Thursday, March 27, 2014

පළාත් සභා ඡන්දයේදී ඔබ ගතයුතු මඟ

නැවත පළාත් සභා ඡන්දයක් පැමිණ තිබේ. එහි සමස්ත ප්‍රතිඵල පසුගිය මැතිවරණවලට වඩා වෙනස් නොවනු ඇත. විපක්ෂය කෙතරම් මොර දුන්නද බටහිර රාජ්‍ය කෙතරම් සූක්ෂම මෙහෙයුම් දියත් කළ ද ජනතාවට තවම ආණ්ඩුව එපා වී නොමැත.  විවිධ දුර්වලතා තිබුණ ද නාහේ වැරැද්දට මූණ කපා ගැනීමට ජනතාව සුදානම් නැත. එහෙයින් මේ පළාත් සභා ඡන්දය ද ආණ්ඩුව පහසු ලෙස ජය ගනු ඇත. දිනාගත් සාමය විනාශ කොට උතුරේ ඊළමක් තැනීමට වළිකන දෙස් විදෙස් බලවේග ජිනීවාහි කඩු මදින මොහොතක ජිනීවා දෙදරුම් කන තීන්දුවක් ගැනීම දේශමාමක ජනතාවගේ යුතුකමයි. එදා රටේ රජු පන්නා දමා තමන්ට රජවීමට ඉංග්‍රීසි ආක්‍රමණිකයා සමඟ කුමන්ත්‍රණය කළ ඇහැළපොල නිසා සිදුවූයේ සතුරාට කිසිදා යුද්ධයෙන් දිනාගැනීමට නොහැකි වූ වසර 2000ක් රැකගත් අපේ ස්වාධීන රාජ්‍යය බන්දේසියක තබා සතුරාට බිලිදීම පමණක් බව ද ඇහැළේපොළ ලද කිසි ජයක් නොමැති බව ද අද බටහිර ආක්‍රමණිකයින් පැමිණ මහින්ද පන්නා දමා තමන්ට රජකම ලබා දෙතැයි දහවල් සිහින දකින්නවුන් ඉතිහාසයෙන් පාඩම් උගත යුතුය.

කෙසේ වුව ද අපේ සාම්ප්‍රදායක පාලන ක්‍රමය විනාශ කොට නිර්මාණය කළ මේ පළාත් සභා ක්‍රමය දැන් රටට ඉසිලිය නොහැකි බරක් බවට පත්ව තිබේ. ඉන්දීය බලපෑම් මත නිර්මාණය කරගත් පළාත් සභා ක්‍රමය අපේක්ෂිත කිසිදු ඵලයක් ලබා නොදුන් නිසා පසුගිය සමයේ සුදු අලියෙකු ලෙස හැඳින්විය. එහෙත් දැන් එය මහජන රුධිරය සමඟ මාතෘභූමියේ සාරය උරාබොන යෝධ ඩ්‍රැකියුලෙකු බවට පත්ව තිබේ. අනන්ත කැපකිරීම් කොට බෙදුම්වාදී ත්‍රස්තවාදයෙන් නිදහස් කරගත් රට නැවත ඊළම කරා දක්කන විසාදියක් බවට පත්ව තිබේ. එහෙයින් දේශ මාමක ජනතාව මේ මැතිවරණයයේදී ඉතා බුද්ධිමත්ව රට වෙනුවෙන් සිය යුතුකම වගකිම නොපිරිහෙළා ඉටු කළ යුතුමය. එසේ නැතහොත් අප රටක් ලෙස පසුගිය සමයේ නෙළාගත් සියලු ජයග්‍රහණ ගඟට තැපූ ඉණිබවට පත්වීමට වැඩි කලක් නොයනු ඇත. ඒ පිළිබඳ අපගේ අදහස් කිහිපයක් ලුහුඬින් වුව ලියා තැබීම මේ කෙටි ලිපියේ අරමුණයි.

අනේපිඬු වෙස් ගත් චෞරයෝ

මේ දිනවල ඡන්ද අපේක්ෂයින් විසි හතර පැය පුරා දොර දන් දෙයි. හදිසියේ සුරභිදෙන පහළ වූ පරිදි පොල් පැල, උදලු, සාරි, දුරකතන ඇතුළු නා නා සම්පත් ජනතාවට හිමිවෙයි. ඔබේ විනෝදාස්වාදය පිණිස හංදියක් හංදියක් ගාණේ සංගීත සාජ්ජ පැවැත්වෙයි. එහෙත් මෙලෙස දන් දෙන්නේ වියපැහැදම් කරන්නේ ඔවුන් ධාර්මික ලෙස ඉපයූ ධනය නම් නොවේ. විවිධ ජඩ මාර්ග ඔස්සේ ඉපයූ කළු සල්ලිය. 

කොටින්ම කිවහොත් අපේක්ෂකයින් මෙසේ දන් දෙන්නේ කලක් තිස්සේ හොරකම් කළ මහජන දේපළවලින් ඇබින්ඳකි. ඔබ උදේ හවස යනෙන පාර බාල ප්‍රමිතියට තනා හොරකම් කළ මුදලින් ඇබින්ඳකි. ඔබේ දරුවාගේ අධ්‍යාපනය සෞඛ්‍යය වෙන්විය යුතු එහෙත් ගසා කෑ මුදලින් ඇබින්ඳකි. ඔබේ රෝහලට බාල බෙහෙත් ගෙන කොමිස් ලෙස ගත් මුදලින් ඇබින්ඳකි. නැතහොත් ඒ අපේක්ෂකයින් පිටුපස සිටින කුඩුකාරයින්ගේ මැරයින් මුස්ලිම් අන්තවාදීන්ගේ කළු සල්ලිය. රටේ මහජන මතය කෘත්‍රීම ලෙස වෙනස් කොට ආණ්ඩු පෙරළීමට NGO හරහා බටහිර රටවල් පොම්ප කරන මුදල්ය. ඔවුන් මේ කරනුයේ ගිනිවැල් පොලියට ණයට දීම වැනි කටයුත්තකි. අනාගත ආයෝජනයකි. ඔබට අද උදළු කෙටියක අල්ලසක් දී ඔබෙන් කොල්ල කා ගන්නා මනාපයෙන් මේ කුප්‍රකට අපේක්ෂයින් හෙට උදළු සියක් කෝටි ගණනක ඔබේ දේපළ ඔබේ සුභ සාධනයට වෙන් විය යුතු මුදල් ගසාකනු ඇත. ඔබෙන් අද කොල්ලකා ගන්නා මනාපයෙන් හෙට රටම කොල්ලකනු ඇත. 


එහෙයින් ඔබ කුමන පක්ෂයක වුව ද මෙලෙස විවිධ අල්ලස් වරදාන දොළපිදේනී දී ඔබේ මනාපය කොල්ලකෑමට එන දූෂිතයින්ගේ උගුල්වල නොවැටෙන්න. ඔබට ඔවුන් ලබාදෙන ඕනෑම දෙයක් ඔබ භාර ගන්න. මන්ද ඒ ඔබටත් හොරා ඔබෙන්ම කොල්ල කෑ මුදල්ය. ඒවා පරිභෝජනය කිරීමට ඔබට ශුද්ධ වූ අයිතියක් තිබේ. ඉන් ඔබට කිසිදු පවක් සිදු නොවේ. එහෙත් ඔබේ මනාපය මේ කොමිස්කාරයින්ට අල්ලස්කාරයින්ට  ලබාදී මේ පාලන තන්ත්‍රය තවත් දූෂණය වීමට ඉඩ නොදෙන්න. ධන බලයට නිල බලයට මැර බලයට ඔබේ පරමාධිපත්‍යය අයිතිය පවා නොදෙනන්න. ඔවුන්ට මනාපය ලබා දීම ඔස්සේ ඔබ කරනුයේ ඔබේ දරු මුනුබුරන්ගේ ද අනාගතය සුරා ගෙන කෑමට දූෂිත චෞර රංචුවකට අනුමැතිය ලබාදීමේ මහා පාපකර්මයට දායක වීම පමණි.

සිරසේ කකුල් මාට්ටුව

මේ රටේ ජන මනස විකෘති විපරීත කිරීම සඳහා මෙන්ම් බෙදුම්වාදී කොටි ත්‍රස්තවාදය පෝෂණය කිරීම සඳහා සිය කුප්‍රකට මාධ්‍ය ජාලය භාවිත කළ මහා රාජලා සිය වක්‍ර දේශපාලන උපක්‍රම අසාර්ථක වූ පසු දේශපාලන පක්ෂ තුළට සිය හෙංචයියන් රිංගවීමේ අලුත් උපක්‍රමයක් අනුගමනය කරන බව පෙනේ. එහි අරමුණ සිය පරාජිත දේශපාලන න්‍යාය පත්‍රය මේ රූකඩයින් ලබා ක්‍රියාත්මක කරවීමය. පසුගිය සමයේ කලක් සිය ගජමිතුරා වූ රනිල් වික්‍රමසිංහට එරෙහිව මහාරාජා සිරස ඇතුළු නාලිකාවල ප්‍රවෘත්ති විකාසනයේ විශාල කාලයක් වෙන් කොට ගෙන ගිය වෛරී දේශපාලන මඩ ව්‍යාපාරයට හේතු වූයේ රනිල් සමඟ ඔහු ඇති කරගත් කුප්‍රකට ගිවිසුමක් රනිල් විසින් කඩකිරීමය. සන්ධානය ඔස්සේ සුසාර දිනාල් ද එජාපය ඔස්සේ එස්.එම්. මරික්කාර් ද ගිනිසිළුවෙන් සුසිල් කිඳෙල්පිටිය ද යොදා ගෙන මහාරාජා අර අඳින්නේ සිය දේශද්‍රෝහි න්‍යාය පත්‍රය මේ රටේ ප්‍රධන පක්ෂවලට ද රිංගවා ගැනීමටය. එහෙයින් කොන්දේසී විරහිතව සියලු පාක්ෂිකයින් මහාරාජාගේ දේශද්‍රෝහී මාධ්‍ය චෞරයින් පරාජය කිරීමට වගබලාගත යුතුමය. ඔබ කුමන පක්ෂයක වුවත් මේ දේශද්‍රෝහීන්ට මනාප ලබා නොදිය යුතුය. 

කාන්තා නියෝජනය

මේ රටේ කාන්තාවන් උගත් බුද්ධිමත් පිරිසකි. සිංහල බෞද්ධ පවුල් සංස්ථාවේ කැණිමඬල කාන්තාවයි. ඇය මෙරට සමාජයේ විවිධ වගකීම් උසුලයි. ලොව ප්‍රථම අගමැතිනිය පහළ වූයේ මේ රටෙනි. අතීතයේ කාන්තාවන් මෙරට රජකම පවා උසුලා තිබේ. එහෙයින් ඇගේ හඬ මෙරට දේශපාලනය තුළ නියෝජනය විය යුතුය. එසේ නියෝජනය කළ යුත්තේ සමස්ත ලාංකේය කාන්තා පරපුරේ පුරුෂාර්ථ සහිත කාන්තාවන් පිරිසක් විසිනි. එහෙත් මෙවර පළාත් සභා මැතිවරණය සඳහා එවන් සුදුසුකම් සහිත කාන්තා නියෝජනයක් නොමැත. නාම යෝජනා සඳහා ඉදිරිපත් වූ ලිංගික ප්‍රතිරූප කිහිපයකට ජනතා විරෝධය නිසා නාමයෝජනා නොලැබුණ ද ඇතැම් සිනමා ටෙලි ගණිකා පිරිසක් මෙරට කාන්තාවන් නියෝජනය කිරීමට ඔබේ මනාපය අපේක්ෂා කරති. ඔබ කුමන පක්ෂයක වුවත් මේ වසංගතවලට ඡන්දය ලබා දීමෙන් වැළකීම මේ රටේ කාන්තාවන් වෙනුවෙන් ඉටු කළ හැකි උතුම්ම සේවාවකි. කිසිදු දේශපාලන විඥානයක් නොමැති මේ ලිංගික උත්තේජන භාණ්ඩ ප්‍රතික්ෂේප කිරීමට ඔවුන් ප්‍රසිද්ධ මධ්‍යවල පැවැත්වූ දේශපාලන සංවාද නම් විහිළු හොඳට ම ප්‍රමාණවත්ය.  

පරම්පරා දේශපාලය

මෙරට පාර්ලිමේන්තු බලවතුන් විසින් පළාත් සභාව අවභාවිත කරනුයේ සිය බිරිඳට, අනියම් බිරිඳට, දුවට, පුතාට, ඥාතියාට, හිතවතාට සිතුපැතු සම්පත් ලබා දෙන ඉල්ලමක් ලෙසිනි. තමාගේ ඇවෑමෙන් පාලන බලය තම අනුප්‍රාප්තිකයාට ලබාදීමට අවශ්‍ය පෙරහුරුව ලබාදෙන තක්සලාව වශයෙනි. එහෙත් මේ පිරිසට පරපුරෙන් උරුම වූ හොරකම් මැරකම් ජඩකම් බලුකම් පිළිබඳ දැනුම මිස කිසිදු දේශපාලන දැනුමක් නොමැත. එක්තරා ඇමතියෙකුගේ දියණියක් සහල් කිලෝ එකක මිල නොදන්නියකි. මෙවන් පරම්පරා රකින බහිරවයින් පළාත් සභාවල අරක් ගැනීම නිසා සිදුව ඇත්තේ දේශපාලන විඥානයක් සහිත දෑ හිතැති බුද්ධිමත් තරුණ නායකයින්ට දේශපාලනයට ප්‍රවිශ්ට වීමට ඇති සියලු ඉඩකඩ අවුරා දැමීමය. ඒ තරුණයින්ට මේ දේශපාලන තාත්තලාගේ පුතුන් සමඟ තරඟ කළ නොහැක්කේ ඔවුන් පරම්පරාවෙන් ඉපයූ කළු සල්ලි නිසාය. මේ නිසා රටේ අනාගතය භාර ගැනීමට දෙවන පෙළ නායකත්වයක් බිහි නොවන අතර නිතරඟයෙන් ම කිසිදු දේශපාලන සුදුසුකමක් නැති චෞරයෝ ඒ තැන්වලට පැමිණෙති. එහි අවසාන ප්‍රතිඵලය සමස්ත රටම සමාජ ආර්ථික දේශපාලන සංස්කෘතික සෑම අංශයකින් ම නාය යෑමය. ඒ නිසා කළු සල්ලි බලයෙන් මැර බලයෙන් තාත්තලාගේ පිහිටින් පළාත් සභාවට රිංගා ගැනීමට වෙර දරන නුසුදුස්සන්ට ඔබේ වටිනා මනාපය ලබාදී රටේ අනාගතය විනාශ නොකර ඔබේ වගකීම ඉටු කරන්න.    

බෙදුම්වාදී දෙබිඩ්ඩෝ

මේ ආණ්ඩුව ඒකීය රාජ්‍ය වෙනුවෙන් පෙනී සිටින ජාතිකවාදීන් විසින් ගොඩනැඟුව ද ඒ තුළ බෙදුම්වාදී පිල්ලි නැත්තේ නොවේ. විවිධ සමාජවාදි මාක්ස්වාදී මූලයන් සහිත පක්ෂ නියෝජනය කරන මේ සිංහල නාමධාරීහු මැතිවරණවලදී නිහඬව සිංහල බෞද්ධ ඡන්ද ඩැහැගෙන අනතුරුව සිංහල ජාතියේ ද බුදුදහමේද විනාශය පිණිස කටයුතු කරනු ලැබේ. සිය පක්ෂවල මූලධර්මවලින් නෙත් අඳ කරගත් මොවුන් රටේ ප්‍රධාන ජාතිය වන සිංහල ජාතිය සහ බුදු දහම දෙස බලනුයේ වෛරයෙනි. සිය හීනමානය සඟවා ගනු පිණිස රටේ සෙසු ජාතීන් කෙරෙහි මහා අනුකම්පාවක් ප්‍රදර්ශනය කරන මොවුහු එම ජාතිවල ගැලවුම්කාර වෙස් ගෙන රඟති. ජාතික ගීය දෙමළින් ගයන්නැයි කියන්නේ දෙමළ ජනතාවගේ ස්වයං නිර්ණන අයිතිය ගැන නන් දොඩවන්නේ මොවුන්ය. මෙවර මැතිවරණට ඉදිරිපත්ව ඇති ඇතැම් චීවරධාරීහු ද බුදුන්ගේ නොව කාල් මාක්ස්ගේ ගෝළයින්ය. එහෙත් සෙසු ජාතීන්ට අයත් නියෝජිතයින් මෙවන් කසිකබල් බටහිර විකාර ඔලුවට නොගෙන සිය ජාතීයේ අභිවෘර්ධිය පිණිස කටයුතු කරනු ඔබට දැකිය හැකිය. එහෙයින් සිංහල බෞද්ධ ඔබේ කැමැත්තෙන් පත්ව විවිධ අන්තවාදී කල්ලිවලට අනු රඟන අයට ඔබේ මනාපය ලබා නොදෙන්න. එසේ ලබාදී ඔබේ ජාතියේ වළ ඔබ විසින් කපා නොගන්න.

  
ඔබේ මනාපය කාටද?

මෙලෙස විවිධ නුසුදුසුකම් කියාපාමීන් ඔවුන් පළාත් පාලන ආයතනවලට පත් නොකරන්නැයි පවසා ඔබේ මනාපය ලබා දිය යුත්තේ කාටදැයි නොපවසා මේ ලිපිය අවසන් කිරීම නො මැනවි. සැබවින්ම ඔබ පළාත් පාලන ආයතනවලට පත් කළ යුත්තේ කවුද? ඒ සඳහා සැපිරිය යුතු සුදුසුකම් කවරේද? ඔබ විසින් මේ මැතිවරණයේදී තෝරාපත් කරගත යුත්තේ පෙර සඳහන් කළ අගතීන්ගෙන් විනිර්මුක්ත ඒකීය ශ්‍රී ලංකාව වෙනුවෙන් පෙනී සිටින සිංහල බෞද්ධ සංස්කෘතිය මේ රටේ ප්‍රධාන සංස්කෘතිය ලෙස පිළිගන්නා පළාත් සභා ක්‍රමය අහෝසි කිරීමට කැමති දේශමාමක පිරිසකි. ඔබ කවර පක්ෂයකට ඡන්දය ලබා දුන්නත් ඔබේ මනාපය පෙර සඳහන් කළ දුර්ගුණ නොමැති බුද්ධිමත් උගත් ජාතිමාමකයින් වෙත ලබා දෙන්න. සන්ධාන ආණ්ඩුව තුළ ජාතික හෙළ උරුමයේ සහ ජාතික නිදහස් පෙරමුණේ නියෝජිතයින් ඒ සඳහා මේ මොහොතේ ඔබට කළ හැකි හොඳම තෝරා ගැනීමයි. එය මේ රටේ ද ඔබේ දරුවාගේ ද අනාගතය වෙනුවෙන් කළ හැකි මහා ආයෝජනයකි. 

බෙදුම්වාදයට එරෙහිව ගම්මන්පිල

අප බෙදුම්වාදයේ ත්‍රස්ත හිස විනාශ කළ ද එහි ප්‍රජාතන්ත්‍රවාදී හිස පෙරටත් වඩා වේගයෙන් ලොව පුරා දලුළා වැඩෙයි. උතුරු පළාත් සභාව විග්නේශ්වරන්ට ලබාදීම ඔස්සේ දෙමළ ඩයස්පෝරාව ඇතුළු බෙදුම්වාදී කඳවුර ඒ සඳහා අවශ්‍ය මුල් පියවර තබා තිබේ. පළාත් සභාවට බලතල ප්‍රමණාවත් නොමැති බවට මැසිවිලි නඟමින් කොටි ත්‍රස්තයින් උතුරින් පළවා හැරි සිංහලයින් නැවත පදිංචි කිරීමට ඉඩ නොදෙමින් ඔහු සටන දියත් කර තිබේ. මේ අවස්ථාවේ ඔහු සමඟ මුහුණට මුහුණලා සටන් කළ හැකි පිරිසක් දකුණු සහ බස්නාහිර පළාත් සභාවලට තෝරා පත් කර යැවිය යුතුය. ඒ සඳහා උදය ගම්මන්පිල, නිශාන්ත ශ්‍රී වර්ණසිංහ, රොජර් සෙනෙවිරත්න, මධුමාධව අරවින්ද වැනි අය පළාත් සභාව නියෝජනය කිරීම ඉතාම වැදගත්ය. විශේෂයෙන් විග්නේශ්වරන්ට පිළිතුරු දීම සඳහා බෙදුම්වාදී ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රවාහය සමඟ මුහුණට මුහුණලා සටන් කිරීම සඳහා ගම්මන්පිල බස්නාහිර මහ ඇමති කළ යුතුය. බෙදුම්වාදී පෙරමුණු දණ ගැස්සවීමට පමණක් නොව ඔබ සැම බලාපොරොත්තු වන ගරු කටයුතු මහත්මා දේශපාලනයක් සඳහා එය මහඟු පිටුබලයක් වනු ඇත. එමගින් අපට වර්තමානයේ මුහුණදීමට සිදුව ඇති බෙදුම්වාදී තර්ජනයට සාර්ථකව මුහුණදීමට සහ දිගුකාලීනව පළාත් සභා පිළිලය ඉවත් කර රටේ ඒකීයත්වය සුරක්ෂිත කිරීමට අවශ්‍ය දෙවන පෙළ නායකත්වය පළාත් සභා ඔස්සේ බිහිකර ගත හැකි වනු ඇත.    

Tuesday, March 18, 2014

අධිවේගයත් මග මරුවන්ට පාවා දෙමුද?

මේ වන විට රට පුරා ව්‍යාප්තව පවතින අධිවේගී මාර්ග ජාලය ඔස්සේ මගී ප්‍රවාහන කටයුතු කරනුයේ ලංගම සහ ඩී.එස්. ගුණසේකරගේ බස් රථ පමණි. මේ නිසා ජනතාවට කිසිදු බියක් සැකක් නොමැතිව ගමන් බිමන් යෑම සඳහා එම මාර්ග භාවිත කරති. කිසියම් වැඩි මුදලක් ගෙවා හෝ ජනතාව අධිවේගී මාර්ගයේ පොදු ප්‍රවාහන සේවා භාවිත කරනුයේ කාලය ඉතිරිවීම, ආරක්ෂාව, පහසුව වැනි කරුණු සලකාය. දැන් වසරකට වැඩි කාලයක් මේ මගී ප්‍රවාහන සේවාව ඉතා වැදගත් ලෙස ක්‍රියාත්මක වෙමින් තිබේ. ගාලු - මාතර සාමාන්‍ය මාර්ගයේ මෙන් මාරාන්තික බස් රථ ධාවන තරඟ අධිවේගයේ අප දැක නැත. මේ කාලය තුළ කිසිදු බස් රථ අනතුරක් හෝ ජීවිත හානියක් නොවීම එම ප්‍රවාහන සේවයේ විශිෂ්ටතාව පිළිබඳ සාක්ෂියකි.

කෙසේ වුව ද ආරම්භයේ සිට ම මේ රටේ පෞද්ගලික මගී ප්‍රවාහන සේවාව සිය බස් රථ කෙසේ හෝ අධිවේගී මාර්ගවලට රිංගවා ගැනීමට කැසකවමින් සිටී. බස් ගැමුණු ඇතුළු එම සම්ගම්වල ලොක්කෝ විවිධ සුරංගනා කතා ඇදබාමීන් තමන් ජනතාවට සපයන සේවාව අධිවේගී මාර්ග දක්වා පුළුල් කර දෙන්නැයි ආණ්ඩුවෙන් ඉල්ලා සිටිති. තමන් දැනට වඩා අඩු මුදලක් අය කර අධිවේගී මාර්ගවල බස් ධාවනය කිරීමට සුදානම් බව පවසති. ජනෙල්වලට තිර යෙදීම නිසාම අර්ධ සුඛෝපභෝගී නම් වන බස් රථ කඩුවෙල සිට මාතරට මගියෙකුගෙන් රුපියල් 250ක් අය කර ධාවනය කිරීමට සුදානම් යැයි පිං සෙණ්ඩුවෙති. මේවා දකින අපට නම් සිහිවන්නේ රජුගෙන් ගෙරිහම් කඩක් එලා ගන්නට අවසර ඉල්ලා බලකොටුවක් ගොඩනැඟූ පරංගියාය.  



අද මේ රටේ මහා මාර්ග පද්ධතිය අනාරක්ෂිත කලාපයක් බවට පත්ව ඇත්තේ මේ අසික්කිත පෞද්ගලික බස් මාෆියාව නිසාය. මගී ජනතාව පොල් පටවන්නා සේ පටවා ගෙන සෙසු බස් රථවලට වෙට්ටු දමමින් ලංගම බස්වලට මග අවුරමින් මාරාන්තික රේස් දුවන ඔවුහු මහ මග ගමන් කරන පදිකයින්ගේ ජීවිත තුට්ටුවකට මායිම් නොකරති. මගී ජනතාවගේ සුව පහසුව තබා ජීවිතවල වටිනාකම පවා නොතකති. 

කරුණු මෙසේ හෙයින් මගී ජනතාවගෙන් නාමයෙන් පවතින පෞද්ගලික බස් මාෆියාව අධිවේගයෙන් ඉවත් කර තැබීම රටේ පාලකයින්ගේ වගකීමයි. එපමණක් නොව පවතින පෞද්ගලි ප්‍රවාහන සේවාව පවා දැඩි සුපරීක්ෂණයකට ලක් කළ යුතුය. ගමන් වාර සඳහා ලබාදී ඇති කාලය නූතන මාර්ග පද්ධතියේ දියුණුවට සාපෙක්ෂව යාවත්කාලීන කළ යුතුය. එනම් නොදියුණු මාර්ගයක පැයක් ගත වන ගමන මාර්ග දියුණු කළ විට ඊට අඩු කාලයකින් යා හැකි හෙයින් ඒ අනුව කාලය ද අඩු කළ යුතුය. මගී ජනතාවගේ ආරක්ෂාව මෙන් ම පදිකයින්ගේ ආරක්ෂාව ද තහවුරු කළ යුතුය. දිගු ගමන් බස් අතරමග නතර කරන අපිරිසිදු කෑම අධික මිල ගණන්වලට අලෙවි කරන ස්ථාන පිළිබඳ සොයා බැලිය යුතුය. මාර්ග නීති කඩකරන බස් රථවල බල පත්‍ර අහෝසි කළ යුතුය. ලෝකයේ අපිරිසුදුම නිල ඇඳුම නිසි ලෙස භාවිතය උපදෙස් ලබා දිය යුතුය. එය සෙසු පොලිස්, හෙදි නිල ඇඳුම් මෙන් අනීවාර්ය කළ යුතුය. නිල ඇඳුම යනු තවත් කමීසයක් ඇඳ උඩින් දමා ගන්නා සරුවාලයක් නොව සේවා කාලය තුළ සැරසී සිටිය යුතු ඇඳුමයි. මේ සියලු අගතීන් ඉවත් කළ හැකි ක්‍රමවේදයක් නොසකසා, රටේ සෙසු මාර්ගවල දැනට පවතින ක්‍රමයට මේ අසික්කිත ප්‍රවාහන ජාලය අධිවේගී මාර්ග දක්වා ව්‍යාප්ත කිරීම යනු ඉතා අනතුරුදායක තත්ත්වයකි. 

සෙසු මාර්ගවල මනා ප්‍රවාහන සේවාවක් පවත්වා ගෙන යාමෙන් පෞද්ගලික ප්‍රවාහන සංගම්වල අධිවේගයේ ධාවනයට තමන්ට ඇති සුදුසුකම් පෙන්වා දිය හැකිය. ඔවුන් එසේ කර පෙන්වන්නේ නම් අධිවේගී මාර්ගයේ මගී ප්‍රවාහන කටයුතු සඳහා අවසර දීම පිළිබඳ සලකා බැලිය හැකි යැයි කියා රජයට බස් ගැමුණුලා ඒ සඳහා දිරිමත් කළ හැකිය. එසේ නොමැතිව මේ මුදලාලිලා අපි ලංගමයටත් වඩා අඩුවට දුවමියි කියන බොරුවලට ආණ්ඩුව හසුවිය යුතු නැත. එසේ අඩුවට දිවිය හැකි නම් සෙසු මාර්ගවල බස් ගාස්තු වැඩි කරන්න යැයි උද්ඝෝෂණය නොකර එම මාර්ගවල අය කරන ගාස්තු අඩු කර බස් රථ ධාවනය කළ හැකිය. ඒ ඔස්සේ සිය වඩා හොඳ සේවාවක් ලබාදිය හැකිය. එහෙත් මේය උපායක් පමණි. කෙසේ හෝ අධිවේගයට ඔලුව දමා ගන්නා මේ මාෆියා කාරයෝ ලංගම බස් ටික කෙසේ හෝ ඉන් ඉවත් කර අනතුරුව අධිවේගයට ද වඩා වේගයෙන් ගාස්තු වැඩි කළ යුතු බවට පවසා වර්ජනය කරනු ඇත. එවිට ආණ්ඩුවට සිදුවන්නේ මේ කප්පම් කාරයින්ට හිස නැමීමට පමණි. අධිවේගයේ මේ වන විට පෞද්ගලික බස් මාෆියාවේ බලය තිබිණි නම් මෑතකදී සිදුවූ ගාස්තු අඩු කිරීම වෙනුවට සිදුවිය යුතුව තිබුනේ ගාස්තු වැඩි වීමක් පමණි.

එහෙත් බොහෝ විට සිදුවිය හැක්කේ මේ මුදලාලිලාගේ කොමිස් වරදානවලට ලොබින් ආණ්ඩුවේ ප්‍රවාහන නිලධාරීන් පෞද්ගලික බස්මරුවන්ට අධිවේගයේ පිස්සු කෙළින්නට අවසර ලබාදීමය. එයින් පසු සිදුවන සියලු ජීවිත හානි සහ විනාශයන්ට වගකිව යුත්තේ එම විනාශය වළක්වා ගැනීමට කටයුතු නොකළ ආණ්ඩුවයි. දැන් නියපොත්තෙන් කැඩිය හැකි දේ එවිට පොරවෙන් ද කපා දැමිය නොහැකි තැනට පත්ව තිබෙනු ඇත.

 
සිය රට දේ සිරි සැප දේ !