, ගණිකා වෘත්තියටත් යොමු කරන ලදහ. ඒ අතර ප්‍රභාකරන් වැනි ත්‍රස්‌ත නායකයෝ කිහිපදෙනෙක්‌ තම රටවල සිටින කුඩා දරුවන් පැහැරගෙන ගොස්‌ ඔවුනට වෙඩි තබන හැටි පුහුණු කර ළමා හමුදා සංවිධානය කළහ.

ගණිකා වෘත්තියට යොමු කිරීම හැරුණු විට ළමයකු යොමු කළ හැකි පහත්ම තත්ත්වය ඔහු හෝ ඇය ළමා සොල්දාදුවකු බවට පත් කිරීම ය. කුඩා දරුවා තුවක්‌කුවට බිය ය. ඔහුට තුවක්‌කුවක්‌ උස්‌සා ගැනීමට පවා නොහැක. එහෙත් වධයට පත් කර, මෙල්ල කරන ලද කල්හී ළමයා කෙසේ හෝ තුවක්‌කුව ඔසවාගෙන ඉදිරියට යයි. ළමා හමුදාවක්‌ ඇති කිරීමෙන් ත්‍රස්‌ත සංවිධානයක අරමුණූ කිහිපයක්‌ ඉටු වේ. පළමුවැන්න මෙල්ල කරන ලද ළමයා යුද පෙරමුණේ ඉදිරියෙන් ම යවන්නට හැකි වීම ය. ළමයාට මරණය ගැන එතරම් තේරුමක්‌ නැති හෙයින් ඔහු ලෙහෙසියෙන්ම මරාගෙන මැරෙන මිනිස්‌ බෝම්බයක්‌ බවට පත් කළ හැකි ය. එමතු ද නොව ඔහු වෙඩි කා මියගිය විට "ආණ්‌ඩුව ළමයින් ඝාතනය කරන්නේ ය" යනුවෙන් ප්‍රචාරයක්‌ ගෙන යැමට ද ත්‍රස්‌තවාදීන්ට හැකි ය. ත්‍රස්‌ත සංවිධාන බොහොමයක්‌ කුඩා දරු දැරියන් ලිංගික වහලුන් ලෙස තබා ගෙන සිටින බව ඔබ දන්නෙහි ද? මෙය ශ්‍රී ලංකාවේදීත් සිදු විය. උගන්ඩාවේදීත් සිදුවිය. නේපාලයේදීත්, දකුණු අප්‍රිකාවේ යුද ගැටුම් පවත්නා රටවල් වැඩි හරියකත් සිදු විය. ශ්‍රී ලංකාවේ හා නේපාලයේ හැරුණු විට යුද ගැටුම් ඇති, ත්‍රස්‌ත කල්ලි විසින් විවිධ රටවල විවිධ කොටස්‌ පාලනය කරනු ලබන, හැම තැනකම මෙය අදටත් සිදු වන්නේය. හෙටත් සිදු වනු ඇත. යුද්ධය නො නැවතුණොත් හැමදාමත් සිදුවනවා ඇත.

දියුණු ලෝකය ලෝක ළමා දිනය යනුවෙන් දවසක්‌ වෙන් කරවාගෙන හැම අවුරුද්දකම සමරනු ලබන්නේ මෙවන් තත්ත්වයක්‌ තිබියදී ය. තුන්වැනි ලෝකයේ ළමයා යනු අදටත් නිදහස නො ලද ළමයෙකි. මේ ළමයා අප පෙර කියූ පරිදිම වහලෙකි. සෙබළෙකි. කම්කරුවෙකි. ගණිකාවකි. ශ්‍රී ලංකාවේ ළමයින් අතුරෙන් සෙබළුන්ව සිටි පිරිස නිදහස ලැබූවත් වහලුන්ව සිටින පිරිස අදටත් නිදහස ලබා නැත. මේ රටේ නාගරික ධනවත් මන්දිර සියයක්‌ ගතහොත් එයින් පනහකම වැඩකාරකම් කරන්නේ කුඩා දරුවන් බව ඉතා කනගාටුවෙන් කියමු. මෙවැනි ළමයි ඉතා දරුණු අතවරවලට ලක්‌වෙති. උතුරන වතුරෙන් පුළුස්‌සා, දම්වැල්වලින් බැඳ තබන ලද මෙහෙකාර ළමයින් ගැන අප කාලයෙන් කාලයට පුවත්පත් මගින් විස්‌තර කියවමු. ළමයකුගේ මානසිකත්වය වරක්‌ බිඳ දමන ලද කල්හී සදාකාලයටම ප්‍රතිසංස්‌කරණය කළ නොහැක. ලෝක ළමා දිනය සමරන හැම රටක්‌ම, හැම ආණ්‌ඩුවක්‌ම කළ යුත්තේ ළමා හදවත බිඳ වැටෙන තැන් සොයා පිළියම් යෙදීම හා ළමා හදවත බිඳ දමන උන් අල්ලා සමාජයෙන් ඉවත් කර දැමීම ය.

(දිවයින - 09/10/01)

ටිප්පණිය - දැන් වසර ගණනාවක සිට ලෝකය විවිධ දින සමරති. ලෝක ළමා දිනය ඉන් එකකි. එහෙත් ඉන් කිසිදු සෙතක් ළමයාට සිදු වී නැති බව ළමයා අද ද විඳින අතරවලින් පැහැදිළි වේ. එහෙයින් කළ යුත්තේ වසරේ එක එක දවසට විවිධ නම් යොදා ලෝක බලු දිනය, ලෝක කබර දිනය උත්සවාකාරයෙන් සැමරීම නොව වර්තමාන සමාජයේ අගතියට පත් ව ඇති ළමයා මහල්ලා ගහකොළ සතුන් ආදී පාර්ශව සුවපත් කිරීම ය.

Tuesday, September 29, 2009

ඇඟේ (ඇගේ) ලේ නෑ!

ශ්‍රී ලංකාවේ ඇඟළුම් ක්‌ෂේත්‍රයේ නියුතු කාන්තාවන්ගෙන් හරි අඩකට ආසන්න පිරිසක්‌ රක්‌තහීනතාවෙන් පෙළෙන්නේ යෑයි ඇඟළුම් ක්‌ෂේත්‍රයේ කම්කරු අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටින එලාම් සංවිධානය ප්‍රකාශ කරන්නේය.

ස්‌ත්‍රීන්ගේ ඇඟේ ලේ හිඟවීමට අදාළ විවිධ සෞඛ්‍ය හේතුන් තිබිය හැකිය. එහෙත් යම් ක්‌ෂේත්‍රයක නියෑළෙන ස්‌ත්‍රී ශ්‍රමිකයන් පිරිසකගෙන් හරි අඩකට ආසන්න පිරිසකගේ ඇඟේ ලේ හිඟවීම ඒ හේතු එකකටවත් අයත් නොවන ඉතාම නිශ්චිත ආර්ථික හා දේශපාලනික ප්‍රශ්නයක්‌ නිසා සිදුවන්නක්‌ බව පැහැදිලිය.

මේ ආර්ථික හා දේශපාලනික ප්‍රශ්නය නම් දරුණුම ආකාරයෙන් ශ්‍රම සූරාකෑමය.

මේ වූකලී ශ්‍රම සූරාකෑම අපරාධයක්‌ වශයෙන් හඳුන්වන කාලයක්‌ නොවේ. දැන් එය හඳුන්වන්නේ රටක දියුණුව උදෙසා අනලස්‌ව ක්‍රියා කිරීමේ ස්‌වභාවය වශයෙනි. එහිද යම් සත්‍යයක්‌ ඇතත් ඒ සත්‍යයට මුවා වී කුපාඩිකම් කරන්නන් එසේ නොකරන්නන්ට වඩා වැඩිය.

ඒ වැඩි අයගෙනුත් වැඩිම අය සිටිනා ක්‌ෂේත්‍රය ශ්‍රී ලංකාවේ ඇඟළුම් ක්‌ෂේත්‍රය බව අපගේ වැටහීමය. එහි සිදුවන සූරාකෑමේ ස්‌වභාවයන් කෙතරම් දරුණු සහ ම්ලේච්ඡද යත් එහි නියෑළෙන ස්‌ත්‍රීන්ගේ රුධිරය ඔය තරම්වත් ඉතිරිව තිබීමත් පුදුමය.

ශ්‍රී ලංකාවේ ඇඟළුම් සේවකයකු දැනට උපයන අවම වැටුප රුපියල් 6500 කි. අපට වැටහෙන අන්දමට ශ්‍රී ලංකාව තුළ මේ මුදලින් මාසයක්‌ ජීවත්වීම සඳහා මනුෂ්‍යයකු ආහාර ගත යුත්තේ උගුරට හොරාය. ගමනාගමනය නම් කෙසේ හෝ අදාළ ප්‍රමාණයෙන්ම කළ යුතුය. ඇඳුම් පැළඳුම් බෝඩිං ගාස්‌තු හෝ ගෙවල් කුලී තිබේ නම් ඒවා ගෙවනු සඳහා වෙන කුමක්‌ හෝ නීති විරෝධී දෙයක්‌ කළ යුතුය.

මේසා අසීරු දුක්‌ඛිත ජීවිතයක්‌ ගතකරන මේ රටේ ස්‌ත්‍රීන් කණ්‌ඩායමකගේ සිරුරුවල රුධිරය නොමැතිවීම මොන පුදුමයක්‌ද?

දරිද්‍රතාවත්, අධිකව වෙහෙසවීමත් නිසි පෝෂණ තත්ත්වයන් නොලැබීමත් නිසා මේ කාන්තාවන් බෙහෙවින්ම දුර්වලවී ඇති බවත් ඒ නිසා ඔවුන් රක්‌ත හීනතා රෝගයට සහ ඒ කරණ කොට ඇතිවන තවත් රෝග ගණනාවකට ගොදුරුව සිටින බවත් ඉහත කී සංවිධානය රටට සංවේගයෙන් දැනුම් දෙන්නේය.

කම්කරු අමාත්‍යංශයේ මැදිහත්වීමෙන් පසුගියදා මීට අදාළ රෝගීන් පිරිසකට ප්‍රතිකාර ලබාදී තිබේ. මීට පසුවද කම්කරු අමාත්‍යාංශය මෙබඳු රෝගීන්ට ප්‍රතිකාර ලබාදෙන බවට අපට සැකයක්‌ නැත.

එය හොඳ වැඩකි.

එහෙත් ඒ නිසා මේ රෝගය විසින් අනාවරණය කෙරෙන රෝග මූලයේ වෙනසක්‌ සිදුවන්නේ නැත.

එසේ වීමට නම්,

කම්කරු අමාත්‍යංශය නොපමාව ඉදිරිපත් වී මේ අහිංසක අසරණ ශ්‍රමිකයන්ගේ ජීවන වෘත්තිය තුළට මැදිහත් විය යුතුය.

ඇඟළුම් ක්‌ෂේත්‍රය යනු රටේ දෙවන ජාතික අපනයන ආදායමයි. කලාපයේ සෙසු රටවල නිෂ්පාදන සමඟ තරග කිරීමට ඒවා ඉස්‌තරම් ප්‍රමිතියකින් නිෂ්පාදනය විය යුතුය. ඒ නිෂ්පාදකයන් ඒ සඳහා හොඳ ලාභයක්‌ද ලැබිය යුතුය. එහෙත් කිසිම නිෂ්පාදකයකුට මේ ඇඟළුම් මැජික්‌ බලයකින් නිෂ්පාදනය කළ නොහැකිය. ඒ සඳහා පුරුදු පුහුණු ශ්‍රම බලකායක්‌ අවශ්‍යය. මේ ශ්‍රම බලකායේ ශ්‍රමය එල්ටීටීඊය උතුරේ බංකර් කැපූ ක්‍රමයට හෝ පැරණි ඊජිප්තුවේ පිරමීඩ තැනූ ක්‍රමයට හෝ ලබාගත හැකිනම් නිෂ්පාදකයාට එය බෙහෙවින්ම ලාභදායක බව ඇත්තය. එහෙත්, මේ පවතින්නේ එබඳු වහල් යුගයක්‌ නොවේ.

මේ යුගය තුළ ඇඟළුම් කර්මාන්තය නමින් නොනිල වහල් මෙහෙයක්‌ පවත්වාගෙන යැම ශ්‍රේෂ්ඨ නායකයකුට සහ ඔහුගේ චින්තනයට කරන අගෞරවයකි.

එහෙයින්, මේ ඇඟළුම් සේවිකාවනට රටේ ජීවන අංකයට සරිලන අවම වැටුපක්‌ නියම කොට දීමත්, ඔවුන්ගේ සේවක අයිතිවාසිකම් සහ මානව අයිතිවාසිකම් ආරක්‌ෂා කොට දීමත් කම්කරු අමාත්‍යාංශයේ මතු නොව සමස්‌ත රජයේම යුතුකම හා වගකීම බව අපි අවධාරණය කොට සිටිමු.

(දිවයින - 09/09/30)

ටිප්පණිය - ඇඟලුම් කර්මාන්තය යනු මෙරට ගැහැනුන් නොමරා මරන ජාවාරමකි. දිවා රෑ නොතකා ඉතා ලාභ වැටුපකට වසර 10ක් මෙහි වැඩ කළ තරුණිය ඉන් එළියට එන්නේ මැහැල්ලක සේ ය. කිසිදු වෘත්තීවය අයිතිවාසිකමක් නොමැති මේ වදකාගාරවලට තරුණියන් තල්ලු කළේ 77 මෙරටට ආනයනය කළ ධනවාදය විසිනි. අප ඇඟලුම් කම්හල් බිහි කර රැකියා ලබා දුන්හයි උදම් අනන අමනයින් මේ ගැන නැවත සිතිය යුතු ය. පිට රටින් රෙදි ,නූල් සහ බොත්තම් ගෙන්වා ඇදුම් මසා නැවත පිට රට යැවීමෙන් අපට ලැබෙන විශේෂ ලාභයක් නැත. රටේ ශ්‍රමය ඉතා ලාභයට සූරා කෑමට පිට රට සමාගම්වලට ඉඩ සහර ලබා දෙන මේ විකෘති ක්‍රමය වෙනුවට වඩා හොඳ ජීවන ක්‍රමයක් එම තරුණ පරපුරට ලබා දීම මේ රජයේ වගකීම ය.

Saturday, September 26, 2009

රට වෙනුවෙන් කට නොඇරීමේ කරුමය

ශ්‍රී ලංකාව හතරවන ඊළාම් යුද්ධයේ පශ්චාත් දෙවන කාර්තුවට අවතීර්ණව සිටී. හතරවන ඊළාම් යුද්ධයේ ජයග්‍රහණය ආණ්‌ඩුවට නොහොත් මේ රටේ ත්‍රස්‌ත විරෝධී ජනතාවට හිමි විය. ඊළඟට එළැඹියේ පශ්චාත් යුද සමයයි. පශ්චාත් යුද සමයේ පළමුවන කාර්තුව අතට ගන්නා ලද්දේ ප්‍රභාකරන් සංහාරය කරන ලද බව පිළිගැනීමට නොකැමැති වූ යුරෝපයයි. ශ්‍රී ලංකාව තුළ යුද අපරාධ සිදුවූ බවට චෝදනා කරමින් මේ රට කොන් කිරීම සඳහා ඔවුන් ගෙන ගිය ව්‍යාපාරය අසාර්ථක වී තිබේ.

සැබෑ යුද අපරාධකරුවා කොටි සංවිධානයව තිබියදී ඒ බව යට ගසා ආණ්‌ඩුවට චෝදනා කරමින් ඇමරිකාව වැනි බංකොළොත් මහ බලවතුන් නටන නාඩගම රුසියන් විරෝධී ඇමරිකන් චිත්‍රපටයක්‌ හා සමාන ය. සෝවියට්‌ සංගමය පැවැති කාලයේදී ඇමරිකාව විසින් සාදන ලද හොලිවුඩ් චිත්‍රපට වැඩි හරියක වීරයා ඇමරිකානුවා වන අතර දුෂ්ටයා රුසියාව ය. හොඳම උදාහරණය සිල්වෙස්‌ටර් ස්‌ටැලන් යොදා තනන ලද රොකී චිත්‍රපට සමූහයයි. එහෙත් චිත්‍රපටයේ මුල් පැය භාගය තුළම ඇමරිකාවේ රුසියන් විරෝධී නිරුවත ප්‍රදර්ශනය විය.

යුද්ධය දිනා සාමය උදාවී ඇති මේ අවස්‌ථාවේදී ශ්‍රී ලංකාවේ ජන නායකයන්ට යුද අපරාධ නඟා ඔවුන් මස්‌ කොක්‌කේ එල්ලීමට ඇමරිකාව දරන උත්සාහය අත් හැර නැත. අද පශ්චාත් යුද සමයේ දෙවන කාර්තුව එළැඹී ඇති මේ මොහොතේ පිටරටවල සිටින දෙමළ සංක්‍රාමික ඩයස්‌පෝරාව සමඟ එකතු වී සිටින බටහිර බලවේග නැවත වරක්‌ ලංකාවට එරෙහිව යුද්ධයක්‌ පටන් ගෙන ඇත. බ්‍රිතාන්‍යයේ චැනල් 4 රූපවාහිනිය ඔස්‌සේ ප්‍රචාරය කෙරුණු වීඩියෝව ඒ යුද්ධයේ අවස්‌ථාවකි.

අපි වාසනාව සහ අවාසනාව සියයට පනහට පනහ බැගින් අත්පත් කර ගත් ජාතියක්‌ වෙමු. යුද්ධය දිනීමේ වාසනාව අප සතු වුවද රටට එරෙහිව කුමන්ත්‍රණ එල්ල වන විට ඒ කුමන්ත්‍රණවලට පිළිතුරු දියහැකි එකම එක ස්‌වදේශික රාජ්‍ය නොවන සංවිධානයක්‌වත් මේ රටේ නොතිබීම අවාසනාවකි. දැනට මේ රට තුළ ක්‍රියාත්මක වන රාජ්‍ය නොවන සංවිධානවලින් 99% ක්‌ ම පිටරටවලින් යෑපෙමින් විදේශික න්‍යායපත්‍රවලට අනුව ක්‍රියා කරති.

යුද ජයග්‍රහණය සහ එම ජයග්‍රහණය මගින් තහවුරු කෙරුණු පොදු ජන නිදහස වරදක්‌ද යන්න ජාතික සාම මණ්‌ඩලය සහ විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රය යන රාජ්‍ය නොවන සංවිධානවල ප්‍රධානීන් වන ආචාර්ය ජෙහාන් පෙරේරා සහ ආචාර්ය පාක්‍යසෝතිs සරවනමුත්තු වැනි අය ස්‌වකීය හෘද සාක්‍ෂියෙන් ප්‍රශ්න කළ යුතුය. මේ රටේ විදේශ අමාත්‍යාංශය සහ විදේශ සේවයෙන් 90% ක්‌ ම රට වෙනුවෙන් කට ඇරීමට වඩා ආහාර වෙනුවෙන් කට ඇරීමට ප්‍රිය වෙති.

මේ රටට ශක්‌තිමත් විදේශ ඇමැතිවරයකු වුවමනා ය. ඔහු ඇමරිකාවේදී පාටි දමන්නකු නොව ඇමරිකාවට ගොස්‌ ශ්‍රී ලංකාවට එරෙහිව කෙරෙන ප්‍රචාරවලට විරුද්ධව නැඟී සිටීමට සමත් කෙනකු විය යුතුය. අපට හොඳ තානාපති සේවයක්‌ වී නම් අපගේ නම කැත කිරීමට යුරෝපය ගෙන යන සටන අත්හැර දැමීමට යුරෝපයට සිදුවෙනවා ඇත.

දැනට මේ රටට විරුද්ධව ක්‍රියාත්මක වෙමින් පවත්නා භයානක කුමන්ත්‍රණය පරදවාලීමේ කටයුත්ත ස්‌වදේශික දේශප්‍රේමීන්ගෙන් සමන්විත රාජ්‍ය නොවන සංවිධාන (එබඳු ශක්‌තිමත් සංවිධාන නැති බැවින් අලුතින් හෝ ඇති කර) විසින් භාර ගත යුතු කාලය එළැඹී ඇත. තවදුරටත් විදේශ අමාත්‍යාංශය ගැන විශ්වාසය තබාගෙන සිටියොත් මේ රට යුද ජයග්‍රහණයේ වටිනාකමද නැති වන පරිදි විනාශ වනු ඇති. රට වෙනුවෙන් කට ඇරීමට හැකි මිනිසුන් රටකට නොමැති වීම මහත්ම කරුමයකි.

(දිවයින -09/09/26)

ටිප්පණිය - අපට මෙරට සිටි කොටි නඩය නන්දිකඩාල් කළපුවේ දී අතුගා දමන්නට හැකි විය. එහෙත් ජාත්‍යන්තර කොටි තවමත් කරළියේ ය. සියල්ල කලට වේලාවට නිසි රිසි ලෙස කළ ජනාධීපතිවරයාට දෙතැනක වැරදිණි. ඒ දේශප්‍රේමී විදේශ ඇමතිවරයෙකු පත් කරගත නොහැකි වීම ය.අනෙක මෙරට අටුවන් බැස ඇති ගතානුගතික විදේශ සේවාව වෙනස් නොකිරීම ය.අපේ රටට ලැබුණු අතිවිශිෂ්ට විදේශ ඇමතිවරයා ලක්ෂ්මන් කදිරගාමර් මහතාගේ අහිමි වීමේ පාඩුව අඩකින් හෝ මැතිය හැකි විදේශ ඇමතිවරයෙක් රටට අවශ්‍ය ය. එමෙන් ම හැට පැන්න මුත්තලාට සින්න වී ඇති විදේශ සේවයට තරුණ ජවයෙන් යුතු පිරිසක් පත් කර ගැනීම අතවශ්‍ය ය.

Tuesday, September 22, 2009

එළුවන් කන්නයි මං ආවේ (1)

බුදුන් උපන් රට වුවද නේපාලය අද වන විට හින්දු ආගම රාජ්‍ය ආගම බවට පත් වූ රටක්‌ වන්නේ යම්සේද, එංගලන්තය යනු සුදු ජාතික බහුතරය වෙසෙන ක්‍රිස්‌තියානි රටක්‌ වන්නේ යම්සේද, සෞදි අරාබිය ඉස්‌ලාමය රාජ්‍ය ආගම බවට පත්වූ මුස්‌ලිම් රටක්‌ වන්නේ යම් සේද, කවුරු කොහොම කල්පනා කළත් ශ්‍රී ලංකාව යනු සිංහල බෞද්ධ රටක්‌ බව සිහි මොලය සහිත සියලු දෙනා විසින් ප්‍රතිපත්තියක්‌ වශයෙන් පිළිගනු ලැබේ.

මේ රට සියලු ජාතීන්ට අයත් මනුෂ්‍යයන්ට පදිංචිව සිටීමට අයිතිය ඇති, සියලු ආගම් ඇදහීමට ඉඩ ඇති භූමියක්‌ බව පිළිගැනීම ඉහත කී ප්‍රතිපත්තිමය පිළිගැනීම තුළට අන්තර්ගත කෙරුණු උප පිළිගැනීමකි. කිසිවකු අපගේ සාරධර්ම ගැන අභියෝග කළ විට වසර 2500 ක බෞද්ධ ඉතිහාසය ඇපයට තබා නම්බුව රැකගෙන ඉදිරියට යැමේ ඉඩකඩ තවමත් අපට ඉතිරිව ඇත. එහෙත් මේ අයිතිය ඉතා ඉක්‌මනින් තුරන් වන ලකුණු පැහැදිලිව පෙනෙන්නට තිබේ.

හරක්‌ මස්‌ අනුභව කිරීම අකෘතඥ පාප කර්මයක්‌ බව අපගේ ධර්ම දේශකයෝ අපට කියති. එහෙත් දොස්‌තර අපට කියන්නේ හරක්‌ පීකුදු හෝ එළු පීකුදු අනුභව කරන ලෙසය. පීකුදු ගස්‌වල හටගන්නේ නැත. ඒ සඳහා හරකුන් හෝ එළුවන් මැරිය යුතුම ය. මේ රටේ දිනකට මරණ කුකුළන් ප්‍රමාණය ලක්‍ෂ ගණනක්‌ වන්නට පිළිවන. තමන් ප්‍රාණඝාත අකුසලය නොකරන බව හෘද සාක්‍ෂියට සැඟවීම පිණිස කුකුළන් ඇති කරන කොටුව කුකුළු ගොවිපළ ලෙසත් ඌරන් ඇති කරන තැන් ඌරු ගොවිපළ ලෙසත් හඳුන්වනු ලැබේ. මරාගෙන කෑම පිණිස මසුන් ඇති කිරීමට කියන්නේ මත්ස්‍ය වගාව ය.

මේ සියලු හැඳින්වීම්වලින් මවාපෑමට උත්සාහ කරන්නේ කුකුළන්, ඌරන්, හරකුන්, එළුවන්, මසුන් යන සතුන් ගස්‌ මෙන් පැළ කළ හැකි පොහොර වතුර දමා ලොකු කළ හැකි අන්තිමේදී ගෙඩි කඩාගෙන අනුභව කළ හැකි දේ ලෙස ය. ඔබ මස්‌ කනවාදැයි විමසන ලද කල්හි මා කන්නේ කුකුළු මස්‌ පමණකැයි කියන්නෝ වෙති. පෝයදාට මස්‌ කඩ වැසීම නීතිය වුවද මාළු කඩ විවෘත කර තැබීමට බාධාවක්‌ නැත. කුකුළා, මාළුවා හැදෙන්නේ ගහේ නොවැ.

අප ඉහත සඳහන් කොටස ලියුවේ මේ දිනවල රටේ බහුලව සංවාදයට ලක්‌ කෙරෙන සත්ත්ව සංහාරයක්‌ සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමටය. මේ සත්ත්ව සංහාරය වූ කලී පසුගියදා හලාවත මුන්නේස්‌වරම් දේවාලයේදී දෙවියන්ට පූජා කිරීම සඳහා යෑයි කියමින් මහ දවල්, මහජනයා සහ පොලිසිය ඉදිරිපිට එළුවන් 200 කගේ බෙලි කපා මැරීම ය. ශ්‍රී ලංකාවේ නීතියට අනුව ප්‍රසිද්ධියේ සතුන් ඝාතනය කිරීම තහනම් ය. මුන්නේස්‌වරමේ එළු සංහාරයේදී පොලිසිය උඩ බලාගෙන සිටියේය.

ඒ ඇයිදැයි අසමිsන් පොලිසියට බැණවැදීම හා හලාවත පොලිසියේ නිලධාරීන් මාරු කිරීම ඉතා ලෙහෙසි කටයුත්තකි. එහෙත් මේ සිද්ධියට විරුද්ධ වී නම් පොලිසිය මුන්නේස්‌වරමේ ආගමික නිදහසට බාධා කරන බව කියමින් රාජ්‍ය නොවන සංවිධාන එක්‌සත් ජාතීන්ගේ සංවිධානයට පෙත්සම් පවා ගැසීමට ඉඩ තිබිණි. ශ්‍රී ලංකාවේ සත්ත්ව ඝාතන පනත පිළිබඳව ප්‍රවෘත්තියක්‌ අද මේ පුවත්පතේ අන් තැනක සඳහන් ය.

මෙයට ශතවර්ෂ දෙකකට පමණ පෙර ගව මස්‌ කෑම සලකන ලද්දේ කුල ගෝත්‍රවලින් පවා එළවා දැමිය යුතු වරදක්‌ ලෙස ය. ඌරුමස්‌ නම් කිසි විටකත් අනුභව නොකරන ලදී. එහෙත් අද මේ දෙක ශරීර ශක්‌තිය ගෙන දෙන ආහාර බවට "රෙජිස්‌ටර්" කරනු ලැබ තිබේ. රජරටින් හොරකම් කරන ලද හොර හරක්‌ ලොරි කොළඹට එන විට ගවයින්ගෙන් හරි අඩක්‌ තෙරපීම නිසා මිය ගොසිනි. දෙමටගොඩ ගව ඝාතකාගාරයේදී හරකුන්ගේ ගෙල කැපීමට පෙර පොලුවලින් පහර දී කකුල් කඩනු ලැබේ.

ඌරකු මැරීමට පෙර ඌ ගසක බැඳ පොලුවලින් පහර දී කටට උතුරන වතුර වත්කරනු ලැබේ. ඒ ඌරා තවදුරටත් ඉදිමීම පිණිස ය. මේ නීච අපරාධ නැවැත්වීම සඳහා රජය වහාම පියවර ගත යුතු ය. සත්ත්ව ඝාතනයට විරුද්ධව සිවිල් සමාජය තුළින්ම ශක්‌තිමත් ව්‍යාපාර පැන නැඟිය යුතු අතර සත්ත්ව ඝාතන නීති කඩන්නන්ට කස පහර හා සිර දඬුවම් දිය යුතු ය. මේ කතුවැකියේ දෙවන කොටස අපි හෙට ලියමු. මේ රටේ කුකුළු පැටවුන් සහ සුනඛයන් මුහුණදෙන ශෝචනීය ඉරණම එවිට හෙළිදරව් කරමු.

(දිවයින - 09/09/23)

ටිප්පණිය - කතුවැකියේ මුල් පරිච්ඡේදය එසේ නොවන බව මවාපෑමට මෙරට ප්‍රචලිත කර තිබෙන ජනප්‍රිය කුණුහරුපය බහු සංස්කෘතික පචයයි. අපි ඒ ගැන මීට පෙර සාකච්ඡා කර තිබේ. මේ ආකාරයට මීට කලින් ද දරුණු සත්ත්ව සංහාරයන් විවිධ ආගමික නිකායන් කර තිබේ. එහෙයින් වහා ම මේවාට තිත තැබිය යුතුය. බොහෝ ජනවර්ග ජීවත් වන ඉන්දියාවේ ඇතැම් ප්‍රාන්ත දැනටමත් බිළි පූජා නතර කර තිබේ. මිනිසාගේ ශිෂ්ටත්වයට නිගා දෙන මේ සැහැසිකම් නතර කරලීම බලධාරීන්ගේ යුතුකම ය.

Monday, September 21, 2009

මෙහෙම ගියොත් මුතුහෙට්‌ටිගමගේ නාඩි නවතිනු ඇත

දකුණු පළාත් සභා ඡන්දයට ඉදිරිපත්ව සිටින නිශාන්ත මුතුහෙට්‌ටිගම නමැත්තා විසින් ප්‍රසිද්ධියේ කරන ලද ප්‍රකාශ කිහිපයක්‌ කෙරෙහි අපගේ අවධානය යොමු කරමු. ඒ මෙසේය.

* දකුණු පළාත් ඡන්දයෙන් පසු පොලිසියට නිවාඩු දෙන බව සහ පොලිස්‌පති වුවද තමාට ලොකු මිනිසකු නොවන බව.

* අනර්කලී ආකර්ෂා සිප ගැනීමට තමාට සිතෙන බව.

* තමා ස්‌ථිර වශයෙන්ම මහ ඇමැති වන බව.

* ජනාධිපතිතුමාගේ නාඩි වැඩ කරන හැටි තමා දන්නා බව.

* පිල්ලෙයාන් හැරුණු විට අත් දෙකෙන්ම වෙඩි තැබිය හැකි එකම මහ ඇමැති තමා බව.

* පළාත් සභාවට කෙසේ හෝ පොලිස්‌ බලතල ලබාගන්නා බව.

තමා දකුණු පළාත් සභා ඡන්දයෙන් මහ ඇමැති වනු ඇති බවට නිශාන්ත මුතුහෙට්‌ටිගම දිරවා ගැනීමට නොහැකි විශාල ලණුවක්‌ ගිල දමා ඇත. දකුණු පළාත් සභාවේ මීළඟ මහ ඇමැති මෙවැනි මිනිසකු නම්, ඡන්දය දෙන දවසේදී දකුණේ ජනයා මොළය පාවිච්චි කළොත් ස්‌ථිර වශයෙන්ම එක්‌සත් ජනතා නිදහස්‌ සන්ධානය පරදින බව තරයේ කියමින් අද අපගේ කතුවැකිය අරඹමු. දකුණේ ඡන්දයෙන් පසු පොලිසියට නිවාඩු දෙන්නේ කුමටද? විරුද්ධවාදීන්ගේ ගෙවල් ගිනි තැබීම පිණිස ය. විරුද්ධවාදීන්ගේ අතපය කුඩු කිරීම පිණිස ය. එසේ නැතුව පොලිසියට වන්දනා ගමන් හෝ විනෝද ගමන්වල යෙදීම සඳහා නොවේ. 1977 මහ මැතිවරණයෙන් පසු බලයට පත් වූ එ.ජා.ප.ය ද අනියම් ලෙස මේ කටයුත්තම කළේය. පොලිසියට නිවාඩු දීම යනු මහජන පැමිණිලි භාරගැනීමෙන් පොලිසිය වැළකී සිටීම ය. එවිට රිසි පරිදි අපරාධ කළ හැකිය. පොලිස්‌පති වුවද තමාට ලොකු නැති බව පැවැසීමෙන් තමා උපන්ගෙයි පුරසාරම්කාරයකු බව මුතුහෙට්‌ටිගම සනාථ කරයි. අනර්කලී ආකර්ෂා සිප ගැනීමට සිතෙන බව පැවැසීමෙන් තමා අවංක කාම රෝගියකු බවට ඔහු ඉඟි කරයි. ජනාධිපතිතුමාගේ නාඩි වැඩ කරන හැටි දන්නේ එතුමාගේ පෞද්ගලික වෛද්‍යවරයා ය. ජනාධිපතිතුමාගේ නාඩි වැටිල්ලේ හඬ කෙසේ වෙතත් මෙබඳු මිනිසුන් අරලියගහ මන්දිරයට හෝ ජනාධිපති මන්දිරයට ගැනීමෙන් පවා ජනාධිපතිතුමා වරදක්‌ සිදු කරයි. පිල්ලෙයාන් හැරුණු විට අත් දෙකෙන්ම වෙඩි තැබීමට හැකි බව කීම ගමේ ගොඩේ සිටින මෝඩ චණ්‌ඩින් කසිප්පු භාගයක්‌ කට ගාගත් පසු කටගැස්‌ම පිණිස බැදපු කරවල කැබැල්ලක්‌ සොයා යන අතරමඟ සරම ඔසවා දොඩන පුරසාරමක්‌ හා සමාන ය. පළාත් සභාවට පොලිස්‌ බලතල ලබාගැනීමට නිශාන්ත මුතුහෙට්‌ටිගම කටයුතු කරන්නේ නම් එහි කිසිදු වරදක්‌ නැති බව පමණක්‌ කියමු. මන්ද, පොලිසිය යනු සිවිල් ආයතනයකි. හදිසි නීතිය නැතිනම් පොලිසියට ගිනි අවියක්‌ පවා පාරේ ගෙන යැමට අවසර නැත. සාමාන්‍යයෙන් පළාත් සභාවකට පොලිස්‌ බලතල ලැබුණු විට සිදුවන දේ ගැන මුතුහෙට්‌ටිගමට දැනුමක්‌ නැත. එසේ බලතල දුන් විට පළාත් සභාවට පොලිස්‌ කොමසාරිස්‌ කෙනකු පත් කරනු ලැබේ. ඔහුද මධ්‍යම ආණ්‌ඩුවේ පොලිස්‌පතිට හෝ පොලිස්‌ කොමසාරිස්‌ ජනරාල්ට වගකිව යුතුය. මෙතැනදී පොලිසියට අණ දීමේ මුතුහෙට්‌ටිගමගේ සිහිනය බිඳවැටී පොලිසිය මධ්‍යම ආණ්‌ඩුවේ අණ දීම මත ක්‍රියා කිරීමට පටන් ගනී.

මේ සියල්ල සිදුවන්නේ නිශාන්ත මුතුහෙට්‌ටිගම මහ ඇමැති වුවහොත් පමණි. එහෙත් ඔහු මහ ඇමැති වන බවක්‌ ඔහු හැසිරෙන ආකාරයෙන් පෙනෙන මානයකවත් නොවේ. යම් හෙයකින් ඔහු මහ ඇමැති වුවහොත් දකුණේ ජනතාවට වස පානය කිරීමට සිදුවනවා ඇත.

කොයි පක්‍ෂවලත් මැරයෝ සිටිති. ප්‍රචණ්‌ඩ දේශපාලනඥයෝ වෙති. ඒ සියලු දෙනාටම පාලනයක්‌ තිබේ. මේ වූ කලී මර්වින් සිල්වා පවා දැඩි පාලනයක්‌ යටතේ හැසිරෙන කාලයකි. මේ රටේ දේශපාලනය හෙළුවෙන් මහමඟ දිගේ ගමන් කරනු වළක්‌වා ඊට ඇඳුම් ඇන්දවීමේ ව්‍යාපෘතියක්‌ දියත් කළ යුතුව ඇත. මෙය දියත් කළ හැක්‌කේ ද යුද්ධය දිනා මේ රට එක්‌සේසත් කරදුන්, දැනට පාතාලය අතුගා දමමින් සිටින, ඉදිරියේදී දූෂණය තුරන් කිරීමට සැලසුම් හදමින් සිටින ජනාධිපති මහින්ද රාජපක්‍ෂටම බව අපි සිතමු.

මේ වැකිය නිමවන්නේ පහත සඳහන් කුඩා කතාවෙනිá මෙයට කලකට පෙර ඔලිම්පික්‌ උළෙලක්‌ සඳහා ඇමරිකන් ක්‍රීඩා ශූරයෝ පිරිසක්‌ යුරෝපයට ගියහ. එහිදී පැවැති සමාරම්භක උළෙලේදී ඇමරිකන් ජාතික ගී තනුව වැයෙන අවස්‌ථාවේදී ගීතය තොල්මතුරමින් සීරුවෙන් සිටිය යුතු බව ඇමරිකන් ක්‍රීඩකයන් තිදෙනකුට අමතක විය. ඔවුහු ඒ අවස්‌ථාවේදී කතා කරමින් හා සිනාසෙමින් සිටියහ. ඒ දර්ශනය සජීවී රූපවාහිනි සේවාවන් නිසා ලෝකයෙන් අඩකට පමණ දැකගත හැකි විය. ඇමරිකාව කළේ ඒ ක්‍රීඩකයන් තිදෙනා වහාම සිය රටට ගෙන්වීම ය. එවැනි අය ක්‍රීඩාවට සුදුසු නැති බව ඇමරිකාවේ මතය විය. නිශාන්ත මුතුහෙට්‌ටිගම වැනි අය දේශපාලනයට සුදුසු නැති බව අපගේ මතයයි.

(දිවයින - 09/09/22)

ටිප්පණිය - හිටපු පලාත් සභා මන්ත්‍රීවරයෙකු මෙන් ම ප්‍රාදේශීය සභා සභාපතිවරයෙකු වූ නිශාන්ත මහතා සිය ඡන්ද පදනම ඉතා වේගයෙන් විනාශ කර ගන්නා ආකාරය අපට දැක ගත හැකි ය. මීට ටික කලකට පෙර දිගු දේශපාලන ගමනක් යෑමේ පෙරමග සලකුණු ප්‍රකට කළ ඔහු ඒ සියල්ල සිදු නොවන දෑ බව දැන් පෙන්වා දෙයි. මේ ඔහුගේ වරදක් නොවේ. එහෙයින් මම ඔහු වෙනුවෙන් පෙනී සිටිමි.
වරද පක්ෂවල ය. කිසිදු සුදුසුකමක් නොබලා අපෙක්ෂකත්වය ලබා දීමේ වරද ය. ඒ නූගතුන් ජනතාව සිය නායකයින් ලෙස තෝරා පත් කර ගැනීමේ වරද ය. කටුස්සාගේ කරේ රන් බැඳීම බඳින උන්ගේ වරද මිස කටුස්සාගේ වරදක් ද? දැන් මුතුහෙට්ටිගම කටුස්සෙකු බව ද තමන් මහෞෂධ පඬිතුමාන්ලා යැයි ද සිතා සෙසු කටුස්සන් උදම් අනනු දැක ඔබට සිනාසිය හැකි ය. කාට කියන්න ද මේ දුක?

Thursday, September 17, 2009

මඩින් නොව ගොඩින් එන්න

ගස උඩ රැඳී සිටිමින්, ගස කපා දැමීම සඳහා ගස මුලට පොරව හෙලන මොට්‌ටයන් සිටියේ ජනකතාවලය. එහෙත්, ගස උඩ රැඳී සිටිමින් ගස විනාශ කිරීම සඳහා ගස මුලට බෝම්බ හෙලන "මොට්‌ට අමනයන්" "දැකගත හැක්‌කේ ජනකතාවල නොවේ. යථාර්ථයේය, වර්තමාන දේශපාලන යථාර්ථයේය. එක්‌ අතකට ඒවා පැරැණි ජනකතාවලට වඩා අපූරුය.

එහි එන චරිතවලට අනුව ශ්‍රී ලංකාවේ ජනාධිපතිවරයා යුද අපරාධකරුවෙකි. මානව හිමිකම් කඩකරන්නෙකි. ඔහුට එරෙහිව පැවැත්විය යුතු ලෝකයේ ලොකුම මානව හිමිකම් සහ යුද අපරාධ පිළිබඳ නඩුව සඳහා ඔහු අල්ලා ජිනීවා හන්දියේ උසාවි කූඩුව තුළට ගෙන ආ යුතුය.

ඔවුනට අනුව, මේ නඩුව ඇසීමට පත්කරනු ලබන්නේ ත්‍රිපුද්ගල විනිශ්චය මණ්‌ඩලයකි. එහි සභාපතිතිනිය වන්නේ එක්‌සත් ජාතීන්ගේ මානව හිමිකම් සංවිධානයේ ප්‍රධානී නවී පිල්ලේ වන අතර සෙසු දෙදෙනා නම් බ්‍රිතාන්‍ය විදේශ ලේකම් ඩේවිඩ් මිලිබෑන්ඩ් සහ ප්‍රංශ විදේශ ලේකම් බර්නාඩ් කුෂ්නර්ය. අතිරේක (ක්‍රීඩකයකු) වශයෙන් ස්‌වීඩනයේ කාල් බිල්ට්‌ද නම් කරනු ලැබේ.

විත්තිකරු හෙවත් ශ්‍රී ලංකාවේ ජනාධිපතිවරයා වෙනුවෙන් පෙනී සිටීමට ඩලස්‌ලාට තබා ගඩාපිලාටවත් ඉඩ නොදෙන අතර පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටීම සඳහා නීතිඥ මණ්‌ඩලයකි. වී. රුද්‍රකුමාර් ප්‍රධාන මෙම මණ්‌ඩලයේ සෙසු නීතිඥයන් වන්නේ එරික්‌ සෝල්හයිම්, වයිකෝ, නැදුමරන්, ඇඩෙලා බාලසිංහම් සහ කන්නිමෝෂි යන අයය.

"යුක්‌ති සහගත භාවය" සහ "මානව භක්‌තිය" වෙනුවෙන් තමන්ගේ රට, ජනතාව පමණක්‌ නොව අම්මා අප්පා වුව අමතක කිරීමට සැදී පැහැදී සිටින විපක්‌ෂ දේශපාලන නායකයන් කිහිප දෙනෙකු විසින් ඉදිරිපත් කරන පැමිණිල්ල ලෝක උසාවියට පෙර ලෝක ජනමාධ්‍යයට ඉදිරිපත් කෙරෙනු ඇත.

එහෙත්, නඩු විභාගය දැක බලා ගැනීම සඳහා රුසියාවට, චීනයට, පකිස්‌තානයට, ලිබියාවට, වෙනිසියුලාවට, ඉරානයට තබා ඉන්දියාවටවත් ඉඩ ලබා නොදෙනු ඇත.

ඉහත කී ත්‍රිපුද්ගල විනිශ්චය මණ්‌ඩලය නඩු විභාගය පවත්වන අතර තමන්ගේ විනිශ්චය ඉදිරිපත් කිරීමට ලෝක ජනතාවට එස්‌. එම්. එස්‌. ඡන්ද ක්‍රමය භාවිත කළ හැකිය. මක්‌නිසාද මුළු නඩු විභාගයම රියෑලිටි ෂෝ එකක්‌ කිරීම බොහෝ බටහිර මාධ්‍යයන්ගේ මේ මොහොතේ අවශ්‍යතාව වන නිසාය.

එහෙත් අල් ජසීරා, සී. එන්. එන්. වැනි මාධ්‍යයන් බලාපොරොත්තු වන මට්‌ටමේ රියෑලිටි ෂෝ එකක්‌ ඉදිරිපත් කරනවාට වඩා නඩු විභාගය පැමිණිලිකරුවන් තව හොඳට අන්දවා "කොමඩි ස්‌ටාර්" මට්‌ටමේ රියෑලිටි ෂෝ එකක්‌ බවට පත්කිරීම බී. බී. සී, චැනල් ෆෝ මාධ්‍යකරුවන්ගේ උත්සාහය වන බැවින් මෙහිදී යම් මාධ්‍ය යුද්ධයක්‌ ඇරැඹීමට ද ඉඩ තිබේ.

අප මේ උපමා කතාව කීවේ මේ දිනවල හෙළිදරව් කෙරෙන ශ්‍රී ලංකාවේ ජනාධිපතිවරයාටත්, රටටත් අවසානයේ එහි ජනතාවටත් එරෙහිව දියත් කෙරෙමින් පවතින කුමන්ත්‍රණය අරභයා අප තුළ පවත්නා හාස්‍යයක්‌ නිසා නොවේ. කෝපය නිසාය.

මේ කුමන්ත්‍රණවල අවසාන ඉලක්‌කය ජී. එස්‌. ටී. ප්ලස්‌ සහනය වැළැක්‌වීම වැන්නකින් ශ්‍රී ලංකාවට රිදවීම පමණක්‌ නොවන බව පැහැදිලිය.

අවසාන විග්‍රහයේදී එය කෙසේ හෝ දේශපාලන බලය ලබාගැනීමට මේ රටේම යම් පිරිසක්‌ ගන්නා උත්සාහයක ප්‍රතිඵලයක්‌ වශයෙන් දිස්‌වීම වළකනු නොහැකිය.

විපක්‌ෂයේ දේශපාලන පක්‌ෂ ආණ්‌ඩු බලය ලබාගැනීම සඳහා දේශපාලන උපක්‍රමවල යෙදීම අස්‌වාභාවික සිද්ධියක්‌ නොවේ. එහෙත් ඒ සඳහා තමන්ගේ මාතෘභුමිය පාවාදීම හෝ ඇපයට ගැනීම අස්‌වාභාවික දෙයක්‌ පමණක්‌ නොව අසාධාරණ දෙයක්‌ද වේ.

ඕනෑම උපක්‍රමයක්‌ සහිතව ක්‍රීඩාපිටියට පිවිසීමට ඔබට අවසර ඇති මුත් ක්‍රීඩාපිටිය විනාශකොට ජයග්‍රහණය ලැබීමට ඔබට අවසරයක්‌ නැත.

මේ අර්ථයෙන් විපක්ෂයේ සමහරුන් ජනාධිපතිවරයාට එල්ල කරන ප්‍රහාර වදින්නේ ඔහුට නොව රටට ය. මේ අර්ථයෙන් විපක්‌ෂයේ සමහරුන් රජයට එල්ල කරන ප්‍රහාර වදින්නේ රජයට නොව රටටය.

ඒ නිසා අළුගුත්තේරු වැඩ නොකර හරියට ක්‍රීඩා පිටියට පිවිස පරාජය වුව නම්බුකාර ලෙස ලබා ගන්නැයි අපි ඒ "නොදියුණු" විපක්ෂ දේශපාලනඥයනට කියමු. මේ "බලුවැඩ" නිසා ඔබ අහිමිකරන්නේ විපක්‌ෂයක පෞරුෂය පමණක්‌ නොවේ. රජයේ තිබෙන දහසකුත් එකක්‌ වැරැදි විවේචනය කිරීමේ අවස්‌ථාව ද වේ.

(දිවයින - 09/09/18)

ටිප්පණිය - මේ රටේ විපක්ෂ නායකවරයා ක්‍රියාකරන්නේ පාර්ලිමේන්තුවේ විපක්ෂ නායක ලෙස නොව රටේ විපක්ෂ නායක ලෙස ය. කණා ගහන ගල් සේ ආණ්ඩු බලය ලබා ගැනීමේ පෙරේත කමින් ඔවුන් ගහන ගල් වදින්නේ මව්බිමේ හිසට ය. එවිට ගලා යන්නේ ජාතික අභිමාණයේ රුධිරයයි. 2001 ප්‍රහාරය හමුවේ ඇමරිකන් විපක්ෂය හැසිරුණු ආකාරය මේ ඉටහර ගැතී දීනයින්ට නොපෙනෙන්නේ ජාතියේ අවාසනාවට ය.

Tuesday, September 15, 2009

සරසවි ඇදුරන් දෙකෙන් එකක්‌ තෝරා ගැනීම

උසස්‌ අධ්‍යාපන ඇමැති විශ්වා වර්ණපාල මහතා කාලෝචිත, ඉතාම යහපත් තීරණයක්‌ ගෙන ඇත. එනම් විශ්වවිද්‍යාලවල අධ්‍යයන කටයුතුවල යෙදෙන ආචාර්ය මහාචාර්යවරුන් එම කටයුතුවල තවදුරටත් යෙදෙනවාද එසේ නැත්නම් එයින් බැහැරව ටියුෂන් කටයුතුවල යෙදෙනවාද පිළිබඳවය.

විශ්වවිද්‍යාල ආචාර්ය මහාචාර්යවරුන්ට එකවිට දෙකක්‌ කළ නොහැකිය. අද එම ආචාර්ය මහාචාර්යවරුන්ට සාමාන්‍ය ගුරුවරුන්ට මෙන් ටියුෂන් රෝගයද බෝවී ඇත. මෙය නම් ඉතා හොඳ දෙයක්‌ නොවේ. මෙය බරපතල රෝගයකි.

මෙයට බොහෝ කලකට පෙරාතුව විශ්වවිද්‍යාලවල ඉගැන්වීමේ කටයුතුවල යෙදුණු වචනයේ පරිසමාප්තාර්ථයෙන්ම ආචාර්ය, මහාචාර්යවරුන් වූ අය ටියුෂන් දෙන්න ගියේ නැත. විශ්වවිද්‍යාල ඉගැන්වීමට අමතරව ටියුෂන්වල යෙදීම ඉතාම පහත්, බොළඳ එම ධුරයට අතිශයින්ම නොගැලපෙන දෙයක්‌ ලෙසය, ඔවුන් විසින් සලකන ලද්දේ. එහෙත් අද මේ තත්ත්වය කණපිට පෙරැළී ඇත. මුදල් ඉපැයීමේ පරමාර්ථයෙන් අද විශ්වවිද්‍යාලවල ඇතැම් ඇදුරන් ටියුෂන් පන්ති පවත්වා තමන්ගේ තත්ත්වයත්, විශ්වවිද්‍යාල තත්ත්වයත් බාල්දු කොට ඇත. හෑල්ලුවට ලක්‌ කොට ඇත.

ටියුෂන් ක්‍රමය නිසා විශ්වවිද්‍යාල පද්ධතිය අද මුළුමනින්ම කඩා වැටී ඇත. විශ්වවිද්‍යාලය යනු රටක ඉහළම ආයතනයයි. බුද්ධිමතුන්, ප්‍රාඥයන්, ගවේෂකයන්, පර්යේෂකයන් තනන තැන්නයි. එහෙත් අද එබඳු තත්ත්වයක්‌ එතැනින් සිදු නොවේ. කෙසේ හෝ උපාධිය ලබා ගෙන එයින් පිටවීමයි අද සිදුවන්නේ. තමන් ලත් ඥනය තවදුරටත් ප්‍රගුණ කර ගැනීමට උනන්දු වන්නේ ද නැත. එසේ සිදුවන්නේ එහෙමත් කලාතුරකිනි. ඒ එක්‌කෙනෙක්‌, දෙන්නෙක්‌ පමණි.

විශ්වවිද්‍යාලවල බාහිර උපාධිලාභීන්ට එම විශ්වවිද්‍යාලවල උගන්වන ඇදුරන්, මහඇදුරන් ටියුෂන් පන්ති පවත්වා, පාඨමාලාව උගන්වා අවසානයේ ප්‍රශ්න ද කියවා ඊට පිළිතුර ද සපයති. මේ තත්ත්වය අනුව මේ උපාධියෙන් රටට ඇතිවන සෙත කවරේද? පුද්ගලයාටවත් එයින් සෙතක්‌ නැත.

බාහිර උපාධි ශිෂ්‍ය, ශිෂ්‍යාවන්ට බාහිර පොත් කියවා ඉගෙන ගැනීමට අවශ්‍ය දෙයක්‌ නැත. මන්ද ටියුෂන් දෙන සරසවි ඇදුරන් හා මහ ඇදුරන් විභාගයට එන සියලුම දේ උගන්වා විෂය නිර්දේශයට අදාළව උත්තරද කියාදී උපාධියෙන් සමත්වීමට කිසිදු බාධාවක්‌ නොමැතිව ඉඩකඩ සලසාදී ඇත.

මෙය ඉතා අනර්ථකාරී, අනිටු විපාක ගෙන දෙන්නකි.

මෙයට දසක දෙක තුනකට පෙරාතුව නම් බාහිර උපාධි ලබාගත් අයගේ දැනුම අභ්‍යන්තර (විශ්වවිද්‍යාලවල) ශිෂ්‍ය මානවක, මානවිකාවන්ගේ දැනුමට වඩා ඉහළය. මන්ද විශ්වවිද්‍යාල ඇදුරන්ගෙන් හා මහ ඇදුරන්ගෙන් ඉගෙන නොගෙන, වෙනත් බාහිර පන්තිවලට ගොස්‌ විෂය නිර්දේශයට අනුගතව ඉගෙන ගෙන බාහිර පොත් විශාල සංඛ්‍යාවක්‌ කියවා දැනුම් සම්භාරයක්‌ ලබා ගෙන ඕනෑම ප්‍රශ්නයකට අභීතව පිළිතුරු දීමේ ශක්‌තියක්‌, හැකියාවක්‌ තිබිණි. එහෙත් අද තත්ත්වය මෙයට ඉඳුරාම වෙනස්‌වීම අතිශය ඛේදයකි. එමෙන්ම රටට මහා විපතකි.

විශ්වවිද්‍යාල ඇදුරන්ගෙන්, මහ ඇදුරන්ගෙන් විය යුත්තේ රටට අලුත් දෙයක්‌ ලබාදීමට පර්යේෂණයේ, ගවේෂණයේ යෙදීමය. මෙයට දසක කිහිපයකට පෙරාතුව එබන්දක්‌ විශ්වවිද්‍යාල ඇදුරන්ගෙන්, මහ ඇදුරන්ගෙන් සිදු විය. එහෙත් අද සරසවි ඇදුරන්ගෙන්, මහ ඇදුරන්ගෙන් එබන්දක්‌ සිදු නොවේ.

අත්‍යන්තයෙන්ම මුදල් පසු පස හඹා යැම විනා ඥනය පාදකකොට ගෙන විශ්වවිද්‍යාලයේත්, තමන්ගේත්, ශිෂ්‍ය මානවක මානවිකාවන්ගේත් ගෞරවය, අභිමානය රැකෙන අන්දමට සරසවි ඇදුරන්, මහ ඇදුරන් කටයුතු කරන්නේද?

පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ සිටි මහාචාර්ය එස්‌. විඡේරත්න "නාම පදය" සම්බන්ධව හොඳ පර්යේෂණයක්‌ කෙළේය. "නාම පදය" යනු අපට නම් සරල වදන් දෙකකි. එහෙත් පර්යේෂණයේදී ඉතාම පුළුල් වදනක්‌ බවට එම මහඇදුරා පත් කළේය. ප්‍රකට කළේය.

සරසවි ඇදුරන්ට ටියුෂන් දීම කැපද? ඒ කාරිය තමන්ගේ තත්ත්වයට ගැලපෙන්නේද? මේ කරුණු සම්බන්ධයෙන් සැලකිල්ලට ගත යුතු කාලය උදා වී ඇත.

ශිෂ්‍ය මානවක, මානවිකාවන් සරසවියට පිවිසෙන්නේ පැසුණු අය ලෙස නොවේ. එහෙත් එයින් පිට විය යුත්තේ පැසුණු අය ලෙසය. එහෙත් මේ කාර්යය එලෙසම අද සිදු නොවේ. මන්ද පටු පරමාර්ථවල පිහිටා සටහනට පමණක්‌ සිය උපාධිය සීමා වී ඇත. මෙයට සරසවි ඇදුරන් ද බොහෝදුරට වගකිව යුතුය.

නිදහස්‌ අධ්‍යාපනයෙන් ආණ්‌ඩුවේ මුදල් සම්භාරයක්‌ මොවුන් වෙනුවෙන් යොදවන්නට තිබීම මත එම තත්ත්වයෙන් උපරිම ඵල නෙළාගෙන රටට තමන්ගෙන් සෙතක්‌ සලසන්නට වග බලා ගත යුතුය. සරසවිවලින් පිටවන උපාධිධාරීන්, උපාධිධාරිනියන්ට නිර්මාණ ශක්‌තියක්‌, භාෂා ඥනයත් නොමැතිකම නිසා ආණ්‌ඩුවේ පමණක්‌ නොව පෞද්ගලික අංශවල ද රැකියාවක්‌ ලබා ගැනීමට අසීරු තත්ත්වයක්‌ උදාවී ඇත. මහ මග පිකටින්, සත්‍යක්‍රියා උපවාස කරන්නට සිදුවී ඇත්තේ මේ නිසාය.

උසස්‌ අධ්‍යාපන ඇමැතිවරයා ලෙස සරසවි ඇදුරන්ට ටියුෂන් පන්ති තහනම් කිරීමට ගත් පියවර ඉතාම යහපත් වූවකි. එය රටට මෙන්ම උපාධිධාරීන්ට ද සෙතකි. ටියුෂන් දෙන්නට යාම මත විශ්වවිද්‍යාල පද්ධතියේ වැඩ සියල්ලම අඩපණවීම ද කිසිසේත්ම නොවැළැක්‌විය හැකි කරුණකි.

මුදල් අවශ්‍යය. එහෙත් එම මුදල් හරි හම්බ කළ යුත්තේ රටට ඵලදායී ඵලයක පිහිටාය. සරසවි ඇදුරකුගේ අද වැටුප එදා සරසවි ඇදුරකුගේ වැටුපට වඩා ඉහළය. බොහෝ අඩු වැටුපක්‌ ලත් සමයකදීවත් සරසවි ඇදුරන් ටියුෂන් පන්ති පවත්වා මුදල් හම්බ කරන්නට ගියේ නැත. ටියුෂන් දීම ඔවුන් එදා සැලකුවේ මදිකමක්‌ ලෙසය. තමන්ගේ තත්ත්වයේ අභිමානය රැකගෙන කටයුතු කළ හෙයින් ඒ ඒ විෂයයේ විවිධ පර්යේෂණ හා නව අත්හදා බැලීම් සිදුවූ අතර පැසුණු පිරිසක්‌ ද සරසවියෙන් පිටමං විය.

අද පුරාවිද්‍යා විෂයට අත්ව ඇති ඉරණම දෙස බලන්න. එදා පුරාවිද්‍යාව කෙළේ වනගත පෙදෙසට ගොස්‌ය. එහෙත් අද පුරාවිද්‍යාව විශ්වවිද්‍යාලයේ වීදුරු කාමරවලට හිරවී ඇත. පුරාවිද්‍යා විෂයයේ අලුත් දෙයක්‌ දැන ගන්නට අපි කැමැත්තෙන් සිටිමු. එහෙත් මහාචාර්ය සෙනරත් පරණවිතාන, මහාචාර්ය සිරිමල් රණවැල්ල, ආචාර්ය චාල්ස්‌ ගොඩකුඹුර ආදීන් කළ පර්යේෂණවල හිරවී සිටීම හැර අලුත් දෙයක්‌ ලොවට දී නැත.

ටියුෂන් කඩ නිසා සරසවි අධ්‍යාපනය තවත් පිරිහෙන්නට ඉඩ නොතබා සරසවි ඇදුරන්ට විශ්වවිද්‍යාල අධ්‍යාපනය ද, එසේ නොවන්නේ නම් ටියුෂන් කඩ ද යන දෙකෙන් එකක්‌ තෝරා බේරා ගෙන කටයුතු කිරීමට කිසියම් තීරණයක්‌ ගැනීමට ඉඩකඩ සලසාදීම ඉතාමත්ම කාලානුරූප පියවරකි. සරසවිවලින් ප්‍රාඥයන් බිහිවීමට මං පෙත් විවර වෙනවා මෙන්ම බාහිර උපාධියේ වටිනාකම ද ඉහළ තලයකට පත්වීම ද නිරන්තරයෙන්ම සිදුවන්නකි. එමෙන්ම සරසවි ඇදුරන්ගෙන් හා මහඇදුරන්ගෙන් අලුත් දෙයක්‌ දැන ගැනීමට ද අවකාශ සැලසෙන්නේය.

ආචාර්ය රංජිත් ඇල්. අබේවික්‍රම
(දිවයින - 09/09/15)

ටිප්පණිය - මේ ඉතා ම කාලෝචිත යෝජනාවකි. සරසවි ඇදුරා යන නාමය සමග මෙරට ජනතාව ගොඩ නගා ගත් ප්‍රතිරූපයක් තිබේ. එම තත්ත්වය විනාශ වී යාම අවාසනාවකි. මුදල් පසුපස හඹා නොයන ශාස්ත්‍රිය කටයුතුවලට නැඹුරු වූ පිරිසක් සරසවිවලින් පිටත සිටිය දී, මුදලාලිලා එම ආයතන අරක් ගෙන සිටීම කෙතරම් අවාසනාවක් ද? එහෙයින් ඔවුන් වහාම තීන්දුවක් ගත යුතුය. ඇතැම් කථිකාචාර්යවරු සිය ධූර අතැර ටියුෂන් ව්‍යාපාරයට නැඹුරු වූ අවස්ථා තිබේ. එය ඉතා ම හොඳ ය. නරක මේ දෙක ම අනාගෙන නා ගැනීම ය.

Monday, September 14, 2009

ජනප්‍රිය සිංහල සංගීතය

එය හඬකින් බිහිවූවකි. ගලා බසින දොළ පහරකින් හෝ ඇද හැලෙන දිය ඇල්ලකින් නැඟෙන ‘සර සර’ හඬෙන්, ගහකොළ ආදියේ ගැටී පිසයන මාරුතයෙන් නැඟෙන හඬෙන්, ලී කෑලි දෙකක් එකට ගැටීමෙන් නිකුත්වන ශබ්දයෙත්, යම් සංගීතයක් ඇත. මෙසේ කල්පනා කර බලන විට සංගීතයක් ගොඩ නැඟීමට මුල් වූයේ හඬයි.

අද ලෝකයේ භාවිතා කෙරෙන නානාවිධ භාෂා සකස්කර ගැනීමට පෙර ආදී කාලයේ විසූ මනුෂ්‍යයෝ තම හැඟීම් අන්‍යයන්ට ප්‍රකාශ කරන්නට ඇත්තේ සත්වයින් මෙන් කට හඬින් පමණක් විය යුතුයි. නොයෙක් විට ඒ හැඟීම් සංගීතයට නගා කුරුල්ලන් මෙන් ප්‍රකාශ කරන්නට ඇතැයි සිතිය හැකි. සංගීතයේ මුල් ආරම්භය මෙසේ ඇති වී මිනිසා ක්‍රම ක්‍රමයෙන් ආශා ගොඩනගත්ම සංගීතය ද ගොඩ නැඟෙන්නට ඇත.

එකල රාගතාල සොයා ගෙන නොතිබුණේ වී නමුදු ශබ්දය ඇසුරු කොට ඇති වූවක් නිසා මෙය ගණන් ගත්තේ සංගීතයක් හැටියටයි. මෙවැනි සංගීතයක් අද ලෝකයේ සෑම රටකම සෑම ජාතියවකටම හිමිවී ඇත. එය ඒ ඒ මනුෂ්‍ය වර්ගයාගේ සංස්කෘතිය අනුව හැඩ ගැසුණි. භාරතය ආදී සමහර රටවල මේ ජන සංගීතය ක්‍රමයෙන් දියුණුව ඉන් උසස් ශාස්ත්‍රීය සංගීතය පවා ගොඩ නැඟී ඇත.

ලංකාවේද මෙවැනි ජන සංගීතයක් ලෙස ගණන් ගැනෙන්නේ අරාබියේ සිට පැවත එන අපේ කවියයි. එවකට ජනකවි හැර විදේශීය සංගීතයක් මෙහි භාවිතා කෙරුණු බවක් පෙනෙන්නට නැත. එම නිසා ලංකාවේ ජනප්‍රිය සංගීතයව පැවැත්නේ ජනකවියයි.

මේ ජන කවියෙන් ජනප්‍රිය සංගීතය මහජනයා අතර බහුල ප්‍රචාරය වූයේ අදට වඩා පැරණි සිංහල රාජකාලවල බව අපට පොත පතින් වටහා ගැනීමට පුළුවන.

එදා කුඹුරේ හාන හෝ වපුරන හෝ කපා පාගන ස්ත්‍රියට හෝ පුරුෂයාටත් නෙලන දැරියටත් ගල්කරුවාටත් පාරුවක් පදවාගෙන යන හැඩි දැඩි තරුණයාටත් හේනේ පැල් රකින ගොවියාටත් ගැයීමට සුදුසු ඉතා අලංකාරවූ තාල වල් ඕනෑ තරම් විය. මේ කවි නොහොත් ජනප්‍රිය සංගීතය ඔවුන්ගේ වැඩ කටයුතු වලදී ආධාර වූවා මිස එයට බාධාවක් නොවුණි.

සමූහයකට එක්ව ගැයීමට සුදුසු සමූහ ගී ද එමට තිබුණි. ඔන්චිලි වාරම්, ඔලිඳ කෙළිය වැනි ගම්බද ක්‍රීඩාවලදී එකල විසූ සිංහල දරු දැරියන් විනෝද වූයේ මේ සමූහ ගී ගයමින් ය.

එවකට භාරතයේ මෙන් උසස් ශාස්ත්‍රීය සංගීතයක් ලංකාවේ නොවූ නමුදු ලොකු කුඩා සියලු දෙනාම මේ ජනප්‍රිය සංගීතයේ රසය විඳිමින් ප්‍රීතියට පත්වූහ. ඒ හැමගේ ජීවිත විනෝදාත්මකව ගෙන යෑමට උදව් විය. ඉන් ඔවුනට නිරන්තරයෙන් ලැබුණ කලාත්මක රසය හේතු කොට ගෙන ඔවුන්ගේ ගොවිකම් ආදී දිනපතා කටයුතු සර්වාකාරයෙන් ම සපල විය. එදින ලංකාව කිරෙන් හා පැණියෙන් ඉතිරී ගියේ මේ ජන සංගීතයෙන් වින්දා වූ රසය නිසා ය.

අවාසනාවකට මෙන් ලංකාව විදේශීන්ට යටත් වූවාට පසු ක්‍රමයෙන් දියුණු වී ආ මේ වැඩදායි සංගීතය අභාවයට පත්වුණි. එවක් පටන් බටහිර සංගීතයත් භාරතයෙන් ගලා ආ හිංදුස්තාන් සංගීතයත් මෙහි ප්‍රචාරය වීමට පටන් ගති.

මෙසේ හැම එකක් ම මිශ්‍ර වීමෙන් අසංකර සංගීතයක් හැඩ ගැසී ගෙන ආ නමුදු වාසනාවකට මෙන් සිංහල සංගීතයක් හැටියට එකල බිහිවූයේ මෙහි ගලා ආ හින්දුස්තානි තනුවලට බැඳුණු සිංහල ගීතයි. ඒවා ද නෘත්‍ය ශාලාවලට හා ශබ්ද වාහිනී තැටිවලට සීමා වූවා මිස පෙර මෙන් මුලු රටපුරා ප්‍රචාරය වූ ජනප්‍රිය සංගීතයක් නොවී ය.

භාරතයෙන් ගෙනා හින්දුස්තාන් තනුවකට සිංහල වචන ගොඩක් පුරවා නෘත්‍ය ශාලාවකදී හෝ තැටිගත කිරීමකදී ගායනා කිරීමෙන් එය වෙළෙඳ සංගීතයක් වූවා මිස පැරණි ජන කවියෙන් ඇති කරදුන් රසයත් ප්‍රයෝජනයත් එහි නොවීය. එකල සිංහල සංගීතයෙන් හැඩ ගැසීමට පුරෝගාමීව මහත් උනන්දුවකින් ඉදිරිපත් වූ ස්වල්ප දෙනෙක් යම්තම්වත් කල්පනා කළා නම් ඒ යටපත් වූ ජනකවි එළියට ඇද දමා එයට නව පණක් දීමට අපට අපේ සිංහල ඌරුවට හැඩ ගැසුණු නියම සිංහල ජනපි‍්‍රය සංගීතයක රස භුක්ති විඳින්නට ලැබෙනවාට කිසිම සැකක් නෑ.

බෙංගාලය අද පවතින ජනප්‍රිය සරල සංගීතය ආරම්භය පැරණි ජන කවියෙන් ම ඇති වූවකි.

එයට පුරෝගාමීව කටයුතු කළ තාගෝර් මහ කිවිඳා වැනි අය ජන කවියටම නව පණක් දී එහි ගැබ්ව ඇති දේශීය ඌරුව නොසිතන පරිදි එයට හැඩ ගැසූහ. පසුව භාරතයේ ශාස්ත්‍රීය සංගීතයේ ද ආධාරය ඇතිව මෙය සකස් වූ නමුත් අද දක්වා ම එහි වූ වංග ඌරුව රඳා පවතී. කොතෙක් දුරට මෙය සපල වී දැයි විමසා බලන්නෙකුට වංග ගීයක් ඇසුණු සැණෙකින් ම එහි වූ තනුවෙන් පමණක් ඒ වංග ගීයකැයි කිව හැක. අද බෙංගාලයේ ජනප්‍රියව ඇත්තේ මෙවැනි සරල සංගීතයකි. එම ගී තනි තනිව හෝ සමූහයකට හෝ ගායනා කිරීමට සුදුසු පරිදි පිළියෙළ වී ඇත.

මේ නිසා පැරණි ජන කවියෙන් නොහොත් ජනප්‍රිය සංගීතයෙන් ලබාගත් රසයත් විනෝදයත් අද වංග ජාතිකයෝ මේ නූතන සංගීතයෙන් ලබා ගනිති.

බෙංගාලයේ මේ ප්‍රචාරය වී තිබෙන ජනප්‍රිය සංගීතය නිදර්ශනයක් කොට ගෙන අපට ද ලංකාවේ ජනප්‍රිය සංගීතයක් නිපදවා ගත හැක. මෙය ජනකවි පදනම් කොට කළ යුත්තෙකි. දැනට ලංකාවේ භාරතීය ශාස්ත්‍රීය සංගීතය ක්‍රමයෙන් වගා වී එන නිසා එය ද මීට ආධාර කැරැගෙන එය වඩාත් අලංකාර පරිදි කළ හැක.

මේ අන්දමින් සලකා බලන කළ භාරතීය ශාස්ත්‍රීය සගයුව අපට අවශ්‍යයි. විද්‍යාව ඇත්තේ ශාස්ත්‍රීය සංගීතයේ බැවිනි. භාරතයේ බහුලව ඇති හින්දි සරල සංගීතය අද එතරම් දියුණු වී ඇත්තේ ශාස්ත්‍රීය සංගීතයෙන් එයට ලබා ගත් ආධාරය හේතු කොට ගෙනයි. මුල් පදනම ජනකවි වුව ද පසුව ඇති වූ නානාවිධ තනු හැඩ ගැසුවේ ශාස්ත්‍රීය සංගීතයෙන් ගත් රාග තාල අනුවයි.

ලංකාවේ ද එවැන්නක් අපට කළ හැකි වූ නමුත් අද එයට විශාල බාධාවක් වී තිබෙන්නේ භාරතයෙන් ගලා එන හින්දුස්තානි සරල සංගීතයයි. අමාරු දේ කිරීමට වෙහෙස දරා ඉන් සැබෑ ප්‍රතිඵල ලබා ගන්නවාට වඩා ලෙහෙසි පහසුව සලකා තැටි හා චිත්‍රපට මාර්ගයෙන් අප රටට වැල නොකැඩී එන මේ හින්දි සරල ගී උපුටා ගැනීමට කවුරුත් පුරුදු ව සිටිති.

එම ගීත ඉතාමත් රසවත් බව අපට නොකියා බැරි නමුත් ඒවා සදහටම උපුටා ගැනීමට පුරුදු වුවහොත් අපට අපගේ යුතුකමක්ව ඇති දේ නියමිතව කිරීමට එය බාධාවක් වේ. තැටි ගත කිරීමට හෝ චිත්‍රපටයකට යෙදීමට හෝ ගුවන් ගැන්වීමට හෝ ගීතයක් උවමනාවූ විටකදී හෝ කෙළින් ම හින්දි ගී උපුටා ගැනීමට දුවන්නේ නම් එය කලින් සඳහන් කළ පරිදි සිංහල සංගීතයක් සකස් වෙන්නේ කෙසේද?

අද භාරතයේ සංගීතඥයෝ අපට සිනාසෙන්නේ මේ නිසා ය. තමුසෙලාට අපේ ගී සිංදු නැත්නම් උඩ බලා ඉන්ටයි වෙන්නේ යයි ඒ උදවිය කියන්නේ අපි ඒ වැරැද්ද කරන නිසයි. ඒ අය තමන්ගේ ජනප්‍රිය ගීත වෙන කාගෙන්වත් උපුටා නොගෙන වෙහෙස දරා ස්වඋත්සාහයෙන් පිළියෙල කරගන්නේ නම් අපට ද, ඊට ආරම්භයක් වශයෙන් එසේ කිරීමට බැරි කමක් නැත.

ගීතයක තනුව හිංදි වුවත් වංග වුවත් එය රසවත් නම් උපුටා ගත්තාට වරදක් නැතැයි බොහෝ දෙනා කියන නමුදු එය වැරදි අදහසකි. එසේ කීමෙන් ඒ වරද තව තවත් දුරට කෙරෙන්නට පුළුවන. එය පණින රිළවුනට ඉණිමං බැන්දාක් වැනි වේ. අවසානයේ දී ඒ රෝගය අසාධ්‍ය විය හැක.

අපි කෙතරම් දුරට මේ සම්බන්ධව කීවත් ලීවත් සිංහල ජනප්‍රිය සංගීතයක් ගොඩනැඟීමට උනන්දුව හා ධෛර්ය ඇති සංගීතඥයාට හෝ නිබන්ධකයාට රජයේත් මහජනයාගෙත් ආධාර නොමැති නම් ඔහුගේ ඒ ප්‍රයත්නය නිෂ්පල වෙයි.

ආනන්ද සමරකෝන්
(සිළුමිණ - 09/09/13)

ටිප්පණිය - මේ ලිපිය ලියා ඇත්තේ අපේ ජාතික ගීයේ නිර්මාතෘවරයා ය. එහෙයින් එහි සඳහන් වන දේ පිළිබඳ සාවධාන වීම වත්මන් කලාකරුවන්ගේ සුභ සිද්ධියට හේතුවනු ඇත. රසික දැනුම පුළුල් කරනු ඇත. අප අද නිර්මාණය කරන රස විඳින ගී තුළ ඇත්තේ අපේ සම්ප්‍රදාය ද?එහි ප්‍රතිඵලය ලෙස සිංහල ගීතය වඩා සුන්දර වනු ඇත. කෙළවර අදීන නිවහල් මනසැති පරපුරක් බිහිවනු ඇත.

Tuesday, September 8, 2009

ජාතිය පිළිබඳ බෞද්ධ සංකල්පය

වර්තමාන ශ්‍රී ලංකා සමාජය තුළ ප්‍රබලව සාකච්ඡාවට බඳුන්ව ඇති කාරණාවකි "ජාතිය" පිළිබඳ අදහස. මෙහිදී මෙම ලිපියේ අරමුණ වන්නේ උක්‌ත අදහස සම්බන්ධයෙන් බෞද්ධ විචාරය දැක්‌වීමය. එමෙන්ම අප බහුලව දැන් දැන් භාවිත කරන බහු සංස්‌කෘතික, බහු ආගමික රටක්‌ය යන භාවිතය පිළිබඳව ද ඒ ඔස්‌සේ "ශ්‍රී ලාංකික" යන පදනම මත රට සංවර්ධනය කිරීමේ සංවාදය පිළිබඳ අදහසක්‌ දැක්‌වීමය.

ජාති වශයෙන් ගත් කල අප රට තුළ සිංහල, දෙමළ, මුස්‌ලිම්, ක්‍රිස්‌තියානි, බර්ගර්, මැලේ ආදී විවිධ ජාතීහු වාසය කරති. ඒ බව තර්කයෙන් තොරය. එහෙත් ඉතිහාසය ඔස්‌සේ හෝ වේවා ජන සංඛ්‍යාලේඛන මත වුවද වැඩි ජන කොටසක්‌ මෙන්ම වැඩි ඓතිහාසික වගකීමක්‌ ඉටු කරන ලද පිරිස වන්නේ ද සිංහල බෞද්ධ ජනතාවය. එහෙයින්ම සිංහල දේශය, සිංහලයන්ගේ රට, බෞද්ධ රාජ්‍යය යන යෙදීම් මෙරට හැඳින්වීමේදී යොද ගැනිණි.

නමුත් වර්තමානය වන විට ජන නායකත්වය ද මෙම හැඳින්වීමට අස්‌ථානගත බියක්‌ දක්‌වමින් බහු ආගමික රටක්‌ වශයෙන් දැක්‌වීමේ උත්සාහයක නියෑළෙති. සිංහල බෞද්ධ රට යන යෙදුමට, ව්‍යවහාරයට අන්තවාදී අදහස්‌ දරන්නවුත් යෑයි ඝෝෂා කෙරෙති. මේ කරුණු මෙසේ වේවා මගේ උත්සාහය වන්නේ හරිහැටි අවබෝධයකින් තොරව "ජාතිය" යන වදන අර්ථ ගන්නවුන් උදෙසා එහි සැබෑ ප්‍රකාශනය කුමක්‌ද යන්න පෙන්නා දීමය. ඒ ඔස්‌සේ උක්‌ත කරුණු විචාරයට ලක්‌වීම මැනවි යෑයි මගේ හැඟීමය.

ජාති ශබ්දය පාලි ත්‍රිපිටකය තුළ අර්ථ රාශියක උපයුක්‌තව ඇත. ඉන් වඩාත් ප්‍රබල අර්ථය "උපත", "පැවැත්ම" යන්නය. බුදු දහමේ මූලික ඉගැන්වීම් සියල්ලේම මෙම අර්ථයෙන් ජාති ශබ්දය යෙදී ඇත. දුක්‌ඛ සත්‍යය විස්‌තර කරන තැන ජාති පිළිබඳ ජාතිපි දුක්‌ඛා යනුවෙන් ද පටිච්ච සමුප්පාදය විස්‌තර කරන තැන "භව පච්චයා ජාති ජාති පච්චයා ජරා මරණං" යනුවෙන් ද යෙදී ඇත. මේ සම්බන්ධයෙන් ජාති ශබ්දයෙන් ගම්‍ය වන්නේ මනෝ විද්‍යාත්මක සාධකයකි.

මෙම අදහස මුල් බුදු සමය තුළ කෙතරම් ප්‍රබලව සාකච්ඡා කරන්නේ ද යත් ජාති ශබ්දයේ අවශේෂ අර්ථ යටපත්වීමට එය බලපා ඇත. සාමාජික වශයෙන් එය සලකන කල එහි අර්ථ තුනක්‌ ඇත. මහාචාර්ය මලලසේකර සහ ජයතිලක යන අය පෙන්වාදී ඇති පරිදි ජාති ශබ්දයේ "විශේෂය" යන අර්ථය ඇත. ඊට අමතරව එහි "වර්ණය" යන අර්ථය ඇත. උදාහරණ ලෙස සූත්‍රවල එන බ්‍රාහ්මණ ජාති, ඛත්තිය ජාති වැනි ප්‍රයෝග ඉදිරිපත් කළ හැක. තුනෙන්ම ජාති ශබ්දයේ "ජන වර්ගය" යන අර්ථය ඇත. අද අප සිංහල ජාතිය, ද්‍රවිඩ ජාතිය යන ක්‍රමයෙන් ව්‍යවහාර කරන තැන්වල එම ජාති ශබ්දයේ අර්ථයට සමාන අර්ථයකින් එම පදය සූත්‍රවල යෙදී ඇත.

බුද්ධකාලීන සමාජය ගෝත්‍ර සහ රාජ්‍ය වශයෙන් බෙදී තිබුණු බව අපි දනිමු. සූත්‍රවල බුද්ධ කාලයේ විසූ ගෝත්‍ර දහයක්‌ ගැන කරුණු සඳහන් වෙයි. ඔවුන් ගණතන්ත්‍ර පාලන ක්‍රමයට අවනතව සිටි බව දක්‌වා ඇත. ඊට අමතරව රාජ්‍ය දහසයක්‌ පිළිබඳ තොරතුරු ද සූත්‍ර පිටකයේ සංග්‍රහ වී ඇත. මේ ගෝත්‍රවලට අයත් ජනතාව ද රාජ්‍යවලට අයත් ජනතාවද ජන වර්ග හැටියට හඳුනාගෙන තිබුණු බව පෙනේ. ගෝත්‍රවලට සහ රාජ්‍යවලට නම් ලැබී ඇත්තේ ඒවාට අයත් ජන වර්ග අනුවය. ශාක්‍ය, ලිච්ඡවි, කාලාම, අංග, මගධ ආදී සියලු නම් ජනවාර්ගික අනන්‍යතාව ප්‍රකාශ කරන පදය. දීඝ නිකායේ මහා ගෝවින්ද සූත්‍රයේ මුළු මහත් භාරතය එකම රාජ්‍යයක්‌ හැටියට පැවැති යුගයක්‌ ගැන සඳහන් වෙයි. පසුව එය රාජ්‍ය හතකට වෙන්වී ගියේය. එසේ වෙන් වූ පසු ඒ ඒ රාජ්‍යයේ නම ද අගනුවර කවරක්‌ විනිදැයි එම සූත්‍රයේ සඳහන් වෙයි. අලුතෙන් පහළ වූ රාජ්‍ය හත බෙදා වෙන් කෙරුණේ ජනවාර්ගික පදනමක්‌ මත බව එහිදී වැඩිදුරටත් විස්‌තර කෙරේ. මේ රාජ්‍ය හතෙන් හයක්‌ උතුරු ඉන්දියාවේ ද, එකක්‌ දකුණු ඉන්දියාවේ ද වූ බව කියෑවේ. දකුණු ඉන්දියාවේ ඇතිවූ රාජ්‍ය අස්‌සකයන්ගේ රට යන අර්ථයෙන් අස්‌සක නම්ය.

සූත්‍රවල රාජ්‍යයක්‌ පහළවීමට අවශ්‍ය කරුණු දෙකක්‌ සඳහන් වෙයි. ඉන් එකක්‌ නම් ජන වර්ගයක වාස භූමියයි. එනම් භූගෝලීය ප්‍රදේශයක්‌ රාජ්‍යයක නිර්මාණය සඳහා අත්‍යවශ්‍යය. අංගයන්ගේ රට අංග, වත්සයන්ගේ රට වත්ස යන ආදී ක්‍රමයටය. අනෙක නම් භාෂාවයි. භාෂාව හැඳින්වීමට සූත්‍රවල පද දෙකක්‌ ව්‍යවහාර වෙයි. ඉන් එකක්‌ "ජනපද නිරුක්‌ති" යන්නයි. අනෙක, සක නිරුක්‌ති යන්නයි. මේ දෙකෙන්ම කියෑවෙන්නේ ස්‌වාධීන රාජ්‍යයක්‌ ලෙස හඳුනාගත් පිරිසකගේ භාෂාවයි. අංගයන්ගේ භාෂාව අංග,

මගධයන්ගේ භාෂාව මගධ යන ආදී ක්‍රමයෙන්ය. රාජ්‍යය එහි භාෂාව යන දෙක කෙනකුට උරුම වන්නේ උපතින්ය. එම නිසා ඒවා වාසෙට්‌ඨ සූත්‍රයේ එන "ලිංගං ජාති මයං" සංඛ්‍යාවෙහිලා වර්ග කළ හැකිය. (ඒ ඒ විශේෂයට උපතින් උරුම වන ලක්‍ෂණ ලිංගං ජාතිමයං යෑයි දක්‌වා ඇත) එක්‌ එක්‌ මිනිසාට එවැන්නක්‌ නැති වුවත් ජන වර්ගයක්‌ හැටියට සැලකීමේදී එවැනි අංගයක්‌ හෝ දෙකක්‌ ඇති බව පෙනෙන හෙයින් වාසෙට්‌ඨ සූත්‍රයේදී ජන වර්ග වර්ගීකරණය ප්‍රතික්‍ෂේප නොවන බව පෙනේ.

එවැනි බෙදුම් මිනිස්‌ සමාජයේ පවතින බව වාසෙට්‌ඨ සූත්‍රයේ එන "සමඤ්Æහි එසා ලෝක ස්‌මිං තFථ තFථ පකප්පිතා" යන යෙදුමෙන් පැහැදිලි වෙයි. මෙහිදී සිහියට ගත යුත්තක්‌ නම් ඉන්දු නිම්නයේ පැවැති චතුර්වර්ණය වෙනුවට ඊට වඩා ප්‍රබල වර්ගීකරණයක්‌ ගංගා නදී මිටියාවතේදී ඇති වූ බවයි. "ගෝත්‍ර සහ රාජ්‍යය" යනුවෙන් හැඳින්වෙන්නේ ඒවාය. බුදුරජාණන් වහන්සේ මුල්තැන දුන්නේ මේ කියන අනන්‍යතා දෙක අගය කළ සමාජයකටය. එම නිසා බුදු දහම මගින් චතුර්වර්ණය පිළිබඳ විවේචනයක්‌ ඉදිරිපත් කිරීම ස්‌වාභාවිකය.

ජන වර්ග අනන්‍යතාව පිළිබඳ බුදුදහම දක්‌වන ආකල්පය තේරුම් ගැනීමට අදාළ වන සූත්‍ර තුනක්‌ ඇත. ඒවා නම් දීඝ. නි( අම්බට්‌ඨ සූත්‍රය, සුත්ත නිපාතයේ පබ්බඡ්ජා සූත්‍රය සහ මඡ්ඣිම නිකායේ ධම්මෙච්තිය සූත්‍රයයි.

දීඝ නිකායේ අම්බට්‌ඨ සූත්‍රය අම්බට්‌ඨ නම් තරුණ බමුණකුත් බුදුරජාණන් වහන්සේත් අතර ඇතිවූ සංවාදයක්‌ අරමුණුකොට ගෙන දෙසන ලදී. අම්බට්‌ඨ බමුණුකමෙන් ඔද වැඩුණු උගත්කමින් සපිරුණු තරුණයෙකි. එම නිසා ඔහු බුදුරදුන්ට නිසි ගෞරවයක්‌ දැක්‌වූයේ නැත. මේ අවස්‌ථාවේදී බ්‍රාහ්මණ වර්ණයේ අතීත තොරතුරු මතක්‌ කරදීමට බුදුන් වහන්සේ ඉදිරිපත් වූ සේක. ඉන් කිපුණු අම්බට්‌ඨ ශාක්‍ය වංශයට පරිභව කළේය. තමා කපිල වස්‌තුවට ගිය අවස්‌ථාවක ශාක්‍යයන් තමාගේ තත්ත්වයට නොසරුප් වන අන්දමින් හැසිරුණු වග අම්බට්‌ඨ මෙහිදී බුදුරදුන්ට ප්‍රකාශ කරයි. එහිදී අම්බට්‌ඨ ව්‍යවහාර කරන පදය "ශාක්‍ය ජාති" යන්නයි. ශාක්‍ය ජාතිය සැඩපරුෂ කුරිරු ජාතියක්‌ බව අම්බට්‌ඨගේ ස්‌ථාවරය විය. බුදුන් වහන්සේ ශාක්‍යයන්ගේ හැසිරීම අනුමත කරමින් කරුණු පැහැදිලි කළහ.

කිරිල්ලියකට තමාගේ කැදැල්ලේ දී ඕනෑම ආකාරයකින් හැඬලිය හැකි සේ ශාක්‍යයන්ට තමාගේ රුචි අරුචිකම් සහ ඕනෑ එපාකම් අනුව කපිල වස්‌තුවේදී හැසිරිය හැකි බව බුදුන් වහන්සේ අම්බට්‌ඨට කියා දෙති. මෙහිදී වැදගත් වන කාරණය නම් ශාක්‍ය ජාති, එනම් ශාක්‍ය යන ජන වර්ගය ගැන කතා කිරීම නුසුදුසු යෑයි බුදුන් වහන්සේ පෙන්වා නොදුන් බවයි. සියල්ලට ඉහළින් මනුෂ්‍යත්වය ගැන සැලකූ කෙනකුගෙන් බලාපොරොත්තු වන මෙබඳු ප්‍රකාශයෙන් මේ අවස්‌ථාවේදී බුදුන්ගෙන් ප්‍රකට වූයේ නැත. උන්වහන්සේ තවදුරටත් පැහැදිලි කර සිටින්නේ ඕනෑම ජන වර්ගයක්‌ තුළ තිබිය හැකි සාධකයක්‌ ශාක්‍යයන් තුළ ද පවතින බවය. එය හඳුන්වා ඇත්තේ "ජාති සම්බේද භය" යන පදයෙනි. ජන වර්ගය තුළ භේද හට ගනීය යන භය සෑම ජන වර්ගයකටම පොදු කාරණයකි. ජන වර්ගවල හැසිරීම් තීරණය කිරීමේදී උපයෝගී කරගත යුතු කරුණක්‌ හැටියට එය දක්‌වා ඇත. ජන වර්ගයක්‌ ඇතැම්විට හැසිරෙන්නේ තර්කානුකූල හේතු සාධක අනුව නොව මේ කියන බිය නිසාය.

සුත්ත නිපාතයේ පබ්බඡ්ජා සූත්‍රය බුද්ධ චරිතය අධ්‍යයනය කිරීමේදී වැදගත් වෙයි. ඊට හේතුව අංග සම්පූර්ණ බුද්ධ චරිතයක්‌ පාලි ත්‍රිපිටකය තුළ දක්‌නට නොලැබීමත් බුද්ධ චරිතය ගොඩනඟා ගත යුත්තේ ත්‍රිපිටකයේ තැනින් තැන විසිරී පවතින කරුණු එක්‌තැන් කරගැනීම අනුවත් වීමය. සුත්ත නිපාතය ත්‍රිපිටකයේ එන පැරණිම සූත්‍ර සංග්‍රහ වී ඇති ග්‍රන්ථය සේ සැලකේ. එහි එන ප්‍රධාන සූත්‍රයත් පබ්බඡ්ජා සූත්‍රයත් යන දෙක බුද්ධ චරිතය අධ්‍යයනය කිරීමෙන් වැදගත් වන්නේ මේ තත්ත්වය යටතේ අභිනික්‌මන් කළ සිදුහත් කුමරු තාපසයකු බවට උත්තර භාරතය පුරා සැරිසරණ අතර මගධ රාජ්‍යයට පැමිණි වග දක්‌වා ඇත්තේ පබ්බඡ්ජා සූත්‍රයේ වීමය. තම රාජ්‍යයේ හැසිරෙන අමුත්තා කවරෙක්‌දැයි දැන ගැනීමට මගධාධිපති සේනිය බිම්බිසාරට ඕනෑ විය. දූතයන් යවා සිදුහත් තවුසා තමා සමීපයට කැඳවන බිම්සර රජතුමා ඔහුට මෙසේ කියයි.

"ඔබේ ජාතිය ඇසූ විට එය මට කියාදෙන්න." (ජාතිං අක්‌ඛාහි පුච්ජිතෝ) එවිට සිදුහත් තාපසයන් කියා සිටින්නේ තමා කොසලයට අයත් ශාක්‍ය ජාතියෙන් එන බවය. (උජුං ජනපදො ආසී කෝසලෙසු නිකේතිනං ගෝතමෝ නාම ගොත්තෙන ශකියා නාම ජාතියං) මෙහිදී සිදුහත් තාපසයා තමා හඳුන්වා දෙන්නේ කෝසළ දේශයත් ගෞතම ගෝත්‍රයත් ශාක්‍ය ජාතියත් මතක්‌ කිරීමෙනි. ජන වාර්ගික අනන්‍යතාව පිළිබඳ හැඟීමක්‌ සිදුහත් තාපසයාට තිබුණු බව මින් පෙනේ. බුදු වූ පසු එක්‌ තැනකදී උන්වහන්සේ කියා සිටින්නේ කෙනකුගේ ජාතිය නොව හැසිරීම ඇසිය යුතු බවයි. (මා ජාතීව ප්‍රච්ඡ චරනංච පුච්ඡ) එහෙත් සිදුහත් තවුසා, බිම්සර රජතුමා ජාතිය ගැන විමසන විට කියා සිටින්නේ තමා මිනිස්‌ වර්ගයට අයත් කෙනකු හැටියට නොව ශාක්‍ය ජාතියට අයත් කෙනකු හැටියට පෙනී සිටින බවය. බුදු වූ පසුද ඇතැම් අවස්‌ථාවල බුදුන් වහන්සේ ජන වාර්ගික අනන්‍යතාව අමතක නොකළ බව මඡ්. නි. ධම්මෙච්තිය සූත්‍රයෙන් පැහැදිලි වෙයි.

ධම්ම චේතිය යන පදය ධර්මානුකූලව ඉදිරිපත් කරන ශාක්‍යය යන අර්ථය දෙන්නකි. එය සත්‍යයේ සාධක යනුවෙන් ද පරිවර්තනය කළ හැක. ධම්ම චේතිය සූත්‍රයේ සඳහන් වන්නේ ටික කලකින් බුදුරදුන් මුණ ගැසීමට අවස්‌ථාව නොලද කොසොල් රජතුමා බුදුරදුන් මුණගැසුණු අවස්‌ථාවේ කියා සිටි කරුණුය. විවිධ මාතෘකා මතකයට නංවමින් කතා කළ කොසොල් රජතුමා අවසානයේදී ප්‍රකාශ කළ ධර්ම චෛත්‍ය නම් මම ද කොසොල් වැසියෙකි. භාග්‍යවතුන් වහන්සේ ද කොසොල් වැසියෙකි.

මම ද ක්‍ෂත්‍රියය. භාග්‍යවතුන් වහන්සේ ද ක්‍ෂත්‍රියය. මම ද අසූ වයස්‌ය. භාග්‍යවතුන් වහන්සේ ද අසූ වයස්‌ය යන්නය. මෙහිදී බුදුන් වහන්සේත්, කොසොල් රජුත් අතර පැවති සමානකම් තුනක්‌ පෙන්වා දේ. ඒවා නම් දෙදෙනාම කෝසළයේ පුරවැසියන් වීම, දෙදෙනාම ක්‍ෂත්‍රියයන් වීම හා දෙදෙනාම අසූ වයස්‌ වීමය. මෙහිදී බුදුන් වහන්සේ සියලු කෙලෙසුන් නැසූ තමන් වහන්සේ අතරත් පුහුදුන් තැනැත්තකු වූ කොසොල් රජු අතරත් සමානත්වයක්‌ පළ කිරීම සම්බන්ධයෙන් උදහස්‌ නොවූ සේක.

ඉහත දැක්‌වූ ප්‍රකාශ තුන කියා අසුනෙන් නැඟිට බුදුන්ට වැඳ පිටත්ව ගියහ. කොසොල් රජතුමා භික්‍ෂුන්ට පෙන්වා අර බලන්න ධර්ම චෛත්‍යය දක්‌වා කොසොල් රජතුමා යන සැටි යෑයි බුදුන් වහන්සේ ප්‍රකාශ කළ බව සූත්‍රයේ සඳහන් වෙයි. එපමණකුදු නොව, කොසොල් රජතුමා කී කරුණු මතක තබාගැනීමට, ඉගෙන ගැනීමට, අධ්‍යයනය කිරීමට උත්සුක වන්නැයි ද කියා බුදුන් වහන්සේ භික්‍ෂුන්ගෙන් ඉල්ලා සිටිති. මෙහිදී උග්ගණ්‌හාථ, ධාරේථ, පරියාපුනාථ යන පද තුන දක්‌වා ඇත.

බුදුන් වහන්සේගේ ජනවාර්ගික අනන්‍යතාව මේ අන්දමට අවධානය යොමු කළ යුතු කාරණයක්‌ හැටියට ධම්ම චේතිය සූත්‍රයේදී දක්‌වා ඇත. එය "අ‍ර්ථ සංහිතං/ආදී බ්‍රහ්මචරිතං" යන පද දෙකෙන් ද වර්ණනා කොට ඇත. ප්‍රතිඵල ගෙන දෙන, බ්‍රහ්මචර්යට නැඹුරු වූ කරුණු හැටියට මෙහි දක්‌වා ඇත්තේ බුදුන් වහන්සේ සහ කොසොල් රජ යන දෙදෙනාම කෝසල වංශිකයන්වීමත්, ක්‍ෂත්‍රියන්වීමත් අසූවියෙහි පසුවීමත්ය.

ජනවාර්ගික පදනම බැහැර කළ මනුෂ්‍යත්වය පමණක්‌ පිළිගත් කෙනකුගේ ප්‍රතිචාරයක්‌ හැටියට මේ තත්ත්වය හඳුනාගත නොහැකිය.

අංගුත්තර නිකායේ තික නිපාතයේ සූත්‍රයක්‌ අපගේ ප්‍රස්‌තුතයට බෙහෙවින් අදාළ වෙයි. එහි දක්‌නට ලැබෙන්නේ උපක්‌කිලෙස පිළිබඳ විස්‌තරයකි. උපක්‌කිලෙස වර්ග තුනක්‌ ඇතැයි බුදුන් වහන්සේ එහිදී ප්‍රකාශ කරති. ඒවා නම් ඕලාරීකා උපක්‌කිලෙසා, මඡ්ඣිමිකා උපක්‌කිලෙසා, සුඛුමා උපක්‌කිලෙසා ය. ඕලාරික උපක්‌කිලෙස නම් කාය දුෂ්චරිත, වාචි දුෂ්චරිත සහ මනෝ දුෂ්චරිතය. දස අකුසල් වශයෙන් ගණන් ගැනෙන්නේ ද මේවාය. කයෙන් කෙරෙන වැරදි තුනකුත්, වචනයෙන් කෙරෙන වැරදි හතරකුත්, සිතින් කෙරෙන වැරදි තුනකුත් මෙහිලා ගණන් ගැනේ. මේවා පහසුවෙන් දුරු කළ හැකි උපක්‌කිලෙස ලෙස දක්‌වා ඇත.

මධ්‍යම උපක්‌කිලෙස නම් කාම විතක්‌ක, ව්‍යාපාද විතක්‌ක සහ විහිංසා විතක්‌කය. ඉඳුරන් පිනවීම හා සබැඳි සිතිවිලි, ද්වේශය හා සබැඳි සිතිවිලි හා අන් අයට කරදර කිරීම සබැඳි සිතිවිලිය මින් අදහස්‌ කරන්නේ. මෙම සිතිවිලි වලින් නිදහස්‌වීම වඩා අසීරුය. කෙනකුට දුරු කිරීමට වඩාත්ම අපහසු සූක්‍ෂම උපක්‌කිලෙසය. එවැනි උපක්‌කිලෙස තුනකි. ජාති/ජනපද/අවඤ්ඤත්තිය යන්නයි.

මෙයින් පෙනී යන්නේ ජනවාර්ගික හැඟීම සහ රට පිළිබඳ හැඟීම යන පද මිනිස්‌ සන්තානයේ ගැඹුරෙන් පවතින කරුණු බවය. අවඤ්ඤත්ති යනුවෙන් අදහස්‌ කරන්නේ මමය, මාගේ යෑයි ගත් දේය. ජාතිය සහ ජනපද යන දෙකද මිනිසා මමය මාගේ යෑයි කියාගත් කරුණු අතරට එකතු වෙයි. මේ අනුව ජාතිය පිළිබඳ, රට පිළිබඳ හැඟීමක්‌ නැතැයි කිසියම් පුහුදුන් පුද්ගලයෙක්‌ කියා සිටින්නේ නම් ඔහු කරන්නේ තමාම රවටා ගැනීමය. ඒවායේ නිදහස්‌ වූ මානසික තත්ත්වයක්‌ යමෙකුට ඇති කරගත හැකි නම් ඔහු අවශ්‍යයෙන්ම රහතන් වහන්සේ කෙනෙක්‌ බව කිය යුතුය.

මේ කරුණුවලින් පෙනී යන්නේ අප මානව සංහතියේ ඒකත්වයක්‌ කතා කළ ද ජනවාර්ගික අනන්‍යතාව ඉන් ප්‍රතික්‍ෂේප කිරීම අදාළ නොවන කරුණක්‌ බවය. සිංහලයන් සිංහල ජාතියත්, බෞද්ධකමත් ඉදිරියට ගැනීම, කතා කිරීම වලංගු නැතැයි කියන්නට ද අන්තවාදීන් යෑයි නම් කරන්නට ද හේතු නැත. අන් ජාතීන් ද තම ජාතිය පිළිබඳ කතා කිරීම ගැටලුවක්‌ නොවේ. ගැටලුව වන්නේ තම ජාතිය හඟවා පොදු ජාතියක්‌ ගැන කතා කරන්නට උත්සාහ ගැනීමය.

පොදු ජාතිය තුළ සිංහල ජාතිය ප්‍රධානවීම ගැන කතා කිරීම වැරදි සහගත නොවේ. මන්ද, අන් අයට ද එය එසේ වන හෙයිනි. තම තමන්ගේ ජාතිය පිළිබඳ ප්‍රකාශ කිරීම වළක්‌වාලිය හැක්‌කක්‌ නොවේ. ශ්‍රී ලාංකික යන ව්‍යවහාරය භාවිතයේ වරදක්‌ නැත. එනමුදු ඒ ඔස්‌සේ සිංහල ජාතිය යෑයි සඳහන් කිරීමට බියවීම දීන වූත්, අධම වූත් පිළිවෙතකි. වරද ඇත්තේ එතැනය. ඒ ශ්‍රී ලාංකික යන ව්‍යවහාරය තුළ සිංහල ජාතිය යන්න අමතක කර දැමීමට ඇතැමුන් උත්සාහ කිරීමය.

අම්/සිරි ධම්මරතන මහ පිරිවෙනේ
ආචාර්ය, ගෞරව ශාස්‌ත්‍රවේදී, ශාස්‌ත්‍රපති
දෙමටදෙණිකන්දේ ධම්මජෝති හිමි
(දිවයින - 09/09/09)

ටිප්පණිය - අප සිංහලයින් නොව ශ්‍රී ලාංකිකයින් වම්හයි උජාරුවෙන් තෙපලන ඇත්ත මේ ලිපිය කියවීම මැනවි. මේ වනාහි අපේ අධ්‍යාපන ක්‍රමයේ වරදයි. ඒ අධ්‍යාපන ක්‍රමයට පිං සිදු වන්නට, ප්‍රාථමික අධ්‍යාපනය සමග දෙමව්පියන් සහ ගෙදර ද, ද්විතීයීක අධ්‍යාපන සමග ගම ද, තෘතීක අධ්‍යාපන සමග රට ද ජාතිය ද එපා වෙයි. ඒ කතාව මෑතදී ජනපතිතුමා ද කීවේ ය. දැන් ඒ ගැන අපි ජාතියක් ලෙස සිතිය යුතු කාලය එළඹ තිබේ.

Monday, September 7, 2009

වඩා වටින්නේ හොඳ පොතක්‌ද නැත්නම් බයිසිකලයක්‌ද?

"සාහිත්‍ය කන්ඩද?" මේ ප්‍රශ්නය විටින් විට විවිධ පුද්ගලයන් විසින් විවිධ කාරණා අරභයා අසන ලද්දකි. මේ ප්‍රශ්නයට උත්තරය ස්‌ථිර වශයෙන්ම නැත යන්න ය. සාහිත්‍යය අනුභව කළ නො හැක. පොත් කියෑවීමෙන් බඩ නොපිරේ. එයින් විලි වසා ගැනීම ද කළ නොහැක. සාහිත්‍යය ප්‍රවාහන මාධ්‍යයක්‌ ලෙස යොදා ගැනීමට නොහැකි නිසා එය ගමන් බිමන් යැම සඳහා යොදා ගැනීමට ද නො හැක. මේ නිසා හොඳ පොතකට වඩා කබල් බයිසිකලයක්‌ වටිනා අවස්‌ථා තිබේ. එහෙත් සෑම වසරකම සැප්තැම්බර් මාසයේදී සාහිත්‍ය උත්සවය පැවැත්වීමත් සමඟම සාහිත්‍යය පිළිබඳවත් සාහිත්‍ය උත්සවයේ හොඳ නරකත් කුණාටුවක්‌ මෙන් පැතිර යයි. එක්‌සත් ජනතා නිදහස්‌ සන්ධාන ආණ්‌ඩුවේ පළමුවැනි සාහිත්‍ය උත්සවය අනුරාධපුරයේදී පවත්වන ලදී. එහිදී විමල් වීරවංශ කළ කතාවක අඩු පාඩු තිබීමෙන් මහත් සේ සංවේගයට පත් වූ විද්වත්තු සිය දිවි නසාගන්නා තත්ත්වයට පත්වූහ. ඊළඟ සාහිත්‍ය උත්සවය මාතරදී පැවැති අතර ධාරාණිපාත වැසි ඇදහැළීම නිසා උත්සවයේ ප්‍රාසාංගික පැත්ත අසාර්ථක විය. මෙවර පොළොන්නරුවේදී පැවැති සාහිත්‍ය උත්සවය අඩුපාඩුවලින් ගහණ වූ බව දැනගන්නට තිබේ. උත්සවය ආරම්භයේදී ජාතික කොඩිය එසැවීමට අමතක වීම, ප්‍රාදේශීය මාධ්‍යවේදීන් පොළොන්නරුවේ හෝටලයකට ගෙන්වා ආණ්‌ඩුව ගණනේ මත්පැන් පානය කරන්නට දීම වැනි කාරණා නිසා අවුල්කාරී තත්ත්වයක්‌ මතුවී තිබේ.

පෙර කී සාහිත්‍ය උත්සව තුනම දැන් ඉතිහාසයට එක්‌වී ඇති බැවින් ද සාහිත්‍ය උත්සවය සංවිධානය කිරීමේ වැඩි බර කරට ගත් පියසිරි විඡේනායක ඇමැතිතුමාට පහරදීමේ කොන්ත්‍රාත්තුවක්‌ අප විසින් භාරගනු ලැබ නැති බැවින් ද ඉදිරියේදී පැවැත්වෙන සාහිත්‍ය කලා මහෝත්සවයන්ට පසුගිය ඒවායින් පාඩම් ගන්නා ලෙස ඉල්ලමින් අපේ කතාවේ ඉතිරි කොටසට එළැඹෙමු. මේ රටේ අධ්‍යාපනයේ පිරිහීම ගමන් ගත්තේ 1970-77 සමගි පෙරමුණු ආණ්‌ඩු කාලය තුළය. එහෙත් මේ රටේ සාහිත්‍ය කලාවේත්, රංග කලාවේත්, ගීත කලාවේත් සිනමාවේ ස්‌වර්ණමය යුගය එකී 1970-77 යුගයට ය. මේ රටේ ලියෑවුණු හොඳම නවකතා, විශිෂ්ටතම කවිපොත් සහ සියයට සියයක්‌ම නිවැරැදි පරිවර්තන පොත් පළවුණේ ඒ කාලයේදී ය. (අප එසේ කියන්නේ මෙකල ඉංගිරිසියෙන් සිංහලයට නැඟෙන ඇතැම් පරිවර්තන කෘතියක්‌ නැවත ඉංගිරිසි බසට පරිවර්තනය කළොත් එකී මුල් කෘතියට සම්පූර්ණයෙන්ම වෙනස්‌ කෘතියක්‌ උපදිනා බැවිනි.) ගීද මෝපසාංග් සිට ප්‍රාන්ස්‌ කෆ්කා දක්‌වා ද, කාටාසිං ඩුග්ගාල්ගේ සිට ටී. සිවසංකර් පිල්ලේ දක්‌වාද, පැබ්ලෝ නෙරූදගේ සිට චිනුවා අචිබි දක්‌වා ද වූ උත්තම ලේඛකයන්ගේ පරිවර්තන බිහිවීම ද ජයසේන ජයකොඩි, සෝමවීර සේනානායක වැනි ලේඛකයන් පහළ වීමද මේ යුගයේදී සිදුවිය. ශ්‍රී ලංකාව බිහි කළ හොඳම කවියකු හා විචාරකයකු වූ විමල් දිසානායක කවි පොත් ලියුවේත්, සරත් අමුණුගම සාහිත්‍යය ගැන ලියුවේත්, ඒ. වී. සුරවීර හා ආර්. ආර්. සමරකෝන් පොත් ලියා සම්මාන ලද්දේත් මේ කාලයේදී ය. එකල අද මෙන් ප්‍රකාශන සමාගම් 1001 ක්‌ තිබුණේ නැත. වැඩිම වුණොත් ප්‍රකාශන සමාගම් 10 ක්‌ තිබෙන්නට ඇති. එහෙත් අදට වඩා සාහිත්‍ය නිර්මාණ පොත් එදා තිබුණේය. අද බහුලව ඇත්තේ පොත් පමණකි. සාහිත්‍යය සඳහා 1977 න් පෙර මුද්‍රණය කළ පොත් කියෑවිය යුතු ය.

මෙතැනදී මෙකල හොඳ නිර්මාණ බිහි නොවන බවට තක්‌සේරුවක්‌ අප තුළ ඇතැයි ලේඛක මහත්වරුන් සහ ප්‍රකාශක සමාගම් කලබල විය යුතු නොවේ. අප කියුවේ පවත්නා තත්ත්වයේ සාමාන්‍යයයි. මේ රටේ කලාවට හා සාහිත්‍යයට පහර දීමේ කොන්ත්‍රාත්තුවක්‌ අප භාරගෙන නැත. අපට අවශ්‍ය යහපත් දේ බිහිවනු දැකීමය.

(දිවයින - 09/09/08)

ටිප්පණිය - නිර්මාණකරුවා ද අදාළ සමාජයේ කොටසකි. එසේ නැතිව ඔහු හුදු ඕතපාතිකයෙකු නොවේ. එහෙයින් කිසියම් යුගයක සාහිත්‍යය එම යුගයේ කදිම පිළිඹුබුවකි. රසික රසඥතාව ඉන් මැනගත හැකි ය. එකල 'පෙර දිනයක මා පෙම් කළ යුවතිය' ගැන ගැයූ පෙම්වතා 'එක පාර මා මරන්න' යැයි අද ගයයි. එදා සමාජය ආදරයෙන් වැළඳ ගත් දෙයෙහි පරස්පරය අද සමාජය වන්දනා කරයි. ගැටළුව එය පිරිහීහක් වීම ය. ඊට ‍හේතු සොයමින් අතීතයට දොස් තැබීමට වඩා එම අගාධයෙන් ගොඩ එන මං සොයනු වටියි. බයිසිකලය කයට ය. පොත මනසට ය. මේ දෙක ම සම ලෙස මිනිසාට අවැසිය යන දැනුම සමාජගත කිරීම වැදගත් ය.

Wednesday, September 2, 2009

චැනල් 4 සහ සෝල්හයිම්

තුවක්‌කුවක්‌ අතින් ගත් මිනිසකු තවත් මිනිසුන් දෙදෙනකුට වෙඩි තබන වීඩියෝ පටයක්‌ මේ දිනවල බ්‍රිතාන්‍යයේ චැනල් 4 නමැති රූපවාහිනි සේවාව ඔස්‌සේ ප්‍රදර්ශනය කරනු ලැබේ. මේ රූප පෙළ ඉතා අපැහැදිලි ය. කෙසේ වුවද මේ දර්ශනවල පැහැදිලි එකම කාරණය වන්නේ වෙඩි පහරට ලක්‌වන මිනිසුන් දෙදෙනාගේ සිරුරේ සම සුදු පැහැති බව පමණි. බ්‍රිතාන්‍ය රූපවාහිනිය කියන්නේ තුවක්‌කුව අතින් ගත් මිනිසා යුද හමුදා සෙබළකු බවත් වෙඩි කන මිනිසුන් දෙදෙනා කොටි සාමාජිකයන් දෙදෙනකු බවත් ය. පළමු කොට මේ කතාව පල් බොරුවකි. වෙඩි කන කොටි දෙදෙනාගේ සම සුදු පැහැ නම් ස්‌ථිර වශයෙන්ම ඔවුන් සුදු කුලී හේවායන් දෙදෙනකු විය යුතු ය. දැන ගන්නට ඇති පරිදි මේ රාජෙද්‍ර`හී, ජාතිෙද්‍ර`හී දර්ශන පෙළ සපයා, රට බෙදනු දැකීමට කැමැත්තෙන් සිටි "සිංහල කොටි සංවිධානයක්‌" බවට කට කතාවක්‌ පැතිර යයි. අපේම එකා අප නසන්නට හදන විට පිට එකා මොනවා කළාම මොකද? සුදු සම ඇති යුරෝපීය හා ස්‌කැන්ඩිනේවියානු ජාතීන්ට අයත් කුලී හේවායෝ ලොව පුරාම යුද ගැටුම්වලට කුලියට ආත්මය සපයති. එල්.ටී.ටී.ඊ. සංවිධානය පැවැති කාලයේදී දෙමළ නොවන ජාතීන්ට අයත් කුලී හේවායන් සහ ගුවන් නියමුවන් එම සංවිධානය වෙනුවෙන් කුලියට වැඩ කළ බව ඉතා ප්‍රසිද්ධ කාරණයකි. අප හා බද්ධ වෛරයකින් පසුවන බ්‍රිතාන්‍යය, නෝර්වේ වැනි රටවල් අපට පහර දීම සඳහා මෙම අවස්‌ථාව පාවිච්චි කරති.

ප්‍රභාකරන් ඝාතනය වී, කොටි සංවිධානය දූවිලි බවට පත් වී, දෙමළ ඩයස්‌පෝරාවට උන්හිටි තැන් නැති වී, කේ. පී. කූඩු වී සිටින මෙකල බලවත් ශෝකයෙන් හා වේදනාවෙන් සිටි නෝර්වේ රටේ ජාත්‍යන්තර සම්බන්ධතා සංවර්ධනය පිළිබඳ ඇමැති එරික්‌ සෝල්හයිම් (මෙය කැබිනට්‌ ඇමැති තනතුරක්‌දැයි නො දනිමු.) පෙර කී වීඩියෝව දැකීමෙන් බලවත් සතුටට පත් වූ බවත් පෙනෙන්නට තිබේ. ශ්‍රී ලංකාව තුළ යුද අපරාධ සිදු වී ඇති බවත්, මිනිසුන් දුසිම් ගණන් මැරුම් කා ඇති බවත්, මිනිසුන් අතුරුදන් වී ඇති බවත් කියන ඔහු මේ ගැන පරීක්‍ෂණයක්‌ පවත්වන ලෙස එක්‌සත් ජාතීන්ගේ සංවිධානයෙන් ඉල්ලයි. ඊළමට, ප්‍රභාකරන්ට සහ කොටි සංවිධානයට මෙවැනි ඉරණමක්‌ අත්වේ යෑයි ඔහු සිහිනයකින්වත් සිතුවේ නැත. කෙසේ හෝ ඊළම ලබා දෙන බවට ඔහු ප්‍රභාකරන්ටත්, වෙනත් බලවත් රාජ්‍ය කිහිපයක වෙසෙන දෙමළ කණ්‌ඩායම්වලටත් පොරොන්දු විය. මේ සියලු දෙනා ඔහුට මුදල් දෙන්නට ඇති බවට අප තුළ සැකයක්‌ තිබේ. එහෙත් සැකයේ වාසිය විත්තියට නිසා අවශ්‍යතාව පරිදි එම සැකය නැති කර ගැනීමට අප සූදානම් ය. කෙසේ වුව ද සෝල්හයිම් කරන චෝදනා ගැන විමසා බැලීම වැදගත් ය. ශ්‍රී ලංකාව තුළ මිනිසුන් දුසිම් ගණන් මියගිය බව වැරදි සංඛ්‍යාත්මක දත්තයකි. පසුගිය වසර 30 තුළ කොටි ත්‍රස්‌තවාදය නිසා මිනිසුන් දුසිම් ගණන් නොව දස දහස්‌ ගණනින් මිය ගියහ. ප්‍රේමදාස මහතා ජනාධිපතිව සිටි කාලයේදී කොටින් සමඟ සටන් විරාමයක්‌ ඇති කර ගත්තේ ය. හිටි ගමන් මේ සටන් විරාමය නිමාවට පත් කළ කොටි නැගෙනහිර පළාතේ සියලුම පොලිසි වසා දමා ඒවායේ සිටි පොලිස්‌ නිලධාරීන් සහ කොස්‌තාපල්වරුන් අත්අඩංගුවට ගෙන එක්‌ තැනකට රැස්‌ කර වෙඩි තබා මැරූහ. එසේ මරා දැමීමට පෙර ඔවුන්ගේ මිනී වළවල් කපන ලෙස ඔවුන්ටම අණ කරන ලදී. ඒ වළවල් ඉදිරිපස එක පෙළට සිටුවන ලද නිරායුධ පොලිස්‌ නිලධාරීන්ට වෙඩි තබා මරණ ලදී. මේ සිද්ධිය ද තමන් විසින් කළ හැම මෙහෙයුමක්‌ මෙන් ම වීඩියෝගත කිරීමට කොටි පියවර ගත්හ. සමහර විට විස්‌කි වීදුරුවක්‌ අතැතිව බදින ලද මාළුවකු කමින් සෝල්හයිම් ද මේවා නරඹන්නට ඇති. අනුරාධපුර ශ්‍රී මහා බෝධීන් වහන්සේ වැඳ නමස්‌කාර කිරීමට 1985 දී ගිය බොදුනුවන් සමූහයක්‌ කොටින් විසින් සංහාරය කරනු කොටින් විසින් ම වීඩියෝගත කරනු ලැබ අන්තර්ජාලයට මුදාහැර ඇත.

සෝල්හයිම් කියන පරිදි මිනිසුන් අතුරුදන් වූ බව ද සැබෑවි. යුද්ධයට ගිය සිය සැමියා නැවත ගෙදර එන තුරු බලා සිටින බිරියන් දහස්‌ ගණන් මේ රටේ වෙසෙති. උතුර - නැගෙනහිර වනයට මෙයට වසර කිහිපයකට පෙර දර කැඩීමට ගිය වැසියන් සිය ගණනක්‌ තවමත් පැමිණ නැත. ඔවුන් දර කැඩීමට ගියේ ඇමේසන් වනයට නොව මුලතිව් කැලයට ය. මේ කැලය මැදින් යන අයට අදටත් මිනී ඇටසැකිලි දකින්නට ලැබේ.

මේ රටේ යුද අපරාධ සිදු වූයේ සටන් විරාම ගිවිසුම පැවැති කාලයේදී ය. මේ සටන් විරාමයට සෝල්හයිම් ද සම්බන්ධ ය. එ බැවින් යුද අපරාධ සිදු කිරීමට කොටින්ට සහාය දීම ගැන එරික්‌ සෝල්හයිම් ද විත්ති කූඩුවට ගෙනා යුතු ය. සෝල්හයිම් නැතිව යුද අපරාධ නඩුවක්‌ නැත.

(දිවයින - 09/09/03)

ටිප්පණිය - මෑත දී මාධ්‍ය ලේබලයට මුවා වී ත්‍රස්තවාදය රෝපණය කළ පුද්ගලයෙකුට මේ රටේ අධිකරණය සිර දඩුවම් නියම කළේ ය. එම චූදිතයාට එක්තරා සංවිධානයක් සම්මානයක් ලබා දුන් අතර තවත් රටවල් කිහිපයක් ප්‍රකාශ නිකුත් කර තිබේ. ඒ සියලු රටවල් සහ සංවිධාන සිය ක්‍රියා කළාපය මගින් මේර ටේ ජනතා ස්වාධිපත්‍ය සමච්චලයට ලක් කර තිබේ. බල්ලෙකු පය සැපූ කල පෙරළා ශිෂ්ටයෝ බල්ලා සපා නොකෑව ද ඊට නිසි ප්‍රතිකර්මයක් කළ යුතු ය. දඩාවතේ යන බල්ලන්ට බෙහෙත් විදිමින් කාලය නාස්ති කරනවාට වඩා අපට බෙහෙත් විදගෙන පරිස්සම් වීම ම යෙහෙකි.

Tuesday, September 1, 2009

බෙදුම්වාදයේ විෂබීජ හා ඊළාම් මළකඩ

දෙමළ ජනතාවගේ ප්‍රශ්න විසඳීම සඳහා ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා ගෙන යන වැඩපිළිවෙළට සිය පක්‍ෂයේ පූර්ණ සහාය ලබා දෙන බව දෙමළ සන්ධානයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී ආර්. සම්බන්ධන් මහතා බී. බී. සී. ය සමග ප්‍රකාශ කර ඇතැයි වාර්තා වේ. අපි ඒ පිළිබඳව ඔහුටත් ඔහුගේ සංවිධානයටත් ප්‍රශංසා කරමු.

දෙමළ ජනතාව නියෝජනය කරමින් පාර්ලිමේන්තුව තුළ සිටින නියෝජිතයන් ලෙස ඔවුන් මෙම ප්‍රශ්නයේ ඉතා වැදගත් පාර්ශ්වයක්‌ බව කිසිවෙකුට ප්‍රතික්‍ෂේප කළ නොහැකිය. සිංහල, දෙමළ මිත්‍රත්වය බිඳදමා එය ජාතිවාදී උමතුවක්‌ ලෙස සිය ජනතාව අතරට රැගෙන ගිය වේළුපිල්ලේ ප්‍රභාකරන් ජීවත්ව සිටි දිනවල ඔහුගේ රූකඩයක්‌ බවට පත්ව සිටි එම සන්ධානය දෙමළ ජනතාවගේ විමුක්‌තිය ප්‍රභාකරන්ගෙන්ම ලබා ගත යුතුය යන මුලාවට වැටී සිටි පිරිසකි.

අද දෙමළ සන්ධානයට සිය හෘදය සාක්‍ෂියට එකඟව මෙම ප්‍රශ්නය දෙස බැලීමට බාධාවක්‌ නැති බව අපගේ විශ්වාසයයි. මන්ද යත් එදා ඔවුන්ගේ හිසට උඩින් ලඹ දුන් ෆැසිස්‌ට්‌වාදී භීෂණය අද අවසන්වී තිබේ. දැන් ඔවුන්ට මේ ප්‍රශ්නය පිළිබඳ අලුත් ඇසකින් බැලීමටද හැකිය.

ශ්‍රී ලංකාවේ සමාජ ආර්ථික සංස්‌කෘතික, දේශපාලන යනාදී සියලු ක්‍ෂේත්‍රයන් පමණක්‌ නොව සිංහල, දෙමළ, මුස්‌ලිම් ආදී සියලු ජනවර්ගයනුත් විනාශ මුඛයට රැගෙන ගිය තිස්‌ අවුරුදු ත්‍රස්‌තවාදය සමග අලඡ්ජි ලෙස බැඳී සිටි බටහිර රටවල් හා මාධ්‍ය ආයතන ද විය. විශේෂයෙන් බටහිර මාධ්‍යත්a ඔවුන් සමගම සිටි අල්ජසීරා වැනි ආයතනත් ප්‍රභාකරන්ට දැක්‌වූ පක්‍ෂපාතිත්වය අපට මතකය.

රජයේ ආරක්‍ෂක හමුදා පිළිබඳව වැරැදි හා ද්වේෂ සහගත චිත්‍ර ලොවට රැගෙන යැමට මේ ආයතන ක්‍රියාත්මක වූ බවට ඉතිහාසය සාක්‍ෂි දෙයි. ආසියාවේ නවෝදය නොඉවසන බටහිරයෝ අදත් එයට ගිනි තැබීම සඳහා විවිධ මං සොයති. නොබෝදා චැනල් ෆෝ මෙරට හමුදාව ගැන විකෘති මෙන්ම අසත්‍ය වැඩසටහනක්‌ ප්‍රචාරය කිරීමෙන් තහවුරු වන්නේ තවමත් ඔවුන්ගේ අරමුණ ත්‍රස්‌තවාදයට අනුබල දීම බවය.

කෙසේ හෝ දැන් ඔවුන් ප්‍රභාකරන්ගේ ඇටසැකිලිවලට පණ දීමටත් ත්‍රස්‌තවාදයේ බීජ තැන් තැන්වල වැපිරීමටත් නොඉවසිල්ලෙන් සිටින බවද පැහැදිලිය. දැන් මේ සියලු දෙනාම පාහේ බලා සිටින්නේ අවතැන් වූවන් රඳවා සිටින කඳවුරු දෙසය. කඳවුරුවල දෙමළ, ජනතාව පීඩාවට පත් කරන බවටද ඔව්හු මැසිවිලි ද නඟති.

ප්‍රභාකරන් ඝාතනය වීමෙන් පසු කේ. පී. හෙවත් කුමරන් පද්මනාදන් ඔසවා තබා යළිත් කොටි සංවිධානය අටවා ගැනීමට ගත් දීන ප්‍රයත්නය ද ව්‍යර්ථ විය. දැන් තවත් කොටි හිස්‌ සොයනු විය හැකිය. එය මේ රට විනාශ කළ හැකි මාර්ගය බව ඔව්හු දනිති. ඒ හා සමඟම සරණාගතයන් දඩමීමා කර ගැනීමටද ඔව්හු වෑයම් කරති.

මේ සරණාගත කඳවුරුවල සිටින්නාහු සියල්ලෝම අහිංසක දෙමළ වැසියෝ නොවෙති. ඔවුන් අතර කොටි කාඩරයෝ ද වෙනත් කොටි සහායකයෝද ඇතුළු විවිධ පිරිස්‌ සිටිති. සරණාගත කඳවුරුවල බලය මේ කොටි වලිගවලට ලබා ගැනීමේ අදිසි වෑයමක්‌ පිළිබඳව ද නොබෝදා වාර්තා විය.

මේ කඳවුරුවල සිටින ලක්‍ෂ තුනකට ආසන්න පිරිසකගේ දෛනික මූලික ඕනෑ එපාකම් ඉටු කිරීම පවා ඉතා දුෂ්කර කාර්යයකි. රජය දරන වෑයම විවේචනයට බොහෝ අය සිටිති. කඳුළු සලන අය ද සිsටිති. ඒවාට ගොස්‌ තතු විමසීමට නොදෙතැයි රණ්‌ඩු කරන අය ද සිටිති. එහෙත් මේ බොහෝ දෙනකුගේ අවංක අදහස ඒ ජනතාවට යහපත් ජීවන තත්ත්වයක්‌ ලබාදීමම නොවේ. ඒ හා බැඳුණු තවත් අරමුණු ද වේ.

ත්‍රස්‌තවාදය පරාජය කළ නොහැකි යෑයි කී අයද මෙහි වූහ. අද ඔව්හු සිය නන්නත්තාර වීම් අමතක කර හමුදා ජයග්‍රහණ ගැන අත්පුඩි ගසති. හමුදාව කුලී කාරයන් ලෙස හැඳින් වූ අයද වූහ. අද ඔව්හු හමුදාවට මල්දම් පළඳවති. මේ අනුව මෙම සරණාගත ප්‍රශ්නය ද රජය බුද්ධිමත්ව විසඳිය යුතුය. ඒ සඳහා අවංකව උදව් දෙන අයට අවස්‌ථාවක්‌ ලබාදීම වැරැදි නැත. එහෙත් කිඹුල් කඳුළු හෙළන අය ගැන ප්‍රවේශම් විය යුතුය.

දෙමළ සන්ධානයට මෙහිදී ප්‍රධාන භූමිකාවක්‌ ලබාගත හැකිය. ඒ ඔවුන් මෙම ප්‍රශ්නයට අවංකව විසඳුමක්‌ ලබාදීමට සූදානම් වන්නේ නම් පමණි. කුමක්‌ හෝ පොටක්‌ පාදා කොටි ඔසවා තැබීමට මාන බලන කිසිවකුට මෙහිදී ඉඩ දිය යුතු නැත.

සරණාගත කඳවුරු තුළ තිබෙන යම් යම් ප්‍රශ්න නිසා ඒවා තුළ රජය ගැන අප්‍රසාද හැඟීම් ද තිබීම සාධාරණය. ඒa වාසිය අතට ගෙන එම සරණාගත ජනතාව පාලනය කිරීම අතට ගැනීමට සමහරු යටිසූත්තර සාදතියිsද හෙළිවී තිබේ. රජය ඒ නිසා බුද්ධිමත්ව හා වගකීමකින් යුතුව මේ ජනතාව ඔවුන්ගේ ගම්බිම්වලට යෑවීමට පියවර ගත යුතුය.

ප්‍රභාකරන් විසින් දෙමළ සන්ධානයේ මන්ත්‍රීවරුන්ගේ හිස්‌වල හා මනසෙහි ද තැන්පත් කරන ලද බෙදුම්වාදී විෂබීජ හා ඊළාම්වාදයේ මළකඩ මුලිනුපුටා දමා, සිය ජනතාවගේ ප්‍රශ්න රජය හා එක්‌ව විසඳා ගැනීමට දෙමළ සන්ධානය සූදානම් වන්නේ නම් කොතරම් යහපත්ද? අපගේ ප්‍රාර්ථනාව ද එය එසේ වනු දැක්‌මයි.
(දිවයින - 09/09/02)

ටිප්පණිය - උදා වී ඇති නව දේශපාලන පරිසරය පිළිබඳ අපි සතුටු වන්නෙමු. මේ සහයෝගය ලැබෙන්නේ අවංක චේතනාවෙන් බවත් ඊළාම් සිහින රාජ්‍ය පිළිබඳ අවසන් බලාපොරොත්තුව ද අතහැර බවත් අපි තවදුරටත් විශ්වාස කරමු. ඒ පිළිබඳ විමසිල්ලෙන් සිටීමේ වගකීමක් රජයට ඇතැයි අපි සිතමු. දුර සිටින සතුරාට වඩා ළඟ සිටින මිතුරාගෙන් පරිස්සම් වීම අපහසු ය. එමෙන් ම මිතුරු වෙසින් ළඟ සිටින සතුරාගෙන් පරිස්සම් වීම ඊටත් වඩා අපහසු ය.
 
සිය රට දේ සිරි සැප දේ !