Thursday, March 12, 2009

ගොන් දෙපැයට විකල්පයක්

ප්‍රමාද වී හෝ ගත් වැදගත් තීරණයක්

දේශපාලනඥයන්ගේ මෙන්ම සාමාන්‍ය සිවිල් ජනතාවගේද ආරක්‍ෂාව පතා මහජන රැස්වීම් කෙටි කලකට හෝ සීමා කිරීමේ අවශ්‍යතාව අපි පෙරේදා (11) අපේ කතුවැකියෙන් පෙන්වා දුන්නෙමු. උත්සව නිසා සිදුවිය හැකි හානි පිළිබඳ බලධරයන්ගේ අවධානය යොමුවිය යුතු බව අපි තරයේ කියා සිටියෙමු.
ජාතික ආරක්‍ෂාව පිළිබඳ මාධ්‍ය මධ්‍යස්ථානයේ අධ්‍යක්‍ෂ ජනරාල් ලක්‍ෂ්මන් හුළුගල්ල මහතා පෙරේදා ලක්බිම පුවත්පතට ප්‍රකාශ කර තිබුණේ රටේ කුමන හෝ ප්‍රදේශයක මින් ඉදිරියට ජනතා සහභාගිත්වයෙන් සිදු කෙරෙන ජාතික මට්ටමේ උත්සව අවස්ථා සඳහා රාජ්‍ය ආරක්‍ෂක අමාත්‍යංශයේ අනුමැතිය ලබාගත යුතු යැයි තීරණයක් ගෙන ඇති බවය.
මේ පිළිබඳ අපි ඊයේ (12) “ලක්බිම” පුවත්පතේ ප්‍රධාන සිරස්තලය යටතේ වාර්තා කළෙමු.
මහජන සහභාගිත්වයෙන් සිදු කෙරෙන උත්සව හැකි තරම් දුරට සීමා කරන ලෙස රජය මේ අවස්ථාවේ ඉල්ලා සිටින බවද ඔහු පවසා සිටී. ප්‍රදේශීය වශයෙන් මහජන සහභාගිත්වයෙන් කෙරෙන උත්සව අවස්ථා සඳහාද එම ප්‍රදේශයේ ළඟම ඇති පොලිස් ස්ථානයෙන් අවසර ගතයුතු යැයි කොන්දේසියක් පනවා ඇති බවද ඔහු අනාවරණය කළේය.
එළඹෙන සිංහල දෙමළ අලුත් අවුරුදු උත්සව සමයේදීද පැවැත්වෙන ජාතික උත්සව වලදී ආරක්‍ෂාව තහවුරු කළ යුතු අතර ජන ජීවිත සුරක්‍ෂිත කිරීමට අවශ්‍ය බවට රජය අවධාරණය කරන්නේ යැයි ඔහු පවසා සිටී.
ඇත්ත වශයෙන්ම මෙම තීරණය ගතයුතුව තිබුණේ මෙයට වසර ගණනකට පෙරය. එසේ වූවානම් දේශපාලනඥයන් ඇතුළු ජනතාව විශාල සංඛ්‍යාවක ජීවිත බේරෙන්නට අවස්ථාව තිබුණි. එහෙත් ඒ ගැන සැලකිල්ලක් නොදක්වා විවිධ උත්සව තැන තැන සංවිධානය කිරීමෙන් සහ ඒවාට දේශපාලනඥයන් ගෙන්වා ගැනීමෙන් මරුවා කැඳවා ගැනීමට මෙතෙක් කල් කටයුතු කර ඇති බව පසක් වෙයි.
එල්.ටී.ටී.ඊ. සංවිධානය හමුදා අතින් පරාජයට පත්වෙමින් වියරු වැටී සිටින මේ අවස්ථාවේ වෙන කවරදාටත් වඩා දකුණේ ඝාතන සිදුකර ජනජීවිත අවුල් කිරීමට ඔවුන් උත්සාහ දරන බව කිවයුතු නොවේ. ආරක්ෂක හමුදාවල අනේකවිධ පරීක්‍ෂණ කපොලුවලින් බේරී මරාගෙන මැරෙන ත්‍රස්තයන් දකුණට රිංගා ගෙන ඇත. ඒ අයගෙන් සමහරුන් තවමත් අවස්ථාව ලැබෙන තුරු උකුසු ඇස් යොමමින් සිටිනවා විය හැකිය. එවැනි කොටින්ට ගොදුරු සකස්කර දීමට දකුණේ ජනතාව කටයුතු කරන්නේ නම් එය විශාල අවාසනාවකි. අමනොඥකමකි. ඒ තත්ත්වය දැන්වත් අවබෝධ කරගත යුතුය.
අප ඊයේද පැවසුවා මෙන් මේ මැතිවරණ සමයයි. මැතිවරණ වේදිකාවලට විවිධ දේශපාලනඥයන් ගොඩවෙනු ඇත. ජනතාව මුව අයාගෙන ඔවුන්ගේ සුරංගනා කතා අසනු ඇත. කොටියා ඒ අවස්ථාවෙන් ප්‍රයෝජන ගෙන තම රුදුරු අරමුණු ඉටුකර ගන්නවා නියතය.
අනෙක් අතට ජාතික ආගමික සහ ක්‍රීඩා ආදී සෙසු උත්සව අවස්ථාවලදීද දේශපාලනඥයන් අනිවාර්යෙන්ම සහභාගිකර ගැනීමට සංවිධායකයන් උනන්දුවන බව දක්නට ඇත. ඔවුන් සිතන්නේ තම හිතැති දේශපාලන බලවතා සහභාගි කරගැනීම වටිනා බවය. දේශපාලනඥයන් නොමැතිව උත්සව අවස්ථා වර්ණවත් කිරීම සඳහා තවත් කොතරම් ප්‍රභූ පුද්ගලයන් කැඳවා ගත හැකිද? දේශපාලනඥයකු සඳහා අවශ්‍ය ආරක්ෂක විධි විධාන සැලසීමට විශාල මුදලක් වැයවනු ඇත. ආගමික උත්සවයක මල් වට්ටියක් පූජා කරවීම සඳහා හෝ ක්‍රීඩා උත්සවයක කොඩියක් වැනීම සඳහා හෝ ප්‍රබල මැති ඇමැතිවරුන් ගෙන්වා ගැනීමේ අර්ථය කුමක්ද?
තවද අද පවතින වාතාවරණය අනුව මෙවැනි උත්සව නගරයේ හෝ ගමේ සංවිධානය කිරීම තාවකාලිකව නැවැත්විය යුතු වෙයි. මෙය උත්සව පැවැත්වීම සුදුසු වකවානුවක් නොවේ. දේශපාලන රැස්වීම් පවා හැම තැනම නොතබා එක් ප්‍රධාන රැස්වීමක් දිස්ත්‍රික්ක මට්ටමින් පැවැත්විය යුතුය. මහජනතාව දැනුවත් කිරීමට අවශ්‍ය අපේක්‍ෂකයන්ට ඒ සඳහා විද්‍යිත් හා මුද්‍රිත මාධ්‍යය පාවිච්චි කළ හැකිවෙයි.
අනෙක් අතට රැස්වීම් සඳහා සහභාගි නොවීමට මහජනතාව තීරණයක් ගත යුතුව ඇත. සාමාන්‍ය ජනතාව මෙවැනි සෙනග ගැවසෙන ස්ථානවලට යාමෙන් වැළකී සිටීමද විනාශකාරී සිද්ධි අවම කිරීමට හේතුවන බව පැවසිය යුතුය. මෙම තෙපාර්ශ්වයම අවස්ථාවෝචිතව කටයුතු කළ යුතු බව පෙන්වා දෙමු.
(ලක්බිම_09/03/13)

පසුවදන_
එළඹ ඇත්තේ බස්නාහිර පලාත් සභා මැතිවරණ සමයයි. බලයට ඇති ගිජුකම විසින් පිස්සු වට්ටා ඇති දේශපාලන නායකයින් යළි තැන නොතැන නොබලා ඇවිඳින්නට පටන් ගනු ඇත. මනාප පොරයට වන් කල්හි මේ අයගේ කරේ පිරපාහරන් මරණ වරෙන්තු එල්ලා ඇති බව අමතක වෙයි. ඉතින් මේ උතුමෝ මර ඇදේ පණ අඳින කොටියාගේ පහසු ඉලක්කයක් වී නිවට ලෙස මහ මග හෝ කසළ ගොඩක මියැදෙති. උන්ගේ කතා අසා ඔල්වරසම් දෙන්ට යන අහිංසකයෝ ද නිරපරාදේ මියෙති.

තණ්හාව සහ මනාප පොරය නිසා මැති ඇමතිවරු නිසිදා මැතිවරණ වේදිකා වර්ජනය නොකරනු ඇත. එහෙත් ජනතාවට පියවරක් ගත හැකි ය. ඔවුන් මේ වේදිකා ඉදිරියේ රැස්කකා බලා නොඉඳී නම් දේශපාලකයෝ එහි එනු තබා ඒ දෙ බලන්නේ ද නැත. රේඩියෝව රූපවාහිනිය අන්තර්ජාලය ආදී දියුණු සන්නිවේදන මාධ්‍ය භාවිතයට ඔවුන් පෙළඹෙනු ඇත. එවිට සිරසේ ගොන් දෙපැයට වෙනුවට මේ දේශපාලන කතා විකාශනය කළ හැකි ය. ජනතාවට ගෙදර සිට නැරඹිය හැකි ය. එකී ගොන් දෙපැයෙන් ලද ආස්වාදය එලෙසින් ම ජනතාවට ලැබිය හැකි ය. රටේ ආරක්ෂාව ද සහතික කළ හැකි ය. කොච්චර සිම්පල් ප්ලෑන් එකක් ද ආ....?

1 comment:

Unknown said...

මරු අයිඩියා එක ආ...?

 
සිය රට දේ සිරි සැප දේ !