Thursday, December 31, 2009
ඒ ගමනත් අපි එකට යමු....
මේ සටනේදී මේ රටේ ඒකීයත්වය වෙනුවෙන් වෙඩි කෑ සෙබළු එකා පිට එකා මැරී වැටුණාහ. ලේ ගංගා ගලා ගියේ ය. ඒ අනුව තිස් අවුරුද්දකට පසු ශ්‍රී ලංකාව නැවත වතාවක් ඒකීය නිදහස් රාජ්‍යයක් බවට පත් විය. යුද්ධය වෙනුවෙන් දිවි පිදූ රණවිරුවන්ට ප්‍රණාම වේවා! නිසි දේශපාලන නායකත්වයත්, රණ විරුවන්ගේ දිරියත් නො වන්නට උතුර - නැගෙනහිරට යැම සඳහා වීසා බලපත් ලබා ගැනීමට සිදුවීමේ අවදානමට ලංකාව මුහුණ දී සිටියේ ය.
මේ රට නැවත වතාවක් නිදහස් කර ගැනීම සඳහා වූ සටනේදී "දිවයින" දැරූ භූමිකාව කිසිදු දේශපාලන ප්‍රතිපත්තියක් හෝ කිසිදු බලවේගයක් නිසා වෙනස් නොවූවකි. එක්‌දහස් නවසිය අසූතුනේදී ප්‍රභාකරන් රට කැඩීමේ යුද්ධය නිල වශයෙන් පටන් ගත්තේය. ඔහු පළමුවන වෙඩි මුරය තබන විට හමුදාව පිළිතුරු වෙඩි මුර තබන්නට විය. ඒ අතර බෙදුම්වාදයට එරෙහිව මතවාදී වශයෙන් ජනතාව සන්නද්ධ කිරීමට "දිවයින" පටන් ගත්තේ ය. ත්‍රස්‌තවාදය, ජූලි කලබලයේ දුමාරය සහ ජාත්‍යන්තර ඇඟිලි ගැසීම් නිසා ඇඹරී ගොස් සිටි ඡේ. ආර්. ජයවර්ධන ජනාධිපතිතුමා කොටින්ට යම් ප්‍රමාණයක දේශපාලන නිදහසක් ප්‍රදානය කරන්නට යන බවක් පෙනෙන්නට තිබිණි. අපි එයට එරෙහි වූයෙමු. එකල මේ පුවත්පතට දැන්වීම් නො දෙන ලෙස ජයවර්ධන ආණ්‌ඩුව රජයේ ආයතනවලට නියෝග කළේ ය. ශ්‍රී ලංකාව වැනි රටක ආණ්‌ඩුවේ දැන්වීම් නැතිව ව්‍යාපාරික ගමනක් යැම පුවත්පත් ආයතනයකට ඉතා දුෂ්කර කාරියකි. එහෙත් "දිවයින" ස්‌වදේශික ව්‍යාපාරිකයන්ගේ පිහිටෙන් තම මතවාදය පතුරුවා හරිමින් ඒකීය රටක් වෙනුවෙන් යන ගමන දිගටම ගියේ ය. අපට නැති වීමට තිබුණේ රට දැය සමය පමණි. එය රැකීමට දිවි හිමියෙන් කැපවීම මේ පුවත්පතේ පරමාර්ථය විය.
කොටින්ට සහන දීමට ජනාධිපති ආර්. ප්‍රේමදාස මහතා තැත් කළ විට අපි ඔහු සමඟ ඉතා භයානක ලෙස ගැටුනෙමු. ඒ ගැටුම් අතරේ වුවද තම නායකත්වය යටතේ ඇති සුචරිත ව්‍යාපාරය පිළිබඳ පුවත් දිවයිනේ පළ නොවුණොත් එය බරපතල අඩුවක් සේ දැකීම ප්‍රේමදාස ජනාධිපතිතුමාගේ සිරිත විය. ප්‍රභාකරන් විසින් ප්‍රේමදාස ජනාධිපතිතුමා ඝාතනය කළ විට ඊළඟ ජනාධිපති වූයේ ඩී. බී. විඡේතුංග මහතා ය. මේ රටේ පවතින්නේ ත්‍රස්‌තවාදයක් බව ඔහුගේ මතය විය. අපි ඔහු හා එකඟ වෙමින් ඔහුට සහාය පළ කළෙමු. ඊළඟට බලයට පත් වූ චන්ද්‍රිකා කුමාරතුංග සමග ද රටේ ඒකීයත්වය සම්බන්ධයෙන් අපට මතභේද විය. ඒ මත භේද නිසා අපට අහිමි වූ දේ ද බොහෝ ය. රනිල් වික්‍රමසිංහ අගමැතිතුමා කොටින් සමඟ සටන් විරාමය අත්සන් කළ පසු ප්‍රභාකරන් උතුර - නැඟෙනහිර වෙනම රටක් ලෙස ලියාපදිංචි කර ගැනීම සඳහා සන්නද්ධ වීමට පටන් ගත්තේ ය. අපි එයට මහත් සේ විරුද්ධ වූයෙමු.
රටේ ඒකීයත්වය රැකීම සම්බන්ධයෙන් අප සතුව තිබූ ප්‍රතිපත්තියත් ජනාධිපති මහින්ද රාජපක්‍ෂගේ ප්‍රතිපත්තියත් එක හා සමාන විය. ත්‍රස්‌තවාදය ත්‍රස්‌තවාදයෙන් ම විනාශ කළ යුතු බව එතුමා කීවේ ය. අපි වසර තිහක් තිස්‌සේ කියුවේ ද එයම ය. විදේශීය පිශාචයන්ගෙන් යෑපෙමින් සිටි බඩගෝස්‌තරයන් මේ ප්‍රතිපත්තියට එරෙහිව කොටින් වෙතින් ගිලිහී යමින් තිබූ උතුරු - නැගෙනහිර භූමිය ගැන කඳුළු සලන්නට විය. විවිධ බලවේග, තර්ජන යනාදිය නො සළකා හල මහින්ද රාජපක්‍ෂ යුද්ධය දිනූ විට පළමුවන සතුටු කඳුළු හෙලූ කිහිප දෙනා අතර අපිදු වීමු.
හොඳට හෝ නරකට ගිය වසර මැතිවරණ වසරකි. අදින් ඇරඹෙන වසර ද මැතිවරණ වසරකි. රටට නිදහස දුන් නියම ජයග්‍රාහකයා ජනතාව විසින් තෝරනු ලබනවා ඇත. ඒ අතර අපට ඉතිරිව ඇත්තේ මේ රටේ ඒකීයත්වය ආරක්‍ෂා කිරීම ය. එය අපගේ ආරම්භක මෙහෙවරමය. ඒ ගමනත් අපි එකටම යමු.
(දිවයින - 10/01/01)
ටිප්පනිය - ලැබුවා වූ නව වසර සකල ශ්‍රී ලංකා වාසීන්ටත් දිවයින පුවත්පතේ කාර්ය මණ්ඩලයටත් සුබ නව වසරත් වේවායි පතමි. ඉන්දියාවේ ද හින්දු පුවත්පතේ භූමිකාව මෙරට ක්‍රියාත්මක කරන්නේ දිවයින යැයි කීවේ වරදක් නැත. ඒකීය ලංකාවක් වෙනුවෙන් දිවයින මතවාදී තලයේ කළ සටන ඉතිහාස ගත වන්නකි. දැන් එහි ඵල නෙළන්නට කාලයයි. ඒ සඳහා සැබෑ දේශප්‍රේමි බලමුළු නියෝජනය කරන සැබෑ ම දේශප්‍රේමි නායකයා බලයට පත්කළ යුතුය. ඒ ඔහුට කළෙහිගුණ සලකන්නට නොවේ. මේ රට සුඛිත මුදිත දේශයක් කරනු පිණිසය. එමෙන් ම කළෙහිගුණ සලකා මංමුලා වූ දේශප්‍රේමියාට විශ්‍රාම යැවීම ද මේ වසර ආරම්භයේම රටට හිතකර වනු ඇත. ඒ ගමනත් අපි එකට යා යුතුය. එකම ජාතියක් ලෙස.
Tuesday, December 29, 2009
නීති විරෝධී පෝස්‌ටර් හා කටවුට් (අහෝ ලක්‌ෂ 128 ක්!)
Monday, December 28, 2009
හෙණ....!
ඉදිරියේ පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණයේදී කවරෙක්. රටට හිතවත් වනු ඇද්ද? ඒ සඳහා සුදුසුම අය කවුද? යන්න නිගමනය කිරීම ඒ ජනතාව විසින් විමසා බලා ගත යුතු තීරණයකි. ජනාධිපතිවරණයට ඉදිරිපත්ව සිටින අපේක්‍ෂකයන්ගේ දේශපාලන ඉතිහාසය, දේශපාලන භාවිතය, දේශප්‍රේමය ආර්ථික පිළිවෙත ජීවන වියදම පහත හෙළීම ඇතුළු රට සංවර්ධනය කිරීමේ මාර්ග යනාදී කරුණු විමසා බලා තීරණයකට එළඹීම මෙහිදී ඉතා වැදගත්ය.
ශ්‍රී ලංකාවේ මැතිවරණ ඉතිහාසයම සාමාන්‍යයෙන් විවිධ පොරොන්දු හා නොමග යෑවීම් වලින්ද පිරී තිබේ. හඳෙන් හාල් ගෙන එන්නට දුන් පොරොන්දුව මෙන්ම ඇට අටේ හෙවත් ධාන්‍ය රාත්තල් අටේ පොරොන්දුවද මේ රටේ ජනතාව ගෙඩි පිටින්ම ගිල දැමූ ඒවා ලෙස වඩාත් ප්‍රකටය. දේශපාලන පොරොන්දු යනු මැතිවරණ බොරු බව ප්‍රසිද්ධියේම කියන නායකයෝද සිටිති. කොහොමටත් ලාබයට පාන් කෑමටත් නොමිලේ සියල්ලම ලබා ගැනීමටත් උනන්දු වන රටක දේශපාලන විඥානය වර්ධනය නොවීම අපට තේරුම් ගත හැකිය.
අපේ බොහෝ දෙනෙකුට අමතක වීමේ වේගය ගැන සිතා බලද්දී සමහරුන්ට මේ රටේ ප්‍රභාකරන් නමැති යක්‍ෂයෙක් සිටි වගක් ඉක්‌මණින්ම අමතකවී ගියහොත් අපි පුදුම නොවෙමු. මහින්ද රාජපක්‍ෂ මහතා ත්‍රස්‌තවාදය පරදවා ප්‍රභාකරන් විනාශ කළ බවද දැන් සමහරු අමතක කරති. රාජපක්‍ෂ ජනාධිපතිවරයාගේ යුද්ධයේ පංගුව බේරා දීමට අපි කරදර නොවෙමු. එහෙත් එබඳු කශේරුකාවක් සහිත රාජ්‍ය නායකයකු නොවී නම් තවමත් ප්‍රභාකරන් වන්නියේ නොනිල ආඥාදායකයා බව අපගේ පිළිගැනීමයි.
අප මෙහිදී යුද්ධය ගැන හෝ එයට උරුමකම් කියන අයගේ රණ්‌ඩුව ගැන හෝ දිගට කතා නොකරමු. අප පෙන්වාදීමට යන්නේ ඊට වඩා වෙනස් කරුණකි. එනම් මේ දවස්‌වල මැතිවරණ වේදිකාවල දක්‌නට ලැබෙන අප්‍රසන්න දේවල් පිළිබඳ ජනතාව විමසිල්ලට වඩා පිළිකුලකින් බලා සිටිනා බව අපි කියමු. එසේම ඒවායින් දේශපාලන වෛරය විනා රටට යහපතක් නොවන බවද අපගේ විශ්වාසයයි.
මේ දේශපාලන වෛරය සමග මුසු වූ මඩ ව්‍යාපාර දැන් කලක සිටම සීඝ්‍රයෙන් පැතිර යන අංගයකි. පුවත්පත්, පත්‍රිකා, වෙබ් අඩවි මගින් පමණක් නොව දේශපාලන වේදිකා ඔස්‌සේද හමා යන දුර්ගන්ධය නාසයක් සහිත මිනිසුන්ට අපුල දනවන්නක් වුවත් ඒවාට ඔල්වරසන් දෙන පිරිසක්‌ද සිටිති. අත්පුඩිය හා විසිල් එක බලා ගෙන ඇතැම් විට දෙපැත්ත කැපෙන කුණුහරුප පවා තොලේ කටේ නොගෑවී ඇද බාන වැසිකිළි කටවල් අද දේශපාලනයේ තිබෙන බව ජනතාවද දනිති.
දේශපාලනයේදී ප්‍රතිපත්ති හා දේශපාලන භාවිතය විවේචන කිරීම වෙනුවට මෙකී දේශපාලන විකටයන් කරන්නේ මඩ ගැසීමය. රට වට කර වැට බැන්දත් කට වට කර වැට බැඳීමට බැරි යෑයි සිංහල ජනවහරේ අගනා කියමනක්‌ද ඇත.
ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාද මෙම වෛරී දේශපාලනය හා මඩ දේශපාලනය අනුමත නොකරන බව පසුගිය දිනක ජනහමුවකදීම ප්‍රකාශ කර තිබිණි. නායකත්වය විසින් දෙනු ලබන ආදර්ශ පහළින් අනුගමනය නොවන අවස්‌ථාද වේ. දේශපාලනය අමතක කර පොදු ජාතික අර්බුදවලදී එක්‌විය යුතු බව අපද බොහෝ විට පෙන්වා දී තිබේ.
කෙසේ හෝ මෙකී දේශපාලන වාචාලයන්ගේ මඩ, අවලාද, අපවාද, ශාප තවමත් පරිසරයම ගඳ ගස්‌සවමින් ගලා බහින බව අපගේ පිළිගැනීමය. කට වරද්දා බැට කන අයද සිටිති. එසේම කට බෝක්‌කු කටක් හෝ වැසිකිළි කටක් බවට පත් කර ගන්නා අයද සිටිති. මේ දේශපාලන විකට රූප ජනතාවට විනෝදය සැපයීමට වඩා උඩ බලාගෙන කෙළ ගසන අය බවටද පත්ව සිටිති.
නොබෝදා මේ දේශපාලන නරාවළට තවත් දුෂ්ට අංගයක් එක් කර තිබේ. ඒ හෙණ ඉල්ලීමය. හෙණ ගහපන් ගණන් බලාපන් කීවා වගේ මේ හෙණ කතාව නිකම්ම අත හැරිය නොහැකිය. හේතුව ඒ හෙණ ඉල්ලන්නේද දේශපාලනයේ ඉහළම භූමිකාවකට අයත් වූවකු නිසාය. සාමාන්‍ය සුළු මුළාදෑනියෙක් හෙවත් "පොඩියන්" කෙනෙක් හෙණ ගහපන් කීවා නම් ඇතැම් විට නොතකා හැරීමට වුවද ඉඩ තිබිණි.
හෙණ ඉල්ලන්නේ විහිළුවට හෝ ආදරයටද නොවේ. ජාතියටම හෙණ ගැස්‌සවූ නරුමයාද අද නැත. හෙණ ගහන අපරාධ යෑයි කතාවට කියන නූගත් ගැමියාට වුවද හෙණ ගසනු බලා ප්‍රීති විය නොහැක. හෙණ ගෙඩි රටටම දුන් ප්‍රභාකරන්ට නම් හෙණ සන්නිපාතයක් දෙස වුවද බලා සතුටුවිය හැකිය.
දේශපාලන ප්‍රතිවාදීන් විනාශ කිරීම සඳහා භෙණ ඉල්ලන දුෂ්ට හා අධම දේශපාලන සංස්‌කෘතියක් අපට අවශ්‍ය නැත. එබඳු විනාශකාරී මානසිකත්වයක් සහිත අයගෙන්ද රටකට යහපතක් සිදුවිය හැකිද? හතුරකුටවත් හෙණ ගහනවා බලා ඉන්නට සිංහල බෞද්ධයකුට තබා කිසිදු මානව හිතවාදියකුටද නොහැකි බව අපගේ පිළිගැනීමය.
(දිවයින - 09/12/29)
ටිප්පණිය - කිසිදා තමාට බලය දීමට තරම් මේ රටේ ජනතාව මෝඩ නොවන බව වටහා ගෙන, ඉත්තෙකු මතින් ගොඩ යන්නට දඟලන පුද්ගලයෙකු මෙසේ ප්‍රකාශ කිරීමේ අරුමයක් නැත. ඔහු වචනවලින් රාජපක්ෂලාට හෙණ ගහපන් කියුව ද හදවතින් කියන්නේ මේ රටට හෙණ ගහපන් කියාය. ජනතාවට හෙණ ගහපන් කියාය. එසේ වුවහොත් ඒ ව්‍යසන මතින් හෝ තම බල තණ්හාව මුදුන් පමුනුවා ගැනීමට හැකි වෙතැයි ඔහු සිතනවා විය යුතුය. අනෙක් අතට සිංහ සමක් පොරවා ගත් පමණින් සිඟාලයෙක් සිංහයෙක් නොවෙන්නේ යම් සේ ද බෞද්ධ සළු පිළි පොරවා ගත් පමණින් බෞද්ධයෙකු වන්නේ ද නැත.
Wednesday, December 2, 2009
ඉංගිරිසියට පරිවර්තනය කර කියවීම පිණිසය......
ශ්‍රී ලංකාවේ සන්නද්ධ හමුදාවලට පිටරටවල් දෙමින් තිබූ යුද පුහුණුව නතර කිරීම.
ජී.එස්.පී. සහනය ශ්‍රී ලංකාවට නොදෙන බවට තර්ජනය කිරීම.
ප්‍රහාරක යානාවල අමතර කොටස් ශ්‍රී ලංකාවට ලබාදීමෙන් වැළකී සිටීම.
පොදු රාජ්‍ය මණ්‌ඩලයේ සමුළුව කොළඹදී පැවැත්වීම අත්හිටුවීම
(දිවයින - 09/12/03)
Tuesday, December 1, 2009
දෘෂ්‍යමානය විනිවිද දකිමු (ආපසු හැරෙන්න බෑ)
ජනාධිපතිවරණය හා පොදු අපේක්‍ෂකයා අරභයා උද්ගතවූ දේශපාලන ආන්දෝලනයේ උණුසුම කෙමෙන් තුනී වෙමින් යයි. එහෙත් ඒ දේශපාලන නාටකයේ ප්‍රහසනාත්මක අංගවලට වඩා ශෝකාත්මක ලකුණු දකින අප තුළ කිසියම් සංවේගයක්‌ද මතුවේ. ඒ කිසියම් පෞද්ගලික අරමුණක් නිසා නම් නොවේ. මේ රටත් රටේ අනාගතයත් පිළිබඳ කරුණු නිසාය.
ශ්‍රී ලංකාව දෙකඩ කරන්නට ඇතැම් බටහිරයන්ගේ ද නිල හා නොනිල අනුග්‍රහයන් මැද්දේ වැඩුණු ත්‍රස්‌තවාදය මුලිනුපුටා එහි මතුපිට හිස බවට පත්ව සිටි වේළුපිල්ලේ ප්‍රභාකරන් වනසා දමන්නට අපට හැකි විය. මහින්ද රාජපක්‍ෂ ජනාධිපතිවරයා ඒ ඓතිහාසික විජයග්‍රහණය රටට හිමිකර දුන් රාජ්‍ය නායකයා ලෙස ඉතිහාසයට එක්‌ව සිටියි. කවුරුන් කෙසේ කීවත් ඒ විජයග්‍රහණය රාජපක්‍ෂ ජනාධිපතිවරයාගේ ඔඩොක්‌කුවට වැටුණු දෙයක් නොවන බවද කිව යුතුය.
ඡේ. ආර්. ජයවර්ධන වැනි ප්‍රබල දේශපාලනඥයන් විසින් පවා ක්‍රියාත්මක කරන ලද ත්‍රස්‌තවාදයට එරෙහිවූ මෙහෙයුම් ආපසු හැරවූ විදේශ බලවතුන්ගේ බසට නොනැමුණු රාජපක්‍ෂ ජනාධිපතිවරයා ඒ මෙහෙයුම් අඛණ්‌ඩව සිදු කරවීමට තරම් පෞරුෂයකින් යුතු වීම අප කාගේත් භාග්‍යයක් විය. එනිසා ඒ ඓතිහාසික ගෞරවයේ අභිමානය ඉතිහාසය ඔහුට පිරිනමන්නේ නිර්ලෝභිවය. එහෙත් අද ඒ යුද ජයග්‍රහණයේ ගෞරවය හිමිකාරත්වය මුළු රටටම පිරිනැමීමට තරම් ජනාධිපතිවරයා නිහතමානීව සිටියි.
ජයග්‍රහණයට පියවරු රැසක්‌ම වෙතියිද කියනු ලැබේ. එය වෙනම කතාවකි. එහෙත් අපට තිබෙන සංවේගය ඒ විජයග්‍රහණයේ තීරණාත්මක හා සාධනීය ඇතැම් බලවේග සමග එදා ඒ විජයග්‍රාහී ගමනට අවමන් කළ, සරදම් කළ දුෂ්ට බලවේග අද එකට පෑහෙමින් තිබීමය.
දේශපාලනය යනු සරදම් සහිත ගංගාවක් බව නිසැකය. එහෙත් ඒ සරදම් රටේත් ජාතියේත් ඉරණම තීන්දු කරන තැනකට යන්නේ නම් අප විමසිලිමත් විය යුතුය. මතුපිටින් පෙනෙන දේ හෙවත් දෘෂ්‍යමානය දෙස බලා තීන්දු තීරණ ගැනීමේ විපාක නිදහසට පෙර සිටම මේ රටේ ජනතාව විඳින ලද්දකි.
අපට වඩාත්ම වැදගත් වන්නේ රටත් ඒ රටේ හෙට දවසත් පමණි. දේශපාලන වාද විවාදවලට මෙන්ම වෙනත් හැම දෙයකටම රටක් තිබිය යුතුය. ඒ රට සුරැකිය හැකි දේශප්‍රේමී ජන මනසකින් පමණි. ඒ දේශප්‍රේමිත්වය යනු ක්‍ෂණික දෙයක් නොවේ. ඒ වනාහි අභිමත විටෙක ඇඳ පැළඳ ගැනීමට හෝ අනභිමත විටෙක ඉහත දැමිය හැකි දෙයක්‌ද නොවේ. ස්‌වකීය මාතෘභූමියත් එහි ඓතිහාසික උරුමයන් හා බැඳුණු උදාර සිතිවිලි සමුදාය දේශප්‍රේමය ලෙස අපි හඳුන්වමු.
අද අප දකින්නේ මෙම දේශප්‍රේමය නොව තනතුරු ප්‍රේමයකි. බල ප්‍රේමයකි. වෛරයේ දේශපාලනයකි. එහි අනිටු විපාක ඉතා බරපතලය. එක්‌සත් වූ රටක් එක්‌සත් වූ ජාතියක් භේද භින්නවී යැම එහි ප්‍රබලම අනතුර ලෙස අපි දකිමු. ඒ භේදයේ ඊළඟ විපාකය වන්නේ යළිත් විවිධ විනාශකාරී බලවේග හා විෂබීජ මව්බිම විනාශ කිරීම සඳහා ක්‍රියාත්මක වීමයි.
නොබෝදා ස්‌විට්‌සර්ලන්තයේ සුරිච් නුවර මේ රටේ සුළු ජාතික පක්‍ෂවල නායකයන් සඳහා විශේෂ සමුළුවක් පැවැත්විණි. ඒ සමුළුවේ අරමුණ වූයේ ශ්‍රී ලංකාවේ අභ්‍යන්තර කටයුතු පිළිබඳව යෝජනා සම්මත කිරීමය. මේ රටේ අභ්‍යන්තර දේශපාලන ක්‍රියාදාමයන්ට අත පොවන ඊනියා බලවතුන්ට දොර හැර දෙන්නේද අපමය. මේ බටහිර බහිරවයන්ට වුවමනා වී ඇත්තේ ශ්‍රී ලංකාව අස්‌ථාවර කිරීමටත් වාද භේද ඇවිලවීමටත්ය.
මෙම ඊනියා සූරිච් සමුළුවේදී ඉදිරිපත් වූ එක් යෝජනාවක් වී ඇත්තේ සුළු ජාතිකයන්ට 13 වන ව්‍යවස්‌ථාව සංශෝධනය ඉක්‌මවූ බලය බෙදීමක් අවශ්‍ය බවයි. අපට මෙබඳු බලපෑමක් කරන්නට කිසිවකුට හෝ අයිතියක් ඇතැයි අපි නොසිතමු. මේ රටේ බලය හා එය ක්‍රියාත්මක වන ආකාරය පිළිබඳව කතිකාවක් අවශ්‍ය බව සත්‍යයකි. එහෙත් එයට බටහිරයන්ගේ හෝ වෙනත් බාහිර බලවතුන්ගේ හෝ බලපෑම්, මැදිහත්වීම් අවශ්‍ය නැත. ඒ අයිතිය පරයන්ට උදුරා ගැනීමට අප ඉඩදිය යුතු නැත.
බටහිරට හැමදාමත් අවශ්‍ය වූයේ ශ්‍රී ලංකාව බෙදා පාලනය කිරීමයි. බටහිර ආධිපත්‍යයයේ අණසකට අප යටත් කර ගැනීමටත් අපගේ ජාතික උරුමයන් වනසා දැමීමටත් ඔව්හු අදත් මාන බලති. හැට වසරක නාමික නිදහස තුළම අපට හිස එසවීමට ඔව්හු ඉඩ නොදුන්හ. ඔවුන්ගේ අඬු වලට අප හිර කර තබා ගැනීමට හැකි හැම දෙයක්‌ම කළ බවද නොරහසකි.
බටහිරයන්ගේ බිහිසුණුම නිර්මාණය වේළුපිල්ලේ ප්‍රභාකරන් බව අපි බොහෝ විට පවසා ඇත්තෙමු. අල්කයිඩා හෝ ලොව ඕනෑම ත්‍රස්‌ත සංවිධානයකට අබමල් රේණුවක දයාවක් නොදක්‌වන බටහිරයෝ ප්‍රභාකරන් බේරා ගන්නට හැම උත්සාහයක්‌ම දැරූහ. එහෙත් එය ව්‍යර්ථ කිරීමට නොහැකිවූයේ රටේ ජාතික බලවේග එක්‌ව නැගී සිටීම නිසාය. එහෙත් ඒ බලවේග බෙදා වෙන් කිරීමේ සියුම් සැලැසුමක් දැන් ක්‍රියාත්මක වෙමින් තිබේ.
මේ දෘෂ්‍යමානයට යටින් ඇත්තේ එයයි. අපි ආපසු හැරෙමුද? ඒ බලවේගවලට යට වෙමුද? අපගේ නිදහස, අපගේ උරුමය හා ජාතික සමගිය සුරකිමුද? අවස්‌ථාවාදී දේශපාලන උසිගැන්වීම්වලින් මත්ව ඔල්වරසන් නැගීමට පෙර අප කුමක් කළ යුතුදැයි බුද්ධිමත්ව විමසා බැලිය යුතුය. මේ දෘෂ්‍යමානය විනිවිද දකින ඔබට ඒ යථාර්ථය පැහැදිලි වනු ඇත.
(දිවයින ඉරිදා - 09/11/29)
ටිප්පණිය - අපි මෑත ඉතිහාසයේ මුහුණ දෙන වඩාත් උභතොකෝටික අවස්ථාවට දැන් මුහුණ දෙමු. ඒ මෙතෙක් අප හා එකට සිටි අයෙක් රටේ ප්‍රතිපක්ෂයේ සරණ යාම සහ ඒ සතුරන් ඔහුගේ සරණ යාම නිසා ය. මේ මොහොතේ හදවතට වඩා බුද්ධියට ඉඩ දිය යුතුය. පිරුවටයක ඔතා ව්‍යාජ දේශප්‍රේමි සළුපිලි ඇඳ සතුරා ඔබ හමුවට පැමිණ සිටියි. ඒ සළුවට බැණ අඬ ගසා පලක් නැත. සළුව මෑත් කර සතුරා හදුනා ගන්න. සතුරාට පහර දෙන්න. සතුරා බලාපොරොත්තුව අප ලවා අර සළුවට බැණ අඩ ගස්වා මහජන අනුකම්පාව නමැති හොර පාරේ රජ ගෙට රිංගීම බව වටහා ගන්න.